Friday, December 16, 2016

465. පුවක් එෂැණිං 20 - ජනාධිපතිගේ පත්තර කොල්ලා, නාවික හමුදා ප්‍රඥප්ති සංශෝධනය, අගමැතිගේ සමාව ගැනීම සහ කාඩිනල්ගේ නින්දෙන් ඇහැරීම

ජනාධිපති සහ අගමැති ....

ජනාධිපති නිල නිවසේ ඊයේ උදෑසන වූ සිද්ධියක් පිළිබඳව අප වෙත වාර්තා වී ඇත.

කැප්පෙටිපොල මාවතේ ජනාධිපති නිල නිවසේ ආලින්දයේ පරණ ඇඳි පුටුවක දිගාවී ජනාධිපති තුමෝ මහත් උනන්දුවෙන් පාර බලා හිඳියි. 

"ෂිහ්..මේ මනුස්සය තාම නෑනෙ. මම කී පාරක් කිව්වද උදේ හය වෙනකොටවත් එන්ටෙයි කියල හිටං. කෝ කිව්වට අහනවය? මිනිහට ඕන විදිහට තමයි මිනිහ වැඩ. අපේ අගමැතිතුමා වගේම තමයි. ඇරපු අතක් නෑ. නෑයො වත්ද මන්ද...අද ආපුවහම හෙමීට අහල බලන්ට ඕන…"

මෙසේ තොල මතුරමින් එතුමෝ දැඩි නොඉවසිල්ලෙන් අසුනෙන් නැඟිට මිදුලට බසියි. යලි පැමිණ අසුන් ගනියි.

"ට්‍රීං ට්‍රීං ට්‍රීං...." ජනපති නිල නිවසේ දුරකථනය නාද වෙයි. 

"හාමිනේ හාමිනේ ඔන්න ඔය ටෙලිපෝන් එක බැලුවනම් පොඩ්ඩක්... "

"මම මේ මහත්තයගෙ බත් එක බඳිනව මෙහෙ…"

"හරි හරි පොඩ්ඩක් ඕක බලන්නකො. මොකද දන්නෙ නෑනෙ පාන්දරම? කොයි කොලුව ගෙදර ඉන්නවද?"

"ඔව්..ඔව්...කාමරේ නිදි…"

"ආ..එහෙනං බයක් වෙන්න දෙයක් නෑ. ඌ ගෙදර ඉන්නවනං මට තියෙන ප්‍රස්න බාගයක් ඉවරයි.."

"ට්‍රීං ට්‍රීං ට්‍රීං……" නොනවත්වා දුරකථනය නාදවෙයි. 

"හරි හරි හාමිනේ ඔය වැඩේ කරගෙන යන්ට. මම බලන්නංකො මේ ටෙලිෆෝන් එක"

දුරකථනය අසලට ගිය ජනාධිපතිතුමා රිසීවරය ඔසවයි.

"හලෝ... හලෝ.."

"හලෝ මේ ජනාධිපතිතුමාද? "

"ඔව්..ඔව්...ඔව්..කතාකරනවා…"

"ජනාධිපති තුමනි අපි මේ කතා කරන්නෙ අදද රෙන ටීවී එකෙන්.."

"ඔව්?"

"අපිට දැනගන්ට ඕන අර හම්බන්තොට වරායෙ සිද්ධිය ගැන?"

"මොකක්ද හම්බන්තොට වරායෙ සිද්ධිය? මම එහෙම එකක් දන්නෙ නෑනෙ…"

"ඔබතුමා දන්නෙ නෑ? මේ රටම දන්න සිද්ධිය? "

"අයිසේ මට තාම අද පත්තර කියවන්ට හම්බවුනේ නෑ. පත්තර කොල්ලා පරක්කුයි. ඌට මං විසි තිස් ගමනකට වඩා කියන්ට ඇති උදෙම්ම පත්තරේ ගෙනත් දෙන්ට කියල. මොකද තමුසෙලා වගෙ හාල් පාරුවො උදෙම්ම එක එක මඟුල් අහනකොට මම එව්වට උත්තර දෙන්ට ලෑස්ති වෙලා ඉන්ට එපයි. කොහෙද මූ මම කියන එකක් සත පහකට ගණං ගන්නෙ නෑනෙ. කැබිනට් එක තව හොඳයි..."

