Saturday, October 7, 2017

536. The Story Of My Marriage - 45 - බාලාගේ ඉල්ලීම සහ මගේ ප්‍රතිචාරය......

"තව තත්පර තිහක් ඇතුලත තමුසෙ ඔය කියන්ට තෙපරබාන මල ඉලව්ව කිව්වෙ නැත්තං දෙයියම්පල්ල මම තමුසෙගෙ හොම්බට දෙකක් අනිනව.." මම යටිතොල සපාගත්වනම එසේ සිතුවෙමි. මගේ සිතතුල මා දැනටමත් බාලාගේ ඉදිරි දත් හතරක් කැඩෙන්නට පහර දී ඔහුගේ කෙස් දෙමිටක් මගේ දෑතින්ගෙන ගලවා ඊට අමතරව මගේ දකුණු පයින් උගුරු දණ්ඩද පාගා අවසානය.

"මේ බැංකු ජීවිතේදි අපි එකිනෙකා ගැන අපි බලාගන්ට ඕන ක්‍රිෂ්. මොකෝ මෙහෙදි අපි එකිනෙකා ආරක්ෂා කරන්ට දෙමව්පියො නැත්නම් භාර්යාවො එන්නෙ නෑනෙ. ඒ හින්ද අපිට අපේම පිහිට තමයි"

මම විඩාපත් මුහුණින් යුතුව වදනකුදු නොදොඩා බාලා දෙස බලාගත්වනම පසුවූයෙමි. 

"ක්‍රිෂ් දන්නවනෙ මම ඔයාගෙ බොස්..ඒ හින්ද මට ඕනම වෙලාවක් පුලුවන් ක්‍රිෂ්ට කිසිම කරදරයක් නොවෙන්ට ඔයාව රැකබලාගන්ට. එහෙම පුලුවන් විතරක් නෙවෙයි අනාගතයෙ හැමදාමත් මම එහෙම කරනව. මේ වෙලාවෙ ඇත්තමයි මම ක්‍රිෂ්ට එහෙම පොරොන්දු වෙනව"

බාලා එසේ පැවසූයේ මිට මොළවාගත් දකුනතින් ඔහුගේම ළය ප්‍රදේශයට ගසා ගනිමිනි. මගේ දෑස් විසල් වූයේ විශ්මයටත් වඩා භීතියෙනි. මට එක්වරම සිහියට නැඟුනේ මේ මෑතකදී අසල්වැසි රාජ්‍යයක දේශපාලන පක්ෂ නායකයකු එරට නායකයා තෝරාගැනීමේ ඡන්ද ව්‍යාපාරයේදී මෙසේ පපුවට ගසා ගනිමින් කථා පැවැත්වූ ආකාරයයි. N.D.T.V. ආයතනය මඟින් නිතර දෙවේලේ පෙන්වූ එම දර්ශනය පාසලේ සිව්වන වසරේදී පමණ ගුරුවරියද සමඟ නව දිල්ලියේ ජාතික සත්වෝද්‍යානයට ගිය චාරිකාවකදී එහි කූඩු කොට සිටි දැවැන්ත ගෝරිල්ලකු මහත් හඬ නඟමින් තම පපුවට ගසා ගත් අයුරු මට සිහිපත් කළේය.

"යකෝ සාක්කි මේ මනුස්සය මෙහෙම පපුවට ගහගෙන මෙතන මලොත් එහෙම මට අද රෑ නිදියන්ට වෙන්නෙ පොලිස් කූඩුවේ තමයි" එසේ සිතමින් මම අසුනින් නැඟිටින්නට තැත් කලේ බාලාගේ පපුවට පහරදී ගැනීමේ ව්‍යාපෘතිය වහා අත්හිටුවීමේ අදහසිනි. එහෙත් ඒ සමඟම ඔහු ස්වේච්ඡාවෙන්ම එම ව්‍යාපෘතිය අත්හිටුවා හති දමන්නට පටන් ගත්තේය. මම නැඟිට ගොස් ඔහු ඉදිරිපිටවූ වතුර කෝප්පය ඔහු වෙතට ළංකලෙමි. 

"වතුර ටිකක් බීල ඉන්න මිස්ටර් බාලා.."

මඳ වේලාවක් දෑස් වසාගෙන හුන් බාලා වතුර උගුරු කීපයක් පානය කොට මදෙස බලා සිනාසුණේය.

"ක්‍රිෂ් ඔයා දන්නවනෙ හෙට උදේ අපේ පරිභෝගික සේවා අංශෙ මුළු ඉන්දියාවෙම ලොක්ක ඒ කිව්වෙ කස්ටමර් සර්විසස් චීෆ් මැනේජර් එනව මුම්බායි වල ඉඳල. ඒ එක්ක තවත් ලොක්කො හතර පස් දෙනෙක්වත් එයි අනිවාර්යයෙන්ම. ඒ ගොල්ල අහයි ඇයි මොකවත් නොදන්න අපේ කස්ටමර්ලට මේ ඉන්ටනෙට් ස්ටොක්ස් වික්කෙ? කියල. අනිවාර්යයෙන් ඒකෙ වැරැද්ද එන්නෙ මගේ කරපිට. ඒකෙ ආය දෙකක් එහෙම නෑ"

"එහෙම වෙන්ට එපාය. ඒකෙ ඉතිං අහන්ටත් දෙයක් ඇත?...තමුසෙනෙ එව්ව විකුණපියව් විකුණපියව් කියල පස්ස විකාගෙන දැඟලුවෙ...නැතුව එහෙනං මමයැ"  බාලා දෙස බලාගත්වනම මම එසේ සිතුවෙමි.

