Friday, May 8, 2015

317. කුකුළේගඟ මතක - 5 - ලැන්ටිසේන, හිනිදුම සමඟ අලින්ගේ කතා.

Google Images

" ඒයි හිනිදුම මෙහෙ වරෙං බං.." මම කතා කලා.

" බොස්….." හින්නා අපි ගාවට ආව..

" ඒයි මේ හිනිදුම..කුස්සියෙං වීදුරුවක් ගෙනල්ල මේ එකක් දාගනිං...ඊට පස්සෙ හොඳ එකා වගෙ පපඩං හත අටක් බැදපං බං ..නිකම්ම ගහන්ට බෑ මේක. "

කියන පමාවට හින්න ගිහිල්ල වීදුරුවක් අරගන ආව.

" ඕක හේදුවෙවත් නෑ නේද? …" වික්රමේ ඇහුව. 

" ආය අහවල් හේදිල්ලක්…" හින්නා කටකපල එකක් දාගත්ත.

" සැමී කොහෙ ගිහිල්ලද බොස්? " හින්නා කට එහෙම පිහ දාල කාරිය ඇහුව.

" ඔය නාන්ට කියල ගියේ බං...දැං එනවත් ඇති. "

" හෙහ්..එයි මේං කියල...තව වරුවකටවත් එන එකක් නෑ ..මම දැක්ක අර ලැන්ටිය එක්කනෙ ගියෙ. ඕකට බාගෙට පිස්සු…"

ලැන්ටිය කියන්නෙ අපෙ චෙක් රෝලෙ හිටපු අනියම් කම්කරුවෙක්. ලැන්ටියට බාගෙට පිස්සු කියන එකනං සහතික ඇත්ත.

ඔයිට මාසෙකට වගෙ ඉස්සර අපෙ උයන්ට හිටපු ගෝලයගෙ, සැමියගෙ සර්විස් කැඩුව. කම්කරු නීති අනුව එක දිගට දවස් එකසිය අසූවකට වඩා අනියම් පදනම මත සේවයෙ යොදවාගන්ට බෑ. ඒ කියන්නෙ මාස හයක්. මාස හයට පස්සෙ එක්කො ඒ මනුස්සය අයින් කරල දාන්ට ඕන නැත්නම් සේවය ස්ථිර කරන්ට ඕන. 

ඔය රෙගුලාසිය හින්ද අපේ කළමණාකාරිත්වය කලේ දවස් 180 පිරෙන්ට දවසක් දෙකක් තියල අනියම් කම්කරුවන්ගෙ සේවය කඩන එක. සර්විස් බ්රේක් ..එහෙමයි ඒකට කිව්වෙ. ඒ කරල සති දෙකක්, තුනක් මාසයක් වගෙ යන්ට ඇරල අලුතින් සේවා ගිවිසුමක් යටතෙ එයාල ආපහු සේවයට බඳවගන්නව. බහුතරයක් අනියම් කම්කරුවො කලේ මාස 6 ක් එකදිගට සේවය කරල සර්විස් බ්‍රේක් කලාම මාසයක් වගෙ කාලෙකට ගමේ ගිහිල්ල එන එක.

නිල නිවාසවල ඉවුම් පිහුම් වලට යොදවල හිටපු කම්කරුවන්ගෙ සර්විස් බ්‍රේක් කරල එයාල ගමට ගිහාම තාවකාලිකව චෙක් රෝලෙන් තව කවුරුහරි කම්කරුවෙක් දානව ඒ වැඩේට. මේ පහුගිය පාර සැමීගෙ සර්විස් බ්‍රේක් කරල මනුස්සය ගෙදර ගිහාම අපේ චමරියෙ උයන්ට දැම්මෙ ඔය ලැන්ටියා. මමයි එතකොට චමරි මැනේජර්. චමරි මැනේජර් කියන්නෙ කට්ටියගෙන් සල්ලි එකතුකරල අවශ්‍ය බඩු බාහිරාදිය ගේන එක, එදිනෙදා උයන්නෙ මොනවද කියල තීරණය කරන එක, එතනිං ගිහාම මසෙ අන්තිමට වියදම සමානුපාතිකව හිටපු දවස් ගණන අනුව බෙදල හිඟ මුදල් එකතු කරගන්න එක එහෙම භාරව ඉන්ට මාසෙන් මාසෙට පත්කරගන්න පුද්ගලයා.මාරුවෙන් මාරුවට ඒ වගකීම හැමෝටම එනව අනුපිළිවෙලිං.

ඉතිං ඔන්න මම තමයි චමරි මැනේජර්. ලැන්ටිය රෑට උයල යන්ට ලෑස්තිය උංගෙ ඩෝමිටරි එකට. 

" මහත්තය…. හෙට උදේට මොනවද උයන්නෙ? " ඒකා මගෙ කාමරේ දොර ගාවට ඇවිල්ල අහපි. මම ඒ වෙලාවෙ ඇඳේ වැතිරිල පොතක් බල බල හිටියෙ. 

" හ්ම්ම්ම්...ඔය මොනව හරි කමක් නෑ හදල ගනිං ලැන්ටි...හැබැයි උදෙන්ම වරෙං හොඳද? "

" හරි හරි උදෙන්ම එනව..උදෙන්ම එනව..එහෙම නෙවෙයි මට ඕන එව්ව උයල හරියනවය බොස්...බොස් කැමති මොනවටද කියල කියන්ටකො. "

" ම්ම්ම්..එහෙනං මං කියන්ටද? කිරිබතක් උයමු. "

" හප්පෝ බොස් ඒකට කිරි මිරිකන්ට ගිහාම මගෙ රිස්ස යයි. "

ඒකත් ඇත්ත තමයි ඒ වෙනකොට අපේ චමරියෙ හිටිය අට දෙනෙක්. හය දෙනෙක්ම අටේ දහයෙ නාලාගිරියො වගෙ එවුං..කන්ට ගිහාමත් ආය නෑ…

" හරි එහෙනං කැකුළු බතක් උයල සම්බලක් හදහංකො......"

" ඒකටත් පොල් ගෙඩි තුනක් වත් ගාන්ට එපාය බොස්….."

" පොල් ගාන්ට ඕන තමයි බං... නැතුව ආය පොල් අඩල පිටිං සම්බල හදන සිරිතක් තියනවය? " මටත් ටිකක් මල පැනගෙන ආව ඔන්න. " ඒක තමයි කිව්වෙ උඹට කැමති දෙයක් උයපං කියල. "

" නෑ..නෑ..ඒක මගෙ හිතට හරි නෑ බොස්..කියන්ටකො වෙන මොනව හරි හදන්ට දෙයක්…"

" හ්ම්ම්ම්..වරෙං බලන්ට එහෙනං කුස්සියට " මේකගෙං තියන මල වදයක්..ලැන්ටියගෙ අම්මට බැන බැන මම ඇඳෙන් නැඟිට්ට…

" ආ..මේ තියෙන්නෙ මුං ඇට වගයක්. රයිට් තම්බපං මුං ඇට. "

" අනේ බොස් මට සෙමනෙ..මුං ඇට හොඳම නෑ.."

" ම්ම්ම්..ඒකත් එහෙමද? එහෙනං ඉඳපං මම දැක්ක අපෙ වෙල්ෆෙයාර් එකේ තියනව ෂෝක් මඤ්ඤොක්කා වගයක් ගෙනල්ල. මම රෑ වෙලා ගිහිල්ල ගේන්නං..උදේට එව්ව තම්බමු. "

වෙල්ෆෙයාර් එක කිව්වෙ අපි කට්ටියම ෂෙයාර්ස් දාල පිහිටුවාගත්ත සුභසාධක වෙළඳ සැල. සතියකට දෙපාරක් වගෙ ඔය වියළි ආහාර ද්‍රව්‍ය පොළොන්නරුවෙන් අරගෙන ඇවිල්ල පොඩි ගාණක් තියල සාමාජිකයින්ටම විකුණල ඒ ලාභෙ සමානුපාතිකව අපි කොටස් හිමියො බෙදාගත්ත. ඒකෙත් කලමණාකාරිත්වය අනුපිළිවෙළට එන්නෙ. මම වෙල්ෆෙයාර් මැනේජර් වෙලා ඉන්දැද්දි වනිතා පාර්ශ්වය බොහොම අමාරුවෙන් කැමතිකරවගෙන වෙල්ෆෙයාර් එකට අරක්කුත් ගේන්ට වැඩේ සෙට් කරගත්ත.හප්පච්චියේ..සෙට් කරගත්ත තමයි. ඒක අන්තිමට වහ කෑව වගේ වුනානෙ. රයිට්..ඒ සුභසාධක කථා වෙනම කියන්නංකො. ආයෙම ලැන්ටි වෙතට.

" ම්ම්ම්..ඒකත් එහෙමද? එහෙනං ඉඳපං මම දැක්ක අපෙ වෙල්ෆෙයාර් එකේ තියනව ෂෝක් මඤ්ඤොක්කා වගයක් ගෙනල්ල. මම රෑ වෙලා ගිහිල්ල ගේන්නං..උදේට එව්ව තම්බමු. "

මම එහෙම කිව්වනෙ. මෙන්න ලැන්ටිය ගත්කටටම කියාපි. " හපෝ බොස් මයියොක්ක තැම්බෙන්ට වෙලා යනවනෙ. මට එහෙනං උදේ පහටවත් නැඟිටල එන්ට වෙයි.ඒක හරියන්නෙ නෑ….."

මට නේද යක්සය ඔලුව උඩට නැග්ග නෙවෙයි නැගල පිනුං ගහන්ට ගත්ත. " යකෝ උඹට කියන කියන එක බෑ කියනවනෙ. හැම එකටම මොකක් හරි උදැල්ලක් දානව. උඹට ඕන එකක් හදපිය කියල මම කලිම්ම කිව්වෙ ඒකයි. "

තරහ ඉවසගන්ට බැරිතැන මම සාලෙට ගිහිල්ල ඉඳගත්ත. මෙතන මේ හැල ගෙම්බගෙ මූණ බලාගෙන හිටියොත් මුගෙ බෙල්ල කරකැවෙනව මගෙ අතින් ..ඒක නම් බඩු ෂුවර්..

