Thursday, February 2, 2017

478. පුවක් එෂැණිං 25 - ඔබද මිලියනපති? - 1


"Who wants to be a millionaire?" නොහොත් ඔබට
මිලියනපතියකු වීමට අවශ්‍යද? යනු අමරිකා
එක්සත් ජනපදයේ ඉතා ජනප්‍රිය ප්‍රශ්ණ
විචාරාත්මක වැඩ සටහනකි.

ඔබ සියළුදෙනා දන්නවා මම හිතන්නෙ දිවයිනේ සතර දෙස ඉතා ජනප්‍රිය "ඔබද මිලියනපති?" වැඩ සටහන. ඒ වැඩ සටහනේදී දිනාගත හැකි උපරිම ත්‍යාග මුදල වන රුපියල් මිලියන තුන පළමුවරට දිනාගැනීමට මේ පසුගියදා තරඟකාරියක් සමත්වුනා. ඒ නිසා පුවක් එෂැණිං හි අප කල්පනා කලා ඔබට ඓතිහාසික මොහොත පිළිබඳව සවිස්තර වාර්තාවක් ගෙන එන්නට.......

මෙතැන්සිට අප ඔබව යොමු කරවනවා එම වැඩසටහන වෙත............

****************************************************

(ටෑවු... ටැවු….. ටැවු…. ටෑවු…. ටැවු…. ටැවු... ටෑවු…. ටැවු... ටැවු…. ටෑවු…. ටැවු... ..ටැවු... ටා…..)

"ප්‍රියාදර නරඹන්නනි, මෙන්න අදත් ඔබ වෙනුවෙන්..මේ ඔබද මිලියනපති…"

"ඔබ දන්නවා මේ තරඟයේදී අපි ඔබෙන් අහනවා ප්‍රශ්ණ විස්සක්. පළමු ප්‍රශ්ණයට ලක්ෂයයි දෙවන ප්‍රශ්ණයට ලක්ෂයයි..තෙවන ප්‍රශ්ණයට ලක්ෂයයි..අන්න ඒ විදිහට පළමු ප්‍රශ්ණ දහයට නිවැරදිව පිළිතුරු ලබාදෙන තරඟකරුවාට හෝ තරඟකාරියට ලැබෙනවා රුපියල් ලක්ෂ දහයක්. දහවන ප්‍රශ්නයෙන් පසුව එක් ප්‍රශ්ණයකට නිවැරදි පිළිතුර ලබාදීම වෙනුවෙන් ලැබෙන තෑගි මුදල රුපියල් ලක්ෂ දෙකයි. ඒ අනුව ප්‍රශ්ණ විස්සටම එක එල්ලේ නිවැරදි පිළිතුරු ලබාදීම වෙනුවෙන් මුලු තෑගි මුදල වශයෙන් අප ලබා දෙනවා රුපියල් ලක්ෂ තිහක මුදලක්.....ඒ වගේම තරඟකරුවනට තරඟකාරියනට තියෙනවා ලයිෆ් ලයින් තුනක්. ආස්ක් ද ඕඩියන්ස්, ෆිෆ්ටි ෆිෆ්ටි සහ කෝල් අ ෆ්‍රෙන්ඩ්"

"අද අප පළමුවෙන්ම තරඟයට කැඳවන්නේ කොට්ටුකච්චියේ සිට පැමිණි උන්මාදනී සර්වභක්ෂණී.....එන්න උන්මාදනී…"

"ඔව් උන්මාදනී සර්ව භක්ෂණී, ඔබේ නම ටිකක් විතර අමුතුයි. ඒකට මොකක් හරි විශේෂ හේතුවක් තියනවද උන්මාදනී මෙනෙවිය? "

"ආ..මෙහෙමයි මාව ලැබෙන්න ඉන්දැද්දි අපෙ අම්මට හිතුනලු දකින දකින දේ කාගෙන යන්න නිකම් මේ පිස්සුවකින් වාගෙ. අන්න ඒ හින්දයි මට උන්මාදනී සර්වභක්ෂණී කියල නම දාල තියෙන්නෙ..හිහ්...හිහ්…"

"හරි අපි එහෙනම් තරඟයට අවතීර්ණ වෙමු...මෙන්න ඔබට ලැබෙන පළමු ප්‍රශ්ණය….."

