Tuesday, July 16, 2013

202. ගුරුවරියක සමඟ මගේ ජීවිතය - 3......මදුරු සංහාර මෙහෙයුම


අර ගුරුවරියක් දණ ගැස්සවීමෙ සිද්ධිය හින්ද මයෙ මොන්ටිසෝරි කාලෙ ඉඳල පටන් ගත්තු කතාව ගුරුවරියක් සමඟ මගේ ජීවිතය ගැන කතාකරන තැනට ආවනෙ. ඒ කොටස් දෙක මෙන්න මේ විදිහයි. 



මම එදා කතාන්තරේ ඉවර කලේ එදා අර අපෙ උන්දෑ එයයිලගෙ ඉස්කෝලෙ පොඩි එකෙක් ගෙදර එක්කං එන්ට ලැහැත්ති වෙච්චි තැන..කොලුවගෙ නම අසිත.. 

ඔන්න පහුවදා අපෙ උන්දැ ඉස්කෝලෙ ඇරිල එනකොට එක්කං ආපි අර කොලුව. අනේ ඒකා අන්ඩර් ෆෝටීන් කිව්වට අවුරුදු දහයකවත් නෑ පෙනුමක්. බොහොම හීනැසි සරීර කූඩුව. ඒත් ඒකගෙ හිනාව... හරිම අහිංසකයි. ඒ වගේම බොහොම ලැජ්ජකාරය..අපෙ උන්නැහැගෙ පස්සෙම්මයි..මැඩං ..මැඩං...කියාගෙන..මම දෙතුං පාරක් බැලුව කොල්ලව කතාවට අල්ල ගන්ට..ම්හු...හරිගියෙ නෑ..ඌ ඇඹරි ඇඹරි ඔළුව හොල්ල හොල්ල හිටිය මිසක වැඩි කතා බහට ආවෙ නෑ...පස්සෙ මාත් වැඩේ අල්ලල දාල ඌට ටී.වී. එක දාල දුන්න. 

ඒ දවස්වල ඔය බැඳපු මුලම කාලෙ අපෙ ගෙදර බඩු බොහොම අවම මට්ටමෙං තමා තිබ්බෙ. කොහොමහරි මාස හයක් විතර යනකල් අපි නිදාගත්තෙ ඩබල් මෙට්ටයක් බිම දාල.ඒකෙ නිදාන කතාවනම් මෙහෙමයි. අපි ඔන්න ඇඳක් හදාගත්ත අපෙ උන්නැහැගෙ පංතියෙ ගෝලයෙක්ගෙ තාත්තට කියල.මිනිහ නමගිය වඩුව.ඒත් මොන යකෙක් වැහිලද මන්ද මේ යස්සය හදාපු ඇඳේ උස ඔන්නම් යන්තං අඟල් නමයක් ඇති පොළවෙ ඉඳල. ඒ කෙහෙම්මලේ බුදියනව කියන්නෙ ආය බිම බුදියනව වගේම තමයි. 

ආපහු පාරක් ගෙනත් දෙන්න මිස්, මම හොඳට හදල දෙන්නං..මම මේ ටිකේ ගෙදර හිටියෙ නෑ...ගරන්ට ගියා...ගෝලයෙක් ඕක හැදුවෙ…අපෙ උන්නැහැ මිනිහට සත්තම දැම්මම මිනිහ ඔහොම කිව්වලු...ඇත්තත් වෙන්ට ඇති. ඒ පැත්තෙ මිනිස්සු ඔය කාලෙකට යනව මැණික් ගරන්ට කැළේ. 

මම කිව්ව මේ ආය ඕක උස්සං ඒ මනුස්සය ගාවට යන්ට ඕන නෑ..මම මෙහෙ මම දන්න වඩ්ඩෙකුට කියල ඕකෙ කකුල් උස්සන්ටනෙ තියෙන්නෙ ඒක කරවන්නංකො කියල. ඒ කකුල් උස්සන ව්‍යාපෘතිය කෙරෙනකල් අපි දෙන්න මෙට්ටෙ බිම දාල තමයි ඔන්න නිදාගත්තෙ. 

අපෙ උන්නැහැට මදුරුවො කියන ජාතිය පෙන්නන්ට බෑ. මයෙ හිතේ ඔය ආත්ම ගානක ඉඳල එන සංසාරගත පුරුද්දක් වෙන්ට ඕන. බැඳපු අළුත් මට මහ විහිළුවක් ඕක. ඇයි දෙයියෝ සාක්කි මේ කිං සයිස් නෙට් එකක් තියනව. ඔවුන්දැ ඕක දිගඇරල ඇඳ වහන්නෙ යාන්තමට හවස පහ වෙනකොට. 

" මොකද අනේ මේ?...යන්තං කලුවර වෙනකොට නෙට් එක දාන්නෙ?...අර පාරෙ යන කවුරු හරි දැක්කොත් එහෙම හිතයි මේ ඊයෙ රෑ දාපු පාර තාම එහෙමමය කියල. හතර විලිලැජ්ජාවෙ පස්වෙනි එක. " 

" හුහ්...ඔයා නං කියයි..ඔයාට මොකද?....මම එපාය විඳවන්ට මදුරුවො කෑහම...මදුරුවො කාපුවම මගෙ සිල්ලං එනව.. " 

ඒ එවුන්දැගෙ තව එක වචනයක් මම අම්ම මුතුං කාලෙ අහපු නැති..සිල්ලං කියන්නෙ ඔය රතුවෙලා එන්නෙ පොඩි පළු වාගෙ...මකුණො කූඹි එහෙම කෑහම..අන්න ඒවට එවුන්දැ කියන්නෙ සිල්ලං කියල… 

" හෙහ්, හෙහ්,හා..හරි, හරි එහෙනං දාන්ටකො නෙට් එක..හැබැයි ඒ එක්කම ඔය ජනේලෙත් වහල දාන්ට.." මම එහෙම කියල වැඩේ ෂේප් කර ගන්නව. 

මෙවුන්දැ පහ වෙනකොට ඇඳට නෙට් එක දාල ජනේලෙත් වහනව මදිවට මදුරු කොයිල් දෙකක් පත්තු කරල එකක් ඇඳ යටයි, අනික ඇඳ ඉහත්තාවෙ තිබ්බ මගෙ වේවැල් පොත් රාක්කයක්..ඔන්න ඕක උඩයි තියනව..මගෙ ඇඟේ ලේ වතුර වෙලයි ඉන්නෙ..එකක් අර කොයිල් එක පත්තුවෙලා ගිහිල්ල පොත් වලට ගිණි ඇවිලෙයි කියල.අනික ඔය මදුරු කොයිල් පැකට් එකත් එක්ක දෙනව කොයිල් එක රඳවන්ට තහඩු කෑල්ලක්. ඕකෙ තියනව බොහොම තියුණු උලක් වගෙ එකක්. ඒක උඩ තමයි කොයිල් එක රඳවන්නෙ. 

ඉතිං කොයිල් එක පත්තුවෙලා අළුවෙලා ඉවර උනාම ඔය උළ තියනව කොහෙ හරි තිබ්බ තැන උඩට හැරවිලා අර රජකාලෙ අපරාදකාරයො උල තියන්ට හිටවපු යකඩ උල් වාගෙ. දැකල ඇති නේද අර රොබර්ට් නොක්ස්ගෙ එදා හෙළ දිව පොතේ තියෙන්නෙ රූපයක් හිට ඇඳල පැහැදිලි කරල උල තියන විදිහ. 

ඉතිං මගෙ බඩ පපුව හීතල වෙලයි තියෙන්නෙ මේ මනුස්සය රෑ තිස්සෙ නැඟිට නැඟිට කොයිල් පත්තු කරල එහෙ මෙහෙ තියල උදේ හිමිදිරියෙ මම ඔය දොට්ට පිලට එහෙම යන්ට ඇඳෙං බහිනකොට කොහොමද ඤරස් ගෑවිල්ලෙ අර කොයිල් උලක් උඩ එහෙම කකුල තිබ්බ නං… 

" විකාරද අනේ..ඔයා හිතන්නෙ මට පිස්සුය කියලද? එහෙම තැං තැංවල හදිස්සියෙ පෑගෙන විදිහට මම කොයිල් පත්තු කරන්නෙ නෑ...බය නැතුව ඉන්ට.." 

ඔන්න මම ඔය ගැන කිව්වම එයයි දුන්නු උත්තරේ....ඉතිං මට තනියම කල්පනා උනේ..අනේ අම්මප මේ එක වහලක් යට විවාහ ජීවිතයක් ගතකරන එක ඇවිල්ල සෙල්ලං කෙලියක් හේම නෙවෙයි මහ පණයන වැඩක්..කොටිම්ම ඇඳෙං බහින්ට වෙල තියෙන්නෙත් පණ ගැහි ගැහි..ඇයි කොයි වෙලාවෙ කොයිල් උලක් යටි පතුලෙ ඇණෙයිද කියල උඩ ඉන්න දෙයියො තමයි ඔන්න හරියටම දන්නෙ... 

කෝකටත් එවුන්දැ කිව්වට එහෙම පෑගෙන තැංවල කොයිල් පත්තු කරන්නෙ නැත කියල මම ඇඳෙං බැස්සෙ කොට්ටෙ යට තියෙන ටෝච් පොල්ල එහෙම ගහල හොඳට වටපිට හොදිවිසි කරල තමයි..හෙහ්, හෙහ්, කෝකටත් සූදානම් සරීරේය කියල... 

අනේ කිව්වට ඇස්වහක් කටවහක් නෑ රෑට නිදියෙන්ට ලෑස්තිවෙලා මෙවුන්දැ නටන නාඩගම නං ඔන්න බලා ඉන්ටම වැඩේ. ඔයයිගෙ තියනව ඔය දනිස්ස ගාවට විතර දිග කලසං..ඉස්කෝලෙ ඇරිල ආපු ගමං  ඔව්වයිං එහෙකට තමයි ඔන්න බහින්නෙ කෙලිම්ම... ආය නෑ කතා දෙකක්...

" මේ..ඒයි....මම ගෙදරට කලිසං තමයි වැඩිපුර අඳින්නෙ..ඉතිං බැන්දට පස්සෙත් එහෙම ඇන්දට කමක් නැද්ද? " 


දවසක් උදේ මේල් බස් එකේ යද්දි එයයි මගෙං ඇහුව හෙමිහිට..ඒක වෙලා තියෙන්නෙ මයෙ ඉන්නවනෙ වසවර්ති යාලුවො රැලක්..එවුං මේ මනුස්සයව බය කරල අපෙ අම්ම හරි සැරයිය, උඩරට කුල කතක්ය...නාන්නෙත් ඔසරිය ඇඳල මුතු පොටකුත් දාගෙනය, නඟේ ඔයයිටත් එහෙ ගිහාම ඉන්න වෙන්නෙ ඔසරියක් ඇඳගෙන තමාය අරකය , මේකය රටේ නැති විපිරියාස...අනේ අප්පේ මෙවුන්දැගෙ තුම්මුනිං දාඩිය දාල..ඉම්පස්සෙ තමයි ඔන්න මයෙං අරම ඇහුවෙ. 

" පිස්සුද අනේ?..ඔයට කැමති එකක් අඳින්ට..මොකවත්ම නැතුව හිටියත් මම නෙවෙයි......" 

මමත් රහසින්ම වගෙ කිව්වෙ කෙලින්ම ඉදිරිය බලාගෙනඉස්සරහ සිට් එකේ උඩ පොල්ල දෑතිම්ම මිරිකගෙන....උන්දැ රතු උනා රතුවිල්ලක් බක් මහේ පල ගත්තු ජම්බයක් වගෙ..හෙහ්, හෙහ්.. 

" ෂික්..කියන එව්ව..අර එහා පැත්තෙ අබේ අයියටත් ඇහුණද මන්ද?...." 

