Monday, September 7, 2015

345. ක්‍රිෂ් මල්හෝත්‍රා, අනන්‍යා ස්වාමිනාදන් සමඟ චේටන් භගට් - 2 States , The Story Of My Marriage

Google Images
ඇය සිටියේ පෝළිමෙහි මට දෙදෙනෙකුට ඉදිරියෙනි. ඒ අහමදාබාද්හි ඉන්දියානු කළමණාකාරිත්ව ආයතනයෙහි භෝජන ශාලාවෙහි දිවා ආහාර ලබාගැනීමේ පෝළිමයි.ඇය දෙස ඇස් කොණින් පිරික්සමින් මම කල්පනා කලේ මේ දකුණු ඉන්දියානු යුවතිය පිළිබඳව මගේ සහෝදර සිසුන් අතර මේසා විශාල ආන්දෝලනයක් හට ගැනීමට හේතුව කුමක් විය හැකිද? යන්නයි. දින ගණනක් කුසගින්නෙන් පෙලෙනා සරණාගතයකු මෙන් නොඉවසිල්ලෙන් ඇය තම සුරත රැඳි ආහාර ලබාගන්නා තැටියට වමතෙහි දිගු සිහින් ඇඟිලිවලින් සෙමින් තට්ටු කරද්දී ඉඟ තෙක් දිගු ඇගේ කෙස් කළඹ ඒ රිද්මයට අනුකූලව නැටවෙනු මම ඇස් කොණින් බලා සිටියෙමි.


ඇගේ රන් පැහැ ගෙලෙහි පසුපස දක්නටවූ නූල් තුනකින් ගෙතුනු කාළවර්ණ තරමක් මහත් වූ හුය අධ්‍යාපනයට ප්‍රමුඛස්ථානය දෙන මේ තක්සලාවෙහි සිසුවියක වුවද ඇය විලාසිතාවනටද රුචි කරන්නියක බව කියා පෑවේය.

" Ananya Swaminathan - best girl in the fresher batch " ජේෂ්ඨ සිසුහු නේවාසිකාගාර දැන්වීම් පුවරුවෙහි ඇයට දැනටමත් කිරුළු පළඳවා ඇත.

දෙසියයකින් සමන්විත වූ අපේ කණ්ඩායමෙහි සිසුවියන් වූයේ විසි දෙනෙක් පමණි. සිරිතක් ලෙස අප ආයතනයෙහි සිසුවියන් අතර දැකුම්කළු යුවතියෝ ඉතා විරලය. ඉන්දියානු කළමණාකාරිත්ව ආයතනයට ( IIM ) යුවතියන් ඇතුළු කොට ගැනීමෙහිහිදී සැළකිල්ලට ගනු ලැබෙනුයේ ඔවුන්ගේ රූසපුව නොව අවශේෂ ඉන්දියානුවන්ගෙන් යටත් පිරිසෙයින් 99.9% කටවත් වඩා වැඩි වේගයකින් ගණිත ගැටළු විසඳීමෙහි ලා ඔවුන්ගේ හැකියාවයි.

බහුතරයක් IIM යුවතියෝ සුවඳ විලවුන් ආලේපය,රූප ලාවන්‍ය කටයුතු, සිරුරට කැපෙන ඇඳුම්, ස්පර්ෂක කාච භාවිතයෙන් ඇසෙහි වර්ණය වෙනස් කොට ගැනීම, මුහුණෙහි සහ දෙපාවල රෝම ඉවත්කිරීම සහ ඩිඔඩරන්ට් භාවිතය ආදිය තම බුද්ධි මට්ටමට නොගැලපෙන සිල්ලර කටයුතු ලෙස සැළකූහ. එසේ හෙයින් වියයුතු ලෙසම අනන්‍යා වන් රූබර යුවතියෝ කුමන අහඹුවකින් හෝ මෙහි ඇතුළුවූ සැණෙකින් මේ ටෙස්ටස්ටරොන් සපිරි සහ ඊස්ට්‍රජන් දරිද්‍රතාවයෙන් නිරතුරු පෙලෙනා ආයතනයෙහි සිහින කුමරියන් වන්නෝය.

ස්වාමිනාදන් මෙනෙවිය මේ පසුගිය සතිය තුල ඇගේ මෙතෙක් ජීවිත කාලය තුල ලැබුණාට වඩා අධික ලෙස පිරිමින්ගේ ඇල්ම බැල්මට ලක්වූ බවට මට කිසිදු සැකයක් නොවීය.එසේ හෙයින් ඒ නිරතුරු පිරිමි අවධානයට ලක්වීම හේතුකොටගෙන ඈ තුල අනිවාර්යයෙන් ඇතිවියයුතු මාන්නාධික බවට පිළිතුරක් ලෙස ඇය නොතකා හැරීමට මම තීරණය කළෙමි.

සිසුහු එකා පසුපස එකා ලෙස ස්වයංක්‍රීයව මෙන් ඉදිරියට ඇදුණහ.උකටලී සේවකයෝ කිසිදු හැඟීමකින් තොරව ඔවුනට ආහාර බෙදූයේ තමන් ඉදිරියේ සිටිනුයේ හෙට දිනයේ රට බබලවන වෘත්තීයවේදීන් පිරිසක්ද එසේ නැතහොත් බන්ධනාගාර ගතවූ මං පහරන්නන් පිරිසක්ද යන්න වගේ වගක් නැති අයුරිනි. ඔවුහු මිට දිගු බොකු ගැසුණු ලී හැන්දකින් කහවන් දියරයක් සිසුන්ගේ තැටිවලට කිසිදු උනන්දුවකින් තොරව බෙදූහ. එහෙත් තම අවස්ථාව පැමිණි විට ස්වාමිනාදන් මෙනෙවිය ශාන්තව තමන්ට නියමිත ආහාර සළාකය ලබාගෙන ඉවත්ව යාමට සූදානම් නොවූවාය.

" ඒ රසම් නම් නෙවෙයි.ඒක මොකක් වුනත් රසම් නම් නෙවෙයි කියල මට සහතිකයි. එතකොට..අර..අර ..තියෙන තද කහපාට?..ඒ මොනවද? " ඇය කෑම බෙදන්නා විමසුවාය.

" සම්බාර් " කෑම බෙදන්නා උගුර යටින් ගෙරෙව්වේය. 

සම්බාර් - Google Images

" ඊක්...ඒකෙ පෙනුමනම් අන්තිමයි.කොහොමද ඔයාල එව්ව හැදුවෙ? " අනන්‍යා විමසා සිටියාය.

" ඔහෙට කෑම ඕනද එපාද? " කෑම බෙදන්නාට අවශ්‍ය වූයේ අනන්‍යා හා සමඟ කෑම වට්ටෝරු පිළිබඳව විද්වත් සාකච්ඡාවකට එළඹීම නොව හැකි ඉක්මනින් දිවා ආහාරය බෙදාදී නිදහස්වීම බව ඉතා පැහැදිලිය.

අනන්‍යා තීරණයක් ගැනීමට පෙර කල්පනා කරන්නට වූවාය. ඒ අතර ඇයට පසුපසින් පෝළිමේ හුන් සිසුවෝ දෙදෙන තම තැටි කවුන්ටරය මත ශබ්ද නැඟෙන සේ තැබූයේ එක් විටමය. අහර බෙදන්නා ඔවුන්ගේ සලාකය බෙදූ අනතුරුව ඔවුහු කිසිදු විවේචනයකින් හෝ සමාලෝචනයකින් තොරව ආහාර අනුභවය සඳහා මේසයක් සොයා එතැනින් ඉවත් වූහ. 

ඊළඟ අවස්ථාව මටය. මම අනන්‍යා පසුපසින් සිටගතිමි.මෙතෙක් ඇය දෙස කෙලින් නොබැලූ මම මෙවරද ඇය දෙස බැලූයේ ඇස් කොණිනි. ඇය සැබවින්ම සුන්දරය. IIM ප්‍රමිතියට සහ නිර්ණායකයන්ට අනුව කිසිදු විවාදයකින් තොරවම ඇය රූප සුන්දරී යන කාණ්ඩය යටතේ වර්ග කල හැකි බව මම එකෙණෙහිම තීරණය කළෙමි.

