Tuesday, April 11, 2017

499. The Story Of My Marriage - 39 - ළඳුන් වෙනුවෙන් අපි කුමක් නොකරන්නෙමුද?


අනන්‍යාගේ පියා බොහෝ උනන්දුවෙන් කියවන
ද හින්දු පුවත්පත ඉහත 
ඡායාරූපයෙන් දැක්වේ.

"හරි මීට පස්සෙ මෙහාට ගෑණු ළමයි කිසිම කෙනෙක් එක්ක එන්න බෑ. දෙමළ හරි, බ්‍රාහ්මණ හරි, වැදගත් හරි, බැච් මේට් හරි, ඒවයිං වැඩක් නෑ කිසිම ගෑණු ළමයෙක් මේ ගෙදර එළිපත්ත පනින්න බෑ. පැහැදිලියි නේද?" නිවෙස් හිමියා පැවසූයේ තම සුරතෙහි දබරැඟිල්ල මගේ නාසයෙහි වදින තරමට දිගුකොට සොළවමින්ය.

"හරි ….එතකොට බියරුයි කුකුළ් මසුයි?" මම ඇසෙන නෑසෙන හඬින් විමසීමි. 

"එව්ව කොහොමත් කලින් ඉඳල තහනම්……." සෙන්දිල් බොහෝ තෘප්තිමත් හඬකින් පැවසීය.

මා අවට රැස්ව සිටියෝ යලිත් වරක් තම ජීවිත චාරිත්‍ර වාරිත්‍ර සහ තහනම් නීතිවලින් සිරවීමේ ප්‍රීතිය බෙදාගනුවස් එකේනෙකා දෙස බලා මද සිනහ පෑවෝය. 

ඊලඟ වර අනන්‍යා සමඟ එක්ව ඉන්දියාවේ මතු දියුණුව උදෙසා කටයුතු කරන්නට සුදුසු තැනක් පිළිබඳව මම දෙබැම ද රැළිකොටගෙන සිතන්නට වූයෙමි.

**************************************

"මට කෙමිස්ට්‍රි හොඳටම පුලුවං. මට උදව් ඕන කරන්නෙ ෆිසික්ස් වලට."

වචනයක් වචනයක් පාසා ඇස් බැමි ඉහල යවමින් එහෙම කිව්වෙ මංජුනාත්. ඇහිබැම ඉහල යන වාරයක් වාරයක් පාසා මිනිහගෙ නළලෙ ඇඳල තිබ්බ අළු තීරු තුනක් ඒ අනුසාරයෙන් ඉහළ පහල ගියා. මිනිහ කතාකලේ උදේ පාන්දර කුකුල් කොටුවෙන් එලියට දාපු ගමං කෙකර ගගා හතර අතේම දුවන කුකුළු නාම්බෙක් වගෙ බොහොම උනන්දුවකින්.

මංජුනාත් කියන්නෙ අනන්‍යාගෙ මලයා. වනැන් ඔන්ලි. මිනිහ කොයිවෙලෙත් පොතක් අතිං ගත්ත ගමං තමයි ඉන්නෙ. පොතක් කිව්වට මිනිහගෙ වයසෙ හැටියට වහවැටිල කියවන්ට ඕන සුපර්මෑන් නැත්නම් බැට්මෑන්ගෙ කොමික් පොත් එහෙම නෙවෙයි. මිනිහගෙ අතේ තියෙන්නෙම පාඩම් පොතක්. එක්කො "අකාබනික රසායන විද්‍යාවේ මූලධර්ම" නැත්නම් "භෞතික රසායන විද්‍යාවේ සිද්ධාන්ත" එහෙමත් නැත්නං "ව්‍යාවහාර යාන්ත්‍රණයේ උපයෝගිතාව" අනේ මන්ද, ඒ ටයිටල් කියෙව්වම මගෙ ඔලුව නරක්වෙනව.

අපිත් ඒ කාලෙ ඔව්ව කියෙව්ව තමයි. ඒත් එහෙම කලේ නොකර බැරිකමට. මේ කොල්ල එහෙමද? ඒ පොත් කියවන්නෙ බොහොම ආසාවෙන්. අනේ මන්ද බලං ඉන්නකොටත් මගෙ ඔලුව කකියන්ට ගන්නව.

