Tuesday, September 20, 2016

443. ජොස්තර වර්ජන නාඩගම - අතීතාවර්ජනයක්…..


ආන්ඩුවෙ ජොස්තර සංගොමේ ජොස්තරල ඊයෙ පෙරෙයිද නටපු නාඩගම ගැන හැමෝම කතා කරනවනෙ. මනුස්සකමක් ගෑවිලාවත් තියෙනවනම් කරන්ට පුලුවන් දෙයක්ද ඔය පිශාචයො කලේ කියල හිතන කොටත් ඇත්තටම පුදුම කළකිරීමක් ඇතිවෙන්නෙ. 

තමන්ගෙ දරුවන්ට ජනප්‍රිය පාසල් ඕනමයි කියල අධ්‍යාපන අමාත්‍යාංශයේ ශ්‍රවණාගාරෙක රෑ පදිංචි වුනා. ඊට පස්සෙ එක ජොස්තර නෝනා කෙනෙකුට ජබර කලන්තෙ හැදුනයි කියල අර ජොස්තර සංගමේ ලේකම්ද කවුද කිය ඇර සොයිසා මහත්තය ඇම්බියුලන්ස් එකක් අරගෙන ආව. ඇවිල්ල ගේට්ටුවට පයිං එහෙම ගහල මහ කොටි නැටුමක් නැටුව. ඊට පස්සෙ කොහොම හරි ඇම්බියුලන්ස් එක අතුලට අරගෙන කට්ටියම ඒකෙ ගෙනාපු කෑම බීම එහෙම කාල බීල ෂපාන් එකේ පුටු උඩ පත බෑවිල එලිවෙනකල් නිදාගත්ත.

ඔය මේ අපේ රටේ ජොස්තර ගොල්ලට විතරයි ඔය මාන්නකාරකොම ඉහට ගහල තියෙන්නෙ. තව තියෙන්නෙ ඔය නානාප්පරකාර රස්සා. කෝ එව්ව කොරන මිනිස්සුත් ඔය වගෙ ජෝගි නටනවය? නෑ..දෙය්යනේ කියල තමංගෙ රස්සාව කරගෙන බැංකුවෙන් ණයක් තුරහක් කරගෙන දරු මල්ලන්ටත් කොහොමිං කොහොමිං හරි උගන්නගෙන අර ගත්තු ලෝන්ලි ප්ලැනට් එහෙමත් ගෙවාගෙන ( ලෝන්ලි ප්ලැනට් කියන්නෙ ලෝන් කියන එකට. මම එහෙම තමයි.  නියම වචනෙ වෙනුවට ඊට සම්බන්ධ වෙන වචනයක් හරි ඒ හා රයිමිං වචනයක් හරි පාවිච්චි කරන්ට මම බොහොම කැමතියි. බිල් කියන එකට බිල් ක්ලින්ටන්. "මේ බිල් ක්ලින්ටන් ආවද?" අපෙ උන්දැගෙන් මම ඒ අහන්නෙ ලයිට් බිල ආවද කියල...තව මතක් උනහම කියන්නං ) දැහැමෙන් සෙමෙන් ඉන්නව.

දැන් මේ ජෝස්තරල කියන එවුංට විතරක් එහෙම බෑ. උං හිතං ඉන්නෙ එවුං අමුතුම ජාතියක්ය කියල. අර ඇල්කෙමියා කියල තිබ්බ වගෙ අලි පුකෙං ආපු සත්ව කොට්ටාසයක්ය කියල. රටේ අනික් හැම මනුස්සයටම පොදු විදිහට පිලිගත්තු සම්ප්‍රදායට එවුන්ට වැඩ කරන්ට බෑ. එවුං කියන කියනදේ ආණ්ඩුව කරන්ට ඕන.නැත්තං බලාගනියව් අපි වර්ජනයේ......

මම අර දුර බැහැර කැලේ මැද්දෙ වැඩ කරන කාලෙ මගෙ අම්ම අසනීප වුනා. හෘදයේ සංකූලතාවයක්. "ඇන්ජයිනා" කියන්නෙ අන්න ඒ රෝගී තත්වය. සති දෙකක් විතර නුවර ඉස්පිරිතාලෙ ඉඳල ටිකට් කැපුවා. ඉනික්බිති මුලින්ම සතියෙන් සතිය නුවර මහ රෝහලේ හෘද රෝග සායනයෙන් බෙහෙත් ගන්න වුනා. අවුරුද්දකට වගෙ පස්සෙ ඒක මාසෙකට වරක් වුනා. 

ඉතිං අම්මට තනියම බෙහෙත් ගන්න යන්න බෑ. ගෙදර වෙන යන්න කවුරුවත් ඇත්තෙත් නෑ. ක්ලිනික් එක තිබ්බෙ බදාදා දවසට. මම ඉතිං එහෙම ක්ලිනික් යන දවසට කරන්නෙ කොහොම හරි මගෙ රාජකාරි වැඩ ටික එකලාසයක් කරල කාට කාට හෝ පංගාර්තු කරල අඟහරුවාද හවස ගෙදර එනව.

අම්මට කාලයක් තිස්සෙ සන්ධි ප්‍රදාහය නොහොත් ආතරයිටිස් තියෙන හින්ද පයිං ගමනාගමනය අමාරුයි. කොහොමත් නුවර ඉස්පිරිතාලෙට ස්ටේෂන් එක ගාව බැහැල අර මහ ගිරි දඹේ නගින්ට එපාය. බඩේ අමාරුවට බෙහෙත් ගන්ට ගිය මනුස්සය අන්තිමේ බඩේ අමාරුව පැත්තකිං තියල දණිස් අමාරුවට බෙහෙත් අරගෙනයි එන්නෙ. 

