Wednesday, May 29, 2013

189. කිරුළ සහ සෙනෙහස ……4





තම්බපණ්ණියෙහි අධිකරණ ශාලාව පිහිටියේ වරායෙහි සිට සිරීසවත්ථු පුරයට දිවෙන මාර්ගයය පසෙක නගරයෙහි හිරු නැඟි හෝරාවෙහි පටන් රාත්‍රියෙහි පශ්චිම යාමය ද පසුවන තෙක් පවතිනා ඝෝෂාව නෑසෙන තෙක් වූ දුරකිනි. 

තම්බපණ්ණියෙහි වූ සෑම නිර්මිතයක් මෙන් ඒද හුදෙක් උපයෝජ්‍යතාවය ( Utility, ප්‍රයෝජනවත් බව ) පමණක් ම පදනම් කොට ගනිමින් ඉතා චාම් ලෙස නිමැවුනක් විය. කටු මැටි වරිච්චි බිත්තියෙන් අඩක් ආවරණිත සහ වියළි පදම් වූ තල් කොළ සෙවිළි කල විවෘත ශාලාවෙහි එක් කෙළවරෙක වූ නූස් වේදිකාවක් මත අඳුරු පැහැ සවිමත් දැවයකින් නිමවූ විනිශ්චායසනය විය. 

හිරු උදාව හෝරා තුනක් ගෙවී ගිය සඳ සන්නාහ සන්නද්ධ මුර භටයින් සිව් දෙනෙකු පිරිවරා තේජස්වී පියවරින් විනිශ්චය ශාලාවට සැපත්වූ කුවණ්ණාවෝ විනිශ්චයාසනාරූඪ වූවා ශාලාව පුරා රැස්ව හුන් ජනකාය සිසාරායන බැල්මක් හෙලුවාය. 

කාලවර්ණ වැඩුණු කෙස් සහිත වූ හිස් වසා ජටාවන් බැඳි පර්සියානු මහ නැවියෝද, කලෙක ධවල වර්ණ වීයයි උපකල්පනය කල හැකි දිගු ලෝගු හැඳ සහ හිණෙහි රැඳි සිරියෙහි මිටට අත තබාගත් අරාබි වෙළෙඳෝද,නිතර අඩක් වැසුණුසේ දිස්වන සිහින් දෙනෙතින් යුතු, සේද සළුයෙන් සැරසි සීන දේශයෙන් පැමිණි නැව් හිමි ධනවත්තුද, නොගැඹුරු කලපුවෙහි කිමිද දියමතුපිටට ගෙන ආ මුතු බෙල්ලන් පියන්පත් තුල වූ මුතු අලෙවිකොට රැකෙන කාල වර්ණ ද්‍රවිඩ කිමිදුම් කරුවෝද, දිවයින අභ්‍යන්තරයේ සිට ඇත්දළ සහ මහාර්ඝ මැණික් රැගත් තවලම් සමඟ පැමිණි සිහින් උසැති නාග ගෝත්‍රිකයෝද, වරාය අසබඩ වෙළඳසැල් සහ ආපනශාලා පවත්වාගෙන යන යක්ඛ ගෝත්‍රිකයෝද තමනට වූ එසේ නැතහොත් තමනට වූවායයි උපකල්පනය කොටගත් අසාධාරණයන් පිළිබඳව පැමිණිලි කොට සුදුසු සහනයන් ලබා ගැනිමේ අපේක්ෂාවන් පෙරදැරි කොටගෙන අධිකරණ ශාලාව අභ්‍යන්තරයෙහි පමණක් නොව ඒ අවට තල් රුක් පාමුලද රැස් වූවාහු නොඉවසිල්ලෙන් පොරොත්තුව සිටියෝය. 

පළමුව විභාගයට ගන්නා ලද්දේ වණික්මය මතභේද පිළිබඳ ගැටළුය. අත්තිකාරමක් ලබාදුන් ධාන්‍ය තොගයකට ගෙවිය යුතු ඉතිරි මුදල් ගෙවනු නොහැකිවූ වෙලෙඳෙකු ධාන්‍ය මිළ ඉහළගොස් ඇති හෙයින් සැපයුම්කරුට අලාභයක් නොවූයේය යන තර්කය මත පදනම්ව ගෙවූ අත්තිකාරම යලි ඉල්ලා සිටීයේය.

