Friday, November 4, 2011

58. නොහැඟවූ ආදරය......Unexpressed Love..........1




ජීවිතයේ මුල්වරට ස්ථිර රැකියාවක් මට ලැබුනේ, උතුරුමැද පළාතේ නැගෙනහිර මායිමට ආසන්නව, අර්ධ රාජ්ය ආයතනයක ව්යාපෘතියකය.එකල වයස විසිගනන්වල මුල් අවදියේ සිටි මා මෙන්ම තවත් මගේ වයසේම මිතුරන් කණ්ඩායමක් සමඟ විවිධ වයස් කාණ්ඩවල පුද්ගලයින් රැසක් එහි සේවය කලෝය. ඝණ වනය මධ්යයේ වූ හිස් බිම් කඩක් වටා ඉදිකෙරුනු තාවකාලික තනිකඩ නිවාස අපේ නිවහන් වීය.කඳවුරේ නේවාසිකව සිටි හතලිහක පමණ වූ සියල්ලෝම පිරිමින් වූ අතර ඒ අතර විවාහකයෝ මාසය අවසානයේ වැටුප් ලැබූ පසු නිවෙස් බලාගොස් දින තුන හතරක් අඹු දරුවන් සමග ගතකර නැවත පැමිණියෝය. නව යොවුන් වියේ පසුවූ අපි බොහෝවිට නිවෙස් බලා ගියේ, දෙමසකට හෝ තුන් මසකට වරකි.

කොන්ත්රාත් කරුවන් විසින් ලහි ලහියේ විවාහක නිවාස කිහිපයක් නිමකරනු ලැබුයේ මේ අතරය.

" ඒයි ලොක්ක කිව්ව මැරීඩ් ක්වාටර්ස් වලට එන්න කැමති අයට ලියුම් දෙන්නෙයි කියල " එක් දිනක සවස කාර්යාලයේ ලිපිකරුවකු වූ ධර්මේ පැවසුවේ අප සේවය නිමවී පැමිණ ස්නානය කරන අතරය.

" අපිට මොන මැරීඩ් ක්වාටර්ස් ද බං? හෙහ්....හෙහ්...... "' මම සිනාසුණෙමි.

" අන්න ගුණේ අයිය නම් අදම ලියුමක් දුන්න.......''

'' ගුණේ අයිය?.....පළයං බං පච නොගහ......ගුණෙ අයියට මම දන්න විදිහට ඉස්කෝලෙ යන පොඩි එවුන් දෙන්නෙක් ඉන්නවනෙ......ඉතිං කොහොමද මේ කැළේ මැදට ඇවිල්ල........''

'' එව්ව මම දන්නෙ නෑ......බොස් අදම ඇපෲව් කලා......ලබන සුමානෙ වයිෆ් එක්ක එනවයි කිව්වෙ ගුණේ.......''

තව දුරටත් මේ කතාව කීමට පෙර ගුණේ අයියා පිළිබඳව යමක් පැවසිය යුතුමය. වයස තිස්පහක් පමණ වූ ගුණේ අයියා ඉතා තැන්පත් පුද්ගලයෙක් වූ අතර, කඳවුරේ සැමගේ සිත් දිනා ගත්තෙකි. කුරුණෑගල සිට කිලෝ මීටර තිහක පමණ දුරක පිහිටි පිටිසර ප්රදේශයක වාසය කල හෙතෙම පාසල් යන වයසේ දරුවන් දෙදෙනෙකුගේ පියෙකු බව ඔහුගේ කතා බහින් අපි දැන සිටියෙමු.

ස්වල්ප වශයෙන් මත්පැන් පානයෙහි යෙදුන ද හේ කිසිදිනක ඒ කෙරෙහි ලොල්නොවීය.එහෙත් අප සාදය අවසන් කරන තෙක්, නිදිමරාගෙන අප හා රැඳීසිටීම ඔහු පුරුද්දක් වශයෙන් කලේය.

දින කිහිපයක් ගතවිය. එක් දිනක සුපුරුදු ලෙස සේවය අවසානයේ අපි අපගේ නේවාසිකාගාරයේ තේ පානය කරමින් සිටියෙමු.

