Friday, March 9, 2012

105. එක්තරා දඩයක්කාරයකුගේ කතාව...........The Saga of A Hunter.....3


දඩයක්කාරයාගේ කතාව .....1

දඩයක්කාරයාගේ කතාව .....2

උදෑසනම වන වදින හෙතෙම, හිරු අවරට හැරෙනතුරු ඔහුටම සුවිශේෂී වූ වන මං ඔස්සේ නිසොල්මනේ සරමින් වන සතුනගේ චර්යාවන් නරඹමින් වරෙක විශ්මය පත් වෙමින්, වරෙක සංත්රාසයට පත් වෙමින් කල් යවන්නේය.

මිල්ල කරුවෙකින් නිමවාගත් නිතොර භාවිතයෙන් සුමටව ඔපවත් වූ ගල් දුන්න ද රැගෙන සාවුන් , මීමින්නන්, තලගොයින් වැනි අවශේෂී කුඩා සිව්පාවුන් නිතොර ගමන් කරන පිය මං ඔස්සේ සැරිසරන හෙතෙම වනයේ සැරීමෙහිදී නිශ්ශබ්ද තාවයෙහි මිල කල නොහෙන අගය ස්වකීය අත්දැකීමෙන්ව මොනවට වටහා ගත්තේය.

බොහෝදින වල ඉහත පැවසූ සිව්පාවකු හෝ යටත් පිරිසෙයින් වන තුරු පියසෙහි අතු අග ලැග ඉන්නා කොබෙයියකු හෝ ඔහුගේ ගල් දුන්නෙහි නොවරදින ඉලක්කයට ගොදුරු වෙයි.ඉණෙහි රැඳි කුඩා පිහි තලය ගලෙක උලා තියුණු සැතක් සේ මුවහත් කොටගෙන, සිරුර හම ගසා මස් කරගැනීමට ඔහුට ගතවන්නේ ඉතා සුළු කාල වේලාවකි.වියළි වෙලං කෝටු දෙකක් එකිනෙක තදින් පිරිමැද වියළි පරඬැල් ගොන්නකට අවුලවාගත් ගිණිමැලයේ පලහාගත් අතුණුබහන් ඉවත් කල මල සිරුර උදෑසන සිටම කිසිදුආහාරයක් පතිත නොවුනු හිස් වූ කුසයට ගමන් කරනුයේ දඩයක්කාරයාගේ සමස්ත රස නහර පද්ධතියම සංතෘප්ත කරවමිනි.

ඉනික්බිති නීල ආකාශය වසා පැතිරීගිය හරිතවන් තුරු ගොමුවක සෙවණට වී නින්දට පත්වන දඩයක්කාරයා නැවත පිබිදෙනුයේ සැඳෑ අඳුර වනයේ සතර දෙසින් ඇදෙමින් ලොව වසා ගන්නා යාමයේය.

නිසොල්මන්ව පියවර තබමින් ගෙපැල වෙතට ඇදෙන දඩයක්කාරයාට වන සීමාවේදීම දක්නට ලැබෙනුයේ, ගෙපැල තුල ඇණ තබා හිඳගෙන අක්රමවත්ව තැබුණු ගල් ගෙඩි තුනක් මත තැබූ මැටි වලඳක ලී පත්තකින් කාල් ගාමින්, රාත්රී ආහාරය පිළියෙල කරනා මෑණියන්ය.වන සීමාවේම ඇණ තබා හිඳගනිමින් සුපුරුදු ලෙස ඔහුටම ආවේණික ඉරියව්ව වන දෙදණ මත තබා දිගහැරගත් දෑතෙහි ඇඟිලි සෙමෙන් සොලවමින්, දඩයක්කාරයා බොහෝවිට හෝරා අඩක් පමණ නිසොල්මන්ව ඈ දෙස බලා සිටි. මෙවිට ඔහුගේ සිතෙහි මාතෘ ප්රේ මයට බොහෝසේ ආසන්නවූ එහෙත් ඔහුට කිසිලෙසක හරිහැටි වටහාගත නොහුණු හැඟීමක් ඉපිද ඒ හා සමඟම අතුරුදන් වී යයි.

