බ්ලොග් කිව්වහම ඉතිං නේද? දැන් නං අටෝරාසියක් නෙමෙයි අටෝරාසි නව ගුණයක් බ්ලොග් තියේ. ඔය අතරේ සමහර ඒවායේ එක ලිපියක්වත් කියවලා නැතුව ඇති සමහර අය. ඔව් ඔව් සමහර අය කිව්වහම මාත් ඒ ගොඩේ ඉන්න බැරිද? තවත් ඒවායේ එකම එක ලිපියක් කියවලා ඇති. සමහරවිට ඒ මුළු බ්ලොග් එකටම තියෙන එකම ලිපිය වෙන්නත් බැරි නැහැ. ඒ තරමට එක ලිපියේ බ්ලොග් අඩවි බෝමයි.
ඔය කොහොම වුනත් කාලයේ බ්ලොග් තලාවේ යට ගිය සමහර බ්ලොග් අඩවි මට විටින් විට සිහි වෙනවා. ඇත්තටම ඒවායේ තිබුණු එකක් එකක් ගානේ ලිපි ගැන නං මතක නැහැ. ඒත් ඒ බ්ලොග් අඩවි මගේ හිතේ ඇති කරපු චිත්ත රූපය නං අමතක නැහැ. ඒ වගේ අඩවි ටිකක් ගැන කියන්න මට හිතුනා. ඉතිං මේවා කියැව්වහම, සමහර අපේ යාළුවන්ට සිහි වෙයි "ඇත්තට මෙහෙම ලස්සන ලිපි ලිව්ව අඩවිත් තිබුනානේ" කියලා. එහෙමත් නැත්තං, මේ කියන අඩවි යාවත්කාලීන කිරීම නැවතුනාට පස්සේ බ්ලොග් ලියන්න කියවන්න ගත්ත අයට, මේවායේ තියෙන කොයි කාලෙට වුනත් කියවා රස විඳිය හැකි ලිපි ගැන දැන ගන්න පුළුවන් වෙයි.
1. ඉබ්බෙක්ට සමනල තටු ඇවිත්
මේ මාතෘකාවත් එක්ක මගේ මතකයට මුලින් ම එන බ්ලොග් අඩවිය 'ඉබ්බෙක්ට සමනල තටු ඇවිත්' කීම තමයි වඩාම නිවැරදි වන්නේ. ඒ තරමට එක ලිපියක් නෑර කියවපු මේ බ්ලොග් අඩවිය යාවත්කාලීන කිරීම අපේ හිතාදර සමනල තටු ආපු ඉබ්බා පසු කාලීනව නවතා දැමුවා. දීර්ඝ විරාමයකට පසු ව ලිපි දෙකක් පමණ දැම්මත් ඒවා එතරම් සාර්ථක නැති බවයි මගේ හැඟීම වුනේ. කොහොම නමුත් ඉබ්බා නැවත ඒවා !!! යන්න මගේ පැතුමයි.
2. දසයා
අන්තර්ජාලෙන් ගත්ත ලස්සන ලස්සන පිංතූරු එහෙම එකතු කරලා, උපහසාත්මක ලෙස යම් යම්දේ විවේචනය කරමින් ලිපි ලියූ කෙනෙක් වගේ තමයි මතක. බොහොම විට දේශපාලනය පාදක කරගනිමින් දසයාගේ ලිපි ලියැවී තිබුනා. මං මුලදිත් කිව්වානේ, චිත්ත රූපය සිහි කරමින් ලියන ලිපියක් මේක. ඒක නිසා ඔයාලාම ගිහින් බලන්න මේවායේ තියෙන ලිපි වල ගුණාගුණ.
3. Anything & Everything
මේ දරුවා නං ලියපු ලිපි වල තිබුණු කරුණු මට මතක ම නැහැ. ඒත් මං බ්ලොග් ලෝකයට ආපු දවසේ පටන් මං ලිව්ව ලිපි බොහොමයක් කියවපු කෙනෙක් තමයි මේ. කොටින්ම මේ බ්ලොග් අඩවිය ගැන මෙතැන ලියැවෙන්නේ, ඔහු එදා පටන් මට දුන්නු සහයෝගය හා දිරි ගැන්වීම් වලට උපහාරයක් වශයෙන්.
