දැනට අවුරුද්දකට වගේ උඩදි ප්‍රසිද්ධ ස්වාමීන් වහන්සේ නමක් පෝය දිනකදී පවත්වපු දේශනාවක් සිහිකරන යමක් මේ දිනවල මුහුණු පොතේ සංසරණය වනවා. මං මුලින් හාමුදුරුවෝ මතුකළ කාරණාව සටහන් කරලා ඉන්නම්.
අමරිකාවේ බටහිරට වන්නට තිබෙන ප්‍රාන්තයක ඉන්න පිරිමි කෙනෙකුට නැගෙනහිරට වන්නට තිබෙන ප්‍රාන්තයක රැකියාවකට යන්න සිදු වෙනවා. ඔහු පවුලේ එකම දරුවා වනවා සේම ඒ වෙද්දි ඔහුගේ පියා ජීවතුන් අතර නැහැ. මහලු මව බලාගන්න ඉන්නේ ඔහු පමණයි. ඔහුට යාමට තිබෙන ප්‍රදේශයේ දේශගුණය ඔහුගේ මවට කිසිසේත්ම ගැලපෙන්නක්ද නොවෙයි. මේ වගේ අවස්ථාවකදි අමරිකානු සංස්කෘතිය විසින් කෙනෙකුට පෙන්වා දෙන උසස්ම විධි ක්‍රමය තමයි එවැනි මහලු කෙනෙකු වැඩිහිටි නිවාසයකට යොමු කිරීම. එරට මහලු නිවාස මෙරට තරු පහේ හෝටල මෙන් පවත්වාගෙන යන බව පැවසූ හාමුදුරුවෝ දරුවාට ඇති වුණු ගැටලුවට එවැනි තීරණයක් ගැනීම එරටදී කිසිසේත්ම වරදක් කොට නොසළකන බවද පෙන්වා දුන්නා. එරට ක්‍රමයට ඒ දරුවාට සිය මව් වෙනුවෙන් කළ හැකි ඉහළ ම සත්කාරය එය බවත් හාමුදුරුවෝ වදාලා. යම් හෙයකින් ඔහු සිය රෝගී මහලු මව නිවසේ තනිකර දමා පිටත්ව ගියේ නම් කාත් කවුරුවත් නැතිව මව අසරණ වීමයි සිදුවන්නේ. හාමුදුරුවෝ තවදුරටත් පෙන්වා දුන්නේ අපේ රටේ වගේ චින්තනයක් අමරිකාවේ වූයේ නම්, සමාජය විසින් රැකියා අවස්ථාව පසෙක දමා මව බලාගෙන නිවසේ සිටිය යුතුය යන තැනට ඔහු පත් කරන බවයි.
මේ ගැන ඔබේ අදහස කොහොමද? හොඳ ද? නරක ද?
මේ දැන්වීමේ තිබෙන්නේ අවුරුදු නිවාඩුව ගැන මිසක අවුරුදු චාරිත්‍ර දෙමව්පියන් නොමැතිව සැමරීමක් පිළිබඳ නොවන බව මුලින් ම සිහියට ගත යුතුව තිබෙනවා. ‘නිදහසේ ගත කිරීම‘ වැනි වචනයක් යොදා, දැන්වීම හැඩගන්වන්නට යෑමෙන් යම් අවුල් ස්වභාවයක් එකතු වී තිබුණත් මෙම ස්ථානය අවුරුදු කාලයට පමණක් නොව සැමදාට ම විවෘත ව පවතින්නක් බව තතුදත් අය පවසනවා.
මා දැන් මගේ අත්දැකීමක් විස්තර කරන්නම්.
අපේ අම්මා සාමාන්‍යයෙන් ගමන් බිමන් යන්න අකමැති කෙනෙක්. තාත්තා එහෙම නෙමෙයි. අපි පොඩි කාලේ කොහේ හරි විනෝද සවාරියක් යෑමක් පිළිබඳ කතා වුණොත් අම්මා ව කැමති කරගන්න වෙන්නේ ඉතාමත් කලාතුරකින්.
“අනේ අම්මේ! මොකක්ද අම්මේ!“
“අනේ මට බැහැ ඔය රස්තියාදු ගමන් යන්න. ඔයාලා බැඳපු කාලෙක මහත්තුරු එක්ක යන්න“ ඒ බොහෝ විට ඇය අපට දුන් පිළිතුර.
2012 වසරේ දී කරන ලද බයිපාස් සැත්කමකට මුහුණ දීලා ඉන්න අම්මා දැන් ඉස්සරටත් වඩා ගෙයින් එළියට ගන්න අමාරුයි. ඇයට තමන්ගේ ම වාහනේ වුවත් එක දිගට අසුන්ගෙන යන ගමන් අප්‍රියයි. දුර ගියාම කොන්දේ අමාරුව හැදෙනවා. ඒ අකමැත්ත වැඩි දියුණු වන්නට හේතු වුණේ දැනට අවුරුදු 2කට වගේ උඩදි අම්මාගේ ගම් පෙදෙස වන බණ්ඩාරවෙල ගොස් ඒ ගමනින් ම මොනරාගල යෑමේදි රෝගාතුර වීමයි. ඒ අවස්ථාවේදි ඇයට මොනරාගල රෝහලේ නේවාසික ප්‍රතිකාර ගන්න සිදු වුණා. දොස්තර මහතා විස්තර අසා, ‘මැරෙන්නද ආවේ මෙච්චර දුර!‘යි යනුවෙන්ද අසා තිබුණා.
