Thursday, August 22, 2013

212. කවිකාරියකගේ ප්‍රේමය.



සරච්ච්න්ද්‍ර මහත්තය ගැන පහුගිය සටහන ලියද්දි මගෙ අතීත කතාවකුත් ඈඳුන නෙව ඒකට. ඒ අර මට මළගිය ඇත්තෝ සහ මළවුන්ගේ අවුරුදුදා පොත් දෙක තෑගි දුන්නු යුවතිය ගැන කතාව..කෝ ඒ කතාව කියල අහල තිබ්බ මෙකුවීස් ගොයියත්..ඒ නිසා මට හිතුන මේ උනුහුම පිටම ඒ කතාවත් කියල දැම්ම නං අහකයි නෙවද කියල..ආය පස්සට දාන්ට ගියොත් ඔය කතාව කවදාවත් ලියවෙන එහෙකුත් නැති වෙයි බොහෝවිට. 

කාලය - මට මතක විදිහට වසන්තිගෙ යුගයට පස්සෙ වෙන්න ඕන...යස්..ඔව්...එහෙම තමයි...අපෙ අල්ලපු චමරියෙ හිටිය විජිත කියල හොඳ උස මහත ලස්සන කොළුවෙක්...අපි වගෙ එහෙම නෙවෙයි ඔන්න...හෙහ්, හෙහ්, අපිට තරං නෑ වයසකුත්...හරිම අහිංසකය..මස් මාලු තියා ආය නියපොත්තක්වත් කන්නෙ නෑ....ඔය අනික් නොබොන එවුං එහෙම අපි ඔය සිංදුවක් දෙකක් කියනකොට ඇවිල්ල අප්පුඩියක් එහෙම ගහනවනෙ. මේකා එහෙමවත් නෑ ...ගෙදර ඉන්නවනං පැය බාගෙකට සැරයක් අම්මටයි තාත්තටයි වඳිනව කියල උගෙ අල්ලපු ගමේ එකෙක්මයි අපි එක්ක කිව්වෙ දවසක් ඔය පොඩිවට කර්මාන්තයක් කරන අතරෙදි.

හරි වැඩි විස්තර කියන්ට ගියොත් මේකත් පඳුරු තැලිල්ලක් වගෙ වෙනව. හරි කෙටියෙන් කිව්වොත් ඔය දවස්වල විජිතය බස් එකේ එද්දි ගුරු මානවිකාවක් සෙට් වෙලා තිබ්බ. වැඩේ බොහොම අපූරුවට නැඟල යනවයි කියලයි අපිට ආරංචි උනේ. 

දවසක් හවස වටින් ගොඩින් අඳුර වැටීගෙන එද්දි අපි සුපුරුදු පරිදි මිදුලෙ ජෑම් ගහයට කනප්පුව වටේට පුටු තියාගෙන වාඩි වෙලා හිටිය.එදා කොහොම හරි අර 2009 විතර ඩුබායි වල වෙච්චි වැඩේ අපිටත් වෙලයි තිබුනෙ. ඩ්‍රාස්ටික් ඉකොනොමික් ඩවුන්ටර්න්...බරපතල ආර්ථික අවපාතනයක්...


ඔය අපෙ රවුං කනප්පුව ඇවිල්ල බොහොම බලගතු එකක්..ඕකෙ උඩ පොලිෂ් එක පිච්චිල හරියටම අසෝක වීදුරුවෙ අඩියෙ ගාණට රවුං තියෙන්න ඇති ලස්සයකට එහා පැත්තෙ...ඒත් අතේ සතේ නැතිවෙච්චි වෙලාවෙ උනත් ඔය කනප්පුව වටේට වාඩි වෙලා හිටියොත් අම්මප දෙයියො දුන්න වගෙ කොහෙං හරි බඩු පාදුර්බූත වෙනව. 

එදත් ඔන්න අපි කට්ටිය හීතළ හුළඟෙ මූණිං මූණ බලාගෙන හිටිය බෝම දුක්මුසු මුහුණිං..ආ, තව කාරණයක් කියන්ට බැරිඋනා. ඊට මාසෙකට විතර කලිං අපේ කෑම්ප් එකෙ ඇතුලෙම දැම්ම පොඩි පහේ බාර් එකක්.අපේ එවුං රෑ දෙගොඩහරියෙ ජීප් අරගෙන පිස්සු බල්ලො වගෙ රට හැමතැනම ඇවිදින එක වලක්වන්ට හිතාගෙන අපෙ ලොක්කගෙ අනුශාසකත්වයෙන් තමයි ඒක විවෘත කලේ.

අපි හැමෝම ඒකෙ ඒකෙ කොටස් කාරයො විදිහට බඳව ගත්ත. රුපියල් දෙසීයද කොහෙද අවම කොටසක්.... මතු බුදුබව ලැබෙනා අති උතුම් පුණ්‍යක්‍රියාවක් කරණකොටගෙන නිසා මම දැම්ම මට මතක විදිහට ගෙඩි පිටිම්ම රුපියල් දෙදාහක්ද කොහෙද " මනි මනි සේ ලුකිං නොට් " කියල හිට.....සල්ලිත් එකතු උනා මදි නොකියන්ට..ඒත් මොන...සති දෙකයි තුනයි ගියේ අපේ උගුඩුවො පොතට බීලම වියාපාරය බංකොලොත් වෙන්න ආව. 

ලොක්කට මල පැනල බාර් කීපර්ට දැඩි නියෝගයක් නිකුත් කලා.. 

" මේ පීටර්...කිසි කෙනෙකුට ආය නයට දෙන්ට එපා. මොන මහත්තය ආවත් එච්චරයි. මම කිව්වය කියනව. යකෝ මේක මාර කෙළියක්නෙ..ළඟට ගෙනත් දුන්නමවත් මේ මිනිස්සුන්ට බෑනෙ සල්ලි දීල බොන්ට. අර රෑ තිස්සෙ බාර් ගානෙ යනකොට එව්වයිනුත් දුන්නද දන්නෙ නෑ ණයට…." 

ලොක්ක දන්නෙ නැතිඋනාට ඔය දෙගොඩ හරියෙ ගිහාම බාර් එකේ අයිය බඩු දුන්නෙ ණයට තමයි. හැබැයි ඩබල් කිට්ටු වෙන්ඩ චාජ් කලා.එව්වයෙ ගාණක් නෑ අපට. දෙක වැදුනම ඩබල් නෙවෙයි ට්‍රිබල් කොඩ්‍රොපල් උනත් ආය කිසි අවුලක් නෑ. ලෝඩ් බකිංහැම් වගෙ තමයි...අනික දෙන්නං කාසි වලටනෙ. පහුවදා වෙරි හිඳුනම තමයි එකාට එකා කුඩු මිරිස් කාපු රිලව් වාගෙ විරිත්ත ගන්නෙ ගණං එහෙම එකතුකරල බලල තම තමංගෙ ෂෙයාර් එක කීයද කියල දැනගත්තම. බොහෝවිට මම තමයි ඔය එකවුංටං වැඩේට කර ගහන්නෙ. 

උදේ පාංදරම මම ගණං හිලව් ඔක්කොම හාප් සීට්ටෙහෙක ලියනව අයිටම්ස් අනුපිළිවෙලට..ඔන්න මෙහෙමයි ඈස් ඇන් එග්සාම්පල්. 

1. පාලන මිලට ගත් අරක්කු - බෝතල් 3 @ 90.00 ------------රු 270.00 

2. වැඩි මිලට ගත් අරක්කු බෝතල් 2 @ 140.00 ---------------රු.280.00 

3. ෂැන්ඩි සඳහා - --------------------------------------------------රු. 50.00 

3. බයිට් වලට -----------------------------------------------------රු. 40.00 

4. සිගරට් යනාදිය ------------------------------------------------රු. 20.00 

මුළු එකතුව ------------------------------------------------------රු. 660.00 

අඩුකිරීම් - 

1. සමරේ අතින් අත වැදී හැලුනු මත්පැන් මිලී 75 වෙනුවෙන් ------රු. 14.00 

2. වික්කරේ අනිවාර්යයෙන් කටගැසුම් වලින් 50 % ආහාරයට ගන්නා බැවින් කටගැසුම් පිරිවැයෙන් 50 % ---------------------------------------  රු. 20.00 

සම්පූර්ණ අඩුකිරීම් - --------------------------------------------------රු. 34.00 

අඩුකිරීම්වලට පසු එකතුව - ----------------------------------------රු. 626.00 

රු. 626.00 / 8 = රු 78.25 ----------------------------------------------( a ) 

අපතේ ගිය මත්පැන් පිරිවැය = රු. 14.00 --------------------------------( b ) 

වික්කරේ ආහාරයට ගත් කටගැසුම් පිරිවැය = රු. 20.00 ---------------- ( c ) 

පිරිවැය බෙදාහැරීම :- 

1. වීරේ ---------------------------------------- ( a ) ----------------රු 78.25 

2. ජයේ --------------------------------------- ( a ) -----------------රු 78.25 

3. ගුණේ -------------------------------------- ( a ) ----------------රු 78.25 

4. විමලේ ------------------------------------ ( a ) -----------------රු 78.25 

5. කරුණේ ----------------------------------- ( a ) ----------------රු 78.25 

6. මහින්ද ------------------------------------- ( a ) ----------------රු 78.25 

7. සමරේ --------------------------------- ( a ) + ( b ) ------------රු 92.25 

8. වික්කරේ ----------------------------- ( a ) + ( c ) --------------රු 98.25 

මුළු එකතුව --------------------------------------------------------රු 660.00 


අපෙ කෑම මේසෙ ගාව තිබ්බ බිත්තියෙ ගහල ප්ලයිවුඩ් ෂීට් කෑල්ලක්...  ඒ තමයි අපෙ නෝටිස් බෝඩ් එක...අර පාටියෙ විය හියදම් විස්තරේ මම ඕකෙ අලෝනව.. ඒ කරල කාටත් ඇහෙන්ඩ ගණං හිලව් මහ හයියෙං කියෝනව..ඇඳං වලම ඉඳං එවුං මයෙ අම්මට පිං දෙනව...අම්මට වඳින ගාතාව එහෙම කියල...පූජේමි බුද්දං කුසුමේන නේන.... 