ඇගේ වත සුන්දරවූයේ අදාල සියළු වැදගත් ශරීරාංගෝපාංග එනම් ඇස්, කට, නාසය තොල් සහ කණ් ප්‍රශස්ත ප්‍රමාණයෙන් මෙන්ම ඊට අමතරව එකිනෙකට ප්‍රශස්ත දුරින් ද පිහිටීම හේතුකොටගෙනය. මිනිසුන් හෝ ගැහැණුන් රූමත් වන්නේ එසේ පිහිටීම නිසාමය. එසේය. එනම් සාමාන්‍ය ශරීරාංගෝපාංග නිවැරදි ලෙස පිහිටීම නිසාය. එහෙත් මේ ඉතා සරල කාර්යය ස්වභාව ධර්මයා කොපමණ භයංකාර ලෙස නැවත නැවතත් වරද්දා ගන්නේද?

අනන්‍යාගේ නිල් පැහැ කුඩා තිලකය ඇය හැඳ සිටි අහස් නිලෙන් සහ ශ්වේත වර්ණයෙන් යුතු සල්වාරයට ඉතා හොඳින් ගැලපිණි.ඇය ශ්‍රී දේවීගේ සොහොයුරියක මෙනැයි මට සිතුනේ නිරායාසයෙනි.

මේ අතර කෑම බෙදන්නා කහ පැහැති දියරය බොකුටු හැන්දෙන් දෙකක් මගේ තැටිය මතට දැමීය. 

" මේ සමාවෙන්න ඒත් මම මෙයාට කලින් පෝලිමේ හිටියෙ " අනන්‍යා වහා පැවසූයේ තම විසල් ඇස් යුගලයෙන් කෑම බෙදන්නා දෙස එක එල්ලේ බලමිනි.

" මොනවද ඔහෙට ඕන? " කෑම බෙදන්නා ඇසූයේ ඇය දෙස නොපහන් බැල්මක් හෙලමිනි. " ඔහේ මේ තියෙන්නෙ රසම් නෙවෙයි කියනව.සම්බාර් දැක්කම මූණ ඇඹුල් කර ගන්නව.මම මෙතන සිය දාස් ගාණකට කෑම දීල තියනව හැමදාම.ඒ කවුරුත් ඔහොම කණුකුණු ගෑවෙ නම් නෑ." 

" අන්න හරියටම හරි, ටක්කෙටම හරි, මම හිතන්නෙ ඒකම තමයි මෙතන වෙලා තියන වැරැද්ද. දෙතුන් දෙනෙක් වත් ඉහළට පැමිණිළි කලා නම් ඔහෙගෙ සූප සාස්තරේ ඔයිට වඩා දියුණු වෙන්න තිබ්බ. " අනන්‍යා ද එවැනිම ස්වරයකින් පැවසුවාය. කෑම බෙදන්නාගේ ඉවසීමේ සීමාව ඉක්ම ගියේය. මිටෙන් අඩක් දක්වා සම්බාර් තැවරුණු බොකුටු හැන්ද සම්බාර් බාල්දිය තුලටම අතහල ඔහු දෑත් එසවූයේ දෙවියන්ට යාඥා කිරීමට පරිද්දෙනි.

" හරි ඔහේට පැමිණිළි කරන්ටනෙ ඕන..ගිහිල්ල පැමිණිළි කරනව මැනේජර්ට. දෙයියම්පල්ල දැන් කාලෙ හැදෙන ගෑණු ළමයි නම් ...." කෑම බෙදන්නා මා දෙසට හැරුනේ ඔහුගේ අදහස් ප්‍රකාශනයට මගේ අනුමැතිය පතන්නාක් මෙනි. ඉහලට පහලට සෙමෙන් සෙලවෙමින් ස්වයංක්‍රීයව ඔහුට අනුමැතිය පලකිරීමට සූදානම්වූ වූ මගේ හිස මම ඉන් වළක්වා ස්ථාවරව පවත්වා ගත්තේ බොහෝ අසීරුවෙනි. 

අනන්‍යා ප්‍රථම වරට මා දෙස බැලුවාය. " මේ..ඔයාට මෙව්වා කන්න පුළුවන්ද? " ඇගේ හැකිලුණු දෙබැම එම ඉතා වැදගත් ප්‍රශ්නයට මවෙතින් පිළිතුරක් අත්‍යාවශ්‍ය බව පවසයි. " පොඩ්ඩක් කාල බලන්නකො " ඇය නැවත ද ඉතා ලෙංගතුව ඉල්ලා සිටියාය.

හැන්දට ගත් සම්බාර් ස්වල්පයක් මම මුව තුල බහා ගතිමි. කෑම බෙදන්නා සහ අනන්‍යා යන දෙදෙනාම දෑස් විදහාගෙන බලා සිටිනුයේ මගේ විශේෂඥ තීරණය ලැබෙන තුරුය. මම සෙමෙන් සම්බාර් ස්වල්පය ගිල දැමීමි. " ම්ම්ම්ම්ම්ම්...ලුණු ටිකක් නම් වැඩියි. කොහොමත් තරු පහේ සාම්බාර් එකක් නම් නෙවෙයි. ඒත් වෙන කන්ට දෙයක් නැත්නම් ජීවිතේ රැකගන්ට අවුලක් නැතුව කන්ට පුලුවෙනි. මට නම් දවල් කෑමට මේක අවුලක් නෑ. කොහොමත් මම මේ හොස්ටල් එකේ ගෙවන හතරවෙනි අවුරුද්දනෙ." මම එසේ සිතුවා පමණි.

සම්බාර් ස්වල්පය ගිල දමා හිස ඔසවා බැලූ මා දෙනෙතට ලක්වූයේ යම්තමට ලාරත් පැහැයක් ගත් අනන්‍යාගේ රූමත් මුහුණය. මම ඇය සහ අවම වශයෙන් වයස පණහකට වැඩි මිසක අඩු නොවන කෑම බෙදන්නා සැසඳීමට තැත්කලෙමි. මුහුණෙහි දින කිහිපයකින් නොකැපූ තැනින් තැන සුදු පැහැ ගැන්වුනු රැවුලක් සහිත ඔහුගේ හිසකෙස් අවුල්ය. ඔබට සැකයක් ඇත්නම් සෑමවිටම රූමත් යුවතිය නිවැරදියි. එසේ පැවසූයේ කවුද යන්න කිසිසේත්ම වැදගත් නොවන බව මම තොල මතුරාගතිමි.

" ෂික්, කටේ තියන්ට බෑ ජරාව. …." මම පැවසූයේ මුහුණද ඇඹුල් කර ගනිමිනි. 

" අන්න දැක්කද? බොරුද මම කිව්වෙ? " ඇය කුඩා දැරියකමෙන් මහත් ප්‍රීතියෙන්  සිනාසුණාය. කෑම බෙදන්නා ගිණි පිටවන දෑසින් මා දෙස බලා සිටියේය. 

" ඒ වුනාට..ඒ වුනාට..පුරුදු උනහම ඒ හැටි අවුලක් නැතිවෙයි මම හිතන්නෙ…." ඔහු සිත සැනසීමට මම අසාර්ථක උත්සාහයක නිරත වූයෙමි. පුළුටු කොටගත් මුහුණින් යුතුව කෑම බෙදන්නා මගේ තැටියට බත් කන්දක් බෙදුවේය.

" මේ...ඔයා කැමති වෙන මොනවහරි ගන්න. " මම ඇය ඇමතූයේ අහක බලාගෙනය. අහමදාබාද් ඉන්දීය කළමණාකරන ආයතනයෙහි සෑම සිසුවෙක්ම පසුගිය දින කීපය මුලුල්ලේ ඇය දෙස ඇසිපිය නොහෙලා බලා සිටියේ විදුලි පන්දමක එළියට ගිණිකන වැටුනු සාවුන් රැළක් මෙනි. ඔවුන් පරිදි හැසිරීමට මට කිසිසේත්ම අවශ්‍ය නොවීය.

" මට දෙන්න අර රස්ගුල්ලා." එම අතුරුපස ගොඩ ගසා තිබූ පැතලි තැටිය දෙසට ඇය ඉඟි කලාය. 

රස්ගුල්ලා - Google Images

" එහෙම කොහොමද? අතුරුපස දෙන්නෙ කෑමෙන් පස්සෙ " කෑම බෙදන්නා ඒ හා සමඟම පැවසීය.

