Friday, March 31, 2017

497. විමලෙගේ වාං පතුල් කතා - 46 - චන්දරේගේ මළගෙදර විත්ති - 5 - අරක්කු මූඩි ප්‍රක්ෂේපනයෙහි ආදීනව සහ උපායමාර්ගික පසු බැසීමෙහි වැදගත්කම


සතාසිවම් ඝාතන නඩුවිභාගය අලලා
මහාචාර්ය රවීන්ද්‍ර ප්‍රනාන්දු මහතා
ලියූ ග්‍රන්ථය ඉහත ඡායාරූපයෙහි දැක්වේ.

ඔය වගෙ මූඩිය නිකම්ම කැරකෙන බෝතල් කඩන්ඩ ක්‍රමයක් තියනව. එක අතකිං බෝතලේ තද කරල අල්ලගෙන අනික් අතේ අල්ලෙං අඩියට ටිකක් තද පාරක් ගහන්ට ඕන. එහෙම කලාම බෝතලේ ඇතුලෙ තියන ගෑස් එහෙක පීඩනය හින්දද මන්ද කොහොම හරි මූඩිය ගැලවිල වීසිවෙලා යනව. සමහරවෙලාවට ටිකක් සලකලා පාරක් වැදුනොත් මූඩිය කෙලින්ම වීසිවෙලා ගිහිල්ල සීලිමෙත් වැදිලයි ආපහු වැටෙන්නෙ. ඒ හින්ද බොහොම පරිස්සමින් කොන්ට්‍රෝල් එකේ ඔය අඩියට ගහන වැඩේ කරන්ට ඕමනයි.

සමරෙට ආයෙ අහවල් කොන්ට්‍රෝල්.....ඌ මළටත් එක්ක කෙළල ඇරියෙ නැද්දෙ බෝතලේ අඩියට ඇති වීරියෙං..

"ඒයි යකෝ බලාගෙන…" කියල මට කෑගැස්සුන.. 

කෑගැස්සුන තමයි. වැඩක් නෑ...ඒ වෙනකොටත් ඩබල් ඩිස්ටිල්ඩ් බෝතලේ මූඩිය නීල් ආම්ස්ට්‍රෝං, එඩ්වින් ඕල්ඩ්‍රින් සහ මයිකල් කොලින්ස් යන අජටාකාශගාමීන්ද රැගෙන සඳ බලා ගමන් කිරීමට නියමිත ඇපලෝ - 11 අභ්‍යාවකාශ යානයද සමඟ පෘථිවියේ ගුරුත්වාකර්ශණයෙන් මිදී කක්ෂ ගතවනු උදෙසා ෆ්ලොරිඩාවේ කෙනඩි තුඩුවෙන් ගුවන් ගතවුනු සැටර්න් රොකට්ටුව වගෙ ගුවන් ගත වෙලා අහවරයි.

මම ඔය අපි මත්පැන් පානය කරපු කාමරය ගැන කියනකොට කලින්ම කිව්ව මතකද ඒ කාමරේ ලී සීලිමක් තිබ්බ හැබැයි ඒක තිබ්බෙ කාමරෙන් බාගයයි කියල. ඒ විස්තරේ මම කලින්ම කිව්වෙ හේතුවක් ඇතුව. ඒ කියන්නෙ අපි හිටපු කාමරේ සාලෙ පැත්තට වෙන්ට තිබ්බ කොටසෙ උඩ සිවිලිමක් නහී. සමරය ආය නෑ දෙවෙනි ලෝක යුද්ධෙ ඩන්කර්ක් සටනෙදි බ්‍රිතාන්‍ය හමුදාවන් ඉලක්ක කරල හරියට කිරල මැනල නියමිත ප්‍රක්ෂිප්තයට අනුකූලව වෙඩි තියන ජර්මන් කාලතුවක්කු සෙබලෙක් වගෙ හරියටම බෝතලේ ඉලක්ක කලේ අර සීලිම නැති කොටසට.

බෝතලෙන් මිදුනු මූඩිය එක සැණෙකින් අර සිවිලිම නැති කොටසෙන් ඉහළට ගිහිල්ල බිත්තියේ මුදුනත් පහු කරල ඊලඟට තිබ්බ ඝණ අඳුරට මුහුවෙලා අතුරුදන් වුනා. අපි හුස්ම ඉහළට නොගෙන අහගෙන හිටිය "ටලාං" යන අනුකරණයෙන් මූඩිය සාලෙ බිමට වැටෙන සද්දෙයි ඊට පස්සෙ එතන ඇතිවෙන ගාලගෝට්ටියයි අහන්ට. තත්පර දහයයි...විස්සයි...තිහයි...හතළිහයි...පණහයි...මිනිත්තුවයි....මිනිත්තු දෙකයි....තුනයි....ම්හු එහෙම සද්දයක් නම් නෑ. ඒත් සාලෙන් මෙච්චර වෙලා ඇහිච්චි කතාබහ කරන සද්දෙ නම් ඔන්න නැවතුනා. ඒත් ඒ එක්කම ආයම ඒ සද්දෙත් පටන් ගත්ත.

අන්න එතකොටයි අපි හැමෝම උඩට අල්ලගෙන උන්නු හුස්ම ආපහු පල්ලෙහාට දැම්මෙ.

"දෙයියංගෙ පිහිටෙං අවුලක් නෑ වගේ" මම හෙමිහිට කියල තාමත් පාසානිබූත වෙලා වගෙ බෝතලෙත් අතේ අරං ඉන්න සමරෙගෙං බෝතලේ ගන්ට කියල හැදුවා.

"ඒයි..මූඩිය කොහ්හා..ට්ටද බං වැට්ටු...නෙ?" සමරෙ රහසිං වගෙ ඇහුවෙ බෝතලෙත් හයියෙං අල්ලගෙන.

"අනේ මේ…..ඇති ඔයිං ගියා...තව ලැජ්ජ නැතුව මූඩියක් ගැන අහනව...මෙන්න මෙහෙ දියං ඔය බෝතලේ…" මම සමරෙගෙං බෝතලේ උදුරගෙන මගෙ වීදුරුවට එකක් වක්කරගත්ත. 

"එතකොට මූඩියට මොකද බං කරන්නෙ?" ගුණේ ඇහුව..

"මූඩියට ආය අහවල් දෙයක්ය කියල කරන්නද? ඒක වැටුන සද්දයක් ඇහුනෙ නෑනෙ. ඔය උඩ කොහෙ හරි රැඳෙන්ට ඇති. මේ......ඒකෙං වැඩක් නෑනෙ දැං...ගනිං විජහට ගන්න හරියක්...ඊටපස්සෙ බත් ටිකක් කාල යන්ට යමු"

ඔක්කොමල ඒ පාර ෂොට් එක ගානෙ දාගත්ත. ඔහොම මිනිත්තු පහක් හයක් තරම ගත වෙන්ට ඇති මහිතේ. මෙන්න එක පාරටම  බොහොම කළබලෙං දොරට ගහන සද්දයක් ඇහුන. අනිවාර්යයෙන්ම චන්දරේ වෙන්ට එපාය.

"මේකා මොකද මේ ඒ පාර දොර කඩන්ට හදන්නෙ? මූම නේද අපිට කිව්වෙ අනේ මචංලා සද්ද කරන්ට නම් එපාය කියල..මූමනෙ ඒ පාර දොර කඩන්ට හදන්නෙ.." මම දොර දිහාට හැරිල එහෙම කියල අතේ තිබ්බ වීදුරුව කනප්පුව උඩ තියල නැඟිටින්ට ලෑස්තිවුනා.

