Tuesday, March 20, 2012

109. එක්තරා දඩයක්කාරයකුගේ කතාව...........The Saga of A Hunter.....7



දඩයක්කාරයා නැඟී සිටියේ දීර්ඝ ප්රශ්වාසයෙකින් පෙණහළු හිස් කරගැනීමෙන් අනතුරුවය.ඒ සමඟම මහ දඩයක්කාරයා ද එකම වරක් පමණක් තම පුත්රයාගේ මුහුණ දෙස බැල්මක් හෙලා, සෙමෙන් හිස පහතට හැරවූයේ, පොළව දෙස කඳුළු පිරි දෙනෙතින් බලා සිටියේය. මව වෙත යාමට ප්රථමයෙන් පියා වෙත ළඟාවූ දඩයක්කාරයා, ඔහුගේ ගෙල වැළඳ දසරුව මත තම හිස රුවා ගත්තේ, පපුව අභ්යන්තරයෙන්ම නැඟ ආ ඉකි බිඳුමක් වළක්වා ගනිමිනි.

පියාණන්ගෙන් මිදුණු දඩයක්කාරයා බිමටම බරවු නෙතු යුගලින් නිකුත් සීතල වූ කඳුළු බිඳු දෙකොපුල තෙමාලමින් ගිලිහෙද්දී ඒ පිසදැමීමෙහිලා කිසිදු වෑයමකුදු නොගෙන, කෙටි පියවර තබමින් තම මෑණියන් ; සත්ය වශයෙන්ම ඒ වු කලී මෑණියන්ගේ දේහයයි; වෙත ළඟා විය. සුපුරුදු ඉරියව්වෙන් මෑණියන් අසල ඇණ තබාගත් හෙතෙම, බොහෝ වෙලාවක් මෑණියන්ගේ වත දෙස එක එල්ලේ බලා සිටියේය. මීට හෝරාවකට හෝ දෙකකට පෙර දැඩි වේදනාවෙන් පීඩිත වූ ඇගේ වත සියළු වේදනාවන්ගෙන් විනිර්මුක්ත වී ඇති බව සැකයකින් තොරව තහවුරු කරනු වස් දෝ ශාන්ත වූ හස රැල්ලකින් එළිය වී තිබෙනු දුටු පුත්රයාගේ සිතෙහි දැඩි සංවේගය හා මිශ්රව නැඟී සිටියේ එක්තරා අන්දමක සැනසීමක් වන් හැඟීම් මාත්රයකි.

එක්වරම සිතෙහි හටගත් ක්ෂණික පෙලඹවීමකට ඉඩ දුන් හෙතෙම, ඇණ තබාගත් වනම ඉදිරියට බර වූයේ මෑණියන්ගේ එතෙකුදු උණුසුම පහව නොගිය නළල් තලය මත තම දෙතොල තබා සෙමින් සිපගත්තේය.කුඩාවෙකු අවදියෙහිදී නිසැකවම එසේ මෑණියන් සිපගන්නට ඇති වුව ද එබවක් ස්මරනයට එක්වරම නඟා ගත නොහැකි වූ බැවින් මේ ඔහු මෑණියන් සිපගත් පලමු සහ අවසාන අවස්ථාව යනුවෙන් හැඳින්වීම කිසිසේත් අසත්යයක් නම් නොවේමය.

පිය පුතු දෙදෙනම මෙසේ ප්රාණය නිරුද්ධ තම බිරිඳගේ සහ තම මෑණියන්ගේ දේහය දෙපස ඇණ තබාගත්වනම නිසොල්මන් වූවෝ, ඇගේ ශාන්ත වූ වත දෙස අනිමිසලෝචනයෙන් බලාගත්වනම බොහෝ වේලාවක් ගත කළෝය.

ඉක්බිති එක් වරම ඉද්ද ගැසූ සේ නැඟී සිටි මහ දඩයක්කාරයා ගෙපැල පසෙක අඳුරු මුල්ලක වූ ඔවුන් සතු වූ එක ගෘහ භාණ්ඩය වූ පැරණි පෙට්ටගම විවෘත කොට ඉන් හොඳින් නවා පොත් කොට තිබූ සුදු පැහැ පිරිසිදු රෙදි කඩක් අතට ගත්තේය. ඒ මීට පුරා සඳ දෙකකට පමණ පෙරාතුව මුහුදුකරයේ සිට හුවමාරුවට ඇවැසි භාණ්ඩ පොදි කිහිපයක් පිට දෙපසට එල්ලෙනසේ තරව ගැටගැසූ සවිමත් මහිෂයින් සිව් දෙනෙකුගෙන් සැදි තවලමක් ද දක්කාගෙන වාළිඹේ ගල වටා දිවෙන අඩි පාර ඔස්සේ පැමිණි යෝනක වෙළෙඳා ගෙන් ලබාගත්තක් බව දඩයක්කාරයාට එක්වරම සිහියට නැඟිණි.

දීර්ඝ කාලීනව භාවිතයට සුදුසු අඳුරු වන් දළ රෙදි විනා සුදු පැහැ රෙදි මහ දඩයක්කාරයා කිසිදිනෙක යෝනකයාගෙන් නොගන්නා හෙයින් ඉතා අහඹුවෙකින් කොහේදෝ ඉබාගාතේ යන අතර එතැනට පැමිණි දඩයක්කාරයා පියා අත තිබූ සුදු රෙදි කඩ දුටුවෙන් සාතිශය විෂ්මයට පත්විය. එසැණින් හිස ඔසොවා පියාණන්ගේ මුහුණ බැලූ ඔහු දුටුයේ අත රැඳි සුදු පැහැ රෙදිකඩ දෙස අවිනිශ්චිත වු ද කිසිදු හැඟීමකින් තොර වූ ද හිස් බැල්මකින් බලා සිටිනා මහ දඩයක්කාරයාගේ දිලිසෙන දෑසයි.පෙර කිසිම දිනෙක නොවූ වීරූ අයුරු අනපේක්ෂිතව සුදු රෙදි කඩක් වෙළෙඳාගෙන් ලබාගන්නට පියාණන් හට සිත්වූයේ මක් නිසාද යන්න එදින ද තම සිතෙහි වද දුන් පැණයක් වූ අයුරු දඩයක්කාරයාට මේ මොහොතේ ක්ෂණිකව ආවර්ජනය විය.

එහෙත් ඒ මොහොතේ සිතට වදදුන් ඒ ගැටළුව කල් ගතවන්නා හා සමඟම සිතින් ගිලිහී ගියද මේ අවස්ථාවෙහිදී ඒ නැවත පණ ලබා දඩයක්කාරයාගේ සිතට වද දෙන්නට වූයේය.

එහෙත් ඒ පිළිබඳව වැඩිදුරටත් සිත මෙහෙයවන්නට ඔහුට ඉඩ හසර නොලැබුනේ, එයට සහස් ගුණයකින් සිත විශ්මයට පත් කරවන සිදුවීමක් එකෙණෙහිම ඒ ගෙපැල අභ්යන්තරයේදීම සිදු වූ බැවිනි.බොහෝ කලකට ප්රථම සිදුවූවක් වුවද එදා ඒ ගෙපැල තුල වූ සිද්ධිය අද ද දඩයක්කාරයාගේ මනසේ චිත්රණය වී ඇත්තේ කිසිදාක නොමැකෙන පරිදිය. සත්ය වශයෙන්ම එයින් පසු දඩයක්කාරයාගේ ජීවිතයේ ඊට සහස් ගුණයෙකින් වැදගත් එමෙන්ම විශ්මය ජනක වූ සිදුවීම් නොගිණිය හැකි වූ පමණ සංඛ්යාවෙක් සිදුවී ඇතිය යන්නද පරම වූ සත්යයයෙකි. එහෙත් මේ සිදුවීම මෙසේ මනසේ ඇඳී පැවතීමට තුඩු දුන් හේතු කාරණා කුමක්ද යන්න ඔහු නොදැන සිටියා පමණක් නොව ඒ පිළිබඳව විමසීමට ඔහු කිසිසේත්ම උනන්දු වූයේ ද නැත.

