Tuesday, November 29, 2011

69. නොහැඟවූ ආදරය......The Unexpressed Love......11

'' ඊයෙ කවුරු හරි මට ඔය කතාව කිව්වනම් මම විශ්වාස නොකරන්න තිබ්බ. ඒත් අද ගුණේ අයියත් එක්ක කතාකලාට පස්සෙ මම විශ්වාස කරනවා.ගුණේ අයිය කරන කියන කිසිම දේකින් මම මීට පස්සෙ පුදුම වෙන්නෙ නෑ.''

'' ස්තූතියි මල්ලි......ගාන්ධි කිව්ව වගෙ ප්රතිපල ගැන නොහිතා කලයුතු දේ කලා වගේම අනික් කියමනේ විදිහට අපි යම් තීරණයක් ගත්ත නම් ඒ තීරණයෙන් මතුවෙන ප්රතිඵල වලට මූණ දෙන්නත් ඕනෙමයි. ''

මේ වන විට සවස සිට මත් පැන් පානයේ යෙදුනෝ එකා දෙන්නා බැගින් පිටවී යාම ඇරඹී තිබිණි. වේලාව රාත්රී නවය පසු වූවා පමණි.අපේ වේටර් වරයා ද මා ආසන්නයට පැමිණ මගේ කණට කෙඳිරීය. '' සර් තව ටිකකින් බාර් එක වහනව...ගන්න දෙයක් දැන්ම අරන් තියන්න,''

අපගේ දෙවන බාගේ බෝතලය තව ඉතිරිව ඇත්තේ අඟල් දෙකක පමණ ප්රමාණයකි.

මම ගුනේ අයියා ඇමතුවෙමි. '' අයියා. බාර් එක වහන්නයි යන්නෙ. තව ගන්නවද?....''

'' ම්ම්ම්..ඕනෙත් නෑ මල්ලි, මේ ඇති, අනික අපි යන්නත් එපාය.....හරි එහෙනම් මගෙ ගානෙ සීයෙ දෙකක්........''

ඔහු වහා පසුම්බියෙන් ඇද මුදල් ගෙවා දැමීය.

'' දැන් මේකත් වහනවද?.......'' ගුණේ අයියා ඇසූයේ මදින් මද හිස් වන අවන්හල අවට සිසාරා බලමිනි.

'' නෑ බාර් එක වහන්න එපාය නියම වෙලාවට....රෙස්ටෝරන්ට් එක තව වෙලා ඇරල තියනව....ඉතිං අයියෙ කතාව. දැන් ලක්ෂ්මී අක්ක දන්නවනෙ සීන් එක. ඉතිං ගුණේ අයිය මොකද කලේ? එදාම ගියාය ගෙදර? ''

'' නෑ,මම ගෙදර ගියේ දවස් දෙක තුනක් යන්න ඇරල.මම දන්නව ලක්ෂ්මී මොන තරම් යතාර්ථවාදී ගෑණියක් උනත් මේ වගෙ දෙයක් දැනගත්තම ආවේගශීලී වෙනවයි කියල. මොන ගෑණිද එහෙම නොවෙන්නෙ?....අනික ආවේගශීලී උනාම අපි අතින් පස්සෙ පසුතැවිලි වෙන දේවල් කියවෙන්න පුලුවන් බොහෝවිට. ඒ නිසා මම හිතුව දවසක් දෙකක් ගිහිල්ලම ගෙදර යන එක තමයි වඩාම හොඳ කියල. ''

අවසාන සීයේ වඩි දෙක පැමිණියේය. ඒ මේසය මත තැබූ වේටර් වරයා මොහොතක් රැඳී සිටියේ අපට අමතරව අවශ්ය මොනවාදැයි දැනගැනීමටය.

'' වඩේ තව ගේන්න.....පහක් විතර....ඒ ඇති...වෙන මොකවත් එපා........'' මම ඔහුට දැන්වීමි.

'' ඉතිං අයියා?.......'' මම නොඉවසිලිමත් වූයේ ලක්ෂ්මී අක්කා සහ ගුණේ අයියා අතර වූ කතා බහේ විස්තර දැන ගැනීමටය.