"ට්‍රීං ට්‍රීං ට්‍රීං"

"අම්මට උඩු ආයම ටෙලිෆෝන් එක වදිනව නේද? අඩේ එහෙම වෙන්ටත් බෑනෙ නේද? ටෙලිෆෝන් එකෙං කතා කර කර ඉද්දි කොහොමද ටෙලිෆෝන් එක වදින්නෙ නේද? "

"නෑ මහත්තය ඒ අර පත්තර කොල්ලා……" එතැනට පැමිණෙමින් එසේ පැවසූයේ ජනාධිපති තුමාගේ බිරිඳයි. 

"ආ..එහෙමද?....හලෝ..හලෝ..හරි හරි පත්තර කොල්ලා ඇවිල්ල...ඔහොම ඉන්නවකො මම පත්තරේ බලල ඉවර වෙනකල්. තව පැය බාගෙකිං කතා කරනවා හොඳද? එතකොට මම අර හම්බන්තොට සිද්ධිය ගැන උත්තරයක් දෙන්නංකො"


************************************************

නාවික හමුදා ප්‍රඥප්තිය සංශෝධනය කිරීමේ යෝජනාවක් කැබිනට් මණ්ඩලයට වෙත ඉදිරිපත්වී ඇත. මෙතෙක් නාවික හමුදාවේ මූලික කාර්ය භාරය සේ එම ප්‍රඥප්තියෙහි සඳහන්වූයේ "ශ්‍රී ලංකා සමාජවාදී ප්‍රජාතාන්ත්‍රික ජනරජයේ මුහුදු සීමාවන් ආරක්ෂා කිරීම සහ එහි වැසියන්ගේ ආරක්ෂාව සැපයීම ශ්‍රී ලංකා නාවික හමුදාවේ පරම සහ උදාර වගකීම වන්නේය" ලෙසය. 

එහෙත් වෙනස් වන ලෝකයට අනුව කාලානුරූපව එම ප්‍රඥප්තිය මෙලෙස සංශෝධනය කල යුතු යැයි යෝජනාවක් ඉදිරිපත්ව ඇත.

"යහපාලනයට අලුත් කොන්දක් සැපයීම ශ්‍රී ලංකා නාවික හමුදාවේ පරම සහ උදාර වගකීම වන්නේය. එළෙසම ප්‍රාදේශිය මාධ්‍යවේදීන්ගේ හොස්ස මිරිකා එහාට මෙහාට කරකවා ඔවුන්ගේ ගෙල පෙදෙසට ව්‍යායාම ලබාදීමද ඒ සමඟම ඔවුන්ගේ මෑණියන් පිළිබඳව මතක් කොට දී මව්ගුණ සිහිකරවීමද අනුෂාංගික වගකීම් වන්නේය. ඒ මූලික වගකීම් ඉටුකිරීමෙන් පසු කාල වේලාව ඇත්නම් ශ්‍රී ලංකාවේ මුහුදු සීමාව ආරක්ෂා කිරීමේ කටයුතු ද ඔවුන් විසින් ඉටුකරනු ලබන්නේය."

මෙලෙස නාවික හමුදා ප්‍රඥප්තිය සංශෝධනය කල යුතු බවට යෝජනාවක් ඉදිරිපත්ව ඇත්තේ ඌව පළාතේ විශ්‍රාමික යුද මානසිකත්ව නාවික හමුදා නිලධාරීන්ගේ සංසදය මඟින් බවද සඳහන් වේ.