අපෙ මාම කෙනෙකුට ඔය වැඩේ වුනා. බඩේ අමාරුවට බෙහෙත් ගන්ටෙයි කියල ගිහිල්ල තුන් පාරක්ම දණිස් කැක්කුමට බේත් අරගෙන ආපහු ආව. අන්තිමට කොහොමිං කොහොමිං හරි බඩේ අමාරුව නිකම්ම හොඳ වුනා. ඉතිං අම්ම එක්ක යන්ට ත්‍රී වීලර් එකක් ඕන. මම ඔන්න උදේම පිළිමතලාවෙ ගිහිල්ල ත්‍රී වීලර් එහෙකුත් කතා කරගෙන ඇවිල්ල අම්මවත් නග්ගගෙන නුවර ඉස්පිරිතාලෙට යනව.

සැර දාගෙන කන්ද නැඟල ත්‍රී වීලරේ ඉස්පිරිතාල පරිශ්‍රයට ඇතුල් වෙනව.

හෑ? මේ මොකෝ අද කවදාවත් නැතුව සෙනඟ ඔක්කොම මිදුලෙ? වෙනද මේ වෙලාවට මිදුලෙ සෙනඟ ඇත්තෙම නෑ එහාට මෙහාට යන ඇටෙන්ඩන්ල මිසීල තුන් හතර දෙනෙක් ඇරුනු කොට. රෝගීන් ඔක්කොම ගිහිල්ල නොම්මර අරගෙන සායන වල බංකු හෝ පුටුවල ඉඳගෙන. ඒත් අද මොකද මේ? 

"මොකද අම්මෙ මේ සෙනඟ තාම එළියෙ?" මම ත්‍රී වීලර් එකෙන් ඔලුව එළියට දාල සෙනඟ දිහා බලල අම්මගෙන් ඇහුව. 

"දෙයියනේ අද ස්ට්‍රයික්ද දන්නෙ නෑ …" අම්ම කම්මුලේ අතක් තියාගත්ත. 

"හරි යංකො කෝකටත් හාට් ක්ලිනික් එක ගාවට."

එතනිං එහාට ත්‍රී වීලර් එකේ යන්ට බෑ. සෙනඟ ඊස් මීස් ගාල. අම්මවත් අතිං අල්ලාන බස්සගෙන වාරු කරගෙන හෙමිහිට ගියා හෘද රෝග සායනයෙ මහ දොර ගාවට. එතනත් මී වදේ වගෙ සෙනඟ. ඔක්කොමල එක වෙලාවෙ කතාව අත පය දික් කරමින්. මොනව කියනවද කියල ඒ හැටි තේරුමක් නෑ. මූදෙ ගෝසාව වගේ හරියට. අම්මව පඩි පෙල පාමුල නවත්තල මම පඩි හත අට නැඟල දොරට කිට්ටු වුනා. කෙලල තියෙන්නෙ. අම්ම කිව්ව එක හරි. 

"වෛද්‍යවරුන්ගේ වැඩ වර්ජනය හේතු කොටගෙන අද දින සියලුම සායන නොපැවැත්වෙන බව කාර්ණිකව දනුම් දෙනු ලැබේ. මීට රෝහල් කළමණාකාරිත්වය."

නිල්පාට ප්ලැටිග්නම් එකකින් ඔය වාක්‍යය ලියපු A 3 සයිස් කොළයක් දොරේ වීදුරුවෙ අලවල. කාර්නිකව..හුහ්..කාර්නිකව..මුංගෙ අම්මලාට... මම පඩි හත අට බැහැල ආය අම්ම ගාවට ගියා. 

"මොකද පුතා?"

"අම්ම කිව්ව හරි. අද දොස්තරල ස්ට්‍රයික් කරල."

"මොකක්ද හේතුව? "

"හේතුවක් නං දන්නෙ නෑ ස්ට්‍රයික් කියල විතරක් ක්ලිනික් එකේ දොරේ නෝටිස් එකක් ගහල තිබ්බෙ.. කාර්නිකව දැනුම් දෙමු කියලයි තිබ්බෙ" 

"පුතා මෙතන ඉන්ටකො. මම සමරසිංහ ආන්ටි හම්බ වෙලා විස්තරේ දැනගෙන එන්නම්"

අපෙ අම්ම හෙදියක්. ආතරයිටිස් හින්දම ඈ සේවය කරන්ට තව වසර දහයකටත් වඩා තියෙද්දි කලින්ම විශ්‍රාම ගියා. අම්ම එක්ක එකට වැඩ කරපු හෙදියො බොහොම දෙනෙක් ඉන්නව රැකියාවෙ ඉහලට ගිහිල්ල හෙදි සොහොයුරියො නැත්නම් හෙදි පාලිකාවො විදිහට වැඩ කරනව. සමරසිංහ ආන්ටිත් එහෙමයි. දැන් ඇය හෙදි පාලිකාවක්.

"හරි  අතන කැන්ටිම ඉස්සරහ අපි ආපු ත්‍රී වීලර් එක තියනව. මම ඒකට වෙලා ඉන්නම්. අම්ම තනියම එන්ට එපා. ආන්ටි හම්බවෙල මෙතන කොරිඩෝ එකට එන්න. මම එන්නම් එක්ක යන්ට."

විනාඩි පහළවකින් වගෙ අම්ම ආපහු ආව.

"මොකෝ අම්මෙ වෙලා තියෙන්නෙ?" මම ඇහුව.

"බලන්ටකො මේ මිනිස්සු... මම කිව්වෙ මේ ඩොක්ටර්ස්ල පුදුම ජාතියක්නෙ. ඩොක්ටර්ස්ල නයිට් කරනකොට විවේක ගන්ට රෙස්ට් රූම් තියනව හැම ඉස්පිරිතාලෙම. මෙහෙ වෝඩ් ටෙන් එකේ කියලයි සමරෙ කිව්වෙ මට මතක විදිහට. ඒකෙ රෙස්ට් රූම් එක මහ විසාලයිලු. ඉන්න ඩොක්ටර්ස්ල දෙන්නට ඒක හොඳටම ලොකු වැඩි හින්ද කෙං කොටසක් නර්සස්ලට වෙන්කර දුන්නලු. ඒකට විරුද්දව තමයි ඔය ස්ට්‍රයික් කරල තියෙන්නෙ. අපෙ අම්මේ..ඒ අතිං අපේ කාලෙ හිටපු ඩොක්ටර්ස්ල රත්තරංනෙ." අම්ම ඇස් දෙකත් ලොකු කරගෙන කිව්ව.

