Monday, July 22, 2013

203. කිරුළ සහ සෙනෙහස ……11

කිරුළ සහ සෙනෙහස ……1 

කිරුළ සහ සෙනෙහස ……10 

මහා නදියෙහි තොටුපොළ දක්වා දිවෙන මාර්ගය උපතිස්ස පැවසූ සේම බොහෝ සෙයින් ජනශූන්‍යව පැවතිණි.මධ්‍යාහ්නය වන තුරු ගමන් කල ඔවුහු දැඩි හිරුරැස් දරාගත නොහැකි පමණට චණ්ඩවත්ම මාර්ගයෙන් මදක් ඉවත වූ තුරු ගොමුවක සෙවණේ නතර වූහ.පසුගිය දින කීපය මුළුල්ලේ වට වැසි හේතුවෙන්, දැඩි හිරු රැසින් පෙලුණේ වුවද ගස් ගොමුවෙහි වූයේ ගත මෙන්ම සිතද සනහා නිවාලන්නාවූ සිහිලසකි. 

කිසිදු හදිසියකින් තොරව ඇවිදයන වේගයට මඳක් වැඩි හැල්මේ ගමන් කල බැවින් අසුනට සැලකියයුතු වෙහෙසක් නොවූවද ඒ අසල වූ දිය පහරක් වෙත උන් කැඳවාගෙන ගිය විජය ඔවුනට සිත්සේ ජලය පානය කිරීමට ඉඩ හලේය.
 
ඉක්බිති රුක් ගොමුවෙන් මඳක් එපිට ඇස ගැටෙන මානයෙන් එහා නොයන ලෙස ඔවුන් දිගේලි කල හෙතෙම ඔවුනට සිත්සේ තණ කෑමට ඉඩ හලේය. 

කුවණ්ණා මේ වන විට දරුවන් දෙදෙනාහට ඈ රැගෙන ආ යව සහ මෙනේරි ඇඹරූ පිටියෙන් තැනූ පූප නමින් හැඳින්වුනු තුනී රොටී වන් ආහාරයක් පිළිස්සූ මුවමස් තීරුද සමඟ කවමින් උන්නාය.ඈ අසල අඹ තුරක සෙවණේ වැතිරගත් විජය බැඳගත් දෑත් මත හිස වාරුකොට ගත්තේ ඒ සිහිල් තණ පිටිය මත වැතිර ගත්තේය. 

" කුවණ්ණා..කුවණ්ණා..මගේ සොඳුරිය කුවණ්ණා..මේ තමයි ජීවිතය..හිසෙහි කිසිදු බරක් නොමැතිව, සහසක් රාජ්‍ය පාලන ගැටළු මහිස දරා නොගනිමින් සැහැල්ලු වූ සිතින් යුතුව ඊලඟ අහරවේල සපයාගනුයේ කෙසේද යන සනාතන ගැටළුව විසඳීමෙහිලා පමණක් සිත වෙහෙසවමින් අපගේ දරුවන් දෙදෙන දෙපසින් හිඳුවාගෙන ඔබ හා තුරුළුව මෙසේ සැනසීමෙන් කල් යවනුයේ කෙදිනකද යන්න පිළිබඳව දිවා රෑ සිතූයෙමි. අවසන ඒ මා උදක්ම පැතූ අවස්ථාව මවෙත ළඟා වී ඇත. " 

සිය පියාණන්ගේ ඉමහත් ප්‍රීති ප්‍රමෝදය කුඩාවුන් දෙදෙනාට මහත්ම ආහ්ලාදයක් ගෙන දීමට සමත් විය. ඔවුහු ද ආහාර අනුභවය එකෙණෙහිම නවත්වා මුව පුරා පැතිරුණු අහිංසක සිනහ රැල්ලෙන් යුතුවූවෝ පියාණන් සහ මෑණියන්ගේ දෙස වරින්වර නෙතු යොමුකරන්නට වූහ. 

එහෙත් කුවණ්ණා ඔවුන්ගේ ප්‍රීති ප්‍රමෝදයට එක්විමෙහිලා මඳක් පසුබට වූවාය. ඇගේ මන්දෝත්සාහීභාවය මනා ව වටහාගත් විජය ඉනික්බිති ඒ පිළිබඳව තව දුරටත් කථා කිරීමෙන් වැළකී සිටියේය. 

සාගිනි නිවුනු කුඩාවෝ ඉක්බිති අසුන් සිටි දෙසට ගොස් ඔවුන් හා සුරතල් වන්නට වූවෝය. 

" පුතණ්ඩ, දියණියනි..අපගේ දෑසට හසුවන මානයෙන් ඉවත නොයනු මැනව.." 

කුවණ්නා ඔවුන් දෙස හැරී හඬනඟා පැවසුවාය. 

ආපසු හැරුණු ඈ ඉතිරි ආහාර ස්වල්පය ඔහුට පිළිගැන්වූවාය. 

" එන්න කුවණ්ණා, අප දෙදෙනම මෙය සමව බෙදාගනිමු. " 

නිහඬවම අහර ගන්නා කුවණ්ණා දෙස කීප වරක් තම ඝනව වැඩුණු බැම සඟල යටින් බැලූ විජය ඉක්බිති ඇය ඇමතූයේ සෙනෙහස පිරී ඉතිරීගිය හඬකිනි. 

" කුවණ්ණා....ඔබ සිතෙහි යම් තැවුලක්, අර්බුදයක් පවතින බව මට රහසක් නොවේ. අප එකිනෙකාගේ සිතැඟි අනෙකාට වසන් කල නොහැකි පමණට දැඩි සෙනෙහසින් බැඳී සිටිනා බව ඔබ හොඳාකාරවම දන්නෙහිය. එබැවින් වහා මා හා පවසන්න කුමරිය ඔබ සිත් පෙලන කාරණය කිමෙක්දැයි කියා…" 

ඇය හිස ඔසවා ඔහු දෙස බැලුවාය. කඳුළු පිරී නොතිබුනේ වුවද ඇගේ දෑස් දිළිසෙනු තුරුගොමුවෙහි මධ්‍යාහ්නයේ පවා පැවති මඳ අඳුරෙහි වුවද ඔහුට පැහැදිලිව දැකිය හැකි විය. 

