Monday, December 26, 2011

76. කෝ..... නැද්ද වෙන කවුරුවත්?...Where are the others?

ආදි මානවයා සිතීමේ ශක්තිය උපදවාගත් දින සිට වර්තමානය දක්වා දහසකුත් එකක් බාධක කම්කටොළු මැඩගෙන පැමිණි උත්තරීතර ගමන් මඟේ ඒ හැම මොහොතක් පාසාම ඔහුගේ සිත තුල වද දුන් පිළිතුරු නොමැති බොහෝවිට කිසිදාක නිසැක පිළිතුරු සොයාගත නොහැකිවේයයි අනුමාන කලහැකි නිරන්තර සහ සදාකාලික ගැටළු කිහිපයකි.

මිනිස් වර්ගයාගේ සහ ලෝකයේ එසේම විශ්වයේ ආරම්භය කෙලෙසක වීද?.....ඒ එක් සදාතනික ගැටළුවකි......ඊට පිළිතුරු වශයෙන් ඇත්තේ න්යායයන් සමූහයක් පමණි.

පරස්පර විරුද්ධ න්යායයන් සනාථ කිරීමෙහිලා එම න්යායයන් ප්රයවර්ධනය කරන විද්වතුන් නොයෙක් තර්ක සහ සාධක ගෙන ආවද බහුතරයකට එකඟ විය හැකි මතයකට මිනිස් වර්ගයාට කෙදිනක හෝ ළඟා වියහැකිද යන්න අවිනිශ්චිතය.

එසේම විසඳුමක් නැති ඒ හා සමාන අනෙකුත් ගැටළුව නම් අපි මේ විශ්වයේ තනිවී සිටින්නෝ වෙමුද?.....අනන්තය කරා පැතිර ගිය ඉමක් කොණක් සිතාගත පවා නොහැකි මේ අපරිමිත විශ්වයේ ජීවීන්ගේ පහස ලබනුයේ අප වසනා අපගේ තොටිල්ල වන මේ පෘථිවිය නම් නිල්පැහැ ග්රහලොව පමණක්මද යන්නයි.

පළමු ගැටළුව සමඟ සැසඳීමේදී දෙවන ගැටළුවෙහි කැපී පෙනෙන වෙනස නම් ඊට පිළිතුරු හෙට දිනයේ වුවද පැහැදිලි ලෙසම ලැබීමට ඇති අපූර්ව හැකියාවයි.

'' බටහිර ඕස්ට්රේලියාවේ පර්ත් නගරයේ සිට කිලෝමීටර හාරසියයක් නැගෙනහිරින් පිහිටි ජනශූන්ය ප්රදේශයකට මීට සුළු මොහොතකට පෙර නොහඳුනන යම් අභ්යාවකාශ යානයක් වැන්නක් ගොඩ බට බව වාර්තා වේ. කිසිම රේඩාර් තිරයක හෝ සටහන් නොවුනු මේ යානය දුටු කාන්තාරයේ සංචාරයේ යෙදුනු පර්ත් නගර වාසීන් පිරිසක් ඒ වෙත ළඟාවීමට තැත්කල නමුදු කිසියම් මෙතෙක් මනුෂ්ය වර්ගයා නොදන්නා ශක්ති ක්ෂේත්රයක් හේතුකොටගෙන ඒ උත්සාහය වැළකී ගිය බව ද වැඩිදුරටත් වාර්තා වේ. ''

මෙහෙම ප්රවෘත්තියක් නිකමට හිතන්න සිරසෙ එහෙම නැත්නම් දෙරණේ සාමාන්ය විකාශය අතර තුර විශේෂ ප්රවෘත්තියක් හැටියට විසුරුවා හැරියය කියල....මිනිස් වර්ගයා තම මුළු මහත් ඉතිහාසය තුල වර්ධනය කරගත් චින්තනය...එහෙම නැත්නම් දර්ශනය එක නිමේශයකින් උඩු යටිකුරු කරවන ප්රවෘත්තියක් නොවන්නේද ඒ?

අපි මේ විශ්වයේ තනි වෙලා නැහැ....තවත් අප වගේ හෝ අපිට හාත්පසින්ම වෙනස් ජීවීන් මේ විශ්වයේ ඉන්නවයි කියල ස්ථිරව දැන ගත්ත දවස මිනිස් ඉතිහාසයේ මෙතෙක් නොවූ වීරූ සාතිශය වැදගත් දවසක් වේවි අනිවාර්යයෙන්ම.

