Tuesday, April 16, 2013

178. අයෝමය කතගේ සමුගැන්ම.. Farewell Of The Iron Lady


කිත්‍යාකාර ගේට්ටුවෙං එලියට පැන්නෙ කට්ටියම එකට. කොච්චර හෙමීට පලයල්ල කියල සර්ලයි ප්‍රිෆෙක්ට්ලයි කිව්වත් අම්මප ඒකනෙව බැරිම වැඩේ..කලින් ගියයි කියල ඇති වැඩකුත් නෑ....පුංචි බොරැල්ලෙ බස් හෝල්ට් එකට වෙලා වේලෙනව තව පැය බාගයක් විතර මික්ස්ඩ් ස්කූල් බස් එක එනකල්.... 

කැම්බල් ප්ලේස් එක පහු කරල පුංචි බොරැල්ල පැත්තට හැරුන විතරයි.. 

" ඒ දුවපං අන්න අරූ එනව මාරාවේස වෙලා වගේ… " 

පිටිපස්සෙං ඇහුන කෑගැහිල්ලක්... හැරිල බලනකොට දමිතය කඩාගෙන එනව වෙඩි කාපු ඌර වගෙ මෙලෝ සිහියක් නැතුව....මමත් එතනිං එහාට ආය බල බල හිටියෙ නෑ.... පොත් මිටිය ගත්ත දෑතිම්ම...දිව්ව ආයෙ නෑ...උසේන් බෝල්ට්...නෑ ඒ යකා එතකොට දුවනව තියා ඉපදෙන්ට හිතලවත් නෑ. අර එයයිගෙ ලොකු කෙලී දවසක් කිව්වය කියල බින්දි කිව්වෙ.......No, no, you were not even in the process..ආන්න එහෙමයි....:) :) 

ඒ දවස්වල කාල් ලුවිස් හිටියෙත් නැද්ද කොහෙද?...කවුරු වගේද එහෙනං මම දිව්වෙ? ෂෙහ්... ඔන්න බලමුකො හාංකවිසියක්වත් මතක නැති හැටි හැබෑට..හරි කවුරු හරි කමක් නෑ....මම හුරේ රන් එක දුන්නය කියමුකො...උපමාවක් ඕනමය කියල හිතේනං අර කොහාටද මොනවද ගහපු මොකාද වගේය කියල හිතාගන්නකො......පුංචි බොරැල්ලෙ හන්දියෙං හැරුන වමට..සාමාන්‍ය නෝමලි අපි බස් එකට නඟින්නෙ නම් හංදියෙං දකුණු පැත්තට, ඒ ලඟම තියෙන හෝල්ට් එකෙං..ඒත් මේ වෙලාවෙ ඔතන කෙල්ලො පිරිල..ඒ අස්සෙ දමිතයට කරුමෙටවත් අහුවෙල ගුටි කෑවොත් එහෙම හතර විළි ලැජ්ජාවෙ පස් වෙනි එක...අර මොනවද හතළිහයි කියන්නෙ..අන්න ඒක... 

එදා කොහොම හරි දමිතයට අහු උනේ නෑ...දුවල බේරුනා...එතනිං ඊට පස්සෙ ඔන්න ඔය ටික යමල්ල පයිම්ම කියල අපි ගියා බොරැල්ලට. 

හරි ඔය දමිතයට මාරාවේස වෙලා අපි පස් සෙ එළෝගෙන ආවෙ මොකෝ දන්නවද? පුදුම ප්‍රශ්නනෙ අම්මප ඔහෙත් අහන්නෙ නැද්ද?..මොකෝ අපිට දිවියඥාණෙ තියනවයි කියල හිතුවය ඔහෙගෙ හිතේ තියන එව්ව දැනගන්ට ....හරි හරි....සමාවෙන්ටකො..ඉන්ට මම විස්තරේ කියන්නං.. 

ඔය කියන දවසෙ තුංවෙනි පීරියඩ් එක අපිට ඕෆ්.ඒත් අපි එකෙක්වත් අඩුගානෙ පංති පේළිය ඉස්සරහ තියෙන කොරිඩෝ එකටවත් බැස්සෙ නෑ. අපෙ හිටිය අංස බාර සේර් ඒ තරමට අහිංසකයි.වැඩිය උස එහෙම නෑ. තනි සුදු අඳින්නෙ...කොල්ලො තලේ අස්සට ඇවිදිල්ල ඉන්නව අපි හාංකවිසියක් වත් දන්නෙ නෑ. උඩ පැනල කණ හරහ දෙනකොට තමයි ඔන්න පත්තු වෙන්නෙ... 

අපෙ එහා පංතියෙ එකෙක් හිටිය ඕකට අපි කිව්වෙ ගානර් කියල. ඒ දවස්වල හිටිය වෙස්ට් ඉන්ඩීස් ෆාස්ට් බෝලර් කෙනෙක් ජොඑල් ගානර් කියල අඩි හයයි අඟල් අටක් උසයි. ගානර් නොහොත් බිග් බර්ඩ්...ඒ කාලෙ ඉතාම ජනප්‍රිය සෙසමේ ස්ට්‍රීට් ළමා රූපවාහිනී වැඩ සටහනේ හිටිය කහපාට උස කුරුල්ලෙක්  බිග් බර්ඩ් කියල.ආන්න ඒ නිසා ගානර් හැඳින්නුවෙත් බිග් බර්ඩ් කියලයි. 

රයිට් බිඩ් බර්ඩ් ගැන ඒ ඇති. ක්‍රිකට් මගෙ ප්‍රියතම ක්‍රීඩාව....ක්‍රිකට් ක්‍රීඩාව..අපේ කාලෙ ක්‍රිකට් ක්‍රීඩකයින්, රූපවාහිනී, ඉන්ටනෙට් ,යන්ට නෙට් ඔය මොකවත් නැතුව පරණ ට්‍රාන්සිස්ටර් රේඩියෝ එක කණ අස්සෙ ගහගෙන මහ රෑ දෙගොඩහරියෙ ක්‍රිකට් තරඟ විස්තර ප්‍රචාර අහපු හැටි වෙනම කියන්නං...හෙහ්, හෙහ් පඳුරු තලනවයි කියල ඔහොමත් තැලුවැහැක? නැද්ද මං අහන්නෙ....රයිට් අර එහා පංතියෙ ගානර් ගැන කියන්ට ආපු කතාව විතරක් කියල හිට ප්‍රධාන කතාවට බහින්නං... 

ගානර් දවසක් මොකක් හරි වැරැද්දකට මම අර කියපු සර්ට අහු උනා. උඩ පැනල ගහන්ට උනත් ඌ උස වැඩියි. සර් දෙතුං පාරක් ඔලුව උස්සල ඌ දිහාවෙ බලල උඩ පනින්ට වගෙ හැදුවලු. කොරිඩෝ එක දිගේම පංතිවල එවුං මීයාට පිම්බ වගෙ දැං කටවලුත් ඇරගෙන මේ සීන් එක බලාගෙන. සර්ටම හිතෙන්න ඇති උඩ පැනලත් මූට ගහ ගන්න බැරිඋනොත් හතර විළිලැජ්ජාවෙ පස් වෙනි එක කියල. 

" ගානර් , ගිහිල්ල අරං එනව පංතියෙං පුටුවක් " 

සර් නියෝග කලා..ඉතිං මොකෝ කොරන්නෙ? බෑ කියන්ටය....ගානර් ගිහිල්ල පුටුවක් ගෙනාව. සර් පුටුවට නැඟල ගැහුව ඌට. ඊට පස් සෙ බැස්ස බිමට.අල්ලෙං අල්ල ගසල දාල එහෙම හිනාවෙල බැලුව ගානරයගෙ මූණ. 

" හ්ම්..දැං ඔය පුටුව ආපහු තියල ගිහිල්ල ඉඳගන්නව පංතියෙං…" 

හරි ආපහු ප්‍රදාන කතාවට........තුන්වෙනි පීරියඩ් එක..අපිට ඕෆ්..ඊට දවස් දෙකකට විතර කලිං කොරිඩෝ එකේ ඉඳල අහුවෙලා දේයි දේයි ගාල කාපුවයි අර ගානර්ගෙ කේස් එකයි අපිට කාටවත් අමතක වෙලා තිබුනෙ එහෙම නෑ. ඒ නිසා කිසි කෙනෙක් එළියට නම් බැස්සෙ නෑ.. පංතිය ඇතුලෙම හතර පස් දෙනා වටවෙල කතා කරකර හිටිය. 

ඊට කලිං දවසෙ පැවැත්වුනු එංගලන්තෙ චන්දෙං මාගරට් තැචර්ගෙ නායකත්වයෙන් යුතු කොන්සර්වේටිව් පක්ෂය දිනලයි තිබ්බෙ. එංගලන්තෙ පළමුවන අගමැතිනිය....මාගරට් තැචර්.. 

