Thursday, April 6, 2017

137. ඩෙංගු (සහ) උණ


පහුගිය 30 වෙනිදා උදේ පාන්දර අහන්න ලැබුණේ ඉතාමත් ශෝකජනක ආරංචියක්. සැමියාගේ මිතුරෙකුගේ දුවක් ඩෙංගු උණ නිසා අප අතරින් සදහට ම වෙන් වෙලා ගිහින්. ඒ දුවගේ තාත්තාටත් ඩෙංගු. එහේ දුවයි පුතායි අපේ දරුවෝ දෙන්නාගේ වයස. ඒ දුවගේ පිංතූර දකින වාරයක් පාසා දැනුත් මට ඇඬෙනවා. අපටත් වඩා සමීපතයින් කොහොම දරා ගන්නද මේ දුක?

අපේ පුතාට පහුගිය පෙබරවාරියේ ‍ ඩෙංගු හැදුණු බව මෙය කියවන ඔබ සමහරෙක් දන්නවා ඇති. පුතා සමග රෝහල් ගතව සිට නිවසට පැමිණි පසු මම අපේ අත්දැකීම මුහුණු පොතේ ලියා තැබුවේ තව බොහෝ දෙනෙකුට එය වැදගත් වන නිසා. පෙරකී ශෝකජනක සිද්ධිය දැනගත් අපේ තවත් මිතුරියක් ඊයේ රෑ මට කීවේ, "ඔයාගේ ස්ටේටස් එක මං හස්බන්ඩ්ටත් පෙන්නුවා. අපි දැන් සල්ලි කියලා බලන්නේ නැහැ, ඩොක්ටර් ඕනෑ නැහැ කිව්වත් ඩෙංගු ඇන්ටිජන් කරනවා. අනේ ඒ පෝස්ට් එක සැරින් සැරේ ශෙයාර් කරන්න රන්දි."





මුහුණු පොතේ ඒ ලියැවිල්ල හොයාගන්නත් මට මිනිත්තු 15ක් විතර ගතවුණා. එහෙම ශෙයාර් කළත් බොහොම සුලු වේලාවකින් යට ගිහින් නොපෙනී යන නිසා ඒ අන්තර්ගතය බ්ලොග් ලිපියකට එකතු කරන්න මට හිතුණා.

පහත දැක්වෙන්නේ එයයි.

*******************

අපේ පුතාට උණ හැදුනේ 7 වෙනිදා දහවල්. පැරසිටමෝල් පැය 6කට වරක් දෙමින් උණ අඩු වෙයිදෝ බැලුවත් සාමාන්‍ය තත්ත්වයට කිසි විටෙක පත් වුණේ නැහැ. 8 වෙනිදා දහවල් වෙද්දි දුවටත් උණ හැදුනා. එදා ම හවස අපි දෙන්නාව ම නිවසට ආසන්නම පුද්ගලික රෝහලට ගෙන ගියා. එහිදි බාහිර රෝගී අංශයේ වෛද්‍යවරයා ඩෙංගු සඳහා පරීක්ෂණ කරන ලෙස අපට දැනුම් දුන්නා. ඒ වනවිටත් දෙදෙනාට ම ඉතා තදින් උණතිබුණා.

පරීක්ෂණයට ලේ ලබා දී උණ සඳහා ඖෂධත් ලබාගෙන ගෙදර ආවා. (රෝහලේ දී දෙදෙනාට ම suppository ලබා දුන්නත් උණ සැලකිය යුතු ලෙස අඩු වූයේ නැහැ)

පැය දෙකකට පසු රෝහලින් කතා කොට පුතාගේ රපෝර්තුවේ ඩෙංගු ප්‍රතිදේහජනකය පෙන්වන වග (DENGUE NS1 ANTIGEN POSITIVE) දැනුම් දුන්නා. දුවගේ එහෙම වුණේ නැහැ. අපි වහාම පුතා ‍රෝහල් ගත කිරීමට කටයුතු යෙදුවා. (එහිදී පෙරකී වෛද්‍යවරයා, 'දැන් මේ රෑ ම නොගියාට කමක් නැහැ. හෙට උදේට ගියාත් ඇති'යි පැවසූවත්, 'ගෙදර ඉඳලා මොනවා කරන්නද ඩොක්ටර්. අපි බබාව අරං යනවා'යි පවසා අපි පිටත්වූවා)

නමුදු දින තුන සම්පූර්ණ වනතුරු රුධිර පට්ටිකා (PLATELET) හෝ සුදු රුධිරානු (WHITE BLOOD CELLS) වල වෙනසක් දකින්නට නොලැබෙන බව රෝහලේ දී දැන ගන්නට ලැබුණා.

