Tuesday, November 3, 2015

364. විමලෙගෙ වාංපතුල් කතා - 37 - නෙතට නුහුරු කඳුළු බිංදු පැදුරට මුහුවෙලා හොරෙන්....


මෙන්න මේ වගෙ එකෙක් තමයි මගෙ ජීවිතේ වෙනස් කලේ.....

"ම්හු, එහෙනං ඉතිං මදුපානෙ අතෑරල දාන්ට තමයි තියෙන්නෙ." අමරෙ එහෙම කියල නැඟිට්ට.

නැඟිටල යන්ටත් ගිය මිනිහ මෙන්න දොර ගාව නැවතිල ආපහු හැරුනෙ නැද්ද? "ඒයි මචං නියම බයිට් එකක් නම් තියනව.." 

"ඒ කොහෙද බං?" 

"ඇයි බං අර මඟුල් මේසෙ උඩ බැබළි බැබළි ඉන්න කුකුල් රාජයා?" 

ජීවිතේ එක පොඩි වචන කීපයකින් සම්පූර්ණයෙන්ම වෙනස් වෙන්න පුලුවන් කියල ඔබ තමුන්නාන්සෙලා පිළිගන්නවද? එහෙම පිළිගන්නෙ නැත්නම් එහෙමත් නැත්නම් එහෙම පිළිගන්ට නිකම් මේ පසුබෑමක් වගෙ තියනවනම් මම මේ කියන්ට යන දේ හොඳට අහගන්ට. ඒ වචන කීපය මගෙ ජීවිතේ සම්පූර්ණයෙන්ම වෙනස් කලා.

මේ ජීවිතේ නෙවෙයි මුළු සංසාර ගමනම වෙනස් වෙන්ට වචන කීපයක් හොඳටම ඇති. උදාහරණයක් ගත්තොත් දන්නවනෙ අර බුදු හාමුදුරුවො බොහෝම ඈත අතීත ආත්මයක අම්මත් එක්ක නැවක යද්දි නැව මුහුදුබත් වෙලා පස්සෙ එතුමා .....ඒ ආත්ම භාවයෙදි එතුමාට බෝධිසත්වයො කියල කියන්ට බෑ. මොකද බෝධිසත්වයෙක් කියන්නෙ මතු බුදුවන්ට පෙරුම් පුරන කෙනෙකුට. මම මේ කියන්ට යන නැව මුහුදුබත් වුනු සිද්ධිය වෙනකොට එතුමා එහෙම මතුබුදුවෙන්ට පෙරුම් පුරන්ට පටන්ගෙන තිබුනෙ නෑ.

ඉතින් ඔන්න නැව මූදුබත් උනහම මෙතුමා තමන්ගෙ අම්මව කර උඩ තියාගෙන දවස් ගාණක් පීනල ගොඩබිමකට ඇවිල්ල අම්මගෙ පණ බේරාගත්ත. ගොඩබිමට පය තිබ්බම අම්මා එතුමාගෙ ඔලුව අතගාල කිව්ව පුතේ උඹ මතු බුදු වේවා! කියල. එතනින් තමයිලු එතුමාට බුදුබව ලබන්ට ඕනය කියල හිතුනයි කියන්නෙ. ඉතින් ඊට පස්සෙ කතාව දන්නව නේ? එතුමා බෝධිසත්වයෙක් වෙලා අනන්ත ආත්ම ගණනක සැරිසරල සාරාසංඛ්‍යය කල්ප ලක්ෂයක් පෙරුම් පුරල අවසානයෙ සම්මා සම්බුද්ධත්වයට පත්වුනා. කල්ප අසංඛ්‍යයක් පුරාගිය ඒ මහා චාරිකාව ඇරඹුනේ අම්මගෙ අර වචන හතර පහ හින්ද.

මගේ ජීවිතේට බලපෑවෙ වචන එකොළහක්…" ඇයි බං අර මඟුල් මේසෙ උඩ බැබළි බැබළි ඉන්න කුකුල් රාජයා? " 

සාමාන්‍යයෙන් පියවි සිහියෙන් ඉන්දැද්දි අපි නොකරණ දේවල් මතින් මත්ව ඉඳිද්දි කරන්ට පෙළඹෙනව. මම ඇත්තටම කිව්වොත් එහෙම දේවල් කරනව බොහොම අඩුයි. අඩුයි කියන්නෙ කරන්නෙම නෑ කියල කිව්වැහැකි. මත්වෙලා ඉන්දැද්දි මම බොහොම කලාතුරකින් තමයි ඔය ද්වන්ද, සමූහ හෝ වීථි සටන් වලට සහභාගි වෙන්නෙ. එහෙම භෞතික මට්ටමින් ප්‍රශ්ණ විසඳගන්න මට්ටමක් දක්වා තත්වය දරුණු වෙන නැත්නම් අවගමනය වෙන ලකුණු පහල වෙනවනම් ඒ වගේම මට ඒ තත්වය විසඳන්ට නැත්නම් සමනය කරන්ට හැකියාවක් නැහැයි කියල හිතෙනව නම් මම කරන්නෙ වහාම ක්‍රියාත්මක වන පරිදි උපක්‍රමශීලීව පසුබැසීම. ටැක්ටිකල් විත්ඩ්‍රෝවල් කියල කියන්නෙ...අන්න ඒක.

දැන් මේ කියන දවසෙ, ඒ කිව්වෙ අදාල දවසෙ, එහෙමත් නැත්තං ප්‍රස්තුත දවසෙ අමරෙ මඟුල් මේසෙ උඩ ඉන්න කුකුළා ගැන කිව්වම මට ඇත්තටම තිබ්බෙ " ඒකා ගේන්නෙ කොහොමද බං? හතර විළි ලැජ්ජාවයිනෙ ඔන්න ඔහෙ දැං බිව්ව මදැයි...යමං තියන දෙයක් කමුකො " කියල කියන්ට. 

ඒත් නරක වෙලාවට ඉබ්බ තුනපහ පිටේ බැඳගෙන...අප්පට සිරි වෙරිම සොරි..එහෙම නෙවෙයි නේද කියන්නෙ? හරි..නරක වෙලාවට කෙල මෝලෙං ඇන්නත් පත්තු වෙනවලු..අන්න එහෙමයි කියන්නෙ...ඉතිං ඒ වගෙ ඒ වෙලාවෙ මගෙ පරිමේය චින්තන හැකියාව මත්පැන් කරණකොටගෙන පරිහානියට පත්වෙලයි තිබ්බෙ. ( My ability for rational thinking had been reduced drastically due to excessive liquor consumption at that particular moment ) සිංහලෙන් ලියල වාක්‍යය අන්තිමට ඒකම ඉංග්‍රීයෙන් කිව්වම පොඩි ගතියක් එනව නේද? ( There sure is a little something when you insert the English translation of what you have written in Sinhala at the end ) එහෙම ලියන ෂානරයෙ නිර්මාතෘ ඇවිල්ල යුද්දෙ කාලෙ දිවයිනේ ආරක්ෂක වාර්තාකාර මහත්තය. මම නම කියන්න අවශ්‍ය නෑනෙ දන්නෝ දනිති. ( Surely I don't need to elaborate, I think those who knows knows)