අපි හතර පස් දෙනෙක් පුටු එහාට මෙහාට හරවාගෙන ඔය ගැන කතාකර කර හිටිය.දමිතයත් ඔය අතරෙ හිටිය. එක පාරටම අපිට තේරුණා දමිතයට තැචර් කියල පැහැදිලිව කියන්ට බෑ කියල.සමහර අයට ඒ වගෙ නොහැකියාවක් තියනව.සමහර අකුරු එක්කො හරියට උච්චාරණය වෙන්නෙ නෑ....අර බාල්දිය කියන්ට බෑ කියල කතාවක් තියෙන්නෙ දෙමළ අයට ....ඒ කතාව නම් බොරුවක් මම හිතන්නෙ. මම ලඟින්ම ආශ්‍රය කලා ඒ වගේම දැනුත් ආශ්‍රය කරනව දෙමළ අය. උංට යස අගේට බාල්දිය කියල කිව්වැහැකි. 

තව අයට තියනව පොඩි අප්සැට් එකක් සමහර අකුරු එක ලඟ යෙදෙන වචන හරියට කියන්න බෑ. තයන්න සහ චයන්න ඒ වගේ අකුරු දෙකක්. චතුමධුර කියල කිව්වට කියවෙන්නෙ චචුමධුර කියලයි.දමිත්ටත් තිබ්බෙ අන්න ඒ ලෙඩේ..ඌට තැචර් කියන්නෙ බෑ...කියවෙන්නෙම චැචර් කියල. 

ඕක මදැයි අපට....කෙනෙකුගෙ නොහැකියාවකට, අඩුපාඩුවකට හිනාවෙන එක, සමච්චලයට, සරදමට ලක් කරන එක කොහෙත්ම හොඳ වැඩක් නම් නෙවෙයි. ඒත් දන්නවනෙ ඔය වයසෙ එවුංගෙ හැටි.මොකද කරන්නෙ? එව්වයෙ හැටි එහෙම තමයි. එදා දවසම දමිතයට නිවනක් තිබුණෙ නෑ.. " ඒයි කවුද බං එංගලන්තෙ අලුත් අගමැතිනි? " කියල අහන එක විතරයි. ඌ පරල වෙනව දුම්මල වරම ගත්ත වගෙ. 

ඉස්කෝලෙ ඇරිල යද්දි ඕකා අපි පස්ස පාරෙ එළවගෙන ආවෙත් කවුරු හරි ඔය තැචර් කතාව ආයෙම උගෙං අහල...හෙහ්, හෙහ්, ඒකයි... 

හරි ඔන්න මාතෘකාව ..මාගරට් තැචර් මැතිණිය....බැරනස් මාගරට් තැචර්...අයෝමය කාන්තාව...  බ්‍රිතාන්‍යයේ ප්‍රථම සහ මෙතෙක් එකම අගමැතිණිය. 



ඇය බ්‍රිතාන්‍යයේ නායකත්වයෙන් ඉවත් වූයේ 1990 වසරේ. වසර 23 කට පෙර.ඒත් පසුගිය අප්‍රේල් 8 වෙනිදා ඇය මියගියහම බ්‍රිතාන්‍යයේ වීදිවල ප්‍රීති උත්සව පැවැත්වුනයි කියලයි ආරංචිය. දශක දෙකකට පස්සෙත් ඇය කෙරෙහි මේ තරම් වෛරයක් පවතින්න හේතුව මොකක්ද?...බොහෝවිට දේශපාලනඥයො අත්‍යාවශ්‍ය ඒත් ජනප්‍රිය නොවන ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන්නෙ නෑ. අර කතාවක් තියෙන්නෙ වැටකොළු වගේ කියල. වැඩි ගුණේකුත් නෑ..ඒත් අගුණත් නෑ..තැචර් අපරාදෙ කියන්න බෑ. අර නැළවිලි ගීතයක පදයක් මතකද ? වැනියන් කළු වැනීයන් කියල ....අන්න ඒ ජාතියෙ වැනි වැනි හිටපු අම්මණ්ඩියෙක් නම් නෙවෙයි මේ තැචර් .දෙන එක දුන්න ඇට්ටි හැලෙන්න.... ඇගේම වචන වලින් මෙහෙමයි.... 

" I am not a politician of consensus, I am a politician of conviction…….." 

1979 බලයට ඇවිල්ල ඇය කලේ මුලින්ම වෘත්තීය සමිතිවල බලය බිඳල දාපු එක.හිතුවක්කාර විදිහට වැඩ වර්ජනය කරමින් පොදු ජනතාව පීඩනයට පත් කිරීමට තමන්ට ශුද්ධවූ අයිතියක් තියනවය කියල තමයි ඔය වෘත්තීය සමිති නායකයො හිතාගෙන ඉන්නෙ. ඒක ලෝකෙ කොහෙත් වෙනසක් නෑ. ඉස්පිරිතාලෙට ගිහාම " අද ක්ලිනික් එක නෑනෙ ...දොස්තර මහත්තුරු ස්ට්‍රයික් " කියන කතාව අහල ආපහු හැරිල එන්න සිද්ද වෙච්ච මනුස්සයෙක්ම විතරයි ඒ වෙලාවට හිතට එන හැඟීම මොන වගේද කියල හරියටම දන්නෙ... 

මට එහෙම අත්දැකීම් තියෙනව මදියි නොකියන්ට.අපෙ අම්මට හෘදයාබාධයක් ආවා දැනට අවුරුදු විස්සකට වගෙ කලින්. මාසෙකට වතාවක් සායනයට ගිහිල්ල විශේෂඥ වෛද්‍යවරයට පෙන්නල බෙහෙත් ගන්න ඕන. සමහර වෙලාවට අම්ම එක්කලා යන්න කවුරුවත් නැතිඋනහම මම නිවාඩු දාල එනව බොහොම අමාරුවෙන් වැඩ එහෙට මෙහෙට ඇරේන්ජ්මන්ට් එකක් දාල. සායනය දවසට ගිහාම " වෛද්‍ය වැඩ වර්ජනය නිසා අද සායනය නොපැවැත්වේ " කියල කළු පාට ෆෙල්ට් පෑනකින් ලියාපු කාඩ් බෝඩ් කෑල්ලක් දොරේ එල්ලල තියනව දැක්කම ඉතිං ඉපදෙනව මැරෙනව පේන්නෙ නැතුව යනව. 

අනික බොහොම වෙලාවට ඔය වැඩ වර්ජන වලට හේතුබූත වෙල තියෙන්නෙ හොයාගෙන යනකොට මේ දෙකයි පණහෙ කාරණා.ඔන්න එක්කො දොස්තරලට වෙන් කරපු විවේකාගාරෙ කොටසක් හෙදියොන්ට දුන්නය කියයි. නැත්තං ලෙඩ්ඩුන්ට ඉන්ජෑසං ගහන වැඩේ කරන්ට ඕන හෙදියොද දොස්තරලද කියන අති බාරදූර පුරස්නෙ විසඳගන්ට බැරුව ..... 

මම ඔය බඳින්ට එහෙම කලිං වැඩ කලා මාතලේ සහ පොළොන්නරුව දිස්ත්‍රික්ක මායිමේ පිහිටි ප්‍රදේශයක කාලයක්. කිව්වම මොකද ඔය අපෙ අම්මණ්ඩි මට කොක්ක ගැහැව්වෙ ඒ කාලෙදිම තමයි. ඔය අපෙ බින්දි නෝන දන්නව යස අගේට ඒ පැත්ත ගැන. එයයි ඒ පැත්තෙ තමයි සයිකල් පදින්ට පුරුදු වෙන්ට ගිහිල්ල තියෙන්නෙ. සයිකල් පැදිල්ල කොහොම වෙතත් එරමිණියා පඳුරු අස්සෙ තමයි වැඩි හරිය ඉඳල තියෙන්නෙ සයිකලෙත් එක්කම. හෙහ්, හෙහ්,..රයිට් කියන්ට ආවෙ ඒක නෙවෙයි...එහෙ තිබ්බ ග්‍රාමීය රෝහලක්...ඕකෙ ඉස්තාන බාර වයිද්දිය තුමා අපෙ හොඳ බොක්කා.එයයි ඇවිල්ල ඒ. එම්. පී. කෙනෙක්. අර සහකාර වෛද්‍ය නිලධාරී කියන්නෙ. අන්න ඒ ගොල්ල. 