එක් වනම නිද්රාවකින් අවදිවූවා මෙන් නැඟී සිටින හෙතෙම, ගෙපැළට ඇතුලුව එහි එක් මුල්ලක සුපුරුදු ඉරියව්වෙන් ඇණ තබාගනියි. ඔහු දෙස බලා මඳ සිනහවකට ආසන්නවන සේ තොල් විවර කරනා මෑණියන් ලිප මත්තෙහි ගින්නෙහි පැසෙනා වළඳ තරම් කාල වර්ණ නොවූ වළඳකට බෙදූ ඈ විසින් මෙතෙක් පිසූ අහර ඔහුට ගෙනවුත් දෙයි.ඇගේ වත දෙස මොහොතක් බලා සිට සිනහවක් යයි ඔහු උපකල්පනය කරනා ඉරියව්වක් දෙතොලින් පල කරන දඩයක්කාරයා ඇගේ අතින් වළඳ සුරතට ගන්නේ බිම බලාගෙනය.

එහි බොහෝ විට ඇත්තේ ඔහුගේ පියා විසින් දඩයම් කල මුවෙකු ඌරකු හෝ ගෝනකුගේ කැවුත්ත හදවත වන් රසවත් මාංශයක්, කුඩා කැබලිවලට කපාගත් බටු හෝ තියඹරා සමඟ බඩ ඉරිඟු ඇට යොදා ඊට අවට වනයෙන් නෙලාගත් කොල වර්ගයක් ද මුසු කොට පිසගත් උකුවූ ආනමකි.

එලෙස හිඳගත්වනම වළඳ හිස් වන තෙක් එහි ඇති කුමන හෝ දෙය අනුභව කරන දඩයක්කාරයා, මැටි වළඳ එතැනම සීරුවෙන් බිම තබා නැඟී සිටියි.

ගෙපැලේ මුල්ලක බිම වාඩිවී කටු මැටියෙන් සහ ගස් පතුරු වලින් නිමැවුණු බිත්තියට පිටදී සිටින මෑණියන් දෙස මොහොතක් බලා සිටින දඩයක්කාරයා ගෙපැලින් පිටවී බොහෝ විට ගෙපැල පසුපස වනස්පතියට ඔබ්බෙන් පිහිටි ගල්තලාවට ගොඩවෙයි. ගල්තලාව මුදුනෙහි ඇති අසුන්ගැනීමටම සුදුසු ලෙස නිමැවුනු කුඩා පීඨිකාව වැන්නෙහි සැතපෙන ඔහු, සඳ පහන් රැයක නම් පුරා සඳ ද, සඳ නොමැති රැයක නම් තැන තැන දිලෙන දහස් සංඛ්යාත තරු කැට ද නරඹමින් හෝරාවක් දෙකක් ගත කරයි.

දඩයක්කාරයා ඒ පිළිබඳව ඡායා මාත්රයක් හෝ නොදන්නා නමුදු ඔහු අසුන් ගෙන සිටි මේ ශෛලමය පීඨිකාව වනාහී වසර දෙදහසකට ආසන්න කාල පරාසයකට ඔබ්බෙහි වර්තමාන මේ වන ගහණය රුහුණු රාජධානියට බත සපයන ප්රධාන ධාන්යාගාරයව තිබූ සමයෙහි මේ ප්රදේශය පාලනය කල ප්රභූවරයා විසින් විවේක සුව විඳිමින් අවට සිරි නරඹනු උදෙසා කරවූවකි.