(ටැවුටු...ටැවුටු..ටැවුටු..ටැවුටු...ටාං)

"කිසිසේත්ම විශ්වාස කල නොහැකි සුරංගනා කථා ගණයට ගැනෙන හේතු දැක්වීමක් සඳහා උදාරණයක් ලෙස මින් වඩාත් උචිත සිද්ධිය වන්නේ …."

"A. කිතුලට ගිය රා සොඬා තණකොළ කැපීම සඳහා කිතුලට නැඟි බව පැවසීම"

"B. 2015 වර්ෂයේ පැවති ජනාධිපතිවරණයෙන් මහින්ද රාජපක්ෂ මහතා පරාජය වූයේ විදේශ කුමන්ත්‍රණයක ප්‍රතිඵලයක් ලෙස බව ප්‍රකාශ කිරීම"

"C. දෙහිවල ප්‍රදේශයේ ඉතා වටිනා පර්චස් 60 කට අධික ඉඩමක් මිලදී ගැනීම සඳහා ඩේසි ආච්චිට නාඳුනන පුද්ගලයකු මැණික් මල්ලක් ගෙනවුත් දුන් බව පොලීසියට ප්‍රකාශ කිරීම"

"D. භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතනය පිළිබඳව කිසිවක් තමන්ට මතක නැතැයි දුමින්ද සිල්වා ප්‍රකාශ කිරීම"

"ම්ම්ම්... දැන් මෙහෙමයි. කිතුලට ගිය මනුස්සය කියපු කතාව අපිට කෙලින්ම අයින් කරන්ට පුලුවනි."

"ආ..එහෙමද? එහෙම පුලුවන්ද?"

"පුලුවන්නෙ...කිතුල් ගහ උඩ ඔය පිළිල වගෙ දේවල් හැදෙන්ට පුලුවනිනෙ. එව්ව බිම ඉඳල තණකොළ වගෙ පේන්ට පුලුවනි. ඒ හින්ද ඒ කතාවෙ යම් පදනමක් තියෙන්න පුලුවන්…"

"හරි...එතකොට ඊලඟට.."

"ඊලඟට හිටපු ජනාධිපතිතුමා පරාජයවුනේ විදේශ කුමන්ත්‍රණයකින්ය කියන කතාව. ඒකත් සමහරවිට වෙන්න පුලුවන්."

"ඒ කිව්වෙ? "

"ඒ කිව්වෙ මෙහෙමනෙ. අපේ බුදු හාමුදුරුවො පිරිනිවන් මංචකයෙදි ලංකාව ආරක්ෂා කරන්ට භාර දුන්නයි කියනවනෙ විෂ්ණු දෙවියන්ට. එදා ඉඳල ලංකාවට විපතක් වෙන්ට යනකොට විෂ්ණු දෙයියො ඉදිරිපත්වෙලා ලංකාව බේරගන්නව. 2015 ජනාධිපතිවරණයෙදි උනෙත් ඒක වෙන්න පුලුවන්. එතකොට විෂ්ණු දෙයියො ඉන්දීය වැසියෙක්නෙ. එතකොට එතුමා එහෙම කලානම් ඒක තනිකරම විදේශ බලපෑමක්නෙ. ඒ හින්ද ඒ කතාවෙ ඇත්තක් තියෙන්නත් පුලුවන්."

"ඔව් එහෙම වෙන්නත් පුලුවන් තමයි"

"ඊලඟට භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතනය. එතනත් දුමින්ද සිල්වට ඒ ගැන මතක නැති එක සමහරවිට ඇත්තක් වෙන්න පුලුවන්.."

"ඒ කොහොමද? "

"ඇයි ඔය දුමින්ද සිල්ව එක පාරක් බාල වයස්කාර දැරියක් දූෂණය කරල අන්තිමට උසාවියෙන් නිදහස්වුනේ ඒ දැරිය සාක්කි දෙන්ට උසාවි එන්ට බෑ කියපු හින්දනෙ. එක්කො ලැජ්ජාව නිසා. නැත්නම් මරණ තර්ජන කරන්ට ඇති....හරි ඒ කොහොම හරි මම මේ කියන්ට ආවෙ එහෙම අපරාධ කරපු නරුමයෙකුගෙ මතකය දුර්වල වෙන එක අහන්ටත් දෙයක්ද? ඒ හින්ද ඒ මතක නැති කතන්දරේ ඇත්ත වෙන්ටත් පුලුවන්."

"එතකොට මොකක්ද ඔබේ පිළිතුර?"

