Wednesday, March 7, 2012

104. එක්තරා දඩයක්කාරයකුගේ කතාව...........The Saga of A Hunter.....2


දඩයක්කාරයාගේ කතාව ...1


කාල නිර්ණය පිළිබඳව දඩයක්කාරයාගේ න්යාය අනුව ඔහුගේ මෑණියන් මියගියේ ද ඊයේය.එදින පිළිබඳ ස්මරණයන් විවේකී අවස්ථාවන්හි, එනම් සිතට ඉබාගාතේ උත්ප්ලාවනය වනු සඳහා අවකාශ ලබාදුන් අවස්ථාවන්හි ,නිරායාසයෙන්ම සිතට ප්රවිෂ්ට වනුයේ අධික වර්ෂාධික කාල වකවානුවකදී වාළිඹේ ගිරිහිස වසා පැතිර පවත්නා තිමිර පට, නිරතුරු හමා එන වේගවත් සුළඟින් තාවකාලිකව විසිර ගොස්, තුරු ලතාදියෙන් සමලංකෘත ගිරි මුදුනත හරිත වර්ණයෙන් දර්ශනය වන අයුරිනි.

තම මව කෙරෙහි ඔහු තුල පැවති අවිනිශ්චිත හැඟීම කුමනාකාරදැයි විශ්ලේෂණය කරනු වස් ඔහු කිසිවිටෙක තැත් නොදැරූ බැවින්, මව කෙරෙහි පැවති ඒ ලැදියාව මාතෘ ප්රේමයක්මදැයි නිශ්චය කොට ගැනීමට ඔහුට කිසිදා හැකිනොවිණි.

ළදරු අවදියෙහිදී මවගෙන් කිරී බොන මතකයක් නොමැති වුවද, සිය නිවුන් දරු දෙදෙනා බිරිඳගේ දෙතනේ එල්ලී කිරි බොන අයුරු දිවා කල අහම්බයක් ලෙස ගෙපැලේ රැඳී සිටි දුර්ලභ අවස්ථාවන්හි නෙතට ගෝචරවුනු හෙයින්,තමන් ද මවගේ දෙතනේ එල්ලී එකල්හි මෙසේම කිරි බොන්නට ඇතැයි දඩයක්කාරයා උපකල්පනය කලේය.ඒ හා සමඟම ඒ දුරාතීතයෙහි තමන්ගෙන් සදහට වෙන්ව ගිය ඒ ස්ත්රිය කෙරෙහි මෙතෙක් කලකට නොඉපදුනු සෙනෙහසක් වන් හැඟීම් අංශු මාත්රයක් සිතෙහි කොණෙක රාත්රි යාමයෙහි නිවීයාමට ආසන්න ගෙමිදුලෙහි දැල්වූ ගිණි මැළයක හමා පැමිණි හදිසි අනපේක්ෂිත සුළං රැල්ලක් කරණ කොටගෙන නිමේශයක් තුල පණගසා යලි මිය යන ගිණි පුලිඟුවක් පරිද්දෙන් ඉපිද ඒ සැණෙකින් යලි මිය ගියේය.

කෙමෙන් වැඩි විය පැමිණෙද්දී මව සහ දඩයක්කාරයා අතර වූ සම්බන්ධය කිසිසේත්ම සමීප වූවක් නම් නොවීය. දඩයක්කාරයාගේ පියා...මෙම අන්දරයෙහි දී පහසුව තකා අපි ඔහු මහ දඩයක්කාරයා යයි හඳුන්වමු...සත්යය වශයෙන්ම දඩයක්කාරයාට මෙන්ම ඔහුගේ පියාටද විශේෂිත වූ නාමයක් නොවීය.ඔවුන් දෙදෙනාම හැඳින්වීයේ දඩයක්කාරයා යන පොදු නාමකරණයෙනි.පියා ජීවත්ව සිටි සමයෙහි දඩයක්කාරයා යනු පියා හැඳින්වීමට ව්යාවහාර වූ නාමය වූ අතර, අපගේ වෘතාන්තයේ කථා නායක වූ දඩයක්කාරයා හැඳින්වීමට කිසිදු නාමයක් භාවිත නොවීය.පියාගේ අකල් ඇවෑමෙන් පසු අප කථා නායක කෙරෙහී නිරුත්සාහයෙන්ම දඩයක්කාරයා යන නාමය අන්වර්ථ විය.

මව ජිවත් වූ සමයෙහිදී ඒ මුළු මහත් කාල පරාසය පුරාම ඔහු හා මව අතර හුවමාරු වූයේ දෑතේ ඇඟිලි දසයෙන් ගිණිය හැකිවූ වදන් සමූහයකි.උදෑසනම පිළෙහි දිගෑදී නිදිගත වූ තැනින් අවදිව වන වදින අඩ නිරුවත් කොලුවා, දවස පුරාම ගෙවූයේ වන තුරු සෙවණෙහිය. හූ හඬක් ඇසෙන මානයේ පාරම්පරික ගම්මානයක් වූ අතර එහි වූයේද පවුල් විස්සකට නොවැඩි සංඛ්යාවකි.

