Wednesday, March 23, 2016

401. The Story Of My Marriage - 19 - පම්මි ආන්ටිගේ නිවෙසට ගියෙමි.

නවදිල්ලියේ පිතම්පුරා ප්‍රදේශයෙහි දර්ශනයක්





මගේ මවගේ ආයාචනාත්මක ස්වරය මා නෙත් තෙත් කිරීමට සමත්වූයේ නිතැණිනි. කඳුලු වලකා ගැන්මට හිස පහතට හැරවූ මා දුටුයේ වෙලුම් පටියකින් වෙලා ඇති ඇගේ සුරතයි. 

"හරි හරි මම එන්නම් මම එන්නම්....දැන් යන්නකො හොඳ අම්ම වගේ එළියට..මට නිදාගන්න ඕන…"

"අන්න හොඳයි..මම දන්නවනෙ...අන්තිමට මගෙ පුතා මම කියන එකට... ……"

"මේ අම්මෙ ...තවත් ඔහොම කිසිම තේරුමක් නැති විකාර කියවන්න ගියොත් මම ඔන්න තීරණේ ආයම වෙනස් කරනව...නොකිව්වයි කියන්න එහෙම එපා.."

"හරි හරි මේ ගියා ගියා..ගුඩ් නයිට්, ස්වීට් ඩ්‍රීම්ස්…"  විදුලි බුබුල නිවාදැමූ ඇය වහා කුටියෙන් පිටවූවාය.

යලි සයනයේ දිගාවී පොරෝණයෙන් හිසේ සිට දෙපතුල තෙක් වසාගත් මම මගේ දකුණු ඉන්දියානු පෙම්වතිය හමුවීමේ අපේක්ෂාවෙන් සිහින ලොවට පිවිසියෙමි.

***************************

පම්මි ආන්ටිගේ නිවස පිහිටියේ අප නිවසට නොදුරු පිතම්පුරා ප්‍රදේශයේය. බහුතරයක් තම උරුමය ගැන බොහෝ මාන්නාධිකව සිතන පන්ජාබීන් වාසය කල පිතම්පුරා ප්‍රදේශයෙහි සෑම පටු මාවතකම ඔබට සුප්‍රසිද්ධ ටජ් මහලෙහි අල්ලා ඇති සියළුම කිරිගරුඬ වලට වඩා වැඩි ප්‍රමාණයක් කිරිගරුඬ දැකගත හැකි බවට මම මා දිවි පරදු තබන්නේ කිසිදු පැකිලීමකින් තොරවය.

ඊට අමතරව සෑම නිවෙසකින්ම දවස මුළුල්ලේ නිකුත්වනුයේ  තක්කාලි සහ පනීර් නම් අහර පිසීමට භාවිතා කරන මුදවාගත් කිරි එක්කොට පිසිනකල්හි නිකුත්වන ඊට නුපුරුදු අයකුට මහත් අපුලක් ඇතිකරවිය හැකි තරමක් සැර සුවඳයි.

මගේ මව සහ මම ත්‍රිරෝද රියකින් එහි ගියේ මපියාගේ මෝටර් රිය අප කිසිවකු හෝ භාවිතා කිරීම නිසැකව ඔහු කෝපාවිෂ්ඨ කිරීමට  හේතුවන බැවිනි.

"මෙන්න මේ හරියෙ නවත්වන්න ළමයා..අපි බහිනවා.."

ඇගේ පියාගේ වයසට සම වයස්ක වූ සේ පෙනෙන  ත්‍රිරෝද රථ රියදුරාට ඇය පැවසුවේ පම්මි ආන්ටිලාගේ නිවසට ආසන්න මංසන්ධියේදීය. අප අපගේ මෝටර් රථයෙන් නොපැමිණි බව පම්මි  ආන්ටිගෙන් සැඟවීමට ඇයට අවශ්ය විය. පන්ජාබීහු  වනාහී ඉතා කිට්ටු හිත මිතුරන් සහ ඥාතීන් අතර පවා තම තමන්ගේ සමාජ තත්වය කෙසේ හෝ ඉහල තලයක තබා ගැන්මට මුලු වෙර යොදා වෑයම් කරන්නෝ වෙති.

"එයාට බොහෝම වැදගත් රැස්වීමක් තියනව. ඒ හින්ද අපිව මෙතෙන්ට ගෙනල්ල දාල එයා ගියා." අප පිළිගැනීමට පෙරගමන් පැමිණි පම්මි ආන්ටි කිසිවක් විමසීමට පළමු  මගේ මව වහා පැවසුවාය.

"අනේ අපරාදෙ පොඩ්ඩක් ගෙදරට ගොඩවෙලා සීතලට මොනවහරි බීල යන්නවත් තිබුණනෙ මේ රස්නෙ වෙලාවෙ." පම්මි ආන්ටි අප ගෙතුලට කැඳවාගෙන යමින් පැවසුවාය.

