Saturday, March 11, 2017

491. කුරුළුබැද්දේ කතා - 7 - මිගාර සහ සමාගම - මළගෙවල් චාරිකා සංවිධායකයෝ....


Funeral at a church. There are only two mourners in attendance.
A lady whispers to  her husband " He had over 2000 face book
 friends. I was expecting a bigger turnout"

ළමයි මම කම්පනා කලා "කුරුළුබැද්දේ කතා" කියල අලුත්ම කැටගරි එකක් ඕපන් කරන්ට. මගේ ජීවිතේ ඉස්සෙල්ලම රස්සාවක්ය කියල එකක් කරපු කාලෙ ගැන මම ලිව්වෙ "අභයගිරි මතක සටහන්" කියලනෙ. ඊට පස්සෙ මම අර මහ කැළේ මැද කාලයක් තිස්සෙ වැඩ කරල ඊට පස්සෙ පවුල් පන්සල් එහෙම වෙලා හිට එතනිං අස්වුනානෙ. ඒ කාලෙ වෙච්චි කතන්දර මම ලිව්වෙ "විමලෙගෙ වාංපතුල් කතා" යන නමින්. එතනිං අයින් වෙලා මම ඉම්පාර වැඩ කලා කුකුළේ ගඟ ව්‍යාපෘතියෙ. අර ෂුරංග ළමයා (ඔව් ඔව් අර ටිකිරි සඳමාලිගෙ සුවාමියා තමයි) කියන විදිහටනම් පොජෙට්ටෙකේ. ඒකෙදි මට වෙච්චි හෙයියම්මාරු ගැන මම ලිව්ව "කුකුළේ ගඟ මතක" කියල.

ඊටත් පස්සෙ මම අවුරුදු හතරක් තරම වැඩකලා කොළඹට තදාසන්න ඉදිකිරීම් සමාගමක. ඒකෙ හෙඩ් ඔෆිස් එක තිබ්බෙ ඔය නුගේගොඩ - නාවල පාරෙන් හැරිල යන අතුරු පාරක. ඒ හරියට කිව්වෙ කුරුළු බැද්ද කියල. අර අපේ ඔය රන්දිල් ළමෙය එහෙම මට මුණගැහෙන්නෙ ඔන්න ඔහෙදි. ඉතිං මම කල්පනා කලා එහෙදි මට වෙච්චි දේවල් වෙනම කැටගරි එකක් යටතෙ ලිව්වොත් හොඳයි නේද කියල. ඇත්තම කිව්වොත් මීට කලිනුත් මම ඒ කැටගරි එකට අදාලව පෝස්ට් හයක් ලියල තියනව. ඒ මෙන්න මෙව්ව...










ඒ හින්ද මම අද පෝස්ට් එක නම් කරන්නෙ කුරුළු බැද්දේ කතා අංක 7 කියල.

හරි දැන් එහෙනම් කතන්දරේ....

මේ දවස්වල ටෙලි චිත්‍රපටයක් ප්‍රචාරය වෙනව, නම ඇවිල්ල හිට නෙතූ. අර අපේ ජාතියේ පචායුධේ මේ දවස්වල කූඩුවෙ ඉන්නෙ ඥාතී හිතමිත්‍රාදීන්ට රජයේ වියදමින් වාහන බෙදල දුන්නයි කියල. ඒ වාහන ගත්තු ඈයොංගෙ ලිස්ට් එකේ ඉන්නවනෙ ලාල් කුලරත්න කියල ගොබිලෙක්. අන්න ඒ ගොබිලත් ඔය නෙතූ එකේ ප්‍රධාන චරිතයක් කරනව. නෙතූගෙ තාත්තට ඉන්නෙ ඔය ලාල් කාරය. ඔය දිනපතා හෝ සතිපතා හෝ කොටස් වශයෙන් එක එක රූපවාහිනී චැනල්වල යන කතන්දරවලට ටෙලි නාට්‍ය කියන එක අන්තිම වැරදියි.

ඔය වැඩේ වැරැද්දුවෙ ජාතික රූපවාහිනිය. 82 අවුරුද්දෙ මුලින්ම රූපවාහිනිය පටන් ගත්තු අලුත ඔය වගෙ ප්‍රචාරය කරන්ට රූපවාහිනිය වෙනුවෙන්ම නිර්මාණය කල චිත්‍රපට තිබුනෙ නෑ. ඒ පාර බලධරයො කලේ ඒ කාලෙ ජනප්‍රිය වේදිකා නාට්‍ය රූපගත කරල ඉරිද හවස ප්‍රවෘත්තිවලින් පස්සෙ පැය ගානෙ පෙන්නන්ට ගත්ත. කැළණි පාළම, තාරාවෝ ඉගිලෙති, කළුවරේ ජරමරේ සහ පරාස්ස එහෙම පෙන්නපු නාට්‍ය සමහරක්. එව්වට කිව්වෙ ටෙලි නාට්‍ය කියල. ඉතිං ඊට පස්සෙ රූපවාහිනිය වෙනුවෙන්ම චිත්‍රපට නිර්මාණය කරල පෙන්නන්ට ගත්තම එව්වත් හැඳින්වුනෙ ටෙලි නාට්‍ය කියල. ඒ වැරැද්ද එදා ඉඳල තාම කරගෙන එනව.

හරි, හරි, හරි ඒ නම් වැරැද්දිල්ල ගැන දැන් ඔය මදැයි..නේ? ආපහු එමු කියාගෙන ආපු කතාවට.....ඉතිං ඔය නෙතූ ටෙලි චිත්‍රපටයෙ මේ ගිය සුමානෙ විතර ප්‍රචාරය වුනු කොටසක තිබ්බ ඔෆිස් එකක (ඔෆිස් එකක කිව්වට කතාවෙ හැටියට නම් නගර සභාවක. මට හිතෙන්නෙ කෝට්ටෙ නගර සභාවෙ වෙන්න ඕන ඔය ටෙලි ෆිල්ම් එකේ ඔෆිස් එකේ සීන්ස් ටික රූගත කරල තියෙන්නෙ) කට්ටිය කතාවෙනව මළගෙදරක යන සීන් එකක් ගැන. ඔෆිස් එකේ එකට වැඩකරන යාලුවෙකුගෙ ආච්චි නැතිවෙලා. මළගෙදර තියෙන්නෙ මාතලේ. කට්ටිය ඒ ගැන කතාවෙන්නෙ හරියට ආතල් ට්‍රිප් එකක් යන්ට චාන්ස් එකක් හම්බවුනු විදිහට. මූණෙං එකයි හිනාව...හෙහ්,හෙහ්, 

මට ඒ සීන් එක දකිද්දි එසැණින් මතක් වුනේ මගේ සොඳුරු අතීතය. එදවස අපි අර මහ වන මධ්‍යයෙහි සේවය කරන සමයේහි අප සමඟ සේවය කරනා හිතවතකුගේ, සහෝදර සේවකයකුගේ හෝ සේවිකාවකගේ ඥාතියකුගේ මරණයක් යනු මුඛයන් කර්ණයන් දක්වා ඇදීයන අන්දමේ සාතිශය ප්‍රීතිජනක ආතල්සහගත අවස්ථාවක්ම වේයැ.

ඒ කාලෙ අපි මඟුල්ගෙවල් වලට වැඩිය මළගෙවල් වල යන්ටයි මනාප. ඒකට හේතුව ඇවිල්ල මඟුල් ගෙවල්වල යන එක මහම වදයක්නෙ. ටයි පොලු හිරකරගෙන සපත්තු එහෙම මැදගෙන අත්දිගට දාල බැනියං ඇඳගෙන....අයියෝ මහම කරදරයක්. අනික මඟදි බොන්නත් බෑ. බිව්වත් ගාණකට. අපේ එකාගෙ හරි එකීගෙ හරි රැස්පොට් එක තියන්ටත් එපාය. මොකෝ එකාට එකා වාරුවෙලා පෝරුව ඉස්සරහ වැනි වැනි හිටගෙන හිටියැහැක... නැද්ද? අනික ඔය අපේ කෑම්ප් වල හිටිය අපි පයිසෙකට ගණං ගන්නෙ නැති එවුං උංගෙ ගම් වල හෙන වංසක්කාරයො. හාමුල... අප්පොල...මිනිස්සු උන්ට කතාකරන්නෙ දෙයියො කියල. මූණට මුලිච්චි උනහම ඈතදිම පාරෙං අයිං වෙනව.