වසරකට ආසන්න කාලයකට ඉහත කඳවුරේ අපේ නේවාසිකාගාරයේ දී පිටත්ව යාමට සූදානම්ව ස්ථිර සාර ස්වරයකින් ඈ පැවසූව මගේ මතකයේ අද සිදුවූවක් මෙන් රැඳී ඇත.

/ '' ඉන්න මම කියල ඉවර වෙන කල්....මල්ලි හිතන එක නෙවෙයි මම කියන්න යන්නෙ, මම එයාට අවස්ථාවක් දෙන්නෙ මේ කරපු දේ ගැන හේතු පහදන්න. ඊට පස්සෙ ගුණේට කියන්න හේතුවක් ඇත්නම් ඒ හේතුයි, දරුවන්ගෙ සහ අපේ අනාගතයයි ඔක්කොම සාධාරණව සළකල බලල මම තීරණයක් ගන්නව.'' /

'' මම ගෙදර ගියා දවස් දෙහෙකට විතර පස්සෙ.දවල් වෙලාවක. ඒ වෙලාවට දරුවො දෙන්න ඉස්කොලෙ. ලක්ෂ්මී මට තේ එකක් එහෙම හදල දුන්න. ඒක බීල මම කතාව පටන් ගත්ත.....''

'' ලක්ෂ්මී මම ඔයාට කිසිම දෙයක් හංගන්නෙ නැතුව සම්පූර්ණ කතාවම කියන්නම්....ඊට පස්සෙ ඔයා කැමති තීරණයක් ගන්න. ඔයා මොන තීරණයක් ගත්තා උනත් මම ඒකට එකඟයි. ඒ වගේම ඔයාටයි දරුවන්ටයි මම ඉදිරියට පුළුවන් හැමදේම කරනවා ඔයාගෙ තීරණය මොනව උනත්.....''

'' හරි ඔයාට කියන්න තියෙන ටික කියන්න ගුණේ...ඊට පස්සෙ මම තීරණයක් ගන්නම්..............ඔයා ගැන, මම ගැන, දරුවො දෙන්න ගැන හිතල මම තීරණයක් ගන්නම්.......''

'' ඉතිං මල්ලි මම කතාව කිව්ව.....සම්පූර්ණ සිද්ධියම...කිසිම දෙයක් හංගන්නෙ නැතුව...ලක්ෂ්මී එක වචනෙකින් වත් බාධා කලේ නෑ....මගෙ ඉස්සරක පුටුවක ඉඳගෙන ඇස් පියාගෙන අහගෙන හිටිය. ''

කතාව ඉවර කරල මම කිව්ව " ඔන්න ඕකයි ලක්ෂ්මී කතාව....... තව එක දෙයක් මට කියන්න දෙන්න, ඔයා විශ්වාස කරයිද මම දන්නෙ නෑ මේ කතාව, ඒත් මම මේ කියන්නෙ සම්පූර්ණ ඇත්ත.මේ නිර්නාමික ලියුමකින් ඔයා මේක දැනගත්තනෙ. යම් විදිහකින් ඔයාට මේ සිද්ධිය දැනගන්ට ලැබුණෙම නැත්නම් මම හිතාගෙන හිටියෙ ඔයාට මේක දැනගන්ට ලැබෙන්න සලස්වන්න.මට ඔයාගෙ මූණටම මේක කියන්න නම් බෑ වෙන විදිහකින් මම ඔයාට දන්වන්නයි හිටියෙ. ඒ කරල ඔයා ගන්න ඕනම තීරණයකට එකඟ වෙන්න. ''

අන්තිමට මගෙ කතාව ඉවර කරලත් විනාඩි දෙක තුනක් එයා ඇස් වහගෙන එහෙම්මම හිටිය. ඊට පස්සෙ ඇස් ඇරිය. ඒ ඇස් වල කඳුලු බලන්න බැරුව මම බිම බලාගත්ත.

'' ගුණේ මම ඔයා කියපු දේ විශ්වාස කරනව...ඒ කිව්වෙ අර මම මේ සිද්ධිය ගැන දැන නොගත්තොත් ඔයා හිතාගෙන හිටිය කිව්වෙ කොහොම හරි මේ සිද්ධිය මට දැනගන්න ලැබෙන්න සලස්වනවයි කියල......අන්න ඒ කතාව....ඒ මම ඔයා ගැන දන්න නිසා.''