ටිකකට පස්සෙ ලැන්ටිය හෙමීට මා ගාවට ආව. " බොස්ට තරහ ගියාද? මම ඉතිං අර බොස් කැමතිදෙයක් හදල දෙන්ට හිතාගෙනනෙ එහෙම ඇහුවෙ. මට තේරෙන්නෙ නෑ බොස්ට මේ හැටි තරහ ගියේ ඇයි කියල.."

මම දත්මිටි කාගෙනම ඔලුව උස්සල ලැන්ටිය දිහා බැලුව." මේ ලැන්ටි..මම එක පාරක් කිව්වනෙ. උඹට කැමති එකක් හදපං.. "

ගැඹුරට හුස්ම ගන්න. හැකිතරම් වේලා රඳවාගෙන සෙමින් පිටකරන්න. නැවතත් ගැඹුරට..මෙසේ අවම වශයෙන් පස් වරක් පමණවත් කරන්න. ඒ දැඩි ආතතිය සමනය කරගැනීමේ උපදෙස්. ඔය මම කියවපු පොතක තිබ්බෙ..පොත් කියනව එකේ වටිනාකම තේරෙන්නෙ මේ වගෙ වෙලාවට තමයි.

" බොස් එහෙමනං පාං පහක් විතර ගෙනල්ල තියන්න. ආ...තව එකක්..උදේම යන්ට ඕනත් කිව්වනෙ. පොල් ගෙඩි දෙකක් විතර ගාල තියන්න. මම ඇවිල්ල හදන්නං ටොප් කිරි හොද්දක්…"

මම කටත් ඇරගෙන ලැන්ටියගෙ මූණ දිහාවෙ බලං හිටිය...අම්මාපල්ල මූ තමයි දවසකටවත් මිනිහ. පොල් ගාවන, පාං ගේන එකත් මූ ලෑස්ති මටම කියල කරවන්ට. 

" ඒක තමයි යකෝ..උඹට කලින්ම සිංහලෙන් කිව්වෙ...උඹට ඕන එකක් හදාපංය කියල……" යන්තමට වචනයක් කියාගන්ට පුලුවං වෙච්චි හැටියෙ මම කෑගැහුව. 

" එහෙම හරි නෑනෙ බොස්..මට ඕන එව්ව හදල කොහොමද? බොස් කියන එකක් එපාය මම කරන්ට…" මේකා ආයෙම කියවන්ට ගත්ත…

" මේ..ලැන්ටි..පලයං මෙතනිං මගෙං මැරුං කන්නෙ නැතුව, " මම ඇස් දෙක තද කරල පියාගෙන දත්මිටි කාගෙන කිව්ව…" පලයං ඉතිං කිව්වම….."

" අනේ මන්ද බොස්ට මේ හැටි කේන්ති යන්නෙ මොකද කියල..බදාද පොලට ගිහාම කොහිල ටිකක් වැඩිපුර ගේන්ට ඕන...මදැයි මාත් මේ හොඳක් කරන්ට ගිහිල්ල අහගත්තු හරිය." ඔහොම කට ඇතුලෙං කියව කියව ලැන්ටිය මිදුලට බැහැල යන්ට ගියා. 

" මොකද බං උඹ අර ලැන්ටියව කන්ට හැදුවයි කියන්නෙ නිරපරාදෙ? " පහුවදා රෑට කද්දි වික්‍රමේ මගෙං ඇහුව. 

" මේ උඹ මගෙං මොකවත් අහගන්නෙ නැතුව කාපං ..හොඳද? …" මම බත් හැන්දක් බෙදාගන්ට ගිය එක නවත්තල ඒකා දිහාවෙ කන්ට වගෙ බලාගෙන හිටිය.

" ඇත්ත තමයි අර ලැන්ටිය කිව්වෙ. උඹට නං කොහිල දෙන්ට වෙයි තුං වේලක්වත් එක දිගට. …." වික්‍රමේ ඇස් යටිං මා දිහා බලල අහක බලාගත්ත.

ඒ තමයි ලැන්ටියගෙ කතන්දරේ......හෙහ්,හෙහ්, 

" ඉන්ට බොස් ආය පපඩම් ඕන නෑ. දවල් මට හම්බ වුනා හොඳ ගෝන ගාතයක්. ඒකෙ ඉතුරුව තාම ඇති. "

හින්නා එහෙම කියල ගිහිල්ල මැටි ඇතිලිය පිටිම්ම අරං ආව මාන ගෝළුව පත්තරේකිං වහගෙන. අම්මට සිරි...මාර රහක් ඒක. ඒ දවස්වල අපෙ කෑම්ප් එක පුරහම ඉබේටම වගෙ හැදිල තිබ්බ නයි මිරිස්. ඔව්ව තලල දාල උයන වෑංජන ආය නෑ දිවිය ලෝක රහ. 

" බොස්ට මතකනෙ මම මේ පහුගිය ටිකේ අර ඩෝසර් මුරකරන්ට ගියා. " තව ෂොට් දෙහෙකට වගෙ පස්සෙ හින්නා කිව්ව. ඒකා එතනම පිලේ ඉඳගෙන උන්නෙ. හින්නා අර ඇතුලෙං පුටුවක් අරං වරෙං කිව්වට ඕන නෑ බොස් මේ හොඳයි කියල ඒකා පිලේ ඉඳගෙන බිත්තියට හේත්තු වෙලාමයි හිටියෙ.

" හෙහ්,හෙහ්.හෙහ්.." මට මැරෙන්ට හිනා.." ඔව්..ඔව්..මම දන්නව උඹ ඩෝසර් මුරකරපු විදිහ...හෙහ්,හෙහ්……"

හින්නා මුරට දැම්මට ඕක කරපු මුර කිරිල්ලක් නෑ. ඌව ගිහින් දාල ජීප් එක ආපහු ආහම ඌ රෑ නමය වගෙ වෙනකොට හෙමිහිට ආපහු කෑම්ප් එකට එනව. ආය පහුවදා පාන්දරම යනව ඩෝසර් තියන තැනට රෑ එලිවෙනකල් මුර කරපු එකා වාගෙ....හෙහ්,හෙහ්,

" හරි හරි බොස් එව්ව එහෙම තමයි. රෑ තිස්සෙ එතන ඉඳල කොටි ඇවිල්ල මාව මරල ගියානං එහෙම ආය? "

" ඒකත් හරි තමයි කතාව..හරි ඒකෙන් වැඩක් නෑ..දැං මොකක්ද උඹ කියන්ට ආවෙ? "

" කියන්ට ආවෙ එක දවසක් ආපහු කෑම්ප් එකට එද්දි මට මාර වැඩක් වුනානෙ බොස්. එදා ඔන්න යන්තමට තරු එළිය විතරයි. අමාවකද කොහෙද... මම ඔන්න එනව අර මට්ටයිංගෙ මරං වාඩි තියෙන්නෙ අන්න ඒ හරියෙ. එක පාරටම අර මහ වංගුව පහුවෙනවත් එක්ක මම දැක්ක මා ඉස්සරහට අලියෙක් එනව. "

මට්ටයො සහ මරංවාඩි ගැන බොහොම විස්තර කියන්ට තියනව ඒත් අද හිනිදුමයා සහ වල් අලියා කතන්දරේ කියන්ටම ඕන නිසා ලබන පාර ඒ විස්තරේ කියන්නංකො...

" කෙළියා ....ඉතිං බං? " මම හින්න දිහාට හැරුනා.." උඹ දුවන්ට ඇති ආය මොනවද විලුඹ තට්ටං වල වැදි වැදි ...හෙහ්,හෙහ්, "

හින්නගෙ මූණ නොරොක් උනා.." බොස් එහෙම කතාකරන්ට එපා..හරිද? මම එහෙම දුවන ජාතියෙ එකෙක් නෙවෙයි ..අනික අලි ඉස්සරහට එද්දි දුවල හරියන්නෙ නෑ..උං පන්නගෙන එනව. "

" හරි හරි බං උඹ ඔව්ව ගනංගන්ට එපා..මේ මහත්තය කියන එව්ව දන්නෙ නැද්ද? " වික්‍රමේ හින්න දිහා බලල මට ඉඟි මැරුවා. 

" අනික බොස් මට දුවන්ට කොහෙත්ම ඕන කමක් නෑ. මොකද මා ගාව තියනව බොහොම බලගතු අලිමන්තරයක්...බුදු හාමුදුරුවො නාලාගිරියා කොන්ට්‍රෝල් කරන්ටත් පාවිච්චි කලාය කියන්නෙ ඒ ඔය මන්තරේ තමයි. " හින්න ආයෙමත් කිව්ව.

" නෑහ්?? …."ඒ පාර කට ඇරුනෙ වික්‍රමේගෙ…

" ඔන්න ඕකනෙ කියන්නෙ ඒ පාර වික්‍රම බොස්ටත් මාව විස්වාස නෑනෙ.. "

" නෑ..නෑ..බං අවිස්වාසෙකට නෙවෙයි..මට නිකම්ම එහෙම කියවුනා…" වික්‍රමේ කිව්වෙ සමාව අයදින ස්වරයකින්…

" ඔය අලි මන්තරේ මට කියල දුන්නෙ අපේ තාත්තගෙ තාත්ත..මුත්ත...බොහොම බලගතුයි කියන්නෙ ඕනම හස්තිරාජයෙකුට අතට වැලි අහුරක් අරගෙන මන්තරේ මතුරල වැලි අහුර ඔලුවට උඩිං යන්ට ගැහුව නං ආය නෑ මෙල්ල වෙන්නෙ බලු කුක්කෙක් වගෙ. "

හින්න ආයම කට කපල ෂොට් එකක් දාගෙන බෝතලේ මට දික්කරා. " ගන්ට බොස් බය වෙන්ට එපා. මා ගාව තියනව ඔරිජිනල් ස්පිරිට් එකෙං බඩු. බෝතලයක් නම් එහෙමයි දෙකක් නං ඒත් එහෙමයි. "

අම්මාපල්ල මුහෙ ආච්චිට හාල් ගරන්ට. මේ බැල්ලිගෙ පුතා ලෑස්ති අපෙ ඕල්ඩ් ටිකට ඌ කෙළල ඇරල අපිට කසිප්පු පොවන්ට. දත් කාගෙන කට ඇතුලෙං එහෙම කියන අතරෙ මම හින්න දික්කරපු බෝතලේ ගත්ත….කමක් නෑ...ඕල්ඩ් බෝතලේ වගේද මුගෙ කතාව..හෙහ්,හෙහ්. හින්න හොඳ කතන්දර කාරය කියල කෑම්ප් එකේ හැමෝ අතරෙම ප්‍රසිද්ධයි. මම එහෙම හිතල හිත සනස ගත්ත.