අත්තිකාරමක් ගෙවූ පසු ඉතිරි මුදල් නොගෙවා පැහැර හැරි කල නීත්‍යානුකූලව අත්තිකාරම ගෙවූ තැනැත්තාට එය අහිමිවන බවත් එබැවින් මිල ඉහළයාම කරණකොටගෙන සැපයුම් කරුට අලාභයක් නොවන්නේය යන තර්කය මත පදනම්ව අත්තිකාරම ආපසු ගෙවන ලෙස නියෝගයක් කල නොහැකි බවත් පැමිණිලි කරු සහ වග උත්තරකරු සුහදව ඒ සම්බන්ධව සාකච්ඡා කොට විසඳුමකට එලඹිය යුතු බවත් කුවණ්ණාගේ තීරණය විය. 

වාසුගී බොහෝවිට එදිනෙදා පාලන කටයුතු කුවණ්ණාහට පවරා තිබුනද අධිකරණමය ගැටළු වලදී ඇගේ තීරණයන්හට එකඟනොවන යමෙකුට වාසුගීහට අභියාචනයක් ඉදිරිපත් කිරීමේ අවකාශ සළසා තිබිණි. එයින්ද සෑහීමට පත් නොවන්නකුට සිරිසවත්ථු පුර රාෂ්ඨ්‍ර පාලක වෙත අවසාන වරට අභියාචනයක් ඉදිරිපත් කිරීමේ අවස්ථාව ඇත. 

එදින කුවණ්නාවන් විසින් විසඳුම් ලබාදුන් නඩුහබ මතභේද පිලිබඳව කොතෙකුත් විස්තර කිරීම පසුවට තබා මා පවසන්නට යෙදෙන අන්දරයට අදාල අවස්ථාවට පිවිසෙනුවස් මට අවසර මා පිය සහෘදය/සහෘදිනිය….. 

වාණිජ මතභේද පිළිබඳ විසඳුම් අවසානයෙහි සාමය කඩකිරීම්, බීමත්ව හැසිරීම සහ සොරකම් ආදිය පිළිබඳ පැමිණිළි විභාගයට ගන්නා ලදී. ඒ යටතේ එදින විනිශ්චය උදෙසා ඉදිරිපත් කෙරුනේ එකම නඩුවකි. එනම් පෙරදින රාත්‍රියෙහි බීමතින් හැසිරී නුවරුන් කිහිප දෙනෙකු සමඟ කෝළාහලයක පැටළුනු වංග දේශයෙන් පැමිණි නාවිකයන් සත්සියයකුත් වූ පිරිසට එදිරිව චෝදකයා විසින් ඉදිරිපත් කරන්නට යෙදුනු පැමිණිල්ල පමණකි. 

" කුමරියනි..මොවුහු වංග දේශයෙන් ඊයේ දිනයෙහි තම්බපණ්ණියට පැමිණියෝ වෙති.රාත්‍රියෙහි මත්පැන් පානයෙන් පසු ගණිකාවන් සම්බන්ධ බහින් බස් වීමකින් පසු නගරයේ ප්‍රධාන වීදියෙහි පිහිටි අවන් හලකට පහරදී අලාභහානි සිදුකිරීම සහ එහි හිමිකරුට සහ සේවකයන්හට පහරදීම මොවුන්ට විරුද්ධ චෝදනාවෝ වෙති. " 

සත්සියක්වූ පිරිස පහතට නැවුනු හිසින් යුතුව දෑත් ඉදිරියට බැඳගත්වනම කුවණ්ණා ඉදිරියේ පෙනී හුන්හ. උදෑසන වෙරළෙහි ඇගේ දැහැන බිඳ දැමීමට පමණ නිර්භයවූ නොදැමුණු පුරුෂයා ඔවුන් ඉදිරියේම එසේම බිමට නවාගත් හිසින් යුතුව පසුවිය. ඔහු දැළි රැවුළු කපා මුහුණ මුඩුකොට සිටියේය. 