කොට කලිසමකින් සහ ටී ෂර්ට් එකකින් සැරසුණු ගුණේ අයියා ගොඩ වැඩුනේ මේ අවස්ථාවේදීය..... " මල්ලි මම අද වයිෆ් එක්කරගෙන ආව............ඉතින් රෑ කෑමට අපේ දිහාවෙ එන්ඩෙයි කියන්ඩයි මේ ආවෙ........ පොඩි කර්මාන්තෙකුත් තියනව ඊට කලින්..........හෙහ්, හෙහ්, ''

'' ඉතිං අයියෙ එතකොට පොඩි එවුන්?.....'' මම ඇසීමි.

'' දැන් නිවාඩු කාලෙනෙ මල්ලි.........ඒ දෙන්න අපෙ අම්මට හරිම එකතුයි...එහෙ නැවැත්තුව.......අනික වැඩි කාලයක් මෙහෙ ඉන්න වයිෆ්ගෙ කැමැත්තකුත් නෑ....වැඩිම උනොත් මාසයක් ඉඳියි.......'' .ගුණේ අයියා පැවසූයේ සාලයේ මේසය මත වූ ගුරුලේත්තුවෙන් වතුර වීදුරුවක් වත් කර ගන්නා අතරය.

ගුණේ අයියා පිටත්ව ගිය පසු අප අතර සාකච්ඡාවූයේ රාත්රියේ පැවැත්වෙන සාදය පිළිබඳවය.

'' ඒයි මගෙ කලිසම අයන් කරලත් නැහැ බං........'' එකෙක් පැවසූ අතර, '' මඟුලක් කතා කරනව, මේ අඩි දහය යන්ට මොන කලිසම්ද බං? ඔන්න ඔහෙ සරම ඇඳපන්..... '' තවෙකෙක් කීවේ මහ හඬින් සිනාසෙමිනි.

'' ඒයි සමරෙ...... උඹ යන්නෙ නැත්නම් මට අර උඹ මනමාලි බලන්ඩ යන්ඩ මස්සපු කලිසම දීහං හොඳද?.......'' ගිනිගත්හේන ප්රදේශයෙන් පැමිණි සමරේ පසුගිය සතියේ ඒ කිට්ටුවම යෝජිත මනාලියක බැලීමට ගොස් තිබිණි. ඔහු මේ දිනවල මඳක් උණ ගතියකින් ද පෙලුණි.

'' පලයන්ඩ.....මට දැන් හොඳයි මාත් එනව........මට බෑ මේකෙ තනියම ඉන්ඩ '' මෙතෙක් ඇඳේ දිගාවී සිටි සමරේ පැවසූයේ බැරි මරගාතේ නැඟී සිටිමිනි.

'' පිස්සු කෙලින්ඩ එපා බං.....උඹට තියෙන්නෙ මැලේරියාව....අද රෑ තිස්සෙ ඇවිදල අමාරු උනොත් හෙට ඉස්පිරිතාලෙ නවතින්නයි වෙන්නෙ....... '' නන්දේ පැවසූයේ මා දෙස බලා ඉඟි මරමිනි.සමරේ ලෙඩ රෝග වලට බොහෝසෙයින් බිය වන්නෙකි.

'' මේ මචං සමරෙ, මෙහෙම කරපං..... යන්ඩම ඕනනම් උඹ බෙඩ් ෂීට් එකක් පොරවගනිං මූණ විතරක් පේන්ඩ.....එහෙම හොඳයි නේද නන්දෙ?.........'' මම නන්දේගේ පිටට පහරක් ගසමින් ඇසුවේ සිනාව ගිල ගැනීමට අසාර්ථක උත්සාහයක් ගනිමිනි

'' ඒ අදහසත් නරකම නෑ........හැබැයි ගුණේගෙ වයිෆ් හෙට පාන්දරම ආපහු යනව ඒක නම් ෂුවර්....අනික ඒ මනුස්සයට අද නූල් බඳින්ඩ උනේ නැත්නම් ඇති. ''

සියල්ලෝම නැවත හඬනඟා සිනාසුණෝය.

පුරුද්දක් ලෙස මත්පැන් බී ඇදවැටෙන තවෙකෙකුට සෙස්සෝ අවවාද දුන්හ. '' මේ උඹ අද කරපට් වෙන්නෙ එහෙම නෑ තේරුණාද?.....හතර විළි ලැජ්ජාවයි අර අක්ක ඉස්සරහ සවුත්තු උනොත් එහෙම ''

පිරිමින් රැසක් පමණක් වසන තැනකට පළමු වරට ගැහැණියක ගේ ආගමනය..... අපේ යොවුන් සිත් තුල කෙතරම් ආස්වාදයක් ඇතිකිරීමට සමත් විනිද?.... ඇය අපේම සොයුරකුගේ බිරිඳය...එසේම අප කිසිවකු සිත් තුල නොමනා අදහස් මාත්රයක් හෝ නොවුනු බව මට දිවුරා සහතික විය හැක.ඒ හුදෙක් ගැහැණු රුව කෙරෙහි නිතැනින්ම ඇලී යන වයස පසුකරමින් සිටි අපගේ සිත් සතන් තුල හටගත් අහිංසක ආශාවක් පමණකි.

