Monday, November 21, 2011

63. නොහැඟවූ ආදරය......The Unexpressed Love......5




පළමු කොටස

දෙවන කොටස

තෙවන කොටස

සිව්වන කොටස

ඇගේ මුහුණ දෙස විමසුම් බැල්මක් හෙලමින් මම, ඈ දුන් තුනට හතරට නවා තිබූ කඩදාසිය ගෙන දිගහැරීමි.ඒ තනි පිටුවේ ටයිප් කල ලිපියකි. හිතවත් ගුණසේන මහත්මිය යනුවෙන් ආමන්ත්රණය කර ආරම්භ කර තිබූ පරිච්ඡේද දෙකකින් යුත් ඒ කෙටි ලිපියෙන් දන්වා තිබුණේ ඔබේ සැමියා ඔහුගේ පැරණි පෙම්වතිය හා අඹු සැමියන් වශයෙන් දිවි ගෙවන බවත් ඉක්මන් පියවරක් නොගතහොත් දරු දෙදෙනා ද සමඟ අනාථ වන්නට ඔබට අනිවාර්යයෙන් සිදුවන බවත් මේ කරුණු දන්වා සිටින්නේ ඔබ සහ දරු දෙදෙනා කෙරෙහි ඇති අනුකම්පාවෙන්ම මිස වෙන කිසිදු බලාපොරොත්තුවකින් නොවන බවත්ය.

මෙයට ඔබේ නොදුටු හිතවතෙක් යනුවෙන් අවසන සඳහන් කර තිබූ ලිපිය කියවා අවසන් කල මම ඒ නැවත තිබූ පරිදිම නවා ඇය අතටම දුනිමි.

මේ අතර ඩැනී පිළියෙල කල තේ කෝප්ප දෙක රැගෙන ආ මම එකක් ඇය අතට දුන්නේ " මොනව හරි හදනකල් බොන්න අක්කෙ තේ එක.... බඩගිනිත් ඇතිනෙ " පවසමිනි.

" මල්ලිලාටත් මම නිසා කරදරේ නේද? '' පවසමින් තේ කෝප්පය අතට ගත් ඈ සෙමින් සෙමින් ඒ තොල ගාන්නට වූවාය.

" කරදරයක් නම් මොකක්ද?....කවද ද අක්ක මේ ලියුම හම්බ උනේ? ''

'' පෙරෙයිද....මම ඊයෙත් බැලුව ගුණේ ගෙදර එයිද කියල.....වෙනද අනිවාර්යයෙන් පඩි දවසට පස්සෙ ගෙදර එනවනෙ....ඒකයි මම අද මේ හොයාගෙන ආවෙ....මේ කතාව ඇත්ත නම් මම දන්නව ගුණේ මට මූණ දෙන්නෙ නෑ කියල......ඒකයි මම කෝකටත් කියල වෙඩිං ෆොටෝ එකත් අරං ආවෙ මම කියන්නෙ ඇත්ත කියල ඔප්පු කරන්න.....'' දිගටම කතාකරගෙන ගිය ඈ එක්වරම නිහඬ වූවාය.

ඈ ඉදිරියේ අසුන් ගෙන සිටි මම ඇගේ කතාවට සවන් දුන්නේ බිමට නැඹුරු කරගත් හිසින් යුතුවය. මද වේලාවක් පැවති නිහඬතාවයෙන් පසු ඈ සෙමින් ඉකි බිඳින්නට පටන් ගත්තාය. මෙවැනි අවස්ථාවක මා වන් ජීවිත අත්දැකීම් රහිත ලාබාලයකු කුමක් නම් පවසන්නද? දෑතින් මුහුණ වසාගෙන හඬන ඇගේ ගැස්සෙන උරහිස් දෙස ටික වෙලාවක් බලා සිටි මම නැවත ඉවත බලාගතිමි.කුස්සියෙන් සාලයට පිවිසෙන දොර අසලට පැමිණි ඩැනියෙල් විශ්මයෙන් ඇරුණු මුවින් යුතුව මා දෙසත් ගුණේ අයියාගේ බිරිඳ දෙසත් මරුවෙන් මාරුවට නෙත් යොමු කරනු මා දුටුවේ මෙවිටය. කොහොමටත් නිතරම මඳක් විවර ඔහුගේ මුව මේ වන විට සම්පූර්ණයෙන් විවෘත වී තිබිණි. ඔහු දෙස රවා බැලූ මම ඔහුට ඉවතට යන මෙන් නොඉවසිල්ලෙන් සන් කලෙමි.