ඉතිං අමරෙ ඔය ඉබ්බගෙ කතාව කියපුවහම ..ආයෙම සොස් සොරි..අමරෙ කිව්වෙ ඉබ්බෙක්ගෙ කතාවක් නෙවෙයිනෙ. මේසය මතුයෙහි සැවුළාණෝ බැබළෙන සේක කියලනෙ කියන්ට ඕන. රයිට් එතකොට ඉතිං මට හිතුනා අඩේ අමරේ නම් වූ මේ කෙළෙඹි පුත්‍රයා වනාහී පරම සත්‍යයක්ම පවසන්නාහුය. තෙල මංගල්‍ය ඵලකය මත ( එහෙම කිව්වෙ මඟුල් මේසෙ කියන එකට හොඳද? ) බබළනුයේ සොඳින් පිළිස්සූ ඉතාමත් මධුර රසැති සැවුළාණෝ නොවන්නෙම්ද? කිසිවකු හෝ උහු අහරට නොගෙනා පියා ඉතිරිකොට ඇත්තේ අපගේ මේ මධු සාදයහි අවසාන කටගැසුම පිණිසම නොවේදැයි සිතාලාපියා පුරුෂ ධෛර්යය උපදවාගත් ඉක්බිති.....

ඔය වෙලාවෙ කරුමෙ කියන්නෙ මට ඔය වැඩේ හෙණ ඇඩ්වෙන්චර් එකක් නැත්නම් වීරක්‍රියාවක් වගෙ කියලයි හිතුනෙ. ඔන්න ඉතිං හෙමිහිට නැඟිටල ගියා අජිත්ලගෙ ගෙදර පිටිපස්සෙං. අමරෙත් මා එක්කම ඇවිල්ල ගෙදර කුස්සියෙං එළියට බහින තැන තිබ්බ ජම්බෝල ගහක් ( ජම්බෝල දන්නව නේ?..අර අඟල් නමයක් වගෙ විස්කම්බෙ තියන විසාල දොඩං වගෙ ගෙඩි. පැහුණම ඇතුලෙ තියනව ලා රතුපාට රේණු. ඇඹුල් මිශ්‍ර පැණි රහක් තියෙන්නෙ. පොතු ගහල රේණු ගලවලා සීනි සුට්ටක් ඉහළ ගත්තම පුදුම රසක්..ආ..සමහර පළාත්වල මහ නාරං කියලත් කියනව ) ඔය ජම්බෝල ගහ යට නැවතුනා. 

" මේ උඹ පලයං මම මෙතන ඉන්නං " අමරෙ එහෙම කිව්ව.

මාත් ඉතිං ආය මොනවද චෝදනාවලට උත්තර දෙන්ට බ.දූ.ව.වි.ජ.කො.ස. එකට කකුල් අද්ද අද්ද යන මරාස් තුමා වගේ කොරිඩෝවට නැඟල ගෙට එබිකං කලා. ( බදූවවිජකොස = බරපතල දූෂණ සහ වංචා විමර්ශන පිළිබඳ ජනාධිපති කොමිෂන් සභාව ) 

" මේ අපගේ දයාබර දියණිය අද මේ පතිකුළයට යන මංගල මොහොතේ..............." 

මංගල මහ සබාව පැවැත්වෙනව වගේ..පිටිපස්සෙං අජිතයලගෙ ගෙදර මැද සාලෙට යන්ට තියෙන්නෙ දෙපළු දොරක්. තඩි කොස් කඳකින් ඉරවල දෙපැත්තෙ උඩ ඉඳල පහළටම කැටයම් එහෙම දාල පොලිෂ් කරල තිබ්බ ඔය දොර ඒ වෙනකොට හායි ගාල ඇරල දාල තිබ්බෙ.

සාලෙ මැද තිබ්බ මඟුල් මේසෙ ඒ වෙනකොට ( මේසෙ කිව්වට එතන මේස තුනක් එකට තියල තිබ්බෙ ) දොර ගාවම බිත්තිය අයිනට ඇදල මංගල මහ සබාවට ඉඩ ගන්ට. එලි පෙහෙලියෙ මඩු කූඩාරං යට තිබ්බ මරණාධාර සමිතියෙං ගෙනාපු යකඩ පුටු එක පණහක් හැටක් මැද සාලෙ පේළියට තියල එව්වයෙ අජිතයලගෙ නෑදෑ සනුහරේ ඉඳගෙන ඉන්නව ඊස් මීස් නැතුව. තව විස්සක් තිහක් විතර ඒ ඔය වයසිං ලාබාල උදවිය බිත්ති අයිනට වෙලා හිටගෙන ඉන්නව.

මඟුල් මේසෙ උඩ වැඩ ඉන්නව රන්වන් පාටින් දිලෙනා බදින ලද්දාවූ හෝ පුලුස්සන ලද්දාවූ සැවුළාණෝ. මම දොර උලුවස්සට හේත්තුවෙලා ඒ දිහා බලා හිටිය. සුජිතා අක්කයි මනාල තෙමේයි ඉන්නව කවිච්චියක ඉඳගෙන. අර පිටිපස්සෙ මල් සැරසිලි කරල තියෙන්න ඔය වෙඩිම්වල. ජෝඩුව ඉඳගෙන එහෙම ඉන්නෙ. අන්න ඒක ( සෙටි බැක්ද ෆුල් බැක්ද මොකක්ද නේද ඕකට කියන්නෙ? ) 

" ඇත්ත වශයෙන්ම මේ අද හැදෙන අපේ තරුණ පරම්පරාවට යහපත් කුටුම්බ රක්සනයක් කරගෙන යායුතු අන්දම පිළිබඳව වචන ස්වල්පයක්..........." 

දේශකය දෙනව කැරකිල දෙකට නැමිල. ඔහොම කට්ටිය ඉන්නව මයික් එකක් පේන්ට බැරි උදවිය. එයාලට කියන්නෙ ස්වකීය කටහඬ ඇසීමේ නොතිත් ආශාවෙන් පෙළෙන්නන් කියල. Those who has an insatiable desire to hear their own voices.

"රති කෙළි යෙදීමෙන් අබරණ ලා සැදීමෙන් දරුවන් වැදීමෙන් ‍‍වෙසෙති අඟනෝ නො තිත් වීමෙන්" එහෙම තියෙන්නෙ කාව්‍යශේඛරයෙ. රචකයා තොටගමුවේ ශ්‍රී රාහුල හිමි. එහෙම කියන්ට එතුමා දන්නෙ කොහොමද කියල නම් ප්‍රශ්ණයක් තමයි. 

එතකොට " මාල වළලු නොතිත් අයට අපි අමතක වෙලා ගිහින් " කියල කියන්නෙ ලූෂන් බුලත්සිංහල සහ එඩ්වඩ් ජයකොඩි.

