Monday, August 12, 2013

210. කිරුළ සහ සෙනෙහස ……13


කිරුළ සහ සෙනෙහස ……1 


කිරුළ සහ සෙනෙහස ……2 

කිරුළ සහ සෙනෙහස ……3 

කිරුළ සහ සෙනෙහස ……4 

කිරුළ සහ සෙනෙහස ……5 

කිරුළ සහ සෙනෙහස ……6 

කිරුළ සහ සෙනෙහස ……7 

කිරුළ සහ සෙනෙහස ……8 

කිරුළ සහ සෙනෙහස ……9 

කිරුළ සහ සෙනෙහස ……10 

කිරුළ සහ සෙනෙහස ……11 

කිරුළ සහ සෙනෙහස ……12 

පුරා සඳ තුදුස් වරක් වනගහනය සඳ රැසින් නහවමින් නැගෙනහිර දෙසින් වූ කඳු වලල්ල මතින් මුදුන්ව යළි බැස ගියේය. කුඩා කඳුගැටය මත වූ ගල් ගුහාවෙහි වසන්නන්ගේ දිවි ගමනද කිසිදු හැල හැප්පීමකින් තොරව නිදැල්ලේ ගලා ගියේය. 


දින කිහිපයකට වරක් දඩයමෙහි ගොස් ගෝනකු හෝ මුවකු වැනි සතකු මරාගැනීමත් ඉන්පසු හම ගසා කුඩා තීරු වලට සිහින්ව වෙන් කල මස් නිවස්නය වූ ගල් ගුහාව ඉදිරිපිට වූ සමබිමෙහි එක් අන්තයක සකසාගත් මැස්සක අතුරා ගින්නෙන් වියලා ගැන්මත් හැරුණු කොට විජය විසින් ඉටුකල යුතු අන්  කාර්යයක් නොවීය.එබැවින් කුවණ්ණා හා සමඟ අල්ලාප සල්ලාපයෙහි මෙන්ම ආලිංගනයෙන් පසුවනු උදෙසා ඔහුට අවශ්‍ය පමණද ඉක්ම යන පරිදි කාලය ඉතිරි විය.

කුඩාවුන් සමඟ කෙළි දෙලෙන් පසුවීමටද ඔහු බොහෝ ප්‍රිය කලේය. ඒ සියලු කටයුතු හැරුණු කොට ඔහු ඉතිරි කාලය ගත කලේ හුදකලාවේ වනය පුරා සරමිනි. පුරා දශක දෙකකුත් අඩකට ආසන්න වූ තම ජීවිතයේ මුල් යුගය තුල අර්බුද, සටන්, නොදැමුණු ක්‍රියාවන්හි යෙදීම් සහ පසුගිය ආසන්න වසර කිහිපය තුල රාජ්‍ය පාලනයෙහි විවිධ සංකීර්ණ වූ ගැටලු විසඳීමෙහි එමෙන්ම විවිධ දේශපාලන කුමන්ත්‍රණ මැඩපැවැත්වීමෙහි සහ රට වැස්සන්ගේ සුබ සාධනය උදෙසා අවදිව හුන් මුළු කාලයම යෙදවූ විජය මේ ලද නිදැල්ලේ තමනට රිසි පරිදි ගත කල හැකි විශ්‍රාම කාලය සැලකූයේ දෙවියන් විසින් ප්‍රදානය කල වරදානයක් ලෙසිනි. 

බොහෝ ඈත අතීතයක මෙවන්ම වූ ගල්ලෙනක තම මුත්තණුවන් විසින්ම සිරකරනු ලැබ පියාණන්, මෑණියන් සහ මිත්තණියන් දිවි ගෙවූ අන්දම පිළිබඳව ඔහුට පැහැදිළිව වැටහීගියේ වනවාසයට පැමිණි පසුවය.කුඩා දරුවකුව සිටි අවදියෙහි තම නිවුන් සොයුරා වූ සුමිත්තද සමඟ මිත්තණියන්ගේ දෙපා අබියස හිඳ ඈ දෙනයනින් සහ වක්ත්‍රයෙන් අභිනයන් පාමින් රස කර පැවසූ වන ගත ජීවිතය මෙවැන්නක් යැයි විජය පිරිසිඳ වටහාගත්තේ ඒ ප්‍රායෝගිකව අත්විඳීමෙන් අනතුරුවය. 

" එහෙත් මිත්තණියනි, ඔබ මුත්තණුවන්ට බලවත් ලෙස ආදරය කලේ වී නම් ඔහු හැර දමා ගල් ලෙන දොරටුව බිඳ දමා පළායන්නට ඔබගේ පුතණුවන්ට එනම් මපියාණන්ට ධෛර්යය සහ සහයෝගය ලබා දුන්නේ මන්ද? අවම වශයෙන් ඔබට හෝ ගල්ලෙනෙහි රැඳී සිටිමට යුතුකමක් තිබුණා නොවේද? " 

එවකට දොළොස් හැවිරිදි වියේ පමණ වූ තමන් මිත්තණියගේ දෑස් දෙස එක එල්ලයේ බලා විමසූ අන්දම ඊයේ සිදුවාවාක් මෙන් පැහැදිලිව ඔහුගේ මතකයෙහි තවමත් රැඳී ඇත. 

මඳ වේලාවක් විජයගේ දෑස දෙස බලා සිටි සුප්පාගේ දෑස වේදනාවෙන් බරවිය.නෙත් කෙවෙණි අග නැඟි කඳුලු වලකාගැන්මට හෝ ඒ කුඩා දරුවාගෙන් වසන් කිරීමට හෝ ඒ කාර්යයන් දෙකම උදෙසා හෝ දෑස් තදින් පියාගත්වනම ඕ ඉවතට හැරුණීය. 

ඇය බොහෝ වේලාවක් ඉවත බලාගත්වනම නිසොල්මන්ව හුන්නීය. ඔහුගේ පැණයට පිලිතුරක් නොලැබෙන බවට විජයට හැඟී යන්නට විය. ඒ හා සමඟම සුප්පා කථා කලාය. එහෙත් ඒ ඉවත බලාගත් වනමය.සුපුරුදු ගාම්භීර ස්වරය වෙනුවට එහි වූයේ සිහින් සංවේගී ස්වරයකි. ඇය කියන්න හොඳින් ශ්‍රවණය කිරීම උදෙසා ඔහු දෙඅත්ල මත වත රඳවාගත්වනම ඉදිරියට නැඹුරු වූයේය. 