මිනිහ මත්පැන් පානයට බොහොම ප්‍රියයි. අපෙ අතීසාර මිත්තරයෙක් උනෙත් එහෙම සින් එහෙකිං තමයි.එයා ගැන කතා තියනව බර ගාණක්..ඔන්න එක දවසක් මිනිහගෙ ක්වාටස් එකේ අපි හතර පස් දෙනෙක් එකතුවෙලා පොඩි කර්මාන්තයක් කරනව ( කර්මාන්තය= මධු පානය ) ඕන්න දැං අර සිරුරෙං නිකුත්ව ආත්මය අවකාශයට පාව යන්ට ඔන්න මෙන්න තියන අවස්තාවෙ වගෙ අපි ඉන්නෙ ( Out of body experience කියන්නෙ මම හිතන්නෙ ඔය සීන් එකට වෙන්න ඕන.... මේ දවස්වල මව්බිමේද පියබිමේද කොහෙද යනව ඔය සූක්සම සරීරය, ඕකට කියන්නෙ මනෝසීල කාය කියල...ගැන ලිපි පෙලක්..මමත් ඉන්නෙ මගේ ඔය අත්දැකීං ගැනත් හොඳවයිං ලිපියක් ලියන්ට...කොහොමද අයිඩියානන්ද එක ? නරකම නෑ නේද?....හොඳම ශාස්ත්‍රීය ලිපියට ලැබෙන සම්මානෙ එහෙම හම්බ උනොත් එපා කියන්ටයැ...හෙහ්, හෙහ්,) 

කුවාටස් එකේ ඉස්සරහ තිබ්බෙ පළු හතරෙ දොරක්. වීදුරු දාල. එක වීදුරුවක් බිඳිල එක්ස් රේ කොලයක් දාල අලවල තිබ්බෙ. 

" අනේ දොස්තර මහත්තයෝ දොර අරින්ට......දොස්තර මහත්තයෝ ….." 

එක පාරටම අර දොර ගැලවිල වැටෙන සයිස් එකට කවුදෝ දොරට තඩි බානව..ගෑණු කටහඬක්... 

අපි ඔක්කොම ගැස්සිල ගියා.දොස්තර ගොයිය අපිට කිය කියල හිටියෙ එදා මිනිහ ගෙදර යන්ටයි හිටියෙ ඒත් හදිස්සි මොකක්ද වැඩක් යෙදිල යන්ට බැරිඋනාය ඒ නිසා වයිෆ් කතාකරල හොඳටම දොස් කිව්වය කියල. 

" අඩේ, ඔයනං අනිවාර්යයෙං උඹෙ වයිෆ්තුමී වෙන්නම ඕන. උඹ අ..අද ගි...ගියෙ නැතිනිසා ඔය හොයාගෙන ඇවිල්ල ති..ති...ඉයෙන්නෙ.." වචන පැටලි පැටලි මම කිව්ව… 

දොස්තර ගොයියටත් එකපාරටම හිතෙන්ට ඇති අඩේ එහෙමවත්දෝ කියල...ටිකක් වෙලා බලා හිටිය දොර දිහාවෙ..ආයෙම ඔන්න අර මර විලාපෙ.. 

" අනේ බුදු දොස්තර මහත්තයෝ........." 

" පිස්සුද යකෝ...ඒ අපෙ වයිෆ්ගෙ වොයිස් එක නෙවෙයි...අනික එයා ආවනං ඔහොම දොරට ගගහ ඉන්නෙ නෑ. කෙලින්ම දොර කඩාගෙන ඇතුලට එන්නෙ...හෙහ්, හෙහ්, " 

ඔය ක්වාටර්ස් එක තිබ්බෙ ඉස්පිරිතාලෙ වත්තෙමයි. ඔන්නම් වැඩිම උනොත් ඉස්පිරිතාලෙ ඉඳල යාර පණහක් ඇති. 

ආයෙම ඔන්න දොරට තඩි ගැහිල්ල. අර කැඩිච්ච වීදුරුව සර සර ගල හෙල්ලෙනව. කඩාගෙන වැටෙන්ට ඔන්න මෙන්න. 

" දැං අර වීදුරුවත් කඩාගෙන වැටෙනව. මචං ගිහිල්ල බලපං " එකෙක් කිව. 

" පොඩ්ඩක් නිදහසේ ඉන්ට දෙන්නෙ නැති හැටි අම්මප…" 

තොල මතුර මතුර ගිහිල්ල මිනිහ දොර ඇරිය. ඉන්නෙ කවුද කියල අපිට පේන්නෙ නෑ. ඒත් කටහඬ ඇහෙනව. 

" අනේ දොස්තර මහත්තයෝ මයෙ කෙල්ල වහබීල අනේ විගැහිං එන්ඩ ඔබ තුමාට බුදු බව අත්වෙයි…" 

දොස්තරත් එක්ක අපිත් ගියා ඒ වෙලාවෙ ඉස්පිරිතාලෙට...එතන ඒ වෙලාවෙ මරු වැඩක් උනේ...දැන් ඒ කතාව ඔක්කොම නම් කියන්න බැරියෝ. තැචර් නෝන ගැනනෙ අද කතා කරන්නෙ..ඒ කතාව වෙන දවසක හොඳද?....හරි දැං මේ අපෙ යාලු දොස්තර ගැන කතාව ඇදිල ආවෙ කොහොමද? හරි...වැඩ වර්ජන ගැන කතා කරද්දි නේද? 

ඒත් ඔය ඉන්ජෙක්සන් දෙන එක කාගෙ රාජකාරියද කියන ප්‍රශ්නෙකට දොස්තරලද ඒ.එම්.පී. ලද නේස්ලද මන්ද ඉස්ටැයික් කරපු කාලයක්. ඒත් අපි හවසක අපෙ යාලුව එක්ක කතාකර කර ඉන්නව ....මේ පාරනම් අපෙ ක්වාටර්ස් එකේ. මිදුලෙ තිබ්බ දාර සියඹලා ගහ යට පුටු තියාගෙන. 

" මේ ඉන්ජෙක්ෂන් දෙන එක කාටද අයිති කියන එක මහ කැඳ හැළියක් වෙලයි තියෙන්නෙ…" දොස්තර කිව්වා 

" මොනවද බං ඕක ඔච්චරම ප්‍රශ්නයක්ද?......මෙහෙම කරපං.." 

මම කිව්ව.....මගෙ අතිජාත මිත්‍රය... සුමනෙ කටකොණකින් හිනාවීගෙන මා දිහා බලා හිටිය. මිනිහ දන්නව මම මොකක් හරි කට කැඩිච්ච කතාවක් කියන්න යන්නෙ කියල. 

" කොහොමද කරන්න කියන්නෙ? " යාලු දොස්තර ඇහුව. 

" දැන් ඔය ප්‍රොෆෙෂනල් එතික්ස් එතනිං ගිහාම හිපපොටේමස් ප්‍රතිඥාව එහෙම අමතක කරල දාහං...." 

" මොකක්? මොන ප්‍රතිඥාව? " 

දොස්තරගෙ නලලත් එක්ක රැලිවැටිල.සුමනෙ තොල් විකාගත්ත. දොස්තරහෙ ප්‍රශ්නෙ නෑහුනු විදිහට මම දිගටම කතාකරගෙන ගියා…. 

" එව්ව ඔක්කොම අමතක කරල දාපං. දොස්තරලයි නර්ස්ගොල්ලොයි එක්ක කතා කරල උඹල බෙදාගනිල්ල සරීරයෙ අවයව. ඔන්න මෙහෙම කියමු. දොස්තරල ඉනෙං උඩ හරියට ඉන්ජෙක්සන් ගහනව... නර්ස්ල දණිහෙං පල්ලෙහාට. " 

" එතකොට අපි? " 

" ම්ම්..උඹල ඒ දෙගොල්ල අතරනෙ....උඹල ගහපල්ල ඉන්ජෙක්සං ලෙඩ්ඩුංගෙ පුකට.....හෙහ්, හෙහ්, " 

" උඹ මගෙං අහගන්ට එපා මොකවත්...." දොස්තර නැඟිට්ට පුටුවෙං.සුමනෙට හිනාව නවත්තගන්ට බෑ…. 

තැචර් නෝනා මහත්මය 1979 අවුරුද්දෙ බලයට එද්දි වෘත්තීය සමිතිවල අණසක මුළු සමාජය පුරාම පැතිරිල තිබුණා.ආණ්ඩුවට ආණ්ඩු කරන්න සිද්ද උනේ වෘත්තීය සමිතිවලට ඕන විදිහට. ලංකාවෙත් එහෙම කාලයක් තිබුන අවුරුදු හතලිහකට විතර කලින්. ඒත් 1980 න් පස් සෙ ඒ තත්වය වෙනස් උනා නැවත ආපසු හැරවිය නොහැකි ලෙස. 

වසරකට වැඩි කාලයක් පැවති බ්‍රිතාන්‍ය පතල් කම්කරුවන්ගෙ වර්ජනය 1985 දි අවසන් උනේ වෘත්තීය සමිති පරාජය වෙමින්.රාජ්‍ය ව්‍යවසාය පෞද්ගලික අංශයට පැවරීමේ තැචර්ගෙ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමට නම් වෘත්තීය සමිතිවල බලය බිඳ දැමීම අත්යාවශ්‍ය සාධකයක් උනා. 

