Tuesday, July 30, 2013

206. කිරුළ සහ සෙනෙහස ……12

කිරුළ සහ සෙනෙහස ……1 


Google Images

මහානදිය එතෙර වීමට ශක්තිමත් වූ මිල්ල දඬු එකිනෙක වෙළු කැවී කිරිල්ල වැලින් වෙලා සකස් කොට තිබූ පහුරකි. අසුන් දෙදෙන ගෙනයාමට පහුර මෙගොඩ තොටුපොළට ගොස් යළි පැමිණෙනතෙක් ඔවුහු එගොඩ මහ නුග වනස්පතියක් සෙවණෙහි විවේක ගත්හ. මෙවන් සුවිසක් දිය පහරක් කිසිදින නුදුටු වීරූ කුඩාවෝ මහත් හර්ෂයෙන් ප්‍රීති නාද නංවමින් නොගැඹුරු දියෙහි ශ්වේත වර්ණවූ සුසිනිඳු ඇල්ල මත පෙරැළී කෙළිදෙලෙන් ගත කළහ. 

" කුවණ්ණා..මා දියණිය..ඔබ සිව් දෙනාට වාසය පිණිස මම මගේ නිවස්නය ආසන්නයේම මනා ඉඩ පහසුකමින් යුතු නව නිවස්නයක් තැනීම දැනටමත් අරඹා ඇත. දින දෙකකින් පමණ එහි වැඩ කටයුතු නිමවනතෙක් ඔබට මා සමඟ වාසය කළ හැක. " 

වාශිෂ්ඨයෝ දරුවන්ගේ දඟකාරකම් මන්දස්මිතියකින් යුතුව බලා මොහොතක් නරඹමින් සිටියෝ ඔවුන් දෙසට හිස හරවා පැවසූහ. 

විජය කුවණ්ණා දෙස ක්ෂණිකව බැල්මක් යොමුකොට යලි ප්‍රීතියෙන් ඔල්වරසන් හඬ නඟන දියණිය සහ පුත්‍රයා දෙසට හැරුනේය. මේ පිළිබඳව ඔවුහු දුම්රක්ගල කරා පැමිණෙන අතර වාරයෙහිදී සාකච්ඡා කොට තීරණයකට එලඹ තිබිණි. 

" මුත්තණුවනි..ඔබ අමනාප නොවන්නේනම්……." 

කුවණ්ණා වාසිෂ්ඨී දෙස බැගෑපත් බැල්මෙන් බලා සිටියාය. 

" කුවණ්ණා..මා අමනාප වන්නේ කුමකටද? ඔබගේ සිතැඟියාවන් නොවලහා පවසනු මැන.. "

" මුත්තණුවනි.. අප ඔබගේ ගම්මානයෙන් මඳක් දුරස්ව වන මැද සුදුසු ස්ථානයක දිවිගෙවනු කැමැත්තෙමු. "


" වන්නාටය! ඔබගේ කැමැත්ත එසේනම් ඒ එසේම වනු ඇත. ගම්මානයෙන් බොහෝ දුර බැහැර නොවන්නාවූ කුඩා කඳුගැටයක මස්තකයෙහි පිහිටි ඉඩ පහසුකම් ඇති මනා ආවරණයෙන් යුතු ගල් ලෙනක් පිළිබඳව මම දනිමි. ඒ ඔබට මනා ආරක්ෂක ස්ථානයක් වනු නිසැකය. "

වාසිෂ්ඨී පැවසූයේ සිනා මුසු මුහුණිනි. 

විජය ප්‍රීතියෙන් ඉපිලගිය හදින් යුතුව කුවණ්ණා දෙස බලා සිනාසුනේය. කුවණ්ණාගේ මුත්තණුවන් ගේ ආරක්ෂාව ඔවුනට අත්‍යාවශ්‍ය වුවද පූර්ණ වශයෙන් ඔහුගේ ත්‍යාගශීලීතාවය මත රඳාපවතිමින් ඔහු සෙවණේ වසන්නට විජය කිසිසේත් කැමති නොවූයේය. 

