Tuesday, February 18, 2014

244. ගුරුවරියක සමඟ මගේ ජීවිතය - 12 -දෙයියෝ සාක්කි, බතුත් කනවද?....බකමූණ අමතන්න..බකමූණ අමතන්න සහ ඩෝසරය එවීමට නොහැකිවීම පිළිබඳව කණගාටුවෙමි






විජේතුංගය කට පුරවං හිටපු බුලත් කෙල පාර ගැහුව එතනම තිබ්බ වැලි ගොඩකට.. 

" හරි මහත්තය මම දෙන්නං වැඩේ තෙල් ටිකට…"

" යකෝ වැඩේ කරන්ටත් ඉස්සර තෙල් ටිකට කෙලින්ට එපා බං ..උඹලත් මාර බඩුනෙ…දෙකයි පණහක් හොයාගන්න මයෙ මේ රස්සාවටටත් කෙලින්ට තමයි උඹ ඒ පාර හදන්නෙ මට පේන්නෙ "

මම කිව්වෙ බොහොම බැරෑරුම් විදිහට..

" හෙහ්, හෙහ්, හෙහ්, මහත්තයත් කියන කතා.." විජේතුංගය බඩ හොල්ල හොල්ල හිනා උනා.

" හරි හරි මම වැඩේ කරන්නං මහත්තය බය නැතුව ඉන්ටකො.."

ඒ එක්කම උගෙ හාමිනේ තේ එකක් ගෙනාව..

" තේ එකක්වත් බොන්ට එහෙනං මහත්තය. "

" අඩේ තේත් හැදුවද? බොහොම ස්තූතියි. " මම හිනාවෙලා තේ එක ගත්ත.

හෙහ්, හෙහ්, අඩේ තේත් හැදුවද කිව්වම ඔන්න ආතල් කතාවක් මතක් උනා..දෙයියෝ සාක්කි බතුත් කනවද?...
සමරසේන එහෙම කියල ඔලුවෙ අත ගහ ගත්ත.

වැඩේ දැන් මේ අතුරු කතා කියන්ට ගිහාම වෙන්නෙ ගුරුවරී එක්ක සීන් එක මඟ ඇරෙනව. ඒත් ඔබ තමුන්නාන්සෙල පුල පුලා බලා ඉන්නවත් එක්කනෙව " දෙයියෝ සාක්කි බතුත් කනවද? " කතාව අහන්ට. ඒ නිසා ඒක කියල ඉන්නං..ඔතන හැබැයි සීන් එක මේකයි. බත් කතාව කියන්ට ගිහිල්ල තව මොන මොන කතන්දර ඇදිල එයිද කියල උඩ ඉන්න දෙයියො තමයි දන්නෙ. හරි බලමුකො මොකද වෙන්නෙ කියල. ඔහෙ වෙන දෙයක් වෙන්නෙ නැතැයි නැද්ද?

මේ කතාව නම් මේ බොහොම මෑත යුගයෙ එකක්. ඔය විමලෙ අයියල, සුමනෙල එතනින් ගිහාම විජේතුංගල එක්ක කාලයක් ඉඳල මම එහෙං අස් උනානෙ. ඊට පස්සෙං පහු ඔය මහාමාර්ග, වාරිමාර්ග ජලවිදුලි බලාගාර මෙකී නොකී තැන් කීපයක වැඩ කරල අන්තිමට ආව ඔය කොළඹ කිට්ටුව කොම්පැණියක වැඩට. ඔය රන්දිල් මහගෙ එහෙම මුණගැහුනෙ එතනදි තමයි...හෙහ්,හෙහ්,...ඒ කාලෙ කොළඹට පුවක් ගෙනාවය කියන්නෙ පාරුවල පටවල...පාරුවේ පුවක් කියල තමයි එහෙම පුවක් ගේන එකට කිව්වය කියන්නෙ..

ඔය මම කිව්ව සමාගමේ වැඩකරපු කාලය මගෙ ජීවිතේ හොඳම කාලය කියන්න පුළුවන්. අපි ඔක්කොමල සහෝදරයො වගෙ තමයි හිටියෙ. සහෝදරයො වගෙ කිව්වට ඔය පොඩ්ඩ බැරිවෙනකොට එකා එකා මරාගන්න සහෝදරයොත් ඉන්නවනෙව. එහෙම එවුං නෙවෙයි බොහොම සුහදව, එක්කුසේ උපං බාප්පගෙ පුතාල වගෙ.

මම අර කලින් දවසක කිව්වෙ රණේ කියල. ඔන්න ඔය රණේ තමයි මේ කතාව කිව්වෙ.ඔය රණේ කියාපු කතා තව මහ ගොඩක් තියනව. හෙමිහිට කියමු. නැද්ද?

දවල් කෑම වෙලාවෙ ඉතිං ආය නෑ කතා සාගරයක්.කට්ටියම එකතුවෙලා ගෙනාපු මොන මොනව හරි බෙදාගෙන කාල දුම්වැටියකුත් පත්තු කරගෙන තව පැය බාගයක් විතර ඔය මොනව හරි කියව කියව ඉඳල තමයි කෑම මේසෙං නැඟිටින්නෙ.බොහෝ වෙලාවට අපෙ බොස්ලා හිටියොත් එයාලත් එකතුවෙනව ඔතනට. හැමදාම වගෙ රෑ හත හතාමාර වෙනකල් අපි වැඩ කරන නිසා කාලවේලාව ගැන ප්‍රශ්නයක් නෑ.හතාමාර අට වගෙ වෙනකොට දවසෙ වැඩ ඉවර කරල බොස් එක්කම අපි විත්ඩ්‍රෝ වෙනව ඒ කිට්ටුවම තිබ්බ රෙස්ටෝරන්ට් එහෙකට.ඊට පස්සෙ ආයම ඉතිං රෑ දහයට එකොලහට තමයි චමරියට යන්නෙ බුදිය ගන්ට බලාගෙන.එවන් යුගයක්ද ගෙවූයෙමි කියල හිතෙනකොටත් හිතට මහ දුකක් වගෙ හැඟීමක් ඇතිවෙනව. හරි ඒ පසුබිම් වර්ණනය දැනට ඔය ඇති හොඳටම.

හරි දැන් කතාවට ආවොත් මෙහෙමයි. ආ..ඊට කලින් ඉන්ටලාකො තව ඔය රණේගෙම අතුරු කතාවක් කියල ඉන්ට. දවසක් හවසක ඔන්න හයට වගෙ මගෙ ටෙලිෆෝන් එක වැදුන.

" රවී..වඩේ ගෙනල්ල තියෙන්නෙ...එනවද පහළට…"

" හරි බොස්….."


ඒ අපේ ලොක්ක...පල්ලෙහාට එන්ට කිව්වෙ කෑම කාමරේට...මම හද හද හිටපු ක්ලේම් එක සේව් කරල පුටුවෙන් නැඟිට්ට. පහළට යනකොට කට්ටියම වට වෙල ඉන්නව..වඩේ පිඟානක් මේසෙ උඩ. මාත් වඩයක් අරගෙනම ඉඳගත්ත පුටුවකුත් ඇදගෙනම ඇවිල්ල..අපෙ ලොක්කගෙ මුණත් එක්ක රතුවෙලා ජම්බෙ වගෙ..

" මොකෝ බොස් තදටම හෙම්බිරිස්සාව වගෙ? " ...මම ඇහුව..

" ඒකනෙ රවී බලන්නකො මාර අමාරුයි. ඔලුවත් එක්ක ඇතුලෙ හිරවෙලා වගෙ…"

" බොස් ඕකට නියම බෙහෙත මම කියන්නං...ඕල්ඩ් කාලක් ගසල අරින්ට නීට්...අද්දුටුවයි සත්තයි ප්‍රත්‍යාක්ෂයි.." ඒ මගේ විශේෂඥ උපදෙස්…

" පිස්සුද බං..උඹ ලෑස්ති බොස්ගෙ අමාරුව තව වැඩි කරන්ට..ඕල්ඩ් වලට සෙම..ඕකට බොස් හොඳම ගල්...නීට් ගහන්ට බැරිම නං සෝඩ ටිකක් දාගන්ට, හැබැයි කූල් නැතුව .." එහෙම කිව්වෙ මිගාර..පිපි මල් මතින් පියමං කලේ... ඒ මිගාර තමයි...

" නෑ බං ඕක පට ගාල හොඳවෙනව බකාඩි දෙසීයක් දාගත්තනං.." ඒ තව එකෙක්…

රණේ වචනයක්වත් නොකිය අපේ මේ අදහස් හුවමාරුවට ඇහුංකන් දීගෙන හිටිය මාරුවෙන් මාරුවට අපේ මූණු දිහා බල බල.ඒ කරල අන්තිමට කිව්ව..