"ඒ හින්ද මම හිතනව C. ඩේසි ආච්චිගෙ මැණික් මල්ලෙ කතාව තමයි නිවැරදි පිළිතුර කියල."

"ඒ ඔබේ ෆයිනල් ආන්සර් එකද?"

" ඔව්..ඒ මගේ අවසාන පිළිතුර...."

"හරි උන්මාදනී අපි බලමු...."

(ටැවුටු...ටැවුටු..ටැවුටු..ටැවුටු...ටාං)

"උන්මාදනී..ඔබ මේ මොහොතේ දිනාගන්නවා රුපියල් ලක්ෂයක්...ඔව් ඔබගේ පිළිතුර නිවැරදියි...."

"මෙන්න ඔබට ලැබෙන දෙවන ප්‍රශ්ණය."

(ටැවුටු...ටැවුටු..ටැවුටු..ටැවුටු...ටාං)

"දළඳා වහන්සේට උපරිම ගෞරව දැක්විය හැක්කේ ……."

"A. දළඳා වහන්සේ වැඳ පුදාගෙන ඉන්පසු කුරහන් සාටකයද කරේ දමාගෙන මහානායක හිමිවරුන් බැහැදැක අපෙ හාන්දුන්නේ යයි දෙකට නැමී වැඳ වැටී මහ පොළව පවා නුහූලන අමූලික අසත්‍ය ප්‍රකාශ කිරීමෙනි "

"B. මහානායක හිමිවරුන්ගේ දැඩි විරෝධය නොතකා නුවර වැව වටා මෝටර් රථ ධාවන තරඟ පැවැත්වීමෙනි"

"C. 2010 වසරේ පැවති ජනාධිපතිවරණයෙන් පසු සරත් ෆොන්සේකා මහතා අත් අඩංගුවට ගැනීමට විරෝධය පලකරමින් දළඳා මාළිගාව ඉදිරිපිට පැවැත්වීමට සැළසුම් කොට තිබූ ත්‍රෛනිකායික සංඝයා වහන්සේලාගේ සත්‍ය ග්‍රහය මරණ තර්ජන කොට අවලංගු කරවීමෙනි"

"D. බුදුන් වහන්සේ අනුදැන වදාළ පරිදි ධර්මයෙහි හැසිරීමෙනි."

"D පිළිතුර අපිට කලින්ම ඉවත් කරන්න පුලුවන් කිසිම සැකයකින් තොරව…"

"ඒ කොහොමද? "

"ඒක මෙහෙමයි බුදුන් වහන්සේ කියපු විදිහට අද කිසිම කෙනෙක් ධර්මයේ හැසිරෙනවද? නෑනෙ. ඉතිං එහෙම කියල දළඳා වහන්සෙට තියන ගෞරවය නැති වෙනවද? ඒත් නෑනෙ.ඒ නිසා D පිළිතුර මට පිළිගන්නට බෑ."

"හරි D ඉවත්කලාය කියමුකො. ඊලඟට?"

"A, B සහ C යන පිළිතුරු තුනම මට හිතන්නට පුලුවන් දළඳාවහන්සේට ගෞරව දැක්වීමක්ය කියල. ඒත් මම හිතනව වඩාත්ම දළඳා වහන්සේට ගෞරවයක් දක්වන්න පුලුවන් නුවර වැව වටා කාර් රේස් පැවැත්වීමෙන්ය කියල.."

"කොහොමද ඔබ එහෙම හිතන්නෙ? මොකක්ද ඔබේ තර්කයේ පදනම? "

"මෙහෙමයි දළඳා වහන්සෙට ගෞරව දැක්වීමේ එක ක්‍රමයක්නෙ ශබ්ද පූජා පැවැත්වීම. දැන් ඔය අළුයම තේවාව, නවපෑ තේවාව එතකොට හැන්දෑ තේවාව මේ හැම එකක්දිම දවුල් තම්මැට්ටම් එහෙම වාදනය කරල ශබ්ද පූජාව පවත්වනව. ඒ නිසා අපිට නිසැකව කියන්ට පුලුවන් ශබ්ද පූජාව ඉතාම උතුම්ය කියල. එතකොට නිකමට හිතල බලන්න නුවර වැව වටේ රේසිං කාර් ධාවනය වෙනකොට සුවල්ප සද්දයක්ද එන්නෙ? බ්‍රෑම්..බෲම්...බෲම්ම්ම්...බ්‍රෑම්ම්ම්...මහ විසාල සද්ද ගොඩක්නෙ. ඉතිං දළඳා වහන්සෙට ඊටත් වඩා කරන්න පුලුවන් ගෞරවය මොකක්ද? ඒ නිසා මම තෝරනව නිවැරදි පිළිතුර හැටියට B. නුවර වැව වටා මෝටර් රථ ධාවන තරඟ පැවැත්වීම....."