දඩයක්කාරයා මවගේ දේහය අසල සිටගෙන සිටියේය.පියාණන් පෙට්ටගම විවෘත කොට අතට ගත් සුදුරෙදිකඩ ද රැගෙන පැමිණෙන දෙස බලා සිටිමින්ම ඔහු කල්පනා කලේ මීට පුරා සඳ දෙකකට ප්රථම මෙවන් සුදු රෙදි කඩක් යෝනකයාගෙන් ලබාගැන්මට තම පියා මෙහෙයවූ කාරණා කුමක්ද යන්නයි.

එසේ සිතමින්ම මවගේ හිස අසල දැල්වෙන පොල්තෙල් පහනේ සිළ දෙස බලා සිටි ඔහුගේ සවනට වන් මේ වදන් මාලාවෙන් ඔහු බොහෝ සේ විශ්මය පත් වූයේය.

'' ඒ ගැන හිත කරදර කරගන්ට උවමනා නෑ. පුතා. මම ඒ ඔක්කොම කියලා දෙන්නම් ''

පළමුව දඩයක්කාරයා විශ්මය පත් කල ගැටළුව වූයේ පියා තම චිත්තාභ්යන්තරයෙහි නැඟ ආ සිතුවිලි දැන සිටියේ කෙසේ ද යන්නයි.ඒ සමඟම සිතට නැඟුනු තවත් හැඟුමක් කරණ කොටගෙන සිත නැවත වරක් විශ්මයට පත්වූයේ ප්රථම ගැටළුව මොහොතකට පළවා හරිමිනි.

පියාගේ එම වදන් ඉතාමත්ව පැහැදිලිව ඇසුණු බව සහතික නමුදු එවදන් ඔහුගේ මුවින් නිකුත් වූවක් නොවන බවද එසේම දඩයක්කාරයාට පැහැදිලි විය.එහෙත් එසේනම් එම වදන් එතරම් පැහැදිලිව තමාට ඇසුණේ කෙසේද? ඒ පිළිබඳව සිත් වෙහෙසවමින් සිටියදී එක් වරම සියල්ල අතැඹුලක් මෙන් ඔහුට පැහැදිලි විය.

මිට පොහොය කිහිපයකට පෙර දිනෙක වූවක් ඔහුගේ මතකයට එක් වරම නැඟිනි. එදින සඳ දීප්තිමත්ව පායා තිබුණු හෙයින් හෙතෙම සුපුරුදු ලෙස ගල්තලාව මතුයෙහි අසුන්ගෙන සිටියේය.එක්වරම පාවී ආ වලාවකට සඳ වැසුණේ ලොව හාත්පසම ඝණ අන්ධකාරයෙකින් වැසී ගියේය.එලෙස සැලකිය යුතු කාල වේලාවක් ගතවූ බව ඔහුගේ මතකයෙහි රැඳී ඇත. අන්ධකාරය පහව නොයන හෙයින් හෙතෙම දෙනෙත ද තදින් පියාගත්තේ සවන තීව්ර ලෙස ක්රියාවේ යොදවමින් අවටින් ඇසෙන සියුම් ශබ්ද වටහාගැනීමේ චිත්ත ක්රියාකාරකමෙක නියැලී සිටියේය.

එක්වරම තම දෙපා අසලම යම් සත්වයෙකු එහා මෙහා සරන හඬක් සවණට පත් වූයෙන් ඔහු දෑස් පියාගත් වනම ඊට හොඳින් සවන් දෙමින් ඒ කුමන සත්වයෙක්දැයි වටහා ගැනීමට උත්සාහ ගනිමින් සිටියේය.ඒ සාර්ථක නොවුනු හෙයින් ඔහු සෙමින් දෑස විවර කලේ ද මෙතෙක් වලාවකට වැසී තිබුනු සඳ මඬල ඉන් මිදුනේ පියා යලි ලොව බබලවන්නට වූයේද එකම මොහොතේය.

වලාවෙන් මිදුනු සඳ රැස් දහරකින් ආලෝකමත්ව තම දෙපා අසලම කුතුහලය පිරුණු කුඩා දිදුලන දෑස් දඩයක්කරයා දෙස යොමුකරගත්වනම සිටියේ මුගටියෙකි.ඒ විගස දඩයක්කාරයාගේ සිතට නැඟුනේ දැඩි සතුටක් ද මුසුවූ අස්වැසිල්ලකට බොහෝ සෙයින් සාම්ය වූ හැඟීමෙකි.ඝන අඳුරෙහි තමා නොදන්නා වූ වටහාගත නොහුණු සිත නොසන්සුන් කල යම් කාරණයක් එක්වරම වළාවෙන් මිදුනු සඳේ ආලෝකය හේතු කොටගෙන සක්සුදක්සේ පැහැදිලි වී ගියේය.

සිත සැකයෙන් සහ දෙගිඩියාවෙන් පිරෙනුයේ යම් කාරණයක් පිළිබඳ ගැටළුවක් මතුවූ විටය.තමනට ඒ කරුණ වටහාගත හැකිද නොහැකිද යන්න කිසිසේත්ම වැදගත් නොවේ. වැදගත් වනුයේ තමා නොදන්නා වූ කාරණය කුමක්දැයි දැනගැනීම පමණක්මය. දඩයක්කාරයා මේ අවස්ථාවෙහි ද එදින ගල් තලාව මත දී අත්විඳි දැඩි සතුටක් හා මුසුවූ අස්වැසිල්ලකට සමාන වූ හැඟීම යලිදු අත්වින්දේය. එනම් තම පියා තමාට කථාකලේ කෙසේද යන්න ඔහු එක් වනම වටහාගත්තේය.සත්ය වශයෙන්ම ඒ කතාකිරීමක් නම් නොවේ.

පියා ඔහුට කතාකලේ සිතුවිලි මාර්ගයෙනි.එසේ නැතහොත් ඔහුගේ සිතට පිවිසීමෙනි.

පියා විසින් එසේ කරනා ලද්දේ කෙළෙසකද යන්න ඔහුට කිසිසේත් වැදගත් නොවීය. සිදුවූයේ කුමක්ද යන්න කිසිදු සැකයෙකින් තොරව වටහාගැනීම ඔහුට ප්රමානවත් වූයේය.එසේ පියාපතක් සේ සැහැල්ලු වූ සිතින් යුතුව දඩයක්කරයා හිස ඔසවා පියා දෙස එක එල්ලේ බැලීය.

මතු සම්බන්ධයි........

49 comments:

  1. මෙන්න කතාව කියවීමේදී මට ඇති උනු ප්‍රශ්න කීපයක්.

    //ඉන් හොඳින් නවා පොත් කොට තිබූ සුදු පැහැ පිරිසිදු රෙදි කඩක් අතට ගත්තේය//
    දඩයක්කාරයාට මෙන් මටද මෙය ප්‍රශ්නයකි.
    //පැරණි පෙට්ටගම//
    //පොල්තෙල් පහනේ සිළ//
    දඩයක්කරුවනුත් අපේ මේ චාරිත්‍ර, වාරිත්‍ර පිලිපදිනවාද? සුදු රෙද්දෙන් එතීම බෞද්ධ ඉතිහාසයේ දකින්ට ලැබෙන්නක්. පහන් පත්තු කිරීමත් එන්ට ඇත්තේ ජීවිතේ අනිත්‍ය බව පෙන්නීමකින් වෙන්ටැති.