" පුත, දෛවය අප මෙලොව එළිය දකින විටම අප ඉටුකල යුතු යම් කාර්‍ය භාරයක් නියම කරයි. ඔබ පූර්ව භවයක් පිළිබඳ අදහන්නේ නම් ඒ ඔබ පූර්ව භවයෙහි පතා ආ අන්දම යයි ඔබට නිගමනය කල හැක. නැතහොත් තාරකාවන් පිළිබඳ ඔබ විශ්වාස කරනුයේ නම් ඒ තාරකාවන් විසින් ඔබ වෙනුවෙන් නියමකොට ඇති ඉරණම යයි ඔබට තීරණය කල හැම. ඒ කෙසේ හෝ වේවා මෙලොව ජීවිතයෙහිදී අපහට සෑමවිටම අපගේ සිතැඟියාවන් අනුව, අපගේ හැඟුම් අනුව තීරණ ගත නොහේ. හැඟීම් වලට වහල් නොවී අනාගතය උදෙසා, මතු පරපුරෙහි අභිවෘද්ධිය උදෙසා අපගේ අපේක්ෂාවන් හෝ රුචිය එකහෙලා කැපකල යුතු අවස්ථාවන් එලඹෙනු ඇත " 

" මම එදා මුහුණ දුන්නේ එවන් අවස්ථාවකටය. මහිමියන් කෙරේ බැඳි සෙනෙහස සහ පුතු කෙරේ බැඳි දාරක ප්‍රේමය අතර මම වල්මත් වූයෙමි. බොහෝ කල් ගත කොට මහද කීතු කීතු කොට ඉරා බලා අවසන මම දාරක ප්‍රේමයට ඉඩ දුන්නෙමි. එදවස ඔබගේ පියාණන් සහ මෑණියන්හට පලා යාමට ඉඩදී මම ගල්ලෙනෙහි නැවතුනි නම් කිසිදිනෙක වනයෙන් පිටතට පා තබා නොමැති ඔබගේ මව්පිය දෙපල නගරයෙහිදී මහත් වූ ව්‍යසනයකට මුහුණ දෙනු නිසැකය. එසේ හෙයින්ම මසිතට විරුද්ධව වුවද මම ඒ තීරණය ගත්තෙමි.එහෙත් මේ මොහොත දක්වා මම ඒ පිළිබඳව දුක්වෙමි. එහෙත් පසුතැවිලි නොවෙමි.අද වුවද යලිත් එවන් තීරණයක් ගැන්මට බල කෙරෙනු ලැබූවහොත් මා ගන්නේ ඒ තීරණයම මිස අනෙකක් නොවේ. " 

සුප්පා හිස හරවා විජය දෙස බැලුවාය. ඔහු විසල් කොටගත් දෑසින් ඈ දෙස බලා සිටියේය. 

" මපුත, කිසිදිනෙක ඔබට එවන් තීරණයක් ගැනීමට බල කෙරෙනු නොලැබේවා යන්න මගේ එකම ප්‍රාර්ථනයයි. එවන් සංවේගජනක අත්දැකීමක් ඇති ඔබගේ මිත්තණිය කියන්නට හොඳින් සවන් යොමු කල මැන. ඒ කිසිසේත් ප්‍රියජනක අත්දැකීමක් නම් නොවන්නේය.එහෙත් කෙතෙක් ප්‍රියජනක නොවූවද ජීවිත කාලය පුරා ඒ වෙනුවෙන් දුක් විඳීමට සිදුවුවද අවශ්‍යය වූ විටෙක එවන් තීරණයක් ගැනීමට ඔබ කිසිසේත් පසුබට නොවිය යුතුය. "


සුප්පා දෑත් දිගුකොට විජය වැළඳ ගත්තීය. ඇගේ ළය මඬල මතුයෙහි හිස හොවාගත් ඔහුගේ සිරුර සිය මුහුණ මතට ඇද හැලුනු ඇගේ කඳුලු බිඳක සිහිලස හේතුකොටගෙන වෙව්ලා ගියේය.

එවන් තීරණයක් ගැනීමට තමන්ට කිසිදිනෙක බල කෙරෙනු නොලැබේවා යන්න විජයගේ ඒකායන ප්‍රාර්ථනය වූයේය. එහෙත් පසුගිය මාසයක පමණ වූ කාලය තුල ඔහුගේ සිතෙහි විටින් විට මෝසම් වර්ෂාවට පළමු ඈත කඳු වළල්ල මතුයෙහි දිලී එසැණින් අතුරුදන්වන විජ්ජු ලතාවන් මෙන් ඉපිද එසැනින් මැකීයන්නාවූ අතෘප්තිකර හැඟීම් දහරාවන්ට හේතු කිමෙක්ද? ඉච්ඡා භංගත්වයක් හෝ ජීවිතයේ යම් හිස් බවක් පිළිබඳ මේ දැනෙනා සිතුවිලි හට ගනුයේ කවර නම් නිසාද? 

වාසිෂ්ඨී වෙත සරණ පතා පැමිණ දින කිහිපයක් ඇතුලත ඔවුන් වසන ප්‍රදේශය පිලිබඳ විස්තර පවසා වාසිෂ්ඨීගේ විශ්වාසවත් අතවැසියකු අත උපතිස්ස වෙත සංදේශයක් යැවීමට විජය අමතක නොකළේය. ගල්ලෙන ඉදිරිපිට සමබිමෙහි රූස්ස වනස්පතිය සෙවණෙහි හිඳගත් කල ලංකාපුරය කරා දිවෙන මාර්ගය ඉතා හොඳින් දර්ශනය වේ. ගල්ලෙනෙහි වාසයට පැමිණි මුල් කාලය තුල විජය විවේකයක් ලැබුණු සෑම විටම වනස්පතිය සෙවණේ අසුන්ගත්වනම එදෙස නෙතු යොමා හිඳීම පුරුද්දක් කොට ගත්තේය. 

මුල් කාලයේදී එසේ එදෙස නෙතුයොමා සිටියේ ඈත ක්ෂිතිජයෙහි මතුවන දූලිවලාවක් එනම් ලංකාපුරය දෙස සිට පැමිණෙන අසරුවකුගේ සංඥාව කිනම් මොහොතක මතුවේදැයි සිත පුරා පිරීගිය භීතියකින් වුවද මේ පසුගිය සති කිහිපය තුල ඒ භීතිය මැඩගෙන එවන් දසුනක් දකින අපේක්ෂාව තම සිත තුල අරක්ගෙන ඇත්දැයි යන සිතුවිල්ල විජය අවදියෙන් සිටිනා සෑම මොහොතකම ඔහුගේ සිතට වද දුන්නේය. 

එසේම ගතවීගිය කාල සීමාව පුරා රාත්‍රී නින්දෙහිදී ඔහු දුටු සිහින බහුතරයක් ලංකාපුර රාජ සභාවෙහි මුලසුන් අරා හිඳිනු, එසේ නොවතුදු සපිරිවරින් ගම් නියම් ගම් පරීක්ෂාවෙහි යෙදෙනු හෝ අධිකරණ ශාලාවෙහි විනිශ්චයෙහි යෙදෙනු වීම ඔහු සිත මහත් සේ ව්‍යාකූල වීමට හේතුවූයේය. 


එවන් සිහිනයෙක ගැලී හිඳ සැණෙකින් අවදිව තම ඇලපතට තුරුළුව සෙමෙන් පිලිවෙලට හුස්ම ඉහල පහල හෙලමින් නිදන කුවණ්ණාවන්  දෙස බොහෝ වේලා ඔහු බලාසිටියේ ඔහුටම වටහාගත නොහැකි වරදකාරී හැඟීමක් වැන්නක් සිත් තුල පුපුරු ගසන අතරතුරය.