"ඔබට ස්ථිරයි?..."

"ඔව් අනිවාර්යයෙන්ම…."

"Ok…. Computer please lock-in answer B "

"හරි අපි බලමු උන්මාදනී ඔබ නිවැරදිද කියල මේ විරාමයට පසුව...මේ....ඔබද මිලියන පති...."

"දැන් අපි නැවතත් ඔබද මිලියන පති සමඟ ..ඔව්..අපි බලමු නිවැරදි පිළිතුර කුමක්ද කියා.."

(ටැවුටු...ටැවුටු..ටැවුටු..ටැවුටු...ටාං)

"ඔව්ව්ව්ව්...උන්මාදනී..ඔබ මේ දැන් තවත් රුපියල් ලක්ෂයක් දිනා ගන්නවා...."

"Thank you………"

"හරි ඔබ දැන් රුපියල් ලක්ෂ දෙකක් ජයග්‍රහණය කොට අවසානයි..ඔබට මොනවද දැන් හිතෙන්නෙ? "

"සන්තෝසයි...."

"ඉදිරියට යනවනෙ නේද? "

"අනිවාර්යයෙන්ම……….."

"හරි මෙන්න ඔබට ලැබෙන තුන්වන ප්‍රශ්ණය…"

(ටැවුටු...ටැවුටු..ටැවුටු..ටැවුටු...ටාං)

"තම දෙමව්පියන් උදෙසා උපරිම ගෞරව දැක්විය හැක්කේ......."

"A. ඔවුනගේ කීර්තිනාමයට කැළලක් නොවන පරිදි දිවි ගෙවීමෙනි"

"B. මහළු අවධියෙහි ඔවුනට ඇප උපස්ථාන කිරීමෙනි."

"C. ඔවුන් මියගිය පසු දානමාන පුණ්‍ය කර්මයන්හි නිරතව ඔවුනට පුණ්‍යානුමෝදනා කිරීමෙනි"

"D. පහත්බිම් සංවර්ධන මණ්ඩලය මහජන සුබසිද්ධිය උදෙසා සැළසුම් කල ව්‍යාපෘති සඳහා වෙන්කල මහජන මුදල් යොදා ඔවුන් වෙනුවෙන් අනුස්මරණ කෞතුකාගාර පිහිටුවීමෙනි"

"ම්ම්ම්ම්..මේ ප්‍රශ්ණයෙ මට හිතෙන්නෙ නම් පිළිතුර D කියල. ඒත් මම හිතනව ලයිෆ් ලයින් එකක් ගත්තොත් හොඳයි කියල."

"ඔව් ඔබට ලයිෆ් ලයින් තුනම ඉතිරිවෙලා තියනව. ෆිෆ්ටි ෆිෆ්ටි, කෝල් අ ෆ්‍රෙන්ඩ් සහ ආස්ක් ද ඕඩියන්ස්...ඔබ මොකක්ද දැන් ගන්න යන ලයිෆ් ලයින් එක? "

"මම කැමතියි කෝල් අ ෆ්‍රෙන්ඩ් ඔප්ෂන් එක පාවිච්චි කරන්ට"

"හරි කාටද ඔබ කතා කරන්නට යන්නෙ? "

"මට කතා කරන්නට ඕන හිටපු ආරක්ෂක ලේකම් තුමාට…"

"හිටපු ආරක්ෂක ලේකම් තුමාට?"

"ඔව් ……"

"එතුමා ඔබේ මිතුරෙක්ද? "

"එහෙම පෞද්ගලිකව හඳුනන්නෙ නම් නෑ.ඒත් එතුමා මේ ළඟදි ප්‍රසිද්ධ ප්‍රකාශයක් කරල තිබ්බ රටේ පොදු ජනතාව පත්වන ඕනෑම කරදරයකදී තමන් ඒ වෙනුවෙන් කලයුතු දේ කරන්න නිතරම සූදානමින් ඉන්නවය කියල. ඒ හින්දයි මම කල්පනා කලේ එතුමට කතා කරන්න……"

"හරි අපිට අරන් දෙන්න හිටපු ආරක්ෂක ලේකම් තුමාව…"

(ට්‍රීං…….ට්‍රීං…….ට්‍රීං…….ට්‍රීං…….ට්‍රීං…….)

