Monday, December 19, 2011

72. උපන් දින මතක සැමරුම්...........ඕලු මලේ කතන්දරේ.........1

මගේ උපන්දිනේ තිබුනනෙ පහුගියදා.... පහුගියදා කිව්වට මාසෙකටත් එහා පැත්තෙ...මේ අවුරුදු බර ගාණකට ඉස්සරවෙලා මගෙ එක උපන්දිනයක සිද්ද වෙච්ච දෙයක්......

අර නොහැඟවූ ආදරය කතාව අහවරයක් කරල ඉන්ට ගිය එකයි ඒ මදිවට පහුගිය දවස්වල වැඩ රාජකාරි ඉහ මතට නොසෑහෙන්ඩ කඩන් වැටුන එකයි යන කාරණා දෙකම නිසයි මේ කතාව ලියන්ට ප්‍රමාද උනේ... ඒ නිසා සමා වෙන්ට ඕමනයි ඔය කට්ටිය..හා ද?

හරි චරිතාපදානය ඔය මදෑ....අහ්...චරිතාපදානය නෙවෙයි නේද?.....හරි, හරි පූර්විකාව.....පූර්විකාව....

උපන්දිනේ කතාව කියල ඉම්මුකො එහෙනම්....

මේ සිද්ධිය උනේ ඔය නොහැඟවූ ආදරය කතාවෙ කියන කාල වකවානුවට අවුරුදු තුනකට විතර පස්සෙ. ඒ දවස් වල මම වැඩ කරේ නොහැඟවූ ආදරය කතාව වෙච්චි කෑම්ප් එක ( කැලේ මැද ඉඳි කරපු අපි ජීවත් වුනු නිවාස සමූහයට අපි කිව්වෙ කෑම්ප් එක කියල )තිබ්බ හරියෙනුත් තවත් එහා, කැලේ ඇතුලෙ අන්තිමටම තිබ්බ කෑම්ප් එකේ.

ජ.වි.පෙ. සහ රජය තරඟයට භීෂණය වැපිරීමේ ව්‍යාපාරයක් ගෙන ගියෙ ඔය කාලෙ. හංදි ගානෙ මල සිරුරු උදේ පාන්දර දකින එක බොහොම සාමාන්‍ය සිද්ධියක් වෙලා තිබුනෙ. ගෙවල් වලින් අපිට කියල තිබුනෙ නිතරම එන්න අවශ්‍ය නැහැ, කෑම්ප් එකට වෙලා ඉන්න ඒක ආරක්ෂා සහිතයි කියල.අපි වැඩි දෙනෙක් විවාහ වෙලා නොසිටිය නිසා ඒ අතින් ගැටළුවක් තිබුනෙත් නෑ ඇත්තටම.

ඉන්ධන බෙදාහැරීම අඩාල වෙලා තිබුණු නිසා අපෙ ව්‍යාපෘති වැඩත් ඇණ හිටල තිබුනෙ. හදිසි අසනීපෙකට කදුරුවෙල නගරෙට යාගන්ට විතරයි ඩීසල් නිකුත් කලේ.ඉතිං ඔය කාලෙ මොනවද අපිට රජ මඟුල් තමයි.

අපි ඒ දවස් වල හිටිය කෑම්ප් එක ළඟම තිබුන පරණ වැවක්...ඕළු නෙළුම් ඔන්න ඔය වගෙ රටේ නැති මල් ඔක්කොම වාගෙ ඒකෙ තිබුණ.වැඩත් නැති නිසා අපි කලේ අපේ චෙක් රෝලෙ ( චෙක් රෝල කියන්නෙ අනියම් කම්කරුවන්ගෙ පැමිණීමේ ලේඛනය, චෙක් රෝල අනුව තමයි එයාලට පඩි ගෙව්වේ ) කොල්ලො ටික දාල දේශීය නිෂ්පාදන පෙරපු එකයි අර වැවේ....හෙහ්, හෙහ්, නිකම්ම ඉන්න එකේ දේශීය කර්මාන්ත නගා හිටුවන්ට එපාය කියන සද් චේතනාවෙන් තමයි එහෙම කලේ...වෙන මොකවත් එහෙම නෙවෙයි ඔන්න.