" කුමරුණි..ඔබ සිත් පුරා පිරි ප්‍රීති ප්‍රමෝදය මට ද මහත් ආහ්ලාදයට කරුණෙකි.එහෙත් මසිත සපුරා ඒ ප්‍රීති ප්‍රමෝදය විඳීමට මැලිවෙයි. මසිත පිරී ඇත්තේ අද මේ මොහොත පිළිබඳව සිතනා කල්හි උපදින නිම් හිම් නොමැති ප්‍රීතිය සහ ඒ සමඟම අනාගතය පිළිබඳ අවිනිශ්චිතතාවය, එළෙසම බිය අතර සම්මිශ්‍රණයකිනි. "


" කුවණ්ණා.... කුවණ්ණා..ඔබ සිතෙහි අනාගතය පිළිබඳව බියක් පවතිනු යනු ඔබ මා කෙරෙහි විශ්වාසය තබා නැත්තේය යන්න නොවේද?...මා විශ්වාස කරන්න සොඳුර..මා විශ්වාස කරන්න...." 

" කුමරුණි..මා ඔබ අවිශ්වාස කළාම නොවේ. ඔබේ මා කෙරෙහි සහ දරු දෙදෙන කෙරෙහි ඇති සෙනෙහස සහ කැපවීම මම හොඳින්ම දනිමි. එහෙත් කුමරුණි..ඔබ සාමාන්‍ය මිනිසකු නොවේ. ඔබ තවමත් මෙරට කිරුළු පලන් නරේන්ද්‍රයාය.කිරුළක් පැලඳීම සහ සිහසුනක හිඳගැන්මට වඩා කිරුළ ඉවත් කිරීම සහ සිහසුන අත්හැරීම අසීරු විය හැකි බව මම මීට පෙරද දීනක් ඔබට පැවසුවා ඔබගේ මතකයෙහි රැඳී ඇතැයි සිතමි. " 

" එසේමය කුවණ්ණාවනි එහෙත්....." 

සුරත ඔසවා ඇය ඔහු වැළැක්වූයාය. 

" මා කියන්න පළමුව අසනු මැන..එදවස ඔබ රුව මා නෙත ගැටීමටද වසර කිහිපයකට පෙර එක් අනාගත වක්තෘවරියකද වන්නාවූ යෝගිනියක හමුවීමට මපියාණන් සමඟ මම ද ගියෙමි. දියණිය ඔබ ගන්නා වූ එක තීරණයක් හේතුකොටගෙන මේ දිවයිනෙහිම අනාගතය වෙනස් වනු ඇත. ඒ එදින ඇය මා අමතා පැවසූ අනාගත පුරෝකථනයයි. එළෙස සිදුවීමට නම් ඔබ මෙරට රාෂ්ඨ්‍ර පාලකයා, නරේන්ද්‍රයා වශයෙන් කටයුතු කල යුතුමය. හුදෙක් කුවණ්ණා නම් හිටපු කිරුල හිමි කුමරියගේ සැමියා වශෙයෙන් දිවි ගෙවීමෙන් ඔබට ඒ අනාවැකිය ඉටු කිරීම අපහසුය. " 

කුවණ්ණා මඳක් නිහඬව ඔහු දෙස බලා සිටියාය. 

" එබැවින් ඔබ දෛවය ඔබ යලිත් ලක්දිව රජ කිරුළ වෙත රැගෙන යන බවට මම සැක කරන්නෙමි. එලෙස මට නිරතුරු හැඟෙයි. එවිට ඔබ පසෙකින් මට හෝ අපේ දරු දෙදෙනාට නියමිත ස්ථානයක් නැත. එබැවින් මසිත අවිනිශ්චිතාවයෙන් සහ එනයින්ම හට ගන්නා සිත් තැවුලෙන් පිරී තිබීම අරුමයෙක් නොවේ. "

ඇගේ ඒ ප්‍රකාශයට පිළිතුරු වශයෙන් කිවයුතු කිසිවක් එක්වර හිතට නොනැඟි හෙයින්ම විජය මොහොතක් දෑස් පියාගත්වනම නිහඬව හුන්නේය. කුඩාවුන් දෙදෙනා කෙළි දෙලෙන් නඟනා සිනා හඬ සහ ඔවුනට සෙවනදුන් තුරු පියසේ සැඟවී හුන් යම් පරවියකු වන් පක්ෂියෙකු වරින්වර නඟනා කූජනය හැරුනු විට අවට පැවති දැඩි නිහඬතාවය බිඳීනු වස් වෙනත් කිසිදු හඬක් නොනැඟුනු කාල ප්‍රාන්තරයකට පසු අවසන ඔහු ඉදිරියට නැවී ඇගේ සුරත ගෙන සිප ගත්තේය. 