" ඒයි යකෝ……….." දත්මිටිකාගෙන උනත් අමරෙ එහෙම කිව්වෙ යන්තමට මට ඇහෙන්න විතරයි…

" හිමි ගමනක් ගොසින් ...ගෙට ආ කලට සතොසින්....." දේශක තෙමේට මේ ලෝකෙ වගේ වගක් නෑ. 

මම හැරිල බැලුව.." මඟුලක් කරනවද? ඕකත් අරගෙන වරෙං බං …." අමරෙ ආයෙම නයෙක් වගෙ පිම්බා.

මඟුල් මේසෙ බිත්තිය අයිනටම තල්ලු කරලයි තිබ්බෙ කියල මම මුලින්ම කිව්වනෙ. එතෙන්ට යන්ට තිබ්බෙ පුටු පේලි දෙකක් වගෙ ඉස්සරහට ගිහිල්ල ආයම වමට හැරිල තවත් පුටු දෙකක් අතරිං තිබ්බ ඉඩ ප්‍රමාණයෙන් පැත්තට හැරිල රිංගල වගෙ ගිහිල්ල. ඒ පුටු පේළි දෙකේම හිටියෙ කෙල්ලො වගයක්. ෂික්, වෙන වෙලාවක නම් ඔය අස්සෙ ගිහිල්ල කුකුළ ගන්ට තියා හිතන්නෙවත් නෑ. 

ඒත් කාලෙ නරක් උනහම අවුරුදු දෙකකට කලින් ජනාධිපතිවරණෙ තියල අර කවුද නැඩ හාදය කෙළෝ ගත්ත වගෙ දෙයක් වෙන්ට තියේනං වළක්කන්ටම බෑ. මජ්ජ පමා දස්ටානා සීන් එක හින්ද මට ඒ වෙලාවෙ පෙනුනෙ අර කුකුල් දණ්ඩා විතරමයි.රේස් දුවන අස්සයින්ට අර දානෙ බ්ලින්කර්ස් කියල වට පිට මොකවත් නොපෙනි දිනුම් කණුව විතරක් පේන්න ඇස් ආවරණ. අන්න එව්ව දැම්ම වගේ.

" විසාකා සිටුදුව පතිකුලයට යන වෙලාවෙ එතුමීගෙ පියාණන් දුන්නු අවවාද....." 

හහ්..විසාකාව ගැන ඒ පාර කියන්නෙ.." සූ සැට බරණින් සැරසීලා..නා කපනා වැසි වැටෙන වෙලේ……….." මට ඉබේටම ඒ ගී පද තොල මැතිරුනා.


පුටු පේලි අතරින් හරහට යන්ට තනද්දි වාරු නැතුව වගෙ ගිහිල්ල යන්තමට පුටු ඇන්දක් අල්ලගෙන මම කෙලින් වෙච්චි. " විසාකා තොමෝ පැමිණි විලාසින් මට ඉන්නට බෑ නිසංසලේ. " 

මම අර ගිනි මද්දහනෙ වැරදිල ගේකට රිංගල අර බිත්තියෙයි මේ බිත්තියෙයි හැප්පි හැප්පි පිහාඹන කොස්ඇට වවුලෙක් වගේ එහෙ මෙහෙ තැවරි තැවරි යන දිහාවෙ පුටු වල ඉඳගෙන ඉන්න අංගනාවියො ඉස්සෙල්ල කටවල් ඇරගෙන බලා හිටිය. ඒ එක්කම හිකි හිකි ගෑවිල්ලෙ හිනැහෙන්ට ගත්ත. ඒ තේඋඩිච්චියො හිනාවුනාට මයෙ මොකෝ? මං උංගෙං ආය හිර අහන්ට යනවය? අනෙහ්..හිනාවෙන්ට බැරිනං...

" විසාකාව ඔබ මා දුටු බුදු සිරිතේ..යසෝදරා ඔබ මා දුටු බුදු සිරිතේ " 

යන්තමට පුටු ඇන්දක් අල්ලගෙන නැමිල සැවුලානෝගෙ අණ්ඩක් සුරතින් අල්ල උස්සල ගත්ත. ඒ අහල පහල ඔක්කොමල දැන් හැරිල මගෙ දිහා බලාගෙන..මොන මඟුලක් බලනවද බොලව්..මෙහෙ නෙවෙයි අන්න අරෙහෙ ඉස්සරහ බලාපල්ල. " මහමායා ඔබ මා දුටු බුදු සිරිතේ……….මා දුටු බුදු සිරිතේ………" 

අර දේශකයගෙ දේශනාවත් දැන් ඇහෙන්නෙ නෑ. ඒක ඉවර වෙලාද නැත්තං ඒ මනුස්සයත් කටත් ඇරගෙන මා දිහා බලං ඉන්නවද මන්ද..හරි හරි ඒ මොක හරි..ආපු වැඩේ කරගත්තනෙ. කුකුල් රාජයා මගෙ අතේනෙ. හෙහ්..ඕන කෙහෙල්මලක් පණං අටයි..කියල ආවා වගේම මාරු වුනානං හරි කුකුළත් අරගෙන. රායිට්..පරෙස්සමෙං..මේ පුටු ඇන්ද වමතිං අල්ලගෙන අතනට දකුණු කකුල තිබ්බ. හරි තව පියවර දහයයි දොරටුව ගාවට..නවයයි..අටයි..හුටා..කෝ බොල කුකුළා???? කෙළිය නේද? මේකා ලිස්සල ගිහිල්ල බිමට වැටුන නේද? 

" ඊයි..අනේ මේ මගෙ ඇඳුම ඉවරයි..අනේ ඒ..ඒ... " 

මල ජංජාලයයි..කුකුළ බිමට වැටිල නෑනෙ නේද? කෝ මූ? ආ මේ ඉන්නෙ මේ ළමිස්සිගෙ ඔක්කෙ. හුහ්..පේනවද මගෙ කුකුළත් හොරෙම්ම අරගෙන ඉන්න අපූරුව විතරක් මේ මහගෙ..දෙනව මෙන්න මෙහාට...

" සොරි...සොරි...සොරි……කුකුළ ලිස්සුවනෙ....තෙල් වැඩියි…... ඒකයි… " I Think that explains everything OK?

කුකුලව ආයෙම දකුණු අතිං අරගෙන මම ඒ පාරනං ආයම කිසි අවුලක් නැතුව එලියට පැනගත්ත. අමරෙ කෝ? මේකා නෑනෙ පේන්ටවත්..ම්ම්ම්..මොකක්ද අර මංගල සබාව පැත්තෙං මහ ගාල ගෝට්ටියක් ඇහෙන්නෙ? දෑවැද්ද මදිය කියල මනමාලයහෙ පැත්තෙ උදවිය වලියට ඇවිල්ල වත්ද? අඩෝ එහෙම කොහොමද? සුජිතා අක්ක වෙනුවෙන් අපි ඕනම වෙලාවක රෙඩි අපි ඇවිල්ල අජිතයගෙ යාලුවො..බොක්ක හොඳය?...පට ගාල තව එකක් දාගෙන ගිහිල්ල බලන්ට ඕන අජිතය කොහෙද කියල...මේ ඌට අපේ උදව් ඕන වෙලාව..එතකොට කුකුළා?...ආය කෙහෙල්මල් කුකුළෙක්..කුකුළා වගේද අජිතය?...