"හරි හරි ඉඳහං ඉඳහං මේ එනවා මේ එනවා….." මට කලිං ගුණේ ගිහිල්ල දොර ඇරිය. 

චන්දරේ දාඩියත් දාගෙන කාමරේට ආව නෙවෙයි කඩා පැන්න. "යකෝ උඹලට කොච්චර නම් මං කිව්වද? කෝ උඹල සතපහකට ගණං ගත්තද? දැං බලපං ඔක්කොම ඉවරයිනෙ…"

"ඇයි ඇයි බං? මොකද වෙලා තියෙන්නෙ?" මට ඇඳෙං නැඟිට්ටුනා උගෙ විලාසය දැක්කම. 

"මොකද වෙලා තියෙන්නෙ?.... වෙලා තියෙන්නෙ උඹලගෙ අරක්කු මූඩියක් සාලෙට විසිවෙලා.. දැං වැඩේ නෝන්ඩි වෙලා තියෙන්නෙ ඔක්කෝටම. අයියෝ හතර විලි ලැජ්ජාවයි. අපේ ලොකු මාමයි නැන්දයි ඒ ඔක්කොමත් සාලෙ ඉන්නව"

චන්දරය බඳින්ට කතා කරල තිබ්බෙ උගෙ ලොකු මාමගෙ දුව. ඒ කෙල්ල උපාධි ගුරු. ඔන්න ඔය හාලිඇල සෙන්ට්‍රල් එකේද කොහෙද ඉගැන්නුවෙ. හොඳ හුරුබුහුටි කෙල්ල. චන්දරය මට ෆෝටොස් එහෙම පෙන්නල තියනව.

"හරි හරි බං පැහැදිලිව කියාපංකො වෙලා තියෙන්නෙ මොකක්ද කියල?" කරුණෙ අයිය ඇහුව..

"හරි..ඉඳපංකො මෙතන වෙච්චි දේ කියන්ට ....බෝතලේ කඩද්දි මූඩිය කැඩුණෙ නෑ... කැරකෙන්ට ගත්ත. ඒ පාර මේ සමරෙ අඩියට ගැහුව පාරක්. ඒ ගමන මූඩිය ඔය බිත්තියට උඩිං සාලෙ දිහාට විසිවුනා නම් තමයි. ඒත් බං අපි අහගෙනනෙ හිටියෙ.. මූඩිය බිමට වැටෙන සද්දයක් ඇහුනෙ නෑනෙ" මම වෙච්චදේ බොහොම සහසුද්දෙං චන්දරේට පැහැදිලි කලා.

"ඇහුනෙ නෑ තමයි..ඇහුනෙ නැත්තෙ මූඩිය බිමට වැටුනෙ නැති හින්ද" චන්දරය දත්මිටි කාගෙන කිව්ව.

"ඉතිං බං එහෙනං අවුලක් නෑනෙ.." මම සැනසුම් සුසුමක් හෙලුව.

"අවුලක් නැත්තෙ නෑ ...අවුලක් තියනව... මූඩිය වැටිල තියෙන්නෙ කෙලින්ම අප්පච්චිගෙ බඩ උඩට"

"මොකක්????? හුටා....." ඇස් දාසයකුයි කටවල් අටකුයි ඇරුනෙ එක විඩේ..

"මළ කෙළියයි ජූලි හතයි මගේ පුතා ඔක්කොම කයි….." යංතං සිහි එලවාගත්තු හැටියෙ මට කියවුනා.

"ඉතිං බං දැං මොකද එතන සීන් එක? ෆුල් අප්සෙට්ද? උඹ ෂේප්මන්ට් එකක් දැම්මෙ නැද්ද?"

"උඹල මේ මඟුලක් කතා කරනව..මොන ෂේප්මන්ට්ද? මාමල බාප්පල නැන්දල ආතල ඔක්කොම අහන්ට ගත්තෙ නැද්ද කොහොමද මේ අරක්කු මූඩියක් මිනිය උඩට වැටුනෙ කියල."

"ඉතිං උඹ මොකද කිව්වෙ?"

"මම කිව්ව ඔය මීයෙක්වත් අරං යන ගමං වැටෙන්ට ඇති කියල"

"ඒකෙං වැඩේ ෂේප් උනාද?"

"නෑ බං ඒක හරි ගියේ නෑ. අපේ අර දියවරකාවෙ ආතා කියල ඉන්නව අප්පච්චිගෙ බාප්ප වෙන මනුස්සයෙක්. ඒ මනුස්සය හෙණ රෙගුලාසි කාරය. ඔය තරුණ කාලෙ බණ්ඩාරවෙල ටවුමෙ පෙරකදෝරුවෙක් ලඟ ලියන්න විදිහටත් ඉඳල තියනව අවුරුදු විස්සක් විතර. තාම ගමේ මිනිස්සු ඔය ඉඩ කඩං නඩු හබ වලදි ඉස්සෙල්ලම උපදෙස් ගන්නෙ මිනිහගෙං"

"ඉතිං... ඉතිං?"

"ඉතිං මිනිහ මගෙං හරස් ප්‍රශ්ණ අහන්ට ගත්තෙ නැද්ද අර කොල්වින් සතාසිවම් නඩුවෙදි ඇහුව වගෙ"

(සටහන 1 - සතාසිවම් නඩුව යනු පණස් වන දශකයේදී මෙරට පමණක් නොව ලොව පුරාම ප්‍රසිද්ධියට පත්වූ අපරාධ නඩුවකි. තම බිරිඳ මරා දැමීම සම්බන්ධයෙන් චෝදනා ලැබූ සුප්‍රසිද්ධ ක්‍රිකට් ක්‍රීඩක මහාදේවන් සතාසිවම් මහතා ඔහු වෙනුවෙන් පෙනීසිටි නීතිඥ කොල්වින් ආර්. ද සිල්වා මහතාගේ දක්ෂ හරස් ප්‍රශ්න ඇසීම සහ නවසීලන්ත ජාතික ශ්‍රීමත් සිඩ්නි ස්මිත් මහතාගේ අධිකරණ වෛද්‍ය සාක්ෂිමත නිදොස් කොට නිදහස් කරනු ලැබීය. මෙම නඩු විභාගය අලලා මහාචාර්ය රවීන්ද්‍ර ප්‍රනාන්දු මීට වසර කිහිපයකට පෙර "A Murder In Ceylon" නමින් අගනා ග්‍රන්ථයක් රචනා කලේය.) 

"මොනවද ඉතිං ඇහුවෙ?"

"ඉස්සෙල්ලම ඇහුව මීයෙක් අරං යන්ට උනත් මේ ගෙදරට අරක්කු මූඩියක් ආවෙ කොහොමද? මෙහෙ කවුරුවත්ම රා අරක්කු බොන්නෙ නෑනෙ කියල"

"ඉතිං?"

"ඉතිං මම කිව්ව ඔය අහල පහළ කොහෙං හරි මීය ඔය අරක්කු මූඩිය ගේන්ට ඇති කියල"

"ඒ පාර ඒක ෂේප්?"