" මේ...ඔහේ කවුරු කියලද හිතාගෙන ඉන්නෙ? මගෙ අම්ම කියලද? මම කාල ඉවරයි...මට දෙනවා කරුණා කරල අර රස්ගුල්ලා දෙකක්." ඇය පැවසූයේ උච්ච ස්වරයෙනි. 

" එක්කෙනාට එකයි දෙන්නෙ. ඊට වැඩිය බෑ" එක් රස්ගුල්ලාවක් දැමූ කුඩා ඇළුමිනියම් කෝප්පයක් ඇගේ තැටිය මත තබා ඔහු ආපසු හැරුනේය.

" පුදුම වැඩක්නෙ මේක. කටේ තියන්ට බැරි සම්බාර් ඕන හැටිය දෙනවා. ඒත් යම්තම් එක විදිහකට තියෙන අපුලක් නැතුව කන්ට පුලුවන්ය කියල පේන්ට තියන එව්ව එකයි දෙන්නෙ. " ඇය හිස දෙපසට සොලවමින් පැවසුවාය. අපට පසුපස පෝලිම ක්‍රමයෙන් දිගු වන්නට විය. එහෙත් පෝළිමේ උන්නෝ ඒ ගැන කිසිදු තැකීමක් නොකළහ. ආයතනයෙහි රූමත්ම සිසුවිය දෙස කටවල් විවර කොටගෙන බලා සිටින්නට ඔවුනට මහඟු අවස්ථාවක් ලැබී ඇත.

" මගේ රස්ගුල්ලා එක එයාට දෙන්න " මම එක්වරම පැවසුවෙමි. එහෙත් ඒ සමඟම මම ඒ මහඟු පරිත්‍යාගය පිළිබඳව පසුතැවිලි වූයෙමි. "අනේ මෝඩයා, ඒ අපූරු ගෑණු ළමයා කවදාවත් ඔයා එක්ක යාලුවෙන එකක් නෑ. ඔහේ ඔහෙගෙ රස්ගුල්ලා එක නිරපරාදෙ නැතිකරගත්තු එක විතරයි ඔන්න වුනේ. බලනවකො මම කියන්නෙ බොරුද කියල?" මම මටම දොස් පවරා ගතිමි.

" මට එහෙම කරන්න බෑ..ඔයාගෙ එක මම දෙන්නෙ ඔයාට " කෑම බෙදන්නා ශාන්ත ලෙස එසේ පවසමින් රස්ගුල්ලාව මගේ තැටිය මත තැබුවේය.

රස්ගුල්ලාව බහාලූ කුඩා භාජනය මම ඇගේ තැටිය මත තැබුවෙමි. ඒ හා සමඟම ඇය කෑම බෙදන කවුන්ටරය අසලින් ඉවත්ව වටපිට නෙත් යොමු කරන්නට වූයේ හිඳ ගැනීමට සුදුසු ස්ථානයක් සොයමිනි. " ඔන්න ඉතින් හරිනෙ මෝඩයා,අන්න ඒ රැවැති ළඳ උඹේ රස්ගුල්ලා එකත් අරගෙන යන්නයි ලැහැත්ති වෙන්නෙ.දැන් සනීපයිනෙ. ඉතින් මුල්ලක් අල්ලගෙන කාපං උඹේ සාම්බාරුව " මම තොල් මතුරාගතිමි.

ඇය මදෙස හැරුණාය. ඈ හා සමඟ ආහාර ගැනීමට පැමිණෙන ලෙස ඇය මට ආරාධනා නොකල නමුදු එසේ කිරීමට ඇය තුල අකමැත්තක් නැතිබව ඇගේ ඉරියව් කියා පෑවේය. හිස් මේසයක් අසල නැවතුනු ඇය ඇඟිල්ලක් දිගුකොට එය මට පෙන්වා එහි හිඳගත්තාය. ඇය ඉදිරිපස අසුනේ මම ද හිඳ ගතිමි.

ශාලාව පුරා හිඳ ආහාර ගන්නා සියල්ලන්ගේ ඇස් යොමුවී තිබුණේ අප දෙසටය. ඈ වන් සුර දූතියක හා සමඟ එකට හිඳ ආහාර ගැනීමට පමණ මගේ තිබෙන විශේෂය කුමක්ද යන්න ඔවුනට විසඳා ගත නොහෙන ගැටළුවක් බව ඔවුන්ගේ විපිළිසර දෑස් පැවසීය. "යකුනේ මම ඈ වෙනුවෙන් මහ විසාල පරිත්‍යාගයක් කලා. මගෙ රස්ගුල්ලාව මම ඇයට දුන්නා." එසේ ඔවුන් අමතා කෑගැසීමට මට අවශ්ය විය.

" මම ක්‍රිෂ්....." සම්බාර් බඳුන හැන්දෙන් කාල්ගාමින් මම පැවසුවෙමි. 

" මගෙ නම අනන්‍යා.. ඊක්... වස අප්පිරියයි නේද? "  සාම්බාර් මිශ්‍ර බත් සවල්පයක් මුව තුල බහා සපන්නට වූ මගේ ඇඹුල්වූ මුහුණ දුටු ඇය යටිතොල පෙරලා විමසුවාය. 

" මට හොස්ටල් කෑම පුරුදුයි.කෑම මීටත් වඩා සවුත්තු වෙන දවස් අනන්ත තියෙනව. " මම උරහිස් හැකුළුවෙමි.

" හිහ්..මීටත් වඩා නරක කෑම? මට නම් එහෙම දෙයක් හිතාගන්නත් අමාරුයි" 

සැර අමු මිරිස් කරලක් සැපීම නිසා මට කැස්සක් ඇතිවිය. ඇගේ වැලමිට අසල තිබූ වතුර ජෝගුව අතට ගත් අනන්‍යා වහා ඉදිරියට නැමී මගේ වීදුරුවට වතුර පිරවූවාය. දෙසියයකගෙ මුවින් එකවර නැඟුනු සූ හඬක් ශාලාව පුරා විහිද ගියේය. අප දෙදෙන ඔවුන් සියල්ලන්ගේම අද දවසේ අවධානයෙහි නාභි ලක්ෂ්‍යය වී ඇති බව නිසැකය.

අතුරුපස ඇය කටට දෙකට අවසාන කලාය." මට තාම බඩගිනියි. මම උදේට කාලත් නැතුව මේ ඉන්නෙ." 

" එක්කෝ මේ මෙලෝ රහක් නැති කෑමට පුරුදු වෙන්ට වෙනව. නැත්නම් බඩගින්නෙ ඉන්ට වෙනව. හොස්ටල් ජීවිතේදි ඉතින් ඔය දෙකෙන් තමන්ට ලේසි මොකක්ද කියල කලින්ම තීරණය කරගන්ට වෙනව.එහෙම කලාම තමන්ටම ලේසියි " මම දර්ශනවාදී අදහසක් ඉදිරිපත් කළෙමි. 

" මේ මොකද කියන්නෙ? එනවද මා එක්ක ටවුමට ගිහිල්ල මොනව හරි කන්ට? මෙහෙ ඇතිනෙ නේද හොඳ මට්ටමක රෙස්ටුරන්ට් ? මං කියන්නෙ මේ අඩුගනනෙ එකක් දෙකක්වත්? "ඇය මා දෙස බලා සිනහසුනාය.

" මේ.... දැං? " හරියටම පැයකින් පංතියක් ඇරඹීමට නියමිත බැවින් මම එසේ ඇසුවද ආයතනයෙහි ඉගෙනුම ලබන සොඳුරුතම යුවතිය තමා හා සමඟ නගරයට යාමට මට ආරාධනා කොට ඇති විට එය ප්‍රතික්ෂේප කරන්නේ කෙලෙසද? ඇය ආරාධනා කලේ ඇගේ කුසගින්න නිවාගැන්ම උදෙසා බව සැබෑවක් වුවද මම ඒ අමතක කළෙමි. 

" ඔව් දැන් තමයි ….ඒ පංතියට නොගියයි කියල ඒ හැටි පාඩුවක් වෙන්නෙ නෑ " පුටුව පසුපසට කොට නැඟිටිමින් ඇය පැවසුවාය. මම ලහි ලහියේ තවත් තවත් බත් හැඳි දෙකක් ගිල දැමීමි.

