Thursday, May 9, 2013

185. විමලෙගෙ වාං පතුල් කතාව - ලොක්කිගෙ මොරෝම ගති, ඉම්රාන් ඛාන්ගේ බත් ඉවීම සහ වැසි මැවිසුරුගේ අනපේක්ෂිත ස්නානය



ඔන්න බලමුකො ඒකෙත් හැටි සුබාව..ගිය පාර කතාව පටං ගත්තෙ දෑන් ඔන්න එහෙනං ගුණතිලකයගෙ දෙවෙනි කතාව කියලයි. අන්තිමට රටේ නැති වැල් වටාරං පල් හෑලි කියෙව්ව මිසක කියන්ට ආපු එක කිව්වෙ නෑ නෙව... 

හරි එහෙනං ඔන්න කියන්ට ආපු කතාව...මම කිව්වනෙ ගුණතිලකය මහ මදාවියයි කියල. අර ගං ගොඩේ කෙල්ලොංට වතුර විදින කේස් එකත් කිව්වනෙ නේද?...හරි...ඔය ගමේ හරි හරියට හිටිය මුස්ලිම් සිංහල දෙගොල්ල. ඒ කාලෙ හලාල් ගැන ප්‍රශ්නයක් වත් නිකාබ් එක ගැන ප්‍රශ්නයක්වත් කාටවත්ම තිබුණෙ නෑනෙ. දෙගොල්ල බොහොම සාමයෙං සහයෝගයෙං හිටිය. 

ඔය ගම්මානෙං හුඟක් මුස්ලිම් ඒ වගේම සිංහල කොල්ලො අපෙ කෑම්ප් එකේ චෙක් රෝලෙ වැඩට ආව. ( චෙක් රෝල කියන්නෙ අනියම් සේවකයින්ගෙ නාම ලේඛණය ) එහෙම ආපු එකෙක් තමයි අර ගෝණට වෙඩි තිබ්බෙ…….මුර්තලා...

මුර්තලාගෙ මස්සිනත් අපි ළඟ වැඩ කලා. බොහොම අහිංසක හාදය...ඉම්රාන් නම. නැචුරලි අපි ඉතිං කිව්වෙ ඉම්රාන් ඛාන් කියලයි.ඔය සුප්‍රසිද්ධ පුද්ගලයින්ගෙ නම් දරුවන්ට දාන එක සමහර දෙමව්පියන්ගෙ සිරිතක්. විශේෂයෙන්ම තමන් ඉතාම ප්‍රිය කරන ගෞරව කරන පුද්ගලයින්ගෙ නම්...හැබැයි මම මේ කියන ඉම්රාන්ට නම වැටිල තියෙන්නෙ නම් එහෙම වෙන්න බෑ. මොකද ඉම්රාන් ඛාන් ප්‍රසිද්ධ වෙනකොට මම මේ කියන ඉම්රාන් ඉපදිලත් සෑහෙන කල් කිසිම සැකයක් නැතුව.ජෝසප් ස්ටාලින් කියන්නෙ ගුරු සංගම් නායකයෙක්.. ඒ වගේම බ්‍රැඩ්මන් වීරකෝන් ඇවිල්ල අග්‍රාමාත්‍යවරුන් හත් දෙනෙකුගෙ ලේකම් හැටියට සේවය කරපු පරිපාලන නිලධාරියෙක්. මේ දෙන්නගෙ එකම සමානකම මම හිතන්නෙ දෙන්නම මනුස්සයො වීම ඇරුණු කොට ප්‍රසිද්ධ පුද්ගලයින්ගෙ නම් දැරීම.හරි නම් ගැන දැනට ඔය ඇති. පස්සෙ වෙලාවක වෙනම සටහනකින් ඒ ගැන සවිස්තරව කතා කරමු. විවිධාකාර නම් ගැන. ගැහැණු මිනිස්සුංගෙ නම්, ස්ථාන නම්, ග්‍රාම නම් ගැන බොහොම රසවත් දේවල් මහ හුඟක් තියනව කතා කොරන්ට...හෙහ්, හෙහ්, 

ඉම්රාන් ගැන කියාගෙන ආව නිසා මනුස්සය ගැන එක කතාවක් විතරක් කියන්නං දැනට... හොඳද? අපේ චමරි ගැන මම කලිං කියල තියනවනෙ..චමරියෙ උයන්ට හිටියෙ චෙක් රෝලෙ සේවකයො. ඒ කියන්නෙ අනියම් කම්කරුවො. ඒ දවස්වල කම්කරු රෙගුලාසි අනුව දින 180 වඩා එක දිගට අනියම් පදනම මත කම්කරුවෙක් සේවයේ යොදවා ගන්ට බෑ.අනියම් කියන වචනෙ තේරුමම හදිසි අවශ්‍යතාවයකට යොදාගැනීම කියන එකනෙ. එතකොට දින 180 වගෙ කාලයක් ( මාස 6 ) එක දිගට සේවයෙ යොදවා ගත්තොත් අනියම් පදනම බිඳ වැටෙනව කියන තර්කය මත තමයි ඔය රෙගුලාසිය ඇවිත් තියෙන්නෙ. එක්කො ඒ මනුස්සයගෙ සේවය ස්තිර කරන්ට ඕන එහෙම නැත්නම් සේවය නතර කරන්ට ඕන. 

ඔය රෙගුලාසියෙං ගැලවෙන්ට කලේ මෙහෙමයි. චෙක් රෝලෙ සේවකයො මාස 6 ක් සම්පූර්ණවෙන්ට දවසකට දෙහෙකට ඉස්සරවෙලා චෙක් රෝලෙං අයිං කරනව සති දෙහෙකට නැත්තං මාසෙකට. ඒ කාලෙ මාස 6 කට පස්සෙ ඔන්න මිනිස්සු ගෙවල් වලට ගිහිල්ල එහෙම එනව. සර්විස් කඩනව කියලයි ඒකට කිව්වෙ. රෙගියුලර් ගෝලය එහෙම සර්විස් කඩල ගෙදර ගිහාම චෙක් රෝලෙං වෙන කවුරු හරි දෙනව ඉවුම් පිහුම් වලට තාවකාලිකව.ඔය එහෙම එන බොහොමයක් එවුංට උයන්ට බෑ. ඉතිං ගෝලයටත් එක්ක කන්ට අපි තමයි උයන්නෙ...හෙහ්, හෙහ්, 

අපෙ හිටිය හුඟක් එවුන්ට උයන්ට පුළුවෙනි යස අගේට.උදේ අටට වැඩට ගිහිල්ල හවස හතරට ඇරිල ගෙදර යන රස්සාවක් නැතුව ජීවිතේ ටික කාලයක් හරි කඳවුරක එහෙම නැත්තං නිල නිවාසයක දුර බැහැර පලාතක ජීවිතේ ගෙවන එකේ තියන මිල කල නොහැකි වාසි වලින් එකක් තමයි ඔය ඉවුම් පිහුම් වලට පුරුදු වෙන එක. උපන්දින මතක සමරුම් කතාවෙ සෝමෙ අයිය මතකයි නේද? 

හිරයක් ගත්තහම ඔය ඉවුං පිහුං හැකියාව බොහ්හෝම්ම පොරෝජං වෙනව. අපේ මේ වනිතා පක්සෙ බොහොම උජාරුවට පාරම් බාන එකක් නෙව කටට රහට උයන්ට පුලුවනිය කියන එක ( හරි, හරි ලමයි...කාම් ඩවුං කාම් ඩවුං..හැමෝම ගැන නෙවෙයි මම මේ කියන්නෙ...හොඳද?...යාන්තමට පරිප්පු හොද්දක්, කොල මැල්ලුමක්, හාල් මැස්සං බැදුමක් වත් හදාගන්ට පුලුවන් අංගනාවියො ගැනයි මම මේ කියන්නෙ..එහෙම ආඩම්බර වෙන්ටත් කලිං උයන්ට දැනගෙන ඉන්ට එපාය ) 

අපෙ උන්නැහේ නං අන්න ඒ අතිං මල් මසුරං..කියලා වැඩක් නෑ..කියන්ට තියන දේ කියනව ආය නෑ අම්මට අප්පට උනත්...ආය ලබු කියන එව්ව පෙන්නන්ට බෑ. ගලේමයි ගහන්නෙ...ගලේමයි ගහන්නෙ....අපි ඉස් ඉස්සෙල්ලාම හම්බ වෙලා දවස් දෙකයි ඔන්න ගියේ...වනිතාවන්ට තේරෙනවනෙ ගොනා සහ පොල් පැල සීන් එක..උන්දැ කෙලිම්ම කිව්ව මට...ආය මොකවත් නෑ..හොම්බට දමල ඇන්නැහෙ.. 

" මේ මට උයන්ට නම් බෑ ඔන්න.මම දන්නෙ නෑ උයන්ට..ඒ නිසා එක්කො ඔයාට උයන්ට වෙයි නැත්තං තුං වේලම කඩෙං තමයි..." 

හෙහ්, හෙහ්,අන්න එහෙමයි උන්දැ...මම ඉතිං එතනම... මට මතක විදිහට බස් එකේදි ඔය සීන් එක උනේ...නැඟිට්ටා. සීරුවෙං ඉඳගෙන ගැහුව සැලියුට් එකක් නලලෙ පාර තිබ්බ සුමානයක් විතර.. 