*****************************************

1981 වසරේ දිස්ත්‍රික් සංවර්ධන සභා මැතිවරණයෙන් පසු යාපන පුස්තකාලයට ගිනි තැබීම පිළිබඳව රනිල් වික්‍රමසිංහ අගමැතිතුමා සමාව ඉල්ලා ඇත. 

වසර තිස්පහක් ගතවී හෝ අගමැතිතුමාගේ මේ සමාව ඉල්ලීම විචාරකයින්ගේ ඉමහත් පැසසුමට ලක්ව ඇති අතර මහ බැංකු බැඳුම්කර වංචාව පිළිබඳව ද ඔහු තවත් වසර තිස්පහකින් පසු එනම් ක්‍රි.ව. 2050 වසරේදී සමාව ඉල්ලීමට බලාපොරොත්තුවන බව මේ අතර අග්‍රාමාත්‍ය මාධ්‍ය ඒකකය නිවේදනයක් නිකුත් කරමින් පවසයි. 

ඒ වනවිට ඔහු ජීවතුන් අතර නොසිටියහොත් මළවුන් ගෙන්වා කථාකරවන ගුප්ත විද්‍යා මධ්‍යස්ථානයකදී එම සමාව ඉල්ලීමේ මහෝත්සවය පැවැත්වීමට ද කටයුතු යොදා ඇත.

ඒ සමඟම අගමැතිතුමාගේ පසුගිය වසර දෙකකට ආසන්න කාල සීමාවේ කල කී දේ පිළිබඳව විමසා බලන කල ඔහුගේ පියාණන් වන එස්මන්ඩ් වික්‍රමසිංහ මහතා අද ජීවතුන් අතර සිටියේ නම් ඔහු මුළු මහත් ශ්‍රී ලංකා වාසී සියළු ජනයාගෙන් සමාව ඉල්ලා සිටිනුයේ කුමක් පිළිබඳවද යන්න තීරණය කිරීම දයාබර පාඨකය මම ඔබටම භාර කරමි.

***************************************

ශ්‍රී ලංකාවේ කතෝලික සභාවේ ගරු නායකයානන් වන අතිගරු කාඩිනල් තුමා තම ශිශිර තාරක නින්දෙන් අවදිව මහා නට්ටල් ගසක් පිළිබඳව මොනවාදෝ අපබ්‍රංස වගයක් දේශනා කොට යලි නින්දට පිවිස වදාල බව මේ අතර කතෝලික ආරංචි මාර්ග සඳහන් කොට සිටී. 

අගෝස්තු මස මහා නට්ටල් ගස ඉදිකිරීම ආරම්භයට පෙර නින්දට පිවිසි එතුමා මේ පසුගිය සතියේ හදිසියේ අවදිව දුප්පතුන්ට උදව් කිරීමක් පිළිබඳව පවසා ඊට දින කීපයකට පසු යලි පවසා වදාලේ තමන්ට මිලියන දොළහ සහ මිලියන දෙසීය ටැපලුනු බවත් එබැවින් නට්ටල් ගස ඉදි කීරිම පිලිබඳව තමන්ගේ කිසිදු විරුද්ධත්වයක් නැති බවත්ය. එසේ පවසා එතුමා යලිත් ශිශිර තාරක නින්දට සම වැදුනු බව තතු දත් ආරංචි මාර්ග පවසයි.

39 comments:

  1. //////අදද රෙන ටීවී එකෙන්//////////
    රවී මේ වචන උඹේද....පට්ට නිර්මාණයක්. සෙස්ස හෙට.

