Saturday, April 22, 2017

138. නොහිතන සිදුවීම්

ඔහු කලකට ඉහතදි මෙරට පමණක් නොව පිටරටත් චිර ප්‍රසිද්ධ වුණු, දැනටත් ඔහු දක්ෂකම් දක්වන ක්ෂේත්‍රයේ වගකිවයුතු නිලයක් දරණ අයෙක්. ඔවුනට දරුවන් දෙදෙනෙකු සිටින අතර මගේ මිතුරියක වන ඔහුගේ බිරිඳ නිවසේ රැඳී දරුවන්ගේ කටයුතු බලාකියාගෙන සිටින කෙනෙක්.





එම දෙදරුවන්ගෙන් එක් අයෙකු පහුගිය දිනෙක අසනීප වුණු නිසා කොළඹින් බැහැර පිහිටි, ඔවුන්ගේ නිවසට ආසන්න පුද්ගලික රෝහලක නේවාසිකව ප්‍රතිකාර ගන්න සිදුවුණා. දින 10කට ආසන්න කාලයක් නේවාසිකව සිට නැවත නිවසට යාමට සූදානම් වූ දින හවස 6ට පමණ ආගන්තුකයෙකු ඔවුන්ගේ කාමරයට පැමිණෙනවා. එවිට මගේ මිතුරියත් දරු දෙදෙනාත් පමණයි එහි සිටින්නේ. ඇය දරුවන්ට ආහාර කවමින් සිටි අතර මේ පුද්ගලයා ආචාරශීලිව කතාව අරඹනවා.


"මේ චින්තකගේ පේෂන්ට් නේද?"

"ඔව්... ඇයි?"


"අනේ මං රොෂාන්, චින්තක මගේ හොඳ යාලුවෙක්. අපේ තව යාලුවෙක් ඇක්සිඩන්ට් වෙලා දැන් ගෙනාවා. මගේ ෆෝන් එක ඕෆ් වෙලා. මට මිස් තරහා නැතිව චින්තකට කෝල් එකක් අරං දෙනවද?"



දෙවරක් නොසිතූ ඇය සිය කාර්යය මදකට නවතා සැමියාට ඇමතුමක් ගෙන රොෂාන් අතට දුරකතනය දෙනවා.

"මචං මං රොෂාන්... මාර වැඩේනේ කපිල ඇක්සිඩන්ට් වුණා. ඔව් ඔව් මේකට ම දැන් ගෙනාවා. කොහොමද ඉතිං. බබාලා දෙන්නා නං මචං ඇරපු අතක් නැහැ උඹ වගේමයි." ආදි වශයෙන් ආ ගිය තොරතුරු හුවමාරු වන අතරේ ඇය නැවතත් දරුවන්ට කෑම කවන්න පටන් ගත්තා. ටිකකින් රොෂාන් ඇමතුම දරාගෙන ම දොර අසලට යනවා. දොර විවිර කර ගන්නවා. දොරෙන් එළියට යනවා. ඇයට ඇමතුම තවමත් ඇහෙනවා. ආචාරශීලීත්වය ගැන සිතු ඇය ඔහුට ඇමතුම කරගෙන යන්නට හරිනවා. ටිකකින් හඬ නෑසී යනවා. එවිට ඇය පිටතටවිත් විපරම් කර බලනවා. රොෂාන් නැහැ!

ඇය වහා හෙද නිලධාරිනියන්ගේ දුරකතනයෙන් සිය දුරකතනයට ඇමතුමක් ගන්නවා. එය ඒ වනවිටත් ක්‍රියාවිරහිතයි!

අනතුරුව සැමියාට ඇමතුමක් ගෙන ඒ 'රොෂාන්' පිළිබඳ විමසනවා. රටේ ලෝකේ 'මචං'ලා වැහි වැහලා ඉන්න සියලුම සැමියන්ට පොදු දේ ඔහුටත් උරුමයි. ඔහු කතා කර තිබෙන්නේ මේ රොෂාන් කොයි රොෂාන්දැයි කියා නොදැන දෙගිඩියාවෙන්!