" ඔය කෙහෙල්මල ඔහොම තියල එනව හලෝ " ඇය කකුලක් පොළවේ ගැසුවාද යන්න මට හරිහැටි කිව නොහැකිමුත් බොහෝවිට එසේ කරන්නට ඇත.

මුහුණු දෙසියයක පිහිටි ඇස් හාරසියයක් මම අනන්‍යා ස්වාමිනාදන් මෙනෙවිය එනම් සියළු සිසුන්ගේ ඒකමතිකත්වයෙන් ආයතනයෙහි සොඳුරුම යුවතිය ලෙස තෝරාගැනුනු සුන්දරිය සමඟ භෝජන ශාලාවෙන් පිටවයන අන්දම විශ්මයපත්ව බලා සිටියහ.

******************************

2 States : The Story Of My Marriage By Chetan Bhagat...මේ පොතේ සිංහල පරිවර්තනයක් තියනවද කියල නම් දන්නෙ නෑ. සමහරවිට ඇති මොකද භගට්ගෙ පොත් බොහොම ජනප්‍රියයි. සිංහල පරිවර්තනයක් තියනව උනත් කමක් නෑ කියල හිතලයි මේක ලිව්වෙ.

චේටන් භගට් ගැන පොඩි පඳුරු තැලිල්ලකුත් නම් තියනව. ඒක ලබන පාර හොඳද? 

101 comments:

  1. මේ වගේ කෙනෙක් බැඳගත්තොත් සාම්බාර්ම තමයි කීමට සිතුනත් නිගමනයකට ඒමට පොත හොයාගන කියවන්න තමයි මගේ තීරණය.

    ReplyDelete
    Replies
    1. ඉයන් චැපල්,

      මොන පිස්සුද බං? ඔය වගෙ කොයි වෙලෙත් වලියට බර කෙල්ලො තමයි බැඳගන්ට ඕන. ඔය කියන කියන හැම එකටම හා..හූ..කියල ඔලුව පාත් කරගෙන ඉන්න බබලත්තු මට පෙන්නන්ට බෑ. අනික කෙල්ලෙක් උනහම අහංකාර සහ ආඩම්බර වෙන්නත් ඕන ගාණකට. ඒකට කියන්නෙ ආත්ම විශ්වාසය කියල....:)

      පලි - ඉයන් චැපල් කිව්වට කමක් නෑනෙ නේද? ඒ කාලෙක මගෙ වීරවරයෙක්..:)

      Delete
    2. දැන් කාලේ කැඩිච්ච දත්, හක්ක වගේ දේවල් ලේසියෙන් රිප්ලේස් කරන්න පුළුවන් තරමට ප්ලාස්ටික් සැත්කම් දියුණු වෙලා තියෙන එකේ එක්කො ගාණක් නැහැ තමයි.

      මේ නිකම්ම නිකම් ඉයන් කෙනෙකුට ඔච්චර ලෝක ප්‍රසිද්ධ නමක් කිව්වට කමක් නැද්ද කියල චැපල් මහත්තයගෙන් තමයි අහන්න ඕන හික්ස්

      Delete
  2. හප්පේ අසෝක මදිවට ඒ ගමන ඉන්දියන් කෙල්ලෙකුටත් ලයින් පාර දාන්න හදන්නෙ.

    කතාවනං නියමයි.

    ReplyDelete
    Replies
    1. ප්‍රසන්න,

      හෙහ්..හැපි බර්ත් ඩේ හොඳද?

      ස්තූතියි මල්ලි...:)

      Delete
  3. අනේ ලබන පාරත් මේ පොතේ ට්‍රාන්ස්ලේශන් එකක් දාන්නකෝ. ඊගාව පාරත්? ප්ලීස්!!! මේක මාරම ලස්සනට ලියලා....

    ReplyDelete
    Replies
    1. බෂ්,

      අඩේ බං මේකෙ පරිවර්තනයක් තියනවලුනෙ. දිලීප ගොයිය මගෙ ඇඟට ගොඩවෙයිද මන්දා....:(

      Delete
    2. Bash,

      Forgot to say thank you so much..:)

      Delete
    3. එහෙම ගොඩ වෙන්න හේතුවක් නෑ. දැන් එක පොත කිහිප දෙනෙක් පරිවර්තනය කරනවා. අවසර ඇතිව.

      Delete
  4. මේකෙන් ෆිල්ම් එකකුත් හැදුවා.. http://www.imdb.com/title/tt2372678/

    ReplyDelete
    Replies
    1. ඇනෝ,

      ඔව් ඒ ෆිල්ම් එකේ කොටස් කීපයක් මම බලල තියනව. මට මතක විදිහට වැඩි කාලයක් නෑ ගිය අවුරුද්දෙ වගෙ රිලීස් වුනේ.

      Delete
  5. පට්ටයි.. ඩුඩ් පරාදයි.. අපරාදේ මේ ගොං තඩියා මේක ටිකක් විතරක් කරල තියෙන්නේ..

    ReplyDelete
    Replies
    1. දේශක,

      තෝ හොඳ කියන්නෙත් ඉස්සෙල්ල ගොං තඩියා කියලනෙ...හෙහ්,හෙහ්,

      ස්තූතියි දේශක...:)

      Delete
  6. අයියේ. මේකනම් මාරයි. චේතන් භගත්ගේ පොත් සිංහලට පරිවර්තනය කරලා තිබ්බේ දිලීප ජයකොඩි. කියවන්න ආසාවෙන් ඉන්නවා වුනත් තාම එකක්වත් කියවන්න බැරි වුනා. මේකත් පරිවර්තනය කරලා තියෙනවද දන්නෙ නෑ. ඒත් තිබුණත් මොකෝ, මේකනම් ඇත්තටම පුදුම ලස්සනයි අයියේ.

    මේ තියෙන්නෙ මම ආසම තැන: "ඔන්න ඉතින් හරිනෙ මෝඩයා,අන්න ඒ රුවැති ළඳ උඹේ රස්ගුල්ලා එකත් අරගෙන යන්නයි ලැහැත්ති වෙන්නෙ.දැන් සනීපයිනෙ. ඉතින් මුල්ලක් අල්ලගෙන කාපං උඹේ සාම්බාරුව" :D

    ReplyDelete
    Replies
    1. ස්තූතියි සිත්තමී,

      හෙහ්,හෙහ්, ඔය ඔයා කියන කොටස පොතේ තියෙන්නෙ මෙහෙමයි.

      Ok buddy, pretty girl goes her way, rasgulla-less loser goes another.Find a corner to sit, I said to myself

      Delete
  7. මොන මගුලක් ද මන්දා - දිලීප ජයකොඩි

    ReplyDelete
    Replies
    1. Waruna,

      ඒකනෙ... පරිවර්තනයක් තියෙනව නේද?...:)

      Delete
  8. ආයේ මොකටද කාගෙවත් හාල්පාරු පරිවර්තන.. අනිත් ඔක්කොම අතැරල ලියාන් අය්යේ මේක එක දිගට.. පට්ට එකෙත් හොඳ එක..
    //නිරතුරු පිරිමි අවධානයට ලක්වීම හේතුකොටගෙන ඈ තුල අනිවාර්යයෙන් ඇතිවියයුතු මාන්නාධික බවට පිළිතුරක් ලෙස ඇය නොතකා හැරීමට මම තීරණය කළෙමි.// මාත් ගොඩක් වෙලාවට ඔය වගේ දැරිවියෝ දැක්කම ඔය විදියටම හිතනවා.. අන්තිමට හිතල හිතල වැඩිවෙලාම මාට්ටුත් වෙලා තමයි නතර වෙන්නේ.. හැක හැක.. රස්ගුල්ලා එකෙන් ගොඩ ගියාම මදැයි. සෙමෙස්ටර් එකේ එක්සෑම් එකටත් කෙලොගෙන එහෙම නතර වෙනවා නෙවෙයි..
    //" ඔන්න ඉතින් හරිනෙ මෝඩයා,අන්න ඒ රැවැති ළඳ උඹේ රස්ගුල්ලා එකත් අරගෙන යන්නයි ලැහැත්ති වෙන්නෙ.දැන් සනීපයිනෙ. ඉතින් මුල්ලක් අල්ලගෙන කාපං උඹේ සාම්බාරුව " // හැබැවටම ඔය වගේ උගුඩු ගති තියෙන කෙල්ලොත් ඉන්නවා හරියට අපි උන්ට ඒ වගේ උදව් කරන්න බැඳිලා ඉන්නවා වගේ කියල හිතන් ඉන්න.. ඒ අතින් අනනයා එළ කෙල්ල.. ඔහොම යන් ඔහොම යන්..