ක්රමයෙන් හැඬුම අවසන්වූ පසු ඈ තව ටික වේලාවක් දෑතින් මුහුණ වසාගෙන සිටියාය.

ඉන්පසුව මදෙස බලා ආයාසයෙන් සිනා සුනාය.ඇගේ කඳුලු පිරි දෙනෙත මා සිත දැඩි අනුකම්පාවකින් වෙලා ගත්තේය.

'' සමාවෙන්න මල්ලි, මට එහෙම කරන්න අත්යාවශ්ය උනා.අඬල ටිකක් හරි මගෙ හිත නිදහස් කරගන්න මට හොඳටම ඕන කම තිබුණ.නැතුව මේ ඔක්කොම කොහොමද හිතේ හිර කරගෙන ඉන්නෙ දෙයියනේ.....''

මෙවන් අවස්ථාවක කෙලෙස හැසිරිය යුතුද කුමක් පැවසිය යුතුද පිළිබඳව කිසිම අවබෝධයක් නොතිබූ මා පත්වූයේ දැඩි අපහසුතාවයකටය.ඇය සැබැවින්ම රමණි අක්කාටද වඩා රූමත්ය.එවන් ගැහැණියක කඳුළු පිරි දෙනෙතින් මගෙන් සමාව අයදින විට කුමක් කලයුතුද යනු නොදැන විපිළිසර වීම අරුමයක්ද?

මා කියවූ නවකතාවෙක පවා මෙවන් සිද්ධියක් පිළිබඳ සඳහනක් විනිදැයි කෙතෙක් උත්සාහ කලද මට සිහියට නඟා ගත නොහැකි විය.

'' කමක් නෑ අක්ක ඒක මොකක්ද?....අක්කගෙ හිතට සහනයක් නම් ඇඬුවට මොකක් වෙනවද?....මෙහෙ ඇතුලෙ බාත් රූම් නම් නෑ....කුස්සියත් එක්කම එලියෙ තියෙනව වතුර ටැංකිය....මූණ ටිකක් හෝද ගන්නව නම්....මම තුවායක් ගෙනත් දෙන්නම්.....''

කිසිවක් නොපැවසූ ඇය අසුනින් නැඟී සිටියාය. මා ගෙනදුන් තුවාය ද රැගෙන පසුපස ටැංකිය වෙත ගිය ඈ මුහුණ සෝදාගෙන ආපසු පැමිණියාය. හැඬීමෙන් පසු සිතේ වෙහෙස ද මුහුණ සේදීමෙන් පසු ගතේ වෙහෙස ද පහව ගිය අයුරු ඈ මෙතෙක් නොතිබූ ප්රබෝධයකින් පසුවනු සේ මට හැඟිනි.

නැවත අසුන්ගත් ඈ මොහොතක් එක එල්ලේ මගේ මුහුණ දෙස බලා සිට මා හා සිනාසුණාය. මම ද සිනාසී නැඟිට කුස්සියට ගියේ ඩැනී ගේ ඉවුම් පිහුම් කටයුතු කෙසේදැයි විපරම් කිරීමටය.'' හරි, මහත්තය තව විනාඩි පහයි ඔක්කොම හරි '' ඉදෙමින් තිබූ පරිප්පුව හැඳිගාමින් සිටි ඩැනී පැවසුවාය.