වෛද්‍ය අධීක්ෂණය යටතේ රුධිර පීඩනය මනිමින්, නියමිත පරිදි දියර වර්ග ලබා දෙමින්,උණ අඩු වීමට පැරසිටමෝල් ලබා දෙමින් දින දින ගෙවුණා.

පුතාගේ උණ තත්ත්වයට දින 3 සම්පූර්ණ වීමට තිබුණේ 10 වෙනිදා දහවල් වද්දි. නමුත් 10 වනදා උදෑසන 2 වනවිට තිබුණු උණ තත්ත්වයට පැරසිටමෝල් දුන් පසු අඩු වී නැවත උණ තත්ත්වය ඇති වූයේ නැහැ. ඒත් 10 වෙනිදා උදෑසන ගත් රුධිර සාම්පලයේ සුදු රුධිරානු ප්‍රමාණය සැලකිය යුතු ලෙස අඩු වී තිබුණු අතර පට්ටිකාද යම් පමණකින් අඩු වී තිබුණා.

මෙහිදී මට පෙන්වා දෙන්නට උවමනා වූ කරුණු දෙකකි.

1. නිවසේ ම රැඳී සිට, සාමාන්‍යයෙන් වැඩිපුර දැනුවත් කරන පරිදි දින තුනක උණ තත්ත්වයෙන් පසු රුධිර පරීක්ෂණය කරන්නට සිටියා නම් 10 වනදා දහවල් ‍වද්දි උණ නැති බැවින් එය නොකර ඉන්නට තිබූ ඉඩකඩ වැඩිය. නමුදු පුතු ඩෙංගු රෝගියෙකි.

2. දරු දෙදෙනාට ම උණ හැදුනු නිසාත් දුවට ‍9 වෙනිදා රාත්‍රී වද්දි උණ අඩුවන්නට පටන්ගත් නිසාත් නොදැනුවත්ව ම මේ උණ තත්ත්ව දෙකම එකක් යැයි සිතීමට තිබූ ඉඩකඩ ද වැඩිය. නමුදු පුතු ඩෙංගු රෝගියෙකි.

එබැවින්, ඔබ පවුලේ කෙනෙකුට උණ තත්ත්වයක් ඇතිවුවහොත්, අඩුම වශයෙන් දෙවැනි දිනයේදීවත් ‍(DENGUE ANTIGEN) පරීක්ෂණය කරගන්න. කල් ඇතිව දැන සිටීම වඩා යහපත් වනු ඇත.

පසු ලිවීම

සමහර අවස්ථාවලදී ඉහත පරීක්ෂණය මගින් ඩෙංගු තිබියදීත් ප්‍රතිදේහජනකය රුධිරයේ නොපෙන්වන අවස්ථා තිබිය හැකි බව හිතවත් වෛද්‍ය බෝධිනි සමරතුංග පවසනවා. එමනිසා දිගින් දිගටම උණ පවතින කාලය තුල, මෙම පරීක්ෂණය සෘණ වූවත් අනෙකුත් අදාළ පරීක්ෂණ කළ යුතුව තිබෙනවා.

16 comments:

  1. යම් කිසි අනතුරක සේයාවක් ඉව වැටුණු විට හෝ තමාගේ මානසික සහනය වෙනුවෙන් හෝ මෙවැනි පරීක්ෂණ සිදුකර ගැනීම ගැන දෙවරක් සිතිය යුතු නෑ කියන අදහසෙයි මම ඉන්නේ.