(සටහන - මේ කතා කරන්නෙ ක්‍රිෂ් නෙවෙයි හොඳද? මම ..මම....අපි ඉස්කොලෙ යන කාලෙ ඔය මංජුනාත් වගෙ කොල්ලන්ට කිව්වෙ පයිතල කියල. පයිතගරස් මතකනෙ නේද? අර යුරේකා යුරේකා...කියල ෆුල් නේකඩ් ඇතන්ස් නගරයෙ වීදි දිගේ දිව්වයි කියන්නෙ..අන්න පොර..මේ ලඟදි අපේ රටෙනුත් බිහිවුනා ඒ වගෙ සූර ගනිතඥයෙක්. අර මාරාන්තික උපවාස කාරය. මිනිහ හොයාගත්තනෙ දෙක දෙකෙං බෙදුවම බිංදුවයි කියල...අන්න මහා ප්‍රාඥයො කියල කියන්නෙ එහෙම අයට) 

අද මං මේ උදේ පාන්දරම වදෙං පොරෙං නැඟිටගෙන අනන්‍යාලගෙ ගෙදර ආවෙ අනන්‍යාට වෙච්චි පොරොන්දුව ඉස්ට කරන්ට. ඒ එක්කම අනන්‍යා කිව්වත්නෙ මල්ලිට පාඩං කියල දෙන එක එයාගෙ අම්ම තාත්තගෙ හිත් දිනාගන්ට නොවරදින ක්‍රමයක් කියල. ඒ හින්ද ඉතිං වෙන මක් කරන්ටද? මමත් උදේන්ම නැඟිටල ඔන්න ආව. අනේ අප්පේ මට මේ කල්පනා වෙන්නෙ මේ බබලත්තු හින්ද පිරිමි අපි විඳින දුකක්...එහෙම කල්පනා වෙනකොටත් මට ඉබේටම හීල්ලෙනව.

ඒත් එක අතකට මේ උදේ පාන්දර ඇවිල්ල මල්ලිට පාඩං කියල දෙන එක මොකක්ද? මේක මොන දුකක්ද? අර බුද්ධාගම කියල ආගමක් තියෙන්නෙ. ඒකෙ නිර්මාතෘ බුදු හාමුදුරුවො කලින් උපන්න ආත්මෙක රජ කෙනෙක් වෙලා ඉඳලත් බබලතෙක් හින්ද කෝකි වැඩෙත් කලාය කියල කතාවක් තියනවලු. ඔයගොල්ල පුදුම වෙනව ඇති නේ මම ඒ විස්තර දන්නෙ කොහොමද කියල...හෙහ්..හෙහ්..

ඒ විස්තරේ මෙහෙමයි. මට ඔය අහ්මදාබාද් ආපු කිට්ටුව මුණ ගැහුන ලංකාවෙ සෙට් එකක්. එවුං එහෙ මොනව කරාද කියල දෙයියො තමයි දන්නෙ. ඒත් හොඳ ජොලි බුවාල. ඔය සෙට් එකේ හිටිය එකෙක්. දැං ලංකාවට ගිහිල්ල කඩයක් එහෙම දාගෙන මහා පරිමාණයෙන් බිස්නස් එකක් එහෙම කරනවයි කියල ආරංචියි. ආය හිටිය කෙට්ටු කොලුවෙක් උගෙ වැඩේ කොයි වෙලාවෙත් බැළලියක් ගැන කියවන එක. හෙහ්..හෙහ්...මම ලංකාවට ගියොත් අනිවා උංගෙ ගෙවල් වල එන්ටය කියල මඟිං මඟට පෙරැත්ත කර කරයි උං ආපහු ගියේ. ඇත්තටම මම හිතාගෙන ඉන්නෙ ලංකාවට ගිය දවසක එවුං හම්බ වෙන්ට යන්ට..හරි..හරි..ඒ වැඩි විස්තර ඇති..ආයම කතාවට එමු...

ඉතිං මම අද මේ අනන්‍යාගෙ මල්ලිට ඉස් ඉස්සෙල්ලම පාඩම් කියල දෙන්ට කියල ආපු දවස. ඒත් අනන්‍යානම් අද ගෙදර නෑ. ඒ යෝදි ඊයෙ ගියා මදුරෙයි කියල චෙන්නයි වල ඉඳල කිලෝ මීටර් පන්සීයක් වගෙ එහා තියෙන නගරයකට. අනන්‍යාට සතියක් වගෙ එහෙ ඉන්න වෙලා තියනව එයාලගෙ කොම්පැණියෙන් සංවිධානය කරපු සේල්ස් ප්‍රොමෝෂන් එකක් හින්ද. එහෙම තමයි ඉතිං ජීවිතේ හැටි. අපිට ඕන විදිහට මොකවත්ම කරන්ට පුලුවන්ය? හ්ම්ම්ම්.....මගෙ ඔලුව ඇතුලෙං හීන් කැක්කුමක් වගෙ එනව. ඒ තරම් දරුණු ඉසරදයක්මත් නෙවෙයි. ඒත් මහ වදයක්. කරදරයක්. උදේම නැඟිට්ටම මට බොහොම වෙලාවට ඔහොම වෙනව.