"ඉතිං මම මේ කියන්ට ආවෙ වැරැද්ද මගේ තමයි. ඒත් ක්‍රිෂ් ඔයාට පුලුවන්නම්..." බාලා කථාව නතරකොට වතුර උගුරු කීපයක් යලි පානය කළේය. 

බාලා එන පොට මට මේ වනවිට හොඳින් පැහැදිලිවී තිබිණි. එහෙත් ඔහුගේ මුවින්ම එය අසාගනු රිසියෙන් මම ඔහු දිරිමත් කළෙමි.

"ඔව් මිස්ටර් බාලක්‍රිෂ්ණන් මට පුළුවන්නම්...කියන්න මට මොකක් පුළුවන්නම්ද?"

දෙනෙත් පහතට හරවාගත්වනම තමා ඉදිරියේ ඇති වතුර කෝප්පය දෙස බලා සිටියා විනා වදනකුදු තෙපලේ බාලා නොවේ.

"හරි මමම කියන්නම්කො මිස්ටර් බාලා කියන්නෙ නැත්නම්. ඔයාට ඕන මේ වෙච්චි අලකලංචියෙ වගකීම මා පිට පවර ගන්නෙයි කියල කියන්ට. එහෙම නේද?"

හිස ඔසවා මදෙස බැලූ බාලා යම්තමට හිස සොළවා ඒ එසේයැයි හැඟවීය. 

"මිස්ටර් බාලක්‍රිෂ්ණන්....මේක අහන්න.....මම මෙතන මේ ඊයෙ පෙරෙයිද වැඩට ආපු බොහොම කණිෂ්ඨ සේවකයෙක්. කොටින්ම මම තවම සිටි බැංකුවෙ වැඩ කරන්නෙ ට්‍රේනී කෙනෙක් හැටියට. අපේ දීර්ඝ කාලීන ගනුදෙනු කාරයින්ට මෙච්චර විසාල මුදලක් යටකරල ස්ටොක්ස් විකුණන්න වගෙ තීරණයක් මට තනියම ගන්න පුලුවන්ද? අනික ඔය බොම්බායෙ ඉඳල එන මොන මැනේජර්ද කවුද...ඒ මිනිස්සු එහෙම දෙයක් විස්වාස කරයිද? මොකද එයාල මෝඩයො නෙවෙයිනෙ..."

"නෑ අපිට මෙහෙම කිව්වැහැකි. ක්‍රිෂ් ඔයා I.I.M.A. පාස් අවුට් M.B.A. මාස්ටර්ස් ග්‍රැජුවට් කෙනෙක්. ඒ හින්ද ට්‍රේනී කෙනෙක් උනාට ඔයාට තමන් කැමති විදිහක් කරන්න අපි බලය දුන්නයි කියල වගෙ දෙයක්...එහෙම පුලුවන්නෙ නේද ක්‍රිෂ්..ප්ලීස්?"

බාලා මදෙස ආයාචනාත්මක බැල්මක් හෙලමින් විමසීය. බාලාගේ එම අදහස තර්කානුකූලය. ගණුදෙනුකරුවන්ට කොටස් විකිණීමේදී පලායන ඔහුගේ බුද්ධිය තම තනතුරට අනර්ථයක් වන්නට යන අවස්ථාවකදී අළු ගසාදා පියා නැඟිට සිටින අන්දම ඇත්තෙන්ම විශ්මයජනකය.

"හරි ඒක හරි කියමුකො. ඒත් මහත්මයා මම එහෙම වැරැද්ද පිළිඅරගෙන සියලු මහ දෝසෙම මගෙ කරපිට දාගත්ත කියන්නෙ සිටි බැංකුවෙ මගෙ අනාගතය එහෙම පිටින්ම ඉවරයි. මම සදාකල් මෙතනම තමයි. සමහරවිට ට්‍රේනී කෙනෙක් හින්ද රස්සාව ගහල යන්ටත් ඉඩ තියනව"

"නෑ ක්‍රිෂ් එහෙම වෙන්නෙ නෑ. කොහොමවත් ඔයාගෙ රස්සාව නැතිවෙන්නෙනම් නෑ. ඔයා ට්‍රේනී කෙනෙක් හින්දමයි ඔයාගෙ රස්සාව නැති නොවෙන්නෙ. පළපුරුදු නිලධාරියෙක් අතින් වෙනවට වඩා මේ වගෙ වැරැද්දක් ට්‍රේනී කෙනෙක් අතින් උනහම ඒ හැටි සීරියස් නෑ"

බාලාගේ එම තර්කයේද යම් සාධාරණත්වයක් ඇත. එහෙත් එක්විටම ඔහුගේ අදහසට එකඟවීමට ද මට නුපුළුවන.

"මිස්ටර් බාලා කියනව මම අහගෙන ඉන්නව. ඔය කියන විදිහටම ඔව්ව වෙයි කියල ඔයාට සහතිකද?"