මේ ගම්මානයෙහි විසූවෝ බහුතරයක් යම් කටුසර බෝග වගාවකින් දිවිරැකගත්තා වූ අතිශයින් කෘශ ශරීර වලින් යුතු නිතර රෝ බියෙන් පීඩා විඳින නිරතුරු අවට වනයෙන් කුමන මොහොතක අනතුරක් පැමිණේදැයි සැක සංකාවෙන් යුතුව දිවිගෙවන්නෝ වූහ. මහ දඩයක්කාරයා හා ඔවුන් අතර වූ ගණුදෙනුව සතියකට පමණ වරක් දඩයම් කල ගෝනකු, ඌරකු හෝ මුවකු හම ගසා ලේ වැකුණු මස් සමෙහිම ඔතාගත් පොදියකුදු කර තබාගෙන, ගම්මානය අසල වන බූටෑවෙහි හිඳ විශේෂිත වූ අයුරකින් හූ හඬක් නැඟූ ඉක්බිති හුවමාරු කිරීමට යම් දෙයක් එනම් කුරක්කන්, බටු මිරිස් ආදී ඔවුන්ගේ හේන්වල හටගන්නා දෙයක් ගෙන එතැනට තැති ගැනුනු සහ බිය රැඳුනු මුහුණින් යුතුව පැමිණෙන ගැමියන් සමඟ ගෙන ආ මස්පොදියට හුවමාරු කර ගැනීමට සීමා විය.

ලුණු, කහ මිරිස් වැනි දෑ ඉවුම් පිහුම් වලට බහුලව යොදා නොගත්ත ද මසකට පමණ වරක් මුහුදු කරයේ සිට බඩු පොදියක් ද කරතබාගෙන පැමිණෙන යෝනක සංචාරක වෙලෙඳාගෙන් අවශ්ය පමණ හුවමාරු කර ගැන්මට මහ දඩයක්කාරයා පුරුදුව සිටියේය.

පියා සහ පුත්රයාගේ වස්ත්රද වූයේ ඉඟ වටා රැඳි, නියඳ කෙඳි අඹරා සාදාගත් ලණුවක දැවටූ, යාන්තමට විළි වැසෙන දළ රෙදි කඩකිනි.මහ දඩයක්කාරයාගේ ඇඹේණිය ඉණේ දැවටූ දණ දක්වා වැසුණු රෙදි කඩක් පමණක් හැඳ සිටි අතර, භාණ්ඩ හුවමාරුවට යෝනක වෙලෙඳා පැමිණෙන දිනෙක, උඩුකය උරෙන් පෙරවාගත් වස්ත්රයකින් ආවරණය කොට ගත්තීය. එබැවින් ඉතාම අල්පේච්ඡ වූ ඔවුන්ගේ වස්ත්ර අවශ්යතා සඳහා සමසකට පමණ වරක් යෝනක වෙළෙඳාගෙන් මස් හුවමාරුවට ලබා ගන්නා දල රෙදි කඩ හොඳින්ම ප්රමානවත් විය.

අසලවූ එකම ගම්මානයේ විසූවෝ වනයට දැක්වූ ඇට මස් නහර පුරා කිඳීගිය භයට නොදෙවෙනි භයක් මහ දඩයක්කාරයා කෙරෙහි ද දැක්වූහ.ඔවුනට එතරම් බියක් ගෙන දෙන, ඔවුනට කිසිසේත් වටහාගත නොහැකි, අඳුරු තුරු ගොමු රුදුරු වන සතුන්, ඒ සැමට වඩා නිරතුරුව මධ්යාහ්නයේ පවා සක්මනෙහි යෙදෙන්නාවූ අද්භූත අවතාර සහ භයංකර යකුන්ගෙන් සුසැඳි මහ වනාන්තරයෙහි කිසිදු චකිතයක් අංශු මාත්රයක බියක් හෝ සැකයක් නොමැතිව, දිවා කාලයෙහි පමණක් නොව, මධ්යම රාත්රියෙහි පවා ගැවසෙන්නා වූවෙකු අද්භූත හැකියාවන්ගෙන් පරිපූර්ණ වූවෙකුයයි උපකල්පනය කිරීම මෙන්ම ඒ නිසාම ඔහු කෙරෙහි දැඩි බියක් දැක්වීම කුමන නම් අරුමයක්දැ?

කිසිවකු මහ දඩයක්කාරයාගෙ මුහුණට පැවසීමට පමණ එඩිතර නොවූව ද , එගම් වැසියන් අතර පැතිර පැවතියේ මහ දඩයක්කාරයා යනු ද එක් යක්ෂාත්මයක් බවය.එසේ වූ කල් එම යක්ෂාත්මයේ පුත්රයා වූ අප කථානායක දඩයක්කාරයා හා සමඟ කෙළි සෙල්ලමෙහි යෙදීමට හෝ යටත් පිරිසෙයින් ඔහු හා වදනක් දෙඩීමට තරම් ධෛර්ය සම්පන්න වූ එකද සම වයස්කයෙක් මුළු මහත් ගම්මානයේම නොවීම කිසිසේත්ම අරුමයෙක් නම් නොවේමය.