"හෙලෝ?..."

"හෙලෝ..මේ හිටපු ආරක්ෂක ලේකම් තුමාද?..."

"ඔව් කතා කරනවා…"

"හෙලෝ..මම මේ කතා කරන්නෙ ඔබද මිලියනපති වැඩ සටහනෙන්...අපේ තරඟ කාරියකට ඔබට කතා කරන්නට...."

"මේ පොඩ්ඩක් ඉන්නවද? මට මේ ලොකු හදිස්සියක් වෙලා…"

"ඇත්තද? අනේ සමාවෙන්න..මොකක්ද ලොකු හදිස්සියක්ය කිව්වෙ? "

"අර මතකද අපෙ ලොකු අයිය රට කන කාලෙ ආ...වැරදීමක් රට කන නෙවෙයි රට කරවන කාලෙ මම ලක්ස විස්සක් වටින බල්ලෙක් ගෙනාව එංගලන්තෙං  ශ්‍රී ලංකන් ප්ලේන් එකක් තනිකරම බුක් කරල?"

"ඔව්..එහෙම දෙයක් ගැන ඒ දවස්වල තැන් තැන්වල මිනිස්සු නම් කතාවුනා තමයි.."

"අන්න හරි. එතකොට ඒ කාලෙ ඒ බල්ලගෙ පහිනිපත් කරන්ට ආමි එකේ රණවිරුවො විසි දෙනෙක් මම වෙනම යොදවල තිබ්බ…."

"නෑ.?....එහෙමද? "

"එහෙම තමයි. ඒත් මේ ගව පාලන ආණ්ඩුව බලයට ආහම ඒ රණවිරුවො ඔක්කොමල අයින් කලා. ඉතිං මට සිද්ද වෙලා තියනව පඩි ගෙවල මිනිහෙක් ගන්ට ඒ බල්ල බලාගන්න වැඩේට….."

"ෂහ් හරිම හරි අපරාදයක්නෙ.."

"ඒකනෙ මේ ආන්ඩුව කරන්නෙම ඔය වගෙ රාජපක්ස පවුලෙන්ම පලිගන්න වැඩනෙ. ඉතිං දැං වෙලා තියෙන්නෙ අර මනුස්සයට කොහොමත් ඒ බල්ල ආංබාං කරන්ට බෑ…."

"ඉතිං? "

"ඉතිං කියන්නෙ ඒ දඩෝරියා දවස් දෙකකට සැරයක්වත් අර මිනිහව පෙරලගෙන තාප්පෙං පැනල යනව. ඊට පස්සෙ රටපුරාම හොයල ඌව අල්ලගෙන ආපහු ගේන්ට ඕන. "

"නෑහ්? "

"නැත්තෙ නෑ එහෙම තමයි වෙන්නෙ..ඉතිං දැං විනාඩි දහයකට කලිං බල්ල පැනල ගිහිල්ල. මම මේ ඌව හොයන්ට යන්ටයි ලෑස්ති වෙන්නෙ.."

"හප්පච්චියේ එහෙමද? අනේ එහෙනම් සමාවෙන්ට.."

"ආ..නෑ..එක්කො ඕකට මමම යන්ට ඕන නෑනෙ..මෙවුං ටික ගිහිල්ල බල්ල හොයාගෙන එයි..හරි..දැං කවුද මට කතා කරන්ට ඕනය කිව්වෙ?....."

"මේ අපේ තරඟකාරියකට….. ඇගේ නම උන්මාදනී සර්වභක්ෂණී...ඇයට පිළිතුර හරියටම හිතාගන්නට බැරි ප්‍රශ්නයකට නිවැරදි පිළිතුර සොයාගැනීමට ඇය ඔබේ සහය බලාපොරොත්තුවෙනවා. ඔබ කැමතිද ඇයට උදව් කරන්නට? "

"ඔව්..ඔව්...ප්‍රශ්නයක් නෑ..මම කැමතියි..දන්න දෙයක්නම් මම කියන්නම් අනිවාර්යයෙන්ම"

"බොහොම ස්තූතියි හිටපු ආරක්ෂක ලේකම් තුමනි..ඔබට ඇගේ හඬින්ම ප්‍රශ්ණය අසන්නට පුලුවනි...උන්මාදනී..මෙන්න දැන් පටන් ගන්න.."

