Friday, September 29, 2017

534. ඝාතකයකුගේ කතාව - 3…. (අවසාන කොටස)

ස්නයිපර් වෙඩික්කරුවන් භාවිතා කරන මාදිලියේ  දුරබලන උපකරණයක්
සවිකල 
රයිෆලයක් ඉහත ඡායාරූපයෙහි දැක්වේ.



එහෙත් මේ අවසන් මොහොතෙහිදී එනම් මෙහෙයුමෙහි කූට ප්‍රාප්තියෙහිදී ධෛර්යය හීනව ගොස් ඇය නොසන්සුන් වුවහොත් සියළු සැළසුම් ව්‍යාර්ථ වනු ඇත. ඇගේ ස්වාමියා වෙනුවට ඇයට මරණයට පත්වන්නට සිදුවනු ඇත. බොහෝවිට රොබීටද දීර්ඝ කාලයක් අමානුෂික වේදනා විඳීමෙන් අනතුරුව ඛෙදජනක මරණයක් උරුම වනු ඇත. අනපේක්ෂිත පරිදි එසේ වුවහොත් රොබීගේ සංවිධානය හෝ එක්සත් ජනපද රජය රොබී පිළිබඳ තමන් කිසිවක් නොදන්නා බව පරසක්වල ගසනු ඇත. ඒ අමිහිරි සත්‍යය රොබී ද ඉතා පැහැදිලිව දැන සිටියේය.

මොහොතකට පසු මෙහෙකාරිය කවුළුව අසලින් ඉවත් වූවාය. කුටිය ඇතුලත රොබීට යලිත් පැහැදිලිව දැකගැන්මට හැකිවූ අතර දිගු ප්‍රශ්වාසයකින් ළය සැහැල්ලු කොටගත් ඔහු තරව මොහොතක් දෑස් පියාගත්තේය.

රොබීගේ රයිෆලයෙහි බඳ ඉතා ශක්තිමත් එමෙන්ම සැහැල්ලු සුවිශේෂී කාබන් තන්තු විශේෂයකින් නිර්මාණය කරන ලද්දකි. එහෙයින්ම මෙම මාදිලියේ සාමාන්‍ය රයිෆලයක බර රාත්තල් අටක් වන විට රොබීගේ රයිෆලයෙහි බර වූයේ රාත්තල් තුනක් පමණකි. ගුවන් යානයක් පොළවෙන් ඉළ්පී ගුවන් ගත වීමට එහි බර ප්‍රමාණය ඉතාම වැදගත් සාධකයක් වන්නා සේම රොබීට භාරවූ රාජකාරිය මනාසේ ඉටු කිරීමටද ඔහු භාවිතා කරන රයිෆලයේ බර ප්‍රමාණය බෙහෙවින් බලපායි. එනම් රයිෆලයේ බර අඩුවන තරමට රොබීගේ කාර්යය ද පහසු වනු ඇත්තේය.

අනතුරුව ඉතා සෙමෙන් රයිෆලයෙහි බඳෙහි වම්පසට තම දකුණු කොපුල තබා රයිෆල් බඳට සවිකොට තිබූ දුරබලන උපකරණයෙහි උපනෙතට තම දකුණු ඇස තැබූ රොබී තම ඉලක්කයවූ ඉදිරිපස ගොඩනැඟිල්ලේ තෙවන මහලේ වූ කුටිය ප්‍රවේශමෙන් නීරීක්ෂණය කලේය. දූරදර්ශක උපකරණයෙහිවූ සීරු මාරු ඉස්කුරුප්පුව වමතෙහි දබරැඟිල්ල සහ මහපට ඇඟිල්ල ආධාර කොටගෙන ප්‍රවේශමෙන් එහා මෙහා කරකවමින් ඔහු ජනෙල් කවුළුවෙහි විවරවූ තිර රෙදි අතරින් අතරවූ අවකාශය තුලින් දර්ශනය වන කුටියේ අභ්‍යන්තරය නාභිගත කොට ගැන්මට තැත් කලේය.

එක්වරම කුටිය ඇතුලත දර්ශනය ඔහුට සුරත දිගුකොට ස්පර්ශකල හැකි පමණ සුපැහැදිලි විය. මෙතරම් පැහැදිලිව දර්ශනය වන ඉලක්කයක් රොබීට චේතනාන්විතව වුවද වැරදිය නොහැක. දෙපසට ඇදුනු තිරරෙදි අතර හිඩැස එක එල්ලේම කුටිය තුල දුඹුරු පැහැ කුඩා මේසයක් විය. ඒ මත වූයේ කළු පැහැති දුරකථනයකි. ඒ වනාහී ජංගම දුරකථනයක් නොව දඟර ගැසුණු රැහැණක් සහිත පැරණි පන්නයේ ගෘහස්ථ දුරකථනයකි.