    ReplyDelete
    Replies
    1. කළ්‍යාණ,

       / හැබැවටම ඔය වගේ උගුඩු ගති තියෙන කෙල්ලොත් ඉන්නවා හරියට../

      මොන එකක්ද මන්දා එහෙම කෙල්ලන්ට මගෙ හිත යනවනෙ බං..හෙහ්,හෙහ්..අපි පුංචිම කාලෙ වංසක්කාර පවුලක කෙල්ලෙක් අපි එක්ක සෙල්ලං කරන්ට ආව. පොඩ්ඩ ඇත්තං මල පනිනව. එවුංට අලි හිටිය දෙන්නෙක්. තද වුන ගමන් කියන්නෙ අලිය ලව්ව පාගවනව කියල. ඒත් ඔය තේරුමක් ඇතුව කියපු එක්ක නෙවෙයි. ඔය ලොකු මිනිස්සු කියනව ඇහිල වෙන්ට ඇති. ඒ තමයි මගේ ප්‍රතම පේමය...:)

      Delete
    2. //අලිය ලව්ව පාගවනව// හැක හැක .. ඉතින් බෝ ට්‍රයි කරා හෙන්ඩුවෙන් ඇනල අලියව මෙල්ල කර ගන්න නෙහ්.. උඹ තමයි රවී අයියේ දවසකටවත් මිනිහ.. හැක හැක හැක..

      Delete
    3. අලිය ලවා පාගවල මරණවයි කිව්වහම ප්‍රතම ප්‍රේමය. ඊට පස්සෙ ඒව ඇති වුනේ කොහොමද? වස, උල, දං ගෙඩිය ( ෂුවර් එකටම දං ගෙඩියක් නිසා නම් වෙලා ඇති ) තොණ්ඩුව, ෆයරින් ස්කොඩ්, කීල්හෝලින්, බෙරීයල් ඇට් සී? රවිගේ ඔය s & m ලෝලීත්වය ගැනත් ලියවෙයි නේ?

      Delete
    4. ප්‍රා,

      පරපීඩක නම් නෑ ස්වපීඩක පොඩ්ඩක් විතර තියනව. ඒකත් ඇත්තම කිව්වොත් ශාරීරිකව නෙවෙයි මානසිකව...හෙහ්,හෙහ්,

      Delete
  9. හි හි මට මගේ අතීතය මතක් උනා. හැබැහින්ම මටත් උනා ඔයි වගේම සිදිදියක්. හැබැයි ලන්කාවෙ ගෑනු ලමයෙක් එක්ක.

    මගේ බොඅඩින් යාලුවො දෙන්න වැඩේ හුචස් කොලානෙ. පස්සෙ ලියන්නම්කො ලිපියක්ම.

    ReplyDelete
    Replies
    1. තෙලිදිය,

      / හැබැහින්ම මටත් උනා ඔයි වගේම සිදිදියක්. හැබැයි ලන්කාවෙ ගෑනු ලමයෙක් එක්ක. /

      ලංකාවෙ ඉතිං බං රස්ගුල්ලා නෑනෙ. උඹේ මොනවද ඒ කෙල්ල අරගෙන මාරුවුනේ? අග්ගලයක්ද නො එසේනම් මුංගුලියක්ද?

      Delete
    2. නෑ බං ඇහුවොත් හිනා කාල පණයනව
      න්‍යාස සහ කුලක පාඩමක්.

      වැඩි අලාභයක් නෑ. ඒත් බං, ඒකි මට අරංදීපු බීම බෝතලේට බං යාපුවෙ දෙන්න කෙළියනේ.....

      Delete
  10. සිංහල පරිවර්තනයක් තියෙනවා බං."මොන මඟුලක්ද මන්දා"පරිවර්තක දිලීප ජයකොඩි.පොත මේ දැනුත් මගෙ ළඟ තියෙනවා.මේ උඹේ පරිවර්තනයයි පොතේ ඒ පරිච්ඡේදෙයි දෙක සංසන්දනය කරල බලන්නං.පොත හොයාගන්න කොච්චර වෙලා යාවිද මන්දා.ආ ඔය පොතෙන් ෆිල්ම් එකකුත් හැදුව බං.ඒකෙ නමත් ටූ ස්ටේටස්.ඒකත් දවසක් අහම්බෙන් වගේ ටී වී එකේ බැලුවා.කෙල්ල තමිල්නාඩු දෙමළ කොල්ල උත්තර ප්‍රදේශ් ද කොහෙද අන්තිමට දෙන්න බැන්ද.

    ReplyDelete
    Replies
    1. හැලප,

      අඩේ ඒකනෙ බන්..පරිවර්තනයක් තියනවලු නේද? හලෝ හලෝ ද මොකක්ද කියල භගට්ගෙ One night @ the call center පොතේ පරිවර්තනයක් තියනවයි කියල නම් මම දන්නව. මේකෙ පරිවර්තනයක් ගැන මම දැනගෙන හිටියෙ නෑ.

      ෆිල්ම් එකේ කෑලි දෙක තුනක් නම් මමත් බැලුව. අර්ජුන් කපූර් සහ ආලියා භාට් ඉන්නෙ ක්‍රිෂ් සහ අනන්‍යා චරිත වලට. ක්‍රිෂ් පන්ජාබ්. ඒත් පදින්චිය දිල්ලියෙ. අනන්‍යා චෙන්නායි. දෙමළ බ්‍රාහ්මණ කුලයෙ.

      ඔය ෆිල්ම් එකේ ක්‍රිෂ්ගෙ අම්මට ඉන්නෙ අම්රීතා .. මේ ලඟදි කරීනා කපූර් බැන්දෙ සයීෆ් අලී ඛාන්..ඒ සයීෆ් කලින් බැඳල හිටියෙ අම්රීතා. සයීෆ් ගෙ තාත්ත 1975 වගෙ ඉන්ඩියන් ක්‍රිකට් කැප්ටන් හිටිය මතකද මන්සූර් අලි ඛාන් පතවුදි කියල..අන්න පොර. සයීෆ් ගෙ අම්ම ෂර්මිලා තාගෝර්..ආරධනා ෆිල්ම් එකේ එහෙම හිටියෙ රාජේෂ් ඛන්නා එක්ක.

      Delete
    2. සායිෆ් ට වයස විසි එකේදී අම්රිතාව බැන්දේ.. එතකොට අම්රිතාට හරියටම 42යි.. :) ලස්සන ළමයි දෙන්නෙක් ද කොහෙදත් හිටියා ජෝඩුවට.. පස්සේ 'මොකක් හරි අඩු වෙලා' වෙන්නැති කරීනා ව බැන්දේ.. අපිත් ගොසිප් දන්නවා හරිය..

      Delete
    3. මොකක්ද බං අම්රිතාගෙ අඩු උනේ?අර අරකා කිවහේ 85%ක් ලැබුනා 15% ලැබුනෙ නැති නිසා ඒ 15% හොයාගන්න අම්රිතාව අතඇරල දාල කරීනව බැන්දද.උඹ ඔච්චර ගොසිප් ඉස්ටාර් ඒ ටිකත් නොදන්න අපිට කියල දීපංකො.

      Delete
    4. රවී,
      නෑ බං භගට්ගෙ දැනට පිටවෙච්ච පොත් ඔක්කොම සිංහලට පරිවර්තනය වෙලා තියෙනවා.හලෝ හලෝ ඇරෙන්න අනික් ටික මම ගත්තා.ඒ පොත හොයාගන්න ලැබුනෙ නෑ.

      Delete
    5. කළ්‍යාණ,

      / සායිෆ් ට වයස විසි එකේදී අම්රිතාව බැන්දේ.. එතකොට අම්රිතාට හරියටම 42යි.. /

      බඳිනකොට සයීෆ්ගෙ වයස හරි 21 යි. ඒත් අම්රීතාට එතකොට 42 නෙවෙයි මලේ 33.