එසේ හෙයින් හුදකලාව දවස මුළුල්ලේ වනයේ සැරීම, දඩයක්කාරයාට ඉතිරිව තිබූ එකම විකල්පය විය. හෙතෙම කිසි විටෙකත් ඒ පිළිබඳව පශ්තාත්තාප නොවුණු බව මෙහිදී පැවසුව මනාය. හුදෙකලාව උපත ලද දින පටන්ම ශරීරයටම පත්තියම් වී තිබුණු නිසාම ඔහු හුදකලාව ප්රිය කලේය. ඔහුගේ ජීවිතයේ එක් විශේෂිත දිනයක් තෙක් දඩයක්කාරයාගේ දින චර්යාව මෙසේ වූයේය.


මතු සම්බන්ධයි........


උත්ප්ලාවනය = පාවීම, ඉපිලීම

39 comments:

  1. හොඳ හොඳ සෙල්ලම් එළිවෙන ජාමෙට කියනවනෙ..
    ඊළඟ කොටසත් බලමුකො...

    ගම්වල මිනිස්සු දඩයක්කාරයට බය වෙන්නෙ විශේෂ හේතුවක් නැතිවම තමා..තමන් හිතෙන් මවා ගත්ත බියක්...

    ReplyDelete
    Replies
    1. අහවල් හේතුවක් ද අනේ?....මිනිස්සු කොහොමත් එහෙමයිනෙ...තමන්ට නොතේරෙන දේවල් තේරුම් ගන්න උත්සාහ කරනව වෙනුවට කරන්නෙ ඒවට අනිවාරතේ බය වෙන එක....

      ස්තූතියි රූ.........

      Delete
  2. දෙපාරක් කියවලයි කතාව තේරුම් ගත්තේ. ඒත් කතාවේ එන චරිතවල හැටියටත්, පරිසරයේ හැටියටත් ඒ භාෂාව එක්ක අමුතු කුතුහලයක් එනවා.

    //ඒ ස්ත්රිය කෙරෙහි මෙතෙක් කලකට නොඉපදුනු සෙනෙහසක් වන් හැඟීම් අංශු මාත්රයක් සිතෙහි කොණෙක රාත්රි යාමයෙහි නිවීයාමට ආසන්න ගෙමිදුලෙහි දැල්වූ ගිණි මැළයක හමා පැමිණි හදිසි අනපේක්ෂිත සුළං රැල්ලක් කරණ කොටගෙන නිමේශයක් තුල පණගසා යලි මිය යන ගිණි පුලිඟුවක් පරිද්දෙන් ඉපිද ඒ සැණෙකින් යලි මිය ගියේය.//

    පිරිමි ඉතින් කොහොමත් මෙහෙමනේ. දඩයක්කාරයෝ විතරක් නෙමේ...:D

    ReplyDelete
    Replies
    1. අද දවස ගැන හිතල මුකුත් නොකිය ඉන්නව

      Delete
    2. @ Praveena Palipana,

      / පිරිමි ඉතින් කොහොමත් මෙහෙමනේ. දඩයක්කාරයෝ විතරක් නෙමේ...:D /

      එහෙම උනාම තමයි ජීවිතේ රහ කියල හිතෙන්නෙ නැද්ද?.....ගිණි පුපුරක් කාලාන්තරේකට පස්සෙ ඇවිලිල එහෙම්මම නිවිල යන එක ගැන හිතුවම ඒ සංසිද්ධිය සදාතනිකව බුර බුරා ඇවිලෙන ගිණි මැලයකට වඩා හිතට අමුතුම හැඟීමක් ගෙනෙන්නෙ නැද්ද?....අනේ මන්ද මටම ආවේණික රෝගයක් වෙන්නත් ඇති සමහරවිට...මට හිතෙන්නෙ නම් එහෙමයි......හෙහ්, හෙහ්,

      Delete
  3. අනේ මේ කතාවෙ දෙබස් නැද්ද රවි අයියේ? කතන්දරේ තව කොටස් කීයක් විතර තියෙයිද කියලා සමහරවිට අයියත් තාම දන්නෙ නැතුව ඇති මයෙ හිතේ. ගැඹුරු භාෂාවකින් එක දිගටම දිග.. වාක්‍ය එක්ක ඡේදම විතරක් කියවගෙන යන්න උනාම ටිකක් විතර වෙහෙසයි. ඒත් මං දන්නවා ලියන එක කියවනවට වඩා අමාරුයිනේ. පළවෙනි කොටසේ රැඳිලා තිබ්බ කුතුහලය තාම එහෙමමයි. ඒ නිසා ඊලඟ කොටස ඉක්මණින්ම බලාපොරොත්තු වෙනවා.

    ReplyDelete
    Replies
    1. දෙබස් නොදාම කතාව ලියන්නයි මම මුලින් අදහස් කරගෙන හිටියෙ...ඒත් එහෙම උනාම කියවන්ට වෙහෙසකරයි කියල මටත් හිතෙනව, නංගි,......ඔයාගෙ කතාව ඇත්ත.....

