Thursday, August 22, 2013

212. කවිකාරියකගේ ප්‍රේමය.



සරච්ච්න්ද්‍ර මහත්තය ගැන පහුගිය සටහන ලියද්දි මගෙ අතීත කතාවකුත් ඈඳුන නෙව ඒකට. ඒ අර මට මළගිය ඇත්තෝ සහ මළවුන්ගේ අවුරුදුදා පොත් දෙක තෑගි දුන්නු යුවතිය ගැන කතාව..කෝ ඒ කතාව කියල අහල තිබ්බ මෙකුවීස් ගොයියත්..ඒ නිසා මට හිතුන මේ උනුහුම පිටම ඒ කතාවත් කියල දැම්ම නං අහකයි නෙවද කියල..ආය පස්සට දාන්ට ගියොත් ඔය කතාව කවදාවත් ලියවෙන එහෙකුත් නැති වෙයි බොහෝවිට. 

කාලය - මට මතක විදිහට වසන්තිගෙ යුගයට පස්සෙ වෙන්න ඕන...යස්..ඔව්...එහෙම තමයි...අපෙ අල්ලපු චමරියෙ හිටිය විජිත කියල හොඳ උස මහත ලස්සන කොළුවෙක්...අපි වගෙ එහෙම නෙවෙයි ඔන්න...හෙහ්, හෙහ්, අපිට තරං නෑ වයසකුත්...හරිම අහිංසකය..මස් මාලු තියා ආය නියපොත්තක්වත් කන්නෙ නෑ....ඔය අනික් නොබොන එවුං එහෙම අපි ඔය සිංදුවක් දෙකක් කියනකොට ඇවිල්ල අප්පුඩියක් එහෙම ගහනවනෙ. මේකා එහෙමවත් නෑ ...ගෙදර ඉන්නවනං පැය බාගෙකට සැරයක් අම්මටයි තාත්තටයි වඳිනව කියල උගෙ අල්ලපු ගමේ එකෙක්මයි අපි එක්ක කිව්වෙ දවසක් ඔය පොඩිවට කර්මාන්තයක් කරන අතරෙදි.

හරි වැඩි විස්තර කියන්ට ගියොත් මේකත් පඳුරු තැලිල්ලක් වගෙ වෙනව. හරි කෙටියෙන් කිව්වොත් ඔය දවස්වල විජිතය බස් එකේ එද්දි ගුරු මානවිකාවක් සෙට් වෙලා තිබ්බ. වැඩේ බොහොම අපූරුවට නැඟල යනවයි කියලයි අපිට ආරංචි උනේ. 

දවසක් හවස වටින් ගොඩින් අඳුර වැටීගෙන එද්දි අපි සුපුරුදු පරිදි මිදුලෙ ජෑම් ගහයට කනප්පුව වටේට පුටු තියාගෙන වාඩි වෙලා හිටිය.එදා කොහොම හරි අර 2009 විතර ඩුබායි වල වෙච්චි වැඩේ අපිටත් වෙලයි තිබුනෙ. ඩ්‍රාස්ටික් ඉකොනොමික් ඩවුන්ටර්න්...බරපතල ආර්ථික අවපාතනයක්...


ඔය අපෙ රවුං කනප්පුව ඇවිල්ල බොහොම බලගතු එකක්..ඕකෙ උඩ පොලිෂ් එක පිච්චිල හරියටම අසෝක වීදුරුවෙ අඩියෙ ගාණට රවුං තියෙන්න ඇති ලස්සයකට එහා පැත්තෙ...ඒත් අතේ සතේ නැතිවෙච්චි වෙලාවෙ උනත් ඔය කනප්පුව වටේට වාඩි වෙලා හිටියොත් අම්මප දෙයියො දුන්න වගෙ කොහෙං හරි බඩු පාදුර්බූත වෙනව. 

එදත් ඔන්න අපි කට්ටිය හීතළ හුළඟෙ මූණිං මූණ බලාගෙන හිටිය බෝම දුක්මුසු මුහුණිං..ආ, තව කාරණයක් කියන්ට බැරිඋනා. ඊට මාසෙකට විතර කලිං අපේ කෑම්ප් එකෙ ඇතුලෙම දැම්ම පොඩි පහේ බාර් එකක්.අපේ එවුං රෑ දෙගොඩහරියෙ ජීප් අරගෙන පිස්සු බල්ලො වගෙ රට හැමතැනම ඇවිදින එක වලක්වන්ට හිතාගෙන අපෙ ලොක්කගෙ අනුශාසකත්වයෙන් තමයි ඒක විවෘත කලේ.

අපි හැමෝම ඒකෙ ඒකෙ කොටස් කාරයො විදිහට බඳව ගත්ත. රුපියල් දෙසීයද කොහෙද අවම කොටසක්.... මතු බුදුබව ලැබෙනා අති උතුම් පුණ්‍යක්‍රියාවක් කරණකොටගෙන නිසා මම දැම්ම මට මතක විදිහට ගෙඩි පිටිම්ම රුපියල් දෙදාහක්ද කොහෙද " මනි මනි සේ ලුකිං නොට් " කියල හිට.....සල්ලිත් එකතු උනා මදි නොකියන්ට..ඒත් මොන...සති දෙකයි තුනයි ගියේ අපේ උගුඩුවො පොතට බීලම වියාපාරය බංකොලොත් වෙන්න ආව. 

ලොක්කට මල පැනල බාර් කීපර්ට දැඩි නියෝගයක් නිකුත් කලා.. 

" මේ පීටර්...කිසි කෙනෙකුට ආය නයට දෙන්ට එපා. මොන මහත්තය ආවත් එච්චරයි. මම කිව්වය කියනව. යකෝ මේක මාර කෙළියක්නෙ..ළඟට ගෙනත් දුන්නමවත් මේ මිනිස්සුන්ට බෑනෙ සල්ලි දීල බොන්ට. අර රෑ තිස්සෙ බාර් ගානෙ යනකොට එව්වයිනුත් දුන්නද දන්නෙ නෑ ණයට…." 

ලොක්ක දන්නෙ නැතිඋනාට ඔය දෙගොඩ හරියෙ ගිහාම බාර් එකේ අයිය බඩු දුන්නෙ ණයට තමයි. හැබැයි ඩබල් කිට්ටු වෙන්ඩ චාජ් කලා.එව්වයෙ ගාණක් නෑ අපට. දෙක වැදුනම ඩබල් නෙවෙයි ට්‍රිබල් කොඩ්‍රොපල් උනත් ආය කිසි අවුලක් නෑ. ලෝඩ් බකිංහැම් වගෙ තමයි...අනික දෙන්නං කාසි වලටනෙ. පහුවදා වෙරි හිඳුනම තමයි එකාට එකා කුඩු මිරිස් කාපු රිලව් වාගෙ විරිත්ත ගන්නෙ ගණං එහෙම එකතුකරල බලල තම තමංගෙ ෂෙයාර් එක කීයද කියල දැනගත්තම. බොහෝවිට මම තමයි ඔය එකවුංටං වැඩේට කර ගහන්නෙ. 

