Wednesday, May 6, 2015

316. කුකුළේගඟ මතක - 4 - ලෝක ආහාර වැඩපිළිවෙල, සී.එස්.ඕ. ඇල්ෆ්‍රඩ්, වික්‍රමේගේ වෙරිටාස් ටියුනිං සහ මැගිලින් අක්කා


Moonshine Distilling - Google Images

ඉතිං ඔය අපේ ඩෝසර් වැඩකරපු හරිය කොටි ඉන්න සීමාවට ඉතාම ආසන්නයි. ඔය හින්ද හිනිදුමය කලේ රෑ නමය වගෙ වෙනකල් ඉඳල ගෙනිච්ච බත් එකත් කාල ආපහු පාදපරිචාරිකාවෙ එනව කෑම්ප් එකට.ටිකක් අඩිය ඉක්මන් කරල එනකොට ඔය කිලෝමීටර් 6 පැයකින් වගෙ එතහැකි. ආයම උදේ ඩෝසර් ඔපරේටර්ස්ල එක්කගෙන යනවනෙ ජීප් එක හතහමාරට අටට වගෙ. නයිට්වොච්මන්වත් ආපහු එක්ක එන්නෙ ඒ ජීප් එකේමයි. හින්නා කරන්නෙ උදේ හයට වගෙ එළිය වැටීගෙන එනකොට ආපහු යනව අර කිලෝමීටර් හය ගෙවාගෙන. ගිහිල්ල ඉන්නව කම්බිලියත් පොරවාගෙන..රෑ තිස්සෙ ඇහැක්වගෙ ඩෝසරේ මුරකරපු එකා වගෙ...හෙහ්,හෙහ්,

" ආ...හිනිදුම ඊයෙ රෑ නින්ද ගියාද? " ජීප් එකේ යන අපේ ලොක්කා සමරසිංහ බොස් අහනව.



" මොන නින්දක්ද මහත්තය..එලිවෙනකල් මදුරුවො තැලුව ඒ මදිවට හීතල…" හින්නා ඔලුවත් පාත්කරල කියනව. 


" හරි හරි බං මාසෙ අන්තිමට උඹලට සෑහෙන ඕ.ටී. එකක් හම්බවෙනවනෙ පඩිය වගේම. " බොස් කියනව හිනාවෙලා. 

" ඒක නම් එහෙම තමයි" හින්නා මා දිහාවෙ බලල කට කොණකින් හිනාවෙනව.  ඕකගෙ ඔය ඔපරේෂන් බෑක් ටු ද කෑම්ප් සීන් කෝන් එක මම දන්නව කියල ඕකත් දන්නව.

ඔය මම කියපු හරියෙ කුඹුරු කට්ටි බෙදල දෙන්ට කලින් ඩෝසරෙන් කරන ලෙවල් කිරිලි ඉවරවෙලා ඔන්න ඩෝසර් ආපහු අරං ආව කියමුකො.හිනිදුමයත් ආපහු කෑම්ප් එකේ මුරට වැටුන. ඔය කාලෙ අපේ කෑම්ප් එකේ මුරට හිටියෙ අපේම චෙක් රෝලෙ ගෝලයො.. එතකොට තව අපෙ තිබ්බ මහ විසාල ඉස්ටෝරුවක්. අඩි 30 x 120 වගෙ දිග පළල. ඕකෙ තමයි ඔය ඇළවල්, පාළං බෝක්කු එහෙම හදපු කොන්ත්‍රාත්කාර භවතුන්ට නිකුත් කරපු යකඩ කම්බි, සිමෙන්ති සහ අනෙකුත් ඇළ මං දොරටු වගෙ උපාංග එහෙම ගබඩා කරල තිබ්බෙ. ඒ ගබඩා වලට පොදුවෙ කිව්වෙ ඩබ්ලිව්.එෆ්.පී. ස්ටෝර්ස් කියල. (W.F.P. = World Food Program, ලෝක ආහාර වැඩපිළිවෙල ). 

මිනිස්සු පදිංචි කලාම කුඹුරු කරල කන්නක් දෙකක් කැපිල ඒ අයට ස්ථිර ආදායම් මාර්ගයක් හැදෙනකල් වියළි ආහාර ද්‍රව්‍ය නොමිලේ බෙදා හැරියා. එව්ව ලැබුණෙ ඔය ලෝක ආහාර වැඩපිළිවෙල යටතෙ. ඒකයි ඒ වියළි ආහාර ගබඩා කරන්ට හදන ගබඩා ගොඩනැඟිල්ල ඩබ්. එෆ්. පී. ස්ටෝර්ස් කියල හැඳින්නුවෙ. වරදවා වටහා නොගනු මැන. මම අර කලින් කියපු යකඩ, සිමෙන්ති එහෙම දාපු ස්ටෝර්ස්වල වල ආහාර ගබඩා කලේ එහෙම නෑ ඔන්න හරිය?

රයිට්...දැන් කොහෙන්ද මේ අපි ට්‍රැක් පැන්නෙ? අපි කිව්වට අපි නෙවෙයි හරියටම කිව්වොත් මම..මම..... මමනෙ ට්‍රැක් පැන්නෙ...නැද්ද?...හරි..අර මුර වැඩේට ඔය මම කියන කාලෙ යෙදෙව්වෙ අනියම් කම්කරුවොයි කියල කිව්වනෙ. හෙහ්, එහෙම විශේෂයෙන් ඔයකාලෙ කියල කියන්ට හේතුවුනේ පස්සෙ ඔය සිකුරිටි වැඩේට වෙනම කට්ටියක් එව්ව අපේ හෙඩ් ඔෆිස් එකෙන්. චීෆ් සිකියුරිටි ඔෆිසර් කියල ආමි, එයාර් ෆෝස් වගෙ වැඩ කරල අයිං වෙච්ච කොමිෂන් නොලත් නිලධාරීන් බඳව ගත්ත.ඔය සන්නද්ධ හමුදාවල අයට අවුරුදු 12, ඊළඟට අවුරුදු 22 වගෙ වැඩ කලාම විශ්‍රාම වැටුපත් එක්කම අයින් වෙන්න අවස්ථාව තියනව.එහෙම අයින් වෙච්චි අය තමයි ප්‍රධාන ආරක්ෂක නිලධාරී විදිහට ගත්තෙ. තව සිකියුරිටි ඔෆිසර් විදිහට ගත්ත අවුරුදු 22 වගෙ කොල්ලොන්ට ගිණි අවි පුහුණුවක් දීල.

අපිට ආපු චීෆ් සිකියුරිටි ඔෆිසර් ඇවිල්ල නියම චරිතයක්..ගුවන් හමුදාවෙ හිටපු මාස්ටර් වොරන්ට් ඔෆිසර් කෙනෙක්. ගුවන් හමුදාවෙ කමිෂන් නොලත් නිලධාරීන්ගෙ ඉහළම තනතුර ඇවිල්ල මාස්ටර් වොරන්ට් ඔෆිසර්. අපේ සී.එස්.ඕ.ගෙ නම ඇල්ෆ්‍රඩ්. ගෙවල් මේ ජා-ඇල..දෑලතුර..ආගම  කතෝලික...කන්ට බොන්ට මරුව. ඒ වගෙමයි වචන දහයක් කිව්වොත් අටක් අසභ්‍ය වචන. අප්පච්චියේ ඒ මනුස්සය ඇවිල්ල නටපු නාඩගමක්...මිනිහ කෑම්ප් එකේ හිටියෙ වයිෆුත් එක්ක. ඒ ගෑණු මනුස්සය අරක්කු බොන්නෙ වතුර බොනව වගෙ. එහෙම සීන් එකක් මම ඔය දැක්කමයි. අපි එතකොට මේ කජුකිරි කොල්ලො නෙව. වයස ඔන්නං විසිදෙකක් ඇති. මේ අම්මණ්ඩි කිසිගාණක් නැතුව ගසල අරින හැටි අපි බලා ඉන්නෙ කටවල් අයාගෙන...හෙහ්,හෙහ්, කටවල් අයාගෙන.හෙහ්..හෙහ්..අඩේ මේක හරියන සෙල්ලමක් නෙවෙයි. ඇල්ෆ්‍රඩ් ගොයිය ගැන කියන්ට ගියොත් අද හිනිදුමගෙ කතාව කියන්ට වෙන එකක් නෑ..රයිට් එහෙනං..අබවුට් ඇල්ෆ්‍රඩ් නොට් ටුඩේ..ලේටර්..ඕකේ? හරි ඒක ඕකේ...

හරි ආයෙම ප්‍රධාන කතාවට..එනම් හිනිදුමගේ කතාවට...හිනිදුමය අර ඩෝසර් මුර කිරිල්ලෙ රාජකාරිය ඉවර වෙලා ආයම කෑම්ප් එකේ ඩියුටි වැටුනයි කියල මම කිව්වනෙ. හරි කෑම්ප් එකේ ඩියුටි කිව්වට ආය ඔය ඒ හැටි වැඩක් නෑ. පැයකට සැරයක් විතර කෑම්ප් එක වටේට ගහල තියෙන කම්බි වැට අයිනෙං රවුමක් ගහල ඇවිල්ල බීඩියකුත් පත්තුකරගෙන පිළට වෙලා ෂපාන් එකේ හඳ දිහාවෙ බලා ඉන්ටයි තියෙන්නෙ ඇස් දෙකත් පුංචි කරගෙන. තව පැයකට පස්සෙ ආයෙමත් එහෙමයි.