    ReplyDelete
    Replies
    1. අරූ,

      අදද රෙන කියල මම මුලින්ම දැක්කෙ අපේ විචා තුමාගෙ බ්ලොග් එකේ. සම්පූර්ණ ගෞරවය විචා තුමාට...:)

      Delete
  2. //////ඇති අතර මහ බැංකු බැඳුම්කර වංචාව පිළිබඳව ද ඔහු තවත් වසර තිස්පහකින් පසු එනම් ක්‍රි.ව. 2050 වසරේදී සමාව ඉල්ලීමට බලාපොරොත්තුවන/////////////

    මේ සමාව ගැනීමයි, සමාව දීමයි කියන එකත් වියවස්තාවට දාගන්න බැරිද තිස්පහෙන් තිස්පහට තමයි වෙන දෙයක් වෙන්නේ කියලා. හලි මලු ඕයි.

    ////එසේ පවසා එතුමා යලිත් ශිශිර තාරක නින්දට සම වැදුනු බව තතු දත් ආරංචි මාර්ග පවසයි./////

    මේ නින්දෙන් ඔය කිසිම ආගමික නායක අයිතිකාරයො එකෙක්වත් අවදි වෙන්නෑ. අපි වෙසක් එකට කූඩුයි, නත්තලට ගසුයි, රමදාන් එකට බුරියානියි කකා වේල් කරත්ත පස්සේ යනවා. ඒ මදිවට පාන් ගෙඩියි, හක් ගෙඩියි, පට්ට හොරු රැලකුයි අපිට ජීවිතේ කියලා දෙනවා. නොදකින් මෙහෙම මාජ්ජ. නොදකින් මෙහෙම රාජ්ජ.

    ReplyDelete
    Replies
    1. මෙලෙස නාවික හමුදා ප්‍රඥප්තිය සංශෝධනය කල යුතු බවට යෝජනාවක් ඉදිරිපත්ව ඇත්තේ ඌව පළාතේ විශ්‍රාමික යුද මානසිකත්ව නාවික හමුදා නිලධාරීන්ගේ සංසදය මඟින් බවද සඳහන් වේ.//

      ඒ වගේද අයියා මේක....

      Delete
    2. Aru,

      /මේ සමාව ගැනීමයි, සමාව දීමයි කියන එකත් වියවස්තාවට දාගන්න බැරිද තිස්පහෙන් තිස්පහට තමයි වෙන දෙයක් වෙන්නේ කියලා. හලි මලු ඕයි./

      මොකද බැරි? පුලුවන් පුලුවන්..දැං බලපං ඇමරිකන් ව්‍යාවස්තාවෙම තියනව ජනාධිපතිවරණෙ තියන්න ඕන නොවැම්බර් මාසෙ පළවෙනි සඳුදට පස්සෙ එන අඟහරුවාදයි කියල.

      අවුරුදු 250 ගියත් ඒ වගන්තිය තාමත් එහෙමමයි. ඒ කාලෙ එහෙම නියම කරල තියනවයි කියන්නෙ නොවැම්බර් වෙනකොට අස්වනු එහෙම කපල මිනිස්සු රිලැක්ස් එකේ ඉන්න කාලෙලු. අනික ඒ කාලෙ පාරවල් බොහොම සවුත්තුයි. ගොඩක් මිනිසුන්ට චන්දෙ දෙන්න ලඟම තියෙන ප්‍රධාන නගරයට යන්න වුනා. අස්සයො පිට හරි අස්ව කරත්ත වල හරි ඔය ගමනට දවසක්ම යනවලු සාමාන්‍යයෙන්. ඒ හින්දයි අඟහරුවදා දවස. එතකොට අවුලක් නෑ ඉරිදා පල්ලියට එහෙම ගිහිල්ල පිටත් වුනානම් පවුල් පිටින් සඳුදා දවසම ට්‍රැවල් කරල අඟහරුවාදා ඡන්දෙ දුන්නැහැකි.

      අන්න ඒ වගෙ අපේ ව්‍යවස්තාවටත් එහෙම දාන්ට තියෙන්නෙ.