පම්මි ආන්ටිගේ බර කිලෝ ග්‍රෑම්වලින් ගණනය කල විට විසිවන සියවසේ ඇය ජීවත්වන දශකයට බොහෝ දුරට සමාන වන බව මසිතේ මීට පෙරද කීප විටක් පහලවූ අදහසකි. ඒ සහසම්බන්ධය අනූව දශකයටද එලෙසම පවත්වාගැන්මට ඇය ඉතා පහසුවෙන් සමත්වී ඇතිබව ඇගේ සමචතුරශාකාර ශරීරය දුටු වහාම මට හැඟිණි. 

වසර තිස් හතකට පමණ පෙර ඇය චන්දිගාර් නගරයේ රූප සුන්දරිය ලෙස කිරුළු පැළැන්දාය. අභිෂේක ලබා වේදිකාවෙන් බැස සුළු මොහොතකින් ධනවත් ව්‍යාපාරිකයෙක් ඇගේ අත පතා පැමිණ ඇත. ඔහු හා විවාහප්‍රාප්තවූ ඇයට ඔහු ඉතා සුඛෝපභෝගී එමෙන්ම සුවපහසු ජීවිතයක් ලබා දුන්නේය. එතැන්සිට මනා හැඩයකින් යුතු තම සිහින් සිරුරට හැකි විගස කැළරි එකතුකොටගැන්මේ අනවරත අධිෂ්ඨානයෙන් යුතුව කටයුතු කල පම්මි ආන්ටිගේ බර මේ වනවිට තිස් හත් වසකට පෙර ඇය කිරුළු පලඳින විට වේදිකාවේ සිටි සුරූපිනියන් තිදෙනාගෙම බරට සමාන නොවන්නේ නම් ඒ ඉතා සුළු කිලෝ ගණනකින් විය යුතුය.

ඔවුන්ගේ නිවසෙහි විසිත්ත කාමරයට පිවිසීමට ඔප දැමූ කළුගලින් බැඳි පියගැට පහක් නැඟිය යුතුය. 

"හප්පෝ මගෙ දණිහ" පම්මි ආන්ටි විසිත්ත කාමරයට ගොඩ වූයේ දකුණු දණහිසට අතතබා වාරු ගනිමිනි.

"පම්මිජී ඔයා තාමත් උදේට ඇවිදින්ට යනවද?" මගේ මව විමසුවාය.

පම්මි ආන්ටි කලක්  උදෑසන  ව්‍යායාම් පිණිස පිතම්පුරා ප්‍රදේශය පුරා ඇවිද්දාය. වතුර බෝතල්, ඇපල්, මිදි සහ දොඩම් බහාලූ වේවැල් කූඩ මහත් රාශියක් පුරවාගත් මෝටර් රථයක්,  සෙමෙන් දෙපසට පැද්දෙමින් ඇවිදයන ඈ  පසුපස ඇගේ වේගයට සමානුපාතික  වන පරිදි ධාවනය වීම  එදවස අපගේ ඥාතීන් සහ හිතවතුන්හට මහත් විනෝදයක් ගෙන දෙන්නක් විය. ඔවුන්ගේ සමච්චල් සිනහවන් කොතෙකුත් ඉවසිය නොහැකි වූ සඳ ඇය ව්යායාම චාරිකා නවතා දැම්මාය. 

පම්මිගෙ ව්‍යායාම් චාරිකා යනු කලක් මුලුල්ලේ අපේ ඥාති පරපුර  එකට එකතුවන ඕනෑම අවස්ථාවක ඔවුනට කොක් හඬලා සිනාසෙනුවස් අගනා මාතෘකාවක් විය.මගේ මව ඇය කිසිසේත්ම  ප්‍රිය නොකරන මෙම මාතෘකාව පිළිබඳව එක්වනම විමසූයේ සෝපාහාසාත්මකවදැයි  සැක පහල කල පම්මි ආන්ටි වහා හිස හරවා මගේ මවගේ මුහුණ දෙස විමසුම් බැල්මක් හෙලුවාය.

එහෙත් මවගේ සිනාමුසු මුහුණෙහි එවන් සමච්චලයක් කිසිසේත්ම දක්නට නොලැබුණු හෙයින් ඇය ද සිනහවක් නඟමින් පිළිතුරු දුන්නාය. 

"අනේ කොහෙද එව්වට දැන් වෙලාවක් කවිතාජී? අනික මම කොහොමත් දැන් මාස දෙක තුනක ඉඳල හැමදාම උදේට සත්සංගම්  වලට යනවනෙ."