එම පැරණි මාදිලියේ දුරකථනය තවත් මිනිත්තු දෙකකට මඳක් අඩු කාලයකදී නාදවනු ඇත. මහා නෘත්‍යයට වේදිකාව සූදානම්ය. නර්තන රචනයද (Choreography) කිසිදු අඩුලුහුඬුවකින් තොරය. 

එහෙත් ඒ සමඟම කවුළුවෙන් දර්ශනය වන්නාවූ කුටියෙහි අභ්‍යන්තරය දෙස බලාසිටින රොබීගේ සිතෙහි එකවරම මහත් සැකයක් හට ගත්තේය. ඒ මේ නර්තනය රඟ දැක්වීම උදෙසා වේදිකාව කොතරම් ප්‍රවේශමෙන් සකස්කොට ඇතිද යන්න ඝාතනයවන්නා හෝ ඔහුගේ අංගාරක්ෂකයින්හට මෙතෙක් නොවැටහුනේ මන්ද යන්නයි.

තිර රෙදි විවර කල කවුලුව ඒ හා එක එල්ලේ පිහිටි මේසය මතවූ කුටියේ වූ එකම දුරකථනය....එම දුරකථනයට පිළිතුරු දෙන්නෙකු එක එල්ලේම තිර රෙදි විවර කල කවුලුව තුලින් ඉලක්කය ගන්නා වෙඩික්කරුවකුගේ පහසු ඉළක්කයකි. එසේම මාර්ගයෙන් එපිට උපරිම වශයෙන් අඩි එකසිය විස්සක හෝ තිහක පමණ මානයේ පිහිටි අත්හැර දමන ලද සිව්මහල් පාළු ගොඩ නැඟිල්ල.....තම කාර්යය මැනවින් දත් ඕනෑම ශරීරාරක්ෂකයකු හට ආරක්ෂක වැඩ පිළිවෙලෙහි මේ දුර්වල ස්ථාන එක්පැහැර වැටහී යා යුතුය. එහෙත් තම ඉලක්කයවූ තැනැත්තාගේ ශරීරාරක්ෂකයින් අතර එවන් දක්ෂයෙකු නොසිටින බව රොබී මැනවින් දත්තේය.

තිර රෙදි විවරවූ කවුළුවෙන් දර්ශනය වන කුටිය තුල වූ ශරීරාරක්ෂකයෝ දෙදෙන මේ වනවිට කුටියේ අස්සක් මුල්ලක් නෑර පරීක්ෂා කරමින් සිටියහ. එහෙත් ඔවුන් දෙදෙනාගෙන් එකකුවත් තිර රෙදි විවර කොට තිබූ කවුළුව අසලට පැමිණ මාර්ගයෙන් එපිට පිහිටි පාළු ගොඩනැඟිල්ල දෙස නොබැලුවෝය. යටත් පිරිසෙයින් මේ අඳුරු හෝරාවේ තිර රෙදි විවර කොට ඇත්තේ කුමන හේතුවක් නිසාදැයි මෙහෙකාරිය වෙතින් විමසීමකුදු නොකළෝය. ඔවුහු වනාහී වචනයෙහි පරිසමාප්ත අර්ථයෙන්ම අකාර්යක්ෂම නුනුවණයෝ වූහ.රොබී සේවය කල සංවිධානය මෙහෙයුම පිළිබඳ තම විමර්ශනයන්ගේ ප්‍රාරම්භක අවධියේදීම මේ අනපේක්ෂිත වාසිදායක තත්ත්වය පිළිබඳව අවබෝධ කොටගත්තෝය.

එසේ වුවද ඔවුහු තම සැලසුම් සකස්කලේ ප්‍රතිවාදීන්ගේ අකාර්යක්ෂම භාවය නොසළකා හරිමිනි. එසේ හෙයින් මෙම මෙහෙයුමේ සාර්ථකත්වය පිළිබඳව රොබීගේ සිත තුල කිසිදු සැකයක් නොවීය. එහෙත් කිසිදු අඩු ලුහුඬු කමක් නොමැති ඉතා සාර්ථක ලෙස දිස්වන සැළසුමක් පවා සම්පූර්ණයෙන් අසාර්ථක වීමට එක් මොහොතක ප්‍රමාදයක් හෝ එකම අභාග්‍යමත් සිද්ධියක් උදක්ම ප්‍රමාණවත් වන්නේය.

තම ළය පිරී යන පරිද්දෙන් හුස්ම ඉහළට ඇදගත් රොබී අනතුරුව ඉතා සෙමෙන් හැකි තරම් කල් වේලා ගෙන හුස්ම පහළට දැමීම ආරම්භ කලේය.ඝාතනයක් උදෙසා අවශ්‍ය චිත්ත ඒකාග්‍රතාවය ඔහු ලබාගන්නේ එළෙසිණි. සත්‍යය වශයෙන්ම ඉලක්කය බිම දැමීම සඳහා අවශ්‍ය වන වෙඩිතැබීම රොබීට කිසිදු අපහසුවක් නොවනු ඇත. ගොඩනැඟිලි දෙක අතර පිහිටි පටු මාර්ගය දෙපසවූ පදික වේදිකාවද සමඟ උපරිම වශයෙන් අඩි සියයකට වඩා පළලින් යුතු නොවීය.