" යකෝ හෙම්බිරිස්සාව කියන්නෙ අසනීපයක්. ඒකට ඔය ගලුයි, පොලුයි බකාඩියි ගහල හරියන්නෙ නෑ..මේ බොස්.... ඔය පිස්සු යක්කු කියන එව්ව කරන්ට යන්ට එපා...එක්කො අර පරණවිතාන ඩිස්පැන්සරියෙන් බෙහෙත් ටිකක් ගන්ට. නැත්තං පස් පංගුව රත්කරල බීල ඔලුවෙ ඉඳල පෙරවගෙන නිදාගන්ට. ගල් කාලයි, ඕල්ඩ් ෂොට් එකයි, බකාඩි දෙසීයයි..බම්බුව තමයි..."

තව පොඩ්ඩෙං ලොක්කට ඉස්පිරිතාලෙ යන්ට වෙන්නෙ හෙම්බිරිස්සාව වැඩිවෙලා නෙවෙයි පරිප්පු වඩේ බාගයක් උගුරෙ හිරවෙලා....

රයිට් ඒ තමයි රණේ......හරි අපි එමු එහෙනං කියන්ට ආපු කතාවට...මක්කිව්ව?.....මතකත් නෑ කිව්ව මොකක්ද කතාව කියල? අර මම විජේතුංගගෙ හාමිනේ තේක ගෙනාපුවම " හප්පච්චියේ තේත් හැදුවද? " කියල ඇහුවනෙ. මම කිව්වෙ ඒ වෙලාවෙ " හප්පච්චියේ බතුත් කනවද? " කියල කියාපු කතාවක් මට මතක් උනාය කියල. ඒ කතාවනෙ මේ කියන්ට යන්නෙ..කොහෙද ඔහෙල මේක කියන්ට දෙනවය?...මොන කතාවද ඔය කියන්නෙ? කියල එක්කෙනෙක් අහයි.......නැහ්නං ඕක කියන්නෙ නැද්ද අද? කියල තව එක්කෙනෙක් අහයි..ඉතිං කොහොමද එක හිතක් හිතාන කතාවක් උනත් කියන්නෙ. භෞමික අඛණ්ඩතාවය බිඳිල යනව සුටුස් ගාල. ආයම ඒක ඇතිකරගන්ට ලේසි නෑ දන්නවද?.... හරි එහෙනං බාදා කරන්ට ඔට්ටු නෑ ඔන්න හරිද? රයිට් එහෙනං හරි දැං කතාව...

මේ දවල් කෑම කාල ඔය සතුටු සාමීචියෙ යෙදිල ඉන්න වෙලාවක රණේ කිව්ව කතාවක්..රණේගෙ වචන වලින්ම මෙහෙමයි.

" ඒයි මේ ඉඳපල්ලකො උඹලට මරු කතාවක් කියන්ට. මේ අපේ ගෙවල් ගාව පොරක් ගැන. නම සමරසේන..රස්සාවක් නෑ හරියකට. ඔය බ්‍රෝකර් වැඩ තමයි කරන්නෙ. හැබැයි ඔය මොනව හරි කරල හවස් වෙනකොට අතට ගානක් අරගන්නව කොයි මක් කරල හරි. මිනිහගෙ හොඳම යාලුව විල්බට්. ඔන්න දවසක් විල්බට් කොස් ගහකින් වැටිල හොස්පිටල් ඇඩ්මිට් කලාය කියල ආරංචි වෙලා සමරෙ දනිපනි ගාල දිව්වලු මහ ඉස්පිරිතාලෙට. "

ඉස්පිරිතාලෙ මිදුලෙදි ඔන්න සමරෙට මුණ ගැහුන විල්බට්ගෙ වයිෆ්..මනුස්සය අඬනව මීදෙන වාගෙ..

" ඇයි ඇයි නංගි? මොකද විල්බට්ට? හුඟක් අමාරුද?...."

" අනේ ඔව් සමරෙ අයියෙ..ඔලුවට තමයි තුවාල. සිහියත් නැතුව ගෙනාවෙ ඉස්පිරිතාලෙට...ඔපරේසං එකක් කරනව ඇතුලෙ.."

" හරි නංගි ඉන්නකො ඔහොම..මම ගිහිල්ල බලන්නං.."


ඔන්න සමරෙ ඇතුලට ගියා. ඔපරේසන් තියටර් එක ඉස්සරහට වෙලා ඉඳගෙන බලා හිටිය. ඔන්න පැයකට වගෙ පස්සෙ දොර ඇරුන . විල්බට්ව එලියට ගෙනාව ට්‍රොලියක තියල. ඒ එක්කම පස්සෙං ආව දොස්තර මහත්තයත් මූණු වැස්ම ගලවමින්.

ආ..මේ අතුරු කතාව මේ රණේ කියපු එකක් නෙවෙයි. මගෙන් පොඩි ඌණ පූරණයක්..දන්නවද ඔය ඔපරේසං එකක් කරද්දි දොස්තරල මූණු වගගෙන ඉන්නෙ මොකද කියල? වෙන මොකවත් හින්ද නෙවෙයි..හදිස්සියෙංවත් ඔපරේසං එක වරදිල ලෙඩා වලකජ්ජ ගැහැව්වොත් එහෙම ලෙඩාගෙ නෑදෑ හිතවතුංට ඔපරේසං එක කලේ කවුද කියල අඳුන ගන්ට බැරිවෙන්ට

" අපි උපරිම උත්සාහයක් ගත්ත. ඒත් තුවාල බරපතලයි. මම හිතන්නෙ නෑ බේරගන්ට පුලුවන් වෙයි කියල. තමා කවුද ලෙඩාගෙ? " දොස්තර මහත්තය සමරෙගෙං එහෙම ඇහුව.

" කවුරුවත් නෙවෙයි සර්..මම මේ යාලුවෙක්…"

" ආ..එහෙමද? ඔව්ව ඉතිං ඔහොම තමයි...ජීවිතේ හැටි.."


එහෙම කියල දොස්තර මහත්තය යන්ට ගියා. දොස්තර මහත්තය යන දිහාවෙ එතනම ගල් ගැහිල බලා හිටිය සමරෙ හෙමිහිට ඉස්පිරිතාලෙන් එළියට බැස්ස.

" කොහොමද අයියෙ විල්බට්ට?..."

විල්බට්ගෙ හාමිනේ සමරෙ දැකපු ගමන් දුවගෙන ඇවිල්ල ඇහුව.

" තත්වය එච්චරම හොඳ නෑ නංගි…" සමරෙ අහක බලාගෙන කිව්ව.

" මම හිතුව අයියෙ..මොනව කරන්නද? ඒ මනුස්සය ගෙනාපු ආවිස තමයි ඔය..මට නම් තේරෙන්නෙ නෑ මොනව කරන්නද කියල…" විල්බට්ගෙ හාමිනේ එතනම බිම ඉඳගෙන අඬන්න ගත්ත.

" හරි නංගි ඉන්නකො මම අවශ්‍ය දේවල් ඔක්කොම කරන්නම්..බය වෙන්න එපා…"

විල්බට් යාලුව තමයි. ඒත් දැන් දොස්තර මහත්තය කිව්ව විදිහට මනුස්සය ඉන්නෙ මරණාසන්නව.මේ වෙලාවෙ මගෙත් අතේ සතේ නැති වෙලාව. ගෙදර උන්දැගෙ වළල්ලක් බැංකුවට තියල ඒක වෙන්දේසියෙ දානවයි කියල ලියුනුත් එවල. අඩු ගානෙ පොලියවත් ගෙවන්ට එපාය. ඕක බැංකුවට සින්න උනොත් එහෙම ගෙදර ගිහිල්ලත් හමාරයි.

සමරෙ එහෙම හිතල ගියා ඒ ලඟම තියන මිනීපෙට්ටි සාප්පුවට. මිනිහ අඳුනන තැනක් එතන.

" මුදලාලි හෙට වගෙ මම ඕඩර් එකක් අරං දෙන්නං..හරිද?..."

" හරි බං අරං වරෙංකො...මම උඹට දෙන්නං උඹේ ගාස්තුව…..ඉඳහංකො…"
මුදලාලි සමරෙට ඇඩ්වාන්ස් එහෙකුත් දුන්න.

" හරි හෙට මම වැඩේ සෙට් කරන්නං…"

ඇඩ්වාන්ස් එකෙන් ගල් බාගයක් අරගෙන ඉතුරු සල්ලි ඔක්කොම හාමිනේට දුන්න සමරෙ….

" මේ හෙට ගිහිල්ල අර වළල්ලෙ පොලියවත් ගෙවල දානව.හෙට අනිද්දට දෙය්යංගෙ පිහිටෙං බේරගන්ට බලමු. " හාමිනේගෙ මුණෙං එකයි හිනාව.