( සත්සංගම් යනු ආධ්‍යාත්මික දියුණුව මෙන්ම සිත පිරිසිදු කොට සමනය කර ගැන්මේ පරමාර්ථයෙන් යුතුව යම් ආගමික දැනුමෙන් යුතු සාධුවරයෙක් වැන්නකු හා එක්ව කණ්ඩායමක් වශයෙන් කරන සාකච්ඡාවක් වැන්නකි. සත් යනු සංස්කෘතයෙහි සත්‍යය වන අතර සංගම් යනු ඇසුර හෝ එක්ව කතාබහේ යෙදීමයි )

"ඉඳගන්න කවිතාජී........" රතු පැහැති විල්ලූදයෙන් පෝරු දැමූ ධාරා සිං සහ ගෝරා සිං වන් හරි හතර රියන් මල්ලව පොර ශූරයින් දෙදෙනෙකුට කිසිදු අපහසුවකින් තොරව සුවසේ සැතපිය හැකි පමණ විශාල වූ කවිච්චියක් සුරතින් දක්වමින් පම්මි ආන්ටි  පසෙකට වී එකත්පස්ව හුන් සේවිකාව අමතා කස ඇට  සරුවත් ගෙන එන ලෙස අණ කළාය.

(ධාරා සිං යනු පණස්වන සහ හැටවන දශකයන්හිදී ඉන්දියාවේ සුප්‍රසිද්ධ මල්ලව පොර ක්‍රීඩකයෙකි. අඩි හයකට වඩා උස් ඔහුගේ බර රාත්තල් 280 විය.)

හිඳගත් කල නාභිය තෙක් එරුනු සැපපහසු කවිච්චියෙහි අප දෙදෙන තැන්පත් වූ ඉක්බිති  පම්මි ආන්ටි අප ඉදිරියෙහිවූ වික්ටෝරියා මහේෂිකාවගේ රාජාසනය බඳුවූ අනගි ඇඳි පුටුවෙහි හිඳගත්තාය.

"මම මේ කියන්න හැදුවෙ ඔයා ඔය සත්සංගම් රැස්වීම් වලට උනත් පයිං යනවනම් ඒකත් ඇඟට හොඳම හොඳ ව්‍යායාමයක්" මගේ මව පැවසුවාය.

"ඔන්න කවිතාජී ඔයා කියන එක..හිහ්,හිහ්.." මගේ මව ඉතා පාරිහාසික (Very funny) කවටකමක් කල කලෙක මෙන් පම්මි ආන්ටි හඬනඟා සිනාසුණාය. "අපිට කාර් හයක් තියනව.කවිතාජී.... කාර්ම හයක්. ඩ්‍රයිවර්ල හයදෙනෙකුට නිකං උඩබලාගෙන ඉන්නවට පඩි ගෙවල ඔයා කියන්නෙ මට පයිං සත්සංගම් රැස්වීම් වලට යන්ට කියලද? හිහ්...හිහ්..හොඳට හිටියි...හොඳට හිටියි..."

පම්මි ආන්ටි ඒ මොනවට ප්‍රදර්ශනය කලේ  අපගේ පන්ජාබී ඥාතීන්ගේ තවත් නිසර්ග හැකියාවකි.සතතාභ්‍යාසයෙන්ම  ප්‍රගුණ කලයුතු ඒ හැකියාව නම්  ඉතා අහිංසක සතුටු සාමීචියක් මධ්‍යයට ඉතා සීරුවෙන්  තම ධනවත්කම සහ යස ඉසුරු පිළිබඳව හැඟවෙන  වදනක් එක් කිරීමය.

එබස් ඇසූ මගේ මෑණියන්ගේ දෙබැම සැණෙකින් ඉහල ගියේ ඇගේ මුවද විවර කරවමිනි. අප දෙදෙන එකම කවිච්චියෙහි අසුන් ගෙන උන්නද ඇය මා දෙසට හැරී කෑගැසූයේ ගංගානම් ගඟ එගොඩ ඉවුරේ සිටින්නකු අමතන අයුරිනි. "ක්‍රිෂ් ඔයාට ඇහුණද? "

"මොකද අම්මෙ මේ කෑගහන්නෙ? මම මේ මෙතනමනෙ ඉන්නෙ. අම්ම කෑගහන්නෙ හරියට මේ......මගෙ කණත් නිකං සෝ සෝ ගානව වගෙ ඔයා කණ ගාවම ඉඳල විලාප තියපු විදිහට."

"ක්‍රිෂ්, ඔයාට ඇහුණද ක්‍රිෂ්?...." මගේ අප්‍රසාදය පිළිබිඹුවන මුහුණ හෝ අමනාපය කැටිවුනු හඬ පිළිබඳව කිසිදු තැකීමක් නොකොට ඇය යලිදු මා ඇමතුවාය. " ක්‍රිෂ් ඔයාට ඇහුනද මගේ පුතේ? එයාලට කාර් හයක් තියනව..ඔව් කාර්ම හයක්…"

පම්මි ආන්ටි සහ මගේ මව යන දෙදනාම මා දෙසම බලාසිටියේ උදක්ම  මගේ ප්‍රතිචාරය අපේක්ෂාවෙන් බැවින් මට දිගටම මුනිවත රකිමින් හිඳිනු නොහැකි විය. "ම්ම්ම්ම්...මොනවද ඒ කාර් හයේ  ජාති?....මම මේ ඇහුවෙ බ්‍රෑන්ඩ්ස්?"