උදේ පාංදරම මම ගණං හිලව් ඔක්කොම හාප් සීට්ටෙහෙක ලියනව අයිටම්ස් අනුපිළිවෙලට..ඔන්න මෙහෙමයි ඈස් ඇන් එග්සාම්පල්. 

1. පාලන මිලට ගත් අරක්කු - බෝතල් 3 @ 90.00 ------------රු 270.00 

2. වැඩි මිලට ගත් අරක්කු බෝතල් 2 @ 140.00 ---------------රු.280.00 

3. ෂැන්ඩි සඳහා - --------------------------------------------------රු. 50.00 

3. බයිට් වලට -----------------------------------------------------රු. 40.00 

4. සිගරට් යනාදිය ------------------------------------------------රු. 20.00 

මුළු එකතුව ------------------------------------------------------රු. 660.00 

අඩුකිරීම් - 

1. සමරේ අතින් අත වැදී හැලුනු මත්පැන් මිලී 75 වෙනුවෙන් ------රු. 14.00 

2. වික්කරේ අනිවාර්යයෙන් කටගැසුම් වලින් 50 % ආහාරයට ගන්නා බැවින් කටගැසුම් පිරිවැයෙන් 50 % ---------------------------------------  රු. 20.00 

සම්පූර්ණ අඩුකිරීම් - --------------------------------------------------රු. 34.00 

අඩුකිරීම්වලට පසු එකතුව - ----------------------------------------රු. 626.00 

රු. 626.00 / 8 = රු 78.25 ----------------------------------------------( a ) 

අපතේ ගිය මත්පැන් පිරිවැය = රු. 14.00 --------------------------------( b ) 

වික්කරේ ආහාරයට ගත් කටගැසුම් පිරිවැය = රු. 20.00 ---------------- ( c ) 

පිරිවැය බෙදාහැරීම :- 

1. වීරේ ---------------------------------------- ( a ) ----------------රු 78.25 

2. ජයේ --------------------------------------- ( a ) -----------------රු 78.25 

3. ගුණේ -------------------------------------- ( a ) ----------------රු 78.25 

4. විමලේ ------------------------------------ ( a ) -----------------රු 78.25 

5. කරුණේ ----------------------------------- ( a ) ----------------රු 78.25 

6. මහින්ද ------------------------------------- ( a ) ----------------රු 78.25 

7. සමරේ --------------------------------- ( a ) + ( b ) ------------රු 92.25 

8. වික්කරේ ----------------------------- ( a ) + ( c ) --------------රු 98.25 

මුළු එකතුව --------------------------------------------------------රු 660.00 


අපෙ කෑම මේසෙ ගාව තිබ්බ බිත්තියෙ ගහල ප්ලයිවුඩ් ෂීට් කෑල්ලක්...  ඒ තමයි අපෙ නෝටිස් බෝඩ් එක...අර පාටියෙ විය හියදම් විස්තරේ මම ඕකෙ අලෝනව.. ඒ කරල කාටත් ඇහෙන්ඩ ගණං හිලව් මහ හයියෙං කියෝනව..ඇඳං වලම ඉඳං එවුං මයෙ අම්මට පිං දෙනව...අම්මට වඳින ගාතාව එහෙම කියල...පූජේමි බුද්දං කුසුමේන නේන.... 

ඔන්න එකා එකා එනව සරං එහෙම ඇඳ ඇඳ ....තේ බොන්ටත් ඉස්සරවෙලා යන්නෙ නෝටිස් බෝඩ් එක ගාවට.... 

" මේ ********* පුතාට ඔලුව හොඳ නැද්ද මන්ද උදේ පාන්දරම මෙව්ව නෝටිස් බෝඩ් එකේ දාන්ට.." ඔන්න එකෙක් කියනව. 


" යකෝ එකසිය හතළිහ ගානෙ බෝතල් දෙකක් ගෙනාවද?...කවුද ගේන්ට කිව්වෙ?....." 

ඒ ජයේ..ඕකම තමයි මැරෙන්ට හැදුවෙ ඊයෙ රෑ කීයට හරි කමක් නෑ අරං වරෙංය කියල…..අනෙ අම්මප..මට උතුර දකුණ මාරුවෙන්නෙ මේ වෙලාවට තමයි. 

" කිව්වෙද? කිව්වෙ තොගෙ බාප්පොච්චි..එහෙනං ආයෙ...තෝම තමයි මැරෙන්ට හැදුවෙ ඊයෙ රෑ කියට හරි විජහට අරං වරෙංය කියල..ආං බොරුනං අහල බලපං අර සැමීගෙං…" මම බෙරිහං දුන්න..... 

සැමී කිව්වෙ අපෙ ගෝලය...ඉවුම් පිහුම් කරපු හාදය...මිනිහ වැඩිය බොන්නෙ නෑ..ඉතිං ඔය මදුසාද වලදි ඇතිවෙච්චි වලිවලට මුල පිරුවෙ කවුද?...ඉස්සෙල්ලම අසබ්බිය සිංදු පටං ගත්තෙ කවුද?...ඉස්සෙල්ල ගැහුවෙ විජේගෙ කණට සමරෙද?..එහෙම නැත්තං සමරෙගෙ කණට වික්කරේද? ඔන්න ඔය වගෙ ජාත්තියන්තර අර්බූද දක්වා විකාසය වියහැකි අන්දමේ පොඩි සිද්දීන් ගැන හරි විස්තරේ කියල ඒ මතබේද නිරාකරනය කරන එකත් උයනවට අමතරව සැමීගෙ රාජකාරී ලැයිස්තුවට අයිති වෙලා තිබ්බ. .

" හරි බං ඕකට ඔය හැටි කෑ ගහන්ට ඕනය?....මම එහෙම කිව්වය කියල උඹ කිව්වනං මම පිළිගන්නං...." 

ජයේ කෙලිම්ම සාමකාමී මෝඩ් එකට එන්ටර් උනා.ඕකුං දන්නව මට මල පැන්නොත් එහෙම ආය බීල හමාරයි කියල. මම තමයි ඔය මදුසාදවල ප්‍රදාන සංවිදායක.. 

කිව්වම මොකද?..අපෙ උන්දැගෙ ගෙදර කට්ටිය මම එහෙට සම්බන්ද වෙන්ට කලිං මත්පැං කියන එව්ව කට හරියකට ගන්නෙ නෑ..කොටිම්ම ගෙදෙට්ට අවුරුද්දට කැවුං අනම් මනං හදන්ට කන්ද උඩහ කිතුලෙං පැණි ගේන්නෙත් බූලියක දාගෙන අප්පච්චි. පැණි ඩිංග උනත් දාන්නෙ නෑ අරක්කු බෝතලේක… 

හෙහ්, හෙහ් ආය මොනවද මම ගිහිල්ල මාස හයක්වත් ගියෙ නැද්ද කොහෙද? එයයිගෙ පොඩි අයියගෙ මඟුල දවසෙ...කපුව මංගල සබාව මැද්දෑවෙ දේයි යන අනුකරනයෙං පත බෑවී වදාලෙ නැද්ද ඉඳං හිටපු පුටුවත් එක්කම. 