ස්වභාවයෙන්ම ප්‍රෞඪ සහ අනම්‍ය චරිත ස්වභාවයක් උරුමවූ ඔහු එමෙන්ම දින දෙකකට ඉහත වනතෙක් මුළු මහත් ලංකාද්වීපයෙහිම අසහාය නායකයා වූ එබැවින්ම ඒ මානසිකත්වයෙන් තවමත් අත්මිදිය නොහැකිවීමට බොහෝවිට ඉඩ ප්‍රස්ථාව ඇති හෙයින්ද වාසිෂ්ඨීගෙන් සෙවණේම නොව යම්තරමකට දුරස්ව වාසය කිරීම ප්‍රඥාගෝචර බව සිතූ කුවණ්ණා ද ඔහුගේ අදහසට එකහෙලා එකඟ වූවාය. 

එසේ වුවද කුවණ්ණා ලක් කිරුළ විජයට පවරාදීම නුරුස්සනා යක්ඛ ගෝත්‍රිකයන් මෙන්ම විජය අත්හැර ලූ ඒ ලක් කිරුළ ට අයිතිවාසිකම් කියන්නාවූ ඔහුගේම සගයින් යන දෙකොටසින්ම ඔවුනට විය හැකි අනතුරු වලින් ආරක්ෂාවනු පිණිස වාශිෂ්ඨී ගේ වාසභූමිය අසල බොහෝ දුරකින් නොවන රක්ෂාවරණිත ස්ථානයක වැදගත් කමද කුවණ්ණා මෙන්ම විජයද මනා කොට දැන සිටියෝය. 

ඔවුනගේ වාසස්ථානය ලෙස වාශිෂ්ඨී යෝජනා කල ගල්ලෙන මේ සියළු කරුණු කාරණා මනා ලෙස තෘප්ත කරන්නක් වීම ඔවුන්ගේ මහත් අමන්දානන්දයට හේතුවූයේය.ඒ ඔවුන් සිව්දෙනාට අවශ්‍ය ප්‍රමාණයටත් වඩා ඉඩ කඩ සහිත විය.

වසරේ මුල් මාස කිහිපය මුලුල්ලේ දිවයිනේ නැගෙනහිර වන ගහනයට අනවරතව ඇද හැලෙනා ඊසාන දිග මෝසම් වර්ෂාවෙන් මෙන්ම ඒ හා සමඟම පැමිණෙන තද සුළඟින් ආරක්ෂාවීම උදෙසා සිරස් ගල් පර්වතයෙන් ඉදිරියට නෙරා ගිය පියස්සක් වන් ආවරණයකින් රක්ෂාව සැළසුනු සුවිසල් ගල්ලෙනෙහි පොළොව තීව්‍ර වර්ෂා සමයෙක්දී වුව අපහසුවකින් තොරව ගිනි මැලයක් දල්වා පවත්වාගත හැකි පමණ වියළිව පැවැතිණි.

ගල්ලෙන ඉදිරිපිට වූ සුවිසල් නුග රුකෙකින් සෙවණදුන් සමතල භූමි භාගයෙකි. ඒ වනස්පතිය පාමුළ හිඳගත්තෙකුට කඳුගැටය හාත්පස ඇසට අසුවන මානය තෙක් පැතිරි නිල් වනගහණය මෙන්ම හෝරාවෙක පමණවූ ඇවිදයන දුරෙකින් වූ වාශිෂ්ඨීගේ වාසභවනය වටකොටගත් ඔහුගේ අනෙකුත් සගයින්ගේ නිවෙස් ද ඒ සියල්ල වටා ඉදිකොට තිබූ ආරක්ෂක දඬු වැටද පැහැදිලිව දර්ශනය වේ. 