දිවා කල දැඩි හිරු රැසින් කැකෑරුනු තුරුලතාදිය සිහිල්ව හරිත වන් පත්ර මත පිණිබිඳු මතුවන්නට වූ කල්හි, එනම් අවට පරිසරය දැඩිව සිසිල් වන්නට වූ කල්හි දඩයක්කාරයා සෙමින් සෙමෙන් ගල්තලාවෙන් බැස ගෙපැලට පා ඔසවන්නේය.මතක ඇති දා සිට ඔහුගේ නිදි පොල වන ගෙපැල ඉදිරිපස බා තිබූ යාලත්ත යට පිල්කඩෙහි දිගාවන ඔහු මව විසින් එහි තබා ඇති පොරෝණය ඉහේ සිට දෙපතුල දක්වා පොරවාගෙන එතුල ගුලි ගැසෙයි.

එහෙත් ඔහු හිමිදිරි වනතෙක් පසුවන්නේ නින්දත් නොනින්දත් අතරය. ඔවුන්ගේ ගෙපැල මහ වන මධ්යයේ පිහිටියද කිසිම වන සතෙකු අවම වශයෙන් වඳුරකු දඬු ලෙහෙනකු පවා කිසි දිනෙක ගෙපැල ආසන්නයට පවා නොපැමුණුනද ඕනෑම හදිසි අව්ස්ථාවකට සූදානමින් ඔහු පිලෙහි නිදිදෙව්දුව වැළඳ ගත්තේ සුරතෙහි දැඩිව මිරිකාගත් තියුණු කඩුවක් වැනි දිගු ආයුධයක්ද සහිතවය.

රාත්රිය මධ්යයට ආසන්න හෝරාවක දීය ඔහුගේ පියාණන් එනම් මහ දඩයක්කාරයා පැමිණෙනුයේ.මහ දඩයක්කාරයා කොපමණ නිශ්ශබ්දව පියවර තබන්නේද යත් කිසිම දිනක ඔහු පැමිණි බවක් පවා කෙතරම් විපරම්ශීලී වුවද දඩයක්කාරයා නොදත්තේය.

උදෑසන බට පතුරු කිහිපයකින් නිමවුනු දොර පැලැල්ල වසා තිබෙනු දුටු විටය පියාණන් පැමිණි බව දඩයක්කාරයා නිශ්චය කරගනුයේ.මේ දොර පැලැල්ල මෙසේ මහ දඩයක්කාරයා ගෙපැලෙහි සිටින රාත්රියන්හි වැසෙන්නට වූයේ දඩයක්කාරයාගේ මතකයෙන් කිසිදිනෙක බැහැරව නොයන එක් රාත්රියක සිදුවූවකින් පසුවය.

මතු සම්බන්ධයි........

ඡායාරූපය - Google Images

32 comments:

  1. අනේ රවි එක දිගට කියවගන යන්ට අමාරුයි අප්පා. තව ටිකක් සරල කලොත් මොකද වෙන්නේ? දෙතුන් පාරක් කියවන්ට ගියාම කතාවේ, රසේ නැති වෙලා යනවා. වචනවල තේරුම හොයනවා මිසක් කතාව හිතට ගන්නේ නෑ.

    ලස්සන කතාවක් කියන්ට අර අඳින බව පේනවා. කතාවේ ගුප්ත බවට හානියක් නොකර තව චූට්ටක් ලියන භාෂාව වෙනස් කරන්ට බැරිද? :)

    //අවශේෂී කුඩා සිව්පාවුන්//ඒ කියන්නේ අනෙකුත් කුඩා සතුන් කියන එකද?

    ReplyDelete
    Replies
    1. අනේ පොඩ්ඩියේ වෙරි සොරි හොඳද?.....ඔයාලට තේරෙන්නෙ නැත්නම් මම මේ ලියන එකේ තේරුමකුත් නැහැ නෙව.....හරි හරි, ඉන්නකො ඊළඟ කොටසෙ ඉඳල සරලව ලියන්නම්.....

      යස්, මැඩම්, යූ ආ කොරෙක්ට්....අවශේෂී කුඩා සිව්පාවුන් කියන්නෙ අනෙකුත් කුඩා සතුන් කියන එක තමයි....