    මාස කීපයකට කලින් මගේ තුන් හැවිරිදි දුව රෝහලට රැගෙන ගියේ ඇය නිතර බඩ රිදෙන බව පැවසීම සහ වරින් වර දැඩි වේදනාවෙන් කෑ ගැසීම නිසයි. නමුත් මේ වරින් වර මතුවන වේදනාව වැඩි වෙලා පවතින්නේ නෑ. රෝහලේදි බාහිරව පරීක්ෂාකර බලා කිව්වේ බඩේ වසා ගැටිති ඉදිමීමක් නිසා මේ වේදනාව ඇතිවන බවයි. තව හේතුවක් විය හැක්කේ ඊට වඩා දරුණු ජීවිතයට හානි විය හැකි 'ඉන්ටසසෙප්ෂන්' නැමති බඩවැලේ කොටසක් බඩවැල තුලටම ඇකිලී ගොස් ඇතිවන රෝගී තත්වයක් බවත් දුවගේ රෝග ලක්ෂණ අනුව මේ එම රෝගය විය නොහැකි බවත් ඔවුන් ප්‍රකාශ කලා.

    දෙවෙනි දිනයේදීත් අඩුවක් නොවූ නිසා නැවතත් රෝහලට රැගෙන ගියා. ඔවුන් නැවතත් කිව්වේ ඉන්ටසසෙප්ෂන් නැමති තත්වය නම් වේදනාව මීට වඩා බොහෝ වැඩි විය යුතු බවක්. නිවසේදී ගේ දෙවනත් කරමින් හැඬූ දුව රෝහලේදී මගේ හෝ බිරිඳගේ තුරුලේ මුහුණ ඔබාගෙන අපගේ ඇඳුම ඇගේ දත් වලින් තදින් සපමින් සිටියා. තමන් නොදන්නා මිනිසුන් අතරේ ඉතා ලැජ්ජාශීලී ඇය බොහෝ වෙලාවට සිටියේ මුහුණ සඟවාගෙන. අභ්‍යන්තර පරීක්ෂණයක් සිදු නොකරන්නේ ඇයි කියා විමසූ විට ඔවුන් කියා සිටියේ පරීක්ෂණයක් කිරීමට තරම් හේතුවක් ඔවුන්ට නොපෙනෙන බවයි.

    තුන් වන දිනයේදිත් අපට ඇයව රැගෙන යාමට සිදුවුණා. මෙහිදී එම අංශයේ සේවා මුරයේ ප්‍රධානියා සහ තවත් වෛද්‍යවරයෙක් පැමිණ අපට කිව්වේ අප නිකරුණේ දරුවා රැගෙන එන බවයි. මා නැවතත් ඔවුන්ගෙන් ඇසුවා කිසිම අභ්‍යන්තර (ස්කෑන්) පරීක්ෂණයක් සිදුකර ඔවුන්ගේ රෝග නිගමනය නිවැරදිද කියා පරීක්ෂා නොකරන්නේ ඇයි කියා. ඔවුන්ගේ පිළිතුර වූයේ අප දකින්නේ අපගේ දරුවා පමණක් වුවත් ඔවුන් සතියකට ළමුන් 1000 පමණ දකින බවත් රෝගයක් ගැන විනිශ්චයකට එළඹීමට තරම් අත්දැකීම් ඔවුන් සතු බව. නමුත් මා එම පරීක්ෂණය සිදුකරන ලෙස නැවත නැවත ඉල්ලා සිටි නිසා පෞද්ගලික ස්ථානයකින් එම පරීක්ෂණය සිදුකරගන්නා ලෙස ඔවුන් පැවසුවා. මෙය ඉන්ටසසෙප්ෂන් රෝගය බැව් එම පරීක්ෂණයෙන් සොයාගතහොත් ඒ සඳහා වූ වියදම තමා දරන බව ප්‍රධාන වෛද්‍යවරයා විහිළුවක ස්වරූපයෙන් පැවසුවේ අප මේ කරන්නට යන්නේ ඵලක් නැති ක්‍රියාවක් බව ඇඟවීමට.