තුං දෙනා ඉන්න සීට් එකේ මට එහා පැත්තෙ හිටියෙ ඒත් මගෙ යාලුවෙක් අබෙය, ඒ වෙලාවෙ ඒක පත්තරයක් දිග ඇරගෙන උන්නෙ… 

" ආ..ඉන්ටකො මම අහන්නං ..මේ අබේ උඹට ඇහුණද මම කිව්ව එක මේ........." උන්දැ මගෙ අත කෙනිත්තුව ලේ පනින තරමට. 

" මේ පිස්සු විකාර කරන්ට ලෑස්ති උනාද ඒ ගමන?...නොකිව්වයි කියන්ට එපා ඔන්න මම බහිනව ඊළඟ හෝල්ට් එකෙං.." රැව්ව රැවිල්ලක් මයෙ වම් පැත්තම අළු වෙලා යන්ට... 

ඉතිං නිදාගන්ට පලමු ඔය සෝට් බෑයත් ඇඳගෙන ඔන්න නගිනව කනප්පුවක් උඩට. ඕකටම හදාගත්තූ පොඩි මෙවලමක් තිබ්බ එයයිගෙ..ඕකටම කිව්වෙ මේ මදුරු මැරිල්ලට..පරණ කොහු මිටක කෙරෝලෙ අඩියක් විතර දිග අඟල් හයක් විතර පලල ලෑලි කෑල්ලක් ගහල..මමමයි ඕක හදල දුන්නෙ එයයිට..හරියට අර දැකල තියද අර ගෙවල්වල බවුන්ඩේසංවල ( Foundation කියන එක එහෙම තමයි කට වහරට හැඩ ගැහිල තියෙන්නෙ ) පස් තලද්දි පාවිච්චි කරන්නෙ තාප්ප මෝල කියල එකක්..ආන්න ඒ වගේ එකක්. ඒත් එච්චර බර නෑ..බෝම සැහැල්ලුයි. 

ෆවුන්ඩේෂන් ගැන කියනකොට ඔන්න තව පොඩි කතාවක් මතක් උනා..එක්කො ඒකත් කියලම ඉඤ්ඤංකො නැත්තං ඔව්ව අමතක වෙනව..නිදහස් චතුරශ්‍රෙ තියන ශ්‍රී ලංකා පදනම් ආයතනය දන්නව නේද? Sri Lanka Foundation Institute ..දන්නවද ඕකට ඔය නම වැටුන හැටි...හැත්තෑ ගනංවල මැද වගෙ ඔය බිල්ඩිං එක පටංගෙන ඔන්න බවුන්ඩේසම දැම්මය කියමුකො. ඊට පස්සෙ ඔන්න සල්ලි ටිකක් හුරස් පරස් වෙලා හිට අවුරුදු ගානක් ඕකෙ බවුන්ඩේසම විතරයි තිබ්බෙ...දැකල ඇතිනෙ ඔය ගංවල එහෙම තියනව අනන්ත, සල්ලි යහමිං තියෙන කාලෙ හදන්ට පටංගත්තු ගෙවල්වල බවුන්ඩේසම විතරක් හදල කැලේට යට වෙලා තියනව. 

අර නිදහස් චතුරශ්‍රෙ බිල්ඩිමත් ඔය විදිහට සෑහෙන කාලයක් තිබ්බ. එක එක කට කතාත් ඒ කාලෙ ඕක ගැන පතුරුනා. ඒකෙ බවුන්ඩේසම විතරක්ය හදන්ට සැළසුම් කරල තිබ්බෙ..බිල්ඩිම වෙනම තැනක හදනවය, අරකද මේකද රටේ නැති එව්ව.....අනික ඒ කාලෙ ඕකට මිනිස්සු කිව්වෙ බවුන්ඩේසම කියල..අර බවුන්ඩේසම ගාව හෝල්ට් එකෙන් බැහැපං බං ..එතකොට සී.සී.සී. එකට කිට්ටුයි... ඔන්න ඔය වගෙ.... 

ඒත්කාලෙකට පස්සෙ ඔන්න කොහොමිං කොහොමිං හරි බිල්ඩිමේ වැඩ ආයම පටංඅරගෙන ඉවරයක් උනාය කියමුකො. අන්තිමට නම හැටියට දැම්මෙ මිනිස්සු කියාපු නමම තමයි..බවුන්ඩේසම...ඒකෙන් තමයි ඔය අද කියන නම ආවෙ..ශ්‍රී ලංකා පදනම් ආයතනය...මම ඒකෙ වෙබ් අඩවියටත් ගිහිල්ල බැලුව ඔය මූලාරම්භය සහ නම හැදුනු හැටි ගැන මොකවත් සඳහනක් තියද කියල කොහෙද ඔහෙ නෑ. අපේ කොහොමත් හැටියක්නෙ ඒක...මුල මතක නැති එක...ලියල යවන්ට ඕන මගේ දැඩි විරෝධය පලකරල අපේ අනාගත පරපුර දැනුවත් වීම් උදෙසා හෝ මෙවන් ඉතා වැදගත් අතීත තොරතුරු ප්‍රසිද්ධ නොකිරීම පිළිබඳව... 

හරි ආපහු අපෙ කතාවට.... 

සිවිලිම පුරාම වහල ඉන්නව ඔන්න මදුරුවො....මුන්දැ කොරන්නෙ අර තාප්ප මෝලෙං හෙමීට ගහල මදුරුවො චප්ප කරල දානව. අත දිග මානෙ මදුරුවො ඔක්කොම ඉවරයක් කලාම ඔන්න බැහැල කනප්පුව අදිනව තව තැනකට එම වැඩ පිළිවෙල ඔන්න නැවත ක්‍රියාත්මක වෙනව. රිපීට් ද ප්‍රෝසස් කන්ටිනිව්ලි අන්ටිල් යූ ආ ටෝටලි සැටිස්ෆයිඩ් දැට් යුවර් ඔබ්ජෙක්ටිව්ස් හෑව් බීන් අටේන්ඩ්....ආන්න එහෙමයි වැඩේ යන්නෙ. තේරුණාද ඔහෙලට?..වඩමාරච්චි මෙහෙයුම තව මොකක්ද ? මේකනෙව වැඩේ... 

මට ඉතිං මුලිම්ම මේක බලා ඉන්න එක පිස්සු වගෙ...මෙයයිගෙ මේ විප්‍රකාරෙ මයෙ කටත් බාගෙට ඇරගෙනයි බලාහිටියෙ කියල පස්සෙං පහු දවසක එයයිම මා එක්ක කිව. ඇත්තම වෙන්ටැති...ඇත්තම වෙන්ටැති... 

මම ඉතිං කලේ උඹ ඕන කෙහෙල්මලක් කොරගනිංය කියල මෙට්ටෙ සනීපෙට දිග ඇදිලහිට පොතක් බලන එක.ඒ අතර හෙමීට මේ බහුරූ කෝලම දිහාවෙත් එක ඇහැකිං හෙමීට බලනව. එවුන්දැත් මම බලනවද කියල හොරෙං බල බල තමයි මදුරු ඝාතක ව්‍යාපෘතිය කරගෙන යන්නෙ. එහෙම නිස්සද්දව ඒ වැඩේ කරනව නම් බැරිය තව....ඔන්න ඒ අස්සෙත් කතාව... 

" අම්මේ..මේ බලන්ටකො ඒයි මේ මදුරුවගෙ මහත...මූ අද මගෙ ලේ බිව්වනම් එහෙම ඇඟේ තියන ලේ වලින් බාගයක්ම බොයි. අපෙ ඇඟේ ලේ කොච්චර තියනවද ඒයි? " 

ඔය අහන්නෙ ආය නොදැන එහෙම නෙවෙයි..එයා ඇවිල්ල සෞඛ්‍යය සහ ශාරීරික අධ්‍යාපන ගුරුවරී වෙච්චි. ඕක දන්නෙ නැද්ද?..ඔය අහන්නෙ මාව අවුස්සන්ට නෙව...මම අර පොත බල බල ඉන්න එකෙං අයිං කොරෝල එයාගෙ වල් පල් කියවිල්ලට හවුල් කොරගන්ට... 

" පනිට්ටු තුනයි දශම හතරයි තුනයි...." මම පොත දිහා බලාගෙනම උත්තර දුන්න. ඕනම ගණං හිලව්වක් ඉදිරිපත් කරනකොට දශමස්ථාන දෙකකට කිව්වම ඒකෙ  තියනව පොඩි විශ්වාසනීයත්වයක් සහ ඒ වගේම ගතියක්.

" ඔය කිව්වෙ ඔන්න කිව්ව..ඔන්න කිව්ව... ..පනිට්ටු වලින් කොහෙද මනුස්සයෝ ඇඟේ ලේ ප්‍රමාණෙ මනින්නෙ?.." 

" අනේ මන්ද සමහරවිට දැං මනින්නෙ කැන්ද ගොටු වලින්ද නම් මන්ද..අපි ඉස්කෝලෙ යනකාලෙ නම් ලේ ප්‍රමාණෙ මැන්නෙ පනිට්ටු වලින් තමයි…" 

" ආආ..ඒක කෝක හරි..ඒයි මේ මේ බලන්ටකො මූ නං අනිවාර්යයෙන්ම ඩෙංගු මදුරුවෙක් වෙන්ට ඕන.." 

ඒ දවස්වල ඔය ඩෙංගු වැඩේ නැඟල ගිය කාලයක්නෙ. අපෙ උන්නැහෙත් ඉස්කෝලෙ සෞඛ්‍යය ටීචර් විදිහට පංතියෙ ළමයි එක්ක යනව සති දෙහෙකට විතර දවසක් මුළු ගම්මානෙ පුරාම ඩෙංගු මරන්ට. ඩෙංගු මරන්ට යනව කියන්නෙ ඔය මදුරුවො බෝවෙන වතුර එකතුවෙන තැං විනාස කරල දාන්ට, ගමේ මිනිස්සු දැනුවත් කරන්ට ..ඔය වගෙ රටේ නැති එව්ව...ඒ කරල කරුවල වැටීගෙන ඔන්න එනව පාං කියාගන්ට බැරුව....හෙහ්, හෙහ්, 

" ඩෙංගු මදුරුවයි කියල දැනගන්ට ක්‍රමයක් නම් තියනව. එවුංගෙ තටු දෙකේ ඩී අකුරක් වගෙ තියනව.."' මම පොතෙං ඇස් දෙක අහකට අරගෙන කියනව. 

" පිස්සුද අනේ... එහෙම ඩී අකුරු හොයන්නෙ කොහොමද මදුරුවංගෙ?....වෙන ක්‍රමයක් නැද්ද?...." ඔය කියන ගමනුත් උන්දැ මදුරු සංහාරය ජයටම කරගෙන යනව. 

" ආ.. ඩී අකුරු හොයන එක අමාරු නං තව ලේසි ක්‍රමයක් තියනව. " මම කෙලිං වෙල මෙට්ටෙ ඉඳ ගන්නව.. 

" ඒ මොකක්ද? " 

" ඩෙංගු මදුරුවගෙ කුඩා බඩවැල දඟර වැටිල තියෙන්නෙ දෙපාරයි. අනික් ඔක්කොම මදුරුවංගෙ දඟර තුනක් තියනව. " 

" අනේ..මෙහ්...…මම කිව්වයි කියල හිතා ගන්නවා හොඳද? "

මම කෝකටත් සූදානං සරීරෙ කියල ක්ෂණිකව කොහාට හරි පැනගන්ට බලාගෙන ලෑස්තිපිට ඉන්නෙ....අර තාප්ප මෝලෙම්ම කෙලල අරින්ටත් බැරි නෑ ඔය යෝදි..හෙහ්, හෙහ්, 

ඔය අම්මණ්ඩි මදුරුවන්ට කොච්චර බයද කිව්වොත් මාසෙකට සැරයක් මදුරු දැළ අරගෙන ගිහිල්ල මැලේරියා මර්දන කාර්යාලෙං අර බේත් වතුරෙ ගිල්ලවල අරගෙන එනව. නෙට් එකේ හතර කොණේ සුදු රෙදි පටි මහනව ඇඳේ කකුල් වලට අල්ලල බඳින්ට. ඒ ඔක්කොමත් කරල නෙට් එක ඇඟේ ගෑවුනොත් ඒ තැන්වල මදුරුවො කනවය කියල බිත්තිය දිගට නෙට් එක ඇතුලෙං තියනව කොට්ට පෙලක්..අනෙ අම්මේ අල්ලපු ජල්ලියක් නිදාගන්න ටිකට...අනේ ඉතිං වෛවාහික දිවියක් ගෙවනවය කියන්නෙ මේ ඔල්මොරොන්දං ඔක්කොම දැක දැකත් නොදැක්ක වගෙ මෞන ව්‍රතයට සම වැදිල ඇහැ කණ කට පියාගෙන ඉන්න එකය හිතල මම ඔය මොකවත්ම නොකිය ඉන්නව. ඒත් එහෙම ඉන්ටම බැරි වෙනකොට..... 