මනමාලිට ළමයෙකුත් හම්බ උනාට පස්සෙං පහුද කොහෙද තමයි ඔන්න අපෙ පිරියම්බිකාවි ඔය සිද්දිය ගැන කියවල මගෙ කංදෙක ගොඩ කරන එක අතෑරල දැම්මෙ... කොච්චර අවනම්බුවක්ද? එයාලගෙ සායම ගියාය...අරකද මේකද?අර කපුවට ආයෙ එයාලගෙ ගෙවල් හතර මායිමේ එන එකත් තහනං කරල උන්දැ නිකුත් කරපි අනාඥාවක්..හෙහ්, හෙහ්

හරි ඒ කතාවත් පස්සෙ හරිද? මේ කවුද දැං ඔය ඉස්සරහට කියන කතා ලිස්ට් එකක් හදාගෙන ඉන්නෙ..රූද?..මෙකුවිද?...බින්දිද?..කවුරුහරි කමක් නෑ දාගනිං එන්න ඒ ලිස්ට් එකට මේකත්…. 

හරි ජයේ සාමකාමී මෝඩ් එකට ආවය කියල මම කිව්වනෙ... 

" අන්න එහෙම වරෙං...හෙහ්, හෙහ්....හරි දැං කවදද සල්ලි දෙන්නෙ?..කියාපල්ල විජහට…" මම අහනව... 

" යකෝ..ඉඳපිය ටිකක්..තව හරියකට කබරය දාල ඉවර උනෙත් නෑ.." ඒ සමරේ..ඌට බීල වැඩිඋනොත් පහුවදාත් හවස් වෙනකල් කන කන එක ආය විනාඩි පහක් යන්නෙ නෑ කෙලිම්ම කානුවෙ.. 

" යකෝ ඔහොම රටටම ඇහෙන්ට ඔක්කාර කරල උඹට තව අමාරුයි නෙව..ඔයිට නරකද කෙලිම්ම බත් මාලු ඔක්කොම එකට අනල කාණුවටම දැම්මනං..කන්ට වෙන මහන්සියයි ඔක්කාර කරන්ට වෙන මහන්සියයි දෙකම නෑනෙව…" මටත් බෑ නෙව කට තියාගෙන ඉන්ට එක විදිහකට. 

" තෝ මගෙං අහගන්ට තමයි ඔය.." බැරි මරගාතෙ ඔලුවත් බදාගෙන සමරෙ මා දිහාවෙ ඔරෝනව. 

ඉතිං මම කලින් කිව්වෙ අපි අර මිදුලෙ ජෑම් ගහ යට කනප්පුව වටේ ඉන්නව. එක එකා එක එක දිහාවෙ බලාගෙන. මම කකුල් ජෝඩුවත් කනප්පිය උඩට කරගෙන යාන්තං එළිය තියන අහසෙ වවුලො කෑම හොයාගන්ට පියාඹල යනව බලාගෙන හිටිය.ඔන්න එතනට ආව විජිතය. කොල්ලගෙ මූණත් එක්කලා කළුවෙලා..බොහොම සන්තාපෙං ඉන්නවය කියල පැහැදිලිව පේනව. 

" ඒයි මල්ලි ඔය ගමම්ම අරං වරෙං ගේ ඇතුලෙං තව පුටුවක්....මේ ඒක නෙවෙයි මොකෝ උඹ මේ කව්බෝයි මැරිච්ච් අස්සය වගෙ. මේ දවස්වල ඉන්ට එපාය නිකං ලස්සෙට කොඩිය දාල වගෙ ෆුල් ආතල් එකේ. " විජේ ඌව දැක්ක ගමං කෑගැහුව. 


ඊට සති දෙහෙකට විතර ඉස්සර බස් එකේ උදේ වැඩට එද්දි විජිතයට ටීචර් කෙනෙක් සෙට් වෙලාය කියල ඒ වෙනකොට අපිට ආරංචි වෙලා තිබුනයි කියල මම කලින් කිව්වනෙ නේද?.... ඔය ඒ කාලෙ ( ඒ කාලෙ කිව්වට තාමත් එහෙමද කියන්න නම් මම හරියටම දන්නෙ නෑ ) අලුතෙං පත්වීං දෙන ගුරුවරු හැමෝම අනිවාර්යයෙන් ඉස්සරෝම අවුරුදු තුනක් දුෂ්කර කියල වර්ග කරපු ඉස්කෝලෙක රාජකාරි කරන්නම ඕන. ඒක සේවයට බඳවා ගැනීමේ කොන්දේසියක්.

පාසල් වර්ග කරල තිබ්බෙ මෙහෙමයි..ඉතා ප්‍රිය මනාප, ප්‍රිය මනාප, සතුටුදායක, සතුටු දායක නොවන, දුෂ්කර, අති දුෂ්කර... 

" මේ ඔය විදිහට ඉස්කෝල වර්ග කරන එකේ ගුරුවරියොත් වර්ග කරානං තමයි වැඩේ නැඟල යන්නෙ…" ඔය වර්ග කිරීමේ අනුපිළිවෙළ ගැන කතා ක රකර හිටපු වෙලාවක මම අපෙ උන්දැට කිව්ව. 

" කොහොමද ඒ?...." උන්දැ ඇහුව නළලත් රැළි කරගෙන… 

" ම්ම්..අපි මෙහෙම වර්ග කරමු....ඔය විදිහටම ප්‍රිය මනාප ඉතා ප්‍රියමනාප කැටගරීම ඒ විදිහටම ගන්නත් නම් පුලුවං, එහෙම නැත්තං එලකිරි , කිරි කෑස්, කිරි ටොයියො වගෙ නම් කරන්නත් පුලුවන්..දුෂ්කර අති දුෂ්කර වලට ඕනනං මෙහෙම කිව්වැකි. අමාවක සහ නිර්වින්දන වගෙ මොකක් හරි..හෙහ්, හෙහ් " 

උන්දැත් ඔය මොකක් හරි කිව්ව හෝ දමල ගැහුව මොහොකිංහරි මට දැං හරියට මතකයක් නෑ... 

ඉතිං අර විජිතය ඇවිල්ල වාරියපොල අහ.ඕක වැඩට එන්නෙ කුරුණෑගලට ඇවිල්ල.කුරුණෑගල ඉඳල කදුරුවෙල එන අතරමඟ තමයි ඔය ගුරු දැරිවි සෙට් වෙල තියෙන්නෙ බස් එකේදි. 