ඔන්න එකා එකා එනව සරං එහෙම ඇඳ ඇඳ ....තේ බොන්ටත් ඉස්සරවෙලා යන්නෙ නෝටිස් බෝඩ් එක ගාවට.... 

" මේ ********* පුතාට ඔලුව හොඳ නැද්ද මන්ද උදේ පාන්දරම මෙව්ව නෝටිස් බෝඩ් එකේ දාන්ට.." ඔන්න එකෙක් කියනව. 


" යකෝ එකසිය හතළිහ ගානෙ බෝතල් දෙකක් ගෙනාවද?...කවුද ගේන්ට කිව්වෙ?....." 

ඒ ජයේ..ඕකම තමයි මැරෙන්ට හැදුවෙ ඊයෙ රෑ කීයට හරි කමක් නෑ අරං වරෙංය කියල…..අනෙ අම්මප..මට උතුර දකුණ මාරුවෙන්නෙ මේ වෙලාවට තමයි. 

" කිව්වෙද? කිව්වෙ තොගෙ බාප්පොච්චි..එහෙනං ආයෙ...තෝම තමයි මැරෙන්ට හැදුවෙ ඊයෙ රෑ කියට හරි විජහට අරං වරෙංය කියල..ආං බොරුනං අහල බලපං අර සැමීගෙං…" මම බෙරිහං දුන්න..... 

සැමී කිව්වෙ අපෙ ගෝලය...ඉවුම් පිහුම් කරපු හාදය...මිනිහ වැඩිය බොන්නෙ නෑ..ඉතිං ඔය මදුසාද වලදි ඇතිවෙච්චි වලිවලට මුල පිරුවෙ කවුද?...ඉස්සෙල්ලම අසබ්බිය සිංදු පටං ගත්තෙ කවුද?...ඉස්සෙල්ල ගැහුවෙ විජේගෙ කණට සමරෙද?..එහෙම නැත්තං සමරෙගෙ කණට වික්කරේද? ඔන්න ඔය වගෙ ජාත්තියන්තර අර්බූද දක්වා විකාසය වියහැකි අන්දමේ පොඩි සිද්දීන් ගැන හරි විස්තරේ කියල ඒ මතබේද නිරාකරනය කරන එකත් උයනවට අමතරව සැමීගෙ රාජකාරී ලැයිස්තුවට අයිති වෙලා තිබ්බ. .

" හරි බං ඕකට ඔය හැටි කෑ ගහන්ට ඕනය?....මම එහෙම කිව්වය කියල උඹ කිව්වනං මම පිළිගන්නං...." 

ජයේ කෙලිම්ම සාමකාමී මෝඩ් එකට එන්ටර් උනා.ඕකුං දන්නව මට මල පැන්නොත් එහෙම ආය බීල හමාරයි කියල. මම තමයි ඔය මදුසාදවල ප්‍රදාන සංවිදායක.. 

කිව්වම මොකද?..අපෙ උන්දැගෙ ගෙදර කට්ටිය මම එහෙට සම්බන්ද වෙන්ට කලිං මත්පැං කියන එව්ව කට හරියකට ගන්නෙ නෑ..කොටිම්ම ගෙදෙට්ට අවුරුද්දට කැවුං අනම් මනං හදන්ට කන්ද උඩහ කිතුලෙං පැණි ගේන්නෙත් බූලියක දාගෙන අප්පච්චි. පැණි ඩිංග උනත් දාන්නෙ නෑ අරක්කු බෝතලේක… 

හෙහ්, හෙහ් ආය මොනවද මම ගිහිල්ල මාස හයක්වත් ගියෙ නැද්ද කොහෙද? එයයිගෙ පොඩි අයියගෙ මඟුල දවසෙ...කපුව මංගල සබාව මැද්දෑවෙ දේයි යන අනුකරනයෙං පත බෑවී වදාලෙ නැද්ද ඉඳං හිටපු පුටුවත් එක්කම. 

මනමාලිට ළමයෙකුත් හම්බ උනාට පස්සෙං පහුද කොහෙද තමයි ඔන්න අපෙ පිරියම්බිකාවි ඔය සිද්දිය ගැන කියවල මගෙ කංදෙක ගොඩ කරන එක අතෑරල දැම්මෙ... කොච්චර අවනම්බුවක්ද? එයාලගෙ සායම ගියාය...අරකද මේකද?අර කපුවට ආයෙ එයාලගෙ ගෙවල් හතර මායිමේ එන එකත් තහනං කරල උන්දැ නිකුත් කරපි අනාඥාවක්..හෙහ්, හෙහ්

හරි ඒ කතාවත් පස්සෙ හරිද? මේ කවුද දැං ඔය ඉස්සරහට කියන කතා ලිස්ට් එකක් හදාගෙන ඉන්නෙ..රූද?..මෙකුවිද?...බින්දිද?..කවුරුහරි කමක් නෑ දාගනිං එන්න ඒ ලිස්ට් එකට මේකත්…. 

හරි ජයේ සාමකාමී මෝඩ් එකට ආවය කියල මම කිව්වනෙ... 

" අන්න එහෙම වරෙං...හෙහ්, හෙහ්....හරි දැං කවදද සල්ලි දෙන්නෙ?..කියාපල්ල විජහට…" මම අහනව... 

" යකෝ..ඉඳපිය ටිකක්..තව හරියකට කබරය දාල ඉවර උනෙත් නෑ.." ඒ සමරේ..ඌට බීල වැඩිඋනොත් පහුවදාත් හවස් වෙනකල් කන කන එක ආය විනාඩි පහක් යන්නෙ නෑ කෙලිම්ම කානුවෙ.. 

" යකෝ ඔහොම රටටම ඇහෙන්ට ඔක්කාර කරල උඹට තව අමාරුයි නෙව..ඔයිට නරකද කෙලිම්ම බත් මාලු ඔක්කොම එකට අනල කාණුවටම දැම්මනං..කන්ට වෙන මහන්සියයි ඔක්කාර කරන්ට වෙන මහන්සියයි දෙකම නෑනෙව…" මටත් බෑ නෙව කට තියාගෙන ඉන්ට එක විදිහකට. 

" තෝ මගෙං අහගන්ට තමයි ඔය.." බැරි මරගාතෙ ඔලුවත් බදාගෙන සමරෙ මා දිහාවෙ ඔරෝනව. 

ඉතිං මම කලින් කිව්වෙ අපි අර මිදුලෙ ජෑම් ගහ යට කනප්පුව වටේ ඉන්නව. එක එකා එක එක දිහාවෙ බලාගෙන. මම කකුල් ජෝඩුවත් කනප්පිය උඩට කරගෙන යාන්තං එළිය තියන අහසෙ වවුලො කෑම හොයාගන්ට පියාඹල යනව බලාගෙන හිටිය.ඔන්න එතනට ආව විජිතය. කොල්ලගෙ මූණත් එක්කලා කළුවෙලා..බොහොම සන්තාපෙං ඉන්නවය කියල පැහැදිලිව පේනව. 

" ඒයි මල්ලි ඔය ගමම්ම අරං වරෙං ගේ ඇතුලෙං තව පුටුවක්....මේ ඒක නෙවෙයි මොකෝ උඹ මේ කව්බෝයි මැරිච්ච් අස්සය වගෙ. මේ දවස්වල ඉන්ට එපාය නිකං ලස්සෙට කොඩිය දාල වගෙ ෆුල් ආතල් එකේ. " විජේ ඌව දැක්ක ගමං කෑගැහුව. 


ඊට සති දෙහෙකට විතර ඉස්සර බස් එකේ උදේ වැඩට එද්දි විජිතයට ටීචර් කෙනෙක් සෙට් වෙලාය කියල ඒ වෙනකොට අපිට ආරංචි වෙලා තිබුනයි කියල මම කලින් කිව්වනෙ නේද?.... ඔය ඒ කාලෙ ( ඒ කාලෙ කිව්වට තාමත් එහෙමද කියන්න නම් මම හරියටම දන්නෙ නෑ ) අලුතෙං පත්වීං දෙන ගුරුවරු හැමෝම අනිවාර්යයෙන් ඉස්සරෝම අවුරුදු තුනක් දුෂ්කර කියල වර්ග කරපු ඉස්කෝලෙක රාජකාරි කරන්නම ඕන. ඒක සේවයට බඳවා ගැනීමේ කොන්දේසියක්.

පාසල් වර්ග කරල තිබ්බෙ මෙහෙමයි..ඉතා ප්‍රිය මනාප, ප්‍රිය මනාප, සතුටුදායක, සතුටු දායක නොවන, දුෂ්කර, අති දුෂ්කර... 

" මේ ඔය විදිහට ඉස්කෝල වර්ග කරන එකේ ගුරුවරියොත් වර්ග කරානං තමයි වැඩේ නැඟල යන්නෙ…" ඔය වර්ග කිරීමේ අනුපිළිවෙළ ගැන කතා ක රකර හිටපු වෙලාවක මම අපෙ උන්දැට කිව්ව. 

" කොහොමද ඒ?...." උන්දැ ඇහුව නළලත් රැළි කරගෙන… 

" ම්ම්..අපි මෙහෙම වර්ග කරමු....ඔය විදිහටම ප්‍රිය මනාප ඉතා ප්‍රියමනාප කැටගරීම ඒ විදිහටම ගන්නත් නම් පුලුවං, එහෙම නැත්තං එලකිරි , කිරි කෑස්, කිරි ටොයියො වගෙ නම් කරන්නත් පුලුවන්..දුෂ්කර අති දුෂ්කර වලට ඕනනං මෙහෙම කිව්වැකි. අමාවක සහ නිර්වින්දන වගෙ මොකක් හරි..හෙහ්, හෙහ් " 

උන්දැත් ඔය මොකක් හරි කිව්ව හෝ දමල ගැහුව මොහොකිංහරි මට දැං හරියට මතකයක් නෑ... 