102 comments:

  1. ගල් තුංකාලින් වෙරිවීලා...
    කටගැස්මට සැවුලෙක් සොයලා...
    වීරසිංහයෝ පැමිණි විලාසේ...
    පොල්තෙල් ගෑ නයා වගේ...

    ReplyDelete
    Replies
    1. Suranga,

      අනේ මහතුනේ මට වුනු වියෝයා,
      කුකුලෙක් හින්ද ජීවිතෙ කෙල වුනෝයා,
      පූරුවෙ පවට වට් ද හෙල් ටු ඩුයෝයා,
      වෙන්ඩ තිබ්බෙ එහෙමයී සැනසුනෝයා,

      Delete
    2. හොඳ වැඩේ බොට!!! හොඳම වැඩේ... මම උන්න නම් දානවා වෙට්ටුවක් ආයේ නැහැ නොමිලේම දොරෙන් එලියට විසිවෙන්ට! අම්මප!!!

      Delete
    3. උපේක්ෂා,

      හෙහ්..උඹ එතන හිටියනං මං කරන්නෙ කුකුළ් තඩියත් අරගෙන ඉඳගන්නව උඹෙ ඔඩොක්කෙ..අම්මාපල්ල කරන එකත් කරනව...:)

      Delete
    4. අනේ කෙහෙම්මල.. යසට තිබ්බ කුකුලා අල්ලගන්න බැරුව මගේ ඔඩෙක්කේ වාඩිවෙන්න? හුහ්.. වරෙන්කො මම තියාන ඉන්නවා හොට් ප්ලේට් එකක් ඔඩෙක්කේ... අම්මප මම ඔතන උන්න නම් බලාගන්න තිබ්බ!

      Delete
    5. කෙල්ලො හොට් වෙන විදි කීපයක් තියෙනවානේ. සමහරු පෙනුමෙන් හොට්, සමහරු ඇවිදින විදිහෙන් හොට්, සමහරු කථා කරන විදිහෙන් හොට්, සමහරු කථා කරන දේවල් වලින් හොට්, බලං යනකොට සමහර අය ඔඩොක්කුවෙන් හොට්.

      Delete
    6. ඉයන්,

      උපේස්සා ලොක්කිනම් ජීවිතේටම එක පාරයි හොට් වෙලා තියෙන්නෙ. පොඩි කාලෙ මුන්දැගෙ ඔලුවෙ ඕසෙට උකුණො. ඒ පාර අත්තම්ම පොල්තෙලුයි ලාම්පුතෙලුයි කලවම් කරල ගාල අව්වෙ හිටෝල තිබ්බලු පැය බාගයක්. අන්න ඒ වෙලාවෙ නම් ඔන්න මෙවුන්දැ හොට් වුනාලු. එච්චරම තමයි...:)"

      Delete
    7. lan: දැන් මම විතරක්ය ඔය ඔඩොක්කුවෙන් හොට් ඈ ? අපොයි මට මීට අවුරුද්දකට විතර නම් 'හොට්' කිව්වොත් නහුතෙට නගිනවා. ආයේ නැහැ කියපු එකාගේ හොම්බ තලන්න! දැන් ඒ ලෙඩේ සුව වෙලා. කොහෙන් හරි හොට් කිව්වනේ.. නැද්ද?


      රවියා: අනේ මෙහ්... මගෙන් අහන්නේ නැතුව ඉන්නවා. උඹේ හොරි හොඳකරන්න අත්තම්ම අත්බේත් ගාපුව මතක් වෙලා වෙන්ට ඇති මේවා කියන්නේ. හැබෑටම රවියෝ, අපේ ගෙදර ඔය අත්තම්ම විසින් ගොඩනගපු වරලස සහ ඒ හා සම්බන්ධ රුපලාවන්‍ය කටයුතු පිලිබඳ 'ස්පා' එකක් තිබ්බා. ඒ ගැන නම් ලොකු විස්තරයක් තියෙනවා. පස්සේ වෙලාවක ලියන්නම්. හැබැයි මගේ නම් උකුණෝ හිටියේ නැහැ. උඹ වගේ උඳුගොව්වෝ කාල තිබ්බෙත් නැහැ.

      Delete
  2. මෙච්චර ඕඩියන්ස් එකක් ඉස්සරහද කුකුලට කෙළියේ. මම හිතුවේ හිමින් සීරුවේ උස්සනකොට අසෝකට මාට්ටු වුණා කියල. මේ සීන් එකෙන් පස්සෙ අසෝක පැත්තක තියල අජිතුත් උඹත් එක්ක තරහ වුණේ නැත්ද? මේ පෝස්ට් එක ලියපු ශෛලිය නම් කියල වැඩක් නෑ. එච්චරට හොඳයි.

    ReplyDelete
    Replies
    1. ඉයන්,

      / මෙච්චර ඕඩියන්ස් එකක් ඉස්සරහද කුකුලට කෙළියේ. මම හිතුවේ හිමින් සීරුවේ උස්සනකොට අසෝකට මාට්ටු වුණා කියල. /

      අපොයි නෑ බොලේ. අසෝකට විතරක් වැඩේ අහුවුනා නම් එතන නෝ ප්‍රොබ්ලම්. ඒක එයා එක්ක ෂේප් කරගන්න එක සිම්පල්. මේක මේ අපි නොදන්න ලයිව් ( අ.ල. ප්‍රෝග්‍රම් එක මතකයි නේද? සිරසෙ ගියේ අර පොඩි මල්ලියි, චූටි මල්ලියි හිටියෙ ) වගෙ මංගල මහ සබාව ඉස්සරහමනෙ මගෙ සායම ගියේ..සික් ඉතිං මොකේදැයි දං වළඳන්නෙ?

      / මේ සීන් එකෙන් පස්සෙ අසෝක පැත්තක තියල අජිතුත් උඹත් එක්ක තරහ වුණේ නැත්ද? /

      ඉවසන්න මම ඡන්න ඇමතී වෙමී. මා එක්ක ගියෙ ඊයෙ සිදුහත් හිමී.....:)

      ඒ විස්තර ඊලඟ කථාංගයෙන් බලාපොරොත්තු වන්න...:)

      Thanks Ian……

      Delete
    2. මගේ ඉස්කෝලේ යාළුවෝ ටික ඔතන හිටියනං කුකුල මේසෙන් උඩට එස්විලා, කථා කරන එකාගේ මූණ ලඟින්ම ඇවිත් බොන මේසේ උඩට පාත් වෙනවා අර හොල්මනක් යනවා වගේ. ඕන කරන්න ලණු කෑලි ටිකකුයි ලී පටි කෑලි ටිකකුයි. කට්ට මොලේකුයි. එහෙනං උඹ කොස් කෙල්ල බැඳල පොලොස් පැටව් ටිකක් හදල.