"ඔව්. මට සහතිකයි. අනික ක්‍රිෂ් තවම ඉන්නෙ ට්‍රේනී කෙනෙක් විදිහටනෙ. ඔයාගෙ ප්‍රමෝෂන් එක ලැබෙන්නෙ ඔයාගෙ අංශ ප්‍රධානිය හැටියට මම රෙකමන්ඩ් කලොත් විතරයි. ඔයා හිතා ගන්නකො දැනටම මම හොඳ රෙකමෙන්ඩේෂන් එකක් දීලයි කියල තියෙන්නෙ. හැබැයි අනික් අතට මේකෙ වැරැද්ද මට බාරගන්ට උනොත් මගෙ රස්සාව පවා නැතිවෙන්ට පුලුවන්. එහෙම උනොත් ඔයාව රෙකමන්ඩ් කරන්න මම මෙතන ඉන්න එකක් නෑ"

"ඉතිං මිස්ටර් බාලක්‍රිෂ්ණන් මේක අහන්නකො...... වැරැද්ද ඔයාගෙ අතේනෙ...... ඒ හින්ද ඔයා වැරැද්ද බාරගන්ටම එපැයි.........."

"ක්‍රිෂ්, කරුණාකරල මේ වෙලාවෙ මට උදව් කරන්න.." 

බාලාගේ දෑසෙහි වූයේ අසරණ යාචකයෙකුගේ දෑසෙහි දක්නට ලැබෙනා අන්දමේ බැල්මකි.

මේ වනතෙක් බාලා සහ මා අතරවූයේ ප්‍රධානියා සහ යටහත් සේවකයකු අතර පවතිනා සම්බන්ධයකි. සත්‍යය වශයෙන්ම බාලා වනාහී මගේ ප්‍රධානියා වූ බැවින් අප අතර සම්බන්ධය එසේ වීමෙහිලා කිසිදු අරුමයක් හෝ අස්වාභාවිකත්වයක් නැති. එහෙත් මේ වනවිට එක සම්බන්ධතාවය කණපිට පෙරලී ඇති බවක් මට වැටහෙන්නට විය. ඔහුගේ රැකියාව ආරක්ෂාකොට ගැන්ම උදෙසා ඔහුට උදව් කරන ලෙස මගේ ප්‍රධානියා මා ඉදිරියේ ආයාචනා කොට සිටින්නේය. ඔහුගේ ඉල්ලීමට එකඟවුවහොත් හෙට දිනයෙන් අනතුරුව මට බාලා අල්ලේ නැටවිය හැකිවනු ඇත. ඔහුගේ රැකියාව ආරක්ෂාකොට දුන්නේ මා බැවින් මගේ කිසිදු ඉල්ලීමක් ඔහුට කිසිසේත්ම ප්‍රතික්ෂේප කල නොහැකිවනු ඇත.

ඔහුගේ රැකියාව ආරක්ෂාකරදෙනු වෙනුවෙන් බාලා වෙතින් මා අපේක්ෂා කරනුයේ ඉතා සුළු ප්‍රති උපකාර කිහිපයකි. එබැවින් ඒ ඉටු කිරීමෙහි ලා බාලාට කිසිදු දුෂ්කරතාවයකට මුහුණ දීමට සිදුනොවන බව මට සහතිකය. ඒ කිසිසේත් සිටි බැංකුවේ මුදල් සේප්පුව විවෘතවන රහස් අංකය මට ලබා දීම වැන්නක් නොවේ. අනෙක් අතට මා ඉල්ලා සිටියද එම රහස් අංකය බොහෝවිට ඔහු පවා නොදන්නවා විය හැක.

මා ඔහුගෙන් අපේක්ෂා කරනුයේ ඉතා සුළු උපකාර කිහිපයකි. උදෑසන කුකුළාත් අතින්ගෙන කාර්යාලයට නොපැමිණ ලොවපුරා මාවැනිම වූ වෙනත් සාමාන්‍ය බැංකු සේවකයින් තම රාජකාරි අරඹන වේලාවට රාජකාරි ඇරඹීමට අවසර ලබා ගැනීම ඉන් ප්‍රධානතම උපකාරයයි. එළෙසම දවසේ සේවය නිමාවේදී ඝන අන්ධකාරයේ මාවවුලන් ඉබාගාතේ පියාසර කරනා වේලාව උදාවනතෙක් කාර්යාලයේ කාලය කානොදමා සාමාන්‍යයෙන් අනෙකුත් සේවකයින් සේවය නිමකරනා වේලාව නොඉක්මවා සේවය නිමකොට ඇහැ පාටින් නවාතැන වෙත යාමට අවසරය ලබා ගැන්ම දෙවන උපකාරයයි.

එසේම කලින් දින රාත්‍රියෙහි ස්වල්ප වශයෙන් පදම වැරදී දරුණු හිස රුජාවෙකින් පීඩා විඳින දිනයක මගේ කුටියෙහි දොර වසා දමා තිරරෙදිද පහතට ඇද මේසයට හිස තබාගෙන අඩ හෝරාවක් පමණ සැතපීමට අවසර ලබාදීම තෙවන උපකාරයයි. 