අවසන ගැටළුව මතු වූයේ ගෙනයාමට සුදුසු ත්යාගයක් පිළිබඳවය.භාග්යයකට මෙන් අපේ එක් මිතුරෙක් නිවසට ගෙන යාමට මිළදීගත් පිඟන් කට්ටලයක් හමුවිය. ඔහුට ඒ හා සමාන වෙනත් පිඟන් කට්ටලයක් මිලදී ගැනීමට මුදල් ලබාදෙන පොරොන්දුව පිට ඒ ලබාගැනීමට අපි සමත් වීමු.


'' දැන් කවද්ද උඹල මට මේකට සල්ලි දෙන්නෙ? මම ලබන සතියෙ ගෙදර යන්නයි ඉන්නෙ,''

'' හරි බන් දෙන්නම්......පඩි ගත්තු ගමන් දෙන්නම් '' මම පොරොන්දු වීමි.

'' අඩෝ..... පඩි දෙන්ඩ තව සති දෙකකටත් වැඩිය තියනවනෙ .......මම ඕක අරන් කෙල්ලගෙ ගෙදර යන්නයි හිටියෙ මේ වීක් එන්ඩ් එකේ. ''

'' මේ අඬන්නෙ නැතුව ඉඳහං, මේ වැදගත් ගමනක් යන්න ලෑස්ති වෙන වෙලාවෙ........උඹට ලබන සුමානෙ කෙල්ලගෙ ගෙදර යන්නම ඕන නම් මම දෙන්නම් නැන්දම්මට ලියුමක් අපි පිඟන් සෙට් එක හදිස්සියකට ඉල්ල ගත්තය........පඩි ගත්තු ගමන් ආපහු අරන් දෙන බවට පොරොන්දු වෙනවය කියල ''.........මම පැවසූයේ කෝකටත් ඔහුගේ අත දිග මානයෙන් ඈතට වෙමිණි.

'' මම තොට කිව්වය කිය හිතාගං .........පුතා ''

දිනකට කොපමණ වාරයක් මා ප්රිය මිතුරන් විසින් මගේ සදාදරණීය මව ස්මරණය කරන්නේද යන්න පිළිබඳ දන්නේ නම් ඈ බලවත් ප්රීතියෙන් උද්දාමයට පත්වන බවට මට කිසිදු සැකයක් නැත. මට ඇති එකම සංවේගය නම් ඒ පිළිබඳව ඈ හා විස්තර පැවසීමට කිසිදු ක්රමයක් නොමැති වීම පමණකි.

අවසන මේ සියලු පොර ඇල්ලීම්, ගාල ගෝට්ටි නිමවී බිම් කළුවර වැටී එද්දී, පත්තර කඩදාසියක ඔතා ගත් ත්යාගයද පෙරටු කරගෙන අපි ගුණේ අයියාගේ නිවෙස බලා පිටත් වීමු.

'' ....මල්ලිල එන්න.......'' ගුණේ අයියා අප පිළිගත්තේ මුවපුරා පැතිරුණු සිනහවකිනි.....'' රමණී එන්නකො.....මෙන්න මේ මල්ලිල ඇවිල්ල......''

මතු සම්බන්ධයි.......

20 comments:

  1. තාවකාලික නැවතුමක ලැඟුම් ගත් තාවකාලික ආදරයක් ද ??

    ReplyDelete
  2. කියන්න අමතක උනා...ඔයැලැයි අලුත් ගෙදර හරිම හැඩයි...බබා පෙනුම ගිහින් , දැන් වැඩිවියට පත් වෙලා වගේ...

    තාවකාලික නැවතුමක නතර උන තාවකාලික ආදරයක් ගැන ද මේ?

    ReplyDelete
  3. රවි, කතාව ලස්සනයි. අර අලුත් අක්කට මොකක් හරි දෙයක් සිද්ධවෙන්ට යන්නේ. අහිංසක් ගුණේ අය්යගේ වයිෆ්ට.

