Wednesday, November 23, 2011

65. නොහැඟවූ ආදරය......The Unexpressed Love......7

පළමු කොටස

දෙවන කොටස

තෙවන කොටස

සිව්වන කොටස

පස්වන කොටස

සයවන කොටස

" ඩැනියෙල්.....මට ගේන්න පුතා...කහට එකක්....'' පවසමින් කාමරයට ඇතුළු වූ මම කොට්ටයක් ඇඳ විට්ටමට හේත්තු කොට එයට ඇලවීමි.පොත් පත් පවා කියවීමේ මගේ ප්රියතම ඉරියව්ව අදට ද එයයි.

ලියුම් කවරය කඩා ඉන් ලිපිය ඉවතට ගත් මම මුලින්ම ඒ දිගහැර ලිපිය අවසානයට නෙත් යොමු කලේ ලිපිය එවූයේ කවුරුදැයි දැනගැනීමටය....රමණි අක්කා.....මගේ සිතෙහි වූ සැකය ස්ථිර විය.

වහා ලිපිය දිගහැරි මම ඒ නොඉවසිල්ලෙන් කියවන්නට වූයෙමි.

දයාබර මල්ලී,

මේවගේ ලියුමක් ඔයාට ලියන එක හරිද නැද්ද කියල මම සෑහෙන දවසක් කල්පනා කලා. අන්තිමට මම තීරණය කලා අපි අපේ හිත් වලට අවංක නම් හෘද සාක්ෂියට අවංක නම් ගැටළුවක් ඇතිවෙන්න කොහෙත්ම විදිහක් නැහැනෙ කියල.

ගුණේගෙයි මගෙයි කතාව මම මුල ඉඳල පටන් ගන්නම්. ඔයා දැනටම මේ කතාව දන්නවද කියල මම දන්නෙ නෑ. ඒත් මම හිතන්නෙ ඔයාට දැනගන්න විදිහක් නෑ.

උණු තේ බඳුන රැගෙන ආ ඩැනියෙල් ඒ ඇඳ අසල ලියන මේසය මත තබා පිටවිය. තේ කෝප්පය අතට ගෙන උගුරක් පානය කල මම නැවත රමණි අක්කාට සවන් දුනිමි.

ලක්ෂ්මී ගුණේව හොයාගෙන ආව කියල මම දන්නව.එදා අපි දෙන්න ඔහෙ ඉඳල එනකොට මගදිම ගුණේට ආරංචි උනා අපි දෙන්න ගැන කියල කවුද ලක්ෂ්මීට යවපු නිර්නාමික ලියුම ගැන.මම ඒත් ඇහුව මම එන්නද ලක්ෂ්මීට වෙච්ච දේ පැහැදිලි කරල දෙන්න කියල. ගුණේ කිව්ව " නෑ, රමණි , ඕන නෑ, මේ වෙලාවෙ ඔයා ලක්ෂ්මී හම්බ වෙන්න යන එකෙන් ප්රශ්නෙ තව උග්ර වෙන්න පුළුවන්. ඒ නිසා ඕන නෑ. ටික දවසක් ගියාම මම කතාකරන්නම් එයාට" කියල.

ගුණේයි මමයි එකම පංතියෙ හිටියෙ... තුනේ පංතියෙ වගෙ ඉඳල. ඇත්තටම ගුණේ ඉගෙනීමට දක්ෂයි. කැම්පස් සිලෙක්ට් උනත් යන්න බැරිඋනේ අඟ හිඟ කම් නිසා.මම අනික් විෂයයන්ට වඩා දක්ෂ උනේ සංගීතයට. සංගීතයට මගෙ තිබුණ උපන් හැකියාවක්.....මතකනෙ එදා රෑ ගේ පිටිපස්සෙ අපේ සාදය. ඒ මගේ ජීවිතේ අමතක නොවන දවසක් ....මට ජාති ජාති ඒ දවස මතක තියේවි.