"මොන ෂේප්ද? මේ මනුස්සය ගොඩ පෙරකදෝරුවනෙ. ඒ පාර මිනිහ ඇහුව මීයෙක් යනවනං යන්නෙ බිත්තිය උඩින්නෙ. එතකොට කොහොමද මේ සාලෙ මැද තියල තියන මිනියෙ බඩ උඩට මේ මූඩිය වැටුනෙ කියල"

"අම්මට උඩු, කොහොමද ඒ ලෝ පොයින්ට් එක? මේ මනුස්සය අමර පොරක්නෙ...ඉතිං උඹ මොකද කිව්වෙ?"

"මම මොනව කියන්ටද? කට වහගෙන හිටිය."

"උඹට කියන්ට තිබ්බෙ මීය බිත්තිය උඩිං යන ගමං එක පාරට නැවතිලා අර රොමාරියෝ ෆ්‍රී කික් එකක් ගහනව වගෙ අරක්කු මූඩියට පා පහරක් එල්ල කරන්ට ඇතිය. ඒ පා පහරේ ප්‍රබලත්වය නිසාම අරක්කු මූඩිය වීසි වෙලා ගිහිල්ල මිනිය උඩට වැටෙන්ට ඇතිය කියල…." මම හිනාවෙවී කිව්ව.

(සටහන 2 - එදවස අපගේ ප්‍රියතම පාපන්දු ක්‍රීඩකයකු වූයේ බ්‍රසීල කණ්ඩායමට ක්‍රීඩාකල රොමාරියෝය.) 

"මේ උඹ මගෙං කුණුහරප අහගන්නෙ නැතුව හිටහං හරිද?" චන්දරේ මට රවාගෙන කෑගැහුව.

"හරි හරි...චන්දරේ කලබල නොවී ඉඳහංකො. වීරෙ උඹත් ඔය අනම් මනං කියවන්නෙ නැතුව මේකට මොකද කරන්නෙ කියල කල්පනා කරහං පොඩ්ඩක්.." කරුණෙ අයිය සාම දූතයා නොහොත් එරික්  සෝල්හයිම්ගෙ පාට් එකට එන්ටර් වුනා.

(සටහන 3 - හැබැයි ඇත්තම කියනවනම් එරික් සෝල් හයිම් ගැන අපි දැනගත්තෙ මීට ගොඩක්ම පස්සෙ) 

"හරි හරි චන්දරේ වෙරි සොරි මචං වෙච්චි වැඩේට. තනිකරම අපි අතිං මිස්ටේක් එක වුනේ..අපි මෙහෙම කරමුද? උඹලගෙ ඥාතී පරම්පරාවට ඇත්තම කතාව කියමු" මම චන්දරේට කිව්ව. 

"බෑ..බෑ..උඹට පිස්සුද? ඒක හරියන්නෙ නෑ"

"එතකොට උඹේ විසඳුම මොකක්ද කියපංකො"

"මෙහෙම කරමු. මම කොහොම හරි එතන කට්ටිය ෂේප් කරගන්නං. උඹල කුස්සිය පැත්තෙං එළියට බැහැල පිළිකන්න දිගේ ගිහිල්ල ජීප් එකට නැඟල ෂේප් එකේ පලයල්ල. කෝ මුතුබණ්ඩා? "

මුතුබණ්ඩා කිව්වෙ ජීප් එකේ රියදුරු. මතකයිනේ?

"මුත්තා කාල එහෙම ජීප් එකේ නිදි."

"හරි එහෙනං අවුලක් නෑ..මම හෙමීට ගිහිල්ල කුස්සිය පැත්තෙ දොර ඇරල ජනේලෙං උඹලට කියන්නං. එහෙනම් එකා එකා සද්ද නැතුව ගිහිල්ල ජීප් එකට නැඟහල්ල"

ඉතිං වෙන මොකද කරන්නෙ? ඉතුරු බයිට් සුට්ට කොලේක ඔතාගෙන විජේ අතට ගත්ත. අරක්කු බෝතලේ කටට ඇඟිලි දෙකක් ඔබාගෙන ඒක මම ගත්ත. අපි එකා පස්සෙ එකා සිංගල් ෆයිල් පිළිකන්න දිගේ ටොප් සීක්‍රට් ඔපරේෂන් එකකට ගිහිල්ල වැඩේ වැරදිල උපාය මාර්ගිකව පහුබහින (Tactical Withdrawal) දිගු දුර විහිදුම් බලකායෙ (L.R.R.P.) ප්ලැටූන් එකක් වගෙ ගිහිල්ල ජීප් එකට නැග්ග. ඒ කරල මුත්තත් ඇහැරවගෙන වහාම ක්‍රියාත්මක වන පරිදි මළගෙදරිං විත්ඩ්‍රෝ වුනා.

පාරට දාල ටික දුරක් යද්දි සමරය කෑගැහුව "යකෝ...බෝතලේ දාලනේද ආවෙ?" කියල 

"කෑනුගහ ඉඳු..මාගාව බෝතලේ තියනව" මම කිව්ව. 

"අඩේ ඕකෙ මූඩිය නෑ නේද? ඕක හැලෙයි…" ඌ ආයෙම කෑගැහුව.

"නෑ බං මම මේ ඇඟිලි දෙකක් දාගෙන ඉන්නෙ... හැලෙන්නෙ නෑ"

"ෂක් අපරාදෙ අපිට චන්දරයගෙං මූඩිය ඉල්ලං එන්ට තිබ්බෙ" ඌ ආයෙම කිව්ව….අපි ඔක්කෝටම බකස් ගාල හිනා ගියා…

ඊට පස්සෙ අපි බණ්ඩාරවෙල ටවුමට කිට්ටු කරල පාලු තැනක නතර කරල බෝතලේ ඉවරයක් කලා. ඒ කරල කලිං බයිට් ගත්තු කොත්තු කඩෙන්ම කොත්තුත් කාල දෙයියනේ කියල පිටත් වුනා ආපහු එන්ට…. පාන්දර එක විතර වුනා කෑම්ප් එකට එනකොට..

ඒ එද්දි මනම්පිටියට පොඩ්ඩක් මෙහාදි අපි ජීප් එක නැවැත්තුව කට්ටියටම පම්ප් එකක් කාරිය දාල, ෂියේට් එකක් එහෙම ගහල, කොඳු එහෙම දිග ඇරගෙන එහාට මෙහාට සුට්ටක් විතර ඇවිදල කකුල් අතපයේ හිරි ඇරගන්ට. 

"හැබැයි එකක් තියනව චන්දරය උගෙ අම්ම මළ දවසටනං පරණ පැදුරක ඔතල කැළේ ගහනව මිසක මළ ගෙදරක් නං ගන්න එකක් නෑ."

එතන තිබ්බ බෝක්කුවක් උඩ වාඩිවෙලා ගෝල්ඩ් ලීෆ් එකක් ඇද ඇද හිටපු ගුණෙය එක පාරටම කිව්ව. අපි බඩවල් අල්ලගෙන හිනාවුනා .

චන්දරය සතියකිං විතර වැඩට ආව.

"මොකද බං අරක්කු මූඩි කේස් එකට වුනේ? අප්සට්ද?" ඌ ආහම මම ඇහුව.. 