ඒකා ඔන්න පුටුවකුත් අරගෙන ඇවිල්ල ඉඳගත්ත. උගෙ මූණ බලන්ට බෑ අපිටත් ඇඬෙනව. 

" මොකෝ කොල්ලො? " ජයේ ඇහුව… 

" හරි වැඩේනෙ අයියෙ " ඒක බිම බලාගෙනම කිව. 

" හරි වැඩේය කිව්වෙ මලේ?...?….අර ටීචර්ගෙ ආතල් එක හබක් උනා වත්ද? " ඒ එක්කම මාත් ඇහුව. 

" එහෙමමමත් නං නෙවෙයි. …" 

" එහෙනං?.... ඉතිං කියාපංකො.." 

" එයා ලියුං ලියද්දි හැමදාම කවි හතර පහක් ලියල එවනව…" 


" හප්පට සිරිගජ,...අඩේ ….කවිකාරියක් බොට හම්බවෙලා තියෙන්නෙ එහෙනං ඈ.......එළ එළ..එළ...දීපං කොල්ලො අත...ඉතිං යකෝ මොකක්ද අවුල?....කවිකාරියක් සැට් උනයි කියන්නෙ බාං නියම ජොලිනෙ...." ජයේ නැඟිටල විජිතයව බදා ගත්ත 

" අයිය මේ කෙහෙල්මලක් කතා කරනව...කවි තමයි...එයා කවි ලියල එවනකොට මට නිකං ලියුං ලියන්ට පුළුවනිය?...මමත් අඩුගානෙ කවියක් දෙකක්වත් ලියල යවන්ට එපාය…" විජිතය බිම බලාගෙන කෙඳිරිගෑව. 

" ඉතිං?.....ලියාපං කවි..මොකෝ ප්‍රශ්නෙ?.. " ජයේ හක හක ගාල හිනා උනා 

" ඒකමනෙ අයියෙ වෙලා තියෙන්නෙත් ..මම කොහෙද කවි ලියන්නෙ...." 

" ඉතිං එහෙනං පුලුවං එකෙකුට කියල ලියාගනිං... එච්චරනෙ තියෙන්නෙ…" 

" ජයේ අයියට පුළුවන්ද? …." විජිතයගෙ මූණට ඔන්න හිනාවක් ආව. 

" මට බෑ බං ඒත් පුළුවං එවුං ඉන්නව නෙව..ඕන නං නහයෙං පෙන්නන්නං..නහයෙං නහයෙං…" 

ජයේ පිටිපස්ස හැරිල මා දිහාවෙ බැලුව කටකොණකිං හිනාවීගෙන. වැඩේ කැරකෙන්නෙ කොහාටද කියල සහසුද්දෙම්ම දන්න නිසා මම හෙමීට අහක බලාගත්ත. 

" හරි ඉඳපං මල්ලි උඹේ ප්‍රශ්නෙ මම විසඳන්නං..හැබැයි කොල්ලො අමුවට කොරන්ට බෑ ඔය කයි ලියනව කියන එක. හරිය?...සරස්වතී උනත් එහෙම නිකම්ම කැකුලෙම්ම වැඩම කරන්නෙ නෑ. හයිද? "

" ඒ කිව්වෙ?...." විජිතය ඔලුව උස්සල ජයේගෙ මූණ දිහාවෙ බැලුව.. 

" ඒ කිව්වෙ බොල අරං වරෙං අරක්කු බෝතල් දෙකක්...උඹේ වැඩේ කරල දෙන්නං...." 

" අයියට පුළුවංය කවි ලියන්ට?...." විජිතයගෙ මූණෙ ඔන්න යාන්තමට වගෙ හිනාවක් ආව. 

" එක පාරක් කිව්වෙ යකෝ ... මට බෑ බං...මම කිව්වෙ අපෙ මේ වීරෙ ගැන..අප්පටසිරි ඌ ලියයි ඕන හැටිය කවි. " ජයේ මා දිහාට හැරිල ඉඟි මැරුව. 

ඊට මාසෙකට විතර කලිං ජයේගෙ පොඩි දුවගෙ ඉස්කෝලෙ මොකක්ද සඟරාවකටද කොහෙද මම කවි හතර පහක් ලියල දුන්න. ඒ නිසා ඕක දන්නව මට ඔය යන්තමට හතර පදයක් ගැටගහ ගන්ට පුලුවනිය කියල 

" අනේ අයියෙ.. අයියට පුළුවනි නේද? …" විජිතය ඇවිල්ල මගෙ අත් දෙකිං අල්ල ගෙන ඇහැව්ව. 


මතු සම්බන්ධයි...........

61 comments:

  1. යකෝ කවි එච්චර වටිනව ද? අරක්කුම බෝතල් දෙකක්...

    ReplyDelete
    Replies
    1. Ano,

      හෙහ් පේමවන්තයට තිබ්බ තදියමේ හැටියට ඌ පැනල කැමතිවෙයි කියල හිතලයි ජයේ එහෙම කිව්වෙ...එමතුදු අපේක්ෂා කල අයුරු දන්ත නිෂ්කර්ෂය උගහට විය. වේට් ෆෝ ද නෙක්ස්ට් එපිසෝඩ්....:)

      Delete
    2. ඒක මිසක්...
      නැත්තන් ඕක ඉතිහාස ගත වෙනව. ලොවෙත් නැති, තාම ලියලවත් නැති කවි පංතියකට ආපු වැඩිම ඔෆර් එක කියල.

      Delete
  2. ආතල් එක කෑව මගදී නවත්තල.
    අර පැය භාගෙන්,භාගෙට වදිනව කිව්ව එකෙන්ම හිතා ගන්න පුළුවන් බුවා කොහොම කෙනෙක්ද කියල.

    ReplyDelete
    Replies
    1. ජපානයේ කෙන්ජි,

      නවත්තන්නෙ නැතුව කොහොමද බං?..මම වෘත්තීය කතන්දර ලියන්නෙකුත් නෙවෙයි බොල වෘත්තීය පාඨකයොත් නෙවෙයි නෙව...අපි ඔක්කොම මේ ගෝස්තරේ හොයාගන්ට දත කන අව්වස්සෙ හුදෙක් ජොලිත්වය රැකගන්ට කරන කර්තව්‍යයක් නෙව. ඉතිං ඉඩ කඩ ලැබෙන පරිදි තමයි මේ වැඩේ කොරන්ට වෙන්නෙ...:)

      Delete
  3. මොකද මේ කවදවත් නැතුව මතුසම්බන්ධයක්...

    මේකට අපිව අවුස්සනවා ඇරෙන්න වෙන ජොලියක් නෑද කොහෙද...... ගර්ර්ර්ර්ර්ර්....

    ReplyDelete
    Replies
    1. දැන් හැමෝම ලියන්නේ මතු සම්බන්ධ කතා.