හපොයි ඒ කාලෙ මතක් වෙනකොටත් නිකම් හිතට හීතල පවන් රැල්ලක් හමනව වාගෙ...ඔන්න අහගන්නකො අපේ දින චරියාව...නැඟිටිනව හයට විතර....ඊට එහා බුදියන්ට හම්බ වෙන්නෙ නෑ..අපේ ඉන්නව නින්ද යන්නෙ නැති හාදයෙක්....සෝමෙ අයිය කියල....හෙහ්, හෙහ් සෝමෙ අයිය තමයි මේ කතාවෙ ප්‍රධාන චරිතයත්....

ඔන්න රෑ දෙගොඩ හරියෙ හිටපු ගමන් එක නින්දක් නිදාගෙන නැඟිටිනකොටත් ඇහෙනව සෝමෙ එලියෙ පිලේ ඇවිදිනව සිංදුවක් එහෙම උරුවම් බාන ගමං....මගෙ කාමරේ සගයා කරූ....ඌත් ඇහැරල...... හෙමිහිට මොනවද කිය කිය බණිනව සෝමෙට..." මේ ****** එක්කො බුදියන්ට ඕන....නැත්නම් ****** නැතුව අපිට බුදියෙන්ට දෙන්න ඕන"...ඔහොම තමයි කරූ දත්මිටි කකා කියන්නෙ....

''කරූ, මම සෝමෙට කියන්ටද ගිහින් නිදා ගන්නෙයි කියල " මම හෙමිහිට අහනව.

" පිස්සුද බං...සද්ද නැතුව හිටහං, අපි ඇහැරල කියල දැන ගත්තොත් ඔය ***** එනව මෙතනට...ඇවිල්ල පටන් ගන්නව කතාව...ඊට පස්සෙ කොහොමත් නිදියල ඉවරයි...." කරූත් යන්තම් මට ඇහෙන්ඩ කියනව.

සෝමෙ අයියගෙ තව ආවේණික ලක්ෂණයක් තමයි කතාව....හප්පා....කවුරු හරි හූ මිටි තියනව නම් මනුස්සයට රෑ වෙනව එළි වෙනව තේරෙන්නෙ නෑ කතා කරන්ට ගියාම.....මාව තමයි ඔය වැඩේට හැමදාම පංගාර්තු වෙන්නෙ.අනික් එවුන් යනව නැගිටල....මම තමයි එතන හිටපු වයසින් බාලය...මට එක පාරටම නැගිටල යන්ටත් බෑ....හප්පොච්චියේ...ඔන්න අර ත්‍රි.ක්‍රි.වි.රෝගය මතු උනා.....තිරිංග ක්‍රියා විරහිත වීමේ රෝගය...මෙහෙම ගියොත් ලබන උපන් දිනේ වෙන කල් වත් මේ කතාව ඉවරයක් කරන්ට වෙන්නෙ නෑ.හරි සෝමෙ ගැන තියෙන කතා අනන්තයි...අප්‍රමාණයි. එව්ව පස්සෙං පහු කියනකල් බෑක් ටු ද ට්රැ ක්...උපන් දිනේ කතාවට නැවතත්,

දින චරියාව ගැන නෙව මම කිය කියා හිටියෙ, මේ සෝමෙ අයිය ගැන කියන්ට ගිහිල්ල කැලේ පනින කොට........ඉතිං සෝමෙ අයිය නිදියන්ට දෙන්නෙ නෑ අපිට " හා, හා මල්ලිල නැගිට පල්ල, නැගිට පල්ල, උදේ ඉර පායන වෙලාවට එලියට බැහැල ඉන්ට ඕන, නැත්නම දවසම මහ මුස්පේන්තුයි...." ඔන්න ඔහොම කෑගහනව ගේ දෙක වෙන්ට...මම කියන්නෙ සෝමෙ අයිය නම් බුදුන් ජේතවනාරාමෙ වැඩ ඉන්න කාලෙ ගන්ටාර නෙවෙයි සයිරන් පූජ කරලයි තියෙන්නෙ කියලයි....