"හිටපු ලේකම් තුමා?.."

"ඔව්..කියන්න.."

"ප්‍රශ්නය මෙහෙමයි...තම දෙමව්පියන් උදෙසා උපරිම ගෞරව දැක්විය හැක්කේ...පිළිතුර A. ඔවුනගේ කීර්තිනාමයට කැළලක් නොවන පරිදි දිවි ගෙවීමෙනි…...පිළිතුර B. මහළු අවධියෙහි ඔවුනට ඇප උපස්ථාන කිරීමෙනි…….පිළිතුර C. ඔවුන් මියගිය පසු දානමාන පුණ්‍ය කර්මයන්හි නිරතව ඔවුනට පුණ්‍යානුමෝදනා කිරීමෙනි."

"මොනවද ළමය ඔය උත්තර?..ඔය උත්තර තුනම වැරදියි..තමන්ගෙ දෙමව්පියන්ට නිසි ගෞරව ලබාදෙන්නට නම්…"

"හරි හරි හිටපු ලේකම් තුමා තව උත්තරයක් තියනව. තත්පරයක් ඉවසන්නකො මම ඒ උත්තරෙත් ඔබ තුමාට කියනකල්."

"ආ..එහෙමද? කියන්නකො බලන්න එහෙනං…"

"උත්තරය D. පහත්බිම් සංවර්ධන මණ්ඩලය මහජන සුබසිද්ධිය උදෙසා සැළසුම් කල ව්‍යාපෘති සඳහා වෙන්කල මහජන මුදල් යොදා ඔවුන් වෙනුවෙන් අනුස්මරණ කෞතුකාගාර පිහිටුවීමෙනි."

"අන්න හරි..හරියටම හරි.... ඒක තමයි උත්තරේ..දැන් බලන්න ළමයා මම කලෙත් ඒකනෙ. මගෙ අම්මයි තාත්තයි වෙනුවෙන් ගමේ කෞතුකාගාරයක් හැදුව තනිකරම පහත්බිම් සංවර්ධන මණ්ඩලේ සල්ලි වලින්. අනික ඔය එහෙම සල්ලි ගත්තු එක වැරදියි කියල කියල ඒකට විරුද්ධව පරීක්ෂණයක් මේ ආණ්ඩුවෙන් කලාට එතන කිසිම වරදක් නෑ. මම ඒ කෞතුකාගාරෙ හැදුවෙ ඒ අහල පහල තියෙන පහත්ම ඉඩමෙ"

"හරි ඔබට බොහොම ස්තූතියි හිටපු ලේකම් තුමනි."

"ඔව්...උන්මාදනී මොකක්ද ඔබේ පිළිතුර? "

"මම කැමතියි හිටපු ආරක්ෂක ලේකම් තුමාගෙ පිළිතුර බාරගන්න….."

"ඒ කියන්නෙ පිළිතුර D? "

"ඔව්..පිළිතුර D. පහත්බිම් සංවර්ධන මණ්ඩලය මහජන සුබසිද්ධිය උදෙසා සැළසුම් කල ව්‍යාපෘති සඳහා වෙන්කල මහජන මුදල් යොදා ඔවුන් වෙනුවෙන් අනුස්මරණ කෞතුකාගාර පිහිටුවීමෙනි"

"හරි අපි බලමු...ඔබේ පිළිතුර නිවැරදිද කියල...."

(පෲංං……….)

"අහ්..උන්මාදනී ඔබ දන්නවද ඒ සංඥාවෙන් කියවෙන්නෙ මොකක්ද කියල?"

"ඔව් අදට තරඟය අවසානයි කියල.."