පහුවෙනිද 
සමරෙ ඇහැරෙනකොට දවල් වෙලා. ලෑස්තිවෙලා කඩිමුඩියෙ ඉස්පිරිතාලෙට දිව්වට දවල් ලෙඩ්ඩු බලන වෙලාව වෙනකල් ඇතුලට යන්ට විදිහක් නෑනෙ. මිනීපෙට්ටි සාප්පුවෙ මුදලාලි සමරෙ දැකල කතා කලා..

" මේ මොකෝ මගෙ වැඩේ? කෝ මනුස්සයො ඕඩර් එක? "

" හරි හරි බය වෙන්ට එපා මුදලාලි. දොස්තර මහත්තය කියාපු විදිහට මේ වෙනකොට වැඩේ වෙලා තියෙන්න ඕන. මම එක්ක එන්නං බය වෙන්ට එපා.."


" බය වෙන්නෙ මොකටද මම? තමුසෙට මම ඇඩ්වාන්ස් එකකුත් දීලයි තියෙන්නෙ. වැඩේ කෙරුනෙ නැත්තං පුතෝ මම නරක මිනිහයි කියන්න එහෙම එපා. "

මුදලාලි හිනාවෙලා එහෙම කිව්වට පොඩි පහේ තර්ජනයකුත් එතනෙ තිබ්බයි කියල සමරෙ දන්නව.

" හරි හරි මම වැඩේ කරන්නං ගානට.." එහෙම කියල ලෙඩ්ඩු බලන්ට යන මිනිස්සු තලේ එක්ක සමරෙත් ගියා වාට්ටුවට.

18 වාට්ටුව නේද? බලමු ගිහිල්ල. දැනටම මනුස්සය වල කජ්ජ ගහලද දන්නෙ නෑ. විල්බට්ගෙ පවුලව කොහොම හරි මුදලාලි ගාවට එක්ක යන්ට ඕන. නැත්තං විසුමක් වෙන්නෙ නෑ…..ඔහොම කල්පනා කරමින් සමරෙ වාට්ටුවට ඇතුල් උනා. මිසී කෙනෙක් ගෙන්වත් අහන්ට වෙයිද?

මිසී කෙනෙක් කොහෙද ඉන්නෙ කියල හොයමින් වාට්ටුව ඇතුලට ඇඳං හත අටක් පහුකරල ගිය 
සමරෙ එක පාරටම එහෙමම ගල් ගැහිල නතර උනා. එතනම වම් පැත්තෙ තිබ්බ ඇඳේ කොට්ට දෙකක් ඇඳ විට්ටමට හේත්තු කරල එව්වට වාරුවෙලා හිටියෙ විල්බට්. විල්බට්ගෙ ඔලුව වටේට සුදු බැන්ඩේජ් වෙලල. වං අත වැලමිටෙං පල්ලෙහා ප්ලාස්ටර් එකක් දාල. විල්බට්ගෙ පවුල එතනම ඉඳගෙන දිග ඇරගත්තු බත් පාර්සලේකිං විල්බට්ට බත් කවනව.

මේක දැක්ක විතරයි සමරෙට උන්හිටිතැන් අමතක උනා. මිනිහ ඔලුවෙ අත ගහ ගත්ත.

" දෙයියෝ සාක්කි, බතුත් කනවද? "

සමරෙ කෑගහපු පාර අහල පහල ලෙඩ්ඩු බලන්ට ඇවිල්ල හිටපු මිනිස්සු ගෑණු හත්තට දෙනෙකුත් හැරිල බැලුව.

විල්බට්ගෙ පවුල බත් එක අතේ තියාගෙනම හැරිල බැලුව.

" ඇයි අයියෙ එහෙම ඇහුවෙ? බතුත් කනවද කියල…" ඇගේ ඇස් දෙකේ තිබ්බෙ ප්‍රශ්නාර්ථයක්.

" ඇයි සමරෙ ? …" එහෙම ඇහුවෙ විල්බට්.

" නෑ,නෑ, මේ ඊයෙ උඹට අච්චර අමාරුවෙලා තිබ්බ නිසා බත් කන්ට හොඳද කියලයි මට මේ කල්පනා උනේ.." සමරෙ වටපිට බලල හෙමිහිට කිව්ව.

" නෑ මචං දැං මට හොඳයි…." විල්බට් බොහොම සන්තෝසෙං කිව්ව.

දෙයියෝ සාක්කි දැං අර ගෑනිගෙං සල්ලි ගන්නෙ කොහොමද ආපහු?..... දැනටම ඔය මනුස්සය ගිහිල්ල පොලී සල්ලි බැඳලද දන්නෙත් නෑ. ….සමරෙ කට ඇතුලෙ තියාගෙන සුටු පුටු ගෑව.

රයිට් ඒක තමයි දෙයියෝ සාක්කි බතුත් කනවද? කතාව. රණේගෙ තව පිස්සු කොරවෙන කතා තියනව බරගානක්..පස්සෙ කියන්නංකො හොඳද?

හරි..ඉතිං විජේතුංගයට වැඩේ බාරදීල මම ආව ආපහු. පහුවදා උදෙම්ම ගියා විජේතුංගය හම්බ වෙන්ට.

" ඒයි…. මොකද වැඩේ? ඊයෙ ඩෝසරේ ආවද? "

" ආය මොනවද? මහත්තය දන්නවනෙ මම වැඩක් කලොත්..එච්චර පරක්කු උනේ නං නෑ..අටාමාර වෙනකොට බඩු ආව.ඒත් මහත්තය අර වෙනද එන ලදරම නෙවෙයි..මේක අලුත්ම බඩුවක්. කිරි කෑස් එකක්."

ඔය කලිං අපිට එවන්නෙ හද්ද පරණ ඩෝසර්. එව්වයෙ බ්ලේඩ් එක කොහු ලණු වලින් බැඳල තියෙන්නෙ. මළකඩ කියන්නෙ ආය ඕනම නෑ. ඔය පරණ අටමගලක් දැක්කත් ඇති ඇස් වලට පිටගැස්ම හැදිලයි නවතින්නෙ.

" හරි,හරි බං උඹ හිතුවද හෙඩ් ඔෆිස් එකට සල්ලි නෑ කියල අලුත් ඩෝසර් ගන්ට. අනික මම එක හෙලාම කිව්ව ඔය පරණ ලඩිනං එවන්ට එපාය කියල. ඒ පාර තමයි ඔය අලුත් එකක් එවල තියෙන්නෙ.."

විජේතුංගය හක හක ගාල හිනාඋනා.

" ඔව්,ඔව් මොනවට කියනවද ඒ හරිය..මම නොදන්නවය මහත්තය ගැන. "

" ඒයි යමං ඒ පැත්තෙ ගිහිල්ල එන්ට. උදෙම්ම වැඩ පටංගන්ටෙයි කියල උඹ කිව්ව නේද? "

" ඔව්, ඔව්, බයික් එකකුත් මම සෙට් කරා ඔපරේටර්ව ගිහිල්ල දාන්ට ග්‍රැවල් කනත්තට. දැන් මිනිහ වැඩ ඇති. "


විජේතුංගයි මායි බයික් එකේ ගියා ග්‍රැවල් කපන තැනට. යනකොට මෙන්න ඩෝසරේ ගිණි කසය වගෙ වැඩ. අපරාදේ කියන්ට බෑ මනුස්සය උදේම්ම වැඩ පටන්ගෙන. දැනටමත් වරුවකට වගෙ සෑහෙන්ට ග්‍රැවල් ගොඩක් කපල ගොඩ ගහල.

මාව දැක්කම ඔපරේටර් මැෂින් එක නවත්තල බැහැල ආව. කලින් මම දැකල තියන ඩයල් එකක් නම් නෙවෙයි.. අලුත් එක්කෙනෙක්. අවුරුදු දාහතකට පස්සෙ ආණ්ඩු පෙරළියක් වෙලා ඒ වෙනකොට මාස තුන හතරයි. ඒ නිසා අලුතෙන් රස්සාවල් දෙනව ඒ දවස්වල දිගට හරහට හිටු කියල. එහෙම් කෙනෙක් වෙන්නැති. වැඩේ හරියට කරනවනම් එච්චරයිනෙ.

" ආ..මොකක්ද ඔයාගෙ නම?..."

" ජයවීර …….."

" හරි. ජයවීර මොකවත් ප්‍රශ්නයක් එහෙම නෑනෙ නේද? කන්ඩ නිදාගන්ට එහෙම ලෑස්ති කරන්ට අපෙ සභාපති තුමාට මම කියල තියෙන්නෙ. "


සභාපති කිව්වෙ ගොවි සංවිධානෙ සභාපතිට. එහෙ ගොවීන් සම්බන්ධව කෙරෙන සියළුම කටයුතු කෙරුනෙ ගොවි සංධානයෙ මැදිහත්ව.