(මට හිතෙන්නේ බිම වැටිච්ච මලක් තියෙන තීම් එක දැම්ම දවසේ ඉඳන් තමයි මේක මේ විදිහට පාළුවට ගියේ.... :) )
4. සිහින සෙවණැලි
අපේ අප්පෝ.......... මේක ලියන දරුවායි දැරිවියි ලියන දේවල් සමහර වෙලාවට ඔළුව අනිත් හරවනවා. ඒත් ඇත්තටම නිර්මාණාත්මක බ්ලොග් ලියැවිලි පිරුණු තැනක්. අවාසනාවකට වගේ මේ දෙන්නා දෙතැන ඉද්දි ලියපු ලියැවිලි, එක වහලක් යටට ආ පසු අඩාල වෙලා ගියා. දැන් ලියැවෙන්නේ ම නැති තරම්.
5. ඩුබායි වට්ටක්කා
ඩුබායි වට්ටක්කා ලිව්වේ පුතා. ඇත්ත නමින් නෙමෙයි බොහෝවිට, ඩුබායි වට්ටක්කා පුතා කිව්වහම තමයි ඒ කාලේ ඉඳන් බ්ලොග් ලියන උදවිය දන්නේ. මේ පුතාත් ඩුබායි පැත්තේ ඉන්න කාලේ අපේ රස නහර පිනා යන ආකාරයේ ලිපි ලිව්වට මොකද මේ දේසේට පය තිබ්බාට පස්සේ ඒ සෙල්ලං සේරම නවත්තලා.
6. ලාංකීය සිතුවිලි
නැහැ. සින්ඩිකේටරේවත් ඒහා සම්බන්ධ බ්ලොග් අඩවියවත් නෙමෙයි. ඒකාලේ මේ සිංඩිකේටර් එකේ පියා බ්ලොග් කරුවෙක් වෙන්නත් පෙර තිබුණු බ්ලොග් අඩවියක් තමයි මං මේ කියන ලාංකීය සිතුවිලි අඩවිය. එයත් යාවත්කාලීන නොකෙරෙන බ්ලොග් අඩවියක් බවට පත්වෙලා.
7. නිදහස් සිතුවිලි
මංතුමී තදියමේ බ්ලොග් අඩවියක් හදාගන්න ගොහින් හිතට ආපු නම දැම්මට මොකද, පස්සේ බැලුවහම නිදහස් සිතුවිලි නමින් තවත් බ්ලොග් අඩවියක් තියෙන බව දැනගන්න ලැබුනා. සමහරවිට මං වගේ යක්තුමියක් එක්ක පැටලිල්ලක් ඇති කරගන්ට බැරි කමට මෙතුමා මෙතුමාගේ නිදහස් සිතුවිලි වලට වැට කඩුළු බැඳ දමලා, වෙනත් සිතුවිල්ලක් හදාගෙන ද කියන්න දන්නේ නැහැ.
8. නොසිදුවීම්/NONEVENTS
මයේ අප්පේ.......... මේකේ තියෙන කෙටි කථා කියැව්වහම මං ලියන එව්වා මොනවාදැයි කියලා මට හිතුනේ වරක් දෙවරක් නෙමෙයි. ඒ තරම ට වෙනස් ම වෙනස් කථා මේ අඩෙවියේ තියෙනවා. කවි පදත් තියෙනවා. පස්සෙන් පහු දාපු සමහර කථා තේරුම් ගන්න ටිකක් විවේක බුද්ධිය වැඩියෙන් ඕනෑ කියලා වැටහෙන්න ගත්තහම මට කම්මැලිත් හිතුනා මේක කියවන්න. බ්ලොග් අඩවිය යාවත්කාලීන නොවුනට ෆේස් බූක් හී නම් මෙහි අයිතිකරු කවි පල කරන බවක් පෙනෙන්නට තියෙනවා.
9. තම තම නැණ පමණින්
අපි කවුරුත් දන්න පරිදි කුමුදු පිංතු සර් තමයි මේ බ්ලොග් අඩවිය ලිව්වේ. එතුමා හිටි හැටියේ අභාවප්‍රාප්ත වුනාට පස්සේ සමහර ලිපි මෙයින් අතුරුදන් වුනු බවක් කියැවෙනවා. ඒ එතුමා ජීවත් ව ඉන්න අවධියේ විශ්වාස කරපු අයගේ කෙරුවාව තමයි ඉතිං. කොහොම නමුත් තාමත් ඉතිරි ව ඇති සමහර ලිපි ඔබට දැනුමක් ගෙන ඒවි.