ඉතිං අර විජිතය ඇවිල්ල වාරියපොල අහ.ඕක වැඩට එන්නෙ කුරුණෑගලට ඇවිල්ල.කුරුණෑගල ඉඳල කදුරුවෙල එන අතරමඟ තමයි ඔය ගුරු දැරිවි සෙට් වෙල තියෙන්නෙ බස් එකේදි. 

ඒකා ඔන්න පුටුවකුත් අරගෙන ඇවිල්ල ඉඳගත්ත. උගෙ මූණ බලන්ට බෑ අපිටත් ඇඬෙනව. 

" මොකෝ කොල්ලො? " ජයේ ඇහුව… 

" හරි වැඩේනෙ අයියෙ " ඒක බිම බලාගෙනම කිව. 

" හරි වැඩේය කිව්වෙ මලේ?...?….අර ටීචර්ගෙ ආතල් එක හබක් උනා වත්ද? " ඒ එක්කම මාත් ඇහුව. 

" එහෙමමමත් නං නෙවෙයි. …" 

" එහෙනං?.... ඉතිං කියාපංකො.." 

" එයා ලියුං ලියද්දි හැමදාම කවි හතර පහක් ලියල එවනව…" 


" හප්පට සිරිගජ,...අඩේ ….කවිකාරියක් බොට හම්බවෙලා තියෙන්නෙ එහෙනං ඈ.......එළ එළ..එළ...දීපං කොල්ලො අත...ඉතිං යකෝ මොකක්ද අවුල?....කවිකාරියක් සැට් උනයි කියන්නෙ බාං නියම ජොලිනෙ...." ජයේ නැඟිටල විජිතයව බදා ගත්ත 

" අයිය මේ කෙහෙල්මලක් කතා කරනව...කවි තමයි...එයා කවි ලියල එවනකොට මට නිකං ලියුං ලියන්ට පුළුවනිය?...මමත් අඩුගානෙ කවියක් දෙකක්වත් ලියල යවන්ට එපාය…" විජිතය බිම බලාගෙන කෙඳිරිගෑව. 

" ඉතිං?.....ලියාපං කවි..මොකෝ ප්‍රශ්නෙ?.. " ජයේ හක හක ගාල හිනා උනා 

" ඒකමනෙ අයියෙ වෙලා තියෙන්නෙත් ..මම කොහෙද කවි ලියන්නෙ...." 

" ඉතිං එහෙනං පුලුවං එකෙකුට කියල ලියාගනිං... එච්චරනෙ තියෙන්නෙ…" 

" ජයේ අයියට පුළුවන්ද? …." විජිතයගෙ මූණට ඔන්න හිනාවක් ආව. 

" මට බෑ බං ඒත් පුළුවං එවුං ඉන්නව නෙව..ඕන නං නහයෙං පෙන්නන්නං..නහයෙං නහයෙං…" 

ජයේ පිටිපස්ස හැරිල මා දිහාවෙ බැලුව කටකොණකිං හිනාවීගෙන. වැඩේ කැරකෙන්නෙ කොහාටද කියල සහසුද්දෙම්ම දන්න නිසා මම හෙමීට අහක බලාගත්ත. 

" හරි ඉඳපං මල්ලි උඹේ ප්‍රශ්නෙ මම විසඳන්නං..හැබැයි කොල්ලො අමුවට කොරන්ට බෑ ඔය කයි ලියනව කියන එක. හරිය?...සරස්වතී උනත් එහෙම නිකම්ම කැකුලෙම්ම වැඩම කරන්නෙ නෑ. හයිද? "

" ඒ කිව්වෙ?...." විජිතය ඔලුව උස්සල ජයේගෙ මූණ දිහාවෙ බැලුව.. 

" ඒ කිව්වෙ බොල අරං වරෙං අරක්කු බෝතල් දෙකක්...උඹේ වැඩේ කරල දෙන්නං...." 

" අයියට පුළුවංය කවි ලියන්ට?...." විජිතයගෙ මූණෙ ඔන්න යාන්තමට වගෙ හිනාවක් ආව. 

" එක පාරක් කිව්වෙ යකෝ ... මට බෑ බං...මම කිව්වෙ අපෙ මේ වීරෙ ගැන..අප්පටසිරි ඌ ලියයි ඕන හැටිය කවි. " ජයේ මා දිහාට හැරිල ඉඟි මැරුව. 

ඊට මාසෙකට විතර කලිං ජයේගෙ පොඩි දුවගෙ ඉස්කෝලෙ මොකක්ද සඟරාවකටද කොහෙද මම කවි හතර පහක් ලියල දුන්න. ඒ නිසා ඕක දන්නව මට ඔය යන්තමට හතර පදයක් ගැටගහ ගන්ට පුලුවනිය කියල 

" අනේ අයියෙ.. අයියට පුළුවනි නේද? …" විජිතය ඇවිල්ල මගෙ අත් දෙකිං අල්ල ගෙන ඇහැව්ව. 


මතු සම්බන්ධයි...........

Monday, August 19, 2013

211. සරත් සඳ......

හැත්තෑවෙ දශකයෙ කෑගල්ලෙ නගර සභා ශාලාවෙ නාට්‍ය පෙන්නුව. ඒ දවස්වල මුළු කෑගල්ලටම ඉඩ පහසුකම් ඇතිව ප්‍රසාංගික කලා සංදර්ශන පෙන්වන්න තිබුණෙ හාල්පොත වගෙ එච්චරම තමයි. තාමත් නගර ශාලාව නම් තියනව බොහොම වයසට ගිහිල්ල අබල දුබලව.

ඉතාම කලාතුරකින් කොළඹ ඉඳල පේරාදෙණියට බස් එකේ යන වෙලාවක ( ඉතාම කලාතුරකින් බස් එකේ යන කිව්වෙ මම වැඩිපුර යන්නෙ කෝච්චියෙ නිසයි .කෝච්චියෙ ගමනෙ තියන්නෙ කියල ඉවරයක් කරන්න බැරි, ඒ වගේම ලියල ඉවරයක් කරන්න බැරි අමුතුම සුන්දරත්වයක්...ඒ ගැන ආයම ලියන්නම් වෙනම ) මල් පැළ ප්‍රදර්ශන, ගෘහ භාණ්ඩ ප්‍රදර්ශන වගෙ ඒවගෙ බැනර් නගර සභාව ඉස්සරහ සුලඟෙ පැද්දි පැද්දි තිබුනට නාට්‍ය දර්ශනයක් වගෙ එකක් ගැන කියවෙන බැනර් එකක් නම් මම දැක්කෙම නැති තරම්. 

ඒත් අර මම හැමදාම උදම් අනන හැත්තෑව දශකයෙ කෑගල්ල නගර ශාලාව බොහොම කලාබර ස්ථානයක්..මම ඉස්සෙල්ලම " ස " බැලුවෙ…. බැලුවෙද ඇහුවෙද මන්ද...දෘශ්‍ය කලා ප්‍රසංගයක් උනාම බැලුවයි ඇහුවයි දෙකම වෙන්න එපාය නේද? හරි එහෙනං ඉස්සෙල්ලම " ස " ඇහුවෙ බැලුවෙ…නැත්නම් බැලුවෙ ඇහුවෙ... ඔතන. 

ශ්‍රී සම්බුද්ධ සද්ධර්ම අනුහසින්, 
කමලාසනාරූඪ සරස්වතී ආ..ශීර්වාදයෙන්, 
රසික ඔබ මිලනයෙන්, 
ආනන්ද ජනක වූ, 
මේ සොඳුරු රාත්‍රී යාමයේ, 
සුවහසක් සවන් යුග, 
ප්‍රීතියෙන්…… 
උදම් වේවා!! 
ප්‍රීතියෙන්, 
උදම්ම්ම්ම්ම්...වේ ඒ..ඒ...ඒ..වා!!!! 

වික්ටර් " ස " පටන් ගන්නෙ අන්න එහෙම .....ඒ එක්කම ප්‍රේමකීර්තිගෙ දයාබර කටහඬ....ප්‍රේම්ගෙ පූර්විකාවෙ මුල හරිය නම් දැං මතක නෑ..ඒත් ඉවර කරන්නෙ මෙහෙමයි. 

" සංගීතය වනාහී ලෝකයක් සංහිඳවන සුව ඔසුවයි, එසේම ආත්මය සිහිල් දියෙන් නහවන අමා දිය දහරයි, ඒ සුව ඔසුවේ ඒ සිහිල් දියදහරේ කිමිද සැනහෙන්නට පූර්වාත්ම භාවයෙහි පින්කල සහෘදයනි ...ඔබ සැමත්... ඒ වගේම වික්ටර් ඔබත් මමත් මහත් පිනැත්තෝ වෙති. ඒ සිහිල් දිය දහරේ කිඳෙන්නට ඒ සුවඳ ඔසුව ගල්වා සැනහෙන්නට සුවහසක් රසිකයිනි ඔබට සදාදර ආරාධනා!!!! " 

ඒ වගේම දුන්න දුනු ගමුවේ,පුස්ලෝඩං, රතු හැට්ටකාරි, තුරඟා....සුබ සහ යස... සෙක්කුව වගෙ නාට්‍ය මතකයි යන්තමට වගෙ. ඒත් අර හරක දුවන කෝච්චිය දිහාවෙ බලාඉන්නව වගෙ නලු නිළියො පාට පාට ඇඳුං ඇඳගෙන හයියෙං කෑ ගහගෙන වේදිකාවෙ එහාට මෙහාට දුවනව කටත් බාගෙට ඇරගෙන බලා හිටිය මිස ඒ නාට්‍යවලින් කියවුනෙ මොකද්ද කියල මට අඳෝ සංසාරයක් තේරුණේ නම් නෑ. 