ලිපිය කියවීම පසෙක තබා මම තේ උගුරක් යලි පානය කලෙමි. එදා රෑ ඈ ගී ගැයූ අයුරු මගේ මනසේ යලි දිස් වන්නට වූයේ චිත්රපටයක් නරඹන අයුරිනි. දෑස් පියාගත්වනම අතීත මතකයන්හි සැරිසැරූ නිමේශයකට පසු මම යලිත් ලිපියට අවතීර්ණ වූයෙමි.

ඉතින් ආයෙම අපෙ කතන්දරේට ගියොත්, ගුණේ මට ආදරෙයි කියල කිව්වෙ හතේ පංතියෙදි. ඒ වෙනකොට මමත් එයාට ආදරේ කරන්න පටන්ගෙන තිබුණු නිසා කිසිම ප්රශ්නයක් උනේ නෑ. මම කැමතියි කිව්ව.ඒ ලෙවල් කරල ගුණේ පවුලෙ ප්රශ්න නිසාම ඔය රස්සාවට ගියා. ගුණේලගෙ පවුල බරපතලයි. නංගිල හැමෝගෙම බර වැටුනෙ එයාගෙ කරපිට.

මට සංගීතය උගන්වන්න පත්වීමක් ලැබුණ අපේ ගමට කිට්ටුව ඉස්කෝලෙක.ඔහොම අවුරුදු දෙක තුනක් ගෙවිල ගියා.අපේ ආදරයත් බොහොම නිවී සැනසිල්ලෙ ගලා ගියා.ප්රශ්න මතු උනේ අපේ ගෙදරින් මට විවාහයක් ගැන බලකරන්න පටන් ගත්තට පස්සෙ. ගුණේ ගැන මම කිව්වම අපේ අම්ම අප්පච්චි නෑදෑයො එකහෙලාම විරුද්ධ උනා.අපේ පවුල ඒ පැත්තෙ හැටියට යමක් කමක් තිබුණු පවුලක්.ගුණේලගෙ දුප්පත්කම ඒ වගේම පවුලෙ බරපතලකම ඔය ඔක්කොම ගුණේට විරුද්ධව අපෙ කට්ටිය පාවිච්චි කරපු තුරුම්පු.

ඒ ඔක්කෝටම වැඩිය හුඟක්ම ගුණේගෙ අවාසියට හිටියෙ එයාගෙ තාත්ත එයාල පොඩි කාලෙම වෙන ගැහැණු කෙනෙක් එක්ක සම්බන්ධයක් ඇතිකරගෙන ගමෙන් ගිහින් තිබුණු එකයි. ඒ එක කාරණයක් වත් ගුණේගෙ වැරදි නෙවෙයි කියල මම ගෙනාපු තර්ක, හැඬුම් වැළපුම්, දිවි නසා ගැනීමේ තර්ජන එකක්වත් සාර්ථක උනේ නෑ. අපෙ වැඩිහිටියො එක හෙලාම කියා හිටිය මේ වැඩේට නම් කොහොමවත්ම ඉඩ දෙන්ට බැහැමයි කියල.

ඒ හැම එකක්ම නොසලකා මම ලෑස්ති වෙලා හිටිය ගුණේ එක්ක හිතුවක්කාරෙට විවාහ වෙන්න. ඒත් එයාට පවුලෙ වගකීම් වැඩියි. නංගිලට උගන්නන්න බන්දල දෙන්න ඒ ඔක්කොම කරන්න වෙලා තිබුණෙ එයාට. අනික අපි දෙන්න හිතුමතේට කසාද බැන්දොත් එයාලගෙ පවුලට අපෙ කට්ටිය අතින් කරදරයක් වෙයි කියන බය අපි දෙන්නගෙම හිතේ හොල්මන් කලා.ඒ නිසා මල්ලි අවසානයේ අපි දෙන්න තීරණය කලා වෙන් වෙන්න.කුරුණෑගල වැව රවුමෙදි දවසක් හවසක හම්බ වෙලා මම මගේ ප්රථම ප්රේමයට නැවතීමේ තිත තිබ්බ.


තේ කෝප්පය අතට ගත් මම හොඳටම නිවී තිබුණු ඉතිරි තේ ස්වල්පය එක උගුරට පානය කළෙමි.