      ඒ නිසා දෙබස් යොදන්නම් ඉස්සරහට.....ස්තූතියි අවංකව ඔබේ සිතුවිලි පැවසුවාට,

      කොටස් ගණන නම් මටත් හරියට හිතාගන්න බෑ.....දැනට හිතාගෙන ඉන්න කතාව වෙනස් නොවුනොත් තව උපරිම කොටස් හතරක් වගෙ ලියන්ට වෙයි....මොකෝ බොලේ, එච්චර කියවන්ට අමාරුයි කියල හිතෙනවද?.....හෙහ්, හෙහ්,

      මේ විදිහෙ අසාමාන්‍ය භාෂාවක් යොදා ගත්තෙ නම් මට හිතුන මේ වගෙ කථාවක් කියන්ට සරල නොගැඹුරු වචන යොදාගන්නවට වඩා ටිකක් ගැඹුරු එදිනෙදා ව්‍යාවහාරයේ භාවිතා නොවන වචන යොදා ගත්තොත් කථාවෙ ගූඪ සහ ගුප්ත බව හොඳින් ඉස්මතු කරල දක්වන්න හැකිවේය කියල.

      / පළවෙනි කොටසේ රැඳිලා තිබ්බ කුතුහලය තාම එහෙමමයි. ඒ නිසා ඊලඟ කොටස ඉක්මණින්ම බලාපොරොත්තු වෙනවා /

      දඩයක්කාරයාගේ කථාවෙහි මූලාරම්භයේ රැඳි කුතුහලය නොනැසී අනවරතව තවමත් රැඳී ඇතිහෙයින් හැකි විගස ඉතිරි කොටස පළකරනමෙන් සිත්තමිය කල ඉල්ලීම සාදරයෙන් පිළිගත් රචක තෙමේ ඉසිඹු ලැබෙනා අයුරින් හැකි විගස දඩයක්කාරයාගේ මනස තුලට පිවිස ඔහුහේ හැඟුම් අකුරු ලෙස එළි දක්වා වියුණුවෙහි අනලස්වැ පලකරන බවට උදක්මැ සපථ කළේය....හෙහ්යැ....හෙහ්යැ...

      Delete
    2. අයියෙ මමත් සිත්තමීට එකග වෙමි... කියවගෙන යද්දි දැණුන අපහසුව ඒකයි කියල තේරුණේ එයා එහෙම කියල තියෙනව දැක්කමයි....

      Delete
    3. හරි බොලේ හරි....ටිකක් අමාරුනම් තමයි...හෙහ්, හෙහ්, කොහෙද බොලා එක්ක බැහැනෙව.... මේ සිල්ලර කඩචෝරු කෙලල අරින්ටම නෙව පුරුදු වෙලා තියෙන්නෙ....... :) :)

      හරි, ඊ ළඟ කොටසෙ ඉඳල දඩයක්කාරයගෙ ගුප්ත බාවය පොඩ්ඩක් අඩු කොරඤ්ඤං....හොඳේ......

      Delete
    4. ඉල්ලීම සාදරයෙන් පිළිගත් රචක තෙමේට සිත්තමියගේ ශීර්ෂ ප්‍රණාමයයැ. සපථය කෙළවර යොදා ඇති සිනහවනම් කැතම කැතයැ. (කොහොමත් කැතයි තමා, මේ ගමන කැතම කැතයි! :P :D)

      Delete
  4. ගුප්තයි, අඳුරුයි, නිකං ලෙනක් වගේ රායිට් !

    ReplyDelete
    Replies
    1. අන්න හරි නවම්...එහෙම හිතුනනම් හරියටම හරි....එහෙම හඟවන්න තමයි මටත් ඕන කලේ....

      Delete
  5. ඈ බං රවී අයීයෙ. ඔහේ කියන්නෙ දඩයක්කාරය ඇඹේණියත් එක්ක නාන්න දොලට යන්නෙ. ඉඳල හිටල උන්දැගෙ කටේ බලේට කැලේ පන්සලට යන්නෙ, එහෙමත් නැත්නං හිච්චි එවුන් දෙන්න නිදාගත්තම ගිණි මැලේ ගාවට වෙලා උකුළු මුකුළු කරන්නෙම නැතෙයි, අඩුගානෙ ගං මායිමේ රා මුට්ටියකවත් බා ගෙන බොන්නෙ නැතෙයි ?

    ReplyDelete
    Replies
    1. ඔන්න බලපංකො ඉතිං?.....වැඩි වෙලාවක් නෙවෙයි විනාඩි හතකට කලින් උඹම කිව්ව කතාව නිෂේධනය වෙන මඟුලක්නෙව මේ කරන්න කියන්නෙ,

      යකෝ....එහෙම මේ ගිනි ගොඩවල් ගාවට වෙලා උකුළු මුකුලු කොරන්න, පන්සල් යන්න, රා බොන්න ගිහාම දඩයක්කාරයගෙ චරිතෙ ගුප්ත බවට මොකද වෙන්නෙ? ඒක කොරන්න බෑ බොල, ඔන්න අමනාප වෙන්න එහෙම ඔට්ටු නෑ ඇහුණැයි?....මේ දඩයක්කාරය එහෙම දෙකයි පණහෙ සිල්ලර වැඩ කොරන බුවෙක් නෙවි...අන්න ඒක මතක තියා ගනිං හොඳට....මොනවදෑ ආයෙ එහෙනං....හුහ්, උකුළු මුකුළු කොරන්න....මම උඹට කීවය කියල හිතාගං....හෙහ්, හෙහ්,