මම ආපු ගමන්ම අනන්‍යාගෙ අම්ම කෝපි කෝප්ප දෙකක් මල්ලිගෙ කාමරේට ගෙනත් දුන්න. ඒත් ඒ කෝපි එකෙන් ඒ හැටි සෙතක් උනේ නෑ. ඔලුව ඇතුලෙ පුපුරු ගැහිල්ල එහෙම්මමයි. ඊගාවට හිසරදේ තවත් වැඩිවුනේ මේ පෝරිසාදයට ඕන කරන්නෙ ෆිසික්ස් කියල දැනගත්තම. ඊයෙ රෑ වෙනකල් පොත් දෙකතුනක් දිග ඇරගෙන මම චුට්ටක් එහෙං මෙහෙං වගෙ බලා ගත්තෙ කෙමිස්ට්‍රි. මදැයි කොලා. දැං ඒ වෙච්චි මහන්සිය තනිකරම වතුරෙ.

"හරි හරි ඔයාට කෙමිස්ට්‍රි බොහොම ලේසි ඇති, ඒත් ආයම පාරක් පොඩ්ඩක් එව්ව බලාගත්තට වැඩියක් වෙන්නෙ නෑනෙ" මම ඊයෙ ගහගත්තු කෙටි සටහන් දිගාරින ගමන් මම කිව්ව. 

"අප්පෝ හයිඩ්‍රොකාබන්ද?" මගෙ සටහන් දැක්ක ගමං කොල්ලා මූණ ඇඹුල් කරගත්ත. "මම ඔය පාඩම දැං හතර පස් වතාවකට වඩා කරල ඇති. ඕක දකිනකොටත් මගෙ බඩ දඟලනව"

"හරි හරි අපි බලමුකො..එහෙනං මෙන්න මේකට උත්තරේ ලියන්නකො"

මම දුන්නු ප්‍රශ්ණෙට මේ යස්සය හරියටම මිනිත්තු එකහමාරකිං උත්තර ලිව්ව. ඊලඟට මම ටිකක් විතර අමාරු එකක් දුන්න. ඒකට මිනිත්තු දෙකහමාරයි.

ඒ අව් අස්සෙ අලි මදිවට හරක් කියල එහා කාමරෙං ඇහෙන්න ගත්ත වයසක බබලත්තු කාණ්ඩයක් ගිරිය යටිං කෑගහනව වගෙ බියකරු සද්දයක්.

"ඒ එම්. එස්. සුබුලක්ෂ්මී ...බොහොම ප්‍රසිද්ධ දෙමළ ගායිකාවක්..දේව ස්තෝත්‍ර ගීත එයා ඔය කියන්නෙ.." මංජු කටකොනකින් හිනාවෙමින් එහෙම කිව්වෙ මම ඒ සද්දෙට එක පාරටම ගැස්සෙනව දැකල.

"ආ..එහෙමද? මම හිතුවෙ මේ…" මම හිතුවෙ මොනවද කියල කියන එක එතරම් සුදුසු නෑ කියල මටම හිතිච්ච හින්ද මම ඉතුරු හරිය එහෙම්මම ගිල ගත්ත.

"හැම දෙමළ ගෙදරකම උදේම සුබුලක්ෂ්මීගෙ ගීත දානව අනිවාර්යයෙන්ම" මංජුනාත් ආයෙමත් කිව්ව. 

මළ ජංජාලයයි. අපි බැන්දට පස්සෙ අනන්‍යාත් පටන්ගනීද දන්නෙ නෑ අපේ ගෙදර උදේ පාන්දරම මෙව්ව දාන්ට. එහෙම උනොත් මහ ජංජාලයක් වෙලයි කෙළවර වෙන්නෙ. මටනං ඔය කරච්ච්ලේ මොන විදිහෙංහරි ඉවසං හිටිතැහැකි. ඒත් දෙයි හාමුදුරුවනේ මගෙ අසරණ අම්ම.....ඒ මනුස්ස දූට ඕක ඇති ඔලුව නරක්වෙන්ට..... ඒ අතර එහා කාමරෙන් එන සද්දෙ තීව්‍රතාවය එන්න එන්නම වැඩිවෙනව. ටිකෙන් ටික අඩුවෙමින් තිබ්බ මගෙ ඔලුව කැක්කුමත් ඔන්න ආයම වැඩිවෙන්ට ගත්ත.