    දැන් නම් කතාවේ අමුතුම කුතුහලයක් දකින්ට ලැබෙනවා.
    'මහ දඩයක්කරු විසින් තම භාර්යාව ඝාතනය කරන්ට යෙදුනාද?'
    'උපන් දරුවා හෝ දැරිය කෝ?'
    'ඔහු\ඇය තලගොයින් දෙන්නා විසින් ඩැහැගෙන යනු ලැබුවාද?'
    'මුගටියා, තලගොයින්ගේ ඔත්තු කරුවෙක්ද?'

    බලාපොරොත්තුවෙන්න රසවත්, අද්භූතවත්, ලොමු ඩැහැගන්වන, රස නහර පිනායන,

    'දඩයක්කරුගේ කතාවේ ඊලඟ කොටස........' :D:D:D

    ReplyDelete
    Replies
    1. හයියූ.... ඉඳපං බං ටිකක් ඉවසල...අර කොහෙද මොකක්ද ගහගත්ත වගෙ දඟලන්නෙ නැතුව....කතන්දරේ කියනකං.....හෙහ්,හෙහ්,..:) :) :)

      හප්පච්චියේ, උඹෙ නැටිල්ල දැක්කම මගෙ වියත් බාසා වියාවහාරෙත් අමතක උනා නෙව, ආපහු වහාම යන්ට ඕන විදග්ධ මෝඩ් එකට...

      හ්ම්ම්....ම්ම්...ඔන්න දැන් හරි.....All stations maximum alert, all stations maximum alert, entering the '' Vidagdha '' mode...count down begins...9...8...7...6...5..4..3..2..1... Okay, successfully entered the '' Vidagdha'' mode.....

      //ඉන් හොඳින් නවා පොත් කොට තිබූ සුදු පැහැ පිරිසිදු රෙදි කඩක් අතට ගත්තේය//

      / දඩයක්කාරයාට මෙන් මටද මෙය ප්‍රශ්නයකි./

      දඩයක්කාරයාහට ගැටළුවෙක් වූයේ පියාණන් කිසිදු පූර්වාදර්ශයක් රහිතවමැ, තර්කානුකූල කිසිදු හේතුවකිනුදු තොරවමැ,ශ්වේත වර්ණ වස්ත්‍රයක් යෝනකයාගෙන් ලබාගැනීමට තුඩු දුන් කරුණ කුමක්දැයි වටහාගත නොහැකි වීමයි.

      මා හිතවත් චුල්ල කුමරියනි, ඔබටදැ හටගැනුනේ ඒ ගැටළුවෙම නම් උදෙක් නොබා සිටිනු මැන,දඩයක්කාර තෙමේට මෙන්මැ තොපට ද නුදුරු අනාගහ්තයේදීම ඒ සඳහා පිළිතුරු ලැබෙනු ඇත. මා විශ්වාස කල මැන.

      //පැරණි පෙට්ටගම//

      //පොල්තෙල් පහනේ සිළ//

      / දඩයක්කරුවනුත් අපේ මේ චාරිත්‍ර, වාරිත්‍ර පිලිපදිනවාද? සුදු රෙද්දෙන් එතීම බෞද්ධ ඉතිහාසයේ දකින්ට ලැබෙන්නක්. පහන් පත්තු කිරීමත් එන්ට ඇත්තේ ජීවිතේ අනිත්‍ය බව පෙන්නීමකින් වෙන්ටැති. /

      නැවතද වරක් පවසන්නෙමි, ඉවසනු මැන, ඉවසනු මැන, '' ඉවසන දනා රුපු යුදයට නැති කඟ කොස් ඇති තැනටමයිලු බත් '' යන මහෞෂධ පඬිතුමන් පැවැසූ පිරුළ තොප අසා ඇත්තේ නොවේද?

      / 'මහ දඩයක්කරු විසින් තම භාර්යාව ඝාතනය කරන්ට යෙදුනාද?' /

      අහෝ, පරවීණාවෙනි, තොප මේ දොඩනුයේ කුමන මංගල්‍යයක්ද?...මාගේ ධාර්මික වූ ද එමෙන්මැ තේජෝ බල සම්පන්න වූද මහ දඩයක්කරු ස්වප්නයෙනිකුදු එවන් නොතරම් කමෙක් නොකරන්නේමයැ. ඇය මියගියේ දරු ප්‍රසූතියේදීය.

      / 'උපන් දරුවා හෝ දැරිය කෝ?' /

      දරු ප්‍රසූතියෙහිදී දරුවා ද මියගියේය.

      / 'ඔහු\ඇය තලගොයින් දෙන්නා විසින් ඩැහැගෙන යනු ලැබුවාද?' /

      / 'මුගටියා, තලගොයින්ගේ ඔත්තු කරුවෙක්ද?' /

      තොප ජිහ්වය කපෝලාභ්‍යන්තරයෙහි ගටා කල විචාරීමක් ලෙස හැඟී යයි. :) :) :)

      Delete
  2. අප්පච්චියේ එන්න එන්නම අද්භූත කතාවක් වෙනවනෙ මේක.:D
    අවසානය කොහොම එකක්ද කියා ඊලග කොටස මොන වගේ වෙයිද කියලාවත් හිතා ගන්න බෑ.

    ReplyDelete
    Replies
    1. දඩයක්කාරයාගේ ගෙපැලෙහි ඇති පෞරාණික පෙට්ටගමේ නාමයෙන් දිවුරා කියන්නෙමි නිසූපාවෙනි.....මෙහි කූට ප්‍රාප්තිය කෙසේ වියයුත්තේද පිළිබඳව මා තුලද පැහැදිලි අදහසෙක් නම් නැත්තේමය. ඒ පිළිබඳව නිරතුරු සිතමින් පසුවෙන්නෙමි.

      Delete
  3. කිව්වට මොකෝ දැන් තමයි කතාව ආයේ කියවන්න ගත්තේ . මෙච්චර දවසක් කලේ විද්වත් මණ්ඩලේ කමෙන්ට් වලට හිනා වුනෙක . ඇත්තම කියනවා නම් රවී අය්යේ බ්ලොග්කරුවන් සරල ඕපාදුප කාරයින් ලෙස හංවඩු ගැහෙන සමයෙක පුරන් වූ සාහිත්‍ය කෙතට සිහිල් පැන් පොදක් වත් කලාක් මෙන් වූ මේ ලියවිල්ල කදිමය .
    [මා මේ අරගොල්ල එන්න කලින් මේ ටික කිව්වේ . නැත්නම් හිනාව ඉස්පොල්ලේ ගියහම මොකවත් ලියා ගන්න බැහැ ]

    ReplyDelete
    Replies
    1. හෙහ්.. පුරං වෙච්ච කෙත මුන්දැගෙ සරු බීජ ඔලිං අස්සද්දන නේන්නං අපි අපේ නඟුල් දාල බ්ලොග් කෙත හාල හාල මඩ කරල දෙන්නෙ.

      Delete
    2. @ Bindi,

      ස්තූතියි බින්දියනි,

      ඔබමැ ඔබගේ වියුණුවෙහි වරෙක පැවැසූ පරිදි අත්තුක්කංසනයෙහි ( එකිනෙකාගේ පිට කසාගැනීම ) යෙදෙතැයි එක් වරෙම පෙනී ගියද සත්‍යය පූජනීයය. එසේම අන්‍යයින් කෙසේ සිතූවද මගෙ අවංක හැඟීම මවිසින් පළ කල යුතුමය.