ඊට අවුරුද්දකට දෙකකට විතර පස්සෙ මම කසාද බැන්ද. මම බැන්දෙ කොහුමෝලක් එහෙම තියන සල්ලි කාරයෙක්. ගෙදරින් ගෙනෙන යෝජනා වලින් බේරෙන්න බැරිම තැන මම ඒ යෝජනාවට කැමැත්ත දුන්න.

මම ඇත්තටම මල්ලි විවාහ ජීවිතේ සාර්ථක කරගන්ට මගෙ උපරිම උත්සාහය දැරුව.අපෙ ගෙවල් දොරවල් බලන්ට එයා ආපු මුල්ම දවසෙ මම එයාට ගුණේ ගැන කිව්ව. ඒ කරල කිව්ව මම හොඳ බිරිඳක් වෙන්න උපරිම උත්සාඝ කරන්නම් ඒත් මට ඒකට කල් දෙන්න කියල. එයා හිනාවෙලා ඒකට එකඟ උනා. " ප්රශ්නයක් නෑ ඔයාට ඕන තරම් කල් ගන්න'' එහෙමයි එයා එදා කිව්වෙ.

මුලදි අපෙ විවාහ ජීවිතේ කරදරයක් නැතුව ගෙවිල ගියාට ටික ටික එයා වෙනස් වෙන්න ගත්ත.අපිට දරුවො නොහිටිය එකත් ඒකට ප්රධාන හේතුවක්. මම දොස්තර කෙනෙක් ළඟට යමුය කියල කොච්චර කිව්වත් එයා ඒකට කැමති උනේ නෑ. මගේ වැරැද්ද කියල මට නොකිය කිව්ව.හරි මල්ලි...ඒ වැඩි විස්තර කියල මල්ලිට වදයක් වෙන්නවත් මේ ලියුම දිග්ගස්සන්නවත් මට උවමනා නෑ.එකක් විතරක් කියන්නම්. එයා ඒ කිව්වෙ මගෙ මහත්තය නිතරම කිව්වෙ මම තාම හිතන්නෙ ගුණේ ගැනය කියල. ඒක ඇත්ත....ජීවිතේ මුළු හදවතින්ම කල ආදරයක්..... ඒකත් මගේ මුල්ම සහ එකම ප්රේමය, එහෙම සුදු බිත්තියක කහ පාට ගාල සුද මකල දානව වගෙ එක පාරට මකල දාන්න පුලුවන්ද?

එහෙම කරන්න ඇත්තටම පුළුවන්ද නම් මම දන්නෙ නෑ. ඒත් අඩු ගනනෙ එහෙම උත්සාහයක් දරන්න වත් තමන් බැඳපු පිරිමියා නැත්නම් ගැහැණියගේ සහයෝගය අත්‍යාවශ්‍යයයි.මගෙ මහත්තයගෙන් මට එහෙම සහයෝගයක් කොහෙත්ම ලැබුණේ නෑ.

ඔහොම ජිවිතේ මිහිපිට අපායක් වෙලා තිබුණු කාලෙක තමයි මට කුරුණෑගල බස් ස්ටෑන්ඩ් එකේදි ගුණේ හම්බ උනේ. මම බැඳල ගියත් හරි මට ගුණේ හම්බ උනේ ඔය පළවෙනි වතාවට.බස් එකෙන් බැහැල මම මොනවහරි දෙයක් ගන්ට බස් ස්ටෑන්ඩ් එකෙන් එළියට ආව. ගුණේ මම හිතන්නෙ ඔයාලගෙ කෑම්ප් එකේ ඉඳල ඇවිත් එයාලගෙ ගෙදර යන්න බස් එකට නගින්ඩ ආව. ඒ ගිණි මද්දහනෙ දෙනෝදාහක් මැද්දෙ අපි දෙන්න ගල් උනා වගෙ එකිනෙකා දිහා බලාගෙන එහෙමම ඉන්න ඇති විනාඩි ගානක්.කිසිම දෙයක් කිසිම ශබ්දයක් නෑසී මුලු ලෝකෙම අපි දෙන්න විතරක් උණු ඒ විනාඩි ගණන මගෙ හිතේ අදටත් නොමැකෙන විදිහට ඇඳිල තියනව මල්ලි.