"අයි.අයි.ටී. එකේ විස්තර ටිකක් කියන්නකො අයියෙ" මංජුනාත් ටික වෙලාවකින් මගෙන් ඉල්ලුව.

මම කලින් කියල තියනවනෙ මංජුනාත්ගෙ සහ ඊටත් වැඩිය මංජුනාත්ගෙ අම්ම තාත්තගෙ එකම බලාපොරොත්තුව මංජුනාත් කොහොම හරි අයි.අයි.ටී. එකට ඇතුලත් වෙන එකය කියල. ඒ බලාපොරොත්තුවෙන් තමයි මේ කොළුව මගෙන් මේ පාඩම් අහගන්නෙත්. අයි.අයි.ටී. එකේදි අපි කියපුව කරපුව මම මංජුට කිව්ව. ඒත් ඒ මගේ ස්වයං වාරණ මණ්ඩලයෙ කතුරට අහුවෙලා කපපු කොටපු සංස්කරණයක්. එහෙම නැතුව එහෙදි කරපුව ඔක්කොම අකුරක් නෑර මේ යස්සය එක්ක කියන්නෙ කොහොමද? හොඳට හිටියි.

"මම කරන්න හිතාගෙන ඉන්නෙ ඒරොනෝටික්ස් "

මගෙ විස්තරේ බොහොම උනන්දුවෙන් අහගෙන ඉඳල මංජු කිව්ව. ...දෙයියෝ සාක්කි. මුගෙ වයසෙ ඉන්නකොට මම එහෙම වචනයක් තියනවයි කියලවත් දැනගෙන හිටියෙ නෑනෙ... නරකම නෑ මේ පෝරිසාදය මස්සිනා කමට... මට එහෙම හිතුන.

ඊට පස්සෙ මංජු මිනිහගෙ ෆිසික්ස් පොත අරගෙන මට ගාණක් හදන්ට දුන්න. 

" අයිය... බලන්ටකො මේ ගාණ පුලුවන්ද කියල"

මම තුන් හතර පාරක්ම සාවධානව ගාණ කියෙව්ව. ඊට පස්සෙ හත් අට පාරක්ම කියෙව්ව. ම්හු..ඒත් හරියන පාටක් නම් නෑ.

"මේ මංජු මට දැං මෙව්ව මතක නෑ...කොච්චර කල් කියලද? මම කියන්ටද? මම ගෙදර ගිහිල්ල මේ ගාණ හදල ගේන්නං.."

"හරි හරි කමක් නෑ..ඉන්නකො මම අයියට පැහැදිලි කරන්නංකො ඔය ගාණ ගැන.."

ඊළඟ පැයක කාලය අතුලත මංජු මට ෆිසික්ස් ගණං හදන විදිහ කියල දුන්න. දෙයියෝ සාක්කි මාර වැඩක්නේ,..ගෝලය දැං ගුරාට උගන්නනව..ඒත් මම මොකවත් කියන්ට ගියේ නෑ..සද්ද නැතුව අහගෙන හිටිය. මට ඕන කොයි මක්කරල හරි අනන්‍යාගෙ තාත්තට කොක්ක ගහන්ටනෙ. ඒ වැඩේ වෙනවනං මම මේ යකාට ඉගැන්නුවත් එකයි මේ යකා මට ඉගැන්නුවත් එකයි...හෙහ්,හෙහ්,

පැයකට වගෙ පස්සෙ මම නැඟිට්ට. 

"හරි අදට එහෙනං ඇතිනෙ..මට ඔෆිස් යන්නත් තියනව.."

මම එහෙම කියල මංජුගෙ කාමරෙන් පිටවෙලා සාලෙට ආව. සාලෙ සුපුරුදු සෝපාවෙ ඉඳගෙන අනන්‍යාගෙ තාත්ත එයාගෙ සුපුරුදු චාරිත්‍රයෙ නිරත වෙනව. ඒ කිව්වෙ ද හින්දු පත්තරේ බලනව. එක්කො මම එනව මනුස්සයට ඇහුනෙ නෑ ඒ තරමට හින්දු පත්තරේට වහ වැටිල. එහෙමත් නැත්තං මම එනව ඇහුනත් ගණං ගත්තෙ නෑ. ඒ දෙකෙං කෝක වුනත් අනන්‍යාගෙ තාත්ත ඔලුව උස්සලවත් බැලුවෙ නෑ. දිගටම ද හින්දු කියවගෙන ගියා.