"නෑ...වැඩේ වුනේ අර දියවරකය...ඌට ඕන නැති මඟුලක් නෑ. පස්සෙ මම කලේ ලොකු මාමට ඇත්තම සීන් එක කිව්ව. මනුස්සය පස්සෙ දියවරකයවත් ෂේප් කරගෙන වැඩේ යට ගහල දැම්ම. එතනිං ඒක ඉවරයි"

ඊටත් අවුරුදු හතර පහකට පස්සෙ චන්දරේ අර උගෙ නෑනව බැන්ද. ඒ වෙනකොට මම එහෙං ට්‍රාන්ස්ෆර් වෙලා දියබෙදුමට ගිහිල්ල. ඒ හින්ද මට උගෙ මඟුල් ගෙදරට යන්ට උනේ නෑ. සමරෙ එහෙම ගිහිල්ල තිබ්බ මඟුල් ගෙදර. 

"දැං චන්දරයගෙ ගෙදර සීලිං ගහල ඒ හින්ද උගෙ අප්පච්චිගෙ මළගෙදරදි උනාවගෙ සීන් එකක් නම් කොහොමවත් වෙන්ට විදිහක් නෑ"

පස්සෙ දවසක නුවරදි අහම්බෙං වගෙ හම්බවෙලා වයිට් හවුස් එකේ තේ එකක් බොද්දි සමරෙ මා එක්ක හිනා වෙවී කිව්ව.

69 comments:

  1. මම හිතුවේ චන්දරයත් උඹලා එක්කම හීනියට අනුමත වෙලා හෙන පිස්සුවක් කෙලියි කියලා...

    ඔය සතාසිවම් නඩුවේ නේද මොකක්ද වංගෙඩි සීන් එකක් එන්නේ...

    ReplyDelete
    Replies
    1. සෙන්නා,

      අන්න හරි ඒ "වංගෙඩියත් මිනී මැරුවා" කියන කතාව ආවෙ ඔය කේස් එකට සම්බන්ධව තමයි. ඒකට හේතුව අන්තිමට ඒ මිනීමැරුමට කිසිම කෙනෙක් දඬුවම් ලැබුවෙ නෑ. මිනිය ගාව තිබ්බලු වංගෙඩියක්. ඒ හින්දයි ඒ කාලෙ කවිකොළ එහෙම ගැහුවයි කියන්නෙ වංගෙඩිය තමයි මිනී මරුවා කියල.

      ඔතන එහෙම උනාය කියන්නෙ රජය පැත්තෙං වෙච්චි අඩුපාඩුවක් හින්ද.(අද කාලෙ බාසවෙන් කිව්වොත් අනාගැනිල්ලක්) මියගිය කාන්තාව බොහොම ධනවත් ඒ වගේම රජයේ ඉහළම තැන්වලට සම්බන්ධතා ඇති පවුලකින් පැවතෙන්නියක්. (ඇය සර් පොන්නම්බලම රාමනාදන් මහතාගේ මිණිබිරියක්) ඒ හින්ද රජයේ වගකිවයුතු අයට ඕන කරල තියනව සතාසිවම්ව මේකට කොහොම හරි එල්ලුම් ගස් යවන්ට.

      සතාසිවම්ට විරුද්ධව ප්‍රධාන සාක්ෂිකාරය වුනේ ගෙදර සේවකයා වුන විලියම්.විලියම්ට කලින්ම රජයෙන් සමාවක් දීල. අන්තිමට නඩුවෙදි කොල්වින් සහ සර් සිඩ්නි ස්මිත් බොහොම දක්ෂ විදිහට ඔප්පු කලා සතාසිවම් අතින් මේ ඝාතනය වුනේ නෑ කියල.

      එතකොට සැකකරන්න වෙන්නෙ විලියම්ව. ඒ වුනාට විලියම්ට විරුද්ධව ආය නඩු දානව කියන්නෙ ආණ්ඩුවට පිලිගන්න වෙනව කලින් නඩුව තනිකරම වැරදි කරුණු මත පදනම්ව දාපු නඩුවක්ය කියල. ඒ හින්ද අන්තිමට විලියම්ටත් ගෙදර යන්න දෙන්න උනා.

      ඔය නඩුව ගැන අපූරු විස්තරයක් තියනව සර් සිඩ්නි ස්මිත්ගෙ ස්වයං ලිඛිත චරිතාපදානයෙ පොතේ නම Mostly Murder. මම හිතන්නෙ ඒකෙ සිංහල පරිවර්තනයකුත් තියනවද කොහෙද...

      අන්තිමට මේ නඩුව හින්ද කොල්වින් තමං කාලයක් තිස්සෙ දිනාගත්තු ආසනයෙන් ඊලඟ ඡන්දෙදි පැරදුනාලු.මොකද මිනිස්සුන්ගෙ පිළිගැනීම වුනේ කොල්වින් කෙස් පලන තර්ක ගෙනල්ල මිනීමරුවෙක් නිදහස් කලාය කියල. පොදු මහජනයා තමන්ගෙ අප්‍රසාදය පලකලේ එහෙමයි....:)

      Delete
  2. හෙහ් හෙහ් හේ..
    මළ ගේ අස්සෙම ඉදල අනුමත වෙන්න යනවට හොද පාඩං ඕං... :-D :-D
    ඔය කැලේක කොලේක වගෙ ඉදගෙන සෙට්ටෙන්නෙ නැතුං.. :-D ආයෙ ගියා සීලිං නැති තැංම හොයන්න.
    හෙහේ

    ReplyDelete
    Replies
    1. මහේෂ්,

      නරක වෙලාව මල්ලි නරක වෙලාව ...

      Delete
  3. මේ ලියන සීග්ගරේට මටම පුදුමයි ලියන්නෙ රවියද කියල. අනේ ඇත්තමයි උඹට හැදිච්ච ලෙඩේ මොකක්ද බං.

    ReplyDelete
    Replies
    1. ඒක තමයි මූ අද අදිවේගෙද යන්නෙ, එක පඳුරකවත් නෑ.
      මුංට සම්මාන දුන්නම පඳුරු අමතකර වෙනවද බොලව්.
      නෙලුම් යාය තමයි මෙව්වට වග කියන්න ඕනෙ.

      Delete
    2. අම්මප තමයි. මේ මනුස්සය අර පිලිස්සූ කුකුළෙක් අවුරුදු දෙකක්ද කොහෙද මේසෙ උඩ තියාගෙන හිටිය හැටියට මේක ලිවුවනං මූඩිය සාලෙට වැටෙන්න අවුරුද්දක් යනව.

      Delete
    3. Helapa, Ano & Pra,

      මේ පහුගිය ඉරිද රෑ එවුන්දැයි මායි අතර ඉස්කයිප් මාර්ගයෙන් වෙච්චි සාකච්ඡාවේ උද්ධෘතයක්......

      "හලෝ..හලෝ.."

      "ඉතිං ඉතිං...මොනවද අලුත් තොරතුරු?"

      "ආ..සුබ ආරංචියක් තියනව කියන්ට.."

      "ඒ මොකක්ද අප්පේ?"

      "මම අර බ්ලොග් එකක් ලියන්නෙ.."

      "ඔව්..ඔව්..ඔය රෑ දෙගොඩ හරියක් තිස්සෙ අර ලැප් ටොප් එකට එබීගෙන කොටන්නෙ..මම දන්නව ඉතිං මොකද වුනේ? ඒ බ්ලොග් එක මින් ඉදිරියටත් ලිව්වොත් අඬු කඩනවයි කියල තර්ජන එහෙම ආවද?"