ගෑස්, වානේ සහ තෙල් කර්මාන්ත, දුරකථන,ගුවන් තොටුපොල සහ බ්‍රිටිශ් එයාර්වේස් ගුවන් සමාගම ඇය රාජ්‍ය අධිකාරියෙන් ඉවත්කොට පෞද්ගලික කළමනාකාරිත්වය යටතට පත්කලා. විදුලිය සහ ජලය ඇගේ න්‍යාය පත්‍රයේ ඊලඟ අංගයන්. 

මහජන උපයෝගිතා සේවාවන් සැපයීම රාජ්‍ය අංශයට පැවරීම කෙතරම් අසාර්ථක සහ නාස්තිකාරී ක්‍රියාවක්දැයි වටහාගැනීමට ශ්‍රී ලංකාවේ රාජ්‍ය අංශයෙන් පවත්වාගෙන යන සේවාවන් තරම් අගනා නිදර්ශන තවත් නොමැති බව කිවයුතු දෙයක් නෙවෙයි.ඔබෙන් මගෙන් අයකරන බදු මුදලින් නඩත්තුවන යෝධ ශ්වේත හස්තීන් ගිල දමන්නේ රුපියල් බිලියන ගණනින්. 

ලංගම, දුම්රිය, විදුලි බල මණ්ඩලය, තෙල් සංස්ථාව ..මේ ඔක්කොම සුදු අලි. මේ පහුගියදා විදුලි බිල එක් වරම සීයට පණහකින් විතර වැඩි උනා. සම්පූර්ණයෙන්ම මේ කලේ විදුලිබල මණ්ඩලයෙ පාඩුව පරිභෝගිකයා පිටින් අරින්නයි. කෙලින්ම විදුලි බිලෙන් අපිට දරන්න වෙන අතිරික්ත වැයට අමතරව වක්‍රව බදු විදිහට විදුලිබල මණ්ඩලයෙ කාර්ය මණ්ඩලයට වැටුප් සහ අනෙකුත් පහසුකම් වලට බරපැන දරන්නෙත් අපිමයි. 

2012 දි විදුලි බල මණ්ඩලයෙ පාඩුව රුපියල් බිලියන 65 ( දළ ජාතික නිෂ්පාදනයෙන් 0.9% ) මේ ඛනිජතෙල් සංස්ථාව සහන මිලට තෙල් සැපයීමෙනුත් පසුව. අඩු මිලට තෙල් සැපයීම නිසා ඛනිජ තෙල් සංස්ථාවට දරන්නටවූ පාඩුව බිලියන 89ක් ( දල ජාතික නිෂපාදනයෙන් 1.2% ) එතකොට එකතුව ගත්තම විදුලි බල මණ්ඩලයේ සම්පූර්ණ පාඩුව රුපියල් බිලියන 154ක් ( ද. ජා. නි.යෙන් 2.1% )..කොහොමද සෙල්ලම? නරකම නෑ නේද?...අර කාලෙකට ඉස්සර රූපවාහිනියෙ ප්‍රචාරය වෙච්ච මැලිබන් ලෙමන් පෆ් ඇඩ් එක මතක වෙන්නෙ එහෙම නැද්ද? 

" කොහොමද කෑම?....." 

" අති විශිෂ්ටයි සර්...." 

මේකෙ ලස්සනම සීන් එක තමයි දැං අවුරුද්දකට හමාරකට ඉස්සර මේ සුදු අලියව වවාගෙන කන උදවිය ( විදුලි මල බංඩලේ සේවක පිරිස ) ඉස්ටැයික් කලානෙ වැඩි පඩි ඉල්ලල.කියල වැඩක් නෑ අම්මප, ඉනට වස්තරත් ඇඳගෙනනෙ ඔය මිනිස්සු ඔය වැඩේ කලේ...අන්තිමට මොකක් උනාද කියල නම් හරියටම මතකයක් නෑ...එවුං ඉල්ලපු ඔක්කොම නැතුව පොඩි ගානක් දුන්නද කොහෙද වගේ මතක.... 

මාත් එක්ක කාර්මික විද්‍යාල පාඨමාලාව කරපු මගෙ යාලුවො දෙන්නෙක්ම ඉන්නව විදුලි බල මණ්ඩලේ. එවුං හම්බ උනොත් මම බණින එකත් බනිනව පතුරු යන්ට.උං ඉතිං දාහක් හේතු කියනව. 

" මචං මෙහෙමයි අරමයි, අපි ගිවිසුම් ගහල තියෙන්නෙ විදුලි ඒකකයක් මේ ගානට ගන්නවයි කියල. එව්ව කලේ දේශපාලනඥයො අපිට කරන්න දෙයක් තිබුනෙ නෑ...බ්ලා..බ්ලා..බ්ලා…" 

මම උගෙං ඇහුවෙ මෙච්චරයි.... 

" එතකොට මට මේක කියපං...එහෙම දේවල් කරනකොට උඹල අසරණයි. හරි..හෙට විදුලි බල ඇමතිය කියනව විදුලි සේවකයින් ඔක්කොගෙම පඩිය 20% කපනව ආයෙම ලාභයක් ලබන කල්. ආ, එව්ව දේශපාලකයො ගත්තු තීරණ. අපිට කරන්න දෙයක් නෑ කියල උඹල කටයි පුකයි වහගෙන බලාඉඳියි එහෙනං....අනේ පලයං බං යන්ට..උඹල ඔක්කොම පහුවදා ඉඳල පාරෙ..උද්ඝෝෂණ, පිකටිං, පෙලපාලි, විරෝධතා ව්‍යාපාර ඔය ඔක්කොම කරයි ආයෙම මුලු පඩියම දෙනකල්...නෑ කියාපං බලන්ට..." 

ඌ මාත් එක්ක මාසයක් විතර කතා කලෙත් නෑ... 

" අනේ මන්ද..මම දන්නෙ නෑ ඔයාත් කියන්ට ඕන එකයි එපා එකයි ඔක්කොම කියනව ලබ්බ ගලේ ගැහුව වගෙ.." ඒ අපේ ප්‍රියාම්බිකාව 

" ඒ ඉතිං මගෙ හැටිනෙ අනේ... උපංගෙයි ගතිය අරින්ට බෑ කියනවනෙ බලි ඇරියත් හෙහ්, හෙහ්...." මම හිනාවෙනව. 

බිලියන 154 ක් අවුරුද්දකට පාඩු ලබන්න මොකක්ද හේතුව?....වෙන මොකවත් නෙවෙයි අකාර්යක්ෂමතාවය සහ ලැබෙන වැටුප කාර්ය සාධනයට ( Performance ) සමානුපාතික නොවීම. විදුලි බල මණ්ඩලය කොච්චර පාඩු උනත් සේවකයින්ට ලැබෙන වැටුප එහෙමමයි. ඒක අඩුවෙන්නෙ නෑනෙ සත පහක්වත්. දුම්රියත් එහෙමයි. ලංගමත් එහෙමයි. නිකමට හිතන්න පෞද්ගලික අංශයෙ සමාගමක් මේ විදිහට දුවන්න පුළුවන්ද? බැහැ...එතන වෙන්නෙ මේකයි. දිගින් දිගටම පාඩුව පියව ගන්න ක්‍රමයක් නෑ. එතකොට වෙන්නෙ පීනන්ට පුරුදු වෙන්ටම වෙනව. නැත්තං වෙන්නෙ ගිලිල මැරෙන්ට. 

රාජ්‍ය ව්‍යාපාර පෞද්ගලික අංශයට පැවරීමේ තැචර් නෝනගෙ ප්‍රතිපත්ති නිවැරදියි කියල ආය වෙන මොනවත් සාධක එහෙම ඕනද? 

ආණ්ඩුවක් බිස්නස් වලට අත ගැහැව්වයි කියන්නෙ අර අපේ කියමනක් තියෙන්නෙ හත් පලේ ගාගන්නව කියල ආන්න ඒ වගේම තමයි. 

සමාජවාදය කියන අන්තිමට සමාජවාදයෙ තෝතැන්න වුනු සෝවියට් දේශයටත් එපාම වෙල පන්නල දාපු න්‍යාය තාමත් හිස මත රඳවාගෙන වැඳුම් පිදුම් කරන උදවියට තැචර් නෝනගෙන් හම්බ උනේ නෑ කිසිම සමාවක්. 

“The problem with socialism is that eventually you run out of other people’s money,” she once said. 