" ඔබගේ සිතෙහි ඇති බිය සහ අවිනිශ්චිතතාව සහේතුක බව මම දනිමි, කුමරියනි...එසේම ඒ බව පිළිගන්නෙමි. එහෙත් මාගේ හෘදය විදාරණය කොට මේ මොහොතේ ඔබට පෙන්වාලිය හැකිනම් මා කියන්න ඔබට දිවිහිමියෙන් විශ්වාස කල හැකිබව ඔබට එකහෙලා පැහැදිලිවනු ඇත.කුවණ්ණා..මම බැගෑපත්ව ඔබගෙන් ඉල්ලා සිටින්නෙමි. සොඳුර මා කෙරෙහි විශ්වාසය තබනු මැන. " 

ඔහුවෙත ඇදී ආ ඇය ඔහුගේ උරහිස මත හිස හොවා ගත්තීය.තම වමත ඇගේ දසරුව වටා යවා ඇය තුරුළු කරගත් විජය සෙමෙන් ඇගේ හිස පිරිමදින්නට වූයේය. තුරු පියසෙහි සැඟව ගී ගයමින් හුන් කුරුල්ලා අතු පතර සොළවමින් ඈත කොහේදෝ පියඹා ගියේය. ඒ හේතුකොටගෙන ගිලිහුණු හරිතවන් පත්‍රයක් කරකැවෙමින් බොහෝවෙලාවක් ගනිමින් තණ පලසට පතිත වූයේ ඔවුන් අසළින්මය. 

සුරත දිගුකොට ඒ පත්‍රය අතට ගත් ඈ හඬ අවදිකලේ ඒ දෙස නෙත් යොමුකොටගත්වනමය. 

" වන්නාටය..කම් නැත කුමරුණි..අනාගතයේ සිදුවන්න නිවැරදිව පුරෝකථනය කල හැකියාවක් නොමැති අප වැන්නවුන්ට ඇත්තේ උපෙක්ෂාසහගතව පොරොත්තු වීම පමණකි.එලෙසම අනාගතය පිළිබඳව කොතෙකුත් වික්ෂෝප වෙමින් සිත් රිදවා ගනිමින් වර්තමානයෙහිද තැවීමෙන් කිසිදු පලක් නැති බවද මම හොඳින් දන්නෙමි. එබැවින් සියළු දේ අනාගතයට භාර කොට නොතැවී වර්තමානයෙහි ජිවත්වීමට මම අදිටන් කොට හත්තෙමි. කුමරුණි..ඔබගේ සිතෙහි පිරී ඉතිරීයන්නාවූ දැඩිප්‍රීති ප්‍රමෝදයට මම බාධකයක් වුනු නම් මට සමාවන්න. " 

අවසන් වදන් කිහිපය ඇය තෙපලූයේ ඔහු වත ඉඳුරාම බලමින් සිනාසෙමිනි.විජය ද ඈහා එකව සිනාසුනු නමුදු ඇගේ දිළිසෙන දෑස ඔහු තුල ඇති කලේ යම් අවිනිශ්චිත හැඟීමකි. 

" පියාණනි, මේ අයියණ්ඩිය මා හට අර එපිට පිපී ඇති මල් නෙලනු පිණිස යන්නට ඉඩ නොදෙයි. " 

දිසාලා දිවගෙන පැමිණියේ පැමිණිල්ලක්ද කරමිනි. විජය ඇය තම ඇක ය මත හිඳුවා වැළඳ ගත්තේය. ඒ පසුපසම දිව ආවේ ජීවහත්ථය. 

" නැත පියාණනි..නැඟණිය එහි තනිව යාම ට ඉඩදිය නොහැකි බව පමණකි මා පැවසූයේ.." 

" එසේද පුතණුවනි?.....එසේනම් දියණිය ඔබේ සොයුරාගේ ක්‍රියාව මම ද අනුමත කරමි. කිසිම විටෙක මා හෝ මෑණියන්ගේ ඇස ගැටෙන මානයෙන් ඉවත්ව බැහැර නොයාමට ඔබ දෙදෙනම තරයේ සිහිතබා ගත යුතුයි. අපගේ ඉදිරි කාලය ගතකලයුතු වනුයේ මහ වන මධ්‍යයේ බැවින් ඒ ඔබගේ ආරක්ෂාව පිණිස මහෝපකාරී වනු ඇත. එන්න ඔබ දෙදෙනම මා සමඟ..අපි යමු ඒ මල් නෙලා ගනු පිණිස " 


විජය හිඳ හුන් තැනින් නැඟිට්ටේ කුඩාවුන් දෙදෙනාගේ දෑත් අල්ලා ගනිමිනි. 

" අප මහවන මැද ජීවත්වන්නට යන්නේ මන්ද පියාණනි?...." 

ඒ පැණය ජීවහත්ථගෙනි. 

" ඉවසිලිවත් වන්න පුතණුවනි. ඒ මක් නිසාද ? එවන් තීරණයක් මට ගැනීමට සිදුවූයේ මන්ද යන සියලු කරුණු සවිස්තරව නුදුරු දිනෙක මම ඔබ දෙදෙනාට පහදා දෙන්නෙමි. එතෙක් ඉවසිලිවත් වුව මැනවි. " 

විජයගේ දෑතේ එල්ලී තම සිඟිති දෑත් දිගු කරමින් ඔහුගෙන් කිසිවක් විමසමින් ඔහුගේ දිගු පියවර හා සමපාතවනු පිණිස වරෙක මඳක් දුර දුවමින් පුත්‍රායා සහ දියණිය ඈත පෙණෙන මල් ගොමුව වෙත ගමන් කරනු කුවණ්ණා රුක් ගොමු සෙවණැල්ලේ සිට බලා සිටියේ ළය පිපිරීයන තරමේ සෙනෙහසකිනි. 

දුම්රක්ගල පිහිටියේ ලංකා පුරයේ සිට අසුපිටින් දිනක ගමනක දුරකින් වුවද නිවීහැනේ අවට සිරි නරඹමින් කුඩාවුන් දෙදෙනා අසුපිට බොහෝවේලා ගමන් කිරීමෙහි මැලිබවක් දැක්වූ හෙයින්ම හෝරා තුන හතරකට වරක් මග අසල පිහිටි තුරු ගොමුවක නැවතී විඩා හරිමින් ගමන් කල ඔවුහු ඉලක්ක ගමනාන්තයට ළඟාවූවෝ පසුදින හිරු අස්තගතවීමට හෝරාවක් පමණ තිබියදීය. 