" බිය නොවන්න මැතිණියනි..මම වනාහී සූප වේදයෙහි කෙළ පැමිණියෙක්මි.එබැවින් නොබා හිඳිනු මැනවි. " අම්මප මල් කඩන කාලෙ අපිත් කරන දේවල්...හෙහ්, හෙහ්, 

අපේ ඔය පේම පුරානෙදි ආව බාදා වැටකොටු දුස්ට චරිත නෑ සියල්ල සතුටිං හමාර උනේ එවුන්දැගෙ ඔය මොරෝම ගතිය නිසයි කියලයි පාරවිලයනයෙදි ( අඩේ In retrospect කියන වචනෙ සිංහලෙං පාරවිලයනය නේද?..හරි මොකක් හරි කමක් නෑ..කොහොමත් ඊට කිට්ටුවෙං යන වචනයක්නෙ...දැනට ඔය මදැයි...හරිම වචනෙ දන්න කස්ටිය ඒක මෙතෙන්ට දාල කියවන්ට...මටත් කියන්ට හොඳේ තරහ නැතුව... ) පාරවිලයනයෙදි හෝ ඊට සමාන අර අනික් වචනෙදි මට හිතෙන්නෙ. 

මොකද දැන් මේ වාං පතුල් ගැන කතාව ලියන්ට පටං ගත්ත වගෙ තමයි මයෙ හැම වැඩක්ම.ටිකක් දුර ඔන්න යනකොට අරමුන වෙනස් වෙනව..එක පාරටම අංසක අනූවක් හැරෙන එක මට නතිං..ඒක බොහොම නෝමල්..අංසක තුංසිය හැටකිං හැරෙනව ඔන්න හිටපු ගමං...( හරි නේද අංසක ගාන?..හරි තුංසිය හැට හරි කීය හරි තනිකර ආපහුම හැරෙන්නෙ..අන්න ඒ අංසක ගාන ගැනයි මම මේ කියන්නෙ කීය හරි ) 

ඉතිං අපෙ පේම පුරාණෙදිත් ඔය එක එක උදළු, බාදක, හරස් බැමි ආහම මට කීප පාරක්ම හිතුන අර කීයදෝ අංසක ගානිං හැරිල ආපු අතක් බලාගෙන යන්ට. අපෙ උන්දැ කොහෙද හෙහ්, හෙහ්..ඔවුන්දැගෙ මොක නැතත් එකක් තියනව...හොඳක් තියෙනෝනං ඒක කියන්ට එපාය. අපෙ උන්දැට තියනව බොහොම තියුණු ඉවක්...ඕන මනුස්සයෙක් ආය නෑ විනාඩි පහක් ආස්සරේ කලාම කිව්වැහැකි සතා මොකාද කියල.උන්දැ දැනගත්ත මේ ඉන්නෙ නං දහකිං හොයාගන්ට බැරි පුරුස රත්නයක්....එක්කොත් ඕන නෑ ඒ හරිය මට නිකං ලැජ්ජයි ලැජ්ජයි වාගෙ...අනික තව එකක්...ඒ ටික වෙනම නොකිව්වත් ඔයාල ඔක්කොම දන්නවනෙ එහෙම තමයි, ඒ කතාව ඇත්තම තමයි කියල...හරි එහෙනං මගෙ අදික නිහතමානීකොම හින්ද මම ඒ ටික කියන්ට යන්නෙ නෑ...ඔහේල හිතාගන්ටකො ඔන්න හොඳද? 

ඉතිං අපෙ උන්දැ කෙලිම්ම යුද්ද ප්‍රකාස කලා ගෙදරට විරුද්දව..මම නිවාඩු වෙලාවක ලියන්ට ඉන්නෙ අපේ ප්‍රේම පුරානය සවිස්තරව. 

ඉතිං දිග කතාවක් කෙටියෙං කිව්වොත් උන්දැ බැලුව මෙවන් මහාර්ඝ උතුම් වූ පුරුෂයෝ වනාහී ඉතා දුර්ලභ වන්නාහ. එසේ හෙයින් කුමන උපක්‍රමයක් ක්‍රියාත්මක කොට හෝ මොහු මා සතු කොටගත යුතුයැයි එක සිත් සිතා ගත්තාහු නාටාමීහු මහත් සේ භාරයෙන් යුතු වූ සහල් මිටියක් ගිලිහී බිම පතිත නොවෙන පිණිස කරට ගැනීමට පෙර තම දිගුවූ අයෝමය කොක්කෙන් ගසා අමුණා ගන්නා වූ පරිද්දෙන් මාගේ ඒ ධීර වීර වූ හෘදය වස්තුව එක පැහැර විනිවිද යන්නාවූ පරිද්දෙන් කොක්ක අනලස්ව ගසා ලූය. 

මේ අපෙ ඒ ප්‍රේම පුරාණේ එක එපිසෝඩ්ඩෙකක් මාස හය හතකට උඩදි අර හිරු ගොයියගෙ කමෙන්ට් එකකට උත්තරයක් විදිහට මම දැම්ම. 

මේ ඔන්න තව එපිසෝඩ් එකක්....මේක විතරක් කියල ඉන්නං හොඳද..වෙන මොහොකටවත් නෙවෙයි මේ පෙරේම පුරාණ කතාව ඇදිල ආපු හින්ද. 

ඔන්න අපේ පෙං කතාව පටං ගත්තු අලුත...එයයිගෙ අප්පොච්චි අසනීප වෙලා ඉස්පිරිතාලෙට ඇතුල් කලාය කියල එයාලගෙ ගෙවල් කිට්ටුව ඉඳල මම ඉන්න දිහාට වැඩට යන ටීචර් කෙනෙක් අතේ මට පණිවිඩයක් එවල තිබ්බ. පුළුවන්නං හවස පහට ලෙඩ්ඩු බලන වෙලාවට ඉස්පිරිතාලෙ ගාවට එන්ට කියලත් ඒකෙ තිබුන. මම කල්පනා කලා මේක හොඳ චාන්ස් එක මාමන්ඩියව සේප් කොරගන්ට කියල.හවස මට තිබ්බ හොඳම කමිසෙ ඉස්තිරික්ක කරල එහෙම ඇඳගෙන, ටයි කෝට් ඒ දවස්වල තිබ්බෙ නෑ තිබ්බනං අනෙ අම්මප අර ගිනි මද්දහනෙ කියල බලන්නෙ නෑ, එව්වත් ඇඳගෙන යනව. 

ටවුමෙං ගත්ත ඇපල්, මුද්‍රස්පලං, වෙරලු, මසං ජමනාරං, අඹ, කජු, දං පේර, එතනිං ගිහාම බිස්කට්, රෝස් පාං, බූංදි, පුහුල් දෝසි, මස්කට් ඔය කොව්වයිනුත් කිලෝ එක ගානෙ, එතකොට තව තැඹිලි වල්ලක්, ඔය බඩු කන්දරාව ත්‍රී වීල් දෙහෙක පටවගෙන ඔන්න ගියා ඉස්පිරිතාලෙට.එවුන්දැ ඇවිත් හිටිය අම්මත් එක්ක අප්පච්චිව බලන්ට... 

" මොකද පුතා මේ දානෙකට වගෙ මෙයාකාර බඩු? " ඔන්න අම්ම අහපි. 

" නෑ අම්මෙ මේ ....මොනවද කන්නෙ බොන්නෙ කියල හරියටම දෙන්නෙ නැති හින්ද මම ඔය කොව්වයිනුත් ටික ටික අරගෙන ආව…" මම එකත්පස්ව ඉඳගෙන කිව්ව. 

ඊට පස්සෙ ඔන්න මාමණ්ඩිගෙං විස්තර ඇහුව...බොන්ට දෙන බෙහෙත් මොනවද කියල පරීක්සා කලා. ඒ බෙහෙත්වල අතුරු ආබාද ගැන දීර්ග විස්තරයක් කලා. හෙහ්, කිරි ගහට ඇන්න වගේ බඩු වැඩ කලානෙ. අම්මයි අප්පච්චියි කටවල් ඇරගෙන මා දිහා බලා හිටියෙ..හෙහ්, හෙහ්, ඇඳ ඉහ පත අරගෙන ඒක කියෙව්ව නලලත් රැලි කරගෙන. තුංදෙනාම හුස්මත් නොගෙන ඔන්න මා දිහාවෙ බලාගෙන. හ්ම්ම්ම්..හ්ම්ම්ම්ම්ම්..හ්ම්ම්ම්ම්...කියල බොහොම ගැඹුරු හඬකින් කියල ඔලුව දෙතුං පාරක් හෙල්ලුව...මොකවත්ම කිව්වෙ නෑ..ඒ ඔලුව හොල්ලන එකෙත් තියනව ප්‍රොසීඩියර් එකක්. දන්නැති කට්ටිය අහගන්ට. ඉස්සොරෝම සිරස්ව දෙපාරක් හොල්ලනව. ඊට පස්සෙ තිරස්ව එක පාරයි. අන්තිමට විකර්ණය ඔස්සේ දෙපාරක් හොල්ලනව. එතනිං ඔලුව හෙල්ලිල්ල ඉවරයි. පැහැදිලියි නේද? එහෙම මොකවත්ම නොකිය ඔලුව විතරක් හොල්ලපුවාම තමයි රැස්පොට් එක වැඩි. මම ඔව්ව දන්නවනෙ අත්දැකීමෙන්ම. 

ඒ කරල ඔන්න " එහෙනං අප්පච්චි මම ගිහිල්ල එඤ්ඤම්ය " කියාල එතනම හතර ගාතෙ දමල වැඳ වැටිච්චි වෙලාවෙ උන්දැ කියාපි.. 

" හොඳයි එහෙනං පුතා...ඔව්වයෙ හැටි ඔහොම තමයි..කරුමයක් තියනව නං ආය ගල ගාල ඉවරයක් කොරන්ටය?...ගෙවන්ටම එපාය " කියාල..මම නේද? නිකං කරකෝල අතෑරිය වගෙ උනා. 

ඔන්න ලෙඩ්ඩු බලන වෙලාව ඉවර උනාම අපි ඉස්පිරිතාලෙං පිටත් වෙලා පාරට එනව බස් එකේ නඟින්ට. අම්මට ටිකක් ඉස්සරවෙන්ට දීල මම අපෙ උන්නැහැට ඔලුවෙන් කතාකලා . 