" මේ මම ඔයාගෙන් අහන්ටම කියලයි හිටියෙ..ඔය උපන්ගෙයිම හැටිද? ඒ කිව්වෙ පරම්පරාවෙන්ම එන විදිහද? නැත්තං ඔයාම ස්ව උත්සාහයෙන් වර්ධනය කරල පුරුදු පුහුණු කරගත්තු දෙයක්ද?.." 

මම කොට්ටෙට හේත්තු වෙලා පොත දිහාවෙ බලාගෙන කියනවා.. 

" ඈ??? මොකක්ද ඒ කිව්වෙ?..ආයෙම කියන්ට බලන්ට? " 

ඔන්න මදුරු සංහාරය ඇණහිටිනව...මම ඔලුව උස්සල බලනකොට මෙන්න මා දිහාවෙ කන්ට වගෙ බලාන ඉන්නව.. 

" මොකක්ද? ……." මම බෝම අහිංසක විදිහට අහනව. 

" මොකක්ද කියල තමයි මාත් අහන්නෙ?...." 

" ඇයි?..මම මොකවත් කිව්වද?...." 

" කිව්ව නේන්නං..කිව්ව එක ගැන තමයි මාත් මේ අහන්නෙ…" 

" ආ..ඒ මේ පොතේ තිබ්බ එකක්..මට හයියෙං කියවෙන්ට ඇති…." 

" ආ..එහෙමද? හරි ඔතන මතක තියාගන්ටකො. මම මේ වැඩේ එකළාසයක් වෙලා එන්නංකො පොතේ එහෙම තියන තැන බලන්ට හොඳද? " 

ඒ තමයි අපෙ උන්දැගෙ මදුරු මෙහෙයුම...හැබැයි එකක් තියෙන්නෙ අපි ඔය කැළේ හිටිය නෙව බැඳල අවුරුදු පහකට කිට්ටු වෙන්ට.එක පාරක්වත් ඩෙංගු මැලේරියා ඔය මොකවත්ම හැදුනෙ නෑ කිව්වම ඔන්න....අම්මප ඇත්තම ඇත්ත... 

හරි ආපහු අර පොඩි එකා ගැන කතාවට..මතකද මංද ඌ ගැන..හරි අසිත තමයි...ඔන්න ඕක ඉතිං අපෙ උන්දැ පස්සෙ ඇඹරි ඇඹරි එකෙල මෙකෙල වෙවී හිටියනෙ..කොලුවට මොනව හරි රහට කන්ට දෙන්ට ඕනය කියල මම ටවුමට ගිහිල්ල ගෙනාව මස් කොත්තු. 

ඒ දවස්වල අළුතෙං කොත්තු කඩයක් දාල තිබ්බ ටවුමෙ කොත්තු ගහනව අපෙ ගෙදරට ඇහෙනව කණේ තිබ්බ වගෙ...සුදු අසු පිට උඩ නැඟලා..ඕක තමයි කොත්තු බාස්ගෙ ෆේවරිට් තාලෙ...ඔන්න කොත්තු ගෙනල්ල කාල කලිම්ම බුදියන්ට සූදානං උනාය කියමුකො. පාන්දර පහමාරෙ බස් එකේ කොල්ලත් දක්කාන යන්ටත් එපාය අපෙ උන්දෙ... 

ඔන්න මට ඇහෙනව කොල්ල ඇඹරි ඇඹරි අපෙ උන්නැහැ එක්ක මොනවද සුටු පුටු ගාල කියනව.. 

" මොකෝ කේස් එක? " මම ඇහුව.. 

" අසිතට ටොයිලට් යන්ට ඕනය කියන්නෙ.." 

" ඉතිං මොකෝ ප්‍රශ්නෙ?..අර තියෙන්නෙ යන්ට කියන්ට…." 

ඒ දවස්වල අපෙ ක්වාටර්ස් එකේ එළියෙං තිබ්බ උක්කුටික පෝච්චි කකුස්සිය වහල දාල තිබ්බෙ. මෑන් හෝල් එකේ මොකක්ද බ්ලොක් එකක් වෙලා.මෑන් හෝල් එක කියන එක දන්නව නේද?..මනු බිල තමයි සිරා වචනෙ...කක්කුස්සියෙං කෙලිම්ම පූතික ටැංකියට එහෙම නැත්තං කවුරුත් දන්න විදිහට කකුස්සි වලට කෙලින්ම මල ද්‍රව්‍ය යවන්නෙ නැතුව ඔය වගෙ අතර මග මනු බිලක් හරහයි ඒ වැඩේ කෙරෙන්නෙ. ඔය නිසා පාවිච්චි කරන්ට තිබ්බෙ ගේ ඇතුලෙ තියන කොමෝඩ් එක විතරයි.මම කිව්වෙ අර පොඩි එකාට ඔය කොමෝඩ් එකට යන්ට පුලුවන්නෙව කියලයි. 

" ඒත් අනේ හරි වැඩේනෙ..අසිත දන්නෙ නෑනෙ කොමෝඩ් එකක් පාවිච්චි කරන විදිහ...." 

" එහෙනං ඉතිං අර ඉපිල් ඉපිල් පඳුරක් යටට යන්ටෙයි කියන්නයි තියෙන්නෙ " ඒ ටික මම කිව්වෙ උන්දැගෙ කණට කරල… 

" මේ කටවහගෙන ඉන්නවද? දැං අර ළමයටත් ඇහෙනව.." 

" ම්ම්ම්..ඒකත් එහෙමයි නේද?..එහෙනං නෝනා එකම දෙයයි කරන්ට තියෙන්නෙ?.." 

" මොකක්ද ඒ?..." උන්දැ මගෙ දිහාවෙ බලා හිටියෙ බලාපොරොත්තු දාහක් දෑසෙ දල්වගෙන.. 

" ඔයා පොඩි එකාට වැඩේ කරල පෙන්නන්ට ...වෙන ක්‍රමයක් නම් මට කල්පනා වෙන්නෙ නෑ…" 

" මොකක්??????......" 


මතු සම්බන්ධයි...... 

84 comments:

  1. හිනාවුනා කියන්නෙ හොඳම එකෙන්. මුලින් පටන් ගත්ත හිනාව නවතින්නෙ නැතුව බොහෝ වෙලාවක් රැඳී තිබීම නිසා කටත් රිදෙනව. අව්‍යාජ ආත්ම කථනය කියන්නෙ මේවට තමයි.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි රාජ්......

      Delete
  2. මෙච්චර කාලෙකට ඇහුවමයි ඔහොම කෙනෙක් ගැන

    ReplyDelete
    Replies
    1. ඔන්න එහෙනං අද ඇහුවනෙ රොබින්....There is a first time for everything :)

      Delete
  3. නිදියලද යුද්දයක් කරලද , ඔන්න මමත් අද කක්කා කතාවක් ලියුවා

    "
    මට රෙවුනෙමී ( තවත් එක් කක්කා කතා වස්තුවක් )
    "

    ReplyDelete
  4. Replies
    1. ස්තූතියි...ඔයාගෙ බ්ලොග් එක නියමයි...:)

      Delete
  5. මාරයිනේ.... මදුරුවන්ට ඔහොම බයක්...
    අපේ තාත්තටත් නෙට් එකක් දැම්මේ නැත්තං නින්ද යන්නෙ නෑ... හය මාසෙකින් මදුරුවෙක් දැක්කේ නැති උනත් නෙට් එක දාන එක අනිවාර්යයි....

    ReplyDelete
    Replies
    1. පොඩි කාලෙ මට නෙට් එක ඇතුලෙ නින්ද යන්නෙම නෑ..නිකං හුස්ම හිරවෙනව වගෙ දැනෙනව දැනෙනව වාගෙ..ඒත් අනුරාධපුරේ ඒ දවස්වල මැලේරියා විමානෙ නිසා අමාරුවෙන් හරි නෙට් එකට පුරුදු වෙන්න උනා...ස්තූතියි බණ්ඩා..:)

      Delete
  6. හිනා කාල මෑරුන බොලේ .මෙව නොනා දකින්න නෑතිව ඈති නෙ?සිල්ලන් මරු වචනෙ

    ReplyDelete
    Replies
    1. හෙහ්, ඔවුන්දැගෙ තියනව මරු වචන සෙට් එකක්...ඒ හැම එකටම තියනව වෙනම කතාවක්..හෙමිහිට ලියන්නංකො.....

      උන්දැ මේ දවස් වල කරවටක් වැහෙන්ට බුසී..ඒකයි මේ බය නැතුව ඔක්කොම ලියල දාන්නෙ ...හෙහ්, හෙහ්...

      Delete
  7. අහලා තියනවද අකුරු බොරු කිව්වත්, පින්තූර බොරු කියන්නෑ කියලා ආප්තෝපදේශයක්. අර උඩම තියන පින්තූරෙ බැලුවම අපිට හිතා ගත්තෑකි, කවුද මදුරු ඝාතක මෙහෙයුම කළේ, කවුද පොත් කියෙව්වෙ කියලා.. හැහ් හැහ් හෑ..

    බිම නිදා ගන්නවට වැඩිය හොඳ නැද්ද අඟල් නවයක් උඩ නිදා ගන්න එක ?

    ReplyDelete
    Replies
    1. / අර උඩම තියන පින්තූරෙ බැලුවම අපිට හිතා ගත්තෑකි, කවුද මදුරු ඝාතක මෙහෙයුම කළේ, කවුද පොත් කියෙව්වෙ කියලා.. හැහ් හැහ් හෑ.. /

      හෙහ්, හෙහ්..මම ප.ලි. කෑල්ලක් දාන්ටත් හදල ඔය පින්තූරෙ තියන විදිහට නම් නෙවෙයි වැඩේ සිද්ද උනේ කියල, ආය නිකා හිටිය...ඔච්චර තමයි සෙන්නො අදාල රූපයක් හම්බ උනේ...:)

      / බිම නිදා ගන්නවට වැඩිය හොඳ නැද්ද අඟල් නවයක් උඩ නිදා ගන්න එක ? /

      ඒක හරියන්නෙ නෑ බං..එතකොට එහාටත් නෑ..මෙහාටත් නෑ..බිමත් නෙවෙයි..උඩත් නෙවෙයි....එහෙම හරි යන්නෙ නෑනෙ..එක්කො දොං එක්කො සිමං...

      Delete
  8. මාරම ලියවිල්ලක් බොලව් හිනා කළා මැරෙන්ඩ ගියා

    ReplyDelete
    Replies
    1. ස්තූතියි..ස්තූතියි....බොහොත් ෂුක්රාන්...:)

      Delete
  9. හය්යෝ... හය්යෝ.... මම පොඩ්ඩක් බිම පෙරළිලාම හිනා වෙන්න ඕනේ මේකට නම්! හිකි හිකි...

    ReplyDelete
    Replies
    1. ඉතිං හිනා වෙයං එහෙම ....ස්තූතියි මැඩම්...:)

      Delete
  10. ඈ මචං රවී? මම මේ කල්පනාකලේ අපි දෙන්නගේ තියෙන සමාන කම්.

    විස්තරය.....................උඹ........ මම
    _____________________________________________

    සුලෝහිතේට ගියා..............ඔව්........ඔව්

    බ්ලොග් ලියනවා...............ඔව්........ඔව්

    ටීචර් කෙනෙක් බැන්දා...........ඔව්........ඔව්

    මහවැලි කළාප වල හිටියා.........ඔව්........ඔව්

    මෙට්ටෙ බිම දාලා නිදා ගත්තා..... ඔව්........ඔව්

    etc etc.