      අවංකවම සහ සත්‍යය එපරිද්දෙන්ම පැවසුවහොත් මසිතෙහි ප්‍රසාදයක් සහ ගෞරවයක් උපදවනා වියුණු රචකයින් ඇත්තේ දෑතෙහි ඇඟිලි සංඛ්‍යාවට ද අඩු වූ ගණනෙකි.

      එයිනුදු ප්‍රමුඛස්ථානයෙක වැජඹෙන ඔබගේ පැසසුම මසිතට මහත් ආහ්ලාදයක් ගෙන දුන්බව ඇත්තෙන්ම සත්‍යයකි.

      නැවත වරක් ස්තූතියි මා සොයුරිය...ස්තූතියි,

      Delete
    3. @ Nawam,

      ඒ බව දැන සිටිමි නවමුවනි සක්සුදක් සේ දැන සිටිමි.

      වියුණු කෙත්හි මවිසින් වපුල බිජුවට ප්‍රරෝහණය වීමට නම් ප්‍රථමයෙන් ඒ මනා කොට සී සා තිබිය යුතුමය.

      එබැවින් ඒ සඳහා තම නොමසුරු ශ්‍රමය ස්වේච්ඡාවෙන්මැ යෙදවූ අම්බරුවන්හට මගේ ගෞරවනීය භක්ති ප්‍රණාමය මෙසේ පුද කර සිටින්නෙමි!!!

      Delete
  4. ඔන්න දැන්නම් කතාව පටන්ගන්නයි යන්නෙ මං හිතන්නෙ. අද හොඳයි වාක්‍ය වල බ්‍රේක් තිබුණා. හිතෙන් කතා කරලා හරි දෙබසක් තිබ්බා මදැයි. මං මේ ඉවසිල්ලක් නැතුව ඉන්නේ සිංහලයෙක් වෙච්ච දඩයක්කාරයා මෙහෙම වනගත ජීවිතයකට එළඹුනේ කොහොමද කියලා දැනගන්න.

    ReplyDelete
    Replies
    1. / ඔන්න දැන්නම් කතාව පටන්ගන්නයි යන්නෙ මං හිතන්නෙ. /

      නැත සිත්තමිය තවමත් අප සිටිනුයේ අතීතාවර්ජනයේය. එහෙත් ඔබ අදහස් කලේ පරිසර වර්ණනාව සහ පසුබිම සැකසීම නිමාවී තථ්‍ය වූ වෘත්තාන්තය ඇරඹෙන සෙයක් පිළිබඳ ව නම් ඔබ නිවැරදිය.

      / අද හොඳයි වාක්‍ය වල බ්‍රේක් තිබුණා. හිතෙන් කතා කරලා හරි දෙබසක් තිබ්බා මදැයි /

      තොප සතුටු වූයේ නම් නැඟනිය ඒ මගේ ද සතුටයි...

      / මං මේ ඉවසිල්ලක් නැතුව ඉන්නේ සිංහලයෙක් වෙච්ච දඩයක්කාරයා මෙහෙම වනගත ජීවිතයකට එළඹුනේ කොහොමද කියලා දැනගන්න. /

      Aah, that's the sixty four thousand dollar question , madam.....heh, heh,

      Well want to make a guess?

      පොඩි උදව්වක් කරන්නත් පුලුවන් හැබැයි.....මොකද කියන්නෙ?.....:) :)

      Delete
    2. /*එහෙත් ඔබ අදහස් කලේ පරිසර වර්ණනාව සහ පසුබිම සැකසීම නිමාවී තථ්‍ය වූ වෘත්තාන්තය ඇරඹෙන සෙයක් පිළිබඳ ව නම්*/

      අන්න ඒ එව්ව එක ගැන තමා මං කීවේ.

      /*පොඩි උදව්වක් කරන්නත් පුලුවන් හැබැයි.....මොකද කියන්නෙ?*/

      එපා එපා. අයියා කතාව මැද්දෙන් පැනලා ඕක කියන්න යන්න එපා. බැරිම උනොත් මං දඩයක්කාරයා නැති වෙලාවක් බලලා හොරෙං ගිහින් ඔය කියාපු පෙට්ටගම අවුස්සලාවත් හොයාගන්නං. අර ටාසන්ට එයාගෙ පොඩි කාලේ තීන්ත ගෑවුනු ඇඟිලි සලකුණු රැඳුනු තාත්තගේ දින පොත හම්බ උනා වගේ ඔය පෙට්ටගම අස්සෙත් මොකක් හරි හෝඩුවාවක් ඇති.

      හූ... හූ.... ඔන්න ආයෙත් වියත් බාසා වියාවහාරෙ අමතක වෙලෝ....

      Delete
    3. / හූ... හූ.... ඔන්න ආයෙත් වියත් බාසා වියාවහාරෙ අමතක වෙලෝ..../

      ජීවිතක්ෂයට පත් වූ ක්‍රීඩාවකි මහරජ ,එකල්හි එක් කෙළෙඹි පුත්‍රයෙක් පැවසුවේල,

      මා නොදැනුවත්වම වියත් ව්‍යාවහාරයෙන් තොප වන් දුහුණන් භාවිතයේ යෙදෙනා ග්‍රාම්‍ය ව්‍යවහාරයට පිවිස ඇති සෙයකි. අහෝ දුකකි, බේදයකි,ලේබකයා මළේය....

      ග්‍රාම්‍ය වහරින් ලියැවුනු වැකිය මෙසේ සංශෝධනය කරමි, සිත්තමියනි,

      ක්ෂුද්‍ර වූ සහයෙක් තොපට ඇවැසි නම් කල හැකිය සිත්තමියනි, අවශ්‍යනම් නොවලහා පවසව.

      Delete
  5. අහෝ ! මා මෙතුවක් දඩයක්කර තෙමේගේ පියා කෙරහි ඇතිකරගත් චිත්ත රූප සියල්ලම වියැකී ගියේ යැ. උදක්ම මා සිතා හුන්නේ ඔහු අවිචාරී මුග්ධ පෙනුමැති මුඩු පුද්ගලයෙකු කියාය. එනමුදු මෙම ඇපිසෝඩයෙහි දක්වන්නට යෙදුනාවූ කරුණු කාරණා මතුයෙහි ඔහු හුදු රුහිරු පිපාසයෙන් පෙළුනා වූ ඝාතකයෙකු නොවන බව පසක් විය. එමෙන්ම නිවසෙහි මෙතුවක් කල් පැවතුනා වූ ගූඪ අඳුරු පුස් ගන්ධය හා වේළුණු සත්වහම් ඝන්ධය කවුළු පියන්පත් හැරපියාලූ විගස හමා ආ සුලං ‍රැල්ලේ ගියා සේ විය.

    ReplyDelete
    Replies
    1. මටත් එහෙම හිතුන [හැබැයි උඹේ භාසාවෙන් නෙමේ සිංහළෙන්]

      Delete
    2. @ Nawam,

      එම්බා නවම, බොහෝසෙයින් වෙහෙස වී දොවාගත්තාවූ ක්ෂීර බඳුනකට මුසු වූ ගොම බිඳැත්තක් මෙන් තොපගේ ඉතාමත්මැ වියත් බසින් කියැවුනු අටුවාවෙහි වූ ''ඇපිසෝඩය'' නම් වදන දුටුවේ මසිත් කම්පා වි ගියේයැ.

      ඇපිසෝඩය යන ඉංගිරිසි වදනට පර්යාය වූ වියත් සිහල වදනක් වේ එනම් කථාංගයයි.