හරි ආයෙම දින චරියාවට...අපි ඉතිං සෝමෙ අයියගෙ මාතෘ දිව්‍යාංගනාවට පිං අනුමෝදන් කරමින් නැගිටල මූණ හෝද ගන්නව,ගේ පිටිපස්සෙ හදල තියෙන මහ විසාල ටැංකි රාජයාගෙං, ඒකට අපේ බව්සරෙං ගහනව නෙව වතුර,ඒ කරල වාඩිවෙනව පාතරාසයට......ඔය දවස්වල අපේ ඉවුම් පිහුම් වලට හිටිය වයස තිස් පහක හතළිහක තරමෙ චෙක් රෝලෙ ගෝලයෙක්.ඉවුම් පිහුම් කරන හැමෝටම පොදුවෙ කිව්වෙ ගෝලය කියල. පස්සෙං පහු කොහොමිං හරි අපේ එවුං යාළු වෙලා ඉන්න කෙල්ලන්ටත් ගෝලයයි කියන්ට පටං ගත්ත.මොන හේතුවක් නිසාද නම් මන්දා.

ඕං ආයෙම කැලේ පැන්න...ඉතිං ඒ දවස් වල අපේ ගෝලය, ඒ කිව්වෙ ඉවුම් පිහුම් කරපු ගෝලය හොඳද?....නම ජයවර්ධන...ගම මාතර පුහුල්වැල්ලෙ....උයනව ආයෙ නෑ පිඟානත් එක්ක කෑවහැකි.ජයවර්ධන ඔන්න ගෙනත් තියනව සුදු කැකුළු හාලෙ බතුයි පොල් සම්බෝල කරපිංච එහෙම දාල මලවල...ආ, මලවද්දි දානව කීරමිං තුනට හතරට කඩල....ආය කිරිහොද්දක් කහම කහ පාටට.....දෙයියෝ සාක්කි කෙලත් වැටිච්චි කී බෝඩ් එකට...කෝ මේ මගෙ පරණ සරං කෑල්ල...කෙල පිහදාල ඉන්ට එපාය ඔක්කෝටම කලිං නැත්නම් මේක ෂෝට් වෙල මහ ජංජාලයක් වෙනව ඒ පාර...

හරි ඒ දවස් වල අපෙ ක්වාටස් එකේ ඔක්කොම හිටිය හය දෙනෙක්.අපි ඉඳගෙන දෙනව කුඩා බඩ වැල් මහ බඩ වැල් එකට පටලැවෙන කල්...හෙහ්, හෙහ්,

කාල එහෙම ටිකක් ඔහෙ වල් පල් කියව කියව ඉන්නව බත් ඇට හරහ වැටෙනකල් කාරිය....එකොලහ වාගෙ වෙද්දි යනව සබං තුවා එහෙම ඇරගෙන අර මම කිව්ව වැව දිහාවට....ඔය වෙලාවට තමයි අපෙ චෙක් රෝලෙ ගෝලයො ටික වඩිය පෙරන්නෙ......අපිත් ගිහිල්ල වැවට පැනල නානව.නාගෙන ගොඩට ඇවිත් වැව ඉවුරෙම තියනව ගල් තලාවක්..... දාරානිපාත කුඹුක් ගහක් ඔය ගල් තලාව බාගයක් හෙවණ කරනව. කුඹුක් ගහ යට ඉඳගෙන ඉන්න අතරෙ, ඔන්න එනව උණු උණු බඩු......ඇත්තටම වචනයේ පරිසමාප්ත අර්තයෙන්ම උණු උණු බඩු තමයි, කටේ තියන්ඩ බෑ රස්නෙ. කට පිච්චි පිච්චි ගසල අරිනව හෙහ්...හෙහ්....නිවෙනකල් ඉන්ඩ බෑ තදියම....