එහෙම චාන්ස් එකක් හරි ඔන්න මට ලැබුණෙ ඒ දවස්වල අපෙ ගෙදර නැවතිලා හිටිය මගෙ ඥාති සහෝදරයෙක්. මනුස්සය නාට්ටිය පිස්ස. එයා එක්ක තමයි මමත් ඔව්ව බලන්න ගියේ.එව්ව බලල මට පාඩුවක් එහෙම උනේ නම් නෑ. මගෙ සම වයසෙ යාලුවො බලන්නෙ ඇවිල්ල චිත්තරපටි විතරයි . නාට්ටිය උංට අරහං...නාට්ටිය බලන්ට යන මට ඒ නිසා තිබුණෙ පුදුම සැලකිල්ලක් යාලුවො අතරෙ.මොලේ කොලොප්පං මේකට... බහුතරයක් මා ගැන කිව්වෙ එහෙම..හැත්තෑ ගණංවල මොළේ කොළොප්පං කියන ව්‍යාවහාරය තිබුනද කියල නම් මතක නෑ. එහෙම තිබුනයි කියල හිතාගෙනයි මම එහෙම කිව්වෙ. තිබ්බෙ නැත්තං ඔය වෙන මොකක් හරි ඊට සමාන අදහසක් දෙන කතාවක් කියන්ට ඇති. 

ඔය බලපු නාට්‍ය අතර මගෙ මතකයෙ අදටත් රැඳිල තියෙනව සිංහබාහු..මතකයෙ තියෙනව කිව්වෙ මෙහෙමයි ඇත්තම කිව්වොත්. මූණ පුරා සායං උලාපු ඇස් වටේ ඉරි ඇඳගත්තු ගෑණු පිරිමි මහ හයියෙං කෑගගහ ඉස්ටේජ් එක උඩ එහාට මෙහාට දිව්ව පැන්න කියල තමයි හිතේ ඇඳිල තියෙන්නෙ.පොඩි එකා සන්දියෙ හින්ද එහෙම තමයි කියමුකො. ඊට පස්සෙං පහු දැනුං තේරුං තියන කාලෙ උනත් මම ඔය මනමේ සිංහබාහු නාඩගං දෙකම ආයෙම බැලුවට අනේ මන්ද මයෙ තියන පූරුවෙ පව්කාර කමක මහතද කියල මට ඒ දෙකම දිරෙව්වෙ නං නෑ.ඉතිං ඇත්ත කියන්ට එපාය...නැද්ද? 

නාඩගං ගැන අන්න එහෙමයි..පොඩි කාලෙ ඇල්ලුවෙත් නෑ ලොකු උනහමත් ඒකෙ වැඩි වෙනසක් උනේ නෑ.ඒත් පොත් ගැන ඊට වෙනස්. යංතං අකුරු හතරක් ගැටගහගෙන වචනයක් කියවන්ට, වචන අටක් ගලපාගෙන වාක්‍යයක් කියවල තේරුං ගන්ට පුලුවන් වෙච්චි දවසෙ ඉඳල මම පොත් කියව්වෙ පිස්සුවෙං වගෙ. හතේ අටේ පංති වෙනකොට මම අපේ ඉස්කෝලෙ පුස්තකාලෙ පොත් ඔක්කොම වගෙ බලල ඉවරයි.මෙතනිං එහාට වැඩිදුර ඒ ගැන තොරතුරු කියන්ට ගියොත් " උඹ දැං පඳුරු තැලිල්ල ඉවර කරලද ඔය නයා එලවන්ට තියාගත්තෙ? " කියල ඔහෙල උනත් අහන්ට බැරි නෑ. එනිසාවෙං ඒ ගැන කිව්ව ඔය හොඳටෝම ඇති. 

රයිට්..පුස්තකාලෙ තිබිල ගුණදාස ලියනගේ නොහොත් ගුලි මහත්මයාගෙ පොත් දෙකක්....දෝන කමලාවතී සහ අම්මෙ මං ගිහින් එන්නම්...ආන්න පොත්...කමලාවතීටත් එහා අර දෙවෙනියට කිව්ව පොත.හෙහ්, හෙහ්...රයිට් ඒ ගැනත් විස්තර දෙවනුව. ඉතා අගනා පඳුරු තැලීමකට නිමිත්තක් පහළව ඇති නමුදු අද ඒ සඳහා සුදුසු නොවන බැව් උදක්මැ හඟිමි.රයිට් ඒ කතාවත් දෙවනුව. 

පුස්තකාලෙං මම කියවාපු තවත් පොත් දෙකක් ඇවිල්ල මළගිය ඇත්තෝ සහ මළවුන්ගේ අවුරුදුදා...ඕකෙ මම මුලින් කියෙව්වෙ මළවුන්ගේ අවුරුදු දා...ඒ වෙනකොට මලගිය ඇත්තෝ කවුද අරගෙන ගිහිල්ල. පස්සෙ මම ඒකත් කියෙව්ව...

අපිට ඒ දවස්වල සිංහල උගන්නපු සර්ම තමයි එතකොට පුස්තකාලෙත් බාරව හිටියෙ.මගෙ කියවීමෙ පිස්සුව හින්ද එතුමාම තමයි මට කිව්වෙ …." පුතා... මේ පොත් දෙක අරගෙන ගිහිල්ල කියවන්න ..." කියල. 

අපේ සර් පේරාදෙණියෙ උපාධිධාරියෙක්. ඒ නිසාම තමයි මම හිතන්නෙ ඒ පොත් දෙකට ඒ තරම්ම ආදරය කලේ. මමත් ඉතිං ඔන්න පොත් දෙකම කියෙව්වය කියමු. ආපහු ගෙනත් දෙනකොට සර් අහපි " මොකෝ පුතා පොත් දෙක ගැන හිතෙන්නෙ ? හොඳද? " 

මම ඉතිං එහාට මෙහාට ඇඹරිල කාරිය එහෙම අන්තිමට ඇත්තම කිව්ව." අනේ සර් මට ඒ කතාව තේරෙන්නෙ නෑනෙ..." 

සර් ඒ වෙලාවෙ හිනාවෙලා කිව්ව. " මම ඔයාට ඔය පොත් දෙක කියවන්ට කියල කිව්වෙ ඒ කතාව තේරුම් ගනීවිය කියල හිතපු නිසාම නෙවෙයි. කමක් නෑ. දැනට ඒක අමතක කරල දාන්ටකො. තව අවුරුදු පහළවකින් විස්සකින් ඒත් නැත්තං විසි පහකින් විතර ආයෙම මේ පොත් දෙක කියවන්න. එතකල් දෙවෙන්දොරා සහ නොරිකො කියල දෙන්නෙක් ඉන්නවය කියල යන්තමට මතක තියාගත්තම හොඳටම ඇති.ආයෙම කියවනකොට පුතා ඔයාට හිතේවි පොඩි කාලෙදි බොහොම හොඳට දන්න හඳුනන දෙන්නෙක් කාලයක් කොහෙදෝ ගිහිල්ල ඉඳල ආපහු හම්බ උනා වගෙ කියල...හෙහ්, හෙහ්, " 

අර කිව්වත් වාගෙ අවුරුදු විසිපහක් නං යන්ට උනේ නෑ ඇත්තම කිව්වොත්. නොහිතූ නොපැතූ විදිහට මට දෙවෙන්දොරයි නොරිකොයි හම්බ උනා...

හෙහ්, හෙහ්, ආන්න බලන්න පිංවතුනි...ආනන්දය ...කාලෝ අයංතේ...කියල අපේ බුදු හාමුදුරුවොත් කිව්වලු. ගරුතර ( එහෙමකට තර නං නෑ අනේ කිව්වම මොකද? ) කෙළෙඹි පුත්‍රය , ගොමු තැලීමකට ඔබට මේ කාලයයි...ඒත් බෑ මෙයා...මම කලිනුත් කිව්වනෙ හැමදේකටම තියනව වෙලාවක් සහ කලාවක්..එහෙම නැත්තෙ කාරණා හතරකට විතරක්ය කියලයි පුරානෙ හිටපු පඩි ගොල්ල පඬිද මන්ද හරි වචනෙ ඒත් පඬි කියල මයිල් වලටත් කියනව නේද?..බලු පඬි, පූස් පඬි..ආන්න ඒ වාගෙ.. 


හරි ගොමු තැලිල්ලට තුඩුදෙන්නාවූ කතා වස්තුව වෙනම කියන්නං ..ඒකත් මයෙ පේම පුරානෙ තවත් එක් අනුවේදනීය, අනබිබවනීය, සදානුස්මරනීය පරිච්චේදයක් ආය ඔහෙලට කිව්වම මොකද? හෙහ්...හෙහ්

ඒ කතාවෙ සමාරම්භය නම් මෙහෙමයි..... 

කාලය - මට මතක විදිහට වසන්තිගෙ යුගයට පස්සෙ වෙන්න ඕන...යස්..ඔව්...එහෙම තමයි...

අපෙ අල්ලපු චමරියෙ හිටිය විජිත කියල හොඳ උස මහත ලස්සන කොළුවෙක්...අපි වගෙ එහෙම නෙවෙයි ඔන්න...හෙහ්, හෙහ්, අපිට තරං නෑ වයසකුත්...හරිම අහිංසකය..මස් මාලු තියා ආය නියපොත්තක්වත් කන්නෙ නෑ....ඔය අනික් නොබොන එවුං එහෙම අපි ඔය සිංදුවක් දෙකක් කියනකොට ඇවිල්ල අප්පුඩියක් එහෙම ගහනවනෙ. මේකා එහෙමවත් නෑ ...ගෙදර ඉන්නවනං පැය බාගෙකට සැරයක් අම්මටයි තාත්තටයි වඳිනව කියල උගෙ අල්ලපු ගමේ එකෙක්මයි අපි එක්ක කිව්වෙ දවසක් ඔය පොඩිවට කර්මාන්තයක් කරන අතරෙදි. 

හරි වැඩි විස්තර කියන්ට ගියොත් මේකත් පඳුරු තැලිල්ලක් වගෙ වෙනව. හරි කෙටියෙන් කිව්වොත් ඔය දවස්වල විජිතය බස් එකේ එද්දි ගුරු මානවිකාවක් සෙට් වෙලා තිබ්බ. වැඩේ බොහොම අපූරුවට නැඟල යනවයි කියලයි අපිට ආරංචි උනේ. 