ඔහු මුහුණ දෙස මොහොතක් බලා සිටි කුවණ්ණාවන්ගේ දෙනෙත් යොමු වූයේ වමතින් තදින් මිරිකා සිටිනා ඔහුගේ සුරත දෙසටය. මැදගිල්ලේ කෙලවර සිට උරහිස දක්වා දිවෙන අතේ ප්‍රධාන ස්නායුව උඩුසමට ඉතා ආසන්නයෙන් ගමන් කරන වැළමිට පසුපස ආශ්ත නිලය නමින් හැඳින්වෙන ස්ථානය තදින් ස්පර්ශකිරීමෙන් සුළු වේලාවකට අත අකර්මන්‍ය වන බව පමණක් නොව දින කිහිපයක් එහි දරුණු වේදනාවක්ද පවතින බව මොනවට දත් ඇගේ දෙතොලග සිහින් සිනාරැල්ලක් ඇඳී ඒ සමඟම මැකී ගියේය. ඒ නාඳුනන පුරුෂයා කෙරෙහි අනුකම්පාවකට ආසන්න හැඟීමක් එසැණ ඈ සිතෙහි ඉපිද එකෙනෙහිම මැකී ගියේය. 

අතවරයට පත්වූ අවන්හල් හිමිකරුවන්ගේ සාක්ෂින්ට අනතුරුව කුවණ්ණා චූදිතයින් ඇමතුවාය. 

" තොපට විරුද්ධව නඟා ඇති චෝදනා මෙන්ම පැමිණිල්ල වෙනුවෙන් දුන් සාක්ෂිද තොපට හොඳින් ඇසෙන්නට ඇතැයි සිතන්නෙමි. ඊට පිළිතුරුවශයෙන් විත්ති වාචකය ලෙස තොපට පවසන්නට යමක් ඇත්නම් මේ ඊට අවස්ථාවයි…" 

බිමටම හරවාගත් වතින් යුතුව නිහඬවම හුන්නා විනා චූදිතයින් කිසිවෙකු වදනකුදු නොදෙඩුවෝය.විනිශ්චය ශාලාව අවට වූ තල් රුක් අතරින් වියළි සුළඟ හමායන සිහින් හඬින් පමණක් නිශ්ශබ්දතාවය කඩවුනු කෙටි කාල පරිච්ඡේදයකට පසු කුවණ්ණාවෝ නැවත තම හඬ අවදි කළෝය. 

" නිශ්ශබ්දතාවයෙන් පෙනීයන්නේ තොපට තම නිදහස පිණිස පැවසීමට කිසිවක් නොමැති බවයි. එසේම තොපගේ නිශ්ශබ්දතාවය වරද පිළිගැනීමක් සේ සළකා මම දඬුවම් නියම කරමි.මෙවන් වරදකට ලංකාද්වීපයෙහි බලපවත්වන නීතිය අනුව දඬුවම නම් දිනක් ගතවීමට ප්‍රථම පිටුවාහල් කිරීමයි. තොප විසින් සිදුකරන ලද අලාභ හානි වලට සුදුසු වන්දියක් ගෙවීමෙන් පසු හෙට දින මධ්‍යාහ්නයට ප්‍රථම තොප ලංකාද්වීපයෙන් පිටත්ව යා යුතුය. එසේම නැවත මෙහි පැමිණීමද සපුරා තහනම්වේ..." 

විනිසුරු අසුනින් නැඟීසිටි ඈ ගාම්භීර පියවරින් සිය අංගාරක්ෂකයින් පෙරටු කොටගෙන ශාලාවෙන් පිටව ගියාය. කුවන්ණා චූදිතයින් පසුකොට යන විට එක් වරක් හිස ඔසවා ඇගේ දෑස් දෙස එක එල්ලේ බැලූ උදෑසන ඈ හමුවීමට පැමිණි නොදැමුණු තරුණයා යලි වහා හිස පහතට නැඹුරු කොට ගත්තේය.