"හරි දැං මොකද කරන්නෙ?..." මම ඇහුව.

"මෙහෙම කරමු. සති දෙකකට බෙහෙත් ෆාමසියකින් අරගෙන ගෙදර යමු. ස්ට්‍රයික් ඉවර උනහම ආයම ක්ලිනික් එමු."

"හරි එහෙම කරමු. ෂෙහ් අපරාදෙ මගෙ නිවාඩුවත් අපතේ ගියා."

"පුතාට මෙහෙම්මම වැඩට ගියෑකි නේද? මම ත්‍රී වීලර් එකේ ගෙදර යන්නං. ඒකෙ ප්‍රශ්නයක් නෑ."

"බෑනෙ මම කාමරේ යතුර ගෙනාවෙත් නෑනෙ. ක්ලිනික් ඉවරවෙලා ආපහු ගෙදර යනකොට දොළහ එක වගෙ වෙන හින්ද මම හිතුවෙ හෙට වැඩට යන්ට. හරි බෙහෙතුත් අරගෙන ගෙදර යමුකො ඔක්කෝටම ඉස්සරවෙල. ඒකරල හවස වහින්ට වගෙ නැත්තං හවසම ආපහු යන්නං. නැත්තං කලින් හිතාගෙන හිටපු විදිහට හෙට පාන්දර තමයි."

අපරාදෙ කියන්න බෑ. ඒ වගේම ඇස් වහක් කටවහක් එහෙම නෑ. අපේ කුශාග්‍ර බුද්දිමත් අති උතුම් ජොස්තර ගොල්ලො ස්ට්‍රයික් කරන්නෙ ඔය වගෙ ඉතාම සංවේදී ඒ වගේම වෘත්තීය වැදගත් කමකින් යුත් කාරණා වලට තමයි. මේ ඒ වගෙ ජොස්තරල ස්ට්‍රයික් කරපු කාරණා කිහිපයක්. 

1. එක පාරක් ලැබ් ටෙක්නීෂියන්ලට දෙන්න ගිය සුදු කබාය ජොස්තර කබායට සමානයි කියල ඒක ගලවනකල් අපි වැඩ එන්නෙ නෑ කියල ස්ට්‍රයික් කලා.

2. හෙදි පාලිකාවන්ගෙ වැටුප එක මට්ටමකදි ජොස්තර වැටුපට වඩා වැඩිවෙනවයි කියල ඒක අඩුකරනකල් අපි වැඩ කරන්නෙ නෑ කියල ස්ට්‍රයික් කලා.

3. ඊගාවට ලෙඩෙකුට කැතීටරයක් දාන්න ඕන ජොස්තරද නර්ස්ද කියල විසඳගන්න බැරුව ස්ට්‍රයික් කොලා. 

4. ඊගාවට ජොස්තරලට පැමිණීම / පිටවීම අස්සං කරන්ට පොතක් දාන්ට හදනවයි කියන ආරංචියට එක්කො ස්ට්‍රයික් කලා නැත්තං ස්ට්‍රයික් කරනවයි කියල තර්ජනය කරල ඒ වැඩේ නවත්ත ගත්ත. 

මේ කාරණා මට මතක තියන විදිහට ලිව්වෙ. තව කාරණා බොහොමයක් තියනව. මේ වෙලාවෙ මතක් වෙන්නෙ නෑ.

ඔය ජොස්තරලගෙ මහන්තත්තෙ හින්ද රටේ පොදු මහ ජනයා අසීරුවට අපහසුතාවයට පත්වෙන වෙලාවක් එවුංගෙ මේ ඉවක් බවක් නැතුව ස්ට්‍රයික් කිරිල්ල. මේ ඊයෙ පෙරේද ඩියුටි ෆ්‍රී වාහන බලපත්‍ර ක්‍රමය නවත්වන්ට හැදුවම ඒක ඕනය කියල දවස් ගානක් ස්ට්‍රයික් කරල කොහොම හරි ඒක ආපහු ගත්ත.

අර ජේ.ආර්. කියන මනුස්සය මේ රටට කරපු තවමත් අපිට ආපහු හරව ගන්ට බැරුව ඉන්න එක විනාසයක් තමයි ඒ. මුලින්ම කලේ මන්ත්‍රීලට ඩියුටි ෆ්‍රී වාහන පර්මිට් දෙන එක. ඊට පස්සෙ ප්‍රේමදාස ලොක්ක රජයේ සේවකයන්ටත් ඒ අල්ලස, දොල පිදේනිය දුන්න. මේ රටේ ජාතික ධනස්කන්ධය බිලියන ගණනිං අවුරුදු පතා විනාස වෙනව ඔය ඩියුටි ෆ්‍රී කෙලිය හින්ද. ඒක අර කොහොමත් විනාස කරන්ට බැරි පිළිලයක්, පිළිකාවක් වගේ වෙලයි දැන් තියෙන්නෙ.

ජොස්තරල ගැන තව කතාවක් තියනව. දැනටමත් මේ පෝස්ට් එක ටිකක් විතර දිග වැඩිවුනා. අනික් කතාව පස්සෙ හොඳේ…..