සිතෙහි වියවුල නිසාම යලි නින්දට සැපත්වීම උගහට වූ එවන් බොහෝ රාත්‍රි යාමයන්හි සහසක් තරු පිරි අහසයට ගල්ලෙන ඉදිරිපිට තැනිතලාවෙහි භාවනානුයෝගීව සිත් සමනය කොට ගැන්මට වෙර දරමින් ඔහු බොහෝ වරක් කල් ගත කොට ඇත.ඒ සියල්ල ඇය නොදන්නීය යනුවෙන් ඔහු උපකල්පනය කලද ඔහුගේ මේ සිත් වියවුල මෙන්ම ඊට හේතුභූත වූ උපස්ථම්භක කරුණු සියල්ලම මනා විචාර බුද්ධියෙන් යුතු විචක්ෂණ ඉතිරියක වූ කුවණ්ණා මනා කොට දැන සිටියාය. 

ඔහු මධ්‍යම රාත්‍රියෙහි ගල්ලෙනෙන් පිටත භාවනානුයෝගීව පසුවනු ගල්ලෙන් ද්වාරයෙහි සිට බලා සිටිනා ඇය වරක් දෙවරක් ඔහු වෙත යාමට තීරණය කලද පසුව ඒ තීරණය වෙනස් කොට යලි ආපසු ගොස් දරු දෙදෙන අසලින් වැතිර ගත්තාය. 


ඔහුගේ දෛවය කුමක්ද? ඔහුගේ ඉරණම කුමක්ද? තම මතු ජීවිතය කෙසේ විය යුතුද යන්න අන් කවරකුගේ හෝ බලපෑමකින් තොරව ඔහුම තීරණය කල යුතුය. ඊට මම කෙලෙසකින්වත් බලපෑමක් නොකරමි. මෙසේ සිත එකඟ කරගත් ඇය දරුවන් තුරුළු කොටගෙන බොහෝ විප්‍රකාර වූ සිහින සපිරි, එහෙයින්ම කිසිසේත් සුවදායක නොවූ නින්දකට වන්නාය.

එලිමහනේ භාවනානුයෝගීව හුන්නද විජය කිසිසේත් තම සිත එකඟ කරවා ගැන්මෙහි සමත් වූයේ නොවේ. 

" අනුරාධ.... එසේනම් මවිසින් පැවසූ අයුරු පසල් දනව් වැස්සන්ට සහන සලසනු මැන. අප මේ රටේ පාලකයින් වුව පාලකයා යනු කිසිසේත්ම වැසියන්ගේ හෝ මෙහි සියලු සම්පත්හි ඒකල හිමිකරු නොවන බව සෑම විටම මතක තබා ගත යුතුය.පාලකයා යනු මේ භූමියෙහි භාරකරුවා පමනි. ඔහුගේ වගකීම මෙන්ම යුතුකම වනුයේද හැකි සෑම විටම තම ආත්ම පරිත්‍යාගයෙන් පවා අවශේෂ පොදු ජනයාගේ සුබසිද්ධිය සැලසීමයි. " 

" එසේය රජතුමනි. " අනුරාධ නැඟීසිට හිස නවාගත්වනම පැවසීය. 


ඒ එක්වරෙක අනුරාධ පාලනය කල පසල් දනව්වක පැතිරගිය දුර්භික්ෂයක් හේතු කොටගෙන ඇතිවූ වියවුලකදී රාජ්‍ය භාණ්ඩාගාරයෙන් ධාන්‍ය බෙදාහැර සයින් පීඩිත ජනයාහට සහන සලසන මෙන් රජ සභාවෙහි බහුතර මතයට පවා විරුද්ධව යමින් අනුරාධට විජය නියෝග කල අන්දමයි.

හැකි සෑමවිටම රාජ්‍ය සම්ප්‍රදාය නොතකා හැර හෝ වැස්සන් කෙරෙහි උපරිම සාධාරණය ඉටු කරනු වස් තමන් උපරිම උත්සාහය දැරූ බව විජය සිහිපත් කලේ සිත් පුරා පැතිරගිය ආහ්ලාදයකිනි. 


ලංකාද්වීපය වන් ළදරු රාජ්‍යයක මතු චිරස්ථිතිය රඳා පවතිනුයේ හුදෙක් එවන් සාධාරණ සහ යුක්තිසහගත පාලන ක්‍රමයක් ස්ථාපිත කිරීම මත  බව විජය මනාකොට දැන සිටියේය. එහෙත් රාජ සභාවෙහි උපතිස්ස හැරුණු කල එසේ සිතනුයේ අතළොස්සක් බවද ඔහු හොඳින් දැන සිටියේය. රාජසභාවෙහි බහුතර බලය අනුරාධ වන් අත්තනෝමතිකයකු අතට පත්විනි නම් ඒ මහත් ව්‍යසනයක පෙර නිමිති බවද විජය එළෙසම දැන සිටියේය.


ඒ අතර වාසිෂ්ඨීගේ ඔත්තුකරුවන්ගෙන් ලත් පණිවිඩ ද කිසිසේත් සිත් සනහාලන්නක් නම් නොවීය. විජය උපකල්පනය කල අයුරුම ලංකාපුර රාජ සභාවෙහි බල අරගලය හේතු කොටගෙන රාජ්‍යය පුරා නොසන්සුන්තාවයන් මතුව ඒ කැරළි කෝලාහල තත්වයෙන් ඔබ්බට වර්ධනයවී සිවිල් යුද්ධයක් බවට රූපාන්තරණය වීමට ආසන්නව පැවතුනේය.රාජ සභාවෙහි පූර්ණ පක්ෂපාතීත්වය එක හෙළා ලබාගැන්මට සමත්වූයේ විජය පමණක්ම වූ බැවින් වර්තමානයෙහි පවතින අරාජික තත්වය කිසිසේත් විශ්මයට කරුණක් නොවීය. මේ නොසන්සුන් තත්වයෙන් ප්‍රයෝජන ගැන්මට සිතූ යක්ඛ ගෝත්‍රිකයෝද පසල් දනව්හි නොයෙක් විප්‍රකාරවල යෙදෙමින් ලංකාපුරයට තවත් හිස රදයක් බවට පත්වූවෝය.

ඒ අසුබ තොරතුරු රැගෙන සතියකට වරක් පමණ කුඩා කඳු ගැටය සැරයටියක වාරුවෙන් නැඟ ඔවුන් වෙතට පැමිණියෝ වාසිෂ්ඨී තොමෝමය. දරුවන් වෙනුවෙන් ගෙන ආ කුමන හෝ රස මසවුලක් ඔවුනතට දී ඔවුන් හා මොහොතක් ගත කරන මහළු ප්‍රභූ වරයා ඉන්පසු කුවණ්ණා හා සමඟ සතුටු සාමීචියෙහි යෙදෙයි. අවසන ගල්ලෙන ඉදිරිපිට වූ වනස්පතිය සෙවණෙහි අසුන් ගන්නා ඔහු තමන් ඉදිරියෙහි හිඳ සිටිනා විජය සහ කුවණ්ණාහට නවතම තොරතුරු දැනුම් දෙන්නේය. 