    තව තියෙනවා. පස්සෙ කියන්නම්. එක කමෙන්ට් එකෙන්ම එලි වෙන්නේ නෑනේ.

    Coming up next: උඹේ එක්කෙනා සහ මගේ එක්කෙනා.
    අර මෙට්ටේ දාලා බිම නිදාගත්තයි කිව්ව එකා ඇඳ යට කොයිල් පත්තු කරන්නේ අර මාස හයෙන් පස්සෙද? නැතිනම් උඹට අමතක වුනාද මෙට්ටේ බිම දාල නිදියෙන බව?

    ReplyDelete
    Replies
    1. Henry,

      / අර මෙට්ටේ දාලා බිම නිදාගත්තයි කිව්ව එකා ඇඳ යට කොයිල් පත්තු කරන්නේ අර මාස හයෙන් පස්සෙද? නැතිනම් උඹට අමතක වුනාද මෙට්ටේ බිම දාල නිදියෙන බව? /

      හෙහ්, හෙහ්..අන්න මල්ලි තවත් අපි දෙන්නගෙ සමාන කමක්…Attention to details කරුණු පිළිබඳ දැඩි අවධානය..මතකනෙ උඹ අර බතලයායෙද කොහෙද හිටපු කාලෙ පිට්ටනිය මැද ලිස්සල ගිහිල්ල මුණින් අතට වැටිච්ච කේස් එක..හෙහ්, හෙහ්, අපි එක්ක සෙල්ලං නෑ නැද්ද බොල...:)

      රයිට් ඔතන ඔය ඇඳ යට කොයිල් පත්තු කරන සීන් එකේ එක්ස්ප්ලනේෂන් එක මෙහෙමයි මචං..කොහොමද?

      මට පොඩි අතපසුවීමක් උනේ සතියක් දවස් දහයක් වගෙ කාල පරතරයක් මම නොසලකා හැරපු නිසා. ඒ කිව්වෙ මෙහෙමයි. අපි මුල්ම සතියක් විතර නිදාගත්තෙ මචං මගෙ කාලයක් නිදාගත්තු තනි ඇඳේ..ඒකෙ කොහෙ බුදියන්ටද දෙන්නෙක්....මම නං ආය නෑ බුරුත කොටේ වගෙ බුදි..ඒකට අරුන්දැ...රෑ එලිවෙනකොට මම හිතන්නෙ කිලෝමීටරයක් විතර එහාට මෙහාට පෙරලිල. මේක කරන්ට බැරිම තැන තමයි අර එයයිලගෙ ඉස්කෝලෙ කිට්ටුව වඩ්ඩට කියල ඇඳක් හදව ගත්තෙ. ඒ එක්කම ඩබල් මෙට්ටෙකුත් ගෙනාවට අර ඇඳේ උසේ අවුල නිසා මාස ගානක් මෙට්ටෙ බිම දාල තමයි නිදා ගත්තෙ. ඔය තනි ඇඳේ නිදාගත්තු කාල සීමාව සහ මෙට්ටෙ බිම දාල නිදාගත්තු කාල් සීමවන් දෙක අතිපිහිත ( Overlap ) වෙලයි හෙන්රි මේ ව්‍යාකූලත්වය පැනනැඟුනෙ...

      Delete
    2. me "athipihitha" kiyanne ahthtama wachanayakda ravi ayye? nathnam joliyata hadapu ekakda?

      Delete
    3. මාත් කවදාවත් නෑ අහලා නෑ සයුරි ඒ වචනේ. අපේ රවියා ඉතින් "නැතිනම් හදලා කියනවා" නේ.

      රවී, ඔන්න තවත් අර ලිස්ට් එකට එකතු කරන්න දෙයක් attention to detail, (just to put the other dude in trouble), හෙහ් හෙහ්.


      ඈ මචං රවී? ඈ බං? අපි බැඳලා තියෙන්නේ නිවුන්නුද? මේ බලාපං දෙන්නගේ තියෙන සමාන කම්.

      විස්තරය.....................උඹේ එක්කෙනා........ මගේ එක්කෙනා
      ______________________________________________________

      මධ්‍යම පළාතෙන්.................... ඔව්............... ඔව්

      පිස්සු හුටං කෙනෙක් බැන්දා............ ඔව්............... ඔව්

      ගෙදරට ෂෝට්/තුන්කාල් අඳිනවා.......... ඔව්............... ඔව්

      මහවැලි කළාප වල හිටියා.............. ඔව්............... ඔව්

      මෙට්ටෙ බිම දාලා නිදා ගත්තා........... ඔව්.............. ඔව්

      ගුරුවෘතිය......................... ඔව්............... ඔව්

      මදුරුවන්ව පේන්න බෑ................ ඔව්............... ඔව්

      මදුරුවන්ට එරෙහි මෙහෙයුම් කරනවා...... ඔව්............... ඔව්

      මදුරුවෝ කෑවාම පළු දානවා........... .ඔව්............... ඔව්

      මදුරුවෝ ගැන කතා පවත්වනවා...........ඔව්............... ඔව්

      මදුරුවන් ගැන අනාවැකි කියනවා......... ඔව්............... ඔව්

      මදුරුවෝ සංහාරයට මන්දෝත්සාහී වීම ගැන
      හස්බන්ඩාව විවේචනය කරනවා........... ඔව්............... ඔව්

      නෙට් එකට කොට්ට පේලි අඩ තියනවා......ඔව්............... ඔව්


      etc etc.

      Expect more...

      Delete
    4. සයුරි,

      ඔන්න ඔන්න ඕකනෙ කියන්නෙ...අපි ගැන විස්වාසෙ තියල තියෙන්නෙ එහෙමයි මැඩම්ල නේද?...බොහොම කණගාටුයි..බොහොම කණගාටුයි....බොහොමත්ම කණගාටුයි!!!

      හෙන්රි,

      අඩේ බොලේ උඹ දන්නෙත් නැද්ද ඒ වචනෙ....

      ඔන්න එහෙනං ආණ්ඩුවෙ සද්දකෝසෙම්ම.....

      Delete
    5. හුහ්.. මේ ඉන්නේ ජාඩියකුයි මුඩියකුයි සෙට් වෙලා???
      නුවර පැත්තේ හින්ද හොදයි.... නැත්තම් ඉතින්..... එක්කෝ ඕන්නෑහ්........

      Delete
    6. Henry,

      / ඈ මචං රවී? ඈ බං? අපි බැඳලා තියෙන්නේ නිවුන්නුද? මේ බලාපං දෙන්නගේ තියෙන සමාන කම්. /

      දෙයියෝ සාලේ ..හෙන්රියො මේ...මේක අහපංකො...අපෙ උන්නැහැට ඉඳල තියනව නේන්නං නිවුං සහෝදරියක්. අවුරුදු හතරෙදි විතර නුවර පෙරහැර බලන්ට ගිහිල්ල අලියෙක් කුලප්පු වෙල මහ ජංජාලයක් වෙලාහිට ඒ ළමය මෙයාලට මඟ ඇරිල තියනව. මල්ලි අනිවා ඩෙෆා ඔය උඹේ හාමිනේ තමයි ඒ…

      හරි..අපි කරමු ඩී.එන්.ඒ පරීක්ෂණයක්.මම ඒ වැඩ ටික ඔක්කොම සංවිධානය කරන්නං මොකද උඹ මගෙ බුදු පිටා වෙච්චි. උඹ වෙනුවෙන් ඒ ටික මම කරන්ටම එපාය. අනික උඹ ෆුල් බිසි බුවෙක් නෙව.උඹට ඔව්වට වෙලාවක් කලාවක් නෑ. මම දන්නව ඒක..මේ මල්ලි කිසිදේකට බය වෙන්ට එපා.

      ටිකක් වියදං නං තමයි...නියර්ලි වන් මිලියන් විතර. හරි මම දාන්නං බාගයක්. උඹ ලෑස්ති කරගනිං ඉතුරු බාගෙ..මේ අර උඹෙ පරණ වැනට් කටුව බැරිවෙන එකක් නෑනෙ නේද පහකට දෙන්ට..හරි එහෙනං ඒකත් හරි..මම සල්ලි එවන්ට කිව්වම සල්ලි එවාපං..එච්චරයි උඹට කරන්ට තියෙන්නෙ…

      ලක්ස පහ ගැන හිතන්ට එපා බං..අපෙ හාමිනේලගෙ ගමේ අම්මට උඩු සාගරයක් වගෙ ඉඩං කඩං...අලිම ඉන්නව හතර දෙනෙක්...උන්ගෙං දෙන්නෙක් ඇත්තු..දළ පහයි..තව පේනතෙක් මානෙ ඉඩං...වල් ඌරොද, හම්බාවොද, මීමින්නොද මචං නැති සතෙක් නෑ. බලාපං ඔය දේපළ වලිං කොටසක් උඹෙ හාමිනේටත් අයිති උනොත් ආය එපා කියන්ටද?..දෙන දෙයියො හොම්බට අණ ඇණ දෙනව කියන්නෙ ඔන්න ඕකට තමයි. බොලා දෙන්නටම ඔය කරවල වේලන රස්සාවෙං අයිං වෙලා දෙයියනේ කියල ෂපාන් එකේ හිටියෑකි.

      දැං උඹ හිතයි මූ මොකටද මේ ජීවිතේට දැකලවත් නැති මනුස්සයෙකුට ඉඩ කඩං අයිතිකරවල දෙන්ට හදන්නෙ කියල. හෙහ්, හෙහ්, අන්න හෙන්රි මහත්තයෝ ඒක තමයි අපෙ සිංහලයගෙ ගතිය පරාර්ථකාමිත්වය. සත්ගුණවත් භාවය. ඒ වගේම මිතුරකු වෙනුවෙන් හද පුරා නැඟෙන බක්තිය. හරිනෙ මල්ලි එහෙනං සල්ලි ලෑස්ති කරල මට දන්නපං ඕකේ?

      Delete
    7. මේකාව කොටියා කාපිය. අර මගේ ටවුන් ඒස් එක වැනට් එකක් කරලා, ඒකෙ මාකට් එක බස්සලා මදිවට... එක්කෝ ඕනෙ නෑ.

      Delete
    8. හෙහ්.... හෙහ්... මෙන්න මගෙනුත් උදව්වක් ඩුඩ් !
      දැක්ක නේද බිස්නස් ප්ලෑන් එකේ දිග? අම්මේ...

      Delete
    9. //ඇත්තු හතර දෙනෙකුට දල පහක් තියනවා ඇහුවමයි..//
      පොඩ්ඩිත්තක් පැහැදිලි කොලා නම්..

      Delete
    10. රූ,

      ඇත්තු හතරදෙනෙකුට දළ පහක් කියල මම කියල නෑනෙ බොලේ..මෙහෙමයි මම කිව්වෙ,

      / අලිම ඉන්නව හතර දෙනෙක්...උන්ගෙං දෙන්නෙක් ඇත්තු..දළ පහයි. /

      එතන පැහැදිලි කිරීම මෙහෙමයි මැඩම්..අපෙ හාමිනේලට කලිං හිටිය ඇත්තු තුනක්. උංගෙ අර මද කිපෙන කාලෙට දෙන්නෙක් දවස් දෙකක් විතර හෙන පයිට් එහෙකට සෙට් වෙල. කාටවත් මොකවත් කරගන්ට බැරිවෙලා. ඇත්තු ගහගන්නකොට මිනිස්සු මොනව කරන්ටඩ එක අතකට?...ඒකෙං එක ඇතෙක් මැරිල.

      ඒත් මැරෙන්ට කලිං ඒකා ඇනපු පාරකට උගෙ දලයක් අනික් ඇතාගෙ පිටේ ඇමිණිල. කොච්චර යටට ගියාද කිව්වොත් ඒ දළේ ගැලවිල ඇවිල්ල පිට උඩ තියනව හෙල්ලක් හිටෙව්ව වාගෙ. අලි දොස්තරල කිව්වලු ඒ දලේ බොහොම යටට ගිහිල්ල තියෙන නිසා ගලවන්ට ඔපරේසං කරන එක අවදානං වැඩිය ඔහොම්මම තියෙන්ට අරිමුය කියල.ඉතිං අන්න එහෙමයි අපෙ හාමිනේලට ඇත්තු දෙන්නයි දළ පහයි උනේ.