ඒත් මෙන්න දවසක් හවස අපි මිදුලෙ වාඩි වෙලා කයියක් ගගහ ඉන්දැද්දි මේකා එනව..මූණ කට එහෙම හොඳටම මැලවිලා.. 

" මොකෝ කොල්ලො? " ජයේ ඇහුව… 

" මොකද බොල?….අර ටීචර්ගෙ ආතල් එක හබක් උනා වත්ද? " ඒ එක්කම මාත් ඇහුව. 

" එහෙමමමත් නං නෙවෙයි. …" 

" එහෙනං?.... ඉතිං කියාපංකො.." 

" එයා ලියුං ලියද්දි හැමදාම කවි හතර පහක් ලියල එවනව…" 


" ඉතිං ? උඹත් ලියාපං කවි…" ජයේ හක හක ගාල හිනා උනා 

" ඒකමනෙ අයියෙ වෙලා තියෙන්නෙත් ..මම කොහෙද කවි ලියන්නෙ...." 

" ඉතිං එහෙනං පුලුවං එකෙකුට කියල ලියාගනිං එච්චරනෙ තියෙන්නෙ…" 

" ජයේ අයියට පුළුවන්ද? …." විජිතයගෙ මූණට ඔන්න හිනාවක් ආව. 

" මට බෑ බං ඒත් පුළුවං එවුං ඉන්නව නෙව..ඕන නං නහයෙං පෙන්නන්නං..නහයෙං නහයෙං…"

හරි දැං කෙලිම්ම කතන්දරේ අවසානයට.... 

මේ කතාවෙ අවසානය මෙහෙමයි..කුරුණෑගල වැව දන්නව නේද? 

ඒ වෙනකොට වැඩිය වතුර නම් තිබුණෙ නෑ...වැව අයින දිගට දිවෙන තාර පාරෙන් අඩි පණහක් හැටක් වගෙ ඇතුලට වෙන්න තිබ්බ ගෙයි ඉස්තෝප්පුවෙ අපි වාඩි වෙල හිටිය, වේවැල් පුටු දෙකක. වැව දිහායිං එන හුළඟ දාහය නිව්ව නෙවෙයි තව වැඩි කලා. බිත්ති කණ්ඩිය උඩ තිබ්බ පත්තරයක් අරගෙන මම දාඩිය නිවාගන්න උත්සාහ කලා. 

" ඉන්න මම ෆෑන් එක අරං එන්නං. " 

එයා ගිහිල්ල ටේබල් ෆෑන් එකක් ගෙනැල්ල බිත්ති කණ්ඩිය උඩම තියල ක්‍රියාත්මක කලා. හීතල හුලං පාරෙ සනීපෙට මම එහෙම්ම ඇස් පියාගත්ත. 

" එතකොට ඔයාට කියන්න තියෙන්නෙ එච්චරම තමයි නේද? " ඇගේ කටහඬට මම ඇස් ඇරිය. 

" ඔව්..මාත් එක්ක තරහ වෙන්න එපා…" මම කිව්වෙ ඇය දිහාවෙ යන්තමට බලල ආපහු වතුර හිඳිච්ච වැව දිහාවෙ හැරිල පුටුවෙ කෙලින් වෙලා ඉඳගෙන. 

" කමක් නෑ, ඔයාගෙ තීරණය ඒකනම් මම මොනව කියන්නද? …" ඇය කිව්වෙ තවත් ටික වෙලාවකට පස්සෙ. 

"  මගෙන් පුංචි තෑග්ගක්, " කුරුණෑගල බස් නැවතුම්පලේදි සමු ගනිද්දි ඇය මට දුඹුරු පාට කඩදාසියක ඔතපු පාර්සලයක් දුන්න. 

නුවර බස් එකට නැඟල ජනේලෙ අයිනෙ සීට එකක වාඩිවෙලා මම පාර්සලේ ලිහුව. පොත් දෙකක්...මලගිය ඇත්තෝ සහ මලවුන්ගේ අවුරුදු දා...පොත් දෙක දිහා බලාගෙන බොහොම වෙලාවක් ගතකරපු මම සීට් එකට හේත්තුවෙලා උඩට ඇදගත්තු දිගු සුසුමක් පහලට හෙලුව පපුව ඔක්කොම හිස් වෙලාම යන්ට. 

දෙවෙන්දොරා සහ නොරිකො ආයෙම මගෙ ජීවිතේට ඇතුළු උනේ අන්න එහෙමයි. ඇය මගෙන් ඉවතට යද්දි ඔවුන් මට ආයෙම සමීප උනා. 

කතාවක ඉන්න චරිතයක් කියන්නෙ කතුවරයගෙ හිතේ මැවුනු හිතුවිල්ලක්. එහෙම හිතුවිල්ලකට පණ ලැබිල එයින් බිහිවුනු මනුස්සය ඇත්තටම මේ ලෝකෙ ජීවත්වුනු ලෙයින් මසින් සැදුණු පුද්ගලයෙක් විදිහට සලකල කාලාන්තරයක් තිස්සෙ දෙනෝ දාහක් ඒ මනුස්සය හිතුවෙ මොනවද?...මිනිහ අරම කලේ ඇයි? මෙහෙම කලානං ඔයිට වඩා හොඳ නැද්ද?...ඔන්න ඔහොම බොහොම භාවාතිශයව වාද විවාද කරනව කියන්නෙ මම හිතන්නෙ ඒ චරිතයට වගේම ඒ චරිතය මවපු කලාකාරයටත් කරන්න පුළුවන් උපරිම ගෞරවය අඩුවක් නැතුව පුද කරනවයි කියන එක. 

ගම්පෙරළියේ නන්දා සහ පියල්...විරාගයේ අරවින්ද...චරිත තුනක් ඉසා....නිධානයේ විලී අබේනායක..පරසතුමල් බොනී මහත්තයා...ෆ්ලොරෙන්ටීනෝ අරීසා...හනිබල් ලෙක්ටර්...ඒ අතරට අනිවාර්යයෙන් එකතුවෙන චරිතයක් දෙවෙන්දොරා සං..... 

කතාව කියවල පොත පැත්තක තිබ්බම අමතකවෙලා යන චරිතවලට වඩා අපූරු චමත්කාරයක් තියෙනව නැවත නැවත මතක් කරමින් අවුරුදු ගානක් රස විඳින්න පුලුවන් චරිතයක් පොතක පිටු අතරින් එළියට ආහම. දෙවෙන්දොරා අන්න එහෙම චරිතයක්. මැදිවියට කෙමෙන් ළඟාවෙද්දියි මම දෙවෙන්දොරා හරියටම අඳුනාගන්ට පටන් ගත්තෙ කියල වෙලාවකට මට හිතෙනව. දෙවෙන්දොරාගෙ ගති ලක්ෂණ බොහොමයක් මගෙත් තියනව කියල මට වෙලාවකට හිතෙන එකත් ඒකට තව හේතුවක් කියලත් ඔන්න ආයෙම වෙලාවක හිතෙනව... 

අපේ වත් ඉන්නවනෙ..ඒ යෝදිත් ඔය කතාවට බොහොම කැමතියි. මේ අවුරුද්දකට හමාරකට වගෙ උඩදි එයයි ඔය ගැන ලියාපු වියුණු සටහනකට මම ලියපු ප්‍රතිචාරය... 

සකුරා මල් පිපුණු ගිම්හානෙක සවස, 
පියවර මැන ගියා මතකයි අප දෙදෙන, 
රැඳුනේ අපේ හමුවීමේ මුල් දවස, 
වෙන්වන ලෙසින ඉරණම නළලේ කෙටුව,
 
සෙනෙහස බැඳුනි ඔබ වෙත මම නොදැනීම, 
අරුතක් ඇතිද නොඅසමි මම කිසිදාක, 
මෙදියත හැම දෙයම සිදුවනුයේ එලෙස, 
අරුතක් හැම දේම සොයනුයෙ අප කෙලෙස, 

සමුගෙන ගියෙමි ඔබෙ අවසර නොපතාම, 
යන්නට සිදුවුනේ මම නොසිතූ විලස, 
සකුරා මල් පිපෙන සවසක මතුදාක, 
හමුවෙමු යලිත් මළවුන් අවුරුදු දාක, 


හෙටත් සකුරාමල් පිපේවි...ඒ වගේම මේ හුළඟත් හමාවි.......සුළඟේ පාවෙලා ආපු සකුරා මල් අද වගේම මේ පාර දිගට වැටිල තියේවි.......ඒත්......ඔබ...ඔබ..... හෙට නෑ.....මම තනියම.......... 

නොරිකො එහෙම කිව්ව.....දෙවෙන්දොරා ට.........ඇත්ත, එහෙම තමයි උනේ, 

ඒත් දෙවෙන්දොරා ආයෙම එනව.....ඔව්.....ආයෙම එනව...ඒ මළවුන්ගේ අවුරුදු දා.....එකම ඉටිපන්දමක් දැල්වෙන...... මලවුන් වෙනුවෙන් දල්වන පහනක් අරගෙන......... ඔබ..... එන්න නොරිකො,........... එදාට නොවරදවාම ඔබ එන්න........මම ඇවිල්ල ඉන්නම්, ඔබ එනතුරු මග බලාගෙන මම ඉන්නම්....... 