ක්‍රිෂ් බාලාගෙන් ඉල්ලීමට බලාපොරොත්තුවන තුන්වන
උපකාරය වනාහී මඳක් පදම වැඩිවූ රාත්‍රියකට පසුදින
කාර්යාලයෙහි මේසයට හිසතබා හෝරාවක් හෝ
අඩ හෝරාවක් පමණ 
සැතපීමේ අවසරයයි. 
තම ප්‍රධානියාගෙන්
  අවසර ගෙන හෝ නොගෙන 
එසේ සැතපෙන්නෙකු ඉහත ඡායාරූපයෙන් දැක්වේ.

සිව්වන සහ අවසාන උපකාරය වනුයේ සතියකට දින දෙකක් හෝ තුනක් අනන්‍යා හමුවීම පිණිස නියමිත වේලාවට හෝරාවක් හෝ අඩ හෝරාවක් පළමු කාර්යාලයෙන් බැහැරව යාමට අවසර ලබා ගැනීමයි. 

මවිසින් බාලාගේ රැකියාව ආරක්ෂා කොටදෙනු ලැබුවහොත් ඔහු මවෙත මේ සියළු උපකාර නොපැකිළ කිරීමට ස්වේච්ඡාවෙන්ම ඉදිරිපත්වනු ඇති බවට මට කිසිදු සැකයක් නොවීය. 

"ඔෆිස් එකේ ඩෙස්ක් එකට ඔලුව තියල පොඩ්ඩක් නිදාගත්ත.....එතකොට පැයක් හමාරක් කලින් ගියා.....එව්ව නම් මොනවද? එව්ව වගේද එයාගෙ රස්සාව. හරිනම් බාලා මට මුලු ජීවිතේටම ණයගැතියි හුහ්..." මම මහත් සතුටින් එසේ සිතුවෙමි.

"හරි ඒ ප්ලස් පොයින්ට්නෙ. මයිනස් පොයින්ටුත් තියනව. මගෙ ෆයිල් එකට මේ ගැන නෝට් එකක් වැටෙනව. ඉස්සරහට ප්‍රමෝෂන් වලදි එහෙම ඒක බලපාන්ට ඉඩ තියනව. අනේ බම්බුව.....මම කොහොමත් තව වැඩි කාලයක් මෙතන ඉන්නෙ නෑනෙ. ඒ හින්ද ඔහෙ ඕන එකක්. ඉන්න ටිකේ දෙයියනේ කියල මට ඕන විදිහට ඉන්ට තිබ්බ නම් මදැයි.." 

එම චිත්තාභ්‍යන්තර සමාලෝචනයෙන් පසු මම බාලාගෙ යෝජනාවට එකඟවීමට තීරණය කළෙමි. එහෙත් එක්වරම එසේ එකඟනොවී මම තව මොහොතක් කල් මැරුවෙමි. බාලා තවත් මා ඉදිරියේ බැගෑපත්වනු දැකීම මගේ අභිප්‍රාය විය.

"ක්‍රිෂ්, චීෆ් මැනේජර් මට කොහෙත්ම කැමති නෑ. මිනිහ ඇවිල්ල උතුරු ඉන්දියානු. දකුණෙ මිනිස්සුන්ට මිනිහ කැමතිම නෑ කියල තමයි ආරංචිය. ඒත් ඔයාට ප්‍රශ්ණයක් වෙන එකක් නෑ ඔයත් උතුරෙනෙ. එයා ඔයාට සමාවක් දෙයි... ඒත් මට කොහෙත්ම සමාවක් දෙන එකක්නෑ"

බාලා හඬන්නට ඉතා ආසන්න හඬකින් පැවසීය. බාලා සත්‍ය වශයෙන්ම හඬනු ඇත්දැයි දැකබලා ගැන්මට මසිතෙහි බලවත් ආශාවක් ඇතිවුවද ඒ වනවිට අධික තෙහෙට්ටුව සහ නිදිමත කරණකොටගෙන මගේ ඇස් පියවෙන්නට ආසන්න තත්වයකට පත්ව තිබිණි.

"හරි මිස්ටර් බාලක්‍රිෂ්නන් අපි බලමු මොකද කරන්න පුල්කුවන් කියල.." මම අසුනින් නැඟිටිමින් පැවසූයෙමි.

"ඒ කියන්නෙ ක්‍රිෂ් මගේ යෝජනාවට කැමතියි කියන එකද?" බාලා ද වහා හුනස්නෙන් නැඟී සිටිමින් විමසූයේ අපේක්ෂා සහගත ස්වරයකිනි. 

"සුබ........රාත්‍රියක්......මහත්මයා…" මම වදනින් වදන බරකොට පවසමින් ඔහුගේ කුටියේ දොරටුවෙන් පිටවූයෙමි.

29 comments:

  1. උදව් කෙරුවට බලමුකො පස්සෙං පහු මතක තියෙද කියලා. ලොක්කන්ට උදව් කෙරුවහම ලොක්කො කරන්නෙ පුලුවං තරං ඉක්මනට අපිවත් මොහොකට හරි පටලෝලා ඒකෙං බේරුව බවට පෙන්නලා දෙක හිලව් කරගන්න එක.

    ReplyDelete
    Replies
    1. සුරංගෙ,

      පළමෝත අත්දැකීමක් (Firsthand experience) නෙවෙයිනෙ?..:)

      Delete
  2. හෙක්... අන්න නියම ආයතන ප්‍රදානියො.
    බොලාගෙ ජොබට තට්ටු නොවුනොත් සතියක දවසක් අනන්‍යටයි බොලාටයි එන්ජෝයි කරන්න සිටි බැංකුවෙ සියලු පහසුකම් සහිත ස්පෙෂල් රූම් එකක් උනත් වෙන්කරගන්න බැරි වෙන එකක් නෑ. (අනික් දවස්වලට ඒක කුලියට දීල බාලට ඕන්නං අමතර ගානක් හොයාගත්තැකිනෙ.)