      Delete
  3. මල පෙරේතයෙක්නෙ...කෙල්ලට මොලේ තිබිල.....

    ReplyDelete
    Replies
    1. පුබුදු,

      එහෙනම් එහෙනම්..පෙරේත කම නෙවෙන්නම්...:)

      Delete
  4. හිනා කාලා මැරෙනවා ��!!!

    ReplyDelete
  5. Hurry up Ravi. It's a painful wait till you tell us the whole story. Can't wait can't wait!!!

    ReplyDelete
  6. Hurry up Ravi. It's a painful wait till you tell us the whole story. Can't wait can't wait!!!

    ReplyDelete
    Replies
    1. Ooops sorry for double posting.

      Delete
    2. හුටා..මේ කම්මලය ලෙඩේ වටේටම දීලද කොහෙද?...:)

      Delete
  7. හෙහ් හෙහ් හෙහ්, අම්මපා ඔයවගේ ඔපරේෂන් වලට ගියාම සිදුවන අබග්ග ගැන කියලා වැඩක් නෑ. හැබැයි මේ සිද්ධිය නියම පුරුස, හුටා....... අරක්කු දහිරියෙන් කොරපු, ජීවිතේට අමතක නොවන වීරක්‍රියාවක් කියලා නම් නොකියාම බැරිය. තව ඉස්සරහට මොන මොන ජංජාල එයිද කියා හිතාගන්නත් බැරිය. සුපිරියි.

    ReplyDelete
    Replies
    1. Wicharaka,

      හපොයි මඟුල් ගෙවල්. මල ගෙවල්, දාන, පිරිත් වලට ගිහිල්ල ඔහොම වෙච්චි දේවල් තව තියනව සෑහෙන්න. පොඩි එකක් කියන්නං කෙටියෙන්. මේක වුනේ පාටියකදි. හොඳ සර්පිනා ශිල්පියෙක් ඇවිල්ල හිටිය පාටිය ඕගනයිස් කරපු අපේ යාලුවගෙ මාමා කෙනෙක්ද කොහෙද. දන්නවනෙ ඔය සංගීත ශිල්පියො තමන් වාදනය කරන භාණ්ඩ වලට බොහොම ගරු කරනවනෙ. සර්පිනාව ගාවම හිටිය අපේ යාලුවෙක්. මිනිහට එක පාරක් සිංදුවකට අප්පුඩි ගහන්ට ඕන වෙලා කකා හිටපු කුකුල් අණ්ඩ සර්පිනාව උඩ තියල. අම්මට උඩු යන්තම් නොවඳිනා වැඳුම් වැඳල වැඩේ ෂේප් කරගත්තෙ. එහෙම ෂේප් නොවුනනම් අපිට තාම ගහනව.

      Thanks Wicharaka....

      Delete
  8. සූ සැට බරණින් සැරසීලා..හෙණ ගහනා වැසි වැටෙන වෙලේ මැගිලින් අක්කා පැමිණි විලාසෙන්... කියලත් සිංදුවක් තියනව නේද ?

    ReplyDelete
    Replies
    1. ෂුවර් එකට ඔය සින්දුව ඒ කාලේ ඩොක්ටර්ස් ක්වාටස් වල කියපු එකක්.

      Delete
    2. විචා,

      නෑ ඕක මට මතකයි අරූ කිව්ව දවසක් පුංචි බොරැල්ලෙ හොස්ටල් එකේ නිතරම කියනවය කියල. අරූගෙ යාලුවෙක් හිටියලු එතන මෙඩිකල් ස්ටුඩන්ට් කෙනෙක්. අර සේලයින් බෝතලේට අරක්කු දාල නික්ෂේපනය කරහන්නවය කිව්වෙ..අන්න ඒ පොර…

      Delete
    3. Trans sylvania,

      සූසැටබරණින් නම් වෙන්න නෑ මෙහෙම වෙන්න ඇති සම් ටයිම්ස්..

      කොට හැට්ටේකිං සැරසීලා,
      හෙණ ගහනා වැහි වැටෙන වෙලේ,
      මැගිලින් අක්කා පැමිණි විලාසේ
      මට ඉන්නට බෑ නිසංසලේ…

      Delete
  9. මදෑ ඔයින් ගියා...
    අර කලබලේ ටික ටික උඹ ගාවට ඇවිත් විනාඩි දහ පහළොවක් පොළවෙන් උඩට එසවිලා ඉන්න වාසනාව ලැබුනේ නැද්ද...

    ReplyDelete
    Replies
    1. ඇත්තටමනං ඔතන උනේ රවි අයිය කුකුළ අරන් එනකොට අමරෙ විතරක් නෙමෙයි බීපු සෙට් එකම දිරාමාරු වෙලා තිබ්බ එක. ඊට පස්සෙ ඉතිං රවියගෙ පස්සෙන් ආපු මංගල සභාව විසින් පිංවත් රවියාණන් වෙත සම්පූර්ණ සැවුලානන් සහ ඉතුරුව තිබූ මධු පානයන් සියල්ල පිං සිතින් අනුමත කළාය, සියල්ල නිමවනතෙක් බලාගැනීම සඳහා පුරුෂ දහිරිය තියෙන කීප දෙනෙක් රවියව මුර කළාය කියල තමයි පොතේ තියෙන්නෙ.

      Delete
    2. ලොක්කා,

      ඔව් බං එහෙම වෙන්ට තිබ්බ.ඒත් මගෙ යාලුවො මාවත් ඇදගෙන ව,ක්‍රී.ප. එතනිං විත්ඩ්‍රෝ වුනා...හෙහ්,හෙහ්

      Delete
    3. ප්‍රසන්න,

      මේ....පලයං බං නිකං අපහාස කරන්නෙ නැතුව...:)

      Delete
  10. වැටිච්ච කුකුළ අප්පහු ගද්දි කරමලේ ගාවින් තදට අහුවෙන්න ඇත්තෙ , නැත්නම් ඔච්චර සද්දයක් එන්න විදිහක් නෑ.
    ෂික්... අරක්කු හින්ද කුකුළට වෙච්චි දෙයක් ....

    ReplyDelete
    Replies
    1. වැටිච්ච කුකුළ අප්පහු ගද්දි කරමලේ ගාවින් තදට අහුවෙන්න ඇත්තෙ , නැත්නම් ඔච්චර සද්දයක් එන්න විදිහක් නෑ.
      ෂික්... අරක්කු හින්ද කුකුළට වෙච්චි දෙයක් ....

      (කම්මලගෙ ඩබොල් කමෙන්ටුව)

      Delete
    2. ඒ පාර මගෙ හොල්මනත් ඇවිත්.

      Delete
    3. ඒ පාර මගෙ හොල්මනත් ඇවිත්.