50 comments:

  1. Replies
    1. උසස් පෙළ සමත් වෙලා වෛද්‍ය පීඨයට තේරුණු දවසේ ඉඳල, වෛද්‍යවරු පුදුමාකාර මොළ සේදීමකට ලක් වෙනවා, ඇතැම් විට ඊට පෙර සිටම. මට පුද්ගලිකව අත්දැකීම් තියෙනවා, උසස් පෙළ බයෝ කරන්න ගත්ත දවසේ ඉඳලම වැඩි හරියක් යාළුවො හිටියේ වෙනම ලෝකෙක. ඉතින් පටන් ගනිද්දිම එහෙම නම්, කැම්පස් ගිහින් එලියට එන්නේ මොන ජාතියේ කෙනෙක් වෙන්න ඇතිද?

      තවත් වෛද්‍ය සිසුවෙක් මට කියපු දෙයක් තමයි, කැම්පස් ගියාට පස්සේ ඔවුන්ට රබර් සෙරෙප්පු දාගෙන රස්තියාදු ගහන්න එහෙම එපා කියල උපදෙස් ලැබෙනවලු. ගැහැණු ළමයින්ට කලිසම් අඳින්න තහනම්. (මම දන්නේ නැහැ හැම වෛද්‍ය පීඨයේම එහෙමද කියල.) කොහොම උනත්, වෛද්‍ය සිසු සිසුවියන්, සාමාන්‍ය තරුණ ගැහැණු පිරිමි ළමුන්ට වඩා වෙනස් විදියට හැසිරෙන්න පුරුදු කලාම, වැඩිහිටි වෛද්‍යවරු තමන් සාමාන්‍ය සමාජයේ කොටසක් කියල තේරුම් ගනීවිද?

      හොඳ පාසල් වලට ළමුන් ඇතුලත් කරගන්න දඟලන එකත් හරියට ප්‍රමිතියක් නැති වෛද්‍ය විද්‍යාලයකට ගිහින් හෝ දොස්තර කෙනෙක් වෙන්න දඟලන එක වගේමයි. දෙකම ප්‍රමෝට් කරන්නේ අනවශ්‍ය පරිදි බ්‍රෑන්ඩ් වන්දනාවට පුරුදු වෙච්ච අපේ සමාජය. වැරැද්දක් නම් ඒක දේශපාලකයෝ කලත් එකයි, වෛද්‍යවරු කලත් එකයි, විරුද්ධ වෙන්න අයිතියක් තියනව අනිත් අයට. කොහොම උනත් මගේ මතයට වෙනස් මත දරන අය ඇති. ඒක එයාලගේ නිදහස.

      Delete
    2. මානවිකා, 

      ඔබ හරි, ඔය වෛද්‍ය පීඨයට ඇතුලුවෙන දවසෙ ඉඳලමයි මොල හෝදල දැන් ඔයගොල්ලො අමුතුම සත්තු ජාතියක්ය අනික් අවසේස ශිෂ්‍යයො සහ මහජනයා කියන්නෙ ඔයාලට පහලින් ඉන්න ජාතියක්ය කියන මහන්තත්තයක් ජේස්ටයො නවකයින්ගෙ ඔලුවට දාන්නෙ.ඉතිං කොහොමත් එක ගාණකට ඇඳගෙන ආපු කොල්ලො කොල්ලො තවත් උඩ යනව.අවුරුදු හයක් ඉඳල එලියට එන්නෙ අං තට්ටුව තවත් දික්වෙච්චි තමන් දෙවියෙක් කියල හිතන අමුතුම සතෙක්.

      මගේ හොඳම යාලුවෙකුගෙ දුව දැන් වසර කීපෙකට ඉස්සර මෙඩිකල් ෆැකල්ටි සිලෙක්ට් වුනා. එක පාරක් මට හම්බ වුනු වෙලාවක යාලුව ඒ කාලෙ දෙවෙනි නැත්නම් තුන්වන වසරෙ ඉන්න දුව ගැන කතා කලේ පුදුම කලකිරීමකින්. 

      මගෙ යාලුව බොහොම ලිබරල් අදහස් තියෙන, සමානාත්මතාවය බොහොම අගය කරන මනුස්සයෙක්.දරුවන් වුනත් හැදුවෙ උපරිම නිදහස දීල. කිසිම දේකට බලපෑමක් කලේ නෑ. ඒ වගෙම පොඩි කාලෙ ඉඳල කියල දුන්න අනුන්ගෙ මතයට සවන් දෙන්න, තමන් ඉළිනොගත්ත වුනත් ඒ මතයට ගරු කරන්න, කවුරුවත් කාටවත් වඩා පහත් නෑ, මිනිස්සු ඔක්කොම එක සමානයි, අධ්‍යාපන මට්ටම, ජාතිය, මුලය, වත් පොහොඅත් කම් මොකක් වුනත් කියල. දරුවො දෙන්නත් ඒ ආකාරයටම හැදුන. ඒත් වැඩිමහල් දුව මම අර කලින් කිව්වෙ එයා මෙඩිකල් ෆැකල්ටි ගියාට පස්සෙ පුදුම විදිහට වෙනස් වෙලාය කියලයි මගෙ යාලුව කිව්වෙ.අර කලින් තිබ්බ නිදහස් අදහස් මොකවත් නෑ. තනිකරම අමුතුම ලෝකෙකින් ආව වගෙයි හැසිරෙන්නෙ කියල මනුස්සය බොහොම කලකිරීමකින් කතා කලේ.

      මම කියන්නෙ නෑ ඒ මොළ හේදිල්ලට හැමෝම අහුවෙනව කියල. ඒත් බහුතරයකට වෙන්නෙ ඕකයි. ඒ නරුම අදහස් පිළිනොගන්න කෙනෙකුට වුනත් වෙන්නෙ කොන් වෙනවට බයේ කටවහගෙන බහුතරයට ඉඩ දෙන්න.