"අනේ කවුරු දන්නවද පුතා ඔව්ව? මම ඩ්‍රයිවර් ගේ දොරකඩට ගෙනල්ල නවත්තල පිටිපස්සෙ  දොර ඇරියම නැඟල වාඩිවෙලා යනව විතරයි..මගෙ මහත්තය තමයි එව්ව දන්නෙ..ඔන්න මේ පහුගිය සතියෙ හොන්ඩා එකක් ගෙනාව කියල මම අහගෙන කියනව.." පම්මි ආන්ටි තම සුපුරුදු පුරාජේරු සක්කයක් පිළිතුරට එකතු කලේ ඇඟට නොදැනීය. 

"ක්‍රිෂ් ඔයාට එව්වගෙ ජාති දැනගන්න ඕන නං මම අංකල්ට කෝල් එකක් අරං දෙන්නද? "

"අපෝ..පිස්සුද ආන්ටි? එහෙම ඕන නෑ..මම මේ නිකමට වගෙ ඇහුවෙ...හ්ම්ම්ම්ම්"   මම දිගු හුස්මක් පහළට හෙලමින් ළය සැහැල්ලු කර ගැන්මට උත්සාහ කළෙමි.

"කීයක් වුනාද?" මගේ මව හඬ බාලකොට විමසුවාය. 

යමෙකු තම ධනය පිළිබඳව පුරාජේරු පවසන කල්හි ඊට උල්පන්දම් දෙමින් ඔහු හෝ ඇය උනන්දු කරවීම ආචාරශීලීත්වයේ සහ හොඳ හැදියාවක ලක්ෂණ ලෙස පන්ජාබීහු දැඩිලෙස විශ්වාස කරන්නෝය.

"මොකක්ද?" පම්මි ආන්ටි ඇසූයේ මගේ මවගේ පැනය කුමක් සම්බන්ධවදැයි නොදැන නොවන බව ඇගේ දෙතොලග වූ සිනහව කියාපෑවේය.

"මම මේ ඇහුවෙ ගිය සුමානෙ ගත්තු හොන්ඩා එක ගැන"

"ආ..ඒක නම් මේ ලක්ෂ හතයි…" පම්මි ආන්ටි පැවසූයේ කරදරකාරී මැස්සකු එළවන්නාක්මෙන් තම සුරතින් අභිනයක් පාමිනි. ඈ  සුරතෙහි වැලමිට දක්වා පැලඳ සිටි රන් පැහැයෙන් දිළිසෙන වළලු කිකිණි හඬ නැංවූයේ ලක්ෂ හතක් ඔවුනට එතරම් ලොකු මුදලක් නොවන බව පවසන්නාක් මෙනි.

"ආ...ගෙනාවට පස්සෙ අපේ ඩොලීට ඒකෙ ස්ටීරියෝ එක හොඳ මදියි කියල අලුත් එකක් දැම්ම. ඒකට තිස්දාහක්  ගියා ගෙඩි පිටිම්ම හ්ම්ම්ම්ම්…" පම්මි ආන්ටි යලි පරිශිෂ්ටයක් ද එකතුකලේ දෑස් විදහා නටවමිනි.

(පරිශිෂ්ටය යනු  යම් ලේඛනයකට අතිරේකව එකතු කරන්නකි. ඉංගිරිසි භාෂාවෙහි Annexure  යනුවෙන් යෙදේ.)

"ඩොලී කියන්නෙ…" මගේ මව මා දෙසට හැරී රහසින් පවසන්නට වූ වහාම මම ඇයට බාධා කළෙමි. 

"මම දන්නව..මම දන්නව…" මගේ මවගේ මුහුණ ප්‍රීතිමත් සිනහවකින් ප්‍රමුදිත විය.

"මෙයා දැන් කරන්න යන්නෙ සිටි බැංකුවෙ රස්සාවක්. ඒකත් සෙල්ලං නෑ..පඩිය විතරක් ලක්සම හතරක් …"

පම්මි ආන්ටිලාගේ වාහන ගැන කථාකරමින් සිට එක්වරම මගේ මව මට ලැබෙන වැටුප ගැන කථාකිරීම එතරම් නොගැලපෙන්නක් ලෙස බොහෝවිට ඔබට සිතෙන්නට හැක මා දයාබර පාඨකය.එසේ වුවද අපේ පන්ජාබී චින්තනය අනුව එහි කුමන හෝ වරදක් නැත. පම්මි ආන්ටි සහ මගේ මව යන දෙදනාම කථාකලේ ලක්ෂ සංඛ්‍යාත ගණුදෙනු පිළිබඳව බැවින් එහි කිසිදු ගැටළුවක් කොහෙත්ම නැත.තම තමන්ගේ ධනවත්කම් සහ හැකියාවන් පිළිබඳව  අනෙක් පාර්ශ්වයට ඉතා හොඳින් ඒත්තු යන පරිදි බොහෝ පැහැදිලිව දැනුම් දීමෙන් අනතුරුව තෘප්තියට පත්වූ පම්මි ආන්ටි සහ මගේ මව ඉක්බිති මිනිත්තු කිහිපයක් එකිනෙකා දෙස බලා සිනාසෙමින් ගත කලෝය.