************************************************

කුඩාවුන් නින්දෙන් නඟන කෙඳිරිලි හඬ හේතුකොටගෙන නින්දට පිවිසීමට අපොහොසත් වූ හඳයා ගල්ගුහාවෙන් පිටතට පැමිණියේය. ගුහාව ඉදිරිපස වූ ගල් තලාව මත හිඳගත් ඔහු සඳ නැති රැයෙහි දීප්තිමත්ම බබලන තරු කැට දෙස හිස ඔසවා බලා සිටියේය.


සිතුවිලි එකිනෙක පැටලී නොයෙක් අපැහැදිලි සිතුවම් මැවූ හෙයින් තරු යනු කිමෙක්ද පිළිබඳව ඔහුගේ අර්ධ වානර අර්ධ මනුශ්‍ය ප්රාථමික මනස තුල වූයේ බොඳ වී ගිය සිතුවිලි සමුදායකි.තමනට සිතීමේ ශක්තිය ගෙන දුන්නේ ඒ තරු වලින් පැමිණි අමුත්තන් පිරිසක් බව දැනටම ඔහුගේ මතකයෙන් ගිලිහී ගොසිනි. ඒ ද ඒ තරු වලින් පැමිණි අමුත්තන්ගේම සැලසුමක් පරිදි බව ද ඔහු කිසි දාක දැන නොගනු ඇත.
( Arthur C. Clarke - 2001 A Space Odyssey ඇසුරිනි )


***************************

ක්රි. පූ. 4000, මිසර අධිරාජ්යයේ ප්රධාන පූජකයා සහ තාරකා ශාස්ත්රඥයා වූ ටයිටා මිසරයේ ඉතාම උස් වූ පිරමීඩයේ ඉහල මාලයේ තම ආකාශ වස්තු නීරීක්ෂණාගාරයේ සිට තම හස්තයෙන් ස්පර්ෂ කලහැකි සේ බබලන තාරකා නීරීක්ෂනය කරමින් සිටියේය.

ඉතාම දියුණු ප්රඥා බල මහිමයකින් යුතු වූ හෙතෙම මේ වනවිට තාරකා යනු තවත් සූර්යයින් සමුහයක් බව දැන සිටියේය. මේ වනවිට ඔහු තම විචාරාක්ෂිය යොමු කරමින් සිටියේ මෙම තරු රාශියෙහිද මිනිසුන් වැනි ජීවීන් සිටිය නොහැකිද යන සදාතනික පැණයට පිළිතුරු සෙවීමටය.
( Wilbur Smith – River God ඇසුරිනි)


***************************

අනුරාධපුර අහසෙහි පුරා සඳ පායා තිබිණි. පුරා සඳ රැසින් වුවද මැකී නොගිය තරු රැසක් අහස මුදුනත බැබළිණි. රූපවාහිනියෙහි අභ්යාවකාශයෙන් පිටත ජීවීන් සෙවීම පිළිබඳ වැඩ සටහනක් නරඹා මිදුලට පැමිණි එක් තරුණයෙක් ඉහල අහසෙහි දිදුලන තරු නරඹමින් මෙසේ සිතුවේය ‘’ මම දැන් මෙ මොහොතේ අර තරුව දිහා බලාගෙන ඉන්නවා....ඒ තරුව කියන්නෙත් තවත් සූර්යයෙක්. ඒ තරුව වටා ගමන් කරන තවත් මේ පෘථිවිය වගෙ ග්රහ ලෝකයක් තියනව කියල හිතමු. ඒ ග්රහලෝකයෙ දියුණු ජීවීන් කොට්ඨාශයක් ඉන්නව කියලත් හිතමු. එතකොට මේ මොහොතේ ඒ ග්රහ ලොවේ ඉඳල මම වාගෙම කවුරුහරි ඈත අභ්යාවකාශයෙ පුංචි තිතක් වගෙ දිළිසෙන අපෙ සූර්යයා දිහාවෙ බලාගෙන ඉඳල මම හිතනවිදිහටම හිතනව වෙන්න බැරිද? ‘’

‘’ අර පේන පුංචි තරුව වටා ගමන් කරන ග්රහලෝකයක ජීවීන් ඉන්න බැරිද?....ඒ ජීවීන්ගෙන් කෙනෙක් මේ මොහොතේ අපේ සූර්යයා දිහාවෙ බලාගෙන අර තරුව වටා යන ග්රහලොවක ජීවීන් ඉන්න බැරිද? කියල තමන්ගෙන්ම විමසනව වෙන්න බැරිද? ‘’

එසේ ඈත දිදුලන තරු දෙස බලා තමන්ගෙන්ම එලෙස විමසූ තරුණයා මම වෙමි.