එලෙසම දඬු වැටෙහි ප්‍රධාන ද්වාරයෙහි සිට ඉද්ද ගැසුවාක් මෙන් එක එල්ලේ මහානදී ඉවුර අසබඩ තොටුපොළ දක්වා දිවෙන බොරළු අතුල මාර්ගයද නදියෙහි එහා ඉවුරෙහි වූ තොටුපොළෙන් ඇරඹී ඈත වනගහණය හරහා පැතිර හරිතවන් තුරු අගිසි අතරේ අතුරුදන් වන ලංකාපුරය දක්වා දිවෙන මාර්ගයද උදෑසන හිරු පායාවිත් හෝරාවක් දෙකක් පමනවනතුරු වියැකී නොගොස් ගුලි ගැසෙනා මිහිදුම් පටල තුනී ගිය කල්හි දැකිය නොහැක්කේ නොවේ. 

ඔවුන්ගේ ප්‍රධාන ආහාරය වූයේ මවිසින් ඔබට මින්පෙර සඳහන් කල යව සහ මෙනේරි ඇඹරූ පිටියෙන් තනාගත් තුනී රොටී විශේෂයයි. ඔවුනට දින කිහිපයකට සෑහෙන පමණ ඒ පිටි තම සහචරයකු අත එවීමට වාශිෂ්ඨී පළමුව යෝජනා කල මුදු කුවණ්ණා ඒ එකහෙලාම ප්‍රතික්ෂේප කලාය. ඒ වෙනුවට ඕ දින තුනකට පමණ වරක් දරුවන්ද කැටුව ජනාවාසයට ගොස් තමනට අවශ්‍ය ධාන්‍ය ප්‍රමාණය තමන්ම අඹරා ගල්ලෙනට රැගෙන ආවාය.

එසේම ලබාගන්නා ධාන්‍ය වෙනුවෙන් විජය විසින් විද මරණ ලද මුව හෝ ගෝන මස් ගාතයක් හෝ දෙකක් කොළ පිරිවැස්සක ඔතා ඔවුන් වෙත ගෙන යාමටද ඇය කිසිදු විටෙක අමතක නොකළාය. වාශිෂ්ඨී කොතෙක් මේ ක්‍රියා පිළිවෙළට විරුද්ධව කරුණු දැක්වූ මුදු කිසිවෙකුට තමන් බරක් විය නොයුතු බව තරයේ ප්‍රකාශ කොට සිටි කුවණ්ණා ඔහු බසට නොනැමුණීය. 

ඔවුන් දෙදෙනගේ ජීවිතය මෙසේ මෙසේ කිසිදු හැල හැප්පීමකින් තොරව ගලාගියේ ගල්ලෙන ඉදිරිපිට වූ සමතල භූමි භාගයෙහි හිඳ දැකගත හැකි මහානදී තොමෝ දැඩි හිරු රශ්මියෙන් වනගහනය පීඩාවට පත්වන්නාවූ නියං සමයෙක ලැසි ගමනින් ගලායන්නාවූ පරිද්දෙනි. 

" කුවණ්ණා...මපියාණන් සහ මෑණියන්ද එදවස ඔවුන් කුඩාවුන් කල දිවි ගෙවා ඇත්තේ ද මෙවන් වූ මහා ගල් ලෙනකය. එමතුද ඔවුන් දෙදෙන උපත ලබා ඇත්තේද එහිදීමය.සිංහ පුරයෙහි රජ මැඳුරක ඉපිද හැදී වැඩුණු මම කිසිදු දිනෙක මෙසේ මහ වන මධ්‍යයෙහි ගල් ලෙනක දිවි ගෙවන්නට වේයැයි සිහිනෙනුදු නොසිතුවෙමි.හෙහ්, හෙහ්..හෙහ්..." 

ක්ෂිතිජ රේඛාවෙන් ඔබ්බෙහි නැගෙනහිර මුහුදු තීරය ඉහළින් පෑයූ සඳ මඬල අහස මුදුනතට අනවරත ගමනෙහි අඩක් ගෙවා තුනී දුහුල් සළුවක් වන් වූ වළාපෙලක් පැළඳ සිටියේය.නෙතු ගැටෙන මානය පුරා පැතිරගිය වන ගහනය ශ්වේත වර්ණයෙන් බැබලියේ සුළු අත් වැරැද්දෙකින් ගෙබිම ඉහිරීගිය කිරි බඳුනක් සිහියට නංවමිනි. 