"අපි මොනව හරි කමු නේද?....." පම්මි ආන්ටි එක්වරම විමසුවාය. 

"අනේ මොනවටද පම්මිජී..අපි ආය අමුත්තොය ඔය විදිහට සංග්‍රහ කරන්න.." මගේ මව මා දෙස බලා ඉඟි මැරුවාය. මම ඇගේ අභිනයන් නොදුටුවා සේ ඉවත බලා ගතිමි.

"රාණී ඊ..ඊ...ඊ..අර වියට්නාම් කජුයි ඩුබායි රටඉඳියි අරං එනවා විජහට..." පම්මි ආන්ටි එවර කෑගැසුවේ සේවිකාවටය. "වියට්නාම් කජුයි ඩුබායි ඉඳියි තමයි හොඳම...ඒ වගේම ගණං..." ඇය ඒ සමඟම මගේ මව දෙසට හැරී හඬ බාල කොට පැවසුවාය. මගේ මව හිස වේගයෙන් ඉහළ පහළ සෙලවුයේ දිනකට අවම වශයෙන් තුන් වරක්වත් වියට්නාම් කජු සහ ඩුබායි රටඉඳි අනුභව කරන්නියක විලසිනි.

"කෝ පම්මිජී මේ අපේ ඩොලී? පේන්ට නැත්තෙ කොහෙවත් ගිහිල්ලවත්ද?" මගේ මව එසේ විමසන අතර විගස මදෙස නෙත් කොණින් බැලුවාය. අපේ ඩොලී? මගේ මව ඉන්ධන පිරවුම්හල් තුනක  හිමිකාරියට අයිතිවාසිකම් කීමට අප්‍රමාදව ඉදිරිපත් වීම මගේ මුවට සරදම් සිනහවක් ගෙන ආවේය.

"ඩොලී..කෝ මේ ළමයා? ඩොලී ඊ..ඊ..ඊ…" තුන්මහලකින් සැදි ඔවුන්ගේ මහා මන්දිරයේ ඉහළ මාළයටම ඇසෙන පරිදි පම්මි ආන්ටි බෙරිහන් දුන්නාය. සේවිකාවෝ දෙදෙනෙක් ඩොලී කැඳවාගෙන ඒම පිණිස වහ වහා පියගැට පෙල  ඔස්සේ ඉහළට දිවූහ.

"ඔය නාන්ට කියලයි ගියේ..අනේ මන්ද මේ ළමයට නාන්ට යනවනෙ වරුවක්…" බොරු කෝපයකින් එසේ පැවසූ පම්මි ආන්ටි කජු අහුරක් ගෙන මගේ සුරතේ තැබුවාය.."කන්නකො පුතා…"

"කමක් නෑ පම්මිජී අපේ දුව ලස්සනට ඉන්න එක අපිටත් ආඩම්බරයක්නෙ…" හුහ්..ආයෙම අපේ දුව...මම හොරැකින් ඈ දෙස බලා කජු ගෙඩි කීපයක් කටේ දමාගතිමි. 

"අනේ කවුද දන්නෙ කවිතාජී මේ ළමයින්ගෙ ඉරණම මොන විදිහට විසඳෙයිද කියල..ඇස් දෙක වගෙ අපිට ඉන්නෙ මේ දෙන්නනෙ. මේ ඔක්කොම ඉතිං ඒ දෙන්නට තමයි…."  පම්මි ආන්ටි දෑත විදහා නිවසේ සතර දිශාව දැක්වූවාය.

මම කිසිවකුට නොදැනෙන සේ නිවසේ සතර අත නැරඹීමි. විල්ලූද පෝරු දැමූ කවිච්චි, ඔප දැමූ කළුගල් ඇල්ලූ ගෙබිම, කිරිගරුඬ මතුපිටින් යුත් කෝපි මේස, නානාප්‍රකාර විසිතුරු කැටයම් භාණ්ඩ,පෞරාණික බිත්ති ඔරලෝසු, මේ සියල්ල හිමිවනුයේ ඔවුන්ගේ දියණියන් දෙදෙනාට සහ දියණියන්ගේ අතගන්නා අනාගත ස්වාමි පුරුෂයින්ටය.