හරි හරි එහෙම අපි ගිය මඟුල් සහ මළගෙවල් සම්බන්ද සෝක් කතා කීපයක්ම තියනව. ඒත් පොඩි පරහකට තියෙන්නෙ එව්ව එන්නෙ විමලෙගෙ වාංපතුල් කතා ගණයට. ඒ හින්ද එව්ව අද කියන්ට හැටියක් නම් නැත. තරහ වෙන්ට එහෙම එපල්ල.

අර ටෙලි චිත්‍රපට වල අද කොටස ඉවර උනාම හෙට කියල හෙටට ප්‍රචාරය වීමට නියමිත කොටසිං ජවනිකා දෙක තුනක් දානව වගෙ ඔන්නම් පොඩි කමිං කෑලි දෙක තුනක් විතරක් දාන්නංකො.. මේ මල ගෙදරක සීන් එකක්...හොඳද?...

"මේ මචං අපි  දැං කොහොමද බොන්ඩ මොකවත් හොයාගන්නෙ?"

"බොන්ඩ කිව්වෙ අරක්කුද?"

"නැතුව ආය උඹ හිතුවෙ තැඹිලි කියලද?.."

"අනේ මචං කියන තැනකට වඳින්නං බොන්ඩ නං ලෑස්ති වෙන්ඩ එපා මෙතන.."

"ඈ ඒක මාර කෙළියක්නෙ ඒ මොකද එහෙම කියන්නෙ?"

"එහෙම කියන්නෙ අපෙ අප්පච්චි අරක්කු බිංදුවක් කටේ තියපු කෙනෙක් නෙවෙයි.."

"හරි බං ඒ උඹලගෙ අප්පච්චිනෙ. ඒ අප්පච්චිගෙ මළගෙදරනෙ අපි දැං මේ ඇවිල්ල ඉන්නෙ. අනික අප්පච්චි අරක්කු නොබිව්වට උඹ බොනවනෙ.. ඒ හින්ද අපිට ඔය බෝතල් තුන හතරක් ගෙනල්ල තැනකුත් ලැහැත්ති කරල දීපං.."

"කොහෙද?... මෙහෙ? "

"මෙහෙ නැතුව ආය?"

සෙස්ස පස්සට ....to be continued…..

හරි දැන් එහෙනං දෙයියනේ කියල එමු කුරුළුබැද්දේ කතාවට. ඔන්න එක සතියෙ මැද දවසක මම මගෙ කාමරේ වැඩ. මම කලින් දවසක මේ විස්තරේ නම් කිව්ව. ඒත් යලි සිහිකැඳවීමක් කරන්නංකො. අපේ ඔෆිස් එක තට්ටු දෙකයි. අධ්‍යක්ෂවරු තුන්දෙනයි, මායි, අපේ ප්‍රතිසම්පාදන නිලධාරීතුමයි (ප්‍රතිසම්පාදන කියන්නෙ Procurement කියන එකට හොඳද?) උඩ තට්ටුවෙ. අනික් අවසේස කට්ටිය පල්ලෙහ තට්ටුවෙ. අපේ රන්දිල් නෝන මහත්තයත් පල්ලෙහ තට්ටුවෙ......හෙහ්,හෙහ්,

ඒ දවස්වල අපි කඩුවෙල ප්‍රොජෙක්ට් එකක් කරමින් හිටියෙ. කැළණි ගඟ අයිනෙ ලොකු ගෙවල් දෙකක්. සුද්දො දෙන්නෙකුට. ඉතිං ප්‍රස්තුත දවසෙ මම ඔය කඩුවෙල ප්‍රොජෙක්ට් එසේ මාසික ගෙවීම් ඉල්ලුම්පත්‍රය පිළියෙල කරමින් හිටියෙ. (දුහුණන් දැනුම් උදෙසා- කොන්තරාත්තුවක් කරගෙන යනකොට මාස් පතා ඒ මාසෙ කරපු සියලු ඉදිකිරීම් සඳහා ලැබියයුතු මුදල් ගණනය කරල සේවාදායකයට (Client) ඉල්ලුම්පතක් ඉදිරිපත් කරන්න ඕන. මාසික ගෙවීම් අයදුම්පත නොහොත් Monthly Payment Application කියන්නෙ අන්න ඒකට)

හිටපු ගමං මේසෙ උඩ තිබ්බ මගෙ මොබයිල් එක රිං වෙන්න ගත්ත. බලනකොට අපෙ උන්දැ. මම කතා කලා.

"මොකෝ ඒයි මේ හදිස්සියෙ?"

"මේ…..හරි වැඩේනෙ...අප්පච්චි හදිස්සියෙ හොස්පිට්ල් ඇඩ්මිට් කරලනෙ………"

"මොකක්ද කේස් එක?"

"පපුව රිදෙනවය කියල….."

"කොහෙද මාතලේද ඇඩ්මිට් කරල තියෙන්නෙ?"

"ඔව්..ඔව්"

"කීයටද ?"

"මේ දැං..පුංචි අක්ක අප්පච්චි ඇඩ්මිට් කරපු ගමන්මයි මට කෝල් කලේ….." මම වමත හරවල ඔරලෝසුව බැලුව. එකොළහයි කාලයි. 

"දැන් මොකද ඔයා කරන්නෙ?"

"මම දැන් මේ ලීව් ඇප්ලිකේෂන් එකක් ලියනව. මේක ප්‍රින්සිපල්ට දීල අත්සන් කරගත්තු ගමන්ම මම මාතලේ යනව "

"හරි හරි. ඔයා එහෙනම් එහෙම කරන්නකො. මම මේ හදිසි වැඩක් කරමින් ඉන්නෙ. ඒක මොකක් හරි කරල පුලුවන් තරම් ඉක්මනට එන්නම්කො"

"හරි එහෙනම් පරිස්සමින් එන්න"

ෆෝන් එක කට් කරල කරමින් හිටිය රාජකාරිය එහෙම්මම මේසේ උඩ තියල මම ගියා අල්ලපු කාමරේට. ඒකෙ හිටියෙ අපේ එක අධ්‍යක්ෂ තුමෙක්. මිස්ටර් කුමාරසිරි…...

"ආ එන්න එන්න රවී "

මම ගිහිල්ල මේසෙ ඉස්සරහ ඉඳගත්ත.

"බොන්න ගෝල්ඩ් ලීෆ් එකක්….."

මේසෙ උඩ තිබ්බ පැකට් එකෙන් මම සිගරට් එකකුත් පත්තු කරගත්ත. ලොක්කත් සිගරට් එකක් පත්තු කරගත්ත.

"ඉතිං කොහොමද රවී? "

"කුමාරසිරි මහත්තය අපෙ වයිෆ්ගෙ අප්පච්චි මාතලේ හොස්පිට්ල් ඇඩ්මිට් කරල"

"නෑ? කවද්ද?"

"මේ දැං විනාඩි පහක් නෑ මට වයිෆ් කතා කරල කියල.... "

"මොකක්ද කේස් එක?"

"පපුවෙ අමාරුවක් කියලයි කිව්වෙ"

"කලින් අංකල්ට හාට් ට්‍රබල් එහෙම ඇවිල්ල තියනවද? "

"ඔව් එක පාරක් ආවනෙ. එතකොට අපි බැඳලත් නෑ. යාලු වෙච්චි අලුතම. මම දවසක් අර බොස්ට කිව්වෙ අප්පච්චි හොස්පිට්ල් ඇඩ්මිට් කරල ඉන්දැද්දි මම බලන්ට ගියාය. නැන්ද මාම ඉස්සෙල්ලම මුනගැහුනෙත් එදාය කියල...හෙහ්,හෙහ්,"

"හරි හරි මට මතකයි මට මතකයි…"

අපි ඔය වැඩ ඉවරවෙලා හතට වගෙ අපෙ ඔෆිස් එක ලඟම තිබ්බ රෙස්ටුරන්ට් එකකට ගිහිල්ල ඒ දවස්වල පොඩි එකක් ගන්නව. ඒ අතර ඔය තමන්ගෙ මතක සැමරුම් එහෙමත් කියනව. එහෙම වෙලාවක මම ඔය සීන් එක කිව්ව දවසක්......

"ඉතිං මොකක්ද අපෙං කෙරෙන්න ඕන? රවී දැන් යන්ට එපැයි නේද? සල්ලි එහෙම?"