    ReplyDelete
    Replies
    1. ප්‍රසන්න,

      ෂෙහ් මොනවද බං මේ කියන කතා?

      Delete
  3. Replies
    1. ලිඛිතා,

      මොකෝ මේ? පිටේ කට්ටුයෑ?

      Delete
    2. මේ ටිකේ තාර බර එහෙම ඇරියම ඉතින් යාන්තන් පිටු දෙකක් ; දෙකයි කාලක් වගේ තියෙනවා. ඊටත් එහා මේ ටිපිකල් ඉන්දියන් මයින්ඩ් සෙට් එක..... රස්සාවක තියෙන්න ඕනේ මුලික දේවල් ටික මුන් පටලවාගෙන තියෙන්නේ හරියට ලොක්කා විසින් ලබාදෙන වරප්‍රසාද වගේ කියලා. අර දවල්ට නිදාගන්න එක නම් ඉතින් පොතේ තිබ්බද කියල මතක නැහැ, රවියාගේ පොතෙන් ආපු එකක් කියල සැකයි.

      පිටු දෙක ගානේ ලිව්වොත් මම මේ කල්පනා කලේ......... සසර ගමන වගේ හිටියේ නේද?

      Delete
    3. ලිඛිතා,

      /මේ ටිකේ තාර බර එහෙම ඇරියම .../

      ඔහෙ දන්නවය ඔය තාර බර කියන වචනෙ ආවෙ කොහෙන්ද කියල? ඉංග්‍රීසි "Tare weight" කියන වචනෙන්..මේ විකිපීඩියා එකේ Tare weight ගැන තියන විස්තරේ..

      /Tare weight, sometimes called unladen weight, is the weight of an empty vehicle or container.By subtracting it from the gross weight (laden weight, the weight of the goods carried (the net weight) may be determined. This can be useful in computing the cost of the goods carried for purposes of taxation or for tolls related to barge, rail, road, or other traffic, especially where the toll will vary with the value of the goods carried (e.g., tolls on the Erie Canal). Tare weight is often published upon the sides of railway cars and transport vehicles to facilitate the computation of the load carried. Tare weight is also used in body composition assessment when doing underwater weighing.

      The word tare originates from the Middle French word tare "wastage in goods, deficiency, imperfection", from Italian tara, from Arabic طرح ṭarḥ, lit. "thing deducted or rejected," from taraha "to reject"

      Tare weight is accounted for in kitchen, analytical (scientific) weighing scales and other scales which include a button that resets the zero of the scale display when an empty container is placed on the weighing platform, in order to subsequently display only the weight of the contents of the container.

      Gross weight (the total weight) = net weight (the weight of the goods) + tare weight (the weight of the empty container).

      පරණ ඔස්ටින් ඉසුසු ලොරිවල ඩ්‍රයිවර්ගෙ සීට් එකේ පල්ලෙහා පිටතට පේන පැත්තෙ පුවරුවක ඔය Tare weight විස්තර ලියල තිබ්බ බොහෝවිට කළු පසුබිමක සුදු අකුරෙන්..

      /ඉතින් යාන්තන් පිටු දෙකක්; දෙකයි කාලක් වගේ තියෙනවා/

      මට පේන්නෙ මම පෝස්ට් එකක් දාපුවම උඹ ඉස් ඉස්සෙල්ලම කරන්නෙ බගටයගෙ පොත අරගෙන.....

      "බලමු අද මේ මගෝඩිය පිටු කීයක් පරිවර්තනය (ඒ හෝතඹුව කරන මේ මල විකාරෙට පරිවර්තනය කියල කියන්ට ඇහැක්නං) කරලද කියල...ම්ම්ම්..පිටු වයි දෙකයි...දෙකයි කාලයි..යකෝ දෙකයි කාලයිනෙ..මේ විදිහට මේ යකා මට පේන්නෙ අර කවුද එකෙක් අඟහරු ලෝකෙ ජනාවාස හදල මිනිස්සු පදිංචි කරන කලුත් මේක ලියයි වගෙ..."

      Delete
    4. නැතුව ඉතින් පාටක පාටිකාවියෝ ( හෑ මොකද්ද බොලේ ඒ උනේ) වෙනුවෙන් කතාකරන්නේ නැතුව කොහොමෙයි? මේකේ ඉන්න අහිංසක ජනතාව දන්නේ නැහැනේ මෙතන වෙනම 'නෙලුන් කතාවක්' යනවා කියල.. ( නෙලුන් කියන්නේ වවාගෙන කනවට... මතකනේ ඔබටුමාමනේ ඒක කොහේදෝ තැනක විස්තර කරලා තිබ්බේ)

      මේ විජ්ජුම්බරේ ලියවෙනකල් හිටියොත් නම් ඉතින් බැරිය කියල මම පොත අරගෙනම කියෝලා දැම්මා.. දැන් ඉතින් ඇද හොයන්නයි තියෙන්නේ

      Delete
  4. අසේවනාච බාලක්‍රිෂ්ණන් 😄😄

    ReplyDelete
    Replies
    1. [°•_•°] {`^`…´^´} (~•`_´•~),

      අනන්‍යානං සේවනා....:)

      Delete
  5. බාලා එන්නේ හොඳකට නම් නෙවෙයි.