    මට මේක කියවද්දි පොඩි ප්‍රශ්නයක් ආවා. ඒ මෙන්න මේක.
    'නොහැඟවූ' කියන්නේ 'හැඟවූ' කියන එකේ විරුද්ධ වචනයද? එහෙමනම් නොහැඟවු කියන්නේ හංගපු නැති දෙයක් වෙන්ට ඕනි නේද? (එලි කරපු දෙයක්) පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්ට.

    එතකොට ඒකේ තේරුම unexpressed වෙනවද? දන්නේ නැති නිසයි අහන්නේ හොඳේ.

    ReplyDelete
  4. @ පොඩ්ඩි
    හැඟවීම සහ හැංගීම දෙකක් පොඩ්ඩි. හැඟවීම කියන්නේ හැඟෙන්නට ඉඩ හැරීම. එතකොට නො හැඟවීම කියන්නේ unexpressed තමා. (This has nothing to do with hiding).මේ මම දන්නා හැටියට හොඳේ

    ReplyDelete
  5. .@ වත්,

    / තාවකාලික නැවතුමක නතර උන තාවකාලික ආදරයක් ගැන ද මේ? /

    ම්ම්...ඒ වගෙ එකක් කියන්නත් පුලුවන්...නැහැ කියන්නත් පුලුවන්....ඉන්නකො ඈ.....ඉවසල.......ඉවසන දනා රුපු යුදයට නැති කඩුව කොස් ඇති තැනටමයි බත් කියලත් කියනවනෙ නෙවද?

    අලුත් පෙනුම හොඳයි නේද?.....ස්තූතියි නංගි.....

    ReplyDelete
  6. .@ පොඩ්ඩි,

    /මට මේක කියවද්දි පොඩි ප්‍රශ්නයක් ආවා. ඒ මෙන්න මේක./

    / 'නොහැඟවූ' කියන්නේ 'හැඟවූ' කියන එකේ විරුද්ධ වචනයද? එහෙමනම් නොහැඟවු කියන්නේ හංගපු නැති දෙයක් වෙන්ට ඕනි නේද? (එලි කරපු දෙයක්) පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්ට./

    / එතකොට ඒකේ තේරුම unexpressed වෙනවද? දන්නේ නැති නිසයි අහන්නේ හොඳේ./

    හපොයි....දන්නෙ නැති දෙයක් කියා දෙන එක මොන තරම් සතුටක්ද?

    හැඟවූ කිව්වම එන්නෙ පොඩ්ඩි, යමක් හඟවනව කියන තේරුම. හැඟවූ = Expressed ,එතකොට නොහැඟවූ = Unexpressed,

    Hidden = සැඟවූ, සැඟවූ...හැඟවූ කියන්නෙ ඇත්තටම වචන දෙකක්...අර්ථය සම්පූර්ණයෙන්ම වෙනස් වචන දෙකක්.....

    ඔබට වෙනස හැඟවුනි යයි හඟිමි.එසේ නොව තව දුරටත් අර්ථය සැඟවී ඇත්නම් වහා පවසනු මැනවි........හෙහ්, හෙහ්,

    අලුත් පෙනුම ගැන සහ කතාවට කල පැසසුමට ස්තූතියි පොඩ්ඩි,

    I have said this so many times but once more........Thanks so much Poddi, for being so inspiring , you are simply the best......

    ReplyDelete
  7. මතු සම්බන්ධයි නම් ඉතිරියත් වදිනතුරු ඉවසමු ..අම්මට කෝමද කියන්නේ යාළුවෝ ඇයව සිහිකරන තරම් .. නැද්ද බං ..?

    මට මගේ පරණ බෝඩිං කාමරේ සිහියට ආවා !!

    ReplyDelete
  8. //you are simply the best......//

    i know...

    හී හී හී හී ඊඊඊඊ...

    just kidding...Ravi....

    ReplyDelete
  9. හරිද වැරදිද මන්ද, සොඳුරු සිතට පහල වුන සිතිවිල්ලම තමා, මගේ නාකි හිතටත් පහල වුනේ. මේ වගේ අනාවැකියක් කියල මීට ඉස්සෙල්ල ඇන ගත්ත එකත් මතකය්.

    ReplyDelete
  10. ලස්සනට ගලාගෙන යන කතාවක්... අවසානය bittersweet නේද රවි අයියේ? මම හරිද?