මහා නදියේ නිසල ජල තලය මත සඳරැස් පතිතව දිලිනි. තොටුපොලින් එගොඩ ලංකා පුරය කරා දිවෙන මාර්ගයෙහි තුරු ලතා සෙවණෙන් තොර පෙදෙස් පැහැදිලිව දැක ගත හැකිවූයේය. ගල්ලෙන ඉදිරිපස වූ වනස්පතියෙහි තුරු පත් සැලුනේ ඈත මුහුදුකරයේ සිට හමා ආ සිහිල් මඳ නල හේතු කොටගෙනය. 

ඒ සිහිල් සුලඟේ දැවටී පැමිණි මල් සුවඳ කුමන වර්ගයේ මලකින් නිකුත් වන්නක්දැයි මල් පිළිබඳ පුළුල් දැනුමකින් යුතු කුවණ්ණා පවා දැන සිටියේ නැත. ඒ පිළිබඳව ඔවුනතර වූ බොහෝ වාද විවාද වලින් අනතුරුව දිවා කාලයෙහි කිහිප වරක් කඳුගැටයේ හාත්පස පීරා සොයා බැලූවද එවන් මලක් දැකගත නොහැකි විය. 

" මේ අපූර්ව සුවඳ හමනුයේ රාත්‍රී කාලයෙහි විකසිතව අළුයමට පෙර මුකුලිත වනා වූ පුෂ්පයකින් විය යුතුය. " 

එවන් අසාර්ථක ගවේෂණ චාරිකාවකින් ඉක්බිති පෙරළා ගල්ලෙන වෙත පැමිණෙමින් කුවණ්ණා පැවසුවාය. 

" මම ද එසේම සිතන්නෙමි. ඒ සුගන්ධය හමනා රාත්‍රිකාලයකම අපි ඒ පිළිබඳව සොය බැලියයුතුය."

විජය ඇයට එකඟවූයේය.  

හෙත් ඉන්පසු බොහෝ රාත්‍රි කාලයන්හි ඒ සුගන්ධය සුපුරුදු පරිදි හැමුවේ වී නමුදු ඔහුහු ද ඒ සුපුරුදු ලෙසම ළය පුරා උකහා ගත් නමුදු ඒ පිළිඅබඳ වැඩිදුර ගවේෂණය කිරීම දිනෙන් දින අත පසු වී ගියේය. 

ඔවුන් හිඳසිටියේ ගල්ලෙන ඉදිරිපිට නුගගස සෙවණේය. වියළි දර ඉපල් රැස්කොට ඇවිලවූ ගිණි මැලය බුර බුරා ඇවිලියේ අහසට ගිණි පුළිඟු නංවමිනි. උණුසුම් වායු දහරාවන්හි දැවටී ඉහල නඟිනා ගිණි පුළිඟු සහසක් වනස්පතියෙහි අතු පතර අතර එසැණින් සැණෙළි නිකුත් කරමින් නිවී යනයුරු බලා සිටි කුවණ්ණා දිගු සුසුමක් හෙලා ඔහුගේ දසරුවට වාරු වූවාය. 