      Delete
    6. ගත්තට වැඩක් ඇතැ බලනව අර පුස්තකාලෙට ඔබනව පොතක් ගන්ඩ සල්ලි නැති අපිට බලන්ඩ දෙනව කියල යැ

      Delete
    7. //උඹ ඔච්චර ගොසිප් ඉස්ටාර් ඒ ටිකත් නොදන්න අපිට කියල දීපංකො.// ඒත් අම්රීතාට එතකොට 42 නෙවෙයි මලේ 33.// හි හි.. අනේ බුදු අයියලා.. මං ඇත්තම කියන්නම්.. මං දන්න ගොසිපක් නෑ බං.. මේ ලින්ක් එක යැව්වා බලාපිය කියල ගෑල්ලමේකුට.. අන්න උන්ද කියාපු කතාවක් තමයි මං ඔය කියුවේ.. ආයිනම් ඔහොම උගුල් වල අහුවෙන්නේ නෑ මේ සම්මජ්ජතියේ.. හිටං..

      Delete
    8. කළ්‍යාණ,

      / මේ ලින්ක් එක යැව්වා බලාපිය කියල ගෑල්ලමේකුට.. අන්න උන්ද කියාපු කතාවක් තමයි මං ඔය කියුවේ.. ආයිනම් ඔහොම උගුල් වල අහුවෙන්නේ නෑ මේ සම්මජ්ජතියේ.. හිටං../

      සික් මොනවද බන් ලැජ්ජ නැද්ද? උඹ නේවි එකේ ඔන්න ඇඩ්මිරල් මෙන්න ඇඩ්මිරල් හිටපු බුවෙක් නේද? ඔහොමද බන් උඹ යටතෙ ඉන්න සිවිල් සේවිකාවො උඹ ආඥාවක් නිකුත් කලම ඒකට ගරු කරන්නෙ?...ඔහොමද උඹට සළකන්නෙ? මම එහෙමනම් කෝටු මස් කරලයි පස්ස බලන්නෙ..දෙයියම්පල්ල.

      මම කියන්නද දීපන් මතක හිටින්ඩ පනිෂ්මන්ට් එකක්.දඩ ගහපන් සේෆ්ට් ප්‍රොසීඩියර්ස් පිළිපැද්දෙ නෑ කියල.වැරැද්දක් හොයාගනින් මොකක් හරි..හරි මෙහෙම කරමු. ආරක්ෂිත යට ඇඳුම් ඇඳල හිටියෙ නෑ කියල චාජ් ෂීට් එකක් දීපන්. උදේට එව්ව ඇඳල ඉන්නවද කියල චෙක් කරන රාජකාරිය මල්ලි උඹම බාරගනින්. හෙහ්..කොහොමද මගෙ අයිඩියාස් එක? වෙරි වෙරි ජීනියස් නේ?

      Delete
    9. ජීනියස් වැඩි කමට වෙරි වෙනවා.. අම්මප..
      //මම එහෙමනම් කෝටු මස් කරලයි පස්ස බලන්නෙ.// මමනම් වැඩිය කැමති කෝටු මස් නොකර පස්ස බලන්න.. හැක හැක හැක..

      Delete
  11. මචං, මම මේක බලන්න ගත්තේ එච්චර කැමැත්තකින් ප්‍රියතාවයකින් නෙවෙයි. නමුත් උඹ දීල තියෙනවා ගේමක් ඇට්ටි හැලෙන්න. මේකෙ මෙන්න මේ කෑල්ල තමයි මම ආසම කියලා කෑල්ලක් උපුටලා දාන්න හැදුවට එහෙම කලොත් උඹේ කතාවම මෙතන දාන්න වෙනවා. පට්ටෙනුත් පට්ට හොඳම එක මචෝ. කීපිට්යැ.

    ReplyDelete
    Replies
    1. හෙන්රි,

      අප්පට සිරිගජ නැන්දට කජු මද කිව්වලු..හෙහ්.. කුමාර් සංගක්කාර " පුතා උඹේ බැටිං නියමයි " කිව්වහම අවුරුදු දාහතරක විතර පොඩි එහෙකුට දැනන ආතල් එකක් මට දැනෙන්නෙ බොලේ...දෙයියම්පල්ල.. Thanks Dude…:)

      Delete
    2. සුට්ටක් විතර කතාව වෙනස් වෙන්නොනේ මයේ හිතේ.. කොහොමද කුමාර් සංගක්කාර අවුරුදු හැටක විතර අන්කල් කෙනෙක් බැට් කරන දිහා බලන් ඉඳල 'ෂාහ්! අංකල්ට කිසි ගේමක් නැතුව ටෙස්ට් ටීම් එකට ගහන්න පුළුවන්" කියල රෙකමදාරුවක් දුන්නොත් අන්කල් ට එන කික් එක..

      Delete
    3. කළ්‍යාණ,

      උදාහරණෙ අවුලක් නෑ. එකම ප්‍රශ්නෙ මෙතන සන්ගක්කාරගෙ පාට් එක කරන්නෙ අපේ ගරු කටයුතු මිස්ටර් හෙන්රීස් තුමා. He is not a spring chicken exactly…:)

      Delete
  12. දෙවන කොටස ලියන්න වහාම

    ReplyDelete
    Replies
    1. අජිත්,

      හරි..හරි..බොස්...:)

      Delete
    2. මචන් මෙහෙම ලියන එකේ හොඳම තැන තමා ඒක . අපට ඉවසිල්ලක් නැහැ ඊළඟ කෑල්ල දානකන්. සස්පෙන්ස් මයි ඩියර් වොට්සන් සස්පෙන්ස් .

      Delete
  13. hari dan sathiye kawadaa kawadada meka balanna api meheta enta oni?

    ReplyDelete
    Replies
    1. නිශ්,

      කුකුළ වී පැදුරට එන්නැහෙ හැමදාම ඇවිල්ල බලාපන්...:)

      Delete
  14. Replies
    1. ඉකොනො,

      ස්තූතියි.......:)

      Delete
  15. චේතන් ගේ A night at the Call Centre නම් මම කියවලා තියෙනවා. ඒක නම් ඒ තරම් රස නැහැ- මටනම්. මේක කියවලා නැහැ, ඔබතුමාගේ ලියවිල්ල නිසා මේකත් හොයාගෙන කියවන්න හිතුනා. ස්තූතියි!

    PS අනන්‍යා කියලා පුංචි කෙල්ලෙකුට මෙහේ ඉන්න ඇට්ටර කොල්ලෝ 'an onion' කියලා විහිලු කරලා ඒකි අඬනවා කියලා primary school news source එකකින් ආරංචි වුණා :D

    ReplyDelete
    Replies
    1. Malithi,

      So what did you tell your source? " But I assume you didn’t join doing that and please remember it's bad manners"…some thing similar..eh? :)

      Delete
    2. Ha ha.. quite the opposite, I burst out laughing saying 'hey, that is clever!' and got told off- "it is BAD to call people names, didn't you know?" :P

      Delete
    3. Malithi,

      Serves you right for being so uncouth..heh,heh,

      Give the source a high five from me for being so considerate & caring …:)

      Delete
  16. අනේ රවිතුමෝ පිස්සු කෙලින්නේ නැතුව එක දිගට මේක ලියල දාන්න කෝ.. මැදින් ඇඩ් දාන්නේ නැතුව.. මේ ලියල තියෙන විදියට එක හුස්මට කියවන්න හිතෙනවා. මැදින් කැඩුවොත් වැඩක් නෑ..

    ReplyDelete
    Replies
    1. පැතුම්,

      හරි, හරි මල්ලි මොනවහරි කරමුකො බලන්න...:)

      Delete
  17. macha pdf kallak wath nadda :)
    elata liyala adath :::::)))))
    uba wenada liyana katha vidiyatama pariwarthanaya karala

    ReplyDelete
    Replies
    1. Ano,

      නැහැනෙ මම හිතන්නෙ නෙට් එකේ දාල නෑ තවම පොත...ස්තූතියි ඔබටත්,

      Delete
  18. සුපිරියි පරිවර්ථනය..... සියලු අවස්ථාවන්හි රුපක මවා ගනිමින් කතාව කියෙව්වේ.