      හැබැයි එකක් තියනව ඊට පස් සෙ ඌ පෙරහැර වලට එහෙම යවන්ට බැරි උනාට අලි පිටේ යන්ට ඉස්සොරෝම පුරුදුවෙන්ට නං කියාපු සතා. වැටෙන්නෙ නෑ ජීවිතේට. අර පිට උඩ තියෙන දලේ අල්ලගන්න එක විතරයි තියෙන්නෙ.

      Delete
    11. හැහ්! ඈ රවී අයියේ ඔයත් එතකොට ඔය හදිසි ආපදා සෝභිනී ඉස්කෝලෙට ගිය කෙනෙක්ද?
      එක අතකට පුදුම වෙන්ටත් බෑ මොකෝ මම දන්න තරම් ඕකට ගිය එවුන් ඔක්කොම රවී අයියා වාගෙම පිස්සුව ටිකක් තද උනු පොරවල් නේ :D :D

      Delete
    12. අමා,

      අනේ පලයං බං යන්න...බොලාගෙ එක ගැන මගෙං අහගන්න එපා..අපි පඤ්ඤාය එක පැත්තෙ කරක් ගහනකොට උඹල ඉපදිලාවත් නැතුව ඇති මහිතේ…Not even in the process I am sure ( With sincere apologies to Bindi's elder daughter )

      අනික ඔය පඤ්ඤාය එකේ අංගනාවියක් තමයි මගෙ නිර්මල, කුළුඳුල්, නැවුම්, හුර්දය මුල්වරට තලා පෙලා රිදවා විනාස කරල දැම්මෙ...මතක් වෙනකොටත් දුකයි බොල ...ඇඬෙනව......කොටින්ම මයෙ පපුව ස්තබ්ධ කරලම දැම්ම ඒ ළමිස්සි..

      Delete
  11. මචං, මට මේ කතාව මතක් වුනා උඹට වාගෙම.

    එක කොල්ලෙක් හිටියලු ඔය කොම්පියුටර් ගැන,ඉන්ටනෙට් ගැන හෙම මාර උනන්දුවක් තිබ්බ. ඒ ඔය දේවල් ලංකාවට ආපු අලුතලු. මූ දවසක් කොහේදෝ ගිහින් ගෙස්ට් හවුස් එකක ඉඳලා. ඒකෙ බිත්තිත් කාඩ්බෝඩ් වගේ තුනී හන්දද කොහෙද මූට ඇහෙනවලු අල්ලපු කාමරේ ඉන්න ජෝඩුවගේ කතාබහ.

    මූට ඇහෙනවලු "ඉන්ටනෙට් එක දාන්ට. ඉන්ටනෙට් එක දාන්ට," කියනවා.

    මූට ඉන්නම බැරුව. කොරිඩෝ එකට ගිහින්. පු‍ටුවක් තියලා ජනේලේ උඩ තිබ්බ ග්‍රිල් එකෙන් එබිලා බැලුවාමලු දැක්කේ වයිෆ් මදුරු දැල දාලා මෙට්ටෙට යට කරනවා.

    නුවර පැත්තෙ ජෝඩුවක්!


    ReplyDelete
    Replies
    1. මේ... නුවර පැත්තේ කිව්වා... ආයෙත් කියමු බලන්ට!!!

      Delete
    2. හෙහ්,හෙහ්..මේ ඔය නුවර පැත්තෙ නෑම්බියක් ගැන කතාවක්....

      බොහොම ආරස්සා සහිතව දෑහේ මූණේ තියාගෙන තනාපු කෙලිත්ති..ඔන්න දීගෙක දුන්නය කියමුකො..මේං බොලේ පහුවදා උදේ කුකුල්ලු අඬන්ටත් කලින් මේකි කොට්ට පැදුරු කරේ තියාගෙන ආපහු ගෙදර ආවලු..

      " සංදුක්කාරේ ..මොකෑ සත්තරනේ මේ? "

      අම්මණ්ඩි ඇහුවලු කම්මුලේ අතකුත් තියාන.

      " හුහ්, උන්දැ දන්නෙ නෑ මං කවුද කියාල..හොඳ විස්සාසෙට ගනිං අපෙ අම්මෙ..ඒ මිනිහ මයෙ කට කන්ට නෙව තැනුවෙ..දොර පොල්ලෙං දුන්නෙ මං දෑත බදල කොන්ද හරහට...මොනවදෑ ආය එහෙනං...."

      මේ මගෙ වාං පතුල් කතා මාලාවෙ එක එපිසෝඩ් එකක්...මේ උපේක්සා ගොයියට නුවර කෙල්ලොංගෙ හැටි කියල දෙන්ට ඕන නිසාමයි මෙතන කිව්වෙ...හෙහ්, හෙහ්,

      Delete
    3. ඔන්න දුන්නා නේද බොලේ දුන් බෝම්බයක්!!!
      මට සුවර් රවී... අපේ අය්යාගේ යාලුවෙක්වත්දෝ කියල... නැහ් ! වෙන්න බැහැ ... දැන් ඒ මනුස්සයා ඉස්සර තරහ මරහ ඇත ඇරලා.. එක්කෝ ඔයාටවත් දුන්නද කොන්තරාත්තුව??

      Delete
    4. ඇයි රවි,මහවැලි කළාපෙක රස්සාවට ගිය බුවෙක් ඒ පැත්තෙ නෑම්බියක්ව ෆිල්ම් එකකට එක්ක ගිය කතාව,
      ඉන්ටවල් එකේදි කෙල්ල කියනවලු...
      අනේ අප්පේ මහත්තය කරුවල වැටිච්චි වෙලේ ඉඳන් මයෙ කට කන්ට තැනුව මිසක්ක...තිබාසෙට පැන්ට කුප්පියක්වත් බොන්ට අරන් දෙන්නෙ නැතුව‍යැ

      Delete
    5. කවදා ලියැවේදැයි හිතාගන්න බැරි කතා වල කමිං කෑලි දැමීමට එරෙහිම නැගී සිටිමු..!!

      Delete
    6. රූ,

      අනේ ඉවසල ඉඳහං සුට්ටක්..ලියනව ලියනව අම්මප ලියනව

      Delete
  12. //ඒකෙ බවුන්ඩේසම විතරක්ය හදන්ට සැළසුම් කරල තිබ්බෙ..බිල්ඩිම වෙනම තැනක හදනවය,//

    happo mehemath katha aththata :D methanin ehata kiyawanna baruwa peya bagayak withara hitiya. hina wenawa kiyala mehemath hina wenna puluwanda.

    eka nemei ko ara van pathul?

    ReplyDelete
    Replies
    1. / happo mehemath katha aththata :D methanin ehata kiyawanna baruwa peya bagayak withara hitiya. hina wenawa kiyala mehemath hina wenna puluwanda. /

      ඇයි බං?....මොකෝ කේස් එක?..එහෙම බැරිය කියලද උඹ කියන්නෙ?...ඈ??? මොකක්ද අවුල?....අනික බං වැඩෙත් බොහොම ඉක්මං..මේ දවස්වල කෙරෙන කඩිනං වියාපූර්ති වලට කියාපු කෙරේමෙ...නැත්තං බවුන්ඩේසම දාල ඉවර වෙලානෙ බිල්ඩිම හැදෙන්නෙ ..එතකොට වැඩේ පරක්කුයි..මෙතන බවුන්ඩේසම යද්දි අතන බිල්ඩිම හැදෙනව කියන්නෙ පට ගාල වැඩේ ඉවරයි..ඔය මංජුසාවෙං පරිබාහිර චින්තනය ( Thinking out of the box ) කියල කියන්නෙ බොල වෙන මොකටවත් නෙවෙයි ඔන්න ඔය වගෙ අලුතිම්ම මේ ලෝකෙ කාටවත්ම පහල නොවිච්චි අදහස් පහල වෙනවට. අම්මප..මේ නයෙක් එහෙම කියල හිතන්ට නම් එපා හරිය? මයෙ හිතට පහල වෙන්නෙම ඔය වගෙ එව්ව නෙව...හෙහ්, හෙහ්,

      / eka nemei ko ara van pathul? /

      තියනව තියනව..ඒකත් තියනව..ලියන්නං ලියන්නං එව්වත් ලියන්නං....

      Delete
    2. අනේ මෙයාගේ පච!
      රැවටෙන්න එහෙම එපා ඔන්න

      Delete
  13. බොහොම අමාරුවෙන් සද්ද නොකර හිනාවුනේ, නැත්තම් මේ මහරෑ තනියම හිනාවෙන්නෙ මට පිස්සු කියලා බොඩිමෙන් පන්නනවා..

    ReplyDelete
    Replies
    1. ඔහොම හිනාව තද කරගන්ට නාකයි දන්නවද මිදුණු හදවත?...

      එහෙම හිනාව පිට නොවුනම කාලයක් ගිහාම හැදෙන්ට පුලුවන් ගුල්මෙ වගෙ මහ බයානක රෝග..ඒ නිසාවෙන් ඔලුවට පරණ පෝර මල්ලක් හරි දාගෙන බෙල්ල වටේ කොහු ළණුවකිං ගැටගහගෙනවත් හිනාවෙන්ට බලන්ට..එතකොට සද්දෙ පිටට ඇහෙන්නෙ නෑ...

      Delete
  14. එවුන්දෑ උඹේ ඔය දශමස්ථානයට දෙන උත්තරත් එක්ක කොහොම හිටියද කියලා මං කල්පනා කරන්නේ...

    බැඳපු අලුත ඉතිං මදුරු මෙහෙයුමට පොඩි සහයෝගයක් දුන්න නම් නේද හොඳ?

    ReplyDelete
    Replies
    1. / එවුන්දෑ උඹේ ඔය දශමස්ථානයට දෙන උත්තරත් එක්ක කොහොම හිටියද කියලා මං කල්පනා කරන්නේ… /

      බොලාටත් මයෙ වැරැද්දමයි පේන්නෙ?....අඩේ මේක අහපං..ඒ අම්මණ්ඩි එක්ක එහෙම නැතුව බෑ..මහ මරුමුස් යෝදි...මයෙ කට හින්දම ඔය ටිකක් සැලැන්ඩර් වෙලා ඉන්නව..නැත්තං එහෙම මාව සම්බෝල හදන්නෙ බැඳල දෙමාසයක් යන්ට කලියෙං ඇහුණය? දෙමාසයක් යන්ට කළියෙං....

      මේ..හම්බ වෙච්චි දවසක නිකමටවත් අහන්නෙ නෑ කියල පොරොන්දු වෙනවනං කාරණයක් කියඤ්ඤං ..ඔය යෝදිගෙ අම්ම..මයෙ නැන්දම්ම ගිහිගේ අතෑරල මහණ වෙන්ටලු හිටියයි කියන්නෙ එයයි එක්ක ඉන්ට බෑය කියල. යාන්තං මම උන්දව පොතේ අස්සං කොරල කැංදං ආවයිං තමයි ඒ වැඩේ නැවතිල තියෙන්නෙ...ඔන්න මේ උඹට හින්ද කියන්නෙ..ඔය මේ අතන මෙතන කිය කිය ඇවිදිනව එහෙම නෙවෙයි මලේ..හරිය?