    අප සිතූ ලෙසම, මුදල් ගෙවා සිදු කල පරීක්ෂණයෙන් දුවට ඉන්ටසසෙප්ෂන් නැමති, ඉක්මනින් ප්‍රතිකාර නොකලහොත් ඉතා භයානක ප්‍රතිඵල ඇතිවිය හැකි, ජීවිතය හානිවීමට පවා ඉඩ ඇති රෝගය බව තහවුරු කලා. අදාල විස්තර සහිතව එවෙලේම නැවත රෝහලට පැමිණි විට රෝහලේ හැසිරීම ඉතා වෙනස්. ඉතා ඉක්මනින් අවශ්‍ය සියළු කටයුතු සිදුවුණා. රෝහලේ ප්‍රධානීන් පෞද්ගලිකවම පැමිණ සමාව ඉල්ලා සිටියා. මා ලිඛිතව මේ පිළිබඳ පැමිණිල්ලක් කලා. මගේ ප්‍රධාන තර්කය වූයේ රෝග විනිශ්චය කල ක්‍රමවේදය වැරදි බවයි. ඒම රෝගය සඳහා ඔවුන් බලාපොරොත්තු වූ රෝග ලක්ෂණ බොහොමයක් නැතිවත්, එම රෝගය තිබිය හැකි බව මෙයින් ඔප්පු වන බව මා කියා සිටියා. සති දෙකකට පමණ පසුව රෝහලෙන් කතා කර පැවසුවේ මෙම රෝගය සඳහා රෝග විනිශ්චය කරන ක්‍රමවේදය ඔවුන් වෙනස් කල බවයි. ඒ අනුව ඉන්ටසසෙප්ෂන් තත්වය පැවතීමට සුළු හෝ ඉඩක් ඇති විටෙකදී ස්කෑන් පරීක්ෂනය අනිවාර්යයෙන් සිදුකරන බව ඔවුන් දන්වා සිටියා.

    මින් පසු නම් මා කිසිම අවස්ථාවක එවැනි අනිවාර්ය නැතත් කරගතහොත් මානසික දෙගිඩියාව නැති කරගත හැකි පරීක්ෂණයක් සිදු කිරීමට පැකිලෙන්නේ නෑ. මා සම්බන්ධයෙන් කෙසේ වෙතත් දරුවන් සම්බන්ධයෙන්.

    ReplyDelete
    Replies
    1. තිසර,

      බොහෝ සාමාන්‍ය මිනිසුන් වගේම වෘත්තීය විශේෂඥයොත් කරන බරපතල වරදක් ඔය. මම කියන්නෙ ඕනම තත්වයක් ගැන තීරණයක් ගනිද්දි පූර්ව නීරීක්ෂණ සහ අත්දැකීම් මතම පදනම් වෙලා තීරණයක් අරගෙන ඒ තීරණයෙ දැඩිව එල්බගෙන ඉන්න එක.

      පූර්ව අත්දැකීම් බොහොම වැදගත් ජීවිතයට. ඒත් බොහෝ දෙනෙක් අමතක කරණව ව්‍යාතිරේක (Exceptions) තියෙන්න පුලුවන්ය කියන කාරණය. ඒ වගේම අපි හිතනවට වඩා ව්‍යාතිරේක සුලභයි.

      මම කලින් වැඩරපු ව්‍යාපෘතියක එහෙම දෙයක් වුනා. කාර්යාල ගොඩනැඟිල්ලක බිත්තිවල යම්තමට වගෙ පිපුරුම් මතුවුනා. (Hairline cracks) ගොඩනැඟිල්ලක පදනමට යටින් පොළව ගිලා බැසීමක් වගෙ වෙනකොට එහෙම පිපුරුම් මතුවෙනව. ඒත් ඒ පිපුරුම් ක්‍රමයෙන් විශාල වෙන්නෙ නැත්නම් සාමාන්‍යයෙන් පිළිගත් න්‍යාය තමයි ගොඩනැඟිල්ල කඩා වැටීමේ අවදානමක් නැහැයි කියන එක.

      සරලව ඒ පිපුරුම් අතරට කඩදාසියක් වගෙ දෙයක් ඔබල පරීක්ෂා කලහැකි ඒ පිපුරුම් දිනෙන් දින විශාල වෙනවද කියල. ඉතින් කෙටියෙන් කිව්වොත් ඒ සරල පරීක්ෂණ වලින් නීරීක්ෂණය වුනේ ගිලා බැසීම නැවතුනු බවයි. කොළඹින් ආපු විශේෂඥයින්ගෙ නිගමනය වුනෙත් ඒක.