ඔන්න ඔය හිනිදුමය ආපහු කෑම්ප් එකේ  ඩියුටි වැටිල සතියකට පස්සෙ වගෙ දවසක......

අපෙ ක්වාටර්ස් එක ඉස්සරහ තිබ්බ මහ විසාල වීර ගහක්. ඕක යට පිටපලුවකින් හදාපු බංකුවකුත් තිබ්බ. අපි රෑට කාල එහෙම හඳ තියෙන දවසට ඔය ලෑලි බංකුවෙ ඉඳගෙන රටේ නැති වල්පල් කියකිය ඉන්නව. අපෙ වික්‍රමේ ගාව තිබ්බ හොඳ පවර්ෆුල් රේඩියෝ එකක්. කළුපාට ලෙදර් කේස් එහෙක දාල තිබ්බ ඒ රේඩියෝ එක සෝනි එකක්. ආණ්ඩුවෙ රේඩියෝ එකෙන් කිසිම ඇත්තක් දැනගන්ට බැරිනිසා අපි ඒ දවස්වල ඇහුවෙ රේඩියෝ වෙරිටාස්.

ප්‍රස්තුත දවසෙ ඔය බංකුවෙ ඉඳගෙන හිටියෙ වික්‍රමේයි මායි විතරයි. ඔය වෙරිටාස් සේවය විකාශනය කලේ පිලිපීනෙ මැනිලා ඉඳල. එදා රේඩියෝ රිසෙප්ෂන් එක අංජබජල්. කැඩි කැඩි ඇහෙන්නෙ..

" මොකද බං ඔය කෙහෙල්මල ගොර ගොර ගානව විතරනෙ..අල්ලල වීසි කරල දාහං මඟුල " බැරිම තැන මම කිව්ව. 

" ඉඳහංකො පොඩ්ඩක් මේක හරියට ටියුන් වෙලා නෑ…."

වික්‍රමේ රේඩියෝ එකේ ස්පීකරේ තියන හරිය වම් කණට කිට්ටු කරගෙන හෙමිහිට අර කලු නොබ් එක කරකෝනව මීටරේ අල්ලන්ට. ඒ වෙලාවට ඕකගෙ මූණෙං පිළිබිඹු වෙන හැඟීම් තමයි මරු. ඔන්න නළල රැලි ගැහෙනව. ඇහි බැම නටනව. ටිකකිං තොල් හපාගන්නව. ඒත් එක්කම ඇස් හීං වෙනව. මූණ ඇඹුල් වෙනව. මට හරියට රේඩියෝ එකේ සද්දෙ නෑහුනාට ටක්කෙටම මම දන්නව වෙරිටාස් පැහැදිලිව අහුවෙච්චි වෙලාව.වික්‍රමේට හිනාවක් යනව හඳ වලාකුලකිං මෑත් වුනා වගේ.

" හෙහ්, වෙරිටාස් අහුවුනා නේද? " මම නැඟිටල ගෙට ගිහිල්ල මගෙ ඇඳ මුල්ලෙං ඕල්ඩ් කොටෙයි කුස්සියෙ රාක්කෙං අසෝක වීදුරු දෙකකුයි ගේනව.

වික්‍රමේ තාමත් කටත් විරවගෙන අර රේඩියෝ එක කණේ ගහගෙන. " මේ ඕක අල්ලල දාල මෙන්න මේකට මොනවහරි කරමු බං …" බංකුව උඩම අසෝක වීදුරු දෙකයි ඕල්ඩ් කොටෙයි තියල මම කෑගැහුව.

" ඈ....ඈ???? උඹ මොකවත් කිව්වද? " වික්‍රමේ ඔන්න රේඩියෝ එක කණෙං අයිං කරල මා දිහා බලල ඇහුව. 

" කිව්ව තමයි බං..ඔය කෙහෙම්මල පැත්තක තියල මේක ගහමු කියල කිව්වෙ….."

" හරි හරි..ඉඳපං මම දවල් ඉතුරු මොකවත් තියනවද කියල බලන්නං " ඒකා රේඩියෝ එකත් අරගෙන එක පාරට නැඟිට්ට. 

" ඒයි යකෝ බලාගෙන...තව පොඩ්ඩෙං බොන්ට නෙවෙයි වෙන්නෙ. …" මම පැනල පැත්තකට ඇලවීගෙන ගිය බෝතලේ අල්ලගත්ත.

පිටපලුවක් පරණ පලු කොට දෙකක් උඩ බැලන්ස් කරල හදල තිබ්බ ඔය අපෙ බංකුවෙ එක පැත්තක ඉඳගෙන ඉන්න එකා එක පාරම නැඟිට්ටොත් අනික් පැත්ත උඩ යනව. මම ඉතිං අර වැටෙන්ඩ යන බෝතල් අල්ලල පළපුරුදු තියන හින්දම හොඳයි හෙහ්,හෙහ්,

දවල් ඉතුරු වෙලා තිබ්බ කිරිකොස් ටිකක් තසිමකට දාගෙන ආව වික්‍රමය. " සැමී නාන්ට ගියා මම හිතන්නෙ...ඕකා ආහම පපඩමක් වත් බැදගමු. එතකල් මේක හොඳයි හෙමිහිට ගහන්ට "

සැමී කිව්වෙ අපේ ක්වාටර්ස් එකේ උයන්ට හිටිය ගෝලය. ඔය ගෝලයො, එතකොට අනියම් කම්කරුවන්ගෙ චෙක් රෝලෙ ගැන එහෙම මම කලින් දෙතුන් පාරක්ම කිව්ව මතකයිනෙ නේද? කතන්දර කියනකොට එහෙම තමයි. කලින් කියපු කොටස් වලින් ප්‍රශ්න අහල කතාව මතකද කියල පරීක්ෂා කරල බලන්ට ඕන පටන් ගන්ට කලියෙං. ස්ටෝරි ටෙලිං ඇක්සෙප්ටඩ් ප්‍රොසීඩියර් එක ඇවිදිල්ලහිට අන්න එහෙමයි.

අපෙ අත්තම්ම කතන්දර කියල දෙනකොටත් එහෙමයි. අද කතාව පටන් ගන්න ඉස්සර ඊයෙ කියල දීපු කොටසින් ප්‍රශ්න දෙක තුනක් අහනව. 

" සුට්ටි පුතා කියන්ට බලන්ට දැං අර කුමාරි හිර කරල හිටියනෙ ගල් ගුහාවක. ඒකෙ ගල් දොරවල් කීයක් තිබුනද? "

මට මොකද ඕක මතක නැත්තෙ? මම මේ වාර විභාගෙනුත් පන්තියෙ දෙවෙනිය. ලබන පාර කොහොමහරි පළවෙනිය වෙන්නයි හිතාගෙන ඉන්නෙ. ඒත් අත්තම්මට පොඩි කෝලිත්තමක් කරන්ට ඕන කියල මට එක පාරටම හිතුන. 

" ගල් දොරවල් තුනයිනෙ අත්තම්මෙ…" අත්තම්මගෙ මූණ අඳුරු වෙන්නෙ වප් මහේ ඇකිරියගල කන්ද උඩිං වැහි වලාකුලු පාත්වෙන්නැහෙ.

" ඔන්න ඉතිං සුට්ටි පුතා කතන්දරේ අහං හිටපු හැටි තමයි ඔය.."

" නෑ..නෑ..අත්තම්මෙ මම බොරුවට කිව්වෙ...මට මතකයි ගල් දොරවල් හතයිනෙ…"

" අන්න ඒකනෙ. මම දන්නවනෙ මයෙ පුතාට ඔව්ව හොඳට මතකයි කියල. එහෙම නැතුව කොහොමද හොඳට ඉගෙන ගන්නෙ..නේද? "

ඊට අවුරුදු හත අටකට පස්සෙ මම අත්තම්මට කතන්දර කියල දෙන්න පටන් ගත්තනෙ. ඒ ඔය පොත්වල තියෙන කතන්දර..මැකීගිය දඩමං, වන සරණ, සුදු වැද්දා, සුදු ගෝනා....ආර්.එල් ස්පිට්ල් දොස්තර මහත්මයගෙ කතන්දර...මමත් අත්තම්මගෙන් කලින් දවසෙ කියල දුන්නු කොටසෙන් ප්‍රශ්න අහනව එතකොට. හෙහ්,හෙහ්,

" ගෝඹිරා දඩයමේ යන්නෙ හඳුනා එක්කද? ගමා එක්කද? "

" හඳුනා එක්ක.." අත්තම්ම කියනව. උත්තරේ හරි...

හරි..ආපහු අපෙ ක්වාටර්ස් එක ඉස්සරහ තිබ්බ වීර ගහ යටට එමු. වීරගහ යටට කිව්වට හරියටම නං ඒ වීරගහ යට තිබ්බ බංකුවට...

වැව දිහායිං එක සීරුවට හමන හීතල හුළඟ හින්ද වීර ගහේ කොල හෙල්ලෙන සද්දෙට කන්දිහාගෙන වික්‍රමේයි මායි ෂොට් දෙක දෙක වගෙ දාගත්ත.

" මේ යක්සය ගිලිල මලාවත්ද? කිරිකොසෙත් ඉවරවීගෙන යන්නෙ. " බයිට් එකට ගෙනාපු කිරිකොස් පීරිස්ස ඒ වෙනකොට තුංකාලක් වගෙ ඉවර වෙලා.

ගිලිල මලාද කියල මම ඔය කිව්වෙ වැවට නාන්ට ගිය අපේ ගෝලය සැමී ගැන.