      / බැඳපු අලුත ඉතිං මදුරු මෙහෙයුමට පොඩි සහයෝගයක් දුන්න නම් නේද හොඳ? /

      මොකද බං නැතුව...තනිකර මගෙන්නෙ ලොජිස්ටික්ස්..අවි ආයුද..ඒ කිව්වෙ මේ තාප්ප මෝල..ආ..තාප්ප නෙවෙයි නේද..හරි මදුරු මෝල කියමුකො..මම නෙව මදුරු මෝල හදල දුන්නෙ එයයිට..අනික මම ඔය මෙට්ටෙ දිගාවෙලා නිකං ඉන්නෙමත් නෑ පොත විතරක් බල බල...විඩිං විඩේ දෙනව ෆුල් බකප් එක..චියර් පාර..ඒයි තව ටිකක් දකුණට..දකුනට ළමයෝ..දකුනට ඔය ඉතිං..ඔය දකුණ නෙවෙයි අනික් දකුණ..ආන්න හරි....හප්පද බොල ඒ පාර නම් අහුවෙච්චි මදුරුවංගෙං සීයට අනූනමයයි දසම නමයයි හතක්ම ඩෙංගු මදුරුවො...දාන්ට බලන්ට මැඩම් පහක්...අම්මද බොල එයයිගෙ මූණෙ සිරියාව..කට කණේ...

      Delete
  15. man ehema oyawa marry karala hitiya nam hina wela sure 1ta gedarinuth pannai rata rata holman sadda enawa kiyala.....aththatama oya kiyana ewata ekata eka nokiya oyage wife kohoma hitiyada kiyala mata nam hita ganna wath ba................

    ReplyDelete
    Replies
    1. පිස්සුද සචිනි? ඒ අම්මණ්ඩි ඔය මම කියන කිසි එහෙකට හිනා වෙන්නෙ එහෙම නෑ..මූකළං බැස්සි වගෙ ඉන්නව ඔරවගෙන හැබැයි තොල් හපාගෙන..මම ටිකක් එහෙට මෙහෙට වෙනකල් ඉඳල තමයි කැකිරි පලන්නෙ...හෙහ්, හෙහ්,

      Delete
  16. හයියෝ මදුරුවෙක් හින්ද වෙලා ‍තියෙන වින්නැහියක්.
    ඔය ලැට්වල මෑන්හෝල්නං මහ වදයක්. අපේ ගෙදරත් ඔය වගේ එකක් හදල තියෙනව. ‍මොන කෙහෙල්මලකටද දන්නෑ. ඕකත් අවුරුද්දක් දෙකක් යනකොට ලෙඩ දෙන්න ගන්නව.

    ඉතිං අසිත කොලුවට කොමෝඩ් එක පාවිච්චි කරනහැටි පෙන්නුවද?

    ReplyDelete
    Replies
    1. / ඔය ලැට්වල මෑන්හෝල්නං මහ වදයක්. අපේ ගෙදරත් ඔය වගේ එකක් හදල තියෙනව. ‍මොන කෙහෙල්මලකටද දන්නෑ. ඕකත් අවුරුද්දක් දෙකක් යනකොට ලෙඩ දෙන්න ගන්නව. /

      ඔය මෑන් හෝල් එක හෙවත් මනු බිල ඇවිල්ල ඉතාම වැදගත් අත්‍යාවශ්‍ය ඉදිකිරීමක්...කකුස්සි පෝච්චියෙ ඉඳල හරි කොමෝඩ් එකේ ඉඳල හරි එන බටේ නැවෙන තැන් වලයි බටේ දිග වැඩි උනොත් ඒ තැන්වල මැදිනුයි ඔහොම විවෘත කල හැකි ඉදිකිරීමක් කරන්නෙ බං හදිස්සියෙ ඔය බටේ නැම්මක නැත්තං දිග වැඩි නිසා මැදක බඩු හිර උනා..කෙලියා නේද?....මෑන් හෝල එක නැත්තං දිහටම බටේ කඩල බලන්ට වෙනව කොහෙද හිර වෙල තියෙන්නෙ කියල. මෑන් හෝල් එක නිසා වැඩේ ඉතාම පහසුයි, ලේසියි..පියන ඇරිය..ටිකක් හයිය ඒත් නම්‍යශිලී කම්බියක් බටේ දිගේ යැව්වා සුද්ද කලා..ආන්න තේරුණය මෑන් හෝල් එකක් මොකටද තියෙන්නෙ කියල.

      / ඉතිං අසිත කොලුවට කොමෝඩ් එක පාවිච්චි කරනහැටි පෙන්නුවද? /

      ගුරුවරියක සමග මගේ ජීවිතය ...4 ඔබගේ පැණයට පිළිතුරු සපයනු ඇත.

      Delete
  17. දැන් නම් තියෙනව නේ ටෙනිස් පිත්තක් වගේ බැටරි දාන මැසි මදුරු තලනයක් . ඔහේ නැත්තන් කියන්න එකක් ගෙනත් දෙන්නන් . ඇයි අර පොල්තෙල් ගාපු පිඟාන ..දැනන් හිටියේ නැද්ද . මටත් නං පේන්න බැරිම සතා තමයි මදුරුවා . කොයි ස්වාමියාටත් අඩු වැඩි වශයෙන් අර තනි ඇඳෙන් යුගල ඇඳට මාරු වුනාට පස්සේ ඔය සංක්‍රාන්ති සමය ගෙවන්න වෙනවා නේ . හත් අවුරුද්දකින් හෝදන්නේ නැති බෙඩ් ෂිට් කොට්ට උර වල මිහිරි සුවඳට හුරු වෙලා හිටපු බැචුලර්සලා මනුස්සයෙක් කරලා ගන්න එක එසේ මෙසේ රාජකාරියක් නෙමේ කියල අය කියන්න ඕන නැහැනේ .. කවද කාපු ටකරන්ද ..මදුරු දැල් නේ ..

    නෙට් ගැන කියනව නම් හතරැස් නෙට් එක වඩා හොඳයි . නෙට් එක ඇඳ මෙට්ට අස්සෙන් ගහලා සීල් කරලා වටේට කොට්ට තියල බංකර් ගහල නිදා ගත්තත් එකෙක් හරි රිංගලා කන අස්සේ කීං ගානකොට මට නම් එන තරහ කියල වැඩක් නැහැ . අදටත් නිවාඩු යනකොට නැනදම්ම ගෙන් කලින්ම අහන්නේ නෙට් එක සනීපෙන් තියනව නේද කියල .

    ReplyDelete
    Replies
    1. / දැන් නම් තියෙනව නේ ටෙනිස් පිත්තක් වගේ බැටරි දාන මැසි මදුරු තලනයක් . ඔහේ නැත්තන් කියන්න එකක් ගෙනත් දෙන්නන් . ඇයි අර පොල්තෙල් ගාපු පිඟාන ..දැනන් හිටියේ නැද්ද . /

      ටෙනිස් ගහන්ට බෑ බං..මෙවුං මේ සීලිමෙ නෙව වහල ඉන්නෙ ලයිට් තියනකල්..නිව්ව ගමං එනව පල්ලෙහාට රූං..රූං ගෑවිල්ලෙ....පොල්තෙල් පිඟං වැඩේ හරි ගියෙත් නෑ අනේ ..එහෙ මදුරුවො මහ පෝරිසාදයො ටිකක්. උං අහුවෙන්නෙ නෑ ඔය පොල් තෙල් පිඟං වලට..අන්තිමට මම කිඩ්නිය පාවිච්චි කලා..අර කලිනුත් කිව්ව වගෙ මංජුසාවෙං පරිබාහිරව හිතුව..හෙහ්, හෙහ්..මම කලේ මදුරුවො අල්ලල පොල්තෙල් පිඟානෙ ඇලෙව්ව..හෙහ්, මදුරුවො කොහෙද මා එක්ක සෙල්ලං දාන්නෙ...

      / හත් අවුරුද්දකින් හෝදන්නේ නැති බෙඩ් ෂිට් කොට්ට උර වල මිහිරි සුවඳට හුරු වෙලා හිටපු බැචුලර්සලා මනුස්සයෙක් කරලා ගන්න එක එසේ මෙසේ රාජකාරියක් නෙමේ කියල අය කියන්න ඕන නැහැනේ /

      ඔය කිව්වෙ..ඔය කිව්වෙ..ඔන්න කිව්ව..ඔන්න කිව්ව..හත් අවුරුද්දකිං හෝදන්නෙ නැති.....අර එතුමා මේ දවස්වල බ්ලොග් බලන්නෙ නැති වෙන්න ඕන නොවැරදීම..නැත්තං ඒ රටක් වටින මනුස්සයට සුවල්ප නං අපහාසයක්ද මේ කොරල තියෙන්නෙ...අම්මප මයෙ ඉසකේ කේශාකර්ශනය උනා ඔන්න කොටිම්ම.

      / නෙට් ගැන කියනව නම් හතරැස් නෙට් එක වඩා හොඳයි /

      මගෙ නම් ප්‍රියතම අර ඇඳටම සවිකරපු ලී ප්‍රේම් එකක් උඩටම ගහල සම්පූර්ණ ඇඳම පොඩි කාමරයක් වගෙ හිටින්ඩ නෙට් එක දාල තියෙන්නෙ....ආන්න ඒ ක්‍රමේට. අපෙ අත්ත කෙනෙක්ගෙ ගෙදර වතාවක් මම පොඩි එකා කලෙ ගියා. ඒ ඇවිල්ල රුපහ කියන දිහාවෙ. එහෙදි නිදාගත්තෙ ඔන්න ඔය වගෙ ඇඳක.එහෙම ඇඳක නිදාගන්න එකත් මගෙ ඉටුනොවුනු ආසාවලින් එකක්.

      / නෙට් එක ඇඳ මෙට්ට අස්සෙන් ගහලා සීල් කරලා වටේට කොට්ට තියල බංකර් ගහල නිදා ගත්තත් එකෙක් හරි රිංගලා කන අස්සේ කීං ගානකොට මට නම් එන තරහ කියල වැඩක් නැහැ ./

      අම්මප..මේ බොලොග්ය කියල අටමගලක් ලියන්ට ආවයිං වෙච්චි කියා නිමකරන්ට බැරි එක වාසියක් තියනව..මොකක්ද?....මම මේ අපෙ උන්නැහැගෙ ඔල්මොරොන්දං තමයිය මෙව්ව ,මේ තුං ලෝකෙ වෙන කිසිම බබලතෙක් මේ වගෙ විපිරියාස කරන්නෙ නැත කියල හිතාගෙන හිටි එව්වයිං සීයට අනූවක් බොලේ මේ බොලොග් ලියන අම්මණ්ඩිලත් කොරනවනෙ.වහාම එතුමියගෙං සමාදිය බජනය කොරන ලෙස ඉල්ලා හිටින්ඩ ඕමනයි.

      Delete
  18. මාර යුද්ධයක් නෙ නිදාගන්න ගිහිල්ල කරල තියෙන්නෙ.
    මමත් කොළඹ ඉදන් දෙහිඅත්තකන්ඩිය වැඩබිම ට ආපු දවසක මහවැලි ක්වාටර්ස් වල නවතින්නෙ නැතිව වැඩ කරන කට්ටිය එක්ක වාඩියක නැවතිල මැලේරියත් හදා ගත්ත.
    අපි දෙන්න නම් නිදා ගන්න ගිහිල්ල ඔය ජර මර තිබුනෙ නැහැ අපරාදෙ කියන්න.කාල බීල කාමරේට ඇවිල්ල පැයක් විතර>>ඇද උඩ කැබිනට් මිටීම<<තියල කට කපල නිදා ගන්නව.
    රවී,ඔය මදුරුවොත් හැමෝටම විදින්නෙ නැතිලු.බ්ලඩ් ගෲප් අනුව තමාලු සැරටම විදින්නෙ.(මට වඩා ඔබ යුවල දන්නවා)මොකද මම B+මගේ තුමිය O අපි දෙන්න එක ලග ඉද්දි අතේ පයේ පලු දාන්නෙ මගෙ,එයාට කිසිම හානියක් නැහැ.
    ඒ ගැනත් යමක් දන්නව නම් කරුනාකර සටහනක් ලියන්න.

    ReplyDelete
    Replies
    1. කෙන්ජි....දැනට පිළිඅරගෙන තියෙන්නෙ O වර්ගයෙ ලේ වලටයි මදුරුවො වැඩියම කැමැත්තක් දක්වන්නෙ කියල.එතකොට ඒ අනුව මිසිස් කෙන්ජිටයි වැඩිපුර මදුරුවො ආකර්ෂණය වෙන්න ඕන. ඒත් එහෙම නෙවෙයි වෙලා තියෙන්නෙ.