" මේ මොකක්ද අර අන්තිමට අපි එන්ට පිටත් වෙද්දි ඔයාලයි අප්පච්චි කිව්ව කතාව...කරුමයක් ගෙවන්ට තියේනම් වලක්වන්ට පුලුවනෑ කියපු එක . එයයි එහෙම කිව්වෙ එයයිගෙ අසනීපෙ ගැන හිතලද එහෙම නැත්නං....." මම ඉතුරු ටික නොකියා එයාටම හිතාගන්ට ඉඩ දුන්න. 

දන්නවද මුන්දැ ගත් කටටම කියාපු එක…" දෙකටම වෙන්ටැ...මොකද අප්පච්චි අසනීපෙ ගැනත් දන්නව, එයයිගෙ දූ ගැනත් දන්නව, ඒ හින්ද මට හිතෙන්නෙ දෙකටම වෙන්ට ඇති...." .එහෙම කියල මා දිහා ඇහැ යටිං බලල හක හක ගාල හිනා උනේ නැද්ද? 

අඩේ ඉම්රාන්ගෙ කතාව කියන්ටත් එපාය...හරි අපේ රෙගියුලර් ගෝලය සැමීගෙ සර්විස් කඩල මිනිහ ගමේ ගියා. තාවකාලික ගෝලයට ආවෙ ඉම්රාන් කාන්. මම තමයි ඒ මාසෙ චමරිය මැනේජ් කලේ. ඔන්න අපි රෑ වෙලා අර මුස්ලිම් ගම්මානෙට ගිහිල්ල පාං ගෙනැල්ල තියල උදේම නැඟිටල කිරි හොද්දක් හැඳි ගාගන්නව. එව්ව කාල වැඩට යනව. යන්ට කලින් ඔන්න ඉම්රානය එනව. මම ඉතිං ඌට උපදෙස් දෙනව. 

" ඉම්රාන් දවල්ට හය දෙනෙක් ඉන්නව කට්ටිය. බිත්තර හයක් තම්බපං හරි?....ම්ම්ම්...තව මොනවද?....මූට උයන්ට පුළුවන්ද දන්නෙත් නෑ..අද මේ මුල්ම දවසනෙ උයන්ට ආවෙ..හරි පරිප්පු හොද්දක් හදාපං..තව මොනවද?...හරි තක්කලි තියනව පෙති ගහල බොම්බයි ලූණු දාල සලාදයක් හදපං ඒ ඇති…" ( සැ.යු. - " මූට උයන්ට පුළුවන්ද දන්නෙත් නෑ..අද මේ මුල්ම දවසනෙ උයන්ට ආවෙ.." මේ කෑල්ල මම කිව්වෙ නෑ..හිතුව විතරයි හොඳද? ) 

ඔය උපදෙස් මාලාව ඉවර වෙනකොට අපෙ ජීප් එක ඇවිල්ල දොරකඩට… 

" හරි එහෙනං උයල උඹ ගෙදර යනවනං ඉස්සරහ දොරේ යතුර මෙන්න මෙතන මේ මල් පෝච්චිය යටිං තියල පලයං," 

" හරි මහත්තය …" ඉමා හිනාවෙලා ඔලුව වනනව. මම දුවල ගිහිල්ල ජීප් එකට ගොඩ වෙනව. 

එදා දවල්ට මම එනකොට ටිකක් පරක්කු වෙල. ඔන්න අනික් එවුං ඉන්නව සාලෙ ඉඳගෙන...එකෙක්ගෙවත් මූණු හොඳ නෑ...දෙහි ලෙල්ලක් මිරිකුව වගෙ.. 

" මොකද බොලව් අස්සය මැරිච්චි කව්බෝයිල වගෙ...උඹල මේ විජහට කෑවත් එක්කද? " 

මොකද වෙනද ආපු ගමං මුං ටික කෙලිම්ම ඉඳගන්නෙ මේසෙට යන්තං මූණ අතපයෙ වතුර ටිකක් ගාගත්තු ගමං, ඒකයි මම එහෙම ඇහුවෙ. 

" උඹ මේ මඟුලක් කතා කරනව..මොනව කන්ටද බං.?..." 

විමලෙ හරි සරත හරි දෙන්නගෙං එකෙක්. මට හරියටම මතක නෑ කවුද කියල...මා දිහාවෙ රවාගෙන කිව්ව. 

" යකෝ මේක මාර වැඩක්නෙ. මම මොනව කලාටද?..." මටත් තද උනා. 

" ඇයි යකෝ මේ වහල තියෙන්නෙ මොනවද මේසෙ උඩ? " සාලෙ මැද තිබ්බ හරි හතරැස් මේසෙ වහල තිබ්බ වේවැල් කූඩෙ පෙන්නල මම ඇහුව. 

" බලාපංකො ඇරලම.."'….සරත කිව්ව. 

මම කූඩෙ ඇරල බැලුව. හරි බිත්තර තම්බල තියනව. තක්කලි සම්බලෙත් හරි. පරිප්පු හොද්දත් හරි...හොද්දෙ පෙනුම නං ඒ හැටි පිරියක් නෑ. ඒත් කමක් නෑ බත් ටික බඩට දාගන්ට තිබ්බ නම් මදෑ.. 

" ඒත්...කෝ බොල බත්?..." මම අනික් එවුංගෙ මූණු බැලුව… 

" ඒක තමයි බං අපිත් අහන්නෙ? කෝ බත්?...." 

" මේ විහිලු කරන්ට එපා බාල්ල..මම තව පැය බාගෙකිං ආපහු යන්ටත් ඕන. හවස ලොකු වැඩකුත් තියනව. ඉඳපං බලන්ට.." 

මම කුස්සියට ගිහිල්ල තිබ්බ වට්ටි, පෙට්ටි ඔක්කොම අවුස්සල බැලුව. මෙවුං බත් එක එහෙවත් හංගලාද බලන්ට ...ඔහෙ නෑ.. 

" මේ උඹට පිස්සුද වීරෙ?....බත් එක හංගල බඩ ගින්නෙ ඉන්ට අපිට අරපයිත්තියං කියල හිතුවද? අනික අපිටත් හවස වැඩ තියනව. අපිත් කාල යන්ට ඕන. එහෙම එකේ බත් හංගන්නෙ මොකටද බං අපි? " විමලෙ කිව. 

ඒකත් ඇත්ත තමයි බලාගෙන යනකොට. " අඩේ මේකා…. මේ ඉම්රානයා එහෙනං බත් ඉව්වෙ නැතුව වත්ද? " 

" වීරෙ..මේ උඹ උදේ ඉම්රාන්ට කිව්වෙ මොකක්ද? " විමලෙ නැඟිටල කුස්සිය දිහාට යන ගමං ඇහුව. … 

" කිව්වෙ ආයෙ වෙන මොකවත් නෙවෙයි..හයදෙනෙක් ඉන්නවය,බිත්තර තම්බල තක්කාලි සම්බලක් හදල පරිප්පු උයල තියන්ටෙයි කියල.." 

" හෙහ්, හෙහ්, මම කියන්නං වෙච්චදේ උඹ බත් උයන්ට කියල කිව්වෙ නෑනෙ..ඌ ඒ නිසා බත් ඉව්වෙ නෑ.." 

" යකෝ වෙනදත් අපි ගෝලයට උයන දේවල් කියනකොට බත් උයන්ටෙයි කියනවද?..." මට අසූහාරදාහට තද උනා… 

" හරි හරි බං මූ මේ ඉස්සෙල්ලාමනෙ අද උයන්ට ආවෙ. ඒ නිසා ඌට බත් උයන්ට කිව්වෙ නෑ. ඒ නිසා ඌ ඉව්වෙ නෑ.. සුපිරිං කෝට් නඩු ගියත් ඌ දිනනව. ....හරි, හරි....ඒක දැං ඇරිච්චාවෙ වරෙං වරෙං සස් ගාල බත් ටිකක් උයාගමු. මම හාල් ගරන්නං..ඒයි උඹල දෙන්න ලිප පත්තු කරපල්ල.." 

බත් එක පිඟං වලට දාල ෆෑන් එක ෆුල් වොලියුම් දාල උඩට අල්ලගෙන ඉඳල නිවාගෙන කාල තමයි එදා හවස අපි ආයෙම වැඩට ගියේ. මම ගියෙ අන්තිමට. වෙලාවට මම යන්ට ඉස්සර ඉම්රාන් ආව රෑට උයන්ට. 

" ඉම්රාන්..මොකද බං උඹ බත් ඉව්වෙ නැද්ද?..." ඌට කෑගහල වැඩක් ඇත?...මට එහෙම අහන කොටත් හිනා.. 

" නෑ මහත්තය මහත්තය කිව්වෙ නෑනෙ..මම ඒත් අහන්ටත් අහල බත් උයන්ට එපයිද කියල ආයම නිකං හිටිය.." 

" හා, හා..එකෙං කමක් නෑ..මේ රෑට මතක ඇතුව බත් උයාපං හොඳද? " රෑට උයන වෑංජනත් ඌට කියල මම එළියට බැස්ස. 

රයිට් ගුණතිලකයගෙ දෙවෙනි කතාවට පසුබිම සකස් කිරීම තමයි මේ පඳුරු තැලිල්ලෙ අරමුණ...හරි, ඔය ඉම්රාන් දවසක් මම එලියෙ පුටුවක් තියාගෙන පොතක් බල බල ඉන්දැද්දි හෙමිහිට මා ලඟට ආව. ඒ වෙනකොට අපෙ රෙගියුලර් ගෝලය , සැමී ආයෙම ඇවිල්ල. ඉම්රාන් ආපහු කෑම්ප් එකේ වැඩ. 