අනෙහ්, එයයිට එයයිගෙ හින්දු එකත් එක්ක කුද ගහගන්ට කියනව. එහෙම හිතල මම ලෑස්ති වුනේ හෙමීට එළියට බැහැල යන්ට. 

ඒත් ඒ එක්කම අනන්‍යා මදුරෙයි වලට යන්ට කලිං අන්තිමට හම්බ වුනු වෙලාවෙ කියපු වචන මට නිකං ඇහෙන්න ඇහෙන්න වගෙ වුනා. 

"ක්‍රිෂ්, මම කියන දේ හොඳට අහගන්න හොඳද? අපේ තාත්ත නරක මනුස්සයෙක් නෙවෙයි. ඒත් ටිකක් එක විදිහක්. ඒ හින්ද මම ඔයාට කියන්නෙ මට ආදරයක් තියනවනම් කරුණාකරල එයාගෙ හිත දිනාගන්න පුලුවන් හැමදේම කරන්න. පුලුවන් තරම් වෙලා එයත් එක්ක ගත කරන්න. එහෙම උනොත් ඔයාට එයාගෙ හිත දිනාගන්න එක අමාරුවෙන්නෙ නෑ"

"හරි අනන්‍යා මට තේරෙනව. මම ඔයාට පොරොන්දු වෙන්නම්කො එහෙම කරනව කියල"

මම ඒ වෙලාවෙ අනන්‍යාගෙ නළල සිපගෙන කිව්ව. හ්ම්ම්ම්..එහෙනං ඉතිං මොකද කරන්නෙ? පොරොන්දුව පරිදි කටයුතු කරන්ටත් එපාය...එහෙම හිතල දිග සුසුමක් එහෙම හෙලල මම හෙමිහිට ගිහිල්ල අනන්‍යාගෙ තාත්ත ඉස්සරහ පුටුවෙ වාඩිවුනා.

මම පුටුවෙ ඉඳ ගන්න කොටම අත් ඔරලෝසුව බැලුව හින්ද සහසුද්දෙන්ම දන්නව හරියටම විනාඩි දහ අටකට පස්සෙයි අනන්‍යාගෙ තාත්ත ද හින්දු පත්තරේ බලල ඉවරවෙලා පත්තරේ පාත් කලේ. පත්තරේ පාත් කරනවත් එක්කම ඉස්සරහ පුටුවෙ ඉඳගෙන හිනාවීගෙන ඉන්න මාව දැක්කම අංකල් එක පාරට ගැස්සුනා. පත්තරෙත් අත ඇරිල බිමට වැටුන. මම නැමිල පත්තරේ අහුලල අන්කල්ගෙ අතට දුන්න. 

"එපා... මම බලල ඉවරයි" අංකල් කිව්ව. 

"ආ... ඇත්තද?" මම එහෙම කියල බොහොම ගෞරවයෙන් ඒ වගේම බොහොම ආදරයෙන් ද හින්දු පත්තරේ පිළිවෙලට නවල බොහොම පරිස්සමින් ඒ ලඟම තිබ්බ ටීපෝ එක උඩ තැන්පත් කලා. අංකල් මගේ මේ ක්‍රියාකාරකම දිහා ඇසිපිය නොහෙලා බලා සිටිය.

"ඉතිං මොකද තමා මෙතන?" පත්තරේ ගෞරවාන්විතව තැන්පත් කරල ආපහු එකත්පස්ව ඉඳගෙන අංකල්ගෙ මූණ බලල හිනාවෙච්චි මගෙං අංකල් ඇහුවෙ මූණට දමල ගහනව වගේ.

"එහෙම විශේෂ මොකවත් නෑ අංකල්. මම මල්ලිට පංතිය කරල ඉවරයි කියල කියන්ටයි මම මේ හිටියෙ.."

"ආ..ඉවරද? ඒක හොඳයි.." අංකල් එහෙම කියල අත් දෙක උකුල උඩ තියල ඒ දිහා බලා හිටියෙ එයාගෙ අත් දෙක ජීවිතේටම දැක්කෙ මේ දැන් වගේ. ඔහොම මිනිත්තු දෙකක් විතර ගෙවිල ගියා..