" හප්පා සීතලයි.." මම දෙවුර ඇකිලුවා..ඒ එක්කම අපේ ක්වාටර්ස් එකට එන බොරලු පාරෙ ඈතිං ටෝච් එළියක් පේන්ට ගත්ත. පාර දෙපැත්තට සැරින් සැරේ එළිය වදිනව. එන්නෙ මේ පැත්තට. 

" කවුද බං අර?..." මම ඇහුව. 

" මේ වෙලාවෙ කවුද? ආ...ෂුවර් එකටම හිනිදුමය වෙන්න ඇති. "

අර කුඹුරු ඉඩං වල අළු තුනී කරල රෆ් ලෙවලිං කරපු ඩෝසර් අරගෙන ගියානෙ වැඩේ ඉවර වෙලා. හින්නා ඊට පස්සෙ කෑම්ප් එකේ මුර. ටෝච් එළිය ඒ වෙනකොට ළඟ ළඟම එනව. යස්..මේ හින්නා තමයි 

" ඒයි හිනිදුම මෙහෙ වරෙං බං.." මම කතා කලා. 

" බොස්….." හින්නා අපි ගාවට ආව..

" ඒයි මේ ..කුස්සියෙං වීදුරුවක් ගෙනල්ල මේ එකක් දාගනිං...ඊට පස්සෙ හොඳ එකා වගෙ පපඩං හත අටක් බැදපං බං ..නිකම්ම ගහන්ට බෑ මේක. "

කියන පමාවට හින්න ගිහිල්ල වීදුරුවක් අරගන ආව.

" ඕක හේදුවෙවත් නෑ නේද? …" වික්රමේ ඇහුව. 

" ආය අහවල් හේදිල්ලක්…" හින්නා කටකපල එකක් දාගත්ත.

වීදුරු හේදිල්ල ගැන පොඩි අතුරු කතාවක්..මැගිලිං අක්ක තමයි ගමටම කසිප්පු බෙදුවෙ. කට්ටිය පෝළිමේ ගිහිල්ල මේස කබල උඩ තියෙන අසෝක වීදුරුවක් අරගෙන මැගිලිං අක්ක ගාවට යනව. අක්ක කෑන් එකෙන් කට්ටෙ ගාවට පුරවනව. ඊට පස්සෙ ඕනනං එතනම ඉඳල උගුරට වක්කර ගත්තැහැකි. නැත්තං එලියට ඇවිල්ල හෙමීට කඩල ඇටයක් එහෙම හප හප ගැහුවැහැකි. අලුතෙං ආව ඉස්කෝල මහත්තයත් දවසක් ආව දෙකක් දාගෙන බලන්ට ඕනය කියල හිතිල. මිනිහ පිරිසිදුකම බොහොම ඉහලින් සලකනව. ඉස්කෝලෙ ඉගැන්නුවෙත් සෞඛ්‍යය විෂයය.අසෝක වීදුරුවක් අතට ගත්තු හැටියෙම මිනිහට ආව කසිප්පු කුයිලෙ." මේ වීදුරුව හෝදලා නෑ නේද? " මිනිහ ටිකක් සද්දෙට ඇහුව. මැගිලිං අක්ක කෑන් එක බිම තියල නැඟිට්ට. " ගූ කන්ට කලිං කට හෝදන්නෙ කවුද මහත්තය. බොනව නං වීදුරුවත් අරගෙන මෙන්න මෙහාට එමු..නැත්තං ඉතිං කුණුහරප කතා නොකර....."


*************************************

පොඩි දෙයක් කියන්ට ඕමනයි. කුකුළේ ගඟ මතක කිව්වට අද කතන්දරේ කුකුළේ ගඟ ගැන මොකවත් නම් නෑ තමයි.ඒ ගැන හිත අමනාප කරගන්ට කාරියක් නෑ. ඔව්වයෙ හැටි ඔහොම තමයි.අනිවාර්යයෙන්ම ඊලඟ කොටසෙ ලියන්නං හිනිදුමයගෙ අලිකතාව සහ කුකුළේ සුරක්ෂිතතා පූර්ව උපක්‍රම ගැන..හොඳේ ළමයි?

54 comments:

  1. මම මේ නිකම් දැනගන්න අහන්නේ, අර කියුරියෝසිටි කියන්නේ අන්න ඒකට, මෙහෙම 'කතා' ලියලා ලියලා ඉවරවෙලා වෙන්න ඇති නේද මාතෘකාව දානවා ඇත්තේ? ඔක්කොම වගේ කවර් වෙලා යන්න? නැත්නම් මාතෘකාවක් දාලා ලියන්න ගියොත් ඉතින් පීලී පැනලා බැනුම් කෝටියයි නේ? :D

    සුට්ටි පුතා ඉස්සර ඉඳන් කතා අහලා කියලා පුරුදු වුණේ මෙහෙම කතා ලියන්න පතාගෙන ම ආව නිසා වෙන්නැති!

    ReplyDelete
    Replies
    1. මලිති,

      / මෙහෙම 'කතා' ලියලා ලියලා ඉවරවෙලා වෙන්න ඇති නේද මාතෘකාව දානවා ඇත්තේ? ඔක්කොම වගේ කවර් වෙලා යන්න? /

      හෙහ්,හෙහ්..හරියටම හරි...එහෙම තමයි වැඩේ වෙන්නෙ...ලිවීම පළමුව..මාතෘකාව දෙවනුව...

      ඔන්න බස් එකක් නවත්තල තිබ්බලු බස්ටෑන්ඩ් එකේ. යන දිහාවක් කියල බෝඩ් එකක් නෑ. කොන්දොස්තර ඉන්නව පිටිපස්සෙ දොරගාව බිම. වයසක මනුස්සයෙක් එතෙන්ට කිට්ටුකලා.

      " කොන්දොස්තර මහත්තයො..මේ බස් එකේ බෝඩ් එකක් නෑ නෙව. ඒ මොකද? අනික මේක කොහෙටද යන්නෙ? "

      " මෙහෙමනෙ ලොකු උන්නැහෙ සීන් එක ...., අපේ ඩැයිවර් උන්නැහෙ නකතං වෙන්ට දාල ඉන්නෙ.බස් එකෙ කොහෙ යයිද කියල දන්නෙ සක්කරය විතරයි. ඒ හින්ද කොහෙ හරි ගිහිල්ල නවත්තපුවාම අන්න එතෙන්ට අදාල බෝඩ් එක දානව. තේරුණා නේද? "

      නකතං වෙන්ට දාල ඉන්නෙ = හොඳටම මත්පැන් පානය කරල ඉන්නෙ

      / සුට්ටි පුතා ඉස්සර ඉඳන් කතා අහලා කියලා පුරුදු වුණේ මෙහෙම කතා ලියන්න පතාගෙන ම ආව නිසා වෙන්නැති! /

      වෙන්නැති අප්පා..වෙන්නැති..උන්දැගෙ කතන්දර තමයි මට ජීවිතේ මුලින්ම පැහැදිලි මතකයක් තියෙන්නෙ..:)

      Delete
  2. ඇල්ෆ්‍රඩ් පෙරේරා කියලා කෙනෙක් හිටියා නේද වෙරිටාස් එකේ. තව එල්මෝ ප්‍රනාන්දු වගේ නමකුත් මතකයි. අපි කොල්ලො කාලෙ ඔය වෙරිටාස් ප්‍රවෘත්ති විකාශය අහන්නෙ අම්මලගේ බැණුම් විකාශයෙන් ඉන්ටරප්ට් වෙවී. කෙටි තරංග නිසා හෙන අමාරුයි ටියුන් කරන්න. දශමෙන් දශමෙට බෑන්ඩ් නෙ.
    පුදුමයි! අද රවී අයියාගෙ ලිපිය ටිකක් කෙටියි.

    ReplyDelete
    Replies
    1. මධුමාධවී,

      / ඇල්ෆ්‍රඩ් පෙරේරා කියලා කෙනෙක් හිටියා නේද වෙරිටාස් එකේ. තව එල්මෝ ප්‍රනාන්දු වගේ නමකුත් මතකයි. /

      " මේ වෙරිටාස් සිංහල සේවයයි.කෙටි තරංග මීටර 63.5 ඔස්සේ ප්‍රජා සත්කාර්යයක් ලෙස විකාශයවන වෙරිටාස් සිංහල සේවයේ අද ප්‍රවෘත්ති අතර......"

      එල්මෝ ප්‍රනාන්දුනම් මට මතකයි. පස්සෙ එල්මෝ බී.බී.සී. එකට ගියා. පහුගිය දවස්වල එල්මෝ ගොයියයි චන්දන කීර්ති බණ්ඩාරයි මහින්දගෙ ආණ්ඩුවෙන් කාර් පර්මිට් ඉල්ලල අන්තිමට සවුත්තු වුනා.

      / අපි කොල්ලො කාලෙ ඔය වෙරිටාස් ප්‍රවෘත්ති විකාශය අහන්නෙ ......./

      හරි..හරි..හරි...එහෙනං එහෙමයි සීන් එක නේද?...:)

      / පුදුමයි! අද රවී අයියාගෙ ලිපිය ටිකක් කෙටියි. /

      හෙහ්,හෙහ්..උඹලත් එක්ක බෑනෙ..ඒක මීටර් උනා නේද? ටිකක් කෙටිකලා තමයි. කලින් එව්ව දිග වැඩියි, වචන 1400-1500 අතර තියාගත්තොත් වඩා හොඳයි කියල මටම හිතුන බං...