" ඉතිං බං ඊට පස්සෙ මොකද වුනේ? "

" මම බය නැතුව අලිය ඉස්සරහට ගියා. අලියත් එනව ඉස්සරහට මමත් යනව ඉස්සරහට. මම කිව්වනෙ යන්තමට තරු එලිය විතරයි කියල තිබ්බෙ. අලියයි මායි අතරෙ පරතරේ අඩි විස්සක් වගෙ වෙනකල් ඔහොම මම ගියා. ඒ කරල හෙමීට අලිය දිහා බලාගෙනම පාත්වෙලා වැලි අහුරක් අරගෙන කට ලඟට කරල මැතුරුව අර මම කියාපු අලි මන්තරේ.ඊටපස්සෙ අඩි දෙකක් තවත් ඉස්සරහට ගිහිල්ල ගෙරියා තූ තූ හස්ති බන්දනඃ මහා මේඝවනඃ කියල වැලි අහුර අලියගෙ ඔලුවට උඩිං දමල ගැහුව. "

" නෑ ඉතිං ඊට පස්සෙ? …" වික්‍රමේ ඇස් දෙකත් උඩ තියාගෙන ඇහුව. 

" ඊට පස්සෙ මොනවද ආය? අලියත් අඩි දෙකක් ඉස්සරහට තිබ්බ. ප්‍රෑං ප්‍රෑං ගාල සයිරන් එක ගැහුව.දේයි දේයි ගාල දෙකක් පත බෑව හින්නගෙ කොන්ද හරහට අර සද්දන්ත හෝස් පයිප්පෙං..හෙහ්, හෙහ්, හෙහ්...හේ.." මම මැදින් පැනල කිව්ව.

මම හිනාව නවත්ත ගන්ට බැරුව නැඟිටල වීරගහ බදාගත්ත. ඒ වෙනකොට මටත් හොඳ ගාණට වැදිල...වික්‍රමේත් අත්දෙක ඔලුවෙ ගහගෙන හිනාවුනා. හින්නට මල පැනල කතන්දරේ කියන එක බල්ලට දාල නැඟිටල යයි කියල අපි හිතුවට එහෙම දෙයක් වුනේ නෑ, එක්කො ඌටත් ගාණකට වැදිල, නැත්තං කතන්දරේ කියන්ට තියන බලවත් ඕනකම හින්ද එහෙමත් නැත්තං අපි ඔය කියන්නෙ විහිලුවටෙයි කියල ඌටත් සහසුද්දෙන්ම තේරිල, ඒ මොක හරි හින්නත් අපි එක්කල එකතු වෙලා හිනාවුනා.

" නෑ බොස් එහෙම දෙයක් නෙවෙයි වුනේ. බොස්ල හීනෙං වත් හිතන්නෙ නැති දෙයක්.. …" හින්න ටිකක් වෙලා කිසි කතාවක් නැතුව හිටිය හිනා වෙලා එහෙම ඉවර වෙලා අපේ අවධානය ඌ කෙරෙහි පූර්ණ වශයෙන් නැවත යොමුවෙනකල්…

" ඉතිං කියාපං බං මොකද වුනේ කියල…."ඉවසන්ට බැරිම තැන වික්‍රමේ ඇහුව. 

" තොගෙ අම්මට ****** මොන බැල්ලිගෙ පුතාද යකෝ මට වැලි ගැහුවෙ. දෙයියෝ සාක්කි මගෙ ඇස් දෙකත් ඉවරයි…"ඔන්න ඔහොම කෑගැහුව බොස්..

" අලියා? " ඇස්දෙකත් උඩතියාගෙන මම ඇහුවා නෙවෙයි මට ඉබේටම ඇහුණා. 

" අලි කොහෙද බොස් කතාකරන්නෙ.? බොසුත් මොනවා කියනවද මන්දා…"

" එහෙනං? " එහෙම ඇහුවෙ වික්‍රමේ..

" එහෙම කෑගැහුවෙ අලියගෙ පිට උඩ හිටපු එකා..අලිය බලන මනුස්සය..අලි ගොව්වා…" හින්නා අන්තිම ටික උගෙ වීදුරුවට හලා ගත්ත. " අන්තිම ෂොට් එක බොස්..මම දාගන්නව ඔන්න.."

"දාගං..දාගං දාගං.." මම තුන්පාරක්ම කිව්ව."එතකොට ඒ කියන්නෙ…"

" ඔව් බොස්..මේකා හීලෑ අලියෙක්. අර මරං වාඩියෙ මට්ටයො ගිහිල්ල දවල් එන්ට කියල අලියට. උං කපපු ලොකු කොටවගයක් අද්දව ගන්ට. "

" ඉතිං බං ඊට පස්සෙ? "

" පස්සෙ මනුස්සය මා එක්ක කතාකරල හිතවත් වුනා..පස්සෙ මාවත් අලිය පිටේ නග්ගගෙන මෙහෙටම ගෙනල්ල ඇරලුවා. මම බත් උයල කන්ටත් දුන්න. රෑ මගෙ කාමරේ බුදියගෙන ඉඳල උදේම යන්ට ගියා. අලිය මගෙ කාමරේ ඉස්සරහ පලු ගහේ බැඳල හිටියෙ එලිවෙනකල්. ඇයි බොස්ල දැක්කෙ නැද්ද? "

" නෑ බං අපි දැක්කෙ නෑ....." මම එහෙම කියල නැඟිට්ට. 

" බොස් මොකෝ කියන්නෙ ස්පිරිට් එකෙන් බාගයක්වත් ගේන්නද? …" හින්නත් නැඟිට්ට. 

" එපා බං ඇති..හෙට වැඩට යන්ටත් එපාය. එහෙනං ගුඩ් නයිට් හින්නා..අපි කාල නිදාගන්නව. " වික්‍රමේත් නැඟිට්ට එහෙම කියාගෙන..

" ඕකේ බොස් එහනං ගුඩ් නයිට්.." අපිට අතවනල හින්නා ටෝච් එකත් වන වන යන්ට ගියා.

85 comments:

  1. මට මතකයි රූපවාහිනී සංකච්ඡාවකදී බන්දුල විජේවීරත් මේ වගේ අත්දැකීමක් කිව්වා. ඒගොල්ලො රෑ වෙලා සංගීතයක් ඉවර වෙලා කැළේ පාරක වෑන් එකෙන් එනකොට අලිය ඉස්සරහට ආවලු. ඒ පා වෑන් එක අතෑරලා දුවලා කැළේ හැංගිලා බලා ඉන්නවලු දැන්, දැන් වෑන් එක පොඩි කරයි කියලා. අලිය සද්ද නැතිව වෑන් එක පහු කරලා ගියාලු. බලනකොට ගොව්වා යනවලු පස්සෙන්.

    ReplyDelete
    Replies
    1. පැරා කතන්දරත් කියවනවද?

      Delete
    2. පැරා,

      බන්දුල විජේවීර මම ඒ දවස්වල ඉඳල මම කැමති ගායකයෙක්." දෝත පුරා මුතු මාල ලතා " සහ " හිත හීලෑ නෑ " ඔහුගේ මම අදටත් කැමති ගී දෙකක්.

      Delete
    3. මේක අමාරිස් අයියා කියන්නේ මෝහිණීගෙ පැත්තට දාලා
      "තූ තූ නරකාදියා බලහන් මගේ කටෙයි ලමයගෙ ඇස් දෙකෙයි ගියා වැලි..
      කොල්ලට සහලෝලා හින්දා පාරට බැස්සේ ඩිස්පැන්සරියට යන්න..
      තොට මොකා වැහිලද බොල වැලි ගැහුවේ" කියලා

      Delete
  2. //" ඊට පස්සෙ මොනවද ආය? අලියත් අඩි දෙකක් ඉස්සරහට තිබ්බ. ප්‍රෑං ප්‍රෑං ගාල සයිරන් එක ගැහුව.දේයි දේයි ගාල දෙකක් පත බෑව හින්නගෙ කොන්ද හරහට අර සද්දන්ත හෝස් පයිප්පෙං..හෙහ්, හෙහ්, හෙහ්...හේ.." මම මැදින් පැනල කිව්ව.//

    මැවිලා පේනවා! :D

    හීලෑ අලි මෙල්ල කරන මන්තරත් තියෙනවා එහෙනම්! :)

    ReplyDelete
    Replies
    1. පහලට යන්න කම්මලි ඒ හින්දා කොහාගේ ස්ටයිල් එකට කමෙන්ට් එකක් දාන්න හිතුවා :)

      //කුස්සියෙං වීදුරුවක් ගෙනල්ල මේ එකක් දාගනිං...ඊට පස්සෙ හොඳ එකා වගෙ පපඩං හත අටක් බැදපං බං ///

      මෙහි තිබෙන බිංදු සියල්ල අවශ්‍යම ඒවාද ?

      Delete
    2. මලිති මෙයා ඔක්කොම සද්ද එක්කම ලියනවා නේ

      Delete
    3. මලිති,

      / හීලෑ අලි මෙල්ල කරන මන්තරත් තියෙනවා එහෙනම්! :) /

      හීලෑ අලි මෙල්ල කරන එක මම හිතන්නෙ වල් අලි මෙල්ල කරනවට වඩා අමාරුයි. ...:)

      අලි ගැන කියනකොට මතක්වෙන සුට්ටි කතාවක්...අපෙ අත්තම්මල සුට්ටි කාලෙ පාරවල් හදන්ට ගල් දාල තලල තියෙන්නෙ ඒ උඩිං අලි දක්කල. අත්තම්ම මට කියල දුන්නු කවියක අන්තිම පදේ මෙහෙමයි.." වං අලියා රෝල් මට්ටං පයිරුපීස්.." ඒ කියන්නෙ එක අලියෙකුට පාර තලනවට රුපියල් පහක් ගෙව්ව කියල. මම හිතන්නෙ එක දවසකට වෙන්න ඇති. මොලේ අර්සස් හැදෙනකල් කල්පනා කලා. මුල් පද තුන මතකයට එන්නේම නැත...:(

      Delete
    4. Oma,

      / මෙහි තිබෙන බිංදු සියල්ල අවශ්‍යම ඒවාද ? /

      කුස්සියෙං ...... දාගනිං.......පපඩං ....බැදපං ...