***************************

හඳයා, ටයිටා සහ මම......මිනිස් සංහතියේ දුර ඈත අතීතයේ සිට වර්තමානය දක්වා දිවෙන අනවරත කතාවේ චරිත තුනක්.....කල්පිත චරිත දෙකක් සහ සත්යවූ එක් චරිතයක්....මිනිසුන් වීම හැරුණුවිට ඔවුන් තිදෙනාටම පොදු එක් තවත් සාධකයකි. එනම් මේ සුවිසල් විශ්වයෙහි ජීවත්වන්නේ අප පමණක්ද යන සදාතනික ගැටළුවට පිළිතුරු සෙවීමට ඔවුන් තිදෙනම යම් වෑයමක් තැතක් උත්සාහයක් දැරීමය. අවම වශයෙන් තමන්ගෙන්ම හෝ ඒ පැණය විමසීමයි.

ඒ පැණයට පිළිතුරු සැපයීම තම ජීවිතයේ එකම අභිලාෂය කොටගත් තවත් එක් උත්තරීතර මිනිසෙක් පිළිබඳව ඔබට පැවසීමටය මම මේ පූර්විකාව උපයෝගී කොට ගත්තේ.....

රූපවාහිනියේ මම නැරඹු එම වැඩසටහනෙහි නිර්මාතෘ ඔහුය.....ඔහු..ඒ අද්වීතීය මිනිසා නමින්
කාල් සේගන් ය.
එම වැඩසටහන වූ කලී Cosmos - A Personal Voyage
නම් වූ විශ්වය පිළිබඳ දැනුම් සම්භාරයක් ලොවට ලබාදුන් සුවිශේෂී රූපවාහිනී වැඩ සටහනයි.




පුරා පැයකට ආසන්න කාලයක් පුරා දිවෙන කොටස් 13 කින් සමන්විත එම වැඩ සටහන් මාලාව මෙතෙක් රූපවාහිනියේ විකාශය වුනු මගේ ප්රියතම වැඩසටහන් අතර මුල් තැනක් ගන්නා බව එකහෙලා ප්රකාශ කල හැක....විශ්වයේ උපත, මහා පිපුරුම් න්‍යායය, ජීවයේ උපත, SETI ( Search for Extra-terrestrial Intelligence ) නොහොත් විශ්වයේ වෙනත් බුද්ධිමත් ජීවීන් හා සබඳතා ඇතිකරගැනීමේ ව්යාපෘතිය,කාලය සහ අවකාශය වැනි මිනිස් බුද්ධියේ ගැඹුරුම අහුමුළු ස්පර්ශ කරන විෂයයන් රාශියක් පිළිබඳව සවිස්තරාත්මක සහ විචිත්ර ලෙස විවරණය කෙරෙන මෙම වැඩ සටහන් මාලාව ඔබ මෙතෙක් නරඹා නැතිනම් කරුණාකර කාලවේලාව කෙසේ හෝ කලමණාකරනය කොටගෙන ඒ නරඹන්න. ඒ ඔබට කිසිදාක අමතක නොවන අත්දැකීමක් වනවා නොඅනුමානය.

Episode 1 - The Shores of the Cosmic Ocean

Episode 2 - One Voice in the Cosmic Fugue

Episode 3 - The Harmony of the Worlds

Episode 4 - Heaven and Hell

Episode 5 - Blues for a Red Planet

Episode 6 - Travellers' Tales

Episode 7 - The Backbone of Night

Episode 8 - Journeys in Space and Time

Episode 9 - The Lives of the Stars

Episode 10 - The Edge of Forever

Episode 11 - The Persistence of Memory

Episode 12 - Encyclopaedia Galactica

Episode 13 - Who Speaks for Earth?

Personally, I would be delighted if there were a life after death, especially if it permitted me to continue to learn about this world and others, if it gave me a chance to discover how history turns out.
- Carl Sagan

***********************************

කාල් සේගන් නම් වූ ඒ අපූර්ව මිනිසා මියගොස් දෙසැම්බර් විසිවන දාට වසර පහළොවක් සපිරුනි.

15 comments:

  1. ස්තුතියි, ලිපියට.

    කාල් සාගන් ආගම දැඩිව විවේචනය කලත් නිර්-ආගමිකයෙක් ලෙස හඳුන්වනවාට අකැමති වූ අයෙක්.