      Delete
  2. ඒ දොස්-තර ලාගේ උපසංගිරිස්කුතිය ඕවාට අනං මනං කියන්න අපිට අයිතියක් නෑ , අනික සවුක්කිය ශේස්තරේ මිනිසුන්ගෙ බදු වලින් නඩත්තුවෙන එකක් නෙවෙයි ආදායම් උපදවන අහවල් එකක්ය කියලානෙ එයාලා හිතං ඉන්නෙ :D

    ReplyDelete
    Replies
    1. [°•_•°] {`^`…´^´} (~•`_´•~),

      ඔව්,ඔව්..දැං ඔය උප සංස්කෘති කේස් එක බොහොම තදේටම නැඟල යනව.අර නවක වධක ප්‍රවර්ධකයොනෙ ඔය උප සංස්කෘතික තර්කෙ මුලින්ම ගෙනාවෙ...:)

      Delete
  3. ජොස්තර (c) කියන වචනේ කොයින් කලේ කවුද හිටන්?

    ReplyDelete
    Replies
    1. ඊටත් වැඩිය ලස්සනයි නේද ජත් ජොස්තර කිව්වානම්?

      Delete
    2. යාංහැල්ලෙ සුරංගගේ ආච්චි

      Delete
    3. Sa rasa,

      ජොස්තර කියන වචනෙ නිර්මාතෘ ගැන නම් හරි යමක් දන්නෙ නෑ.

      මම නම් හැබැයි අනාදිමත් කාලෙක ඉඳල ජොස්තර කියන වචනෙ පාවිච්චි කලා.

      "ජොස්තරය කීයට එයිද දන්නෙ නෑ නේද ඒයි? ඔය ජොස්තරය මුලින්ම එන්නෙ ගසා ඛාන් චැනල් සෙන්ටර් එකට, එතන මං හිතන්නෙ හය වෙනකල් ඉන්නව. ඊලඟට එනව රස කලසට. එතන අට වෙනකල් ඉන්නව.ඊලඟට මහරු මිණට එනව. එතන පැයක් ඉන්නව. නමයට යනව නිසාචර චැනලිං එකට. එතන පැයයි. ඊලඟට ගෙදර ගිහිල්ල ගෙදර සාලෙත් ආය ලෙඩ්ඩු බලනව එකොළහමාර වෙනකල්. කොහොමද ජොස්තරයගෙ ගරානා පාර.දවසකට හොයනව මම හිතන්නෙ ඔය මනුස්සය ලක්සෙකට එහා පැත්තෙ.." අන්න ඒ විදිහට...:)

      Delete
    4. https://en.wiktionary.org/wiki/joster
      මෙහෙ ජොස්ටර්ලත් දැන් ඕනෙ වෙලාවක ජෝස්ටින් තමයි

      Delete
    5. ප්‍රා,

      අපෙ අත්තම්ම එහෙම ඕකට කිව්වෙ ජවුසං නටනව කියල...:)

      Delete
  4. අනේ මන්දා බං එරිත්‍රියාවේවත් නැතුව ඇති මෙහෙම ගෝත්‍රිකයෝ සෙට් එකක්.

    ReplyDelete
    Replies
    1. අරූ,

      ඔව් බං උඹට කියන්ට එරිට්‍රියාවෙ එහෙමත් දැං අර පරණ ගෝත්‍රික සිරිත් විරිත් නැතිවෙලා ගිහිල්ලලු.එරිට්‍රියන් ආණ්ඩුව ආයම ඒ පරණ ගෝත්‍රික කටයුතු පණගන්නල ගන්ට කමිටුවක් පත් කලාලු. ඒ ව්‍යාපෘතියෙ පරමාර්ථ දෙකයි.

      1. To preserve old tribal customs & life style for posterity

      2. To promote tribal life style as a tourist attraction

      උඹ දන්නවද ලෝකෙ පුරා ලොකු රිසර්ච් එකක් එහෙම කරල ඊට පස්සෙ පිළියෙල කරපු ඒ කමිටු වාර්තාවෙ නිර්දේශයන් මොනවද කියල

      Believe it or not Aru, they have recommended recruiting Padeniya, De Zoysa & Herath triumvirate to teach Eritrian tribal elders regarding how to preserve tribal customs & transform it into a sort of a life style.

      කැන් යූ බිලීව් දැට් මචං? අපේ රටටත් ලොකු ආඩම්බරයක්...ඒ කියන්නෙ මචං ජාත්‍යන්තරය පිලිඅරගෙන තියනව මුලු ලෝකෙම ගත්තොත් තවමත් Pure tribal customs ඒ පරණ විදිහටම පවත්වාගෙන යන්නෙ ඔන්ලි GMOA එක විතරයි කියල...හෙහ්,හෙහ්, අම්බානක සතුටුයි නේද?...:)

      Delete
    2. නියම රිප්ලයි එකක් බං. ඔන්න බලපං උඹ වගේ එකෙක්වනේ පාදෙනියගේ ගුටිකන මූණු ඔෆිසර්ස් ඇසෝසියේශන් (GMOA) එකේ ස්පෝක්ස්මන් කරන්න තිබුනේ. පී.ඩබ්ලිව්.ඒ.පෝල්ලා, ශීලා සිංහාරගේලා හොඳයි බං මුන්ට වැඩිය. උන් විනාස කරේ නූපන් එවුන්. මුන්...

      Delete
  5. අදයි මේ පැත්තට ආවේ. විස්තරයට එකගයි. බ්ලොග් ලෝකය පුරා මේ සම්බන්දව ලිපි පළවුණත් ඒවාට කිසිම අදහසක් නොකලේ තේරුමක් නැති නිසයි. ඕනම කරුණකට ( හරි/වැරදි) කුමක් හෝ හේතුවක් ඉදිරිපත් කරමින් තමන් හරි කියන මතේ හිදිමින් වැඩ කරන මේ පිරිස ගැන ඇත්තේ කළකිරීමක්.