      කුස්සියෙන්, දාගනනින්, පපඩම්, බැදපන්.........ලියනකොට එහෙම ලිව්වට කතාකරද්දි හල් නයන්න වෙනුවට ශබ්ද වෙන්නෙ බින්දුවනෙ ළමයා..ඒකයි උච්චාරණය වෙන විදිහටම බින්දුව දාල ලිව්වෙ..:)

      Delete
  3. මේකනම් කාටහරි කියලා ලියවගෙනද කොහෙද...

    වෙලාවට ලැන්ටියා ටික කාලයක් විතරක් හිටියෙ....නැත්නම් හිරගෙදර කූඩු ලොකු කරන්න වෙනවා මේ කතා අහලා හිනාවෙලා මහත්වෙන උන්ට ඉන්න පුළුවන් වෙන්න.

    ReplyDelete
    Replies
    1. සඳමාලි,

      / මේකනම් කාටහරි කියලා ලියවගෙනද කොහෙද.../

      එතකොට එහෙමයි කියන්නෙ නේද?...:)

      Delete
  4. නිවීහැනහිල්ලේ කියවන්න ඕන...

    ReplyDelete
    Replies
    1. රසයේ උපරිමය... කියල වැඩක් නෑ.. අලි මන්තර කතාවට පැලෙන්න හිනා ගියා මටත්. අම්ම අහනවා පිස්සුද කියල.
      අර ලැන්ටියගේ කතාව අහල මත උනා කතාවක්. අපේ ගෙවල් ගාව ඉන්න ආච්චි කෙනෙක් කිව්වෙ. ආච්චි පුතාට දවසක් උදේට උයන්න පොල් නෑ කිව්වම ඌ කිව්වලු "පොල් නැත්තං සම්බෝලයක් හදහන්" කියල...

      Delete
    2. රවිය වගේ හාදයෙක් මේ බ්ලොගේ බින්න බහිනව කියල කලින් දැනගෙන ද කොහෙද මේකට "නිදහස් සිතුවිලි" කියල නම තියන්න හිතිල තියනව අපේ රන්දිල්ට!
      මූ ඔහේ ලියනව වටේ යන ගමන්!

      Delete
    3. හැක් හැක්.. මටද ඒ කිව්වෙ.. සන්තෝසයි අප්පා....

      Delete
    4. සජ්ජා,

      / ආච්චි පුතාට දවසක් උදේට උයන්න පොල් නෑ කිව්වම ඌ කිව්වලු "පොල් නැත්තං සම්බෝලයක් හදහන්" කියල.../

      උගෙ ආච්චිගෙ පුතෙක් ඌ!!!...:)

      Delete
    5. රාජ්,

      / රවිය වගේ හාදයෙක් මේ බ්ලොගේ බින්න බහිනව කියල කලින් දැනගෙන ද කොහෙද මේකට "නිදහස් සිතුවිලි" කියල නම තියන්න හිතිල තියනව අපේ රන්දිල්ට! /

      ආය මොනවද බං..ඔය අම්මණ්ඩිලාට තියනව දිවියඥාණෙ...දිවියඥාණෙ..ඔය අපෙ උන්දැත් එහෙමයි...යමක් කිව්වොත් ආය කිරිගහට ඇන්නවගෙ ..හරියටම හරි...

      මට ඔය හිටපු ගමං එනව එක්සෙලන්ට් ක්‍රියේටිව් අයිඩියාස්...ඔන්න එක පාරක් මට ආව අපෙ මායිමේ බැඳල තියෙන තාප්පෙ කොලාජ් චිත්‍රයක් හදන්ට.ගේ ටයිල් අල්ලද්දි කැපිල අයිං වෙච්චි ටයිල් අහුකොං කෑලි මහ ගොඩක් තිබ්බ ඔය පරණ බඩු දාන කාමරේක ගොඩ ගහල.ඔව්ව නිකම්ම වීසි කරන්නෙ නැතුව ප්‍රයෝජනයක් ගන්ටයි මට ඕන වුනේ. බැරල් දෙකකුත් ගෙනල්ල ඒ උඩිං දෙකේ හතරෙ ලී දෙකකුත් දාගෙන සිමෙන්ති කොළපු ( සිමෙන්ති සහ වතුර මිශ්‍ර කරල හදපු බදාම ) බාල්දියකුත් ලක ලැහැත්ති කරගෙන මේසන් හැන්දත් අරගෙන මම පටන් ගත්ත වැඩේ.

      " මේ බලාගෙන ඔතන..මම දන්නව ඔයා ඔය බැරල් දෙකත් පෙරළගෙන සිමෙන්ති කොළපු ඇඟ පුරා හලාගෙන ටයිල් කෑල්ලක් කකුලෙත් ඇණගෙනයි ඔය වැඩේ නවත්තන්නෙ "

      අපෙ උන්දැ දොර ගාවට ඇවිල්ල එහෙම කිව්ව ආදරෙන් ..ආය මොනවද කොලාජ් එකට ටයිල් කෑලි එක දහයක් අලවන්ට වුනේ උන්දැ ඒ කියපු විදිහටම වුනා අකුරක් නෑර...හෙහ්,හෙහ්,

      Delete
  5. යකෝ ඇත්ගොව්වටද වැලි ගහල තියෙන්නෙ? හිනා වෙලා පනයනව.
    අර මේ දවස්වල ඇඩ් එකක් යනව මීහරකෙක් ඉස්සරහට එද්දි පොඩි එකෙක්ව බේරගන්න සුපර්මෑන් කෙනෙක් කියල බුවෙක් ඉස්සරහට පනිනව. කොල්ල කියනව "මේ ගෙදර හරක" කියල!

    මයියොක්ක කිව්වම මතක් උනේ, දවසක් ඔයවගේ කැලේක සෙට් වෙච්ච දවසක අපේ මුරකරුවෙක් මයියොක්ක අල පොතු පිටින් ගින්දරෙන් පුච්චල දුන්න කන්න. මාර රහයි.

    ReplyDelete
    Replies
    1. //මයියොක්ක අල පොතු පිටින් ගින්දරෙන් පුච්චල දුන්න// අපි ඔහොම බතල නං කාල තියෙනව ඉස්කෝලෙ යන කාලෙ.

      Delete
    2. මයියොක්ක, බතල පුච්චල කලටි පොල් එක්ක තමයි රස.

      Delete
    3. //මයියොක්ක අල පොතු පිටින් ගින්දරෙන් පුච්චල// එවේලේ ගලව ගලව පුච්ච පුච්ච කාලා තියෙනවා.. පූනෑවේ ඉද්දි.. //දිවිය ලෝකේ රහයි/// තමයි.. සැක්.. රවිය වගේ ලස්සනට ලියන්න බෑනේ..

      Delete
    4. වට්ටක්ක පුච්චලා කාලා නැත්ද? පුච්චනවා කිව්වට තම්බන සීන් එකක්. හේන් වල තමා මේ වැඩේ කරන්නෙ. වට්ටක්ක ගෙඩිය උඩින් පොඩියට පියන වගේ හිටින්න කපනවා .. ඊට පස්සෙ ඇතුලේ ඇට සහ එල්ලිලා තියන රැල රැල වගේ එව්ව ටික අයින් කරනවා. ඊට පස්සෙ ලුණු, මිරිස් තුනපහ ගුලියක් වෙන්න අඹරලා අරහෙන වට්ටක්කේ ඇතුලට අතදාල ඇතුල් පැත්තෙ හොඳට ගානවා. ඊය පස්සෙ පියන වහනවා. ඊට පස්සෙ හේනෙ ගිනිමැලේ ගහන තැන වළක් හාරලා අර වට්ටක්කේ වලලනව. වලලනව කිව්වට තුනී පස් තට්ටුවකින් උඩ ටික වැහෙන්න. ඊට පස්සෙ ඒක උඩ ගිනිමැලේ ගහන්නේ. ගිනිමැලේ ඇවිලිලා නිවිලා ඉවර උනාම අරක ගොඩ දානවා. මම එහෙම වට්ටක්ක කාලා තියනවා. දිවියලෝක රහයි. හැබැයි ගිනිමැලේ කොච්චර වෙලා තියෙන්න ඕනැද කියල ලොකු අයිඩියා එකක් නෑ. මයේ හිතේ එළිවෙනකල් වෙන්නැති. මට හම්බුනේ උදේ. මෙතඩ් එක අහගත්තට කරලා බලල නෑ (පඬිය වගේ කිව්වෙ අහගත්තු මෙතඩ් එක)..

      Delete
    5. සජ්ජා,
      මම කියෙව්ව කොතනක හෝ ඔය වට්ටක්කෙ ඇතුලට වල් ඌරු මස් පුරවල වටේට මැටි තට්ටුවකින් ආවරණය කරල පුච්චන කතාවකුත්....

      Delete
    6. ආ.රාජ් සහෝදරයා ... අනිවාර්යෙන් හරි යනවා ඇති ඒ වැඩෙත්.. ඌරු මස් උයල දාන්නෝන ඇති.. නැත්තං මං හිතන්නෙ නෑ අමුවෙන් දැම්මොත් ඉදෙයි කියල...

      තව සීන් එකක්. ඒක නං කරලා බලල තියනවා. පපඩම් බදින්න තෙල් නැති උනොත් පපඩම අමු පොල් කූරටේක ගහල ළිපට ඇල්ලුවම කන්න පුළුවන් වෙන්න පුච්චගන්න පුළුවන්. තෙලෙන් බදිනකොට වගේ ලොකු බුබුළු ආවේ නැතත් පොඩි බුබුළු ඇවිත් කන්න පුළුවන් පදමට එනවා..ගානට පුච්චගන්න ඕන..

      Delete
    7. රාජ්,

      / අර මේ දවස්වල ඇඩ් එකක් යනව මීහරකෙක් ඉස්සරහට එද්දි පොඩි එකෙක්ව බේරගන්න සුපර්මෑන් කෙනෙක් කියල බුවෙක් ඉස්සරහට පනිනව. කොල්ල කියනව "මේ ගෙදර හරක" කියල! /

      අඩේ මරු ඇඩ් එක ඒක..හිනා වෙලා පණ යනව..සුපර් මෑන් කියනකොට මට මතක් වුනේ සුපර් මෑන් ජෝක් එකක්...හෙහ්,හෙහ්,.