" මා මේ වෘත්තාන්තය ලියන්ට පටන්ගත්තේ, එහි කියැවෙන දේ සිදු වී අවුරුද්දක් පමණ ගත වූ පසු ය. මේ කථනය, කිසි­යම් කෙළවරකට පමුණුවා අවසන් කළ යුතු ය. එහෙත් සිදුවූ දේ නම් එවැනි කෙළවරකට පැමිණ නැත. ඇතැම් විට, කවදා හරි, මෙහි දෙවැනි කොටස ලියන්ට මට ඉඩ ලැබෙන්ට පුළු­වන. එහෙත් අනාගතයෙහි, කිය යුතු දෙයක් සිදුවේ දැයි මම නොදනිමි. නොරිකො මළාය කියා මට මේ කථාව අවසන් කරන්ට තිබුණි. එවිට මෙය, කරුණා රස­යෙන් පිරි නිබන්ධයක් යැයි ඔබ කියනු නිසැක ය. එහෙත් නොරිකො තවමත් ජීවත්ව සිටියි. මමද ජීවිතයේ අග්ගිස්සෙහි ඒ මේ අත වැනෙමින් සිටිමි. කථාවක් නම්, පිරිපුන් රටාවකින් යුතුව ගොතා හමාර කළ හැකිය. එහෙත් ජීවිතය, වියා හමාර කළ නොහැකිව, එතැනින් මෙතැනින් එල්ලෙන පන් ඉරුවලින් හැඩි වූ, මුල්ලකට දමා තිබෙන පැදුරු කෑල්ලකට සමානය. මිනිසුන් මරණය පතන විගසින්, ඔවුන් වෙත මරණය නොපැමිණේ. ඔවුහු දීර්ඝ කාලයක් දුක් විඳිමින් ජීවත් වෙති.” - මළගිය ඇත්තෝ 

" කලා කෘතිය යනු සැබෑ ලොව අනුකරණය කරමින් කලාකරුවා විසින් නිර්මාණය කරන ලද කල්පිත ලොවකි. '' - කල්පනා ලෝකය - මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර 

ප.ළි - එදිරිවීර සරච්චන්ද්‍ර මහා පුරුෂයාණන් අභාවයට පත්ව පසුගිය අගෝස්තු 16 වන දිනට පුරා සතළොස් වසරක් සපිරුණි. 


Thursday, August 15, 2013

111. මැරුණා නං....

ගිය අවුරුද්දේ ජූලි මාසේ ඔන්න මට මොකද්ද හිතිලා පුංචි පද පේළි කිහිපයක් ලියලා අපේ මිනි කවි බ්ලොග් එකට යවලා තිබෙනවා. ඒක පල වුනාට පස්සේ වෙච්ච පදපේළි සංවාදය අද අහම්බෙන් කියවන්න ලැබුනාම හිතුනා ඒ ටික ගෙනැත් මෙතැන තිබ්බා නම් හොඳයි කියලා. තව කොමෙන්ට් තිබුනා නමුත් එව්වා, කවි වගේ ලියපු එව්වා නොවන නිසා මෙතැනට ගෙනාවේ නැහැ.

මැරුණා නං....

හිතෙනවා මට
මැරිලා බලන්ට
කොමෙන්ටු වැටෙනා හැටි
මගේ බ්ලොග් එකට
රූ.... said...
මද්දුම බන්ඩාර නම් කිව්වෙ
අයියන්ඩි බිය නොවන්න
මැරෙන හැටි මම පෙන්වන්නම් කියලා..

ඉතින් අපිත් කියන්නම්
අක්කන්ඩි බිය නොවන්න
කෙමෙන්ටු වැටෙන හැටි
අපි පෙන්නවන්නම්..


තනෝජා රාජපක්‍ෂ said...
වැඩිමනත් කියයි
මෝඩ අම්මණ්ඩියෙක්
ඉතින් මැරියන්
කොමෙන්ටු බලන්ඩ


RanDil said...
කවි වලට ගෑණු පිරිමි කං
හොඳ නැහැ දෙන එකනං
:)
එතකොට මං කියනවා

කවිය කියවාපං
කවියා නොකියවාපං 


Ravi said...
එම්බා දරුව,
තොප කුමන මංගල්ලයක් නම්,
තෙපලන්නෙහිද?

එසඳ,
මා තනිව,
වියුණුව ඇදගෙන යනු කෙලෙසකද

එසේ හෙයින්,
තොපට පවසමි මෙලෙස,
පික්ෂු නම් නොකෙළිනු මැන,

මියෙන්නට පළමු,
චැට් එකෙන් වත්,
මාහට දැනුම් දෙනු මැන... 


තනෝජා රාජපක්‍ෂ said...
හරි හරි මෝඩයෙක්
කියමුකෝ හෙනම්..
ඒකයෑ කාරිය මෙන්න
මෙතනත් ඇවිත්

ගත් පුංචි තීරණය
වෙනස් වන්ටත් හැකිය
ඒත් කියලම පලලු
බ්ලොගෙ බූදලෙට ගන්න ;) 


RanDil said...
දැනුම් දෙමි
දැනුම් දෙමි
නොබා පසු වෙව
මා හිතාදර මිතුර

තේ කෝපි
සාදාගෙන
විස්කෝතු සමගින්
පිරිනමන්නට
දින හතක් පුරා
බ්ලොගෙටම වී
ඉන්නට සිදුවෙයි
නුඹ හට

දුක්බර සිතින්
දිග කොමෙන්ට්
දමන්නන් හට
දෙන්න ඕනෑ
කිරි කෝපි සමඟින්
සැන්ඩ්විචස්
'නිවන් සුව' හෝ
'ඔනිසුඅවේ' යනුවෙන්
කියන කම්මැලියන් හට
දෙන්න එපා එක
විස්කෝතු රොඩ්ඩක් !!! 


RanDil said...
පික්ෂුද බං
මා හිතාදර අක්කේ
උන්දැ ඔය කියන්නේ
කියලා පල යන අහක
වසා දමා මේ උලව්ව
මාත් පැත්තකට වෙන්ට
කියලා නෙව 


තනෝජා රාජපක්‍ෂ said...
අහා ඇත්තට
දෙන්ටෙපා යන්න
ඇබ්බැහිය කර ගත්තේ
දුක් ගොඩක් විඳල නෙව

උන්දෑගෙ ලස්සන
අරුත්බර සටහන්
පුංචි උන්හට දුන්නු
පිනම ඇති බොට ඔන්න

යන තැනක උඹ
නොකියාම පලයන්
හොරෙන් චැට් එකේවිත්
කියපිය විතරක්ම මට ;) 


Ravi said...
@ තනෝජා,

/ ගත් පුංචි තීරණය
වෙනස් වෙන්ටත් හැකිය,
ඒත් කියලම පලලු,
බ්ලොගෙ බූදලෙට ගන්ට, :) /

කිසි විටෙක නොසිතුවෙමි,
එලෙස තුන් සිතකවත්,
අහෝ ඔබ කියුම් බස්,
තවයි මා සිත් සතන්,

එසඳ ඒ මොහොතේම,
නැඟී රට ඉඳි රුකෙක,
ගෙලින් වැලලා ගනිමි,
එසැණින්මැ මියෙන්නෙමි. :( :( :( 


තනෝජා රාජපක්‍ෂ said...
@Ravi,

නැගුණිනම් ගසක ඒ
අනේ රටඉඳි ටිකක්
කඩා මා වෙත එවා
නැගු නැවත ඕනෙනම්

------------------

අනේ අයියණ්ඩියෙණි
සමාවුව මැන හෙනන්
තුන් හිතක් කාගෙවත්
දකිනු කෙලෙසක මෙමම්

දනිමි නුඹ ලියන්නේ
කාන්සිය හැර ගන්ට
හැකි නමුත් පුරවන්න
කම්මැලිය බව දනිම් ;)

හැබැයි තව බෑ වාද
යන්ට ඕනෑ මෙමට
අර කෙල්ලො දෙන්නාම
බලන් ඇති මඟ දැන්ම :) 


පූසා said...
එහෙනං
අපිටත් බලන්ට තිබ්බා
සමහරු
මරණේ මාර්කට් කරං
හිට්ස් එකතු කරන හැටි! :D

Monday, August 12, 2013

210. කිරුළ සහ සෙනෙහස ……13


කිරුළ සහ සෙනෙහස ……1 


කිරුළ සහ සෙනෙහස ……2 

කිරුළ සහ සෙනෙහස ……3 

කිරුළ සහ සෙනෙහස ……4 

කිරුළ සහ සෙනෙහස ……5 

කිරුළ සහ සෙනෙහස ……6 

කිරුළ සහ සෙනෙහස ……7 

කිරුළ සහ සෙනෙහස ……8 

කිරුළ සහ සෙනෙහස ……9 

කිරුළ සහ සෙනෙහස ……10 

කිරුළ සහ සෙනෙහස ……11 

කිරුළ සහ සෙනෙහස ……12 

පුරා සඳ තුදුස් වරක් වනගහනය සඳ රැසින් නහවමින් නැගෙනහිර දෙසින් වූ කඳු වලල්ල මතින් මුදුන්ව යළි බැස ගියේය. කුඩා කඳුගැටය මත වූ ගල් ගුහාවෙහි වසන්නන්ගේ දිවි ගමනද කිසිදු හැල හැප්පීමකින් තොරව නිදැල්ලේ ගලා ගියේය. 


දින කිහිපයකට වරක් දඩයමෙහි ගොස් ගෝනකු හෝ මුවකු වැනි සතකු මරාගැනීමත් ඉන්පසු හම ගසා කුඩා තීරු වලට සිහින්ව වෙන් කල මස් නිවස්නය වූ ගල් ගුහාව ඉදිරිපිට වූ සමබිමෙහි එක් අන්තයක සකසාගත් මැස්සක අතුරා ගින්නෙන් වියලා ගැන්මත් හැරුණු කොට විජය විසින් ඉටුකල යුතු අන්  කාර්යයක් නොවීය.එබැවින් කුවණ්ණා හා සමඟ අල්ලාප සල්ලාපයෙහි මෙන්ම ආලිංගනයෙන් පසුවනු උදෙසා ඔහුට අවශ්‍ය පමණද ඉක්ම යන පරිදි කාලය ඉතිරි විය.