" එහෙත් කුමරුණි ඔබගේ පියාණන් ඒ ගල්ලෙනෙහි කල් ගෙවූයේ කිසිදු සිත සතුටකින් නොවෙන බව ඔබම මා හා පවසා ඇත්තේය.එසේ හෙයින් ඔබ ද එලෙසම කෙදිනක හෝ මේ ගල්ලෙන හැරදාපියා නික්ම යාදෝයි මසිත නිරතුරු බියෙන් තැවෙයි. සොවින් පිරවෙයි…" 

" කුවණ්ණා...ඔබ සිතෙහි කොතෙකුත් මේ විච්කිච්ඡාව මාහට කිසිසේත් වටහාගත නොහැක.අප සිව්දෙන කොතරම් සතුටකින් මෙහි දිවිගෙවන්නෙම් වේද? කියනු මැන මා සොඳුර මේ නඳුනුයන නොවේනම් අන් කුමක්ද? " 

ගල්ලෙන තුලින් ඒ සමඟම නැඟී ආයේ ජීවහත්ථ හෝ දිසාලා සිහිනයෙන් යමක් දොඩන රාවයයි.වහා හිස ඔසවා ඒ දෙසට නෙත් යොමුකල කුවණ්ණා ඒ හඬ නෑසීගිය ඉක්බිති යලි ඔහු උරහිසට බර වූවාය. 

" හෙහ්, හෙහ්..ඔබට ඇසුනේද සොඳුරිය..ඒ අපේ දියණිය හෝ පුත්‍රයා මා පැවසූව සැබෑවක් බවට එකඟතාවය පලකල අයුරුයි. " 

කුවණ්ණා මදහසක් පෑවද ඒ ඇගේ දෙනෙත් කරා පැතිර නොගිය හෙයින් දෙනෙතෙහි රැඳි ශෝකී පෙනුම එලෙසම පැවති බව ඈ දෑස කෙරෙහි එබුනු ඔහුට මනා ලෙස පසක් විය. 

" කුවණ්ණා අප දිවි ගෙවනුයේ මහත්වූ සතුටකින් නොවේද? අප පතූ සියල්ල එළෙසින්ම ඉටුවී ඇතුවා නොවේද? එසේම අපගේ මගේ නඳුන් උයනයි.අපගේ සතුටට කිසිදු බාධාවක් පෙනෙන තෙක් මානයේ නොමැතිව ඔබ අස්ථානයේ සිතින් මවා ගන්නා ලද යම් අනතුරකට බිය වී ඇති සේ මම දකිමි. " 

" එසේමය කුමරුණි..අප මේ විඳිනා මහත්වූ සතුටම මට මහත් බියක් ගෙන දෙන්නේය. මාගේ දයාබර පියාණන් නිතර පැවසූවක් ඔබට සිහිපත් කිරීමට මට අවසර..කුවණ්ණා මා දියණිය...කිසිදු බාධාවක් නොමැතිව ඔබ පැතූ සියල්ල ඉටුවන්නේනම් ඒ ඉතා අස්වාභාවිකය. ලෝකයෙහි, දෛවයෙහි ස්වභාවය කිසිසේත් එසේ නොවේ.එබැවින් සියල්ල සිතූ පරිදි ඉටුවන්නේනම් දියණියනි, ප්‍රවේශම් වන්න...එසේම ඔබ පැවසූ ලෙසම කුමරුණි. මේ නම් නඳුන් උයනයි... ඒ සැබෑවකි. එහෙත් ඒ ද මා සිත බියපත් කරවන්නකි.නඳුන් උයනෙහි සිට එක එල්ලේ නරකාදියට යාමට සිදුවුවහොත් ඒ මා කෙළෙස නම් ඉවසා ගන්නෙම්ද? " 

කුවණ්ණා තම කඳුළු පිරි දෙනෙත් ඔහු වෙත යොමුකරමින් සිහින් හඬකින් පිළිවිසියාය. 

මතු සබැඳි - සැබවක්ම පවසමි මා ප්‍රිය සබඳ / සබඳිනිය....ඒනම් තුදුස්වන සහ අවසාන කොටසමැයි. 