"සල්ලි ඕන නෑ කුමාරසිරි මහත්තය. අනික දැං ගියත් මම මාතලේ යනකොට රෑ අටවත් වෙයි. මම අර කඩුවෙල පේමන්ට් ඇප්ලිකේෂන් එක කර කර ඉන්නෙ. ඒ හින්ද මම ඒකත් ඉවර කරල හවස්වෙලාම යනව. ගිහිල්ල අද රෑ පැණිදෙණියෙ අපේ ගෙදර ඉඳල හෙට පාන්දරම මාතලේ යනව"

"හරි ඔයාට පහසු විදිහක් කරන්න" කුමාරසිරි මහත්තය කිව්ව. 

ඒ එක්කම මිගාර පඩිපෙල නැඟගෙන ඇවිල්ල කාමරේට එබුන. "කුමාරසිරි මහත්තය මම එන්නද?"

මිගාර කියන්නෙ අපේ වැඩබිම් භාර නිලධාරියෙක්. හොඳ කොල්ලා. මම අර මීට කලින් පිපි මල් මතින් පියමංකලෝ ලිව්වෙ .....ඒකෙ කතානායකය තමයි මේ මිගාර..

"එන්න එන්න... මොකෝ මිගාර?"

"අර බත්තරමුල්ලෙ නේෂන්ස් ට්‍රස්ට් බැංකුවෙ වැඩ හෙට පටං ගන්නව කුමාරසිරි මහත්තය..ඒක කියන්නයි මම මේ......."

නේෂන්ස් ට්‍රස්ට් බැංකුව සහ යූනියන් බැංකුව වගෙ බැංකු කීපයක රීෆර්බිෂ්මන්ට් වැඩ ඒ දවස්වල කලේ අපේ කම්පනි එක.

"ආ..ඒක හොඳයි..මමත් එන්නංකො හෙට ඒ පැත්තෙ. ඒක නෙවෙයි මේ රවීට වෙලා තියෙන අප්සෙට් එක මිගාර දන්නෙ නෑනෙ නේද?"

"නෑනෙ..මොකද රවි අයිය කේස් එක?" මිගාරත් මගෙ ගාවම තිබ්බ පුටුව ඇදගෙන වාඩිවෙලා මා දිහාට හැරුන.

"වයිෆ්ගෙ අප්පච්චි හොස්පිට්ල් ඇඩ්මිට් කරල මල්ලි" මම කිව්ව.

"නෑහ්? මොකද කේස් එක?... හාට්?"

"ඔව් බං..කලිං පාරකුත් හැදුනනෙ"

"ඇත්තද? කොහෙද වයිෆ්ලගෙ ගෙවල් රවි අයියෙ?" 

"මාතලේනෙ බං.. මාතලේ කිව්වට මාතලෙනුත් කිලෝ මීටර් තව යන්ට ඕන දොලහක් විතර"

"ඇත්තද?"

"මේ මල්ලි මම අර වැඩක් කර කර හිටියෙ. හවස ගෙදර යන්ට කලින් ඒක ඉවරයක් කරන්ටත් එපාය. මම එහෙනං යන්නං..බොස් මම එහෙනං යනව" කුමාරසිරි මහත්තයටත් එහෙම කියල මම පුටුවෙන් නැඟිටල මගෙ කාමරේට ඇවිල්ල කර කර හිටපු වැඩේ ඉවරයක් කරන්ට ගත්ත.

මම කිව්වෙ අර උඩ තට්ටුවෙ තව හිටිය කියල අපේ ප්‍රතිසම්පාදන නිලධාරියා. මනුස්සයගෙ කාමරේට යන්ට ඕන මගේ කාමරේ මැදින්. ටික වෙලාවකින් මම යන්තමට වගෙ දැක්ක මිගාර මගෙ කාමරේ හරහා ප්‍රතිසම්පාදනගෙ කාමරේට යනව. මම ඉතිං දිගටම වැඩේ කරගෙන ගියා.

මාසික ගෙවීම් අයදුම්පත් පිළියෙල කරනකොට කරපු වැඩවල මිනුම් හරියටම නූලට තියෙන්න ඕන. අපේ ඔය ගෙවීම් අයදුම්පත් සීයට අනූවක්ම වගෙ ගෙවීම් කටයුතු සඳහා සේවාදායකයට ඉදිරිපත් කරන්නෙ උපදේශක සමාගමක් (Consultants) හරහා ඒ ගොල්ල අනුමත කලාට පස්සෙ. හරියට නූලට මිනුම් තියෙනවනම් දෙක තුනක් පේමන්ට්ස් ගියාට පස්සෙ කන්සල්ටන්ට්ස්ල මිනුම් ගැන එච්චර තදින් එලවන්නෙ නෑ. ඒත් පලවෙනි ඇප්ලිකේෂන් එකෙන්ම වැඩේ අනාගත්තොත් නම් සොරිම තමයි.ඒ හින්ද මිනුම් හරියටම තියෙන්න මම හැමවෙලාවෙම වගබලාගන්නව.

ඉතිං එදා කඩුවෙල පේමන්ට් ඇප්ලිකේෂන් එකේ මොකක් හරි මෙෂර්මන්ට් එකක් මට අවුල් වගේ තේරුනා. ටයිල් නැත්තං මාබල්ද කොහෙද ඔය දෙකින් එකක්. ඔය අක්‍රමිකතාවය හරියටම විසඳගන්ට හොඳම ක්‍රමය තමයි අපේ උප කොන්ත්‍රාත්කරුවන්ට මුදල් ගෙවපු ඉන්වොයිස් චෙක් කරන එක. එව්වයෙ හරියටම තියනවනෙ මෙෂර්මන්ට් එක.

මම පුටුවෙන් නැඟිටල ෆයිලිං කැබිනට් එක ඇරල කඩුවෙල ෆයිල්ස් හොයන්ට ගත්ත. ඒත් වැඩේ කියන්නෙ අපේ ෆයිලිං කැබිනට් එකේ කඩුවෙල සබ් කන්ට්‍රෑක්ටර්ස්ලගෙ ෆයිල් එකක්වත් නෑ. "දෙයියෝ සාක්කි ඒ කොහොමද එහෙම වුනේ?" කියල කල්පනා කරද්දි මට මතක් වුනා අඩේ ඊයෙ හවස අපේ ප්‍රතිසම්පාදනය ඒ ෆයිල් ටික ඉල්ල ගත්ත නේද කියල. 

"ඌ තාම ඒ ටික මට ආපහු දුන්නෙත් නෑ. මුගෙ ආච්චිට...." එහෙම හිතෙං ඌට බැණ බැණ මම ප්‍රතිසම්පාදනයගෙ කාමරේ දොර ගාවට ගියා. දොර බාගෙට ඇරල තිබ්බෙ. කාමරේ ඇතුලෙන් මට ඇහෙනව බොහොම පහත් හඬින් කරන කසුකුසු කතාවක්. කටහඬ මිගාරයගෙ.

"ඔව්..බං ..ඔව්..රවි අයිය තමයි"

යම්තමට ඔලුව දාල බලනකොට මිගාරය දොරට පිටුපාල ඉඳගෙන ටෙලිෆෝන් එකෙන් කා එක්කදෝ බරටම කතාවක්. ප්‍රසම්පාදනය නෑ කාමරේ. මම එහෙම්මම නැවතිල කතාවට ඇහුංකන් දුන්න.

"ඔව්..බං..රවී කියල ආය මේකෙ දහයක් ඉන්නවද? ඒ රවි අයිය තමයි…"

"…………………………………………………"

"රවි අයියගෙ වයිෆ්ගෙ තාත්ත.."

"…………………………………………………"

"ඔව් ඔව්..හාට්…"

"…………………………………………………"

"නෑ බං කලිං පාරකුත් හැදුනලු. එහෙම කලිං හැදිල තියේනං දෙවෙනි පාර බඩුම තමයි..අපෙ මාම කෙනෙකුටත් එහෙම උනානෙ"

"…………………………………………………"

"වයස මම දන්නෙ නෑ බං කොහොමත් බුවාට අසූවක්වත් ඇති. රවි අයියටත් දැන් නැතෑ හතළිහක්වත්…"

"…………………………………………………"

"මාතලේ..මාතලේ...."