ඔහුගේ බැල්ම ඇගේ දෙනෙතෙහි ගැටුණු වහා කුමක්දැයි හරිහැටි වටහාගත නොහුනු යම් නුපුරුදු හැඟුම් සමුදායක් තම හද පුරා පිරී ඉතිරීයනු දැනුනු කුවණ්ණා ද වහා දෙනෙත් පොළවට නැඹුරු කොට ගත්තීය. 

දිවාආහාරයෙන් පසු හෝරාවක් හෝ දෙකක් විවේක සුවයෙන් පසුවීම කුවණ්ණාගේ සිරිත විය. වාසුගී හා සමඟ යම් රාජ්‍ය පාලනයට අදාල කරුණක් එසේත් නැතහොත් තම්බපණ්ණියට සැපත්වූ යම් වෙළෙඳෙක් හෝ නාවිකයෙකුගෙන් සැලවූ සත් සමුදුරෙන් ඔබ්බෙහි කොහේ හෝ දේශයක කිසියම් ප්‍රඥාවන්තයකු ශාස්තෲවරයකු විසින් දේශනා කල නව ධර්මයක්, ජීවන ක්‍රමයක් හෝ තර්ක විධික්‍රමයක් එසේත් නොමැත්තේනම් මනුෂ්‍ය වර්ගයා සහ ලෝකය පිළිබඳ නව අර්ථ කථනයක් පිලිබඳව සාකච්ඡා කරනුයේද වාද විවාද කරනුයේද මේ දිවා ආහාරයට ඉක්බිති එලඹෙන කාල පරිච්ඡයේදීය. 

මෙදින පියාණන් ද නොමැතිවීම නිසා ඇය සයනයෙහි සැතපී මඳක් විවේක ගැන්මට උත්සාහ කළාය. එහෙත් ඇගේ සිත මහත් කලබලයට පත්ව තිබුණු හෙයින් නින්දට පිවිසීමට කොතෙකුත් උත්සාහ කලද ඒ ඒ නිරර්ථක වෑයමක්ම විය. 

තම සිත වාරකන් කල තම්බපණ්නි වරායට දකුණු දිගින් පිහිටි හිරිගල් වැටියෙහි නිබඳ හැපෙමින් සුදුවන් පෙණබිඳු නංවමින් අනවරතව කැළඹෙනා සයුරු දියසුළියක් අයුරු කම්පනයට පත්වූයේ කුමන හෙයින්ද යනු විමසා තීරණයකට එළඹීමට ඇය නිරර්ථක උත්සාහයක් ගත්තීය. 

පෞද්ගලික කරුණක් වේවා රාජකාරියට සම්බන්ධ කරුණක් වේවා ඇය සැම විටෙකම ස්ථිර තීරණයකට එළඹියේ සිදු විය යුත්ත, සිදු නොවියයුත්ත හොඳින් සිතා බලා තුලාවක දෙපස සමබර වන සේ කිරා මැන බලනායුරෙන් සමාලෝචනය කිරීමෙනි.මේ සිතෙහි පවතින වටහාගත නොහැකි අතීරණය ඇයට මහත් ගැටළුවකි. පූර්වාදර්ශ නොමැතිහෙයින් මහත්වූ චිත්ත වික්ෂෝභයෙකි. 

අවසන සයනයෙන් නැඟි සිටි ඕ සිත සමනය කරගනු වස් පියාණන්ගේ පොත්ගුලට වැද සිත් කැළඹිල්ලක් ඇතිවූ කල ඔහු නිතොර කියවනා තල්කොළ තීරු විස්සක් පමණ වරපටකින් බැඳ නිමැවුණු පුස්තකය සුරතට ගත්තාය. 