තැචර් නෝන දකුණු අප්‍රිකාවෙ වර්ණභේදවාදී සුදු ආණ්ඩුවට සම්බාධක පැනවීමට විරුද්ධ උනා. ඒ නිසාම දකුණු අප්‍රිකාවෙ ඒ අම්මණ්ඩි කොහොමවත් ජනප්‍රිය නෑ. මේ දවස්වල දකුණු අප්‍රිකාවෙ සංචාරයක යෙදෙන එංගලන්තෙ මැන්චෙස්ටර් යුනයිටඩ් පාපන්දු කණ්ඩායම තමන් සහභාගිවෙන තරඟවලට ඉස්සර තැචර් නෝනට ගෞරව පිණිස විනාඩි දෙකක නිශ්ශබ්දතාවයක් ආරක්ෂා කරන්නට කලින් හිතුවත් පස්සෙ ප්‍රේක්ෂකයන්ගෙන් විරෝධතාවයක් මතුවෙයි කියල හිතල ඒ කල්පනාව අත ඇරල දැම්මයි කියලත් මම දැක්ක. 

ඇගේම රටේ ඇය වෙනුවෙන්ම නිර්මාණය වුනු ගීතයක් මේ…Maggie the Witch... 



ඇය බලාපොරොත්තු උනේ වෙහෙසව වැඩ කොට තම ශ්‍රමයට සරිලන ආදායමක් ලබාගැනීමට හැමෝටම සමාන අවස්තාවක් තියෙන සමාජයක්..ආර්ථික ක්‍රමයක්...ඒ වගෙ ක්‍රමයකට එකහෙලා කැමති අය මෙන්ම මෙතෙක් භුක්ති විඳි වරප්‍රසාද අහිමිවෙතැයි බියෙන් එවන් ක්‍රමයකට එකහෙලාම විරුද්ධ නොමිලේ අනුන්ගේ වියදමෙන් ජීවත්වන මිනිසුන්ද මේ ලෝකෙ ඉන්න බව අමතක කරන්න නරකයි. 

The Iron Lady ? May She Rest In Peace…………. 

වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ඇය අයෝමය කාන්තාවක්....තමන් නිවැරදියැයි පිළිගත් ප්‍රතිපත්ති වෙනුවෙන් හෘද සාක්ෂියට එකඟව සෑම මොහොතකම පෙනී සිටි ඇය අයෝමය කාන්තාවක්ම තමයි. 

Of course I well understand that many in Britain felt left behind by the economic and social revolution that Thatcher unleashed. But the entire point of Thatcherism as I understood it from far was to create conditions in which everyone could work hard and achieve their dreams.That is what I - and all of Ukraine's democrats - want for our country: a society of opportunity,under the rule of law and not under the thumb of cronies and oligarchs, in an open Europe.

- Yulia Timoshenko - twice prime minister of Ukraine, is a political prisoner since 2011

************************

සුබ නව වසරක් මගේ දයාබර සියළුම හිතවතුන්ට සහ හිතවතියනට...

29 comments:

  1. පඳුරු තැලිල්ල හරියට හැරී පොටර් පොත් තරම් දිගින් දිගට යනවා වගේ ...

    බ්‍රිතාන්‍ය බදු සල්ලි වලින් දුවන BBC තමයි ඔය වේලාවේ ඔය සිංදුවට තල්ලුවක් දුන්නෙ, ඒත් නොම්මර එකට ගියෙ නැහැල්ලු.

    කොච්චර සමාජවාදී වෙලා ද කියනවා නම් දැන් බ්‍රිතාන්‍යයන්ට මෙහෙම වැඩක් කරන්නත් ඉල්ල ගන්න වෙලා තියෙන්නෙ ඇමෙරිකාවෙන් සිංදුවක්නෙ රවී!!! මේකෙ නිර්මාතෘ E. Y. Harburg.

    ReplyDelete
    Replies
    1. / පඳුරු තැලිල්ල හරියට හැරී පොටර් පොත් තරම් දිගින් දිගට යනවා වගේ … /

      හෙහ්, හෙහ්, බොහොම අමාරුවෙං කොන්ටෝල් කොරගත්තෙ අරුණි මේ ගානට. ෆෝක්ලන්ඩ්ස් යුද්දෙ ගැන ලියන්ට තිබ්බ තව මාගලක් තරම..1982 ...රූපවාහිනී ආව අලුතනෙ..යුද්දෙ ගැන දෙමල ප්‍රවෘත්ති බලල සිංහල එකත් බලල රෑ 9.30 ට ඉංගිරිස් එකත් බලලයි මම නිදාගන්නෙ.ඒ කලෙ හිටිය English Announcersල තමයි Announcersල. උච්චාරනය එහෙම ආය නෑ..Noeline Honter, Wijayalakshmi Martenstyn, Bernedette De Silva.... ආන්න නිවේදිකාවො....මම ෆෝක්ලන්ඩ්ස් ගැන ලියන්න ගියානං ඔය කට්ටිය ගැනම ලියන්න වෙනව. ඒ නිසා තැචර් නෝන මහත්තැංගෙ Falklanda Adventureඑක සම්පූර්ණයෙන්ම අතඇරලම දැම්ම.

      / බ්‍රිතාන්‍ය බදු සල්ලි වලින් දුවන BBC තමයි ඔය වේලාවේ ඔය සිංදුවට තල්ලුවක් දුන්නෙ, ඒත් නොම්මර එකට ගියෙ නැහැල්ලු./

      මට නම් බී.බී.සී. එක එහෙම කලාය කියල කිසිම වරදක් පේන්නෙ නෑ.ඔය Ding Dong the Witch is Dead ගීතය දෙවෙනි තැනටයි ඇවිත් තියෙන්නෙ.බී.බී.සී. ආයතනය Witch ගීතය තත්පර හතක් පෙන්නල තැචර්ට පක්ෂ ගීතයක් සම්පූර්නයෙන්ම වාදනය කලයි කියල මේ වාර්තාවෙ තියනව. එහෙම කරපු එකත් වැරදියි කියලයි මම නම් කියන්නෙ. තැචර් විරෝධීන්ට තම මතය ප්‍රකාශ කරන්න පූර්ණ නිදහස අනිවාර්යයෙන්ම තියෙන්න ඕන.තැචර් විරෝධීනුත් බදු ගෙවනවනෙ.අනික කෙනෙක් මිය ගියාම ඒ මනුස්සය කරපු වැරදි ( මෙතන මම අදහස් කරන්නෙ තැචර් විරෝධීන්ගෙ මතය අනුව ) ඔක්කොම ඒ මොහොතෙම අහෝසි වෙන්නෙ නෑනෙ. මැරුණට පස්ස්é උනත් විවේචනය කිරීමේ නිදහස තියෙන්න ඕන.

      Delete
    2. මෙන්න ෆෝක්ලන්තය යුද්දය ගැන පොඩි ඇඩ් එකක්.. ( මෙතන නිකන් ඇඩ් දාන්න දෙනවා නේද රවී මහත්තයො ? :D )

      Delete
    3. @ සෙන්නා,

      නෝ ප්‍රොබ්ලම් ඇටෝල්..මේක ඇවිල්ල නිදහස් සිතුවිලි...:)

      Delete
  2. මගේ යාලුවෙක් ඉන්නවා රත්නපුරේ ඉන්ජිනියරිං ඇසිස්ටන් සිලෝන් ඉලෙක්ටික් බෝඩ්...
    මිනිහා අලව්වෙ තිබුන වෙඩින් එකකටයි කුරුණෑගල තිබුන වෙඩින් එකකටයි දෙකටම ආවෙ මිනිහගේ කන්තෝරු වාහනෙන්....
    අම්පාර වැඩකරන උන් කොළඹ මල ගෙවල් වල එන්නෙත් සී ඉ බී වාහන වල....අද කාලෙ තෙල් මිල එක්ක බැලුවාම කොච්චර පාඩු වැඩක්ද ඒක...ඒවගේ දේවල් මිනිස්සුන්ගේ ජාන වලටම ගිහින් පයිත්තියං වෙලා...

    කොහොම වුනත් මං දෙයක් ඉගනගත්තා මේ ලිපියෙන්..ඉස්තූතියි..තව කියවන්න ඕනි තැචර් මැතිනිය ගැන..

    ReplyDelete
    Replies
    1. .//ඒවගේ දේවල් මිනිස්සුන්ගේ ජාන වලටම ගිහින් පයිත්තියං වෙලා...//
      පයිත්තියන් ද පත්තියන් ද? :D

      Delete
    2. @ අමිල,

      ස්තූතියි අමිල....:) :)

      මෙහෙම පාඩුවකුත් ලබද්දි මෙන්න බලන්න මෙයාල කරන වැඩ...

      මේ වර්ෂයේ විදුලි බල මණ්ඩලයෙ බිලියන 268 ක මුළු වියදම් ඇස්තමේන්තුවෙන් බිලියන 33ක් ( 12% ) අනවශ්‍ය වියදම් කියල මහජන උපයෝගිතා කොමිසම විසින් කපා හැරල. මෙයින් බිලියන 5 ක් අනවශ්‍ය මූලධන වියදම් ( Unnecessary Capital Expenditure ) සහ බිලියන 6 ක් විදුලිය සැපයුමට අදාල නොවෙන වියදම් හැටියටයි වර්ග කරල තියෙන්නෙ.