"…………………………………………………"

"නෑ බං ඒ පැණිදෙණිය කියන්නෙ රවි අයිය ඉන්න දිහානෙ..වයිෆ්ලගෙ ගම මාතලේලු…"

"…………………………………………………"

"හෙහ්,හෙහ්..එහෙමත් වෙන්ට පුලුවන් තමයි. මම ඇඟට නොදැනි විස්තරේ රවි අයියගෙන්ම අහගත්ත. මාතලේ ඉඳල තව කිලෝමීටර් දොළහක් විතර යන්ට ඕනලු."

"…………………………………………………"

"හොඳ ලස්සන පැත්තලු හැබැයි…"

"…………………………………………………"

"නෑ නෑ ඔය දෙකක් දාගත්තම රවි අයියම කයිය දෙන්නෙ වයිෆ්ලගෙ ගම්පලාතෙ සිරියාව කියල. හෙහ්,හෙහ්... "

"…………………………………………………"

"පීළිවලින් නාන එකනම් කියන්ට බෑ බං. මළ ගෙදරක ගිහිල්ල ආය පීළිවලින් නාන්ට ඕනය කියන්නෙ කොහොමද? "

"…………………………………………………"

"රවියගෙ වයිෆ්ගෙ කට්ටිය අපිට ගහල පන්නයි...උගෙ මඟුලත් කැඩෙන වැඩක් ඕක...අනේ මට නම් බෑ ඔව්ව අහන්ට.."

"…………………………………………………"

"ආ..ඒකනම් ප්‍රශ්නයක් තමයි...මෙහෙම්ම බඩු අරං යන්ට වෙයිද මන්ද…"

"…………………………………………………"

"මාතලේ නම් බාර් ඇති බං....මාතලේ කියන්නෙ ලොකු ටවුන් එකක්නෙ...බාර් ඇති... බාර් ඇති…නැතිවෙන්ට නම් බෑ"

"…………………………………………………"

"ඉඳපංකො මම ෂේප් එකේ ඒක රවියගෙන්ම අහගන්නංකො…"

"…………………………………………………"

"ආ අනික මේ මම මේ උඹට කෝල් එක ගත්තෙත් වැඩිපුරම මේක කියන්ටමයි. අර උඹලගෙ ප්‍රෙඩ්රික් මාමගෙද කාගෙද ලදරම නම් මේ පාර කතාකරගන්ට එපා හොඳද?"

"…………………………………………………"

"ඇයි කියල අහන්නෙ? මතකනෙ අසෝකයගෙ මඟුල් ගෙදර ගිහිල්ල කීපාරක් අපි කුරුණෑගල ටවුම මැද ඔය දහිර වාට්ටුව තල්ලු කලාද ටයි පොලුත් බැඳගෙන. හතර විලි ලැජ්ජාවෙ පණගියා…"

"…………………………………………………"

"කෙහෙම්මල් චුට්ට දුර..හරි ඒ මොක හරි..වෙන හොඳ වෑන් එකක් කතා කරපං... බැරිනං කියපං මම කතා කරන්නං කිරි කිරි එකක්... "

"…………………………………………………"

"හරි හරි..ආ තව එකක්.. අපේ අර බැනර් එක දැං කාගාවද තියෙන්නෙ?"

"…………………………………………………"

"කෝකද කියල අහන්නෙ? ඇයි බං අර කාර්ය මණ්ඩලයේ බලවත් ශෝකය කියල අපි ඇන්දෙව්වෙ අර වාද්දුවෙ සයිට් එකේ වඩ්ඩගෙ මල්ලිට කියල....."

"…………………………………………………"

"නිමලය ගාවද තාම ඒක? ඇයි යකෝ උගෙ ආච්චිගෙ මල ගෙදර ඉවර වෙලා දැං තුන්මාසෙකටත් වැඩියි නේද? තවම මක් කරනවද ඌ ඒක ගෙදර තියං? "

"…………………………………………………"

"මොකක්? ඌට පිස්සුද? තුන් මාසෙ දාන වලට කවුද බං බැනර් දන්නෙ?"

"…………………………………………………"

"ආ...විහිලුවක්ද? මේ වෙලාව විහිලු කරන වෙලාවක්ද බං?.....හරි හරි නිමලයට කියපං බැනර් එක හොඳට හෝදල අයන් කරල නවල වහාම මට ගෙනත් දෙන්ට කියල..හරි නේද? එහෙනං තිබ්බ මචං...වෑන් එක ගැන බලල හවසට මට කෝල් එකක් දීපං එහෙනං.. හරි... ඕකේ සී යූ...බායි "

මම හෙමිහිට සද්ද නැතුව ඇවිල්ල මගේ සීට් එකේ වාඩිවෙලා කර කර හිටපු වැඩේ පටන් ගත්ත. විනාඩි පහකට වගෙ පස්සෙ මිගාරය මගෙ කාමරේ මැදින් යන ගමං මගෙ මේසෙ ගාව නැවතිලා මේසෙට අත්දෙක තියාගෙන මාදිහාට නැමුන. 

"රවි අයියෙ මම මේ අහන්න හිටියෙ...."

"මාතලේ බාර් තුනක්ම තියනව බං....වයිෆ්ලගෙ ගමට යන පාර අයිනෙමත් එකක් තියනව" මම මිගාරය දිහා නොබලම කිව්ව. 

ටිකකින් ඔලුව උස්සල මම ඌ දිහා බලනකොටත් ඌ ඇසුත් ලොකු කරගෙන මා දිහා බලා ඉන්නව.

"ඇයි මල්ලි තව මොකවත් විස්තර දැනගන්න එහෙම…"

"නෑ නෑ රවි අයියෙ ආය මොකවත් නෑ.." මිගාරය එහෙම කියල දොර ඇරගෙන මගේ කාමරෙන් පිටවෙලා ගියා.

ඊටත් විනාඩි දහයකට වගෙ පස්සෙ මම ආයම ගියා කුමාරසිරි මහත්තයගෙ කාමරේට. 

"බොස් දන්නවද මේ ටිකකට කලින් වෙච්චි වැඩක්?"

මම ලොක්කගෙ මේසෙ ඉස්සරහ පුටුවෙ ඉඳගෙන ගෝල්ඩ් ලීෆ් එකකුත් පත්තු කරගෙන වෙච්චි සීන් එක අකුරක් නෑර කිව්ව. ලොක්කයි මායි බඩවල් අල්ලගෙන ඔන්න හිනාවුනේ කොටින්ම...

පලි - මිගාරයට හිතපු විදිහට ඒ ගමන ඒ ආතල් එක ගන්ට බැරිවුනා. අප්පච්චි දවස් පහක් වගෙ ඉස්පිරිතාලෙ ඉඳල සනීප වෙලා ගෙදර ආව. උන්දැ අභාවප්‍රාප්තවුනේ දැනට අවුරුදු තුනකට වගෙ ඉස්සර. හැබැයි ඒ අවමඟුලට මිගාරලට තියා මටවත් සහභාගිවෙන්ට ලැබුනෙ නෑ. 

සංසාරේ හැටි එහෙම තමයි!

78 comments:

  1. procurement = ප්‍රසම්පාදනය, ප්‍රතිසම්පාදනය = replacement නේද?

    ඔය නෙතූ එකේ මාතලේ මළ ගෙදර යන කෑල්ලනම් මමත් අහම්බෙන් වගේ බැළුවා. කොහොම අමතක කරන්නද පරණ "කප් ට්‍රිප්"?

    ReplyDelete
    Replies
    1. රවී හරි වගේ. ප්‍රසම්පාදනය, ප්‍රතිසම්පාදනය වචන දෙකම procurement අර්ථයෙන් යොදනවා වගේ පෙන්නේ.

      Delete
    2. ඉකෝන්,

      ප්‍රසම්පාදන කියන්නෙ Tendering කියන වචනෙට දැන් යොදන නිල සිංහල වචනෙ. පත්තරවල Tender Notice කියන එක වෙනුවට යෙදෙන්නෙ "ප්‍රසම්පාදන දැන්වීමයි" කියල.

      හැබැයි ඒ එක්කම Procurement කියන වචනෙට ප්‍රතිසම්පාදන කියල යොදනකොට පොඩ්ඩක් අවුලක් වගෙ නේද? ප්‍රති කිව්වම විරුද්ධ වගෙ හැඟීමක් එනව නේද?

      Delete
    3. මං බලන එකම නාටකේ නෙතූ

      Delete
  2. එළ එළ අලුත් සීරීස් එකක් පටන් ගත්තු එක...

    මමත් තාම වේදිකා නාට්‍ය කියලා බලලා තියෙන්නේ ඔය ටීවී එකේ පෙන්නපුව විතරයි...දැන් ⁣පෙන්වන විකාර වලට වඩා ඒවා මසුරං....