කුවණ්ණාගේ මුත්තණුවෝ ඔවුන් පැමිණෙන බව තම බල ප්‍රදේශයෙහි සීමා මායිම් නිරතුරු රැකවළෙහි යෙදෙන මුර භටයින්ගෙන් සැළවූයේ මාර්ගය කෙළවර මහා නදියෙහි මෙගොඩ ඉවුරෙහි ජලයට හොඳින් ඔරොත්තුදීමෙහි සමත් කුඹුක් වන් ලී දඬු සිටවා ඉඳිකොට තිබුණු තොටුපලට පැමිණ සිටියෝය.





තුඟු එසේම තවමත් ශක්තිමත් සිරුරකින් හෙබි ඔහුගේ ළය වසා සිටියේ සුදු පැහැ දිගු රැවුලකිනි.අසුපිටින් බට කුවණ්ණා වහා ඔහු වෙත ගොස් නමස්කාර කලාය. කුඩාවුන් දෙදෙනාද ඇය අනුගමනය කලෝ කිසිදු ඇණවීමකින් තොරවමය.විජයද ඔහු ඉදිරියේ දණින් වැටීමට තැත් කලමුත් වාශිෂ්ඨී; එසේය කුවණ්ණාගේ මුත්තණුවන්ගේ මේ මල් බෑයා නමින්ග් වාශිෂ්ඨී වෙයි; ඔහු වැළැක්වූයේය. 

" අහෝ..මා අබියස දණ නොගසනු මැන රජතුමනි........" 

වාශිෂ්ඨී විජයගේ දසරුවෙන් අල්ලා ඔහු නැඟිටවමින් පැවසූයේ ගැඹුරු හඬකිනි. වසසින් වසර අනූවකට ආසන්න වූ නමුදු ඔහු තවමත් තරුණයකු මෙන් ශක්තිමත් බව තම දසරුවට දැනුනු ඔහුගේ අතැඟිලිවල ග්‍රහණයෙහි දැඩි බව විජයට කියා පෑවේය. 

" මම තව දුරටත් ලංකාද්වීපයෙහි රජු නොවන්නේය, මුත්තණුවනි...මම ඊයේ උදෑසන සිට රජකම අතහැර දැමූයෙමි. " 

" එසේනම් ඔබ මෙහි පැමිණියේ කුමන තරාතිරමක අයෙකු ලෙසද යන්න දැනගනු රිසියෙමි…." 


වාශිෂ්ඨී විමසූයේ සිනා සෙමිනි. 

" ඒ ඔබගේ මිණිබිරියගේ සැමියා නො එසේනම් ඔබගේ මුණුබුරා ලෙසයි මුත්තණුවනි. ඔබගේ මුණුබුරා ලෙසයි….." 

විජයද සිනාසෙමින් පැවසූයේ කුවණ්ණා දෙස හිස හරවා බලමිනි. 


මතු සම්බන්ධයි...... 




23 comments:

  1. මොකක් හරි ලොකු සිද්ධියක් (twist) අත ලඟ වගේ දැනෙනවා...

    ReplyDelete
    Replies
    1. තිසර,

      එහෙම බරපතල ට්විස්ට් එකක් නෑ මලේ...හෙහ්,හෙහ්..ඉතිහාස කතාවල එහෙම සෙල්ලං දාන්ට තියෙන ඉඩකඩ බොහොම අඩුයි....මේ වගෙ කතා ලියනකොට අවසානය කොහොම හරි අපි පිළිගන්න අවසානයම වෙන්න ඕනමයිනෙ.ඒ කියන්නෙ ගමනාන්තය කොහොමත් එකයි. ගමන යන මාර්ගය තමයි අඩු වැඩි වශයෙන් වෙනස් වෙන්නෙ.

      Delete
  2. හ්ම්... ලොකු වැස්සකට කලින් මුළු පරිසරේම එක මොහොතකට නිශ්ෂබ්ද වෙනව. කතාවෙත් මේ තියෙන නිහඩ බව ලොකු වැස්සකට මුලපුරන්න ලෑස්තියක් කියලයි මටත් හිතෙන්නෙ.

    ReplyDelete
    Replies
    1. ලොකු ශානා,

      හෙහ්, හෙහ්..මොකද බොල ඒ?... බොටත් එහෙම හිතෙනවද?

      Delete
  3. දැන්නම් කතාව ගලාගෙන යන්නෙ අපි දන්නා ඉතිහාසයෙන් පිටයි.. විජය ආයේ රජ වෙයිද ? බලා ඉඳිමු. ඔය කියන තීරණය කුවණ්නා දැනටමත් අරගෙන ඉවරයි කියලයි මට හිතෙන්නෙ..

    "වන්නාටය" කියන්නෙ මොකක්ද ? නිකන් "ඕන කෙහෙම්මලක්" වගේ එකක්ද ?

    ReplyDelete
    Replies
    1. "වන්නාටය" කියන්නෙ "විය යුත්තක් වේවා" නැත්තං අර උඹ කිවුවා වගේ "ඕන කෙහෙල්මලක් වෙච්චාවෙ" කියන එකට.. :)

      Delete
    2. ස්තූතියි බූරා. උඹට කියන්න ඉස්සර ඕක දැක්කම ( මම හිතන්නෙ පංච තන්ත්‍රයෙද කොහෙද ) මට හැඟුනෙම "මටමමයි වෙන්නෙ" කියන එක. :D

      Delete
    3. සෙන්නා,

      " මටමමයි වෙන්නෙ "

      ඔව් බොලේ ඇත්තම කියනවනම් එහෙම කියන්නත් බැරි කමක් නැත්තෙත් නෑ කියල එක පාරටම ප්‍රතික්ෂේප කරන්නත් බෑ කියලත් වෙලාවකට මට නොහිතෙන්නෙමත් නෑ කියල එකහෙලාම කියන එකත් ඒ තරම් ලේසි නෑ කියල කියන්නත් පුලුවනි. :) :) :)

      Delete
    4. @ රවි අයියා,

      ආයෙම වංගියක් බොලා ඔය ලියාලා තියෙන එක පරෙස්සමින් කියෙවුවොත් උඹට වැටහෙයි බං අයියෙ, බොලා කියාලා තියෙන්නෙ "එ‍හෙම කියන්ට බෑ" කියන එකයි කියලා.. :P

      Delete
    5. බූරාස්,

      දෙයියෝම බුදුවෙන්ට..උඹ මලේ ඒ වාක්කිය විස්ලේසනය කොලාද මයෙ අම්මා?..උඹව තියන්ට වටින්නෙ නෑනෙව..අම්මප...