" පුතණුවනි, මා දයාබර මිණිපිරියගේ ස්වාමියා වශයෙන් ඔබ මගේද මුණුපුරා වන්නේය. එසේම ඔබ ස්ව කැමැත්තෙන් කිරුළ හැරදා කුවණ්ණා කෙරෙහි බැඳි සෙනෙහසට ප්‍රමුඛස්ථානය දී වනගත වූවද මෙරට රාජ්‍යයට එකම හිමිකරු තවමත් ඔබය. එලෙසම මේ මගේ රට, යක්ඛ ගෝත්‍රිකයින් සිහලුන් මෙන්ම අවකන්, යවන යෝනක ආදී මෙහි තම වාස භූමිය කරගැන්මට රුචි සියල්ලන්ටම අභය භූමියක් වන වියවුලින් තොර ශක්තිමත් පාලන තන්ත්‍රයකින් හෙබි නිදහස් රාජ්‍යයක් සේ පවතිනු දැකීම මගේ එකම අභිප්‍රායයි. "

" එහෙත් ලංකාපුර රාජ සභාවෙහි බල අරගලය හේතුකොට පවතින වර්තමාන තත්වය කෙලෙසකවත් හිතකර තත්වයක් නම් නොවේ. මේ වියවුල් තත්වය ප්‍රයෝජනය ගෙන යාබද දඹදිවින් පවා අප වෙත ආක්‍රමණ එල්ල වීමේ අවදානමද නොතකා හල නොහැක.මේ අරාජික තත්වය සමනය කල හැක්කේ පුත ඔබට පමණි. එහෙත් ඒ තීරණය ඉතා අසීරු මෙන්ම භාරදූර බවද මම දනිමි. එබැවින් ඔබ දෙදෙනට ඒ සඳහා අවස්ථාව ලබා දෙන්නෙමි. ඔබ දෙපල එළඹෙන ඕනෑම තීරණයකට මගේද අනුමැතිය හිමිවන බව පමණක් පවසමි. " 

මෙසේ පැවසූ වාසිෂ්ඨයෝ නැඟීසිට ගල්ලෙන මුවදොර අබියස කෙළි දෙලෙන් පසුවෙමින්හුන් කුඩාවුන් දෙදෙනා දෙසට නික්ම ගියෝය. 


වනස්පතිය සෙවණෙහි හිඳගත්වනම විජය බොහෝ වේලා නිසොල්මන්ව සිටියේය. කුවණ්ණා ද තම සිතුවිලි ලොවෙහි තනිව ඔහු අසල හිඳ සිටියාය. අවසන සිතෙහි රැඳි සියලු සෝ දුක් වා තලයට මුදා හරින්නාක් මෙන් දිගු සුසුමක් හෙලූ ඕ ඔහු වෙතට පැමිණ ඔහුගේ උරහිස මතුයෙහි හිස හොවා ගත්තීය. ඇගේ සිරුර වටා තම සුරත යැවූ ඔහු ඇය තරව වැළඳ ගත්තේය.


" කුමරුණි..ඔබ ගන්නා ඕනෑම තීරණයකට මම ද එකහෙලා එකඟවෙමි.  මුත්තණුවන් මේ මොහොතකට පෙර පැවසූ ලෙස ඔබ ගන්නා තීරණය මත මුළු රාජ්‍යයක අනාගතය රැඳී පැවතිය හැක. මගේ හද පුරා පැතිරගිය සෙනෙහස අහිමිවීම කොතරම් මසිත පාරන්නේ වුවද ඒ පරිත්‍යාගය කරනුයේ රාජ්‍යයක අනාගත අභිවෘද්ධිය උදෙසා බැවින් මම බොහෝ අසීරුවෙන් වුව ද සිත සනහා ගන්නට උත්සාහ කරන්නෙමි. " 

දෙනෙත් අග පිරීයන කඳුලු වළකා ගැන්මට කිසිදු උත්සාහයක් නොගත් ඔහු පහත්ව ඇගේ කඳුළු පිරි දෑස් දැඩි සෙනෙහසින් සිප ගත්තේය. 

ඉන් නොබෝ දිනකට පසු ඒ දිනය උදාවිය. සුපුරුදු ලෙස වනස්පතිය සෙවණෙහි හිඳ හුන් විජය ඈත වන පෙත අතරින් ඉද්ද ගැසුවාක් මෙන් දිවෙන ලංකාපුරය දක්වාවූ මාර්ගයෙහි ඉමෙහි මතුවූ දූලි වලාවන් දුටුවේ, ඒ දෙසම නිසලව බලා සිටියේය.හෝරාවකට පමණ පසු වේගයෙන් පැමිණි අසරුවෝ මහා නදිය වෙතට ලඟා වූවෝය. අංගාරක්ෂක පිරිවර භට පිරිස මහා නදිය මෙගොඩ තොටුපොළෙහි නතරකොට උපතිස්ස හුදකලාව කඳු ගැටය නැඟ ගල්ලෙන අබියස සමබිමට පිවිසියේය. 

" උපතිස්ස …" විජය පෙර ගමන් කොට තම අතිජාත මිතුරා වැළඳ ගත්තේය. 

" කුමරුණි….." උපතිස්ස පැවසූයේ බිඳුනු හඬිනි. 

" උපතිස්ස, එන්න මේ තුරු සෙවණට…" විජය පැවසූයේ උපතිස්සගේ සුරත රැගත්වනම වනස්පතිය සෙවණට පා නඟමිනි. 

" කුමරියණි…. මට සමා වුව මැන.." උපතිස්ස හිස නවමින් පැවසූයේ ගල්ලෙන ද්වාරයෙන් නික්ම ඔවුන් දෙසට පා නඟන්නට වූ කුවණ්ණා දෙසට හැරෙමිනි. 

" ඔබට සමාව අයැදීමට කිසිදු කරුණක් නැති හිතවත් ඇමතිතුමනි, මේ කිසිවකට ඔබ වගකිවයුතු හෝ මේ කිසිවක් ඔබ විසින් කළ දේ නොවන බව මම හොඳින්ම දනිමි. ඒ වනාහී දෛවය විසින් නියම කල අයුරුයි. ඒ එසේම ඉටු විය යුතු බව ද මම දනිමි. " කුවණ්ණා පැවසූයේ මඳ සිනහවක් නඟමිනි. 

මලහිරු අවර අහස රත්පැහැයෙන් සරසමින් බැස යන්නට සැරසෙමින් සිටියේය. ඉහල අහසේ හී මූණතක හැඩගත් සේ කාණ්ඩ ගැසී නැගෙනහිර දෙසට පියෑඹූ මුහුදු ලිහිණින් ගේ තියුණු සවන් විනිවිද යන නාදය කඳුගැටය මස්තකයෙහි හැපී නින්නාදව පහත වන ගහනයෙහි තුනීව මැකී ගියේය. 