      අර දෙවෙනියට කියාපු බිලියන හයෙන් තමයි ඔය ඔයා කියපු මඟුල් ගෙවල් වලට නිල වාහන වලින් යන්න සල්ලි වෙන් කරල තියෙන්නෙ...

      Delete
    3. @ එදිරි,

      මම හිතන්නෙ විදුලි මල බංඩලය ගැන කියනවනම් එවුං ඔක්කෝටම පයිත්තියං පත්තියං වෙලා වගෙයි පේන්නෙ..:)

      Delete
  3. තැචර් නෝනා ලන්කාවටත් ආවනේ එකදාස්නවසීය අසූ ගනන් වල ජේ .ආර් ලොක්කගේ කාලේ . ඒ මහවැලි කේන්ද්‍රය හා වික්ටෝරියා වේල්ල විවෘත කරන්න .එතකොට මහවැලි ඇමති ගාමිණී දිසානායක මහත්තය .බොහොම ඉහල රාජ්‍ය තාන්ත්‍රික පිලිගැනීමක් දුන්නලු තැචර් නෝනට ඔය උස්සවේදි .එන්ගලන්තෙන් පොදුරාජ්‍ය මණ්ඩලේ රටකට මෙතෙක් කාලෙකට දුන්නු සන්වර්දන වැඩ උදෙසා වන වැඩිම මුදල් ප්‍රදානය කරල තියෙන්නෙත් තැචර් නෝනගේ කාලේ වික්ටෝරියා වේල්ල හදන්නලු .

    මුන්දෑ ඩවුනින් වීදියේ අගමැති ගෙදර හිටියෙත් හරි අර පිරිමැස්මෙන් කියන්නේ .ත්‍රස්තයොන්ට එහෙමත් කිසි සමාවක් නොදුන්න කෙනෙක් කියායි කියන්නේ . උන්දැ මලා වුනත් අයි ආර් ඒ කාරයො බොහොම විවේචනේ කලාලු නේ එයාගේ ඒ කලේ වැඩ පිලිවෙල .

    ReplyDelete
    Replies
    1. / තැචර් නෝනා ලන්කාවටත් ආවනේ එකදාස්නවසීය අසූ ගනන් වල ජේ .ආර් ලොක්කගේ කාලේ . ඒ මහවැලි කේන්ද්‍රය හා වික්ටෝරියා වේල්ල විවෘත කරන්න . /

      හප්පා..ජේ.ආර් ලොක්ක මොකෝ ඉතිං?....දෙන්ට ඇති ඇට්ටි හැලෙන්ට...අඩේ Mahaweli Horoscope එක විවුර්ත කලේ තැචර් නෝනයි කියල මම දැනගෙන හිටියෙ නෑනෙ....වික්ටෝරියා වේල්ල විවුර්ත කලේ නම් උන්දැකියල මට මතකයි. ඒ කරල ඒකෙ හොරොව්ව ඇරල තැචර් නෝන එංගලන්තෙ කොඩියෙං මහපු දිය රෙද්දක් සහ ජේ. ආර්. සිංහ කොඩියෙං මහපු සෝටක් ගහගෙන නෑව ඒ දවස්වල රූපවාහිනියෙ පෙන්නුව ලයිව්....

      / .එන්ගලන්තෙන් පොදුරාජ්‍ය මණ්ඩලේ රටකට මෙතෙක් කාලෙකට දුන්නු සන්වර්දන වැඩ උදෙසා වන වැඩිම මුදල් ප්‍රදානය කරල තියෙන්නෙත් තැචර් නෝනගේ කාලේ වික්ටෝරියා වේල්ල හදන්නලු . /

      මෙතන පොඩි නිවැරදි කිරීමක් කරන්න ඕමනයි ( ඕමනයි ..කාගෙ වචනයක්ද කියල මතකද? ) වික්ටෝරියා වේල්ලට මූල්‍ය ආධාර අනුමත උනේ 1978 දි. ඒ වෙනකොට තිබ්බෙ කම්කරු පක්ෂෙ ආන්ඩුවක්..අගමැති ජේම්ස් කැලහන්..1979 දි තැචර් බලයට ඇවිල්ල වියදම් සෑහෙන්න අඩුකරපු වෙලාවෙ ඔය වික්ටෝරියා වේල්ල ගැනත් ප්‍රශ්නයක් ආවයි කියල කියනව. ඒ වෙලාවෙ ගාමිණී ගොයිය තමයි එංගලන්තෙට ගිහිල්ල කතා කරල වැඩේ කරව ගත්තයි කියල කියන්නෙ.

      " Why should we give you this huge amount as a grant? Just give me one good reason…" ඒ වෙලාවෙ තැචර් ඇහුවලු.

      " When considering all the wealth you took out from my country for 150 years this is just peanuts " කියල ගාමිණි කිව්වයි කියල කියනව.

      Delete
  4. රවීටත් පවුලේ හැමොටමත් සුභ අළුත් අවුරුද්දක්..
    පෞද්ගලීකරණය කියන්නේ මෙහේ කට්ටිය මර බයේ හැංගෙන වචනයක්නේ..!!
    වෙන මොනවටවත් නෙවි වැඩ කරන්න තමයි ඔය රාජ්‍ය සේවකයෝ බය...

    ReplyDelete
    Replies
    1. පෞද්ගලීකරණය කියන වචනෙ ඇහෙනකොටත් මිනිස්සුන්ගෙ බොක්ක රත්වෙන්ට හේතු කීපයක් තියනව. එකක් මාක්ස්වාදීන් මේ වචනෙට දීල තියෙන භයංකර අර්ථකථනය. අනික් ප්‍රධාන කාරණාව මම දකින විදිහට ඔය කිසි කෙනෙක් හරියට පෞද්ගලීකරණය කලේ නෑ. හැමෝම කලේ පෞද්ගලීකරණය මුවාවෙන් තමන්ගෙ හෙංචයියලට කීයක් හරි කුට්ටියක් හොයාගන්ට අවස්ථාව ලබාදුන්නු එක. පෞද්ගලීකරණයෙන් නියම ප්‍රශස්ත ප්‍රතිඵල ජනතාවට ලැබෙන්ට නම් හැමෝටම සමාන අවස්ථා සහ සාධාරණ ක්‍රීඩා පිටියක් ( ඉංගිරිසියෙන් A level playing field කියන්නෙ ) සහ නීතිය හැමෝටම සාධාරණව ක්‍රියාත්මක වෙන තත්වයක් ඇතිකරන්න ඕන. ලංකාවෙ ඔය එකක්වත් කවදාවත් තිබ්බද?...තියනවද?

      ඔබටත් රූ..සහ පවුලේ සැමටත් සුබ නව වසරක්!!!

      Delete
  5. මැගී නෝනා එකපාරක් ආණ්ඩුකරලා ගෙදර යන්ට තිබුන එක අනිත් පැත්ත ගැහුවෙ ෆෝල්ක්ලන්ඩ් යුද්ධෙදි පෙන්නපු එඩිතර කෙලින් වැඩකිරීමේ ගතිය නිසා තමා.. ආන්න නායකයො, හිත හිතා හිටියෙ නෑ සාම සාකච්ඡා කරමුද, ගිවිසුම් ගහමුද කියලා.. කෙලින්ම හමුදා යැවුවා, ගැහුවා..

    උන්දැගෙ සමහර වැඩ ගැන 100%ක් එකඟ වෙන්ට බැරිවුනත්, උන්දෑ යකඩ ගෑනියෙක්ම තමා.. මුන්දෑ දවසකට නිදාගත්තෙ පැය 4-5ක් විතර කියනවා.. මහ රෑ වෙනකං ඇහැරලා ඉඳලා ආයෙමත් පහුවෙනිදා පාන්දර නැගිටිනවලු වැඩ පට්ටාං ගන්ට.. රාජ්‍ය නිළධාරින්ට එපා වෙලා ඉඳලා තියෙන්නෙ.. වැඩේ කියන්නෙ මුන්දැගෙන් පස්සෙ පත්වෙච්ච අගමැති ජෝන් මේජර්ටත් මල ලු, ඇයි නිදාගන්නෙ නැති අගමැති කෙනෙක් එක්ක වැඩ කරලා පුරුදුවෙච්ච නිළධාරි මණ්ඩලයක් ඉන්නකොට බුවාටත් හරියට නිදාගන්න නැහැල්ලු.. :)

    පලි: අඩේ රවි, ඔය සින්දුව මැගි නැන්දට ගහපු එකක් නෙවෙයි.. Wizard of Oz ෆිල්ම් එකේ සින්දුවක්..

    පපලි: බිග් බර්ඩ් ‍ගෙන් පස්සෙ ආපු නිව් බර්ඩ් ගැන දන්නවද.??