" කුවණ්ණා..මේ උතුරු දඹදිව ඉපිද ඉතාම අවිහිංසාවාදීවූ දර්ශනයක් දේශනා කරමින් ගම් නියම් ගම් දනව් සරමින් හැසිරෙන සිද්ධාර්ථ ගෞතම නම්වූ මහා පුරුෂයෙකුගේ මුවින් නික්මුනු ධර්මයයි.ඔහුගේ දේශනා ශ්‍රවණය කල වෙළෙඳුන්, සංචාරකයින් සහ ශ්‍රමණයින් සිය ගනනක් හා සාකච්ඡා කිරීමෙන් අනතුරුව මවිසින් ග්‍රන්ථාරූඪ කල ධර්මය වඩා නිවැරදිව පැවසුවහොත් දර්ශනයයි මේ..." 

එක් දිනක ඔහු පැවසුවේ ඇය සුරතට ඒ තල්පත් ඉරු සමූහය පත් කරවමිණි. 

පොත්ගුලෙහි බිම අතුල පර්සියානු පළස මත දෙදණ නවා හිඳගත් කුවණ්ණා ඒ සවිමත්ව පදම්කල සමෙකින් බැඳි තල්පත් ඉරු සමූහය කියවන්නට වූවාය. 

" මහණෙනි, මෙලොව ඉතාම අසීරු කාර්යයනම් තම සිත දමනය කර ගැනීමයි..ඒ මද කිපුණු ගිජිඳකු වරපටෙකින් බැඳ හික්මවා ගැන්මට ද වඩා අසීරුය.චණ්ඩ මහීෂයකු මකුළු හුයෙකින් ගැටගසා නවත්වා ගැන්මටද වඩා අසීරුය. ඔබ සිත දමනය කර ගැන්මේ එකම මාර්ගය නම් සිතට වදදෙන සියළු නොදැමුණු සිතුවිලි එකහෙලාම සිතින් ඉවත්කරලීමෙනි....කිළිටිවූ වස්ත්‍රයක් ඇමද සෝදාලන්නා සේ.........." 

කැට කැබලිත්තක් පොකුණක ජල මතු පිටට දමා ගැසූකල දියරැළි නංවාලමින් කැළඹෙන ජලය කෙමෙන් යලි නිසලවන්නාසේ තම සිත සමහන් වනු කුවණ්ණාට දැනුනි.සම්පූර්ණ තල්පත් ඉරු පුස්තකයම කියවූ ඇය පළස මතින් නැඟී සිටියේ සන්සුන්වූ සිතකිනි. 

සන්ධ්‍යා යාමයෙහි මළහිරු සමුදුර ක්ෂිතිජය රත්වන් කොට අස්තගත වෙද්දී සිත තවත් සමහන් කරගනු රිසිවූ ඕ උදෑසන දැහැනට සමවන් උත්තුංග තල් රුක පාමුළෙහි යළි භාවනානුයෝගී වූවාය. 

බොහෝ වේලා භාවනානුයෝගීව හුන් ඇය සෙමෙන් දෙනෙත් විවර කළාය. 

උදෑසන සේම දැහැනින් මිදී යලි විවරකල ඇගේ දෙනෙතට ලක් වූයේ පියවර විස්සකට පමණ ඔබ්බෙහි වැලි තලය මත දෙදණ නවා හිඳිනා රුවකි.දෙනෙත් පියවී මුහුණ පහතට හරවාගෙන හුන් නමුදු ඒ ඔහු බව ඈ වහා හඳුනා ගත්තාය. ඔහු වත දෙස විපිළිසරව ඇය බලාසිටින අතර දෙනෙත් විවර කල ඔහු හිස ඔසවා ඈ දෙස එක එල්ලේ බලා සිටින්නට විය. 

මෙතෙක් සන්සුන්ව හිස දෙපසට සලමින් හුන් ගිජිඳා වර පට නොව සිව් පා බැඳ තිබූ යදම් ද සුණු විසුණු කොට හිස ලූ ලූ අත දිවෙන්නට වූයේය.! 

මෙතෙක් කර නවාගත් වනම තණ බුදිමින් හුන් මහීෂයා ගෙල වටාදමා තිබූ පදම් කල සම් රැහැන එක් පැහැර බිඳ සතර අත දිවෙන්නට වූයේය.!! 