අනතුරුව ඇය වහාම රෝහල් පාලනාධිකාරය අමතනවා. සිසිටීවි දර්ශන ඒ මොහොතේ ලබාගත නොහැකි වන්නේ අදාළ කාර්යය මණ්ඩලය හවස 6 වනවිට වැඩ නිමවා යන නිසයි! (මීට වඩා දෙයක් සිදුවුවත් ඔච්චරයි) පසුව ලැබෙන සිසිටීවි දර්ශන තුල ඒ රොෂාන් විනාඩි 40ක පමණ කාලයක් තිස්සේ රෝහල තුළ ගැවසෙන අයුරු දැකගත හැකි වනවා. එම දර්ශන මේ වනවිට රහස් පොලීසිය දක්වා ගොස් හමාරයි. මෙය සිදු වූයේ මාර්තුවේ අග සතියේ වන අතර අද වනතුරුත් කිසිඳු තොරතුරක් නැහැ. දුරකතනයද මේ වනතුරු ක්‍රියාත්මක කර නැති බව අදාළ ආයතන මගින් දැන ගන්න ලැබී තිබෙනවා.

ඇය සිතන්නේ මෙය සොරකමක් නොවන බවයි. නිකමට හෝ ඇය දුරකතනය සොයා ඔහු පසුපස ගියා නම් දරුවන් කාමරය තුළ තනිවනවා. එය අනතුරකට අත වැනීමක්. 

රෝහල් ගතව දින 10කට පසු රෝහලින් පිටත් ව යන්නට යන මොහොතේ පැමිණෙන්නට තරම් ඔහු/ඔවුන් මේ පිළිබඳ ව සෙවිල්ලෙන් සිට තිබෙනවා.



සැමියාගේ ප්‍රසිද්ධිය හා ජනප්‍රියත්වය නිසා යම්කිසි අනතුරක් සැළසුම් කරගෙන ආ බවක් සිතුනත් ඒ කුමක්දැයි ඔවුනට පැහැදිලි නැහැ.



ඉතිං මං මේ කතාව කිව්වේ, මෙය කියවන ඔබ හා මා ඒ තරමට ප්‍රසිද්ධ හෝ ජනප්‍රිය පුද්ගලයින් නොවුණත් අපටද මෙවැනි හෝ මේ හා සමාන අත්දැකීම්වලට මුහුණ දීමට සිදුවිය හැකියි. නන්නාඳුනනා පුද්ගලයින් පිළිබඳ ව කිසිසේත් ම විශ්වාස නොකළයුතු වන අතර අපට සිතාගන්නටවත් නොහැකි ආකාරයට සූක්ෂ්ම වියමනකින් යුතු ලෝකයක අප ජීවත්වන බව වටහාගත යුතුව තිබෙනවා.
ඇය කල්පනාකාරී ව දුරකතනය පසුපස නොදුවා සිටියාට සිය දුරකතනය නැති වුවහොත් උන් හිටිතැන් අමතකවන පිරිස දුලභ නොවේ. මොන දේ වුවත්, මොනදේ අහිමි වුවත් දරුවන් හා අනෙකුත් සමීපතයින් පිළිබඳ සුපරික්ෂාව අත් නොහැර රඳවා ගැනීමට ඉතාමත් හොඳින් සිහියේ තබාගත යුතුව තිබෙනවා.

(පුද්ගල නාමයන් මගේ හිතුමනාපය මත යොදන ලදී)


32 comments:

  1. ඒ කියන්නේ රෝහලේ විස්තර හොදට බලල තියෙනවා නැත්නං පේෂන්ට ්ලිස්ට ්එක ගානට බලල වැඩේ කරල තියෙන්නේ.. මෝඩ හරකෙක්..