    ReplyDelete
    Replies
    1. / ඇයි නිදාගන්නෙ නැති අගමැති කෙනෙක් එක්ක වැඩ කරලා පුරුදුවෙච්ච නිළධාරි මණ්ඩලයක් ඉන්නකොට බුවාටත් හරියට නිදාගන්න නැහැල්ලු.. :) /

      පේමදාස ගොයිය මතක් උනා.

      එයයිත් ඔය පාන්දර තුනට ඇහැරෙන කෙනෙක්නෙ.ජටාවකුත් බැඳගෙන මිනිහම ගිහිල්ල සුචරිතේ ඉස්සරහ පත්තර ලෑල්ලෙං පත්තර මිටියම අර ගන්නවලු. ඊට පස් සෙ මොනවද ආය එකෙකුටවත් නෑ නින්දක්...පත්තර බල බල අහනව මොකද මේ පත්තරේ තියෙන්නෙ?එහෙම උනේ කොහොමද? මෙහෙම කරන්ට බැරිද? රටේ නැති එව්ව.

      එක අද්දියස්ස කෙනෙක් මේ මල වදෙං බේරෙන්ට කෙරේමයක් හොයා ගත්ත. පේමදාස ගොයිය අහන අහන පාරට වයිෆ් කියනව මිනිහ ටොයිලට් එකේ කියල. තුං හතර දවසක් මේ වැඩේ මෙහෙම උනා. ඔන්න එක දවසක් මනුස්සය වැඩට ගිහිල්ල. නෝන විතරයි ගෙදර. ටෙලිකොම් එකෙන් ආවලු දෙන්නෙක්. " නෝන කොහෙද මහත්තය පාවිච්චි කරන ටොයිලට් එක? " කියල ඇහුවලු. නෝනත් අනේ පෙන්නුවලු. එවුං දෙන්න සාලෙ තිබිච්ච ටෙලිපෝං එක ගලවං ගිහිල්ල ටොයිලට් එකේ හයි කරල යන්ට ගියාලු...:)

      / පලි: අඩේ රවි, ඔය සින්දුව මැගි නැන්දට ගහපු එකක් නෙවෙයි.. Wizard of Oz ෆිල්ම් එකේ සින්දුවක්.. /

      අඩේ ඒකනෙ බාං..මම හිතාගෙන හිටියෙ මැගී ලොක්කිටම හදාපු එකක්ය කියල....ස්තූතියි දැනුවත් කිරීමට

      / බිග් බර්ඩ් ‍ගෙන් පස්සෙ ආපු නිව් බර්ඩ් ගැන දන්නවද.?? /

      ම්ම්ම්..එහෙම නම් දන්නෙ නෑ. ඒත් උඹ කියන්නෙ Pigeon ගැනද?

      Delete
    2. new bird නැත්තම් little bird කියන අන්වර්ථ නමෙන් හැඳින්වුනේ කර්ට්ලි ඇම්බ්‍රෝස්වයි.. ගානර් වගේම උස (ඇම්බ්‍රෝස් 6'7"ක්) නිසාත්, ඒ වගේම පන්දු යැවීමේ රටාවත්, ගානර් ටීම් එකෙන් සමුගන්න කොට ඒ තැන ගන්ට ආවේ ඇම්බ්‍රෝස් නිසාත් තමා මේ නම වැටුනෙ..

      පලි: ගානර්ට big bird කියන නම වැටුනෙ sesame street එකේ ඉන්න big bird අනුව කියලය තමා මාත් මුලදි හිතන් උන්නෙ.. ඒත් පස්සෙ කාලෙක දැනගන්ට ලැබුන විදියට මේකට මුල් වෙලා තියෙන්නෙ ජැමෙයිකාවට ආවේනික, doctor bird කියන කුරුල්ලෙක්ලු.. උගේ පිටිපස්සෙ තියෙන දෙකට බෙදුන දිග පෙඳය හරියට මිනිහෙක්ගෙ දිග කකුල් දෙකක් වගෙලු.. :)

      The Doctor Bird - National Bird of Jamaica

      Delete
  6. මචං ඕකට අපි නම් කිව්වේ හුරේ රන් ෆෝ ඩියර් ලයිෆ් කියලා. එතකොට උප්පැන්න හොයන්න ඕනෙ නෑ කවුරු වගේ දිව්වද කියලා. අර අනිත් කෑල්ලනම් හරිම නොහොබිනා විදියට You weren't even in your ol' man's... ඔය ක්‍රිකට්, රගර්, ෆුට්බෝල් නෙට්බෝල් වගේ ක්‍රීඩාවට පාවිච්චි කරන ක්‍රීඩා උපකරණයක් සඳහන් කරනවා.

    අඩේ අපේ ක්‍රාෆ්ට් චීස් මතක් වෙන සර්ට උඹලා අනං මනං කියන්ඩෙපා අරිද?

    මට පන්තියකට යන්ඩ තියෙනවා. හිටිං මම එනවා.

    ReplyDelete
    Replies
    1. හෙහ්, හෙහ්. මරු කතාවක් මතක් උනා බාං..ඒත් කරුමෙය කියන්නෙ මට මතක් වෙන බොහොමයක් කතා මේ වගෙ මේ ඊයෙ පෙරෙයිද කිරි බෝතලෙං ඇරිච්ච තාම කණේ සබං නොගිය කිරි සප්පයො ගැවසෙන තැංවල කියන්ට පුලුවං එව්ව නෙවෙයි. තෙලස්ට්‍රෝ වාගෙ නං ඔන්න නෝ ප්‍රොබ්ලම්. පොඩ්ඩක් එහෙම් මෙහෙං කියන්නං..මේක මේ මෝහනයක් ගැන. මෝහනේ කොරල අතීතයට ගෙනියන්ට පුලුවන්ය කියල කියනවනෙ. අහල තියෙනව නේද?....ඔන්න උඹම කියමුකො.ටිකෙං ටික උඹ ගෙනියනව අතීතයට. ඔන්න උඹ කරපු වැඩ ඔක්කොම එකිං එක ආයෙම කරනව. ( අම්මට උඩු එහෙමනම් බෑ. මලාට මම නං ඉඩ දෙන්නෙ නෑ.. නෑමයි මාව මෝහනේ කරන්ට...නැද්ද හෙන්රි? )

      හෙන්රි..ඔබ දැන් මව්කුසේ...කියනකොට ඔන්න උඹ වකුටුවෙලා අර දරුවා අම්මගෙ බඩේ ඉන්නෙ ඒ විදිහට ඉන්නව. ඔන්න තවත් අතීතයට අපි යනවා..ඔබේ කලලයට වයස දැන් මාස හතයි. හයයි...පහයි...හතරයි..තුනයි..දෙකයි..එකයි..සති දෙකයි..සතියයි..දවස් හයයි..පහයි..හතරයි..තුනයි..දෙකයි. දැන් එක දවසයි...හරි අපි තවත් අතීතයට යමු.....

      " අම්මට උඩු මේ මොකද මේ?..."

      මෝහන විසේසඥය කෑගැහැව්ව නෙවෙයි පොරට කෑගැස්සුනා. ඒ හෙන්රියගෙ ඊලඟ ඉරියව්ව දැකල....රයිට් අවදිකරන්ට බලන්ට ඔහෙලගෙ පරිකල්පන සක්තිය ( එහෙම උලව්වක් තියේනම් ) කියමු බලන්ට අතිගරු මිස්ටර් මෝහන් රාජ් දැක්කෙ මොකක්ද කියල..හෙහ්, හෙහ්

      Delete
  7. කොයිකට කොමෙන්ට් කරන්නද මන්දා . අපොයි ඔව් එදායින් පස්සේ මන් නෙමේ ඔය සයිකලෙකට ගොඩ වුනේ .

    හෙන්රියා කිවා වගේ අපේ කෙල්ලෝ ඉංග්‍රීසියෙන් දුවන්නේ ''running for life '' අපි දිව්වේ පන කඩාගෙන . බලාගෙන ගියහම කොයි බාසාවෙත් ඔයවගේ බේසික් එව්වා සමානයි .