" නෑ මහත්තය එව්ව ඔක්කොම හරි.... එකම ප්‍රශ්නෙකට තියෙන්නෙ හැබැයි හවස් වෙනකොට ඩීසල් නම් ඉවර වෙයි. "

" හරි මම දැන් යනව ඔෆිස් එකට…. ඩීසල් බැරල් එකක් එවන්නංකො... එතකල් වැඩ කරගෙන යන්ට ජයවීර. ග්‍රැවල් එක තැනින්ම කපන්න එපා. වල ගැහුනම ඊට පස්සෙ වැස්සට වතුර පිරුනම මහ කරදරයි. මට්ටං කරල දාන්න පුලුවන් විදිහට හාරල ගන්ට. "

" හරි මහත්තය…."


ජයවීරට උපදෙස් දීල මම ආව ඔෆිස් එකට ඩීසල් වැඩේ එකලාසයක් කරන්න හිතාගෙන.

අපේ සෙක්ෂන් එකට ගිහිල්ල අයි.ඊ. මහත්තය හම්බ උනා..

" ආ..වීරේ..මොකෝ වැඩේ? ඩෝසරේ ආවද? ග්‍රැවල් කැපිල්ල පටන් ගත්තද? "

" ඔව්..අයි.ඊ.මහත්තය...වැඩේ යනව..මම මේ ඩීසල් බැරල් එකක් ගෙනියන්ට කියල ආවෙ. "

" හරි... එම්.ආර්. එකක් ලියාගෙන එන්ටකො. මම අත්සන් කරන්නං "


එම්.ආර්. කියන්නෙ ද්‍රව්‍ය ඉල්ලුම් පත්‍රය ,( Material Request Form ) ...මම මගෙ මේසෙ ඉඳගෙන එම්.ආර්. එක ලියන්න ගත්ත. ටිකකිං ඔන්න අපේ රේඩියෝ ඔපරේටර් දුවගෙන ආව. මොබයිල් ඒ දවස්වල තිබ්බෙ නෑ ඒ හරියට. ලෑන්ඩ් ටෙලිෆෝන් එකක් තිබ්බට අපි බොහෝ වෙලාවට හෙඩ් ඔෆිස් එකත් එක්ක ඒ වගේම අනෙකුත් ක්ෂේත්‍ර කාර්යාල එක්ක පණිවිඩ හුවමාරු කරගත්තෙ රේඩියෝ සෙට් එකන්.

රේඩියෝ සෙට් එක කිව්වම ඔන්න තව පොඩි කතාවක් මතක් උනා. මේක උනාය කියන්නෙ බකමූණ පොලීසියෙ. බකමූණ දන්නවනෙ නේද? මාතලේ දඹුල්ල අතර තියෙන නාවුල හන්දියෙන් දකුණට හැරිල ගිරිතලේ පාරෙ කිලෝ මීටර් 32 යන්න ඕන බකමූණට.

අලුතෙන් පොලීසියට බැඳිච්චි පොඩි එකෙක් ඔන්න ඩියුටි වැටිල රෑ රේඩියෝ එකේ. තව හිටපු පළපුරුදු ඔපරේටර් " මල්ලි මම සිගරට් එකක් ගහල එන්නං... බය වෙන්ට එපා. මෙතන සෙට් එකෙන් කතා කලොත් බය නැතුව ඒ කියන විදිහට උත්තර දෙන්න එච්චරයි. " එහෙම කියල මිනිහ ගියා එළියට. මෙච්චර වෙලා රේඩියෝ එකේ මොකවත් සද්දයක් නැති නිසා පොඩි එකත් " හොඳයි අයියෙ " කියල හෙඩ් ෆෝන් සෙට් එක එහෙම පැළඳගෙන පුටුවෙ ඉඳගත්ත.

මෙන්න මිනිත්තු දෙකක් ගියේ නෑ. මුගෙ කරුම වෙලාවටද කොහෙද ඔන්න මෙසේජ් එකක් එනව.." බකමූණ අමතන්න, බකමූණ අමතන්න " කියල. කොල්ලට දාඩියත් දාගෙන ආව. මොකද දැං කරන්නෙ. සීට් එකෙං ටිකක් ඉස්සිල එහෙම බැලුව හතර අත අර සිගරට් එකක් ගහන්ට ගිය මනුස්සය පේන්ටවත් ඉන්නවදැයි කියල ම්හු ඒ මනුස්සය නෑ අහල ගං හතකවත්. ඔන්න ආයම සෙට් එකෙන් එනව සද්දෙ. " බකමූණ අමතන්න...බකමූණ අමතන්න..."

ආයම සැරයක් කොල්ලා බාගෙට නැඟිටල බැලුව. මොන? අර මනුස්සයගෙ සේයාවක්වත් නෑ..මළ සේක..දැං මොකෝ කොරන්නෙ? මේකට උත්තර දෙන්නත් එපාය..ඔන්න ආයමත්.." බකමූණ අමතන්න,බකමූණ අමතන්න, " කොළුව හොඳට පුටුවෙ හරිබරි ගැහිල ඉඳගෙන මයික් එකට කට ලංකලා..ස්විච් එක ඔන් කරල මෙහෙම කිව්ව " හූම්ම්ම්ම්, ....හූම්ම්ම්ම්ම්...හූම්ම්ම්ම්ම් "

" වීරසිංහ මහත්තය ..මෙන්න හෙඩ් ඔෆිස් එකෙන් මැසේජ් එකක්.." ඒ අපේ රේඩියෝ ඔපරේටර්....

" මොකද්ද බං? "
මම මෙසේජ් එක අතට ගත්ත.

ඩෝසරය එවීමට නොහැකිවීම පිළිබඳ කණගාටු වෙමි. හෙට දිනය ඇතුලත එවීමට බලාපොරොත්තු වෙමි..

" මොකක්? ඩෝසරය එවීමට නොහැකිවීම පිළිබඳ කණගාටු වෙමි.....එතකොට අර කෝඳුරුවාවෙ ග්‍රැවල් කපන්නෙ ඩෝසරේ නෙවෙයි නං වෙන අහවල් එකද? "

ඒ වෙලාවෙ මගෙ කට ඇරිල තිබ්බ විදිහ කියල අනික් එවුං හිනා උනා මම එහෙං අස්වෙලා එනකල්ම.

62 comments:

  1. "ගල් කාලයි, ඕල්ඩ් ෂොට් එකයි, බකාඩි දෙසීයයි..බම්බුව තමයි..." :D :D
    මාත් හෙම්බිරිස්සාවක් හැදිල ඉන්නෙ, ඕවයින් මොකද්ද ඇත්තටම වැඩකරන්නේ??

    මාර රසවත් කතා ගොඩක්!

    දිගටම ලියන්න! ජය වේවා.

    ReplyDelete
    Replies
    1. ගල් කාලක් තමා හොඳ.. නීට් ගහන්ට පුළුවන්නං වඩා හොඳයි.. ;-)

      Delete
    2. ඩෝකින්ස්,

      කෝකටත් මම කියන්නද?...ඔය තුනම කරල බලන්ට..කෝකෙන් හරි වැඩේ ගොඩගියානං එච්චරනෙ...හෙහ්, හෙහ්,

      හෙම්බිරිස්සාවට නම් නෙවෙයි..මගෙ ඔය නුවර ටවුමට එහෙම ගිහාම ප්‍රියතම පානය ලයන් ලාගර් දෙකයි සංස්ථා ඕල්ඩ් කාලයි.හෙහ්,හෙහ්, අමුතුම ආතල් එකක් එන්නෙ...ආහ්ලාදජනක භාවයේ සංගුණකයට ගුරුත්වාකර්ෂණ තීව්‍රතාවය ප්‍රතිලෝමව සහ උත්ප්ලාවකතාවය අනුලෝමව සමානුපාතික වෙනව.

      Delete
    3. මම ඉස්සර අපේ හන්දියේ බාර් එකෙන් ගහන්නේ ස්ටවුට් එකයි .ගල් කාලයි. ස්ටවුට් ඉතිරිවුනොත් තව ගල් සීයක් ගහනවා. ඒනිසා හැම තිස්සෙම ස්ටවුට් ඉතිරිකරගන්නවා.

      Delete
    4. අරූ,

      නුවර කොටුගොඩැල්ල වීදියෙ ඒ දවස්වල තිබ්බ කාසල් බාර් එක තමයි මගෙ ප්‍රියතම පොට් එක. පොඩි රවුං කනප්පු වටේට ලී පුටු දෙකක් නැත්තං තුනක් තියල. වේටර්ල ඔක්කොමල වගෙ වයසයි. කාකි බුෂ් ෂර්ට් එක සහ සුදු සරම යුනිෆෝම් එක. සැම්සන් අයිය තමයි මගෙ වේටර්.