ඒ අතරෙ ගෝලයො වැවෙන් අල්ලපු මාළු එහෙම්මම සුද්ද කරල ලුණු ඩිංගක් ඉහල ගිනි ගොඩක් ගහල පුච්චනව.....හෙහ්, හෙහ්, අන්න නියම බාබකිවු....මතක් වෙනකොටත් සුවඳ දැනෙනව වගෙ අනෙ අම්මප.....අර ෂෝක් සිංදුවක් තියෙන්නෙ මම හිතන්නෙ මේ වගෙ සීන් කෝන් එහෙකටම ලියාපු එකක් ද කොහෙද " සුවඳ දැනී....දැනී...දැනෙනවා....එදා වැව් පිටියේ...මාළු පුලුස්සාලා....උණු උණුවෙම ගැසුවා...මතකයි...ජීවිතේ සුන්දර ද මෙතරම්.....සුවඳ දැනී දැනී දැනෙනවා....."

ඒ අතර හෙමිහිට සිංදුවක් දෙකකුත් කියවෙනව....ගීතා...දයාබර ගීතා...අහසෙ තාරකා මල් පිපිලා නෑ.....එහෙම නැත්නම් ඇසට අසුවන මායිමේ බමර සැනකෙලි මල් විලේ ලසෝ ලැව් ගිනි ඇවුලුනා සිත ඔබ මගෙන් වෙන් වූ දිනේ....... ලාලල් ලලලා....ලාලල් ලාලා...ලාලල්ලා ලා....ලා....ලා...ලා...

ඔන්න එක දෙක වෙනකොට ඔරේ මංදං...නාග සලං....

" ලම්මායි, අප්පි ගියා එහ් හෙන්නං '' ගෝලයන්ට ගහනව අපි සැලියුට් එකසිය ගානට.....

" මහත්..ත ය...ය...ය න්ට ඇහැකි නේද?....'' එකෙක් බොහොම අමාරුවෙන් වචන ගැට ගහ ගන්නව....'' නෑ, නෑ බං අපි යන්නං මේ ඊමමනෙ....''අපි ඔන්න ආපහු එනව පාර පුරාම " හා, හා, පාර පුරා මල් ඉහිරෙයි ඇඳපු චීත්තේ...හා...හා..ඇඳපු චීත්තේ"


මතු සම්බන්ධයි......( ආයේ කියන්ටත් දෙයක්ද.... නැද්ද හා?....හෙහ්, හෙහ්....)

20 comments:

  1. heh heh heh...
    mechchara kal kiyewwaata adha thamai oba thumage kathawakata comment karanne.hapoyi ara pol sambolei kakulu hale bathui,kiri hoddai gana kiyawaddi mageth katata kela inuwa.
    ada mamada koheda mulinma
    ithuru hariyath ikmanata liyamu

    ReplyDelete
  2. \පස්සෙං පහු කොහොමිං හරි අපේ එවුං යාළු වෙලා ඉන්න කෙල්ලන්ටත් ගෝලයයි කියන්ට පටං ගත්ත.මොන හේතුවක් නිසාද නම් මන්දා./

    ඇයි ඉතිං ඔය ඔයිකට උඩ වාක්කියේ තියෙන්නේ හේතුව........... :D

    " සුවඳ දැනී....දැනී...දැනෙනවා....එදා වැව් පිටියේ...මාළු පුලුස්සාලා....උණු උණුවෙම ගැසුවා...මතකයි...ජීවිතේ සුන්දර ද මෙතරම්.....සුවඳ දැනී දැනී දැනෙනවා....."

    හික් හික්............

    ReplyDelete
  3. ඔය තියෙන්නේ ඒ කාලේ කරපු වැඩ....:D:D:D

    //ආය කිරිහොද්දක් කහම කහ පාටට//

    මේකට නම් ඉතින් පොඩ්ඩිට ගහන්ට කෙනෙක් නෑ. සිවුරු පාට එනකල් කහ දානවා. කටට ගන්නකොට එනවා අමුතු බෙහෙත් රහක්. ජයවර්ධනට කිට්ටු කරන්ට බෑ ඕං....