" මහත්තය......." 

" මොකෝ බං?..." මම පොත පාත් කලා.. 

" මහත්තයට පොඩි කාරණයක් කියන්නෙයි කියල. " 

" මොකක්ද?...." 

" අර ගුණතිලක, ඩ්‍රයිවර්, මිනිහ අපේ ගමේ ගෑණු ළමයිංට කරදර කරනව මහත්තය හරියට." 

" කරදර කිව්වෙ ඉම් රාන්..කොහොම කරදරද? " මම නොදන්නව වගෙ ඇහුව… 

" ජීප් එකේ යද්දි වතුර විදිනව මහත්තය. අපේ ගමේ කට්ටිය කතා උනා මේකට මොනව හරි කරන්ට ඕනය කියල.මම ගුණතිලකට කිව්ව මෙහෙම කරන්ට එපා අයියා කියල. මිනිහ මට ගහන්ට ආවනෙ උඹ උඹේ වැඩක් බලාගනිං කියල තව නරක වචනත් කියල බැන්න මට මහත්තය…." ඉමා අඬන්ට වාගෙ… 

" ඉතිං ඉම් රාන් මට කියන්ට හිතුවෙ මොකද මේ ගැන? " 

" නෑ මහත්තය..... මහත්තය එක්ක ගුණතිලක හොඳ නිසා මහත්තය කියන දෙයක් අහයි කියල මට හිතුන. " 

" හරි මම ගුණතිලකට කියල බලන්නං..ඉම් රාන් දැං යන්න.." මම ආයෙම පොත අතට ගත්ත. 

එදා රෑට කාල මම ඩ්‍රයිවර්ලගෙ ඩෝමෙට්‍රි එක පැත්තෙ ගියා ගුණතිලක එක්ක කතාකරන්ට හිතාගෙන. ඒත් මිනිහ තව ඩ්‍රයිවර් කෙනෙකුට මැලේරියාව හැදිල මිනිහත් එක්ක ඉස්පිරිතාලෙ ගිහිල්ල.පහුවදා ඉඳල දවස් තුනක් මට ට්‍රේනිං එකක් සෙට් උන නිසා ගුණතිලක එක්ක මේ ප්‍රශ්නෙ ගැන කතා කිරිල්ල මඟ ඇරුන.හතර වෙනි දවසෙ හවස තමයි මම ආපහු කෑම්ප් එකට ආවෙ. 

අපෙ කෑම්ප් එක මැද තිබ්බෙ පිට්ටනියක්. පිට්ටනියක් කිව්වට ආය තණකොල එහෙම නෑ. ඩෝසර් එකෙං ගස් ගලවල ගෝලයො දාල මුල් අයිං කරවල ඊට පස් සෙ පොළව ලෙවල් කරල හදාගත්තු අපිට ඔය වොලිබෝල් ක්‍රිකට් එහෙම ගහන්ට යන්තං ඉඩ කඩක් තියෙන බූමි බාගයක්.දිවයිනේ හතර දිබ්බාගෙම්ම ආපු එවුං අපි එක්ක හිටියයි කියල මම කිව්වනෙ නේද? වලස්මුල්ලෙං ආපු එකෙක් හිටිය. ඕක ක්‍රිකට් පිස්ස. හවස ඔන්න අපි ටිකක් නිදාගෙන ඉන්නව නේද? මූ එනව බෑඟිරි ගහගෙන.. 

" යකුනේ, මේ බැරැස්සිගෙ අව්ව වැටෙන ජාමෙ බුදියෙන්ට එපල්ල. මහ මුසිපේංතුවයි, යමල්ල පිටැන්න පැත්තෙ කිරිකැට් අතක් සෙල්ලං කොරන්ට. " 

ආය අපි මෙහෙම කියනවනෙ ගෝලයට, සැමීට.." සැමී, කොල්ලො බතකුයි සම්බලේකුයි උදේට හදහං…" 

අර වලස්මුල්ලෙ එකා චමරිය කරද්දි කියන්නෙ මෙහෙම. " සැමී, කොලුවෝ, හෙට උදේට බතකි සම්බලකි තනාපං ඇහුණය?..." 

අපිට මැරෙන්ඩ හිනා ඒකගෙ කතා වලට..අඩේ මේ ජානිසෝ..මම මේ අහන්ඩමයි හිටියෙ? පෙම්බ්‍රාස් තුමාත් ඔය වලස්මුල්ලෙ ගොබිලෙක් නෙවද? අම්මප, උන්දැත් ඔහොමද කතා කොරන්නෙ? 

ඕකා කඩේ ගිහිල්ල උඹට කෝල් එහෙම දෙන්නෙ නැතිය මෙහෙම? 

" ජාන්ස්..මේ... පොල් ගෙඩි පහකි, සම්බ කිලෝ දහේ මල්ලකි ගෙනාවම ඇතිය? ඔහෙට තව මොනවය ඕන?.." 

හරි, අර කිව්ව පිටැන්නෙ අපි කස්ටිය ක්‍රිකට් ගගහ හිටිය මම අර ට්‍රේනිං එකට ගිහිල්ල ආපු දවසෙ හවස. 

ගුණතිලකයත් එනව කිරිකැට් කෙලියට. ඌ කියන්නෙ බෑට් ගහනව කියල...උන්දැගෙ තියනව පොල් අඩි ෂොට් එකක් හනුම දර පලන්නහෙ ආය නෑ හරියට වැදුනොත් බෝලෙ හොයන්ට සතියක් අනියම් නිවාඩු දාන්ට වෙනව. 

අපි ඉතිං කරන්නෙ මූට ගහන්ට බැරිවෙන්ට හෙන ස්ලෝ දානව. එහෙම දෙක තුනක් දානකොට මූ බෝලෙ අල්ලනව එල්ලේ ගහනකොට වගෙ." අනේ මහත්තය එහෙම ඔට්ටු නෑ. හරිද? අසාදාරනයි, අසාදාරනයි..." හරි ක්‍රිකට් ගැහිල්ල ගැන ආයෙම දවසක කියන්නං..සිත්තමී, ඔන්න බාගෙට කියාපු තව කතාවක්...දාගනිං මතක ඇතුව ලිස්ට් එකට... 

එදා මම ෆිල්ඩිං පැත්තට වැටුනෙ. පළමුවන ලුහුට්ටා නම් ස්ථානයේ තමයි පන්දු රැක්කෙ.පිටැන්න වටේට තමයි අපෙ ක්වාටර්ස් හදල තිබ්බෙ.ඔන්න ටිකකිං මම දැක්ක අපේ බොසා, ( වැසි මැවිසුරු තුමා..මතකනෙ එතුමා නේද? අර ගුණතිලකය ඉස්සරෝම ජීප් එක එලෙව්ව දවසෙ ඉස්සරහ සීට් එකේ හිටියෙ..ආන්න එතුමා ) කිට මරල එහෙම 75 එලවගෙන ගියා කෑම්ප් එකෙං එලියට. ( 75 කිව්වෙ ගුණතිලකයගෙ ජීප් එක ) 

" කොහේද බං ලොක්ක අර ගියේ ටයි පොල්ලකුත් දාගෙන? " 

මම ඒ වෙලාවෙ බැට් කර කර හිටපු විජේගෙං ඇහුව. දවස් තුනක් කෑම්ප් එකේ නොහිටපු නිසා ලේටස්ට් නිව්ස් මොකවත් මම දැනගෙන හිටියෙ නෑ. 

" ඇයි බං අද ඒඩ්ස් ඒජන්සි වලින් ගෙට් ටුගෙදර් එකක් ඕගනයිස් කරලනෙ ලොක්කන්ට පොළොන්නරුවෙ හොටේල් එහෙක. ඒකට ඔය යන්ට ඇත්තෙ. මේකා මොනව කරනවද මන්ද බෝල් කරන්නෙ නැතුව..ඒයි චක් එවපං *******, බෝලෙ. " ඒ අන්තිම ටික විජේ කිව්වෙ මට නෙවෙයි ඒ වෙලාවෙ බෝල් කරමින් හිටපු චක් නොරිස්ට. 

බෝලර්ගෙ නම ඇවිල්ල ජයන්ත. ඌ බෝල් කරනව බලා ඉන්ටම වැඩේ. ඔන්න හරියට ස්ටෙප්ස් එහෙම මැනල එතන පොඩි ගල් කෑල්ලක් එහෙම දාල බොහොම අපූරුවට මුරලිය බෝල් කරන්ට එනව වගෙ ඇවිල්ල ( ඒ කාලෙ මුරලිය සෙල්ලං කලේ නෑ, ඒක වෙනම කතාවක් ) විකට් එක ගාව නවතිනව එක පාරටම . ඊට පස් සෙ අත කරකැවිලි මොකවත් නෑ අඹගහකට ගලකිං කෙලල අරින්නා වගෙ දමල ගහනව බෝලෙ. ඌට චක් නොරිස් කිව්වෙ ඒ නිසා. " අනේ බාං කොයි වෙලෙත් මට චක් නොරිස් කියන්ට එපල්ල " කියල ඌ නහයෙං අඬනකොට " හරි හරි ඕකේ, ඕකේ...මීට පස්සෙ උඹට කියන්නෙ දමාලා ගසා ඛාන් " කියල අපි කට්ටිය ඒ නම රෙජිස්ටර් කලා. 

" ඒත් මොකෝ ලොක්ක 75හේ යන්නෙ? පිකප් එක නැද්ද?..." ඒ කාලෙ ලොක්කගෙ නිල වාහනය ඇවිල්ල නිසාන් පිකප් එකක්. 

" පිකප් එක සර්විස් දාල බං…." .විජෙය එහෙම කියන ගමන් එක්ස්ට්‍රා කවර් හරහා හතරේ පහරක් එල්ල කලා. 