10. ඉලංදාරියා
ඉලංදාරියා මල්ලි ගැන මං කියන්න ම ඕනේද?
11. ඒකේ වාට්ටුව
හෙද නිලධාරී මහතෙක් තමන්ගේ වෘත්තිය ජීවිතයේදි ලැබුනු අත්දැකීම් අලලා පවත්වාගෙන යන බ්ලොග් අඩවියක්. හාස්‍යමුසු මෙන්ම හිතා බලන්න වටිනා කාරණාත් අඩංගු ලිපි පෙලක් මෙහි අඩංගු වෙනවා.
12. හසියාගේ නවාතැන
මේ හසියාගේ නවාතැනය. මේ හසියා හාවෙකු වූ දා පටන් මේ බ්ලොග් අඩවිය ගැන තිබ්බ සැලකිල්ල අඩු වූ බව අපගේ හැඟීමය. :)
13. හා පැටික්කි
මේ හා පැටික්කි නම් වූ කෙලි පැටික්කි කැම්පස් ගිය දා පටන් බ්ලොග් පැටික්කිය අසරණ වූ බව තතුදත් අය පවසති
14. සිතැඟි
ඒ කාලේ, බ්ලොග් කියැවිල්ල විතරක් කරපු කාලේ පටන් කියවපු බ්ලොග් අඩවියක්. තරුණ ළමයින්ගේ සිතුම් පැතුම් මොනවට ප්‍රදර්ශනය කරපු අඩවියක්. මං වැඩියෙම කැමති සිංඩිකේටරයක් කථා කරයි, ද බයිසිකල් කවිය වගේ ලිපි වලට.තවත් ලිපියක් තිබුනා, ප්‍රවෘත්ති විකාශයක් ගැන ඒ ලිපියත් ඒ කාලේ ඉතාමත් ජනප්‍රිය වූ බව මතකයි.
15. බ්ලෝගීගේ ඩයරිය
මේ අඩවියත් බඩ අල්ලාගෙන එක අතකින්, අනිත් අතින් කට තද කරගෙන කියැව්ව එකක් තමයි. ඒ තරම ට විසේකාර යෞවනයේ සිහින සිතුවිලි එලි දක්වපු අඩෙවියක් හැටියට බ්ලෝගීගේ ඩයරිය මගේ සිතේ චිත්ත රූපයක් මවා තිබෙනවා.
16. මෝනිං පැංචි
මේ අඩවිය මං එතරම් කියවා නැතත් කියවපු බොහෝ ලිපි ඉහත බ්ලොග් අඩවියේ ලිපි සේ ම යෞවන කාලයේ එදිනෙදා සිදුවීම් සීමා වලට හිර නොවී, හාස්‍ය මුසුව සටහන් කරපු තැනක් ලෙස කියන්නට පුළුවන්.
17. විවේචන
මෙම අඩවිය පටන් ගත්ත දවස් වල මං හිතුවේ හරි තමයි දැන් ඉතිං කොනක ඉඳන් විවේචනය කරගෙන යයි කියලා. ඒත් අන්තර්ජාලය තුල එකට එකතු වී සිටින මිතුරන් පිරිසකගෙන් කිහිප දෙනෙකු විවේචනය කරපු විවේචන බ්ලොග් අඩවිය දැන් නිහඬවෙලා. පෙනෙන අන්දමට නම් ඉලක්ක කරගත් එක්කෙනෙකු හෝ දෙන්නෙකු විවේචනය කරන්න ම හදපු බ්ලොග් අඩවියක් දෝයි මට හිතෙනවා.
18. මන්දාකිණිය
ලස්සන, අර්ථවත් කවි වලින් පිරුණු තැනක්. කොහොම වුනත් කණගාටුවට කාරණයක් ඉතිරි කරමින් මේ සොයුරිය මන්දාකිණිය යාවත්කාලීන නොකර ඉන්නවානේ. මේ ලිපිය පෝස්ට් කරලා එයාටත් ලිංක් එක දෙන්න ඕනේ. :)
19. යෝගියාගේ සටහන්
යෝගිත් අපේ ගොඩක් සොයුරන් සේ මැදපෙරදිග රැකියාව කරන සොයුරෙක් වගේ තමයි මට මතක. හිමින් ගලාගෙන යන ශෛලියකින් යුතු ලිපි තිබුණා වගේත් මතකයි. කොහොම වුනත් ලඟදී නම් ලියැවිලා නැහැ.