      "මොන විකාරයක්ද මේ කියන්නෙ? එහෙම කෙහෙම්මමලක් නෙවෙයි හලෝ.."

      "එහෙනං?"

      "මට මේ පාර හොඳම බ්ලොග් එකට සම්මානෙ ලැබුන."

      "ම්ම්ම්..හරි.. එහෙනං හිතාගත්තෑකි අනික් බ්ලොග් කොහොමද කියල..."

      "මොකක්ද කිව්වෙ?"

      "නෑ..නෑ...මට සතුටුයි කිව්ව.."

      "ආ ඒක මිසක්..."

      "මේ එහෙනං ඔය සම්මානෙකුත් හම්බ වුන එකේ දැංවත් ඔය රටේ නැති පල්හෑලි ලියල ඔහෙගෙත් කාලෙ කාල කියවන මිනිස්සුන්ගෙත් කාලෙ කන එක නවත්තල මාතෘකාවට අදාලව ලියන්ට පුරුදු වෙනව. තේරුණාද?"

      "හරි වැඩක්නෙ ඒක..මම ලියන්නෙ මට පුරුදු විදිහට.."

      "එහෙම බෑනෙ හලෝ..දැන් බලන්නකො මෙහෙම.අපි ගමු පොඩි කොල්ලෙක්. ඒකා ගඟේ ඇලේ දොලේ පැනල නාල ගස් නැඟල සරුංගල් ඇරල දඟල දඟල ඉන්නව."

      "ඉතිං?"

      "ඉතිං කොල්ලෙක් විදිහට එහෙම ඉන්න එක හරි. ඒත් අපි හිතමු ඒ කොල්ලව මහණ කලාය කියල"

      "ඉතිං මහණ කලාම මොකද වෙන්නෙ?"

      "මහණ කලාම වෙන්නෙ කොලුවට අර පරණ සෙල්ලං දාන්ට බැරිවෙනව. සිවුරකුත් දාගෙන ගස් නඟින්ට පුලුවනිය? ඒ හින්ද සිවුරෙ ගෞරවය තියන්ට පරණ සෙල්ලං ඔක්කොම නවත්තන්ට වෙනව.."

      "ඒකත් හරි තමයි බලාගෙන යනකොට..."

      Delete
    4. ///"ඉතිං කොල්ලෙක් විදිහට එහෙම ඉන්න එක හරි. ඒත් අපි හිතමු ඒ කොල්ලව මහණ කලාය කියල" ///

      යුගයේ කියමන...
      අර කවුද එකෙක් පෝස්ටර් ගැහුවේ "යුගයේ ප්‍රාඥ්ඥයා" කියල, ආන් ඒ වගේ...

      Delete
    5. මේක හරියන්නේ නෑ. සම්මානේ ඉල්ලා ගන්න වෙනවා ආපහු..

      Delete
  4. අද නං මාතෘකාවට අදාලවම ලියල තියනවා.පඳුරකුත් එකට අදාලවම තලලා. :)

    ReplyDelete
    Replies
    1. යසිත,

      පඳුරු තලන්ටනම් තිබ්බ නැතිවෙන්ට...

      1. නීල් ආම්ස්ට්‍රෝංල ඉස්සෙල්ලම හඳට ගිය එකේ විස්තරේ ලියල තව පෝස්ට් තුන හතරක් ඇදගෙන යන්ට තිබ්බ

      2. රොමාරියෝ සහ බ්‍රසීල් පාපන්දු කඩායම ගැන ලියන්ට තිබ්බ අඩුගානෙ පෝස්ට් දෙකක්වත්

      3. එරික් සෝල්හයිම් ගැන ලියන්ට තිබ්බ ඒත් පෝස්ට් දෙකක්වත්.

      4. ඩන්කර්ක් සටන ගැන ....ඒ අනුසාරයෙන් නෝමන්ඩි ලෑන්ඩිං..තව පෝස්ට් හත අටක්වත්

      5. සතාසිවම් නඩුව ගැන තව පෝස්ට් පහක්

      6. කොල්වින් ගැන පෝස්ට් හතරක්

      7. පොන්නම්බලම් රාමනාදන් ගැන පෝස්ට් තුනක්..

      අන්න බලන්න පිංවතුනි මෙතන තියනව පෝස්ට් 28 කට සෑහෙන කරුණු...

      ඉදිරියේදී ඒ පිළිබඳ ලිවීමේ අයිතිය තබාගෙන චන්දරේගේ මළගෙදර කතන්තරේ ඉවරකල යුතු නිසාම පඳුරු තැලීමෙන් චේතනාන්විතව වැළකුණෙමි.

      ( ඔහොම අනාගතයේදී නඩුපැවරීමේ අයිතිය තියාගෙන නඩුවක් ඉල්ලල අස්කරගන්නවට හොඳ වචනයක් තියනව ..මට දැන් ඒක මතක් වෙන්නෙ නෑ.)

      Delete
    2. තව මාතෘකාවක් මෙහෙම පටන් ගන්න 'චන්දරේගෙ මළ ගෙදර අතුරු කතා' කියල.හරිම සරලයි...

      Delete
    3. ඕකට කියන්නෙ ප්‍රාණභුක්තිය තියාගෙන නඩුව අස් කර ගන්නවා කියල..

      Delete
    4. ඇනෝ,

      හෙහ්..හෙහ්...තෑන්ක්යූ තෑන්ක්යූ ඔබේ පැහැදිලි කිරීම ඉතා අගනේය.

      අපි ඒ කාලෙ ණය එහෙම ගන්නකොට අත්සන් කරන ෆෝම් එකේ අන්තිමට මෙහෙම එකක් තිබ්බ.

      “බෙනිපිකියුම් ඔර්ඩ්නිස් සෙයු එක්ස්කයියෝනිස්“

      Delete
    5. මක් කිව්ව..? ඇහුන්නෑ.. මොකක් හරි වැදගත් දෙයක් වෙන්ටෑ..

      Delete
  5. අද උදෙන්ම කියවුවෙ මේක..මගෙ ප්‍රියතම බ්ලොග් එක වසරේ බ්ලොග් කරු රවි අය්ය විම ගැන ගොඩාක් සතුටුයි.***..... සුබ පැතුම් ...****කොමෙන්ට් කරෙ නැති උනත් හැමදාම කියවනවා.. සින්හල කරන්න ගියාම එපා වෙනව..

    ReplyDelete
    Replies
    1. ඔබට බොහොම ස්තූතියි Latta...:)

      Delete
  6. රොමාරියෝ ද සූසා ගෙ රිවර්ස් කික් එකක් තිබ්බ ,
    බිත්ති කන්ඩියේ තිබ්බ මූඩියට මෙන්න මෙහෙම ගහන්න ඇති කියල, බයිට් ඔතල තිබ්බ කඩදාසි ගුලිය සාලෙ මැද්දට ගෙනත් උඩදාල ගහල පෙන්නල මාමලගෙ සැකේ අරින්න තිබ්බෙ.
    අන්තිමට කරන්න උනේ අපි කියපු දේමනෙ. පාර අයිනෙ නිදහස් තැනක ,

    ReplyDelete
    Replies
    1. කම්මල,

      අඩේ එහෙම කරන්න තිබ්බ තමයි නේ?