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. දුමින්ද,

      එක අතකට වැඩකුත් නෑ තමයි...හෙහ්,හෙහ්,

      Welcome....:)

      Delete
  6. අනේ අම්මප ඔය ලෙඩ්ඩු ටිකකට මළ පැනල ඔවුවංට එලෝ එලෝ නෙලන දවසක් තමයි ඉක්මනට එන්න ඕන.

    සෑහෙන්න සංකීර්ණ ප්‍රශ්න ටිකකටනෙ උක්කෝසනේ කොරල තියෙන්නෙ.

    ReplyDelete
    Replies
    1. Prasanna,

      මූණ පුරවල දෙන්නෙකුට දුන්නනං හරි...:)

      Delete
  7. දොස්තර මහත්වරුන්ගේ වරදට පිලියම් දෙන්න ඕනි අජ්ජාපනයෙන්..අනාගතේ පුද්ගලික අජ්ජාපනෙන් හරි බිහිවෙන අය සල්ලි මත්තේ නොයන තරගයේ මුල පුටු වලට පොර කන්නේ නැති පිරිසක් වෙනවා නම් හොදයි..

    ReplyDelete
    Replies
    1. අමිල,

      එහෙම තමයි වෙන්න ඕන..මනුස්සකමට මුල්තැන දෙන ජීවකයින් පිරිසක්..අනේ අපි කවදාක ඉපදෙමුද ඒ රටේ...:)

      Delete
  8. ඔයි ඉල්ලන දෙයක් දැම්ම දීල දානෙක හොඳයි, සිද්ෂවෙන විදිහට ඉස්ටයික් කරලත් නොදී ඇරියොත් ලෙඩ්ඩු මේ මෙච්චරක් මරා දානව කියල කළු ලියුම් (blackmail) එවන්නත් බැරි නෑ, මේ හය හතර නොතේරන ජොස්තර නොදරුවන්ට ඒවගේ භායානක දේවල් පුරුදු වෙන්ට අරින්න නරකයි.

    ReplyDelete
    Replies
    1. ඇණයා,

      අන්තිමට කොහොමත් ඒක තමයි වෙන්නෙ...:)

      Delete
  9. ජොස්තර කියන්නේ හරි වචනෙ නෙමෙයි. දොස්තරු කියන එක තමයි හරි. මේ දොස්තරුලගෙ ලොකුකමට හේතුව අපේ මිනිස්සු ඉංගිරිසි බෙහෙත් ගන්න යන එකයි. ඒ හංදා මං බෙහෙත් ගන්නෙ ආයුර්වේද වෙදමහත්තයෙක්ගෙං. ඒ ගොල්ලං ඉස්ට්‍රයික් කරන්නේ නෑ.

    ReplyDelete
    Replies
    1. ඔහේ විතරක් නෙවෙයි... අපිත් එහෙමයි හිටන්...

      Delete
    2. දොස් තරු හතේ

      Delete
    3. අපි දත් පුරෝගන්නෙත් ආයුර්වේද ඩෙන්ටිස්ට්ගෙන්

      Delete
    4. සුරංග,

      දොස්තරකු... දොස්තරකුගෙන් ....අන්න එහෙම තමයි මාර්ටින් වික්‍රමසිංහ මහත්තය ලියන්නෙ...

      Delete
  10. අහිංසක ලෙඩ වෙච්ච අම්මල තාත්‍තලගේ කඳුළු පාවඩ
    මතිං ඇවිදං කරනවට මහ හංදි ගානේ බෙහෙත් කලුකඩ
    මිනිස් ජීවිත බලුත් නොවටින ලෙසට ගන්නා ඩොක්ට හොරිකඩ
    කාලකණ්ණින් හට වැදේවා හෙණම ඔලුගෙඩි පැලී හත්කඩ

    ReplyDelete
    Replies
    1. ඉවාන්,

      හුහ් උඹ වස්කවි ලියන්ටත් දන්නව නේද? ...:)

      Delete
    2. හෙ හේ බය වෙන්ඩ බය වෙන්ඩ

      Delete
    3. පොල් කඩේ සරුවෙන්ඩ පී පී වැඩිවෙන්ට
      දරුවන්ට උසස් පාසැල් හා පෝමිට් වාහන ලැබෙන්ට
      මහා මන්දිර දැසි දසුන් හා නේක සැප සම්පත් ලැබෙන්ට
      සියලු දෙවි දේවතා පිහිටෙන් ජයම වේ දොස්තර වරුන්ට!

      Delete
  11. මගේ දුවයි බෑණයි දොස්තරලා. නමුත් මේ ටික කියන්න ඕනේ. මුන්ගේ මේ ගෝත්‍රික වාදී චින්තනය, ත්‍රස්තවාදී වෘත්තීය ක්‍රියාමාර්ග, උගුලෙන් බැරිනම් හබකෙන් මර්දනය කලයුතුයි.

    ReplyDelete
    Replies
    1. විචා,

      මම දැක්ක විචා මේ ටිකේම ගිය ගිය තැන බෑණංඩියගෙං ගේම ඉල්ලනව...හෙහ්,හෙහ්,

      Delete
    2. හා හා මාමෙ අපි ඔය අපේ පස්න ගෙදෙද්දි විසඳගමු.

      Delete
    3. // මගේ දුවයි බෑණයි දොස්තරලා. //

      දොස්තර ලා නම් ගෝත්‍රිකවාදී හොරු ම තමයි හිටන්!

      :(

      Delete
  12. ඇයි මේ දොස්තරලට මෙච්චරටම මොලේ නැත්තේ ..?

    ReplyDelete
    Replies
    1. පැතුම්,

      අනේ මල්ලල්ලෑ බං මටනම් නොතේරේ...:)

      Delete
  13. අර දොස්තර ගායකයා සටෙත් එක දාගෙන සින්දුවක් කියනව උඹ දැකල ඇතිනෙ රවී. ඉතිං හිතපංකො මාන්නෙ කොච්චරද කියල!