      / අහෝ ! මා මෙතුවක් දඩයක්කර තෙමේගේ පියා කෙරහි ඇතිකරගත් චිත්ත රූප සියල්ලම වියැකී ගියේ යැ./

      එසේමයැ නවමුවෙනි, එසේමයැ, දඩයක්කාරයා හෝ ඔහුගේ පියාණෝ වනාහි හුදු ලේ පිපාසිත වනචාරීහු නොවන්නාහ. ඔවුනගේ පාලනයෙන් තොර කටයුතු කාරණා යෙදුනු ආකාරය අනුව, එසේම ඔබට ඒ ඉරණම හෝ දෛවය අනුව යැයිද පැවසිය හැක, වනගත වීම හැර වෙනත් විකල්පයෙක් නොවුනු මිනිස් කණ්ඩායමකි ඔවුහු.

      Delete
  6. අද කතාව එක පාරින් තේරුණා..බස ලිහිල් වෙලාද නැත්තන් වියත් ඇසුරෙන් අපිත් දිඋනු වෙලාද? :P

    ReplyDelete
    Replies
    1. නැත නැත. ලළනා අයැදුම මතුයෙහි සිංහයා මූසිකයෙකු වී ඇති හෙයිනි. :D

      Delete
    2. අනේ ඉතින් රවී අය්ය වගේ ලලනා ඉල්ලීම් වලට ඇහුම්කන් දෙන උත්තමයෙකුට එහෙමම කියන එපා අප්පා.. ;)

      Delete
    3. එහෙයි එහෙයි සූර්යාභීතකේසරයා මහත් සේ මෘදු ඩෙලිකැට් චිත්තයකින් යුත් වූවෙකි ළළනා විළාපය මතුහෙයෙහි වෙඬරු පිඬක් සේ මෘදුවී දියවී යන චිත්තයකින් යුත්තේය. ගඟුලැල්ලක් මෙන් සිසිල් වූයේ යැ. සියුම් සැතක් මෙන් තියුණු වූයේ යැ. පුෂ්ප මකරන්ද සියොලඟ තවරාගත් බඹරෙකුමෙන් ප්‍රේමණීය යැ. දිවාකල උලා කෑ තණ සන්ධ්‍යාවේ වමාරාකන වෘෂභ රාජයෙකු මෙන් සංසුන් යැ. පොත්ගුල් වාසී මූසිකයෙකු මෙන් ඇසූ පිරූ තැන් ඇත්තේ යැ. එවන් උත්තුංග පුරුෂ රත්නයක් කෙරෙහි බිඳවුම් බස් බිණීම තරම් නොවේ යැයි මටද හැ‍ඟේ. කමනු මැනවි. සිව් සියවරක් !

      Delete
    4. @ මෙකුවි,

      / අනේ ඉතින් රවී අය්ය වගේ ලලනා ඉල්ලීම් වලට ඇහුම්කන් දෙන උත්තමයෙකුට එහෙමම කියන එපා අප්පා.. ;) /

      කේසර සිංහයෙකුව දසත වෙවුල්වමින් රජෙකු සේ දිවිගෙවූ මාහට අවම වශයෙන් මූසිකයකු ලෙස හෝ දිවිගෙවනු වස් ඉඩ සලසනු මැනව , මේ වනාහී ඉතා බැගෑපත් වූ ඉල්ලීමෙකි.

      මීට ස්වල්ප මොහොතකට පෙරැ මා දුරකථනය නාද වීයැ,

      තිරයෙහි දිස් වූයේ ඇගේ නාමයයි. දිවා කළැ ඈ මා අමතනුයේ ඉතා හදිසි කරුණකට පමණක් හෙයින් සිතෙහි චකිතයෙකින්ද යුතුව දුරකථනය ක්‍රියාත්මක කළෙමි.

      '' හලෝ, ඇයි මේ අද හදිස්සියෙම?''

      '' හදිස්සියක් තමා, මට මෙතන රස්සාව කරගෙන ඉන්ට දෙනවද නැද්ද රෙද්දක් ඇඳගෙන? හුහ්.....''

      '' මොකක් ? ...මොනවද අනේ මේ කියන්නෙ?..මොකක්ද මම කලේ? ''

      '' මොකක්ද කලේ?....මම දැන ගත්ත අර බ්ලොග්ද මොකක්ද කියල එකක් අටව ගන්නකොටම....අර මොනවද අර ලලනා ඉල්ලීම් වලට ඇහුම් කන් දෙනවය කියල ඒකෙ කවුද කියල තියෙන්නෙ....''

      '' ආ, මේ ඒ අර මෙකුවිනෙ...ඉතිං මොකක්ද ප්‍රශ්නෙ?....මොකක්ද මේ රෙදි ඇඳගෙන රස්සාව කොරන්ට බැරි කතාව? ''

      '' ස්ටාෆ් එකේ ඔක්කොම අද මට වදේ ගැහුව..ආ ඔයාගෙ හස්බන්ඩ් අන්න වනිතා ඉල්ලීම් ඉටු කරනවලු කිය කිය,...... මොනවද ඔය ඉල්ලීම් හැබෑට? ''

      '' මේ.... මේක මෙහෙම කතා කරන්න බෑ. මම මේ ඔෆිස් එකේ ඉන්නෙ, අනික ටෙලිෆෝන් බිල් නිරපරාදෙ ගෙවන්නෙ මොකටද?....හවස කතාකරමු ස්කයිප් එකෙන්..''

      '' හ්ම්ම්ම්, හරි එහෙම කරමු.......''

      ඈ දුරකථනය විසන්ධි කළාය.

      සවස ස්කයිප් මඟින් කථාකිරීමෙහිදී විදග්ධ බසින් ඈ ඇමතීම මාගේ ශීර්ෂය රැකගැන්මට ඇති එකම මාර්ගයයි.

      Delete
    5. එම්බා නවමුව...තොප මට පැසසුවෙහිද එසේ නොව අවමන් කලෙහිද හරිහැටි නිශ්චය කරගනු නොහැකිව, කීපවරක්මැ රූපවාහිනි තිරයෙහි දිස්වූ මන්ද ධාවන රූ පෙල නැරඹීමෙන් පසුව හෝ කඩුළු රකින්නා විසින් කඩුල්ල බිඳ දැමෙන මොහොතේ පිතිකරුගෙ පිත්තෙහි අග්‍රය සීමා ඉරෙන් පසුපස තිබුණුද එසේ නොව සීමා ඉර මත තිබිණිද යන්න නිවැරදිව තීරණය කළ නොහැකිව එකෙල මෙකෙල වන තෙවන විනිසුරුවකු මෙන් උකටලීවැ හිඳින්නෙමි.

      Delete
    6. අනේ මට හරියටම කියනවද මූසිකයා කියන්නේ මොකාද කියලා.. මන් හිතන් හිටියේ නරිය කියලා ඒක හරිද?

      Delete
    7. @ mekuvi,

      මෙකුවියනි, මූසිකයා යනු මීයාය......

      Music යන ඉංගිරිසි වදනෙහි මූලාරම්භය වන්නේද මූසික යන වදනමැයි. මූසිකයින් එක්වැ රාත්‍රි යාමයෙහි නඟන කන්කළු නද අනුවය සංගීතය හැඳින්වෙන ඒ වදන නිපදවෙනුයේ.