      Delete
    2. දැන් හැමෝම ලියන්නේ බේබදු කතානේ, මේ සමහරුන්ව අවුස්සන්නමද කොහෙද තමයි. අර හැලපයෙක් ඉන්නවා, පෝස්ට් දහයක් දැම්මොත් නමයහමාරකම බීපු කේස් එකක්. අර රාජ් කියලා එකෙක් ඉන්නවා, බැලුවොත් බීපු කතාවක්. මේ රවියෙක් ඉන්නවා, ලව් හුටපටයක් වේවා, නාට්‍යයක් වේවා, පොතක් වේවා, වෙන ඕනැම මාතෘකාවක් වේවා, ඩෝප් සීන් එකක් නැතිවම බෑනේ. පුදුම කෙලියක්නේ යකෝ මේක. මේ ඉඳපල්ලකො අපි වගේ.

      Delete
    3. අපි විතරයි බීපු කතා ලියන්නේ,අනික් එකා ලියන්නෙම නෑ අනේ මගේ කට,උඹ මගෙන් අහගන්ටයි ඔය හදන්නේ.

      Delete
    4. හෙන්රි ලියන්නෙ බිල විදවන කතානෙ.

      Delete
    5. හිරු,

      මතු සම්බන්දයි කියල අන්තිමට දැම්මෙ නැත්තං කතාවක් ලිව්වත් නොලිව්ව ගානයි බොල...හෙහ්, හෙහ්...

      බවුද්දයො හැටියට අපි ඔක්කොම ජාති ජාති මතු සම්බන්දයි කියල බොට හිතෙන්නෙ එහෙම නෑ?

      Delete
    6. දිලිනි,

      කේ. ජයතිලක මහත්මයගෙ පොතක් තියනව " මතු සම්බන්ධයි" කියල ...කියවල තියද?

      Delete
    7. හෙන්රි,

      ඒකෙ වැඩේ මේකනෙ බං..ඔය ආතල් ද බ්‍රේව් හුට පට ඔක්කොම වෙන්නෙ නකතං වෙන්ට ගැහුවමනෙ..දැං අර කපූස්ගෙ සීන් එක බලාපං..ඒකා එදා බීල අරම ගහක් කඩා වැටෙන්නැහෙ මංගල මහ සබා තොමෝ මද්දියයේ පත බෑවුනෙ නැත්තං එතන කියන්ට කතාවක් තියද?..නෑ නෙව..සාමාන්‍ය මංගල සබාවක් විතරයි..ඔය හැමදාම අහල තියන විච්චූරන ටික කවුරුහරි වැඩිහිටියෙක් කියනව එපා වෙනකල්..ඊට පස්සෙ කස්ටිය ගෙවල් බලා යනව. මේක එහෙමද?...බලාපං මද්‍ය පානය කරන කොටගෙන මාස ගානක් කතා කරන්ට සිද්දියක් ඇතිඋනා නේද? ඒකට මුල් උනේ මම කියන එක අදාල නොවේ කියමුකො.

      තාම උනත් අපෙ කට්ටිය එක්කහු උනාම ඔය අවුරුද්දට නැත්තං පිරිතක් දානයක් වෙලාවකදි එහෙම " මේ කොහොමද එද අර යකා පුටුවත් එක්කල සාලෙ මැද්දෑවෙ ඇදං වැටිච්චි හැටි " කියල මම කියන පරක්කුව විතරයි තියෙන්නෙ...සබා තොමෝ ප්‍රීතියෙන් ඉපිල ගියාහුය.

      Give the devil his due කියලත් තියනවනෙ.." අපරාදෙ කියන්ට බෑ ඔහේ නිසා අවුරුදු ගානක් කතාකරන්ට දේවල් නං වෙලා තියනව මදි නොකියන්ට " අපෙ උන්දැ වෙලාවකට ඔහොමත් කියනව...හෙහ්, හෙහ්

      Delete
    8. කපූස් කිව්වේ කොටන් ජෙන්ටල්මන්ට වත්ද?

      Delete
    9. Yeah, machan, same as Multiplyservent Cottonhouse..

      Delete
  4. අයියෝ කවනේ ගතිය මග නතරකරලා දැන් ඉතුරු කොටස දාපුවම අයෙත් මේකත් මුල ඉදන් බලන්න වෙනවා

    ReplyDelete
    Replies
    1. ඒකට මොකදෑ කොරන්නෙ ඉතිං?....අනික ඔච්චර විජහට අමතක වෙනවය ඔහෙට?

      Delete
  5. //මනි මනි සේ ලුකිං නොට්// :D

    බෝතලයක් 90 ට ලාබයි නෙ. :)

    ReplyDelete
    Replies
    1. //කවිකාරියකගේ ප්‍රේමය.// කෝ කවි.. කෝ ප්‍රේමය ? :D::D

      Delete
    2. ලාබයි?....ඔය කොයි කාලෙය කියලද උඹ හිතාන ඉන්නෙ?...හෙහ්,හෙහ්...

      මතු සම්බන්දයි කිව්වෙ ඒකනෙ බොල..කවිකාරියි පේමයයි ඔක්කොම තියෙන්නෙ ඒකෙ....:)

      Delete
    3. //ඔය කොයි කාලෙය කියලද උඹ හිතාන ඉන්නෙ?// හැබෑටම කොයි කාලෙද රවි අයියෙ..

      කාලය හරහා යන්න පුළුවන් නම් ලොරියක් අරන් ගිහින් පටවගෙන ඇවිත් බාර් එකක් දාන්න තිබුන :D:D

      Delete
    4. අසූව දසකයෙ අග බාගෙ මලේ...

      අතීතයට ගිහිල්ල අරක්කු නං නෙවෙයි අඩුමිලට මස් ගෙනල්ල සාර්තක බිස්නස් එකක් කරපු හාදයෙක් නං ඉන්නව..අන්න පල්ලෙහා මම බූරාස්ට දාපු කමෙන්ට් එක බලාපං...

      Delete
    5. දුටුවෙමි.. කලින් ආ වෙලේ පල්ලම් බැස්සෙ නෑනෙ. මෙතනින්ම හරෝගෙන ආපහු ගියා. :)

      Delete
  6. //.ඔයිට නරකද කෙලිම්ම බත් මාලු ඔක්කොම එකට අනල කාණුවටම දැම්මනං..කන්ට වෙන මහන්සියයි ඔක්කාර කරන්ට වෙන මහන්සියයි දෙකම නෑනෙව…"//
    මේක තමයි පට්ටම කෑල්ල :D

    ReplyDelete
    Replies
    1. අන්න ඒකනෙ බොල..දැං ඔය බියර් බොනව කියල බිව්වට වෙන්නෙ ඒ එක්කම හුලිජ්ජ බාන එක නෙව.

      මයෙ හිටිය යාලුවෙක් උගෙ කෝටා එක බියර් බෝතලේ හරි දෙක හරි කොමෝඩ් එකට හලනව. ඒ කරල " බොල ඕන කුදයක් ගහගනිල්ල " කියල පොරෝගෙන බුදියගන්නව...:)

      Delete
  7. අර ලියපු කවි ටික නං දාන්ටම ඕනෑ හරිද රවී.