විජය තම දරුදෙදෙනා වැලඳ කඳුළු පිරි දෙනෙතින් යුතුව ඔවුන් ගේ වත සිප නැඟී සිටියේය. කුවණ්ණා වෙලෙවි ගමනින් ඔහු වෙත පැමිණ ඔහුට තුරුළු වූවාය.කිසිවක් පැවසීමට අවශ්‍ය වූයේ නොවේ. එකිනෙකා වෙත කිවයුතු සියල්ල ඔවුහු ඊට පෙර පවසා අවසාන කොට තිබූ හෙයින් ශේෂව තිබුණේ සමුගැනීම පමණකි. එසේය, එදා වසර දෙදහස් පන්සියයකට පෙර මහානදී තෙර අසබඩ දුම්රක්ගල නෙත ගැටෙන මානයේ පිහිටි කුඩා කඳු ගැටයක් මතදී ඔවුහු සමුගත්තෝය.දේශයක අනාගතය උදෙසා තම සෙනෙහස කැපකොට ඔවුහු සමුගත්තෝය. 

********************************************** 

කොටස් තුදුසකින් යුතු විජය කුවණ්ණා සෙනෙහසේ අන්දරය මෙතෙක් බොහෝ ඉවසිල්ලෙන් කියවූ මගේ දයාබර සහෘද/සහෘදිනියන් වූ ඔබ සැමට මසිත නැඟෙනා අවංක ස්තූතිය පුදකිරීමට මේ අවස්ථාව කර ගනිමි.

සරළ ලිහිල් බස් වහරින් ලියවුනු සටහන් කෙරෙහි බහුතරයකගේ රුචිකත්වය හිමිවන අතර යම් තරමකට හෝ ලිඛිත බස මුල් කොටගනිමින් ලියැවුණු මේ සටහන් පෙළ නොකඩවා කියවූ ඔබට ඒ සමඟම මාගේ ගෞරවාදරයද නිතැනින්ම හිමිවන බවද අවසාන වශයෙන් සටහන් කරමි. 

21 comments:

  1. අපි දන්නා ඉතිහාසයෙහි ප්‍රධාන සිදුවීම් ඒ ආකාරයෙන්ම තබා ගනිමින්, ඓතිහාසික වශයෙන් වැදගත් කමක් නොලැබෙන කුඩා සිද්ධීන් තම පරිකල්පනයෙන් නිර්මාණය කරමින්, අයියා ගෙනා ආ මේ කතාවට මුලින්ම මගේ ස්තූතිය.

    භාෂාව සහ ඉතිහාසය යන විෂයන් සම්බන්ධයෙන් බොහෝ දේ ඉගෙනගත්තා මේ කතාවෙන්. කතාවේ රස නොනසා පවත්වාගෙන යාමත්, සිද්ධි ගැලපීම, සහ බස් වහර ඉතාම උසස්.

    නිර්මාණාත්මක පැත්තෙන් ගත්තම, මේ කතාවේ අවසානය පොඩි ඇන්ටි-ක්ලයිමැක්ස් ගතියක් දැනෙනවා. විජය තම තීරණ වෙනස් කරන සිද්ධිය මොන වගේ දෙයක්ද කියලා බලන්න මම බලාගෙන හිටියා. මේ අවසානයේ කිසිම තාර්කික ගැටළුවක් නැතත්, ආපසු යාමට තීරණය කිරීම පිටුපස මොකක් හරි නාටකීය ගතිය වැඩි සිදුවීමක් තිබ්බා නම් මම කැමතියි.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි තිසර,

      ඔබ කියපු කතාව ඇත්ත, විජය එකහෙලාම කිසිම පැකිළීමකින් තොරව තම බිරිඳ සහ දරුවන් සමඟ කිරුළ අත්හැර වනයට යෑමට එකඟ වුවත් නැවත ඒ තීරණය වෙනස් කිරීමට හේතුවූ කරුණු පිළිබඳව ප්‍රමාණවත්ව හැඟීම්බරව සහ විශ්වාසනීය ලෙස විස්තර නොවූවායන්න සාධාරණ විවේචනයක් කියල මමත් පිළිගන්නවා.

      ඒකට හේතුව මම හිතෙන්නෙ අන්තිමට මට මේ කතාව ඉවරයක් කරන්න හදිස්සි උන එක වෙන්න ඕන....

      හැමදාම වගෙ ඔබෙ අවංක විවේචනයට ස්තූතියි මලේ.......:)

      Delete
  2. ඉතිහාස කතාව ඇත්තටම මෙහෙමම උනා කියල තිබුනනම් විජය කුවේණි දෙන්නට ලංකාව ඇතුලෙ මාර තැනක් හිමි වෙන්න තිබුන. ඒ වගේම එයාලගෙ දරුවන්ගෙන් වැද්දන් ඇතිඋනා කියන එකත් වෙනස් වෙන්න තිබුන. මොකද මොන දේ උනත් විජය රහසින් හරි කුවණ්නට උදව් කරන්නම ඇති.

    හැගීම් බර අවසානයක්.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි මල්ලි...මම කලිනුත් කිව්ව වගේ පිළිගත් පුරාවිද්‍යාත්මක සාක්ෂි නැතිඋනහම ඉතිහාසය කියන එක ලියවෙන්නෙ ලියන මනුස්සයට ඕන විදිහට, ඒ මනුස්සයට හිතෙන විදිහට. මේ මට හිතුන විදිහ....වෙන්නත් පුලුවන්..නොවෙන්නත් පුළුවන්...:)

      Delete
  3. කියන්ට තියෙන දේ කියාන්ටම එපායැ.. මට නං රවියො මේක එච්චර අල්ලලා ගියේ නෑ බං.. මං ඒ හන්දමයි ‍මේක එච්චර උනන්දුවකින් කියෙවුවෙ නැත්තෙත්.. මට මීට වඩා රහයි උඹ අර වලවුවේ කමෙන්ට්ස් 2-3කින් ලියලා දාපු මේ කතාවෙ සංක්ෂිප්ත වර්ෂන් එක.. ඒක මීට වඩා පට්ට emotional.. :)

    ReplyDelete
    Replies
    1. මෙච්චර මහන්සි වෙලා ලියලත් ආයේ හිත රිද්දනේ මොකටදකියල නොකියා හිටියට මන් නම් කියෙව්වෙම නැති ගානයි.

      ඒ වුනාට වියත් සිංහලය අපට අමතක වන කාලයක රවී මෙවන් බසක් හසුරවන හැටි ගැන නම් ආඩම්බරයි

      Delete
    2. මම මේ රචනා ශෛලියට කැමති යි. තේමාවට ගැළපෙන්නේ මේ ශෛලිය තමයි.