ඉඳුරා සත්‍යයක්ම පවසමි මා හිතවත් පාඨකය, එක් මොහොතකට මේ සියලු යස ඉසුරු පිළිබඳව මසිතට තණ්හාවක් ඉපදුනේ මගේ මව නිවැරදි නොවන්නේදැයි සැකයක්ද සිතට ඇතුළු කරවමිනි.එහෙත් ඒ ක්ෂණයකින් අනන්‍යාගේ සිනහ සපිරි මුව මඬල මසිතට පිවිස ඒ සියලු සැක සංකා දුරුවන් කොට දැමීය.

නැත. කිසිසේත්ම නැත. මෙලොව ඉතාම රසවත් කජු සහ රට ඉඳි ලොරි දහයක් පුරවා දුන්නද මම කිසි ලෙසක අනන්‍යා අමතක නොකරමි. මම සෙමෙන් මටම සපථ කොට ගතිමි.අනන්යා සමඟ මේ නිවසෙහි පසෙක දිවිගෙවීමට පම්මි ආන්ටි ඉඩ දෙන්නේනම් එපමණක් මට හොඳටම ප්‍රමාණවත්ය. පම්මි ආන්ටිගෙන් ඒ පිළිබඳව විමසන ලෙස මගේ මවට පැවසිය යුතුයැයි මට කල්පනා වූයේ දෙතොලගට සිනහවක්ද එක් කරවමිනි.

අනන්‍යා පිළිබඳ සිහින ලෝකයෙන් මට මිදෙන්නට සිදුවූයේ පියගැට පෙළ බැස ඩොලී අප අතරට පැමිණි බැවිනි. ඇය පැමිණීමට  තත්පර පහකට පෙර ඇය ගැල්වූ  විලවුන් සුගන්ධය අප කරා පැමිණියේය.

41 comments:

  1. Replies
    1. ඔබට හිමි ත්‍යාගය වශයෙන් පිළිස්සූ සැවුලෙකු හා මූඩිය නොකැඩූ DD බෝතලයක් ළඟදීම රවී මහතා විසින් අසෝකාගේ නිවසේදී ලබා දෙනු ඇත.

      Delete
    2. මේ මොන සරමක් ද? ආව එක කියන්න, හ්ම්. මෙව්වා සීනියර් බ්ලොගාලට රිසව් කරපුවා.

      Delete
    3. සමරපාල,

      හෙහ්..හෙහ්..එක නේද? සන්තෝසයි..සන්තෝසයි...:)

      Delete
    4. ප්‍රසන්න,

      හරි හරි බං ඉඳහං ඉඳහං ..මම ඒක ලියන්නං ලියන්නං :)

      Delete
    5. Elaga para Sinhala akuru valin kotan nan. Eka kiyala Gahuve " testing one " :) :). Dan Avurudu ganaka Edan Katha kiyonava habai comment Kare Naha. Mama eka hode..... :) :):)

      Delete
  2. ඔය පම්මි කියන නමේම තියෙනවා තඩිභාවය. බැලුවහම ලංකාවේ වගේම තමයි ඉන්දියාවේ පම්පෝරි ගැහිල්ල. ඕක අපිට ලැබෙන්න ඇත්තෙ විජයාවතරණයෙං වෙන්නැති . කොහොමත් ඔය පංජාබ් එවුන් හෙන ආතල් එකේ ඉන්න එවුන් . බුකියෙත් ඉන්න පංජාබ් එවුන් මාසෙකට සැරෙයක්වත් පාටියක් දාලා පොටෝ රෑනක් එල්ලනවමයි

    ReplyDelete
    Replies
    1. Suranga,

      / ඔය පම්මි කියන නමේම තියෙනවා තඩිභාවය. /

      මම හිතන්නෙ උඹට එහෙම හිතෙන්නෙ පම්මි කියන එකයි ජම්බි කියන එකයි ටිකක් සමාන නිසා වෙන්නති. මොකද අපි ජම්බි කියල කියනවනෙ මහත දෙහෙත බබලතුන්ට….:)

      / බැලුවහම ලංකාවේ වගේම තමයි ඉන්දියාවේ පම්පෝරි ගැහිල්ල. ඕක අපිට ලැබෙන්න ඇත්තෙ විජයාවතරණයෙං වෙන්නැති . /

      ඔව්..ඔව්..විජයාවතරණය, ජානකීහරණය, විජයබා කොල්ලය, බැමිණිටියා සාය, ඔය කොයිවගෙනුත් තමයි ..:)

      / කොහොමත් ඔය පංජාබ් එවුන් හෙන ආතල් එකේ ඉන්න එවුන් . බුකියෙත් ඉන්න පංජාබ් එවුන් මාසෙකට සැරෙයක්වත් පාටියක් දාලා පොටෝ රෑනක් එල්ලනවමයි /

      අප්පට සිරි, බුකියෙ ඉන්නවය බං උඹෙ යාලුවො..පංජාබ් එවුං?...අර ජටාව එහෙම බැඳල රැවුල වවල ගොතල මූණවටේ ඔතාගෙන ඉන්නෙ..අන්න එහෙම එවුං...හෙහ්..නියමයිනෙ...:)