    ReplyDelete
    Replies
    1. රාජ්,

      අම්මප කියාපං බං..බොරු නේද? ඒ යකා සුපර් ස්ටාර් එකට ඇවිල්ල සිංදු කියනවනම් මම දෙක තුනක් බැලුව. එතකොටනම් එහෙම එකක් බෙල්ලෙ එල්ලං හිටියෙ නෑ...හෙහ්, හෙහ්,

      හැබැයි ගොඩක් ජොස්තරලට ඔය නලා ඇම්ම තියනව. මගෙ යාලුවෙක්ගෙ මාම කෙනෙක් හිටිය ජොස්තරෙක් ඒ යක ඩිඟිසි ඩිඟිය නොහොත් ලිංගික කාය කර්මය කරන්නෙත් නලාව කරේ දාගෙන...අපි ඒ කාලෙ හැංගිල බලා ඉන්න හින්ද මම හොඳටම දන්නව...හෙහ්,හෙහ්,

      Delete
    2. ඒක නං අදාල රූප රචනයට අනුකූලව ඒද රාජ්? දැං එන සිංදු (?) බහුතරයක මැරෙන ලෙඩෙක්,ඩොකෙක් ඉන්නවාමයි නෙ.නළුවො ස්ටෙත් එක දැම්මට අවුලක් නෑ ඩොකෙක් ඒක දැම්මොත් අවුල් වගේ නම් එත්න තියෙන්නෙ වෙන අවුලක්.

      Delete
  14. පිස්සු බලු, සර්ප, ගෙඩි, කැඩුම් බිඳුම් වෙද මහතුන්ගේ හා ගොඩ වෙද මහතුං ගේ දරුවන්ටද සුපිරි පාසැල් ලබා දෙනු

    ReplyDelete
    Replies
    1. Pra,

      නිසැකවම ඔවුහු සියල්ලෝම ජොස්තරු වන්නෝය. තොවිල් නටා කලු කුමාර දිස්ටිය පලවා හරින යකැදුරාද ජොස්තරෙකි. සියලු යකැදුරන්ගේ දරු දැරියනට සුපිරි පාසල් ලබාදෙනු. අජ්ජපාන ඇමති තුමනි මේ ඔබේ අවදානම පිනිසයි!!!

      Delete
  15. දොස්තර කෙනෙක් බඳින අදහස අත් හැරියා. ඉතින් නම් දණ ගහගෙන ආවත් බඳින්නේ නෑමයි.:D

    ReplyDelete
    Replies
    1. දන ගහගෙන එනවනම් ඌට ආතරයිටිස්!

      Delete
    2. මෙඩූසා,

      චේ චේ එහෙමම කරන්ටත් එපා ඉතිං දණගහගෙනම ආවොත් සුට්ටක් විතර සලකල බලන්ට..:)

      දණ ගහගෙන ආව කිව්වම පොඩි කතාවක් මතක් වුනා. ඔන්න එක අලුත බැඳපු මනුස්සයෙකුට වයිෆ් කොයි වෙලෙත් තග දානවලු. මිනිහ ඔය විස්තරේ ඔෆිස් එකේ යාලුවන්ට කිව්වම මෙහෙම උපදෙස් හම්බවුනාලු.

      "පිස්සුද බං මොකටද ගෑණුන්ට යටත් වෙලා ඉන්නෙ?. ඉඳපං අපි කියන්නං කරන්ට ඕන දේ. අද හවස ගිහිල්ල දාගමු කට කපල දෙකක්. ඒ කරල කෙලින්ම ගෙදර ගිහිල්ල වයිෆ්ට සද්දයක් දාපං මේ තමුං දැනගන්නව හොඳයි මම තමයි මේ ගෙදර ලොක්ක..හරිද? අන්න එහෙම . වයිෆ් පටගාල බය වෙනව."

      අනේ මනුස්සයක් හාය කියල දෙකක් දාගෙන සිංහය වගෙ ගෙදර ගියාලු. පහුවදා ඔෆිස් එකේ යාලුවො මිනිහ එනකල් පෙරමඟ බලාන හිටියලු විස්තරේ දැනගන්ට.

      "ඒයි මොකද බං වුනේ? වයිෆ් හම්බානක බයවෙන්ට ඇති නේද?"

      "ආය අහල කොටින්ම කිව්වට විස්වාස කරපල්ල මං ගාවට ඇවිල්ල දණ ගැහුව ඔන්න.."

      අන්න එහෙමනෙ ඉන්න ඕන. අපි කිව්වෙ නැද්ද බොට හෙහ්,හෙහ්, එල එල"යාලුවො ඔන්න පහක් එහෙම දාල විස්තරේ ඇහුව. "ඉතිං ඉතිං ඇවිල්ල වයිෆ් දණ ගහල මොකද කිව්වෙ? අනේ මට සමාවෙන්න. මම ඔයා කියන විදිහකට ඉන්නං කියල කිව්වද?"

      "එහෙමනම් නෙවෙයි කිව්වෙ."

      "එහෙනං?"

      "ආ, ගෙදර ලොක්කද? ලොක්කනං එනවකො බලන්ට ඇඳ යටිං එලියට ඉස්සරවෙලා.... අන්න එහෙමයි කිව්වෙ."

      Delete
  16. ජොස්තරලා තමන් අමුතුම සත්ව කොට්ටාශයක් කියලා හිතන් ඉන්න එක හරියටම හරි රවීයියේ.හැමෝම නොවුනත් ගොඩක් ජොස්තරලා පුහු මාන්නයක් තියන් ඉන්න,ආත්මාර්ථකාමී අමුතු සත්ව කොට්ටාශයක් තමයි හිටං.