      Superman was kinda bored so he just started flying around looking for something to do. He's flying over Wonder Woman's house and sees her bedroom window is open. He stops for a glimpse and sees her lying on her bed naked. She's lying there and squirming around looking real hot.

      Superman was getting turned on looking at her so he decides what the hell, I can just fly in real quick, give her the ole' in-out and be out of there before she even knows what hit her. After all he is Superman. So, in he goes, wham-bam and he's out of there.

      Wonder Woman knew something happened and says, "What was that?" The invisible man says, "I don't know but, damn, is my ass sore."

      Delete
    8. ප්‍රසන්න සහ කම්මල,

      අන්න කෑම....ළපටි බඩ ඉරිඟුත් නියමයි උල් කෝටුවක් ගහල කෙලිම්ම ගින්දරට අල්ලල පුච්චල ලුණු ඉහල ගත්තම බඩ පැලෙනකල් කෑහැකි. දැන් මෙහෙදි කරන්නෙ ළපටි ස්වීට් කෝන් ඇළුමිනියම් ෆොයිල් වල ඔතල බාබකියු කරන එක...:)

      Delete
    9. කළ්‍යාණ,

      / මයියොක්ක අල පොතු පිටින් ගින්දරෙන් පුච්චල එවේලේ ගලව ගලව පුච්ච පුච්ච කාලා තියෙනවා.. පූනෑවේ ඉද්දි.. දිවිය ලෝකේ රහයි තමයි. /

      මයියොක්ක අල පුච්චන තව ක්‍රමයක් තියනව. මයියොක්ක පඳුරෙ අල මෝදු වෙනකොටම වටේට පස් හාරල පොඩි දර කෑළි, පිදුරු එහෙම දාල ගින්දර තියනව යන්තමට ගිණි අඟුරු ඇවිලි ඇවිලි තියෙන්ට. අලේ ලොකු වෙන අතරෙම යන්තමට පිච්චෙනව. පස්සෙ හොඳ ගානට ලොකු උනහම ගිනි අඟුරු අයිං කරල පඳුර පිටිං ගලෝල ගන්නව......:)

      Delete
    10. සජ්ජා,

      /  ඊට පස්සෙ ලුණු, මිරිස් තුනපහ ගුලියක් වෙන්න අඹරලා අරහෙන වට්ටක්කේ ඇතුලට අතදාල ඇතුල් පැත්තෙ හොඳට ගානවා. ඊය පස්සෙ පියන වහනවා. ඊට පස්සෙ හේනෙ ගිනිමැලේ ගහන තැන වළක් හාරලා අර වට්ටක්කේ වලලනව. වලලනව කිව්වට තුනී පස් තට්ටුවකින් උඩ ටික වැහෙන්න. ඊට පස්සෙ ඒක උඩ ගිනිමැලේ ගහන්නේ. ගිනිමැලේ ඇවිලිලා නිවිලා ඉවර උනාම අරක ගොඩ දානවා. /

      අඩේ මාර රහ ඇතිනෙ ...මම කාලා නැත.. තනිකර එලුවෙක්ව නම් ඔය විදිහට පුච්චල කාල තියනව. ඉස්සෙල්ල එලුව සම්පූර්ණයෙන් සුද්ද කරල සීසන් වෙන්ට තනිකරම ගිල්ලවල තියනව ලුණු, දුරු මිරිස් ද්‍රාවණයක.මම හිතන්නෙ දවසක් වගෙ එහෙම තියනව. ඊට පස්සෙ එලුවගෙ මැටි වගෙ ජාතියක් ගානව සම්පූර්නයෙන්ම වැහෙන්ට. ඒ කරල වෙරළෙ වලක් හාරල එලුව වළලල උඩිනුත් වැලි දාල වහල ගින්දර ගහනව. පැය දෙකක් තුනක් ගිහාම එලුව ගොඩ ගන්නව. අප්පට සිරි..ඒක තමයි කෑම. එලුව කවර් කරල තිබ්බ මැටි හිටං කෑහැකි ඇස් පියාගෙන....:)

      Delete
    11. යකෝ මූ කියන ගජබින්න! එලුවො පුච්චපුවයි, මයියොක්ක අල පුච්චන ගමන් අලබැහිල්ලයි.... :-)

      Delete
  6. හොඳ වෙලාවට ඔහොම උනේ. වැරදිලාවත් වැලි පාර අලියට වැදුනනං එහෙම රවී කියල තියෙන ටික තමයි වෙන්නෙ. ඒ මදිවට ගොවුවටත් ගුටි කන්න වෙනව අලියගෙන්.
    //මට්ටයො සහ මරංවාඩි ගැන බොහොම විස්තර කියන්ට තියනව// කියමුකො බලන්න. වාං පතුල්නං කවද අහගන්න බැරිද.

    ReplyDelete
    Replies
    1. ප්‍රසන්න,

      හැබෑට හින්නගෙන් අහන්ට බැරිවුනානෙ අලියගෙ ඇස් වලට වැලිගියානම් මොකක් වෙයිද කියල....:)

      Delete
  7. ලස්සන පින්තූරෙ !!
    ෂුහ් රවී ත් මාර වියාපෘතිවල ඉඳල තියෙන්නේ. ඒකාලෙ අප්‍රිකන් අලිත් ලංකාවෙ ඉඳල තියනව.

    ah, හීලැයි කිව්ව නේද? එහෙමනම් යන්ත්‍රෝපකරණ එක්ක ගෙන්වන්න ඇති හැනිබල්ගේ පරම්පරාවෙ කාගෙන්හරි . එහෙමනැත්නම්
    http://www.tandfonline.com/doi/abs/10.1080/00221345708983130?journalCode=rjog20
    https://uk.answers.yahoo.com/question/index?qid=20090128054547AAUDs3Z

    Sorry Ravi, just couldn't help cracking a silly joke after seeing that photo of an African Elephant !

    ReplyDelete
    Replies
    1. Pra,

      / ෂුහ් රවී ත් මාර වියාපෘතිවල ඉඳල තියෙන්නේ. ඒකාලෙ අප්‍රිකන් අලිත් ලංකාවෙ ඉඳල තියනව. /

      ඔන්න ප්‍රා ඔබට අලුත් පර්යේෂණ මාතෘකාවක්.." The African Elephants Of Eastern Jungles In Sri Lanka, The Legacy of A King's Fascination In Exotic Animals "

      ඔය මම හිටපු දිහාවෙ හිටිය ප්‍රා ටිකක් කන් ලොකු අප්‍රිකන් අලි ටයිප් එකේ එවුං ටික දෙනෙක්. පස්සෙ මම ඔය ගැන කලා පොඩි පර්යේෂණයක් වගෙ එකක්. ඒකෙදි මට ලැබුණු තොරතුරු මෙහෙමයි. අපිට යන්ට වෙනව ප්‍රා 17 වන සියවසට. කන්ද උඩරට දෙවෙනි රාජසිංහ රජ්ජුරුවො නොයෙක් වර්ගවල අමුතු සත්තු, ඒ වගේම නොයෙක් ජාතීන්වලට අයත් මිනිස්සු එකතු කිරීම විනෝදාංශයක් වගෙ කලාය කියල ප්‍රා දන්නව ඇතිනෙ.ස්පිට්ල් මහත්මයගෙ සුදුගෝනා කතාව පදනම්වෙලා තියෙන්නෙ රජ්ජුරුවන්ගෙ ඒ විනෝදාංශය මත. එතකොට නොයෙක් වර්ගවල මිනිසුන් එකතුකිරීමට හොඳම උදාහරණය රොබට් නොක්ස්.

      1655 අවුරුද්දෙ ලංකාවට ආව ලන්දේසි යුදසෙනෙවියෙක්, ජෙනරල් ජෙරාඩ් හල්ෆ්ට්. .ඔහුට භාරවුනු රාජකාරිය ලංකාවෙ පෘතුගීසි බලය මුලිනුපුටා දමා ලන්දේසි බලය තහවුරු කිරීම. වර්තමාන ශ්‍රේෂ්ඨාධිකරණ සංකීර්ණය පිහිටල තියෙන අළුත්කඩේට ඉංග්‍රීසියෙන් කියන්නෙ Hulftsdorp ් කියල. හල්ෆ්ට්ගේ කන්ද, එතන තමයි කොළඹ අල්ලාගැනීමේ මෙහෙයුමේදී හල්ෆ්ට්ස්ගේ මූලස්ථානය පිහිටල තිබ්බෙ. හරි ඉතිං ඉස්සෙල්ලම හල්ෆ්ට් ලංකාවට ආපු වෙලාවෙ සෙංකඩගලට ගිහිල්ල තියනව දෙවෙනි රාජසිංහ රජතුමා මුණගැහිල සාකච්ඡා කරල පෘතුගීසීන්ට විරුද්ධව අරඹන්ට යන යුද්ධයෙදි එතුමගෙ සහයෝගය ලබාගන්ට.

      රජ්ජුරුවන්ගෙ අමුතු සතුන්ට තියෙන අසීමිත ආශාවෙන් ප්‍රයෝජනයක් ගන්ට හිතපු හල්ෆ්ට් ඒ එනකොට අප්‍රිකාවෙන් අප්‍රිකානු අලිපැටව් හතර දෙනෙක් අරගෙන ඇවිල්ල. මඩකළපුවට ගොඩ බැහැල මේ ලන්දේසි කණ්ඩායම ( ඒ වෙනකොට මුහුදුබඩ අනෙක් සියලු වරායන් පෘතුගීසි පාලනයට යටත් ) කන්ද උඩරට බලා එද්දි ඔය වැලිකන්ද කිට්ටුවදි පොඩි අකරතැබ්බකට මූණ දෙන්ට වෙලා. අප්‍රිකානු අලින්ගෙ කුයිල වැටිච්චි වල් අලි රංචුවක් කඳවුරු භූමිය තුලට කඩාවැදිල යකා නටල.ඒ කලබලේදි අර රජ්ජුරුවන්ට දෙන්ට අරංයමින් හිටිය අප්‍රිකානු අලි පැටව් හතර දෙනා කැලෑ වැදිල.