'' මගේ තීරණය මම ඔයාට කියන්නම්,හෙට.....දැන් ඉස්කෝලෙ ඇරෙන වෙලාව. ඔයා ගිහිල්ල පොඩි දෙන්නව එක්ක එන්න....පහුගිය ටිකේම ඔයා ගැන අහනව හැමදාම......ආ තව එකක් ඔයා කතාවෙදි කිව්ව නේද මහත්මා ගාන්ධි කිව්වය කියල Do whatever you have to do without thinking about consequences.......හරි කතාව ඇත්ත...ඒ එක්කම ගුණේ මෙහෙම කතාවකුත් තියනව..."You have to face the consequences of the decisions you make" අන්න ඒකත් අමතක කරන්න එපා.....'' ලක්ෂ්මී ඔය ටික කිව්වෙ මගෙ ඇස් දිහා කෙලින්ම බලාගෙන,ඒ ඇස් දෙක දිහා බලා ඉන්න බැරුව මම බිම බලාගත්ත....''

'' අන්න ඒකයි මල්ලි ඔය කතාව කියනකොටම මම කිව්වෙ තව කෙනෙකුත් ඔය කතාවම කිව්ව...මම පස්සෙ කියන්නම් කියල....''

'' ඉතිං අක්කගෙ ඒ කතාවට අයිය මොකද කිව්වෙ?....''

'' මොනව කියන්නද මල්ලි....කතාව සම්පූර්ණ ඇත්තනෙ........මම කිව්ව හරි ලක්ෂ්මී ඒකම තමයි මමත් කියන්නෙ මගේ තීරණයෙ ප්රතිපල වලට මුහුණ දෙන්න මම සූදානම් කියල. ''

මේ වනවිට අවන්හලේ ඉතිරිව සිටියේ අප දෙදෙනා හැරුණු විට තවත් දෙදෙනෙකු පමණි. වේටර් වරු අතුගෑමේ සහ අස්පස් කිරීම් කටයුතු වල නිරතව සිටියහ.

'' ගුණේ අයියෙ සීයෙ දෙක දාගෙන අපිත් එහෙනම් යමු......'' මම අවසන් වීදුරුව අතට ගනිමින් පැවසුවෙමි.

'' රෑ කෑම මල්ලි? ''

'' ඕකත් දාගෙන එන්නකො.....''

එකල නුවර නගරයේ රාත්රී අට පසුවූ පසු ආහාර අළෙවි කරන ජංගම වෙලඳ රථ දෙකක් විය. යටිනුවර වීදියේ සීවලී පොත්හල ඉදිරිපිට සහ කොටුගොඩැල්ල වීදියෙහි විජිත යාපා පොත් හල අවට දිනපතාම පාහේ ආහාර අලෙවි කෙරුණු අතර මේ ජංගම ආහාර අලෙවිය බොහෝ සෙයින් ජනප්රිය විය. ඉඳිආප්ප, කොත්තු, බිත්තර රොටී, මනි පිට්ටු,සමඟ බාබත්, එළු සහ ගව මස්, දැල්ලන්, පොල් මැල්ලුම්, කිරිහොදි අළෙවිකල මේ ජංගම වෙලඳ සැල් තවමත් පවත්වාගෙන යනවාද යන්න නම් මම නොදනිමි.

රාත්රී සේවයෙහි යෙදෙන්නන්, මත්පැන් පානයෙන් පසු නිවෙස් බලායන අප වැන්නන්,රාත්රී දුම්රිය හෝ දුර ගමන් බස් රථ බලාපොරොත්තුවෙන් පැමිණෙන්නන් වැනි බොහෝ අය කුසගිනි නිවාගන්නට මෙහි පැමිණියහ.

කාසල් අවන්හලින් පිටවූ අප දෙදෙන ඒ ඉදිරිපිටම නවතා තිබූ ජංගම ආහාර රථය කරා ළංවූහ.

'' මොනවද ගුණේ අයිය කන්නෙ? '' මම රථය තුලට එබෙමින් විමසුවෙමි.

'' ඔය මොනව උනත් කමක් නෑ.....මමයි ගෙවන්නෙ.....''