පසුගිය අගෝස්තුවේ අපි යොදා ගත්ත දින දෙක තුනක චාරිකාවට එක්වන්නට, දවස් ගානක් පෙරැත්ත කරලත් අම්මාව කැමති කරගන්න බැරි වුණා. කිලෝමීටර් 10න් 10ට නැවති නැවති යන බව කීවත් ඇය නොවේ කැමති වූයේ. අවසානයේ තාත්තා පමණක් අප සමග යන්නට එකතු වූවා. යන දවසේ උදේ පාන්දර 3ට පිටත් වන්නට පෙරත්, ‘ඇඳුම් දෙක තුනක් අරගෙන ලැහැස්ති වෙන්න, අනේ අම්මේ යමු‘යි කීවත් ඇය පැවසුවේ, ‘මේ ලෙඩ ගානේ ගිහින් ගිය පාර වගේ හදිසියක් වුණොත් මේ දරුවොත් එක්ක ඔයාලාටයි කරදරේ. නංගි ඉන්නවානේ, මං ඉන්නම්, ඔයාලා පරිස්සමින් ගිහින් එන්න‘ කියලයි.
දැන් මෙහෙම හිතන්නකෝ. නංගි හිටපු නිසා අපට අම්මාව ගෙදර තියලා යන්න පුලුවන් වුණා. මං පවුලේ එකම දරුවා වූවා නම්, අම්මාව බලාගන්න හරි හමන් නෑයෙක් හෝ වෙනත් කෙනෙක් නැත්නම්, මෙවැනි අවස්ථාවකට මං කොහොමද මුහුණ දෙන්නේ? පවුලක් ලෙසින් මට වගකීමක් තිබෙනවා මගේ දරුවන්ගේ සැමියාගේ සිතැඟියාවන්ට ඉඩ දෙන්න. මා නොමැතිව ඔවුන්ට එවැනි ගමනක් යෑමට හැකියාවක් නැහැ.
අවුරුදු නිවාඩුව කියන්නේ බොහෝ ආයතන වෙතින් සතියක දෙකක සමහරවිට ඊටත් වඩා දීර්ඝ කාලයක නිවාඩු ලබා දෙන සමයක්. සමහර කෙනෙකුට සිය පවුල සමග රට සවාරියකට අවශ්‍ය ප්‍රතිපාදන ද ලැබෙනවා. විශේෂයෙන් කුඩා දරුවන් සිටින පවුලකට එය අනගි අවස්ථාවක්. එවැනි අවස්ථාවක මෙවැනි ගැටලුකාරී අවස්ථාවක් මතුවුවහොත් කළ යුත්තේ කුමක්ද?
අප (නො)දරුවන් දිවා සුරැකුම් මධ්‍යස්ථාන වෙත රඳවා රැකියා සඳහා යොමු වෙනවා. එම මධ්‍යාස්ථාන නොවුණා නම් අද වනවිට බොහෝ මව්වරුන්ට රැකියා අත්හැර දමා නිවසේ රැඳීමට සිදුවනවා නොඅනුමානයි. ඒ ඇසින් මේ දැන්වීම දෙස බලන්නට නොහැකි වන්නේ මන්දැයි මට ඇත්තේ විමතියකි. අනෙක් අතට අද අප දිවා සුරැකුම් මධ්‍යාස්ථාන වෙත රඳවා යන (නො)දරුවෙකු මතු අනාගතයේදී තමන්ගේ උවමනාවක් සඳහා දැනුවත් මිනිසුන් වන අම්මා තාත්තා ව දැන්වීමේ දැක්වෙන ආකාර ස්ථානයක රඳවන්නට කටයුතු කළොත් එය අපි කෙසේ දකිමුද?
බොහෝ දරුවන් සිය මව්පිය නෑ හිතමිතුරන්ගෙන් වෙන්වී පිටරටවල රැකියා කරනවා. ස්ථිර පදිංචියට ගොස් සිටිනවා. මව්පියන් ඔවුන් හා රැගෙන යන්නට හෝ රැගෙන ගොස් නඩත්තු කිරීමට තරම් වත්කම් ඔවුන් සතුව නොමැති වන්නට පුලුවන්. එවැනි තත්ත්වයක් යටතේ මව්පියන් හා රැඳෙමින් මෙරට සිටින දරුවෙකු, ඉඳහිට ලැබෙන විවේකය නිසි ලෙස ගත කිරීමට මගක් සොයා ගැනීම අප දැකිය යුත්තේ කෙසේද? සිය දරුවන්ගේ කටයුතුත් දෙමව්පියන්ගේ කටයුතුත් මනා පාලනයකින් යුතුව කරගෙන යන්නට ජීවිතය කැප කරන කෙනෙකුට විවේකයක් කියන්නේ රත්තරං වටින දෙයක්. අප නොහිතුවාට එවැනි විවේකයකින් ජීවිතයට එකතුවන නැවුම් භාවය රැකියාවට මෙන්ම පෙර කී දෙපාර්ශවයේ කටයුතු සඳහා මනා උපකාරයක් වෙනවා.
සිරිපාද වන්දනාව මෙන් ම වෙනත් කඳු තරණය කිරීම් අද කාලේ සිටින බොහෝ වැඩිහිටියන්ට අසීරු ගමන් වෙලා තියෙනවා. එවැනි විටෙක මහලු වැඩිහිටි කෙනෙකු අර තරම් දුරක් වාහනයේ ඇහුරුම් පැට්ටුම් කොට කැඳවාගෙන ගොස් හෝටලයක රඳවා දරුවන් තමන්ගේ සංචාරයේ නියැලෙනවාට වඩා නිස්කාංසුවේ ගෙදරට වී හෝ මෙවැනි ආයතනයකට වී සිටින්නට තිබෙන අවස්ථාව වැඩිහිටි අයටත් දරුවන්ටත් හිතසුව පිණිව වනවා යන්නයි මගේ විශ්වාසය. නෑ හිතමිතුරෙකට බරක් වනවාට වඩා, වඩා සුවපහසුව ඒ දින කිහිපය ගත කරන්නට මව්පියන්ට හැකිනම් එය දෙපාර්ශවයට ම සහනයක් නොවේ යැයි සිතිය හැකිද?
මේ කියන දරුවනුත් තව අවුරුදු 15-20ක් ගෙවෙන විට මහලු සමයට එළඹෙන නිසා අතපය වාරු ඇති සමයේ යා යුතු/යාහැකි ගමන් බිමන් කරගත යුතුව තිබෙනවා. ඒ වගේ ම තමන්ගේ කුඩා දරුවන්ට ලබාදිය යුතු අත්දැකීම ලබාදීමේ යුතුකමෙන් හා වගකීමෙන් ඔවුන් බැඳී සිටිනවා.