      මමත් O. අපෙ උන්නැහැ AB. ඒත් වැඩේ හැටි කියන්නෙ උන්දැට තමයි ඔය අලකලංචි ඔක්කොම. එතන මෙහෙම දෙයක් තියද දන්නෙත් නෑ. කෙන්ජිගෙ ඇති මදුරුවන්ගෙ දෂ්ඨ කිරීමට යම සුළු අසාත්මිකතාවයක්. ඒක් වෙන්න පුලුවනි හේතුව. අපෙ හාමිනේටත් එහෙම වෙන්න ඇති. එතකොට වෙන්නෙ වැඩිපුර මදුරුවො දෂ්ඨකිරීමක් නෙවෙයි. පළු දැමීම නිසා දෙතුන් දෙනෙක් දෂ්ඨ කලත් ඉලිප්පිලා පෙනීම.

      Delete
  19. කොමෙන්ට් එකක් කොටන්ඩ ගත්තා .. කම්මැලියි බොල... කතාව නම් පංකාදුයි... නෝනා මේක දැක්කම බොට .. මදුරුවෝ කෑවනම් සැපයි කියල හිතෙයි.. හික් හික්

    ReplyDelete
    Replies
    1. අනෙ අම්මපා..උඹ වාගෙ කම්මැලි අරටුවක්. අර උඹේ මහ ලොකු නෑණන්ඩි ..ඒ මහගෙ ඊට එහා....එහෙම නැතුවයැ නැද්ද ඉතිං ..හෙහ්, හෙහ්, එහෙම වෙන්ටම එපාය...

      උඹ ගැන මට කියල තියනව ඒ යෝදි..උඹ මහම කම්මැලියි කියල. කොටිම්ම ඉස්කෝලෙ යන කලෙ උඹට ගත්තයි කියන්නෙ ඉස්කෝලෙ නාට්ටියවල එක්කො ගහකට නැත්තං ගලකට. එකම පාරක් සතෙකුට ගත්තලු... ඒත් ඉබ්බෙකුට.

      Delete
  20. " අනේ මන්ද සමහරවිට දැං මනින්නෙ කැන්ද ගොටු වලින්ද නම් මන්ද..අපි ඉස්කෝලෙ යනකාලෙ නම් ලේ ප්‍රමාණෙ මැන්නෙ පනිට්ටු වලින් තමයි…"
    හඃ හඃ හඃ
    පට්ටෙට හිනා උනා .

    ReplyDelete
    Replies
    1. හෙහ්, හෙහ්..ස්තූතියි වයලීනෝ....:)

      Delete
  21. හපොයි දෙයියනේ..... හිනාව නවත්ත ගන්නත් බෑ මට...... නියමම නියමයි.

    ReplyDelete
    Replies
    1. ඔබටත් ස්තූතියි සමනලී...:)

      Delete
  22. //" මේ..ඒයි....මම ගෙදරට කලිසං තමයි වැඩිපුර අඳින්නෙ..ඉතිං බැන්දට පස්සෙත් එහෙම ඇන්දට කමක් නැද්ද? " //

    මේ ඒයි...මම නම් ගෙදරට අඳින්නේම කොට කලිසම්...කියලා පොඩ්ඩිත් කීවලු...:D:D

    ReplyDelete
    Replies
    1. අම්මපා? එහෙමම කිව්වද? හෙහ්,හෙහ්

      Delete
  23. සිනා සාගරයයි. :D

    හාමිනේට OCD වාගේ :D :D :D

    ReplyDelete
    Replies
    1. අපොයි ඩොඩෝ..ඔය අම්මණ්ඩිට ෆ්‍රොයිඩ් හොයාගත්තු ඔක්කොම අසනීප තියනව..එතකොට ඔය ඩිසෝඩර්ස්, සින්ඩ්‍රෝම්ස් වෛද්‍ය පොත්පත් වල තියන ඔක්කොමත් උන්දැට තියනව.

      ඊට අමතරව තවම හොයා නොගත්තු කම්ප්ලෙක්සස් තියනව තුනක්ද හතරක්ද..මේ ලඟදි ආව ද ලාන්සට් මැගසින් එකෙනුත් උන්දැ ගැන ෆීචර් එකක් කරන්න. මම බෑ කිව.

      කිව්වට මොකද මම මේ ඇඟේ ලේ නැතුව ඉන්නෙ මෙඩිcඅල් ෆැකල්ටි එක ලඟින් යද්දි මුන්දැව අල්ලගනියි කියල උංගෙ ලෙක්චර්ස් වලට එක්සිබිට් එකක් හැටියට.

      Delete
  24. අන්තිමට අරම කිව්වට පස්සෙ ඊළඟ හය මාසෙම කඩෙන් කන්න උනාද ? හිහි

    ReplyDelete
    Replies
    1. පිස්සු කතාකරනවද යසිත්?...කඩෙං කන්න උනා නං ඒක කොච්චර එකක්ද?...උන්දැ දන්නව මට දෙන්න පුලුවන් දරුණුම දඬුවම උන්දැ උයන කෑම කව්වන එක කියල…

      ඔය කඩවල් වල ඉස්සරහ බෝඩ් ගහල තියනව නේද " ගෙදර වගෙ කෑම වේලක් " කියල මම ජීවිතේට එහෙම කඩ වලින් කන්නෙ නෑ...අනෙ අම්මප...ගෙදර වගෙ කන්න ඕන නං ආය කෙහෙලමලටද කඩවලට එන්නෙ?...මම දවසක් දෙකක් දාගත්තු වෙලාවක ඔහොම කියල මුදලාලිය මා එක්ක ගේමට ආව නෙව,,යන්තං ශේප් උනේ..ඉන්නකො සෝක් කතාව ඒක... ලියඤ්ඤංකො වෙලාවක...

      Delete
  25. උදේ පාන්දර ලේ පිරිසිදු කරගන්න රවි අයියගෙ පෝස්ටුවක් කියවන්න හොදයි කියල යෝජනාවක් දැම්මනම් හොදයි වගේ. කමෙන්ට් ටිකත් අනිව කියවන්න ඕන.

    හිනා වෙලා බුරියත් උල්වෙලා.....

    ReplyDelete
    Replies
    1. යකෝ..මට කීයක් හරි ගෙවපල්ලා එහෙනං..:)

      දන්නවද ඔය ඩයලයිසිස් කියල කරන්නෙ මොකක්ද කියල වෙන මොකවත් එහෙම නෙවෙයි ලේ පිරිසිදු කරන එක..ප්‍රයිවට් හොස්පිට්ල් එහෙකට ගියොත් මම හිතන්නෙ එක සෙෂන් එහෙමට ගන්නව රු. 10,000 වත් අඩු ගානෙ...අන්න බොට තේරෙනවද මම සද්භාවයෙන් නොමිලේ කොරන්නෙ මොන තරම් වැදගත් සමාජ සත්කාර්යයක්ද කියල...

      බොලාගෙ අඳුනන ඔය වකුගඩු නරක් වෙච්චි උදවිය එහෙම ඉන්නවනං ඔය ඩයලයිසිස් කොරන වෙලාවෙ නිදහස් සිතුවිලි කියවන්ට කියාපල්ලා..තේරුණයි?

      Delete
  26. බැඳපු මුලම කාලේ මට තිබ්බ ලොකුම ප්‍රශ්නයක් තමයි නෙටි එක නැති කම.. අපේ මනුස්සයට ‌ෆෑන් එක නැතුව නින්ද යන් නෑ... මට නෙට් එක නැතුව නින්ද යන්නෑ... මට ෆෑන් එක දැම්මම සීතලයි.. අපේ මනුස්සයට නෙට් එක දැම්මම රස්නෙයි... මුලම දවස් වල මං නිදා ගත්තේ බිත්තිය මුල්ලට රිංගලා.. මඳුරුවෙක් අහලා පහලක කැරකුනොත් නින්ද යන්නෙම නෑ.. රෑ එළිවෙනම් ඇහැරිලා ඉන්නවා.. මහ රෑ නැගිටලා මඳුරුවෝ මරන්නයැ මේ අනුන්ගේ ගෙවල් වල...

    වෙනම ආවට පස්සෙ මං යෝජනා කළා මගේ අයිතිවාසිකමුත් ආරක්ෂාවෙන විදියට අපි නෙට් එකක් දාලා ‌ෆෑන් එකත් දාගෙන නිදා ගමු කියාල.. නැන්තං මංම තනියෙන් විඳවන්න එපැයි... ඒත් තාමත් නෙට් එක නම් ආවේ නෑ.. මාත් ඔන්නොහෙ දැන් ‌ෆෑන් ඇතුවා නැතා නෙට් නෑතා ඔහෙ පෙරලිලා නිදාගන්නවා.. මඳුරුවෙක් දැක්කොත් තලලා දනවා.. මගේ වෙලාවට මෙහෙ දැන් ඩෙංගු සංහාරය නිසා මඳුරුවෝ අඩුයි...

    අර ඇඳ වටේටම කොටු වෙන්න දාන නෙට් එකක් හදන්න සැලසුම් සකස් කරලා තියෙන්නේ.. තාම කරගන්න බැරි උනේ නෙට් එක මහගන්න එක තමයි... හි හි...

    ReplyDelete
    Replies
    1. / බැඳපු මුලම කාලේ මට තිබ්බ ලොකුම ප්‍රශ්නයක් තමයි නෙටි එක නැති කම.. අපේ මනුස්සයට ‌ෆෑන් එක නැතුව නින්ද යන් නෑ... මට නෙට් එක නැතුව නින්ද යන්නෑ... මට ෆෑන් එක දැම්මම සීතලයි.. අපේ මනුස්සයට නෙට් එක දැම්මම රස්නෙයි… /

      හෆෝයි..ඔය වගෙ සුලු ප්‍රශ්නයක් වත් විසඳ ගන්ට බැරුව මට තේරෙන්නෙ නෑ බොලා කොහොම ෆවුල් කනවද කියල...කිඩ්නිය යූස් කරපං බං කිඩ්නිය යූස් කරපං කොහෙද එහෙම එකක් තියෙන්ට එපාය..යූස් කොරන්ට..හරි එව්වගෙං කමක් නෑ ගනිං කොලේකුයි පැංසලකුයි ලියාගනිං උපදෙස් මාලාව..

      1. මුලින්ම ෆෑන් එක ඕෆ් කරල නෙට් එක දාගෙන නිදියනව. ඔන්න උඹට සෝක් එකට නින්ද යනව. මනුස්සය කියන්ට එපා බොල සික්..අන්තිම අසෝබනයි නෙව..අපි කියලු ලොක්කයි කියලහරි...ඔන්න ලොක්කට තුම්මුනිං දාඩිය දාල ඇහැරෙනව.

      2. ලොක්ක කරන්නෙ නෙට් එක පැත්තකට දාල ෆෑන් එක දානව ෆුල් වොලියුම්. ඔන්න ලොක්කට බබා වගෙ නින්ද යනව. මදුරුවො කාල උඹට ඇහැරෙනව.

      3. උඹ කරන්නෙ දඩස් ගල ෆෑන් එක ඕෆ් කරනව. ඒ කරල බර බර ගල දත් මිටි කන ගමං දාගන්නව නෙට් එක.ඒ කරල බුදියෙනව.

      4. ආයෙම ඔන්න ලොක්කට ඇහැරෙනව....ඔය විදිහට චක්‍රානුකූලව වැඩේ යනව දිගටම

      දැන් බලාපං මේ වැඩෙං තියන වාසි:-

      1. දෙන්නම සමාන කාලයක් නිදා ගන්නව.

      2. නිතර නියමිත කාල ප්‍රාන්තර වලින් දෙන්නගෙං එක්කෙනෙක් ඇහැරෙන නිසා සොර සතුරු උවදුරු එල්ලාම් මුඩිංජි.

      3. ඉතිං ඔය රෑ දෙගොඩ හරියෙ ඇහැරුනාම එක පාරටම නින්ද යන්නෙත් නැති නිසා ඕනමනං ඉතිං....හෙහ්, හෙහ්, හෙහ්...