"කොහොමද බැංකුවෙ තොරතුරු එහෙම අංකල්?" මම ඇහුව. 

අංකල් අත්දෙක දිහා අනිමිස ලෝචනයෙන් බලා ඉන්න ඉරියව්ව අත ඇරල එක පාරට ඔලුව උස්සල බැලුව. "බැංකුව?... මොකක්ද බැංකුව කිව්වෙ...? මොන බැංකුව ගැනද ඔය කතා කරන්නෙ?"

"නෑ මම මේ මම මේ..අහ්ම්ම්ම්.." මම උගුර එහෙම ටිකක් විතර පාදල කාරිය හිතට ධෛර්යය ගත්ත. "මම මේ ඇහුවෙ අංකල් වැඩ කරන බැංකුව ගැන...රස්සාව එහෙම කොහොමද කියලයි ඇහැව්වෙ."

අංකල් මා දිහා බලාගෙන හිටියෙ හරියට මොන මෝඩ ප්‍රශ්ණයක්ද මේ යකා මේ අහන්නෙ? කියල හිතමින්ද කොහෙද…

"මොකක්ද රස්සාවක තියෙන හොඳ නොහොඳ? රස්සාවල් ඔක්කොම එකයි.."

"ඔව්..ඔව්..ඔව්..ඇත්ත තමයි" මම වහාම එකඟවුනේ ඔලුවත් බොහොම වේගෙන් ඉහලට පහලට වනමින්. ඔහොම තවත් මිනිත්තු දෙක තුනක් ගත වෙන්න ඇති. අංකල් ඉස්සරහට නැමිල මේ පොඩ්ඩකට කලිං කියවලා ඉවරයි කියල කිව්ව ද හින්දු පත්තරේ ආයම අතට ගත්ත.

දැන්නම් යන්ට වෙලාව හරි වගේ..එහෙම හිතල මම පුටුවෙන් නැඟිට්ට.."හරි අංකල් එහෙනම් මම ගිහිල්ල එන්නම්…"

"හ්ම්ම්ම්..හොඳයි එහෙනං…….." අංකල් උගුර යටිං කිව්ව. 

මම ඉස්සරහ දොරගාවට වගෙ යනකොට අංකල් ආයම මට කතාකලා. 

"මේ..ළමයා….."

මම ආපහු හැරුන. 

"උදේට කෑම එහෙම කොහොමද? "

"ඔෆිස් එකේදි ඔය මොනවහරි කන්නං….. ඒකෙ ප්‍රශ්ණයක් නෑ.." මම කිව්ව. 

"කොහෙද ඔය ඔෆිස් එක? "

"ඔෆිස් එක තියෙන්නෙ අන්නසාලේ පැත්තෙ.."

"ආ..එහෙමද? මම වැඩට යන්නෙ අන්නසාලේ පහු කරල. හරියට අටයි තිහට මම ගෙදරිං පිටත් වෙනව. උදේට ඔය තියන දෙයක් කාල ඔය ළමයට මාත් එක්කම ගිහෑකි. මම ඔයාව ඔෆිස් එක කිට්ටුවෙන් ඩ්‍රොප් කරන්නං"

ම්ම්.....අටයි තිහට මෙහෙං පිටත් වුනා කියන්නෙ මම ඔෆිස් යනකොට මිස්ටර් බාලා නොහොත් මගේ බොස් වැඩට ඇවිල්ල පැයකුත් ගතවෙලා. එහෙම වෙන එක නම් මට එච්චර සුබ වෙන්නෙ නෑ කියල මට කවුරුවත් අමුතුවෙන් කියන්න උවමනා උනේ නෑ. ඒත් අනික් අතට අටහමාරට මෙහෙං පිටත් වෙනව කියන්නෙ තව පැය දෙකක් මම මෙහෙ ඉන්නව. ඊගාවට මගෙ ඔෆිස් එක ගාව මාව ඩ්‍රොප් කරනකල් අංකල් එක්ක මට ඕන දෙයක් කතා කලෑකි. ඔව්..අංකල්ගෙ හිත දිනාගන්ට මේක නියම චාන්ස් එකක්. අනන්‍යා මදුරෙයි යන්ට ඉස්සෙල්ල මට කිව්වෙත් මේවගෙ අවස්ථාවක් ගැන නේද? ඔව්...මේක පැහැර හරින්ට හොඳ නෑ කොහෙත්ම. බාලට බම්බු ගහගන්ට කියනව...හුහ්...