      ඉතින් බොල මට කියන්ට ඕන උනෙත් ඒක තමයි. වන්නාටය කිව්වම වෙන්ට තියන දෙයක් සිද්ද උනාවෙ කියන තේරුම මිසක මටමයි වෙන්නෙ කියන තේරුමක් එන්නෙ නැහැ නෙව. :)

      මධුවිත කිහිපයක් භාවිතා කොට සහ එසඳ අතිපිහිත වන පරිදි ධූමයක්ද ආශ්වාස කල කල්හි මසිත් නම් විල්හි ඉපිද ඒ කලඹන්නාවූ අභූත සිතුවිලි අකුරු කල කල්හි ඒ විශ්ලේෂණය කොට බලව අයියණ්ඩිය තොප මෙතැන්හි පවසා ඇත්තෙ මෙසේ නොවන්නේද? යනුවෙන් පෙරළා විමැසීමට පමණ බහුශ්‍රෑත ඥාණයකින් හෙබි මහා ප්‍රාඥයකුවන්, තෙල අරවින්ද පොක්ඛරණියාධිපතිනිය විසින් විරුදාවලි ප්‍රධානය කල පරිදි ජංගම පොත්ගුලකැයිද එලෙසින්ම පුස්තක සිරසින් ගෙන උපත ලද්දාහු වන්නාවූදයැයි ( උහු උපත ලබන කල්හි සිරසින් ගෙන එනු ලැබූ මහා පුස්තක රත්නය වනහී වාත්ස්‍යායනයන් විරචිත සිතියම් සහිත කාම සූත්‍රය බව කිසිසේත්ම අදාළ නොවෙන කරුණෙක් බව තරයේ සිහිතබා ගත යුතුයැ ) වූ පරිදි මහා ප්‍රාඥයකුවූ බූරාභිධාන තෙම වැන්නකු ඇසුරු කිරීමට ලැබීම අපවන් පුහුදුන් දනන්හට මහත්මැ භාග්‍යයක් වේදැයි පවසා හැඳ සිටි සරමනම් වස්ත්‍රය ගලවාපියා තෙවරක්මැ හිස වටා සිසාරවා ප්‍රීතිඝෝෂා නැඟූ ඉක්බිති නිරුවතින් පසුවීම නොහොබිනා හෙයින්මැ වහා සරම් නම්වූ වස්ත්‍රය පාද දෙසින් හැන්දේ මෙවන් ප්‍රීතිජනක අවස්ථාවෙක් උත්සවාකාරයෙන් සමරනු යෙහෙකියි සිත්ලා පියා අසල වූ කුසලාන මුව විට තෙක් මද්‍යපානයෙන් පුරවා ලා පියා කිසිදු අනුපානයෙක් රහිතවම හිස ඔසොවා එක් පැහැර පානය කලාහු තෙවරක් කාරාපියා ඛේටය පිඬෙක් නිකුත් කලේ මහිෂ මාංශ තීරුවක්මුඛයේ ලා පියා සපමින් වන්නාටය, මේ බූරාභිධානයා හට පිළිතුරක් සැපයිය යුතුම වේය සිතා ලාපියා පරිගණක යතුරු පුවරුව පුවරුව ඉදිරිපිට අසුන් ගත් සේක!!!

      Delete
    6. උඹලා ඉතින් ඕකට අරෝවක් ( අර මධුවිත කියලා පටන් අරන් බූරට බැනලා නේද තියෙන්නෙ :D ) හදා ගන්න ඕනැන්නෙ නෑ.. ඕක ඉතින් මම වගේ අවසේස පුගුලෙකුට හිතුන විකාර සිතුවිල්ලක් මිසක් කිසි තේරුනක් තියෙන එකක් නෙමේ..

      Delete
    7. සෙන්නා,

      ( අර මධුවිත කියලා පටන් අරන් බූරට බැනලා නේද තියෙන්නෙ :D )

      ඔන්න ඉතිං..ඔය කිව්ව එකක්..බොල සෙන්නෝ..කියවපං ඉස්සෙල්ල ඒ මොකක්ද කියල තියෙන්නෙ කියල..ඒ මොකවත් නෑ...කෙලින්ම උඹම හිතාගෙන ඉවරයි මම බූරට බැන්නය කියල...එතන ඒ බැණිල්ලක් නෙවෙයි බොල බූරාබිදානට ප්‍රශංසාත්මකව ලියැවුනුප්‍රශස්ති වාක්යයක් ඒ තියෙන්නෙ.

      මම හිතාගෙන ඉන්නෙ ඕක ලස්සන වැල් අකුරෙං මුද්‍රණය කොරෝල ලැමිනේට් කාරිය කොරෝල ප්‍රේම් එහෙකුත් ගහල හිට බූරාබිදානට ප්‍රදානය කොරන්ට.ඕකා පොතක් ඔලුවෙ තියාගෙන බැට් එකක් කරේ තියාන ඉන්න පෝටොස් කෑල්ලකුත් ලැබුනොත් මල් හතයි උඩිම්ම අලවන්ට.

