Thursday, August 1, 2013

207. ගුරුවරියක සමඟ මගේ ජීවිතය - 5 - සූරයන්ගෙත් සූරයා, බුදු හාමුදුරුවන්ගේ බැටරිය සහ අමා ව්‍යාපෘතිය


දැනට අපෙ උන්නැහෙ එක්ක මම ගත කරපු ජීවිතේ ගැන කොටස් හතරක් ලිව්ව...

1. දණ ගැස්සවීම, පී.ටී. මැඩම්ගෙ ගෙදර ඉන්න එක්කෙනා සහ වෙනත් ආරළු බූරළු...

2. ගුරුවරියක සමඟ මගේ ජීවිතය සහ ටී රෙක්ස්ගෙන් පණ බේරාගෙන...

3. ගුරුවරියක සමඟ මගේ ජීවිතය - මදුරු සංහාර මෙහෙයුම

4. ගුරුවරියක සමඟ මගේ ජීවිතය - කොලපත් බත් ගෙඩි, ඉඹුල් කිරිබත්,.........

අම්මප මේ ගුරුවරී එක්ක මගේ ජීවිතය කතාව ලියාගෙන ඇවිල්ල නැවැත්තුවෙ අර පොඩි එකා මතකයි නේද ...අසිත ඒකගෙ නම.... අන්න ඒ පොඩි එකාට බොගක් සෙට් උන තැනින් නෙවද?....හරි.... ඒ බුට්ට .....බුට්ට කියන වචනෙ අහල තියනවද? නුවර කලාවිය පැත්තෙ එච්චර උස මහත නැති එවුංට කියන්නෙ බුට්ට කියල..දැං ඔන්න අහන්න නං එපා නුවර කලාවිය කියන්නෙ කොහෙද කියල...හරි ..ඒකත් දන්නෙ නැති උදවිය ඇති නෙව..එහෙනං ඔන්න මෙහෙමයි හොඳද?.....

නුවර කලාවිය කියන්නෙ අනුරාදපුරේ නුවර වැව, එතකොට කැකිරාව කිට්ටුව තියෙන කලා වැව සහ වවුනියාවට නැගෙනහිරෙන් තියන පදවිය වැව ...ඔන්න ඔය කියන වැව් තුනෙං දළ වශයෙන් මායිං වන භූමි ප්‍රදේශය. ඒ වැව් තුනේ නම් වලින් කෑලි අරගෙන තමයි ඔය නුවර කලාවිය කියන වචනෙ නිර්මාණය උනයි කියල කියන්නෙ.නුවර වැවෙන් නුවර..කලා වැවෙන් කලා...පදවිය වැවෙං විය..නුවරකලාවිය..අන්න බලන්න මොන තරම් අපූරුද?

ඔහොම එක එක ගම් වලින් එතකොට නගර වලිං කෑලි නැත්තං මුල් අකුරු අරගෙන එක එක ව්‍යාපෘති වලට නම් දාන එක බොහොම ජනප්‍රිය සම්ප්‍රදායක්...අර ඒ දවස්වල...මම මේ කියන්නෙ හැත්තෑව දශකයෙ රේඩියෝ එකේ නිතරම ප්‍රචාරය වෙච්ච වෙලඳ දැන්වීමක් තමයි චිරාගත ජනප්‍රියත්ව සම්ප්‍රදායෙන් චිත්‍රපට ලෝලී ඔබ වෙත වෙනින් කවුරුත් නෙවෙයි ලෙනින් මොරායස්ගේ හතර දෙනාම සූරයෝ....ලෙනින් මොරායස් ගැහුවෙ ඔක්කොම සූරයො ගැන චිත්‍රපට....හතර දෙනාම සූරයෝ..සූරයන්ගෙත් සූරයා..එදත් සූරයා අදත් සූරයා...සූරයා සූරයාමයි..සූර චෞරයා.. චුට්ටේ නොහොත් චණ්ඩියා....

ඔව්වගෙ වැඩි හරියක් හිටියෙ ප්‍රධාන චරිතය ගාමිණී ෆොන්සේකා...ඒ දවස්වල තිබ්බ විශේෂයෙන්ම පෙර යොවුන් වියේ ( Pre-teenage ) හිටපු අපි අතර බොහොම ජනප්‍රිය කොටු කොටු දැල් බැනියමක්..ස්කිනී කියලයි අපි ඕකට කිව්වෙ. ඕකක් අරං දෙන්න කියල කොච්චර නහයෙං ඇඬුවත් අපෙ අම්ම සත පහකට ගණං ගත්තෙ නෑ මයෙ අඬෝ වැඩියාව..

" පිස්සුද ඔයාට?..එව්ව මේ රස්තියාදුකාරයො හැපිචෝල් කාරයො අඳින එව්ව.ඔයා එව්ව අඳින්න ඕන නෑ…" 


 

මගෙ යාලුවො දෙන්නෙක් හිටිය එවුන්ට නෑ එහෙම තහනමක්...පිචර් එක බලන්ට උං එන්නෙ ඔය ස්කිනී එව්ව ඇඳගෙන උඩිං සේට් එක දාගෙන...හෝල් එක ඇතුලදි එවුං සේට් ගලෝනව...මට ඉතිං ඊරිසියාවෙ බෑ...පුපුර පුපුර බලාඉන්නව.ඔය සූරයා නොහොත් චණ්ඩියා ශානරයෙ ෆිල්ම් වල ගාමිණී වලියට එන්ටර් වෙන්නෙ අර මම කිව්ව ස්කිනී එක ඇඳල බෙල්ලෙ පොඩි සුරයක් දාල සරම කැහැපට ගහගෙන එහෙම. ආය මොනවද? ගාමිණී සරම කැහැපොට ගහන කොට අපි දන්නව ඊළඟට එන්නෙ නැව් ගුටි මුරයක් කියල.අපි නේද? අපි විතරක් නෙවෙයි හෝල් එකෙං බාගයක්ම සීට් වලිං නැඟිටිනව හෝල් සේල් එකේ.

ඒ කරල දකුණු අතේ මාපට ඇඟිල්ලයි දබරැඟිල්ලයි කටට දාල දිව නවනව. ඒ කරල දෙනව විසිල් එකක් මොනවද ආය හෝල් එක එකනින්නාද වෙන්ට..හෙහ්, හෙහ්,සමහරු එක දිගට දෙනව විසිල් එක විනාඩි තුනක් හතරක්..එක පාරක් වැඩේ නැඟලම ගිහිල්ල ෆිල්ම් එක නැවැත්තුව කට්ටිය හිතේ හැටියට විසිල් ගහල ඉවරයක් වෙල ආපහු ඉඳගන්නකල්. ඔය වැඩේ දිගින් දිගටම ගිහිල්ල පැය දෙකාමාරෙ ෆිල්ම් එක එදා මම හිතන්නෙ පැය තුනකටත් වැඩිය දිව්ව.

ඔහොම ඔන්න එක දවසක් ඒත් ඔය වගෙ සීන් එකකදි ගාමිණී සරම වලාපොට ගහගන්න කොටම මම නැඟිට්ට දිවත් නමාගෙනම..ඒත් මගෙ යාලුවොවත් වෙන කවුරුවත් නැඟිට්ටෙ නෑ...මම දිවත් ආපහු දිගඇරගෙන බැලුව වටපිට පුදුම වෙලා මේ මොකද බොලේ මේ? කෝ අද සූරයට චියර් එක කියල

" ඉඳගනිං හු** , ඉඳගනිං... ඔතන ගාමිණී කනව වට පෝරියල්..පස්සෙයි නැඟිටල වටේටම නෙලන්නෙ.." මගෙ යාලුව කියාපි

මම පුටුවෙ ඉඳල මකුණෙක් කාල නැඟිට්ට විදිහට…." ෂික්..මෙ පුටුවලට මකුණු බෙහෙතුත් අපිටම ගෙනල්ල ගහ ගන්නයි වෙලා තියෙන්නෙ " ….. වටේ පිටේ අයට ඇහෙන්ටත් එක්කම කියල හිට මම මීය වගෙ සද්ද නැතුව ආපහු ඉඳගත්ත මම නෙවෙයි වගෙ…

" උඹ කොහොමද දන්නෙ සීන් එක? " යාලුවගෙ කණට කරල ඇහුව.

" අපෙ ලොකු අයිය ඊයෙ මේක බැලුව ඌ තමයි කිව්වෙ "

ඔහොම නැවකට ගුටි කාල ආයෙත් මේ උදේ පාන්දර ආතල් හීනයක් එහෙම බලල ඇඳෙං බිමට බහිනව වගෙ කිසි ගණිච්චියක් නැතුව නැඟිටල උරෙස්සෙ වැලි එහෙම පිහදාල හිට කොණ්ඩෙත් පොඩ්ඩක් ක්‍රේල් කරල එහෙම හදාගෙන අර මෙච්චර වෙලා වටකරගෙන නෙලපු උංට විලුඹු තට්ටං වල වැදි වැදි දුවන්ට පෝරියල් එක දෙන සීන් අනන්ත ඔය ෆිල්ම්ස් වල තිබ්බ ඒ දවස්වල.

හැබැයි එහෙම වෙන්ට පොඩි පූර්ව කොන්දේසියක් පරිපූර්ණ වෙන්ට ඕන. ඔන්න ගාමිණී ගුටි කාල වැල්ලෙ නැත්තං කුඹුරක වැටිල ඉන්නව. ඔන්න මිනිහට ඇහෙනව එක්කො එයයිගෙ අම්ම නැත්තං පෙම්වතිය අර මැරයො පැහැරගෙන යනව..මිනිහට හරියට නෑ සිහියක් පතක්...අපි ඉතිං ගල් ගැහිල බලා ඉන්නව පුටුවෙ ඉස්සරහටම වෙලා කටවලුත් ඇරගෙන.

අම්ම නම් ඔන්න ගාමිණී දිහාට හැරිල කෑ ගහනව " මගෙ පුතේ ඒ ඒ ඒ ඒ ඒ " ..කියල. කෙල්ල නම් ( බොහෝ විට මාලිනී තමයි ) කෑගහනව විජේ..හරි සමරේ හරි...ජයේ හරි මොකක් හරි ගාමිණීගෙ පිච්චර් එකේ නම කියල.... අපි හිතමුකො සමරෙ කියල " සමරේ...රේ..රේ..රේ "

ඔන්න මේ කබරය පොලවෙ ගැහුව වගෙ වැටිල ඉන්න මනුස්සයට හීනෙං වගෙ ඒ සද්දෙ ඇහෙනව...ඒකෙ ඉෆෙක්ට් එක වැඩි වෙන්ට පොඩි දෝංකාරෙකුත් දාන්ට ඕන..එව්ව නියමෙට කරනව ඩබිං වලදි..." සමරේ...රේ..රේ..රේ " සමරෙ ඔළුව උස්සල බලනව...මිනිහට පේනව සින් එක...දෙතුන් පාරක් ඔලුව එහාට මෙහාට ගස්සනව...ඒ කරල නැඟිටල සරම වලා පොට.....හෙහ්, හෙහ්....ඊට එහා මොනවද ඉතිං...ඊට කලිං අපි ඔක්කොම නැඟිටිනව...කං බීරි වෙනව විසිල් සද්දෙං...සමරෙ දෙනව අරුං ඔක්කොටම රිඹ යන්ට..... .