'' ආය කන්ඩත් ඉස්සෙල්ල ගෙවිල්ලක්. හරි, මනි පිට්ටු කාල තියද?.....කමු මනි පිට්ටුයි..කිරි හොද්දයි එළුවයි....කාල බලන්ටකො ...ගුණේ අයිය හැමදාම රෑට නුවර එයි හෙහ්, හෙහ්.....'' ඇණවුම භාර දුන් පසු ආහාර ලබාගැනීමට අවම වශයෙන් විනාඩි දහයක් පමණ ගතවේ. එපමණ පිරිසක් ඕනෑම වේලාවක මේ රථ වටා පොදි කමින් සිටියහ.

ආහාර ලැබෙන තෙක් විජිත යාපා පොත්හල ඉදිරිපිට පඩි පෙලෙහි හිඳගත් මම සිගරට්ටුවක් දල්වා ගතිමි.

'' ගුණේ අයිය එන්ඩ ඉඳගන්න....ඉතිං.... නිමා නොවුනු කතාවක් හිතේ තියාගෙන සමුගන්න බැහැනෙ ඔයාගෙ කතාව ඉවර කරන්නකො......''

උඩවත්ත කැලේ ඉහලින් පෑයූ අඩසඳ කොටු ගොඩැල්ල වීදියෙහි අඳුර දුරු කිරීමට සමත් වූයේ නොවේ.කතරගම දේවාලය ඉදිරිපිට පහන් කණුවෙහි පමණක් මලානික එළියක් විහිදුවමින් එක් විදුලි බුබුලක් දැල්විනි.ඒ හැර අවට ආලෝකයක් වූයේ තවමත් එක් දොර පළුවක් පමණක් වසා ඇති කාසල් අවන්හලෙන් කොටුගොඩැල්ල වීදියට පතිත වන ප්රතිදීප්ත පහන් එළිය සහ ජංගම ආහාර රථයේ දෙපස එල්ලා තිබූ පෙට්රොමැක්ස් ලාම්පු එළිය පමණකි.

බෝතලයකට මඳක් වැඩි තරම මත්පැන් පානය කොට සිටියද මම මෙන්ම ගුණේ අයියා ද මනා සිහි කල්පනාවෙන් පසු වුනෙමු. හැඟීම්බර උද්වේගකර හෝ අනුවේදනීය කතාවක් මත්පැන් පානයට ඈඳුණු විට බොහෝ විට මේ තත්වය උදාවන බව මම අත්දැකීමෙන් දැන සිටියෙමි.

ගමන් මල්ල පහල පඩියේ තැබූ ගුණේ අයියා මා අසලින්ම අසුන් ගත්තේය.මම පසුපසට දිගඇදී පොත්හලේ ප්රධාන දොරටුවට ඇලවීමි.

'' පහුවදා ලක්ෂ්මී මට මෙහෙම කිව්ව ..... ගුණේ, බොහොම ස්තූතියි ඇත්තම කිව්වට,ඒ වගේම ඔයා ඒ වගෙ දෙයක් කලේ ඇයි කියල මට තේරුම් ගන්න පුලුවන්,එහෙම කරපු එක හරිද වැරදි ද කියන එක වෙනම කතාවක්, ඒත් ඒක දැන් ඔයා කරල ඉවරයි, හරි හෝ වැරදි හෝ....අපි පශ්චාත් පරීක්ෂණයක් කරල හරි වැරදි හොයන එකේ කිසිම තේරුමක් නෑ. ඒ නිසා ඒ අනවශ්ය වැඩ අත ඇරල අපි වැදගත් කාරණා කතා කරමු.මුල්ම කාරණේ මට ඔයාට සමාවක් දෙන්න පුළුවන්ද කියන එක. ඔයා මට අවංක උනා වගෙ මමත් ඔයාට අවංක වෙන්නම් මට බෑ ඔයාට සමාවක් දෙන්න. අඩුම වශයෙන් මම මෙහෙම කියන්නම්.... මට මේ මොහොතෙ, ඒ කියන්නෙ තාම බෑ ඔයාට සමාවක් දෙන්න....සමහරවිට කාලය හැමදේටම විසඳුම කියනව වගෙ කාලයක් ගත වෙද්දි මට පුලුවන් වෙයි ඔයාට සමාවක් දෙන්න ඒත් තවම නම් බෑ....සමාවෙන්න මෙහෙම කෙලින්ම කියනවට...''