      බුරාබිදාන බඳින දවසෙ පෝරුවෙං බහින්ට සූදානම් වෙද්දි ඕක කියවන්ට ඕන සද්ද නඟල මංගල මහ සබාවෙ කාටත් ඇහෙන්ට. පුහ්..බූර්ස්ට සුවල්ප ආඩම්බරයක්ද හෙහ්, හෙහ්...( දැනටම බැඳල නං කොරන්ට දෙයක් නෑ. එහෙම නං මඟුල් පිංතූරෙ ලඟින් බිත්තියෙ එල්ල ගන්ටය කියල දීල නිකා ඉන්නව. වෙන ආය අහවල් දෙයක් කොරන්ටද නැද්ද මං අහන්නෙ? )

      Delete
    8. ෴ සූර්‍යාභිධානයන්ගේ අටුවාවිරචනය ෴

      වැලිදු එක් දිනක් අප ප්‍රිය සූර්‍යාභිධාන තෙම ස්වකීය ගෘහයේ උඩුමහල්තලාවේ සමවත් සමවජමින් හිඳින්නේ අටුවාවක් ලිවමනාවේදැයි සිතුවිල්ලක් උපන්නාහු මාගේ සම් මස් ඇට නහර වියැළී ගියමුත් මසිත් විල් කළඹා නැගෙන්නාවූ අදහස් දියෙන් දෝතක් ලුහුඬු කොට පාඨක දනන් චිත්තාභිනන්දනය කරන්නාවූ අටුවාවක් ලියාලා මිස අද මෙයින් නොනැගිටින්නෙමියි සපත කොට මච්ඡමාංශ පලඟානක් හා සෝමපානයෙන් පුරවාළූ සො‍ළොස් කළයක් සමීපස්ථයේ රඳවා තබාලා පරිගණකාභිමුඛයේ අසුන්ගත්තාහු යතුරු පුවරුවේ සුරත රඳවා සිතනුයේ, "අද දවසේ මම් කවරක් කවරෙක් අරභයා අටුවාවක් ලියන්නෙම්ද. මාගේ එකුන් සියයක් වූ වෛවාහපූර්වාක්ෂිත පෙම් කතා අතුරින් එකක් ගෙන හැර පාම්හ. නැත නැත පඳුරක් තලාලා වාංපතුල් කතාවක් කියා පියම්හ. එසේද නොව ඓතිහාසයෙන් බිඳක් ගලග්‍රහයෙන් ‍ගෙන සත්යලක් ඉස වටා කරකවා පරසක්වල ගසන්නා සේ ඉතිහාස විකෘති පුරාවෘත්තයක් ලියා පාම්හ" ආදී වශයෙන් සහවුරුද්දක් පොළෝ පෙරළනුවන් සෙයින් අහස ගැටලනුවන් සෙයින් කල්පනා කරන්නාහු අවසන මෙසේ සිතීය. "කොල වෙනෙකක්ම නොව මාගේ සුරවමියක් බඳු වරවමියක් වූ මඳලස්වහස් බැල්මෙන් මා පිණවන්නා වූ සඳවතී නම් මාගේ ප්‍රිය පාදපරිචාරිකාව අරභයා ලියැවෙන්නා වූ 'ගුරුවරියක සමග මගේ ජීවිතය' නම් අටුවාවේ තවත් එක් කතාංගයක්ම නිමවාලම්හ" කියා සිතන්නාහු යලිදු මෙසේ සිතනුයේ, "‍මා පාදපරිචාරිකාතොමෝ මවිසින් මෙවන් කතාංගයක් ලියන්නා වත් නො ද දන්මහ. ඉදින් ඕ තොමෝ මා ලියුවාක් දුටුවා නොව ලියන්නාක් දන්හ යි එද පමණක්ම නපුර. මට අද දාවල් බත් වත් නැත. මට මරය" ආදී වශයෙන් සිත් හි බිය උපදන්නාහු "වන්නාටය, මියෙම් වා රැකෙම් වා" යි දිරි උපදවා පරිගණක යතුරු පුවරුවේ සුරත බහා ලූ ය.

      එදවස් කෙල සුවහස්ගනන් අප පාඨක දනන් අවාසනාවටදෝ හෝ යි නැතහොත් අප ප්‍රිය සූර්‍යාභිධානයන්ගේ අවාසනාවටදෝ හෝ යි ඔහු ප්‍රිය පාදපරිචාරිකා සඳවතීතොමෝ "කොල මේ වෙට්ට පිත්තල වූ කෛරාටික වූ සූර්‍යාභිධානයා කොයිබක මක බෑ වී දැ" යි පිළිවිසින්නේ උඩුමහල්තලාවේ පරිගණකාභිමුඛ ආසනාරූඪව හිඳුනා සූර්‍යාභිධානයා දුට මූ කුමක් කරමින් සිටින්නේ දැ යි කුහුලින් ඌ පසුපස් ගොස් විමසන්නේ ඌ ලියන්නා වූ අටුවාව කියවා මුගුරකින් ගැහැට ලත් ආශීර්විෂයෙක්හු මෙන් කිපී ගත්තී මරදෙව්පිත් සිද්ධතුන් බුදු වනු වළක්නේ රිසියෙන් දහසක් අත් මවා ගිනි ගෙනැ දිලියෙන නොයෙක් ආයුධ ගෙනැ යෙළසියයක් යොජුන් ගිරිමෙවුලා ඇතක්හු නැගී නොයෙක් වෙස් නොයෙක් අවි ගත් පොළෝ පැලී යන්නාක් වැනි හඬ මරසෙනඟ පිරිවරා දස දහසක් යොජනෙහි පටන් ගෙනැ සෙණසුවහස් බස්නා කලක් බඳු ගොරබිරම් හඬින් මුළුලොවු එකනින්නාද කලේ යම් සේද එපරිද්දෙන් බිරුසම් දෙන්නේ "කොල පවිටු දුෂ්ට අඥාණ වූ සූර්‍යාභිධානය, ගෙයි කප්පරක් වැඩ පිරී ගති, මා උදාසනක් පටන් වස්ත්‍ර සෝදාලා වනා පියා ගෙයි මිදුල් අතුගා පියා අහර පිස ලා මේ සා කුදුමහත් හැම දෙයක්ම කරත් දී තා පරිගණකාරූඪව සම්ඵප්‍රලාපයෙන් හා පුස්ථක පරිශීලනයෙන් දවසරින්නාහු ය. එද පමණක් මඳ ව අටුවා ලියන මුවායෙන් මට මෙසේ අපහාස කරන්නේ වෙද" යි ගර්ජනා කොට පෙරදවස් අප ප්‍රිය සූර්‍යාභිධානයන් විසින්ම මදුරුවන් මැරීමටයැයි තනා දුන් තාප්ප මෝලෙන් ඌ තලා පිටනළල් ගඩු නංවා තවද කළ මුව විට උර මත්තේ රඳා යන සේ සෝමපානයෙන් පුරවාළූ කළයක් ඉස්මත්තේ පහරා උන්ගේ අටුවාවිරචනය හමාර කලා ය.