මෙවැනි දැන්වීමක් දුටු මතින් කලබල වනවාට වඩා එහි සඳහන් ආයතනය සැබෑවට ම මනා ප්‍රමිතියකින් පවතිනවාද, එහි රඳවන වැඩිහිටියන්ට හොඳින් සළකනවාද, හදිසි රෝගී අවස්ථාවකදි ඔවුන්ගේ පියවර මොනවාද, ආදිය සොයා බලා ඒ දේ නිසි අයුරුන් නොවේ නම් එම ආයතන වලට එරෙහි ව අපට ගත හැකි ක්‍රියාමාර්ග මොනවාද විමසා බැලීමත්, නිසි ප්‍රමිතියක් නොමැති ආයතන ප්‍රතික්ෂේප කිරීමත් වඩා උචිත බවයි මගේ හැඟිම. මහලු නිවාස යන සංකල්පය යම් පමණකට විවාදාත්මක වුවත් මෙවැනි ස්ථාන පිළිබඳ ව ඊට වඩා විවෘත මනසින් බැලිය යුතු ව තිබෙනවා.
මහලු වයස වනතුරු අප ජීවත් වුවහොත් දරුවන්ගේ හා ඔවුන්ගේ දරුවන්ගේ කටයුත්තකදි ඉහත කී ආකාරයේ රැඳවුම් ස්ථානයක රඳන්නට සිදු වුවහොත් අප දෙදෙනා කැමැත්තෙන් එයට යොමුවන බව ස්ථිරයි. සංකාවක් වැනි දෙයක් දැනෙන්න ඉඩ නැතිවා නොවෙයි. ඒවා නම් දවල්ට තනියෙම ගෙදර ඉන්දැද්දි දැන් වුනත් දැනෙන්න පුලුවන් දේවල්නේ. මීට අවුරුදු 50කට පෙර තිබුණු රට දෙස බැලූ බැල්මෙන් දැන් තිබෙන රට දෙස බලන්නට නොහැකි බව අප වටහා ගත යුතු ව තිබෙනවා. සමාජ ක්‍රමය ක්‍රම ක්‍රමයෙන් සිය දිශානතිය වෙනස් කරමින් පැමිණ තිබෙද්දි, හැම අවස්ථාවේදී ම හදවතට ඉඩ දී ශෝක රසය විඳින්නට පෙළඹෙනවාට වඩා බුද්ධියෙන් කල්පනා කොට දෙමව්පියන්ගේත් සිත් නොරිදවා අවස්ථානුකූලව සුදුසු පරිදි කටයුතු කිරීමට සිතීම වැදගත් නොවේද?
****************
ඕනෑ ම හොඳ දෙයක් නරකට හරවාගෙන එය සිය භාවිතාව කරගන්නා මිනිසුන් මේ සමාජයේ සිටී. මෙවැනි ස්ථාන, නිරෝගී දෙමව්පියන් පවා අවුරුදු නිවාඩු කාලයට පුද්ගලික රෝහල් වෙත පවරන එවැනි මිනිසුන් හට භාවිතා කළ හැකිය යන තර්කයද මතු නොවනවා නොවෙයි. ඒ සුලුතරය සළකා මෙම දැන්වීම දෝෂ දර්ශනයට ලක් කිරීම තරම් නොවේය යන්න මගේ අදහසයි.
****************
ඕනෑ ම හොඳ දෙයක් නරකට හරවාගෙන එය සිය භාවිතාව කරගන්නා මිනිසුන් මේ සමාජයේ සිටී. මෙවැනි ස්ථාන, නිරෝගී දෙමව්පියන් පවා අවුරුදු නිවාඩු කාලයට පුද්ගලික රෝහල් වෙත පවරන එවැනි මිනිසුන් හට භාවිතා කළ හැකිය යන තර්කයද මතු නොවනවා නොවෙයි. ඒ සුලුතරය සළකා මෙම දැන්වීම දෝෂ දර්ශනයට ලක් කිරීම තරම් නොවේය යන්න මගේ අදහසයි.
එක් පැත්තකින් ගත්තාම දැන් කාලේ පැය 24ම වෙහෙසෙන නගරේ උදවියට ඉහත දක්වපු විකල්පය හැරෙන්නට වෙනත් දෙයක් නෑ. නමුත් තාමත් ගම්වල දරුවෝ කෙහෙ හරි ඈත ගමනක් යද්දී, දෙමව්පියන්ට ඒ ගමන ඔරොත්තු දෙන්නේ නැත්නම් තමන්ගේ දරුවෙක්, මුණුපුරෙක්, ලේලියෙක් නැත්නම් ලඟ නෑදෑ වෙන කෙනෙක් හරි එයාලගේ ලඟ තනියට තියලයි යන්නේ. තාමත් ගම්වල ඔය නර්සින් හෝම් කතන්තරේ ඔඩු දුවලා නෑ. මම හිතන්නේ දෙමව්පියන්ගේ අවශ්‍යතා බලන්න බැරිව අත හැරලා දානව නම්, පියවරෙන් පියවර ඔවුන් ගැන සොයා බලා නිසි සත්කාර කරන තැනක නවත්වන එක දෙමව්පියන්ගේ පැත්තෙන් යහපතක්.
ReplyDeleteතාමත් ගමට ඔබ කී විසඳුම බොහෝ දුරට අදාළයි. නමුත් නාගරික හා අර්ධ නාගරික සමාජයට පුංචි දරුවන්ව ඩේ කෙයාර් වල තියන්න වෙලා තිබෙන්නේ ඇයි යන්න අප සිතා බැලිය යුතුයි. ඔබ කී ආකාරයට නෑයින් පිරිවරාගෙන සිටින ගමක් මෙන් නොව මෙහිදි දරුවන් බලාගන්නවත් නෑ කෙනෙකු නැහැ. එවැනි තත්ත්වයක් යටතේ ඉහත කී ආකාරයේ ආයතන වල පිහිට පැතීම හොඳ විකල්පයක් වෙලා තිබෙනවා.