මේ විනාඩි දෙහෙකට ඉස්සර උංගෙම්ම ගුටි කාපු මිනිහ...දෙන්නෙ අම්මගෙං බීපු කිරි කටිං එන්ට...හෙහ්, හෙහ්, ඔන්න ඔක්කොම හරි වීරයා ජයග්‍රහණය කලා. තිරය වැසුනා. ආලෝකය නැවතත් දැල්වුනා. අපිත් දිවවල් එහෙම හිරිවැටිච්චා දිගඇරගෙන එනව හෝල් එකෙං එලියට හීනෙං ඇවිදිනව වගෙ. හැබෑටම අද ඩී.වී.ඩී. එකක් ගෙනල්ල දාගෙන ලැප් එකෙන් බලල කවදාවත් ඒ වින්දනය ලබන්ට බෑ.මොනව කරන්ටද? කලින් කල පලින් පල කිව්වලු..හැමදේම වෙනස් වෙනව නෙව ඒක වලක්වන්ට පුළුවනෑ සක්කරයගෙ අර කවුද පුතාටවත්...

ඔය විසිල් ගැහිල්ලෙ සීන් එක මට දැන් බෑ හරියකට. මේ පහුගිය පාර ගෙදර ගිහාම අපෙ උන්නැහැගෙ අක්කගෙ පුතණ්ඩිය.... ඕකට හයක් ඇති වයස ඕනනං…

" බාප්පෙ ඔයාට පුළුවන්ද මෙහෙම විසිල් ගහන්ට? " කියල දිව නමල ගහපු ගැහිල්ලක්... මයෙ කං දෙක කීං ගෑව..

" හුහ්, ඉඳපං උඹට කියල දෙන්ට විසිල්ගහන්ට " කියල මමත් දිව නමල දුන්න ට්‍රයි එකක්..මොන විකාරද?නිකං යන්තමට ෆූස් ගාල සද්දයක් ආව විතරයි..පාණ්ඩුව හැදිච්චි නයෙක් පිඹින්නැහෙ..වස ලැජ්ජාව මට…

ඊට දවස් දෙහෙකට වගෙ පස්සෙ නුවර ගිය වෙලාවක චම්පා එක ඉස්සරහ පේව්මන්ට් එකේ විකුණනව මෙන්න බොලේ බඩු..පොඩි විසිල් දිව යට තියාගෙන පිම්බම අප්පට සිරි කණ කඩල යන්ට එන්නෙ සද්දෙ. මම ගෙනාව ඕකක්...ඊට පස්සෙ කොහෙද පොඩි එකා මා එක්ක විසිල් ගහන්නෙ..හෙහ්, හෙහ්,.... ඌ පුදුම වෙලා බලා හිටිය මා දිහාවෙ කටත් එක්ක ඇරගෙන... ඌට අදහාගන්ටම බැරිවෙන්ට ඇති බාප්ප කොහෙන්ද මෙහෙම විසිල් ගහන්ට ඉගෙන ගත්තෙ කියල.

මම හැබැයි කොල්ලට ඇත්ත සීන් එක කිව්වෙ නෑ. කිව්වනං ඕකටත් ඕක ඕන වෙනව...කටේ දාගෙන ඉන්දැද්දි ඕක ගිලිල උගුරෙ වත් හිර උනොත් මළ කෙලියයි..ඒ නිසා මම ඌට ඒ ගැන මොකවත්ම කිව්වෙ නෑ. 


ඔය පොඩි එකා හෙණ අන්ඩපාලය..ඔන්න ඒක එක්ක ගිහිල්ල මට වෙච්ච තව සීන් එකක්...

අපෙ උන්නැහැලගෙ ගෙවල් පහුකරල කන්ද උඩට ගිහාම තියනව පන්සලක්. ඔය පන්සලට මාසෙකට සැරයක් දෙන සීට්ටු දානෙ වැටිල තිබ්බෙ මම එහෙ ගිහිල්ල හිටපු දවසක. හීල් දානෙ පහුවදා උදේට ගෙනිහිල්ල දෙන්ට ඕන භාජන අරගෙන එන්ට මම හවසක ගියා පන්සලට..

" බාප්පෙ මාත් එනව…" කියල මේකත් වැටිච්චි මා පස්සෙ...පන්සලේ පොඩි හාමුදුරුවංගෙං භාජන ටික අරගෙන එන්ට හැරුනාම ඔන්න ලොකු හාමුදුරුවො දැක්ක මාව..ඔය ලොකු හාමුදුරුවො අපෙ උන්නැහෙගෙ අප්පච්චිගෙ ලඟම නෑදෑයොත් වෙනව.....

" ආ..මහත්තය ..හුඟ කාලෙකින් දැක්කෙ?...ඉතිං කොහොමද වාස දේස? " කියල වං හුං එහෙම අහල…

වං හුං කියන වචනෙ තේරුම දන්නවද? වන් කිව්වම ගිය කියන තේරුම එන්නෙ. හිරු අවර ගිරට වන් කල්හි..අන්න එහෙම..එතකොට හුන් කියන්නෙ හිටපු...බුදුන් වහන්සේ වැඩ හුන්...එතකොට වන් සහ හුන් කියන්නෙ ගියපු සහ හිටපු තැන් කියන එක...වං හුං හොයනවය කියන්නෙ ඒක යමෙක් ගියපු තැන් සහ නැවතිල හිටපු තැන් හොයනවය කියන තේරුම තමයි එන්නෙ...

දකුණෙ පාවිච්චි වෙනව වන්න හුන්න කියලත්..අපෙ ආතම්ම ..අප්පච්චිගෙ අම්ම කියනව මට මතකයි.." අනේ නිකා ඉන්ට කියාපල්ල..උන්දලාට මොකටෙයි අපෙ වන්න හුන්න? "

ඉතිං ලොකු හාමුදුරුවො මගෙ වං හුං එහෙම අහල " මහත්තය එහෙනං යමුකො සෙත් පිරිත් ඩිංගක් වත් කියන්ට " කියල විහාරගෙට එක්කං ගිහිල්ල සෙත් පිරිත් එහෙම කිව්ව.

මම ඒ කරල හාමුදුරුවංට වැඳල කාරිය එන්ට පිටත් වෙලා බැලින්නං පොඩි එකා බොහොම උනන්දුවෙං බලාන ඉන්නව බිත්තියෙ තිබ්බ චිත්‍රයක් දිහාවෙ.බුදු හාමුදුරුවො සපිරිවරින් පිඬු සිඟා වඩිනව...

" මොනවද පුතා ඔය හැටි බලා ඉන්නෙ?....."
මම ඇහුව දාන මාන භාජන ටික අතට ගන්න ගමං..

" නෑ බාප්පෙ මම මේ බැලුවෙ බුදු හාමුදුරුවො බැටරිය කොහෙද ගහගෙන ඉන්නෙ කියල..සිවුර අස්සෙ වෙන්න ඇති නේද?..." පොඩි එකා තවත් උනන්දුවෙං බලනව චිත්‍රෙට බොහොම කිට්ටු වෙලාම...විහාරගෙයිං පිටවෙන්ට ගිය ලොකු හාමුදුරුවොත් මම දැක්ක නැවතිල ආපහු හැරුන…

" බැට්රියක්?....ඒ මොකක්ද බැට්රියක්?....මොකක්ද ඒ බැට්රි කතාව? කවුද එහෙම එකක් ඔයාට කිව්වෙ ? " මම එක දිගටම ඇහුව..මේ මොකක්ද මේකා කියන්නෙ කියල හිතාගන්ට බැරුව.

" නෑ බාප්පෙ..මේ බුදුහාමුදුරුවංගෙ ඔලුව වටේ තියෙන පාට පාට බුදු රැස් මාලාව කරකවන්ට බැට්රියක් එපාය ..ඒක කොහෙද තියෙන්නෙ කියලයි මම මේ බැලුවෙ…" ලොකු හාමුදුරුවන්ටත් මැරෙන්ඩ හිනා උගෙ කතාව අහල.

ඒ වෙනකොට වෙසක් පහුවෙලා මාසයක් දෙකක් වගෙ ගිහිල්ල තිබ්බෙ. මම ගිය දවසෙම පොඩි එකා මට පෙන්නුව බුද්ධ රූපයකට ටෝච් බැටරියකින් කරකැවෙන බුදු රැස් මාලාවක් හයි කරල හදාපු පොඩි තොරං රාජයෙක්..

" බාප්පෙ මේක අප්පච්චියි මායි හැදුවෙ…" ….මිනිහ කිව්වෙ බොහොම ආඩම්බරෙං.

මම මුලින්ම අර ව්‍යාපෘති වලට නම් දැමිල්ල ගැන කියාගෙන ආවෙ පොඩි කතාවක් කියන්ට හිතාගෙන.... ඉන්ටකො ඒකත් කියලම ඉන්නං එහෙනං….

ඔය එක එක ව්‍යාපෘති වලට අමුතු අමුතු නම් දානවනෙ නගර වල ගම් වල නම් වල කොටස් එකතු කරල...මේ සිද්ධිය උනේ අනූ හතරෙ පොදු පෙරමුණ ආණ්ඩුව බලයට පත් වෙච්ච අලුත. ඔන්න ඉඩම් වලට ඔප්පු ප්‍රදානය කිරීමේ වැඩ පිළිවෙලක් පටන් ගත්ත, මට මතක විදිහට එතකොට හිටිය ඉඩම් ඇමති, දැනට අගමැති දි.මු. ජයරත්න මහත්මයගෙ ප්‍රධානත්වයෙන්...

ඕකට නම දාල තිබ්බෙ අමා ව්‍යාපෘතිය කියල...මම සේවය කරපු ආයතනය තමයි අපේ බල ප්‍රදේශය තුල ඉඩම් සම්බන්ධ කටයුතු ඔක්කොම කලේ. ඒ නිසා අපිටත් සම්බන්ධ වෙන්ට උනා ඔය අමා ව්‍යාපෘතියට.