      Delete
    3. @ බුරතීනෝ,

      එක කොටසක එහෙම නැත්තං දෙහෙක පොඩි කතාවක් වගෙ නෙවෙයි බං ඒකම දිගට ලියනකොට උඹ ඔය කියන භාවාතිශය ගතියෙ අඩුවක් එනව තමයි. ඒක ස්වාභාවිකයි.

      කොන්දේසි විරහිතව ඔබේ විවේචනය පිළිගනිමි....ස්තූතියි බොහෝසේ....:)

      Delete
    4. @ බින්දි,

      ඔබේ අබංක* අදහස් ප්‍රකාශකිරීමට සහ ප්‍රශංසාවට දෙකටම ස්තූතියි මැඩම්.....:)

      * අබංක කුසුමගෙ කතාව දන්නවනෙ නේද?...අර පුංචි හාමු මහත්තයට ලියුමක් ලිව්වෙ....මීට හාමු මහත්තෙයගෙම අබංක කුසුමා කියල ...:)

      Delete
    5. @ දිලිනි,

      බොහොම ස්තූතියි දිලිනි...මේ කතාව මුල ඉඳලම කියෙව්වට සහ හැමදාම අදහස් ප්‍රකාශ කලාට මගේ සදාදරණීය ස්තූතිය.....:)

      Delete
    6. අර අබංක කුසුමගේ කතාවත් ලියනවද රවී,මම ඒ කතාව අහල නෑ

      Delete
    7. මේකයි රවියො, උඹ දිගින් දිගට කතාව ලියාගෙන යද්දී උඹට මොකෙද්දෝ මන්දා වැහෙනවා.. ඊට පස්සෙ උඹ දිගට අදින්ට ඕන් නැති තැනුත් ඇදගෙන යනවා කොටස් 2-3ක්, ඊට පස්සෙ අර පස්සා පැත්තට මොනවදෝ ගහපු ගොනා වගේ දුවගෙන යනවා අර ලස්සනට විස්තර කොරන්ට ඕන තැනුත් අතෑරලා දාලා.. ඉතින් ඔක්කෝම අච්චාරුවක් වෙනවා.. උඹ ඔය වැඩේ කලා දඩයක්කාරයටත්..

      හැබැයි ඒ එක්කම කියන්ට ඕන උඹ දිගට ඇදන් ගිය 'ආදර නිල් දෑසේ', 'සිව්සියවසක පෙම්කතාවක්' වගේ ඒවගෙ මේ දුර්වලකම තිබ්බෙ නෑ.. මං හිතන්නෙ ඒවා ලියද්දී උඹට කතාව පටන් ගනිද්දිම තිබුනා අවසානය ගැන හැඟීමක් මේක මෙහෙම වෙන්ටෝන කියලා.. ඒ නිසා හරියට ඇදගෙන යන්ට පුළුවන් වුනා..


      @ අනිත් හැමෝටම

      බාසාව ගැන නෙවෙයි මං කිවුවෙ.. :)

      Delete
  4. "විජය පොරොන්දු උණේ අග බිසෝ තනතුර. එහෙත් ඔහු එය කඩ කලා. මධුරා පුරයෙන් අග බිසෝ සමහ තව හත්සියයක් කුමාරිකාවන් සැපත් උණා. මධුරා පුරයෙන් පැමිණෙන කුමාරිකාව යක්ෂ ගෝත්රයේ ගැහැනියක් දුටුවොත් බයවේවි කියලයි විජය කීව්වෙ.

    විජයට රජකම උදුරා දෙන්නට නෑසියන් අහිමි කරගත් කුවේණිය මම වීමි. නෑසියන් මරාදමන්නට විජයට සවිය දුන් කුවේණිය මම වීමි. මම විජයගේ පළමු බිරිඳ වීමි. දැන් මා දැකීමෙන් කුමරිය බියවේවි.

    මව එනතුරු බලාසිට, හැඬු කඳුලෙන් සිරිපාදයට පැනගොස් නව පරම්පරාවක් බිහිකළ ජීවහත්ථ, දිසාලා මගේ දරුවෝ වෙති. විජයගේ ඒ දරු දෙදෙනාගෙන් පැවත එන්නෝ වැද්දන්ය. වැද්දියන්ය. අනෙකුන් කුමාරවරු වෙති. කුමාරියෝ වෙති. විජයට වැද්දෝද, කුමර, කුමරියෝද දරු වූහ." (අත අත නෑර)

    සුමිත්රා රාහුබද්ධගේ මේ කතාවට මම වැඩියෙන් කැමති. මේක තමා ඇත්ත.:)

    ReplyDelete
    Replies
    1. / සුමිත්රා රාහුබද්ධගේ මේ කතාවට මම වැඩියෙන් කැමති. මේක තමා ඇත්ත.:) /

      අම්මප? ඒක තමයි ඇත්ත නේද?...කොහොමද ඔය නෝන මහත්තය ඒක දන්නෙ?...හිටියයි ඒ කාලෙ ඔහේ එහෙ?

      සුමිත්‍රා නෝන මේ කියල තියෙන්නෙ මහාවංසෙ තියන එකමනෙ.මම ලිව්වෙ විකල්ප ඉතිහාසයක්. එසේ වියහැකිනම් එසේ නොව මෙසේද විය නොහැක්කේ මන්ද?..ආන්න එහෙමයි..තේරුණය?

      සුමිත්‍රා නෝනගෙ පොත් වලට මම බොහොම කැමතියි. දළ රළ පෙළ, කෙළි මඬළ , ඉටි පහන් ඒ දවස්වල මම බොහොම ආසාවෙන් කියෙව්ව. එතුමී ඇවිල්ල ස්ත්‍රීවාදිනියක් කියලනෙ කියන්නෙ. ( Feminist ) ඔය ස්ත්‍රීවාදිනියන්ගෙ මූලික සිද්ධාන්තය තමයි මේ ලෝකෙ ඉන්න පිරිමි ඔක්කොම ඉන්නෙ ගෑණුංව ලිංගිකව සූරා කන්ටය ස්ත්‍රිය වනාහී එදා ඉඳලම බලවත් පිරිමියගෙ යටතෙ බොහොම දුක්ඛිතව ඉන්න බොහොම අසරණ සත්ව කොට්ඨාශයක්ය ඒ නිසා ඒ පිළිබඳව ලියල ලෝකෙ හැමෝටම මේ අසාධාරණය දැනුම් දෙන එක ස්ත්‍රී වාදිනියන්ගෙ යුතුකමය කියලනෙ.

      හරි ඒකෙ අවුලක් නෑ..එහෙම හිතෙනවනම් එහෙම අදහස් ප්‍රකාශ කරන්ට කිසිම තහනමක් නෑ..ඒත් මට හිතෙන්නෙ ඔය පිරිමි ආධිපත්‍යය කියන එක බොහෝවිට ස්ත්‍රීන් පාවිච්චි කරන්නෙ තමන්ගෙ නොහැකියාව වහගන්ට කඩතුරාවක් හැටියට කියලයි.