      Delete
  2. අනේ අදනම් මට මේ දඩයක්කාරයා එක්ක හරි ඉරිසියය අප්පා.. //ගෙපැලේ මුල්ලක බිම වාඩිවී කටු මැටියෙන් සහ ගස් පතුරු වලින් නිමැවුණු බිත්තියට පිටදී සිටින මෑණියන් දෙස මොහොතක් බලා සිටින දඩයක්කාරයා ගෙපැලින් පිටවී බොහෝ විට ගෙපැල පසුපස වනස්පතියට ඔබ්බෙන් පිහිටි ගල්තලාවට ගොඩවෙයි. ගල්තලාව මුදුනෙහි ඇති අසුන්ගැනීමටම සුදුසු ලෙස නිමැවුනු කුඩා පීඨිකාව වැන්නෙහි සැතපෙන ඔහු, සඳ පහන් රැයක නම් පුරා සඳ ද, සඳ නොමැති රැයක නම් තැන තැන දිලෙන දහස් සංඛ්යාත තරු කැට ද නරඹමින් හෝරාවක් දෙකක් ගත කරයි//... අනේ මටත් මෙහෙම ඉන්න තිබ්බනම් එක දවසකට හරි :(
    බලන් යනකොට අය්ය ලියන ඒවා love නැතිවුනත් නියමෛනේ..

    ReplyDelete
    Replies
    1. හෙහ්, හෙහ්, එහෙම ඉන්ටත් බොලේ තියෙන්න ඕන පූරුවේ කරපු පිං......

      ස්තූතියි මෙකුවි....ස්තූතියි.....

      Delete
    2. හැක හැක, ඒ ගැන මොනාට කියනවද නේ බං අයියෙ.. කෝමද සඳ පහන් රැයක ගල්තලාවක් උඩට වෙලා, රා මුට්ටියකුත් තියාගෙන, හොඳ දඩමස් වෑංජනේකුයි තම්බපු මයියොක්කා මුට්ටියකුයි සප්පායං වෙන්ට තිබ්බානං, ලාවට සිංදුවකුත් කියාගෙන..

      Delete
    3. @ Buratheno,

      සික් අම්මප , බූරො......ඒක කිව්ව කැත, රා මුට්ටියයි, මයියොක්කයි,....මේ දඩයක්කාරය එහෙම රා ගහන එකෙක් නෙවෙයි බොල....මුන්දැ බොහොම ආධ්‍යාත්මික පොරක්.....හඳ පානෙ ගල තලාව උඩ කලේ භාවනා කොරන එක, මනස දියුණු කොරන එක...නැතුව රා ගහන කෙහෙල්මලක් නෙවි.....රා ගහන්ට....අම්මප මම කිව්වය කියල හිතාගං..... :)

      Delete
    4. ඕං ඉතිං උඹ දන්න තරම.. බොලං රා ගහනවා කියන්නෙත් එක්තරා විදියක භාවනාවක් තමා.. ඇයි බොලා අහලා-කියවලා නැත ඔය පුරාණ ග්‍රන්ථවල එහෙම ලියැවිලා තියෙනවා ආදි කා‍ලෙ බමුණො සෝමපානය කරමින් යාගහෝම කලාය කියලා.. :D

      Delete
    5. උඹත් මලේ දන්න දේවල්...එල එල දාපං පහක් විතර....

      ඔය සෝම පානය කියන එක තියනව නෙවද?...ඕක හදල තියෙන්නෙ ඒ කාලෙ ඉන්දියාවෙ තිබ්බ යව කියන ධාන්‍යය , ( යව කියන්නෙ මම හිතන්නෙ බාර්ලි වෙන්න ඕන ) පැසවල තව ඕකට එකතු කරල තියනව ක්ෂාන්ති බාහිනී කියල ඖෂධයක්. බොට හිතාගත්තෑකි නේද ක්ෂාන්ති බාහිනී කියන්නෙ මොනවද කියල.....හෙහ්, හෙහ්....හරියට හරි ඒක තමයි....ක්ෂාන්ති කියන්නෙ සාමය....බාහිනී කියන්නෙ ගෙන එනවයි කියන එක...ඉතිං සාමය ගෙන එන්නෙ වෙන අහවල් එකද නේද?