    ReplyDelete
    Replies
    1. ඒක් මානවික්ස්,

      නෑ නෑ බාලා එනපොට හොඳම නෑ....:)

      Delete
  6. ක්‍රිශා ට ජොබ නැතිවෙන පොටක්

    ReplyDelete
  7. දිවයිනේ කුකුළු ගොවීන්ට බලපා ඇති ප්‍රශ්නවලට නිසි විසඳුම් ලබා නොදෙන්නේ නම් ලබන 10 වෙනිදාගෙන් පසුව අනෙකුත් ගොවි සංවිධාන සමඟ එක්ව විසඳුම් ඉල්ලා ලංකා සුළු හා මධ්‍ය පරිමාන කුකුළු නිෂ්පාදකයින්ගේ සංගමය සහ සමස්ත ලංකා ගොවිජන සම්මේලනය එක්ව විරෝධතාවයකට යාමට සුදානම් බව සමස්තලංකා ගොවිජන සම්මේලනය කියා සිටී .

    දඹුල්ල ප්‍රදේශයේදී ඊයේ(6) ඒකාබද්ධ මාධ්‍ය හමුවක් පවත්වමින් සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න මහතා මේ බව පැවසීය.

    කුකුල් පාලනය නියාමනයකට ලක්කළ යුතු බවත් මව් සතුන් අනවශ්‍ය ලෙස ගෙන්වීම තුලින් රටේ මස් හා බිත්තර අවශ්‍යතාවයට වඩා නිෂ්පාදනය වීම නිසා බරපතල අර්බුදයකට මුහුණ පා තිබෙන බව නාමල් කරුණාරත්න මහතා පැවසීය.

    ලංකාවේ කුකුළු ගොවි කර්මාන්තය බරපතළ අර්බුදයක පත්ව තිබෙන බවත් කුකුළු ගොවීන් සඳහා මිලදී ගැනීමට ඇති සත්ව ආහාර මිල විශාල වශයෙන් ඉහළ යෑම සත්ව ආහාර සඳහා පනවා ඇති බදු මුදල් වැඩි වීම කුකුළු පැටව් සඳහා මිල ඉහළ යෑම තම නිෂ්පාදනවලට සාධාරණ මිලක් නොමැති වීම ආදී කරුණු ගණනාවක් පිළිබඳව ‍මෙම මාධ්‍ය හමුවේ දී කරුණු අවධාරණය කළේය.

    මෙම ප්‍රශ්න සඳහා සාකච්ඡාවක් ඔක්තෝම්බර් මස 10 වන දින විෂයභාර අමාත්‍ය පී.හැරිසන් මහතා ලබා දී ඇති බව නාමල් කරුණාරත්න මහතා සඳහන් කළේය.

    ReplyDelete
    Replies
    1. Ano,

      /කුකුල් පාලනය නියාමනයකට ලක්කළ යුතු බවත් මව් සතුන් අනවශ්‍ය ලෙස ගෙන්වීම තුලින් රටේ මස් හා බිත්තර අවශ්‍යතාවයට වඩා නිෂ්පාදනය වීම නිසා බරපතල අර්බුදයකට මුහුණ පා තිබෙන.../

      ඉල්ලුම සහ සැපයුම මත මිල නියම වීමේ න්‍යාය අනුව නම් මෙහෙම තත්වයකදී කුකුල් මස් සහ බිත්තර මිල අඩුවෙන්නට ඕන නේද? එහෙම දෙයක් සිද්ද වෙලානම් නෑ මම දන්න විදිහට...

      Delete
  8. බලය බෙදීම යනු රට බෙදීමක් යැයි ඇතැමුන් වරදවා වටහාගෙන ඇති බවත් රට නොබෙදා බලය බෙදන ව්‍යවස්ථාවක් රටට අවශ්‍ය බවත් මල්වතු මහනායක තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල හිමියන් විසින් ප්‍රකාශ කිරීමෙන් අනතුරුව ජාතිවාදය වැපිරීමෙන් දේශපාලනයෙහි එදා වේල සොයා ගන්නා බොහෝ පාර්ශ්වයන්හි පශ්චාත් භාගයෙහි ඉත්තෑවුන් දුවන ආකාරයක් පසුගිය දින කිහිපයෙහි දක්නට ලැබිණි. ඒ අනුව ඊයේ (06) දිනයේ එවන් ජාතිවාදය වැපිරීමෙන් ජීවිකාව සොයාගන්නා බඩගෝස්තරවාදී නිකායේ භික්ෂුවක් වන ඉත්තෑකන්දේ සද්ධාතිස්ස ප්‍රකාශ කර තිබුණේ ඉදිරියේදී දෙමළ ජාතික සන්ධානයේ ජාතික ලැයිස්තුවෙන් මහනායක හිමියන් පාර්ලිමේන්තුවට ඒ දෝයි සැකයක් තමන්ට පවතින බවය. මරුවිකලෙන් ජාතිවාදී ප්‍රකාශ දොඩවන සෑම ඉත්තෑවෙකුට ම, හික් මීයෙකුට ම, උරුලෑවෙකුට ම පිළිතුරු දීම අපේ සිරිත නොවුණත් මහනායක හිමියන්ගේ නිර්භීත ප්‍රකාශය වෙනුවෙන් අප පෙනී සිටිය යුතු බව විස්වාස කරන නිසා සද්ධාතිස්ස භික්ෂුවට මෙසේ පිළිතුරක් සටහන් කරමු.