    මේ කැලේ මැද්දේ කතා හරිම ලස්සනයිනේ.

    ReplyDelete
  4. @ Anonymaous,

    ස්තූතියි ඇනෝ.....

    / hapoyi ara pol sambolei kakulu hale bathui,kiri hoddai gana kiyawaddi mageth katata kela inuwa. /

    හෙහ්, හෙහ්, මට දැනුත් මතකයි ඒවයෙ රහ.....

    ඉක්මනට කතාව ඉවර කරන්නම්.....වැඩි කල් යන්නෙ නෑ...

    ReplyDelete
  5. @ RanDil,

    / ඇයි ඉතිං ඔය ඔයිකට උඩ වාක්කියේ තියෙන්නේ හේතුව........... :D /

    අඩේ බොලේ ඇත්තම තමයි...ඒකද එතකොට හේතුව?.....ඒත් මේ කියන්නෙ යාළුවෙලා ඉන්න කාලෙනෙ.....

    ReplyDelete
  6. @ Podi,

    / මේකට නම් ඉතින් පොඩ්ඩිට ගහන්ට කෙනෙක් නෑ. සිවුරු පාට එනකල් කහ දානවා. /

    අන්න හරි කෙලල ඇරපං කහ පුලුවං තරං.....හෙහ්, හෙහ්, දන්නවය?....කහ දාපු තරමට හම පාට වැටෙනව.....නිකං රත්තරං පාටක් ගහනව.....බලන්ට ලස්සනයි.....අනෙ අම්මප......

    / මේ කැලේ මැද්දේ කතා හරිම ලස්සනයිනේ. /

    ඇත්තටම ඒ අත්දැකීම් නම් ජීවිතේ වෙන මොනම විදිහකින් වත් ලබන්න නම් බෑ...ඒ තරමට සුන්දරයි......ජීවිතේ ගැන ගොඩක් දේවල් මම ඉගෙන ගත්තෙ ඔය කාලෙදි......පළමෝත අත්දැකීම් - First hand experiences....... මිස්ටර් ටැබූ ලොක්ක අපිට ඉතිරි කරල ගිය වචනයක්........

    ReplyDelete
  7. අඩෝව්.. ඔහොම කතා කියන්න එපාය බොලවු, අපට දුක තමා හිතෙනවා..

    ඒක නෙවේ බං රවි අයියෙ, අර 'ඇසට අසුවන මායිමේ' සිංදුවත් කිවුවය බං..?? මට මතක ඒක ඔය කියන කාලෙට වඩා පස්සෙ ආපු එකක්ය කියලයි..

    ReplyDelete
  8. @ බූරා,

    ගණන් ගන්න එපා මෙයා.......... අපේ රවී තුමාට හරියට කාල විරෝධි වැඩ ශිද්ධ වෙනවා....... :D

    ReplyDelete
  9. @ Buratheno,

    / අඩෝව්.. ඔහොම කතා කියන්න එපාය බොලවු, අපට දුක තමා හිතෙනවා../

    මට ඊට වඩා දුකයි බොල මෙව්ව ලියද්දි......

    / ඒක නෙවේ බං රවි අයියෙ, අර 'ඇසට අසුවන මායිමේ' සිංදුවත් කිවුවය බං..?? මට මතක ඒක ඔය කියන කාලෙට වඩා පස්සෙ ආපු එකක්ය කියලයි../

    අන්න බලාපං මලේ අපි ඇදල ඇරපු බඩුවල පවර් එක......හොඳ ගානට වැදුනම පහල වෙනව ආසවක්ඛ ඥාණය.........ඒ කියන්නෙ අනාගතය දැකීමේ නුවණ......හෙහ්, හෙහ්,එතකොට ඉතිං අනාගතයෙ කියවෙන සිංදු උනත් කියන්ට ඇහැකි කිසිම ගේමක් නැතුව......හැක්කිස්,.....හියැක් හික්......