15 comments:

  1. Replies
    1. අපොයි එහෙම බැරියෝ....තව එකයි..තව එකයි...:)

      Delete
  2. සූර්‍ය්භිධානයන්ගෙ කථාන්දර දීර්ඝ කාලීන ලෙස කියවීමෙ පලපුරුද්දෙන් //මතු සබැඳි - සැබවක්ම පවසමි මා ප්‍රිය සබඳ / සබඳිනිය....ඒනම් තුදුස්වන සහ අවසාන කොටසමැයි. // මෙය සත්ය වීමෙ සම්භාවිතාව.... එක්කො ඔන්නෝඔහෙ ඔනෙ නෑ :)
    මේ මේකෙන් පස්සෙවත් චූටි මැනිකෙගෙ කතාව පටන් ගන්නව නේද?

    ReplyDelete
    Replies
    1. සිරස අත් තබා සපථ කොට සිටින්නෙමි මා දයාබර මෙකුවියනි..අනුයාතව මවිසින් ලියවෙනුයේ විජය - කුවණ්ණා ආදර අන්දරයෙහි සමාප්ති කථාංගයමැයි. ඒ පිළිබඳව අබමල් රොනක පමණකුදු කුකුසෙක් සිත්හි තබා ගත නොමැනැවි...

      චුට්ටි මැණිකේගේ අන්දරය ලිවීමට පෙරැ ගුරුවරියක හා මගේ ජීවිතය සහ වාං පතුල් කථා මාලාව සමාප්ත කල යුතුව ඇත. එබැවින් ඒ උදෙසා ඔබ තුමියගේ අවසරය බැගෑපත්ව අපේක්ෂා කර සිටිමි.

      Delete
  3. අම්මපා රවි අයියෙ දැන් නම් ඇත්තටම හිතෙනව මෙහෙමත් වෙන්නම ඇති කියල.

    ReplyDelete
    Replies
    1. මොනව කියනවද ශානා මලේ..ඔය මහාවංසෙ ලියාපු මහානාම හාංදුරුවො ඉන්නව නේද? එයයි මේ විස්තරේ ලියන්නෙ විජය කුවේණි සිද්දිය වෙල ( එහෙම එකක් ඇත්තටම උනා නං ) අවුරුදු දාහකට විතර පස්සෙ .

      එතකොට එයා කොහොමද මේ විස්තර දන්නෙ? මුඛ පරම්පරාගතව, ඒ කියන්නෙ එක එක්කෙනා කටින් කට කියපු එකක්නෙ මේ ලියල තියෙන්නෙ. අවුරුදු ආසන්න වශයෙන් දාහකට විතර පස්සෙ. එතකොට මොන තරම් වෙනස් කම් වෙන්න පුළුවන්ය කියල කියන්ට පුළුවන්ද සත්‍ය වශයෙන්ම වෙච්ච දේට...

      අනික ඉතිහාසය කියන එක බං ලියවෙන්නෙ ඒ ලියන මනුස්සයගෙ පෞද්ගලික අභිමතාර්ත අනුව. නිකං හිතපං අද අපේ වර්තමාන ඉතිහාසය අර පනාපුත්‍ර කුහුඹුපැණියා කියන වන්දිභට්ටය ලිව්වොත් මොන විහිළුවක් ලියයිද කියල...හෙහ්, හෙහ්..

      ඒ වගේ තමයි මේ ලියල තියන ඉතිහාසයත්. විජය -කුවේණි කතාවක් ගැන ඓතිහාසික සාධක මොකවත්ම නෑ මම දන්න විදිහට. විජය කියල මනුස්සයෙක් හිටියෙත් නැතුව ඇති බොහෝ විට. මට හිතෙන්නෙ බුදු හාමුදුරුවන්ට සිංහලයංගෙ කොණක් ඈඳන්ට ලියපු හිතලුවක් වෙන්ට ඇති බොහෝ විට මේ විජයගෙ කතාව.හරි ඒක මොක හරි මම කියන්නෙ මේකයි. විජය කියල කෙනෙක් හිටියම කියමු. එතකොට මහාවංශේ තියන කතාව ඇත්ත වෙන්න පුලුවන්. ඒ වගේම මම හිතන විදිහ ඇත්ත වෙන්නත් පුළුවන්...කවුද හරියටම දන්නෙ?....එච්චරයි මම කියන්නෙ...