Delete//මම හිතන්නේ දෙමව්පියන්ගේ අවශ්‍යතා බලන්න බැරිව අත හැරලා දානව නම්// මගේ අදහස නම් දෙමව්පියන් අතහැර දමන කෙනෙකු පවුලේ අවශ්‍යතාවක් ඇතිවනතුරු නොහිඳ මුලින්ම ඔවුන් ම මහලු නිවාසයකට බාර දේවි. නැත්නම් මහ මග අත්හැර දමාවි.
දැන් කොහෙද මේ නිවාඩුවේ යන්න ප්ලෑන් එක? :p
ReplyDeleteවැඩේ කියන්නේ අපේ ගෙදර තියෙන්නේ ඔයිට හාත්පසින්ම වෙනස් තත්වයක්.. අපේ (නැන්ද )අම්මා ගමන් යන්න එක පයින් (කකුල් දෙකම තිබ්බට ගමනක් යන්න කියපු ගමන් එකක් උස්සල ඉවරයි..ඒකයි..) ඒකට උන්දැගේ දුව.. සහ දුව බැඳපු එකා.. (ඌ නම් රට හතර කොනේ සවරන් ගහල තියෙන නිසා කමක් නෑ කියමුකෝ) උන් දෙන්නව නිවාඩුවකට ගෙදරින් හොල්ලන්න හරිම අමාරුයි.. ඉතිං කවුරු හරි යන ගමනකට වයසක උන්දැව පංගාර්තු කරලා යැව්වම වැඩේ හරි.. පොඩි උන් කරච්චලේ දැම්මොත් හවසට හන්දියට එක්ක ගිහින් සිනි මුරුක්කු ටිකක් වගේ අරන් දීලා සනසා ගන්නවා.. පහසුයි ලේසියි.. :) මේ අවුරුද්දෙත් වෙන්නේ එසේමැයි කියල දැනටම තීන්දු කරලා අහකයි.
මේ නිවාඩුවේ අපි යනවා අලුතින් හදපු තාප්පයක් බලන්න. :D
Deleteඅපොයි අර දරු පැටවු තුන්දෙනා. මේ අලි කම්මැලියෝ එක්ක.
රන්දිකා ඉස්සර නම් අවුරුද්දකට පාරක් බිත්තිවල අලුතෙන් තීන්ත පාරක් එහෙම ගාලා, ගේ ලස්සන කරලා ගන්නවා.. හැබැයි කාලෙකින් එහෙම කරනවා දැක්කෙ නෑ.. නිවාඩු පාඩුවෙ ගෙදෙට්ට වෙලා ඉන්න එකේ ගන්ටකො තීන්ත බාල්දියකුයි කොස්සකුයි අතට.. :-D
ReplyDeleteඇත්තටම! පහුගිය දවස් වල කීප පාරක් ම තීන්ත බාල්දිය අතට ගන්න ගියාට කෝ හුරු අත කෝකද නුහුරු අත කෝකද තීන්ත මොනවද වතුර මොනවද තිනර් මොනවද කියලා හොයා ගන්න බැරිව ගියා. අල්ලලා දාලා නිකං හිටියා. බලමු අද හෙට මක්කාවත් කරගන්න.
Deleteහොඳ තීන්ත වර්ගයක් දැක්කොත් අප දැනුවත් කරන්න ඕමනායි. හොඳද?
Deleteසා ඔය තියෙන්නෙ කලඑළියට.. මොනවැයි ගෑව තීන්ත ජාතිය? ඔයාත් පෙන්ටලයිට් ලෝලියක් ද? සාලෙත් ලොකු කරලා වගේ.. දැන් හොඳා! හොඳට අත පය දිගෑරලා, තේකක් බොන ගමන් පත්තරයක් බලන්ට එහෙම පුළුවන්..
Deleteමේක මේ ළඟදි ඇරපු තීන්ත කඩයක්.. බලාන්ට පොඩ්ඩක් ඒ පැත්තෙ ගොහිල්ලා නෝනට ගැලපෙන තීන්ත ජාතියක් එහෙම තියේද කියලා..
Bura,
Deleteදන් පින් දෙලොව වැඩ ඇති,
කලයුතුසේම නිසි කල,
නුවණැති දනන් දෙන,
ඔවා නිති පිළිපැදිය යුතුමය.
මට අලුත් පාටක් ගාන්න හිතෙන්නෙම නෑනේ... :|
Deleteපැතුම්: මෙලෝ රහක් නැහැනේ ඔයා!
DeleteBura, I don't know if you can remember me (prince of moonshine, POM) from your GOT blog. Need to contact you for something important. please send me your email address. princeofmoonshine1@gmail.com.
Deleteමේ බුරා කියපු නිසා නේ මේ ගමන තීන්ත ගාලා තියෙන්නේ.මම හිතුවේ හොඳම සම්මනලාභි බ්ලොග් එක වෙච්චි නිසා තින්න ගැවා කියලා.මම දැන් "නිදහස් සිතුවිලි" වලට ගොඩ වෙන්නෙත් සපත්තු සෙරෙප්පු ගලවලා හිටං..:D
Delete:D
Deleteතිත්ත ඇත්තක් ඔබ කතා කර තිබෙනවා.. ඉතා සංයමයෙන්.. මාත් ඔය ගැටළුවට නිතරම මුහුණ දෙන කෙනෙක්.. අපේ අප්පච්චිට දැන් ගමන් යන්න බැරි තරම් අමාරුයි.. ඉතිං ළඟට පාතට උනත් එයාව තනියෙන් ගෙදර දාලා යන්නෙ හරි බයෙන්.. මම හරි මගේ බිරිඳ හරි මගේ අම්මා හරි.. බොහෝ විට නවතිනවා.. හැමෝටම එකතු වෙලා ගමනක් යන්න අවස්ථාවක් එන්නෙම නෑ..