ක්‍රිකට් ගැන කතන්දර නම් තියනව එකසිය ගානට. අර ආනන්ද-නාලන්ද මැච් එකේ සිංහලෙං ඉස්සොරෝම විස්තර ප්‍රචාරය දුන්නෙ වෙලාවෙ වෙච්ච සීන් එක අහල ඇති නේද? මම හිතන්නෙ 70 නැත්තං 71 දි..." බෝලෙට දරුනු පහරක් ගැහුවා..බෝලෙ උඩ යනව..ඔව් තවත් උඩ යනවා..මෙන්න පල්ලෙහාට එනවා..එක්කෙනෙක් බෝලෙ යටට යනවා..අල්ලන්ටයි ලෑස්තිය..ඇල්ලුවා..ඇල්ලුවා...නෑ...අම්මට උඩු මේ යකා බෝලේ අත ඇරිය නේද?...මළ කෙලියයි.. " 

අපි ඉතිං චක්ට අනම් මනම් කිය කිය ක්‍රිකට් ගැහිල්ල කරගෙන ගියා. ආ. කියන්න අමතක උනා..ගුණතිලකයත් හිටිය පිටැන්නෙ කෙලවරක ඩීප් ස්ක්වෙයාර් ලෙග් නමැති ස්ථානයේ පන්දු රකිමින්. 

ඔන්න විනාඩි ඔන්නම් දහයක් යන්ට ඇති. ජීප් එක ආපහු ආව අයර්ටන් සෙනා ෆෝමිලා වන් රේස් එකක ඩ්‍රයිව් කරනව වගෙ. ගේට්ටුවෙං කෑම්ප් එකට හැරෙව්වෙ දූවිලි වලාවක් නග්ගගෙන...ලොක්කගෙ ගේ ඉස්සරහ බ්‍රේක් ගහපු පාර මුලු කෑම්ප් එකටම ඇහෙන්ට ඇති. අපි ඔක්කොම ක්‍රිකට් ගැහිල්ල නවත්තල ඒ දිහාවෙ බලං හිටිය ගල් ගැහිල වගෙ. ලොක්ක බැහැල දඩාං ගාල දොර වහල ගෙට ගියා. 

අප්පට සිරි මේ මොකෝ මේ?....ලොක්ක ඔලුවෙ ඉඳල නාල නේද? තෙමිච්ච කුකුල වගේ....මොකද බොලේ මේ හැබෑට? 

" ඇලේ කට කපල වතුර දුන්නනෙ ඊයෙද කොහෙද ...ලොක්කට ඔක්කොම අමතක වෙලා නාන්ට හිතුනද දන්නෙ නෑ..." මම හෙමිහිට කිව්ව විජෙයට විතරක් ඇහෙන්ට…මාදුරු ඔය ජලාසෙං මාස් කන්නෙට වතුර නිකුත් කලේ ඒ කිට්ටුවම 

" හෙහ්, කියන්ටත් බෑ තමයි..ඒත් යකෝ ඇඳුං පිටිම්ම ? " ...විජේ කිව්වෙ තොල් හපාගෙන… 

" නිල් කැටේ වගෙ වතුර ඩිංග දැක්කම ලොක්කට ආසාවෙ උහුලං ඉන්ට බැරිවෙන්ට ඇති.." මම ආයෙම කිව්ව කට කොණකිං..ඒත් ඒ වෙනකොට ඉම්රාන් මා එක්ක දවස් තුනකට කලිං කියපු කතාව මතක් වෙලා මොකක්ද වෙලා තියෙන්නෙ කියල යාන්තමට වගෙ මගෙ හිතේ චිත්ත රූපයක් ඇඳෙන්ට පටන් ගෙන තිබුණා. ඒ එක්කම මට ගුණතිලකය දිහාවෙ බැලුනා. 

" ෂ්ෂ්ෂ්........" ඒ විජේ.. 

" මොකෝ බං?...." මම ඇහුවා. 

විජේ ඇහෙං ලොක්කගෙ ගේ දිහාව පෙන්නුවා. ඔන්න ලොක්ක තෙත ඇඳුම් මාරු කරල සරමක් ගහගෙන ගෙයිං එලියට බැස්සා 

" ගුණ...ති...ල..ක....ක..ක……" මිදුලෙ මැදක් ඇවිල්ල අත්දෙකත් ඉණට තියාගෙන ලොක්ක බෙරිහං දුන්න.... 

අපි ඔක්කෝටම ඉබේම ගුණතිලකයගෙ මූණ බැලුනා. ඌ අර මොනවද කාපු රිලවගෙ කටට දෙහි බෑයක් මිරිකුව වගෙ මූණත්තහඩුවත් හදාගෙන බිම බලාගෙන හෙමිං හෙමිං ලොක්ක ගාවට යන්ට පිටත් උනා. 

43 comments:

  1. දැන් නම් මනුස්සය කවුද කියල දන්නව... අද මම ආවෙම වෙන මොනා හරි කතාවක් බලන්න මිසක්කා වාං පතුල් බලන්න නෙමෙයි :)

    ReplyDelete
    Replies
    1. සාතන්,

      අහ්, හිටහල්ලකො..වෙලාවක අර ඇත්තටම කොටිය ආව වගෙ මම වාං පතුල් කතාව කිව්වහම තමයි බොලාට තේරෙන්නෙ...හෙහ්, හෙහ්,

      Delete
  2. මුලු කතාවම රස ගුලාවක්.අන්තිම ටික මට ටියුබ් වුනා.
    ලෙඩෙක් බලන්න යද්දී 3 න් මාසෙ දානෙට අරන් යන දේවල් අරගෙන යනවද රවී?
    අර හිරු දුවගේ කොමන්ට් එකට දීල තිබුන පිළිතුරට බඩේ බඩවැල් එලියට එනව අප්පා.

    ReplyDelete
    Replies
    1. Kenji,

      / .අන්තිම ටික මට ටියුබ් වුනා. /

      අන්තිම හරිය තේරුනේ නැතිය?....හෙහ්, හෙහ්..

      ගුණතිලකය ගමේ කෙල්ලංට වතුර විදින එක ගැන දිග දුරට සාකච්ඡා කරල ගමේ වැඩිහිටියො තීරණය කරල මූට අමතක නොවෙන පාඩමක් උගන්නන්ට. ඔය ගම මැදිං යන පාරෙ එක තැනක ඒ කාලෙ බෝක්කුවක් හදන්ට පාර කපල තිබ්බෙ බාගයක් . පාරෙ එක පැත්තකිං බොහොම හෙමීට වාහනේ ගන්ට ඕනෙ. ඒ මදිවට පාර කපපු පස් ගොඩ ගහල අනික් පැත්තෙ. ඔය පස් ගොඩට මුවාවෙලා ඉඳල ගමේ මිනිස්සු වතුර බාල්දි තුන හතරකුත් තියාගෙන ගුණතිලකය එනකල්. හෙහ්, හෙහ්, ලොක්කගෙ අන්තුම නරක වෙලාව කියන්නෙ මිනිහ එදා අරං ගියෙ ගුනතිලකයගෙ ජීප් එකනෙ. ගමේ එවුං දන්නවය මේ එන්නෙ ලොක්කය කියල. ඉඳපං උඹට දෙඤ්ඤම්ය වැඩේය කියල ජීප් එක ස්ලෝ කරනකොටම දෙපැත්තෙම්ම ඇවිත් නෑව්ව අපෙ ලොක්කව.ලොක්ක කලබල වෙච්ච පාර බොහොම අමාරුවෙං තමයි ජීප් එක පෙරලගන්නෙ නැතුව කොන්ටෝල් කරගෙන තියෙන්නෙ.

      / ලෙඩෙක් බලන්න යද්දී 3 න් මාසෙ දානෙට අරන් යන දේවල් අරගෙන යනවද රවී? /

      ඒකනෙ අප්පා කියන්නෙ?....පේමයෙං මුසපත් වෙල ඉන්න අල්ලපනල්ලෙ කොරන වැඩනෙව...කිරි හට්ටියකුත් හෙව්ව..වෙලාවට තිබ්බෙ නෑ:)

      ස්තූතියි කෙන්ජි...:)

      Delete
    2. තේරුම් යන ඉන්ග්ලිෂ් වලින් කියන්න එපාය.උදේ පාන්දර හිනා වෙලා පන යනව රවියෝ.

      Delete
  3. අප්පට සිරි ගුණතිලකයගෙ නම විකුණලා ලොක්කට වතුර විදලවත්ද කවුරුහරි ??? මෙහෙම පඳුරු තලන කොට ලියවෙලා ලියවෙලා ප්‍රේම පුරාණයේ ඉතුරු වෙච්ච නටබුං තමයි වෙනම ලියන්ඩ වෙන්නේ නම් මට පේන විදියට...

    ReplyDelete
    Replies
    1. Weni,

      ලොක්කගෙ වෙලාව කියන්නෙ අනුංගෙ ටිංකිරි තමයි උන්දැට කන්ට උනේ..පව්

      Delete
  4. දාපිය අනික් කොටහත් ඉක්මනට

    ReplyDelete
    Replies
    1. එහෙමයි, එහෙමයි, ...පස්සාන් දාහකට බුදු වෙන්ටෝන..පිං කරන උත්තමයාණනි..මේ බලු ගැත්තරයාට කමා කරන සේක්වා .....මේ දානවා..මේ දානවා...

      Delete
  5. /අඩේ මේ ජානිසෝ..මම මේ අහන්ඩමයි හිටියෙ? පෙම්බ්‍රාස් තුමාත් ඔය වලස්මුල්ලෙ ගොබිලෙක් නෙවද? අම්මප, උන්දැත් ඔහොමද කතා කොරන්නෙ?/

    අනේ අම්මප සිහිය කියන එක අබ ඇට තුංකාලක් නැති හැටි බං උඹට... නැත්තං මේ හැන්දෑ කොරේ කාලක්කිරියා කොලාවත්දැ මුන්දැ? අපේ උන්දැ කොහෙද වලස්මුල්ලෙ... එහෙට කියන්නෙ වලස්ගල බොල


    ඕකා කඩේ ගිහිල්ල උඹට කෝල් එහෙම දෙන්නෙ නැතිය මෙහෙම?