    ReplyDelete
  2. රවි අයියා, මේකට මං පස්සෙ කමෙන්ට් එකක් ලියන්නම්.. දැන්නං මට හොඳටෝම වැඩියි, ලියන්න ගියොත් මොනවයින් මොනවා ලියවෙයිද දන්නෙ නෑ.. :D

    ReplyDelete
  3. වීඩියෝ නම් විවේක වෙලාවක බලමි.සබැඳි ලබා දුන්නාට ස්තුතියි.
    මේ ප්‍රතිචාරය ඔබේ "සිතිවිලි" වලටයි.
    විශ්වයේ ආරම්භය කෙසේවීද? - එය සෙවිය යුත්තක්/සෙවිය හැක්කක් නොවේ (පිළිතුරු සෙවි යුතු ඊට වඩා බරපතල(critical) ගැටලු තිබේ)
    විශ්ව‍යේ වෙත් ජීවීන් සිටිත්ද? - ඔව්
    ඉහත දැක්වූයේ බුදුදහම තුල ඒ පැනයන්ට ඇති වසඳුම්ය.මම ද ඒවා පිළිගනිමි.

    ReplyDelete
  4. @ dawkinsdodo,

    ස්තුතියි ඔබටත් ඩෝකින්ස්....

    / කාල් සාගන් ආගම දැඩිව විවේචනය කලත් නිර්-ආගමිකයෙක් ලෙස හඳුන්වනවාට අකැමති වූ අයෙක්./

    Carl Sagan was NOT an atheist. He was an AGNOSTIC. He has been quoted in saying "an atheist has to know a lot more than I know, An atheist is someone who knows there is no god. By some definitions atheism is very stupid"

    He just really thought that the stereotypical idea of "God" was incorrect.

    Here is a quote from wikipedia. "The idea that God is an oversized white male with a flowing beard, who sits in the sky and tallies the fall of every sparrow is ludicrous. But if by 'God' one means the set of physical laws that govern the universe, then clearly there is such a God. This God is emotionally unsatisfying ... it does not make much sense to pray to the law of gravity."

    ඔහු තමන් අදේවවාදියෙකු ලෙස හැඳින්වූයේ නැහැ. දෙවියන් නොමැති බවට ස්ථිරවම කිව නොහැකි බවයි සේගන් ගේ මතය වූයේ.ඒ අනුව ඔහු වඩාත් කිට්ටුවන්නේ Agnostic එනම් දෙවියන් සිටිනවාද නැද්ද යන්න පිළිබඳව අපක්ෂපාත මත ධාරීයෙකුටයි.

    '' කාල් සාගන් ආගම දැඩිව විවේචනය කලත් අදේවවාදියෙක් ලෙස හඳුන්වනවාට අකැමති වූ අයෙක්.''

    මෙහෙම කිව්වොත් වඩාත් සුදුසුයි කියලයි මට හිතෙන්නෙ.....

    ReplyDelete
  5. @ Buratheno,

    හෙහ්, හෙහ්, ඊයෙ නත්තල් නෙව මලේ....මමත් මේ ලිපියෙ අන්තිම හරිය ලිව්වෙ අප්පමාදෝ අමර පදං වෙලා....ආයෙ මහ රෑ ඇහැරල සංසෝදනේ එහෙම කරල තමයි පබිලිස් කොලේ...හෙහ්, හෙහ්, ඔහොම්මම ලියහං මලේ මොනව හරි.....සමහර විප්ලවකාරී අදහස් පහළ වෙන්ට දෙකක් දාගෙන ඉන්ටම ඕන.....

    ReplyDelete
  6. @ ජයශ්‍රී,

    / විශ්වයේ ආරම්භය කෙසේවීද? - එය සෙවිය යුත්තක්/සෙවිය හැක්කක් නොවේ /

    බුදු දහමෙ එහෙම කියනවයි කියල තියනව තමයි, ජයශ්‍රී,අර බොහොම ප්‍රසිද්ධ කතාවක් එහෙම තියෙන්නෙ හීයක් වැදුනු මිනිසෙක් වහාම ප්‍රතිකාර කරනොගෙන හීය විද්දෙ කවුද?....මොන වර්ගයේ දුන්නකින්ද?.....ඔන්න ඔය වගෙ විස්තර හොයන්ට ගියොත් ඒ මනුස්සය මියයනවයි කියල........ඒ කතාව ඇත්ත....