ReplyDeleteඔබගේ පියාගේ රෝගී තත්ත්වය මත ඇති වී ඇති ගැටලුවට ඔබ ජිවත්වන පරිසරයේ යහපත් විසඳුමක් නැහැ නේද? මේ අවස්ථාවේ ඔබට උදව්වට නැති නෑයින් යම් හෙයකින් ඔබ පියාව නර්සින් හෝම් එකක දිනකට දෙකකට නැවැත්තුවා නම් කුමක් කරනු ඇතිද?
Deleteඅපේ අම්මා දැනුත් කිය කියා ඉන්නවා නංගි බැන්දාට පස්සේ එයා වැඩිහිටි නිවාසෙකට යනවාය, අපි කාටවත් අපහසුවක් ඇති වන්න ඉඩ තියන්නේ නෑය කියලා. අපි ඒ වෙලාවට, "අනේ අම්මේ සද්ද නැතිව ඉන්නවද? අපි ඉන්දැද්දි ඔයා කොහොමද එහෙම යන්නේ? ඒක ඒ දවසට බලාගමුකෝ" කියලා තර්ජනය කරනවා. :)
අදහස්, මත ගැටුම් බවට නොහැරී හැමෝට ම හිතසුව, ගතසුව දෙන තැනකට එන්න පුලුවන් විදිහට හැමදෙනාට ම කල්පනා කරන්න පුලුවන් වුණු දවසට බොහෝ ගැටලු නිරාකරණය වෙයි.
අන්න අරුන් අම්ම අප්පා කොහෙද ගාල් කරලා අවුරුදු කනවා...
ReplyDeleteසමාජෙත් එක්කනේ බේරෙන්න බැරි...
මට පේන විදිහට අවුරුදු කෑමක් නෙමෙයි මේ ඇඩ් එකේ තියෙන්නේ.
Deleteඉස්සෙල්ලාම සමාජය රැස් කරලා, දවස් දෙක තුනකට අම්මා/තාත්තා බලාගන්න පුලුවන් ද කියලා අහලා ඉන්න වෙනවා :)
/// සමාජෙත් එක්කනේ බේරෙන්න බැරි...///
Deletewho cares machan...
Thamanta awashya de karanna berikama thama thamange gatalu...
ලාංකීය සමාජයේ ඍජු අවංක අදහස් ප්‍රකාශ කිරීමක් නැති නිසා සමහර දේවල් හරිම සංකීර්ණ වෙලා තියනවා..ඔය වගේ දේවල් කළත් වැරදි, නොකළත් වැරදි වගේ උභතෝකෝටිකයන් වෙනවා..හොඳම දේ තමා අනුන්ගේ සිතිවිලි ගැන වද නොවී, ගුණයහපත්කම් රැකෙන විධිහට තමන්ට රිසි දේ කිරීම...
ReplyDeleteමට දැනෙන හැටියටනම් මේ ආයතනය ඔය කියන ප්‍රමිතිය පවත්වා ගන්නවනම්, සංකල්පයේ කියන්න තරම් වරදක් නෑ...
අදහස් සෘජු ව පළකරන්නේ නැහැ. මුලින්ම අදහස් පළ වන්නේ ගොසිප් සයිට් වලනේ. :D
Deleteසමාජ සත්ත්වයන්ට අනිත් සමාජ සත්ත්වයෝ කියන එව්වා ගැන නොහිතා ඉන්න අමාරු තැන් එනවා. මේත් එවැනි තැනක් මං හිතන්නේ. අනිත් අය මොනවා කියයි ද කියා තැවි තැවී තමන්ගේ ජීවිත අවුල් කරගන්නවා. එයින් දෙමව්පියන්ට සැළකීම කෙසේ වෙතත් දෙමව්පියන් කෙරෙහි නොරිස්සුමක්, කේන්තියක් ඇති විමේ ඉඩ කඩ මතු වෙනවා.
ඇත්තටම සාමාන්‍ය තරු තුනේ හෝටලයක ප්‍රමිතියට ඒ මිල ගණන් වලටම මෙවැනි ආයතන පිහිටුවා තිබුණොත් දරුවොත් දෙමව්පියොත් බොහොම සතුටින් ඒවායේ ප්‍රයෝජනය ලබා ගනිවී කියලා මට හිතෙනවා.
එකඟයි. ළමයිනුත් දෙමාපියනුත් එකිනෙකා ගැන ඕනෑවට වැඩිය වොරි වෙන්න ඕන නෑ කියන තැන තමයි මාත් ඉන්නෙ. කවුරු අකමැති වුනත් දරුවන් එකක් හෝ දෙකක් ඉන්න අද කාලෙ දෙමාපියන් වයසට යද්දි මේ තත්වය ඩබල් වෙනව අනිවාර්යයි.
ReplyDeleteහැබැයි ඔය දැන්වීම නං කුජීතයි. අවුරුදු නිවාඩුව නිදහසේ ගෙවන්න කියන එකෙන් නොකියා කියන්නෙ උඹලට අම්ම තාත්ත වධයක් කියන එකයි. ඒක නුසුදුසුයි.
//ඕනෑවට වඩා වොරි වෙන්න ඕනෑ නෑ//
Deleteමගේ අදහස නම් අපි දෙගොල්ල දෙගොල්ල ගැන වොරි වෙන්න ඕනෑ. අපිට අපි නැත්නම් කවුද ඉන්නේ? එහෙම වොරි නොවන අයට අම්මා තාත්තා නැතිව ගත කරන ජිවිතයම නිදහස් වගේ දැනෙන්න පුලුවන්.
දැන්වීමේ නිදහසේ කියන වචනය දකින අපි ඊ ගාව පේළියේ තියෙන ආදරණීය දෙමව්පියන් කියන විශේෂන පදය දකින්නේ නැහැ. අම්මා තාත්තා වධයක් නම් ආදරණීය කියන වචනය එන්න බැහැනේ.
ඇත්තටම කැඳවාගෙන යන්න අපහසු අම්මා තාත්තා හිතට 'ෆිට්' තැනක නවතා යන්න ලැබීම ම හිතට නිදහසේ නිවාඩුව ගත කරන්නට අවස්ථාවක් නොවෙද?