"ඔව්..අන්න හරි…. එහෙමනම් ලබන ඉරිදාත් අපි හමුවෙමු..උන්මාදනී ඔබට එතෙක් සුබ සතියක්…"

30 comments:

  1. Replies
    1. Suranga,

      මට ඒ නලා සද්දෙ ඇහෙන්නෙ එහෙමයි බං...:)

      Delete
  2. Replies
    1. Ano,

      මට ඒ නලා සද්දෙ ඇහෙන්නෙ එහෙමයි බං...:) x 2

      Delete
  3. විරාමය අතරේ අපි දැනගත්තා උන්මාදනී හොඳ කවි කාරියක් බව. ඉතින් උන්මාදනී මේ ආවස්ථාව ඔබටයි. ලෝකෙටම ඔබෙ දස්කම් පෙන්නන්න කවියෙන්

    සැදුණු පවුල් ගහ රැකගෙන තුටු වූවා
    තිබුණු රටේ සාරය එයටම දැමුවා
    සැදුණු නිසා යහපාලන මයිටාවා
    තිබුණු ගහත් බිමටම පෙරලා දැමුවා.....
    ස්තූතියි....

    ඔව්. උන්මාදනීගේ මේ හැකියාවට දෙන්න හොඳ අත්පොලොසන් නාදයක්....

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. Duminda,

      තෝ නම් දවසකටවත් මිනිහා දුමියා,
      බෝ රස බෙදා කවි ගොතනා හොඳ සොමියා,
      නෝ එනි ඩවුට් යූ මස්ට් බී බෙස්ට් කවියා,
      සෝ අයි විෂ්යු ඕල්දබෙස්ට් මයි මුනියා,

      Delete
  4. චැහ්... ඔච්චර ලේසි ප්‍රශ්න අහල ලක්ෂයක් දෙනවද?

    ReplyDelete
    Replies
    1. ප්‍රසන්න,

      අමාරු ප්‍රශ්න තව ඉස්සරහට..මෙන්න මේ වගෙ එව්ව...මේක 12 වෙනි ප්‍රශ්නෙ.

      කොමෙන්ට් කරුවන්ගේ සංගමයේ සභාපතිවරයාගේ වගකීමක් නොවන්නේ...

      A......

      B......

      C......

      D......

      උඹ ඇවිල්ල මගෙ යාවජීව පාඨකයෙක්නෙ. ඒ හින්ද ඔන්න මල්ලි උඹට මම අවස්ථාව දෙනව පිලිතුරු හතර ලියල එවන්ට...

      Delete
  5. මෙහෙම වැඩසටහනක් කළොත් කොහොම හිටීද..හැබැයි හිරු ටී.වී. එකේ.

    ReplyDelete
    Replies
    1. හෙන්රි,

      හිරු එකේ කියල විශේෂයෙන් කිව්වෙ මොකෝ?

      සමාවෙන්න ...වැඩිය ටී.වී. බැලෙන්නෙ නැති හින්ද එහෙම විශේෂයෙන් කිව්වෙ මොකද කියල හිතාගන්න අමාරුයි...:(

      Delete
  6. පට්ටයි.. හැබැයි පළවෙනි ප්‍රශ්ණ පහට උත්තරය මේකයි කියලා ලයිෆ් ලයින් ගන්න බෑ.. මං හිතන්නේ ඩී කිව්වනම් ඩී ලොක් වෙනවා සැනකින්..
    මීට හොට් ෂීට් එකේදි පචමවූ ගොබිලෙක්. :P

    ReplyDelete
    Replies
    1. උත්තරේ කියන්න ඉස්සෙල්ල ලයිෆ් ලයින් ගන්න පුලුවන්. උත්තරේ කිවුවොත් ආයෙ වෙනස් කරන්න බෑ.

      Delete
    2. පුතා,

      අප්පටසිරි පුතා නොහොත් ඩුබායි වට්ටක්කා? වෙල්කම් බෑක් පුතා...වෙල්කම්...වෙල්කම්..ලෝං ටයිම් නෝ සී නෝ?

      මේ උඹ ගැනත් මතක් කරල නිදහස් සිතුවිලි සමාරම්භක හිමිකාරිය වන අපේ රන්දිල් නෝන මහත්තය කලකට ඉස්සර ලියපු ලිපියක්.

      /මං හිතන්නේ ඩී කිව්වනම් ඩී ලොක් වෙනවා සැනකින්../

      නෑ නේද? චන්දන අහනවා ෆයිනල් ආන්සර්ද කියල..ඊට පස්සෙයි ලොක් වෙන්නෙ හෝ කරන්නෙ...