'' මල්ලි ගුණේ එක්ක මෙහෙ ඇවිල්ල හිටියෙ රමණි කියල කෙනෙක්ද? '' සාලයෙන් ඇසුණු ඇගේ හඬ මා නැවත ඈ ඉදිරිපිට අසුන කරා ගෙන ගියේය.

'' ඔව් අක්කෙ ඔයා එයාව දන්නවද? ''

'' ඒ ගුණේ කලින් ආදරේ කරපු එක්කෙනා. ඉස්කෝලෙ යන කාලෙ එෆෙයා එකක්.සෑහෙන කාලයක් තිබිල තියනව ඒ සම්බන්ධෙ. '' ඈ කතාකලේ අත් බෑගයේ උරපටිය අතැඟිලි අතර අඹරවමිනි.මම ඇගේ අතැඟිලි දෙස බලා සිටියේ දෑස් ඉවතට ගත නොහැකි ලෙසිනි.

'' වීරේ යමං බං ටී ටී ගහන්ඩ.....'' සුපුරුදු ලෙස කෑගසාගෙන ගෙට ගොඩවූයේ ආනන්දය. ඔහු සෑම සවසකම මගේ ටී.ටී. සහකරුය. '' ඕහ්හ්හ්...සොරි...'' ගුණේ අයියාගේ බිරිඳ දුටු ඔහු එක්වරම පුදුමයට පත්ව පියවරක් පසුපසට විය.

'' අද මට එන්න වෙන්නෙ නෑ මචං, මේ ගුණේ අයියගෙ වයිෆ් '' මම ඈ හඳුන්වා දීමි. '' හරි හරි මම යන්නම් '' ඈ හා සිනාසුනු ආනන්ද පිටත්ව ගියපසු නිශ්ශබ්දතාවයෙන් ගෙවී ගිය විනාඩි කිහිපය තුල ඇසුනේ කුස්සියේ ඩැනී එහා මෙහා යන හඬ සහ හැඳි වලං එකිනෙක ගැටෙන හඬ පමණි.

ගුණේ අයියගෙ වයිෆ් - ඇගේ නම මෙතෙක් මා නොදන්නා බව එකෙනෙහිම මට සිහිවිය. " අක්කගෙ නම මොකක්ද කියල ඇහුවට කමක් නැද්ද? ''

'' කමක් නෑ අහන්න....'' ඇය පැවසුවේ සිනාසෙමිනි.

ඇය කියන්න වටහාගත නොහුනු මම හිස ඔසවා ඇගේ මුහුණ බැලූයේ ප්රශ්නාර්ථයෙන් නළල ද රැළි කරගනිමිනි.

'' මල්ලි ඇහුවෙ මගෙ නම මොකක්ද කියල ඇහුවට කමක් නැද්ද කියලනෙ....ඉතින් මම දුන්නෙ ඒ ප්රශ්නෙට උත්තරේ....ඇහුවට කමක් නෑ...''

'' අක්කත් නියම කතා තමයි කියන්නෙ '' මම හඬ නගා සිනාසුනෙමි.

ඇයද මා හා එක්ව සිනාසුණාය.සිනහසෙන විට ඇගේ වතෙහි සුන්දර බව තවත් වැඩි වන අයුරු මම දුටුවෙමි.

" කෝ ඉතිං ඇහුවෙ නෑනෙ ...'' සිනහව ගිලගත් ඈ ඇසුවේ දෙනෙතින් සිනාසෙමිනි.

'' හරි අක්කගෙ නම මොකක්ද ? '' මම ද සිනහ නොවීමට දැඩි උත්සාහයක් ගනිමින් ඇසුවෙමි.

'' ලක්ෂ්මී....'' ඇගේ සිනහව යලි පිපුරුණි.එහෙත් යථාර්ථයෙන් මොහොතකට හෝ පළායාමට කොපමණ තැත් කලද කටුක යථාර්තය ඈ වසා අඳුරු සෙවනැල්ලක් මෙන් වසා සිටින බව එක්වනම සිහිවුනු නිසා දෝ මෙවර ඇගේ සිනහව ඒ සැනෙකින් වියැකී ගියේය.