      ෴ සූර්‍යාභිධානයන්ගේ අටුවාවිරචනය නම්වූ පරිකතාව නිමි ෴

      Delete
    9. අහෝ මා ප්‍රාණසම සහෘදයානනි, බුහුරනි, පරම සත්‍යයක් පවසන්නෙමි . අසා ගනුව...මේ රමදාන් උපවාස සමයෙහි මෙහි රාජකාරීන්හි යෙදෙනුයේ උදේ වරුව පමණෙකි. සූර්ය දිව්‍යරාජ තෙම අස්තගතවන්නට ඇරඹ හෝරාවෙක් ගෙවුණු කල්හි සියළු කටයුතු හමාරවැ නිවෙස් බලා සැපත් වන්නමෝයැ. අද දිනයෙහි දකුණු අපිරිකා දේශය හා සමඟැ එදිරිවැ අප ශ්‍රී ලංකා කණඩායමෙහි දෙවන තරඟය පවත්වන්නහු එසඳ එද මාගේ පූර්වයෙහි කල පිණෙකැයි සිතාලා පියා මධුවිතකුදු සුරත දරමින් අප පිතිකරුවන්ගේ ක්‍රීඩා කෞෂල්‍යය නරඹමින් පසුවන්නාවම්හ.

      දිනෙස් සඳමාලයෝ පාදයෙක් පසුපසට ගෙනැ ( ඒ වම් පාදයද පාදයද දකුණු පාදයද යන්න කිසිසේත් වැදගත් නැති. කෙසේ හෝ ඒ උහු ඉදිරියට තැබූ පාදය නම් නොවනා බව මට උදක්මැ සහතිකයැ. ) අතිරේක ආවරණය සහ පූතික හබක නම් ස්ථානයන් ද්විත්වය අතරින් පන්දුව තණ නිල්ල ඔස්සේ ගලායන පරිදි වේගවත් පහරෙක් එල්ල කරමින් ලකුණු චතුෂ්කයෙක් අත්පත් කොට ගත්හ. උහු වෙනුවෙන් සව්දිය පුරමින් ඒ චිත්තාකර්ෂණීය වූ පහරෙහි ආනන්දය විඳිමින් සිටිනා කල්හි විද්‍යුත් පණිවිඩයෙක ලඟාවනු දන්වනා ටං ටිං අනුකරණ සීනු නාදය මසවණ පතිත වූයේයැ.

      කිරිකට් ක්‍රීඩා රූ රාමුව ක්ෂීණ කොටැ විද්යුත් පණිවිඩය කිමෙක්දැයි විමසිලිමත් වීමි. ඒ වනාහී සහෘද බූරාභිධානයනි, ඔබගේ ටීකාවයි.වෙන කිසිවෙක් නොව ඔබගේ ටීකාවයි.

      මෙතුවකට මා දිවියෙහි කිසි දිනෙක මුසාවෙක් පවසානැත්තේමවීයැ, එකලැ අදදින කුමට මුසාවෙක් පවසන්නෙම්දැ?....තොප ටීකාව කියැවූ මසිත් එක් පැහැර පහන් වූයේ දහසක් ළහිරු එක්වරැ නැඟී නුඹ ගැබ ඒකාලෝක කලා සේමය. සහසක් සුපුෂ්පිත අරවින්දයෝ පිබිද සුගන්ධවත් මද නල දසත පතුරවමින් අනෝතප්ත නම් පොක්ඛරණිය බැබලවූවා මෙන්යැ.මා ළය සිසාරා පැන නැඟි හාස්‍යය කරණකොටගෙනැ තොල ගාමින් හුන් මද්‍ය පාන සුඟ ස්වසන මාර්ගයේ ගොස් මා දිවි තොර වීමටැ ඉතා ආසන්න වීයැ.අහෝ එසේමය, වහා මා සුමිතුරෝ පැමිණ පිටිකරට වැරෙන් පහරක් දුන්නාහු නොවන්නේනම් සූර්යාභිධානයෝ මෙතැන මේ පරිගණක යතුරුව මතමැ ජීවිතක්ෂයට පත්වනු හෙට හිමිදිරි උදාසනක් හි උදාගිර පසුබිම් කොටැ සූර්ය දිව්‍යා රාජයාණන් උදාවනු පමනටමැ නිසැක වන්නමෝදැයි කිසිදු සැක නැති.