    ඕකනම් පූර්වයේ සිදු කළ අකුසල කර්මයක්, දිට්ට දම්ම වේදනීය වශයෙන් පළ දීමක් වෙන්න ඕනා... හෙහ් හෙහ්....

    ReplyDelete
    Replies
    1. Senna,

      /ඕකනම් පූර්වයේ සිදු කළ අකුසල කර්මයක්, දිට්ට දම්ම වේදනීය වශයෙන් පළ දීමක් වෙන්න ඕනා... හෙහ් හෙහ්..../

      මොකක් ගැනද උඹ මේ කියන්නෙ?

      Delete
    2. යකෝ වෙන මොකක්ද අර මිගාරයා බොලාට කරන්න ගිය වැඩේ.. ඒ කියන්නේ මීට කලින් මැරිච්ච නැති මිනිහෙක්ගෙ මළ ගෙදර යන්න බොලාත් පිඹුරු පත් සකස් කරලා තියනවා.....

      Delete
  3. මාතලේ සිරි හොඳින් විඳිනට මිගාර හිටියේ සිත තුටින්
    බෝතලේ ගැන සිහින මවමින් ගමන ගැන විමසුවෙ දුකින්
    ආතලේ බිඳ මාමා සිටියේ පහුවදා හොද සැප සුවෙන්
    වාතලේ වෙත මුදා හැරියා මිගාරගේ සිහිනය දුකෙන්

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. මළ ගෙදර සිරි හොඳින් විඳිනට බෝතලේ ඕනෑ අතින්
      පීල්ලේ නා සෙට් වෙන්නටයි යාලුවා බැලුවේ ඉතින්
      අනේ මාමණ්ඩියා ඔක්කොම වර්චස්ම කෙරුවා ගතින්
      රවිය මැරයා නොවන හින්දා මිගාරය ඇත පණ පිටින්

      ජයවේවා!!!

      Delete
    2. දුමී සහ ප්‍රසා,

      උඹල දෙන්න නියමයි බං...තකට තක...අර හිටපු මහ බැංකු ලොක්කයි උගෙ බෑණයි වගෙ....

      දුමියා ප්‍රසා කවි කියනව තකට තක,
      අර්ජුන් මහේන්දර සහ බෑණා වගේ ලක,
      ප්‍රසා කඩේ ණය එකතුකරනා කොන්තරාත් එක,
      දුමියට බාරදෙමු කවි කියමින් කරයි වැඩේ යස,

      Delete
    3. දුමියා ප්‍රසා කවි කියනව තකට තක
      රවියා ඇවිත් ගිණි අවුලයි හිඳ කොනක
      දුගියා ළඟදි උණු වෙයි මගෙ හිත වරෙක
      දුමියා නිසා ණය වැඩිවෙන එකයි දුක.....

      ජයවේවා!!!

      Delete
  4. හැක්.. හැක්.. තව පොඩ්ඩෙං කට්ටියට මිගාරයගෙ මලගෙදර තමයි යන්න වෙන්නෙ.

    ඔය ටෙලි නාට්ට වලින් මට අල්ලල ගිය එක තමයි කරුවලේ ජරමරේ එක. ඒ දවස්වල ඡන්දෙ ඉවර උනාට පස්සෙ ඇඳිරි නීතිය දාපුවහමත් ඔය ටෙලි නාට්‍ය පෙන්නනව.

    මෑත කාලෙකදිනං ටෙලි මොකක්හරි එකක් කියල බැලුවෙ නාටක මාරයි එක තමයි.

    ReplyDelete
    Replies
    1. ප්‍රසා,

      කලුවරේ ජරමරේ මරු නේද? ග්‍රේස් ආරියවිමල්, යූ. ආරිය විමල් ජෝඩුවම ඉන්නව.

      /මෑත කාලෙකදිනං ටෙලි මොකක්හරි එකක් කියල බැලුවෙ නාටක මාරයි එක තමයි./

      ඇයි බං දැන් කැත නැතුව බලා ඉන්ට පුලුවන් ටෙලි ෆිල්ම් කීපයක්ම යනවනෙ. ප්‍රාණ, මුතුකුඩ,දෙවෙනි ඉණිම, හාර කෝටිය, නෙතූ...

      උඹ ඔය කැෂියර් එකටම වෙලා ඉන්නෙ නැතුව ටිකක් වේලපහින් කඩේ වහල ගෙදර ගිහිල්ල ඇඟපත එහෙම හෝදගෙන ප්‍රියම්බිකා තොමෝත් එක්ක එක සැටියෙ ඉඳගෙන ඉඟුරු කෑල්ලක් එහෙම තලල දාපු පෙලෙන්ටියක් බිබී ඔව්ව තුන හතරක් බලාපං...ඒකයි ජීවිතේ කියන්නෙ...:)

      Delete
    2. හාරකෝටියනං එහෙන් මෙහෙන් බැලෙනව. ඒත් ඒක දිගටම බලන්න උනේ නෑ.

      Delete
    3. ඇයි එක ගෙයි මිනිස්සු !! ගුඩි ගුඩි ගුඩි මෑන්.....

      Delete
    4. සෙන්නා,

      අප්පටසිරි ඒක අමතක උනානෙ..එක ගෙයි මිනිස්සු ලියන්නෙ සෝමවීර සේනානායකද කොහෙද...උද්දික ප්‍රේමරත්නගෙ ඇක්ටිං නං කියල වැඩක් නෑ නැද්ද? ගුඩි ගුඩි ගුඩි ගුඩි ඉයා මෑන්..යෝ බේබී....එහෙම කියල ඌ දාන හිනාව කොහොමද?

      ඔයිට කලිනුත් පොර මරුවට රඟපෑව හංස පිහාටු එකේ...

      Delete
    5. ආයෙත් අහලා...කනේ වැලිි....මම උගෙ ඇක්ටින් පාර බලන්නම ඕනා හින්දා ඒ නාට්‍යය බලන්නේ...නාට්‍යකට කියලා බලන්නෙත් එච්චරම තමා...
      ගුඩී ගුඩී ගුඩී ...මෑන්... හෙහ් හෙහ්...

      Delete
    6. උද්දික නිසාම මම ඒක බලනවා...

      ඇයි මචංස්ලා "බැද්දේ කුලවමිය" බලන් නැත්තේ..ඉරිදට විතරයි යන්නේ. මුල ඉඳන් බලපල්ලා යකුනේ.

      Delete
    7. මචං ඉරිදට විතරක් යන "සමනලි"ත් හොඳ නාට්ටියක්.

      Delete
    8. ඇයි බං ස්වර්ණවාහිනියේ යන දෙව්ලියේ? ඒක නෙවෙයි දැන් දවස් දෙක තුනක ඉඳල දෙව්ලියේ සහ හාරකෝටිය යු ටියුබ් එකේ අප්ලෝඩ් වෙන්නෙ නෑනෙ. මට ඊයෙ ටීවී එකේ හාරකෝටිය මිස්වූණා. අද බලන්න දැම්මා යුටියුබ් එකේ බඩු නෑ.

      Delete
    9. උන් ඒවා අප්ලෝඩ් නවත්තනවා කියලා දැම්මා අට වෙනිදා ඉඳන්.

      Delete
    10. බැද්දේ කුලවමිය කිව්වමම මට නිකන් හිතෙන්නේ රෝඩී ළඳක් ගැන කතාවක් කියලා...එහෙම එකක් ද? ඒ පැටන් එකේ ඒවනම් මට තිත්තයි බන්...

      හැලපයියා, Col3neg එකේ බලන්න උනුත් ටෙලීස් අප්ඩේට් කරනවා.. මම රට ඉන්න කාලේ එකෙන් බැලුවා "බොරලු පාර" එහෙම..

      Delete
    11. හැලප,

      මේකෙ බලපං....මේකෙ ඔක්කොම තියනව....:)

      Varuna Multimedia

      Delete
    12. අරුණ,

      උඹ ඔය උඹේ කුළවමිය ගැන කලින් දවසකුත් පාරට්ටු කලා මතකයි. බලන්ට හිතාන හිටියට බැරිවුනා. ඉඳහං වහාම බලන්නං.

      අර රූපා ශ්‍රියානි ඒකනායකගෙ නව කථාවක්ලු ඔය නේද?

      Delete
    13. හෑ..!!! බලං ගියහම මුං ටෙලි නාට්ටි අදිරියො සැට් එකක්නෙ....