      ප.ලි. - ඉහත Music වදනෙහි මූලාරම්භය පිළිබඳ මා කල සඳහන හුදෙක් ජිහ්ව කපෝලාභ්‍යන්තරයෙහි ගටා කල සඳහනක් බව උදක් සැලකුව මනායැ. :) :)

      Delete
    8. අහෝ .. ! ඔබ මෙලෙස නිර්ධයාන්දමින් මාගේ චිත්තය මඬින්නේ කුමන නම් හේතුවක් අරභයා දැයි සිතාගත නොහී කම්පිත වී සිටිමි. මා කෙසේ නම් මාගේ දෙ‍ටු බෑයෙකුවන් තොප කෙරෙහි අවමන් බස් තෙපලන්නද ?. එසේ නොසිතුව මනාය. මා මාගේ චිත්තභ්‍යන්තරෙයේ පැන නැඟි පරම පරිත්‍ර අතිශය නිර්මල වදනින් පැසසුමක් කලා පමණි.

      මාහේ බස් කෙරෙහි සැක උපදවාගත් තොප කෙරෙහි මාගේ සිත් බිඳී යයි. ඉහි ඉහී.....

      Delete
    9. @ nawam,

      අහෝ මලඬ, තොප දෑසින් නික්මෙනා කඳුළු බිඳුවෝ මා සිත් නම් විල තල මතැ සුපිපි රත් අරවින්ද කුසුම් ගොමුවෙහි මකරන්දයන් උරාබීමට ගුමු නද නංවාලමින් ඇදෙනා බිඟු කැලක රොන් බී මත්වැ රඟමින්.......( කෙලිය නේද තාප්පෙටම....ලියාගෙන ලියාහෙන ගියා බඩ බුරුල්වෙලා යනව වගේ...මේ මොකක්ද මේ ලියන්නෙ?..මුල මතකත් නෑ....හපොයි වියත් බස් වහරත් අමතක උනා නෙවද?...:( :( ...හරි ....ප්‍රාකාරයටම කෙලපියා වැදෑරූ සේක, උදරය ලිහිල් වූ කලෙක මෙන් නොකඩවා රචනා කොටගෙන ගියෙමි.මා ලියන්නේ කුමක්දැයි ඇරඹුම කොතැනදැයි මටම අමතක වූ සෙයකි.)

      අහෝ මලඬ, තොප දෑසින් නික්මෙනා කඳුළු බිඳුවෝ මා සිත් නම් විල තල මතැ ඒ කළඹවාලමින් හමා ඇදෙනා චණ්ඩ වූ සුළඟෙක් මෙන් මා පෙළන්නෝය. අහෝ නාඬනු මැන.තොප සිත් රිද්වීමෙහි කිසිදු අභිප්‍රායෙක් මසිත් නොවීය. හුදෙක් එහි පැනනැඟි කුකුසෙක් පැවසූවා පමණි. වෙසෙසින්මැ ඔබ මා උපමාකිරීමෙහිලා යොදාගත් සත්වයා...එනම් වෘෂභයකු ගැන කල්පනා කරන කල්හි.....වන්නාටය..තොප එසේ අදහස් නොකල බව එකහෙලා පවසන සේක් නම් මම ඒ නොවලහා පිළිගනිමි. ඒ සිද්ධිය පරිගණකයෙහි අනවශ්‍ය වූ යමෙක් ඩිලිට යතුර තද කොටැ මකා දමන්නේ යම්සේද එළෙස මතකයෙන් ඉවත් කර දමන්නෙමි. තොප ද ඒ අනුගමනය කරන්නේ යැයි උදක්මැ බලා පොරොත්තුදැ වෙන්නෙමි.

      Delete
    10. /*ඒ සිද්ධිය පරිගණකයෙහි අනවශ්‍ය වූ යමෙක් ඩිලිට යතුර තද කොටැ මකා දමන්නේ යම්සේද එළෙස මතකයෙන් ඉවත් කර දමන්නෙමි.*/

      ආ ඒ කියන්නෙ රිසයිකල් බින් එකේ තියාගන්නයි හදන්නෙ, දැනට අමතක කොළාට ආයෙ ඕන උනොත් පස්සෙ ගන්න බලාගෙන. ඔන්න නවම් අයියෙ බලාගෙන හොඳද.

      Delete
    11. @ Sithhami,

      වළාමයෙකි!, මේ ඉතිරින් වනාහී විශ්මිත වූ සත්ත්ව කොට්ඨාශයක්මැ.එක් හුදු වදනක් තරවැ ග්‍රහණය කොට ගෙනැ ස්වප්නයෙනුමුදු මසිත පහල නොවූ අදහසෙක් උපකල්පනය කොට ගනු පමණෙක්මැ නොව ඒ කිසිදු චකිතයකින් තොරව පවසාලනු ද කිසිදු බියක් සැකෙක් අංශු මාත්‍රයෙකිනිදු නොමැතිවමය.

      එසේම මෙපවත් අසව, සිත්තමියනි, අප තොප මෙන් පරිගණක විශයයෙහි කෙල පැමිනියෝ නොවම්හ.රැකියාවට අවශ්‍ය පමණ පමනක්මැ දැනුවත් වූයෙමි.

      බොහෝවිට වියුණු සටහනෙක් උඩුගත කරනුයේ ද මහත් ආයාසයෙනි. දින කිහිපයෙක් නව සටහනක් වියුණුවෙහි පළනොවිනි නම් ඒ බොහෝවිට නව සටහනක් නොලියැවුණු නිසා නොව ලියූ සටහන උඩුගත කිරීමෙහි ලා අසමත්වැ ශෛල තලාවෙහි සිරුරු කිසෙහි යෙදුනු බිළාල පෝතකයකු මෙන් රවියාභිධාන ඒ කෙලෙඹි පුත් තෙමේ විපිළිසරවැ පසුවන හෙයිනැයි උදක්ම දත යුත්තේමැයි. :( :(

      එසේම තවද පැවසිය යුත්තෙක් ඇත. අප අධ්‍යාපනය ලබනා සමයේහි කුවිතාන්සි ද්වාරයෝ නම් එතුමෝද හැඳි වතෙහි සුළුදිය පහකරගන්නා කුඩාවෙකි..හෙහ්, හෙහ්...

      Delete
    12. ජිව්හයෙන් ජිව්හය ගඨා සිටියද බලනුව මේ පුරුෂ තෙමේ ගේ වසුරු චිත්තය. මත්තෙහි සුදුසු කල් බලා මඳ ඉඹුවක් ලද ඇසිල්ලකින් තැලෙමට මුගුරු කසලබක්කියේ සඟවා එසේ නොම යැයි හැ‍ඟෙනා පරිදි චා‍ටු වදන් තෙපලනා අපූරුව.

      ඉතා වැදගති : පුරුෂයන් දෙදෙනෙකු එකිනෙකා කෙරෙහි බිඳවීමට සමත් අන් අයෙක් වෙද ස්තී රත්නයක්මැ හැර.

      Delete
    13. //කුවිතාන්සි ද්වාරයෝ// මේ කිනම් විකාර රූපී අද්භූත සත්වකුදැයි මසිත කුකුසක් පවතී

      Delete
    14. @ නවම්.

      / ඉතා වැදගති : පුරුෂයන් දෙදෙනෙකු එකිනෙකා කෙරෙහි බිඳවීමට සමත් අන් අයෙක් වෙද ස්තී රත්නයක්මැ හැර. /

      එසේමයි මළඬ, ඒ පිළිබඳව මසිතටද නැඟෙනුයේ ද තොප ඒ පැවසූ පසුවය.

      පෙනේද?....බොහෝ අහිංසක, ද්විත්වයකට පවා ගණනය කල නොහැකි සේ ඇඟවෙන පරිදි හැසිරෙන සිත්තමියගේ සැබෑ ස්වරූපය....;(

      Delete
    15. @ නවම්.