රොබී මෙම ඝාතනය සඳහා උප-ධ්වානික නොහොත් ශබ්දයේ වේගයට අඩු වේගයකින් ගමන් කරනා උණ්ඩ සහිත පතරොමක් (Sub-sonic round) තෝරාගත්තේද එහෙයින්මය. මෙවන් කෙටිදුර ඝාතනයක් උදෙසා ඉතාම සුදුසු වන්නේ එවන් උණ්ඩ සහිත පතරොමකි. ඔහු රැඳී සිටින්නේ සිව්වන මහළක වන අතර ඉලක්කය සිටිනුයේ තුන්වන මහලකය. එබැවින් ඔහු වෙඩි තැබිය යුත්තේ එක් මහළක් පහළට වූ ආනතියක් සහිතවය. ඔහු තෝරාගත් මාදිලියේ උණ්ඩ වලට ඒ ආනතිය ප්‍රශ්ණයක් නොවේ.

වෙඩි පහර ජනේලයේ වීදුරුව තුලින් ගමන් කළ යුතු බවද සැබවි. එහෙත් මෙවන් කෙටි දුර පරාසයක කරන වෙඩි තැබීමකදී එය කිසිසේත්ම ගැටළුවක් නොවේ. ගොඩනැඟිලි දෙක අතර මේ වනවිට එතරම් තද සුළඟක්ද නොතිබුණු අතර ඔහුට බාධා පැමිණවීමට පමන ප්‍රබල ආලෝක ප්‍රභව කිසිවක්ද පෙනෙන මානයේ නොවීය. කෙටියෙන් කිවහොත් මේ වනාහී ඉතා පහසු ඝාතනයක්ම වන්නේය. එහෙත් නිල ඝාතකයකු ලෙස ගතකල දීර්ඝ කාලයෙහි රොබී ඉතා හොඳින් උගත් එක් කරුණක් නම් පහසු ඝාතන යනුවෙන් යමක් මේ ලොව නොපවතින බවය.

ඔහුගේ කණ තුලවූ ශබ්ද විකාශණ උපකරණය යලිත් ක්‍රියාත්මක විය. ඉන් පැවසුනේ වදන් දෙකක් පමණි. "වී-වන්"

වී-වන් යනු ගුවන් යානයක් ගුවන් ගත වනු උදෙසා ගුවන් තොටුපොළේ ධාවන පථය ඔස්සේ වේගය වැඩි කරගනිමින් ධාවන වීමේදී පසු කරන යම් වේග සීමාවක් හැඳින්වීමේ සංකේත නාමයයි. වී-වන් වේගය ඉක්මවූ පසු ගුවන් යානයක් අනිවාර්යයෙන්ම ගුවන් ගතවිය යුතුය. මෙහිදී වී-වන් යනුවෙන් රොබීට දැනුම් දෙනු ලැබූයේ මේ මොහොතේ පටන් ඝාතනය අත්හැර දැමිය නොහැකි බවයි. එනම් මෙහෙයුම කෙසේ හෝ ක්‍රියාත්මක විය යුතු බවයි.

එහෙත් ගුවන් යානා නියමුවෙකුට නොමැති අවස්ථාවක් මෙහිදී රොබීට ඇත. එනම් තම සුරතෙහි දබරැඟිල්ල රයිෆලයෙහි කොකා වටා යවා කොකා තද කොට උණ්ඩය රයිෆල මුවින් නිකුත් කරනා තුරුම මෙහෙයුම නවතා දැමීමට රොබීට හැකියාව ඇත. එළෙසම ඔහු මීට පෙර දෙවරක්ම එසේ අවසාන මොහොතේදී මෙහෙයුම් නවතා දමා ද ඇත.

"තත්පර තිහයි…" සුපුරුදු පැහැදිලි සහ තියුණු හඬ යලිත් වරක් රොබීගේ කණ තුලට පැවසුවේය.

දුර දක්නා උපකරණයෙන් දකුණු ඇස මෑත් කොටගත් රොබී හිස ඔසවා ගොඩනැඟිලි දෙක අතරවී මාර්ගයේ පළමුව දකුණු පස සහ අනතුරුව වම් පස හොඳින් පරීක්ෂා කලේය. අනතුරුව යලි හිස පහත්කොට දුරදක්නා උපකරනයෙහි උපනෙතට දකුණු ඇස තැබීය. මේ මොහොතෙන් පසු ඔහුගේ අවධානය පූර්ණ වශයෙන් යොමුවන්නේ තිර රෙදි විවර වුනු කුටිය වෙතට පමණි. රොබීට දැකගත නොහැකිවුවද මේ අවස්ථාවේ කුටිය තුල හිඳිනුයේ ඉලක්කය, ශරීරාරක්ෂකයින් දෙදෙනා සහ මෙහෙකාරිය පමණකි.