    ReplyDelete
    Replies
    1. ඒ අය හිතනවා මුල පටන් ම සෙවිල්ලෙන් හිඳ තියෙන බවක්. ඒත් පැහැදිලි හේතුවක් හිතා ගන්න බැහැ.

      Delete
  2. Replies
    1. හොරකමක් ලෙසින් ගන්න බැරි වෙලා තියෙන්නේ තාමත් ‍ෆෝන් එක ඕෆ් වෙලා තියෙන නිසා.

      Delete
  3. ඇත්ත...ෆෝන් එක පස්සෙ ගියා නම් මීට වඩා දෙයක් වෙන්න තිබුනා.... හැමෝටම පාඩමක් ඉගෙණ ගන්න පුලුවන් සිද්ධියක්...

    ReplyDelete
    Replies
    1. ඔව් නංගි දැන් එයාලා ඉස්කෝල වලටත් දන්වලා දරුවෝ ගැන කලින්ටත් වඩා සුපරික්ෂාවෙන් ඉන්නේ

      Delete
  4. දන්න සමහරු ළගින් හිඳගෙන ද්‍රෝහිකම් කරනා රටේ
    බින්න ගොතලා නොදන්නා අය හිරකරයි අප දුක්ගැටේ
    ඔන්න ඕකයි පවතිනා මේ කාලෙ යනහැටි අප රටේ
    ඉන්න ටික දින උගෙන ඉනු මැන මිනිස්සුන් ගැන රටවටේ.....

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි දුමින්ද කවි පබැඳුමට

      Delete
  5. Replies
    1. ඔව් ඇහෙනවා මට හොදට ඇහෙනවා.. කියන්න පුතී??

      Delete
    2. අපිටත් දෙයියනේ කියලා කියැවුණා.

      Delete
  6. දැන් ඉන්නේ හරිම ඉන්ටලිජන්ට් ජිල්මාට්කාරයෝ.
    බොහෝම වටිනා මතක් කිරිමක් මේක, ස්තුතියි.

    ReplyDelete
    Replies
    1. මේක මොන විදිහේ ජිල්මාට් එකක්ද කියලා හිතාගන්න එක තමයි අමාරු. බලමු පිළිතුරක් ලැබුණාම ඇය මට කියයි. මං ඔයාලාට කියන්නම්. :)

      Delete
  7. ඔබේ මිතුරියගේ සැමියා දෙශපාලනයේ හෝ මාධ්‍යකරනයේ නියුතු කෙනෙක් නම් මෙය ඔහුව ඉලක්ක කර සිදු වූ තර්ජනයක් විය හැකියි.
    නිකම්ම හොරකමක් නොවෙයි කියන මතය පිළිගන්න බොහෝ කරුනුත් තියෙනවා.
    මේ වගේ දේවල් ගැන සමාජය දැනුවත් කිරීම වටිනවා මොකද මේ වගේ බිල්ලක් බවට ඊලඟට පත්වෙන කෙනා කවුද කියල කවුරුත් නොදන්න නිසා.
    සොරුන් සතු සුක්ක්ශම සැලසුම් හිතා ගන්නවත් බැහැ. ඒ වගේම ඔවුන් සතු අනික් මිනිසුන්ගේ දුබල තැන් හඳුනාගෙන ක්ශනිකව ක්‍රියාත්මක වීමේ හැකියාව විශිෂ්ටයි.

    ReplyDelete
    Replies
    1. ඔහු අර්ධ වශයෙන් මේ කියන ක්ෂේත්‍ර දෙකටත් සම්බන්ධයි. ඔවුනුත් හිතනවා මේ ඔහු එල්ල කරගෙන කරපු දෙයක් බව. මිනිස්සුන්ගේ හිත්වල මොන මොන සැළසුම් තියෙනවද කියලා කොහොම හිතාගන්නද?

      Delete
  8. රහස් පරිකශ්න කතාවක් ලිව්වනම් හරි


    ජය වේවා ..!!!