/හැබැයි ඔය දැන්වීම නං කුජීතයි. අවුරුදු නිවාඩුව නිදහසේ ගෙවන්න කියන එකෙන් නොකියා කියන්නෙ උඹලට අම්ම තාත්ත වධයක් කියන එකයි. ඒක නුසුදුසුයි./
Deleteරාජ්, අපිට ඒ නිදහසේ ගත කරන්න කියන වචනෙ ගැන මෙහෙම හිතන්නත් පුලුවන් නේද?
"අපි දන්නවා ඔබට ඔබේ ආදරණීය දෙමව්පියන් ඔබ අවුරුදු නිවාඩුව ගෙවන්නට බලාපොරොත්තු වන තැනට රැගෙන යාම අසීරුයි කියල. ඔවුන්ගේ අසනීප සහ බෙලහීන තත්වය අනුව එහෙම එක්කගෙන යෑම ඔබට වගේම ඔවුන්ටත් දැඩි අපහසුවක්ප වෙන්න පුලුවන්.
ඒ වගේම අපි දන්නව ඔබ නිවාඩුවට ගියත් ඔවුන් ගැන ඔවුන්ගේ සැප පහසුව ගැන කරදර වෙන බව. අන්න ඒ නිසයි අපි ඔබට කියන්නෙ ඔවුන්ගේ වගකීම අපිට භාර දෙන්න. නිදහසේ සිත් කරදරයකින් තොරව ඔබේ නිවාඩුව ගත කරන්න.
අපි දන්නව ඔබේ භාර්යාව/සැමියා සහ දූ දරුවන් මේ නිවාඩුව ගැන කොපමණ සිහින දුටුවදැයි කියල. ඒ නිසා ඔවුන්ගේ බාලපොරොත්තු කඩ නොකරන්න. ඔබ ආපසු එනතෙක් අපි ඔබගේ දෙවම්පියන්ගේ සියළු වගකීම භාර ගන්නෙමු"
අපේ ලොක්ක ජපං යන්න ඉන්නෙ .. මිනිහයි පූසො දෙන්න සති දෙකක් බලාගන්න රු 40,000ක් උනත් වියදම් කරන්න ලොක්ක කැමතී... ඒත් තැනක් හොයාගන්න බොහෝ ම අමාරු උනා.. පූසො ස්වාමියා නැතිව කූඩු කලාම් මැරෙනෝ ලු.. ඉතිං කට්ටිය පූසො බලාගන්න ආස නෑ...
ReplyDeleteඅපිට ඉතිං කන්තෝරු සවාරියක් රට ගමනක් යෙදුනොත්..අපි කෝමද ඉතිං දෙමාපියන් අරං යන්නෙ රට..
ලඟදි හස්බන්‍ඩ් හඳුනන කෙනෙක් රට පදිංචියට ගියා. ඔරිජිනල් පර්සියානු පූසියෝ දෙන්නෙක් අපිට දීලා. එක්කෙනෙක් නිසි ප්‍රමිතියට ක්‍රොස් කරලා හෙට අනිද්දා අම්මා කෙනෙක් වෙන්න හිටියේ. පහුවදා උදේ නැගිටින කොට කුස්සිය ඉවරයි. ගද නැති කරගන්න දවස් ගානක් ගියා. අපි ඉතිං කොහේ මෙහේ එව්වෝ හදන්නද? හස්බන්ඩ්ලාගේ ගෙදරට ගිහින් දුන්නා. මොන මැරෙනවද? අන්න දැන් ගම් කාරියෝ දෙන්නෙක් වෙලා ඉන්නවා. අර බබාත් හම්බ වුණා. පූසෝ වෙච්චි නිසා හොඳයි. අම්මා තාත්තා වුණා නම්?
Deleteබල්ලන්ටනම් පූසන්ට වඩා අමාරුයි තමන්ගෙ ගෙදර අයව අමතක කරන්න
Deleteඔය අවුරුද්දට සැරයක් දෙමව්පියෝනේ..!
ReplyDeleteඅවුරුද්ද පුරාම දරුවන් බලාගන්නවා ඩේ-කෙයාවල රැකියාව නිදහසේ කරගන්න...!!
ඒ දරුවෝ දෙමව්පියන් වුණහම කලගුණ සලකති ඔහොම...!!!
අවස්ථාවාදී මිනිසුන්ට කොයිකත් තමන්ගේ වාසියට ගන්න පුලුවන්. අවස්ථානුකූල මිනිස්සු ඒ මොහොතට, ඒ දිනට අදාළ නිවැරදි ම තීරණය ගනිවි. :)
Deleteදැලි පිහියෙන් කිරි කනව වගේ, සංවේදී මාතෘකාවක් පරිස්සමින් ලිවීමේ හැකියාව අගය කරමි.
ReplyDelete"අවුරුදු නිවාඩුව නිදහසේ ගත කරන්න" කියන එක නිසා මේක වැරදි පැත්තට කියවෙනවා වැඩී. එතන සමහර විට කියන්නේ "ඔබේ හිත නිදහසේ තබාගන්න පුළුවන් තරම් උසස් සේවයක් අපෙන් ඉටුවෙනවා" කියන එක වෙන්න පුළුවන්, නමුත් ඒ වගේ දෙපැත්තටම කියවන්න පුළුවන් වාක්‍ය, දැන්වීමකට නුසුදුසුයි.
අනිත් අතින් මේකට ආගම ගාවගෙන තිබුණා ගොඩක් කමෙන්ට් වල. "බෞද්ධ රටේ මෙහෙම දේවල් වෙනවා" කියනකොටම, ඇයි හිතන්න බැරි මේකේ සේවාව බෞද්ධයින්ට පමණයි කියල කොහෙවත් කියල නැහැනේ. ඒ අතරේ "ඉස්ලාම් ආගමේ නම් මෙහෙම නැහැ, නුවණින් හිතන්න, වඩා යහපත් ආගම තෝරගන්න" කියලා ආගම් ප්‍රචාරයකුත් ගියා. අන්තිමට අර ගණන් ගන්න ඕන නැති කතාවකට, ප්‍රසිද්ධිය දීල, උඩටම ගත්ත, හැමදාම වගේ.