විල් රොබීගේ ආශ්වාස ප්‍රශ්වාස වේගය කෙමෙන් අඩුව ගොස් එක්වරම නැවතිණි. ඒ හා සමානුපාතිකව ඔහුගේ හෘද ස්ඵන්දන වේගයද කෙමෙන් අඩුවෙමින් පැවතිණි. සිරුරේ උර කුහරයෙන් ඇරඹි සිහිලසක් ගෙල හරහා ඔහුගේ හිස තුලට පැතිරෙන්නට විය.

"තත්පර දහයයි…" පැහැදිලි සහ තියුණු හඬ අකුරින් අකුර උච්චාරණය කරමින් පැවසීය.

තව තත්පර දහයකින් තිර රෙදි විවරවූ ජනෙල් කවුළුවෙන් පෙනෙන කුටියෙහි මේසය මතවූ පැරණි මාදිළියේ ගෘහස්ථ දුරකථනයට ලැබෙන ඇමතුමකින් මේ මෙහෙයුම ක්‍රියාත්මක වනු ඇත.

"තත්පර පහයි…."

සෙමෙන් හුස්මක් පහළ දමන අතර රොබී ඉතිරි තත්පර පහ ඉතා සෙමෙන් මුමුණමින් ගණන් කළේය. "පහයි...හතරයි..තුනයි...දෙකයි...එකයි…"

"ඇමතුම ක්‍රියාත්මකයි" පැහැදිලි සහ තියුණු හඬ පැවසුවේය. 

ඇමතුම දෙනු ලබනුයේ පරිගණක සම්බන්ධතාවයක් මඟිනි. එබැවින් ඇමතුමෙහි අනෙක් අන්තයේ කිසිදු මිනිසකු හෝ ගැහැණියක නොසිටිනු ඇත. 

මධ්‍යම ප්‍රමාණයේ උසකින් යුතු එතරම් හැඩිදැඩි සිරුරකින්ද යුතු නොවූ මිනිසකු මේසය අසලට ලඟා වනු විවරවූ තිර රෙදි අතරින් රොබීට ඉතා පැහැදිලිව දිස්විය. 

මේ ඉතාමත් සාමාන්‍ය ප්‍රමාණයේ සිරුරකින් යුතු මිනිසා වනාහී ඉතා ආකර්ශණීය පෞරුෂයකින් යුතු ජනකාන්ත (Charismatic) පුද්ගලයෙකි. දශක අටකට පමණ පෙර විසූ ඇඩොල්ෆ් හිට්ලර් මෙන් තම කථා විලාශයෙන් අවශේෂ මිනිසුන් සහ ගැහැණුන් වශී කොට ගැන්මෙහි මනාසේ සමතෙකි. ඔහුගේ වාග් චාතූර්යයෙන් මෝහනය වන්නෝ ඔහු අණකරන්නාවූ කිසිදු දාමරික කමක් හෝ අපරාධයක් කිරීමට නොපැකිල ඉදිරිපත් වන්නෝය.

ඔහුගේ මේ හැකියාව කලාපයේ සාමයට බලවත් බාධාවක් වූ අතර එලෙසම එක්සත් ජනපදයෙහි වර්තමාන මිත්‍ර සංවිධාන නායකයින්ගේ අංක එකේ සතුරා බවට ඔහු පත්කරලීමටද හේතුවිය. එබැවින්ම රොබීගේ සංවිධානය ඔහු ඇල්ෆා ප්‍රවර්ගයේ (Category Alpha) සතුරකු ලෙස වර්ගීකරණය කලේය. ඇල්ෆා ප්‍රවර්ගයට අයත්වන්නෝ වනාහී හැකි ඉක්මනින් ඝාතනය කලයුත්තෝ වන්නෝය.

විල් රොබීගේ දකුණතෙහි දබරැඟිල්ල කෙමෙන් රයිෆලයේ කොකා වටා ගමන් කලේය. තව මොහොතකින් ඔහු වී-වන් අවස්ථාවට එළඹෙනු ඇත. රොබී සෙමෙන් කොකා තද කරන්නට විය. අවසාන මොහොතේ ඔහු ඇස් කොණකින් ඉලක්කයට දකුණු පසින් කිසියම් අනපේක්ෂිත සෙවණැල්ලක් වැන්නක් දුටු නමුදු ඔහු ඒ නොසළකා හැර කොකා අවසානය තෙක් තද කලේය.