      Delete
    2. සහතික ඇත්ත. ඔය මුඛපරම්පාරාගතව පැවතගෙන එන ඒව අම්බානකට වෙනස් වෙන්න පුළුවන්. ඒවගේම තමා ලියන කෙනා ඒක උනාමයි කියල ඒත්තු ගන්වන්න පට්ට ට්‍රයිඑකක් දෙනව. ඔය හින්දමනෙ අපේ ආගමික ශාස්තෘවරුන්ගෙ චාරිතාපදානවල පවා ජීවිතේට වෙයි කියල හිතන්න බැරිදේවල් ඇතුලත් වෙලා තියෙන්නෙ.

      කවදහරි ඔය කාලය හරහා යන්න පුළුවන් මොකක් හරි අටමගලයක් හැදුවනම් ගිහින් බලන්නවත් බැරියෑ ඇත්ත නැත්ත.

      මට දැන් පුරස්නෙ කොහොම ආයෙ විජයව රජ කරවයිද කියල.

      Delete
    3. / ඔය හින්දමනෙ අපේ ආගමික ශාස්තෘවරුන්ගෙ චාරිතාපදානවල පවා ජීවිතේට වෙයි කියල හිතන්න බැරිදේවල් ඇතුලත් වෙලා තියෙන්නෙ /

      ආගමික ශාස්තෲවරුන්ගෙ ජීවිත කතාවල නම් මල්ලි මම හිතන්නෙ මේකයි සීන් එක..දැන් සිද්ධාර්ථ කුමාරය මේ සාමාන්‍ය උඹල අපි වගෙ අර ගර්භාෂයෙ දියර පෙරාගෙන ලේ ගාගෙන පෙකණි වැල ඇඟ වටේ ඔතාගෙන ඉපදුනයි කිව්වොත් කොටින්ම සාමාන්‍ය විදිහට ඉපදුනයි කිව්වොත් ඒකෙ නෑ ගතියක්...අපෙ සර්දාවන්තයො කල්පනා කරනව ආ ඒකත් එහෙමද?..එහෙනං බුදු හාමුදුරුවොත් මේ උඹල අපි වගෙ ඉපදිලා තියෙන්නෙ කියල..ආන්න එතුමාගෙ රැස්පොට් බහිනව..

      ඒ වගේද...එතුමා කෙලින්ම බිහිවූ ගමම්ම අර සිනිඳු රෙදි කෑල්ලකුත් පොරවගෙන නෙළුම් මල් හතක් උඩ අඩිය තියන සත් පියවරක් ගිහිල්ල අග්ගෝ හමස්මි....ගාථාව කිව්වය කිව්වම ඔන්න බුද්දාලම්බන ප්‍රීතියෙං ඔද වැඩෙනව අපේ කට්ටිය...අන්න ඒකට තමයි ඔය එක එක ප්‍රාතිහාර්‍ය බුද්ධ චරිතයට ඈඳල තියෙන්නෙ මම හිතන විදිහට...ක්‍රිස්තු චරිතයට උනත් එහෙමම තමයි.

      / කවදහරි ඔය කාලය හරහා යන්න පුළුවන් මොකක් හරි අටමගලයක් හැදුවනම් ගිහින් බලන්නවත් බැරියෑ ඇත්ත නැත්ත. /

      කාලය හරහා යන්ට පුළුවන් යම් ක්‍රමයක් අනාගතයෙ හොයා ගත්තොත් ඔය ආගම් බහුතරයක් සම්පූර්ණයෙන්ම නැතිවෙලා යන්ටත් ඉඩ තියෙනව.

      Arthur C. Clarke සහ Stephen Baxter ලියපු Light of other days පොතේ තියනව මෙහෙම සීන් එකක්. අනාගතයට යන ක්‍රමයක් විද්‍යාඥයො හොයාගන්නව. ඒත් ඒක බොහොම රහසිගතව ආණ්ඩුව විසින්ම පාලනය කරනව. මොකද ඒකෙං අතීතයට ගිහිල්ල අතීතයෙ ඇත්තටම සිද්ධ උනේ මොනවද කියල ප්‍රසිද්ධ උනොත් මුළු ලෝකෙම මහා වියවුලක් ඇතිවෙයි කියල පාලකයො බය වෙනව.