'' ඉතිං රමණි අක්ක එක්ක ගුණේ අයියගෙ එෆෙයාර් එක නැතිවෙල තියෙන්නෙ මොකද? '' මම ඇසුවේ මේ කතාවේ සුල මුල දැන ගැනීමට මා තුල වූ ආශාව තවත් වලක්වා ගත නොහැකි බැවිනි.

'' ම්ම්ම්, ගුණේ කිව්වෙ නෑ හරි විස්තරයක්.....මම හිතන්නෙ ඒ පැත්තෙන් අකමැති වෙලා තියනව ගුණේලගෙ පවුලෙ ප්රශ්න නිසා......සල්ලි..... පවුලෙ බරපතල කම.... ඔන්න ඔයවගෙ... දන්නෙ නැද්ද මල්ලි.......''

නැඟීසිටි මා හිඳ සිටි අසුන ඉවත් කලේ ඩැනීට පහසුවෙන් කෑම මේසය වෙත ළඟා විය හැකිවනු පිණිසය.

'' අපි බැන්දෙ ප්රොපෝසල් එහෙකින්. අපෙ ගෙවල් අතර තියනව කිලෝ මීටර් හතලිහක විතර දුරක්. බැඳල අපි අපේ මග ගෙදර පදිංචි උනා. ඒ නිසා ගුණේලගෙ ගමේ විස්තරවත් ඔය රමණිගෙ විස්තරවත් මම හරියට දන්නෙ නෑ.''

'' අක්ක කන්න එහෙනම්....යන්නත් පරක්කු වෙනවනෙ.....'' මම පැවසූයේ ඩැනී මා දෙස බලා කෑම මේසය දෙසට ඉඟි කල පසුවය.

මතු සම්බන්ධයි.......

17 comments:

  1. ඕහි මේක හරි අසාධාරනයි.
    මදැයි මාත් කට උඩ දාගෙන ආවා කියවන්න ලක්ශ්මිව ගුනේ අයියාට බාරදෙනවා.
    දැන් බලාගෙන ගියාම වීරේ ගේ හිත හේදිලා ගිහින් වගේනේ...

    ReplyDelete
  2. .@ Il mondo di una povera pazza

    / මදැයි මාත් කට උඩ දාගෙන ආවා කියවන්න ලක්ශ්මිව ගුනේ අයියාට බාරදෙනවා. /

    එහෙම කොහොමද බොලේ....ජීවිතේ එහෙම Simple & Straightforward නම් මේ මොන කචල් එකක් වත් නැහැ නෙව....ජීවිතේ එහෙම නෑ...තනිකර පිස්සු ලෝකයක්.....හෙහ්, හෙහ්,

    / දැන් බලාගෙන ගියාම වීරේ ගේ හිත හේදිලා ගිහින් වගේනේ.../

    හිත කියන ඔය කෙහෙල්මල තියනව නේද....ඔහොම්මම තමයි....කිසිම නෑ චාරයක්....විශේෂයෙන් මගේ හිත...හෙහ්, හෙහ්,

    ReplyDelete
  3. වීරේ රේල් පාර අයිනෙ ඉඳන් කෝච්චි බැලුව මිස කෝච්චියට පැන්නෙ නෑ නේද?

    ReplyDelete
  4. අනේ වීරේ මේ කතා කොටස් , කොටස් යනකොට පිස්සු හැදෙනවා අප්පා...:D

    ReplyDelete
  5. හප්පේ... ඉස්සෙල්ලා කතාවට වඩා වෙනස් විදිහටද මන්දා යන්නේ...