      කොහොමද ඔය දෙක එකතු කොරල හදා ගත්තු පානය ......පිස්සුම තමයි නේද?

      මයෙ දඩයක්කාරය ඔය රා නොබිව්වට සෝම වගෙ අමෘත පානයක් අරගන්නව ඉඳහිටල.....

      Delete
  3. අහ් මේ දඩයක්කාර පොර දකුණේ කොල්ලෙක්නේ!
    ලස්සනට ලියල ඕන්. අර අම්මා උයන කෑම විස්තර කරපු එක මාර සිරා. එහෙම කෑමක් මම නම් කාල නැහැ කවදාවත්... රවී අයිය නම් කාල තීන හැඩයි. මගේ යාලුවෙක් කීව දවසක් ඔය වියලි කලාපේ හේනකට ගිහින් ඔහොම කෑමක් කෑව කියල.

    //මේ දොර පැලැල්ල මෙසේ මහ දඩයක්කාරයා ගෙපැලෙහි සිටින රාත්රියන්හි වැසෙන්නට වූයේ දඩයක්කාරයාගේ මතකයෙන් කිසිදිනෙක බැහැරව නොයන එක් රාත්රියක සිදුවූවකින් පසුවය.//
    හෆොයි දෙයියනේ. ඊළඟට ඉඳන් නම් මේක ෆුල් සම්භාව්‍ය පස් වෙනි මණ්ඩලයේ අතිශයින්ම වැඩිහිටියන්ට පමණයි වේවි වගේ. ඉතින් මේ මන් වාගේ පොඩි ළමයි කෝමද කියවන්නේ?

    ReplyDelete
    Replies
    1. / අහ් මේ දඩයක්කාර පොර දකුණේ කොල්ලෙක්නේ! /

      දකුණෙම නෙවෙයි බං වෙල්ලස්සෙ.......

      /  අර අම්මා උයන කෑම විස්තර කරපු එක මාර සිරා. එහෙම කෑමක් මම නම් කාල නැහැ කවදාවත්... රවී අයිය නම් කාල තීන හැඩයි. මගේ යාලුවෙක් කීව දවසක් ඔය වියලි කලාපේ හේනකට ගිහින් ඔහොම කෑමක් කෑව කියල. /

      යෙෂ් මැඩම් ඔබ හරි....මම විස්තර කලේ වියලි කලාපයේ ගම්මාන වල බොහෝවිට ප්‍රධාන ආහාරය විදිහට භාවිතා වෙන ආනම නමින් හැඳින්වෙන තලපයක් වන් භෝජනය. මම අනුරාධපුරේ හිටිය කාලෙදි තන්තිරිමලේ විහාරෙට ගිය වෙලාවකදි ඔයිට බොහොම සමාන කෑමක් රස විඳින්න අවස්ථාවක් ලැබුණා...

      / හෆොයි දෙයියනේ. ඊළඟට ඉඳන් නම් මේක ෆුල් සම්භාව්‍ය පස් වෙනි මණ්ඩලයේ අතිශයින්ම වැඩිහිටියන්ට පමණයි වේවි වගේ. ඉතින් මේ මන් වාගේ පොඩි ළමයි කෝමද කියවන්නේ? /

      Ama, your first sentence is totally contradictory and is in conflict with the second sentence if I may say so, heh, heh,

      මක්නිසාදයත් ඔබ සම්භාව්‍ය පස්වන මණ්ධලය පිළිබඳව මෙතරම් හොඳින් දන්නේ නම් කිසිසේත් ඔබ පොඩි ළමයෙකු නම් විය නොහැක.

      Delete
    2. රවි අයියේ ආනම කියන්නෙ තලපෙ කන්න හදන ව්‍යාංජනයට නේද?

      ඔය දේවල් ටිකෙන් ටික අපෙන් ගිලිහෙනවා
      ඊට කලින් ඕවා විඳින්න පිං කරල තිබ්බ එක ගැන මට නම් අප්‍රමාන සංතෝසයි........