      ( This is an excerpt from the diary of Gerard Hulft )

      " After eight days of continuous trekking through arid jungles of Zeylan's east coast we arrived at a stream * where a substantial flow of blue water was meandering slowly. Being so travel weary due to unrelenting sun shining down mercilessly from dawn to dusk, we were sleeping heavily upon the banks of aforesaid stream when all hell broke loose all of a sudden. In ensuing melee nobody knew what happened but at dawn it was apparent what has happened. Attracted and disturbed by the unaccustomed odor of African elephants we were taking to the King of Zeylan, a large herd of local Elephants had entered the camp and attacked our people. Three porters recruited in Batticaloa had died as a result. Moreover all four young african elephants , 2 male & 2 female, has all escaped to jungle during the confusion."

      * My note - Most probably Maduru Oya

      ඉතිං ප්‍රා මම හිතන්නෙ නිසැකවම ඔය වැලිකන්දෙ අපි හිටපු කිට්ටුව සැරිසරන්නෙ ඒ හල්ෆ්ට්ගෙ අප්‍රිකානු අලිහතර දෙනාගෙන් පැවතෙන කට්ටිය.

      / එහෙමනම් යන්ත්‍රෝපකරණ එක්ක ගෙන්වන්න ඇති හැනිබල්ගේ පරම්පරාවෙ කාගෙන්හරි /

      පුදුම වැඩේ කියන්නෙ ප්‍රා මේ දවස්වල මම හැනිබල් එක්ක ඇල්ප්ස් කඳුවැටිය තරණය කරමින් ඉන්නෙ. අප්‍රිකානු අලි 38 දෙනෙක් අපි එක්ක කඳු නඟිනව.සිසල්පයින් ගෝල් හරහා උතුරු ඉතාලියට ඇතුල්වෙලා රෝමන් හමුදාව පරාජය කරල රෝමය බිමට සමතලා කරල දාන එකයි අපේ අධිෂ්ඨානය.

      හිමපතනය එන්ට එන්ටම දරුණුයි. අපේ හමුදාව මේ අධික ශීතල දේශගුණයට පුරුදු අය නෙවෙයි, දැනටමත් ආරම්භයෙ හිටපු 85,000 ක හමුදාවෙන් බාගයක් විතර එක්කො පැනල ගිහිල්ල නැත්නම් මියගිහිල්ල , සීතලෙන් වගේම මේ ප්‍රදේශ පාලනය කරන ගෝත්‍ර සමඟ සටන් වලදි. ඒත් අපි මේ සටන අතාරින්නෙ නෑ. රෝමය සහමුලින්ම පරාජය කරල බිමට සමතලා කරල තමයි අපි අවි බිමින් තියන්නෙ, හැනිබල් බාකා අපේ සේනාධිනායකයා වෙලා ඉන්නතාක් අපි කිසි කෙනෙකුට බය නෑ. බලාපොරොත්තු අත්හැර ගන්නෙත් නෑ.

      Delete
    2. හත වසරෙ මට මතක විදිහට..සමාජ අධ්‍යයනය විෂයට රෝම අධිරාජ්‍යය ගැන ඉගෙන ගනිද්දි හැනිබල් ඇල්ප්ස් කඳු වැටිය හරහා අලි සහිත හමුදාවක් අරගෙන ගිහිල්ල ඉතාලියට ඇතුලු වෙලා රෝම හමුදාව පරාජය කරපු හැටි අපිට කියල දුන්නෙ ජයසේකර මහත්තය. එතුමා කොහෙං හොයාගෙනද මන්ද හොඬ ඔසවාගෙන ගිනි විහිදෙන දෑසින් දිවගෙන ඇවිල්ල සතුරු හමුදා පාගල දළින් ඇනල සුන්නත්දූලි කරල දාන යුද ඇත්තුන්ගෙ චිත්‍ර කීපයකුත් කළු ලෑල්ලෙ රඳවල අපිට පෙන්නුව.සර් නාලාගිරිය රා බීල දුවගෙන යන්ට ඇත්තෙත් ඔහොම නේද? අපේ පන්තියෙ කවුද එහෙම අහනවත් මට මතකයි. කාතේජය, හැනිබල් බාකා සහ පියුනික් යුද්ධ ගැන හොයල බලන්ට එදා ඉඳලම මගෙ හිතේ තිබ්බෙ නොසිඳෙන ආශාවක්.

      මේ ලඟදි මම කියෙව්ව The Seventy Great battles Of all Time කියල පොතක්. ග්‍රීකයන් සහ පර්සියානුවන් අතර පැවති මැරතන් සටනෙ ( ක්‍රි.පූ.490) ඉඳල ඉරාක යුද්ධය ( ක්‍රි,ව. 2003 ) දක්වා ලෝක ඉතිහාසයේ ඉතාම යුද්ධ 70 ක විස්තර අඩංගු ඒ පොතේ හතරවෙනියට තියෙන්නෙ හැනිබල් සහ රෝම හමුදාව අතර ක්‍රි.පූ. 216 දි පැවති කැනායී සටන.

      ඊටත් පස්සෙ ආයම හැනිබල් ගැන මගේ උනන්දුව පණ ගහල ආවෙ බෙන් කේන්ගෙ දෙවන පියුනික් යුද්ධය ( ක්‍රි.ප 218 - ක්‍රි.පූ. 201 ) අලලා ලියවුනු නවකථා ත්‍රිත්වයෙන් දෙකක් කියවන්ටලැබුනට පස්සෙ. Hannibal : Enemy of Rome සහ Hannibal : Clouds of War

      හැනිබල්ගෙ කතාව මේ දවස්වල ලියනව....හෙහ්,හෙහ්, …Hannibal Barca…The General Of Carthage

      Delete
    3. Ross Leckie ගේ හැනිබල් Kane ගේ හැනිබල්ට වඩා හොඳවෙයි මගෙ හිතේ. Kane ටිකක් විත්‍රර B grade වගේ සමහර තැන් වල

      Delete
    4. //Motty (July 11, 1978, Chester Zoo, Cheshire – July 23, 1978, Chester Zoo, Cheshire) was the only proven hybrid between an Asian and an African elephant.//
      //There are unconfirmed rumours of three other hybrid elephants born in zoos or circuses; all are said to have been deformed and did not survive.//

      //Although the Asian elephant Elephas maximus and the African elephant Loxodonta africana belong to different genera, they share the same number of chromosomes, thus making hybridisation, at least in this respect, theoretically possible//
      http://en.wikipedia.org/wiki/Motty

      Theoretically possible වුනාට රවි උන්ගෙ genera වුනත් වෙනස් -Elephas / Loxodonta

      Lion /Tiger/Leopard/ Jaguar නම් එකම genus - Panthera .

      There are well documented (some still living ) hybrids between some members of the Panthera genus. However, even most of the Panthera hybrids sterile , unable to produce offspring of their own. Very few can.
      http://en.wikipedia.org/wiki/Panthera_hybrid

      So, it is highly unlikely ( though not entirely impossible, it would be an earth shattering kind of zoological discovery) that a hybrid race of African/Asian elephants would have survived for over 350 years even assuming that hybridization took place between the two genera in the first place.

      Then, could a pure bred herd of African elephants survive for 350 years from 4 progenitors? Quite possible, if there wasn't too much in-breeding . But, African elephants are quite distinctive from Asian elephants. So, wouldn't it be widely known, studied and recognized?

      But, it is fascinating and certainly warrants research. The problem is the African Elephant is so different from the Asian - Shape of head, Curve in the back, Finger/fingers at the end of the trunk, Forelegs, Shape and size of ears, Even the wrinkles in the skin.

      Are you quite sure you are not referring to Deraniyagala's sub-species? Vil Aliya of Manampitiya / Somawathiya flood plains? http://www.sundaytimes.lk/140223/news/new-research-on-jungle-giant-86673.html
      They are certainly larger than the other SL elephants.



      Delete
    5. අසූ පන්දාහක හමුදාවක් ඇල්ප්ස් තරණය කරන හැටි එතකොට අලි පටවගත්ත මහ විසාල පාරු ගිබ්‍රෝල්ටා සමුද්‍ර සන්දිය හරහා ගමන් කරන හැටි මැවි මැවී පේනවා.. මේවන් බ්ලොග් නොබලන දෑස් මක්කටෙයි හැබෑට.

      Delete
    6. Pra,

      / So, it is highly unlikely ( though not entirely impossible, it would be an earth shattering kind of zoological discovery) that a hybrid race of African/Asian elephants would have survived for over 350 years even assuming that hybridization took place between the two genera in the first place. /

      I agree with you. I also think the odds are overwhelmingly stacked against something like that happening. There are so many adverse factors and conditions in play that it would be quite safe to assume such a scenario as impossible.

      Only the fact that there is a herd of elephants roaming about the borders of Maduru Oya reserve, sporting somewhat larger than normal ears is certain. Therefore the incorrigible romantic that I was came up with the theory of Hulft's african elephants escaping and surviving in wild to become that unique herd.

      / Are you quite sure you are not referring to Deraniyagala's sub-species? Vil Aliya of Manampitiya / Somawathiya flood plains? /

      Most probably this should be the case Pra. Kandakaduwa, where I saw this particular herd is not very far from Somawathiya plains.

      Delete
    7. කළ්‍යාණ,

      / අසූ පන්දාහක හමුදාවක් ඇල්ප්ස් තරණය කරන හැටි එතකොට අලි පටවගත්ත මහ විසාල පාරු ගිබ්‍රෝල්ටා සමුද්‍ර සන්දිය හරහා ගමන් කරන හැටි මැවි මැවී පේනවා.. /

      නෑ බං අලි පටවගත්ත පාරු ජිබ්‍රෝල්ටර් සමුද්‍ර සන්ධිය තරණය කලේ නෑ. හැනිබල් ගමන පටන් ගත්තෙ අයිබීරියාවෙ ( වර්තමාන ස්පාඤ්ඤයෙ ) නැගෙනහිර වෙරළෙ ඉඳල. ඒ හින්ද ජිබ්‍රෝල්ටර් තරණය කරන්න ඕන වුනේ නෑ හැනිබල්ට. ඒත් වර්තමාන ප්‍රංශයෙ රෝන් නදිය තරණය කරන්ට පාරු යොදාගන්ට සිද්ධ වුනා හැනිබල්ට.අලියා කියන සතා බොහොම නුවණැති සතෙක්. ලී වලින් හදපු පාරුවකට ගොඩවෙන්ට උං කැමතිවෙලා නෑ මුලින්ම. පස්සෙ හැනිබල් කරල තියෙන්නෙ පාරුවෙ තුනී පස් තට්ටුවක් අතුරල පොලව වගෙ පේන්ට සකස් කරල අලි පාරු වලට දක්කපු එක.