    ඇත්තටම නම් ඔය කිට්ටුවම තමයි දවුල් ගුණේ "ඇසට අසුවන මායිමේ" කැසට් එක ගැහැව්වෙ.....සමහරවිට මට වරදින්නත් ඇහැකි.....මොකෝ මම තාම රහත් පලයට ඇවිල්ල නැහැ නෙව...ඒ කිට්ටුවටම නම් ආව ටික කාලෙකට ඉහත....හෙහ්, හෙහ්,

    අනික බං ඔය කාලාන්තරයක් තිස්සෙ කොච්චර නම් බොන්ට ඇද්ද කෝටි කීයක් නම් සිංදු කියන්ට ඇද්ද?......ඔහොම පොඩි පොඩි මූත්‍ර දෝස නොහිටියොත් තමයි පුදුමෙ......

    හරි උඹට ඒත් සැටිස් නැත්නම් මෙන්න මේ විදිහට ඒ චේදෙ සංසෝදනේ කරමු....

    ඒ අතර හෙමිහිට සිංදුවක් දෙකකුත් කියවෙනව....ගීතා...දයාබර ගීතා...අහසෙ තාරකා මල් පිපිලා නෑ.....එහෙම නැත්නම් මගෙ හද මඬල මල් යහනකි ප්‍රභාවතී....නුඹෙ හද මඬල කටුයහනකි ප්‍රභාවතී...කටුයහනේ ඉන්නට බෑ ප්‍රභාවතී.....මල් යහනෙන් බැස පලයන් ප්‍රභාවතී......

    ReplyDelete
  10. @ RanDil,

    / ගණන් ගන්න එපා මෙයා.......... අපේ රවී තුමාට හරියට කාල විරෝධි වැඩ ශිද්ධ වෙනවා....... :D /

    ඔන්න ආව...ඔය ආවෙ ...ඕං ආව.....අම්මප උඹටත් මට පොඩි කෙනිත්තිල්ලක් කරන්ට හීනියට මඩ පාරක් ගහන්ට ඇත්නම් කන්ට ඕනත් නෑ නේද?......පිනුං ගහගෙන එන්නෙ.....

    උඹලත් එක්ක සමෝසමේ බොලොග් ලියනවට අපිට තලන්ට ඕන අර වේලපු මොකාගෙද මොනවද එව්වයිං....හෙහ්, හෙහ්,

    ReplyDelete
  11. අඩේ ඒක මං නිකමට බං අයියෙ කිවුවෙ, උඹ ඒක එච්චර සිරා ගන්ට එපාය.. අනික අපි මෙහෙම කියමු, දිවුල්ගනේ ඒ කැසට් එක ගැහැවුවෙ ඊට පස්සෙ කාලෙක වුනාට (මට මතක හැටියට නං 1991 මැද) බුවා ඊට චිරාත් කාලෙකට පෙර ඉදන් රජරට සේවෙ සින්දු කිවුවනේ, ඉතිං බොලා රජරට සේවෙ අහන ගමන් මේ සිංදුව ඇහිලා, ඒක සුපර් හිට් වෙලා, ඒ මතකෙන් මෙහෙම සෙට් වෙච්චි වෙලාවක සිංදුව කිවුවාය..

    පලි: ඕන්න රන්දිල්, එහෙමයි වුනා කියන්නෙ හරිය.. අපේ රවි අයියට ඔය එකේක නෝන්ඩි දාන්න එපාය හරිය.. අපි හරි වස පොරවල්.. :p

    ReplyDelete
  12. //අපි හරි වස පොරවල්.. :p//

    හහ් අපි නම් බයවෙයි. :D:D:D

    ReplyDelete
  13. @ Buratheno,

    මලේ උඹේ මතකය නම් මල් හතය......හරියටම හරිය...මම දිවුල්ගෙ අතිජාත පෑං කෙනෙක් වන මගේ මිස්තරයෙක්ගෙන් මේ ගැන ඇසුවාය. 1991 මැද කියල උන්දැත් කිව්වාය.උන්දෑට වරදින්ට නම් බැරිය. දිවුල් උනත් උගේ කැසට් ගැන වැඩි විස්තර දැන ගන්නේ මගේ මිතුරාගෙන්ය. හෙහ්, හෙහ්, හෙහ්ය.