      ඔන්න බලාපං උඹ හිතන්නෙ විසේසඥයෙක් එහෙම දුන්න නං ඔය උපදෙස් ටිකට කීයක් නං අය කරයිද?...මයෙ අර හිත හොඳ හින්දම නොමිලෙම කියා දෙනව..ඔව්ව මතකවත් තියාගනිල්ල ඇහුණද?

      Delete
    2. මේකාව කොටියාම කාපිය.

      Delete
    3. කියලා වැඩක් නැහැ ඩුඩ් ... කොටිය දැන් කැලේ නැති නම් දිවියම කාපිය!

      Delete
    4. අඩේ මං මේක දැනුයි දැක්කේ.. හිටුකෝ අද රෑට ආවම පෙන්නන්නං... චන්දිමාල්ගේ කතන්දරේ හයියෙන් කියෝලා ඊයේ රෑ කටත් රිදෙන්න ගත්තා හිනාවෙලාම... හි හි...

      මෙහෙ ඉතිං හොරු පැනලා උස්සං යන්න ඉන්නේ අපි දෙන්න විතරයි.. මාව උස්සන්න නං ක්‍රෙන් එකක් ගේන්න වෙන නිසා අවදානම තියෙන්නේ අපේ මහත්තයට විතරයි... ඒකව නං උස්සං ගියත් හොද්දකට ගන්නයැ... ඇඟේ මස් කළඳක් තියෙනව කියලද... ඒක නිසා අපිට හොරු ගැන නං බයක් නෑ තාම... හි හි...

      3. ඉතිං ඔය රෑ දෙගොඩ හරියෙ ඇහැරුනාම එක පාරටම නින්ද යන්නෙත් නැති නිසා ඕනමනං ඉතිං....හෙහ්, හෙහ්, හෙහ්...

      බෑනේ අප්පා.. එකෙක්ට ඇහැරුනාට අනිත් එකා ගොරෝ ගොරෝ බුදිනේ.. ඔය ගෙරවිල්ල ඇහුනම හෙහ් හෙහ් හෙහ් ගාපු ටික කොරන්න හිතෙන්නේ නෑ...

      නෙට් එක කිව්වම තව කතන්දරයක් මතක් උනා.. ගෙදර ඉන්න කාලේ මං හොඳට නෙට් එක දාගෙන නිදාගත්තම අපේ බලුරාළ ඇවිල්ලා මගේ කකුල් දෙක හරියෙන් කොහොම හරි නෙට් එක උඩට නැඟලා නිදා ගන්නවා වකුටු වෙලා... ඌටත් මදුරුවො අරහං... ටික වෙලාවකින් නෙට් එක කඩං වැටෙනවා මගෙ ඇඟ උඩට.. මං ඉතිං බැන බැනම නැගිටලා නෙට් එක ආයිත් එල්ලනවා බලු තඩියවත් නෙට් එක ඇතුලට අරන්.. එච්චර හරියක් කරනකං ඒකා නෙවෙයි කනක්වත් උස්සලා බලන්නේ... නෙට් එක දැම්මට පස්සේ ඇඳෙන් බාගයක් බදු අරන් උන්දැ බුදියගන්නවා 4 වෙනකම්.. ඊට පස්සේ නැගිටලා නටනවා නෙට් එකෙන් එළියට පැන ගන්න.. මං ආයිත් නැගිටලා ඒකව එළියට තල්ලු කරලා දාලා ආයිත් නිදාගන්නවා... ඔන්න ඔහොමයි....

      Delete
    5. හිරු,

      ඔය බල්ලොත් එක්ක බුදියනව නේද? සාමාන්‍යයෙන් කියන්නෙ මැක්කොත් එක්ක නැඟිටින්ඩ වෙනවයි කියලනෙ..නෑ ඒ කතාව ඉත්තේරුවෙම්ම වැරදියි..බල්ලෙක් එක්ක බුදියල පුරුදු ඉස්තිරියාවකට ආය කිසි අවුලක් නෑ බැඳපු දවසක මනුස්සයත් එක්ක බුදියෙන්ට....හෙහ්, හෙහ්,

      " මේ මම නින්ද ගිහාම එහාට මෙහාට පෙරලෙනව. එතකොට අතපය විසිකරනව ඔන්න කලිම්ම කියල තිබ්බ නම් හොඳයි කියල හිතලයි කිව්වෙ "

      බඳින්ට මාසෙකට විතර කලිං මම එයයිට අනතුරු ඇඟෙව්ව..

      " ආ. ඒකට අවුලක් නෑ..මට එව්ව් හොඳට පුරුදුයි..අපෙ බළු තඩියත් එහෙම තමයි..මම මතක ඇති කාලෙක ඉඳල උන්දැත් එක්ක තමයි නිදියන්නෙ. ඒ නිසා නෝ ප්‍රොබ්ලම්. "

      ඔන්න බලාපංකො ඉතිං කාටද මෙව්ව කියන්නෙ හැබෑටම?

      Delete
  27. මට නම් සහතිකය් අක්ක මේව කියවන්නෙ නෑ.. නැත්තන් මේ ලියන එව්වට තාප්ප මෝලෙන් තලන්නෙ මේ උන්දැව නිවාඩුවට ගිය කමන්..මට මැවිල පෙනව අය්ය සිවිලිමෙ සමතලා වෙලා ඇලිලා ඉන්නවා අර කාටූන් වල වගෙ..

    ReplyDelete
    Replies
    1. / මට නම් සහතිකය් අක්ක මේව කියවන්නෙ නෑ.. නැත්තන් මේ ලියන එව්වට තාප්ප මෝලෙන් තලන්නෙ මේ උන්දැව නිවාඩුවට ගිය කමන්..මට මැවිල පෙනව අය්ය සිවිලිමෙ සමතලා වෙලා ඇලිලා ඉන්නවා අර කාටූන් වල වගෙ.. /

      ඔන්න බොලා ලියන තියන විදිහෙං මට හිතා ගන්ට ඇහැකි අර අහිංසකය මොන වගෙ ජීවිතයක්ද ගත කරන්නෙ කියල. පව් අප්පා....මයෙ දෑහැට කඳුලු ආවෙ ඉබේම. භාෂණයේ සහ තමන් කැමති තැනක ජීවත් වීමේ අයිතිය එක්සත් ජාතීන්ගේ මිනිස් අයිතිවාසිකම් ප්‍රඥප්තියෙනුත් තහවුරු කරල තියනව. එතන මිනිස්සු කියල කිව්වම හෝමෝ සේපියන්ස් සේපියන්ස් විශේෂයෙ උපත ලද අපි හැමෝම අයිතියි.

      ඒ සත් බිලියනයක් සහ තවත් ටිකක් ( හරියටම කිව්වොත් 7,098,924,580 ) වන හෝමෝ සේපියන්ස්ල හැමෝටම තියන අයිතියවත් අර අහිංසකයට නෑ නෙව. තමන් කැමති අදහසක් ප්‍රකාශ කරන්ට නිදහස නෑ. ඒ අයිතිය භාවිතා කරාම වෙන්නෙ තමං කැමති තැනක ජීවත් වෙන්ට තියන අයිතිය නැති වෙනව. ඒ අහිංසකයට ජීවත් වෙන්න වෙන්නෙ සිවිලිමේ එල්ලිල චප්ප වෙල..පව් අප්පා...

      Delete
  28. මම් මේ කල්පනා කොලේ ෆවුන්ඩේසං ඉන්ස්ටිටුට් එකට මේ කතාව ලියලා යවනවද කියලා..අදහන්න වටින ඉතිහාස කතන්දරයක්නේ මේවා වැලලිලා යන්ට දෙන්ට නාකයි..!

    ReplyDelete
    Replies
    1. අන්න ඒකනෙ බාං ...අනේ හොඳ එකී වගෙ පුළුවන් නං එතෙන්ට ගියත් කමක් නෑ ඔය හවසක වගෙ. ගිහිල්ල එතන ලොක්කටම විස්තරේ කියාපං මේං මෙහෙමයි මේං මෙහෙමයි, මේං මෙහෙමයි වෙලා තියෙන්නෙ කියල..

      මම දන්න කාලෙ ඔතන ලොක්ක හිටියෙ මහාචාර්ය සිරිල් පොන්නම්පෙරුම..දැන් නං කවුද දන්නෙ නෑ..බය වෙන්ට දෙයක් නෑ වර්ස්ට් කේස් සිනාරියෝ එක නම් උඹව ගිහිල්ල දායි අංගොඩ. ඒත් නෝ ප්‍රොබ්ලම් ඇට් ඕල් මගෙ අතිජාත මිත්‍රයො හතර දෙනෙක්ම ඉන්නව එහෙ. උඹට දෙයි ඕනම සපෝට් එකක්.

      Delete
  29. /කොහොමහරි මාස හයක් විතර යනකල් අපි නිදාගත්තෙ ඩබල් මෙට්ටයක් බිම දාල.ඒකෙ නිදාන කතාවනම් මෙහෙමයි. අපි ඔන්න ඇඳක් හදාගත්ත අපෙ උන්නැහැගෙ පංතියෙ ගෝලයෙක්ගෙ තාත්තට කියල.මිනිහ නමගිය වඩුව.ඒත් මොන යකෙක් වැහිලද මන්ද මේ යස්සය හදාපු ඇඳේ උස ඔන්නම් යන්තං අඟල් නමයක් ඇති පොළවෙ ඉඳල./

    ආ නේ ඇත්තෙයි ? අපිට හිතාගත්ත හැකි මෙට්ටේ නිදා ගන්ට හේතුව :P
    (රහසින්...සවි සක්තිය තීන ඇඳක් ගන්ට කියන්නේ ඔන්න ඕක තමයි හීහීහී හීඊඊ!)

    ReplyDelete
    Replies
    1. අඩෝ මේ මේක අහගං..අර හනුම දර පලන්න වගෙ කියල කතාවක් තිබ්බට ඒක ප්‍රායෝගිකව කරන්ට ඕන නෑ බොල..එහෙම කරන එකේ තේරුමකුත් නෑ.ඒත් ඉතිං උඹට හම්බ වෙන්නෙ හනුමෙක් නං කොරන්ට දේකුත් නෑ තමයි. මොකද ඌ දර පලන්ට මිසක වෙන අහවල් කැකිරි ගෙඩියක් දන්නවයි කියලය...

      තව පොඩි උපදේසයක් - එහෙම හනුමෙක් නම් හම්බ උනේ එක පාරටම යකඩ ඇඳක් ගන්න හදිස්සි වෙන්න ඕනත් නෑ බං..දර පැලිල්ල ඇඳේම කොරන්ට ඕනය කියල ඔය මොන පොතකවත් නෑ.

      හොයාගෙන බලාපං වාත්ස්‍යායන එහෙම. අන්න එව්වයෙ තියනව අපූරු විකල්ප ස්ථාන සහ ඉරියව්...ඒ නිසා ඇඳ කොයිහැටි වෙතා කුස්සියෙ පිඟං රාක්කෙ, කෑම මේසෙ, පොත් රාක්කෙ ඔන්න ඔව්ව ටිකක් සවි සත්තියට බර සාරට තියෙනවනං ඒත් මදැයි.

      Delete
    2. /ඒ නිසා ඇඳ කොයිහැටි වෙතා කුස්සියෙ පිඟං රාක්කෙ, කෑම මේසෙ, පොත් රාක්කෙ ඔන්න ඔව්ව ටිකක් සවි සත්තියට බර සාරට තියෙනවනං ඒත් මදැයි./

      ඇයි එතකොට බාල්දි? :D :D :D

      Delete
    3. ඒ දෙක එකම නෑ අමාස් පොඩි වෙනසක් තියනව...

      පොත් රාක්ක, පිඟං රාක්ක, කෑම මේස = Unconventional sexual pleasure enhancement device

      බාල්දිය = Physiological incompatibility diminishing cum birth controlling device

      Delete

මගේ සිතුවිලි ගැන ඔබේ සිතුවිලි

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...