ඔන්න සෙනසුරාද දවසක උදේ තිබ්බ අමා ව්‍යාපෘතිය සම්බන්ධව දැනුවත් කිරීමේ රැස්වීම.අළුතෙන් රජයක් පත්වුනු ගමම්මනෙ. මම හිතන්නෙ කොලඹින්ම ආව ලොකු නිලධාරීන් රොත්තක් පත ටයි එහෙම පැළඳගෙන. ඇවිල්ල බොහොම බරසාර දේසනා එහෙම කලා මේ ව්‍යාපෘතියෙ පරමාර්ත මොනවද?..මේකෙ මුඛ්‍යඵල කාර්ය සාධනය කරන්නෙ කොහොමද?...තීරණාත්මක ප්‍රවේශය බලගන්වන්නෙ කොහොමද? රටේ නැති එව්ව..

සෙනසුරාද අපිට වරුවයි වැඩ..අපි මේ ගෙදර යන්නෙ කොයි වෙලාවෙද කියල ඉන්නෙ, ඔය මම බඳින්ට කලින්..සෙනසුරාද සාමාන්‍යයෙන් දින චරියාව මෙහෙමයි..සෙනසුරාද උදේ අපෙ තියනව රැස්වීමක්.. පහුගිය සතියෙ ප්‍රගතිය සමලෝචනය, ඉදිරි සතියේ කල යුතුදේ තීරණය කිරීම ඔව්ව තමයි ඔය රැස්වීමෙ පරමාර්ථ.. ඊට පස්සෙ අපි කට්ටිය කිට්ටුව පාත තියෙන කාගෙ හරි ගෙදරකට සෙට් වෙලා පොඩි අඩියක් එහෙම ගහල බත් ඩිංගකුත් කාලම තුනට වගෙ නගිනව බස් එකට..මේ ආතල් එක කැඩෙන නිසා මේ අමා මඟුල ගැන අපි ඔක්කොටම මල පැනලයි හිටියෙ.

ඔන්න යන්තං දේසනා ඉවර උනයි කියමු. මම බැලුව ඔරලෝසුව...දොළහට කාලයි..අවුලක් නෑ තව වෙලාව තියනව..

" හරි අමා ව්‍යාපෘතිය පිළිබඳ පැහැදිළි කිරීම අවසානයි. මම හිතනව ඔබ සියල්ලන්ටම මේ වැඩ පිළිවෙල බොහොම අපූරුවට වැටහෙන්ට ඇතිය කියල. ඒත් මොනව හරි ගැටළුවක් තියනව නම් කරුණාකරල අහන්ට . අපි ලෑස්තියි පිළිතුරු දෙන්ට.." කොළඹිං ආපු ප්‍රධාන නිලධාරි මහත්මය බොහොම ප්‍රිය ජනක විදිහට හිනා උනා අපි ඔක්කොගෙම මූණ බලල.

ප්‍රශ්න අහන්ට නෙවෙයි අපි මේ එතනිං පැනගන්නෙ කොහොමද කියල ඉන්නව ඇඟිලි ගැන ගැන..අපි එකෙක්වත් නැඟිට්ටෙ නෑ..කියපු දේවල් ඔක්කොම සක් සුදක් සේ පැහැදිලි උනා වගෙ කරබන උන්න අපි හැමෝම.

උසස් නිලදාරි මහත්තය සිනාමුසු මුහුණින් බලා ඉන්නව..ඔන්න විනාඩියක් විතර ගෙවිල ගියා. අපි හැමෝම බිම බලාගෙන..

" හරි එහෙමනං ප්‍රශ්න මොකවත්....."'....නිලදාරී තුමා එහෙම කියනකොටම ඔන්න පුටුවක් පොළවෙ ඇදෙන සද්දෙ ඇහුන. ඔක්කොමල හැරිල බැලුව. ඒ අපේ ප්‍රජා සංවර්දන නිලදාරී මහත්මය. මිස්ට විජේපාල...වයස එතකොටත් පණස් පහත් පැනල..කොයි වෙලෙත් කටේ අලි හපයක්.ඕක නිදා ගන්නකොටත් කටේ කියලයි අපෙ කොල්ලො කියන්නෙ...මේ ලොක්ක මොනව අහන්ට යනවද මංද?....සද්ද නැතුව ඉන්නෙ නැතුව...විජේපාලට හිතිං බැණ බැණ අපි බලං හිටිය මොනවද මේ ලොක්ක අහන්ට යන්නෙ කියල...

විජේපාල මහත්තය දකුණු හක්කෙ තියන විට වම් හක්කට මාරුකරගත්ත...දෙතුං පාරක් කට එහෙම රවුං කරල හැපුව විටේ...උසස් නිලදාරී මහත්තය දිහා බලාගෙන කතාකලා කටේ දකුණු පැත්තෙං…

" මහත්තයො මට එක ප්‍රශ්නයක තියනව.."

" ඔව්..මහත්මය අහන්න බලන්න ඔබේ ප්‍රශ්නය.."

" ප්‍රශ්නෙ මේකයි. ඔය ව්‍යාපෘතියට  අමා කියල නම ලැබුනෙ කොහොමද?
"

උසස් නිලධාරී මහත්මය බොහොම සුන්දර විදිහට හිනා උනා..

" ඇත්තටම හොඳ ප්‍රශ්නයක්..මට පුදුමයි මේ වෙන කාටවත් ඒ ප්‍රශ්නෙ මතු වුනෙ නැති එක. හරි ඒ නම හැදුනෙ මෙහෙමයි..අපි මුලින්ම මේ කර්තව්‍යය පටන් ගත්තෙ අනුරාධපුර සහ මාතලේ යන නගර මුල්කරගෙන. ඒ නම් දෙකේ මුල් අකුරු වලින් ඒ කියන්නෙ අනුරාධපුරෙන් අයන්නත් මාතලෙන් මා යන්නත් අරගෙන තමයි අමා කියල අපි නම් කලේ.."

විජේපාල මහත්තය ආයෙම විට වම් හක්කෙ ඉඳල දකුණු හක්කට මාරුකලා. කට රවුම්කරල විට හැපුව . මේ පාර කතා කලේ කටේ වම් පැත්තෙං

" හොඳ වෙලාවට ඔය මහත්තැංලට හිතුනෙ නැත්තෙ මේ වියාපුරුතිය හුන්නස්ගිරියෙනුයි කාත්තාන්කුඩියෙනුයි පටන් ගන්ට. "

උසස් නිලදාරි මහත්තයගෙ හිනාව අතුරුදන් උනේ රෙදි කෑල්ලකිං පිහල දැම්ම වාගෙ. ඒත් එක්කම අපි ඔක්කොගෙම හිනාව එක පාරටම පිපුරුණා. ඒත් කිව්වට විස්වාස කොරන්ට. විජේපාල ලොක්ක එක හිනා කඳුලක්වත් නැතුව විටේ හප හපා හිටිය එහෙම්මම හිටගෙන.

පහුවදාම ෆැක්ස් එකක් ආව විජේපාල මහත්තයගෙ වැඩ තහනං කරල රාජ්‍ය සේවය අපකීර්තියට පත් කිරීම චෝදනාව..මාස දෙහෙකට විතර පස්සෙ විනය පරීක්ෂණයකුත් තිබ්බ.ඒත් සාමාන්‍යයෙන් අපෙ ආයතනයෙ ඔය විනය පරීක්ෂණ වලට සිද්දවෙන අනිවාර්ය ඉරණම ඒකටත් අත් උනා. දෙතුන් පාරක් පරීක්ෂණේ කල් යනකොට හැමෝටම ඕක එපා වෙනව. අනිවාර්ය ප්‍රතිඵලය චූදිතය නිදහස් වෙනව. විජේපාල මහත්තයට විරුද්ධ පරීක්ෂණයටත් ඒකම සිද්ද උනා. ඊලඟ අවුරුද්දෙ මිනිහ විශ්‍රාම ගියා.

හෙහ්..මේ වට වංගියෙ විස්තර ඔක්කොම කිව්වෙ අර පොඩි කොලුව අසිත ගැන කියන්ට ඇවිල්ල නේද?...

ඉතිං ඔන්න කොලුවට බොගක් සෙට් උනාය කියල මම කිව්වනෙ....හුහ්, කිව්ව නේන්නං ඈ බොල උඹ ඒක කියල දැං පෝයකුත් පහු උනා නෙවද?..අදවත් කියනවද.. ඒකා බොග දැම්මද නැද්ද කියල...හරි හරි ..තරහ අවසර...තරහ අවසර...

මම ඉතිං අපෙ උන්නැහෙට කිව්ව " මේ…. ඔය කොලුවට ඔයාට වැඩේ කරල තමයි පෙන්නන්ට වෙන්නෙ " කියල

" ඈ???..." උන්දැගෙ කටත් එක්ක ඇරුන.


මතු සම්බන්ධයි......

76 comments:

  1. //ඔන්න මේ කබරය පොලවෙ ගැහුව වගෙ//

    ගෙම්බා ඉටි තැටියේ ගැහුවා වගේ කියලයි අපි කියන්නේ!
    මේකත් නරකම නෑ.

    ReplyDelete
    Replies
    1. හෙහ්, එහෙම කියන්නෙ ගෙම්බො කපාපු පව් කාරයොනෙ ඩෝකින්ස්...අපි ඔව්ව කොරල නෑනෙ...:)

      Delete
  2. හා‌පො... ඔය ෆිල්ම්... මං නං ඕවා බලන්නේ හිනාවෙන්න විතරයි... ගුටිය වදින්න කලින් සද්දේ ඇවිල්ලා ඉවරයි.... හි හි...

    දැන් නං බුදු රැස් මාලාව රෙඩි මේඩ් තියෙනවා නේ... ඉස්සර ඕක හදාගන්න නටපු නැටිල්ලක්....

    මේක වාන්පතුලටත් හපන්ද කොහෙද... තව අපිව නෝන්ඩි කරන්න වගේ පරණ එක නැවත්තුව තැනත් මේකට ආනයනය කරලා අන්තිමට දාලා.. මේ රවියා නං.......

    ReplyDelete
    Replies
    1. //හා‌පො... ඔය ෆිල්ම්... මං නං ඕවා බලන්නේ හිනාවෙන්න විතරයි... ගුටිය වදින්න කලින් සද්දේ ඇවිල්ලා ඉවරයි.... හි හි...//

      කියල වැඩක් නෑ අප්පා ලේ පිරිසිදු කොර ගන්න නම් කියපු බෙහෙතක්.