    ReplyDelete
    Replies
    1. අඩේ බං එව්ව වචනෙං වචනෙට මතක නං නෑ බොලේ..ඒ කාලෙ ඔව්ව පරිස්සං කරල තියාගත්තෙත් නෑ නෙව...

      අනික මයෙ ඔය පැණි කවි පයිල් කරල තිබ්බ වෙනම බොක්ස් පයිල් එහෙක. Important Documents කියල ලේබල් එකකුත් ගහල. ඒකම තමයි හෙනහුරාට හිටියෙ.බැඳල මාස දෙකක් ගියේ නෑ. මම ඔය කොහෙද ගිය වෙලාවක අපෙ උන්දැට ඕක අහුවෙලා. මොනවද මේ වැදගත් ලියවිලි කියල ඇරල බලල නෙව. අප්පච්චියේ දීගෙ බේරගත්තෙ නොවඳිනා වැඳුං වැඳල... :(

      Delete
  8. අනේ ඉතින් මාත් සතුටින් ආව අපිවත් සිහි කරල එහෙම අද නම් මේක සිරාවට ලියල ඇති කියල.. දැන් කොහෙද මේකෙ කවිකාරිගෙ ප්‍රේමේ තියෙන්නෙ? අර වාන් පතුල හොයන කට්ටිය තාම වැව් ඉවුරකද කොහෙද? අසිත කොලුවත් තාම වැසිකිලි ගියෙ නැ මයෙ හිතේ..ඒ අස්සෙ පටන් ගත්තා නෙ මේකෙත් ...අනේ අම්මපා අපිත් තාම කනවනෙ මේ උන්දැගෙ ලණු
    //" යකෝ ඔහොම රටටම ඇහෙන්ට ඔක්කාර කරල උඹට තව අමාරුයි නෙව..ඔයිට නරකද කෙලිම්ම බත් මාලු ඔක්කොම එකට අනල කාණුවටම දැම්මනං..කන්ට වෙන මහන්සියයි ඔක්කාර කරන්ට වෙන මහන්සියයි දෙකම නෑනෙව…" // මේ කෑල්ල නම් මරු..මටත් අජීරනයක් හැදිල මේ වමනෙ දදා ඉන්නෙ..මේක දැක්ක කමන් හොඳටම හිනා ගියා

    ReplyDelete
    Replies
    1. අජීරණේ??? අනේ පලයං බං යන්න..අපි නොදන්න අජීරණේ...ලොක්ක අන්තිමට කොහොමිං කොහොමිං හරි කුල්ලක් හොයාගෙන ආව නේද?....නෑ කියන්ට නං එපා බොලේ...හෙහ්, හෙහ්,

      Delete
  9. ලෝක මත්පැන් පානය කරන්නන් අතර ලංකාව හතර වෙනි තැන කිවම ඒක බොරුය කියල හිතුවත් එක්ක. ..

    ReplyDelete
    Replies
    1. ලංකාවෙ මත්පැන් පරිභෝජනයෙන් 50%ක් මේ චමරියෙ ද කොහෙද! හෙහ් හෙහ් !!

      Delete
    2. බින්දි සහ මුහුදු,

      ඒ පට්ට බොරුවක් බං ලංකාව මත්පැං පරිබෝජනය අතිං ලෝකෙම හතරවෙනි ඉස්තානෙ ඉන්නවය කියන එක. නිර්මල තෙරවාද බුදුදහම රැකිල තියෙන ලෝකෙ එකම රට මේ අපේ දර්මද්වීපය.ඔය කතාව බටහිර අදිරාජ්ජවාදියො සිරි ලංකාවෙ කීර්ති නාමය විනාස කරන්ට හදාපු කතාවක්.ආය ඒකෙ නෑ දෙකක් එහෙම.

      ඇත්තම කියනවනං අපි හතර නෙවෙයි බොලව් ..අපි ඇවිල්ල අංක එක...දන්නවද?...අංක එක..අංක එක..වෙන මොකවත් ඕන නෑ ..බොහොම පැහැදිලි සාදකයක් දෙන්නෙයි මයෙ කතාව ඔප්පු කොරන්ට?..වෙන කොයි රටේද පූජ්ජ පක්සෙ කෙනෙක් කරටි කැඩෙන්ඩ ගහල වාහනයක් එලවල මනුස්සයෙක් යට කරල උසාවියෙං දඬුවං ලැබුවෙ?? ඇත්තටම ඔය ගනං හිලව් හදල තියෙන්නෙ පූජ්ජ පක්සෙ මත්පැං පරිබෝජනේ නොසලකා හැරල..ඒකත් ගනං ගත්තනං ලංකාව ලෝකෙම්ම එක නෙවෙයි සෘණ පහ විතර.

      Delete
    3. මන් හිතුවා මන් හිතුවා .ඕකේ සම්පුර්ණ ගවුරවේ දෙන්න ඕන පිරිමි පක්ෂයට.

      ලංකාවේ ගෑනු වැඩිය බොන්නේ නැහැනේ. ඒකට මන් දන්නා ඔක්කොම ජපන් කොරියන් ගෑනු බියර් බොන හැටි බලන්න එපාය. මෙහෙ උන් බියර් බොන්නේ වතුර ගානට.

      Delete
    4. මට නං හිතෙන්නෙ ඔය ලෝකෙන් එක කතාව බොරුවක්. බින්දි කිව්ව වගේ මෙව්වො වතුර බොනව වගේ බියර් බොන හැටියට අපි වගේ පොඩි රටක් කොහොම එක වෙන්නද? අපි එක කියල කොහෙ හරි වාර්තාවක තිබ්බද?

      Delete
    5. @ මුහුදු සහ බින්දි,

      ආන්න ඒකනෙ බං...ඔය ලංකාව පළවෙනි ඉස්තානෙ, හතරවෙනි ඉස්තානෙ කියන්නෙ පට්ට බොරු..දර්මද්දීපයෙ කිර්තිනාමය කෙලෙසන්ට බටහිර අදිරාජ්ජවාදියො කොරන කුරුමන්තරන...බටහිර යුදෙව් චින්තනයෙන් පෝසනය උනු අදිරාජ්ජවාදියො නං කමක්වත් නෑ කියමුකො..එවුංට ඉතිං වෙන වැඩක් ඇතෑ..අර වැඩේ කොරනකොටත් හිතන්නෙ ලංකාවට කෙලවන්නෙ කොහොමද කියල නෙව..

      මට දුක මේ අපේ හෙල කුල කාංතාවොත් ඒ මඩ ගැහිල්ලට එකතුවෙලා තියන එකටයි. බෝම ෂවුත්තුයි මැඩං බෝම ෂවුත්තුයි...ඔහෙ ඔන්නං අවුරුදු දහයක් ඇති විදේස ගත වෙල. ඒත් අමතක කරන්ට එපා ඊට කලිං අවුරුදු තිස් පහක් විතර ජීවත් උනේ මේ සුද්ද බූමියෙ කියල හරිද?