      එතනම ඉස්සරහ විජිත යාපා එකෙන් අලුත් පොත් දෙක තුනකුත් අරගෙන මම යනව එකොලහට විතර කාසල් එකට. කූල් ලාගර් දෙකයි, ඕල්ඩ් කාලයි, බැදපු හුරුල්ලො තුනයි, ගෝල්ඩ් ලීෆ් තුනයි..ඒ තමයි මගෙ ඕඩර් එක. කාසල් එක ගැන වෙනම ලිව්වැකි සටහන් හත අටක්. එතනදි මට හම්බවෙච්චි මිනිස්සු ඒ තරමට විවිධාකාරයි. විචිත්‍රයි...

      තවම උනත් මචං ගෙදර සනීපෙට කකුල් දෙකත් උඩ තියාගෙන ෂොට් එකක් දාගන්නවට වඩා මම කැමති ඇස් වලින් කඳුළු පනින තරං සිගරට් දුමෙං පිරිච්ච බාර් එහෙක, කන් දෙකම ගොඩවෙන තරමෙ සද්ද බද්ද අස්සෙ, ඒ ආතල් සීන් බල බල හෙමිහිට ආතල් එකක් ගන්න. ඒත් මොකද කරන්නෙ ? විවාහය වෙනුවෙන් මට කරන්න වෙච්චි කැපකිරීම් වලින් ඒකත් එකක් :(

      Delete
    5. රවී....උඹ ලියපන් නුවර කාසල් එක ගැන...මම ලියන්නම් දෙහිවල පර්ලින් එකයි , කොල්ලුපිටියේ එවර්ලාස්ට් එකයි ගැන. මටත් එක එක ජාතියේ චරිත හම්බවෙලා තියෙනවා ඕවගෙදි.....මමත් ආසයි ඒ බාර් සුවඳට.

      Delete
    6. අරූ,

      පර්ලින් එකේ අපි සෙට් උනා 88/89 කාලෙ. රත්මලාන ටෙක් එකේ අපිට තිබ්බ කෝස් එකක්. ඒ කාලෙ දවස් තුන හතර්කට සැරයක් පර්ල් ඉන් එකට අපි විත්ඩ්‍රෝ වෙනව ක්ලාසස් ඉවරවෙලා. මම ඔය ගැන කලින් ලිව්ව කවිකාරියකගේ ප්‍රේමය කතාවෙදි...:)

      Delete
    7. මචෝ මේක Perlyn නේද? නැත්නම් Pearl Inn ද?

      Delete
    8. මම මේ මතක් කලා අරූ... ඒක Perlyn තමයි නේද?

      Delete
    9. ඒක පර්ලින් තමයි රවී.

      Delete
  2. හත් පොලේ ගාගෙන නේද මේ සැරෙත්... එතකොට ඩෝසරේට ගෙව්වෙ ඔය මහත්තයගෙ පොකට් එකෙන්ද? හික්ස්... නියම ගෝලය හැබැයි... කෝම හරි පොර ඩෝසර්කාරයටත් උපරිමෙන්ම සලකලා වැඩෙත් කළා නෙව...

    අර පොලිස් පොඩ්ඩට වෙච්ච දේ නම් කියල වැඩක් නෑ... බකමූණ අමතන්න කිව්වම ඉතින් ඌ වෙන මක් කරන්නෙයි... :D

    ReplyDelete
    Replies
    1. මියුරු,

      / හත් පොලේ ගාගෙන නේද මේ සැරෙත්…/

      මොනවද බොල මේ සැරෙත් කියන්නෙ? කලින් කවද්ද මම හත් පලේ ගාගත්තෙ? ඈ? කියාපං බලන්ට…

      ඔය හත් පලේ ගෑවෙන්නෙ කොහොමද දන්නවද? බැල තණ ගහේ රුන්නම නැඟිටිනකොට හත් පලේ ගෑවෙනව...

      Delete
    2. /බැල තණ ගහේ රුන්නම නැඟිටිනකොට හත් පලේ ගෑවෙනව.../
      අත්දැකීමෙන් වගේ කියන්නෙ... හී...හී...

      Delete
    3. මියුරු,

      හෙහ්,හෙහ් ...එහෙනං... එහෙනං... බැළතණ ගහ උඩ කෙලිං කටිං ඉඳගත්තම දුන්න වගෙ නැමෙනව. ආයම නැඟිට්ටද ගහ නිකං දුනුදිය කැඩිච්චි දුන්න වගෙ කෙලිං වෙනව. ආය නෑ පිට මැද්දෑවට තමයි කෙලිම්ම. හෆොයි, හත් පාරක් නාන්ට වෙනව ඊට පස්සෙ හෙහ්,හෙහ්,

      පළමෝත අත්දැකීම් මියුරු පළමෝත අත්දැකීම්, ( පළමෝත අත්දැකීම් = First Hand Experience, ඒක ඇවිල්ල ටැබූගෙ වචනයක්, ස්තූතියි ටැබූ )

      Delete
    4. මම හිතං හිටියේ හත්පොලේ ගාගත්ත කතන්දරේ හැදුනේ අන්දරේ හින්දා කියලා..හැබැයි මේක රවී හින්දා හැදුනා වෙන්නත් පුළුවන්.. නිදහසි සිතුවිලි කියවලා අපි නොදන්නවායැ රවීගේ තරම..අන්දරේ අහලකින්වත් තියන්න පුළුවන්ද?

      Delete
    5. රූ,

      අන්දරේ හත්පලේ ගා ගත්තයි කියල කතාවක් තියනවය? අහලා නැත ...:(

      Delete
    6. ඇයි අනේ දන්නෙ නැද්ද, අන්දරේ කොල්ලො සෙට් එකක් එක්ක ඔට්ටුවක් අල්ලනවා බැල තණ ගහක් නවලා ඔය වැඩේ කරන්න පුළුවන්ද නැද්ද කියලා...? අන්දරෙත් ඔට්ටුව භාර අරන් ඒ වැඩේ කළාට පස්සෙ උනේ ඔය රවීට වෙච්චදේමයි... අන්දරේ පැරදුනු එකම අවස්ථාව ඕකයි කියනවනේ...

      මං පහේ පන්තියේදි ශිෂ්‍යත්වෙට පුහුණු වෙන කාලෙ හොඳට ලියපු රචනාවක්, ගුරුවරු පන්ති වටේ හිටන් අරන් ගියා අනිත් ළමයින්ට පෙන්නන්න... හරියටම ඒ මාතෘකාවම ආවා විභාගෙට... ඒත් මං ඒක ලියන්නෙ නැතුව මාතෘකාවක් විදියට දීල තිබ්බ 'අන්දරේ' ගැනනෙ ලිව්වෙ... අපේ අම්මා විභාගෙට දවස් කීපෙකට කලින් ඔය කතාව අපට කියල දීලා ඇතිවෙනකම් හිනාවුනු නිසා ඒක හොඳට මතකයේ තිබුණා... මං ගෙදර ආවෙ අන්දරේ පැරදුනු එකම වතාව ඕකයි කියලා රචනාවට හොඳට විස්තරාත්මකව කතාව ලියලා... ගෙදර ඇවිත් ඕක කිව්වම මං අහගත්තු බැනුම් කන්දරාව...!! අම්මා බැනලා බැනලා අන්තිමට හොඳටම හිනා වුණා... :D

      Delete
  3. ඊටපස්සෙ වෙච්ච දේ වීරෙ අය්ය කිව්වෙ නෑ නේ...අයියා කිව්වට මාමද මන්ද? හික්ස්........අර කොල්ල හිම්ම්ම් හ්ම්ම්ම් ගෑවට පස්සෙ අනෙක් පැත්තෙන් ග් ර් ර් ර් ර් ර් ...ග් ර් ර් ර් ර් ගෑවලු ඒ කතාකරල තියන්නේ වලස්මුල්ල පොලිසියෙන්

    ReplyDelete
    Replies
    1. Madumadawa,

      ආතා වෙන්න ඇති බං. ආතා වෙන්න ඇති...හෙහ්,හෙහ්,

      / අනෙක් පැත්තෙන් ග් ර් ර් ර් ර් ර් ...ග් ර් ර් ර් ර් ගෑවලු ඒ කතාකරල තියන්නේ වලස්මුල්ල පොලිසියෙන් /

      අඩේ ..ඒ කතාවත් මරු..මම ඒක දැනගෙන උන්නෙ නැහැනෙව..එතකොට මොණරාගල පොලීසියෙං, මැඩියාව පොලීසියෙං, කුකුළේගඟ පොලීසියෙං, කොටියාකුඹුර පොලීසියෙං, කිරලෝගම පොලීසියෙං එහෙමත් කතා කරන්න ඇති නේද?