'' නෑ ලක්ෂ්මී ඔයා හරි, ඔයා සම්පූර්ණයෙන් හරි.ඔයාගෙ පැත්තෙන් ඔයා හරි, මට ඊට වැඩි දෙයක් ඔයාගෙන් බලාපොරොත්තුවෙන්න බෑ කොහෙත්ම.''

මතු සම්බන්ධයි.......

21 comments:

  1. puh...
    මේ කතාම එන්න එන්නම රසවත් වෙනවා.

    ඒ විතරක් නෙමෙයි දැන් නම් රවියෝ ඉවසුවා හොඳටම ඇති. ලියපිය මේක ඉක්මනට. මෙහෙම පාඨකයෝ අසරණ කරන්න හොඳ නෑ.
    අනේ කියන දෙයක් කරන්නම්. (ඕන්නම් උඹට ඔය කියන ජාතියෙකින් බෝතලයක් හරී එවන්න බැරිය. )
    ඉක්මනට ලියපියෝ...

    ReplyDelete
  2. //ඔයා මට අවංක උනා වගෙ මමත් ඔයාට අවංක වෙන්නම් මට බෑ ඔයාට සමාවක් දෙන්න. අඩුම වශයෙන් මම මෙහෙම කියන්නම්.... මට මේ මොහොතෙ, ඒ කියන්නෙ තාම බෑ ඔයාට සමාවක් දෙන්න....සමහරවිට කාලය හැමදේටම විසඳුම කියනව වගෙ කාලයක් ගත වෙද්දි මට පුලුවන් වෙයි ඔයාට සමාවක් දෙන්න ඒත් තවම නම් බෑ....සමාවෙන්න මෙහෙම කෙලින්ම කියනවට...'//

    ලක්ෂ්මී කතා තියෙන්නේ මේ වගේ තත්වයකට මූන දෙන්ට වෙන ගෑනු හැමෝම වෙනුවෙන්.

    //ඉඳිආප්ප, කොත්තු, බිත්තර රොටී, මනි පිට්ටු,සමඟ බාබත්, එළු සහ ගව මස්, දැල්ලන්, පොල් මැල්ලුම්, කිරිහොදි //

    අපොයි දෙය්යනේ බොන ඒවා ගැන ලීවත්, කන ඒවා ගැන මෙහෙම ලියන්ට හොඳද?

    කතාව තව චුට්ටක් ඇදගන ගියත් කමක් නෑ. දැන් හිතෙනවා ඉවර උනොත් අපරාදේ කියලා...:D

    ReplyDelete
  3. // කමු මනි පිට්ටුයි..කිරි හොද්දයි එළුවයි //

    නොදෝකින් විතරක්, මේ වගේ කතා මතක් කොරනවානේ මේ රෑ දෙගොඩහරි ජාමෙ..

    ReplyDelete
  4. අනේ රවි අයියේ මට කියනවාද ඔය බාබත් කියන්නෙ මොන සතාගෙ මොකක්ද කියලා.මං මේ ලගදි තමා ව්ව් වචනයක් තියෙන බව දැන ගත්තෙත්.

    ReplyDelete
  5. are issela post eke take care kiyala ano comment ekak damme mame hode :P heheh man nangiyek :P ;) lassanay ade kathawath ..

    ReplyDelete
  6. අනිත් හැමෝම වගේ ගුණෙත් බොහොම සාමාන්‍ය මනුස්සයෙක් විදියට හැසිරිලා තියෙන්නෙ. එතනදි වෙන්න තමංගෙ බිරිඳට ද්‍රෝහී වීමක් කියල අමුවෙන්ම කියනවට වඩා, තව තවත් මනුස්සයෙක්ගෙ හිනාවකින් තමංගෙ හිතේ හිස්තැනක් පුරවා ගැනීමක් කියල කිව්වොත් සාධාරණ වෙයි.