      එසේහෙයින් දෑසට නැඟුනු කඳුලු බිඳු පිසදා මෙසේ පවසන්නෙම් වේද මා සුමිතුරු බූරාභිධානයානනි, තොපගේ බස හැසිරවීම ඉතා අගනේය. මසිත් දවන එක්ම දුක්ඛන්ධකාරය නම් මෙවන් වියත් බස් වහරෙක් කියවා රස විඳිනු වස් සමතුන් වත්මනෙහි නොසිටීමයැ. වන්නාටය! මා සුහුර ..වන්නාටය! අප අපගේ තැත අත නොහරින්නමෝවේදැ...නිශා කල පුරා දසත පැතිරගත් මිහිදුම් සළුතිර ළහිරු කිරණින් එකපැහැර දුරුවන්නේ යම් සේද අප එලෙස උත්සාහය, එනම් වියත් බසෙක් භාවිතයෙහි දුහුණන් පෙළඹවීමෙහි ලා උත්සාහය අත් නොහරින්නමෝවේදැයි පවසා ලා පියා දෙනෙතෙහි යළි නැඟි කඳුළු පිටි අත්ලෙන් පිසදා ලා පියා මුව විට තෙක් පිරවී මුද්‍රික පානය කුසලා එක පැහැර පානය කොට වදාළ සේක!!!

      Delete
    10. නයි කයිද රෝස්පාන් කිව්වලු. ඔන්න මට ඉතින් අර මියගිය ශ්‍රේෂ්ඨ බ්ලොග් කරුවාගේ ඒ ශ්‍රේෂ්ඨ ප්‍රකාශය සිහියට නැගෙනවා.. :D

      Delete
    11. අහෝ!! නාරදුහු මදක් පලහන ලද්දාවූ පාන අනුභව කරන්නේද?

      අභාවප්‍රාප්ත ඒ ශ්‍රේෂ්ඨ බ්ලොග්කරුවා නම් වසරකට ඉහත අප අතැර ගිය නීරීක්ෂකයාණන් යැයි හඟිමි. එහෙත් උහු ශ්‍රේෂ්ඨ ප්‍රකාශ බොහෝ ගණනෙක් ජීවමාන කළැ නිකුත් කල හෙයින් සෙන්නනි,තොප හඟවනුයේ කවර ප්‍රකාශය අරභයාදැයි මසිත කුකුසෙකි.

      Delete

    12. සූර්‍යාභිධානයාණනී, හස්ත මුද්‍රාවෙන් ටීකාවන් කෙටීම අරඹයා ඔහු කළ ඒ ශ්‍රේෂ්ඨ ප්‍රකාශය අමතක වීමට තරම් තා මධුවිත තොලගෑවෙහිද ??

      Delete
    13. සෙන්නා.,

      ඇස් දෙකම තෙත් වෙලයි මේ ඉන්නෙ බං..දඩයක්කාරයගෙ කතාව ලියද්දි ඔබාත් එක්ක වෙච්චි වාද විවාද ආයෙම මතක් උනා...නවම් , බූරා සහ මම එක පැත්තක්..ඔබා අනික් පැත්තෙ..ඒත් උන්දැ ඇරියෙ නෑ..අපේම අවාසනාවට උන්දැ අකාලෙ නැති උනා..:(

      මුන්ගෙ මේ කෙහෙම්මල් භාසාවක් හින්ද මීට පස්සෙ කොමෙන්ට් දාන්න වෙන්නෙ හස්ත මුද්‍රාවෙන්.......

      Delete
    14. අහෝ මා ප්‍රිය සූර්‍යාභිධානයාණෙනි, අතිරේක ආවරණය යනු Extra Cover නම් ස්ථානය බව උදක් වටහාගත්මුත් මෙම අරුම පුදුම පූතික හබක යනු කවරනම් ස්ථානයක්දැයි වටහාගත නොහී ශෛලමස්ථකයේ පැහැරූ බිළාල පෝතකයෙන් සේ නැතහොත් ඇම් ඇස් දෝනියන්ගේ අඩදුසිම් පහරක් ශීර්ෂමස්ථකප්‍රාප්ථ වූ ක්‍රීඩාංගණයේ සිටි නරඹන්නෙක් පරිද්දෙන් අඤ්ඤකොරොස් වී සිටිමි..

      Delete
    15. බූරාභිධාන මලණුවනි,

      පූතික හබක යනු Gully යන්නයි. එහි නිරුක්තිය කෙසේද යත් මළ හෝ වෙනත් අපද්‍රව්‍යයක් රැස්කරනා ස්ථානයක සිට කුණුවූ නොහොත් පූතික වූ දුර්ගන්ධය පෙරළා නිවෙස් තුලට ප්‍රවිෂ්ඨ වීම වළක්වා ලනු වස් ජල මුද්‍රාවෙකින් තැනූ උගුලෙක් නැතහොත් හබකක් සේ ක්‍රියාකරන හෙයින් ඒ පූතික හබක නම් වෙයි.

      Delete
    16. ඊයෙ රෑම මේක කියවන්න ආවත් සෙන්නා ගෙ කමෙන්ට් එකෙන් පස්සෙ ආය් ඔබා මාමා දඩයක්කාරයට දාපු කමෙන්ට්ස් කියෙව්වා..මේ සන්වාද දකිද්දිම මතක් වෙන්නෙ ඔබා මාමාව තමා..

      @ සූර්‍යාභිධාන & බූරාභිධාන
      මේකනම් උපරිමය්..සන්වාදෙ දැක්ක කමන් පෝස්ට් එකට කලින් ඒක කියෙව්වෙ..

      Delete
  4. අලුත් ම කතාවක් වගේ නිසා ඉස්සර‍ටත් වඩා කියවන්න හිතෙනවා. ලියමු ලියමු!

    ReplyDelete
    Replies
    1. දිලිනි,

      ස්තූතියි දිලිනි...ඔබගේ දිරිගැන්වීම මට මහත් පිටුවහලෙකි....:) :)

      Delete

මගේ සිතුවිලි ගැන ඔබේ සිතුවිලි

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...