      හැනිබල් සැලකෙන්නෙ මුලු යුද ඉතිහාසයෙම ඉඳපු දක්ෂම සේනාධිනායකයෙක් විදිහට.ඔහුගේ සංග්‍රාම උපක්‍රම අද දක්වා සෑන්ඩ් හර්ස්ට්, වෙස්ට් පොයින්ට්, කොතලාවල ඔය හැමතැනකම උගන්වනව. Pincer Movement කියල තියනව පසුබහින්නට නොහැකි විදිහට සතුරාගෙ තුන් පැත්තෙන්ම වට කරල ඔහු සමූලඝාතනය කරන යුද උපක්‍රමයක්. පලමුවන වරට ඒ යුද උපක්‍රමය ඉතාම සාර්ථකව උපයෝගී කරගත්තාය කියන්නෙ කනායි සටනෙදි හැනිබල්.

      Delete
    8. So, u put the african elephant image here intentionally? Coz of ur fascination abt hulft's escapees?

      Delete
    9. ප්‍රා,
      දැං උඹ විතරද මේකෙ ප්‍රශ්න අහන්නෙ?

      Delete
    10. Heh. I seem to be the only ignoramus here Mr. Raaj.

      Delete
    11. Pra,

      / So, u put the african elephant image here intentionally? Coz of ur fascination abt hulft's escapees? /

      Yes and No...What happened actually was something like this... This notion about elephants with larger than normal ears roaming around Maduru Oya and my theory regarding they being decedents from Hulft's Loxodonta Africanas was lurking in my mind as an obsession all these years. When I wrote this post and searched for an image of a wild elephant the best I got was this one of an African elephant. well then my obsession came to the forefront once again and I thought what the hell I would use this , sort of as a tribute to my theory at least...Heh, Heh...

      Delete
    12. Pra,

      / Ross Leckie ගේ හැනිබල් Kane ගේ හැනිබල්ට වඩා හොඳවෙයි මගෙ හිතේ. Kane ටිකක් විත්‍රර B grade වගේ සමහර තැන් වල /

      ඔබ හරි කේන් සමහර තැන්වල බොහොම භාවාතිශයයි තමයි. Leckie ගැන මම දැනගෙන හිටියෙනෑ. ස්තූතියි ඔබට ඒ ගැන කිව්වට...:)

      Delete
  8. ස්ප්‍රිට් බෝතලෙන් බාගයක්වත් ගැහුවනම් තව හොද කතා ටිකක් අහගන්න තිබුන.

    ReplyDelete
    Replies
    1. හැක්... එහෙනං මේ ගොල්ල ඒ වෙලාවෙම අලියෙක් හොයාගෙන යනව.

      Delete
    2. කම්මල සහ ප්‍රසන්න,

      එව්ව ගහන්ට බෑ බං හොඳ සිහියෙන් නං... අන්නස්‍රෝතයෙන් පටන් ගත්තම මහා මස්තිෂ්ක පිධානය දක්වාම පිච්චිල යනව. සිහියක් පතක් නැතිවෙන්ට ගහපු දවසට අවසිහියෙං ස්පිරිට් එක බිව්වහම පහුවදාට දවසම විඳවනව...:(

      Delete
  9. ඕල්ඩ් කොටේ කිව්වට ටිකක් දිගට තිබිල තියෙනවා.. නැත්තං හින්න කට කපල ඔය වගේ ලඟ නමන්නේ කොහොමද? අනික අපරාදේ අර මාන ගෝළුව.. සැක්.. කම්මලය කියුවා වගේ තව භාගයක්වත් තිබ්බනම් හොඳ හොඳ සීන් ටිකක් අහගන්න තිබුණා..

    ReplyDelete
    Replies
    1. කලින් පෝස්ට් එකයි, මේ පෝස්ට් එකයි කියවල මට වැවක් ලග ( වැව් පිටියක් අයිනෙ) තියන ප්ලේස් එකක දවසක් ඉන්න දොලදුකක් හැදුන.

      Delete
    2. එහෙම තැන්වල ඉන්න කවුද බං අකමැති...
      විශේෂයෙන් වියලි කලාපේ. හෙහ් හෙහ්...

      Delete
    3. කළ්‍යාණ,

      / ඕල්ඩ් කොටේ කිව්වට ටිකක් දිගට තිබිල තියෙනවා.. නැත්තං හින්න කට කපල ඔය වගේ ලඟ නමන්නේ කොහොමද? /

      කොටේ කියල අර කතාවට කිව්වට ඒකෙ තිබ්බ මහිතේ තුං කාලකට එහා තරමෙ....:)

      / සැක්.. කම්මලය කියුවා වගේ තව භාගයක්වත් තිබ්බනම් හොඳ හොඳ සීන් ටිකක් අහගන්න තිබුණා.. /

      හින්න ගැන තියනව තව කතා මහ ගොඩක්. එක පාරක් ඕකට වැහුන නවකතා පිස්සුවක්. නවකටහ පිස්සුවක් කිව්වෙ නවකතා කියනව්ට නෙවෙයි නවකටහවක් ලියන්ට. ඕක සී.ආර්. පොතක් එහෙම ටවුමට ගිය වේලවක හෙනල්ල ෆුල් ටයිම් ලියන්ට ගත්ත නවකතාව. ලියපු ටික ඕර්ක රූම් එකට ගෙනියන්නෙ නෑ අනික් එවුන්ට අහුවෙලා කින්ඩිය දායි කියල බයේ. වොචර් හට් එකේම වහළ අස්සෙ ගහල හංගල යන්නෙ. අනික් එවුං ඕක කොහොම හරි දැකල....හින්න ඕෆ් වෙලා ගියාම උං ඕක උස්සං එනව මට පෙන්නන්ට..හෙහ්,හෙහ්, පව් එක අතකට.......හින්නගෙ නවකතාව කියෙව්වම කොරවෙනව හිනාවෙලාම....තනිකරම උද්වේගකර ප්‍රේම කතාවක් ඒක.... මම කතාව කියවල එවුං අතේම ආපහු යනවන තිබ්බ තැනම තියාපල්ල කියල.

      හින්න කතාව ලියල ඉවර වෙලා නමක් දාගත්තෙ මට කියල..ඒ කතාවත් වැඩි විස්තර සහිතව පසුවට...:)

      Delete
    4. කම්මල,

      / කලින් පෝස්ට් එකයි, මේ පෝස්ට් එකයි කියවල මට වැවක් ලග ( වැව් පිටියක් අයිනෙ) තියන ප්ලේස් එකක දවසක් ඉන්න දොලදුකක් හැදුන /

      ලොක්කා,

      / එහෙම තැන්වල ඉන්න කවුද බං අකමැති...විශේෂයෙන් වියලි කලාපේ. හෙහ් හෙහ්.../

      මෙන්න උඹලට නියම තැනක්....හැන්දෑවේ කළුන්දෑවෙ කුඹුක් සෙවණේ...

      Delete
    5. ස්තූතියි රවි අයියෙ ඔත්තුවට.

      Delete
  10. ලැන්ටිසේන ගැන කියද්දී මතක් උනේ. ඉස්සර අම්බලංගොඩ ඇත්තටම හිටියලු ලැන්ටි පිස්සා කියල පිස්සු මනුස්සයෙක්. ලැන්ටි පන්සලේ බුදු පිළිමේ ගාව ඉඳන් මෙහෙම කියනවා ලු :
    "බුදු හාමුදුරුවනේ ඔය කෑම එක කන්න"
    ආයේ ටිකකින් කියනවලු "කෝ කන්නකෝ බුදු හාමුදුරුවනේ"
    ඔහොම දෙතුන් වතාවක් කියල අන්තිමට
    "ආ ඉතිං බුදු හාමුදුරුවන්ට එපා නම් ලැන්ටිම කන්නම්"
    ඔහොම කියල බුද්ධ පුජාව කාල දානවා ලු :D

    ReplyDelete
    Replies
    1. අපේ අම්මා මට ඔය කතාව කියල තියෙනවා, අම්බලංගොඩ කතාවක් නම් දන්නේ නැහැ.හැබැයි 'සැන්ටින්' කියලා තමයි නම කිව්වේ. ඊට පස්සේ අපි කතාවකදී කෑමක් නොකා බලන් ඉන්නවා නම් "කන්නේ නැත්තම් ඉතින් සැන්ටින් කනවා" කියල දෙසලා අරිනවා.

      Delete
    2. Niro,

      / ලැන්ටිසේන ගැන කියද්දී මතක් උනේ. ඉස්සර අම්බලංගොඩ ඇත්තටම හිටියලු ලැන්ටි පිස්සා කියල පිස්සු මනුස්සයෙක්. /

      ලැන්ටිය මම දන්න කාලෙ පදිංචිය හිඟුරක්ගොඩ උනාට එවුංගෙ මුල්ගම අම්බලන්ගොඩ තමයි. හරියටම කිව්වොත් රන්දොඹේ...

      Delete
    3. උපේක්ෂා,

      / හැබැයි 'සැන්ටින්' කියලා තමයි නම කිව්වේ. /

      සැන්ටින් කරනව කියලා පි කිව්වෙ මිශ්‍ර කරනා කියන එකට. " ඒයි අද සැන්ටින් එකට මොකවද ගේන්නෙ කෝක් ද සෝඩද? " ලයික් දැට්...:)

      Delete
  11. අර හීලෑ අලියට වැලි ගහපු සීන් එක වගේම සීන් එකක් කැමිලස් වනිගසුරිය මහත්තයාගේ පොතකත් තිබ්බ වගේ මතකයි.
    පොතේ නම මතක නැහැ, කැමිලස් ලොක්කා 71 දීද (කලබල සමයේ වගේ මතකයි)කොහෙද හේන් ගොයියෝ ටිකක් එක්ක ගෙවපු ජීවිතේ ගැන තමයි ඒ පොතේ තිබ්බේ...
    අලියෙක් කියල හිතල පොල් අතු පටවපු බර කරත්තයකට බය වෙච්ච සිද්ධියක් පොතේ තිබ්බ කියල මට මතකයි.