      ඒත් ඒ අංශය භාරව හිටපු විදේශීය ඉංජිනේරුවා තදින්ම කියාසිටියා ඒ ගොඩනැඟිල්ල අත්හැර දැමිය යුතු බව.ඔහු බ්‍රසීලයේ සේවය කරද්දි ඔය වගේම දෙයක් වෙලා අන්තිමට ගොඩනැඟිල්ල කඩා වැටිල කීප දෙනෙක් මියගිය බවත් ඔහු කිව්වා. ඔහුගේ බලකිරීම මතම ඒ ගොඩනැඟිල්ල අත්හැර දැමීමට කළමණාකාරිත්වය තීරණය කලා.

      පස්සෙ ඒ ගොගනැඟිල්ල කඩා දමන්නට තීරණය කරල තියෙද්දි එක දවසක් හදිසියෙම ඒකෙ පැත්තක් කඩා වැටුනා. අර අංශ ප්‍රධානියා නොවෙන්න දෙතුන් දෙක්වත් බරපතල තුවාල ලබන්නට ඉඩ තිබුනා.

      ඉතින් අනිවාර්යයෙන්ම ජීවිතයක් සම්බන්ධයෙන් කටයුතු කීරිමේදී පූර්ව අත්දැකීම් මතම පිහිටල කටයුතු කිරීම බොහොම භයානක ඛේදවාචකයකින් කෙළවර වෙන්න පුලුවන්.

      Delete
    2. වෛද්‍යවරුන්ගේ රෝග විනිශ්චය සමග රෝගියා හෝ රෝගියාගේ ලඟම ඥාතීන් එකඟ නොවෙනා විට ඔවුනට ගත හැකි ක්‍රියාමාර්ගයක් ඕස්ට්‍රේලියාවේ ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ ක්‍රියාත්මක වෙනවා. එය හැඳින්වෙන්නේ රයන්ස් රූල් (Ryan's Rule) නමින්. එය පදනම් වී තිබෙන මූලික කාරනය තමයි රෝගියා පිළිබඳ ඇති පුද්ගලික දැනුම අනුව කොහේ හෝ වැරදීමක් ඇති බවට සමීපතමයන් තුල ඇති ඉවයි. බොහෝ විට 'මෙයා ලෙඩක් නැත්නම් මෙහෙම ඉන්නේ නෑ' වැනි දේ අප කියන්නේ අප තුල ඇති එම අවබෝධය නිසයි. දුව ගෙදරදී තරම් විවෘතව රෝහලේදී නොහැඬුවේ ඇය තමන්ට නුපුරුදු පුද්ගලයන් ඉදිරියේ සහ ස්ථාන වලදී දක්වන අධික බිය නිසා බව අපට තේරුම් ගොස් තිබුණා. වෛද්‍යවරුන් සමග එකඟ නොවී පෞද්ගලිකව එම පරීක්ෂණය කර ගත්තේ ඇයට කුමක් හෝ බරපතල යමක් සිදුවී ඇති බව අපට දැනුණු නිසයි.