      Delete
    3. ඔබ හරි නිශ්, තලප කන්න හදන උකු වෑංජනේ තමයි ආනම කියන්නෙ, කුරක්කන් තලප නැතිඋනහම ඒකටම තව බඩ ඉරිඟු, බටු, තියඹරා එහෙම දාල හදාගන්නව ප්‍රධාන ආහාරය විදිහට.....ඇත්ත තමයි ඔයාගෙ කතාව , ආයෙ ඉතිං ඒ වගෙ කෑම කන්න තියා ඇහැට දකින්න වත් ලැබෙන එකක් නෑ......:(

      Delete
  4. අයියගෙ මේ කතාවෙ ඉන්න දඩයක්කාරයගෙ රූපෙ හිතේ මැවෙනවා. හැබැයි ඔය දාලා තියෙන පින්තූර වල ඉන්නවා වගේ කෙනෙක්නම් නෙවෙයි. විස්තර කරන්න අමාරුයි ඒ පෙනුම. එයා වැදි පරපුරේ කෙනෙක්ද?

    ReplyDelete
    Replies
    1. ඔබ හරි නංගි....මේ රූපය දාල මම කලේ වරදක්....හොයල හොයල මට මේ කථාවට ගැලපෙන රූපයක් කියල හිතෙන එකක් හම්බුනෙ මේක විතරමයි...

      දඩයක්කාරය ඇවිල්ල වැද්දෙක් නෙවෙයි....නියම සිංහලයෙක්....ඉන්නකො ඒ කතාවත් මම ඉස්සරහට කියන්නම්......හෙහ්, හෙහ්,

      Delete
  5. ඉතා ක්ෂුද්‍ර කතා වස්තුවක් වුවද අසාමාන්‍ය ප්‍රත්‍යස්ථතාවයෙන් යුතු සංකීර්ණ කතා වෘතාන්තයක් බවට පත් කිරීමේලා අසහාය හැකියාවකින් යුතු රවි තෙම බ්ලොග් නැමැති අපූර්ව සංස්කෘතිය තුල වාසය කරන බොහො ජනී ජනයාගේ ඉල්ලීම පරිදි කථාංග සහස් ගණනක් ඇති මෙගා දෘශ්‍ය කාව්‍ය රචනයට යොමු වූවොත් තමාගේ අර්ථ සිද්ධිය මනාව සකසා ගත හැකි බව මෙයින් දන්වා සිටිමි..

    හපොයි මෙහෙම වාක්‍යක් ලියන එකත් පණ යන වැඩක් නෙව..

    ReplyDelete
    Replies
    1. ප්‍රාරම්භයේදීම මාගේ හෘදයාංගම ස්තූතිය ඔබහට පිළිගන්වනු වස් මට ප්‍රස්ථාව ලබාදෙනමෙන් උදක්මැ ඉල්ලා සිටිමි රූ යුවතියනි/මැතිණියනි,

      මාගේ සිතෙහි නැඟෙනා චින්තනයක් අක්ෂර බවට පරිවර්තනය කොට වියුණු සටහනක් සේ පලකිරීමෙහිලා සහසකුත් නිල කාර්යයන් මධ්‍යයේ වුවද ඉසිඹුවක් මහත් ආයාසයෙන් වුවද සපයාගෙන කරනු වස් මසිතට ධෛර්යය ගෙන දෙනුයේ ඔබ වන් සහෘදයින්ගේ මෙවන් නොවක් ප්‍රශංසාත්මක වදන්මැයි,

      මෙගා දෘශ්‍ය කාව්‍ය රචනයට පිවිසෙන ලෙස කල ඔබගේ ඉල්ලිම පිළිබඳව වර්ථමානයෙහි කිව හැක්කේ මෙපමණකි, රූ නමැති සහෘදිනියනි,

      You never know Madam, you never know.....let the time decide....heh, heh,

      / හපොයි මෙහෙම වාක්‍යක් ලියන එකත් පණ යන වැඩක් නෙව.. /

      ඔබ පලමු වාක්‍යය රචනා කොට ඇති ව්‍යාක්ත භාෂා ව්‍යාවහාරය අනුව ඉහත වාක්‍යය ද මෙසේ සංශෝධනය කරනු වස් මට අවසර......