      Delete
  7. රවි අයියෙ ඔයාගෙ සම්මානෙට සුබ පැතුම් අයියේ.
    මම හැමදාමත් ආසාවෙන් කියවනව රවි අයිය ලියන දෙවල්.
    ඒක නෙවෙයි රවි අයියේ, මට පුද්ගලික කාරනාවකට රවි අයියගෙන් උපදෙස් ගන්න ඕනෙ. ඇත්තම කියනවනම් මට අලුත් බෝයි ෆ්‍රෙන්ඩ් කෙනෙක් හම්බ උනා FB එකෙන්.
    ඉතින් දැන් කාලෙ එක එක මිනිස්සු ඉන්නවනෙ නේද ඒ නිසා මට හරි බයයි රවි අයියෙ.
    රවි අයියට කරදරයක් නැතිනම් අයියගෙ ටෙලිෆෝන් නොම්බරෙයි රවි අයියට ෆ්‍රී වෙලාවකුයි කියනවද, ප්ලීස් අයියෙ.
    රවි අයියට බුදු සරණයි.
    මම සීදූවෙ උදාරි

    ReplyDelete
    Replies
    1. මේ උදාරි අක්කෙ. මෙයාගෙං උපදෙස් අරගත්තොත් සියදිවි හානිකරගන්න තමයි වෙන්නෙ හිටං.

      Delete
    2. හිතවත් සීදුවෙ නංගී,

      අනේ අප්පේ FB එකෙං කොල්ලො හොයාගන්න එකටනම් මගේ කැමැත්තක් නැත. "FB එක කියන්නෙ සුට්ටි ෆං එකක් ගන්න තියන තැනක්නෙ අපෙ හාන්දුන්නේ" කියල අර හිටපු මහ රජ්ජුරුවො කිව්ව වගෙ ඒ වගෙ සිල්ලර කාරණාවලටනං FB එක හොඳය.

      ඒ ඇර බඳින්නට කොල්ලෙක් කෙල්ලෙක් FB එකෙං හොයාගන්ට බලන එකට මගේ කැමැත්තක් නැත.

      FB එකෙං කෙල්ලෙක් හොයාගෙන කසාද බැඳගත්තු මගේ යාලුවෙකුගේ පුතෙක් ඉන්නවාය.උං දෙන්නා මේ එක ගෙදර එක ඇඳේ නිදාගත්තත් සංනිවේදනය කරන්නේ FB මඟින්ය.

      ඔන්න අපි මෙහෙම හිතමුය. දෙන්නා රෑට කාලා එහෙම ඇඳට ගියාහුය. කොල්ලාට අර අහවල් වැඩේට ඕනෑ කොමක් පහල උනේය. ඒ පාර කරන්නේ FB එකේ ඉස්ටේටස් අප්ඩේට් කොරන එකය. Feeling Horny with Sugandhika ෆීලින්ග් හෝනි විත් සුගන්ධිකා ( සුගන්ධිකා කියන්නෙ බාර්යාවගේ නමය )

      එතකොට අපි හිතමු බාර්යාවට නිදිමතයි කියල. එතකොට එයා මෙහෙම ඉස්ටේටස් එකක් දානවාය Feeling Not In The Mood With Chathuranga ෆීලිං නොට් ඉන් ද මූඩ් විත් චතුරංග ( චතුරංග කියන්නෙ මගෙ යාලුවගෙ පුතාය ) එතකොට චතුරංගට ඔප්ෂන්ස් දෙකක් ඇත. එක්කෝ අනික් පැත්තට හැරිලා නිදාගන්න එකය. නැත්තං....

      ( FB විවාහ ගැන පෝස්ට් එකක්ම පසුව ලිවීමට හිතාගෙන ඉන්නවාය )

      ඉතිං අවසාන වශයෙන් උදාරි නංගී,මට කියන්ට තියෙන්නේ ඔන්න ඔය ටිකය. ළඟදීම නංගිලා වැනි දිවි කතරේ වල්මත්ව හසරක් නොදකින අසරණ කුලවමියන්ට පිහිට වීමට උපදෙස් කොළමක් ආරම්භ කිරීමට බලාපොරොත්තු වෙමිය."රවි අයියාගෙං ඔබේ දිවිමඟ සැපවත් කරගැනීමට උපදෙස්" යනු ඒ කොළමේ නමයි.

      ඒ කොළම ඇරඹූ දාට ඔබේ ගැටළුවට වැඩිදුරටත් පිළිතුරු දීමට බලාපොරොත්තු වෙමි.

      සමන් මලින් පවන් සැලේ..ඔබට මල් මල් අනාගතයක් පතන මම ඔබේ දයාබර රවි අයියා..

      Delete
  8. මම කිවුවේ නැද්ද මේක මහ බේබදු කතාවක් කියල? මළ ගෙදරත් බීල, එන අතරමගත් බීල.. වෙඩි තිබ්බේ නැති එක නම් හරිම අපරාදෙ! :)

    මම මුලින් හිතුවේ සාලෙ සිවිලිමක් තිබුණු නිසා, මූඩිය ටොක් ගාල සිවිලිම උඩට වැටුණු පසු, ඒ ටොක් සද්දය නිසා කට්ටිය මොහොතකට නිහඬ වුණා කියල.

    අතුරු ප්‍රශ්නයක් විදියට අහන්නේ, මරණෙට සාමාන්යෙන් උඩු වියන් බඳිනවා නේද? එතකොට ඔය මූඩිය විසි උනේ සෑහෙන ආනතියකින් වෙන්න ඕන? සාලේ ගොඩක් ලොකු එකක් ද එතකොට?

    ඔය සමරය නම් හරිම මත් ලෝලියෙක් තමයි.. අර ඇඟිලිත් දාගෙන ඉන්න අරක්කු එකටත් කෙළ හලනව මදිවට, අර මැරුණු මනුස්සය උඩට වැටුණු මූඩියත් ගෙන්න හැදුව කිවුවම ?

    හෝටලේ තේ එකට ඇඟිලි දාගෙන හිටපු වේටර් ගේ කතාව දන්නවා නේද? :D

    ReplyDelete
    Replies
    1. මිනියට උඩු වියනක් තිබුණේ නැතැයි උපකල්පනය කරන්න.

      Delete
    2. මානවී,

      /අතුරු ප්‍රශ්නයක් විදියට අහන්නේ, මරණෙට සාමාන්යෙන් උඩු වියන් බඳිනවා නේද? එතකොට ඔය මූඩිය විසි උනේ සෑහෙන ආනතියකින් වෙන්න ඕන? සාලේ ගොඩක් ලොකු එකක් ද එතකොට?/

      ඒ ගෙදර සීලිං ගහල තිබ්බෙම නෑ. සාලෙට සීලිමක් තිබ්බ නං සාලෙ කරන කතාබහ අපිට ඇහෙන්නෙ නෑනෙ. සීලිමක් නැතිහින්ද සාලෙ තැන්පත්කරල තිබ්බ මෘත කළේබරය ඉහලින් වහලෙ පරාලවල තමයි උඩු වියන බැඳල තිබ්බෙ...

      /හෝටලේ තේ එකට ඇඟිලි දාගෙන හිටපු වේටර් ගේ කතාව දන්නවා නේද? :D/

      දන්නෙ නැතෝ... කියාපියෝ....:)

      Delete
    3. දවසක්, මනුසයෙක්, තේ එකක් බොන්න කියල හෝටලේකට ගියාලු. තේ එක ඕඩර් කළාට පස්සේ, වේටර් තේ එක අරගෙන ආවේ, එක ඇඟිල්ලක් තේ එක ඇතුලේ තියන විදියට තේ එක අල්ලගෙන ලු.