    ReplyDelete
  6. @ Observer,

    නෑනෙ ඔබ්....කෝච්චිවලට පනින්ඩ චාන්ස් නං ඔන්නොහෙ කීපයක්ම ආව....හිතේ ආසාවකුත් නොතිබ්බ නෙවෙයි...ඒත් අන්තිමට මට බය හිතුන....හෙහ්, හෙහ්,

    ReplyDelete
  7. @ පොඩ්ඩි,

    මොකදෑ කොරන්නෙ බොල....නැතුව මම මේ ලියන මහා පදරංග ජාතක එක දිගට දාන්නෙ කොහොමද? කියවන්ට ඔයාලට නිවාඩු දාන්ට වෙයි ඔන්න....

    ReplyDelete
  8. @ නිසුපා,

    කතාවක් ආයෙ එකම විදිහට යන්න ඕනය?.....හෙහ්, හෙහ්,

    ReplyDelete
  9. @ සිත්තමී.

    මොකද බං?......ඉඳපං ඊළඟ කොටස දානකල්.....හෙහ්, හෙහ්,

    ReplyDelete
  10. This is slow torture! Like showing a parched man a pitcherful of water and then dispensing little sips of it.

    ReplyDelete
  11. අහහ් මේ මොන ජන්ජාලයක්ද? හිතාගන්නවත් බෑ.. මෙහෙම නපුරු මිනිස්සු,, කසාද දෙකක් බැදගෙන.. දඩු කදේ ගහන්න ඕනා නොවැ..

    ReplyDelete
  12. ආ.. මං හිතුව හරි. මෙතුමා මේ කොටසෙත් මේ ගෑණු මනුස්සය ගෙදර අරින්න කල්පනාවක් නෑ. දැං කියහංකො දවල්ට අර බැදපු බිත්තරෙයි පරිප්පුයි එක්ක උස්මුරුත්තාවට එනකං කෑවට පස්සෙ නිදිමතකුත් ආව කියල.

    ReplyDelete
  13. @ s,

    / This is slow torture! Like showing a parched man a pitcherful of water and then dispensing little sips of it. /

    Well as much as I would have liked to post a story all at once there are several restrictions unavoidable. Such as managing time to write and in addition how much time a reader can spend reading a single blog, specially when we are all in a rat race just to get by.

    And making an example out of your own metaphor " what would happen if you let a parched man drink to his hearts content? "

    Thank you so much s, for your interesting comments, really appreciate it......

    ReplyDelete
  14. @ වර්ණා,

    / අහහ් මේ මොන ජන්ජාලයක්ද? හිතාගන්නවත් බෑ.. මෙහෙම නපුරු මිනිස්සු,, කසාද දෙකක් බැදගෙන.. දඩු කදේ ගහන්න ඕනා නොවැ../

    මොකක්?....කසාද දෙකක් බැඳගෙන?....කවුද අනෙ අප්පේ ඒ?.......

    ReplyDelete
  15. @ නවම්,

    / ආ.. මං හිතුව හරි. මෙතුමා මේ කොටසෙත් මේ ගෑණු මනුස්සය ගෙදර අරින්න කල්පනාවක් නෑ. දැං කියහංකො දවල්ට අර බැදපු බිත්තරෙයි පරිප්පුයි එක්ක උස්මුරුත්තාවට එනකං කෑවට පස්සෙ නිදිමතකුත් ආව කියල. /

    උඹව හදන්ඩ බෑ බං.....උඹේ තියෙන්නෙ ආවේණික අශෝභන චිත්ත කියන මානසික තත්වය......Inherent Ugly Mindness........අරුණිගෙ මේ දවස්වල යන ලිපි පෙල කියවලවත් බලාපිය මනුස්සයෙක් වෙන්ට....අඩු ගනනෙ අර අහිංසක කෙලීයි දරු පැටියයි ගැනවත් හිතල.....හෙහ්, හෙහ්,

    ReplyDelete
  16. ඇයි අරයා බැදගෙන තියෙන්නේ දෙන්නෙක්ව.

    ReplyDelete

මගේ සිතුවිලි ගැන ඔබේ සිතුවිලි

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...