      Delete
    2. //ගුටිය වදින්න කලින් සද්දේ ඇවිල්ලා ඉවරයි.// මට ෆිල්ම් එපා වෙලා තියන්නෙ ඕක නිසා.. ඒ මදිවට කියන දේ ඇහිල ටිකක් වෙලා ගිහින් තමයි කට හොල්ලනව පේන්නෙ.. මගෙ ඇහේ දෝසයක් ද මන්දා :D

      Delete
    3. හිරු,

      අනේ නෑ අප්පා...මේ කතා දෙක තුන නොකියම බැරිඋනා...අර කියන්නෙ කුල්මත් වෙනව කියල...අන්න එහෙම වෙන්ට වගෙ උනා. ඒ පාර ඔන්න ඔහෙ ඕන එකක්..බයිනවනං බැනපුවාවෙ..ඔය බැන්නට ඔවුං ඔය වල්පල් කියවන්ට ආසයිනෙ..කියල හිතල ලියල දැම්ම...

      Delete
    4. ලොකු ශානා සහ චන්දන,

      මේ වැඩේ සිද්දවෙලා පස්සෙ සද්දෙ ආපු සීන් එකක් ගැන මම ටික කාලෙකට ඉස්සර ලියපු කතාවක්...ඇත්තටම මේක කමෙන්ට් එකක්...

      මේක අපේ ලොක්කිගෙ ගමේ නාට්ටියක් පෙන්නද්දි වෙච්චි එකක්...

      ඒකෙ කෙල්ල වෙන කොල්ලෙක් එක්ක යාලු වෙලා කොල්ලගෙ අතටම අහු වෙනව...ඉතිං කොල්ල කොරන්නෙ ඉනෙං පිස්තෝලෙ ඇදල අරගෙන '' මම උඹව තියන්නෙ නෑ අද දුස්ට හැතිරි ඉඳා උඹට '' කියල වෙඩි තියනව...කෙල්ල '' බුදු අම්මෝ අයියෝ, අප්පෝ...'' කියල විලාප දීල මැරිල වැටෙනව..

      ඔතන හරියටම ඉඳා උඹට කියල වෙඩි තියනකොටම ඉස්ටේජ් එක පිටිපස්සෙ එකෙක් සැට් කරල තිබ්බ රතිඤ්ඤයක් පත්තු කොරන්ට...ඔය රතිඤ්ඤය බාරකරු මයෙ බුදු පිටා....මූයි මායි ඉස්ටේජ් එක පිටිපස්සෙ කාලක් ක්‍රියාකරමින් ඔන්න හිටියෙ කියාපංකො...වැඩේ නැඟල ගියයි කියලත් කියාපංකො..හෙහ්, හෙහ්,අපි දන්නෙ නෑ නාට්ටියෙ මක්ක වෙනවද කියල...ආතල් ද බ්‍රේව්...හෙහ්, හෙහ්

      ඒ අස්සෙ නාට්ටියෙ අදාල සීන් එකට ආව..කොල්ල පිස්තෝලෙ ඇදල අරං '' ඉඳා උඹට '' කියල වෙඩි තිබ්බ වගෙ ඇට් කොලා...කෝ?...ම්හු....වෙඩි සද්දයක් නෑ..නළුව මීටර් කාරය...ඌ යූස් යූස් කලා කිඩ්නිය..'' හ්ම්ම්.දුස්ට හැතිරී..තිගේ වෙලාවට මයෙ පිස්තෝලෙ පත්තු උනේ නෑ...අහෝ ලෝක පාලක දෙවියනි ඔබ වහන්සේලාත් මේ දුස්ට ඉස්ත්‍රීන්ට උපකාර කරන්නේ මන්ද?...අහෝ , අහෝ, අහෝ..'' කියල මහ හයියෙං කෑගහල එහෙම..මේ රචින්න ඉන් චාජ් ට ඇහෙන්ටයි මෙහෙම කෑගැහුවෙ...එහෙම ඇහිල මේ පාරවත් රචින්නෙ දායිද බලන්ට ..හෙහ්, හෙහ්,

      ඒ කරල '' ඉඳා තී මෙවර නම් මගෙං ගැලවෙනව බොරු '' කියල ආයෙම පිස්තෝලෙ දික්කරල වෙඩි තිබ්බ වගෙ ඇට් කොලා. ම්හු..ඒ පාරත් නෑ වෙඩි සද්දයක්...

      අහවල් වෙඩි සද්ද..ඉස්ටේජ් එක පිටිපස්සෙ රචින්න ඉන් චාජුයි මමයි පුල් ආතල්...කොත්තුවක් තිබ්බෙ බයිට් එකට...අරූ තව පොඩ්ඩෙං රචින්නෙත් ගන්නව බයිට් එකට ..යාන්තං මම දැකල ඒක බේර ගත්තෙ.

      දැං ආයෙම නාට්ටියට...දෙවෙනි පාරත් නෝ වෙඩි සද්ද...ඔන්න ටික ටික පෙරේක්සකය කනු කුනු ගාන්ට හිනා වෙන්ට පටං ගත්ත, නළුව හතර අතේ බලල දත් මිටි කාගෙන හෙමීට කිව්ව නිළියට..

      '' මේ ඕයි, මම දැං වෙඩි තිබ්බනෙ..තමුසෙ වැටිල මැරෙනවකො..මා දිහා බලා ඉන්නෙ කන්ට වාගෙ. ''

      ඔය නාට්ටි කොරද්දි පොඩි පොඩි ආතල් සීන් වෙනව අතට යටිං...නාට්ටියෙ අද්දියස්සය ඉන්නවනෙ..නාට්ටිය පුහුනුවීං පටන් ගද්දි අද්දියස්සයයි මේ කෙල්ලයි පෙරේමවන්තයො..ඒත් නාට්ටිය කරගෙන යද්දි අද්දියස්ස සැට් උනා ඇඳුං ආයිත්තං මහපු ගැටිස්සි එක්ක..ඕකට මේ නිලිය මල පැනල හිටියෙ..ඒකිත් බැලුව මේක හොඳ චාන්ස් එක නාට්ටිය කඩාකප්පල් කොරන්ට ...කියල ඒකිත් දත්මිටි කාගෙනම මෙහෙම කිව්ව.

      '' මැරෙන්නෙ කොහොමද හලෝ..තමුසෙ වෙඩි තිබ්බෙ නෑනෙ , තිබ්බ නම් කෝ සද්දෙ?''

      ඉතිං මොකද කරන්නෙ?..ඒත් නලුව මීටරේ කියල මම මුලිම්ම කිව්වනෙ...මිනිහට මතක් උනා ඉණේ තියනව කියල පිහියක්...

      ඇදල ගත්ත පිහිය..

      '' හෙහ්, තී මගෙන් බේරෙන්ට, පිස්තෝල ඕන නෑ මට තී මෙලොවින් තුරන් කරන්ට '' කියල පිස්තෝලෙ පැත්තක දාල ඇන්න කෙල්ලට පිහියෙං...නෑ, නෑ, බොලව් ඇන්නෙ නෑ...ඇන්න වගේ ඇට් කලා.

      මේ අකරතැබ්බ ඔක්කොම වෙන අතරෙ නාට්ටියෙ අද්දියස්සය ඒ ලඟ තිබ්බ කමතෙ ( නාට්ටිය පෙන්නුවෙ කුඹුරක ) අලුතෙන් සැට් වෙච්චි අංගනාවි එක්ක පේම ජවනිකාවක්..

      ඔන්න සහායකයෙක් දුවගෙන් ගිහිල්ල මූට කිව්ව සීන් එක,

      අද්දියස්සය දනි පනි ගාල දුවගෙන ආව අපි ඉන්න තැනට...

      '' මොකද යකෝ කොරන්නෙ?...මාව කන්ටද හදන්නෙ?...අරෙහෙ නාට්ටියෙ වෙඩි තියන සීන් එක ගිහිල්ලත් ඉවරයි..උඹල මෙතන කණමදයො වගෙ බොනව..''

      රචින්න ඉන් චාජ් මයෙ යාලුවගෙ කටත් ඇරුන බාගෙට.. '' අනේ අයියෙ සොරි...කියන්ට එපාය කලින්...කෝ බං මේ රචින්නෙ?...'' කියල ඔන්න රචින්නෙ පත්තු කරල වීසි කලා,

      ඩෝං...............

      හරියටම ඒ මොහොතෙම තමයි ඉස්ටේජ් එකේ නලුව කෙල්ලට පිහියෙං ඇන්නෙ...

      හූවක් ආවයි කියන්නෙ ආයෙ අහල පහල කඳු ඔක්කොම හෙල්ලිලා ගියා...

      '' මොකද බං අර හූ කියන්නෙ? .... '' එහෙම ඇහුවෙ මයෙ යාලුව..රචින්න පොර,

      '' කවුරු දන්නවද බං...සමහර විට නාට්ටිය නැඟලම යනව ඇති...පෙලක් උදවිය සන්තෝසෙටත් හූ කියනව නෙව..ඔය නරි හඳපානෙ හූ කියන්නෙ..අන්න ඒ වගෙ..මේ ඒකෙං ඇති වැඩක් නෑ..ගනිං ඔය බෝතලේ මෙහාට '' මම අත දික්කලා

      Delete
    5. හයියෝ.. අද නම් හිනා වුනා හොඳටම.. දවල් මේකෙ පරණ පෝස්ට් ටිකක් කියෙව්වා. (අර දල පහේ ඇතාගෙ කතාව එහෙම :D)

      පහුගිය කාලෙ මට රවි අයියව මග ඇරිල තිබුනෙ. ආයෙ නම් එහෙම වෙන්නෙ නෑ. ඇයි අප්පා.. මෙහෙම හිනා වෙන්න තියනව නම් සේරම ප්‍රශ්ණ මොහොතකට හරි අමතක වෙනව. ඒකම මදැයි..

      Delete
    6. අයියෝ රවියයියෙ.. ඔයා මාර කට්ටයා අප්පා... කොහොම හරි ඒ කතාවත් ඔයාගේ කර ගත්තා නේ... හි හි... ඔයා හොද නාට්ටි පිටපත් ලියන්නම තමයි... රජ කතාවක්ද ජන කතාවක්ද කටකතාවක්ද කුණු කතාවක්ද, ඕනේ එකක් ඔයාටයි ලොක්කිටයි වෙච්ච හැටියට හදලා ලියයි.. නේද...