    ReplyDelete
    Replies
    1. Naleen,

      බොහොම ස්තූතියි නලීන්..:)

      Delete
  19. මේක මම බලපු හොඳම පොත් වලින් එකක්. චේතන් භාගත් බොහොම ලස්සනට අද කාලයට ගැලපෙන්න ලියන්න දන්න කතුවරයෙක්. ඔහුගේ විශේෂත්වය තමයි Technical Terms කතාවේ තියෙන එක. මෙයට අමතරව 3 Mistakes of My life(ක්‍රිකට් පිස්සෝ තුන් දෙනෙකුගේ කතාවක් - මට ඒ ගැන කිව්වේ හිරු), 3 Idiots, Night in the Call Centre තවත් පොත්. කරුමෙට මේ දවස් වල කියවලා පැත්තකට දාපු(මගින්) පොතේ නම මතක නැති එක.

    ReplyDelete
    Replies
    1. සුදීක,

      3 Idiots කියල භගට්ගෙ කතාවක් නෑ නේද? ඔහුගේ මුල්ම පොත Five point someone ආශ්‍රයෙනුයි 3 Idiots චිත්‍රපටයෙ කතාව ලියවුනේ කියල මම කොහෙ හරි කියෙව්ව මතකයි.

      Delete
    2. ඒක හරි... චේතන් මුලින්ම මාධ්‍ය සාකච්ඡා තියල තමන්ගේ පොතෙන් හොරකං කරාය කියල හෙන සද්දයක් දැම්මා. අන්තිමේ නිෂ්පාකයා එයාගේ ඇග්‍රිමන්ට් එක මාධ්‍යයට දුන්නා. අන්තිමේ චේතන් හොද ප්‍රසිද්ධියක් එක්ක පොත් ටික ගොඩ දාගත්තා. ඔන්න ඕකයි උනේ..

      Delete
    3. හරියට හරි. මේ දවස් වල කියවා කියවා ඉන්න පොතත් ඒකම තමයි.

      Delete
  20. මේ පෝස්ට් එක දාපු දවසේ ඉඳලම ලින්ක් එක ඕපන් කරගෙන හිටියට ටොපික් එක දැක්කට පස්සේ කියවන්න කම්මැලි කමක් හිතට ඇවිත් තිබ්බා...
    ඊයේ රාත්‍රියේ නිකමට වගේ කියෙව්වමනේ දැක්කේ සතා මොකාද කියලා.
    පට්ටයි ලොක්කා වැඩේ. නරකද ඔය වගේ පොතක් දෙකක් පරිවර්තනය කරලා දැම්මොත් එහෙම.

    මම මේ පොතේ දැනට තියෙන පරිවර්තනය කියවලා නැහැ.
    නමුත් රවී අයියගේ පරිවර්තනය රසවත්ව කෙරිලා තියෙන බව තමයි මට හිතෙන්නේ...
    ජය වේවා...!

    ReplyDelete
    Replies
    1. Lokka,

      / මේ පෝස්ට් එක දාපු දවසේ ඉඳලම ලින්ක් එක ඕපන් කරගෙන හිටියට…/

      දාපු දවසෙ කියන්නෙ බොල ඊයෙ දවල්නෙ මේක දැම්මෙ...:)

      / නරකද ඔය වගේ පොතක් දෙකක් පරිවර්තනය කරලා දැම්මොත් එහෙම. /

      පොතක් දෙකක් පරිවර්තනය කරන්ට නේද? එහෙම කල්පනාවකුත් නම් නැත්තෙම නෑ..බලමුකො..නේ?

      Thanks Lokka…:)

      Delete
  21. වැඩේ වැරදියි නමුත් ඩවුන් ලෝඩ් කරගන්න පුළුවන් මෙතන;
    http://acetrim.ca/wp-content/uploads/2014/10/00388749.pdf

    ReplyDelete
    Replies
    1. අජිත්,

      අහවල් වැරැද්දක්ද? දැන් කැමති කෙනෙකුට බැලුවැහැකිනෙ...:)

      Delete
    2. ඒ වුනාට පරිවර්තනය ටිකක හිතට ලඟයි වගේ. මම පරිවර්තනය දානකන් ඉන්න තීරණය කලා.

      Delete
    3. මාත් එහෙමයි. පොත හොයාගත්තට කියවන්න කම්මැලියි.. එච්චර ඉංගිරිස්ත් බෑ.. රවියේ අපිව ගොඩ දාහං.. හැක්

      Delete
  22. රවි

    පොතක් ලියනවානම් පරිවර්ථනයක් කරන්නේ නැතුව ඔයාගේ කථාවයි තව අහල තියෙන කථා එහෙම දාල ස්වතන්ත්‍ර නිර්මාණයක්ම කරන්න. හැබැයි එක කොටසින්ම ඉවර කරන්න. නැත්නම් අර අසෝකගෙ එපිසෝඩ් එක වගේ පළවෙනි එකේ පටන් ගන්න කථාව පොතේ පස් වෙනි කොටසෙන් බලන්න වෙයි ඉවරයක් දැන ගන්න.

    ReplyDelete
    Replies
    1. ඉයන්,

      ස්තූතියි ඉයන් ...:)

      " කිසිදු වැදගැම්මකට නැති ජීවිත කතාවක් - A life story with no importance "

      මගෙ කතාව කවදකහරි ලිව්වොත් ඔය තමයි මම දාන්ට ඉන්න නම...:)

      Delete
    2. මැක්සිම් ගෝර්කිගේ කමකට නැති එකෙකුගේ ජීවිතය කියන පොත කියවල තියෙනවද?

      Delete
    3. පැතුම්,

      නෑ බන්...පරිවර්තනයක් තියනව කියල කොහෙහරි මම කියෙව්ව...එච්චරයි.

      Delete
    4. පැතුම්, මම ඒ පොත ආසාවෙන් කියෙව්වා...

      Delete
  23. මේකේ පරිවර්තනයක් නම් තියෙනවා.ඒත් මේ ලිවිල්ල හරි රසවත්. ඒ බන් අයියේ කැත කෙල්ලො ගැන කතා ලියවිලාම නැතෙයි.

    ReplyDelete
    Replies
    1. වත්,

      කැත කෙල්ලෙක් ගැන ලස්සන කතාවක් යනව මේ දවස්වල රූපවාහිනියෙ හෙනහුරාද රෑ අටහමාරට .

      " කවිය නුඹ "

      මේ පහුගිය පස් වෙනිද ගියේ දහවෙනි කොටස. බලල නැත්තම් මෙතන තියනව පරණ කොටස් ඔක්කොම.

      Delete
    2. මම ඒ කතාව බලනවා.ඒකේ ඉන්නෙත් කැත කරපු ලස්සන නිලියක් කියලා දන්න ව ..හෙහේ

      Delete
    3. දැන් රෑ 1.30 යි 9 යේ ඉඳන් මේ කතාව බැලුවා, අවුරුදු 3කින් ලංකාවේ කතාවක නමක් වත් දැනගන්න ඕනෙකමක් තිබ්බේ නෑ විකාර කතා එක වගේම ඒවා හින්දා එත් මේ කතාව හරි වෙනස්. අයියට තෑන්ක්ස්.. මං දිගටම බලයි මේක,,, මේ කතාවේ ගොඩක් චරිත මගේ ජීවිතේ මට හම්බෙච්ච චරිත... අක්කුනීගේ චරිතේ මං ගත කරා මගේ ආච්චි අම්මලත් එක්ක... තෑන්ක්ස්...

      Delete
    4. ඔමානිස්,

      ටූ මෝ ටෙලි ෆිල්ම්ස් රෙකමන්ඩඩ්ඩඩ් ඉෆ් යූ හෑව් ටයිම්...:)

      හැමදාම දකින දෙකයි පණහෙ කතා නෙවෙයි. ටිකක් අමුතුයි. වෙලාවක් තියෙනම් බලන්න.