      Delete
    2. නෑ උතුමාණෙනි, මං මේ කිව්වෙ මේ ඔය කතාවෙ හැටියට අර ගෑණු මනුස්සයට තවම ඕනෙනං අවුරුදු දා හතක් දහ අටක් ඉතර ඇතිනෙව දරුවො වැදුවට. [මොකෝ කොන්ඩම් තියා බේතකටවත් ගන්න විනාකිරි ඇබින්දක්වත් ඇතෙයි කියලයි ඔය පැල් කොටේ] මං ඉතිං උන්දැ ගැන පපුව කීං ගාපු හන්ද කිව්වෙ. එහෙම නැතුව මට ඕනවට නෙමෙයි [අර හාමුදුරුවොන්ටත් බෙදන්න ;)]

      //මේ දඩයක්කාරය එහෙම දෙකයි පණහෙ සිල්ලර වැඩ කොරන බුවෙක් නෙවි//

      මේ පේලියට නං මට සෑහෙන්න රිදුන බොල. ඇයි උලව්වෙ එතකොට මෙ නොකියා කියන්නෙ උඹල අපි කොරන්නෙ සිල්ලර වැඩ කියලැයි ?

      කොච්චර මහප්පරාන මනුස්සයෙක් උනත් ගැණු පරාණයක් ඉස්සරහ එහෙමටම ගල් වෙලා ඉන්න ඇහැක මං අහන්නෙ. බටර් වෙන වෙලාවක් නැතෙයි කවදාවත්ම ? අනේ බං අයියෙ පොඩි හිනාවක් වත් දාපියකො උගෙ මූණට. එතකොට ඕකගෙ හිතේ තියන ආලවන්ත කොමයි ගර්භීතකොමයි කවලං වෙලා අමුතු මොකක්ද එකක් එනව සුවැර්.

      [කෙන්ති අරං මට ගහන්න තකහනියක් එනව නෙමෙයි හරිය]

      Delete
    3. / මං ඉතිං උන්දැ ගැන පපුව කීං ගාපු හන්ද කිව්වෙ. එහෙම නැතුව මට ඕනවට නෙමෙයි /

      හ්ම්ම්ම්......අර කොහෙවත් ඉන්න දඩයක්කාරයගෙ පවුල ගැන උඹට මොකෝ ඔය හැටි කරුණාවක් පහල උනේ හැබෑටම?...මේ මටවත් නැති කරුණාවක්......හෙහ්, හෙහ්,

      / මේ පේලියට නං මට සෑහෙන්න රිදුන බොල. ඇයි උලව්වෙ එතකොට මෙ නොකියා කියන්නෙ උඹල අපි කොරන්නෙ සිල්ලර වැඩ කියලැයි ? ../

      නෑ, නෑ, නවමෝ....මම සිල්ලර කියල මෙතන අදහස් කලේ හැමෝම කරන සාමාන්‍ය දේවල් කියන එක...හිංගලෙං කිව්වොත් කොමොං (Common) තේරුණාය?

      දඩයක්කාරය ඇවිල්ල අසාමාන්‍ය මනුස්සයෙක්..හිංගලෙං නං ඇස්ටරාඕඩිනොරි පරසොං (Extraordinary Person )

      බලාපංකො ඉස්සරහට ....උන්දැ මොන ජාතියෙ මිනිහක්ද කියල....හෙහ්, හෙහ්,

      / එතකොට ඕකගෙ හිතේ තියන ආලවන්ත කොමයි ගර්භීතකොමයි කවලං වෙලා අමුතු මොකක්ද එකක් එනව සුවැර්. /

      මොකක්ද බොල ගර්භීත කියන්නෙ, ගල්බීත උනා කියල නං අහල තියනව, එතනිං ගිහාම ගර්හිත බස් ගැනත් ඔන්න අහල තියනව....එච්චර තමයි.....හෙහ්, හෙහ්,

      Delete
  6. මේ ලියන හැටි නියමයි.මේක සරළ කරනවටනම් මමනම් කොහෙත්ම කැමැත්තක් නෑ ඕං.මේක තේරුම් ගන්න මෙච්චර අමාරු මොකෑ කියල මටනම් වැටහෙන්නෑ ආයුබෝං.

    ReplyDelete
    Replies
    1. ඒකනෙව බං කියන්නෙ.....මම මේ අද මැච් එකත් නොබල කොලේ කලිං ලියාපු කොටස් දෙක අනුලෝම ප්‍රතිලෝම වසයෙං කියවාපු එක මොකක්ද මේ මේ හැටි නොතේරෙන එක කියල....ම්හු අහු උනේම නෑ නෙව....ඒකෙං මේකෙං අද ලියන්ට හිතාන හිටපු ඊලඟ කොටසත් ලියන්ට බැරි වෙච්චි...හෙටවත් ඒක දාන්ට ඕන....

      අනික් අතට ඔය ඤුරු ඤුරු ගාල නහයෙං අඬාල තියෙන්නෙ මයෙ යාවජීව පෙරේක්සිකාවො දෙන්නෙක් නෙව...ඊටත් වැඩියෙං මයෙ සහෝදරියො දෙන්නෙක් ගානයි...එහූ හිත හොඳ කෙල්ලො දෙන්න, උං කියන එකත් ටිකක් විතර වත් අහන්ටත් එපාය. හෙහ්, හෙහ්,.....නැද්ද මං අඝන්නෙ?...