වෙඩි උණ්ඩය නිකුත්වූ ඉක්බිති රයිෆලයේ වාංගුව (Recoil) උරහිසින් දරාගත් රොබී දුරදක්නා උපකරණයෙන් දකුණැස මෑත් කොට නොගෙන ඉලක්කය දෙසම බලා සිටියේය. වෙඩි උණ්ඩය ඉලක්කය බලා ගමන් කරන තෙක් ඒ දෙස පරීක්ෂාවෙන් බලා සිටීම රොබීගේ පුරුද්දකි. ඝාතනය නිසි අයුරු සිදුවූවාදැයි නිසැකව ස්ථිර කර ගැනීමේ එකම ක්‍රමය තම දෑසින්ම දැක බලා ගැනීමයි. ඝාතනය ස්ථිර කර ගැනීමට ප්‍රථම දෑස් ඉවතට ගැනීමෙන් රොබී මීට පෙර එක් වරක් රැවටී ඇත. නැවතත් ඒ වරදම කිරීමට රොබීට කිසිසේත්ම අවශ්‍ය නොවීය.

ජනෙල් වීදුරුව බිඳී විසිරුනු කැබලි දසත විසිරී ගියේය. කංචුක වැස්මෙන් යුත් වෙඩි උණ්ඩය ඉලක්කයේ හිස පසුපසින් ඇතුලුව නාසය අසලින් නික්මිණි. සුරතින් මිරිකාගත් රිසීවරයද අතැතිව කුණාටුවකින් ගසක් ඇදවැටෙන්නාක් මෙන් ඒ ආකර්ශණීය පෞරුෂයකින් හෙබි මිනිසා ඇද වැටුනේය.

රොබී තම ඇස ඉවතට ගන්නට සූදානම් වනවාත් සමඟම මේසය පසුපස බිත්තියට හේත්තුවී උන් යමෙකුගේ ඡායාවක් වැන්නක් දුටුවේ යලි උපනෙත වෙත නෙත යොමු කලේය. මේසය පසුපස බිත්තියට හේත්තුවී සිටියේ කුඩා දැරියකි. වෙඩි තැබීමට මොහොතකට පෙර රොබී දුටු සෙවණැල්ලක් වැන්න නිසැකවම ඇය විය යුතුය.

කංචුක වැස්මෙන් යුත් වෙඩි උණඩ ඉලක්කයට වැදුනු පසු විසිරී නොයයි. ඉලක්කය හරහා ගමන් කොට ඉතා පහසුවෙන් පිටවන්නටද කංචුක වැස්මෙන් යුතු උණ්ඩ වලට හැක. රොබී තම රයිෆලය  පහලට ආනතකොට වෙඩි තැබූ හෙයින් උණ්ඩය ඉලක්කයේ හිස් කබල හරහා ගොස් කුඩා දැරියගේද ළය මධ්‍යයෙන්ම ඇතුලුවී ඇත.

රොබී බලා සිටියදීම සෙමෙන් දෙනෙත් පියාගත් ඇය මඳ වේලාවක් බිත්තියට වාරුව හිඳ ඇද වැටුනාය. 

එක් වෙඩි උණ්ඩයකි…ඝාතන දෙකකි

එක් ඝාතනයක් වනාහී මනා ලෙස සැළසුම්කල ඝාතනයකි...

එලෙසම අනෙක් ඝාතනය වනාහී සිහිනෙනුදු අපේක්ෂා නොකළ අභාග්‍ය සම්පන්න අත්වැරදීමකි.....

එහෙත් ඒ ගැන කල්පනා කරමින් පසු තැවිලිවීමට මේ කිසිසේත්ම සුදුසු කාලය නොවේ.

විල් රොබී තම ඝාතන ආම්පන්න ද රැගෙන  පසුපස පිහිටි ජනෙල් කවුළුව වෙත වහා  දිව ගියේය.

24 comments:

  1. මේ ස්ලෝ බිල්ඩ් අප් එක නිස අන්තිමේදි අපිත් එතන ඉඳන් මේක බලන් ඉන්නවා වගේ. අවසානයේදි කම්පනය වීම වලක්වන්න බැහැ. මේක පරිවර්තනයක්ද නැත්නම් පොතේ මාතෘකාව අරගෙන උඹ ලියපු එකක්ද?

    ReplyDelete
    Replies
    1. තිසර,

      /මේක පරිවර්තනයක්ද නැත්නම් පොතේ මාතෘකාව අරගෙන උඹ ලියපු එකක්ද?/

      ටිකක් විතර වැඩි විස්තර නම් දැම්ම තමයි ආය මොකටද නෑ කියන්නෙ...හෙහ්,හෙහ්,..

      උඹ මල්ලි කිව්වට විස්වාස කරහං ඔන්න මේ කොටස් තුනක මම ලියපු හරිය බල්ඩාච්චි ගොයිය ලියල තියෙන්නෙ පිටු දහයකිං...ඉතිං බලාපංකො මේ යක්කු මේ අන්තර්ජාතික ප්‍රසිද්ධියට පත් රචකයො කිව්වට වැඩක් තියනවයි? නිකං මේ මුණට දමල ගහනව වගෙනෙ කතන්දර ලියන්නෙ..සික් මම නං කලමකිරුණ....

      Delete
  2. හය්යෝ......! ළමයෙක් නේද??

    දෙනවා දෙකක් ඇත්තමයි මම නම්..