      Delete
    4. ඔන්න රියල් කම්මල් අනන්නතාවය

      Delete
    5. කම්මල,

      / වැටිච්ච කුකුළ අප්පහු ගද්දි කරමලේ ගාවින් තදට අහුවෙන්න ඇත්තෙ../

      කුකුළ වැටුනෙ අර කෙල්ලෙක්ගෙ ඔඩොක්කටනෙ බං..කෙල්ලන්ට කොහෙන්ද කරමල්? අනික මේ ඔඩොක්කෙ?

      Delete
    6. කම්මල,

      අම්මප මලේ උඹට වෙච්චි අකරතැබ්බෙ... ලෙඩේ හොඳ කරගත්ත යන්තමට. දැං මේ අහල පහල එවුං ආයම ලෙඩේ හදවන්ට හදන්නෙ....:)

      Delete
  11. බලහං ඉතිං මේක කියෝගන්ට ගත කරපු කාලෙයක්...! අනේ මංදා, වාංපතුල් ඉස්ටැයිල් එකටද මංදා කියෝපු වෙලේ ඉඳං වෙරි වගේ කැරකෙනවා...

    ReplyDelete
    Replies
    1. ඩ්‍රැකී,

      හරියටම අවුරුද්දයි මාස දෙකක් ගියා බං...අන්න එහෙමයි අපි....:)

      Delete
  12. පෝස්ට් එක නම් පට්ට... පිළිස්සූ කුකුලෙකු නිසා මොකද්දෝ ඇබැද්දියක් වුණා කියලා උඹේ බ්ලොග් එකේ කොහේදෝ කියෙව්වා ඒ කාලේ... උඹ ඉතිං තේමා පාඨ කියලා කතා පටං ගත්තට සිද්ධියට එන්නේ ආත්ම දෙකක් විතර පහුකලාට පස්සෙනෙ... මටත් මතක නෑ ඒ පිළිස්සූ කුකුල් සිද්ධිය මේ කතාවට තේමා පාඨයක්ද වෙන එකක්ද කියලා... හැබැයි පෝස්ට් එක නම් එළම එල... විෂුවල් එකක් හදන්න නියමයි....

    ReplyDelete
    Replies
    1. //පිළිස්සූ කුකුලෙකු නිසා මොකද්දෝ ඇබැද්දියක් වුණා කියලා උඹේ බ්ලොග් එකේ කොහේදෝ කියෙව්වා ඒ කාලේ.//
      මේ ඒ කුකුළම තමයි. දැං අවුරුදු එකහමාරක් විතර මූ මේසෙ උඩ ඉන්නව.

      Delete
    2. තිසර,

      ආය වෙන කුකුළො හිටියෙ නෑ බං..ඒ මූම තමයි, මූම තමයි..ප්‍රසන්නය ඔය කියල තියෙන්නෙ...හෙහ්,හෙහ්,

      එදවස වසරකුත් මාස දෙකකට පළමු මවිසින් මේ වියුණුවෙහි සඳහන් කරන්නට යෙදුනාවූ ඒ සැවුලාණෝ වනාහී අනෙකෙකු නොව අද දින මවිසින් ලියා ප්‍රසිද්ධ කරන්නට යෙදුනාවූ " පිළිස්සූ සැවුළකු කරණ කොට ගෙන අහිමිවූ මගේ ආදරය " නම් වූ මගේ ජීවිතයේ තවත් එක් අනුවේදනීය සිද්ධියක ප්‍රධාන භූමිකාව රඟපෑ මේ සැවුළාණන් ම මිස අනෙකෙකු නොවේයයි පූර්වාපර සන්දි ගලපමින් වදාළෝය.

      Delete
  13. හප්පේ වෙලා තියෙන දෙයක්. (ඇත්තටම කිවුවොත් බීල හිටපු වෙලාවකනං ඇත්තටම ඔතන මොකුත් උනේ නෑ තමයි)
    යකෝ රවී අයියෙ, ඔච්චර සෙට් එකක් මැද්දෙන් ගිහිල්ල ඔය කුකුල ගන්න තරං සුරා දහිරිය උපදගන්න උඹ පාවිච්චි කරපු බ්‍රෑන්ඩ් එක මොකක්ද?

    ඊට පස්සෙනං ඉතිං මගුල් ගෙදර අතිශය ඛේදනීය අව මගුල් තත්වයක් ඇතිවෙන්න ඇතැයි සිතමි.

    අර ඉයන් අහල තියෙනව වගේ අසෝක විතරක් නෙමෙයි අජිතත් බොලා එක්ක තරහ නොවුනනං ඇති.

    ReplyDelete
    Replies
    1. ප්‍රසන්න,

      ඒ කාලෙ ඔය වෙඩිං වලදි වගෙ අපි ගහන්නෙ එක්කො ඕල්ඩ් නැත්තං ඩබල් ඩිස්ටිල්ඩ්. ඔය දෙකෙං එකක් තමයි එදත් තියෙන්න ඇත්තෙ.

      ඊට පස්සෙ වෙච්චි එව්ව කියනකල් ඉඳහං පොඩ්ඩක් ඉවසල...හුහ් අවුරුද්දකුත් මාස දෙකක් ඉවසල හිටිය. මූට තව සතියක් ඉවසන්ට බැරි හැටියක් අම්මාපල්ල…

      Delete
  14. බීලා රහ මෙරත් පමණට වඩා අද
    සිතුවා වීරයෙකු වන්නට බමන මත
    සැවුලා සොරා ගෙන මංගල සාදයක
    හිවලා වුනාවත්දො ගම ගෙදර ලෙද

    ReplyDelete
    Replies
    1. තෙලිදිය,

      හෙහ්..මරු කවිය බං...:)

      Delete
  15. ජම්බෝල ගැන ඔච්චර විස්තරයක් කරන්න මේක අර අනන්‍යා ගෙ කතාව කියල හිතුවද?

    ReplyDelete
    Replies
    1. ප්‍රසන්න,

      අපි ඉතිං එහෙමනෙ බං..ආනන්දෙං පන්නාවට කිව්ව වගෙ පොඩි ආතල් එකක් ගන්න ගමං නොදන්න දෙයක් දැනගන්න එකත් හොඳයිනෙව නැද්ද?

      Delete
  16. යකෝ මේකා මහ දවල් කුකුල් හොරකමේ ගිහිං තියෙන්නෙ මංගල සබාවක් මැදට නොවැ.හොරකම අහුවුනාම කෙල්ල තියා ගෙදර මනුස්සයෙක්වත් බොගෙ මුණ බලාවියැ.

    ReplyDelete
    Replies
    1. හැලප,

      ඔන්න ඉතිං කිව්ව..ඇයි බොල බුචේරුවෝ අර දෙනෝ දාහක් කටවල් ඇරගෙන බලා ඉද්දි කේසර සිංහ රාජය වගෙ සිංදුවකුත් කිය කිය ගිහිල්ල කුකුල අරං එන එක කොහොමද බොල හොරකමක් වෙන්නෙ?

      Delete
  17. යකෝ මේක කියවද්දි පවා ලැජ්ජා හිතෙනව. අනේ අහිංසක රවියා.