      නැහ්නං ඔවුං දෙන්න එකතු වෙල මයෙ මේ ඉතුරු වෙලා තියන කෙස් ගස් දෙකත් ගලවලයි පස්ස බලන්නෙ...එහෙව් අම්මණ්ඩිල දෙන්න....ඇස් වහක් කටවහක් නෑ...අනෙ අම්මප...මේ ඇත්තමයි,

      ඊගාවට ඔවුං දෙන්න කිව්වොත් මේ අයියෙ උඹේ අපබ්බරංස අටමගල් කියවල මොලේ උළුක් කොරගන්ට අපට බෑ...උඹම කියවාගං...කියල මොන දෙයියන්ට කියන්ටද?... :) :)

      අනික බං, ඔය කසාද කාරිය බැන්දට වැඩි දැනුමක් තේරුමක් නෑ ඔය යෝදියො දෙන්නටම....මේ ඊයෙ පෙරේද කෙල්ලො නෙව,හරි නං උඹල අපි වාගෙ බහුසුරූත්ත...බහුකුර්ත...මොකක්ද බං ඒ වචනෙ?....ආ, හරි බහු සූකර...අන්න වචනෙ...උඹල අපි වාගෙ බහු සූකර වියත්තුංගෙ සබාවලට වැද්ද ගන්ට වත් වටින්නෙ නං නෑ...මම ඉතිං අර ඉස්තිරී පක්සෙ කෙරෙහි බොහෝම උනු වෙන මොඩල් එකේ බුවෙක් නිසාවෙං අනුකම්පා කොරනව...

      Delete
    2. අම්මාපල්ල මේ වෙබ් බ්‍රව්සර්නම් මළ මඟුලක්.මම කොමෙන්ට් එකට රිප්ලයි ලියල අහවර වෙලා දාන්න ගිය ගමන් ටැබ් එකට කෙලවුනානොවැ.කොපි කොරන් වුන්න එකත් නෑ වෙන එකක් කොපි කරන්න ගිහින්.ආයෙම ලියන්නත් බෑ රවී අයියා මොකෝ ඒ මානසිකත්වෙ ආයෙම එන්නෑ නොවැ.ඔන්න ඔහෙ අද කාන්තා දිනේද මොකක්දත් තියෙන එකේ එහෙනම් ඒ උන්දැලගෙ මනාපයක්..හැබැයි රජෝ බහු සූකර භාවෙ මේන්ටේන් කොරනවා හොඳා ලාවට හරි.නැත්තම් මුන්දැලාගෙ කුරුවල් මොළවල් මලකඩම බැඳිලා පිටගැස්මට හැරෙන්න පුළුවන්.

      Delete
    3. සිත්තමියේ වරේං නංගියේ!!! මේං අපි දෙන්නට අපහාස කොරලෝ!!!
      කාන්තා දිනේ ගෙවිලත් වැඩි ඈතක් නෑ නෙව... මේ ඊයෙ නෙව... හොදවයෙං කිතුල් මෝල් ගහකුත් ඇන්න වරෝ!!!

      Delete
    4. මේ එනෝ... මෝල් ගහ විතරක් ඇද්දෝ? බහු සූකරයො ඕන තරමක් ආවාවෙ, අපි බය නැතෝ...

      රණ්ඩුවට කළින් සාම සාකච්ඡාවකට කැමතිනං ඕං මේ ටික අහගන්ඩලා. අපි කියැව්වේ ඔය දඩයක්කාර උන්නැහැගේ පුරාවෘත්තය අපට තේරෙන් නෑ කියන එක නෙවෙයි බොලං අයියණ්ඩියෙ, ඒ වගේ ගැඹුරු බර සාර වචන වලින් දිගම දිග වාක්‍ය එක්ක ඡේදම විතරක් කියවගෙන යන එක වෙහෙසයි කියලා. දෙබස් ටිකක් ආවොත් පොඩි වෙනසක් එන නිසා එහෙම හොඳයි කියලා. තේරුණැයි? දැං මොකෝ කියන්නේ? මෝල් ගහත් තියෙනවා අතේ... :D

      Delete
    5. @ hansakinkini,

      ඔන්න ඉතිං බලාපං උඹ කියන එක....මොකක්දෑ මම කොරාපු අපහාසෙ? අපහාසයක්ය කියන්නෙ තමං ගාව නැති ගති ගුණයක් තියනවය කියල දොසක් කියන එකට නේද?

      එහෙම බලාගෙන ගිහාම බොලා දෙන්නට අපහාසයක් වෙනවනං වෙන්නෙ මෙන්න මේ වාක්කියෙං විතරයි ඕං,

      / මයෙ යාවජීව පෙරේක්සිකාවො දෙන්නෙක් නෙව...ඊටත් වැඩියෙං මයෙ සහෝදරියො දෙන්නෙක් ගානයි...එහූ හිත හොඳ කෙල්ලො දෙන්න,/

      ඉතිං උඹම කියනවනං උඹල හිත හොඳ කෙල්ලො නෙවෙයිය කියල මම ඒක පිළිගඤ්ඤංකො එහෙනං.....