      අමරිකාවෙ පළවෙනි ජනාධිපති ජෝර්ජ් වොෂිංටන් ඔය මොකක් හරි අමරිකානු නිදහස් අරගලයෙ සුප්‍රසිද්ධ සටනකදි බ්‍රිතාන්‍ය කාලතුවක්කු ප්‍රහාර මධ්‍යයේ අමරිකන් කොඩියත් එක අතකින් අරගෙන ගංගාවකින් එගොඩ වෙන සීන් එකක් තමයි චිත්‍ර වල එහෙම තියෙන්නෙ. ඉතිං හැමෝම හිතාගෙන ඉන්නෙ ඒක උනේ එහෙමම තමයි කියල.

      ඒත් අතීතයට ගිහිල්ල බැලුවම බ්‍රිතාන්‍ය ප්‍රහාර වලින් ගඟ මැදදිම වොෂිංටන් ගඟට වැටෙනව. සාමාන්‍ය හේවායො දෙන්නෙක් තමයි දියබත් වෙච්ච එතුමාව යන්තම් ගොඩට ගන්නෙ. ඒ ටික පොතේ තියෙන්නෙ තෙමිච්ච මීයෙක් වගෙ වෙව්ල වෙව්ල වොෂිංටන් ගොඩට ආවයි කියල. මේක ඇහුව විතරයි අමරිකන් ආණ්ඩුව වහාම ඒ යන්ත්‍රය අත් අඩංගුවට ගන්නව.

      Delete
  4. මමත් යනවා ගෑණිවයි දරුවවයි අරන් ගල් ගුහාවක් හොයාගෙන පදිංචි වෙන්න..

    ReplyDelete
    Replies
    1. ඉන්ටර්නැට් තියෙන ගල් ගුහාවකට පල හොඳද?....නැත්තං කොහොමද බොල කමෙන්ට් එකක් වත් දාන්නෙ?....:)

      Delete
    2. ඔන්න ඔය හුට්ටප්පරය හින්දම වැඩේ ටිකක් පොස්ට්පෝං කොළා.. ඔය විජය ගොයියා කොහොමද දන්නෑ නේද කමෙන්ට් එහෙම දැම්මෙ ? නැද්ද පොරගෙ ටැලිපෝං නම්බරයක්වත් ඔය ගැන අහගන්න.. :D

      Delete
    3. කුවේණිගෙ නොම්මරේ තියනවා දෙන්නද? අර රෝස පාට එකේ හුටපටේ යන කාලෙ මම එයාගෙ යාළුවෙක්ගෙන් ඉල්ල ගත්තා, හිත හැදෙන්න වචනයක් දෙකක් කියන්න කියලා...

      Delete
    4. ඉතින් හිත හැදුවෙයි ? :D

      Delete
    5. @සෙන්නා,

      මොන පිස්සුද බං.. මේකා ඒ දැරිවිගෙ හිත හදන්ට කලින් අර එහා මෙහා වෙච්චි සළුව හදන්ට කියලා ‍ගෙහුං.. ඉතිං වැඩේ ලත් තැනම ලොප් ලු.. :)

      Delete
    6. බොලාට තාම හිතෙං අතෑර ගන්ට බැරිඋනාද බොලව් ඔය රෝස පාට මොකක්ද එක?....අම්මප මට මතක් වෙන්නෙ අර සෙන් කතාව...

      " මම ඇය ගඟෙන් එගොඩ වූ පසු එතැන තබා පැමිණියෙමි. ඔබ ඇය තවමත් ඔසවාගෙන සිටින්නේ මන්ද? "

      Delete

මගේ සිතුවිලි ගැන ඔබේ සිතුවිලි

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...