    ReplyDelete
  17. සිංහල බ්ලොග් අවකාශයට අනූපමේය සේවයක් සිදුකරන ඇනෝ වරුන්ගේ දායකත්වය අගැයීමට සුහද හමුවක් සංවිධානය කර ඇත. එය 25 ඉරිදා 6 සිට 11 දක්වා කොලඹ දිස්ත්‍රික්කය තුල ඇති හෝටලයකදී පැවැත්වේ. කිසිදු ප්‍රොෆයිල් කරුවකුට මේසඳහා ආරාධනා කර නැත. තවද ප්‍රොෆයිල් කරුවන් ඇනෝවරුන් කවුදැයි සොයාගැනීමට මෙම ස්ථානයට පැමිනීමේ ඉඩ කඩ අහුරනු වස් ස්ථානයේ නම ප්‍රසිද්ධියේ සටහන් නොකෙරේ. මේ සඳහා සහභාගීවීමට කැමති ඇනෝවරුන් වෙනත් ඇනෝවරයෙකුගෙන් අදාල ස්ථානය ගැන විස්තර ලබාගන්න. ඔබ ඇනෝ වරයෙකු ලෙස තහවුරුකිරීමට ඔබ දමන ලද ඇනෝ කමෙන්ට් කිහිපහයකවත් මුද්‍රිත පිටපත් රැගෙන එන ලෙසද කිසිලෙසක ජාතික හැඳුණුම්පත වෙන අනන්‍යතාව හෙළිවන දේවල් රැගෙන නො එන ලෙසද සංවිධායක මණ්ඩලය දන්වා සිටී. හමුවේදී ඡායාරූප ගැනීම සපුරා තහනම්ය. විදේශ වල සිට ස්කයිප් හරහා සහභාගී වීමට කැමති ඇනෝවරුන් ලංකාවේ ඉන්නා ඇනෝ කෙනෙකුගෙන් අදාල ස්කයිප් ලිපිනය ලබාගන්නා ලෙසද දන්වමු. මීට සංවිධායක මණ්ඩලය

    ReplyDelete
    Replies
    1. ඇනෝවරුන්ගේ අනන්‍යතාවය අනෙකුත් ඇනෝවරුන්ට පවා හෙළිදරව්වීම වළක්වනු උදෙසා එදින දොරටුවෙන් මුහුණු ආවරණය බැගින් ලබා දීමට සංවිධායක මණ්ඩලය කටයුතු යොදා ඇත.

      පහත සඳහන් සබැඳියට පිවිස ඉන් ඔබට රුචි මුහුණු ආවරණය කවරේදැයි අද දින සවස 6.00 ට පෙර සංවිධායක මණ්ඩලය දැනුවත් කරන්න. ස්තූතියි.

      Select one from here

      Delete
  18. ස්ට්‍රයික් මතක් වෙනකොටත් නං ඇඟේ මාළු නටනවා... මේ ඇපේට අරන් පීඩා කරන්නෙ ලෙඩ්ඩුන්ට නේද කියල හිතන්නෙ නෑ නෙ.රජයට හිතක් පපුවක් නැති නිසා උන්ට දැනෙන්නෑ.
    ඇමතිලත් හරියට දැලි පිහිය ගත්තු වඳුරො වගේ නෙ හැසිරෙන්නෙ.
    රජය බනින්නෙත් මිනිස්සු බනින්නෙත් දොස්තරලටම තමා.මොකද අපහසුතාවයට පත්වෙන්නෙ අහිංසක ලෙඩ්ඩු නිසා.එයාල වෙන ක්‍රමයක් අනිවාර්යෙන් හොයාගන්න ඕන මයි.

    ඩොකාලගෙ මොළ හේදෙන කතාවත් හරි.පොඩ්ඩක් හරි ප්‍රගතිශීලී මත තිබුනු කීප දෙනාත් මේ වටකරල ගැහිල්ල නිසා අන්තවාදියෝ උනා වගේ සීන් එකක් දැක්කා.. එපා උනා ඒක දැකලා.

    මේ අස්සෙ බුකියෙ එහෙම කී බෝඩ් තලාගෙන කෑ ගහන ගොඩ දෙනෙක් පෙන්නන්නෙ ඌ දුප්පත් ගමේ එකා.. උගෙ ළමයි කොහොමද 'වරප්‍රසාද ලත්' පැලැන්තියේ ඉස්කෝලෙකට දාගන්නෙ? වගේ මානසිකත්වයකින්.
    ඒක නම් කුහක කමක්.
    ඒ කෑ ගහන ගොඩ දෙනෙක් එක්කෝ ආදිශිෂ්‍ය පදනමින් ඔය කියන ඉස්කෝලෙකට ළමය දාගන්න පුළුවන් අය.නැත්තම් මක්කා කලත් ඒ ඉස්කෝලයක් ගැන හිතන්නවත් බැරි අය.අතර මැද සෙට් එක වැඩි සද්දයක් නෑ.

    ඩොකාල ගේම ඉල්ලන්න ලෙඩ්ඩුන්ව ප්‍රාණ ඇපකාරයෝ කරගන්න කොට රජය ඩොකාලගෙ ළමයින්ව ප්‍රාණ ඇපයට ගන්නවා.චික් තමා ඉතින්..

    කොහොමටත් ඔය ප්‍රාණ ඇපකරු ක්‍රමේ නම් ලඟදිම බිඳ දමන්නම ඕන.
    ජයවේවා..!!

    ReplyDelete
  19. ජොස්තරල ඔය ඔක්කොම ලොකු කම් දාන්නෙ බටහිර බෙහෙත් වලට අපි ඔක්කොම ගැති වෙලා නිසා.... සිංහල වෙදකම, ඒ වගේම හෝමියෝපති වගේ සාර්ථක විකල්ප ක්‍රම වලට යොමු වෙනව නම් මේ වගේ ප්‍රශ්න ඇතිවෙන එක වලක්වා ගන්න පුලුවන්.....

    ReplyDelete

මගේ සිතුවිලි ගැන ඔබේ සිතුවිලි

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...