    ReplyDelete
  14. ආ බූරා වස පොර, ගෙදෙට්ටම ඇවිල්ලා චණ්ඩි පාර්ට් දාන්න................ හිතුවා මදි හරිය...... මාත් වස පොරියක් මි............ :D

    ඕන් දැක්කානේ දැන් සේප් නියාය දානවා........... අපි කම්පනාවෙන් උන්නේ නැත්තං ඊ ගාව කොටසෙදි කියයි, අමල් පෙරේරාත් ඒ කාලේ හිටියාය,
    මාලු පිට මාලු උඩ පනින ගං දියේ................

    කියලා කට්ටි කිව්වාය කියලා.........

    එහෙමත් නැත්තං කියයි,

    මතකද මද්දාහනේ අපි දෙන්නා,
    ගඟ අසබඩ ගල මුදුනේ,
    දේ.......ශිය පානේ බිව්වා....................

    එමට මනුස්සයා.......... මේ අපේ ම කන්තෝරුවේ වෙච්චි කථා කිහිපයක් අටෝරාසියක් කාල විරෝධි සිද්ධි එක්ක මට කිව්ව කෙනානේ ඔය........ :D

    ReplyDelete
  15. සුදු කැකුළු හාලෙ බතුයි පොල් සම්බෝල කරපිංච එහෙම දාල මලවල...ආ, මලවද්දි දානව කීරමිං තුනට හතරට කඩල....ආය කිරිහොද්දක් කහම කහ පාටට.....

    ඒ ටික කියද්දිනම් රවි අය්යේ මගේ කටටත් කෙල ඉනුවා...

    ඉතින් ඔය දේශීය පානේ හදද්දි ලොකු මිනිස්සුන්ට අහු උනේ නෑ ??

    ReplyDelete
  16. @ RanDil,

    / එමට මනුස්සයා.......... මේ අපේ ම කන්තෝරුවේ වෙච්චි කථා කිහිපයක් අටෝරාසියක් කාල විරෝධි සිද්ධි එක්ක මට කිව්ව කෙනානේ ඔය........ :D /

    ඔන්න බොල ටපල ගන්ට එපාය. කාල වකවානු නිවැරදිව ගැලපිය යුත්තේ ප්‍රවෘත්ති වාර්තාවකදීය. කතන්දරයක කාල වකවානු ඒ හැටි වැදගත් නැතය.ප්‍රවෘත්තියක සහ කතාන්දරයක වෙනස තේරුම් ගත්තොත් හොඳය.....හෙහ්, හෙහ්ය.

    ReplyDelete
  17. @ Sammani,

    / ඉතින් ඔය දේශීය පානේ හදද්දි ලොකු මිනිස්සුන්ට අහු උනේ නෑ ?? /

    නෑ බං ලොක්කො ඔය කැලේ අස්සෙ කොහෙ එනවද?.......අපේ රාජ්ජෙ තමයි.....

    ReplyDelete
  18. අනේ අම්මප බොලාට පඩිත් දුන්නැයි මේ ජොලිත් එක්ක ඒ කාලෙ..........

    ReplyDelete
  19. @ nawammawatha,

    / අනේ අම්මප බොලාට පඩිත් දුන්නැයි මේ ජොලිත් එක්ක ඒ කාලෙ........../

    ඔන්න ඔන්න ඉතිං....මේ ආතල් එක තිබ්බෙ බොහොම සීමිත කාලයයි බං......

    ReplyDelete
  20. hehe lassana kathawak wage meke,, ada thama dakke meke,, kotas 4ma kiyawela dannamko anik comment eke :)

    ReplyDelete

මගේ සිතුවිලි ගැන ඔබේ සිතුවිලි

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...