"හරි ප්‍රශ්ණයක් නෑ අංකල්..මම ඔෆිස් ඉන්න ඕනත් ඒ වෙලාවට තමයි.." මම හිනාවෙලා කිව්ව..

"ම්ම්ම්ම්..එහෙනං අවුලක් නෑනෙ..අපි එහෙම කරමු.."

අංකල් එහෙම කියල ආයම සෝපාවෙ හරි බරි ගැහිල පත්තරෙං මූණ වහගත්ත. පත්තරේ ඇවිල්ල හිට ඔහෙලට මතකනෙ  නේ? වෙනිං මොකක්වත් නෙවෙයි ද හින්දු.

28 comments:

  1. "පයිතගරස් මතකනෙ නේද? අර යුරේකා යුරේකා...කියල ෆුල් නේකඩ් ඇතන්ස් නගරයෙ වීදි දිගේ දිව්වයි කියන්නෙ..අන්න පොර"
    Are you sure ?

    ReplyDelete
    Replies
    1. :)

      http://archimedespalimpsest.org/images/kaltoon/

      Delete
    2. Ano,

      /Are you sure ?/

      Just joking....It's supposed to be Archimedes...:)

      And you know what? Yet another very valuable theory came out of Archimedes's that famous naked run. Most of the humankind doesn't know this but the theory of pendulum was thought by the Queen of Sicily who was an avid spectator of Archimedes's great escapade....:)

      Delete
    3. Unknown,

      Thanks so much....:)

      Delete
  2. ක්‍රිෂ් සහ රවී දෙදෙනාගේ සමානකම් බොහොමයි

    ReplyDelete
    Replies
    1. ඉයන්,

      ආය මොනවද ඉයන්? එක කුසේ උපං බාප්පගෙ පුතා...:)

      Delete
  3. krish හිනා වෙන්නෙත් heg heg කියලා නේද මරු

    ReplyDelete
    Replies
    1. දමිත්,

      හෙග් හෙග් නෙවෙයි බොල හෙහ් හෙහ් කියල...:)

      Delete
  4. අනික පොරට හමුවෙලා තියෙන්නේ ලංකාවේ ඉන්න එපා ම කරපු පොරක් නෙ.

    ReplyDelete
    Replies
    1. දමිත්,

      එපාම කරපු එකා විච් එකාද? බිස්නස්මන් ඕ කැට් මෑන්?

      Delete
  5. කුකුල් නාම්බො කවද්ද කෙකරගෑවෙ උන් කරන්නෙ කුංචනාදෙනෙ :D

    ReplyDelete
    Replies
    1. [°•_•°] {`^`…´^´} (~•`_´•~),

      පොඩි මිස්ටේකන්ලි අන් අයිඩෙන්ටිෆයිඩ් නන් ෆ්ලයිං ඔබ්ජෙක්ෂන් යුවර් ඕනර් එකක් බොලේ....සොරිම වෙන්ට ඕමනයි...

      Delete
  6. යසට හිටපු පයිතෙගෙ රෙදි ගලෝපු එක ගැන මගේ අහවල් මෙවුව එක. අනේ ආකිමිඩිස්ට ගිය කලක්. හැක්..

    ReplyDelete
    Replies
    1. ප්‍රසන්න,

      ඔය ආමිකිඩිය රෙදි නැතුව පාරෙ දුවපු එක තමයි හැමෝම දන්නෙ..ඒත් ඔය මනුස්සය මාර වැඩ කාරයෙක්. මිනිහ සේවය කරල තියෙන්නෙ සිසිලියෙ රජ්ජුරුවන්ට. ඒ කාලෙ මිනිහගෙ වැඩ කිඩ හින්ද සිසිලිය ඒ අහල පහල රටවල් ඔක්කොම යටත් කරගෙන තියනව.

      අමුතුම ගණයෙ යුද්ධායුධ එතකොට බොහොම වේගවත් යුද නැව් එහෙම ආකිමිඩිය ඩිසයින් කරල තියෙනව සෑහෙන්න...

      ආකිමිඩිය ගැන වෙනම ලිපියක් ලියන්නම්කො හොඳද?

      Delete
    2. රෙදි ගලෝනව හම්බුනා නං. හොඳ වෙලාවට මග ඇරලා ගිහිං හිටියෙ.

      Delete
  7. ක්‍රිෂ් කාරයට මස්සිනා එක්ක ලේසි වෙන එකක් නෑ වගෙයි.

    ReplyDelete
    Replies
    1. ප්‍රසන්න,

      මස්සිනාල එක්ක කාටද බං ලේසි වුනේ?