      '' වන්නාටය, මෙවන් වාක්‍යයක් රචනා කිරීම පවා ප්‍රාණය නිරුද්ධ වන ව්‍යායාමයකි.... ''

      Delete
    2. අපොයි දෙයියනේ...!!

      Delete
  6. හෙක් හෙක්..

    දඩයක්කාරය නියම සිංහලයෙක් කීවා..?

    යමුකො බලන්න ඉදිරියට.

    ReplyDelete
    Replies
    1. ඔව්, නියම සිංහලයෙක් තමා...මොකද ඉතිං උඹ හිනාවෙන්නෙ?...:)

      Delete
  7. නිද්රාවකින් අවදිවූවා

    මෙහි තේරුම?
    අපරාදේ කියන්න බෑ දැන් නම් තේරෙනවා :)

    ReplyDelete
    Replies
    1. නිද්‍රාවකින් අවදිවූවා = නින්දෙන් ඇහැරුනා,

      දැන් තේරෙනවද වර්ණො........හෙහ්, හෙහ්, ඉඳපං ලබන පාර තවත් ලේසි කොරඤ්ඤංකො.......:)

      කොහෙද මේ පොඩි ලමයි ටිකක් නෙව බොලොග් බලන්ට සෙට් වෙලා ඉන්නෙ....හෙහ්, හෙහ්, මොකවත්ම තේරෙන්නෙ නෑ.....

      අර ගැටිස්සියො දෙන්නෙක් ඉන්නව, ටිකක් දිග වාක්කියක් ලිව්වම ගලනාලයෙ හිරවෙනව,....... යාන්තමට නුපුරුදු වචනයක් ලිව්වහම ඒක මොකක්ද කියල අහල බලල ඉගෙන ගනිං...එහෙම දෙයක් හීනෙකිංවත් එන්නෙ නෑ උන්දලයෙ ඔලුගෙඩි වලට....මාව කන්ට හදනව ගැඹුරු වැඩියි, ගැඹුරු වැඩියි කියාල.....

      මොකදෑ ඉතිං කොරන්නෙ...මොනව උනත් හිත හොඳ කෙල්ලො දෙන්න නෙව...හෙහ්, හෙහ්,

      Delete
  8. හැමෝම කියන්නේ සරල කොරන්ට කියල නොවැ..

    එහෙම කරල බලමු.. වැදි කොලුවෙක් ගැනද බොල මේ කියන්නේ..

    ReplyDelete
    Replies
    1. නෑ සෑම්, වැද්දෙක් නම් නෙවෙයි....සිංහල, සිංහල...ඉන්නකො ඉස්සරහට කියන්නම් ඒ විස්තර.... හෙහ්, හෙහ්,

      Delete
  9. මට මතක් උනේ මම කියවපු “සුද්දි“ පොත... සුද්දි කෙල්ල කුඩා කාලෙදි , අහම්ඹයෙන් යතුරු හිලකින් එඹිලා දකින දසුන නිසා ඒ පුංචි ඒකි මර ලතෝනි තියල කෑ ගහනවා... “ මෙන්න තාත්ත අම්ම ව මරනෝ “ කියලා.... හෙහ් හෙහ්..

    දඩයක්කාරයාටත් එහෙම සීන් එකක් ද මන්දා... මට හිතෙන්නෙ අයිය මේ කියන්නේ , බොහොම සරල ජීවිතයක් ගෙවන ඒ ජීවිතයේ සැහැල්ලුව උපේක්ෂාව විඳින අද කාලේ අපි අතර හොයා ගන්නවත් නැති...නමුත් අපි වෙන්නට යටි සිතින් ආසා කරන “මනුස්සයෙක් “ ගැන වගේ... ඒක වැරදි නම් බලමු ඊලඟ කොටස් කියවල...