    ReplyDelete
    Replies
    1. රාජ්,

      අන්න බලාපං බොලාට කියවනකොටත් ලැජ්ජයි....හෙහ්,හෙහ්,

      Delete
  18. කොච්චර තාත්විකව ලියල තියෙනවද කියනවනම් මේක කියවල මටත් නිකන් වෙරිවගේ. බයි ද වේ ජම්බෝලයි Grapefruit යි දෙකම එකක්ද?

    ReplyDelete
    Replies
    1. ඇනෝ

      නැහැ, ජම්බෝල සහ ග්‍රේප්ෆෘට් කියන්නෙ වර්ග දෙකක්. ජම්බෝල වලට ඉංග්‍රීසියෙන් කියන්නෙ Pomelo කියල.

      තොරතුරු දැනගන්ට තියන විදිහට බාබඩෝස් දූපතේදි ජම්බෝල සහ පැණි දොඩම් දෙමුහුන් කරල තමයි ග්‍රේප් ෆෘට් හදාගෙන තියෙන්නෙ.

      Delete
    2. +++++++++++++
      Thanks....!!

      Delete
    3. මමත් හිතා හිටියේ ඇනෝ හිතන විදියටම. මම මේ දැන් චෙක් කලා. තවම පැහැදිළි චිත්‍රයක් මැවුනේ නෑ pomello, grapefruit වෙනස ගැන. ඒ මොකද දෙකේම තියෙන පින්තූර එක වගේ.

      Delete
    4. හෙන්රි,

      / ඒ මොකද දෙකේම තියෙන පින්තූර එක වගේ. /

      එක වගෙ නෙවෙයි නේද? උඹ නොවැරදීම එකම ලින්ක් එක බලන්නැති එහෙනං...:)

      1. ජම්බෝල - පොත්ත කොළ / කහ පාට - රේණු - කොළ පාට

      2. ග්‍රේප් ෆෘට් - පොත්ත - තැඹිලි පාට - රේණු - රතු පාට

      Delete
    5. මම ජම්බෝල පෙරේතියක්..... ගෙඩි දෙක තුනක් උනත් එක හුස්මට කාගෙන කාගෙන කාගෙන ගිහෑකි තනියෙන්.. බොරුනම් දීල බලන්ඩ....

      Delete
    6. So am I Upeksha. Between us maybe we can finish about 6-7 fruits. I like the pink variety.

      Delete
    7. යූ ඇන්ඩ් ඩී,

      බොලව් ජම්බෝල කියන එව්ව ඔච්චර කන්ට බෑ. අහුරක් දෙකක් කෑහම මගෙ නම් බඩ පුරවදානව වගෙ වෙනව. ඇඹුලයිනෙ..:)

      Delete
    8. උපේක්ෂා,

      ඕං ඉඳා...

      Delete
    9. ඒකනේ ඒකනේ ඩුඩ්... අම්මේ වෙනකොටත් පිස්සු වගේ. ජම්බෝල දැනට මම තනියෙන් 4ක් කාල තියෙනවා එක හුස්මට. ආයේ කන්න නැති උනේ ගෙඩි ඉවර වෙච්ච නිසා. හික්...

      රවියා: අනේ මේ.. උඹ කන ජම්බෝල. මට ඔය පැඟිරි රස එව්වා කන්න පුළුවන් ඕනේ තරම්. ඒ අතරින් ජම්බෝල විශේෂයි. සෝස පාට නම් කියල වැඩක් නැත.

      ඩ්‍රැකී: මොනාද උඹ ඔය විසික්ක කරන්නේ? බල්ලන්ට ලෙලි පොල් වගේ?

      Delete
    10. උපේස්සාට ජම්බෝලයි වරකයි දුන්නොත් මොනවෙයි මුලින්ම කන්නෙ හා??

      Delete
    11. ක්‍රම කිහිපයක් තියෙනවා:
      පලවෙනි ක්‍රමය: ජම්බෝල කටායි.... වරකා කටායි...
      දෙවැනි ක්‍රමය: ජම්බෝල ඉක්මනින් සවුත්තු වෙන්නේ නැහැනේ. ඒ වගේද වරකා. ඒ හින්ද ඒකට මුලිම්ම වැඩේ දෙනවා. ඊට පස්සේ ජම්බෝල.
      තුන්වෙනි ක්‍රමේ: ජම්බෝල රේණු වරකා මදුළු ඇතුලට දාල කනවා.

      අනිත් ක්‍රම කියලා මට බලපතල වංචා දුෂණ එකට යන්න වෙයිද මන්ද

      Delete
  19. මොනව උනත් රවි අයිය කරපු දේ හරි. මොකද ඔය කුකුල අවුරුදු එකහමාරක් විතර මේසේ උඩ හිටියනේ.. ඊළඟ කෑල්ල තවත් රසවත් වගේ.....

    ReplyDelete
    Replies
    1. ඊළඟ කෑල්ල විතරක් නෙමෙයි බොල සම්පූර්ණ කුකුළම රවි අයියට කන්න උනාය කියවලුනෙ.

      Delete
    2. Kool,

      අන්න ඒකනෙ කියන්නෙ...ඔබ හරි..ඔබ හරි...:)

      Delete
  20. අපොයි...කෙලලා තියෙන්නෙ අද තාප්පෙටම..සායම ඉවරයි. සුරාවෙ ආදීනව......සුරාවෙ ආදීනව.....!!!

    ReplyDelete
    Replies
    1. SH,

      සුරාවෙහි අගයත් , එහි ඇති මනා ගුණයත්.........හෙහ්,හෙහ්.

      Delete
  21. මේක ලියලා තියෙන්නෙත් මධු පානයක සුව විඳලා ද කොහේද! :D

    /ස්වකීය කටහඬ ඇසීමේ නොතිත් ආශාවෙන් පෙළෙන්නන්/ මේගොල්ලන්ට කියනවා 'මයික්' ටයිසන් ලා කියලාත්

    ReplyDelete
    Replies
    1. මලිති,

      යස් එහෙමත් කියනව තමයි...:)

      Delete
  22. ඔය මයික් එකක් අල්ලගත්තාම මොන විදියෙන්වත් අතාරින්නේ නැති උන්ට අපි කියන්නේ මයිකල්ලා කියලා.

    මචං මේ කතාව මෙතනින් ඉවර නෑ නේද? මේකෙ නිකං පාඨකයත් මත්වෙන ගතියක් තියෙන නිසා අන්තිමට වෙච්ච දේ මට එච්චරම පැහැදිලි නෑ. තව කොටසක් තියෙනව නේද මචෝ?

    ReplyDelete
    Replies
    1. හෙන්රි,

      ඔව් බං තව තියනව. පශ්චාත් කුක්කුට අර්බුද විශ්ලේෂණය තව එහෙම්මම තියනව නෙව.

      Delete
  23. අයියෝ සල්ලි ....... වැරදුනා වැරදුනා ........ අයියෝ කුකුළා .........

    ReplyDelete
  24. Kukula kapu ekata neweyi meka sihiyak pothak nathiwenna bona bebaddek nisa thamayi asoka akka akamathi wennaththe.. nathnam ara wetunu wele kukula wenuwata mu kellawath issuwada danne na.
    Yasa we're bota. . Hak hak hak. .