    ලැන්ටියට නෙමෙයි බං බාගෙට පිස්සු, උඹලට... ඌ ගානට උඹලව කඩේ යවල තියෙනවා, මට තේරෙන්නේ එච්චරයි.
    ඌ මහන්සිත් නොවී, ඌට ඕනේ දේ ගානට කරගෙන තියෙන බවක් තමයි මම දැක්කේ

    පත රබර් හෝස් පාර තමයි බං රවී අයියේ කතාවේ ලස්සනම සිද්ධිය...
    කොහොමද දේයි දේයි කියල හින්නගේ පිට හරහා හෝස් පාර වදිනකොට...
    මැවිලා පේනවා සිද්ධිය... හෙහ්
    එයින් පාරක් ලැන්ටිසේනයටත් කෙලින්නයි තිබ්බේ...

    ReplyDelete
    Replies
    1. පොතේ නම් දඩ සැරියෙන් වන සැරියට(2013 ජනවාරි)
      1980 වැඩ වර්ජනය නිසා රස්සාව නැතිවුන කැමිලස් වනිගසූරිය සෝමාවතී කැලයේ හේන් ගොවීන් සමග ගතකළ කාලයේ ලැබූ අත්දැකීම් ඔහු පොතක් කොට තිබෙනවා.
      (මේ ටික කියෙව්ව වෙලාවෙ ඉඳන් ගිහිං පොත හෙව්වා ලැබුනෙ දැන් තමයි)

      Delete
    2. මගේ ගාවත් පොත තියෙනවා හැලපේ.
      කබඩ් එකෙන් පොත හොයා ගන්න වෙලාවක් තිබ්බේ නැහැ.
      ස්තුතියි නිවැරදි කිරීමට...

      Delete
    3. ලොක්කා,

      / ලැන්ටියට නෙමෙයි බං බාගෙට පිස්සු, උඹලට... ඌ ගානට උඹලව කඩේ යවල තියෙනවා, මට තේරෙන්නේ එච්චරයි. ඌ මහන්සිත් නොවී, ඌට ඕනේ දේ ගානට කරගෙන තියෙන බවක් තමයි මම දැක්කේ /

      ඒකත් හරි තමයි බලාගෙන යනකොට....හෙහ්,හෙහ්,

      Delete
    4. හැලප,

      / 1980 වැඩ වර්ජනය නිසා රස්සාව නැතිවුන කැමිලස් වනිගසූරිය සෝමාවතී කැලයේ හේන් ගොවීන් සමග ගතකළ කාලයේ ලැබූ අත්දැකීම් ඔහු පොතක් කොට තිබෙනවා. /

      අඩේ මම ඔය කියන හරියත් සෝමාවතියට ඉතාම කිට්ටුයි. එකම සීන් එක ගැනද දන්නෙ නෑ ඔය පොතේ ලියල තියෙන්නෙත් ...හෙහ්,හෙහ්,

      Delete
  12. සුපිරි කතාව........................ නියමයි

    ReplyDelete
    Replies
    1. කුරුටු .....ස්තූතියි...:)

      Delete
  13. //රෝමය බිමට සමතලා කරල දාන එකයි අපේ අධිෂ්ඨානය. //

    අනේ රවි අයියේ තව පාරක් හිතල බැලුවොත් නරකද ?? :D අපි අහිංසක මිනිස්සු ආයිබෝං

    ReplyDelete
    Replies
    1. පත්තර මල්ලි,

      මම හැනිබල් එක්ක සාකච්ඡා කරල බොහොම අමාරුවෙන් උඹට සහනයක් දෙන්න අවසර ගත්ත. මල්ල... උඹට දවස් තුනක් කල් දෙන්ට පුලුවන්. වහාම රෝමයෙන් පිට වෙයං ...නැත්තං කාර්තේජ් හමුදාව රෝමයට කඩා වැදුනම වෙන දේවක් ගැන මට නම් වගකිව නොහැක...:(

      Delete
  14. එහෙනං ලබන සැරේ මට්ටයො සහ මරං වාඩි ගැන කතාව නේද?

    ReplyDelete
    Replies
    1. හැලප,

      යස් මට්ටයො සහ මරං වාඩි...යස් ඒ ගැනත් ලියන්ට එපාය දැං...:)

      Delete
    2. හොඳට පඳුරු තලන එකාටලු තේරෙන්නෙ අනිත් එකා ඊලඟට තලන පඳුර මොකද්ද කියල! බලමු!

      Delete
  15. අලියට සිග්නල් දාපු කතාවට එහා! නියමයි!
    බස් කාරයෙක් ලයිට් නැතිව ගිහිං අලියෙක්ගෙ ඇඟේ හැපුනලු. කේස් එක පොලීසි ගිහාම ඩ්‍රයිවර් කිව්වලු ‘පෙනුනෙ නෑ සර්‘ කියලා. ‘යකෝ තොට අලියෙක් පේන්නැත්තං .....ද පේන්නෙ කියලා ඇහුවලු‘.

    ‘දේයි දේයි‘ කෑල්ලනං මග ඇරෙන්නෙම නෑ නේද?

    ReplyDelete
    Replies
    1. මාධවී,

      අපේ හිටිය අලි පේමෙ කියල රියදුරු මහත්තයෙක්. මිනිහ එක පාරක් කොළඹ හෙඩ් ඔෆිස් ගිහිල්ල ජීප් එකේ ආපහු එද්දි අලි පැටියෙක්ගෙ පිටිපස්සෙ වැදිල. කොහොමහරි ඒ වැදිච්චි පාර අලි පැටියට රෙවිල. ජීප් එක ඇතුලෙ හිටං බඩු...හෙහ්,හෙහ්,

      Thanks , Madhavi...:)

      දේයි දේයි කෑල්ල අත අරින්ට හිතෙන්නෙම නෑනෙ..හෙහ්,හෙහ්.. නැඟලා යන කෑල්ල නේද ඒක?

      Delete
  16. උඹට විතර නෙවෙයි බං මේක කියවපු මටත් ලැන්ටියව මරාගෙන කන්න හිතුනා. උගේ @#$%$#@...!

    ReplyDelete
    Replies
    1. හෙන්රි,

      අනේ ඒකගෙ කන්න දෙයක් නෑ...හින්නිකිතර පොර, ඇටකටු විතරයි...:)

      Delete
    2. හරි. සුප් එකකට හොඳයිනේ.

      Delete
  17. මදැයි අලි මෙල්ල කරන්න ගියා.. පවු අර අහිංසක ඇති ගොවුවා..

    මගේ හිතේ අලියා පලු ගහට කවර් වෙලා ඉන්න ඇත්තේ.. ඒකයි දැකලා නැත්තේ.. හෙහ්..

    ReplyDelete
    Replies
    1. දිනේෂ්,

      / මදැයි අලි මෙල්ල කරන්න ගියා.. පවු අර අහිංසක ඇති ගොවුවා.. /

      ඒකනෙ මල්ලි...මට නම් හිතුනෙම ඇත් ගොව්ව අඩුගාණෙ හින්නගෙ කණ හරහ දෙකක් වත් පතබාන්ට ඇති කියලමයි ඌ ඔය කොච්චර නෑමයි කියල දහ අතේ දිවුරුවට...හෙහ්,හෙහ්,

      Delete
  18. ආතතිය සමනය කරගැනීමේ උපදෙස් දුන්නේ රවීයියා උඹ අර ගිය පොස්ට් එකේ ආතතිය හැදුනු රාජ්ටත් එක්ක නේද?
    ලැන්ටියාව මරාගෙන කනවා මුලග්ගාය තියෙන එකෙක්ට ලැන්ටියා ඔහොම කතා කෙරුවා නම්.
    අයියෝ අලියට වැලි ගහපු හින්නා උඹලා දෙන්නටත් වැලි ගහලා රවීයියේ කොටෙන් සෑහෙන්න ගැහුවා එහෙනම්.

    ReplyDelete
    Replies
    1. Manoj,

      / ආතතිය සමනය කරගැනීමේ උපදෙස් දුන්නේ රවීයියා උඹ අර ගිය පොස්ට් එකේ ආතතිය හැදුනු රාජ්ටත් එක්ක නේද? /

      ඌටම කියල විශේෂයෙන් නම් නෙවෙයි...ආතතිය හැදෙන ඕනම කෙනෙකුට බොහොම වැදගත් ඒ උපදෙස් මාලාව...:)

      / ලැන්ටියාව මරාගෙන කනවා මුලග්ගාය තියෙන එකෙක්ට ලැන්ටියා ඔහොම කතා කෙරුවා නම්. /

      ඕකගෙ පිස්සු වැඩ දන්න නිසා මම ගණං ගත්තෙ නෑ..මොනව උනත් ලැන්ටිය ජොලිෆුල් බුවා ඔය වගෙ අපේ ලේ කෝප කලාට නිතර නිතර..:)

      / අයියෝ අලියට වැලි ගහපු හින්නා උඹලා දෙන්නටත් වැලි ගහලා රවීයියේ කොටෙන් සෑහෙන්න ගැහුවා එහෙනම්. /

      හෙහ්, හෙහ්, ඒකෙ අවුලක් නෑ..ඒකගෙ හැටි එහෙම තමයි...කොටේ ගහල හරි ඒ පකිරින්තුව මතක හිටින කතාවක් කිව්වනෙ...කොටේනම් ඔය මොකක්ද? අද ගැහුව ..හෙට ඉවරයි..ඒ වගේද හින්නගෙ කතාව..බලපං අවුරුදු තිස්පහක් වගෙ ගිහිල්ලත් තාම ඒ ආතල් එක තියනවනෙ. දැන් වෙන එකක් ඕන නෑ. ඒ ඕල්ඩ් කොටේ පරිත්‍යාග කරල අහගත්තු කතාව උඹලම කීදෙනෙක් නම් රස වින්දද?

      Delete
  19. ලැන්ටියා මාර ඩෑල් එකක්නේ.

    ReplyDelete
    Replies
    1. බස්සි,

      අන්න එහෙමයි හයිද?...අපිත් එහෙමයි..අපි ආස්සරේ කරන එවුනුත් එහෙමයි...හෙහ්,හෙහ්,

      Delete

මගේ සිතුවිලි ගැන ඔබේ සිතුවිලි

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...