      මේ ක්‍රමවේදය ඛේදවාචයකයක ප්‍රතිඵලයක්. රයන් සෝන්ඩර්ස් නමැති ළදරුවාට ඇතිවී තිබූ රෝගී තත්වය 'ඇන්ටිබයොටික්' දීමෙන් පාලනය කල හැකිව තුබුණත්, තම සහායක ආධුනික වෛද්‍යවරයාගේ අදහස නොසලකා හැරි ප්‍රධාන වෛද්‍යවරයා එය අනවශ්‍ය බව තීරණය කලා. ළදරුවාගේ දෙමව්පියන් බලවත් සේ ඉල්ලා සිටියත් වෛද්‍යවරයා තම අදහස වෙනස් කලේ නෑ. රයන් දින කීපයකට පසු මියගියා. මේ සිද්ධිය පරීක්ෂා කිරීමට පත්වූ කොමිසමේ නිර්දේශ මත තමයි රයන්ස් රූල් ක්‍රමවේදය බිහිවුණේ. එමගින් රෝගියාට හෝ ළඟම ඥාතීන්ට පුළුවන් රෝග විනිශ්චය පිළිබඳ ඔවුන් සෑහීමකට පත් නොවේ නම් මූලිකව වෛද්‍යවරයාට, දෙවනුව සේවා මුරය බාර ප්‍රධාන හෙදියට ඒ බව දැනුම් දෙන්න. ඒයිනුත් පලක් නොවේ නම් ඔවුන්ට පුළුවන් රයන්ස් රූල් ක්‍රමවේදය ඉල්ලා සිටීමට. එවිට ඔවුන් සියලු දෙනා බැඳී සිටිනවා, රෝග විනිශ්චය හැකි නම් වෙනත් වෛද්‍යවරුන් ලවා මුල සිට සිදු කිරීමට. වෙනත් වෛද්‍යවරුන් ඒ අවස්ථාවේ කැඳවාගත නොහැකි නම්, රෝග නීර්ණය සියළුම අවදානම් තත්ව ආවර්ණය වන විදිහට නැවත සිදු කරන්න ඕනේ. මෙහිදී ප්‍රධානියා වන්නේ සේවා මුරය බාර හෙදිය. භයානක ලෙඩ රෝග තිබියදී වෛද්‍යවරුන් නොසලකා හැරි නමුත් මේ ක්‍රමවේදය නිසා අවසානයේ නිවැරදි රෝගය සොයාගත් අවස්ථා ගණනක්ම වරින් වර වාර්තා වෙනවා.

      Delete
    3. මේක මම දැනගත්තේ දුවගේ සිද්ධිය ගැන පැමිණිලි කරන විට...

      Delete
    4. මේක කමෙන්ට් එකක් විදියට නැතුව බ්ලොග් පෝස්ට් එකක් විදියට දැම්මා නම් හොඳයි.

      Delete
    5. අපේ ගමේ වෛද්‍යවරයෙක් ඉන්නවා. මූලික උපාධිය විතරයි තියෙන්නෙ. ( ප්‍රදර්ශනය කරන දැන්වීම් පුවරුව අනුව) රෝහලක සේවය කරන ගමන් ගෙදර ඩිස්පෙන්සරියක් දමන් බෙහෙත් කරනවා. මම මේ ඩොක්ටගෙ දැක්ක ලොකුම හොඳකම තමයි. ලෙඩුන්ට වගේම ලෙඩා එක්ක යන අයටත් හොඳට සවන් දෙන එක. රෝග තේරුම් ගැනීමේ හැකියාව අතින් හරි ඉහළයි. කෝකටත් හොඳයි මේ පරීක්ෂණ කරගන්න කියනවා. අවශ්‍ය උපදෙස් දෙනවා.

      අපේ අම්මගෙ ජීවිතේ දෙවතාවක්ම බේරුණේ මේ ඩොක්ට නිසා. හෘද රෝග තත්ත්වයක් නිසා අම්මව ඒ ඩොක්ටගේම උපදෙස් අනුව කොළඹ ගෙනත් පෙන්නද්දි ඒ ඩොක්ටර්ස්ලත් පුදුම වුණා, ඒ වෙද්දිත් අවශ්‍ය කරන පරීක්ෂණ විශාල ප්‍රමාණයක් කරල අපි ළඟ වාර්තා තිබුණ නිසා.

      ගොඩක් වෙලාවට අසනීප බරපතල වෙන්නෙ එහෙම නිවැරදි උපදෙසක් දෙන්න කෙනෙක් නැති නිසා. සමහර වෙලාවට රෝගියාගේ සමීපතම අයටත් අවබෝධයක් නැත්නම් වැඩේ බරපතල වෙනවා. මේ වගේ අත්දැකීම් බෙදාගන්න එක හරි වැදගත්...

      Delete
    6. //සති දෙකකට පමණ පසුව රෝහලෙන් කතා කර පැවසුවේ මෙම රෝගය සඳහා රෝග විනිශ්චය කරන ක්‍රමවේදය ඔවුන් වෙනස් කල බවයි.// හොඳ පියවරක්.