      Delete
    2. හරියට හරි... එල්මෝ ප්‍රනාන්දු තමා ප්‍රවෘත්ති කිවවෙ. පුදුම වේගෙකියන් කියගෙන යන්නෙ හරියට මිනිහගෙ පස්සෙනුත් කහ බළල්ලු එහෙම එළවයි වගේ. නරක කාලෙනෙ.

      Delete
  3. වීර ගහ යට බංකුවේ ඉදන් කිරිකොස් කකා බිවුව වගේ දැනුන. අපි වෙරිටාස් ඇහුවෙ ගෙදර තුන්වෙනි තට්ටුවේ ඉදං, එතනට තමයි සිග්නල් තිබුනෙ (කෝමද නයා ) තුන්වෙනි තට්ටුව කියන්නෙ සොල්දරේට නැගල එතනින් වහලෙ මුදුනට නැග්ගම. GM කියල අලි සයිස් රේඩියෝ එකයි, බැටරි හයේ පැක් එකකුයි, ඇන්ටනාවකුයි වහලෙ අගුවෙ සෙට් කරල තිබුන.
    ඒක නෙමෙයි රවි අයියෙ, නාන්න ගිය සැමී ගිලිල මලාද කියල දැන්වත් හොයල බලනවද ?

    ReplyDelete
    Replies
    1. ස්තූතියි කම්මල.....:)

      Delete
  4. මම මේ කල්පනා කලේ කුකුළේගඟ කිට්ටුව තියෙන වැඩ මොකක්ද කියලා...
    උඹල සයිට් වල ගත්තු ආතල් දැන් අපිට ගන්න වෙන්නේ නැහැ, ගෙදර ඉඳල වැඩට ඇවිත් ආපහු ගෙදර යනවා.
    තනිකඩව ඉන්න කාලේ ඉඳගෙන හොඳම ආතල් කාලයක් ගෙවුනේ ට්‍රේනින් කාලේ... අන්ඩාපුරේ... තිරප්පනේ(උට්ටිමඩුව) හෙහ් හෙහ්
    පිස්සු හැදෙනවා, ගල් පොත්තක් උඩ නිදාගෙන... තිරප්පනේ හන්දියේ කඩේ තිබ්බ පැණිම පැණි රස පොල් ටොපි එක්ක...
    සමහර දවස්වල රෑට A9 පාර අයිනේ තිබ්බ කෝල් ගන්න ගල් ගෙඩිය උඩ නිදාගෙන අහසේ තියෙන තරු ලං වෙන හැටි ආපහු දුරස් වෙන හැටි බලාගෙන හිටපු ඒ දවස්...
    අපි නතරවෙලා හිටපු ගෙදර අක්කා සමහර දවස්වලට අහනවා XXX මල්ලි මොකද මේ ඇස්දෙක ගොරක වගේ රතුවෙලා කියලා... හිමිට මාරුවෙලා කාමරේට රිංගනවා පොඩි හිනාවක් කාරිය දාලා...
    එක දවසක් සරමේ හොඳ පිට හොයා ගන්න කාපු කට්ටක්...

    ගල්කුළම හන්දියට පොඩ්ඩක් එහා (මට මතක විදිහට යාපනේ හන්දිය කියලද කොහෙද එතනට කිව්වේ) තිබ්බ තඹරවිල රෙස්ට් එකේ හරක් මස් ඩෙවල්(වගේ එකක්) එක්ක බීපු බයිසන් බියර්...
    හරක් මස් එක දුන්නේ බත් කන ලොකු පිඟානකට, බත් බෙදන්න වගේ කොත ගහලා. මමයි මාත් එක්ක ට්‍රේනින් හිටපු එකාටයි දෙන්නටම රෑට කන්න බැහැ උන්ගේ බයිට් එක කාල ගියපු දවසට...

    කොළඹින් ආපු ට්‍රේනින් මහත්තුරු නිසා කියල අනිත් උන්ට 120/- ට දීපු බයිට් එක අපිට දුන්නේ 100/- ට.
    මේ දේවල් මතක් කරගන්න උදව් වෙච්ච එකට ස්තුතියි රවී අයියේ...
    තව ලියහන් බං මේව්වා, ටොපික් එක මක්කා උනත් කමක් නැහැ මදේ හොඳනම්...

    ReplyDelete
    Replies
    1. ලොක්කා,

      / මම මේ කල්පනා කලේ කුකුළේගඟ කිට්ටුව තියෙන වැඩ මොකක්ද කියලා.../

      නෑ බං මම මේ කියන්නෙ කුකුළෙට ඉස්සර යුගයක් ගැන. 1989-1991 අතර කාලෙ වගෙ.කුකුළෙ බොන්ට තහනම්. බොහොම දැඩිව ක්‍රියාත්මක වුනා ඒ තහනම. මොනතරම් බේබද්දෙක් උනත් බෝතල් ඇතුලට ගෙනාවෙ නෑ. අහුවුනොත් නෝ සමා..කෙලින්ම දොට්ට. ඉතිං ඒ කාලෙ හැටියට ලැබුණු ආකර්ශණීය වැටුප, වෙනත් පහසුකම් සහ අන්තර්ජාතික සමාගමක සේවය කිරීමෙන් ලැබෙන පළපුරුද්ද ඒ වගේම වෘත්තීය වශයෙන් ලැබෙන පිළිගැනීම ..ඔය කාරණා ඔක්කොම සලකලා බලල කිසිකෙනෙක් ඒ තහනම උල්ලංඝනය කලේ නෑ මම දන්න විදිහට.

      අනික කෑම අපි උයා ගත්තෙ නෑ එහෙදි. තුන් වේලම සප්ලයි කලේ මෙස් එහෙකින්. මෙස් එකේ කන්ට්‍රෑක්ට් එක කලේ වෙල්ගමගෙ මිනිස්සු. අපේ පඩියෙන් පොඩි ගාණක් කපාගන්නව. ඉතුරු හරිය කම්පනි එකෙන් දානව.

      / උඹල සයිට් වල ගත්තු ආතල් දැන් අපිට ගන්න වෙන්නේ නැහැ, ගෙදර ඉඳල වැඩට ඇවිත් ආපහු ගෙදර යනවා. /

      සයිට් වලම ගෙවන ජීවිතේ මාර වටිනව බං පස්සෙ කාලෙ මුලු ජීවිතේටම. නොයෙක් වර්ගවල අමුතුම මාදිලිවල මිනිස්සු / ගෑණු ආස්සරේ කරන්ට ලැබෙනව. සහෝදරත්වය, කණ්ඩායම් හැඟීම කියන එක බොක්කටම දැනෙනව.ඔය දෙකක් විතරයි...:)

      Delete
  5. ඔය දාල තියෙන පින්තුරේ මේ කතාවේ කොයි හරියටද සෙට් වෙන්නේ?

    ReplyDelete
    Replies
    1. පැතුම්,

      පින්තූරෙ අදාල වෙන්නෙ මේ කොටසට මල්ලි...:)

      / වීදුරු හේදිල්ල ගැන පොඩි අතුරු කතාවක්..මැගිලිං අක්ක තමයි ගමටම කසිප්පු බෙදුවෙ. /

      පින්තූරෙ තියෙන්නෙ Illicit Liquor Distillery එකක්...:)

      Delete
    2. ඔය උඩ පිංතූරේ රම් හදනවා නේද? ඔය කියුබා වෙනිසියුලා වගේ දකුණු ඇමෙරිකන් රටවල මහ දවල්ටත් තාම ඔය වගේ බැරල් තියෙනවා නේන්නම්... අම්මේ !!!! මගේ ඉන්නවා නොවැ ඔය ක්ලයන්ලා හෙම. (;) ;) ) ස්පැනිශ් වක් කර කර එවුන්ලා රම් හදනවා මට මැවිලා පේනවා මේ දැනුත්

      Delete
    3. Buru,

      අඩේ ගෘහ කර්මාන්තයක් වශයෙන් රම් හදන්නෙත් එහෙමයි නේද? මම පොඩි රිසර්ච් එකක් කලා රම් පෙරිල්ල ගැන...හෙහ්,හෙහ්,

      හැබැයි මේ තියෙන ෆෝටොස් එක නම් සර්බියාවෙ ගත්තු එකක් කියලයි කියන්නෙ. අර එහායින් පේන්නෙ බඩ ඉරිඟු වගාවක්...අරලගංවිල හිහාම කෑවෙ නැද්ද ලා බඩ ඉරිඟු කෙලින්ම ගින්නට අල්ලල පුච්චල ලුණු යන්තමට ඉහගෙන ?...අන්න කෑම....හෙහ්,හෙහ්,

      Delete
  6. වෙරිටාස් ඇහුවෙ සජිත් ගේ පියා ගේ වැඩ කෑලි නිසා....

    ජෙප්පන් ට අම්ම මෝ නැතිව ටයර් වල දාල ගිනි තිබ්බ කාලේ...

    ප්‍රෙමදාස වාශ්ප වුනා විතරයි වෙරිටාස් වල තිබ්බ අහවල් එකත් නැති වුනා....

    ReplyDelete
    Replies
    1. Sa rasa,

      / වෙරිටාස් ඇහුවෙ සජිත් ගේ පියා ගේ වැඩ කෑලි නිසා....ජෙප්පන් ට අම්ම මෝ නැතිව ටයර් වල දාල ගිනි තිබ්බ කාලේ... /

      " යස්, ඔබ හරි. ප්‍රේමෙගෙ වැඩ කෑලි නම් ආය කියල වැඩක් නෑ.දෙරණෙ " ගිණිඅවි සහ ගිණිකෙලි " බලනවද? කුරේල , මල්ලිමාරච්චිල එහෙම ලොක්කගෙ අණ පරිදි දෙන වැඩ සටහන් තියනව ඒකෙ යස අපූරුවට.