      Delete
    14. මම කියනවට බලපන්. බලලා යමක් ලියපන්. බලන්න විතරක් නෙමේ ලියන්නත් හිතෙනවා බං.

      Delete
    15. සෙන්නා,..මේක එහෙම එකක් නෙමේ. වහාම බලපන් මුල ඉඳලා. කතාව වගේම නාට්ටියේ අනිකුත් සියල්ල සම්පූර්ණයි කියලා මගේ කචල් මොලේට හිතෙනවා.

      Delete
    16. Aru,

      /මම කියනවට බලපන්. බලලා යමක් ලියපන්. බලන්න විතරක් නෙමේ ලියන්නත් හිතෙනවා බං./

      අඩේ, බැද්දේ කුලවමිය බලන්ට පටන් ගත්ත. උඹ කියපු එක හරි තමයි. නියම කතාවක් වගෙ..මගෙ ප්‍රියතම නළු නිළියො බර ගාණක් ඉන්නව. රොෂාන් රවීන්ද්‍ර, චාන්දනී සෙනෙවිරත්න, මහේන්ද්‍ර පෙරේරා...

      අනික ආනන්ද අබේනායක අධ්‍යක්ෂණය. ආනන්ද අබේනායක කොහොමත් හොඳ ටෙලි ෆිල්ම් ගහන මනුස්සයෙක්. උඹට මතකද "ජීවිතයට ඉඩදෙන්න"? ගාමිණීගෙ බෑණනෙ. යසාරා අබේනායකගෙ තාත්තා...:)

      Delete
    17. මම ඔය නාට්‍යයේ කොටස් 20 විතර බැලුවා... මට ඒකෙ මොකද්දෝ මන්දා අවුලක් තියනවා. කතාව කියවලා තියන නිසාද දන්නේ නෑ. ඊළඟ එපිසෝඩ් එක බලන්න කිසිම කික් එකක් එන්නෙ නෑ. ඒකෙ සංගීතයත් පට්ට මලානිකයි.

      මට නිකන් තේරෙන ප්‍රධාන අවුල් තියනවා.මහේන්ද්‍ර ඔය නාට්‍යයේ එන විදිහේ බිස්නස් කාරයෙකුගේ චරිතයට කොච්චර ගැලපෙනවද කියල එක. ඒ වගේම රොෂාන් රවීන්ද්‍ර හොඳ නළුවෙක් කියලා හිතන් හිටියට හරි ලිමිටඩ් වගේ එකක් දැනෙනවා. මේ නාට්‍යයේ පොරගේ දෙබස් එහෙම මාර ආටිෆිෂල් වගේ හිතෙනවා නදී, චාන්දනී සහ සහාය චරිත රඟපාන අර මාමා, ගමේ ඉන්න කොල්ලා රෝහණ එක්ක වුණත් බලද්දි.

      Delete
    18. ටෙලි ගැන ඔත්තුවක් දුන්නට තෑන්ක්ස්. උද්දිකට මමත් මාර කැමතී. මුලින්ම මනුස්සයාගේ එකක් බැලුවේ අකඩවාරිය. මුතුකුඩ නම් මට කම්මැලි කම්මැලි වගේ. දෙවැනි ඉනිම නම් එල. අහ්හ් මමනම් C රජ ත් බලනවා. රජ කතාවක් දැක්කම මිස් කොරන්ට බෑ නේ.

      Delete
    19. "ජීවිතයට ඉඩදෙන්න"?

      රවී, ජීවිතයට ඉඩ දෙන්න කිව්වේ අර ඇක්සිඩන්ට් වෙලා එහෙම්පිටින්ම අමතක වෙන සීන් එකක් වෙන කතාව නේද.. බිමල් ජයකොඩි හිටියේ... පට්ටම පට්ට නාට්‍යයක් ඒක නම්!.

      Delete
  5. අර මහවැලි නිල නිවාසවල අනන්‍යා කොස් කප කප ඉද්දි කුකුලෙක්ගෙ කේස් එහෙකට පිලේ ඉදන් කවි කිය හිටපු කොල්ලෙක් එක්ක මල් වලට වතුර දාන ගෑණු ළමයා ඉන්නෙ කොයි එකේද? :)

    ReplyDelete
    Replies
    1. එච්චර ටපලගන්න එපා මෙයා කුකුළගෙ කේස් එක ක්ලෝස් කළා අවුරුදු ගානකට පස්සෙ. හැබැයි අර නිල් කට්රොල් කෑල්ල තාම වතුර දදා ඉන්නව.

      Delete
    2. [°•_•°] {`^`…´^´} (~•`_´•~),

      ඔන්න ඕකනෙ ඉතිං කියන්නෙ...අර හිටපු මහරජාට සියලු මහ දෝස පටවනව වගෙ මම ඉවර කරපු එව්වටත් උඹ මට දෙස් තියනවනෙ.

      සික්.... අසික්කිතයි, පරම රමනීයයි, ආහ්ලාදජනකයි.

      Delete
    3. ප්‍රසා,

      තැන්ක්යූ, තැන්ක්යූ,.....

      ඔබ තුමා ගරු සභාපතිතුමාගේ කාර්ය භාරය ඉතා මැනවින් ඉටු කරන බව සක්සුදක්සේ පෙනී යයි. එබැවින් ඔබට ත්‍යාගයක් වශයෙන් රටඉඳිලීයෙන් නිමකල අගනා බැටන් පොල්ලක් ප්‍රදානය කීරිමට මම තීරණය කලෙමි. ණය එකතු කරගැනීමට එය ඔබට මහෝපකාරී වනු නිසැකය.

      Delete
    4. අම්මප මේ ඔටු දේසෙ ඉන්න හැම එකාම ලී වලින් හදන ඒවම තෑගි දෙන්නෙ ඇයි කියල විසේස විමර්සනයක් කරන්න ඕන.

      Delete
    5. ප්‍රසා,

      අඩේ උඹ තාම දන්නෙ නැද්ද? ඒ ලී කෑල්ල දෙකට පළල බලපං..ඇතුලෙ තියනව වටිනා දෙයක්...

      Delete
    6. ඇයි ඒකෙ ඉන්දිකයගෙ දාතු නිදං කරලද තියෙන්නෙ.

      Delete
    7. ප්‍රසන්න,

      ඔන්න ඕකනෙ බං කියන්නෙ ඉන්දිකයයි අර දුමියයි අච්චර මාන්සි වෙලා වියදං කරල උඹලට තෑග්ගක් දුන්න එකේ ගුණේ තියාපං වළවෙට්ටුවො...

      උඹ ඔය නිකං ලී කෑල්ලක් කියල දෙකේ කොලේට දාල කතා කලාට උඹ දන්නවද ඔය ලීය අවුරුදු පන්සීයක් පරණ රට ඉඳි ගහකිං ඉරා ගත්තු ලීයක්.අනික ඔටු හුලිජ්ජ ලේගරවල අවුරුදු පණහක් පදං කරල තියෙන්නෙ. එහූ වටිනා ලීයක් ඕක.

      උඹ ඔය ගෙදරට එන අයට එහෙම ඕකෙ විස්තරේ කියාපං. සතියකට දෙදොහක් වගෙ කඩේටත් ගෙනල්ල තියාගෙන බඩු ගන්ට එන මිනිස්සුන්ටත් විස්තරේ කියාපං මතක ඇතුව.

      ඔන්න උබ කෝචොක් දාල අරුං කට්ටිය මේ පාර උඹට සම්මානෙ නොදුන්නොත් එහෙම අපි නෑ ඔන්න හරි?

      Delete
    8. හැක්.. හැක්..
      ඒක කඩේම තමයි බං තියෙන්නෙ. ඉඳහං මේ රිප්ලයි එකේ ප්‍රින්ට් එකක් අරගෙන ලැමිනේට් කරල ඒක යටින් ගහල තියන්න.

      Delete
  6. දැන් ලියාගෙන යන ඒව මදිවටද තව සීරිස් එකක් පටන් ගත්තෙ බං.

    ReplyDelete
    Replies
    1. පොඩ්ඩක් හිටිං, මෙයා ළඟදිම තව සීරීස් එකක් පට්ටාං ගන්ට යනවලු "රවීගේ නොනිමි කතා/ පොරොත්තු ලේඛනයේ ඇති කතා" කියලා.. ඒකෙ කරන්නෙ ඔය බාගෙට ලියලා අතෑරලා දාලා තියෙන කතා, තව එතකොට ඔය පස්සෙ කියඤ්ඤං කියලා නොකියා අතෑරපු කතා එහෙම ගැන ලිස්ට් එකක් හදලා ඒ ලිස්ට් එත අප්ඩේට් කරන එකලු..