      "බරපතල මූල්‍ය වංචා පිළිබඳව ජාතියෙන් සමාව ගැනීම ගරු අගමැතිතුමා විසින් එම වංචාව සිදුකල දින සිට වසර තිස්පහක් ඉක්මගිය පසු එළඹෙන පළමු බදාදට පසු එළඹෙන බෘහස්පතින්දා දිනයෙහි උදෑසන දහයට පාර්ලිමේන්තුවේදී සිදුකල යුතුය."

      අන්න බලපං මොන ආතල්ද? අනික් රටවල වලටත් ආදර්ශයක්...නැද්ද? අපි හරි වෙනස් ..වී ආර් වෙරි වෙරි වෙරි ඩිෆරන්ෂල් නෝ?

      Delete
  3. තැනේ හැටියකට ඇණ ගහගැණුම සරී
    බණේ සීලෙ රැකුවත් මුන් හැමට වෙරී
    හෙණේ වැදුණු ලංකාවට හෙටක් සොරී
    අනේ මන්ද රට යන අත සිතනු බැරී......

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. දුමින්ද,

      කවියක් කියාගෙන සබයට ආ දුමියා,
      සවියක් වියුණු ලොවටම මූ හරි සොමියා,
      ලවියක් ලවිනි ලලි ලලි ලලි ලලි ලලියා,
      ලවියක් ලවිනි ලලි ලලි ලලි ලලි ලලියා,

      Delete
    2. කවි පිළිතුර හා බැදුනූ
      රවියගෙ පද රස රැඳුනූ
      ලවි ලලි ලලි ලලී යනූ
      කවි තේරුම මට කියනූ........

      ජයවේවා!!!

      Delete
    3. දුමියා,

      ඒ ලලි ලලි කෑල්ලවනාහී අර අංගම්මන සුමන වගෙ කේස් එකකි... කවියෙහි පද හතර සම්පූර්ණ කරනු වස් අවසන් පද දෙක වෙනුවට යෙදූවකි...:)

      Delete
  4. අර රසික කියන විදියට මේ පෝස්ට් එකේ සුරතාන්තය කොයි හරියෙද කියල මම හෙව්වෙ.
    අර කාදිනල් එන හරියෙ නේද.
    - කෑගල්ලෙ ඇනෝ

    ReplyDelete
    Replies
    1. කෑගලු ඇනෝ,

      බ්ලොග් පෝස්ට් වල සුරතාන්තය කොයි හරියෙද කියල හොයනවට වඩා සොමියි බං ක්ෂණික මෝචනය වුනෙ කොයි හරියෙද කියල හොයන එක...;)

      Delete
  5. හෙහ් හෙහ් හෙහ්..

    ReplyDelete
  6. //"හරි හරි පොඩ්ඩක් ඕක බලන්නකො. මොකද දන්නෙ නෑනෙ පාන්දරම? කොයි කොලුව ගෙදර ඉන්නවද?"

    "ඔව්..ඔව්...කාමරේ නිදි…"

    "ආ..එහෙනං බයක් වෙන්න දෙයක් නෑ. ඌ ගෙදර ඉන්නවනං මට තියෙන ප්‍රස්න බාගයක් ඉවරයි.."//
    :-)

    ජනාධිපතිට නිව්ස් දෙන්න ගිහිල්ල තමයි අරූ කෑවෙ.
    http://bit.ly/2hAiGr2

    ReplyDelete
    Replies
    1. රාජ්,

      /ජනාධිපතිට නිව්ස් දෙන්න ගිහිල්ල තමයි අරූ කෑවෙ/

      ප්‍රාදේසීය පොර නේද?...:)

      Delete
  7. කෝ බන් මගේ කමෙන්ට් එක...

    ReplyDelete
    Replies
    1. ලොක්කා,

      ඉඳපං ස්පෑම් වෙලාද කියල බලමු

      Delete
    2. අඩේ නෑනෙ බං..ස්පෑම් එකෙත් නෑ...යකෝ කමෙන්ට් එක වඩබා මුකේටවත් වැටුනද?