      "ඊයා.. නොද්දකින්.. යකෝ මනුස්සයෙක් බොන තේ එක නේද ඔය? ඇඟිලි දාගෙන ආවම හරිද ඒ තේ එකට"

      "නෑ මහත්තය, මේ.. මේ ඇඟිල්ලේ තියන වනේ හොඳ වෙන්න, ඇඟිල්ල රස්නෙ දෙයක් ඇතුලෙ දාගෙන ඉන්න කියල තමයි දොස්තර මහත්තයා මට කියල තියෙන්නෙ"

      "ඊ.. යකෝ! රස්නෙන් තියාගන්න ඕන නම් පස්ස පැත්තේ ගහන් ඉඳපන් ඇඟිල්ල, තේ එකේ දාන් ඉන්නේ නැතුව! රෙද්ද"

      "එහෙම තමයි මහත්තයා මෙච්චර වෙලා මම හිටියෙ! දැන් මේ තේ එක ගේන ගමන් එහෙම ඉන්න බැරි නිසා තමයි ටික වෙලාවකට තේ එකට ඇඟිල්ල දැම්මෙ"

      Delete
    4. මානවී,

      ෂෙහ්..මරු කතාව ඒක...අම්මප උඹත් දන්න කතන්දර....:)

      Delete
    5. මානවී,

      ඔය උඹ ඉන්න දිහා කට්ටියගෙ ගෙට් ටුගෙදර් වගෙ එව්ව තියනවනේද.? එව්වයෙ කියනවනෙ තමන්ගෙ රටේ ජනකතා එහෙම කියන්ට කියල...ඒ වගෙ වෙලාවක ඔය කතාව කියාපං...

      මම මෙහෙදි එහෙම අවස්තාවලදි කියන්න කතා කීපයක් ලෑස්ති කරගෙන ඉන්නව..

      1. ඇසිලින් අක්කා බණ අහන කතාව (ඉඳා ඕන මඟුලක් කරගනිං)

      2. කොටයක්වත් තියනවද කියල බලනවකො ඕයි කතාව

      3. මොනව උනත් ඌ හොඳ එකා දොස්තර මහත්තයෝ කතාව

      4. ඇම්ඩන්ගේ වඳුරො කූඩු හදපු කතාව

      Delete
  9. //හෝටලේ තේ එකට ඇඟිලි දාගෙන හිටපු වේටර් ගේ කතාව දන්නවා නේද? :D//

    අනේ දන්නෙ නෑනෙ මානවී. ඒ කතාවත් ඔහොමම ලියල දැම්ම නං.

    ReplyDelete
    Replies
    1. ඔහේටත් ඉතිං කොහේවත් ඇඟිලි දාගෙන ඉන්න කතාවක් ඇහුනොත් ඒක පස්සෙම එලෝනව නේද? හැක්..

      Delete
    2. :D අන්න උඩින් දැම්ම විස්තරේ :) :)

      Delete
  10. ඕන්න බලන්නකෝ ඒකෙත් වැඩේ....... අච්චර උඩක ඉඳන්... වියනක් ගහලා තියෙන මළමිනියක බඩ උඩට කොහොමද රවියෝ අරක්කු මුඩියක් තියා කඩදාසියක්වත් වැටෙන්නේ????

    ඔන්න මම කට වහගත්ත... මටත් ඉතින් මේ බේගල් දකිනකොට.. ගල්බොර මතක් වෙනවනේ. ඒකයි ලෙඩේ....

    ReplyDelete
    Replies
    1. ලිබිතා,

      අන්න උඩහ ලියද්දට ගිහිල්ල බලහං..වියං බැඳල තිබ්බ විදිහ ගැන මම මානවීට කිව්ව...:)

      Delete
  11. කෙරුණු විස්තරේ හිත තුළ ඇඳී ඇතී
    කරුණු මොටදැ විත ගන්නට තැනක් ඇතී
    පිරුණු විත බඳුන් ටික හිස් වෙන්න යතී
    මැරුණු මිනිහටත් මුන් විත දෙන්න යතී....

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. Dumme,

      Thanks....

      කවිය පසුවට හොඳේ? මේ වෙලාවෙ කවි ලියන්න පුලුවන් මානසිකත්වයක් නෑ..සිකුරාද ඉතිං නිවාඩු දවසනෙ...හෙහ්,හෙහ්,

      Delete
  12. බොලේ හැබෑටම පත සයිස් බොරුවක් වියන කපාගෙනද මූඩිය වැටුනේ.
    මූ මෙච්චර කල් ලියල තියෙන්නෙ ඔක්කොම බොරු.
    සාමානෙ ආපහු ගන්න වෙනවා මුලින්ම.
    ඉන් පස්සෙ FCID එකට දක්කන්න වෙනවා.

    ReplyDelete
    Replies
    1. Ano,

      ඉහත එස්.අයි.පී.බී. මානවිකාට දුන් පිළිතුර කෙරෙහි ඔබගේ කාරුණික අවධානය යොමු කරවමි.

      Delete
  13. මං හිතන්නෙ මල ගෙවල් මඟුල් ගෙවල් උඹට අගුණයි. එක පාරක් ඩෝප් වෙලා කුකුලෙක් උස්සල දුවන්න වුනා, දැන් මේක.

    ReplyDelete
    Replies
    1. ඉයන්,

      මළගෙවල්, මඟුල් ගෙවල් ඔබට අගුණයි. පතෝල, ඉරිවේරිය, කෝමාරිකා, බඩල්හනස්ස, අඬන හිරියා සහ මොණර කුඩුම්බිය ආහාරයට ගැනීම ගුණයි.නින්දට ගිය පසු ස්නානයෙන් වළකින්න.

      Delete
  14. උඩින් සිවිලිමක් නැතිව ඔය විදියට මුඩියක් වැටෙන්නේ පුළුවන් තැනක ඔය කාමරේ තිබුනානම් උඹලගේ ඔය සද්ද බද්ද ඔච්චර ඇහෙන්නේ නැතිව තියෙන්න බෑනේ..

    රවියෝ උඹ හිතන් ඉන්නේ මේක කියවන අපිටත් වෙරි කියල ද හැබෑටම හෙහ් හෙහ්

    ReplyDelete
    Replies
    1. ඇයි බොල ඒක තමයි චන්දරෙය දෙතුං පාරක්ම ඇවිල්ල මූං ටිකට සද්ද නැතුව ඉන්න කියල කිවුවෙ.

      Delete
    2. Pathum,

      /උඩින් සිවිලිමක් නැතිව ඔය විදියට මුඩියක් වැටෙන්නේ පුළුවන් තැනක ඔය කාමරේ තිබුනානම් උඹලගේ ඔය සද්ද බද්ද ඔච්චර ඇහෙන්නේ නැතිව තියෙන්න බෑනේ../

      ඇහෙනව ඇහෙනව මොකෝ නෑහී... ඒ හින්දම අපි ඇත්තටම ෆුල් වොලියුම් කොන්ට්‍රෝල් එකේ කතා කලේ..

      මම එපිසෝඩ් නම්බර් ත්‍රී එකේදි මෙහෙම කිව්වෙ ඒ හින්ද ...