හස්බන්ඩ්ට කිව්වහම මේක ලියන්නයි යන්නේ කියලා, එයාගේ අදහස වුණේ නොලියා ඉන්න එක හොඳා කියන එකයි. ඒත් මං වචන තෝරාගෙන ලියන්න හිතාගත්තා. ඒ බව හඳුනා ගැනීම සතුටක්.
Deleteඔබ හරි, ඔවුන් අදහස් කරන්න ඇත්තේ හිතේ නිදහස වෙන්න ඕනෑ.
ඕනෑම දේක වලිගයෙන් අල්ලා ගැනීමට අපි හරි දක්ෂයි. කැමතියි. එතකොටනේ කතා කරන්න දෙයක් ඉතිරි වෙන්නේ. මේ දැන්වීමට ආලවට්ටම් දාලා, පාරේ දුක් විඳින වයසක දෙන්නෙක්ගේ පිංතූරයක් දාලා එහෙම තමයි මුහුණු පොතේ සංසරණය වන්නේ. මේ වගේ දෙයක් නරක් කරන්න ඕනෑ වුණාම මේක බෞද්ධ රට කරන්න ගොඩක් අය කැමතියි. අනෙක් සෑම වෙලාවට ම සමය සමයාන්තර සමගිය තිබිය යුතු, බහු ආගමික, බහු ජාතික රටක්. :)
දැලි පිහියෙන් කිරි කනව වගේ X2
DeleteWhatever I say would be interpreted wrong.
.මේකට නම් මුකුත් නොකියා හොර පාරෙන් යන්න බෑමයි කියල හිතුන.
ReplyDelete.අගෙයි. ඉතාම සමබරයි.
.මොකක් හරි දැක්කම කඩු පොලු අරන් එන "සමාජය".
ඔය මුණු පොතේ නම් ඔය සමාජයීය ප්‍රශ්ණ වලට ගහ ගන්න එන්නෙ මයෙ හිතේ අම්මගෙන් සූටි රුපියල් දෙසීයක් ඉල්ලන් ඩේටා 1GB අරගෙන..
:-) :-):-D
Deleteඅපිට වුණත් මේ වගේ දෙයක් කරන්න හිතද්දි, “අනේ ඒත්...“ කියලා හිතෙන්න පුලුවන්. ඒත් අම්මලාත් දරුවන් ව ධෛර්යයමත් කරලා, “කමක් නැහැ පුතේ ගිහින් එන්න. මට මෙහෙම ඉන්න එක හරි පහසුවක්“ කියලා හිත හදන රටක් නම්, දෙපාර්ශවය ම සතුටින්. ආතතිය අවමයි. මෙහෙ එහෙම නෙමෙයිනේ, සංස්කෘතික මල්දම් වලින් වැහිලා තිබුණාට, දරුවන්ගේ වැරදි අනෙක් අය සමග කියන දෙමව්පියන් අපේ රටේ හරි සුලභයි.
Deleteදැං මේවාට විරුද්ධ වෙන කෙනෙක් නෑ. හැමෝම කැමතියි.
ReplyDeleteශ්‍රංග, ඔයා ලඟදි ෆේස් බුක් ගියේ නැද්ද? මදි මදි. හොඳටෝ ම මදි. යාවත්කාලීන වෙලා ම නැහැ. :D
Delete/* ඒ අවස්ථාවේදි ඇයට මොනරාගල රෝහලේ නේවාසික ප්‍රතිකාර ගන්න සිදු වුණා. දොස්තර මහතා විස්තර අසා, ‘මැරෙන්නද ආවේ මෙච්චර දුර!‘යි යනුවෙන්ද අසා තිබුණා. */
ReplyDeleteනොදකින් ඒ වගේ අපතයින්!
ඇත්තට ම එය නොයා යුතු ගමනක්ව තිබුණා. අම්මාගේ ඒ තරම් කැමැත්තක් නොතිබෙද්දි, තාත්තාගේ තනි කැමැත්තට ඇයව කැඳවාගෙන ගිය ගමනක්. මොනරාගලදි අම්මාගේ ඇඟේ වතුර වැඩි වෙලා. ඇයට දියවැඩියාව, ප්‍රෙෂර් තියෙනවා. මුත්‍රා පිටවීම අඩුවෙලා. ඔය වගේ ලෙඩ ගොඩක් ඇති වෙලා. ඇත්තට ම එලොව ගිහින් මෙලොව ආවා වගේ දෙයක් කියලා අම්මා කියන්නේ. දොස්තර මහත්තයාට එහෙම අහන්න සිද්ධ වෙන තත්ත්වයක් ඇති වෙලා තිබුණේ.
Deleteපුද්ගල නිදහසට ඇතිවන බාධා අනන්තයි අප්‍රමාණයි. සංස්කෘතික ගති එක්ක එයින් වඩාත්ම අපසුතා ඇති කරයි.
ReplyDeleteසංස්කෘතික නියාම පවත්වගෙන යන්න තිබුණා රට යන අත වෙනස් වෙලා නැතිනම්. 1950 ගණං වලදි විතර වැඩි දෙනෙක් ගොවිතැන් කරගෙන, විස්තෘත පවුල් වශයෙන් ජීවත් වුණාට, දැන් තියෙන්නේ දෙමහල්ලහන් ම රස්සාවට යන, දරුවෝ උදේ ඉඳන් රෑ වෙනකම් අකුරු ඉගෙන ගන්න න්‍යෂ්ටික පවුල්නේ. අපේ අම්මා රජයේ රැකියාවක් කළාට ආච්චි ගෘහනියක්. අම්මාට දැන් අපේ තත්ත්වය තේරුණාට ආච්චිට තේරුම් ගන්න බැරි වෙන්නත් ඇති. අපටත් අපේ දරුවන්ගේ තත්ත්වය යම් දවසකදි තේරුම් ගන්න පුලුවන් වෙයි. එහෙම වෙද්දි සංස්කෘතික නියාම නිසා ඇතිවන ගැටළු යම් කළෙකදි අවම වෙයි. හැබැයි ඉතිං පරණ කතාව ම තමයි. අම්මා තාත්තාව අත්හැරලා ම දාන්නත් මේ ක්‍රමය උදව්වක් කරගන්න කැමති අයත් ඕනෑ තරම් බිහිවෙයි.