      විජේවීර ඇල්ලුවා සහ ඊට පස්සෙ මැරුවයි කියලත් අපි මුලින්ම ඇහුවෙ වෙරිටාස් එකෙන්.

      Delete
  7. මාතෘකාවේ කෑලි දෙක තුනක් තව අඩුයි නේද? ;-)

    ReplyDelete
    Replies
    1. රසික,

      කතාවෙ කියවෙච්ච ඔක්කොම සීන්ස් මාතෘකාවට දැම්මෙ නෑ....:)

      Delete
  8. ගුවන් හමුදාවේ ඉහලම සෙසු නිළය වන්නේ මාස්ටර් වොරන්ට් ඔෆිසර් . චීෆ් යන වචනය යෙදෙන්නේ නාවික හමුදාවේ එවැනි නිලයන් සඳහා. නමුත් ඔබ හමුදා නිලධාරියකු නොවන නිසා මෙලෙස ලිවීමේ වරදක් නැහැ.

    රේඩියෝ වෙරිටාස් ඒෂියා නමැති ආයතනය කතෝලික දහම ප්‍රචලිත කිරීම සඳහා යොදාගන්නා ලද්දක්. එය 1970 දශකයේ මද භාගයේදී ලංකාවාසීන් අතර බෙහෙවින්ම ප්‍රචලිතව පැවතුනේ ඔබ කියන ආකාරයටම එකල අපක්ෂපාතී තොරතුරු දැනගන්න විකල්ප මාර්ගයක් නොතිබුණ නිසයි. නමුත් මේ ගුවන්විදුලි සේවය විකාශනය කෙරුණේ කෙටි තරංග short waves ඔස්සේ නිසා ඉතා හොඳින් සූසර කළහැකි ගුවන්විදුලි යන්ත්‍රයකින් හැර වෙනත් බොහෝ යන්ත්‍ර වලින් එය අසන්නට බැහැ.

    ඇල්ෆ්‍රඩ් පෙරේරා මහතා මේ සේවයේ සිංහල වැඩසටහන් මෙහෙයවූ කාලයේ තමයි එය වඩාත් ජනප්‍රියත්වයට පත්ව තිබුණේ එහි සිංහල අසන්නන්ගේ සමාජයේ මගේ සාමාජික අංකය 75. 1980 දශකයේ මැද භාගය වනතුරු, සෑම වසරකම මට මේ සේවයෙන් උපන්දින සුබපැතුම් පතක් සග සෑම වසරකම ඉතා අලංකාර කැලැන්ඩරයක් ලැබුණා.

    මම ගුවන්විදුලි කාර්මික ශිපය හදාරා මගේ ඇති නිපදවූවා ඉතා ඈත රටවල කෙටි තරංග විකාශන පවා හොඳින් සූසර කළහැකි යන්ත්‍රයක් මගේ මිතුරන් ඒ කාලේ එනවා ඒ යන්ත්‍රයෙන් ඉතා පැහැදිලිව රේඩියෝ වෙරිටාස් අහන්න.

    අන්තර්ජාලය පැමිණීමත් සමග මේවා භාවිතයෙන් ඉවතට ගියා.

    ඔබේ සිත්ගන්නා විස්තරයට බොහොම ස්තුතියි.

    ReplyDelete
    Replies
    1. විචාරක,

      / ගුවන් හමුදාවේ ඉහලම සෙසු නිළය වන්නේ මාස්ටර් වොරන්ට් ඔෆිසර් . චීෆ් යන වචනය යෙදෙන්නේ නාවික හමුදාවේ එවැනි නිලයන් සඳහා. /

      නිවැරදි කිරීම වෙනුවෙන් මගේ ස්තූතිය. වහාම වරද නිවරද කලෙමි.

      / නමුත් ඔබ හමුදා නිලධාරියකු නොවන නිසා මෙලෙස ලිවීමේ වරදක් නැහැ. /

      එහෙම වෙන්නෙ කොහොමද? වරද වරදමයි....:)

      ඔබටත් ස්තූතියි..විචාරක...:)

      Delete
  9. වචන අඩුපාඩු කීපයක් ඇත. මද භාගයේදී නොවෙයි මැද භාගයේදී, උපන්දින සුබපැතුම් පතක් සග නොවෙයි සහ, කාර්මික ශිපය නොවෙයි ශිල්පය, මගේ ඇති නොවෙයි මගේ අතින්,

    මාස්ටර් වොරන්ට් ඔෆිසර් සහ රේඩියෝ වෙරිටාස් ඒෂියා යනුවෙන් මා දක්වා ඇති ලින්ක්ස් පැහැදිලළිව නොපෙනන බවක් දකින්නට තිබෙනවා.

    ReplyDelete
    Replies
    1. හැක්.. ඕක තමයි කියන්නෙ වීදුරුව ඔළුව උඩ තියාගෙන කොමෙන්ට් දාන්න එපා කියල. :D

      Delete
    2. විචාරක,

      ඔබ දක්වා ඇති ලින්ක්ස් මටනම් පැහැදිලිව දක්නට හැකියි...:)

      Delete
  10. කුකුළේ ගඟ මතක ඇර අනික් ඔක්කොම තියෙනව වගේ.
    සැමී ට වෙන්නෙත් අර කොස් කපන ගෑණුළමයට වෙච්ච සෙතේම තමයි.

    ඔය වෙරිටාස් ඒ කාලෙ අපිත් ඇහැව්ව. ෂෝට් වේව් නිසා ලොකු මූඩියෙන් ටියුන් කරල යන්තං පයින් එක ඇල්ලුවට පස්සෙ තව පොඩි මූඩියක් තියෙනව ෆයින් ටියුනින් කියල ගානට ටියුන් කරගන්න. සමහර වෙලාවට චැනල් එක ටියුන් කරනකොට ප්‍රවෘත්ති ගිහිල්ල ඉවරයි.

    ReplyDelete
    Replies
    1. ප්‍රසන්න,

      / කුකුළේ ගඟ මතක ඇර අනික් ඔක්කොම තියෙනව වගේ. /

      ඔන්න ඉතින් ඕකනෙ කියන්නෙ..වෙනම පාද සටහනක් දාල ඒ ගැන පැහැදිලි කිරීමක් කරලත් බොලා එන්නෙම කොකු වීසිකර ගෙනනෙ....:)

      Delete
  11. Where is then the "waan pathul katha"...
    BP

    ReplyDelete
    Replies
    1. BP,

      Calm down, calm down...Wan pathul is on the way....:)

      Delete
  12. මතකයන් අලුත් උනා, සුපිරි කථාව, දිගටම ලියන්ඩ.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ලලිත්....:)

      Delete
  13. සයිට් කතා.. සයිට් කතා... එල එල... ගස්ලබ්බත් ගෙදරින් ගොඩක් ඈත සයිට් එකක තට්ට තනියම බෝඩින් කාමරේකට වෙලා මේක කියවන්නෙ.පට්ටයි හොඳේ...
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි ලබ්ස්...:)

      Delete
  14. මරු කතාව. මමත් ගිහින් තියෙනවා රෙසොර්ට් එකට. හරිම ලස්සන තැනක්.

    තවත් මේවගේ ජිවිතේ මිහිරි මතකයන් බ්ලොග් එකට එකතු කරන්න.

    ReplyDelete
    Replies
    1. ඔබටත් ස්තූතියි ඇනෝ...:)