      / සාලෙං සද්දෙ අපිට ඇහෙනව කියන්නෙ අපි කතා කරන එව්වත් සාලෙට ඇහෙන්ට ඕන. ඒ තියරි එකට කියන්නෙ "කෙකුලේගේ මළ ගෙදර ශබ්ද පැතිරීමේ න්‍යාය" කියල ඉංගිරිසියෙං කීවොත් "Kelule's Murdur House Acoustical Propagation Theory". ඇඩ්වාන්ස්ඩ් ලෙවල් ෆිසික්ස් වලට ඔය තියරිය ගැන ඉගෙන ගත්ත හින්ද විනාඩි පහෙන් පහට වගෙ කාලාන්තර වලදි මම "ෂ්..ෂ්..ෂ්..ෂ්...වොලියුම් ඩවුන් ප්ලීස්" කියල ගැජු ග්‍රැජුවලි වැඩිවීගෙන එන සද්දෙ අඩු කරන්නට කටයුතු කලා./

      Very well underskirt Pathum? Ok No?

      Delete
    3. ඒ කියන්නේ ඉතින් කතා කරලා නෙවෙයි කොඳුරලා..

      Delete
  15. මං කිවුවෙ නැද්ද. මූනට කිවුවට ඉතිං ඊට ටිකක් පල්ලෙහටනෙ වැටිල තියෙන්නෙ. මොනව උනත් ඉතිං සීං එක ඔය තරමින් සෙට්ල් වෙච්ච එක ලොකු දෙයක් මළගේ මරන ගෙයක් වෙන්නැතුව.

    ReplyDelete
    Replies
    1. ප්‍රසන්න,

      හැබෑට උඹ කිව්ව නේද? තැන විතරයි වෙනස් වුනේ..මූණ වෙනුවට බඩ...:)

      Delete
  16. උඹ කොහොමද අරක්කු බෝතලේට ඇඟි‍ලි දෙක දාගෙන මැද සාලෙ ඉන්න මිනිස්සුන්ට පේන්නැතුව ඕක එළියට අරගෙන ආවෙ. සරමක්වත් ඇඳල හිටියනං වහගෙන එන්න තිබ්බ.

    ReplyDelete
    Replies
    1. Prasanna,

      /උඹ කොහොමද අරක්කු බෝතලේට ඇඟි‍ලි දෙක දාගෙන මැද සාලෙ ඉන්න මිනිස්සුන්ට පේන්නැතුව ඕක එළියට අරගෙන ආවෙ../

      ආන්න සබාපතිතුමනි ඔබටත් වැරදුනු තැන...අපි සාලෙ මැදි නෙවෙයි පසුබැස්සෙ..කුස්සිය සහ පිළිකන්න හරහා...:)

      /"මෙහෙම කරමු. මම කොහොම හරි එතන කට්ටිය ෂේප් කරගන්නං. උඹල කුස්සිය පැත්තෙං එළියට බැහැල පිළිකන්න දිගේ ගිහිල්ල ජීප් එකට නැඟල ෂේප් එකේ පලයල්ල. කෝ මුතුබණ්ඩා? "/

      Delete
  17. "ෂක් අපරාදෙ අපිට චන්දරයගෙං මූඩිය ඉල්ලං එන්ට තිබ්බෙ" ඕක කියනකොට චන්දරය එතන හිටියනං ෂුවර් එකටම මිනියක් මැරෙනව. හැක්..

    ReplyDelete
  18. ඇති ඔයින් අලාබහානියක් නොකරම මෙව්ව උනා...
    හෙහ් හෙහ්
    ජයවේවා..!!

    ReplyDelete
  19. ඇ බං ඇගිලි දෙකක් එබුවේ කොහොමද බෝතල් කටේ

    ReplyDelete
    Replies
    1. අටම්,

      මැද ඇඟිල්ල දැම්මම වටේ තව පොඩ්ඩක් ඉඩ ඉතුරුවුනා. ජීප් එකේ යද්දි ගැස්සිලා ඒ ඉඩෙං අරක්කු හැලෙයි කියල වදෙං පොරෙං දබරැඟිල්ලත් යම්තමට දැම්ම ඇතුලට....:)

      Delete
    2. හරියට නිකම් පොරෝප්පේ ගැහුවා වගේ තියෙන්න ඇති එහෙනම්.

      Delete
    3. ම්හ්, මමත් ට්‍ර‍යල් එකක් කරල බැලුව, ඒ උත්තරේ පිළිගන්නම බෑ.

      Delete
    4. අටම් ඇහුව ප්‍ර‍ශ්නේ තමයි මේ පෝස්ට් එකේ තේරුම් බේරුම් කරගන්න තියන දෙවැනි වැදගත්ම ප්‍ර‍ශ්නය,තුන්වෙනි එක පහලින්.

      Delete
    5. ඇණයා,

      ඔබේ ඇඟිලි වල වත්මන් මහත එදවස මගේ ඇඟිලි වල මහත හා සමාන වන්නේයයි යන උපකල්පනය මත පිහිටා ඔබ ඉහත නිගමනයට එළඹ ඇති බවක් මාහට හැඟේ.

      එය එසේ වියයුතුම නැත....:)

      Delete
    6. Mnaoj,

      ආය මොනවද? ඇඟිලි දෙක එළියට ගත්තෙත් බොහොම අමාරුවෙං...:)

      Delete
  20. නියම ලියවිල්ල රවී අය්යේ . ජයම වේවා!

    ReplyDelete
  21. චන්දරය ඕවර් ඇක්ටින් කියල උඹලට හිතුනේ නැද්ද? ඔය වගේ වෙලාවලට වැඩේ තවත් අල කරලම එන එක තමයි කරන්නෝනි.. ඒත් අර කොම්පැනියේ ජීප් එකත් එක්ක මොකුත් කරන්න බෑනේ..

    ReplyDelete
    Replies
    1. කල්‍යාණ,

      චන්දරය මොත්තයක් ගෙනියන්නෙ කියල අපිට කලින්ම තේරුනා. ඒත් එහෙම විකාරයක්ම කරන්නත් බෑනෙ බං මහවැලියෙ නමනෙ සවුත්තු වෙන්නෙ.

      Delete
  22. එතකොට මළබත සප්පායම් වෙන් නැතුවම ද පල්ලම් බැස්සේ? විශ්වාස කරන්ටනං අමාරුයි,

    ReplyDelete
    Replies
    1. ඇණයා,

      අහවල් මල බතක්ද බං? චන්දරය ඇවිල්ල කියපු විදිහට අපිට වෙන ඔප්ෂන් එකක් තිබ්බෙ නෑ. ඉමීඩියට් විත්ඩ්‍රෝවල් ඇරෙන්න...

      Delete
  23. පුදුම උගුඩුවො ටිකක්නෙ...

    ReplyDelete
  24. මළගෙවල් වල යන එන ගමන් අනුමත වෙන ඒවායේ පුදුම ගතියක් තියෙන්නේ. ඔය වගේ අත්දැකීම් නැතිනම් වැඩක් නෑ. එක දවසක් ඔය වගේ මාමා කෙනෙකුට මම කට ගාවට මාට්ටු වෙන්න ගියා, මළගෙදර කුණුහරප කතාවක් කියන්න ගිහිං. පස්සසේ කතාව වෙන පැත්තකට නවලා බේරුණේ.

    ReplyDelete

මගේ සිතුවිලි ගැන ඔබේ සිතුවිලි

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...