      මෙන්න බලාපං මත්පැං පානයෙං ලංකාව ඉන්නෙ ලෝකෙම 168 වෙනි ඉස්තානෙ වාර්ෂික ඒකීය මත්පැන් පරිභෝජනය ඇවිල්ල ලීටර් 0.79 ක් විතරයි..ඒ කියන්නෙ බෝතලේකට පොඩ්ඩක් වැඩියි....ආන්න දැක්කද?..එහෙමයි අපි...

      පලි - බිංදි නෝනො..මේ උඹලා මත්පැං පාවිච්චියක් නැති නිසා බොලාගෙ බෝතල් හතර මට ගෙනත් දියං හොඳේ?

      Delete
    6. හතරම කෙසේ වෙතත් තුනක් නම් බැරි වෙන එකක් නැහැ ..හැබැයි මන් මත්පැන් තෑගී දෙන්නේ නැහැ ප්‍රතිපත්තියක් විදිහට . හැබැයි ලඟදි සුපර් මාකට් එකකින් මට තෑගී ඇදුනා බියර් කේස් එකක්

      Delete
    7. අප්පට සිරි ගජ..බියර් කේස් එකක් ඈ????

      ලොක්ක ගසල ඇරියද කේස් එකම? හෙහ්, හෙහ් උන්දැ අමද්‍යප මොඩ්ල් නම් මෙන්න බියර් වලට කොරන්න පුළුවන් දෙයක්...:)

      Delete
    8. ඔන්න ඔබා මාම හිටිය නම් මෙතන පැනල උත්තර දෙන්නේ ..එව්වා මොනා වුනත් බියර් ටික දැන් එක්ස්පයර්..ඔය දින එහෙ මෙහෙ වුනාට අවුලක් නැහැ කියලයි මෙයා කියන්නේ නම්.අඩේ මටත් බිව්වේ නැතත් බියර් ගැන හෙම කියන්න කතා ගොඩක් තියෙනව.,කවි ගැන ලිව පෝස්ට් එකකට බියර් ගැන කමෙන්ට්ම දාන්න හොඳ නැති නිසා නිකා ඉන්නවා.
      අර රෙසිපි ටික නම් මරු එකක් දෙකක් හදල බලන්න ඕන .

      Delete
  10. //ඔය අපෙ රවුං කනප්පුව ඇවිල්ල බොහොම බලගතු එකක්..ඕකෙ උඩ පොලිෂ් එක පිච්චිල හරියටම අසෝක වීදුරුවෙ අඩියෙ ගාණට රවුං තියෙන්න ඇති ලස්සයකට එහා පැත්තෙ...ඒත් අතේ සතේ නැතිවෙච්චි වෙලාවෙ උනත් ඔය කනප්පුව වටේට වාඩි වෙලා හිටියොත් අම්මප දෙයියො දුන්න වගෙ කොහෙං හරි බඩු පාදුර්බූත වෙනව.//
    මේ කනප්පුව මට ලැබෙන්න සලස්වපන්කො බං

    ReplyDelete
    Replies
    1. කනප්පු කේස් තියනව එකසිය ගානට අරූ...හෙහ්, හෙහ්,

      මම පුංචි කාලෙ ඔය කනප්පුවක් යවල නැතිවෙච්චි මාලයක් හොයන්ට ගිහිල්ල වෙච්ච මරු සීන් එකක් තියනව..ඉඳහං ඒකත් කියඤ්ඤං අමතක මතක බැරි වෙන්ට ඉස්සරවෙලා.....හෙහ්, හෙහ්

      Delete
  11. පාලන මිලට ඕනැන්නෙ නෑ.. අර වැඩි මිලට වුනත් කමක් නෑ බෝතලයක් 140 ගානෙ ගන්ට තියේනං.. ;)

    ReplyDelete
    Replies
    1. මායා බන්ධන වගේ අතීතයට යන්ට ක්‍රමයක් හොයාගෙන මටත් කියපංකො ඒ ගානට අරක්කු අරං දෙන්ට...හෙහ්, හෙහ්,

      අඩේ ..ඒක කියනකොට මතක් උනේ මලේ..Stephen Kingගෙ 11-22-1963 කතාවෙ තියනව නෙව ඒ වගේම සීන් එකක්.රෙස්ටෝරන්ට් එකක් කරන මනුස්සයෙක් ඔය වගෙ අතීතයට යන්ට පුලුවං දොරටුවක් ( Time Portal කියලයි පොතේ තියෙන්නෙ ) හොයාගන්නව.

      මුන්දැ කොරන්නෙ ඒකෙං අතීතෙට ගිගිල්ල බොහොම ලාබෙට මස් ගෙනල්ල මිනිහගෙ රෙස්ටෝරන්ට් එකේ බර්ගර්ස් එහෙම හෙණ ලාබෙට දෙනව...මෙච්චර ලාබෙට දෙන්නෙ කොහොමද කියල පාරිබෝගිකයො පුදුම වෙනව. අන්තිමට කතාව යන්නෙ මිනිහ අහල පහල ඉන්න බල්ලො පූසො මරල තමයිය මේ වැඩේ කරන්නෙ කියල...හෙහ්, හෙහ්

      Delete
  12. //හරි වැඩි විස්තර කියන්ට ගියොත් මේකත් පඳුරු තැලිල්ලක් වගෙ වෙනව// අන්තිමට වෙලා තියෙන්නෙත් එකනේ. මට පේන්න බෑ අෆ්ෆා මේ "මතු සම්බන්ධ" වෙන කතා. ඉතුරු කොටස කියවන්න හත් අවුරුද්දක් බලාගෙන ඉන්න ඕනේ.

    ReplyDelete
    Replies
    1. ඔන්න ඕකනෙ මේ දැං හැදෙන ගැටිස්සියන්ට වෙලා තියෙන්නෙ. ඉවසීම කියන එක නෑ අලුක්කාලක්වත්, අනේ මන්ද බොලා කොහොම දීගෙක ගිහිල්ල දීගෙ රැකගෙන ගෙන ඉන්ට හිතා ඉන්නවද කියල...

      BTW ...මේ මම අහන්ටමයි හිටියෙ...අර දාරා සිං ගෝරා සිං කියල හිටියෙ අයිය මලෝ මල්ලව පොර කාරයො දෙන්නෙක්. මැඩම්ගෙ ඥාතියො වත්ද හැබෑටම?