    ReplyDelete
    Replies
    1. දෙකක් බෑ. වන්ෂොට් නොකවුට් කරන්න ඕන හිටං.

      Delete
    2. ලිඛිතා,

      හරි බං ළමයෙක් තමයි.. ඒත් ඉතිං වට් ටුඩූ?.. මයි බිස්ටේක්...බයි මිස්ටේක්...:(

      Delete
  3. මදැයි වෙලා තියෙන දෙයක්. ඒත් ඉතිං ඔය වගේ ගේමකදි ටාගට් එක ඉවර උනානං අනික් දේවල් ගැන හිතල වැඩක් නෑ.
    මොනව උනත් මේකහරි ඉක්මනට ඉවර කරපු එක ලොකු දෙයක්. හැක්..

    ReplyDelete
    Replies
    1. ප්‍රසන්න,

      /මොනව උනත් මේකහරි ඉක්මනට ඉවර කරපු එක ලොකු දෙයක්. හැක්../

      උඹ ගිය පෝස්ට් එකේ දාපු කෝචොක් එක හින්දම ඊයෙ රෑ එළි වෙනකල් දිව හපාගෙන ලියල පෝස්ට් කලා.

      /නෙද්දකිං මේක කියෝනවට වැඩිය හොඳයි ස්නයිපර් එකක් අරං වෙඩි තියන්න යන එක. දැං ඉතිං ඔය බුලට් එක ජනේලෙන් පාරෙ අනික් පැත්තට යන්න තව මාසයක්වත් යයි මං හිතන්නෙ./

      ඇයි මම කිව්වනෙ ෆ්‍රයිඩේ අනිවාර්යයෙන් වෙඩි තියනවමයි කියල.

      /නෑ..නෑ...උපරිම නෙක්ස්ට් ෆ්‍රයිඩේ වෙඩි තියන එක තියනව තියනවමයි.....අනිවාර්යයෙන්ම ...කන්ෆර්ම්ඩ්../

      Delete
  4. සුරංගයටනං දැං සෑෑෑහෙන්න රිදෙයි.

    ReplyDelete
    Replies
    1. Prasanna,

      ඔව් ඔව් ඔයියකා උඩ බිම ගැහුවනෙ අර ගෑණු මනුස්සය වැඩේ කාල දායි කියල...හෙහ්,හෙහ්, හොඳ වැඩේ ඕකට...

      Delete
  5. මේකේ ඔරිජිනල් පොත හෝ ෆිලුමක් නැද්ද?

    හරිම රහයි.

    ReplyDelete
    Replies
    1. ඒක් මානවික්ස්,

      ෆිල්ම් එකක් නම් නැහැ. ද ගිල්ටි කියල ෆිල්ම් එකක් තියනව ඒ හැබැයි මේක නෙවෙයි වෙන කතාවක්...

      ඊ බුක් එක මම හිතන්නෙ මෙතනින් බාගත කර ගත්තෑකි. උත්සාහ කරල බලන්න.

      The Guilty - E book

      ඒත් බැරි වුනොත් මගෙ ගාව තියන පොත දුන්නෑකි ඔහෙට...

      Thanks Madam for your appreciation...:)

      Delete
  6. *************************** (mal 7)

    ReplyDelete
  7. පස්සේ ආයේ කොටසක් පටන් ගන්නත් පුළුවන් නේද? ටිකක් වැඩි වෙච්ච වෙලාවක ඉබේ මේකේ ඉතිරි ටික ලිය වෙයි ද දන්නේ නෑ.. හෙහ් හෙහ්... බැරි වෙලා හරි මම මේ වගේ සිද්දියක් ලිව්වා නම් උපරිම වාක්‍ය 10ක් ලියයි.. හෙහ් හෙහ්.. කොහොම වුනත් ඉතින් සුපිරි පරිවර්තනේ.. හැබයි ඉලක්ක ගත්ත විස්තරේ වැඩි ගතියකුත් දැනුනා..

    ReplyDelete
    Replies
    1. Pathum,

      /පස්සේ ආයේ කොටසක් පටන් ගන්නත් පුළුවන් නේද?/

      උඹ මේ මාව වැලිකඩ අරින වැඩක් ද කොහෙද කියන්නෙ...

      එව්වට අවසර ගන්ට ඕන...බර ගානක් ගෙවන්ටත් වෙයි...

      අපෙ හාමිනේගෙ නමට තියනව පුරං වෙච්චි කුඹුරු කෑල්ලක්. කවදක හරි ඕකෙ බටු මිරිස් තක්කලි බෝංචි ටිකක් දාන්ටයි අපි දෙන්න හිතං හිටියෙ.

      උන්දැ හොඳ මූඩ් එහෙක ඉන්න වෙලාවක ටොල්ක්ස් එකක් දාල බලන්ට ඕන ඒ කුඹුරු කෑල්ලවත් විකුණල ඒ සල්ලි වලට පොතේ පරිවර්තන අයිතිය ගන්ට..