      අපි විභාගයක් පේල් උනාම අපි කැමතියි කියන්ට එහෙම උනේ අපිට මොලේ නැති නිසා නෙවෙයි නරක ග්‍රහ බලපෑමක් නිසාය කියල. ඒ වගේමයි බිස්නස් එක පාඩුවෙන්නෙ අපේ නොදන්නාකම නිසා නෙවෙයි අල්ලපු ගෙදර මනුස්සය හූනියමක් කල නිසාය කියල කියන එකත්. ඔය පුරුෂාධිපත්‍යය කියන එකත් අන්න ඒ වගේ එකක් කියලයි මට හිතෙන්නෙ.එහෙම එකක් නැහැ කියල මම එක පාරටම කියන්න ඉක්මන් වෙන්නෙ නෑ. ඒත් හැම එකටම ගමරාලගෙ වංගෙඩිය වගෙ ඒක යොදාගන්නව කියලයි මම මේ කියන්නෙ.

      / විජයට රජකම උදුරා දෙන්නට නෑසියන් අහිමි කරගත් කුවේණිය මම වීමි. නෑසියන් මරාදමන්නට විජයට සවිය දුන් කුවේණිය මම වීමි /

      කුවේණිය ඇත්තටම මෙහෙම කලානම් ඒ අම්මණ්ඩිට උනේ කලකම් පල දීමක්. වෙන මොකවත් නෙවෙයි. තමන්ගෙ ආදරවන්තයා වෙනුවෙන් නෑ සියන් අතාරින එක ස්වාභාවිකයි. ඒ වෙනුවෙන් නෑ සියන් මරාදමන්නට සහය වීම නම් භයානක අපරාධයක්. දඬුවම් ලැබිය යුතු වරදක්.

      " තී, පසුකලෙක සෙනෙහෙන් බැඳුනු මා නිසා තී උපන්දාසිට දන්නා හඳුනන ලේ ඥාතීන් පවා මරණයට කැප කළෙහිය. මතු දිනෙක මා ද එසේ පාවා දීම තිට කිසිදු අයුරකින් අපහසුවක් නොවන බැව් මට සිතේ. "

      විජය මෙහෙම කිව්වොත් ඒ කතාව වැරදිද? ආදරය වෙනුවෙන් සෙනෙහස වෙනුවෙන් කරන දේවල් වල සීමාවක් තියෙනව. ඒ සීමාව හරිහැටි අඳුන නොගත්ත පිරිමි ගැහැණු කාට උනත් කුවේණිට අත් උනායයි මහානාම හාමුදුරුවො කියන ඉරණම අයිතිවෙන එක ඒ හැටි පුදුම වෙන්ට දෙයක් එහෙම නෙවෙයි. එහෙම නොවුනොත් තමයි මම නම් පුදුම වෙන්නෙ....

      Delete
    2. හී හී රවියෝ මගේ කමෙන්ට් එකේ අන්තිම පේලිය ඇර ඉතුරු ටික ඔක්කොම සුමිත්රා රාහුබද්ධගේ පොතෙන් අරගත්තේ. මම ඔය කිසි දෙයක් කීවේ නෑ. වෙලාවට මම මේ දවස්වල ඔය පොත කියවමින් ඉන්නේ. ඒ එක්කම රවිගේ පෝස්ට් එක දැක්කාම මට හිතුනේ මහාවංශයේ තිබුණු කතාව උණත්, ඒ කතාවට මගේ වැඩි කැමැත්තක් තිබුණා කියලයි. ඔයා ලීවේ විකල්පයක් බව දැන හිටියා. මොන විදියට ලීවත් අන්තිමට විජය , කුවේණි දාලා ගියානේ.

      //ඒත් මට හිතෙන්නෙ ඔය පිරිමි ආධිපත්යය කියන එක බොහෝවිට ස්ත්රීන් පාවිච්චි කරන්නෙ තමන්ගෙ නොහැකියාව වහගන්ට කඩතුරාවක් හැටියට කියලයි.//

      සම්පූර්ණ ඇත්ත. පිරිමින්ගෙන් ගුටිකන සමහර ගෑනු හිතනවලු එයාලට ගහන එක සාධාරණයි කියලත්.

      //කුවේණිය ඇත්තටම මෙහෙම කලානම් ඒ අම්මණ්ඩිට උනේ කලකම් පල දීමක්. වෙන මොකවත් නෙවෙයි. තමන්ගෙ ආදරවන්තයා වෙනුවෙන් නෑ සියන් අතාරින එක ස්වාභාවිකයි. ඒ වෙනුවෙන් නෑ සියන් මරාදමන්නට සහය වීම නම් භයානක අපරාධයක්. දඬුවම් ලැබිය යුතු වරදක්.//

      අනේ ඔයාගේ කටේ ටොෆියක් ඔබන්ට හිතෙනවා. ගෑනු ආදරේ කරන්ට ගියාම එයාලට මේ ලෝකේ සිහියක් නෑනේ. විජයට නම් මොලේතිබුණා රජකම ගන්නකල් සද්ද නැතුව ඉඳලා පස්සේ කුවේණි එලවලා දාන්ට. ඔයා ඔය කියලා තියෙන ‘ප්රකාශය ‘ විජය සමහරවිට කරන්ටමත් ඇති. අනෙක ඉතින් තමන්ට දරුවන් නැත්නම් හිටපු දරුවට රජකම නුදුන්න පියෙක්නේ එයා.

      //ආදරය වෙනුවෙන් සෙනෙහස වෙනුවෙන් කරන දේවල් වල සීමාවක් තියෙනව.//

      ගෑනු උදවිය නම් ඉතින් හැමදාම කැමති අසීමිත ආදරේකට. පිරිමි නම් ඉතින් ආදරේ කරනකොට එහෙම නෑලු කියලා මාත් අහලා තියෙනවා.

      මේ කතාව සම්පූර්ණයෙන්ම කියෙව්වේ නැති උණත් ඉතින් මේ වගේ ලිවිල්ලක් කරන්ට පුලුවන් රවිට විතරක් බව නම් සහතිකෙන්ම කියන්ට පුලුවන්.:)

      Delete
  5. එතකොට එහෙමයි වෙලා තියෙන්නෙ ඈ.. ඊට පස්සෙ කුවණ්නා දරු දෙන්නත් එක්ක ගිහින් ගලකින් පල්ලෙහාට පැන්නා කියලයි කුහුඹු පැණියා කිව්වෙ.

    බලපුවම අන්තිමට විජයට සුදු හුණුගාපු එක විතරයිද මංදා වෙලා තියෙන්නෙ.. දන්න කතාව දිහා වෙන මානයක් ඔස්සේ බලන්න පාර කිව්වට ස්තූතියි. මමනම් මේ කතාවට කැමතියි.. භෂාව තමා පොඩි පරහකට හිටියෙ..