      Delete
    2. අයියේ ඔය කුකුලේගඟ තමයි මම හිතන්නේ.. ලංකාවේ ඕනෙම තැනක ඉඳන් ඩිරෙක්ට් සිග්නල් තියනවා කියලා කතාවක් තියනවා. දවසක් ඕක ටෙස්ට් කරන්න අපිට හිතවත් මන්ත්‍රී ආරක්ෂකයෙක් විදිහට වැඩකරන අයියා කෙනෙක් නිකං පැජරෝ එකේ ඉන්න ගමන් සෙට් එක අරගෙන "කුකුලේගඟ අමතන්න, කුකුලේගඟ අමතන්න" කිව්වලු. එසැණින්ම ප්‍රතිචාර අවලු "කුකුලේගඟ අමතනවා, පණිවිඩය දන්වන්න" කියලා. අපේ මිත්‍රයා සද්ද නැතුව ඉඳලා ටික වෙලාවකින් ආයෙත් කිව්වලු "කුකුලේගඟ අමතන්න, කුකුලේගඟ අමතන්න" කියලා. ආයෙත් කුකුලේගඟෙන් ප්‍රතිචාර ආවහම සද්ද නැතුව ඉඳලා. දැන් පොරට ආතල් එකක් ගිහින් සැරෙන් සැරේ මේක කලා ලු. මිනිහා ඊලඟ වතාවේ "කුකුලේගඟ අමතන්න, කුකුලේගඟ අමතන්න" කියපු ගමන්... ප්‍රතිචාර ආවලු "වහාම ගුවනින් ඉවත්වන්න, වහාම ගුවනින් ඉවත්වන්න".... පොර "නෑ නෑ ගුවන් නෙමෙයි අපිත් පොලිසියේ" කියලා කෝකටත් වාහනෙන් බැහැලම ගියාලු.

      Delete
    3. තිසර,

      මම කුකුළේගඟ හිටපු කාලෙ නම් මලේ ඒ හරියට සිග්නල් බොහොම හිඟයි. ගස් ගල් උඩට බඩගාන්ට උනා අපිට ගෙදරට කෝල් එකක් ගන්ට :)

      Delete
  4. බඩේ බත් පේන්නම කට ඇරගෙන ඉඳල වගේ....

    ReplyDelete
    Replies
    1. අයාල්,

      හෙහ්,හෙහ්, එහෙම තමයි මගෙ කට ඇරියැකි අප්පල්ලයක් වගෙ. මේ ඊයෙ පෙරෙයිද දතක් පුරවගන්ට ගිහිල්ල මම කට ඇරියම දත් දොස්තර කියාපි" ඔච්චර කට අරින්න ඕන නෑ හලෝ..මම දත පුරවන්නෙ පිට ඉඳගෙන " කියල. හතර විළි ලැජ්ජාවයි අප්පා...

      Delete
  5. ප්‍රධාන කතාවෙන් වංගුවක් ගහල වෙන කතාවක් කියද්දී වරහනක් වගේ මොකක් හරි දැම්මොත් නරකද .

    අද නම් ගුරුවරි ගැන වචනයක් අල්ප මාත්‍රයක් ඇලපිල්ලක් කොමාවක් වත් නැහැ ..

    අර කිව්වා වගේ ඕනෑම ලෙඩකට දිවය අවුසදේ වගේ බෝතලේ හරි යානම් සෞඛ්‍ය ඉස්පිරිතාල ගොඩනැගිලි සේරම බාර් කරන්න තිබ්බනේ ..ශික් අපරාදේ

    ReplyDelete
    Replies
    1. ඒක හරියන්නෙ නැහැ නෙවැ බින්දි‍යො.. එතකොට ඔය දොස්තරලටයි නර්ස්ලටයි තව ඔය ‍හෙල්ත් සෙක්ටර් එකේ ඉන්න අනිත් උදවියටයි රස්සා දෙන්නෙ කොහොමද.?? :P

      Delete
    2. Bindi,

      / අද නම් ගුරුවරි ගැන වචනයක් අල්ප මාත්‍රයක් ඇලපිල්ලක් කොමාවක් වත් නැහැ ../

      හරි, හරි, සමාදිය බජනය කරන සේක්වා!!! ගරු මැතිණියනි..ලබන එපිසෝඩ් එක තනිකරම ගුරුතුමිය වෙනුවෙන් වෙන් කරන්නට ඉටා ගතිමි.

      / අර කිව්වා වගේ ඕනෑම ලෙඩකට දිවය අවුසදේ වගේ බෝතලේ හරි යානම් සෞඛ්‍ය ඉස්පිරිතාල ගොඩනැගිලි සේරම බාර් කරන්න තිබ්බනේ ..ශික් අපරාදේ /

      නෑ ඇත්තටම ඔය පර්යේසන වලින් දැන් හොයාගෙන තියනව ඇල්කහොල් ඔය තියන සාමාන්‍ය ලෙඩ රෝග වලින් සීයට අසූවකට වගෙ ගුණදායකයි කියල.

      it's true Alcohol kills people, but how many are born because of it?

      Delete
    3. //ප්‍රධාන කතාවෙන් වංගුවක් ගහල වෙන කතාවක් කියද්දී වරහනක් වගේ මොකක් හරි දැම්මොත් නරකද //

      අන්තිම නරකයි, මොකද වරහන් විතරක්ම තියෙයි.
      ඕක කරන්න ඕනෙ ප්‍රධාන කථාවට වරහනක් දාන එක.

      Delete
    4. බුරෝ ....ඇයි උන්දැලාට ''බා ටෙන්ඩර් '''' බා කීපර් '' වෙන්න පුළුවන් .වාට්ටු ක්ලීන් කරන මිනිස්සුන්ව නම් ඒ ජොබ් එකේම තිබ්බහැකි. කබරයා දැම්මම සෝදන්න .

      රවී ..ඔව් ඔව් තුවාල සුද්ද කරන්නත් ගන්නවනේ සර්ජිකල් ස්ප්රිට් . ලැබ් එකේ නම් එතනෝල් මෙතනොල් ඔක්කොම ගන්නවා ටෙස්ට් වලට ...ආ ලේ එකක් ගනිද්දී පිහදාන්නත් ගන්නේ ඇල්කොහොල් තමයි. යකඩෝ බලන් ගියහම ඉස්පිරිතාල වල දැනටමත් ඇල්කොහොල් සැහෙන්න භාවිතා වෙනවා. තව ඔය ඉස්සර ගෙවල් වල ළමයින්ට පණු අමාරුව කියල තාත්තල බ්‍රැන්ඩි ගෙදර ගේනවලු නේ :D

      ඇනෝ ..ඔව් ඔව් ප්‍රධාන කතාවට වරහන් තමයි හරි ..

      Delete
    5. බින්දිට පොඩ්ඩක් වැඩි වගේ හන්දා පොඩ්ඩක් ටැපලිලා තියෙන්නේ. ඒක මෙහෙමයි වෙන්න ඕනේ, බාර් ඔක්කොම සෞඛ්‍ය අමාත්‍යයංශය යටතට අරන් රතු කුරුසේ ප්‍රදර්ශණය කරන ගමන්ම හැම ඉස්පිරිතාලෙම ෆාමසියත් එක්කම බාර් එකක් දාන්න පුලුවන්.

      Delete
  6. හයියෝ අයියේ, අර බකමූණ අමතන්න කතාවනං මට දවස් ගාණක් මතක් කර කර හිනා වෙත හැකි. මේ තාම හිනාව නවත්තගන්න බැරුව ඉන්නේ. :D :D :D

    ReplyDelete
    Replies
    1. සිත්තමී,

      හෙහ්,හෙහ්, අන්න ඒකනෙව කියන්නෙ..අපිම ඉන්ට ඕන බොලාගෙ ලේ පිරිසිදු කරල දෙන්ට..:)

      Laughter is the best medicine except for treating diarrhea

      Delete
    2. ඩයරියාවලට අත්දු‍ටු බේත කොණ්ඩ කැවුමනේ.

      Delete
    3. Henry,

      ක්‍රම දෙකක් තියනව. හිටගෙන උඩ බලාගෙන කොණ්ඩ කැවුම කොණ්ඩෙ උඩට හිටින විදිහට හපන්නෙ නැතුව එක කටට ගිලින්ට ඕන. ඊට පස්සෙ පැයක් දෙකක් එතන එහෙමම හිටගෙන ඉන්ට ඕන. එහෙම මෙහෙ ඇවිද්දොත් කොණ්ඩ කැවුම එහෙ මෙහෙ පෙරලිල වැඩේ කචල් වෙනව.