      ( මං මේ කතාව කලින් අහලා තියෙනවා.. හැබැයි ඇම්ඩන්ගේ කතාවක් විදියට... හි හි)

      Delete
    7. හිරු,

      ඔය කිව්වෙ..ඔය කිව්වෙ..ඔන්න කිව්ව..ඔන්න කිව්ව..බොල කෙල්ලෙ...ඔය ඇම්ඩන්ගෙ කතා කියන එව්ව නිකං මේ ඕපපාතිකව ඇතිවෙන්නෙ නෑ..කවුරුහරි එව්ව ඉස්සොරෝම හිතල ප්‍රබන්ද කොරන්ට ඕන...උඹ හිතන්නෙ ඔය ඇම්ඩන්ගෙ කතා හදන්නෙ කවුරුය කියලද?...හෙහ්,හෙහ්

      Delete
  3. ඔය බෙට්ට බාන්නේ කවදටද

    ReplyDelete
    Replies
    1. හෙහ්, හෙහ්, ඉඳහං තව සුට්ටක් ඉවසල...

      Delete
    2. යකෝ දැං ඔය බෙට්ට සීසර් කරලා තමයි ගන්න වෙන්නේ. :D

      Delete
    3. ඔන්න කිව්ව..ඔන්න කිව්ව..ඔය කිව්වෙ ..ඔය කිව්වෙ...බෙටි කොහෙද බොල සීසර් කරල ගන්නෙ? සීසර් කරල ගන්නෙ බං අර කිඩ්නි ස්ටෝන්ස් නෙව...මූත්තරාසයෙ ගල්...බෙටි අයිං කරන ඔපරේසං එකට කියන්නෙ බං ඇපෙන්ඩික්ටමි.

      Delete
    4. මචං Vasectomy සහ Tubectomy මොනවද කියලා අපිට දැනගන්න පුලුවන් වෙයිද? හුටා anatomy කියලත් එකක් තියෙනවා නේද?

      Delete
    5. හෙන්රි,

      වාසෙක්ටමි කියන්නෙ නං බං අර වස්සොංගෙ කර අඹනව කියල කියන්නෙ අන්න ඒ වාගෙ වැඩකට.හෙහ්, හෙහ්...

      ටියුබෙක්ටමි කියන්නෙ මචං අදාල ඉස්තානය මහලම දානව. හෙහ්, හෙහ්, ඔන්න ටියුබෙක්ටමි ගැන මරු කතාවක් මතක් උනා . ඒක මෙතන කියන්ට දිග වැඩියි.....පෝස්ට් එකක්ම ලියන්නං...

      Delete
  4. වටේ ගිහින් ගිහින් ආයෙ පටන්ගත්ත තැනටම ඇවිල්ලනේ. අම්මප මේ පොඩි එකාගෙ බොගේ ගනන්.

    ReplyDelete
    Replies
    1. ඒකනෙ කියන්නෙ....කොහෙ ගියත් හරි තැනිං ඉවර කරල ඇති...අන්න එහෙමයි අපි දන්නවද?.....හෙහ්, හෙහ්,

      Delete
  5. ඔය ෆිල්ම් සීන් එක ගැන නම් ඕන තරම් ලියන්න පුළුවන්. මරු වැඩේ කියන්නේ. සුපර් මෑන්, බැට් මෑන්. බෙන් ටෙන්ලා ඔක්කෝම ඉඳිද්දි අපේ පොඩි එකා ගහගන්නේ ගාමිණි වගේ. පොර ඉස්කෝලේ වලි දාගෙන ආවම මට කියන්නේ ගැහැව්වා තාත්තේ ගාමිනි සීයා ගහනවා වගේ කියලා. මම ඌට කියලා තියෙන්නේ මාලනීලා, රවීන්ද්‍රලා ආච්චිලා සීයලා කියලා. නැත්තං ඔය කොහේදි හරි දැක්කාම අර ටී වී වල ඉන්න වේස කොල්ලෝ කෙල්ලො වගේ අයියෙ අක්කෙ කිව්වොත් අපට නේ හොඳ නැත්තේ ආයිබෝවංඩ.

    තාමත් චෙන්නේයි වල හෝල වල විසිල් ගහනවා, අඬනවා එක කෙලියයි. ෆිල්ම් එකෙන් භාගයක් බලන්න වෙන්නේ හිටගෙන. සින්දු යනකොට උනුත් නටනවා. මම නම් හිතන්නේ ළෝකේ හොඳම රසිකයෝ ඉන්නේ ඉන්දියාවේ කියලා.

    ReplyDelete
    Replies
    1. මේ මම ඒ කාලෙ ශ්‍රී සඟරාවක තිබිල කියවපු කතාවක්...මේක මේ ඔය කොහෙ හරි ෆිල්ම් හෝල් එහෙක වෙච්චි දෙයක්…

      ඒ ෆිල්ම් එකේ කතාවෙ ඉන්නව අම්මයි තාත්තයි දෙන්නම නැති පොඩි ළමයි දෙන්නෙක්. ළඟ ගෙදරකින් හැමදාම මේ දෙන්නට බත් එකක් පිඟානකට බෙදල වහල ගෙනත් දෙනව. එදා කතාකලාට ළමයි දෙන්නම නිදි නිසා ඔන්න බත් පිඟාන පිළේ තියල යනව. කොහෙද යන බල්ලෙක් මෙතනට ඇවිල්ල පියන පෙරලල බත් එක කන්ට හදනව.

      ප්‍රේක්ෂක ආච්චි අම්මෙකුට ඔන්න යස්සාරූඩ උනාලු මේකට. " දුප්….පරබල්ලා..අර අහිංසකයිං දෙන්නගෙ කෑම එක කන්ට තනනව දූප්.." කියල හැරමිටියෙං කෙලල ඇරල බල්ලට.. ඒක ඉස්සරහ හිටපු මනුස්සයෙක්ගෙ ඔලුවෙ වැදිල හෙණ ගිණි විජ්ජුම්බරයක් වෙලාලු සිද්ධිය කෙරෝලක් උනේ.

      අපි අනුරාදපුරේ ඉන්දැද්දි තමයි අජාසත්ත ෆිල්ම් එක ආවෙ..අම්මද බොල බලන්ට එපාය වැඩේ...උපාසක අම්මල සුදු ඇඳගෙන ලෑම්මාට්ටර්වල ඉස්සරහ පොල් මල් ගහගෙන එන්නෙ දොහොත් මුදුන් දීගෙන සදු සදු කියාගෙන...ෆිල්ම් එක පටංගත්තු වෙලාවෙ ඉඳල එක දෙබසක්වත් අහන්ට නෑ..සාදු නාදයෙන් මුළු හෝල් එකම ගිගුම් දෙනව...

      Delete
    2. හිනා කාලා මැරුණා බං කොමෙන්ට් එකට. හුජ්ජා අතකුත් ගහලා ඇවිත් මේක කෙටුවේ..

      Delete
  6. මේක නං යකාගෙ පදුරු තැලිල්ලක්... නියමයි ඈ... :)

    ReplyDelete
    Replies
    1. ස්තූතියි සාතන්...ඈ...:)

      Delete
  7. ලියමු ලියමු....

    ReplyDelete
    Replies
    1. අන්න ඒකනෙ ..ඔයාල ඔහොම කියනවනං මොකෝ බැරි?...ලියමු...ලියමු...

      Delete
  8. ඇත්තටම ඔය ව්‍යාපෘති වලට නම දාන්නෙ මොකාද දන්නෑ නේද?
    බුදුරැස් මාලා සීන් එකනං අපිත් ඒකාලේ ආසාවෙන් කරපු එකක් තමයි.

    අර පොඩි එකාව ඉස්පිරිතාලෙ ගෙනිහිල්ල වස්තියක්වත් කරන්න වෙනව දැං බෙට්ට එලියට ගන්න. :D

    ReplyDelete
    Replies
    1. ඉස්පිරිතාලෙ යන්ටම ඕන නෑ බොලේ..සන්ලයිට් කෑල්ලක් උල් කරල ගැහුවත් බඩු වැඩ කරනව...:)

      Delete
  9. බලමු ඊලඟ එකෙවත් බොග දායිද කියලා

    ReplyDelete
    Replies
    1. දානව..දානව..ඊළඟ එකේදි නම් අනිවා දානව...:)

      Delete
  10. @හෙන්රි,
    කලින් හෙන්රි කොමෙන්ටුවක ලියලා තිබුනා රවී කොහොමද පෝස්ටු ලියන්නේ කියලා..මම හිතින් බැන බැන හිටියෙ මේ වගේ රසවත් පෝස්ටු ලියන මනුස්සයෙකුටත් මේ වගේ කතා කියලා අපහාස කරනවනේ කියලා..
    හෙන්රි ඒ හිතින් බැනිල්ල මම අද ප්‍රසිද්ධියේම ඉල්ලා අස්කර ගන්නවා..!!
    ආධුනික බ්ලොග් ලියන්න්හට අත්වැලක් වෙන්න ඒ කොමෙන්ටුව මෙතන අලවනවා..

    Quote//
    Henry BlogwalkerApril 3, 2013 at 1:09 PM

    (ADD POST # HERE. විමලෙගෙ වාං පතුල් කතාව නොහොත්(ADD ANYTHING OTHER THAN VAAN PATHUL........

    (CUSTOMIZED FIRST PARAGRAPH HERE)
    හප්පච්චියෙ..මේ වාං පතුල් කතාව නිසාවෙං මම අහපු බැණුං කන්තරාවක්....හෙහ්, හෙහ්, එක්කො උඹ මේ කතාව කියාපං නැත්තං...නැත්තං ඒත් කියාපං...ඔන්න ඔහොම තමයි කට්ටිය මට බැණ අඬගැහැව්වෙ..ඔව්ව මට ගාණක් නෑ අප්ප...අර කම්මලේ බල්ල වගෙ තමයි. කච්චිය පිච්චියට ගියත් කම්මලේ බල්ල හෙළුවෙංය කියනවනෙ.අඩේ වැරදුනා වත්ද?....හෙළුවෙං හිටියෙ වෙල්ලාවෙ තිබ්බ බල්ල ද කොහෙද නේද? හරි හරි ඉන්ටලාකො සුට්ටක් ඉවසල හිට..ඔය බල්ලො ගැන යස අගේට දන්නෙ අපෙ ජානිස් ගොයිය. එයයිගෙං අහල කියඤ්ඤා හෙළුවෙං හිටියෙ කොයි බල්ලද, ඇඳුං ඇඳං හිටියෙ කොයි බල්ලදයි කියල...හරි එතකල් කියමු කතාව...මෙහෙම බල්ලො ගැන කියවන්ට ගියොත් අදත් මේ කතාව ඉවරයක් කොරන්ට වෙන එකක් නෑ වගෙ මට පේන්නෙ...



    ADD POST HERE
    IMPORTANT: ANY OTHER THING OTHER THAN THE VAAN PATHUL.