ටික වෙලාවක් එහෙමම ඉඳල අපි දෙන්නම පියවි සිහියට ආව.මගෙ කඳුළු මට වළක්වගන්න බැරිඋනා. ඇත්තටම නම් වළක්ව ගන්න උත්සාහයක් මම ගත්තෙ නෑ කිව්වොත් ඒක තමයි සම්පූර්ණ ඇත්ත.

" අඬන්න එපා රමණි...එන්න යමු කොහාට හරි......'' ගුණේ මගෙ අතින් අල්ලගත්තෙ නෑ. මම එයාට අඩි කීපයක් පසුපසින් ......අපි දෙන්න ගියා පුත්තලම් පාරෙ එයාගෙ යාළුවෙකුගෙ රෙස්ටෝරන්ට් එහෙකට.

උඩ තට්ටුවෙ දවල්ට කන ගමන් එයා මගෙන් ඇහුව මගෙ විස්තර...

'' කලින් මට ඔයාගෙ විස්තර කියන්න ගුණේ....ඔය බැන්ද කියල මම දන්නව ඒත් එතනින් එහාට මොකවත්ම මම දන්නෙ නෑ ''

'' ඔව් දරුවො දෙන්නෙක් ඉන්නව....''

'' ඔයා සතුටින්ද ඉන්නෙ?''

'' ඔයා දන්නව රමණි මට කවදාවත් සතුටින් ඉන්න බෑ කියල..ඒත් ලක්ෂ්මීයි මායි දරු දෙන්නයි හොඳින් ඉන්නව..ඔයා?''

'' මේව කියල ඔයාගෙ හිත පාරනවට මට සමාවෙන්න ගුණේ...ඒත් මම ඉන්නෙ අපායක. මට ජීවිතේ නහගන්න තරමට හිතිලයි තියෙන්නෙ.''

එයා මගේ අත අල්ලගත්ත. මම ඒ උණුසුමට, එයාගෙ ස්පර්ශයෙ මට දැනුනු ආරක්ෂාවට තුරුලු උනේ කාලෙකින් නොලැබුනු ඒත් හිත හැමදාම බලාපොරොත්තු වුනු සුන්දරත්වයක් මුළු හිතින්ම විඳ ගනිමින්.

'' ගුණේ මම මෙහෙම කියන එක එක අතකට... නෑ හැම අතින්ම අසාධාරනයි. ඔයාගෙ ජීවිතේටත් මම මේ කරන්නෙ අයුතු බලපෑමක්.''

" නෑ අයුතු කියන වචනෙ කියන්න එපා. ඔයාට ඒ අයිතිය තියනව. කියන්න රමණි මොකක්ද මම කරන්න ඕන...''

'' අනේ මාව කොහෙ හරි එක්කගෙන යන්න ගුණේ.....නැත්නම් එක්කො මට පිස්සු හැදෙයි නැත්නම් මට වෙන්නෙ ජීවිතේ නැතිකරගන්න...''

මල්ලි මම මේ කියන්නෙ ඇත්ත. ඒ වගෙ එයාගෙ මුලු ජීවිතේම ආපහු හරවන්ඩ බැරි විදිහට අනතුරේ වැටෙන තීරණයක් ගන්න ගුණේ එක මොහොතක් වත් පැකිලුනේ නෑ,

'' හරි රමණි...මම දන්නව ඔයා ගැන. මේ ලෝකෙ අනික් හැමෝටම වැඩියෙන් ඔයා ගැන දන්නෙ මම. හරි මම ඔයාව එක්ක යන්නම්....මට උපරිම දවස් හතරක් නැත්නම් පහක් කල් දෙන්න. මම ඔයාව එක්ක යන්නම්.''

මාව එක්ක යන්නෙ කොහාටද?.....කොච්චර කාලෙකටද?...මගෙ හිතේ ඒ කිසිම ප්රශ්නයක් ඇති උනේ නෑ....මම ගුණේගෙ ඇස් දෙක...ජීවිත කාලයක් මම ආදරය කල ඒ ඇස් දෙක දිහා බලාගෙන එයාගෙ අත් දෙකම අල්ලගත්ත. ඊට පස්සෙ මතක ඇති කාලෙකින් හිත පතුලෙන්ම සැහැල්ලුවෙන් හිනාඋනා.