    " ජාන්ස්..මේ... පොල් ගෙඩි පහකි, සම්බ කිලෝ දහේ මල්ලකි ගෙනාවම ඇතිය? ඔහෙට තව මොනවය ඕන?.."

    අනේ බාං උඹෙත් කතා හැබෑට...
    ඔහේ මෙහේ බාසාව නං එයැයිගෙත් තියෙනව... හැබැයි ගමට ලියාම.. මෙහෙදි මාත් එක්ක යසට ඔයා මෙයා කියල ඉතිං කොහොමද කියල අහගෙන ඉන්න එක්කෙනා ගම ගියාම අම්මට ඔහේ කියනව.. කොහොමෙයි අහනව.
    දැන් මං නං ඕනෙ එකකට පත්තියං!! මං කතා කරන්නෙ කලවම් මැල්ලුමක් වගේ භාෂාවක් නෙ.... උඹේ මේ කොලොප්පං දැක්කාම මට මතක් වුණේ අර අපේ කැම්පස් සෙට් එකේ හිටිය තෙලිජ්ජවිල එකෙක්ව අපි මරාන කෑවෙ නැති ටික විතරයි බං... ඌ කියන එව්වට අපි නොසෑහෙන්ඩ අනං මනං කිව්ව.
    දවසක් මේසෙ උඩ වතුර හැලිල අපේ එකියෙක් ඒකිගෙ ලේන්සුව ඇදල ගතිපි පිහින්ඩ කියල...
    ආ වතුර හැලුණයි?? ඕකට ඔයි පත්තර පිට්ටක් අර කැන්ටිමේ අයියගෙං ඉල්ලන් දෑවනං හරිනෙව කියපි මූ...

    අයියෙ උඹ ඔය වාං පතුල් කතතාව අද හෙට ලියන්නෙ නැත්තං ඩිස්ක්ලේමර් එකක් දැම්මොත් නරකෙයි?? වාන්පතුල් කතාව කියවීමේ මහාභිලාෂයෙන් මා වියුණුව වෙත පැමිණෙන ශ්‍රද්ධා බුද්ධි සමුප්‍රයුක්ත පුඟුලන්ට වැළඳෙන හෘදයාබාධාදී අට අනූවක් ව්‍යාධීන් කෙරෙහි සූර්යාභිදාන වූ මාගේ අබ ඇටෙකුදු තරම්වත් වගවීමක් නැත්තේමය කියල.... මං මේ කියන්නෙ උඹෙ හොඳට
    (හනේ..... කාපිය ගුටි කාපිය ගුටි කාගෙන්හරි.. මේ පඳුරු තැලිල්ලට නං)

    ReplyDelete
    Replies
    1. ජනූ,

      ඔන්න ඉතිං ඕකනෙ උඹත් එක්කලා බැරි මේ මංගල්ලෙ කොරන්ට..එක වචනයක්...වචනයක් නම් බැරිය තව..වචන බාගයක් අල්ලගෙන මාව කන්ට තනනව නෙව..බොල නෑම්බියේ...මුල්ල මොකද ආය ගල මොකද?..දෙකම එක නෙව...මුලට දෙකේම වලස් කියල තියනව නෙව ..ඒ මදිද අම්මප?

      හෙහ්, හෙහ්, මෙහෙම ඩිස්ක්ලේමර් එකක් නම් දැම්මොත් හොඳය කියල මටත් හිතෙනව…

      චිත්තාකර්ෂණීය වූ එමෙන්ම ආහ්ලාද ජනක වූ ගොමු තැලිමෙක් අපේක්ෂාවෙන් මා වියුණුව කියවනු පිණිස මෙහි සැපත් වන්නාවී හුදී ජනයින් වන තොප සැම යම් දිනෙක මවිසින් වාං පතුල් පිළිබඳ අන්දරය මෙහි සටහන් කොට තිබෙනු දර්ශනය කොට යම් අපේක්ෂා භංගත්වයෙක් හා/හෝ චිත්ත වික්ෂෝභයෙක් සංජානනය කරන්නාහු වෙත්ද එසේම ඒ කරණකොටගෙන වැලඳෙන්නාවූ යම් යම් මාරාන්තික රෝගාබාධයන් වෙත්ද ඒ පිළිබඳව කිසිදු වගකීමෙක් සූර්යාභිධාන වූ මම් වෙත නොපැවරේමය.

      Delete
  6. //අඩේ In retrospect කියන වචනෙ සිංහලෙං පාරවිලයනය නේද?

    මම හිතන්නෙ හරි වචනෙ "ප්‍රත්‍යාවලෝකනය".

    ReplyDelete
    Replies
    1. අඩේ හරි නේන්නම් ..ස්තූතියි නිර්නාමිකයාණනි...

      Delete
    2. අර එක කතාවක හිටියේ ලේ පයින්ට් පහක් විතරක් තියෙන හාදයෙක් ..උන්දැට රුධිර පාරවිලයනයක් කොලා නේද

      Delete
  7. මොන වාංපතුලක්ද මේවනෙ කතා.
    ඉම්රානයනං නියම පොරක් වගේ කියපු දේට පිටිං කරපිංච කෑල්ලක්වත් දාන එකක් නෑ.

    ලොක්ක අනුංගෙ පරිප්පුවක් කාල වගෙයි.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි Praසන්ன,:)

      Delete
  8. කියන්ට බැරි වුනා නෙව..මම නම් දැන් රවීගේ වෙන්ට කතන්දර ලැයිස්තුව හදන එක අතෑරියා කියලා..ඒ ලිස්ට් එක දිග වැඩි නිසා නෙවී..ඒක මොලේ මංඥ්ඥං වෙන වැඩක් අප්පා..ඒක නිසා මං නං ඒ ව්‍යාපෘතිය වල් බිහිවෙන්න ඇරියා..!!
    (ප/ලි) මේ කතාවේ වෙන්ට කතා ලිස්ට් එක එකතාව පල්ලෙහා කොමෙන්ටුවක දැම්මා නං සූර්යාභිධානයන්ට ලේසියි වගේ..අදම පටන් ගන්නෝනෑ..)

    දැන් ඉතිං නොපැහැදිලි තැං අහන වෙලාව..
    //ආය ලබු කියන එව්ව පෙන්නන්ට බෑ. ගලේමයි ගහන්නෙ...ගලේමයි ගහන්නෙ....// මේක තේරුන්නෑනේ..?
    //ඒඩ්ස් ඒජන්සි// ටිකක් වෙලා කල්පනා කරනකොට කියන්ට හදන්නේ මොකද්ද කියලා තේරුනා..ඒක අතාරිමු..
    //අර කියලා තියෙන්නේ ජෝසප් ස්ටාලින් හා බ්‍රැඩ්මන් වීරකෝන් අතර සමානකම් ගැනද?

    ප්‍රශ්න පත්තරේ ඉවරයි..අසා සිටි ඔබ සැමට ස්තුතියි..

    ReplyDelete
    Replies
    1. වෙන්ට කතන්දර ලැයිස්තුව...

      1. විමලේගේ වාං පතුල් //හැබැට වාං පතුල් කියන්නේ සපත්තු කතාවක්ද?//
      2. නම් ගම් ස්ථාන නාම ගැන තියන “රස“ කතා
      3.ක්‍රිකට් කතා සෙට් එක

      Delete
    2. 1. ලබ්බ ගලේ ගැහුවා වගේ කියන්නෙ බොලං, කියන්න තියෙන දෙයක් කෙලින්ම කියන එකටනෙ..
      3. රූ අහලා නැතෙයි, ජෝසප් ස්ටාලින් කියලා ලංකාවෙ ගුරු සංගම් නායකයෙක් ගැන.??

      Delete
    3. රූ,

      //ආය ලබු කියන එව්ව පෙන්නන්ට බෑ. ගලේමයි ගහන්නෙ...ගලේමයි ගහන්නෙ....// මේක තේරුන්නෑනේ..?

      ලබ්බ ගලේ ගැහුව වගෙ කියල කියනවනෙ කියන්ට තියනදේ වහෙං ඔරෝ නැතුව කෙලිම්ම කියන එකට..ලබු ගෙඩියක් ගලේ ගැහුවම ආය ඉතිං කුඩු සංසාර වෙලා යනවනෙ..කෙලිම්ම යමක් කිව්වමත් එහෙමයි..ආය හැංගිල්ලක් නෑ..ඒකයි එහෙම කතාවක් හැදිල තියෙන්නෙ..අපෙ හාමිනෙත් අන්න ඒ ජාතියෙ ලබ්භ ශෛලමය කුල කතක් කියල කියන්ටයි මම ඒ ලබු පෙන්නන්ට බෑ..ගලේමයි ගහන්නෙ..ගලේමයි ගහන්නෙ කියල ලිවෙ...තේරුණාය මැඩම්?

      //ඒඩ්ස් ඒජන්සි// ටිකක් වෙලා කල්පනා කරනකොට කියන්ට හදන්නේ මොකද්ද කියලා තේරුනා..ඒක අතාරිමු..

      අනේ සමාවෙන්ට ඕමනයි. මගේ අතපහු වීමක්...මම මෙතන පොඩි පැහැදිලි කිරීමක් කරන්ට ඕනය කියල හිතාගෙන හිටියට කොහොමිං කොහොමිං හරි ඒක අතපහු වෙල...ඒඩ්ස් ඒජන්සි කියල කිව්වෙ ඒ කලෙ අපෙ ව්‍යාපෘතියට විදේශ ආධාර දුන්නු ආයතන..යුරෝපා ආර්ථික හවුල , ලෝක ආහාර වැඩපිළිවෙල, එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩපිළිවෙල වගෙ ආයතන.