      //කුවිතාන්සි ද්වාරයෝ// මේ කිනම් විකාර රූපී අද්භූත සත්වකුදැයි මසිත කුකුසක් පවතී

      අහෝ නවමුව, කුකුස් දුරු කොටැ ගනුව...කුවිතාන්සි ද්වාරයෝ නම් අප හිතැති අති ගෞරවාර්හ Bill Gates මහතාණන් විනා අන් කවරෙක්ද?

      Delete
    16. @ සිත්තමි,

      වියත් පඬිවරුන් දෙදෙනෙකු එකිනෙකා හා බිඳුවීම හෝ එසේ බිඳුවීමට තැත් කිරීම පංචානන්තර්ය පාපකර්මයන්හි සයවැන්න බව තොප නොදන්නෙහිද?

      වහා පසඟ පිහිටුවා වැඳ වැටී තෙල නවමාභිධාන බස්නාහිර පළාත් වාසී සියළු වියතුන්ගේ සිළුමිණි වූ ඒ වියතාණන් ගෙන්ද මැද පෙරදිග නිරුදක කතර වාසී පෙරාපර දෙදිග සියළු පඬිවරුන්ට අධිපති වූ රවියාභිධාන ඒ වියතාණන් ගෙන් ද සමාව අයැද සිටිනු යෙහෙකි.

      Delete
    17. අයියණ්ඩිලා දෙන්නම සමා වෙන්න ඕනේ, වෙනදනම් මේ වගේ වලියක් මං ලේසියෙන් අත අරින්නෙ නෑ කියලා දන්නවනේ. ඒත් මේ දවස් ටිකේනම් මට වලි දාන්නවත්, විහිළු කරන්නවත් විදිහක් නෑ. ඒ නිසා ඔන්න රවි අයියා කිව්ව විදිහට මං පරාජය බාර අරගෙන දෙන්නගෙන්ම සමාව ගන්නවා.

      Delete
    18. අහෝ, සොයුරිය, සිත්තමිය,

      තොප වදන් මසිත් සොවින් පුරවාලයි. ඒ කෙසේද යත් මෝසම් වැසි ලැබ පැළ ගොයමින් සුසැදි කෙත් බිමක් ජලයෙන් පිරී යන්නා සේමය.

      වහා පවසව, තොපගේ සිත් තැවුල්ගෙනදෙන කරුණ හෝ කාරණා...නවමයෝ ද වනාහී ඉතා හිතැති නිර්භීත පුරුෂ රත්නයෙක.

      ඔහු හා සමඟ වහා පැමිණැ තොප සිත් තැවුල්ගෙන දුන්නහු කවරකු හෝ වේවා ගල ග්‍රහයෙන් ගෙන පරසක්වල ගසන්නෙම්හ. මා දයාබර මෑණියන් නාමයෙන් සපථ කරන්නෙමි. දනුව....

      Delete
  7. දැන් තාත්තයි පුතයි ටෙලිපතියෙන් සාකච්චාව එහෙනං

    ReplyDelete
    Replies
    1. ටෙලි මොකෙන් ?

      Delete
    2. @ නවම්,

      ටෙලිපති බොල ටෙලිපති,.......ටෙලිපති කියන්නෙ බාං රූපවාහිනියෙ ලොක්කා. ......පොලිස් පති, තැපැල්පති, එතනිං ගිහාම් හෝමියෝපති,ඇලෝපති ඔය ඔක්කොම එක වල්ලෙ පොල් තමයි...හෙහ්, හෙහ්,

      Delete
  8. උඹ කැලේ ඉදල තියෙනවද බං..

    බලං හිටිය වගේ සජීවි.. !

    ReplyDelete
    Replies
    1. ඝන වනයක නොවතුදු කැළයක් යැයි සැලකිය හැකි ප්‍රදේශයක දින තුනක පමණ කාලයක් ගත කල අත්දැකීමක් පමණෙකි...මා හිතවත් සාමයනි...ස්තූතියි...

      Delete
  9. අහා! පරචිත්ත විජානනය ප්‍රාගුණ්‍ය කලාවූ දඩයක්කාර තෙමේ හුදු දඩයක්කාරයෙක් නොවිය හැක්කක්මය.මා විසින් සංජානනය කළ අන්දමට මේ නම් සොලොස් අවුරුද්දකට පෙර බවුන් වැඩීම පිණිසා මා තොටින් නික්මැ ගිය තව්ස් තොමේ කෙනෙක්මයැ.දූර්භික්ෂ සමයෙන් ගැලවුනු නොහී සා පිපාසා සන්සිදුවාගැනීම උදෙක්මැ මාංශ භක්ෂනයෙහි යෙදුනෙකි.

    හෙක්යැ හෙක්යැ.(එකලිහි හුන් සිතුවම් නම් ලද්දාවූ චෞර තෙමේ විසින් රවී කෙළෙඹියාණන්ගේ ජුගුප්සාජනක මන්දහාසය පැහැර ගැන්මකට ලක්වූයේ මෙලෙසයැ.)

    ReplyDelete
    Replies
    1. අහා, ආහ්ලාදජනකයි, උත්කෘෂ්ඨයි, අති විශිෂ්ඨයි, පරම රමණීයයි, ( මෙහි රමණීය යනුවෙන් යෙදෙනුයේ ඒ එක් වරම ඔබ සිතට නැඟි ඒ රමණීය නොව අනෙක් රමණීය සළකා බැව් කරුණාවෙන් සැළකුව මනායැ )සිතුවම, මා සොයුර, තොප ද වියතෙකු බවට රූපාන්තරණය වීම මසිත මහත් වූ ප්‍රගර්ෂයෙන් පුරවා ලන්නේය.

      සිහල වියුණු සියල්ලැ මෙලෙස වියත් වහරින් ලියැවෙන දින එතරම්මැ දුරෙක නොවන බවට මේ තිර වූ සාක්ෂියෙකි. එදින තෙක් අංගුලිකාවක් ගණිමින් සිටින්නෙමි.ඉන්පසු මා මියගියද ඒ සැපෙකි.

      ක්ෂුද්‍ර වූ නිවැරැදි කිරීමෙක් කරනු වස් මට ඉඩ දෙන මෙන් ඉල්ලා සිටිමි, මළඬ,

       / තව්ස් තොමේ කෙනෙක්මයැ./

      මෙහි තවුස් තොමේ නොව තවුස් තෙමේ විය යුතුයැ.

      / හෙක්යැ හෙක්යැ. /

      මාගේ වියත් සිනහව හෙක්යැ හෙක්යැ නොව හෙහ්යැ හෙහ්යැ විය යුතුය

      / රවී කෙළෙඹියාණන්ගේ ජුගුප්සාජනක මන්දහාසය /

      අහෝ තොප මට මේ කරන්නෙ නම් බලවත් වූ අපහාසයෙක්මයැ...එතෙකුදු වුව නොදැනුම් කමඉන් සිදු වූවක් සේ සලකා තොපට සමාධිය භජනය කරන්නෙමි.
      ඒ මෙසේ සංශෝධනය විය යුත්තේය.

      රවී කෙළෙඹියාණන්ගේ මන මෝහනීය මන්ද හාසය....

      ඔබට ස්තූතියි සිතුවමිනි, ඔබට ස්තූතියි...

      Delete
  10. එසේයැ එසේයැ තවුස් තෙමේ කෙනෙක් ලෙස එය නිවැරදි විය යුතුමයැ.