කුඩාවුන් සමඟ කෙළි දෙලෙන් පසුවීමටද ඔහු බොහෝ ප්‍රිය කලේය. ඒ සියලු කටයුතු හැරුණු කොට ඔහු ඉතිරි කාලය ගත කලේ හුදකලාවේ වනය පුරා සරමිනි. පුරා දශක දෙකකුත් අඩකට ආසන්න වූ තම ජීවිතයේ මුල් යුගය තුල අර්බුද, සටන්, නොදැමුණු ක්‍රියාවන්හි යෙදීම් සහ පසුගිය ආසන්න වසර කිහිපය තුල රාජ්‍ය පාලනයෙහි විවිධ සංකීර්ණ වූ ගැටලු විසඳීමෙහි එමෙන්ම විවිධ දේශපාලන කුමන්ත්‍රණ මැඩපැවැත්වීමෙහි සහ රට වැස්සන්ගේ සුබ සාධනය උදෙසා අවදිව හුන් මුළු කාලයම යෙදවූ විජය මේ ලද නිදැල්ලේ තමනට රිසි පරිදි ගත කල හැකි විශ්‍රාම කාලය සැලකූයේ දෙවියන් විසින් ප්‍රදානය කල වරදානයක් ලෙසිනි. 

බොහෝ ඈත අතීතයක මෙවන්ම වූ ගල්ලෙනක තම මුත්තණුවන් විසින්ම සිරකරනු ලැබ පියාණන්, මෑණියන් සහ මිත්තණියන් දිවි ගෙවූ අන්දම පිළිබඳව ඔහුට පැහැදිළිව වැටහීගියේ වනවාසයට පැමිණි පසුවය.කුඩා දරුවකුව සිටි අවදියෙහි තම නිවුන් සොයුරා වූ සුමිත්තද සමඟ මිත්තණියන්ගේ දෙපා අබියස හිඳ ඈ දෙනයනින් සහ වක්ත්‍රයෙන් අභිනයන් පාමින් රස කර පැවසූ වන ගත ජීවිතය මෙවැන්නක් යැයි විජය පිරිසිඳ වටහාගත්තේ ඒ ප්‍රායෝගිකව අත්විඳීමෙන් අනතුරුවය. 

" එහෙත් මිත්තණියනි, ඔබ මුත්තණුවන්ට බලවත් ලෙස ආදරය කලේ වී නම් ඔහු හැර දමා ගල් ලෙන දොරටුව බිඳ දමා පළායන්නට ඔබගේ පුතණුවන්ට එනම් මපියාණන්ට ධෛර්යය සහ සහයෝගය ලබා දුන්නේ මන්ද? අවම වශයෙන් ඔබට හෝ ගල්ලෙනෙහි රැඳී සිටිමට යුතුකමක් තිබුණා නොවේද? " 

එවකට දොළොස් හැවිරිදි වියේ පමණ වූ තමන් මිත්තණියගේ දෑස් දෙස එක එල්ලයේ බලා විමසූ අන්දම ඊයේ සිදුවාවාක් මෙන් පැහැදිලිව ඔහුගේ මතකයෙහි තවමත් රැඳී ඇත. 

මඳ වේලාවක් විජයගේ දෑස දෙස බලා සිටි සුප්පාගේ දෑස වේදනාවෙන් බරවිය.නෙත් කෙවෙණි අග නැඟි කඳුලු වලකාගැන්මට හෝ ඒ කුඩා දරුවාගෙන් වසන් කිරීමට හෝ ඒ කාර්යයන් දෙකම උදෙසා හෝ දෑස් තදින් පියාගත්වනම ඕ ඉවතට හැරුණීය. 

ඇය බොහෝ වේලාවක් ඉවත බලාගත්වනම නිසොල්මන්ව හුන්නීය. ඔහුගේ පැණයට පිලිතුරක් නොලැබෙන බවට විජයට හැඟී යන්නට විය. ඒ හා සමඟම සුප්පා කථා කලාය. එහෙත් ඒ ඉවත බලාගත් වනමය.සුපුරුදු ගාම්භීර ස්වරය වෙනුවට එහි වූයේ සිහින් සංවේගී ස්වරයකි. ඇය කියන්න හොඳින් ශ්‍රවණය කිරීම උදෙසා ඔහු දෙඅත්ල මත වත රඳවාගත්වනම ඉදිරියට නැඹුරු වූයේය. 


" පුත, දෛවය අප මෙලොව එළිය දකින විටම අප ඉටුකල යුතු යම් කාර්‍ය භාරයක් නියම කරයි. ඔබ පූර්ව භවයක් පිළිබඳ අදහන්නේ නම් ඒ ඔබ පූර්ව භවයෙහි පතා ආ අන්දම යයි ඔබට නිගමනය කල හැක. නැතහොත් තාරකාවන් පිළිබඳ ඔබ විශ්වාස කරනුයේ නම් ඒ තාරකාවන් විසින් ඔබ වෙනුවෙන් නියමකොට ඇති ඉරණම යයි ඔබට තීරණය කල හැම. ඒ කෙසේ හෝ වේවා මෙලොව ජීවිතයෙහිදී අපහට සෑමවිටම අපගේ සිතැඟියාවන් අනුව, අපගේ හැඟුම් අනුව තීරණ ගත නොහේ. හැඟීම් වලට වහල් නොවී අනාගතය උදෙසා, මතු පරපුරෙහි අභිවෘද්ධිය උදෙසා අපගේ අපේක්ෂාවන් හෝ රුචිය එකහෙලා කැපකල යුතු අවස්ථාවන් එලඹෙනු ඇත " 

" මම එදා මුහුණ දුන්නේ එවන් අවස්ථාවකටය. මහිමියන් කෙරේ බැඳි සෙනෙහස සහ පුතු කෙරේ බැඳි දාරක ප්‍රේමය අතර මම වල්මත් වූයෙමි. බොහෝ කල් ගත කොට මහද කීතු කීතු කොට ඉරා බලා අවසන මම දාරක ප්‍රේමයට ඉඩ දුන්නෙමි. එදවස ඔබගේ පියාණන් සහ මෑණියන්හට පලා යාමට ඉඩදී මම ගල්ලෙනෙහි නැවතුනි නම් කිසිදිනෙක වනයෙන් පිටතට පා තබා නොමැති ඔබගේ මව්පිය දෙපල නගරයෙහිදී මහත් වූ ව්‍යසනයකට මුහුණ දෙනු නිසැකය. එසේ හෙයින්ම මසිතට විරුද්ධව වුවද මම ඒ තීරණය ගත්තෙමි.එහෙත් මේ මොහොත දක්වා මම ඒ පිළිබඳව දුක්වෙමි. එහෙත් පසුතැවිලි නොවෙමි.අද වුවද යලිත් එවන් තීරණයක් ගැන්මට බල කෙරෙනු ලැබූවහොත් මා ගන්නේ ඒ තීරණයම මිස අනෙකක් නොවේ. " 

සුප්පා හිස හරවා විජය දෙස බැලුවාය. ඔහු විසල් කොටගත් දෑසින් ඈ දෙස බලා සිටියේය. 

" මපුත, කිසිදිනෙක ඔබට එවන් තීරණයක් ගැනීමට බල කෙරෙනු නොලැබේවා යන්න මගේ එකම ප්‍රාර්ථනයයි. එවන් සංවේගජනක අත්දැකීමක් ඇති ඔබගේ මිත්තණිය කියන්නට හොඳින් සවන් යොමු කල මැන. ඒ කිසිසේත් ප්‍රියජනක අත්දැකීමක් නම් නොවන්නේය.එහෙත් කෙතෙක් ප්‍රියජනක නොවූවද ජීවිත කාලය පුරා ඒ වෙනුවෙන් දුක් විඳීමට සිදුවුවද අවශ්‍යය වූ විටෙක එවන් තීරණයක් ගැනීමට ඔබ කිසිසේත් පසුබට නොවිය යුතුය. "


සුප්පා දෑත් දිගුකොට විජය වැළඳ ගත්තීය. ඇගේ ළය මඬල මතුයෙහි හිස හොවාගත් ඔහුගේ සිරුර සිය මුහුණ මතට ඇද හැලුනු ඇගේ කඳුලු බිඳක සිහිලස හේතුකොටගෙන වෙව්ලා ගියේය.

එවන් තීරණයක් ගැනීමට තමන්ට කිසිදිනෙක බල කෙරෙනු නොලැබේවා යන්න විජයගේ ඒකායන ප්‍රාර්ථනය වූයේය. එහෙත් පසුගිය මාසයක පමණ වූ කාලය තුල ඔහුගේ සිතෙහි විටින් විට මෝසම් වර්ෂාවට පළමු ඈත කඳු වළල්ල මතුයෙහි දිලී එසැණින් අතුරුදන්වන විජ්ජු ලතාවන් මෙන් ඉපිද එසැනින් මැකීයන්නාවූ අතෘප්තිකර හැඟීම් දහරාවන්ට හේතු කිමෙක්ද? ඉච්ඡා භංගත්වයක් හෝ ජීවිතයේ යම් හිස් බවක් පිළිබඳ මේ දැනෙනා සිතුවිලි හට ගනුයේ කවර නම් නිසාද? 

වාසිෂ්ඨී වෙත සරණ පතා පැමිණ දින කිහිපයක් ඇතුලත ඔවුන් වසන ප්‍රදේශය පිලිබඳ විස්තර පවසා වාසිෂ්ඨීගේ විශ්වාසවත් අතවැසියකු අත උපතිස්ස වෙත සංදේශයක් යැවීමට විජය අමතක නොකළේය. ගල්ලෙන ඉදිරිපිට සමබිමෙහි රූස්ස වනස්පතිය සෙවණෙහි හිඳගත් කල ලංකාපුරය කරා දිවෙන මාර්ගය ඉතා හොඳින් දර්ශනය වේ. ගල්ලෙනෙහි වාසයට පැමිණි මුල් කාලය තුල විජය විවේකයක් ලැබුණු සෑම විටම වනස්පතිය සෙවණේ අසුන්ගත්වනම එදෙස නෙතු යොමා හිඳීම පුරුද්දක් කොට ගත්තේය. 

මුල් කාලයේදී එසේ එදෙස නෙතුයොමා සිටියේ ඈත ක්ෂිතිජයෙහි මතුවන දූලිවලාවක් එනම් ලංකාපුරය දෙස සිට පැමිණෙන අසරුවකුගේ සංඥාව කිනම් මොහොතක මතුවේදැයි සිත පුරා පිරීගිය භීතියකින් වුවද මේ පසුගිය සති කිහිපය තුල ඒ භීතිය මැඩගෙන එවන් දසුනක් දකින අපේක්ෂාව තම සිත තුල අරක්ගෙන ඇත්දැයි යන සිතුවිල්ල විජය අවදියෙන් සිටිනා සෑම මොහොතකම ඔහුගේ සිතට වද දුන්නේය. 