'' රමණි ඔයා ඔහොම ආයෙම හිනා වෙනව දකින්න මම ඕනම දෙයක් කරන්න සූදානම්...මේ ඇත්තමයි.''

'' මම දන්නව ගුණේ...'' මම කිව්වෙ මේ මුළු ලෝකෙම අමතක වුනු ගානට.

එතනින් පස්සෙ වුනේ මොකක්ද කියල මල්ලි දන්නව. මම ගුණේ එක්ක ඔයාලගෙ කෑම්ප් එකට ආව. ඒ ගත කරපු මාසෙකට කිට්ටු කාලෙ මගේ ජීවිතේ අමතක නොවන කාලයක්.මගෙ සතුට පිරිල ඉතිරිල ගිය කාලයක්.මට ජීවිතේට මූණ දෙන්න අවශ්ය ශක්තිය පන්නරය අඩුවක් නැතුව මට ලැබුණෙ ඒ කෙටි කාලෙදි. තමන්ට ආදරය කරන තමන් ආදරය කරන කෙනෙක් එක්ක ගත කරන කෙටි කාලයක් උනත් කල්පයක් වගෙ වටිනව.ඔයාල ඔක්කොටමත් මම ස්තූති කරන්න ඕන. විශේෂයෙන් මල්ලි ඔයාට.

අපි එදා ආවට පස්සෙ කුරුණෑගලදි වෙන්වුනාට පස්සෙ මට ආපහු ගුණේ හම්බ උනේ නෑ. මම එයාට කිව්ව ඔයා මා වෙනුවෙන් කරපු කැපකිරීම හොඳටම ඇති, තවත් ඔයාට කරදර කරන්ට මට බෑ,මගේ ජීවිතේ ඉදිරිය ඔහෙ ගෙවෙන විදිහකට ගෙවුනාවෙ.ඔයා හැමදාම මගේ හිතේ ඉඳීවි. ඔයාගෙ හිතෙත් මම ඉන්න බව මම දන්නව. මට ඒ ඇති හොඳටම...කියල. ඒ කරල ටික වෙලාවක් අපි දෙන්න අපි දෙන්නගෙ ඇස් දිහාවෙ බලන් ඉඳල අපි සමු ගත්ත.

මගෙ මහත්තයට මම කෙලින්ම කිව්ව මේ විදිහට ජීවත් වෙන්න බෑ. කරුණා කරල අපි දික්කසාද වෙමු කියල. එයා නඩු දාල තියෙන්නෙ. ගිය සුමානෙ එයාගෙ ලෝයර්ගෙන් මට ලියුමක් ආව.මම උගන්නන ඉස්කෝලෙ කිට්ටුවම පොඩි ගෙයක් කුලියට අරගෙන ඉන්නෙ. ආපහු ගෙදර යන්න මගෙ අදහසක් නෑ මල්ලි.

ඉතින් ඔන්න ඔහොමයි මගෙ කතාව. ලියුම නම් බොහොම දික් උනා. ඒත් මේ කතාව ඔයාට කියන්න මට ලොකු ඕන කමක් තිබ්බ. ඔයා දන්නවද ඒ ඇයි කියල....ඔයා මට ආදරය කලා කියල මම දැනගෙන හිටිය.

ලිපිය කියවීම නතර කල මම සාලයේ මේසය මත වූ ගුරුලේත්තුවෙන් වත් කරගත් වතුර වීදුරුවක් එක හුස්මට පානය කලෙමි.

දෙයියෝ සාක්කි, මම එයාට ආදරේ කලා කියල රමණි අක්ක දැනගෙන තියෙන්නෙ කොහොමද?.....ගුණේ අයියත් දැනගෙන ඉඳලද තියෙන්නෙ ඒ කියන්නෙ?......හපොයි හතර විළිලජ්ජාවයි, ඉඳල ඕන නෑ....