    පළමුව කිවයුත්තේ කාගේ හෝ වල්ගයක එල්ලී පාර්ලිමේන්තුවට ගොස් පාර්ලිමේන්තු කැන්ටිමෙන් දන් වැළදීමේ මේනියාවකින් පෙළෙනා චීවරධාරීන් රොත්තක් ම මේ දිනවල දේශපාලන කරළියෙහි දැකිය හැකි නමුත් සඟ සසුන් තුළ තමන්ට යා හැකි ඉහළම තැනට ගොස් ඇති මල්වතු මහනායක හිමියන්ට නම් එවැනි හීනමානයක් ඇති වගක් රටට පෙනෙන්නට නැති වගය. පාර්ලිමේන්තු වන්දනාව මෙපිටින් තබා එදාවේලට ලැබෙන මොණර කොළ වෙනුවෙන් ද සිවුර පිටින් ම රාජපක්ෂලාට කඩේ යන, ඉඳුල් හෝදන තැනට වැටුණු භික්ෂූන් මේ දිනවල දුලභ දසුනක් නොවේ. එහෙත් රටේ අනාගතය ගැන දීර්ඝ ලෙස සිතා බලා තීන්දු ගන්නා මහනායක හිමියන්ව තමන්ගේ මට්ටමට දමාගැනීමට තැත් කිරීම ඔවුන් විසින් නොකළ යුත්තකි.

    ReplyDelete
  9. දෙවැන්න නම් දෙමළ ජාතික සන්ධානය යනු අද රටේ ප්‍රධාන විපක්ෂය බවයි. ඔවුන් රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ආරක්ෂා කරන බවට දිවුරුම් දී පාර්ලිමේන්තු පැමිණි මන්ත්‍රීවරුන් පිරිසකගෙන් සමන්විත රටේ ප්‍රධාන ම දේශපාලන පක්ෂ අතරින් එකක් මිස ත්‍රස්තවාදී කණ්ඩායමක් නොවේ. දෙමළ සන්ධානය ඉල්ලා සිටින්නේ ද බලය බෙදීමක් මිස රට බෙදීමක් නොවේ. එහෙයින් දෙමළ නම තිබුණු පමණින් දේශපාලන පක්ෂයක් කෙරෙහි වෛරී ප්‍රකාශ නිකුත් කිරීම සහ මහනායක හිමියන්ව ඊට අපහාසාත්මක අර්ථයකින් ( ඔවුන්ට අනුව ) ඈඳීම කවර ඉත්තෑවෙක් කළ ද එය හෙළා දැකිය යුතුය. මේ ඉත්තෑවුන්, වල් ඌරන් ඇතුළු ජාතිවාදී නඩයම වළි කන්නේ දෙමළ යන නම ඇසුණු පමණින් ම එතැන පන්දම් පාළි නටා රටා ගිනි ඇවිළවීමටය.

    අනෙත් අතට මෙතැනදී මල්වතු මහනායක හිමියන්ගේ ප්‍රකාශය යළි සිහිපත් කළ යුතුය. බලය බෙදීම යනු රට බෙදීමක් නොවන බවත් ඇතැමුන් එය වරදවා වටහාගෙන සිටින බවත් උන් වහන්සේ පැහැදිලිවම පවසා තිබේ. වරදවා වටහාහත් අයට නම් සත්‍ය තේරුම් කර දිය හැකි විය යුතුය. එහෙත් මේ සද්ධාතිස්සලා සම්බන්ධයෙන් නම් තත්වය වෙනස්ය. සැබැවින්ම නින්දේ සිටින්නන් ඇහැරවිය හැකි නමුත් හොරට නිදා සිටින්නන් ඇහැරවිය නොහැක. මේ මොහොතේ ව්‍යවස්ථා වගන්තියක කොටසක, වචනයක එල්ලී රට ගිනි තියන්නට උත්සාහ දරණා ඉත්තෑවුන් වල් ඌරන් ඇතුළු කාණ්ඩය අයත් වන්නේ හොරට නිදා සිටින්නන්ටය. බලය බෙදීම යනු රට බෙදීමක් නොවන බව ඔවුහු හොඳටෝම දනිති. එහෙත් දේශපාලනයෙහි එදා වේල හොයා ගැනීම වෙනුවෙන් "මෙන්න රට බෙදනවෝ" කියා බෙරිහන් දෙමින් ඩෙඟා නටති.

    මේ පාර්ශ්වයේ නායකයා වන මහින්ද රාජපක්ෂ 2005 ජනාධිපතිවරණයේදී රට හමුවේ කියන්නේ ද ඔහු ගෞරවනීය සාමයක් වෙනුවෙන් බලය බෙදාහැරීමකට සූදානම් බවය. යුද්ධයෙන් පසුව ද ඔහු එක්සත් ජාතීන් ඉදිරියේ පැවසුවේ 13 වන ව්‍යවස්ථා සංශෝධනය ඉක්මවා යන බලය බෙදීමකට තමන් එකඟ බවය. එහෙත් අද තමන් අත බලය නොමැති බැවින් රටේ ජනතාව බලය බෙදාගන්නවාට ඔහු විරුද්ධය. ඔහුගේ ලියන අප්පුලා, හේනේ මාමලා නටන්නේ ඔහු වයන පදයට ය.