      Delete
  15. ඇල්ෆ්‍රඩ් පෙරේරා ලණු පප්පෙක්.මම ඔහු ගැන කියවූ කතාවක් ගෙඩි පිටින්ම මෙතන ලියන්නට කැමතියි.
    //හැට හැත්තෑ ගණන්වල ගුවන් විදුලියේ ජනප්‍රියම වැඩ සටහනක් වූ විනෝද සමය නිෂ්පාදනය කළේ ඇල්ප්‍රඩ් පෙරේරාය.පිලිපීනයේ වෙරිටාස් ගුවන් විදුලියේ සිංහල වැඩසටහන් වසර ගණනාවක් තිස්සේ මෙහෙයවූ ඔහු පසු කලෙක එක්තරා අමාත්‍යාංශයක ප්‍රවෘත්ති කටයුතු පිලිබඳ ජ්‍යෙෂ්ට සහකාර ලේකම්වරයා වශයෙන්ද කටයුතු කළේය.
    හැත්තෑ ගණන්වල එක දවසක මා ගුවන් විදුලියේ වැඩට එනවිට වැල් පෙනෙල මිටි පිටින් රැගෙන ආ පිරිසක් අමුත්තන්ගේ ශාලාවේ අසුන්ගෙන සිටිනු පෙනිණි.වැල් පෙනෙලවල ගුණාගුණ හොඳින් දන්න අඳුනන නිසා මම ආරක්ෂක නිලධාරියාට ළංවී "කවුද මේ වැල් පෙනෙලකාරයෝ"කියා විමසීමි.
    "ෆ්‍රැන්සිස් මහත්තයට වැල් පෙනෙල අරන් ආපු කට්ටියක්"ආරක්ෂක නිලධාරියා නක්කල් සිනාවක් දමා කීය.මම වහාම සිංහල අංශයට දිවගියේ ආගමික වැඩසටහන් නිෂ්පාදක කේ.ෆ්‍රැන්සිස් සොයා ගැනීමටය.කතෝලික ආගමික වැඩසටහන් මෙහෙයවන බැවින් අප ඔහුට අමතන්නේ ෆාදර් කියාය.
    මොකද ෆාදර් අසනීපේ?මම ඇසුවෙමි.
    බලනවකො අයිසෙ අර ඇල්ෆ්‍රඩ් කරල තියෙන වැඩේ!
    ඒ කාලයේ ඇල්ෆ්‍රඩ් සේවය කළේ පිලිපීනයේය.වෙරිටාස් ගුවන් විදුලියේය.මොකක්දෝ හේතුවකට ශ්‍රී ලංකා තානාපතිවරයා සමග සුහද කතා බහක යෙදීමට ඇල්ෆ්‍රඩ්ට අවස්ථාව එළැඹුණේ ප්‍රීති සාදයකදීය.එහිදී ඔවුහු ලංකාවේ දේශීය ආහාර පාන ගැන කතා බැහැ කළහ.කැඳ වර්ගද සාකච්ඡාවට බඳුන් විය.වැල් පෙනෙල කැඳ බීපු කාලයක් මතක නැතැයි තානාපතිතුමා කීවේය.
    අපේ ඇල්ෆ්‍රඩ්ට ඒ මදිද?
    ඔහු එදිනම රාත්‍රියේ වෙරිටාස් සිංහල වැඩසටහන අතරතුර අසන්නන්ගෙන් විශේෂ ඉල්ලීමක් කළේය.පිලිපීනයේ ශ්‍රී ලංකා තානාපතිතුමාට වැල් පෙනෙල කැඳ බීමේ අවශ්‍යතාවක් පහළවී ඇති නිසා ඊට උපකාර කරන ලෙසද,තම නිවාස අවටින් වැල් පෙනෙල සොයාගත හැකිනම් ඒවා මිටි බැඳ ගොස් ලංකා ගුවන් විදුලියේ කේ.ෆ්‍රැන්සිස් මහතාට බාර දෙන ලෙසද,ෆ්‍රැන්සිස් මහතා මගින් පිලිපීනයට වැල් පෙනෙල ගෙන්වා ගැනීමට වැඩ පිළිවෙලක් යොදා ඇති බවද ඔහු නිවේදනය කළේය.
    පසුදා උදෑසන ගුවන් විදුලි සංස්ථාව ඉදිරිපිට පෝලිම් ගසා සිටියේ ඒ නිවේදනයට ප්‍රතිචාර දැක්වූ වැල් පෙනෙල ශ්‍රාවකයන්ය.//
    (එය මෙසේ සිදුවිය.සමන් අතාවුදහෙට්ටි 2008)

    ReplyDelete
    Replies
    1. හැලප,

      වැල් පෙනෙල මරු බෙහෙත නේද? සමහර එවුන්ගෙ මෙටබොලිසම් එක අනුව ( සිංහලෙන් පරිවෘත්තිය ක්‍රියාවන් - එහෙමයි මධුර ගොයිය කියන්නෙ ) වැල් පෙනෙල වල තියන ඔය ඉන්ද්‍රිය දෘඩකාරක එන්සයිමයට අධිප්‍රතික්‍රියා දක්වනව.( Over reacting ) එහෙම උනහම මළකෙලියක් වෙන්නෙ.

      අපේ එහෙම Over reactive එකෙකුට හනිමූන් දවසෙ වැල් පෙනෙල කොළ සම්බෝලයක් හදල දීල වෙච්චි ජංජාලයක් මම ලියන්නංකො වෙලාවක....හෙහ්,හෙහ්,

      Delete
  16. උඹේ කතා පටන් ගන්නෙ කොතනින්ද කලින් නැවැත්තුවෙ කොතනින්ද ආදී වශයෙන් කල්පනා කරල මට ආතතිය හැදුන. දැං අවුලක් නෑ. එදාවේල කියවනව.
    අර කසිය වීදුරුව හේදිල්ල නං නිකං "මට හොඳ පිරිසිදු වීදුරුවක් දෙන්න වස ටිකක් ‍බොන්න" කිව්ව වගේ.

    ReplyDelete
    Replies
    1. උගෙ කතා කොතනින් පටන් අරං කොතනින් ඉවර කරනවද කියල රවියවත් දන්නෙ නැතිකොට නිකං බොරුවට ආතතිය හදා ගන්න දෙයක් නෑ බං.

      Delete
    2. අපි මොකටද රාජ් මහත්තයෝ මේ රවීතුමා හින්දා ස්ට්‍රෙස් හදාගන්නේ. ඔන්න වැඩිපුර වීදුරුවක් දෙකක් බීලා බලනවා මිසක්. මාත් හිතාගත්තා ඔය හයිජීන් ප්‍රොසෙස් එක කරලා බලන්න ඔය වගේ තැනකට ගිහින්.

      Delete
    3. රාජ්,

      / උඹේ කතා පටන් ගන්නෙ කොතනින්ද කලින් නැවැත්තුවෙ කොතනින්ද ආදී වශයෙන් කල්පනා කරල මට ආතතිය හැදුන. /

      හපොයි බං උඹත් කරගන්න දේවල්....මම මේ රෑ තිස්සෙ නිදිමරාගෙන ලියන්නෙ කියවන බොලාගෙ හිත් පිරිසිදු වෙලා ලේ ගමන අඩුවෙලා නිවී සැනසේවා කියල හිතල. සික් උඹ එව්ව කියවල ආතතිය හදාගන්නව කියල කිව්වම මටත් ඔන්න ආතතිය වගෙ ආව....:)

      අවුරුදු විස්සකට වගෙ ඉස්සර කොළඹ - නුවර පාරෙ කඩුගන්නාවෙ ඉඳල පහලට බහිනකොට අර ලොකු වැලමිටි වංගුවත් එක්කම පාර අයිනෙ ගහල තිබ්බ තඩි බිල් බෝඩ් එකක්.ඉටි කිරිස් සුද්දියක් හිනාවීගෙන ඉන්නව. මම හිතන්නෙ ඔය කොහෙ හරි එයාර් ලයින්ස් ඇඩ් එකකින් ගත්තු එකක්. ඒ ස්වරූපය තිබ්බෙ. ඒකෙ බාසා තුනෙන්ම තිබ්බ රියදුරන්ට අවවාදයක්. " ප්‍රවේශමෙන් රිය පදවන්න. " " කවනමා ඕට්ටු අංගෙ සෙට්ට පෝච්චි, " " Drive carefully"

      වැලමිටි වංගුව බැහැල එක පාරට ඔය සුද්දි ඉස්සරහට මතු උනහම ඕනම ඇහැ කණ පේන මිනිහෙකුට ඉබේම බ්‍රේක් පෑගෙනව. එතකොට පිටිපස්සෙං එන එකා ළඟින්ම ආවොත් සහ ඇලර්ට් එකේ නොහිටියොත් බඩුම තමයි කෙලින්ම ඇනෙනව පිටිපස්සෙ. A 1 පාරෙ වැඩිම ඇක්සිඩන්ට් වෙලා තියෙනව කියන්නෙ ඔය Drive carefully බෝඩ් එක ගාව. අන්තිමට මාසයක් ගියේ නෑ බෝඩ් එක ගලවල දැම්ම.

      / දැං අවුලක් නෑ. එදාවේල කියවනව. /

      අන්න ඒකනෙ බං..එච්චර සීරියස් ගන්න එපා...එදා වේල ට්‍රැවල්ස් තමයි...:)

      Delete
    4. හැලප ඇන්ඩ් බූරු,

      අන්න එහෙම වරෙල්ල..කම් දැට් වේ...:)

      Delete
  17. පොඩි පොඩි කතා හෙන සෙට් එකක් තියේ.

    ඈ රවියෝ දැන් ඔය බොලාගේ ඒරියා එක වැලිකන්ද හෙන දියුණුයි නොවැ. ඒ කාලේ වගේ නෙමෙයි කීස් කීස් ගාලා වාහන යන්නේ. අර අරලගංවිල හරිය මතකද? කජුවත්ත නේද අර බොලා හිටියැයි කීවේ. මම ගියා නෙව ගිය පාර ලංකාවට ගිය වෙලේ. බලන්න එපැයි උජාරුව දැන්...

    ඒ උනාට කිසි ගතියක් නෑ. මිනිස්සු නිකම් අපේ උවමනාවට වගේ කතා කරන්නේ. අර ඉස්සර කාලේ තිබ්බ එකමුතුකම හිනාව ඒ එකෙක් ගාවවත් නෑ. මම ඇහුව අලි හෙම එනවද කියලා.

    අලි...! අලි ඔය හැමදාම එන්නේ නෝන කිව්වේ නැතෑ නෝංඩියටම... !

    මම නේ අර හොම්බ නැතිවෙච්ච උරුලෑවා වගේ ආව එන්න...
    අන්න අරලගංවිල සෙන්ට්‍රල් දොස්තර මහත්තෙක් බ්ලොග් එකකුත් දානවා. http://kalukitty1.blogspot.it/

    ReplyDelete
    Replies
    1. Buru,

      / අර අරලගංවිල හරිය මතකද? /

      විමලෙගෙ වාං පතුල් කතා අංක 17 දි මම මෙහෙම කිව්වනෙ .. / ඔය රාජ කපුරු පෙන්නුවෙ කිලෝ මීටර් විස්සක් වගෙ එහා තියන ඉස්කෝලෙක ශාලාවෙ./  අපි රාජ කපුරු නාට්‍යය බලපු ඒ ඉස්කෝලෙ ඇවිල්ල අරලගංවිල මහා විද්‍යාලය.