    ගුණේගෙ අවාසනාවට ඒ දේ එළිඋනත් මම හිතන්නෙ නෑ අන්තිමට ගුණේගෙ ඉරනම අවාසනාවන්ත එකෙක් වෙයි කියල. මොකද ගුණේගෙ හිත වද දෙන්නෙ නෑ කිසිම වෙලාවක. මනුස්සයෙක්ට දරාගන්න බැරි තමන්ගෙ හර්දසාක්ෂියෙ පීඩනය මිසක් වෙන කිසිම දෙයක් නෙමෙයි. ඒක නිසා අහිමි වීමක් උනත් දරාගන්න පුළුවන් මට්ටමින් නතරවෙයි.

    ReplyDelete
  7. කතාව ඇත්ත උනත් බොරු උනත් , ගුනෙ කියන ඩයල් එක කලෙ වරදක්. මෙක මගෙ මතය, ඒත් මට බනින්න නම් එපා.

    ReplyDelete
  8. හ්ම්ම් හරිම තාත්විකයි. බොලද කතාවක් නෙමෙයි. එකයි මම මේ කතා මාලාවම මෙච්චර මැරීගෙන කියවන්නේ

    ReplyDelete
  9. කතාව යන විධිය නියමයි, ඉවර කොරන්න හදිසි වෙන්න කිසිම හේතුවක් මට නං පේන්නෙ නෑ. මම හැම කොටසක්ම නියමෙට රස වින්දා. සමහරු හිතයිද මන්ද කන, බොන, සීන් හන්ද කියල. නැහැ ඒක නෙමේ හේතුව. කතාව සහ ලියන විදිය. ආයාසයක් නැතුව, මොලේ ඕනෙවට වඩා වෙහසන්නේ නැතුව කියවන්නයි, රස විඳින්නයි පුළුවන් නිසා.


    ඉස්සෙල්ල කොටසෙ කොමෙන්ට් එක ගැන කතා කලොත් :- )
    Old Empire Hotel එක ඇතුළුව නුවර බාර් ඔක්කොම වගේ වන්දනා මාන කොරල තියෙනවා. තව තිබ්බ සිල්වර් ඩේල්, ලියොන්ස්, වගේ නම් තියෙන හෝටල් වගේකුත්. සමහර ඒවයෙ වේටර් ලත් අඳුනනව ඒ කාලෙ. එකෙක් හිටිය කුරුනෑගල පැරමවුන්ට් එකෙන් තරහ වුනාම නුවර ඔය එකකට යනවා, එහෙන් තරහ වුනාම කුරුනෑගල චයිනීස් එකට හරි පැරමවුන්ට් එකට හරි එනවා.

    ඉස්සෙල්ලම මං මනි පිට්ටුයි, බාබතුයි, කෑවෙත් අර කියපු දුවනගිරියකින් තමා.

    ReplyDelete
  10. @ නිසුපා,

    බාබත් කියන්නෙ ගවයගෙ ආමාශය....ඇත්තටම නම් ආමාශය ඇතුල් පැත්තෙ තියන මාංශ පටලය...මැලේ ජාතිකයන්ගෙ සුප්‍රසිද්ධ ආහාරයක්.නටන උණු වතුරෙ පැයක් විතර හොඳට තම්බල සුද්ද කරල ගන්න ඕන උයන්න ඉස්සරවෙලා. රබර් වගෙ නිසා වරුවක් විතර හැපුවැහැකි....හෙහ්, හෙහ්,

    බ්‍රිතාන්‍ය ආණ්ඩු කාලෙ කොම්පඤ්ඤවීදිය කිට්ටුව පදිංචි කරල හිටපු...දැන් මැලේ වීදිය කියන්නෙ ඒ හරිය...මැලේ හිරකාරයන්ට කෑමට දුන්නයි කියන්නෙ ඔය ඉවත දාන හරක් බොකු බඩවැල් එහෙම.Tripe නැත්නම් Offal කියලයි ඉංග්‍රීසියෙන් කියන්නෙ....ඉතින් අන්තිමට වෙච්ච වැඩේ මේක මැලේ කට්ටියගෙ ප්‍රියතම කෑමක් උනා....ඔන්න ඔහොමළු උනාය කියන්නෙ....හෙහ්, හෙහ්,

    ReplyDelete
  11. @ Il mondo di una povera pazza

    / මේ කතාම එන්න එන්නම රසවත් වෙනවා. /

    රසවත් හරි මොකක් හරි හෙටින් ඉවරයි බං.......