    ReplyDelete
    Replies
    1. ලියන්න නම් පුලුවන්. ඒත් මේ රහස විසඳගන්නනේ බැරි වෙලා තියෙන්නේ. :)

      Delete
  9. හැමෝටම හොද පාඩමක් , ස්තූතියි ! රන්දි. අද ලෝකෙ කිසිම කෙනෙක්ව විශ්වාස කරන්න බැහැ. හැම වෙලාවෙම දරුවන් සම්බන්දව නම් විමසිල්ලෙන් සිටිය යුතුමයි. අපෙ වැඩපලට අන්ද ලෙස ආව ලොතරැයි විකුණන කෙනෙක් ඉස්සරහ හිටිය ලමයි දෙන්නෙගෙ පෝන් දෙකම ඉස්සුවා. ගිහාමයි දන්නේ පෝන් දෙක නෑ කියල. එහෙම කාලයක් මේ.

    ReplyDelete
    Replies
    1. ඇත්තටම දැන් වෙච්චි දේ මොකක්ද කියලා දැනගෙන සැනසෙන්න සිසිටීවි තියෙන එක හොඳයි. නැත්තං නිකරුනේ වෙනත් අයව සැක කර කර හිත් අමාරු හදාගෙන ඉන්න වෙනවානේ. අදාළ දර්ශන පොලිසියට දුන්නත් හරි පිළිතුරක් නොලැබෙන්න පුලුවන් එකේ වෙච්චි දේ දැනගන්නවත් සිසිටීවි උදව් වෙන එක ලොකු දෙයක්.

      Delete
  10. Thank you Randika,a good reminder for everyone...I lent my phone to some random lady at a Kenyan airport few weeks ago, without thinking twice,...I usually keep my credit cards and driver's licence in the phone case... Sometimes your instincts do not respond promptly when you are in a rush, but strangers may have different plans...So, it is always worthy to be vigilant... Thank you for sharing the story... Sorry for English, Typing from the phone...

    ReplyDelete
    Replies
    1. අන්න ඒකයි වැඩේ! අපේ සිහි කල්පනාව අයාලේ යන වෙලාව පිළිබඳ ව ඒ අයට තියෙන්නේ පුදුමාකාර ඉවක්.

      ඒකට මක් වෙනවද මොන භාෂාවෙන් හරි ඔබේ අදහස පළ කළානේ. ඒ මදැයි. :)

      Delete
  11. තමන් අවට ඉන්න අය ගැන අවධානයෙන් ඉන්න කියලා මතක් කරලා දුන්නට ස්තුතියි රන්දිල්!!

    ReplyDelete
    Replies
    1. අවධානය! අවධානමට පෙර සූදානම කියනවානේ :)

      Delete
  12. නාඳුනන්නො එක්ක ගණුදෙනු කරද්දි විස්වාසෙ අවිස්වාසෙ අතර රැඳෙන්න වෙනව.
    එළියෙ විස්වාසයයි ඇතුලෙ අවිස්වාසයයි

    ReplyDelete
  13. මේ වෙලාවෙදි ඇයට කළ හැකි විකල්පය මොකක්ද?
    අමුත්තා ඇත්තෙන්ම අඳුනන කෙනෙක් නම්?

    ReplyDelete
  14. රජයේ රෝහල්වල උණු වතුර බෝතල් වගේ දේවල් මේ විදිහට නිතරම නැති වෙනවා.

    ReplyDelete
  15. තර්ජනයක් වෙන්නත් පුළුවන්.

    ReplyDelete
  16. එළියේ තවත් කෙනෙක් රඳවලා මිතුරිය ඔහු පසුපස එලියට ගිය නම් ළමයි කිඩ්නැප් කරන්න ඉඩ තිබ්බ කියල හිතෙන්නේ නැත්ද? රැන්සම් එකකට.

    ReplyDelete

මගේ සිතුවිලි ගැන ඔබේ සිතුවිලි

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...