Deleteහොඳට ලියල තියෙනවා. මේවාගේ සේවාවන් තියෙන තරමට සමාජේ ගති වෙනස් වෙලා යනවා...වයසට ගියාම වෙනසකටත් එක්ක ඉන්න හරි ෂෝක් නේ.. හෙහ් හෙහ්..
ReplyDeleteමේ කොමෙන්ට් එකේ නිකං, හිකිස් හිකිස් සද්දයක් ඇහෙනවදත් මන්දා :D
Deleteඔව් මේ අගටත් හෙහ් හෙහ් තියෙන්නේ...
හැබැයි පුතේ, රට ඉන්න ගමන් මෙහේ සමාජේ ගති වෙනස් වෙන හැටි ගැන කම්පා වෙන්න නම් ඔට්ටු නැහැ හොඳේ :D
මම අපහාසෙකට මොකුත් කිව්වේ නෑ.. මම ඔය අදහසට එකඟයි.. මට කියන්න ඕනේ වුනේ අපේ ඔළුවල තියෙන සමහර අදහස් ගැන අපිට අලුත් විදියට හිතන්න පුළුවන් ඔය වගේ අලුත් අලුත් සේවාවන් වැඩියෙන් බිහිවෙනකොට.. අපේ ඔළුවේ තියෙන දෙමාපියන්ට සැලකීම කියන අදහස වඩා හොඳ සහ වෙනස් විදියකට කරන්න පුළුවන් කියන එකයි මගේ අදහස. අනිත් පැත්තට දෙමව්පියන්ටත් පුළුවන් අර සාම්ප්‍රදායික හිතන විදියෙන් වෙනස් වෙලා පොඩි වෙනසකට වගේ මේ වගේ නතර වෙන එක ගැන හිතන්න. ඔය විදියට කාලයක් යනකොට ඕවා සාමාන්‍ය දේවල් වෙනවනේ.. කාටවත් නරකක් වෙලා නෑ.. අපි හිතන පතන විදිය වෙනස් වෙලා විතරයි.. වැඩේ ඒ විදියටම හෝ වඩා හොඳට කෙරෙනවා..
Deleteලංකාවේ මිනිස්සු වෙනස් වෙනවනම් කොච්චර හොඳද කියල තමා රට ඉන්න අයට හිතෙන්නේ.. හිකිස් හිකිස්..
ඒක මිසක්කා! :D
Deleteඅකාරුණික, ආත්මාර්ථකාමි සිතුවිලි ප්‍රමුඛ කරගන්නේ නැතිව, අවස්ථාවට උචිත තීරණ ගන්න හැමෝමට හැකිවේවා කියලා ලබන්නා වූ මේ අලුත් අවුරුද්දේ ප්‍රාර්ථනා කම්මු! :D :D :D හිකිස් හිකිස් හිකිස්
අනේ මේ ජරමරේ. හස්බන්ඩ් ගූගල් ලොග් වෙලා, ලොග් අවුට් නොවී ගිහින්. මං කොමෙන්ට් කරද්දි එයාගේ නමින් පබ්ලිෂ් වෙලා. උඩ කොමෙන්ට් එක මගේ බව කරුණාවෙන් සළකන්න
Deleteමිනිස්සු බිසී නෙවෙයි වෙරි බිසී වෙනවනේ ..ළමයි දෙකෙය්ර් දානවා අම්මා තත්තා ත් ඉතිං ඩේ කෙයාර් තමයි ....අන්තිමට දුවන මිනිස්සු දුවලා තියෙන්නේ ඒක තැන..කිසි සතුටක් නැතිව
ReplyDeleteඇත්ත. තව ටික කලක් යද්දි වැඩිහිටි ඩේ කෙයාර් සෙන්ටර්ස් ඇතිවෙයි. නමුත් මෙතැන එහෙම තැනක් නෙමෙයි. මේ කියන්නේ හදිසි උවමනාවකදි දෙමව්පියන් රැකබලා ගන්නා ස්ථානයක් ගැනයි. :)
Deleteරුක්සිලාගේ එකේ ලින්ක් එක දැකල දෙකක් කියන්න ආවේ.. ආයි කියන්න දෙයක් නෑ.. මං යනෝ
ReplyDeleteහහ් හහ් හා... :D දෙකක් අහගන්නමයි එතැන පේස්ට් කළේ. කෝ තාම නැහැනේ :D
Deleteමම දන්නා එක ආන්ටි කෙනෙක් දඹදිව ගියා වතාවක් අම්මාව ඔය වගේ තැනක නතර කරලා.එකේ හරි වැරැද්ද මම දන්නේ නැහැ.හැබැයි ඉතින් ඒ අම්මගේ වයසත්,අසනීප තත්වයත් එක්ක ගෙදර තියලා යන්න හෝ වෙන කෙනෙකුට පංගරත්තු කරලා යන්න බැහැ.තියෙන එකම විකල්පය වෙන්න ඇති ඒ ආන්ටි ඒ වෙලාවේ ගන්න ඇත්තේ.
ReplyDeleteපවුලේ තනි දරැවෙක් ඉන්නවානම් බොහෝවිට මේ වැනි අවස්ථාවකට මුහුන දීමට සිදු වෙනවා.ඒ වගේ වේලාවක මව්පියන් තනිව නිවසේ දමා යාමෙන් යන ගමනක් හිතේ සැනසීමෙන් යන්නත් බැහැ.ඇත්තෙන්ම එවැනි මොහොතක අසරණ වන දරැවන්ට මෙය කදිම පිළියමක්.
ReplyDelete