      Delete
    2. හැලප,

      සීරීස් ගැන එච්චර හිතන්න එපා බං..ඒක අල්ලල දාපං....:)

      Delete
    3. බූරා,

      හැබෑට රවීගේ නොකී කතා කියල නම දාන්ට තිබ්බ කොහෙද අර හෙන්රිය ඒ නමින් දැනටම බ්ලොග් එකක් කරනවනෙ...අපරාදෙ...:(

      Delete
    4. "රවියගේ කොටි වලිග" වගේ නමක් හොඳ නැද්ද....

      Delete
    5. අරුණ..

      "රවියගේ වලිග කොට".......:)

      Delete
  7. යකඩෝ එතකොට උඹ රන්දිල් නෝනාව අවශේෂ ගොඩටත් ඇදලා දැම්මා එහෙනං...

    මිගාර එළකිරි බුවෙක් නේ...
    දැන්නම් අපිට මළ ගෙයක්, මගුලක් සෙට් වෙන එකත් හෙණ ඇණයක්...

    ReplyDelete
    Replies
    1. Lokka,

      /යකඩෝ එතකොට උඹ රන්දිල් නෝනාව අවශේෂ ගොඩටත් ඇදලා දැම්මා එහෙනං./

      උන්දැ ඔය යට තට්ටුවෙ හිටියට ඒ කාලෙත් තනිකරම ඔෆිස් එක රන් කලේ එවුන්දැ තමයි ඇත්තම කිව්වොත්...:)

      /දැන්නම් අපිට මළ ගෙයක්, මගුලක් සෙට් වෙන එකත් හෙණ ඇණයක්.../

      බැඳල ලමා ලපටි උනහම එහෙම වෙනව...:(

      Delete
  8. ඕක මෙහෙමත් කියන්න පුලුවන්.

    ගණකාධිකරන අංශය, පරිපාලන අංශය, මානව සම්පත් අංශය, ගොඩනැගිලි අභ්‍යන්තර අලංකරණ අංශය ආදී අංශ සියල්ල පහත මාලයේ ස්ථාන ගත කොට තිබුණු අතර ඉතිරි අවශේෂ අංශ ඉහළ මහලේ ස්ථාන ගත කොට තිබිණ.

    :D

    ReplyDelete
    Replies
    1. රන්දිල්,

      ඒ කියන්නෙ උඩ හිටියෙ වැඩක් නොකරන අංසෙ උදවිය කියලද කියන්නෙ? අර කවිච්චි වගේ කියල කියන්නෙ..එහෙමද?...:)

      Delete
    2. //ඒ කියන්නෙ උඩ හිටියෙ වැඩක් නොකරන අංසෙ උදවිය කියලද ? //
      වෙන්ඩඇති..නැත්නම් සිගරට් බිබී ඔහොම කයිය ගගහ ඉන්ඩ පුළුවන්ද ?

      Delete
  9. මේ කියන සිද්ධිය වෙද්දි මං ඒ ආයතනයේ නැහැ මං හිතන්නේ

    ReplyDelete
    Replies
    1. රන්දිල්,

      බොහෝ විට ඔබතුමී සේවයට ඇවිල්ල නැතුව ඇති තමයි. මොකද ඔය සීන් එක වෙනකොට මගෙ එහා මේසේ හිටියෙ කුලරත්න මහත්මය. ඔය සීන් එක වෙනකොට එයා ඔෆිස් එකේ හිටියෙ නෑ.

      මට මතකයි ෂෙහ් අපරාදෙ මිස්ට කුලරත්න හිටියනං ෆුල් ආතල් එකක් ගනියි කියල මම සීන් එක ඉවර වෙලා හිතුව. කුලරත්න මහත්මයයි ඔයයි වැඩි කල් එකට වැඩ කලේ නෑනෙ . ඒ හින්ද තමයි මම කිව්වෙ ඔයා ඇවිල්ල නැතුව ඇති කියල

      Delete
    2. ඒයා කුලරත්න නෙමෙයි නේද? වෙන නමක්. මේ දිව අග තියෙනවා එන්නේ නැහැ

      Delete
    3. හරි මතක් වුණා. මිස්ටර් හේරත්

      Delete
    4. රන්දිල්,

      හරි හරි හේරත් තමයි කුලරත්න හේරත්, මම ඔය උඩ ලින්ක් එක දාල තියන චීන කොම්පැණිය, සුනාමි මතක..පෝස්ට් එකේ එතුමා හැඳින්නුවෙත් කුලරත්න කියල නිසා මෙතනත් කුලරත්න කියල දැම්ම.. ...:)

      Delete
  10. යකෝ තව-තව සීරිස් පටන් ගන්න කලින් කලින් ඒව ඉවරකරල හිටපිය

    ReplyDelete
    Replies
    1. එදිරි,

      හරි බං ඒ සීරීස් කතාව පැත්තකට දාපංකො. සීරීස් එකක් නෑ නිකම්ම ලියපු එකක් කියල හිතල කියවපං..එතකොට අහවරයිනෙ...:)

      Delete
    2. /// සීරීස් එකක් නෑ නිකම්ම ලියපු එකක් කියල හිතල කියවපං..එතකොට අහවරයිනෙ...:) ///
      ++++++++++

      Delete
  11. අර පොජෙට්ටෙක ගැන මං කොටස් බරගානක් ලියලා ඉවරයි.

    නරකද මේ අතරට පොඩියට පටං ගත්තොත් "වැලි කතරේ ඔටු කුර" වගේ එකක්.

    ReplyDelete
    Replies
    1. සුරා,

      අප්පට සෝරු එහෙමද? මම ඒත් බැලුව බ්ලොග් රෝලෙ කාලෙකින් උඹේ පෝස්ට් එකක් නොතිබ්බෙ මොකද කියල. එතන වෙන්නෙ මම හිතන්නෙ මේකයි. මගෙ බ්ලොග් රෝලෙ රටේ නැති එව්ව තියන හින්ද විගහට අප්ඩේට් වෙනව. දවසක් බලන්ට බැරිඋනොත් ඒ පෝස්ට් එක යන්ට ගිහිල්ල. ඉඳහං බලන්නං මම...

      Delete
  12. බලපන් මිගාරයා කොච්චර හොඳ පොරක්ද කියලා. අපේ ට්‍රේඩ් එකේ නම් ඕකට කියන්නේ මිස් ඔන් ප්ලස් Mis-En-Place .ඒ කියන්නේ pre-preparation.

    උඩ ෆියුනරල් කාටුන් එක නම් මරේ මරු. ෆේස් බුක්නේ.

    ReplyDelete
    Replies
    1. අරූ,

      /අපේ ට්‍රේඩ් එකේ නම් ඕකට කියන්නේ මිස් ඔන් ප්ලස් Mis-En-Place .ඒ කියන්නේ pre-preparation./

      ඔව් බං අර ගමේ සල්ලිකාර මුදලාලිගෙ ආවතේවයට හිටපු කොල්ලෙක් ගැන මරු කතාවකුත් තියෙන්නෙ ඔය වගෙ.

      ඔන්න ඌට මුදලාලි හැමදාම ඇඟට ගොඩවෙනවලු හිතල මතල දුර දිග බලල වැඩක් කරන්නෙ නෑ. එක ගමනින් කරගන්න තිබ්බ දේට හත් අර පාරක් රස්තියාදුවෙ යනවයි කියල.

      ඔන්න දවසක් මුදලාලිට උදේ හෙම්බිරිස්සාවක් හැදුනලු. කොල්ලට කතා කරල කිව්වලු "කොල්ලො හන්දියෙ බේත් කඩේට ගිහිල්ල පස් පංගුව තුං වේලකට සෑහෙන්න කිරවගෙන වරෙං" කියල. මූ ගියා ගියාමලු හවස කරුවල වැටෙන කනුත් ගෙදර ආවෙ නෑලු. මුදලාලි ඒ පාර පාරෙ යන මිනිහෙක් ලව්ව පස් පංගුව ගෙන්නගෙන තම්බල බීල එහෙම ඔන්න ඉන්නව "ආදෙංකො අද මම මූට දෙන්නෙ කොන්ද හරහට මෝඩ මී හරකා..." කිය කිය පිපිරි පිපිරි.