      Delete
  3. //අනන්යා සමඟ මේ නිවසෙහි පසෙක දිවිගෙවීමට පම්මි ආන්ටි ඉඩ දෙන්නේනම් එපමණක් මට හොඳටම ප්‍රමාණවත්ය. //

    ගුරුවරියගෙ ක්වාටර්ස් වෙනුවට අර එක කෙල්ලෙක්ගෙ අලියෙකුයි, අසෝකගෙ පෙට්ටගමයි එක්ක ගුරුවරිය විවාහ කරගත්තනම් කියල උඹටත් හිතිල තියෙනවද? ස්තූතියි රවී උඹට පමණක්ම කල හැකි තවත් 5* පරිවර්ථනයක්

    ReplyDelete
    Replies
    1. ඉයන්,

      හෙහ් එහෙම තිබ්බ නම් කියල වැඩක් නෑ....අනික මගේ හදවතේ ඕන තරං තව ඉඩ තියනව. ඒකෙ ඇනෙක්ස් දෙකක් තියනව. තුන්දෙනෙකුට කිසිදු අපහසුවකින් තොරව වාසය කරන්ට පුලුවං...:)

      Thanks ...Ian.....:)

      Delete
  4. හෙහ් හෙහ්.... මේ උඹලාගේ නෑයෝද අප්පා

    ReplyDelete
    Replies
    1. උපේක්ෂා,

      ඔන්න ඉතිං ඇහුව එකක්...:)

      Delete
  5. //මෙලොව ඉතාම රසවත් කජු සහ රට ඉඳි ලොරි දහයක් පුරවා දුන්නද මම කිසි ලෙසක අනන්‍යා අමතක නොකරමි.// දෙයියනේ කජු සහ රට ඉඳි...ලොරි දහයක්ම එපා කියන්න! මොන මෝඩයෙක්ද මූ!

    නියමයි රවී. චිත්ත රූප මවෙන්න මෙහෙම ලියන්න පුළුවන් කීයෙන් කී දෙනාටද.

    ReplyDelete
    Replies
    1. උදය,

      පිස්සුද බං? එහෙමත් පුලුවන්ද අර වගෙ අසදෘශ ප්‍රේම වෘත්තාන්තයක් කජු සහ රටඉඳි වලට ලඝු කරන්ට?.....:)

      Thanks Udaya….:)

      Delete
  6. මේකනං අපේ වෙනිවැල් අයියටම ගැලපෙන ගෙයක් තමයි. හැක්..
    කොහොම හරි ඉතිං අනන්‍ය ගැන හිත හිත ඩුබායි ඉඳියිවලටයි වියට්නාම් කජු ‍වලටයි වගකිවුව නේද බොලා..

    ReplyDelete
    Replies
    1. ප්‍රසන්න,

      මොකක්ද බං ඒ වෙනීටම ගැලපෙන ගෙයක් කිව්වෙ? ..නෝ අන්ඩර්ස්කර්ට් ප්ලීස්...:)

      Delete
    2. ඔය පන්ජාබි නයි මොනවද අපේ වෙනී අයියගෙ නයි එක්ක බලනකොට. හැක්..

      Delete
  7. අනේ මටත් හිතෙනවා පම්මි ආන්ටිගේ ගෙදර ගිහින් ක්‍රිෂ් එක්ක ඒ කතාවලට හූමිටි තිය තියා ඉන්න තියනවා නම් කියලා...පන්ජාබි මිනිස්සු කොහෙමත් නයි අරින්න දක්ෂයි තමයි..

    ReplyDelete
    Replies
    1. රූ,

      හෙහ්...එහෙමත් හිතෙනවද?

      Delete
  8. ටීවි එකේ යන ඉන්දියන් කතාවල මිසක් ඔය වගේ සීන් දැකල නෑ.. බෑඟිරි සද්දෙන් කෑ ගහන ගෑණු දෙන්න මැවෙනවා කියන්නකො.. අප්පිරියාවෙ බෑ.නියමයි.
    ඩොලී............ සුවඳ පමණි දුන්නේ...
    ඇයි හදවත රිදවන්නේ..
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. ගස්,

      ස්තූතියි..ඩොලී සුවඳ පමණක් නොවේ දුන්නේ.......:)

      Delete
  9. සෑහෙන කාලෙකිං..
    ෆිල්ම් එකක් බැලුව වගේ සුපිරියටම ලියල
    ඩොලී මොනවගේද බලන්න කොච්චර කාලයක් විලවුන් සුවඳ ඉව කර කර ඉන්න වෙයිද :)

    ReplyDelete
    Replies
    1. කසුන්,

      නෑ..නෑ...විජහට...විජහට....