    මෙම කතාවට මුල් වූ ඉත්තෑකන්දේ සද්ධාතිස්ස භික්ෂුව ගැන ද යමක් සිහිපත් කළ යුතුය. වර්ගවාදී ප්‍රකෝපකාරී ප්‍රකාශ නිකුත් කිරීම, අයුතු ජනරාශි, අධිකරණ කටයුතු වලට බාධා කිරීම්, අධිකරණයට අපහාස කිරීම් ඇතුළු චෝදනා දහසකුත් එකක් තිබියදී ම මොහුට එරෙහිව මිනීමැරුම් චෝදනාවක් ද තිබේ. "රාවණා බලයේ සද්ධාතිස්සට පොලීසිය බයද ?" මැයෙන් ලංකා නිව්ස් වෙබ් අපි එම කරුණ මීට පෙර හෙළිදරව් කළෙමු. අද මහානායක හිමියන්ගේ නැති ඇද හොයමින් අපහාස කරන්නට දඟළන්නේ චීවරය දැරීමටත් නුසුදුසු මෙවන් පුද්ගලයින්ය. අද රට බේරා ගැනීම ගැන කටමැත දොඩවන්නේ මේ වන විට බන්ධනාගාරයෙහි සිටිය යුතු මෙවන් පුද්ගලයින්ය. මහානායක හිමියන් සමඟ අපට ඇති ප්‍රශ්නය වන්නේ ද මෙවැන්නන් සඟ සසුනින් නෙරපා හැර සසුන ශුද්ධ කර ගැනීමට ක්‍රියා නොකිරීම සම්බන්ධයෙන් ය.

    ඉත්තෑකන්දේ සද්ධාතිස්ස භික්ෂුව තම අජූත ප්‍රකාශය කර තිබුණේ ද අපූරු මොහොතකය. එනම්, පසුගියදා මියන්මාර් සරණාගත පිරිසක් රඳවා සිටි නිවසකට පහරදීම සම්බන්ධයෙන් දැනට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින අක්මීමන දයාරත්න භික්ෂුව බැලීම සඳහා වැලිකඩ බන්ධනාගාරයට පැමිණි මොහොතේය. එක අත්තේ වහන එක වර්ගයේ කුරුල්ලන් එකිනෙකාගේ පිට කසා ගැනීම ගැන අපට වගක් නැත. ඉත්තෑකන්දේ සද්ධාතිස්ස, ගලගොඩ අත්තේ ඥානසාර, අක්මීමන දයාරත්න වර්ගයේම කෙනෙකු වන ඇල්ලේ ගුණවංශ භික්ෂුව විසින් කලකට ඉහත "අපි එකම රෑනේ කුරුල්ලෝ" යනුවෙන් ගීතයක් රචනා කර තිබුණේ ද මේ සම්බන්ධයෙන්දැයි අප දන්නේ නැත. එහෙත් කටට එන පළියට වචන දොඩවා රට ගිනි තැබීමට මාන බලන ඉත්තෑවුන්, වල් ඌරන්, හිකනලුන් ඇතුළු සනුහරයට ද ඉත්තෑවුන්ට වොයිස් කට් දීමට මයික් අල්ලනා කබල්ලෑවුන්ට ද එකවර පැවසිය යුතුව ඇත්තේ වඩා විවෘතව රටේ අනාගතය ගැන සිතන පරම්පරාවක් විසින් ඔවුන්ව දේශපාලන වේදිකාවෙන් අතුගා දැමීමේ කාලය ඉතා ඉක්මනින් ම ළඟාවන බවය.

    සබැඳි පුවත් -

    ReplyDelete
  10. බාලාට මුල අමතක වෙයිද.... එහෙම නැත්තන් කුඩු කෑ විත්තිය වගේ වෙයිද... හිතා ගන්න බෑ...

    ReplyDelete
    Replies
    1. නිර්මාණී,

      එව්ව කියන්ට බෑ...හෙහ්,හෙහ්

      Delete
  11. //"තව තත්පර තිහක් ඇතුලත තමුසෙ ඔය කියන්ට තෙපරබාන මල ඉලව්ව කිව්වෙ නැත්තං දෙයියම්පල්ල මම තමුසෙගෙ හොම්බට දෙකක් අනිනව.." //

    Within 30 posts ?

    ReplyDelete
    Replies
    1. Pra,

      I am sure you got a distinction at the final exam of that "Sarcasm as a way of life" course you followed....:)

      Delete
  12. බාලා මොකද මේ පැත්තේ මතක් වුණා හිටං!

    ReplyDelete
    Replies
    1. උදය,

      අපි කිව්වෙ "අද මොකද බාලා?" කියල...:)

      Delete
  13. ම්හ්... මෙලෝ මළ දානයක් අල්ලගන්න බැරිඋනා.. කොනක ඉඳං කියවන්න වෙයි !

    ReplyDelete

මගේ සිතුවිලි ගැන ඔබේ සිතුවිලි

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...