ඔයා මට ආදරේ කලා කියල මම දැන ගත්තෙ කොහොමද කියන එක දැන් ඔයාට ප්රශ්නයක් වෙලා අති නේද මල්ලි?....ආදරේ හංගන්න බෑ මල්ලි, හංගන්න කොච්චර හැදුවත් එක බැල්මකින් වචනයකින් ඉරියව්වකින් ඒක දැනෙනෙව. විශේෂයෙන් ඒ ආදරයට ඉලක්ක උන කෙනාට.ඔයාට ලැජ්ජ වෙන්න කිසිම හේතුවක් නෑ. ආදරය කියන එක ස්වාභාවික දෙයක් අපි හැමෝටම ආදරේ අත්යාවශ්යයයි.ආදරේට සීමා මායිම් නෑ කියන්නෙ නිකමට නෙවෙයි මල්ලි.

හරි මට කියන්න ඕන ටික මම කිව්වා. මට ඕන උනේ ඔයාගෙ හිතේ මා ගැන වැරදි අවබෝධයක් තියේනම් ඒක නැතිකරන්න විතරයි,

එහෙනම් මල්ලි ඔයාට සුබ අනාගතයක්,

රමණි අක්කා,

රමණි අක්කාගේ ලිපිය අතේ ගුලිකරගත් මම එලෙසම ඇඳේ දිගාවී සිවිලිමෙහි කැරකෙන විදුලි පංකාව දෙස බලාගත්වනම කොපමණ වේලාවක් සිටියාදැයි මට මතක නැත. එහෙත් ඒ අවම වශයෙන් පැයකට ආසන්න කාලයක් විය යුතුය.

'' මොකද මහත්තය කලුවරේම? '' අසමින් කාමරයට පිවිසි ඩැනියෙල් නිසා දැහැනින් මිදුණු මම සාලයට පැමිණියේ සිහිනෙන් ඇවිදින්නාක් මෙනි. සාලයේ තිබූ ඇඳි පුටුවක්ද රැගෙන මිදුලේ ජෑම් ගහ යටට ගිය මම දිගු සුසුමක් හෙලා එහි හිඳගත්තෙමි.

රමණි අක්කාගේ ලිපිය එතෙකුදු සුරතේ ගුලිවී තිබෙනු මා දුටුවේ වැලමිට අසල වැසූ මදුරුවකු තලා දැමීමට සුරත එසවූ විටය.

මතු සම්බන්ධයි.......

23 comments:

  1. @ සිත්තමී,

    හපොයි නඟේ ඔය මතු සම්බන්ධයි කියන වචන දෙක ඇතිවෙලා තියෙන්නෙ නම් මගේම කරුමෙටයි. ඔය වචන දෙක නොතිබ්බ නම් මොන දහංගැටේ ගහල හරි කතාවක් එක දවසින් ඉවර කරන්නම වෙනවනෙ ...හෙහ්, හෙහ්,'

    අදනම් කතාව ඉවර කරල දාන්න සෑහෙන උත්සාහයක් ගත්ත..කොහෙද මේ රමණි අක්ක එක්ක බෑ නෙව. එයාගෙ මුළු කතාවම කියන්න ඕනමය කියල කිව්ව නෙව. මේං මෙහෙමයි අපි දෙන්නගෙ දෙබස,

    " මේ රමණි අක්කෙ මා එක්ක තරහ වෙන්න නම් එපා....දැන් මට හතර වටින්ම බැණුම් අහන්නයි වෙලා තියෙන්නෙ...මේ කතාව ඉවර කරන්නෙ නෑ කියල...ඒ නිසා අද මට මේ කතාව ඉවරයක් කරන්න ඕනමයි. ඔන්න ඔයාගෙ ලියුම උපරිම පරිච්ඡේද දෙකයි ඊට වැඩිය බෑ. මට කියන්න තියෙන දෙයක් ඒ පරිච්ඡේද දෙකේ කියන්න හොඳේ.....''