      / කජුවත්ත නේද අර බොලා හිටියැයි කීවේ. /

      කජුවත්ත මම දන්නව..ඒත් මම එහෙ හිටියෙ නෑ..

      / අලි...! අලි ඔය හැමදාම එන්නේ නෝන කිව්වේ නැතෑ නෝංඩියටම... ! ...මම නේ අර හොම්බ නැතිවෙච්ච උරුලෑවා වගේ ආව එන්න... /

      එහෙම කේන්ති ගන්න එපා බං...ඒ මනුස්සයගෙ පැත්තෙං බලපං පොඩ්ඩක්...රි මනුස්සය හැමදාම රෑට අලි එලවල එපා වෙලා ඉන්නව ඇත්තෙ බොහෝ විට. එහෙම නැත්තං ඊට කලින් දවසෙ අලි පැනල දහ දුක විඳල හදාගත්ත කෙහෙල් කොටුව, බඩ ඉරිඟු හේන අසානාසි කරල දාල හින්ද වහ බොන්ට හිතිල ඉන්නෙ වෙන්ටත් ඇති. ඒ අස්සෙ උඹ ගිහිල්ල අලි එනවද කියල ඇහුවම ඇති උඹට ජපං කුණුහරප දෙකක් නොකිව්ව....හෙහ්,හෙහ්,

      / අන්න අරලගංවිල සෙන්ට්‍රල් දොස්තර මහත්තෙක් බ්ලොග් එකකුත් දානවා../

      තැන්ක්‍යු..තැන්ක්‍යු..අපූරු බ්ලොග් එකක් වගෙ පේන්නෙ..:)

      Delete
  18. ////ඊලඟ කොටසෙ ලියන්නං හිනිදුමයගෙ අලිකතාව සහ කුකුළේ සුරක්ෂිතතා පූර්ව උපක්‍රම ගැන.///// බාලගිරිය අද නොවේ හෙට කිව්වලු. අවුලක් නෑ හිත හදාගෙන ඉන්නේ දැන්. හැක්.

    අපේ ගෙදර උනුත් ඒ දවස්වල ඔය වෙරිටාස් මගුල අල්ලන්න මාර ගේමක් දෙනවා.. මං නම් දැන් වගේමයි ඒ කාලෙත් කරදයක් නැතුව බලන්න අහන්න පුළුවන් එකක් තිබ්බොත් ඇහුවා නැත්නම් ඔන්නොහේ නිකං හිටියා.. කිරිකොස් බයිට් එක ඕල්ඩ් කොටේට නැගල යන්නැති නේද?

    ReplyDelete
    Replies
    1. කළ්‍යාණ,

      / බාලගිරිය අද නොවේ හෙට කිව්වලු. අවුලක් නෑ හිත හදාගෙන ඉන්නේ දැන්. හැක්. /

      අන්න බලාපං නිදහස් සිතුවිලි කියවන පාටකයිං වන බොලාට අපි දෙන්නෙ සරල විනෝදාස්වාදය විතරක් නෙවෙයි. ඊට අමතරව උපේක්සාසහගතබාවය, ලද දෙයින් සතුටුවීම, අපිස්බව,ඉවසන දනා රුපු යුදයට ජය කොඩිය යන මහාර්ග ගතිගුනයන් සතතාභ්‍යාසයෙන් පුරුදු පුහුණු කිරීමද බොලාට අපි නොමිලේ ලබාදෙනව. වැලියු ඇඩඩ් සේවිස් එකක් හැටියට. කොටිම්ම කිව්වොත් ආනන්දයෙන් ප්‍රඥාවට නොහොත් ආනන්දයෙන් මරියකඩේට....අපි එහෙමයි දන්නවාද? එහෙම තමයි අපේ ගරු කටයුතු ලෑන්ඩ් ලේඩි නොහොත් රන්දිල් නෝනා මහත්මිය උපදෙස් දීල තියෙන්නෙ...

      / අපේ ගෙදර උනුත් ඒ දවස්වල ඔය වෙරිටාස් මගුල අල්ලන්න මාර ගේමක් දෙනවා.. මං නම් දැන් වගේමයි ඒ කාලෙත් කරදයක් නැතුව බලන්න අහන්න පුළුවන් එකක් තිබ්බොත් ඇහුවා නැත්නම් ඔන්නොහේ නිකං හිටියා.. /

      අර මම කිව්ව වික්‍රමේට ඒක පිස්සුවක් වගෙ. ඒ දවස්වල වෙරිටාස් ඇහුවෙ නැත්තං ඕකා ගුල්මෙ හැදිච්චි බලු නට්ටෙක් වගෙ. එහාට යනව..ෂික් කියනව...මෙහාට යනව..ෂික් කියනව...හෙහ්,හෙහ්,

      / කිරිකොස් බයිට් එක ඕල්ඩ් කොටේට නැගල යන්නැති නේද? /

      ආය මොනවද? සයින් ද පීස් සකබෝනා තමයි.....ක්‍රීකොෂ් එකි තියන ගම්මිරිස් ඇටයක් එහෙම හැපුණම තමයි ආතල් එක අකනිටා බ්‍රහ්ම ලෝකෙ දක්වා නැඟල යන්නෙ...

      Delete
  19. ඈ බං රවීයියේ මම මේ කල්පොනා කෙරුවේ බෝතල් අල්ලන්න ඔච්චර පුරුදු බොලා බෝල අල්ලන්නත් පුරුදු වූනා නම් 'රොෂාන් මහානාම','ජෝන්ටි රොට්ස්'කෙනෙක් වෙන්න තිබ්බානේ හිටං.

    ReplyDelete
    Replies
    1. මනෝජ්,

      ඒක හරියන එකක් නෑ බං..එක්කො මම අරක්කු බෝතලේ පුරුද්දට බෝලෙ අල්ලල පපුවට තුරුල් කරල තියාගනියි බැස්මංල හතරම දුවනකල්. නැත්තං අරක්කු බෝතලේ අල්ලල ඒ එක්කම දමල ගහයි බිත්තියට ඩෝං ගාල කුඩු සංසාර වෙලා යන්ට බෝලෙ අල්ලල විකට් එකට ගහන පුරුද්දට.අර පොඩි දරුවෙක් අල්ලපු ගෝල් කීපර්ගෙ කතාව අහල ඇතිනෙ නේද?...:)

      Delete
    2. //පොඩි දරුවෙක් අල්ලපු ගෝල් කීපර්ගෙ කතාව අහල ඇතිනෙ නේද?//

      අනේ අහලා නැහැනේ,අනේ රවීයියේ ඒ කතාවත් කියහන්කෝ බං.

      Delete
    3. මනෝජ්,

      ඒ කතන්තරේ මෙහෙමයි මලේ..ඔන්න තට්ටු පහක බිල්ඩිමක් හෝ ගාල ගිණි ගන්නවය කියහංකො. මිනිස්සු පල්ලෙහා රැස්වෙලා බලා ඉන්නව බීත වෙලා. ඔන්න පස්වෙනි තට්ටුවෙ ජනේලෙකිං ඔලුව දැම්ම අම්ම කෙනෙක්. " අනේ මගෙ පොඩි එකා මෙතන ගින්නට මැදිවෙලා ඉන්නව. බේරගන්ට කවුරුත් නැද්දෝ" කියල විලාප තිබ්බ.

      ඒත් මේ අවීචිය වගෙ ඇවිලෙන ගින්දර අස්සෙං තට්ටු පහක් නඟින්ට කවුද ඉදිරිපත් වෙන්නෙ? කට්ටියම මූණිං මූණ බලාගෙන තුස්නිම්බූත වෙලා ඉන්න අතරෙ එක අටේ දහයෙ පොරක් ආව ඉස්සරහට. " මේ ඔය ළමයව පල්ලෙහාට දාන්ට... මම අල්ලන්නං " මිනිහ කෑගැහුව.

      ඒත් අර අම්ම කැමතිවුනේ නෑ. තට්ටු පහකිං බිමට වැටෙන ළමයෙක් අල්ලන්ට පුලුවං කාටද? ඒ පාර මනුස්සය ආයෙම කෑගැහුවා. " බය නැතුව දරුව බිමට දාන්ට. මම තමයි මේ පාර ඒ ඩිවිෂන් බෙස්ට් ගෝල් කීපර්. මම අල්ල ගන්නං ළමයව කිසි දෙයක් නොවෙන්ට. "මිනිස්සුත් ඒ පාර කෑගැහුව " දාන්ට දාන්ට ළමය දාන්ට" කියල. ඒ පාර අර අම්ම ළමයව ජනේලෙන් බිමට දැම්ම ඔන්න.

      අර අටේ දහයෙ පොර කොහොම හරි පැනල ළමයව නිරුපද්‍රිතව අල්ලගත්ත. බලා හිටපු මිනිස්සු කෑගහන්ට ගත්ත "කමෝන් කමෝන් ජයවේවා ජයවේවා "කියල. ඒ ආතල් එකත් එක්ක ගෝල් කීපර් කුල්මත් වුනේ නැද්ද? පොර ළමය උඩ දාල දුන්න පයිං එකක්!!!

      Delete
  20. හම්මේ මෙහෙමත් කතන්දර ටිකක්.. ඊලග ඒවට යද්දී අපිට මේවා මතක තියන් ඉන්නම සෑහෙන්න මහන්සියක් ගන්න වෙනවා.. කොහොම උනත් මරු..