    ඒත් අනික් අතට විශ්වයේ ආරම්භය සෙවිය යුත්තක් නොවේ කියන කතාව බුදු හාමුදුරුවො කිව්ව උනත් මට ඒකට එකඟ වෙන්න බෑ. බුදු හාමුදුරුවොමනෙ කියල තියෙන්නෙ තමන්ගෙ විචාර බුද්ධියෙන් විමසල බලල ඕනම දෙයක් පිළිගන්නෙයි කියල. ඒක බුදු වදනටත් වලංගුයි අනිවාර්යයෙන්ම.මිනිසා මෙපමණ දුරක් ආවෙ නොසිඳෙන දැනුම් පිපාසය නිසාමයි.විශ්වයේ ආරම්භය අපිට කවදාවත් දැන ගන්ට නොලැබෙන්ට පුළුවනි. ඒත් ඒ උත්සාහය අතාරින එකක් නැහැ මිනිස්සු කවමදාවත්,එහෙමම තමයි වෙන්නත් ඕන......

    ReplyDelete
  7. මටන් ගොඩාක් දේවල් තේරුනා මදි වගේ

    ReplyDelete
  8. @ වර්ණා,

    හෆොයි දෙයියනේ.....ඉතිං මොකද කොරන්නෙ?...:(

    ReplyDelete
  9. ඔන්න මං නිවී හැනැහිල්ලේ කියවලා තේරුම් ගත්තා. මේක වෙනදා වාගේ කලබලේට කියෙව්වට තේරුණේ නෑ. ඒත් දැන් ආපහු කියෙව්වහම තේරුණා කොච්චර වටින ලිපියක්ද කියලා. ස්තූතියි රවි අයියේ, ලිපියටත් සබැඳි ටිකටත්. මේ කියපු කාර්ල් සේගන් ගැන මම කලින් අහලා තිබ්බෙ නෑ.

    ReplyDelete
  10. නිදහස් වෙලාවක බලන්න ඕනෙ ලින්ක්ස් ටික... වටිනා තොරතුරු සහිත ලිපියක් ලිව්වට ස්තූතියි...

    ReplyDelete
  11. I'm watching Carl Sagan's programs right now. Oh, how can we thank you Ravi Ayya, for sharing those links and for telling us about this. Even just watching those clips is a real experience. They are so.. wonderful. Aesthetic as much as scientefic. Thank you very very much!

    ReplyDelete
  12. @ Sithuvili,

    Just fantastic aren't they Nangi?....please watch the whole series, over and over again,

    you would be never be the same again when thinking in the context of earth being a tiny miniscule mote of dust in this immense universe,having said that we may be the only living beings in this vast emptiness, makes you really sad to even think of it,

    Thanks for watching it ..you certainly made my day .....heh, heh,

    ReplyDelete
  13. මට හැමදාම තිබිච්ච ගැටළුවක් තමයි ඇයි මෙච්චර ප්‍රශ්ණ තියන ලෝකෙක [බඩහින්න, නියඟය, මාරාන්තික ලෙඩ, පරිසර දූෂණ.... සහ තවත් දහසක් වූ පිළිතුරු සොයානොගත්] විශ්වයේ ආරම්භය හෝ වෙනත් ජීවීන් ඉන්නවාද යන්න සොයා බලන්න දත කන්නෙ කියල. හැබැයි එහෙමයි කියල මේ විශයට තියන ආසාව නම් මගෙත් බොහොම ඉහලයි. Through the Wormhole, BBC universe, ancient aliens මගෙ ප්‍රියතම වැඩසටහන්. ඒව බලනකොට හෙට කන්නෙ කොහොමද කියන ප්‍රශ්ණෙත්, අල්ලපු ගෙදර එකා හෙට වැට මායිමට මරාගන්න එනව නේද කියන එක වගේම, ගත්තු ණය කන්දරාව ගෙවාගන්නෙ කොහොමද කියන එකත් අමතක වෙලා අමුතුම ෆැන්ටසියක හිරවෙනව. ඊටපස්සෙ දන්නෙම නැතුව පහුවෙනිද වෙනකල් සනීපෙට නින්දයනව.

    ReplyDelete
  14. @ Sammani,

    ස්තූතියි නංගි...බලන්න බලන්න....වටිනාකම කියා නිමකරන්න බැරිතරමයි......