    ReplyDelete
  11. @ සඳරු,

    / අම්මට කෝමද කියන්නේ යාළුවෝ ඇයව සිහිකරන තරම් .. නැද්ද බං ..? /

    අනේ බං මොනව කියනවද?....අපෙ යාලුවො ඉන්නව නේද?....මාතෘ ප්‍රේමය ඉහවහා ගිහිල්ල.....වචන දහයක් කතාකරොත් පහක් අම්ම ගැන තමයි.....එවන් මිතුරන් ආශ්‍රය පවා පෙර කල මහත් පිනකි......හෙහ්, හෙහ්,

    ReplyDelete
  12. @ පොඩ්ඩි,

    Me too,........ I was just kidding when I said " you are simply the best" ....heh, heh,

    Just kidding.... okay?...........

    ReplyDelete
  13. @ Observer,

    / හරිද වැරදිද මන්ද, සොඳුරු සිතට පහල වුන සිතිවිල්ලම තමා, මගේ නාකි හිතටත් පහල වුනේ. මේ වගේ අනාවැකියක් කියල මීට ඉස්සෙල්ල ඇන ගත්ත එකත් මතකය්./

    ගිය පාර ඔබ්ගෙ අනාවැකිය හරියටම හරි....ඒ හිටියෙ මුර කාරයෙක් තමයි. ඒක මුලින්ම පිළිගත්තොත් කතාව එලිවෙන නිසා මම දුන්නෙ දෙපැත්තටම නැති උත්තරයක්.....හෙහ්, හෙහ්,

    ReplyDelete
  14. @ සිත්තමී,

    හෙහ්, හෙහ්....Bittersweet,.......ඒ වගේ තමයි ඇත්තටම....බොට නිකොලොස් ගොයිය අමතක කොරන්ඩම බෑ වගේ..... නෙවද?

    ReplyDelete
  15. මට අපේ ක‍ටුණායක ගෑණු බෝඩිම මතක් උනා මේකෙ අන්තිම හරිය කියවගෙන යද්දි.

    මාතෘකාවයි කතාවයි පටලවගත්තම නං මොකක්ද මොකක්ද වගේ හිතෙනව. ඒත් මෝරන්න කලිං නැට්ට කරකවල ගෙඩිය කුරුවල් කරන්නෙ මොටෝ. ඕං මං කට වැහැව්වා.

    ReplyDelete
  16. අනේ ඇත්තටම අලුත් ඇඳුම හොඳයි . කමෙන්ට් කරන්නත් ලේසියි .

    මට මතක් වුනේ ''ඉන්ග්ලිෂ් පේෂන්ට් '' ...එව්වගේ එකක්ද මේක ..

    ReplyDelete
  17. @ nawammawatha,

    හෙහ්, හෙහ්...මොනවැයි බං ඔහෑටි හිතෙන්ට තියෙන්නෙ බොට....නොහැඟවූ ආදරය.....කියාගන්ට බැරිවූ හෝ කියන්ට අවස්තාවක් ඇවිල්ලත් නොකිවූ ආදරය...එච්චරයි...වෙන අහවල් කෙංගෙඩියක්ද?......හෙහ්, හෙහ්, අම්මප බොලායෙ කැත හිත නෙව...වෙන අහවල් එකක්දෑ ආයෙ.....

    ReplyDelete
  18. @ Bindi,

    ස්තූතියි බින්දි....

    / මට මතක් වුනේ ''ඉන්ග්ලිෂ් පේෂන්ට් '' ...එව්වගේ එකක්ද මේක ../

    අපොයි, බින්දි, The English Patient වගේ මිනිස් සිතුම් පැතුම් ගැඹුරින් විග්‍රහ කරන කතාවක් නම් නෙවෙයි, බොහොම සරල කතාවක්,

    ReplyDelete
  19. මල කෙළියයි මං කතාවෙ ඉතුරු ටික කියවල නැද්ද කොහෙද, මේ අච්චාරුවේ දැන් මං ඒකත් හොයන්න එපෑ (නොකියපු කොටස)

    ReplyDelete
  20. ඔන්න මාත් ආව මේ පැත්තේ.. හ්ම්ම් ලස්සනට ලියල තියෙනවා.. ඉතුරු ටිකත් කියවන්න ඔන් මම යනවා.. ටටා

    ReplyDelete

මගේ සිතුවිලි ගැන ඔබේ සිතුවිලි

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...