      හරි සමාවෙයල්ල ඔන්න මම ඒ කොටස මෙහෙම සංසෝදනේ කොලා...බලාපං හරිද කියල....

      '' මයෙ යාවජීව පෙරේක්සිකාවො දෙන්නෙක්ය කියලයි මම හිතාගෙන උන්නෙ මෙච්චරකල්.. :( සහෝදරියො කියලත් හිතාන උන්නට උංම කියනව එහෙම නෑලු :( :( හිත හොඳයි කියලත් කිව්වට ඒකත් එහෙම නෙවෙයි කියල ජනූම කියන්නෙ, :( :( ''

      Delete
    6. @ සිත්තමී,

      මොකටෙයි බං මෝල් ගහ...ආ...හරි හරි අවුරුද්දත් කිට්ටු වෙච්චි එකේ කැවිලි පෙවිලි හදන්ට වෙන්ට ඕන එකත් එකටම...සිත්තරා මොනවැයි බූසේ කොටන්ඩ මනාප?......හදල දීහං ඔය වෙල්ල වැහුං...එතනිං ගිහාම උඩ බැලුං එහෙම ටිකක් යහමිං.....හෙහ්, හෙහ්,

      / අපි කියැව්වේ ඔය දඩයක්කාර උන්නැහැගේ පුරාවෘත්තය අපට තේරෙන් නෑ කියන එක නෙවෙයි බොලං අයියණ්ඩියෙ, ඒ වගේ ගැඹුරු බර සාර වචන වලින් දිගම දිග වාක්‍ය එක්ක ඡේදම විතරක් කියවගෙන යන එක වෙහෙසයි කියලා. දෙබස් ටිකක් ආවොත් පොඩි වෙනසක් එන නිසා එහෙම හොඳයි කියලා. තේරුණැයි? /

      අම්මප, ඇත්තම නෙවෙන්නම්....එහෙම නේන්නං කියාල තියෙන්නෙ....හෆොයි සමාදිය බාජනයට දමන සේක්වා......

      අර '' Mind Your Language'' එකේ Ranjeet Singh කියනව වගෙ " A Thousand Apologies , My Dear Madams , A Thousand Apologies "

      Delete
    7. මෝල්ගහ ගෙනාවෙද? මෝල්ගහ ගෙනාවේ අපට එක එක එව්වා කියන උන්දැලාට පතබාන්ඩ. අනික මේක මේ අපේ පැල් කොටේ මෝල් ගහ නෙවෙයි, වළව්වෙ එක. දයාවතී අක්කා පිටි කොට කොට ඉඳලා ඩිංගක් අහකින් තිබ්බ ගමං මං මේ උස්සං ආවේ. මේකෙං පාරක් කෑවොත්නං ලේසි වෙන් නෑ ඔන්න.

      මට විතරක් තවුසොන්ඩ් ඇපොලොජීස් කියලා මොකටද? කියන එකයි ඇත්තේ ජනූ අක්කටත්. එතකල් මං නෙවෙයි මේ මෝල් ගහ බිමිං තියන්නේ.

      Delete
    8. @ සිත්තමි,

      ඉතිං බං මයෙ ඇපොලොජියෙ තියෙන්නෙ My Dear Madams කියලනේ බහු වචනෙං,....ඒ කියන්නෙ අර අම්මණ්ඩිටත් එක්කමයි,

      හා, දැං මයෙ අම්ම...ඔය කරේ තියන මෝල් ගහ තියාපං බිමිං....හා, හා බලාගෙන, කකුල උඩට පත බාගන්නව එහෙම නෙවෙයි....අර සිත්තර ගොයිය මයෙ ඔලුවත් එක්ක කාවි...හෙහ්, හෙහ්,

      Delete
    9. හෙහ් හෙහ්!! ඔය ඇවිල්ල තියෙන්නෙ මටත් එක්කලම ලෑස්ති වෙලා සිත්තමී නගා...

      අනේ බං අයියෙ උඹට එක්කො අමු කැවිලද නැත්තං අන්ද කයිප්පු කැවිලද කියල මං දන්නෙ නෑ!!
      දැං ඇර උඹ අපි දෙන්න ගැන කියල තියෙන එව්ව සේරෝම හිතලු විතරයි නෙව උඹේ...
      කොහෙද යන්නෙ කියල උඹෙං ඇහුවාම උඹ මල්ලෙ පොල් කිව්ව වගේ වැඩක්නෙව...
      දැං අපි දෙන්න කිව්වෙ උඹගෙ අර ආලවට්ටං දාපු සගිස්කුරුත පට්ටන්දර හෑලිම කියවගෙන යද්දි ප්‍රේක්ෂිකාවන්ට වෙහෙසයි, (මං අහන්නෙ ඔය දඩයක්කාරය වචනයක් කතා කොලාම මක් වෙනවද බොල?? ඇරත් කවුද දන්නෙ බොලා ඔය ඇත්තමද කියන්නෙ ඌ ගැන කියල???)ඒ හන්ද දෙබසක් දෙකක් ආවනං හොදයි කියල නෙව.... මුන්දැට මේක තේරෙන්නෙ නැති හැටියක් අම්මප!!!
      (සිත්තමීට රහසිං:නංගියෙ මං හූණ කිව්වහෙ කියන්නං මුන්දැ එකපාරටම ඔය මහප්පරාණ වචන ලියන්ඩ පටංගත්තෙ මුන්දැට පරණ සබ්දකෝසයක් හම්බ වෙලා.එකත් එකටම ඔය ඒක පෙරල පෙරල තමයි මුන්දැ මේක ලියන්නෙ.
      දැං උඹ ඔය දයාවතියගෙ මෝලගහත් අරං ආව එකේ ඔන්න ඔහෙ පත බාපංකො මුන්දැගෙ ඔලුවට පාරක්!!
      එතකොටවත් මේ නුහුගුණ ගතිය හරි යයිද බලන්ඩ)