    ඔය මම කියපු බෝතල් ඔහෙ නෑ බොල...එවාපං මට Campari බෝතලයක් පුළුවන්නම්.... හෙහ්, හෙහ්,

    ස්තූතියි povera pazza....හැමදාම කියවල මගෙ ඇඟට ගොඩවෙල හරි යනවට......විහිළුවට කිව්වෙ හරිය...ඇත්තටම ඔයාට බොහොම ස්තූතියි,

    ReplyDelete
  12. @ පොඩ්ඩි,

    / කතාව තව චුට්ටක් ඇදගන ගියත් කමක් නෑ. දැන් හිතෙනවා ඉවර උනොත් අපරාදේ කියලා...:D /

    අම්මප පොඩ්ඩියෙ උඹ තමයි දවසකටවත්..........

    කෑම ගැන පොඩ්ඩක් කිව්ව විතරයි දැන් දිගටම ලියන්නයි කියන්නෙ නේද?......හෙහ්, හෙහ්,

    ReplyDelete
  13. @ Buratheno,

    / නොදෝකින් විතරක්, මේ වගේ කතා මතක් කොරනවානේ මේ රෑ දෙගොඩහරි ජාමෙ../

    අම්මප මලේ ඇත්තම නේන්නම්...රෑ දෙකහමාරයි නේද වෙලාව......මොකද බං උඹ මේ යක්කු ගස්යන ජාමේ කොරන්නෙ?.....කිව්වට අමනාප වෙන්න එපා....හැබෑට උඹ කිරිකැට් පිටැන්නක් මුර කොරන රස්සාවක් වද්ද ඔහෙට වෙලා කොරන්නෙ?......හෙහ්, හෙහ්,

    ReplyDelete
  14. @ Glimmer Girl

    කවුදෑ දන්නෙ.....කියන්ට එපාය....හෙහ්, හෙහ්,

    A thousand thanks , Glimmer Girl.......heh, heh,

    ReplyDelete
  15. @ nawammawatha,

    / මනුස්සයෙක්ට දරාගන්න බැරි තමන්ගෙ හර්දසාක්ෂියෙ පීඩනය මිසක් වෙන කිසිම දෙයක් නෙමෙයි. /

    මුළු හදින්ම එකඟයි නවම්...කාගෙන් වහං වෙල හිටියත් ඕකගෙං හැංගිල ඉන්න නම් බෑ මේ කපේදි.......හෙහ්, හෙහ්,

    හැබැයි අනික් අතට ඕක සත පහකට ගනං ගන්නෙ නැති මිනිහට ඕනම දහදුරා වැඩක් කරල නිකං බබා වගේ ඉන්නත් ඇහැකි.

    ReplyDelete
  16. @ ashen,

    / කතාව ඇත්ත උනත් බොරු උනත් , ගුනෙ කියන ඩයල් එක කලෙ වරදක්. මෙක මගෙ මතය, ඒත් මට බනින්න නම් එපා. /

    කතාව නම් ඇත්ත...මොකටෙයි බනින්නෙ?......හෙහ්, හෙහ්,

    ReplyDelete
  17. @ වර්ණා,

    බොහොමත්ම ස්තූතියි වර්ණා......

    ReplyDelete
  18. @ Observer,

    හෙහ්, හෙහ්, ඉවර කරන්න හදිස්සියක් නම් නෑ ඔබ්, ඒත් හෙට අන්තිම කොටස.....

    ලියෝන්ස් එකනම් තාම තියනව.....සිල්වර්ඩේල් එකනම් වැහිල ගියාද කොහෙද?

    ඔබටත් ස්තූතියි ඔබ්....ඔබේ පැසසුමට......

    ReplyDelete
  19. eke thama neda :P he he ur welcome ayye :)

    ReplyDelete
  20. මතුසම්බන්ධ එපෝ.....

    ReplyDelete
  21. U r the best writer in cyber space Ravi ayya..


    ~ Jemma ~

    ReplyDelete

මගේ සිතුවිලි ගැන ඔබේ සිතුවිලි

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...