රත් පැහැයෙන් සයුර සහ අහස වර්ණ ගැන්වුනු එක් සන්ධ්‍යාකාලයක තම්බපණ්ණියෙහි සයුරු වෙරළත ඔවුහු එකිනෙකා දෙස බලාගත්වනම කල්ප කාලාන්තරයක් සේ දැනුනු එක් මොහොතක් ගත කළෝය!!! 


මතු සම්බන්ධයි...... 

8 comments:

  1. බොහොම ආසාවෙන් කියෙව්වා.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි නලින්..:)

      Delete

  2. උපරිමයි !!!

    මේ මත් පැන් කියන ජාතිය ලෝක ආරම්ඹයේ ඉඳන්ම තියන ජාතියක්ද මංදා !!

    >> කුවණ්ණා..මේ උතුරු දඹදිව ඉපිද ඉතාම අවිහිංසාවාදීවූ දර්ශනයක් දේශනා කරමින් ගම් නියම් ගම් දනව් සරමින් හැසිරෙන සිද්ධාර්ථ ගෞතම නම්වූ මහා පුරුෂයෙකුගේ මුවින් නික්මුනු ධර්මයයි <<

    Buddha Lived in Sri Lanka

    ReplyDelete
    Replies
    1. සෙන්නා,

      දෙවියො දුන්නයි කියලනෙ බං කියන්නෙ මිනිස්සුන්ට මත්පැන්!!

      සුර කියන්නෙ දෙවියො..සුරා වචනය හැදුනයි කියන්නේන්න එහෙමයි :)

      අනික දන්නවද දෙවියංගෙ Staple Diet එක අමෘතය...60% By Volume Alcohol…. හෙහ්,හෙහ්

      සබැඳියට සහ පැසසුමට ස්තූතියි මලේ...

      Delete
  3. අනේ අසරණ කුවණ්ණා..වැරදි තේරීමක් නිසා ලස්සනට තිබ්බ ජීවිතේම නාස්ති උනා.. :(

    ReplyDelete
    Replies
    1. එක නේන්නං බොලේ..එක හැඟීම්බර තීරණයක් නිසා මුළු ජීවිතේම නාස්ති වෙලා යන්න පුළුවන්..ඒත් මෙතන උනේ දෛවය කියන එකට පිටුපාන්න විජය, කුවේණි දෙන්නටම බැරිඋන එක :(

      ස්තූතියි මෙකුවීස්..:)

      Delete
  4. බැරිද නිකන් ටයිම් මැෂින් එකකින් ගිහින් ඔය මොහොත වෙනස් කරන්න ..

    අම්මප මන් මේ කල්පනා කලේ අනාගතේ දවසක අපේ ළමයෙක් ගුගල් කරලා විජය කුවේණි ගැන හොයද්දි මේක කියෙව්වොත් කියල . කමකුත් නැහැ ..මොකෝ ඔරිජිනල් කතාවත් ආයේ කවුද දන්නේ කොච්චර ඇත්තද කියල ..

    හොඳා හොඳා ඔහොම යමු ..

    ReplyDelete
    Replies
    1. බින්දි,

      / බැරිද නිකන් ටයිම් මැෂින් එකකින් ගිහින් ඔය මොහොත වෙනස් කරන්න .. /

      අපොයි මැඩම්..එහෙම කරන්ට පුලුවන් උනත් බොහොම භයානක දෙයක් ඒක..දන්නවද?...අහල ඇතිනෙ සමණල ආචරණය ගැන ( Butterfly Effect ) සරලව කිව්වොත් මෙහෙමයි.. අපි කියමු අද ජපානෙ කොහෙහරි සමනලයෙක් තටුසැලුවයි කියල.ඒ තටු සැලීම නිසා තව මාස හයකින් වෙනිසියුලාවෙ ඇතිවෙන්න පුළුවන් දරුණු කුණාටුවක්...තේරුණය?

       The name of burrerfly effect, coined by Edward Lorenz, is derived from the theoretical example of a hurricane's formation being contingent on whether or not a distant butterfly had flapped its wings several weeks before.