20. මැගි ආච්චි (ක්ලික් කලාට වැඩක් නැත. කථා නැත. වෙබ් අඩවිය වෙළඳ දැන්වීම් වලින් පිරී ඇත.)
මේත් මං කැමති ම ලිපි තිබුණු බ්ලොග් අඩවියක්. ආච්චි කෙනෙක් වගේ අද සමාජය දකිමින් මේ ලිපි ලිව්වේ ප්‍රියංකා අමරතුංග නොහොත් මලින්ත සමරකෝන්ගේ මැණියන්. දැන් යාවත්කාලීන නොවනවා පමණක් නොවෙයි, වෙබ් අඩවිය කල් ඉකුත් වූ අඩවියක් බවටත් පත් වෙලා.
මේ අඩවි වලට අමතරව තරිඳු නම් වූ සොයුරෙක් තමන් පැවිදි සමයේ ගතකරපු ජීවිතය අලලා ලියපු බ්ලොග් අඩවියක් තිබුනා. ඒ කාලේ මට ඒ ලිපි හරිම පුදුමයක් වුනා. ඒ බ්ලොග් අඩවියේ නම මට මතක නැහැ. තවත් බ්ලොග් විශාල ප්‍රමාණයක් ගැන මතක බිංදු හිතේ තිබුණත් ඒවා සොයා ගන්නට තරම් තිබෙන මං සලකුණු මදි.
මුල් කාලීන ව බැලුවොත් බොහොම දෙනා එකිනෙකා නොහඳුනන, තමන්ගේ සිතුවිලි හිතේ හැටියට විහිදුවා හරින්න පුළුවන් බ්ලොග් රචකයින් රචිකාවියන් ව හිටියා. ඒත් පසු කාලීන ව එකිනෙකා හඳුනා ගනිමින්, බ්ලොග් සමාජයේ සමාජිකයින් සැබෑවට ම හමුවෙමින්, කථාබහ කරන්නට පටන් ගත් පසු බොහොම දෙනෙකුට තමන්ගේ තිබුණු අනන්‍යතාව මත හිඳගෙන ලිපි ලියන්න බැරි බවක් ඇති වුනා. මෙහි කියැවෙන සමහර අඩවි වලට එහෙමත් වෙන්න ඇති.
ඒ අතරට ඉස්සර හිතපු ආකාරයට වඩා වෙනස් අයුරකින් දැන් සිතන පතන අයටත් තමන්ගේ පරණ බ්ලොග් අඩවි සමහරවිට කම්මැලි කමක් දනවනවා විය හැකියි.
තවත් කෙනෙකුට හැල්මේ දුවන ආර්ථික රේස් එක නිසා බ්ලොග් අඩවියක් වැනි දේකට මිඩංගු කරන්නට කාලයක් ඉතිරි ව නැතුවා ද විය හැකියි.
ඉගෙනීමේ කටයුතු, ගෙදර දොර කටයුතු ආදී නොයෙකුත් දේ නිසා ද අන්තර්ජාලයක් කියා දෙයක් තියේදැයි අමතක වූ උදවිය ද සිටිය හැකියි.
කොහොම නමුත් බ්ලොග් ලෝකයේ එක්තරා පරිච්ඡේදයක දී අප සිත් තුටු පහටු කරපු, හිතන්නට යමක් එක් කරපු, සංවාදයට කරුණු ගෙන ආපු නුඹලාගේ අඩුව යම් යම් විට මට දැනෙනවා. තවත් අයට දැනෙනවා ඇති. හැකි නම් පැමිණ මේ අඩෙවි වලට නැවතත් පණ දෙන්න. එය අපටත් ඔබටත් සතුටක් ගෙන ඒවී. (මෙහි දැක්වෙන අඩවි දෙකකට මේ ඉල්ලීම වලංගු නොවීම කණගාටුවට කාරණයකි. එහෙත් ඔවුන් දෙපල අප සිත් හී සටහන් කල මතකයත්, සයිබර් දැහැන මත සටහන් කල වදන් වැල් පෙළත් තව බොහෝ කාලයකට නොමැකී තියේවි)