    ReplyDelete
    Replies
    1. / ඊට පස්සෙ කුවණ්නා දරු දෙන්නත් එක්ක ගිහින් ගලකින් පල්ලෙහාට පැන්නා කියලයි කුහුඹු පැණියා කිව්වෙ. /

      මේ... මතක් කරන්ට එපා ඔය යකා...අම්මප මගෙ මාළු නටන ඕකගෙ මූණ පේනකොටත්,වෙන මොකවත් නෙවෙයි බං කාලයක් අපි අදහාගෙන උන්නු කලාකාරයො මෙහෙම ලැජ්ජාව කියන වචනෙ තේරුම වත් දන්නෙ නැති සට්ටඹියො වෙලා ඉන්නව දකිනකොට මල්ලි පශ්චාත් භාගය විකාගෙන මැරෙන්නයි හිතෙන්නෙ. Thank god.... I am not a contortionist..Otherwise I would have killed myself just like that. :)

      අසූව දශකයෙ මැද භාගයෙ වගෙ මට මතක...කටුගස්තොට ශාන්ත අන්තෝනි රඟහලේ සුගතපාල ද සිල්වා මහත්මයගෙ ( මහත්මයයි කියල නමත් එක්ක මට ඉබේටම ටයිප් වෙන අතලොස්සකගෙන් එක්කෙනෙක් එතුමා ) මරා-සාද් නාට්‍යය බලන්ට මම නිවාඩු ගත්තෙ අප්පච්චිට සනීප නෑ කියල බොසාට බොරුවක් කියල.

      ඒ නාට්‍යයෙ ප්‍රධාන චරිතය... මරා ලෙස රඟපෑවෙ ඔය කුහුඹුපැණියා.ඒ රඟපෑම නම් අති විශිෂ්ඨයි ඇත්තටම.පසු කාලීනම ඒ මරා මේ මරාගෙ පක්කලියෙක් වීම වෙනම කතාවක්...අපේම අවාසනාව තමයි වෙන අහවල් එකක්ද නැතුව ආයෙ?

      / බලපුවම අන්තිමට විජයට සුදු හුණුගාපු එක විතරයිද මංදා වෙලා තියෙන්නෙ.. /

      සුදු හුණු ගෑමක්ද නම් මන්දා බොල මම කිව්වෙ මට හිතෙන විදිහට කතාව වෙච්ච විදිහ..එච්චරයි.....Nothing more…nothing less..:)

      / භෂාව තමා පොඩි පරහකට හිටියෙ.. /

      අඩේ සෙන්නො..එච්චරම අවුලක් උනාද භාෂාව තේරුම් ගන්න? මම බොහොම ලිහිල් භාෂාවක් නෙව පාවිච්චි කලේ. අර දිලිනි කිවා වගෙ බාං මීටත් වැඩිය ලිහිල් භාෂාවක් පාවිච්චි කලානම් ඒක හරියන්නෙ නෑ කියල මට හිතුන මේ වගෙ කතාවකට.ඒ ඒ බනිස් වලට ඒ ඒ කෙහෙල්ගෙඩි නැද්ද හොඳයි?...හෙහ්, හෙහ්

      Delete
    2. නැතුව නැතුව මේක සාමාන්‍යය භාෂාවෙන් ලියුවනම් කේකුයි, කරවලයි වෙනවා.. මට අමාරු වුනාට මෙහෙම හොඳා..

      Delete
  6. ලස්සන කතාවක් තිළිණකලාට ගොඩක් ස්තුතියි..බ්ලොග් ලියන එක කොච්චර වටිනවද කියලා හිතෙන්නේ මේ වගේ කතාවක් කියවලා ඒක ලියපු කතුතුමාට කෙලිම්ම කියන්ට තියන දේ කියන්න පුළුවන් වෙන මේ වගේ වෙලාවක..

    මුල ඉඳන් ලස්සනට ගලා යන කතාවක් නිසා ආසාවෙන් කියෙව්වා..අර කලින් දඩ්ගෙ කතාව වගේ කියවාගන්න අමාරු වැල්වටාරම් අඩු නිසා තවත් නැගලා ගියා ඔන්න..රවීගේ භාෂා හැකියාවයි හැසිරවීමේ ශෛලියයි ප්‍රශංසනීයයි..(නොදන්න වචනත් ඉගෙන ගත්තා ඔන්න)

    ඊළඟ කතාවට උදව් කරගන්න පොඩි අදහස් ටිකකුත් ලියලා යන්න හිතුවා..
    1. කතාව ගලා යෑමේ පොඩි පොඩි හැප්පිලි තියනවා කියලා දැනුනා (ඒත් හැප්පි හැප්පි ගලන කොටයි ගඟක් ලස්සන කියලා කියනවනේ!!
    2. අතරින් පතර හැඟීම් විස්තර කලා තියන තැන් තව ටිකක් ලස්සන වුනා නම් හොඳයි කියලා හිතුනා. විජය කුවන්නා ඇරුනාම අනිත් චරිත විකාශනය කරලා තියනවා මදි කියලත් හිතුනා..
    (එහෙම වුනාම ප්‍රධාන චරිත හුදකලා වෙනවා) ජීවහත්ත දිසාලා ගැන තවත් ලිව්වා නම් රසවත් වේවි..
    3. කතාව පටන් ගත්ත විදිහ නම් ලස්සනයි. විජය කුවේණි ප්‍රේම කතාව පටන් ගෙන ගලාගෙන ගියපු විදිහ ලස්සනට සැලසුම් කලත් ඒක වචන වලට හැරවුනාද කියලා සැකයි. විෂේශයෙන් අන්තිම කාලේ එයාලගේ ආදරය ඉස්මතු වුනා අඩුද කියලත් හිතුනා.
    4. කතාවට නැගලා යන ලස්සන නමක් දාන්නකෝ..(නිකම් බයිසිකලේ නැත්තං අහස්යාත්‍රාව වගේ!!) නමක් හොයාගන්න බැරිනම් පොඩ්ඩිට බින්දිට කීවොත් උදව් කරාවි..

    ඔන්න ඔහේ රට්ටුන්ගෙන් කතා අහන්නැතිව ඊළඟට අර බාගෙට ලියලා තියන කතා සෙට් එකෙන් එකක් ඉවර කරලා දාන්න රවී..;)

    ReplyDelete
    Replies
    1. ඔබගේ ප්‍රතිපෝෂණයට මාගේ නොවක් තුති පිළිගත මැන. ඔබ ඉදිරිපත් කල අගනා අදහස් මින් මතු ලිවීමෙහිදී අනුගමනය කිරීමට තරයේ ඉටා ගතිමි.

      එළෙසම නොකඩවා මා ලියූ අන්දරය කියවීම් මතු නොව ඒ පිළිබඳව දීර්ඝ විචාරයක් ලිවීමට වෙහෙසවීව් වස් ඔබගේ කරුණාගුණය වෙසෙසින්ම අගයන්නෙමි.

      නැවතද ඔබට බොහෝ තුති, රූ මැතිණියනි!!!

      Delete
  7. Machan mama nam kamathi ara paduru thalillata mekata wediya...Wimalege wan pathul kathawa iwarei...

    ReplyDelete

මගේ සිතුවිලි ගැන ඔබේ සිතුවිලි

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...