    '' පිස්සුද මල්ලි එහෙම් කොහොමද?.....මේක සෙල්ලමක් කියල හිතුවද?....ඔයාගෙ යාළුවො මම ගැන මොනව හිතාගෙන ඉන්නවද කියල කවුද දන්නෙ....මම මහ කිසිම වගකීමක් නැති ගෑණියෙක්ය කියල කට්ටියම හිතාගෙන ඇති ෂුවර් එකටම. ඒ නිසා ඒ වැරදි අදහස නැති කරන්න මට මගෙ මුළු කතාවම කියන්න දෙන්න ඕන ඔයා. අද එපිසෝඩ් එක තනිකරම අරං හරි මම මගෙ මුළු කතාවම කියනව. ඔයා කතාව ලබන කොටසින් ඉවර කරන්න.''

    '' ප්ලීස් මල්ලි, ඔයා එක කාලයක් මට ආදරේ කලානේද? දැන් ආදරේ නැතිව ඇති ..ඒත් ඒ මියගිය ආදරේ නාමයෙන් මට මගෙ සම්පූර්ණ කතාව කියන්න ඉඩ දෙන්න''

    ඔන්න සිත්තමී වෙච්චි වැඩේ...ඉතිං මොකදෑ මේ අසරණ මම කොරන්නෙ.....රමණි අක්ක පව්නෙ ...නැද්ද?

    ReplyDelete
  2. හ්ම්.. රමණි අක්කත් පව්, වීරෙ මල්ලිත් පව්, ඊලඟ කොටස දානකල් බලං ඉන්න වෙච්ච අපිත් පව්...

    ReplyDelete
  3. හුහ්... රවියෝ මේක එක පාරටම ලියලා ඉවර කරපන් අපිට වද නොවී...
    එක්කෝ ඕනෙත් නෑ. හවසට හවසට මේක කියවලා උඹට බැනලා යන එකත් එක විඳීමක්....!

    ReplyDelete
  4. @ Il mondo di una povera pazza

    හරි බං හරි...උඹේ විඳීම අදින් අහවරයි....ලබන පාර අනිවා මම මේ කෙහෙල්මල ඉවරයක් කරල දානව...දෙයියම්ප.....

    ReplyDelete
  5. ඕක ඉවර වුනාම රමනි අක්ක හොයාගෙන ගිහින් හරි මේ කතාව මම එයාට පෙන්වනවා හිටුකෝ. අපිට දීපු කට්ටට උඹට වෙන දේ...
    හික්ස්...

    ReplyDelete
  6. @ Il mondo di una povera pazza

    අඩේ රමණි අක්ක හොයාගත්තොත් මටත් කියහං හොඳද?....අම්මප දකින්ටත් ආසයි.........

    ReplyDelete
  7. හ්ම්.. ලස්සන කතාවක් ලස්සනට ලියලා. මමත් ඉතින් දිගටම ඔයා ලියන ඒවා කියවනවා.
    මැණික්

    ReplyDelete
  8. //ජීවිතේ මුළු හදවතින්ම කල ආදරයක්..... ඒකත් මගේ මුල්ම සහ එකම ප්රේමය, එහෙම සුදු බිත්තියක කහ පාට ගාල සුද මකල දානව වගෙ එක පාරට මකල දාන්න පුලුවන්ද?//

    සම්පූර්න ඇත්ත....

    දැන් ඉතින් ජීවිතය පුරාම එක්කෙනෙකුට ආදරේ කල වැරැද්දට ඔය රමනිගේ ජීවිතේ එහෙම විනාස කරලා දානවා එහෙම නෙවෙයි ඕං. කලින් කතාවේ අවසානය එහෙම නං කරුනා කරලා මේකේ අවසානය වෙනස් කරන්ට හොඳ කවිකාර වගේ. එයා ඔය දුක් වින්ඳා හොඳටෝම ඇති.

    නැත්නම් බලාගත්ත හැකි….:D

    ReplyDelete
  9. හා හා.. දැං එහෙනං හොඳ එකා වගේ ලියහංකො බලාන්ට උඹ මේකට යවපු රිප්ලයි එක.. :))

    ReplyDelete
  10. This is a great story about the choices people have to make and you're a good storyteller. I like how Gune aiya evolved from a cad to a fascinating character in just one episode. A responsible middle aged man who suddenly throws all caution to the winds for a short spell of uneasy happiness for himself and his anguished ex. I hope his life didn't come to a sad end in that operational area where he got himself transferred to.