      Delete
    3. එහෙනම් කමෙන්ට් එක කොටලා පබිලිස් කරන්න අමතක වෙලා කම්පීතරේ ෂට් ඩවුන් කරද්දී බඩු බනිස් වෙලා ගියාද දන්නේ නැහැ...
      ඔන්න ඔහේ කමක් නැහැ, පෝස්ට් එක මරු...

      හැබැයි උඹටත් අද මැක්කා අමතක වෙලා හැඩයි... ;)

      Delete
    4. ලොක්කා,

      මැක්කා අමතක වුනේ නෑ බං...මැක්කගෙ ගොන් පාට්වල ඉවරයක් නෑ. මැක්කගෙ කාලෙ තිබ්බ මාධ්‍ය නිදහස අද නෑ කියල තිබ්බ. මැක්කා මැක්කගෙ පාරම්පරික බූදලෙන් ලැබුනු ආදායමින් හදල රටට ජාතියට පරිත්‍යාග කල එව්ව මේ ආණ්ඩුව විකුණනවයි කියල තිබ්බ. ඔය වගෙ මරු කියවිලි අනන්තයි අප්‍රමාණයි.ඒ ගැන වෙනම ලියන්නංකො. ...හෙහ්..හෙහ්.

      Delete
  8. හම්බන්තොට මක්කෙයි උනේ? මට මතක නෑ නෙ.ඇමටිලා කවුරුත් වීඩියෝ දැකලත් නෑලු.
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. ගස්,

      ඒකනෙ බං බලාගෙන යනකොට එහෙ මොකවත්ම වෙලා නෑනෙ...:)

      Delete
  9. අන්න දැන් 'හිරු මැක්කා ටීවී' එකේ ප්‍රවෘත්ති වෙනුවට මැක්කාගේ කතාව යනවා දිනපතාම. ප්‍රවෘත්ති කෝකද මැක්කා ගේ කතාව කෝකද කියලා වෙන් කරගන්න බැහැ.

    ReplyDelete
    Replies
    1. විචා,

      අදද රෙණ ටී.වී. වගේ මොකක්ද විචා හිරු එකට කියන අන්වර්ථ නාමය?...:)

      Delete
    2. (හිස්)සිරස ප්‍රේක්ෂකයෝ වගේ!

      Delete
  10. සොඳුරු පත්තරය වෙමු පහුවෙලා ඔහු දකින.

    ReplyDelete
  11. අර කොටහට ලින්ක් එහෙකුත් එකතු කරානං තමයි එල.. හැක් ..

    ReplyDelete
    Replies
    1. කළ්‍යාණ,

      ඌව පළාත් විශ්‍රාමික නා.හ. නිලධාරීන්ගේ සංසදයෙ ලින්ක් එකක් හොයාගන්ට බැරිවුනා බං..:(

      Delete
  12. ෂැහ්... මෙ පත්තර මල්ලි තමයි ඔක්කොම කචල් කරන්නෙ අප්පා...

    ReplyDelete
    Replies
    1. Prasanna,

      වෙන මොකාද? ඌ තමයි...ඌ තමයි...:)

      Delete
  13. රවීයියා,
    අර මළවුන් ගෙන්වා කථාකරවන වැඩේ අපේ අජිත් අයියාට බාර දුන්නා නම් මොකෝ...:D

    ReplyDelete
  14. හොඳ වෙලාවට මේක බැලුවේ කවුරුත් නැති වෙලාවක. නැත්නම් මොකද තනියම හිනාවෙන්නේ කියලා අහනවා ෂුවර්.

    ReplyDelete
  15. //"ආ..එහෙනං බයක් වෙන්න දෙයක් නෑ. ඌ ගෙදර ඉන්නවනං මට තියෙන ප්‍රස්න බාගයක් ඉවරයි.."// ලඟදි දවසක මළගෙදරක ඇවිත් හිටිය දැක්කා මේ පැත්තේ.