      ඒත් එහෙම අරගෙන පරිවර්තනය කලා උනත් වැඩක් ඇත. අතිං කාල හරක් බැලිල්ලක් තමයි ඒක. පරිවර්තනය කරල දැම්මම බොලා ඇවිල්ල කියවල ආපහු යාවි යන්ට සමහරු පස් පඩංගුවෙ බැන බැන...එච්චර තමයි..මොකෝ ඒ ගිය සල්ලි එකතු කරල ද්ගෙන්ටවත් වැඩ පිලිවෙලක් යොදන එකක්ය බොලා...

      Thanks Pathum for your appreciation...:)

      Delete
  8. අයි නෙවර් නෙවර් ඇක්සෙප්ට් දිස් ඉන්සිඩන්ට්. යකෝ මේ හරි අපූරුවට හරහට ගිය බුලට්ටෙක මේ උස මිනිහෙක්ගෙ හිස්කබල අස්සෙං ගිහිං ඒ කෝනෙටම පිටවෙලා අඩි දෙහෙක විතර උස ළදැරියකගෙ බඩ මැද්දෙං යන්න පුලුවනැයි. එහෙම පුලුවං ඔන්න නෙලුං කුලුණ ආ.. නෑ නෑ වැරදුනා සන්නිවේදන කුලුන මුදුනෙ ඉඳලා ඒ කිට්ටුවම පොලවෙ තියෙන පෙට්ටි කඩේක වහලෙ ටකරමක හිලක් අස්සෙං බලල වෙඩි තිබ්බනං. ඉප් සංවං හෑස් ගිවං දැට් බුක් එ එවෝඩ්ල දැට් පර්සං සුඩ් ගෝ ටු එ ගියෝමැට්රි ක්ලාස් එගේන්. යෙස්.

    ReplyDelete
    Replies
    1. සුරංග,

      ඔන්න ඉතිං ආව අඩුපාඩු හොයාගෙන..

      උඹනං අර දොස්තර හොඳහිත එකේ හිටපු කවුද එකා වගේමයි..අර කොයි වෙලාවෙත් කියන්නෙ ඕක නං හරියන්නෙ නෑ කියල... අන්න ඌ..

      උඹට සැකයි වගේ නං මම කියන්ටද ප්‍රැක්ටිකල් ටෙස්ට් එකක් කරල බලපං...ඉරිද දවසක පළයං අර බදුල්ලෙ තියෙන්නෙ පාක් එකට..මොකද්ද ඒකෙ නම? සේනනායක උද්‍යානයද කොහෙද නේද?

      චූටි මැණිකෙයි අර භාග්‍යා කෙල්ලයිත් එක්ක පල. ආ තව අඩි එකසිය පනහක වගෙ නයිලෝං ලණුවකුත් ඇන්න පල. ඉස්සෙල්ල එක ළනුපොටක් චූටි මැනිකෙ අතට දීල උන්දැයි අර භාග්‍යා කෙල්ලයි නග්ගපං රූස්ස ගහකට. මට මතකයි ඔය පාක් එකේ නුගගස් තියනව ඕන හැටිය. ආං එහෙකට නග්ගපං...

      චූටි මැනිකෙ තමයි අර පොඩි ගෑණු ළමය. භාග්‍යා තමයි මහ මනුස්සය.ගහේ අඩි හතළිහක් විතර නැඟල (තට්ටු තුනක උස) ඒ දෙන්නට අඩි පහක වගෙ පරතරෙං හිටගන්ට කියාපං චූටි මැණිකෙ පිටිපස්සෙං ඉන්න විදිහට.

      ළණුවෙ අනික් කෙළවර අරගෙන උඹ පලයං අඩි එකසිය පණහක් වගෙ දුරින් තියෙන තව ගහක් ගාවට. ඒකෙ නැඟහං අඩි පනහක් විතර උසට (තට්ටු හතරක උස) උඹ ඇට්ටිං කොරන්නෙ වෙඩික්කාරයගෙ පාට්ටෙක. ඒ කරල අර ළණුව තදින් ඇදල බලපං හරියටම කෙලිං තියනවද කියල. ඒ ළණුව කියන්නෙ වෙඩිල්ලෙ ගමං මාර්ගය...

      Delete
    2. ඕක කරනවට වැඩිය ලේසියි මූට ඒ කඹෙං තොන්ඩුවක් හදල බෙල්ලට දාගෙන ගහේ අඩි පනහක් උඩට නැගල (තට්ටු හතරක උස) ඉඳල බිමට පනින එක.

      Delete
    3. ඇත්තෙංම ඔය බාගෙ උන්දෑ අපේ ඔපිසියෙං අස්වී ගිය එක බාගයක් කොට සලකන්න ඇහැක්. නැත්තං ඒකා මෙලහට එල්ලිලා.