    CUSTOMIZED FINAL PARAGRAPH:
    IMPORTANT: APOLOGIZE FOR NOT WRITING VAAN PATHUL.
    MAKE ANOTHER EMPTY PROMISE.
    හප්පච්චියේ මදෑ.....වාං පතුල් ගැන කියන්ටයි ආවෙ ඒත් අන්තිමට කිව්වෙ ...තෝස් ලාම්පුයි, පොහොරියි, මුගටියොයි රටේ නැති එව්ව...හරි මොකද කොරන්නෙ?.....ලබන විඩේනං කියන එක කියනව.....වාං පතුල් ගැන…..දෙයියම්පල්ල
    -----------------------------------------------
    ඔන්න මචං මම උඹට වැඩේ ලේසි වෙන්න ෆෝර්මැට් එක හදලා තිබ්බා. උඹට තියෙන්නෙ මේකෙ අලවන්න විතරයි. අපි එහෙම තමයි. යාලුවන්ට උදව් කරන්න ගියාම...

    //Unquote

    ReplyDelete
    Replies
    1. හිතිං බයින එව්වයෙ ආය ඉල්ලල අස්කරගංට මොනවද බොල තියෙන්නෙ? එහෙනං බොලාට මම බයින විදිහට මට වෙන කිසි දෙයක් කරන්ට වෙලාවක් ඉතුරු වෙන එකක් නෑ..ඉල්ලා අස්කර අස්කරම තමයි ඉන්ට වෙන්නෙ..:)

      Delete
    2. @රූ: අන්න රූ බලන්න ඔයාටත් පොඩ්ඩක් පහුවෙලා හරි ඒ සනාතන සත්‍යය අවබෝධ වෙච්ච ලස්සන. මම එදා ඕක කියලා මට සැලසුම් සහගත ප්‍රහාරයක් එල්ල කලානේ මේකා 'මගේ ඩෙනිම'ට, 'මගේ අමුඩේ', 'මගේ සරම' වගේ අපහාසාත්මක යෙදුම් හෙම යොදලා. Thanks Ru.

      @රවි: මේ පාරත් උඹ වරද්දලා ලියලනේ.

      >> ලොකු හාමුදුරුවන්ටත් මැරෙන්ඩ හිනා උගෙ කතාව අහල. <<
      "ලොකු හාමුදුරුවන්ටත් අපවත් වෙන්න හිනා උගෙ කතාව අහල," කියලා නිවැරදි වෙන්න ඕනෙ නේද?

      අනේ මන්දා අපි වගේ යාලුවෝ නැතිනම් උඹ මොනවා කරගනීද කියලා.

      Delete
    3. හෙන්රි,

      හෙහ් හෙහ්, තෑන්ක්ස් හෙන්රි තෑන්ක්ස්..මම මේ බැලුවෙ බොලා අවදානමෙං මම ලියන එව්ව කියෝනවද කියල....යර්ස්..ඕකේ..අවදානම විසිස්ටයි...

      එක පාරක් අපි ගියා මාතර පැත්තෙ මළ ගෙදරක...මම මේ කියන්නෙ අර වන අභ්‍යන්තරයේ රාජකාරි කරන සමයේහි...හෙහ්, හෙහ්,

      ආපහු එන ගමං ගාල්ලෙ අපෙ යාලුවෙක් හිටිය..උන්දලගෙ ගෙදර ගියා රෑට කන්ට...අප්පට සිරි...එතනනෙ වැඩේ..මූ මඟුල් ගෙදර වගෙ ලෑස්ති කරල..එතන නියම සීන්ස් එකකුත් උනා. ඒක වෙනම කියඤ්ඤංකො..

      රයිට් ...නකතං වෙන්ට දාගෙන අපි නැග්ග ජීප් එකට ආපහු එන්ට.ඩ්‍රයිවර් හිටියෙ ඇල්බට් අයිය. අපි ඕකට බොන්ට එහෙම එපා කිව්වට ඕක කොහොමත් හොරෙං දෙක තුනක් ඇණ ගන්නව. අපිත් පස්සෙ අල්ලල දාල නිකා හිටිය. ඌට වැඩිම උනොත් ඔහෙ කොහෙ හරි ගහක් යට නවත්තල එලි වෙනකල් බුදිය ගන්නවය කියල හිතල...හෙහ්, හෙහ්,

      යාලුවගෙ ගෙවල් කලේගානෙ..එහෙ ඉඳල ඇවිල්ල මහ පාරට දැම්ම විතරයි මෙන්න පාර පුරා පොඩි හාමුදුරුවරු..එක විස්සක් විතර...ඇල්බට් අයියට යකු නැග්ග…

      " මොන මඟුලක් කරනවද මන්ද මේ හු **** පුතාල පාර පුරා..ජීප් එකේ හැප්පිල අපවත් වෙන්ටද මන්ද හදන්නෙ? " ඔන්න ඔහොම කිව්ව මහ හයියෙං..

      " ෂ්ෂ්...ඇල්බට් අයියෙ..එහෙම කතා කරන්ට එපා..මොනව උනත් හාමුදුරු වරුනෙ...අපි නිසි ගවුරවේ දෙන්ට ඕන.." මම බොහොම අමාරුවෙං ඇස් දෙක ඇරගෙන කිව්ව...

      " හරි මහත්තය..මම ඒක දන්නව..ඒකනෙ මම කිව්වෙ අපවත් වෙන්ට හදනවද කියල...මැරෙන්ට හදනවය කියල මම කිව්වෙ නෑනෙ..දෙකක් දාල හිටියට පූජ්ජිය පක්සෙට ගවුරවය දෙන්ට අපි දන්නව..." ඕන්න ඇල්බට් අයිය කියාපු එක..

      " හරි, හරි ඇල්බට් අයිය හරි..පාර බලාගෙන එලවන්ටකො..නැත්තං අර කියාපු කාගෙද පුතෙක් මෙතනම අපවත් වෙන්ට බැරි නෑ.." මමත් බොහොම අමාරුවෙං කියා ගත්ත.

      Delete
  11. අර ව්‍යාපෘතිය පටන් ගන්න හොඳ තව නගර ටිකක් මතක් වුනා මට :D :D

    ReplyDelete
    Replies
    1. ඉතිං කියාපං බලන්ට අපිටත් දැනගන්ට....:)

      Delete
  12. අදත් සුපිරි!
    නුවර කලාවිය- කොච්චර තාත්විකව හදලද.

    පොඩි කාලෙ තාත්තට පෙරැත්ත කරල දැල් බැනියමක් මාත් ගත්ත.මගේ සයිස් එකට වඩා චුට්ටක් ලොකු එක තමයි තිබුනෙ. අන්තිමට ඒක ගත්ත. ඒකට උඩින් ඇන්දෙ බොහෝම පරණ සුදු ෂර්ට් එකක්. ඒක ඇන්දම ඇතුලෙ බැනියමේ රටා පිටට පේනව. මරු!

    විජේපාල මහත්තයගෙ වැඩ තහනම් කල එක නං ඕනෑවට වඩා වැඩියි.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි රාජ්.....:)

      ඒ දන්නැද්ද බං උසස් නිලදාරින්ගෙ හැටි?...හිනාවෙල ඔහොම කතාවක් විඳදරාගන්ට පුලුවන් උදවිය කොහෙද අද ඉන්නෙ?

      " එහෙම ව්‍යාපෘතියක් පටන් ගත්ත උනත් ඔය මහත්තයට නම් මම හිතන්නෙ නෑ ඒකෙ වැඩ කරන්ට පුළුවන් වෙයි කියල ඉහ නිකට දිහා බැලුවම " ඔන්න ඔය වගෙ මොකක් හරි කැපෙන්ට එකක් කියල ඒක අමතක කරල දාන්ට පුලුවන් මිනිස්සු අද ඇත්තෙම නෑ බං... ඒකයි වෙලා තියෙන හෙණේ...

      අහල ඇතිනෙ..එස්.ඩබ්. ආර්. ඩී. බණ්ඩාරනායක අගමැතිකාලෙ පේරාදෙණිය විශ්ව විද්‍යාලයෙ මොකක්ද උත්සවේකට ගිය වෙලාවෙ..කොල්ලො ටික විනාඩි පහක් විතර එක දිගට හූ කිව්වලු...එතුමා හූව ඉවරවෙනකල් කිසි කලබලයක් නැතුව ඉඳල කිව්වලු.

      " හරි ප්‍රශ්නයක් නෑ. මහ නරිය කැළෑවට එනකොට පොඩි නරි හූ කියල තමයි පිළිගන්නෙ. ලෝකෙ කොහෙත් හැටි එහෙම තමයි. දැං එහෙනං පිළිගැනීම ඉවරනං අපි බලමු ඊලඟට මොකක්ද තියෙන්නෙ කියල…"

      කොල්ලො ඔක්කොම අප්පුඩි ගැහුවලු....අද එහෙම කොහොමද එහෙම දෙයක් උනානං?

      Delete
  13. //වලක්වන්ට පුළුවනෑ සක්කරයගෙ අර කවුද පුතාටවත්..//
    වයිම ද, *ත්තිගෙ පුතාද?

    ReplyDelete
  14. //අපෙ උන්නැහැලගෙ//
    මම දන්න තරමින් කාන්තාවන් ගැන සඳහන් කරද්දි උන්දැල කියල.උන්නැහැල කියන්නෙ පිරිමි අයට.
    :D

    ReplyDelete
    Replies
    1. හෙහ්, හෙහ්, ඇත්ත..ඇත්ත..මම ඔය ආදරේටනෙ උන්නැහැ කියල කියන්නෙ...හෙහ්, හෙහ්,

      Delete
  15. //මම ඉතිං අපෙ උන්නැහෙට කිව්ව " මේ…. ඔය කොලුවට ඔයාට වැඩේ කරල තමයි පෙන්නන්ට වෙන්නෙ " කියල

    " ඈ???..." උන්දැගෙ කටත් එක්ක ඇරුන.
    //
    මේ ටික මාසෙකට කලින් කිව්වා නේද?

    ReplyDelete
    Replies
    1. කොහෙද බොල මාසයක් ගියේ?..එච්චර කල් ගියේ නෑ...හෙහ්, හෙහ්

      Delete
  16. මේකා නම් පස්ස බලන්නේ කීප දෙනෙක්ව පිස්සු වට්ටවලා..... මේකත් අර බතල පැටිස් වගේ තමයි... බතලත් නැහැ..පැටිසුත් නැහැ....