      දෙවෙනි ක්‍රමේ කොණ්ඩ කැවුමෙ කොණ්ඩෙ ඇතුලට යන විදිහට පස්චාත් බාගයට නික්සේපනය කරන්න ඕන. ඒ එක්කම ආනමාලුවක් ඇම්බන් එකක් වගෙ යැව්වනං වැඩේ ඉතාම සාර්තකයි.

      Delete
  7. ලොක්කට අසනීපෙට මරු බෙහෙත් තමයි කට්ටියට මතක් වෙන්නේ.. ව්ල්බට් යහතින් ඉන්නවා දැක්කම අර මනුස්සයට හිතුන කල්පනා වුන දේවල් මොන වගේ වෙන්න ඇත්ද කියලා මේ කල්පනා කලේ..

    ReplyDelete
    Replies
    1. දිනේෂ්,

      ඒකනෙ මල්ලි කියන්නේ කාටද?...හෙහ්,හෙහ්,

      Delete
  8. හිනා වෙලා පන ගියා මේක කියෝලා .. සමරෙට වෙච්ච වැඩේ තමා මරු . බලන් යනකොට මේ කට්ටියත් මරු දොස්තරලනේ ඕන ලෙඩකට ඇල්කොහොල්

    ReplyDelete
    Replies
    1. මෙකුවි,

      තෑන්කියු මැඩම්....හිනාවෙලා ලේ ටිකක් කාරිය පිරිසිදු උනානං එච්චරයි ඔන්න :)

      Delete
  9. කරුමෙටවත් ලොක්ක අර ටික එකපාර ටෙස්ට් කළානං එහෙම මිනිහට බඩු කළවං වෙලා අමාරුව නිට්ටාවටම සනීප කරගන්න තිබ්බ.
    ඊට පස්සෙ අර මල් කඩේ එකා සමරෙව එම්බාම් කළාද පණපිටිං.
    අර ඩෝසරේ ජයවීරයගෙම එකක්ද දන්නෑ. ඌට මොකද කාගෙ මොකක් කැපුවත් සල්ලි හම්බවෙනවනං.

    ReplyDelete
    Replies
    1. Praසන්ன,

      / ඊට පස්සෙ අර මල් කඩේ එකා සමරෙව එම්බාම් කළාද පණපිටිං. /

      සමරෙට මොකක් උනාද දන්නෙ නෑ බං ඊට පස්සෙ..ඌ ඔය මොකක් හරි දහංගැටයක් ගහල සල්ලි ටික බේරන්ට ඇති...:)

      / අර ඩෝසරේ ජයවීරයගෙම එකක්ද දන්නෑ. ඌට මොකද කාගෙ මොකක් කැපුවත් සල්ලි හම්බවෙනවනං. /

      නෑ බං ජයවීරය නිකං ඔපරේටර් විතරයි...හෙහ්,හෙහ්,

      Delete
  10. ඒලකිරි කථාව ....... ගුරුවරී ගැනත් කිවිවනම් මල් හතයි....

    ReplyDelete
    Replies
    1. Indika,

      ස්තූතියි ඉන්දික, කියමු කියමු ගුරුවරී ගැනත් කියමු...:)

      Delete
  11. මේකත් අර මාතර බත්කඩේ වගේ. ඔක්කොම තියනව මාතර එකෙක් තමයි නැත්තෙ. කෝ බොල ගුරුවරී?

    අර බත් කැවිල්ලෙ කතාව පංකාදුයි. මිනී පෙට්ටි මුදලාලිගෙ සල්ලි බේරුවෙ කොහොමද?

    ReplyDelete
    Replies
    1. රාජ්,

      / මේකත් අර මාතර බත්කඩේ වගේ. ඔක්කොම තියනව මාතර එකෙක් තමයි නැත්තෙ. කෝ බොල ගුරුවරී? /

      ඉතිං මොකද බං?...දේසේ හැටියට බාසේ කිව්වලු. යකෝ අපි ඉන්නෙ ශ්‍රී ලංකා ප්‍රජතාන්ත්‍රික සමාජවාදී ජනරජයෙ නේද?...කොහොමද ඒක ප්‍රජාතාන්ත්‍රික වෙන්නෙ? එතනිං ගිහාම සමාජවාදී වෙන්නෙ? අන්න ඒ වගෙ තමයි ගුරුවරීගෙ කතාවත්..:) නම විතරයි බං ඕනෙ ලොකුවට දාන්ට. ඊට පස්සෙ අපිට ඕන හැටියටයි අපි වැඩ...හෙහ්,හෙහ්..

      / අර බත් කැවිල්ලෙ කතාව පංකාදුයි. මිනී පෙට්ටි මුදලාලිගෙ සල්ලි බේරුවෙ කොහොමද? /

      ඕක ඔය මොනවහරි කරල වැඩේ ගොඩදාගන්ට ඇති...:)

      Delete
  12. ෂෙක් අපරාදෙ.ඩිසල් බැරල් එකත් දුන්නට පස්සෙ නේ ඔය පනිවිඩෙ එන්න තිබුනේ.

    ReplyDelete
    Replies
    1. දමිත්,

      අම්මාපල්ල බං තව පැයක් හමාරක් පනිවිඩේ පරක්කු උනා නං මම ඩීසලුත් යවනව. මළ කෙළියයි එහෙම උනානං එහෙම :)

      Delete
  13. දැන් ගුරුවරී ගෙ කතාව නිකන් බලු මැක්කගේ කතාව වගේ වෙලා... ගුරුවරී ඉන්නේ මාතෘකාවේ විතරයි, මාතෘකාව මොකක් උනත් පහල හැම තැනම බෝතල් සහ බේබදු කතා :D
    රවී තුමා අර්බුදයකට තුඩු දුන් දෙබස් කොටස නිවැරදි කරලා නේද?
    //
    විජේතුංගය කට පුරවං හිටපු බුලත් කෙල පාර ගැහුව එතනම තිබ්බ වැලි ගොඩකට..
    " හරි මහත්තය මම දෙන්නං වැඩේ තෙල් ටිකට…"
    //
    හෙන්රි තුමා කියන දේ අහලා දෙබස නිවැරදි කළා වගේ, ඔන්න අපි කියන දේ අහල ලබන පාර ගුරුතුමී ගැනත් ටිකක් ලියන්නකෝ...

    ReplyDelete
    Replies
    1. එක් මානවිකාවක්,

      හෙන්රීස් කියපු විදිහට වැඩේ හරිගැස්සුව. :)

      හරි, හරි..මානවික්ස්...ලබන පාර එපිසෝඩ් එක එන්ටයර්ලි එබවුට් ගුරුතුමීස්...ගෝඩ්පල්ලා!

      Delete
  14. ඔය බකමූණ සීන් එක මචං මට වයිෆ් මෙහෙම කිව්වා...එයා 1989 කාලේ වගේ වැඩ කලේ ග්‍රේ ලයින් ටැක්සි කම්පැනි එකේ. මතකද රවී විජේරත්නලාගේ ෆ්ලවර් රෝඩ් ඔෆිස් එකේ. ඕක තමයි පළවෙනි කෝල් අ කැබ් සර්විස් එක. කොළඹ ලොකු නෝනලා මහත්තයාට හොරෙන් කොටු පනින්නේ ඕවා බුක් කරලා. සමහර සාදුලාත් එහෙමයි. ඒකාලේ ඔය ගැන මරු කතා තියෙනවා. ඔතන නියම ලංසි සෙට් එකක් වැඩ කරා. උන්ව තමයි ගත්තේ වැඩිපුර කඩ්ඩ නිසා ෆෝන් වලට ආන්සර් කරන්න. එකෙක් වැඩ කරා බුරුසුවා කියල. ගෝමස් කියලා හිටපු සාජන් කෙනෙක්. පොල් රැවුල ඒකයි බුරුසුවා කිව්වේ. මූ හෙන බයිට් එක. හාමුදුරුවෝ කෙනෙක් කතාකරොත් ෆෝන් එකේ මූ නැගිටලාලු උත්තර දෙන්නේ. අර ලංසි කොල්ලෝ එහා පැත්තෙම ෆෝන් එකෙන් කෝල් කරලා , බුරුසුවා ඉස්සුවොත් හූම් හූම් කියනවාලු. මු දන්න ඉංග්‍රීසීයෙන් ආපහු මොකක් හරි කිව්වාම ආපහු අරුන් හූම් හූම් කියනවාලු.