      //අර කියලා තියෙන්නේ ජෝසප් ස්ටාලින් හා බ්‍රැඩ්මන් වීරකෝන් අතර සමානකම් ගැනද?

      ඒ දෙන්නගෙ එකම සමාන කම මට පේන විදිහට එයාලගෙ තාත්තල ප්‍රසිද්ධ පුද්ගලයින්ගෙ නම් තමන්ගෙ පුත්තුන්ට යෙදීම සහ දෙන්නම මනුස්සයො වීම විතරක්ය කියලයි මම කිව්වෙ

      Delete
    4. @බුරා,රවී
      තැනකූ වේවා..මේ දෙන්නම ගැන නම සහ තනතුර ගැන විතරයි දැනං හිටියේ..ඊට එහා දෙයක් දන්නැති නිසා තාමත් ටියුබ් ලයිට්..

      Delete
    5. රූ,

      අනේ..සමාවෙන්න...මම හිතුවෙ ජෝසෆ් ස්ටාලින් සහ බ්‍රැඩ්මන් ගැන දන්නවය කියලයි. එහෙම නැත්නම් මම එතනම පැහැදිලි කිරීමක් කරනව.

      ජොසෙෆ් ස්ටාලින් කියන්නෙ 1922 ඉඳල 1952 දක්වා සෝවියට් රුසියාවෙ උත්තරීතර නායකයා. ලංකාවෙ ගුරු සංගම් නායකයගෙ පියා හෝ කවුරුහෝ ඔහුට නම් තැබූ පුද්ගලය අනිවාර්යයෙන්ම ස්ටාලින්ගෙ තදබල අනුගාමිකයෙක් විය යුතුමයි.

      එතකොට සර් ඩොනල්ඩ් බ්‍රැඩ්මන් කියන්නෙ මෙතෙක් ක්‍රිකට් ලොව පහලවූ දක්ෂතම පිතිකරුවා.ඔහු 1928 සිට 1948 දක්වා ඕස්ට්‍රේලියානු කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කලා.

      අපේ මනුස්සය ඒ කිව්වෙ බ්‍රැඩ්මන් වීරකෝන්, උපන්න දවසෙ ඩොනල්ඩ් බ්‍රැඩ්මන් කොලඹ වරායට ළඟාඋනයි කියල තමයි කියන්නෙ. කොහෙ හරි ක්‍රිකට් සංචාරයක යන අතර මඟ වෙන්න ඕන. ඒ නිසා බ්‍රැඩ්මන්ගෙ ප්‍රබල රසිකයෙක් වෙච්ච ජේෂ්ඨ වීරකෝන් මහත්මය එදාම ඉපදුනු පොඩි එකාට ඒ නම තියන්න ඇති.

      Delete
  9. Ravi April 28, 2013 at 1:44 PM

    Bitter sweet, Deafening silence, Dry drunk, Forward retreat, Irregular patter

    ඉංග්‍රීසියෙන් නම් ඔක්සිමොරොන්ස් ඕන තරම් තිබ්බට සිංහලෙං මචං ඔරිජිනල් එව්ව හොයාගන්න මාර අමාරුවක් තියෙන්නෙ. මම මේ ළඟදිම ලියන්න ඉන්නෙ Oxymorons in Sinhala කියල පෝස්ට් එකක්. අනේ තෑන්ක්ස් සෝ මච් හෙන්රි මේ උඹ දුන්නු උදාහරණ මම පාවිච්චි කරන්නම් ඒ පෝස්ට් එකට.

    සිංහල භාෂාවේ විරෝධෝක්ති - Oxymorons in Sinhala

    ඉහත මාතෘකාවෙන් වියුණු සටහනක් ලිවිය යුතුයැයි බොහෝ කලක සිට සිතා සිටියද ඒ සඳහා උදාහරණ සොයා ගැනීමේ අපහසුව හේතුකොටගෙන ඒ දිනෙන් දින අතපසු විය.ජීවිතයේ බොහෝවිට සිදුවන්නාවූ අහඹු සිදුවීමකට අගනා උදාහරණයක් ලෙස දෝ මා හිත මිත්‍ර හෙන්රි ඊට මැනවින් සරිලන උදාහරණ කිහිපයක්ම සැපයීය. හෙන්රි..මා හිතවත ඔබට මගේ හෘදයාංගම ස්තූතිය......පහත පලවන සියල්ල හෙන්රි ගේ නිර්මානයෝය. ඊට ලැබිය යුතු ගෞරවය හුදෙක් ඔහුටම හිමිය.

    ස්මාට් හෙන්රි, කඩවසම් හෙන්රි, හිතහොඳ හෙන්රි, නිහතමානී හෙන්රි,

    සැ. යු. - සිංහල විරෝධෝක්ති සඳහා නිදර්ශන ලෙස ඉහත වදන් භාවිතා කරන්නේ නම් ඉන් පෙර කරුණාකර හෙන්රි මහතාගේ ලිඛිත අවසරය ලබාගැනීමට කාරුණික වන්න, ස්තූතියි.



    Thursday, May 9, 2013
    185. විමලෙගෙ වාං පතුල් කතාව - ලොක්කිගෙ මොරෝම ගති, ඉම්රාන් ඛාන්ගේ බත් ඉවීම සහ වැසි මැවිසුරුගේ අනපේක්ෂිත ස්නානය

    අපෙ උන්දැ කොහෙද හෙහ්, හෙහ්..ඔවුන්දැගෙ මොක නැතත් එකක් තියනව...හොඳක් තියෙනෝනං ඒක කියන්ට එපාය. අපෙ උන්දැට තියනව බොහොම තියුණු ඉවක්...ඕන මනුස්සයෙක් ආය නෑ විනාඩි පහක් ආස්සරේ කලාම කිව්වැහැකි සතා මොකාද කියල.උන්දැ දැනගත්ත මේ ඉන්නෙ නං දහකිං හොයාගන්ට බැරි පුරුස රත්නයක්....එක්කොත් ඕන නෑ ඒ හරිය මට නිකං ලැජ්ජයි ලැජ්ජයි වාගෙ...අනික තව එකක්...ඒ ටික වෙනම නොකිව්වත් ඔයාල ඔක්කොම දන්නවනෙ එහෙම තමයි, ඒ කතාව ඇත්තම තමයි කියල...හරි එහෙනං මගෙ අදික නිහතමානීකොම හින්ද මම ඒ ටික කියන්ට යන්නෙ නෑ...ඔහේල හිතාගන්ටකො ඔන්න හොඳද?

    ඉතිං අපෙ උන්දැ කෙලිම්ම යුද්ද ප්‍රකාස කලා ගෙදරට විරුද්දව..මම නිවාඩු වෙලාවක ලියන්ට ඉන්නෙ අපේ ප්‍රේම පුරානය සවිස්තරව.

    ඉතිං දිග කතාවක් කෙටියෙං කිව්වොත් උන්දැ බැලුව මෙවන් මහාර්ඝ උතුම් වූ පුරුෂයෝ වනාහී ඉතා දුර්ලභ වන්නාහ. එසේ හෙයින් කුමන උපක්‍රමයක් ක්‍රියාත්මක කොට හෝ මොහු මා සතු කොටගත යුතුයැයි එක සිත් සිතා ගත්තාහු නාටාමීහු මහත් සේ භාරයෙන් යුතු වූ සහල් මිටියක් ගිලිහී බිම පතිත නොවෙන පිණිස කරට ගැනීමට පෙර තම දිගුවූ අයෝමය කොක්කෙන් ගසා අමුණා ගන්නා වූ පරිද්දෙන් මාගේ ඒ ධීර වීර වූ හෘදය වස්තුව එක පැහැර විනිවිද යන්නාවූ පරිද්දෙන් කොක්ක අනලස්ව ගසා ලූය.

    Dude, I can't remember you taking my permission. ;p

    ReplyDelete
    Replies
    1. උඹටත් නියම පොයින්ට්ස් තමා අහුවෙන්නෙ ඩූඩියො.. හැබැයි ඉතිං බලහන්, ඕකා මොකක් හරි කට කැඩිච්චි කතාවක් කියලා මේකෙන් බේරෙන්නැද්ද කියලා.. :D

      Delete
    2. / Dude, I can't remember you taking my permission. ;p /

      Why do I need your permission?

      Please peruse what I have written carefully….

      Quote / ස්මාට් හෙන්රි, කඩවසම් හෙන්රි, හිතහොඳ හෙන්රි, නිහතමානී හෙන්රි,

      සැ. යු. - සිංහල විරෝධෝක්ති සඳහා නිදර්ශන ලෙස ඉහත වදන් භාවිතා කරන්නේ නම් ඉන් පෙර කරුණාකර හෙන්රි මහතාගේ ලිඛිත අවසරය ලබාගැනීමට කාරුණික වන්න, ස්තූතියි. / Unquote

      The important words I have bolded for your attention. It means " in case you are using above words " above words means " ස්මාට් හෙන්රි, කඩවසම් හෙන්රි, හිතහොඳ හෙන්රි, නිහතමානී හෙන්රි, "

      As I haven't used any of the above words please be advised that asking for your permission does not arise.

      Delete
    3. Ok. Objection overruled. No condition is violated. Carry on Dude.

      Delete
    4. @බුරා. මම ඒක නොදැන නෙවෙයි බං මේක ලිව්වේ. අපි දෙන්නම දන්නවනේ පුතයගේ හැටි. අපරාදේ මේකා ලෝයර් කෙනෙක් නොවුනේ.

      Delete
    5. සකල ලෝකවාසීන්ට.