      Delete
  8. උදෑසන ආහාර අනුභවය සහ ගමන අතරමගදී මොකක් හරි විජ්ජුම්බරයක් වෙන පාටයි.

    පයිතගරස්/ආකිමිඩිස් පැටලුනේ දැන් ක්‍රිෂ් ට ද රවී තුමාටද? :) මේ ලස්සන කතාව මැද්දට විකාර දේශපාලකයින් ගේ තොරතුරු ඔබනවට යස වැඩේ!

    විෂ්ණු දෙවියො නේද බටකොළ කෑවෙ? ඒ වගේ තමයි //මේ බබලත්තු හින්ද පිරිමි අපි විඳින දුකක්// කොහොමත් බබලත්තුන්ට දුක් විඳින්න සිද්ද වෙන්නෙ කසාදෙන් පස්සෙ තමයි :)

    ReplyDelete
    Replies
    1. Maanaviks,

      /පයිතගරස්/ආකිමිඩිස් පැටලුනේ දැන් ක්‍රිෂ් ට ද රවී තුමාටද?/

      මට බොලේ මට මට....

      /මේ ලස්සන කතාව මැද්දට විකාර දේශපාලකයින් ගේ තොරතුරු ඔබනවට යස වැඩේ!/

      මගේ ස්තූතිය පිළිගනු මැන!.... සහ ඒ හා සමඟම.... සමාවන සේක්වා!

      /විෂ්ණු දෙවියො නේද බටකොළ කෑවෙ? ඒ වගේ තමයි /

      විස්නු ගොයිය බටකොල කෑවෙ බබලත් කේස් එකකට නෙවෙයි නේද? ඒ මේ සෙනසුරු අපලයක් හින්දනෙ...

      / කොහොමත් බබලත්තුන්ට දුක් විඳින්න සිද්ද වෙන්නෙ කසාදෙන් පස්සෙ තමයි :)/

      ඒකට බඳින්න එපා අනේ..ඔහොමම ඉන්න...:)

      Delete
  9. ළඳුන් වෙනුවෙන් අපි කුමක් කරන්නෙමුද?

    ReplyDelete
    Replies
    1. ප්‍රා,

      ලද බොළඳ ළඳුන් වෙනුවෙන් අපි කුමක් කරන්නෙමුද? අපි ඔවුන් වෙනුවෙන් සැමදා කැපවන්නෙමු!

      Delete
  10. ඇගේ මංජු මලයත් පණ්ඩිතයි වගේ
    උගේ වැඩත් වයසට වැඩියෙන්ම වගේ
    අගේ කෝප ගති මාමගෙ නැහැම වගේ
    අගේ පොටක් පෑදෙන්නට යනව වගේ.....

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. දුමී,

      බොහොම ස්තූතියි දුමී!

      Delete
  11. දිගටම ක්‍රිෂ්ට මස්සිනාගෙන්ම ඉගෙණගන්නවෙයිද දන්නැ...
    හපොයි, ඒ පැය එක හමාර, දෙක ඇතුලත මොවායෙන් මොවා වෙයිද මන්ද...

    ReplyDelete
    Replies
    1. නිර්මාණි,

      හෙහ් හෙහ්...ඒ පැය දෙක ඇතුලත වෙන්නෙ අර බළල්ලු දෙන්නෙක් කාමරේකට දාල දොර වහල ගියහම වෙන එක...පස්සෙ දොර ඇරල බලනකොට ඉතුරු වෙලා තියෙන්නෙ බළල් වලිග දෙක විතරයි. බලල්ලු දෙන්න එකාව එකාව කාගෙන...:)

      Delete
  12. //ඔෆිස් එක තියෙන්නෙ අන්න සාලේ පැත්තෙ//

    මම බැලුවා ක්‍රිෂ් මාමණ්ඩියටත් ජෝක් දානවද කියලා. ඔෆිස් එක සාලේ තියනවය කියලා. "අන්නසාලේ" කියන එක එක වචනයක් නෙවේද?

    ReplyDelete
    Replies
    1. සයුරි,

      අප්පච්චියේ ඇත්තම නෙවෙන්නං..වහාම හැදුව...වහාම හැදුව...ස්තූතියි මැඩම්...:)

      Delete
  13. අරකි මදිවට දැන් ක්‍රිශ් ට ජොබත් නැති වෙන්ටයි යන්නෙ. හයියෝ අහින්සකය.

    ReplyDelete

මගේ සිතුවිලි ගැන ඔබේ සිතුවිලි

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...