    පලයන් වේසිගේ පුතෝ කියලා මූ කෝල් එක කට් කරලා අරුන්ට කියනවාලු....කවුද *ත්තෙක් බකමූණ ජෝක්ස් දානවා...උගේ අම්මට ඌ දන්නේ නැතුව ඇති මම පරණ පොලිස් කාරයෙක් කියලා...හෙන හයියෙන් හිනා වෙනවලු. පව් බන් පොර මලා.


    මචං මේකෙ පරණවිතාන ඩිස්පැන්සරිය කිව්වේ...නුගේගොඩ ගයි පරණවිතාන, ෂර්ලි පරණවිතාන පිය පුතු ප්ලේස් එකද?

    ReplyDelete
    Replies
    1. අරූ,

      / ඔය බකමූණ සීන් එක මචං මට වයිෆ් මෙහෙම කිව්වා /

      ගංගාරාමෙ පංසලත් එක්කම මොකක් හරි ප්‍රයිවට් කම්පනි එහෙක ඔෆිස් එකක් තියනවලු. ඕකෙ කට්ටිය කෙහෙල් ගෙඩි එහෙම දීල පුරුදුවෙලා පංසලේ ඇතා පොඩ්ඩ බැරිඋන ගමං එහාට යනවලු.

      ඉතිං හාමුදුරුවො කතා කරනවලු එහාට. රිසෙප්ෂන් එකේ ඉන්නෙ බර්ගර් ගර්ල් කෙනෙක්. " මම මේ හාමුදුරුවො කතා කරන්නෙ මේ අපෙ ඇතා එහෙම ඔය පැත්තෙ ආවද?"

      " ආ..සාදු මම ටිකක් හොයල බලල කියන්නං "කියල මේ ළමයත් එහෙ මෙහෙ දුවල හොයල බලල පනිවිඩේ කියනවලු හාමුදුරුවන්ට.

      දවසක් කෝල් එකක් ආවලු.." හෙලෝ මම මේ ඇතා කතා කරන්නෙ අපෙ හාමුදුරුවො එහෙම ඔය පැත්තෙ ආවද?"

      " වන් මිනිට් ...මම හොයල බලල කියන්නං... හෝල්ඩ් ද ලයින් ප්ලීස් "ගෑණු ළමය කිව්වලු.

      රවී විජේරත්න නේද අර කෙරී පැකර්ගෙ පුතා එක්ක එකතුවෙලා කැසිනෝ වැඩේ පටන්ගන්න යන්නෙ? මේ ලඟදි මාදුළුවාවෙ හාමුදුරුවොයි, බෙල්ලන්විල හාමුදුරුවොයි රවී විජේරත්නගෙ දානෙකට ගියයි කියල හෙන කේස් එකක් උනා..:)

      / මචං මේකෙ පරණවිතාන ඩිස්පැන්සරිය කිව්වේ...නුගේගොඩ ගයි පරණවිතාන, ෂර්ලි පරණවිතාන පිය පුතු ප්ලේස් එකද? /

      යස්, මචං දැට්ස් ද ප්ලේස්...නුගේගොඩ ටවුම මැදම තියෙන්නෙ...

      Delete
    2. ඔය ඇතාගේ කතාව මිහිදු හාමුදුවන්ගෙයි තිස්ස රජතුමාගෙයි කතාව විදිහටයි මම නං අහලා තියෙන්නේ..!

      Delete
    3. රූ,

      මිහිඳු හාමුදුරු කෙනෙක් නෑ බං ඒ කතාවෙ. දේවානම්පියතිස්ස රජ්ජුරුවොයි මුවයි ඉන්නෙ.... ඒකෙදි කරන්නෙ කෝල් එකක් අරගෙන අහනව.." හෙලෝ....මම මේ දේවානම්පියතිස්ස රජ්ජුරුවො කතා කරන්නෙ.. මගෙ මුවා එහෙම ඔය පැත්තෙං දිව්වද? " කියල

      රජ්ජුරුවන්ගෙයි මිහිඳු හාමුදුරුවන්ගෙයි තියෙන්නෙ වෙන කතාවක්.." හුහ්. හාමුදුරුවො බබා...හාමුදුරුවො දන්නෙම නෑ මේ ගහ මොකද්ද කියල.."

      Delete
    4. ගංගාරාමයේ කතාවනම් මීකිරි වගේ බං. ඊයේ අපේ ගෙදර ආපු කට්ටියකටත් මම පෙන්නුවා. උන්ට පිස්සු හැදුනා උඹේ බ්ලොග් එක කියවලා.

      අරයා තමයි රවී විජේරත්න. ඉස්සර අයියා ලාල් විජේරත්න එක්ක තමයි බිස්නස් කරේ. අයියාටත් වැඩේ දීලා වගේ දැන්. ග්‍රේ ලයින් කැබ්ස් 688688..ග්‍රේ ලයින් හෝම්ස් කරා. මිනිස්සුන්ට පොලු වැදුනා. නන්නත්තාරවෙලා ඉඳලා ප්‍රේමදාස ලොක්කා නිසා ගොඩ ආවා. දැන් මහින්ද ලොක්කා නිසා ගෝඩේ ගොඩ.

      Delete
  15. ane manda Ravi aiyata me boru kohoma mathak wenawada kiyala...........Niyamai aiye...katha tika.........

    ReplyDelete
    Replies
    1. Sacheera,

      මොනවද බං බොරු? මෙව්ව ඔක්කොම ඇත්තම ඇත්ත :)

      Thank you ..Madam …:)

      Delete
  16. //
    " හරි,හරි බං උඹ හිතුවද හෙඩ් ඔෆිස් එකට සල්ලි නෑ කියල අලුත් ඩෝසර් ගන්ට. අනික මම එක හෙලාම කිව්ව ඔය පරණ ලඩිනං එවන්ට එපාය කියල. ඒ පාර තමයි ඔය අලුත් එකක් එවල තියෙන්නෙ.." ///

    රවී ලොක්කා ගේ පවර් එක කොච්චරද කියනවා නම් ඊළඟ කොටසෙදි අපිට වයර් ෂෝට් වෙනවා බලන්නත් පුළුවන්..

    ReplyDelete
    Replies
    1. රූ,

      අපි එහෙමයි දන්නවද?...වටේම හොල්ලගෙන තමයි හිටියෙ..ලෝඩ් බකිංහැම් වගෙ...හෙහ්,හෙහ්...

      Delete
  17. හිනාවෙනවා කියලා මෙහෙමත් හිනාවෙන්න පුලුවන්ද අනේ...??? :):):)
    //ඉතිං කොහොමද එක හිතක් හිතාන කතාවක් උනත් කියන්නෙ. භෞමික අඛණ්ඩතාවය බිඳිල යනව සුටුස් ගාල. // හිතේ ඒකාග්‍රතාවය බිඳිලා යන එකටත් කියන්නේ "භෞමික අඛණ්ඩතාවය බිඳිල යනව" අදමයි ඇහුවේ රවි... :D
    මේ අර දොස්තරලා මුහුණු ආවරණ දාන එක ගැන කිවුවේ ඔයාගේ අර යාලු දොස්තරද...?? :D
    මෙච්චර අපිව හිනා ගස්සනවට thankx honeyyyy... :)

    ReplyDelete
    Replies
    1. සඳා,

      සමාවෙන්න..සමාවෙන්න..පෙර වැරැද්දකුත් තියන නිසා සමාවක් දෙන්න අමාරු නම් තමයි. ඒත් මේ වතාවට සමාව දෙන්න..අන්තිම ලාස්ට් ෆයිනල් එක කියල. මඟ ඇරුන අනේ මඟ අරුන....:( :(

      හරි..එහෙනම් තෑන්ක්ස් සෝ සෝ සෝ මච්..හොඳද? :)

      Delete
  18. රවී අයියේ, අර සමහරු පී එච් ඩී, ඇම් ඇස් සී එහෙම කෙරුවම කොතන හරි නම ලියනකොට අගට ඔය ඩිග්රි කෑල්ලේ නම දානවනේ

    මේ වගේ,

    රත්නායක මුදියන්සේලාගේ නිපුන් අසන්ත පී. එච්. ඩී

    ඒ අග කෑල්ල වැඩේට අදාළ උනත් නැතත්...

    ආන් ඒ වගේ තමයි මේ රවී අයියගේ පෝස්ට් වල මාත්රුකා වලට දාන "ගුරුවරියක සමග මගේ ජීවිතය" කියන කෑල්ල. ඒක දාන්නේ මේ පෝස්ට් එකට නිකන් ගැම්මක් ගන්න මිසක් පෝස්ට් එකට අදාළ කමකට එහෙම නෙමෙයි...හොඳා හොඳා. අපේ මොකෝ ඉතින්...මොක ලිව්වත් කියවන එකේ..:)

    ReplyDelete

මගේ සිතුවිලි ගැන ඔබේ සිතුවිලි

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...