      Thanks Kasun....:)

      Delete
  10. කාලෙකින් අනන්‍යා මතක් වීම ගැන මගේ ප්‍රසාදය.
    අර කසුන් කියලා තියෙනවා වගේ මේ විලවුන් සුවද කොච්චර කාලයක් මතක තියාගන්න වෙයිද කියන එකයි ප්‍රශ්ණෙ. අපි ඉතින් ඕක කොහොම හරි මතක තියාගන්නම්කො

    ReplyDelete
    Replies
    1. සඳ වියමන්,

      හෙහ්..හෙහ්..අනන්යාත් මතක් උනා කොහොමින් කොහොමින් හරි නේද? ..සුවඳ ගැන ඉක්මනටම ලියන්නං....:)

      Delete
  11. ඇති යන්තම් ආපහු ට්‍රැක් එකට වැටිලා...
    ඔය පිම්මෙන්ම අමතක කරලා දාල තියෙන අනිත් එව්වා ගැනත් හොයල බැලුවනම්...

    ReplyDelete
    Replies
    1. ලොක්කා,

      කොහෙද බං මට එක විදිහකට මගෙ වැඩක් බලාගෙන ඉන්ට දෙනවය මේ යක්කු...:)

      Delete
  12. කෝ රවියෝ අර අශෝකා වීදුරුවේ කතාව? අර කොස් කපන්න ගියේ.

    ReplyDelete
    Replies
    1. යකෝ අසෝකා කියන්නෙ වීදුරුවක් නෙමේ. තරුණ ළඳක්. හැක්..

      Delete
    2. රංගි,

      අසෝකා වීදුරුවේ කතාවත් ලියන්ට ඕන තමයි...හෙහ්,හෙහ්,

      Delete
  13. ඩොලී ආන්ටිලාගේ ගෙදරට නේද රවීයියා අර නයෙක් අවා කිව්වේ දවසක් දා? අර කුස්සියෙන් ඇවිත් ගේ පුරාම ගියේ හිටං.

    ReplyDelete
    Replies
    1. මනෝජ්,

      ඔව් බං එහෙට තමයි..එහෙට තමයි...:)

      Delete
  14. අගෙයි අගෙයි. මම හිතුවේ මේක ඉවරත් වෙලා ඇති කියල. මට පන්ජාබ් කාරයෝ නම් එහෙමකට ආස්සරය කරන්න ලැබිලා නැහැ. ලඟදි යාළුවෙච්ච බෙංගාලි ( කල්කටා ) යාලුවෙක් ඉන්නවා. එහෙ ගියහම කකුල් පුටුව උඩ තියා ගන්න ඕන . සිලි බිලි ගාල නයි හතර අතේ . හැබැයි කෑම නම් හුඟක් අපේ වගේ . පොල් කිරි කනවා . මාළු ,පොලොස් හෙමත් උයනවා හුඟක් අපිට සමානයි.

    ReplyDelete
    Replies
    1. Bindi,

      / අගෙයි අගෙයි. මම හිතුවේ මේක ඉවරත් වෙලා ඇති කියල. /

      කොහෙද අනේ..මේක ඉවරයක් කරන්න දෙනවය මේ කොරල පෙඤ්ඤඤ මරාලයි, උම්මාලෝකලයි, නානසාරුලයි..දැං ඒකට බෙංලානකත් එකතු වෙලා...:)

      Delete
  15. ලස්සනයි රවී...

    අයියෝ මගේ අනන්‍යා...
    මමත් මේ දවස්වල කතාවක් ලියාගෙන යනවා රවී.. නම් හොයලා හොයලා කෙල්ලට දැම්ම අනන්‍යා කියල.. දැන් ඉතින් හොයපන්කෝ තව නමක්..

    ReplyDelete
    Replies
    1. අම්බලං,

      අප්පට සෝරු එහෙමත් එකක්ද? නම වෙනස් කරන්ට ඕන නෑ..අනන්‍යා නමින්ම කතාව ලියහං...හෙහ්,හෙහ්,

      Delete
  16. රවී අයියා ලියපුව කොහොම පටන් අරගෙන කවද කියවල ඉවර කරන්න ද මන්ද.. හෙහ් හෙහ්..

    මේ සැරේ සම්මානෙට සුබ පැතුම්.. බුකියේ දැක්ක ගමන් මේ ඇවිල්ල බැලුවේ.. මිස් වෙච්ච ටික හෙමිහිට කියවලම කොමෙන්ට් දාන්නම්..

    ReplyDelete
    Replies
    1. Pathum,

      ඒකනෙ මල්ලි. මම ඒත් බැලුව බොට මක් උනද කියල..ලෝං ටයිම් නෝ සී නෝ ? :)

      Delete
    2. Pathum,

      ඒකනෙ මල්ලි. මම ඒත් බැලුව බොට මක් උනද කියල..ලෝං ටයිම් නෝ සී නෝ ? :)

      Delete
  17. Congratulations Ravi ,you deserve the recognition!

    Thusitha

    ReplyDelete

මගේ සිතුවිලි ගැන ඔබේ සිතුවිලි

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...