      Delete
    4. මමත් ඉන්නේ ශ්‍රංගයාගේ පැත්තේ...
      රවී අයියගේ වාසියට මම මෙන්න මේ දේවල් සළකනවා...
      01. ඒ පුග්ගලයාගේ උස අඩි පහමාරක් කියල
      02. එහා පැත්තේ බිල්ඩිම වැඩිය පළල නැහැ කියල (ඒ කියන්නේ අඩි 15 ක් වගේ පළල)
      03. මේසේ පළල අඩි 3 ක් වගේ කියල

      ඔය මොක ගත්තත් උඹව ගොඩ දාන්න බැහැ බං අයියේ...
      ඒ ළදැරියගේ පපුවට වෙඩි වැදිලා මැරෙන්න ඒ පොඩි ළමයා අඩි හයයි අඟල් දෙකක් වගේ උස වෙන්න ඕනේ බං...
      එහා පැත්තේ බිල්ඩිම අඩි 30 ක් පළල උනොත් ඒ ළදැරිය අඩි හයයි අඟල් තුනක් වගේ උස වෙන්න ඕනේ...

      මොකද උඹේ අවාසියට බිල්ඩින් දෙක අතර දුර අඩි 100 තියෙනවා, උසේ වෙනස එක මහලක් වීම තියෙනවා...

      ඔන්න ටොට ගොඩයන්න තිබුනා මෙන්න මේ විදිහට...
      ඔහුගේ ඔලුව තුළදී දිශාවේ සිදුවූ අපගමනයක් නිසා වෙනස් වූ උණ්ඩයේ ගමන් මග මේසය එහා පැත්තේ සිටි ළදැරියගේ පපුව හරහා ගියෝය කියල කිව්වනම් ඔන්න ඔහේ ගොඩ...
      කොහෙද එහෙම කියන්නේ කංචුක උන්ඩේ ගැන ඔහේම මෙන්න මෙහෙම කියනවනේ...

      ///කංචුක වැස්මෙන් යුත් වෙඩි උණඩ ඉලක්කයට වැදුනු පසු විසිරී නොයයි. ඉලක්කය හරහා ගමන් කොට ඉතා පහසුවෙන් පිටවන්නටද කංචුක වැස්මෙන් යුතු උණ්ඩ වලට හැක. ///

      මේ කතාව හරියන්න බිල්දීම් දෙක අතරේ පරතරේ අඩි 15~16 ක් වගේ වෙන්න ඕනේ යකූ...
      ඒ වගේම ළදැරිය අවම වසයෙන් අඩි තුනහමාරක් උස වෙන්න ඕනේ...

      ඒකෙන් වැඩක් නැහැ, මේ ඔක්කොම ලිව්වේ ආතල් එකට හරිය...
      කතාව කොයි තරම් පත්තියම් උනාද කියනවනම් මම හෙණ බයේ හිටියේ ඉලක්කය මිස් වෙයිද කියල...
      පස්සේ නිවීහැනහිල්ලේ කම්පනා කරලා බැලුවම තමයි ඔළුවට ආවේ මේ බලාගෙන ඉන්නේ මනුස්ස ප්‍රාණියෙක් මැරෙනකං නේද කියල...
      ටෝ අපි ලව්වා සිතුවිල්ලෙන් අකුසල් කෙරෙව්වට ටෝ අපායෙම පළ...

      අකුසලේ කෙසේ වෙතත් මම හැමතිස්සෙම ඉන්නේ දඩයම් කරුගේ පාර්ශ්වයේ වගේ ගතියක් මට හිතෙනවා...
      ඒ කියන්නේ කොටි හපුවෙක් සතෙක් පස්සේ යද්දී ඌට දඩයම වරදින එක වගේ සීන් වලට මම කැමති නැහැ...
      අන්නේකයි...

      Delete
  9. http://fox6now.com/2017/07/23/he-died-over-a-stray-bullet-family-demands-justice-after-6-year-old-boy-dies-after-shooting-near-23rd-and-nash/

    ReplyDelete
  10. 2 සහ 3 දෙකම එකට කියෙව්වේ. නියමයි ! මට මතක් වුනේ ඉස්සර අවුරුදු 15 කට කලින් වගේ ගහපු Hitman 2 වීඩියෝ ගේම් එක. ඒකෙත් මේවගේ sniper mission එකක් තියෙනවා. හැබැයි කුඩා දරුවෙක් මැරෙන්නේ නෑ. ඒ ඇරුනම plot එක ගොඩක් දුරට එක සමානයි වගේ මතක. සමහර විට ඩේවිඩ් ලොක්කට ඕක inspiration එකක් වුණාද දන්නෙත් නෑ.

    කොහොම වුණත් මේක ඉක්මනට ඉවර කරපු එක නම් හොඳයි. හා හා කෝ දැන් මුරුංගා ගහෙන් බැහැලා ඉක්මනට story of my marriage පටං ගත්තානං...

    ReplyDelete

මගේ සිතුවිලි ගැන ඔබේ සිතුවිලි

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...