    අහෝ මා විසින් පැහැරගැන්මකට ලක්වී ඇත්තේ මා ප්‍රිය සොයුර රවී කෙළෙඹියානන්ගේ ඒ මන මෝහනීය නන්දනීය රංජනීය(කව්ද රංජනී කියන්නෙ??)මදහාසයනම් නොවන්නේය.මෙය හුදු මාගේම චිත්ත සන්තානයේ පහල වූ මුග්ධ මන්දහාසයක්ම වන්නේය.මේනම් සකල ලෝක වාසී ජනයාට චෞරකමේ ආදීනව පෙන්වාදීමට හොඳ උපහැරණයක්ම වන්නේය.ඒ කෙසේද යත් චෞරකම නිසා මා දැන් ගිරි ශීර්ෂ මස්තකයක පහරණ ලද බිළාලයෙකු මෙන් ලැජු බියට පත්වීම හේතු කරණ කොටගෙනයැ.

    ReplyDelete
  11. බූරාභිධාන කෙළෙඹි පුත්‍රයාගේ පමාවට කාරණා කිමැ, හෙතෙම නොමැති සංවාදමණ්ඩප ඉහඳ පණුවන් නොමැති ජාඩි මුට්ටිය මෙන් අසම්පූර්ණ යැ.

    ReplyDelete
    Replies
    1. ඉතාමත්මැ විශ්වාස කට යුතු මඟෙකින් දැනුවත් විමි මලඬ, බූරාබිදාන තෙමේ මේ දින කිහිපය රාජකාරියෙන් මඳ ඉසුඹුවෙක් ගෙනැ වියත් වහර පිළිබඳ හදාරනු වස් පෞරාණික පුස්තකයෝ සොයමින් කෞතුකාගාරයන්හි සරන්නේය.

      මෙ දැනට ඔහු විසින් රැස්කොටගෙන ඇති වියත් ග්‍රන්ථ සමූහයේ නාමාවලියයි.

      1. එළු අත්තනගළු වංශය.
      2. සද්ධර්ම ප්‍රදීපිකාව
      3. දම්පියා අටුවා ගැටපදය.
      4. නාමාෂ්ඨ ශතකය
      5. වාත්ස්‍යායනයන්ගේ කාම සූත්‍රය
      6. ස්ත්‍රී චිකිත්සාවලිය
      7. සිතියම් සහිත ස්ත්‍රී නිල ශාස්ත්‍රය

      Delete
    2. ක්ෂමාව භජනය කරන මෙන් උදක්ම ඉල්ලා සිටිමි මා හිතවත් බස්නාහිර පළාත් වැසි නවමාභිධානයෙනි, මජ්ජ පූර්ව දිශාවේ වැසි සූර්‍යවංශික රවියාභිධානයෙනි, පමාවට හේතුභූත වුයේ අනිකක් නොවැ උදක්ම දහසකුත් එකක් රාජකාරි කටයුතු මධ්‍යයේ සිරවීමට සිදුවූ බැවිනි.. නිමුන් මිට අතින් ගෙන සීසා බඩවියත රැකගන්නා මා වැනි පුගුළෙකුට රාජකාරිය මගඇර සිටීම කොහෙත්ම කල හැක්කක් නොවන බැව් ඔබ දෙපල තේරුම් ගනිතැයි උදක්ම බලාපොරොත්තු වන්නෙමි..

      පලි: සමාවන්න රවියාභිධානයෙනි, ඔබ විසින් ඉහත දක්වන්නට යෙදුනු පුස්ථකයන් මවිසින් පරිහරණය කරන්නට යෙදුනේ ළමා ළපටියෙකු වූ අවධියේ බැව් දන්වනු කැමැත්තෙමි..

      Delete
    3.  / නිමුන් මිට අතින් ගෙන සීසා බඩවියත රැකගන්නා මා වැනි පුගුළෙකුට රාජකාරිය මගඇර සිටීම කොහෙත්ම කල හැක්කක් නොවන බැව් ඔබ දෙපල තේරුම් ගනිතැයි උදක්ම බලාපොරොත්තු වන්නෙමි.. /

      ආහ් මලඬ , මා කළණ මිතු බුහුර,බිරිතනි දෙසෙහි ද කෙත් බිම් ඇති බැව් දැනපියා ගත් කලැ මා චිත්තයෝ බලවත් වූ ආහ්ලාදයෙකින් පිරී ගියෝයැ.

      තොප වන් දෑ හිතැති සත් පුරුෂයෝ වනාහි සත් සමුදුරු තරණය කොටැ එතෙර ගියද තම මූලයන් ස්මරණයෙන් කිසි ලෙසකිනිදු බැහැර නොකරන්නාහ.තොප බිරිතනියෙහිදී ද සී සෑමෙහි යෙදෙතැයි කණ වැකීම පවා මසිත් ප්‍රහර්ෂයෙන් පුරවාලන්නේය.

      තොප වනාහී මුළු මහත් ජාතියේම ගෞරවයට නොමඳව ලක්විය යුත්තාහුය. එබැවින් ජාතික හෙළ උරුමයෙහි බිරිතනියෙහි ප්‍රධාන සංවිධායක ධුරයට තොප ඉතාමත්මැ සුදුසු බව හඟිමි. තොප ඒ සඳහා නාම යෝජනා කරනු කැමැත්තෙමි.

      නාම යෝජනාව රතුඑළියේ අතන ස්වාමීන් වහන්සේ වෙත යවනු පිණිස තොපගේ පූර්ණ විස්තර වහා මාවෙත එවනු මැන....

      ඊට පෙර තොප ඉතා ක්ෂුද්‍ර වූ ඉණකඩෙකින් සැරසී මනා සේ වැඩුණු මහීෂයින් යුවලෙක් බැඳි නඟුල් හිස සුරතින් ග්‍රහණය කොටැ අඬහැර පාමින් සී සෑමෙහි යෙදෙනු ලොව පුරා පතල වුවහොත් ඉතා මැනවි. බීබීසී ප්‍රවෘත්ති වැඩ සටහනින් ඒ ප්‍රචාරය කර ගත හැකි වුවහොත් උදරයෙහි බත්යැ.ඒ පිළිබඳ ව තැතක් දැරුවහොත් ඉතා මැනැවි මළඬ, ඉතා මැනැවි,

      / පලි: සමාවන්න රවියාභිධානයෙනි, ඔබ විසින් ඉහත දක්වන්නට යෙදුනු පුස්ථකයන් මවිසින් පරිහරණය කරන්නට යෙදුනේ ළමා ළපටියෙකු වූ අවධියේ බැව් දන්වනු කැමැත්තෙමි../

      '' Minds of all children are untainted. They are like flowers blooming in the morning. Adults are to be blamed for polluting their minds with filth. ''

      Well, Burah, it seems we have to amend above quote as follows;

      " Minds of all children except young Mr. Burah's are untainted. Young burah is to be blamed for polluting even adult's minds with utter filth"

      Delete
  12. සැබෑමය කෝ මෙයා . අතුරුදන් විද අතුරුදන් කරවිද?

    ReplyDelete
  13. ane me katha tike nam kiyawwe na boru kiyane monateda? man gode kalikin ayyage blog eke comment ekak damme nathi nisa danewa :) mawe mathakay neda :D hope you are doing fine :) take care

    ReplyDelete
    Replies
    1. හපෝයි මොකදෑ මතක නැත්තෙ?....හෙහ්, හෙහ්, ගිලිමර යුවතිය නොහොත් Glimmer Girl නොහොත් Gilmour Girl,

      මේක ප්‍රේම කතාවක් නම් නෙවෙයි, මැඩම්.....හෙහ්, හෙහ්, ඉන්නකො එහෙම එකකුත් ලියන්නම් ළඟදීම....

      Thank You so much for the comment , Glimmer :)

      Delete

මගේ සිතුවිලි ගැන ඔබේ සිතුවිලි

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...