    ReplyDelete
  16. //මෙලෙස නාවික හමුදා ප්‍රඥප්තිය සංශෝධනය කල යුතු බවට යෝජනාවක් ඉදිරිපත්ව ඇත්තේ ඌව පළාතේ විශ්‍රාමික යුද මානසිකත්ව නාවික හමුදා නිලධාරීන්ගේ සංසදය මඟින් බවද සඳහන් වේ.// හීන් නූලෙන් ගහනවා කියන්නේ මේවට තමයි. නැත්නම් දිය රෙද්දෙන් බෙල්ල කපනවා කියන එකද මන්ද .

    ReplyDelete
  17. මොකද රවී සෑර් අපේ හමුදාපති සෑර් එක්ක ඔච්චර අමනාප. ඒ මාත්තය රාජකාරියක් නොවැ කළේ.
    මට හරිම හිතට අමාරුයි අපේ රවී සෑරුත් මේ වගේ කතාවක් ලිව්වට.

    ඔය දම් පාට සේට් එක ඇඳපු මාද්යාවේදී කොලුවා ගැන දන්නවනං සෑර් මෙහෙම ලියන එකක් නෑ. .
    රවී සෑර්ම කියන්ඩකෝ නොදන්නා එකෙක්ට ඔය 'සෝමොති ගේ පුතා' එහෙම කියල කවුරුත් කතා කරයිද කියල. නෑ.
    ඌ ඒ හමුදා සෑර්ගේ පවුලේ මිත්‍රයෙක්. ඒකනේ අපේ ලොකු සෑර් අර 'අහවලාගේ' පුතා කියල බෝම ආදරෙන් ඒ කොලුවට කතා කළේ. ඌ කිව්වදේ ඇහුවද? නෑ ලොකු සෑර්ට ගහන්ඩ පැන්නා. ඕකා බොහොම නාහෙට නාහන එකා.
    දැන් ඔය පත්තරවල ටැලිවිසන් වල දැම්මේ සම්පුර්ණ ප්‍රවුර්තිය නෙමේ. ඒ දාන ක්‍රමේට කියන්නේ බයස් කරලා දානවා ලියල. ඒවා අලුත් වැඩ. රවී සෑර්ල අපි ඔය වැඩ කිඩ දන්නේ නෑ.
    හැබැයි අපේ පැරකුම් සෑර්ට තැන්කිව් වෙන්ඩ ඕනේ හරි පින්තුරේ දැම්මට.
    ඕනේ නම් බලන්ඩකෝ මේක අන්න තියෙන නියම පින්තුරේ.
    හොඳට බලන්ඩ හමුදාපති සෑර් බොහොම අපහසුවෙන් ඉන්නේ. අමා...රුවෙන් දම් සේට් ඇඳපු කොල්ලව තල්ලුකරලා උගෙන් බේරෙන්ඩ හදනවා.
    යුනිපෝම් එකෙන් ඉන්න අනික් මාත්තය, බයෙන් බයෙන් වගේ ' මල්ලි අනේ අපේ සෑර්ව අත අරින්ඩකෝ, ඔය මදැයි' කියනවා කියලයි මටනම් පෙන්නේ..

    ඔය මොනවා උනත් මෙන්න මේක හොඳට මතක තියාගන්ඩ. ඒ ලොකු සෑර් රට දැය වෙනුවෙන් යුද්දෙට ගිය මාත්තයෙක්.
    ඒ සෑර් ලඟදි පැන්සොනුත් යන්ඩනේ ඉන්නේ. රවී සෑර් ඔන්න ඕව අමතක කොරල දාන්ඩ.
    නත්තලත් ලඟම එනවනේ.
    ඔබ සැමට ජේසු පිහිටයි.

    ReplyDelete

මගේ සිතුවිලි ගැන ඔබේ සිතුවිලි

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...