    ReplyDelete
    Replies
    1. " මහත්තය උළුඳු වඩේ නම් ඉවරයි. ඒත් එව්වයෙ හිල් දෙක තුනක් නම් ඉතුරුවෙල ඇති . ගේන්ටද ප්ලේන්ටියකුත් එක්ක?...." මෙහෙම ඇහැව්වෙ ටෙක් එකේ කැන්ටිමේ මුදලාලි......හෙහ්, හෙහ්

      Delete
    2. අනේ මන්ද මෙව්වට මොනවා කියන්නද කියලා.... එකක් කියන්නම්......
      පව් දෙය්යනේ අර අසරණ ගෑණු දැරිවි...

      Delete
  17. ඇයි ඔය සූරයෝ ෆිල්ම් දෙට් එකේ තිබුණ ජෝතිපාලගේ සිංදු මතකද කොයියන්නේ බඳ ලෙලවා, /මම ගන්නෙමී කරකාර,ඔය වගේ සිංදු හෝල් එකේ ෆිල්ම් බැලිල්ල කෙසේවෙතත් ගාමිණී සිංදුවට සෙට් වෙනකොට කට්ටිය අත්පුඩි එහෙම ගහලා බජව්වට සෙට්වෙනවා. ආයෙ ෆිල්ම් එක බැලිල්ල නම් බොරු.

    ඉස්සර අනුරාධපුරේ තිබුණා ෆිල්ම් හෝල් තුනක් තිබුණා සිත්තම්පලම්/ විජේන්දු/ සහ තවත් එකක්. මේ තුනෙන් දෙකකට 83 කලු ජූලියේදි ගිනි තිබ්බා. ඊට පස්සේ ඉතිරි වුනේ එකයි ඒකත් ටකරං ගහපු එකක්. වැස්ස දවසට ෆිල්ම් බලල ඉවරයි.

    අර විජේපාල වගේ මිනිස්සු අද හිටියනම් කොයි තරම් හොඳද අද ඒ වගේ මිනිස්සු නැති එකේ අගේ දැනෙනවා.

    ReplyDelete
    Replies
    1. මම ගන්නෙමි කරකාර බන්දාලා පුංචි හාමිනේ වලව්වෙන් දැන් - ඒක තිබ්බෙ දයා….කවුද රජා? ෆිල්ම් එකේ නේද?

      අනුරාදපුරේ තිබ්බ හෝල් තුන දයා, සිත්තම්පලම් - කච්චේරිය ලඟ, නිව් විජේන්ද්‍ර - මාකට් එක ලඟ සහ විජේන්ද්‍ර - පොල ලඟ

      83 දි පිච්චුවෙ සිත්තම්පලම් එක නේද?...ඒක තමයි ඒ කාලෙ අනුරදපුරේ තිබ්බ හොඳම හෝල් එක.....හංස විලක්, පළඟැටියෝ, අංකූර්, දුහුළු මලක්, දියමන්ති, ගඟ අද්දර ඔය ෆිල්ම්ස් මම බැලුවෙ සිත්තම්පලම් හෝල් එකේ....හරිම සුන්දර මතක සටහන්...

      Delete
    2. මටත් වැරදුනා "මම ගන්නෙමි කරකාර බන්දාලා" තිබුනේ හිතහොඳ මිනිහෙක් ෆිල්ම් එකේ කවුද රජා එකේ තිබුනේ "පන්දම් අල්ලා ගත් නම්බු නාමේ" සිංදුවයි උසී උසී නෝනේ සිංදුවයි.චණ්ඩියා එකෙත් තිබුණා ජෝතිගේ සිංදු සෙට් එකක් මතකනට එන්නෙ නෑ

      Delete
    3. කස්තුරි සුවඳ මතකද දයා?...සේන සමරසිංහගෙ ෆිල්ම් එකක්..

      නිල්ල නඟන ස්වර්න කිකිණි රාවේ..හිත පුරා...එරන් වන් ලඳුන්...මන්ද හාස වී ඇදී ඒ...නිල්ල නඟන ස්වර්න කිකිණි රාවේ..හේ.... හේ...

      Delete
  18. පුදුම රසවත් විදිහටනේ ලියන්නේ..ඊලඟ එක එනකම් බලං ඉන්නේ.විජේපාල මහත්තයාව මට මැවිලා පේන්නේ ඩී.ආර්.නානායක්කර මහත්තයා වගේ.ඒ කතාව නම් චිත්‍රපටියක් වගේ පේනවා.විජේපාල මහත්තයලාගේ අඩුව පුරවන්න අය නැහැ.නිකමට අහන්නේ විජේපාල මහත්තයා හීනියට දෙකක් දාගෙනද වැඩ කරන්නේ?

    ReplyDelete
    Replies
    1. හෙහ්, හෙහ්..නෑ අරූ..විජේපාල මහත්තය මත්පැන් කටහරියෙ තිබ්බෙ නෑ..ඒත් මනුස්සය මරු වැඩක් කලා.

      ඔය විට එක්ක මොනවද කුඩු වගයක් කනව හක්කට දාගෙන...පොඩි කුප්පියක දාල කලිසං සාක්කුවෙ දාගෙන ඉන්නෙ...මට හිතෙන්නෙ කොයි වෙලෙත් කාලක විතර කික් එකක් ඇතුව තමයි ඉන්නෙ..අර වාහන තියෙන්නෙ Full time Four wheel Drive.... අන්න ඒ වගෙ. අපි ඇහුවට කවදාවත් කිව්වෙ නෑ ඒ මොනවද කියල...මේ උඹල පොඩි එවුං..උඹලට ඕන නෑ ඒ විස්තර... ඔහොම කියල මඟ අරිනව...හෙහ්, හෙහ්,

      බොහොම ස්තූතියි අරූ...:)

      Delete
  19. මේ කොටසේ කෝ අනේ ගුරුවරියගේ කැලි නැනේ .... නැද්ද ?

    ReplyDelete
    Replies
    1. මොන ගුරුවරියක්ද බොල?....:)

      Delete
  20. අනේ අම්මපා මෙහෙමත් පඳුරු තැලිල්ලක්..දැන් මේකෙ කොහේද ගුරුවරී ඉන්නෙ? (මොනා උනත් ඉතින් හරි රහය් ලියවිල්ල නම්)

    ReplyDelete
    Replies
    1. මොකද බොල නැත්තෙ?...අර බුදු හාමුදුරුවංගෙ බැටරියෙ කතාව කිව්වෙ උන්දෙගෙ අක්කයෙ කොලුව...අර ගාමිණී ඉන්න පිචර් බැලුවෙ උන්දෙගෙ මිදුල අතු ගාන එක්කෙනා...එතකොට අර අමා වියාපුරුතිය ගන පුරස්නෙ ඇහැව්ව විජේපාල මහත්තය උන්දෙ අඳුරනව හොඳට..ඉතිං තව මොනවයි?

      Thanks Madam..:)

      Delete
  21. පොඩි එකාට මලබද්දෙ වගේ නේද රවි අයියේ?..යන්නෙම නැති පාටයි. අර අලුතෙන් ආපු එක්ස් ඒලියන් සින්දුවවත් අහන්න දීලා බැලුවනම්...

    ReplyDelete
    Replies
    1. මේ උඹ එන්න එපා හරිද... ඒ ළමයට අපහාස කරන්ට.... ඒ ඇවිල්ල නුවර ළමයෙක් තේරුණාය?....බොලාගෙ ඊරිසියාව නෙව, වෙන මොකද්ද?..බලාපං ව.. අ...ආ.. වූ, ව.. අ...ආ.. වූ, ව.. අ...ආ.. වූ. කියල කියන අපූරුව විතරක්...

      හැබැයි මල බද්දය සුව කරන්ට නං බැරිවෙයි බොලේ ඒ සිංදුව අහල..මොකද ඒ ළමයටත් දැං මාස ගානක ඉඳල මල බද්දය, ගුල්ම රෝගය සහ කෝල සෙලෙස්මාව කියන ලෙඩ තියනව දරුණුවටම..

      Delete
  22. මන් නම් දැනන් උන්න ගුරුවරි ගැන නම් එහෙමකට යමක් කියන එකක් නැහැ කියල ..හැබැයි ඉතින් අර පොඩි එකාව ඒ කාරියට යවන්නවත් එපාය අඩුගානේ.

    ගුටි මුර ගැන කියනවා නම් ඊයේ පෙරේදාත් ඔයින් එකක් බැලුව .ශාරුක් ගොය්ය ඉන්න ''ඩෝන් 2 ''
    මේ ෆිල්ම් වල කොල්ල නිකන් බළල්ලු වගේ පණ බර ගානක් ඇති. අම්බානකට මැරෙන්න ගුටි කාල නැගිටිනව. හැබැයි දුෂ්ටයාට වදින්නේ එකයි ඌ මලා වගේ වැටෙන්නේ . කොහෙත් එකයි අප්පා ඔය වැඩේ නම් . කොරියන් කතාවලත් එහෙමයි. ලේ පෙරාගෙන ගුටු ඇණගෙන හැබැයි පස්සේ දා එනවා detol ප්ලාස්ටරයක් වත් නැතුව .

    නුවර කළාවිය හැදුනේ ඇත්තටම ඔහොමද . මන් මේ නිකන් ඇහුවේ මාත් නොදන්නා නිසා .

    ReplyDelete
    Replies
    1. ඔය නැව් ගුටි මුර ගැන කියනවනං බින්දි මම හිතන්නෙ මිනිස් වර්ගයාගෙම තියනව තමන් වගේම මිනිස්සු පිස්සුවෙං ගුටි ඇණගන්නව බලන්ට නොනිමෙන ආසාවක්. සමහරවිට ඒ වනචාරී යුගයෙ කල්ක්‍රියාව ආයෙම මතක් කරල දෙන විදිහක් වෙන්න පුලුවන්. ඒ කාලෙ එහෙමනෙ..ශක්තිවන්තය, බලවන්තය තමයි කොතැනත් දිනුවෙ. අදත් ඉතිං එහෙමනෙ කියන්ට ලෑස්තිවෙන්ට එපා..සිරි ලංකාව ඇවිල්ල ව්‍යාතිරේකයක්..මම පොදුවෙ ලෝකය ගැන කතා කරන්නෙ...හෙහ්, හෙහ්,

      දැං අර බලන්න WWF Wretling කියල තියෙන්නෙ. මිනිස්සු මිනිස්සුන්ටම ගහන්නෙ සත්තුවත් නොකරන විදිහට. පුටු මේස වලින් හිටං ගහනවනෙ. උඩකට නැඟල කොන්ද උඩට පනිනව. උස්සල පොළවෙ ගහනව. තවත් ලක්ෂ ගාණක් එව්ව බලං ඉඳල උඩ පැන පැන හුරේ දානව. මගෙ ඔළුව නරක් වෙනව එව්ව දැක්කම.