    ReplyDelete
    Replies
    1. සුද්දි ....ම්හු...... ඒ පොත නම් කියවා නැත්තෙමි, වත් නඟේ....

      එසේය දඩයක්කාරයාටද මුහුණ දීමට සිදු වනුයේ එවන් වූ සිදුවීමකටය.

      දඩයක්කාරයා ගැන ඔයාගෙ නිර්වචනය බොහෝ දුරට හරි....සරල වගේම අසාමාන්‍ය මනුෂ්‍යයෙක් කිව්වොත් තමයි හරි...මම දන්නෙ නෑ ඒ අර්ථ විවරණ දෙක ගලප ගන්නෙ කොහොමද කියල ....ඒ උනාට මගෙ හිතේ ඉන්න දඩයක්කාරය අන්න එහෙම කෙනෙක්...හෙහ්, හෙහ්,

      Delete
  10. 'සුද්දි' කියල සො.සි. කියන්නෙ සයිමන් ගොය්යගේ 'සුද්දිලාගේ කථාව' වෙන්න ඕනේ. මම ළඟදිත් ආයෙ කියෙව්ව, පුදුමයි රවි ඒක කියවල නැත්තං.

    ආ මේ බුරාත් ගොඩ බැහැල ඉන්නෙ, ඔයි යකාට බීම මයි ඔළුවෙ තියෙන්නෙ. :-)

    ReplyDelete
    Replies
    1. ඔබ්, මේ, අම්මප අපහාසෙට නඩු දාන්නයි වටින්නෙ....සුද්දිලාගේ කතාව මම කියෙව්වෙ බොල අම්මගෙං කිරි බොන ගමං.....හෙහ්, හෙහ්,

      වත් මේ කියන්නෙ වෙන කතාවක් ගැන....මේ ලඟකදි ලංකාදීපෙ සඳැල්ලෙ පල වෙච්චි එකක්......

      Delete
    2. ඔබා මේ, නිකං ලොකු ටෝක් දෙන්නෙ නැතිව සෙට් වෙන්න ඕනනං සෙට් වෙන්න අරිද.. අපි මේ නැති බැරි කමට දැන් වයින් ගැහුවට රා කට්ටක රසේ අමතක වෙලා නෑ අරිද..

      Delete
    3. මන් අම්මගෙන් කිරි බොන කාලේ රවි ඉන්න ඇත්තෙ කොහෙද කියල මතක් වෙලා මට හිනාත් ගියා...හෙහ්...හෙහ්...

      බුරා, උඹත් බොන්නෙ වයින්ද...හා..හා..හොඳා...

      Delete
    4. සික් ඔබා,....ඔබාගෙ අසබ්බිය හිත...මම දන්නව ඔය හිනා ගියේ මොකද කියල.....අම්මලාට ඔහොම අනීවාරතේ පද හදන්න එපා බොල, පව් .....:(

      Delete
    5. දැන් මං මද පමණින් නෙවැ පාවිච්චිය ඔබා අයියෙ.. මොකද මයෙ ඇල්කොහොල් කෝටා එක ඉවරවුනා නෙවැ ඉස්කෝලෙ යන කාලෙම.. :D

      දැන් ඉතිං රෙගියුලර් පාවිච්චිය වයින් තමා.. බියර් බොන එක සෑහෙන්න අඩුකලා, බඩ එනව නෙවැ.. සැර ජාතිත් ගන්නවා අවස්ථානුකූලව.. ඉඳලා හිටලා කරටි කැඩෙන්නත් ගහනවා, ඔය යාළුවෙකුගෙ පාටි එකක එහෙම සෙට් වුනාම.. ;)

      Delete
  11. @ Bura,
    මං නොදන්නවෑ උඹ බේබද්ද කියල

    ReplyDelete

මගේ සිතුවිලි ගැන ඔබේ සිතුවිලි

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...