    ReplyDelete
  21. අම්මප අපිට නෑනේ මෙහෙම ජීවිතයක් ගතකරන්න චෑන්ස් එකක්

    ReplyDelete
  22. මට ටීවී දෙරණ මතක් උනා.... අර ඇඩ් අස්සෙ නාට්ය කෑලි පෙන්නන්නෙ....ඇයිද මන්දා මේක කියවලා ඉවරවෙනකොට ඒක මතක් උනේ

    ReplyDelete
  23. ඔය රේඩියෝ ගැන කියල තියෙන ඩිංග දැකල මට කහඹිලියාව(අපේ ගමේ එවුං කැහිල්ලට කියන තවත් නමකි) හැදිල වගේ ඇඟිලි වෙව්ලනව. ඒ හිංද ඔන්න මේ ඩිංග ලියල දානව
    අපේ ගමේ අපේ ගෙවල් මණ්ඩියෙ මිනිස්සු Radio කියන වචනයට භාවිතා කලේ “රේඩීක“ නැතිනම් “රේඩිවේක“ කියන නම්. වාක්යේයක යොදද්දි “රේඩියේක“ කියලත් කියනව.
    “ඔය රේඩියේක ඩිංගක් අඬ වැඩි කොරහං“ කියල තමයි අපි ලවා volume up කරවන්නේ.
    අපේ ගෙදර තිව්නෙ ‘යුනික්‘ බැශ්ටි කෑලි තුනේ රේඩිවේකක්. බැශ්ටි බැහිල අඬ අඩුඋනහං ටෝච්චෙකේ තියෙන බැශ්ටි කෑලි තුන ඒකට දාල අලුත් බැශ්ටි තුනක් කඩෙං නයට ගේනව. අපේ ගමේ මිනිස්සු වෙරිටාස් ඇහුවෙ නෑ. ඒ දවස්වල ‘සෙදේසී සේවෙ‘ නැහ්නං ‘වෙළඳ‘ සේවෙ තමයි.
    ඕං හවස හයට විතර ‘පෝත්ති‘ පටං ගන්නව. අපි පොඩි කාලෙ ඊට කලිං වාදනේ යන්නෙ මෙහෙමයි.
    ‘ටංටංට ටංටංට ටංටංට ටංටංට ටකට බිම කටක දොහ්.‘... කියල. අපේ ආත කියන්නෙ ඒ වාදනේ කියන්නෙ “ඇන්නැංට පුළුවංද තුංහවුල පරදන්න“ කියන එකලු.
    පස්සෙ කාලෙ චන්දිරිකා මැතිනි ආවං වාදනේ වෙනස්වුනා.
    “ටන්ට ටන්ට ටන්ට ටටර ටන්ට ටන්ට ටන්ට ටටර ටටර ටටර ටා...ටූ ටට්ට ටට්ට ටහ් ටූ ටහ්“ කියල තමයි ඒ වාදනේ. ඒක ජූ.ඇම්.පී කාරයන්ට කොලොප්පමට “ඇද්ද ඇද්ද ඇද්ද තොපිට“ යන අනුසාරයෙන් නිර්මාණය වුනා කියලයි ගමේ අය කියන්නෙ.
    ඔය මොන නාදෙ දැම්මත් ඒ දවස්වල මං හොයාගත්ත “සමස්ත ඉංදීය ගුවං විදුලිය“ තමයි ටිකක් වැඩිවුන දාට අපේ පියාගේ ‘ෂෝක් බයිට්ටෙක‘.
    එක් රොත්තට චැනල් සේරම ‘ජුරුක්, බුරුක්‘ කියල දෙපැත්තට මාරු වෙද්දි එස් ඩබ්ලිව් චැනල් අල්ලන එකේ අමාරුව කාටත් තේරෙනවනෙ. එහෙව් චැනල් එකක් කුදාර් වෙන්න ගහල ඉන්න අපේ පියානෝ විසින් ටියුන් කෙරෙද්දි මරු. අවසානෙට තද වෙලා “මේ ‘හු‘යන්න ගිනි තියන බවට දිව්රල පයිං ගහල ඇඳයට්ට විසි කරද්දි බැශ්ටි කෑලි ගේ පුරා රෝල් වෙන අපූරුව....
    ඔය සමස්ත ඉංදිය ගුවං විදුලියෙ නිවේදකයා හුස්ම ගනිද්දි ඒ සද්දෙත් හෝ ගාල ඇහෙනව. මට හිතෙන්නෙ උං මයික්කෙක තොලේ අලෝගෙන ඉන්නෙ.
    “ඔබ මේ සවන් ධෙන්නේ සමස්ත ඉන්ධීය ගුවන් විදුලියටයි ශ්ශ්ශ්ක්.. මම ඉන්දියාවේ නවදිල්ලි නුවර සිට අසුවලා ශ්ශ්ශ්ක්...“
    ඕං ඔහොමයි මට නං ඇහෙන්නෙ.
    සමහර වෙලාවට චැනල් දෙකක් එක උඩ යන එකත් ඒ දිනවල මල් ගස් පිටින් පන්නන සිද්ධියක්. එක චැනල් එකක හවසට පන්සිල් ගනිද්දි තවත් නොසන්ඩාල චැනල් එකක් ඒක වහගෙන සින්දු කියනව. සමහර වෙලාවට මේසෙ උඩිං ඩිංගක් බරට මොනව හරි තිව්වත් එන ගැස්සීම නිසා චැනල් මාරු වෙනවා. ඒ වුනාට මිදුලට බහින්නෙ නැතිව විදිලි කොටනවද කියල බලන්න පුළුවං එකම උපකරණය කෙටි තරංග සහ මධ්ය ම තරංග රේඩියෝවයි.
    බස් ටිකට් එකක් ඉරනව වගේ කෙටි ‘චරස්‘ හඩක් එනව නං ඒ කියන්නේ ඔබට අහල ගං හතකට එහායින් වහිනවා. ඒ හිංද මුවංපැලැස්ස වගේ වැදගත් එකක් ඇහුවට කමක් නෑ
    හැබැයි තෙල් චාච්චියට වතුර වැටුන වගේ පීකරෙං ‘ච්රාඇ....ස් කියල සද්දෙයක් එනව නං දෙයියනේ කියල ඔය මකබාව වහපං නැත්තං ඊළග හෙනේ වදින්නේ තොට.
    ඒ දවස්වල හවසට රේඩිවේක මිදුලෙං තියං හවස 5ට ළමා පිටිය අහන මං ඒකෙ කියන කතන්දර වගේම අලුත් දැනුමත් ඉස්කෝලෙ ගිහිං කියල ගුරුතුමියගෙං ‘හොඳ උනන්දුවක් තියෙන ලමය‘ කියලත් යාළුවන්ගෙං ‘තොගෙ ඔය පණ්ඩිතකං කියෝල හොක්ක තලෝ ගන්නෙපා‘ කියලත් අහගෙන තියෙනවා. අපේ පියානංගෙ නොමද පා පහරට ලක්ව වසර ගනනක් සේවය ලබාදුන් ඒ ‘යුනික්‘ රේඩියෝව සියළු නාලිකා එෆ් එම් බවට පත්වීමත් සමග අල්මාරියේ පහල තට්ටුව, ඇඳ යට, පිළිකන්න ඔස්සේ හෙලපල්ලට අවසන් ගමං ගියා.

    කසියා, කසිප්පු නොහොත් කචල් පැංටා(fanta) ගැනත් Nokia ම බෑ. ඒ වුනාට පස්සෙ කියඤ්ඤං.
    But රයි මහත්තයා (තමුන්නැහැ අපේ ගමේ උන්නනං අපේ ගමේ අය තමුන්නැහැගෙ නම උසුරුවන්නෙ එහෙමයි) ජනප්‍රිය ටයිටල් එකක් දාල විෂය පරිබාහිර එව්ව ලියනවට මාගේ බලවත් විරෝධය. එහෙම කියන්න කියල මේ බොලොක්ගල් වාඩිය බලන අපේ ඔපීසියෙ නගාල දෙන්නෙකුත් කීවා.

    ReplyDelete
    Replies
    1. සුරංගයො, උඹෙ කොමෙන්ටුව රවියගෙ යාං හෑල්ල වගේම රහයි...

      Delete
    2. //ජනප්‍රිය ටයිටල් එකක් දාල විෂය පරිබාහිර එව්ව ලියනවට මාගේ බලවත් විරෝධය. එහෙම කියන්න කියල මේ බොලොක්ගල් වාඩිය බලන අපේ ඔපීසියෙ නගාල දෙන්නෙකුත් කීවා.//

      තමුන්නැහේට කියන්න මහත්තයෝ මේ බ්ලොග් එකේ කතා වස්තුව ටයිටල් එකට වැඩිය ගාව ගන්ට එපා.යන්නේ කොහේද මල්ලේ පොල් කියලා හිතනා තමයි මේක කියවන්ට තියෙන්නේ කියලා ඒ නගලා දෙන්නට තමුන්නැහේ කියන්ට.:D

      Delete
  24. ගෝඹිරා දඩයමේ යන්නෙ හඳුන එක්ක නෙවෙයි යකෝ. හඳුනා ගෝඹිරාගෙ පුතා. ඌ ඉපදෙන්න ඉද්දි තමා ගෝඹිරා ගහකින් වැටිලා මැරුනෙ. ගෝඹිරා දඩයමේ ගියෙ පොරමොලා එක්ක.

    ReplyDelete

මගේ සිතුවිලි ගැන ඔබේ සිතුවිලි

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...