      අර කතාවක් තියෙන්නෙ ඔළුව ජපන්, කඳ ජර්මන් කියල අන්න ඒ වගෙ මිනිස්සුංගෙ කඳ 21 වන සියවසේ තිබ්බට මම හිතන්නෙ ඔළුව තාම තියෙන්නෙ ගල් යුගේ...

      / නුවර කළාවිය හැදුනේ ඇත්තටම ඔහොමද . මන් මේ නිකන් ඇහුවේ මාත් නොදන්නා නිසා . /

      යර්ස්..මැඩම්..නුවර කලාවිය නම හැදිච්චි හැටි ගැන කිව්ව කතාව සම්පූර්ණ ඇත්ත

      Delete
    2. මචං, උඹ ඇත්ත කියනකොට අපි දැනගන්නේ කොහොමද? මමත් හරිම සතු‍ටු වුනා නුවරකලාවිය හැදුනු හැටි දැනගෙන. නමුත් ඒ එක්කම මතක් වුනා උඹනේ ඒක කිව්වේ කියලා.

      Delete
    3. හෙන්රි,

      ඒ නිකං ජොලියට කියන එව්වගෙ අන්තිමට මම පොඩි ඉඟියක් දෙනව ඒ බොරුවක් කියල හිතා ගන්ට...හෙහ්, හෙහ්...කියල කෑල්ලක් හරි... අපිම ඉන්ට ඕන ඔව්ව කියල දෙන්ට ..අන්න ඒ වගෙ කෑල්ලක්...හෙහ්, හෙහ්

      Delete
    4. හෙහ් හෙහ් කියලා තියන් හින්දා.. දැන් මේ කියලා තියන එක බොරු.
      ඒ කියන්නෙ හෙහ් හෙහ් නැති ඒවා බොරු.
      එතකොට නුවර කලාවිය බොරු.
      හෙහ් හෙහ් නැති ඒවා බොරුනම් හෙහ් හෙහ් තියන ඒවා ඇත්ත.
      එතකොට මේක ඇත්ත.
      මේක ඇත්තනම් හෙහ් හෙහ් නැති නුවර කලාවිය ඇත්ත.
      නුවර කලාවිය ඇත්තනම් හෙහ් හෙහ් තියන හින්දා මේක බොරු.
      මේක බොරුනම් හෙහ් හෙහ් නැති ඒවා බොරු..

      හෙහ් හෙහ් හෙහ් හෙහ් :D

      Delete
    5. සෙන්නා,

      / ඒ නිකං ජොලියට කියන එව්වගෙ අන්තිමට මම පොඩි ඉඟියක් දෙනව ඒ බොරුවක් කියල හිතා ගන්ට...හෙහ්, හෙහ්...කියල කෑල්ලක් හරි... අපිම ඉන්ට ඕන ඔව්ව කියල දෙන්ට ..අන්න ඒ වගෙ කෑල්ලක්...හෙහ්, හෙහ් /

      යකෝ ..මේක මාර කෙළියක් නෙව...උඹ මට පේන්නෙ කොල්වින් ආර්. ද සිල්වගෙ මස්සිනාගෙ බාප්පගෙ පුතා වගෙ නෙව. වචනයක් වරදින්ට බෑ නෙව..ලෝ පොයින්ට් ගේනව ...

      මේ සිකුරාද ..බාං හවස් වරුවෙ ..මේ වගෙ වෙලාවට ඔහොම වචනයක් දෙකක් වරදින එක අහන්ටත් දෙයක්ද?...හරි ඔන්න එතන අර අන්තිමට තියන හෙහ්, හෙහ්, කෑල්ල මම ඉල්ලා අස් කර ගත්ත..හරිය?

      Delete
    6. හෙහ් හෙහ් සමාවෙන්ඩෝනා සිකුරාදා හවස බව හාන්කවිසියක්වත් මතක් වුනේ නෑනෙ.. :D තව කියන්ඩ අමතක වුනානෙ.. මමත් හෙහ් හෙහ් දෙකක් සමඟ තිත් දෙකයි ඩී දැම්මොත් ඒක විහිළුවක්..

      හෙහ් හෙහ් හෙහ් හෙහ් :D

      Delete
    7. කෙළියා නේද තාප්පෙටම! අනේ සෙන්නා ඔන්න ඔය රස්සාව අල්ලලා දාලා මෙන්න මෙහෙ වරෙං නඩු කතා කරන්න. රවියා කියපු දෙයක් ඉල්ලා අස් කර ගන්න සලස්සපු එකාට හොඳ අනාගතයක් තියෙනවා.

      Delete
    8. elakiri elama kiri sennayiye :D heh heh

      Delete
    9. මටත් හෙන ජොලියක් ගියා නේ..............
      නියමයි සෙන්නෝ :D

      Delete
  23. වටම ගිහින් ගෙටම එනවා කියන්නෙ මේවට තමා.. බලපුව කතාව පටන් ගත්ත තැනමයි.. හැබැයි අද එකේ අධ්‍යාපනික වටිනාකම වැඩියි.. නුවර කලාවිය, වන්හුන්, අමා ගැන එහෙම දැන ගත්තා...

    ReplyDelete
    Replies
    1. ආන්න ඒකනෙ සෙන්නා මලයා...කතාව ඉස්සරහට නොගියත් බලාපල්ල බොලාට අද්දියාපනික වටිනාකමිං යුක්ත එව්ව කොච්චර නං තියනවද?...හෙහ්, හෙහ්.

      Delete
  24. සිනහව අතරින් නොදන්න දේවල් කීපයකුත් දැනගත්තා...ඒක නෙවෙයි රවී වාං පතුල් කතාව අමතක කොරලම දැම්මද...ඒ කතාවෙත් තව ගොමු බරගාණක් ඉතුරුකරල නේද නවත්තල තියෙන්නෙ...ඔහොම ගිහිං දැං අපට විමලෙයව අමතක වෙලාම යනවා.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි හැලප..ස්තූතියි....:)

      නෑ..නෑ..වාං පතුල් සහ විමලෙ අමතක වෙල නෙවෙයි...ඉන්නකො මේක විජහට ඉවරයක් කරල ඒක පටං ගන්න...හෙහ්, හෙහ්.

      Delete
    2. පඳුරු තලන්නෝ දෙන්නෙක් එකම පඳුර අසලදී මුහුණින් මුහුණ හමුවූ වගයි. දැං මොකෝ උඹලා පඳුරු මාරු කරගත්තොත්. හැලපේ උඹ බාරගනිං වාං පතුල් කතාව? රවි උඹ ලියාපංකෝ බ්‍රසල්ස් වල ඉඳං අයිෆල් කුළුණ බලන්න පැරීසියට ගිය කතාව.

      ඈ, මොකක් කිව්වා? කතාව දන්නේ නෑ? යකෝ කතාව දැනගෙන ඉන්න ඕනෙ නෑ... හරි මගුලක්නේ.

      Delete
    3. හෙන්රි,

      With sincere apologies to Rohana Beddage & Bandula Wijeweera…

      කලියුග කාලෙට උපන්න පඳුරු තලන්නෝ දෙන්නෙක්,
      දවසක්දා මුන ගැහිලා එක පඳුරක් ළඟ ඉඳ ගත්තේ,
      එකෙක් පැණිදෙණි පැත්තේ,
      අනික ........... පැත්තේ,
      ( හැලපෙ කොහෙද බං?...මම දන්නෙ නෑනෙ )


      කතාව නං ඕන නෑ තමයි..අර වතුර මෝටර් ස්ටාට් කරන්ට විතරනෙ පෙට්‍රල් ජුංඩක් ඕනෙ..ඊට පස් සෙ ලාම්පුතෙල්වලින් යස අගේට දුවන්නෙ. ඒ වගෙ වැඩේ පටන්ගන්ට විතරයි යාන්තමට මාතෘකාවක් ඕනෙ..ඊට පස් සෙ වැඩේ දුවනව එලකිරි වගෙ...හෙහ්, හෙහ්,

      Delete
    4. අනික ගම්පහ පැත්තේ
      කියල කියමුකෝ,මොකද මගෙ ගමේ නම ඔතනට ආවොත් එළිසමය නැතිවෙන නිසා ලඟපාත නමක් දුන්නේ

      Delete
  25. ගාමිණී ලංකාවේ සිනමාවේ එක යුගයක්. අයියා අහලා තියනවද ගාමිනිව මුලින්ම කවුරුවත් film වලට ගත්තේ නැහැ කියලා .
    සිරිසේන විමලවීර උන්නැහේ කිව්වලු තමුසේ හොදයි boxing ගහන්න කියලා.අන්තිමට ලෙස්ටර් මහත්තයා සංදේශය ෆිල්ම් එකට අත් උදව් කාරයෙක් විදියට අරගෙන තියෙන්නේ ගාමිණීට එතකොට රියදුරු බලපත්‍රයක් තිබුණු හින්දයි . අන්තිමට සිනමා සක්විති වෙලා මතක විදියට ආණ්ඩුකාරයකුත් වෙලා තමා නැවතුනේ.

    වංහුං හැදුනු හැටි දැනගත්තා ස්තුතියි රිඹ යන්න දෙනවා කියන එකෙත් ඔහොම තේරුමක් ඇතෙයි?

    //අපි අනුරාදපුරේ ඉන්දැද්දි තමයි අජාසත්ත ෆිල්ම් එක ආවෙ//
    මේක වාන් පතුල නිසා මේ කතාවත් කොටන්නම්කෝ ඔයිටත් කලින් යුගේක තමා ජෝ අබේවික්‍රමයානන් සිරිසේන විමලවීරන්ගේ ෆිල්ම් ටෙන්ට් manager විදියට (ඒකාලේ කොළඹින් පිට පළාත් වල ෆිල්ම් හෝල් නැති නිසා පෙන්නන්නේ ටෙන්ට් වල උස්සන්ගියා ගැහුවා පෙන්නුවා ගලවලා තව තුම්පනේකට ෆිල්ම් එක අරං ගියා ) වැඩ කරන කාලේ ගාල්ලේ කොහේදෝ ගමක ෆිල්ම් එකක් පෙන්නන්න ලෑස්ති කලා.අඩේ ගමේ මිනිස්සු ෆිල්ම් එක බලන්න එන්නේ Manager මහත්තයට කැවුම් කිරිබත් අරගෙනලු. ෆිල්ම් එක මැදදි මොන මගුලක්ද වෙලා තිරය කඩං වැටුනම ගමේ පොරවල් දිව්වලු ටෙන්ට් එක පිටිපස්සට කොහේටද නළු නිලියෝ මක බෑ වුනේ කියලා හොයන්ට.

    ReplyDelete

මගේ සිතුවිලි ගැන ඔබේ සිතුවිලි

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...