      සඳ විනිවිද

      තාරා

      Delete
    5. උම්මා උම්ම්මා ඒ උම්මා දෙක කම්මුල් දෙකට.. අම්මටත් කිවුවා එයා බලනවලු පලවෙනි කොටසේ ඉඳන්ම.. ඊට පස්සේ පැයබාගයක් විතර කතා කරේ ටෙලි නාට්‍ය ගැන මට මල ඉතින්

      Delete
  24. අනේ නියමයි අයියේ.. දිගටම ලියන්න,, මේ වගේ කතා ෆිල්ම් වල බලන්න මං ආස නෑ.. කියවද්දී තමයි ආස. ඔයා ලස්සනට ලියලා.. මං ආසම ආසයි.
    අනේ ඇයි අර සාම්බාරු එක දැම්මේ,, ඒ හරිය කියවද්දී කිචන් එකට ගිහින් කජු ටිකක් අරන් ආවා,රස්ගුල්ලා ඒක දැකලා කන්න මොකුත් නෑ.. ඒත් පුදුම අසරණ කමක් විශාල භයානක කුසගින්නක් දැනෙද්දී කොහොම ඉන්නද.. කෑවා රසම රස බොරෙකාස්ට් 4ක් බඩ ෆුල්.

    //එහෙත් මේ ඉතා සරල කාර්යය ස්වභාව ධර්මයා කොපමණ භයංකාර ලෙස නැවත නැවතත් වරද්දා ගන්නේද?/// මේ ඉන්නේ අපි හොඳම උදාහරණ තමයි

    ReplyDelete
    Replies
    1. ඔමා,

      / මේ ඉන්නේ අපි හොඳම උදාහරණ තමයි /

      මරු කතාව ඒක. දාපන් පහක්....

      උඹෙ මූණත් බන් නෙටන්යාහුගෙ සභාග ආණ්ඩුව වගෙ හෙහ්,හෙහ්...නෙටන්යාහුගෙ ආණ්ඩුවට A Centre-right Government කියලනෙ කියන්නෙ. ඒ කියන්නෙ මධ්‍ය දක්ෂිණාන්ශික. උඹේ නහ පොල්ලත් ටිකක් විතර එහෙම සෙන්ටර් එකෙන් දකුණට ගිහිල්ල තියෙන්නෙ. හෙහෙ..හෙහ්..තරහ නෑනෙ නේද? Just Kidding....:)

      Delete
    2. ඕම්ස්,

      හරි හරි බන් නාඬා ඉඳින්..මම කිව්වනෙ ජස්ට් ජෝකින් කියල...:)

      Delete
  25. 2 States ෆිල්ම් එක මාර ලස්සණයි. පොත කියවලා තිබ්බේ නැති හන්දා ෆිල්ම් එකේ රස වින්දා. උඩරට , පහත රට පවුල් දෙකක දෙන්නෙක් විවාහ වෙන්ට හැදුවොත් මේ වගේ ඇති කියලා සමහර තැන්වලදි හිතුණා.

    අනන්‍යා ක්‍රිෂ්ගේ කාමරේ ඉන්න කාලය පොතේ කොහොම ලියවිලාද දන්නේ නෑනේ. :P

    ReplyDelete
    Replies
    1. //අනන්‍යා ක්‍රිෂ්ගේ කාමරේ ඉන්න කාලය පොතේ කොහොම ලියවිලාද දන්නේ නෑනේ. :P//

      ෆිල්ම් එකේ තියෙනවට වඩා හොඳට පොතේ විස්තර කරල තියෙනවා පොඩ්ඩියෙ.

      Delete
    2. Poddi,

      / උඩරට , පහත රට පවුල් දෙකක දෙන්නෙක් විවාහ වෙන්ට හැදුවොත් මේ වගේ ඇති කියලා සමහර තැන්වලදි හිතුණා. /

      ඔතන වැඩේ මෙහෙමයි. උඩරට පහතරට කියලම නෙවෙයි. පවුල් දෙකේ ආකල්ප, සිතුම් පැතුම් , ජීවිතේ පරමාර්ථ කියන එව්ව අහසට පොළවට වගෙ වෙනස් නම් එතන අනිවාර්යය්න් අවුලක් ඇතිවෙනව. උඩරට-උඩරට හෝ පහතරට-පහතරට විවාහයකදි වුනත් ඒ දෙම වෙන්න පුලුවන් නේද? හැබැයි ජනවර්ග දෙකක්, ආගම් දෙකක් වුනාම පවුල් අතර ඒ පරතරය වැඩියි.බොහෝවිට එයාල සම්ප්‍රදාය ගරු කරන අයනම් මේ තත්වය තවත් දරුණු වෙනව. එහෙම උනහම යුවති-පතී දෙන්නට තියෙන්නෙ නෑදැයො අතඇරල දාල තමන්ගෙ ජීවිතේ ගැන තමන් බලාගන්න. එතනත් හැබැයි දැඩි තීරණයක් ගන්න වෙනව.එහෙම දෙයක් කරන්න ලේසි වෙන්නෙ නැඇ.

      / අනන්‍යා ක්‍රිෂ්ගේ කාමරේ ඉන්න කාලය පොතේ කොහොම ලියවිලාද දන්නේ නෑනේ. :P /

      ඒ ජවනිකාව පොතේ තියෙන්නෙ බොහොම සරල වාක්‍ය දෙකක් නැත්නම් තුනකින්. මම හිතන්නෙ භගට් එතනින් ලිස්සල ගිහිල්ල. …:)

      හෙහ්, භගට් ලිස්සල ගියාට අපි එහෙම යනවද? භගට් වාක්‍ය දෙකෙන් තුනෙන් ලියපු සීන් එක මම ලිව්ව A4 පිටු තුනක්. අපි එහෙමයි දන්නවද?

      Delete
    3. //භගට් වාක්‍ය දෙකෙන් තුනෙන් ලියපු සීන් එක මම ලිව්ව A4 පිටු තුනක්. // :O

      කෝ? කෝ ? :D :D

      Delete
    4. ඒ කියන්නේ ඉතිරිය මග එන බවට ඉඟිකල කස පහරක් වගේ... හෙහ් හෙහ්...

      Delete
    5. පොඩ්ඩි,

      කෝ කෝ කියල නැටුවට හරි යන්නෙ නෑ. ඒක දැන්ම දාන්නෙ කොහොමද? ඒ නිදන කාමර ජවනිකාව එන්නෙ තව මයෙ හිතේ ඇට් ලීස්ට් එපිසෝඩ්ස් හතරකටවත් පස්සෙ...:)

      Delete
    6. ලොකු පුතා

      , ඔව් ඒ වගෙ එකක් කියලත් කිව්වැහැකි...:)

      Delete
  26. චේතන් භගත්ගේ පොත් ගැන කතා වෙනවා අහලා,දැකලා තිබ්බත් කවදාවත් කියවන්න හිතලා නැහැ.මේ රවීයියාගේ පරිවර්තනයෙන් පස්සේ හිතුවා චේතන් භගත්ගේ පොතුත් කියවලා බලන්ට.
    "රස ගුල්ලා"කලා නැහැ හැබැයි "ගුලාබ් ජබුන්"නම් ගෙදර හදලා කෑවා.අන්න කෑම.

    ReplyDelete
    Replies
    1. මනෝජ්,

      හෙහ්..හෙහ්..ගුලාබ් ජමූන් මල්ලි..ගුලාබ් ජමූන්...:)

      Delete
  27. Thanks Ravi
    සුන්දරයි, විශිෂ්ටයි ,.....

    ReplyDelete
  28. මේක මගේ රස වින්දන පරාසයෙන් ඔබ්බෙහි පිහිටි සම්භාව්‍ය නව කතාවක් කියල හිතාගෙන කියවන්නේ නැතුව ඉඳල, අද නිකමට වගේ කියවන්න ගත්ත.

    ලොවෙත් නෑ!

    හරිම රසයි රවී තුමා.. දිගටම කියවනවා අද සිට.

    ReplyDelete
    Replies
    1. මනවිකා,

      පිස්සුද බන්?..මොන සම්බාවියද? මේක මෙ බොහොම සරළ ආදර කතාවක්. චේටන් භගට්ගෙ කතා ඔක්කොම ඒ වගෙ එව්ව තමයි...:)

      නිකමට හරි කමක් නෑ කියවන්ට ගත්තනෙ ..ඒ මදැයි.....හෙහ්,හෙහ්,

      Delete
  29. පොත සොයාගෙන කියවිය යුතුයි කියන අදහස තමයි ඉස්සෙල්ලම ආවේ.

    ReplyDelete
    Replies
    1. අම්බලන්ගොඩ කථා,

      ඒ කියන්නෙ මගේ උත්සාහය සාර්ථකයි..ස්තූතියි ...:)

      Delete

මගේ සිතුවිලි ගැන ඔබේ සිතුවිලි

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...