      හෙන්රිගේ අම්මා ඔය හෙන 'ස්මාට්' පොරක් දැක්කාම, 'අතිශයින්ම කඩවසම්' බුවෙක් දැක්කාම, 'හිත හොඳ' බුවෙක් දැක්කාම, අනේ ඌ අපේ ලොකු පුතාවගේමයි කීවිට එය oxymoron හෙවත් විරෝධෝක්තියක් වන අතර,

      රවීතුමා විසින් තමාම සම්බන්ධව

      'දහකිං හොයාගන්ට බැරි පුරුස රත්නයක්',
      'මගෙ අදික නිහතමානීකොම',
      'මහාර්ඝ උතුම් වූ පුරුෂයෝ',
      'මාගේ ඒ ධීර වීර වූ හෘදය වස්තුව',

      වැනි පද පාවිච්චි කරන විට ඒවා හුදෙක් විශේෂන පද පමණක්ම වන බව කරුණාවෙන් සලකත්වා.



      Delete
  10. උයන්ඩ බෑ කිව්වම සැල්‍යුට් ගැහුවයි කියලද කිව්වෙ ඈ ??

    උපුටා ගැනීම ;

    '' මල මඟුලක්නෙ මේක..... අවුරුදු දාහතක් වෙනව ...තාම බෑ හරියට හොද්දට ලුණු ටික දාගන්ට..මට නං මේ කෙරුවාව අපෝ වෙලයි තියෙන්නෙ...මේ කරුනා කරල හෙට උදේම මම ගිහිල්ල දාන්නං බස් එහෙකට ....යන්ට ගෙදර...මම කොහොම හරි පන ගැටගහ ගන්නං ''

    උපුටා ගැනීම අවසන්.

    ඉම්රාන් ඛාන්ගෙ ඉවිල්ලනම් ජාති.. ඈ.. :D

    ReplyDelete
    Replies
    1. සෙන්නා,

      ආන්න ඕකනෙ කියන්නෙ සෙන්නා, බොහොම වැදගත් කාරණයක් තමයි පුතා කාලය කියන එක..

      / " බිය නොවන්න මැතිණියනි..මම වනාහී සූප වේදයෙහි කෙළ පැමිණියෙක්මි.එබැවින් නොබා හිඳිනු මැනවි. " අම්මප මල් කඩන කාලෙ අපිත් කරන දේවල්...හෙහ්, හෙහ්,  /

      දැක්කෙ නැත මල් කඩන කාලෙ ගැන මම කියල තිබ්බ එක..මල් කඩන කාලෙ එහෙම තමයි බොල..අර අනික් සීන් එක මල්ලි බැන්දට පස් සෙ එතකොට ඒ විදිහයි,කලින් අර විදිහයි, තේරුණය දැං බොට?

      Delete
    2. හැක් හැක් තේරුනා තේරුනා... අඩේ මල් කඩන කෑල්ල මීටර් වුනේම නෑනෙ.. ඒ කියන්නෙ දැන් ඔය මොරෝම තත්ත්වය සන්සිදිලා ඇති කියලා අපිට හිතා ගත්තෑකි.. :D

      Delete
  11. අන්තිමට රටේ නැති වැල් වටාරං පල් හෑලි කියෙව්ව මිසක කියන්ට ආපු එක කිව්වෙ නෑ නෙව...

    සභාවේ සිනා ..අනික් ටික කියෙව්වේ නැහැ . හිනා වෙන්න වෙලා මදි . හදිසියේ ගොඩ වුනේ . හවස් අතේ තමා කියවන්න වෙන්නේ .

    ReplyDelete
    Replies
    1. බින්දි,

      ආන්න බින්දි නෝන මහත්තැංගෙ මම බොහොම ගරු කරන එක ගුණාංගයක් තමයි ඔන්න ඕක, නියම විදිහට ගරු කලයුතු ලියවිලි තියෙන්නෙ එව්වට නිසි ගෞරවය දීල නිවී සැනසිල්ලෙ කියවන එක, නිකං මේ ආවට ගියාට නැතුව...ස්තූතියි මැඩම්,

      Delete
    2. ඕක ඉතින් පොඩි කාලේ ඉඳන් තියෙන පුරුද්දක් . ඉස්සර බැදපු රටකජු ගෙනත් දුන්නම ඉස්සෙල්ලම පොතු ටික කනවා . කජු ටික කන්නේ පස්සේ .

      හරි ඔන්න කියෙව්වා . වැඩ නම් තමා . එහෙමයි කියලා මේක අතාරින්නෙ කොහොමෙයි . අම්මපා ඔය ඉම්රාන් ට වුන වැඩේ මටත් වෙනවා සමහර දාට . ඔන්න හොදි මාළු සේරම උයල ඉවර වුනහම තමයි බත් එක මතක් වෙන්නේ . ඉතින් හිටහන්කෝ ආයේ බත් ඉදෙනකම් . අපේ අම්මලා හෙම ඉස්සෙල්ලම බත් එකනේ ලිපේ තිබ්බේ .

      අපොයි මල් කඩන කාලේ ඉතින් මොක බැරිය කිව්වත් '' අනේ සුදෝ කඩෙන් කමු'' කියල කියයි . කල් යද්දී නේ ඔව්වයේ රගේ තේරෙන්නේ .
      බොලා ගේ ලිවිල්ලේ රසය කියන්නේ ඔය ඉතින් අපි හැමෙකාටම අඩු වැඩි වසයෙන් සිද්ද වෙන දේවල් නමුත් කරකොලා ලුණු ගම්මිරිස් දාලා තෙම්පරාදු කරලා ලියන්න පුළුවන් කමනේ ..මමත් දන්නා හැම එකාටම කිවා මේ බ්ලොග් කට්ට ගැන . උන් හිතන් ඉන්නේ මට විතරයි පිස්සු කියලනේ

      Delete
    3. බින්දි,

      මට මේ තාම හිතාගන්ට බැරුවයි තක්කු මුක්කු වෙල ඉන්නෙ බොලා මට මේ ප්‍රසංසාවක් කලාද නෝන්ඩියක් දැම්මදැයි කියල...අපෙ උන්නැහැත් ඔහොමයි. බොහොම වෙලාවට කියන එව්ව ඔය දෙපැත්තටම හිතා ගත්තෑකි. ආය මොකටද නැති පුරස්න හදාගන්නෙය කියල මම ඉතිං හොඳ පැත්ත හිතාගෙන කරබන ඉන්නව.

      හෙහ්, ඉස්තූතියි හොඳද මා ගැන දුන්නු ප්‍රචාරයට...:)

      Delete
  12. කේන්තියක් ආපු වෙලාවට රවිගෙ වාං පතුල් කතාවක් බලනව,මම යාලුවන්ටත් කියල තියෙන්නෙ මේ බේත.
    මම තනියම හිනාවෙනකොට අපේ උන්දැ අහනව මොකද අනේ ඔයා තනියම හිනාවෙන්නෙ කියල,කියල දෙන්නත් බෑ බලන්න කියන්නත් බෑ උන්දැට රවිගෙ වක්‍රෝත්ති තේරෙන එකක්යැ ඔහෙ කියවං යයි.
    මේ ඒක නෙවෙයි...පහු පහු වෙනකොට අරුන්දැගෙ මොරෝම ගති ඇරිල ගියැයි.

    ReplyDelete
    Replies
    1. හැලප,

      හෙහ්, හෙහ්...ස්තූතියි හැලප.....හිත සංසුං කරගන්ට වාං පතුල් කියවනවයි කිව්වම මට හරිම සතුටක්..අඩේ එහෙමද?..නැත්තං මාව මරාගෙන කන්ට කේන්ති ගියහම අර කලිං ආපු කේන්තිය අමතක වෙනව වත්ද?....කොහොම හරි කමක් නෑ...වැඩේ වෙනව නම් එච්චරයි..:)

      Delete
  13. නියම ඔළුව වැනීමේ procedure එක...
    1000% ක් ෂුවර් මේ කියවන අයත් ඒ විදිය කරලා බැලුව කියලා...
    මට නම් ඉබේටම කෙරුණා.. අර විකර්නේ දිගේ ඔළුව හොල්ලනවා කිවුව එක ටිකකින් තමයි මීටර් වුනේ...
    තනිකරම රස ගුලාවක්...

    ReplyDelete
    Replies
    1. නිර්නාමික,

      ආන්න කරල බලන්ට ඔය ඔළුව වැනීමේ ක්‍රමවේදය....ප්‍රතිපල සහතිකයි..අත්දුටුවයි.සත්තයි......

      “It's better to keep your mouth shut and appear stupid than open it and remove all doubt” - Mark Twain

      Delete
  14. අර ඔළුව වැනිමේ කළාවට කියනා නම මොකක්ද ආයොබෝවංඩ ඒකනම් සහතික ඇත්ත....

    ReplyDelete
    Replies
    1. මාතලන්,

      ඒකට කියන්නෙ.." බහුශ්‍රැතතා ප්‍රදර්ශක මෞන වෘත ශීර්ෂ අවලම්බක ක්‍රමවේදය "

      Delete
  15. මොනවා කියන්නද කියලා හිතා ගන්න බැහැ බොලේ... මාතෘකා හැටකුයි කතා දහයාමාරකුයි උපදේස කීපෙකුත් තියනවා.... ඔය හැම එකක්ම කවර් කොරන්න පුළුවන්ද මං අහන්නේ... අර ඔලුව හොලවන උපදේසෙට අනුව ඔලුව හොලවලා මං නිකා ඉන්නවා...

    ReplyDelete
    Replies
    1. තිසර,

      හරි...හරි..මල්ලි අවුලක් නෑ....ස්තූතියි සෝ මච්...:)

      Delete

මගේ සිතුවිලි ගැන ඔබේ සිතුවිලි

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...