      Delete
  13. හපෝයි...මට මැවිලා පේනවා අර අහින්සකයට වෙන්න යන සන්ගදිය

    ReplyDelete
    Replies
    1. හෙහ්, ඒකනෙ කියන්නෙ නෝනා..මම යන්තම් බේරුනෙ....:)

      Delete
  14. අර බිල්ගත කරපු ලැයිස්තුව තමයි නියම. උදේට බීපු ටික හිදෙන්නත් එක්කම
    කවිලියන්නත් බෝතලක් ගත්ත එහෙනම්.

    ReplyDelete
    Replies
    1. මම නෙවෙයිනෙ දයා..අර යස්සය..ජයේ නෙව වැඩේ කතාකලේ....:)

      Delete
  15. Ara wage kanappuwak nadda salli walata ganna...?

    ReplyDelete
    Replies
    1. මේක හරි කෙලියක් නෙව...මෙවුං ඔක්කෝටම ඕනෙ දැං අර කනප්පුව...හෙහ්, හෙහ්...

      Delete
  16. මෙ ගානට නම් බොන්න ඈත්තෙ 70 ගනන් වලද මන්ද.මෙ ඔය බොන එවුන්ට කියන්නෙ බොල කන පාත්වෙන්න බුපු දවසට නිදියන්න කලි හොදට වතුර බිල නිදියපල්ල.පස්සෙන්ද අමාරුනම් ග්ලුකොස් ටිකක් කාපල්ල අවුල ටිකක් ශෙප් වෙවි.රවි අයිය මොකො පහිගිය කොමෙන්ටුවටත් මුකුත් කියලනම් තිබ්බෙ නෑ .තරහ උනෑයි.

    ReplyDelete
    Replies
    1. @ දමිත්,

      ඉස්සෙල්ලම කියන්න ඕන අනේ මලේ සමාවෙයං කියල...ඒ ටිකේ අධික වැඩ නිසාවෙන් උඹේ කමෙන්ට් එක මිස් වෙල...සොරි හොඳේ?..:(

      මම මේ කියන්නෙ අසූව දසකයෙ අග බාගෙ විතර..ගණං හිලව් නං හරියටම හරි නැතුව ඇති..ඒකෙ වැඩේ මෙහෙමයි ගාණ ගැන හිතන්නෙ නැතුව මම ගන්නෙ පොතුයි අරක්කුයි විතරයි. අන්න ඒ නිසා ඒ දෙවර්ගයෙම ගනන් හිලව් ගැන ඒ හැටි මතකයක් නෑ...:)

      / ඔය බොන එවුන්ට කියන්නෙ බොල කන පාත්වෙන්න බුපු දවසට නිදියන්න කලි හොදට වතුර බිල නිදියපල්ල /

      උඹ අහල ඇති මේ කතාව...

      දංසැලකට ගිහිල්ල දෙන්නෙක් බඩ කට පුරා කෑවලු..ඔන්න එකෙක් ඇස් උඩ තියාගෙන එහාට මෙහාට ඇඹරෙනවලු...

      " මොකෝ බං?...." අනිකා ඇහුවලු.

      " උස්මුරුත්තාවට ඇවිල්ල වගෙ බං..හුස්ම ගන්ටත් අමාරුයි වගෙ.."

      " යකෝ විජහට උගුරට ඇඟිල්ල දාල වමනෙ කරහං "

      " උඹ මේ මඟුලක් කතා කරනව..ඇඟිල්ලක් ගහන්ට ඉඩ තියේනං මම තව කෙහෙල් ගෙඩියක් කනවනෙ…"

      අන්න ඒ වගෙ බොල නිදියෙන්ට කලිං වතුර බොන්ට ඉඩ තියේනං ආය අහවල් වතුර...ඒකටත් අරක්කුම ගසල අරිනවනෙ...:)

      Delete
  17. විචාරක තුමා,හැලප තුමා සමග අලුත්ම තුමා අරූ තුමාගෙ,Aru-ge adaviya වියට පිවිස ජිවිතයේ ලැබූ සත්‍ය අත්දැකීම් කියවන්න කියල මා කාරුණිකව ඔබ සැමට ආරාධනා කරමි.

    ReplyDelete
  18. Mata nam hita ganna puluwan wenna yana de....sure1tama Ravi aiya kavi liyala ara ahinsakayage adareta Dushtaya wenna ati............a girl aiyata love karanna ati....ane itin aiyatath mokada....1 newe oyata aththatama love affair keeyak tibbada...mata nam hitenne 1000 pannala..........

    ReplyDelete
    Replies
    1. ඔය පෙරකලාසි ( By Proxy ) කවි ලිවිල්ල හින්ද මම වැටිච්ච අමාරුව දන්නවනං බොල, උඹ ඔහොම කියන්නෙ නෑ.....:( :(

      පිස්සුද අම්මප?....වෙන මෙලෝ වැඩක් නැතුව පෙං කිරිල්ලටම ඇරිලයි මම හිටියෙ කියලය හිතාන ඉන්නෙ? :(

      Delete
  19. හප්පේ මටත් ඔය සන්තෑසියම වුනානම් එහෙම මේ වගේ බේබද්දො ටිකක්කට අරක්කු දීලා තමා ලියව ගන්න වෙන්නෙ. :D

    ReplyDelete
    Replies
    1. හෙහ්, හෙහ්, වෙලාවට බොට කයිකාරියක් සැට් උනෙ නැත්තෙ නේද?....අද අහපං නිකමට වගෙ " මේ ඒ දවස්වල ඔයාට හිතුනෙ නැද්ද මට කවියෙං ලියුං ලියල එවන්ට? "

      Delete
  20. පට්ට කතාවක් රවී.. :) (එහෙම කිවුවට කමක් නෑ නේද..?? මේ කොල්ලෝ කියන වචනය තමා එක පාරටම කටට ආවේ..)

    ReplyDelete
    Replies
    1. හපොයි නෝ ප්‍රොබ්ලම් ඇටෝල්.....කැමති දෙයක් කියන්න...:)

      Delete
  21. රවීට කියන්න රවී අර වෙන්ට කතා ලිස්ටුව ට්‍රැක් කරන වැඩේ මේ දවස්වල ඔපිසියේ කරන ව්‍යාපෘති වැඩ වලටත් වැඩයි අමාරුයි නෙව..
    වෙලාවටක හිතෙනවා අල්ලලා දාන්ට..!!

    අර කියපු සෑමී ගෝලයා බ්ලොග් එකක් ලියන ආරංචියක් එහෙම තියේ නම් අපටත් කියන්න..එයා නෙව මේ කතාව ඇත්ත තත්තෙ දන්නේ!!

    ReplyDelete
    Replies
    1. ඒ වෙන්ට කතා ලිස්ට් එක මගෙ ලඟ තියනව මැඩම්...අවුලක් නෑ...ඒ පොරොන්දු වෙච්චි කතා ඔක්කොම ලියනව මයෙ හුස්ම ඩිංහ යන්ට කලිං ..අනෙ අම්මප...ඇත්තම ඇත්ත...:)

      Delete

මගේ සිතුවිලි ගැන ඔබේ සිතුවිලි

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...