      ඔන්න රෑ අටට විතර හුළු අතුත් පත්තු කරගෙන එනවලු පෙරහැරක් වගෙ මිනිස්සු කැටියක් මුදලාලිගෙ ගෙදරට. මේ මොකක්ද බොලේ මේ කියල බලනකොට අර අතවැසි කොලුව මෙන්න එනව ඉස්සරහිම්ම.

      "කොහෙද බොල තෝ ගියේ මෙච්චෙල්ල? අනික කවුද මොකටද මේ මිනිස්සු කැටියක් එක්ක ආවෙ?" මුදලාලි කොල්ලට සැල් එක දැම්මලු.

      අනේ කොල්ල බොහොම අහිංසකව මෙහෙම කිව්වලු."මෙන්න මුදලාලි මහත්තයො ගේන්න කිව්ව පස් පංගුව මේ කඩදහියෙ ඔතල තියනව. එව්වයිං ගුණයක් නූනොත් ඔබතුමාට වෙදකං කරන්ට මේ ඉන්නෙ වෙද මහත්තයෙක්. වෙද මහත්තය කැලේ කොලෙං අවුසද නියම කලොත් එව්ව හොයාගෙන ඇවිල්ල කොටල හරිගස්සන්ට ගෝලයො තුන් දෙනෙක් තමයි මේ ඊට පස්සෙං ඉන්නෙ. ඒ එකකිං වත් ගුනයක් නොවී ඔබතුමා අභාවප්‍රාප්ත වුනොත් මිණිය හෝදල කරල එම්බාම් කරන්ට මේ ඉන්නව මිනීපෙට්ටි සාප්පුවෙ දෙන්නෙක්. මිනී පෙට්ටිය හදන්ට මේ ඉන්නෙ වඩුරාල කෙනෙක්.වල කපන්ට තුන් දෙනෙකුයි මිනිය උහං යන්ට හය දෙනෙකුත් මම එක්කගෙන ආව."

      මුදලාලිට ඉහිලුං නෑ ආරූඩ වෙච්චි කේන්තිය " ඈ බොල හරකො තොට තව මොකවත් එහෙම අමතක වුනේ නැද්ද?" කියල ඇහුව කොලුවව කන්ට වගෙ රවාගෙන.

      කොල්ල කටපුරා හිනාවුනා. "හිහ් මුදලාලි මහත්තයට හිතුනෙ මට ඒක අමතක උනාය කියල නේද? නෑ මට එහෙම අමතක වුනේ නෑ. මතක බණ කියන්ට හාමුදුරුවො වඩම්මව ගන්ට මම පන්සලටත් ගියා.උන්නාන්සෙ බනකට වැඩල. මම පණිවිඩයක් තියල ආව. පන්සලට වැඩිය ගමං මාන්සි නොබල මෙහෙට වඩින්ටය කියල. දැං මෙලහට මේ ළඟම වඩිනව ඇති."

      Delete
  13. බුදු අම්මේ තවත් කැටගරි එකක්ද? උඹත් හරියට අර සාප්පුවකට ගිහින් ඇඳුම් පන්සීයක් හමාරක් ඇදලා අරන් ඈඳලා බලලා එකක්වත් ගන්නෙ නැතුව ඒ ඒ තැන්වලම දාලා යන යන නෝනා කෙනෙක් වගෙ.

    ReplyDelete
    Replies
    1. Dude,

      Please do not worry about categories dear Henry
      Please do not worry about categories dear Henry
      Please not.....

      Delete
  14. මෙහෙම පෝස්ට් ලියන්න පුලුවන් එකෙක්නෙ මේ දේශපාලන ගූ ගොඩවල් අල්ලගෙන අනිත් උන්වත් නාවලා ගූ නාන්නෙ.

    මේ වගෙ රසවත් පෝස්ට් මැද්දටත් දේශපාලන අශූචි බිඳුවක් හෝ දෙකක් මිශ්‍රකර පෝස්ට් එක contaminate කිරීම සම්බන්ධව මගේ තදබල අප්‍රසාදය. හේතුව උඹේ දේශපාලන පෝස්ට් මට නොකියවා ඉන්න පුලුවන් වගේම කියවන්නෙත් නෑ. නමුත් මේවගෙ අහිංසක පෝස්ට් අස්සෙනුත් උඹේ දේශපාලන මතවාදය අපි මත පැටවීමට මගේ විරෝධය.

    මට මතක් වෙන්නෙ පරණ කතාවක්. බෝඩිමේ එකෙක් සින්දු කියනවලු කොච්චරවත් බැරි බැරි ගාතෙ. බලං ඉන්න බැරිම තැන කතානායකයා කියනවලු, "මල්ලි, උඹ ගිහිං රේඩියෝ එකේ හරි ටීවී එකේ හරි සින්දුකියාපංකෝ."
    අරූගෙ කට කනේ. "ඇයි අයියා මම ඒ තරම් හොඳට සින්දු කියනවද?"
    "නෑ, හු@#, එතකොට අපිට දේය්යනේ කියලා රේඩියෝ එක ඕෆ් කරන්න හරි ටීවී එක වෙන චැනල් එකකට දාන්න හරි පුලුවන්නෙ."

    ReplyDelete
  15. අපිත් ඉතිං මළ ගෙවල් කියන්නේ ෆන් ගන්නම තියෙන තැනක් කරගෙනනේ තියෙන්නේ

    ReplyDelete
  16. අලුත් සීරිස් එකක් පටන් ගත්තු එක විට්නස් කොරන්ඩ ලැබීම මගෙත් වාසනාව තමා.
    යකෝ පුදුම යාළුවොනේ මුන්. ඕක මාමණ්ඩිට ඇහුනානම් එහෙම කළකිරිලම පණ යයි.

    ReplyDelete
    Replies
    1. තව එකක් කියන්ට ඕනේ. අර ඊ ළඟ කොටසින් කෑල්ලක් අන්තිමේ දී දානවා විතරක් නෙමේ දැන් යන එව්වා ඇඩ්ස් දාන්න කලින් "මී ලඟට" කියලත් කෑලි ටිකක් දාලා පෙන්නනවා. ඒ කියන්නේ මුන් බයයි මිනිස්සු කතාව බාගෙට බලලා නවත්තයි කියලා. උජෝ වැඩීමේ කලාව

      Delete
  17. කුරුළු බැද්දේ කතා කිව්වහම බං ඔලුවට එන්නේ මාර ලස්සන සශ්‍රීක ගැමි පරිසරයක්. කමක් නෑ අපි ඉතිං උඹේ කතා නම බලලා කියවනව කියලයැ... මට මතකයි මම සැරයක් ඔය එක එක නම් නැතුව උඹේ ඕනම පෝස්ට් එකකට දාන්න පුළුවන් කොමන් නමක් යෝජනා කලා....

    ReplyDelete
  18. අපේ ඔෆිස් එකේ උන්ටත් මගුල්,මරණ වෙනසක් නැත.බෝතලය මහා පොදු සාධකය වගේ තියෙනවා.

    ReplyDelete
  19. ෆියුනරල් පාටි ට්‍රිප් එකක් ගිහිල්ල ඈෂස් ටු ඈෂස් ඩස්ට් ටු ඩස්ට් කියන කොට ගඩොල් බාගයක් අතඇරිය වලේ පෙට්ටිය උඩට අපේ එකෙක්

    ReplyDelete
  20. මෙව්වා කියවද්දී අම්මප ඔක්කොම අතැරලා ටෙලි ෆිල්ම් බලන්න හිතෙනවා.. හැක්.

    ආතල් එකට අර පරණ පොස්ට් හයම ආයෙම කියෙව්වා.. :)

    අතරින් පතරට වාන් පතුල් කතාවක් නොකියවීම ගැන බලවත් මෙව්වා එක.

    ReplyDelete
  21. මාස දෙකකින් විතර මේ පැත්තේ ආවේ.. තව කැටගරියකුත් පටන් අරන්.. හදිස්සියක් වෙලා අවුරුද්දක් දෙකක් නොබලා හිටියොත් එහෙම මහාවන්සේ කියෙව්වා වගේ තියෙයි.. හෙහ්


    ReplyDelete
  22. korean Dramas
    Hi, I read your blog post and your blog post is great.

    ReplyDelete

මගේ සිතුවිලි ගැන ඔබේ සිතුවිලි

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...