      Delete
    7. //මේක කමෙන්ට් එකක් විදියට නැතුව බ්ලොග් පෝස්ට් එකක් විදියට දැම්මා නම් හොඳයි.// X 2 තිසර මහතාගේ අවධානය පිණිසයි!

      Delete
  2. මම සාමාන්යෙන් නම් ලෙඩ ගණන් ගන්නේ නැති ජාතියේ.. නමුත් බිරිඳ පොඩි දේටත් කලබල වෙලා හැම ටෙස්ට් එකම කරන්න බල කරනවා.. ලෙඩ සම්බන්ධයෙන් නම් මගේ විදියට වඩා ඇගේ විදිය හරි කියන එක මමත් දැන් පිලිගන්නවා.

    අපි හිතනවට වඩා දැන් තියෙන ලෙඩ සහ අපි ඒ ලෙඩ වලට ගොදුරු වීමේ ඉඩ හෙන වැඩියි.. ලේසියෙන් පහසුවෙන් ගොඩක් දේවල් ටෙස්ට් කරගන්න පුළුවන් කම තියෙන නිසා සල්ලි ගැන හිතන්නේ නැතිව ඔය හැම ජාතියේම ඒවා අවුරුද්දකට සැරයක් වත් කරන එක වටිනවා.

    මේ ලඟදි නැති වුන අපේ ලොකු අම්මගේ මරණයට හේතුවක් විදියට අපි තේරුම් ගත්තෙත් අවශ්‍යය කරන MRI වගේ ස්කෑන් ඉක්මනින් නොකිරීම කියන එක. දොස්තරලා එයාලට ඕනේ විදියට ඒවා කරද්දී අපිට බල කරන්න පුළුවන් සීමාවක් තියෙනවා. ඔවුන් පරීක්ෂණ නොකරන එක නෙවෙයි වැරැද්ද.. ඔවුන්ට හරි කියල හිතෙනකම් ඒවා නොකර ඉන්න එක. අන්තිමට මුදල් වලින් ලක්ෂ ගාණන් වටින පරීක්ෂණ කරනවා නමුත් අවශ්‍යම එක කරන්න කල් දානවා. ඔවුන් ඒවා කරන්න ඕනේ කියන නිගමනයට එනකොට පරක්කු වෙලා වැඩියි..

    අර උඩින් තිසර කියල තියෙනවා වගේ තමන්ගේ හිතේ සැකය නැති කරන්න ඔය වගේ පරීක්ෂණ නම් කරන්නම ඕනේ.. මිනිස්සු ඕවා මහන්සි වෙලා හදල තියෙන්නේ ඒවායින් ප්‍රයෝජන ගන්න නේ...

    ReplyDelete
  3. ස්තූතියි රන්දිල් ,

    ReplyDelete
  4. බොහොම පින් රන්දි,මේ දේවල් දැනුවත් කරන්නම ඕනෙ. නැත්නම් ඔහේ බලා ඉන්නවා අම්මලා. මැලේසියාවෙ නම් එකම අත් බෙහෙත ගස්ලබු කොල යුශයි. ආණ්ඩුවෙ ඉස්පිරිතාල වලත් , පාමසි වලත් ඒවා බෝතල් කරල තියෙනවා. මෙහේ ඒවා දෙන්න දෙන්නෙ නෑ. දරුවන් ගැන අවදානමක් ගන්න අවශ්‍ය නෑ. කල්පනාවෙන් දෙමාපියන් කටයුතු කල යුතුයි. පහු ගිය දිනෙක මගේ මල්ලි කෙනෙක් ගේ එකම දියණිය නැති උනා. හරිම දුකයි තාම ඇය මතක් වෙනකොට.

    ReplyDelete
  5. ස්තුතියි මෙය නැවත බ්ලොග් පෝස්ට් එකක් ලෙස දැමීම පිළිබඳව.

    නියපොත්තෙන් කඩන්න තියෙන දේ පොරවෙන් කපන්න වෙනකල් ඉන්නැතුව පියවරක් ගන්න එක කොහොමත් වටිනව.