    විහිළුවෙන් වුනාට අර රාජ්‍ය ආයතන ගැන කියපු ටිකට නම් කටේ උම්බලකඩ දාන්න ඕනේ . තැචර් නෝනා ගැන නම් මන් මුකුත් කියන්න දන්නේ නැහැ . අපොයි එංගලන්තේ සුද්දා ඔච්චර කල් පරණ කොන්තර තියාගෙන ඉන්නවද , බලන්න අපි එහෙමද .සුමාන දෙකයි

    ReplyDelete
    Replies
    1. / අපොයි එංගලන්තේ සුද්දා ඔච්චර කල් පරණ කොන්තර තියාගෙන ඉන්නවද , බලන්න අපි එහෙමද .සුමාන දෙකයි /

      ඒකනෙ බාං..සුද්දො උනත් මහ මෝඩයො නැද්ද?..ඉන්ට එපාය මේ අපි වගෙ....දැං බලාපං කරුණා..පිල්ලයාං...කේ.පී....ඒ කාලෙ මොනව කලත් අපි එව්ව අමතක කරල ඉන්න අපූරුව...අරංතලාවෙ හමුදුරුවරු මැරුවෙ කරුණගෙ ඕඩර්ස් වලටය කියලම කියමුකො.ඒ පොඩි පොඩි කේස් වගේද මේ ආස්චර්යයට යන ගමන?.....මේ ගමන යන්ට බෑ ඔය පරන එව්ව අමතක කරල ඔක්කොම එකට අත්වැල් බැඳගන්නෙ නැතුව. කරුණ එක්ක යස අගේට ඔය උරෙං උර ගැටී ඉන්නෙ පාරලිමේන්තුවෙ මේදානන්ද, රතන ඔය ඔක්කොම.අමතක කරනවයි කිව්වට හැබැයි ඒ අව් අස්සෙ අරන්තලා ගාතනේ ගැන සිහිවටන හදල තියන්ටත් ඕන මතු පරපුරට දැකගන්ට......කාට කියන අවනඩුද මෙව්ව..හෙහ්, හෙහ්,

      ඒ උනාට ඔය අමතක වෙනවයි කියන එක විහිලුවට වගෙ කිව්වට අපෙ අතීතයෙ දුක් වේදනා අපිට වෙච්චි අසාදාරන ඔක්කොම ගලේ කෙටුව වගෙ හිතේ පැහැව පැහෑ තියාගන්න එකත් එක අතකට සෙල්ලං කෙලියක් එහෙම නෙවෙයි. පිස්සු හැදිල බේරුනොත් ලොකු දෙයක්... Let Go කියල කියන්නෙ..අන්න ඒක...අත්හැරීම....බුදු දහමේ එක මූලික සංකල්පයක්....

      මම කියවපු අපූරු කෙටි කතාවක් ගැන කියන්නද?

      All the troubles of the world - Issac Asimov

      අනාගතයෙ මුලු ලෝකෙම පාලනය වෙන්නෙ එක් සුපිරි කම්පියුටරයකින්..නම මල්ටිවැක්.....මිනිස්සුන්ගෙ සියලුම ආර්ථික සමාජීය ගැටලු වලට විසඳුම් දෙන්නෙ මේ සුපිරි පරිගණකය.

      අන්තිමට මල්ටිවැක් ගෙන් මෙහෙම අහනව......

       "Multivac, what do you yourself want more than anything else?"

      Multivac's answer is succinct and unequivocal: "I want to die." ..මල්ටි වැක් උත්තර දෙන්නෙ එහෙමයි.

      මතකය අමතක කල නොහැකි වුවහොත් අපිටත් වෙන්නෙ ඒ ටිකමයි....

      Delete
  8. අර ඉස්පිරිතාලෙ වෙච්චි මරු වැඩේ කවද කියයිද දන්නෙ නෑ නේද....ඒකත් වාං පතුල් වගේ වෙයිද.

    ReplyDelete
    Replies
    1. මටත් අහන්ඩ තියෙන්නෙ එච්චරයි??

      Delete
    2. හරි බං ඉඳහල්ල...ඒ කතාව කියන්නං විගැහිං.......ඔය දොස්තර ලොක්ක ගැනත් තියනව කතන්දර බර ගානක්...ඔක්කොම කියමු..ඔක්කොම කියමු..:) :)

      Delete
  9. මැඟී නැද්දා 1985 වික්ටෝරියා වේල්ල විවෘත්ත කරන්න අවුරුදු කටේ ලංකාවට ආවා, තාත්තලගෙ ගමේ යන්න ලෑස්තිවෙලාත් ටීවී එකට ඇලිලා හිටපු පොඩි එකෙක්ට තාම මතකයි..

    ප්‍රජාතන්ත්‍රවාදය කියලා කියන්න බැරි ජනාධිපති ඉන්නෙ මොන රටේද ?

    එංගලන්තෙ උන්ට මාර තරහක්නෙ උන්දැ එක්ක තිබිලා තියෙන්නෙ..අපේ එක්කෙනම්, එයයි දෙන්නම එකයි බලන් ගියාම.

    මේ ලිපිය දැක්කනම් උන්දැ මළවුන්ගෙන් නැගිටිනවා සුවර්ම සුවර්.. :D

    ReplyDelete
    Replies
    1. / ප්‍රජාතන්ත්‍රවාදය කියලා කියන්න බැරි ජනාධිපති ඉන්නෙ මොන රටේද ? /

      ජනාධිපති ඉන්නෙද හිටියෙද?.....එහෙම ජනාධිපතියෙක් හිටපු රටක් නම් දන්නව...උන්දැගෙ තිබ්බ වෙනම වාග්කෝෂයක්..

      රෝහණ විජේවීර = රොහාන් විජේවීර
      පෘතුගීසීන් = පෝචුගීන්
      මැතිවරණ = මන්ත්‍රී තරඟ
      උවමනායි = ඕමනයි

      Delete
    2. ඇයි අප්පා ඔය දැන් ඉන්න එක්කෙනාටත් බෑනෙ.. ප්‍රජාචන්ත්‍රවාදය කියලනෙ උන්දැ කියන්නෙ..

      Delete
  10. ගුණත් නෑ අගුනත් නෑ කියන්නේ වැටකොළු නෙමෙයි පතෝල නේද? අනේ වැටකොළු වලට මුකුත් කියන්න එපා. කොච්චර රහ කාමක්ද

    ReplyDelete
    Replies
    1. අඩෙ අප්ප..ඇත්තම නෙවෙන්නං..පතෝල තමයි..පතෝල තමයි..ස්තූතියි සයුරි..වරැද්ද පෙන්නල දුන්නට...අම්මප ..වැටකොළු කියන්නෙ මගෙත් ප්‍රියතම කෑමක්...

      අනික මට තියනව වැටකොළු කොසු තුනක් නාද්දි ඇඟ අතුල්ලන්ට..හෙහ්, හෙහ්,

      Delete
  11. අද දින පඳුරු තැලීමේ කර්තව්‍යය නිසියාකාරව සිදුවූ බවක් නොපෙනේ!!
    පාඨක චිත්ත සන්තානය අඳුරේ හෙළමින් සිතාමතාම දොස්තර සිද්ධිය මග දමා මූලික කතාවට එකවර පැනීම බලවත් වරදකි!!

    ReplyDelete
    Replies
    1. කොන්දේසි විරහිතව වරද පිළිගනිමි, සමාවුව මැන!!!

      ඒ අක්‍රමිකතාවයට තුඩුදුන් හේතු කාරනාවන් මෙසේය. අයෝමය කත පිළිබඳව මතක සැමරුම අනපේක්ෂිත ලෙස බොහෝ සේ දීර්ඝ විය. වස පානය කිරීමේ කථා වස්තුවද මෙහි ලා පැවසූයේ නම් තැචරාභිධාන උක්ත මැතිණිය පිළිබඳ ලිවීම සම්පූර්න කල නොහැකි වීමට බොහෝ සේ ඉඩ තිබිණි.කෙතරම් ගොමු තැළීමෙහි යෙදුනේ වී නමුදු ප්‍රධාන මාතෘකාව අනිවාර්යයෙන්ම මතකයෙහි තබාගත යුතුමය

      ඒ දවස්වල අපි කැලේ ඉන්න කාලෙ ටවුමට ජීප් එකක් යනව කියන්නෙ ඉතිං ඉහේ මල් පිපුන වාගෙ. ඔක්කොමල බලන්නෙ මොන මොනව හරි හේතු කියල ඒකෙ පැටවිල ටවුමට යන්ට.

      ඔන්න අපෙ එකෙක්ට සහලවාල උණ. මැලේරියාව.ලොක්ක කිව කදුරුවෙල ගිහිල්ල බේත් අරං එන්නෙයි කියල.ඌ හිටපු ක්වාටස් එක තිබ්බෙ කෑම්ප් එකේ කෙලවර.ඔන්න එතනට ජීප් එක ආවයින් පස්සෙ දෙන්නෙක් අරකව වත්තං කරගෙන ආව නඟින්ට.මොන නැඟිල්ලක්ද? ඇඟිල්ලක් ගහන්ට නෑ ඉඩක්..කදුරුවෙල යන ආරංචියට කෑම්ප් එකේ හිටපු කොල්ලොයි බල්ලොයි ඔක්කොම පැටවිල ජීප් එකට.

      ඔක්කොමත් හරි ලස්සනම වැඩේ කියන්නෙ..එකෙක් ජනේලෙං ඔලුව දාල කියනව…..

      " මචං මේකෙ මේ පොල් පැටෙව්ව වගෙ ගිහිල්ල උඹේ අසනීපෙ තව වැඩිවෙයි. මම කියන්ටද? උඹ හෙට පලයං බෙහෙත් ගන්ට "

      Delete

මගේ සිතුවිලි ගැන ඔබේ සිතුවිලි

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...