    ReplyDelete
  11. දිගටම කියෙව්වා . ඉවර වෙනකම් හිටියේ කමෙන්ට් එකක් දාන්න . ඔය එක එක්කෙනා කිව්වට ඉවර කරන්න එපා රවී . දිගටම ලියන්න . ගුනේ ගේ පැත්තෙන් කතාව කිව්වෙත් නැහැනේ .

    ReplyDelete
  12. අප්පා මේක ඉස්සෙල්ලා කතාවට වඩා දිගයි වගේ..

    ReplyDelete
  13. ඉවර කොරන්න හදිසි වෙන්නෙ මක්කෙටයි? ගුනේගේ පැත්තෙන් එතකොට ලක්ෂ්මිගෙ පැත්තෙන් එහෙමත් කිව්වනං මක්කෙය් වෙන්නෙ.

    ReplyDelete
  14. දැං ඉතිං අපිට ඊලඟ කොටසෙන් කියවන්න ඇහැකි මුන්දැ කුරුණෑගල පීර පීර රමණි අක්කව හොයන්න දඟලපු හැටි.

    ReplyDelete
  15. @ මැණික්,

    ස්තූතියි මැණික්,

    ReplyDelete
  16. .@ Poddi,

    / දැන් ඉතින් ජීවිතය පුරාම එක්කෙනෙකුට ආදරේ කල වැරැද්දට ඔය රමනිගේ ජීවිතේ එහෙම විනාස කරලා දානවා එහෙම නෙවෙයි ඕං. කලින් කතාවේ අවසානය එහෙම නං කරුනා කරලා මේකේ අවසානය වෙනස් කරන්ට හොඳ කවිකාර වගේ. එයා ඔය දුක් වින්ඳා හොඳටෝම ඇති. /

    මාර කෙළියක් නෙව මේක...එහෙම මට ඕන ඕන විදිහට කතා ඉවර කරන්නෙ කොහොමද?....මම වෙච්ච දේ කියනව විතරයි.....හෙහ්, හෙහ්,

    / නැත්නම් බලාගත්ත හැකි….:D /

    ඇයි නැත්නම් කුමාරිහාමි මට මොනව කොරන්නද?....දඬු කඳේ ගහන්නය හදන්නෙ?.....එව්ව කොහෙද?....හෙහ්, හෙහ්,

    ReplyDelete
  17. @ Buratheno,

    රිප්ලයි යැව්වෙ නෑ බං....

    ReplyDelete
  18. @ s,

    Thanks s, you realized exactly what i was trying to imply, thanks again,

    ReplyDelete
  19. @ නිසුපා,

    ඉස්සෙල්ල කතාව කිව්වෙ කෙටිකතාවද?....දිගයි තමයි, කෙටි කතාව වචන 500 කට සීමා කරන්න උනා නෙව,

    ReplyDelete
  20. @ Observer,

    පිස්සුද ඔබ්, ඔයා ඊළඟට කියයි ලොක්කගෙ පැත්තෙං, වසන්තිගෙ පැත්තෙං ආයෙ අර කදුරුවෙල ගිය ජීප් එකේ ඩ්‍රයිවර්ගෙ පැත්තෙං ඔය ඔක්කොම ලියන්නෙයි කියල.....වෙන වැඩක් නෑ....හෙහ්, හෙහ්,

    ReplyDelete
  21. @ නවම්,

    මූ එක්ක නෙව බැරි...අර මැක්කයි ඇම්ඩයි වගෙ, කොහෙන් ගියත් මේකා කැරකිල එන්නෙ මෙතෙන්ටම නෙව, පහුගිය ටිකේ ලක්ෂ්මී අල්ලං දැඟලුව...දැං රමණි....

    ReplyDelete
  22. හ්ම්ම් හ්ම්ම් ඉතිරිය කවදාද?

    ReplyDelete

මගේ සිතුවිලි ගැන ඔබේ සිතුවිලි

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...