    ReplyDelete
  15. @ nawammawatha,

    ප්‍රශ්න කියන එව්ව කිසිදාක ඉවරවෙන දෙයක් නෙවෙයිනෙ නවම් මලේ...උඹ ඔය කියන එව්ව හැකි ඉක්මනින් විසඳාගත යුතු බරපතල කාරණා නම් තමයි. ඒත් මේ ටික විසඳගෙන ඉමු, විශ්වය ඒ වගේම ජීවයේ ආරම්භය ගැන හොයා බලන්න කියල හිතුවොත් වෙන්නෙ කිසිදාක ඒ වැඩේ කෙරෙන්නෙ නෑ...ඒක අනිවාර්යයයි.....

    අනික දන්නවද අද අපි එදිනෙදා පාවිච්චි කරන බොහොමයක් උපකරණ වල මූලාරම්භය අභ්‍යාවකාශ තරණය පිලිබඳව කල පර්යේෂණ වලින් බිහිවූ අතුරු ඵල කියල...දුරස්ථ සංවේදක (Remote sensors ), ක්ෂුද්‍ර තරංග උඳුන ( Micro wave oven) ,කාබනීකෘත වානේ, GPS System උදාහරණ කීපයක්...

    ඉතින් බොලේ කවුද දන්නෙ හරියටම...... විශ්වයේ ආරම්භය පිළිබඳව කෙරෙන පර්යේෂණ වලින් නොසිතූ වීරූ විදිහට අපේ එදිනෙදා ප්‍රශ්න වලට විසඳුම් ලැබෙන්නත් පුළුවන් නේද?

    / Through the Wormhole, BBC universe, ancient aliens මගෙ ප්‍රියතම වැඩසටහන්. ඒව බලනකොට හෙට කන්නෙ කොහොමද කියන ප්‍රශ්ණෙත්, අල්ලපු ගෙදර එකා හෙට වැට මායිමට මරාගන්න එනව නේද කියන එක වගේම, ගත්තු ණය කන්දරාව ගෙවාගන්නෙ කොහොමද කියන එකත් අමතක වෙලා අමුතුම ෆැන්ටසියක හිරවෙනව. ඊටපස්සෙ දන්නෙම නැතුව පහුවෙනිද වෙනකල් සනීපෙට නින්දයනව. /

    හෙහ්, හෙහ්, විසඳුමක් හිතාගන්න බැරි ප්‍රශ්නයක් ඔළුවට වද දෙනකොට මමත් කරන්නෙ ඔය ටික......ඒ වෙලාවට කියවන්න මගේ ළඟ වෙනම පොත් සැට් එකකුත් තියනව.....හෙහ්, හෙහ්,ආතර් සී. ක්ලාර්ක්ගෙ, අයිසැක් ඇසිමොව් ගෙ එහෙම නැත්නම් රේ බ්‍රැඩ්බරිගෙ පොතක් තමයි ඒ වෙලාවට හරි යන්නෙ....

    ඈ මා සොයා උඩුමහලට පැමිණියාය.

    '' ආ....ඔයා මේ පොතක් බලනව.....මම මේ හිතුවෙ......ආ, ඒකෙන් වැඩක් නෑ....දැන් ලොකු අයියගෙන් ගත්තු ලෝන් එක හෙට ආපහු දෙන්නෙ කොහොමද?.....එයාට මොකක්ද හදිස්සියක් වෙලා හෙට සල්ලි ඕනය කිව්වනෙ...''

    '' හරි, හරි, ඒකට මොකක් හරි කරමු අපි....ඒක නෙවෙයි...දන්නවද මේ පොතේ තියනව Worm Hole එහෙකින් ගිහිල්ල Sixth Dimension එකට ඇතුල් වෙන්න පුළුවන් නම් අතීතයට යන එක බොහොම සුළු වැඩක් කියල.....දෙයියෝ සාක්කි... නිකමට හිතන්නකො ඒ ගැන..''

    '' මක් කිව්ව?.....පිස්සුද මන්ද හැබෑටම..... හෙට එහෙනම් අයිය සල්ලි ගෙනියන්න එනකොට අතීතයට වත් ගිහිල්ල ඉන්න එකයි ඇත්තෙ....'' ඈ ගස්සාගෙන නික්ම ගියාය.

    '' අම්මප ඔයාටත් එනවනෙ හිටපු ගමන් මරු අයිඩියාස්....ඔන්න බලන්නකො...මට නිකමටවත් මතක උනේ නැතිහැටි ඔහොම දෙයක්....හෙහ්, හෙහ්, හෙහ්....'' මම මහ හඬින් සිණාසුනෙමි.

    ReplyDelete

මගේ සිතුවිලි ගැන ඔබේ සිතුවිලි

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...