    ReplyDelete
    Replies
    1. කළ්‍යාණ,

      නෑ බං බොන එක ගැන ඒ හැටි අවුලක් තිබ්බෙ නෑ. මෙතන වුනේ බීල විතරක් නම් මදැයි ...හත් පලේ ගා ගත්ත නෙව මුලු නෑදෑ සනුහරේම ඉස්සරහ...ආය කොහොමද රෙද්දක් ඇඳල.....හෙහ්,හෙහ්,


      Delete
  25. හෙහ් හෙහ් පට්ට.......

    ReplyDelete
  26. හිනාවෙලා පනයනව. තව කතා ලියන්නකො. කුකුලෙක් නිසා වෙච්ච සංගෙඩියක්. අර අංගනාව කොසු පාරක් දුන්නෙ නැතැයි.

    ReplyDelete
    Replies
    1. චාන්දි,

      තව තියනව..තව තියනව...:)

      Delete
  27. හාස්‍යජනකයි තමයි ඒත් ඇඟ කිළිපොලා යනවා. අහෝ අසෝකා

    ReplyDelete
    Replies
    1. තිලක්,

      " ඇඟ කිළිපොලා යන සටන් ජවනිකා, ඉළ ඇදෙන විහිළු, වැලන්ටයින් කුමාරයා රාක්ෂයාගේ ගල්ලෙනට ඇතුල්වී යන්ත්‍රානුසාරයෙන් කුමාරිකාව බේරාගෙන ඒම, සමඟ බමණදාසගේ කොමිට් කෑලි .."

      තිලක්ට මතකද එහෙම තිබ්බෙ කාගෙ පොතකද කියල? ඉතාම සුප්‍රසිද්ධ ලේඛකයෙකුගෙ කෘතියක...:)

      Delete
    2. Madol doova :-)

      Delete
    3. ඇනෝ,

      ඔබ හරි...උපාලිලගෙ ගමේ පෙන්නන ටීටර් එකේ ( ඒකෙ නම මගඩි නාටකය ) පෝස්ටර් වල එහෙම තමයි තියෙන්නෙ....:)

      Delete
  28. Post එකේ තියෙන සැරසිලි හැඩවැඩ දැක්කම ආභරණ වලින් සරසපු මනාලියක් වගේ කියලා හිතෙනවා . මහ එපා කරපු සිදුවීමක් වුණාට මොකද ලියලා තියෙන අපූරුව නිසා දෙතුන් වතාවක්ම කියෙව්වා .

    ReplyDelete
    Replies
    1. මෙතූ,

      දෙතුන් වතාවක් කියෙව්ව එතකොට? හෙහ්..අන්න එහෙම එන්න...:)

      Delete
  29. ඇඟ කිළිපොලා යන විහිළු කියන්නෙ මෙව්වට තමා... වීඩියෝ කොරල වගේ ලියල.....මල් හතයි.. රාජ් කිව්ව වගේ කියෝනකොටත් ලැජ්ජ හිතෙනව...

    ReplyDelete
    Replies
    1. සජ්ජා,

      හෙහ්, බොලාට කියවනකොටත් ලජ්ජයි නං නිකමට හිතපං ඕක කරපු මට කොහොම ලැජ්ජාවක්ද කියල...අන්න එහෙමයි අපි ...:)

      Delete
  30. හෙහේ,කුකුළා වනාහි කොටියාටත් වඩා භයානක සත්වයෙක් වගේනේ.

    ReplyDelete
    Replies
    1. මනෝජ්,

      ආය මොනවද බං?..මාව විනාස කලා ඔය අසමජ්ජාති සතා...:)

      Delete
  31. මේ පෝස්ටුව කොච්චර කියවන්න හැදුවත් හිත දෙන්නේ ම අර උඩින් තියන කුකුලා දිහා බලාන ඉන්න විතරයි....

    ReplyDelete
    Replies
    1. කුරුටු,

      ඔය හැටි මොනවද බං ඕකෙ බලා ඉන්න තියෙන්නෙ? කුකුලෙක් අරගෙන කාපංකො හිතේ හැටියට...:)

      Delete
  32. මචං පහුගිය ටිකේම එන්න බැරිවුනා..
    මග හැරුන ඒවා කියවන්නත් තියනවා...

    කුරුටු කියනව වගේ ඇයි බං පෝස්ට් එකට අර වගේ කුකුලෙක් දැම්මේ..

    මොකද කුකුලා උඹේ ජීවිතේ වෙනස් කලා කිවේ..උඹ කුකුලෙක් වුනාද ඒ පාර

    ReplyDelete
    Replies
    1. මනෝ,

      මට දැන් මුල ඉඳලම කතාව කියන්න වෙනව මෙතනම උඹේ ඔය ප්‍රස්නෙට උත්තර දෙන්ට ගියොත්...හෙහ්,හෙහ්...කතාව කියෙව්වෙත් නෑ කිව්වනෙ නේද? කියවපංකො එතකොට කුකුල ගැන සක්සුදක්සේ පැහැදිලි වෙයි....:)

      Delete
  33. දවසක් අපේ කොම්පැණියෙ චීන්නු වෙඩිමකට ගිහින් මේසෙ තිබුන කුකුළට දුන්නා ගේම.. මුළු ගමම බලාගෙන.. මාත් ආයෙ ගාතයක් කටේ ඔබාගෙන නිකා හිටියා.. අපරාදෙනෙ නැත්තං... හෙහ් හෙහ්....
    මක්කෙයි උනේ කියන්නකො ඉක්මනටම..
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. ගස්,

      ඇති චීන්නු ගියාට පස්සෙ ගමේම එවුං එකතු වෙලා උඹට නෙලුවෙ නැතුවා කුකුල් ගාතෙ ආපහු වමාරනකල්....:)

      Delete
  34. දැන් කොමෙන්ට් දාල වැඩක් නෑ.. මම ඇරියස් කවර් කරන්න එනකොට හොඳ ටික ඔක්කොම ඉවර වෙලා හෙහ් හෙහ්...

    ReplyDelete
  35. hahaaa patta post eka

    ReplyDelete
  36. මේක ඇත්තටම සිදුවුණු දෙයක් නොවේ. එහෙමෙ වෙන්න බෑ බෑ මයි.

    ReplyDelete
  37. මේක කියෙව්වේ ඩ්රැකී උන්නැහේ කමෙන්ට් එකකින් ලින්ක් එක ඒවා තිබුණු නිසා. කලින් කියවලා තිබුණා නම් මගේ 'ශ්‍රී ලංකා not Vs England - පස්වෙනි කොටස' පෝස්ටුවත් තව දික් වෙනවාමයි. ඒ තරමට දේවල් මතක් වෙනවා කියවද්දී. රවී..... මෙව්වා තමයි හැබෑටම පොදු අත්දැකීම්!

    ReplyDelete

මගේ සිතුවිලි ගැන ඔබේ සිතුවිලි

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...