    ReplyDelete
  6. The Lady Cilento Children’s Hospital (LCCH) is the major specialist children’s hospital for families living in Queensland

    මෙමෙ අකටයුත්ත සිදුවුනේ මෙම රෝහලෙන්ද නැතිනම්
    Mater Children's Hospital නැති නම් Royal Children's Hospital Brisbane Qld.ද

    ReplyDelete
  7. මේක බ්ලොග් පොස්ට් එකක් විදියට දාපු එක වටිනවා.. ඒ වගේම තිසර ගේ අත්දැකීමත් ඉතාමත්ම වටිනවා. මාත් ලෙඩ සම්භන්දයෙන් පැතුම් වගේ වගේ පුර හිතන එකෙක් නෙවෙයි. ඒත් පුංචි පුංචි පාඩම් නිසාම දැන් ඊට වඩා ලෙඩ සම්භන්දයෙන් කලබල වෙනවා. (මගේ ලෙඩ ගැන නම් නොවෙයි :)

    මට ලඟකදී මෙහෙම දෙයක් උනා. අපේ අක්කගේ ලොකු පුතාව (අවු.20ක) උණ වැඩිවෙලා ගිහින් ගාල්ලේ කෝපරෙටිව් හොස්පිටල් එකේ opd ඩොක්ටර් ට පෙන්නුවා. රෝග ලක්ෂණ බලල ඩොක්ටර් ඔය පරික්ෂාව කරගන්න කියුව. රිපෝර්ට් එක පොසිටිව්. මම එවලේම රිපෝර්ට් එකත් අරන් කරාපිටියට අරගෙන ගියා කොල්ලව.. එතන හිටපු කොන්-දොස්තර %$#$#@ යෝ ගණන් ගත්තේවත් නෑ.. මගේ කටේ බල කිරීමට ඇඩ්මිට් කරේ.. ඇඳවල් නෑ නිකම් ලෙඩ වැඩි කරගන්නවා ඕගොල්ලෝ දොස්තරලා වෙන්න යනවා.. අරව මේවා කතන්දර ගොඩයි.. දවස් හතරක් ඉස්පිරිතාලේ ඉන්න උනා.. කිසිම විස්තරයක් හරියට කියුවේ නෑ.. ඩෙංගු කියනවා.. ඩෙංගු නෙවෙයි වයිරස් උණක් කියනවා.. ඩෙංගු වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන් කියනවා එක එක දොස්තර බලන බලන සැරේට එක එක කතන්දර.. අන්තිමට දවස් හතරකට පස්සේ කොල්ලට යන්තම ඇඟට පණ ටිකක් ආවම ගෙදර එක්කගෙන ආවා.. එදානම් කන්ඩ තරහයි මුන් එක්ක..

    ReplyDelete
  8. ගස් ලබ්බත් ඩෙංගු හැදිල කෙලම වෙනකන් ගණන් ගන්නෙ නැතුව ඉඳල ඉස්පිරිතාලෙ ගියේ... ඕ.පී.ඩී එකෙන් ගණන් ගත්තෙ වත් නෑ.පස්සෙ කන්සල්ටන් ව චැනල් කරල පෙන්නපුවාම රිපෝට් වගයක් ගන්න කියල ඒ ගමන්ම ඇඩ්මිට් වෙන්න කිව්වා.ඒ වෙනකොටත් ප්ලේට්ලට් 30000කට බැහැලා.වාට්ටුවේදි නම් හොඳටම බලා ගත්තා.
    ටිකට් කපනකොට කිව්වා ඔයාගෙ ඔක්කොම ඩෙංගු චාන්ස් ඉවරයි,කලිනුත් හැදිලා තියනවා... ඒ නිසා පරිස්සම් වෙන්න කියලා.
    මේ දවස් වල උණක් කියන්නෙ පොඩ්ඩක් කල බල උනාට කමක් නැති දෙයක් වගේ.බොරුවට ඉල්ලං කන්න ඕන නෑ නෙ.
    ජයවේවා..!!

    ReplyDelete

මගේ සිතුවිලි ගැන ඔබේ සිතුවිලි

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...