      Delete
    10. හික්..

      රවී ගොයියට දීල තියෙන්නෙ බැටේ..

      Delete
  7. ටික දවසකින් මේ පැත්තෙ ආවෙ, ඉස්සෙල්ල එකේ කොමෙන්ට් කියෝල ඉවරත් නෑ, හෙට හවස් වරුවෙ නිවී සැනසිල්ලෙ එන්නං ආයෙ, එතකං සුභ රාත්‍රියක්, කට්ටියටම

    ReplyDelete
    Replies
    1. ඔබාට තියෙන්නෙ තවම පරණ ලංගම පුරුද්ද.....හෙහ්, හෙහ්, ඩිපෝ එකට ගිහිල්ල පැමිණියෙමි, පරීක්ෂා කලෙමි කියල ලොග් නෝට් එකක් ගහල එන විදිහම තමයි .....ආවයි කියල පොඩි සටහනක් තියල යනව...බොහොම හොඳයි, ඔබ්, බොහොමත්ම හොඳයි ...එව්ව අගය කලයුතු ගති ගුණ...ස්තූතියි....ඔබ්...ස්තූතියි,

      Delete
  8. මේ ලියන ආකාරයට මම අකමැති. මොකද මට තේරෙන්නේ නැහැනේ :/

    ReplyDelete
    Replies
    1. සිතට ඉබාගාතේ උත්ප්ලාවනය වනු සඳහා

      සමලංකෘත ගිරි මුදුනත

      මෙම අන්දරයෙහි දී

      මෙන්න මේ ටික තමයි නොතෙරුනේ... අනිත් ඒවා නම් තේරුනා.. ඒවා ශෝක්.

      Delete
    2. උත්ප්ලාවනය කියන එක නම් මම පෝස්ට් එකේ අන්තිමට පැහැදිලි කලා, වර්ණො,

      ඒත් කමක් නෑ ආයෙම කියඤ්ඤංකො....අතිං පයිං යන එකක්ය...නැද්ද හා?

      උත්ප්ලාවනය - පාවීම, ඉපිලීම

      සමලංකෘත ගිරි මුදුන - ඔය ටික මම ලිව්වෙ මෙහෙම නෙව, '' තුරු ලතාදියෙන් සමලංකෘත ගිරි මුදුනත '' ඒ කියන්නෙ ගස් වැල්වලින් පිරුනු කඳු මුදුන කියන එකයි....

      මෙම අන්දරයේදී - අන්දරය කියන්නෙ වර්ණා, කතාව....අන්දරේ දන්නව නේද?...එයාට අන්දරේ කියල නම වැටුනෙ කතාන්දර කියාපු නිසයි...

      හරිනෙ නෙවද?....අන්න එහෙම නෙව ඉන්ට ඕන....දන්නැති දෙයක් අහල දැනගන්ට එපාය....හෙහ්, හෙහ්,

      Delete
    3. හරියෝ තෙරුනෝ :)

      Delete
  9. බර වැඩි බොලව්.. !

    ReplyDelete
    Replies
    1. අනේ සමාවෙන්ට සෑම්....ඉන්නකො ඊළඟ කොටසෙ ඉඳල ලිහිල්ව ලියන්නම්.....:(

      Delete
  10. kiyewwemi, rasawindemi, adhika busy wu nisa comment kirimata pama wuni..ithuru kotasa enathuru maga bala innemi :)

    ReplyDelete
    Replies
    1. මෙකුවි...මම ඒත් බැලුව උඹට මොකද උනේ කියල...හෙහ්, හෙහ්,

      කමක් නෑ.....හැමෝටම වැඩ තියනවනෙ.....ස්තූතියි බොහෝමත්ම වැඩ රාජකාරි මධ්‍යයේ උනත් ඇවිල්ල කියවපු සහ කමෙන්ට් කරපු එකට......

      Delete
  11. දෙවෙනි කොටස අද කියෙව්වෙ, කතාව වගේම කොමෙන්ට් ටිකත් එන්ජෝය් කොරනව.

    මං කියෝන ක්‍රමේ හොඳයි වගේ, එක පාරට කොටස් කීපයක් සහ කොමෙන්ට් අහුරකුත් හම්බෙනවනෙ.

    මොකෝ දන්නෑ බුරා දකින්න නැත්තෙ ?

    ReplyDelete

මගේ සිතුවිලි ගැන ඔබේ සිතුවිලි

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...