      අන්න ඒ සමණල ආචරණ න්‍යාය අනුව අතීතයට ගිහිල්ල මොකක් හරි සිද්ධියක් වෙනස් කිරිම මඟින් අපි හීනෙන්වත් නොසිතුව මහ විශාල භයානක වෙනස් කම් සිද්ධ වෙන්ට පුළුවනි දීර්ඝ කාලෙකට පස් සෙ.

      මේ පහුගිය දවස්වල මම කියෙව්ව හරිම අපූරු පොතක්...11.23.63 ..ඒක තමයි පොතේ නම...ලිව්වෙ ස්ටීවන් කිං ......ඒකෙ තියෙන්නෙ 1963 වර්ෂයට ආපහු ගිහිල්ල අමරිකන් ජනාධිපති ජෝන් එෆ්. කෙනඩි ඝාතනය වළක්වන්නට කටයුතු කරන පුද්ගලයෙක් ගැන. ජෝන් කෙනඩි ජීවත් උනොත් වියට්නාම යුද්දෙ එහෙම කෙරෙන එකක් නැහැ..ඒ නිසා දහස් ගනනකගෙ ජීවිත බේරෙයි ..අන්න ඒ වගෙ බොහොම හොඳ චේතනා ඇතුව ඒ මනුස්සය වැඩේ කලත් ආපහු 2011 ට එද්දි ( මිනිහ අතීතයට යන්නෙ 2011 ඉඳල ) ලෝකෙ අන්තිම භයානම විදිහට වෙනස් වෙල. ඉන්දියාවෙයි පකිස්තානෙයි බාගෙකට වැඩිය න්‍යාෂ්ඨික ප්‍රහාර වලින් විනාශ වෙලා. ජපානෙන් බාගයක් මුහුදෙ ගිලිල ගිහිල්ල.ලෝකෙ හැම තැනම බලශක්ති අර්බුදයක්...අරාජිකත්වය අමරිකාවම ගිලගෙන...අනික ලොකුම සීන් එක තමයි විද්‍යාඥයන්ටත් තේරුම් ගන්න බැරි සිද්ධි දාමයක් නිසා තව අවුරුදු 20 වගෙ ඇතුලත මුළු ලෝකෙම විනාශ වෙන්නයි යන්නෙ කියන එක.අවුරුදු 48 කට ඉස්සෙල්ල එක මනුස්සයෙක් ඝාතනය කිරීම වැලැක්වීමේ සමණල ආචරණය තමයි ඒ...

      ඒ නිසා අර විජය -කුවේණි හමුවෙන මොහොත වෙනස් කරල ඒ දෙන්න හමු නොවෙන කටයුතු කරන එක බොහොම භයානක ප්‍රතිපල ගෙන දෙන්ට පුළුවන්..අනෙ අම්මේ..පුලුවන් උනත් මම එහෙම දේවල් කරන්නෙ නම කියල හිතාගත්ත අර කිං ගොයියගෙ පොත කියෙව්වට පස් සෙ...හෙහ්, හෙහ්,

      / අම්මප මන් මේ කල්පනා කලේ අනාගතේ දවසක අපේ ළමයෙක් ගුගල් කරලා විජය කුවේණි ගැන හොයද්දි මේක කියෙව්වොත් කියල . කමකුත් නැහැ ..මොකෝ ඔරිජිනල් කතාවත් ආයේ කවුද දන්නේ කොච්චර ඇත්තද කියල .. /

      ආන්න එහෙම එන්න..මහානාම හාමුදුරුවො අවුරුදු දාහකට පස් සෙ එයාට ඕන විදිහට කතාව ලිව්ව ..මම අවුරුදු දෙදාස් පන්සීයකට පස් සෙ මට ඕන විදිහට කතාව ලියනව...ඇත්ත කතාව සමහරවිට ඔය දෙකටම හාත්පසින් වෙනස් එක වෙන්න බැරිද?....මොකෝ කියන්නෙ?

      Delete

මගේ සිතුවිලි ගැන ඔබේ සිතුවිලි

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...