      මීට හොට් ෂීට් එකේදි පචමවූ ගොබිලෙක්. :P

      අම්මප කියපං පුතා..උඹත් ගියාද හොට් සීට් එකට?...:)

      Delete
    3. Prasanna,

      /උත්තරේ කියන්න ඉස්සෙල්ල ලයිෆ් ලයින් ගන්න පුලුවන්. උත්තරේ කිවුවොත් ආයෙ වෙනස් කරන්න බෑ./

      නෑ නේද බං?....චන්දන ගොයිය අර දෙතුන් පාරක් අහනවනෙ ෆයිනල් ආන්සර්ද කියල. ඔව් කිව්වට පස්සෙයි ලොක් වෙන්නෙ මම හිතන්නෙ...

      Delete
  7. චන්දනටත් වෙන ජොබ් එකක් හොයාගන්න වෙයි වගේ......

    ReplyDelete
    Replies
    1. අරුණ,

      චන්දනට ආයම චන්දෙ ඉල්ලුවැහැකි යූ.එන්.පී. එකෙන්....හෙහ්,හෙහ්,

      Delete
    2. රවී.....චන්දන කාලයක් යුඇන්පී සංවිධායකයෙක් වෙලා හිටියා නේද බදුල්ල පැත්තේ ?

      Delete
    3. Aruna,

      මට මතක විදිහට 2001 හෝ 2004 පාර්ලිමේන්තු මහ මැතිවරණයට චන්දන මහනුවර දිස්තික්කයෙන් ඉල්ලුව යූ.එන්.පී. එකෙන්...

      මම දන්න විදිහට ජනප්‍රිය රූපවාහිනි ටෙලි චිත්‍රපට කථා රචක (කලින් නිවේදකයෙක් වෙලත් හිටියා) සද්ධාමංගල සූරිය බණ්ඩාර කියන්නෙ චන්දනගෙ වැඩිමහල් සහෝදරයා.පහුගිය කාලෙ බොහොම ජනප්‍රිය වුනු හංස පිහාටු, කළු කුරුල්ලා සහ දැනට ප්‍රචාරය වන හාර කෝටිය ඔහු රචනා කල කථා.

      ඔවුන් දෙදෙනාගෙ පියා ටෙලි චිත්‍රපට නලුවෙක් වන බන්දුල සූරියබණ්ඩාර කියලත් මගෙ මතකයක් තියනව. ඒත් ස්ථිරනම් නෑ.

      Delete
  8. හැබැයි ඔය අනුස්මරණ කෞතුකාගාර පිහිටුවීමට ගිය මුදල ආයෙමත් ගෝඨා ආණ්ඩු පෙරළියෙන් පස්සේ රජයට ගෙව්වාද කොහෙද ?මිනිහා වැඩේ වරදින කොට හිතන්න ඇති එහෙම ගෙවලා හරි බේරෙන්න.

    ReplyDelete
    Replies
    1. මනෝජ්,

      එහෙම ගෙව්වද? කොහොම හරි වංචාවක් කලාම එහෙම ඒ ගාන ගෙවල නිදහස් වෙන්ට බෑ...:)

      Delete
  9. පුවක් එෂැණිං අලුත් වෙලා මරු..! දක්ෂයෙක්ට නිර්මාණයක් කරන්න නම් ලංකාවෙ තරම් සිද්ධි හදල දෙන්නෙ නැතුව ඇති වෙන කොහෙවත් :D

    ReplyDelete
    Replies
    1. °•_•°] {`^`…´^´} (~•`_´•~),

      Thanks......:)

      Delete
  10. මේකට පියෝ ටීවී වගේ ඉස්සරහට පස්සට ගිහින් බලන්න පුළුවන් ගැජට් එකක් එල්ලහන් රවී අයියේ.. ඉතුරු ටික බලන්න සතියක් ඉන්න බෑ.. පෘ..

    ReplyDelete
    Replies
    1. kalyana,

      ඉවසපන් ඉවසපන්...:)

      Delete
  11. යටින් දිවෙන දේශපාලන අර්ථය නම් මට ප්‍රතිවිරුද්ධ පැත්ත. හැබැයි හරි ලස්සනට නිර්මාණය කරලා තියෙනවා. ජයවේවා

    ReplyDelete
  12. කොහොම මේවා ඔළුවට එනවද මන්ද? බීම ටිකක් අඩුකරපන්. හෙහ් හෙහ්

    ReplyDelete
    Replies
    1. ඉයන්,

      මෙව්ව ඔලුවට එන එක එක අතකට මහ කරුමයක් බං...හෙහ්,හෙහ්,

      Delete

මගේ සිතුවිලි ගැන ඔබේ සිතුවිලි

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...