එසේම ගතවීගිය කාල සීමාව පුරා රාත්‍රී නින්දෙහිදී ඔහු දුටු සිහින බහුතරයක් ලංකාපුර රාජ සභාවෙහි මුලසුන් අරා හිඳිනු, එසේ නොවතුදු සපිරිවරින් ගම් නියම් ගම් පරීක්ෂාවෙහි යෙදෙනු හෝ අධිකරණ ශාලාවෙහි විනිශ්චයෙහි යෙදෙනු වීම ඔහු සිත මහත් සේ ව්‍යාකූල වීමට හේතුවූයේය. 


එවන් සිහිනයෙක ගැලී හිඳ සැණෙකින් අවදිව තම ඇලපතට තුරුළුව සෙමෙන් පිලිවෙලට හුස්ම ඉහල පහල හෙලමින් නිදන කුවණ්ණාවන්  දෙස බොහෝ වේලා ඔහු බලාසිටියේ ඔහුටම වටහාගත නොහැකි වරදකාරී හැඟීමක් වැන්නක් සිත් තුල පුපුරු ගසන අතරතුරය.

සිතෙහි වියවුල නිසාම යලි නින්දට සැපත්වීම උගහට වූ එවන් බොහෝ රාත්‍රි යාමයන්හි සහසක් තරු පිරි අහසයට ගල්ලෙන ඉදිරිපිට තැනිතලාවෙහි භාවනානුයෝගීව සිත් සමනය කොට ගැන්මට වෙර දරමින් ඔහු බොහෝ වරක් කල් ගත කොට ඇත.ඒ සියල්ල ඇය නොදන්නීය යනුවෙන් ඔහු උපකල්පනය කලද ඔහුගේ මේ සිත් වියවුල මෙන්ම ඊට හේතුභූත වූ උපස්ථම්භක කරුණු සියල්ලම මනා විචාර බුද්ධියෙන් යුතු විචක්ෂණ ඉතිරියක වූ කුවණ්ණා මනා කොට දැන සිටියාය. 

ඔහු මධ්‍යම රාත්‍රියෙහි ගල්ලෙනෙන් පිටත භාවනානුයෝගීව පසුවනු ගල්ලෙන් ද්වාරයෙහි සිට බලා සිටිනා ඇය වරක් දෙවරක් ඔහු වෙත යාමට තීරණය කලද පසුව ඒ තීරණය වෙනස් කොට යලි ආපසු ගොස් දරු දෙදෙන අසලින් වැතිර ගත්තාය. 


ඔහුගේ දෛවය කුමක්ද? ඔහුගේ ඉරණම කුමක්ද? තම මතු ජීවිතය කෙසේ විය යුතුද යන්න අන් කවරකුගේ හෝ බලපෑමකින් තොරව ඔහුම තීරණය කල යුතුය. ඊට මම කෙලෙසකින්වත් බලපෑමක් නොකරමි. මෙසේ සිත එකඟ කරගත් ඇය දරුවන් තුරුළු කොටගෙන බොහෝ විප්‍රකාර වූ සිහින සපිරි, එහෙයින්ම කිසිසේත් සුවදායක නොවූ නින්දකට වන්නාය.

එලිමහනේ භාවනානුයෝගීව හුන්නද විජය කිසිසේත් තම සිත එකඟ කරවා ගැන්මෙහි සමත් වූයේ නොවේ. 

" අනුරාධ.... එසේනම් මවිසින් පැවසූ අයුරු පසල් දනව් වැස්සන්ට සහන සලසනු මැන. අප මේ රටේ පාලකයින් වුව පාලකයා යනු කිසිසේත්ම වැසියන්ගේ හෝ මෙහි සියලු සම්පත්හි ඒකල හිමිකරු නොවන බව සෑම විටම මතක තබා ගත යුතුය.පාලකයා යනු මේ භූමියෙහි භාරකරුවා පමනි. ඔහුගේ වගකීම මෙන්ම යුතුකම වනුයේද හැකි සෑම විටම තම ආත්ම පරිත්‍යාගයෙන් පවා අවශේෂ පොදු ජනයාගේ සුබසිද්ධිය සැලසීමයි. " 

" එසේය රජතුමනි. " අනුරාධ නැඟීසිට හිස නවාගත්වනම පැවසීය. 


ඒ එක්වරෙක අනුරාධ පාලනය කල පසල් දනව්වක පැතිරගිය දුර්භික්ෂයක් හේතු කොටගෙන ඇතිවූ වියවුලකදී රාජ්‍ය භාණ්ඩාගාරයෙන් ධාන්‍ය බෙදාහැර සයින් පීඩිත ජනයාහට සහන සලසන මෙන් රජ සභාවෙහි බහුතර මතයට පවා විරුද්ධව යමින් අනුරාධට විජය නියෝග කල අන්දමයි.

හැකි සෑමවිටම රාජ්‍ය සම්ප්‍රදාය නොතකා හැර හෝ වැස්සන් කෙරෙහි උපරිම සාධාරණය ඉටු කරනු වස් තමන් උපරිම උත්සාහය දැරූ බව විජය සිහිපත් කලේ සිත් පුරා පැතිරගිය ආහ්ලාදයකිනි. 


ලංකාද්වීපය වන් ළදරු රාජ්‍යයක මතු චිරස්ථිතිය රඳා පවතිනුයේ හුදෙක් එවන් සාධාරණ සහ යුක්තිසහගත පාලන ක්‍රමයක් ස්ථාපිත කිරීම මත  බව විජය මනාකොට දැන සිටියේය. එහෙත් රාජ සභාවෙහි උපතිස්ස හැරුණු කල එසේ සිතනුයේ අතළොස්සක් බවද ඔහු හොඳින් දැන සිටියේය. රාජසභාවෙහි බහුතර බලය අනුරාධ වන් අත්තනෝමතිකයකු අතට පත්විනි නම් ඒ මහත් ව්‍යසනයක පෙර නිමිති බවද විජය එළෙසම දැන සිටියේය.


ඒ අතර වාසිෂ්ඨීගේ ඔත්තුකරුවන්ගෙන් ලත් පණිවිඩ ද කිසිසේත් සිත් සනහාලන්නක් නම් නොවීය. විජය උපකල්පනය කල අයුරුම ලංකාපුර රාජ සභාවෙහි බල අරගලය හේතු කොටගෙන රාජ්‍යය පුරා නොසන්සුන්තාවයන් මතුව ඒ කැරළි කෝලාහල තත්වයෙන් ඔබ්බට වර්ධනයවී සිවිල් යුද්ධයක් බවට රූපාන්තරණය වීමට ආසන්නව පැවතුනේය.රාජ සභාවෙහි පූර්ණ පක්ෂපාතීත්වය එක හෙළා ලබාගැන්මට සමත්වූයේ විජය පමණක්ම වූ බැවින් වර්තමානයෙහි පවතින අරාජික තත්වය කිසිසේත් විශ්මයට කරුණක් නොවීය. මේ නොසන්සුන් තත්වයෙන් ප්‍රයෝජන ගැන්මට සිතූ යක්ඛ ගෝත්‍රිකයෝද පසල් දනව්හි නොයෙක් විප්‍රකාරවල යෙදෙමින් ලංකාපුරයට තවත් හිස රදයක් බවට පත්වූවෝය.

ඒ අසුබ තොරතුරු රැගෙන සතියකට වරක් පමණ කුඩා කඳු ගැටය සැරයටියක වාරුවෙන් නැඟ ඔවුන් වෙතට පැමිණියෝ වාසිෂ්ඨී තොමෝමය. දරුවන් වෙනුවෙන් ගෙන ආ කුමන හෝ රස මසවුලක් ඔවුනතට දී ඔවුන් හා මොහොතක් ගත කරන මහළු ප්‍රභූ වරයා ඉන්පසු කුවණ්ණා හා සමඟ සතුටු සාමීචියෙහි යෙදෙයි. අවසන ගල්ලෙන ඉදිරිපිට වූ වනස්පතිය සෙවණෙහි අසුන් ගන්නා ඔහු තමන් ඉදිරියෙහි හිඳ සිටිනා විජය සහ කුවණ්ණාහට නවතම තොරතුරු දැනුම් දෙන්නේය. 


" පුතණුවනි, මා දයාබර මිණිපිරියගේ ස්වාමියා වශයෙන් ඔබ මගේද මුණුපුරා වන්නේය. එසේම ඔබ ස්ව කැමැත්තෙන් කිරුළ හැරදා කුවණ්ණා කෙරෙහි බැඳි සෙනෙහසට ප්‍රමුඛස්ථානය දී වනගත වූවද මෙරට රාජ්‍යයට එකම හිමිකරු තවමත් ඔබය. එලෙසම මේ මගේ රට, යක්ඛ ගෝත්‍රිකයින් සිහලුන් මෙන්ම අවකන්, යවන යෝනක ආදී මෙහි තම වාස භූමිය කරගැන්මට රුචි සියල්ලන්ටම අභය භූමියක් වන වියවුලින් තොර ශක්තිමත් පාලන තන්ත්‍රයකින් හෙබි නිදහස් රාජ්‍යයක් සේ පවතිනු දැකීම මගේ එකම අභිප්‍රායයි. "

" එහෙත් ලංකාපුර රාජ සභාවෙහි බල අරගලය හේතුකොට පවතින වර්තමාන තත්වය කෙලෙසකවත් හිතකර තත්වයක් නම් නොවේ. මේ වියවුල් තත්වය ප්‍රයෝජනය ගෙන යාබද දඹදිවින් පවා අප වෙත ආක්‍රමණ එල්ල වීමේ අවදානමද නොතකා හල නොහැක.මේ අරාජික තත්වය සමනය කල හැක්කේ පුත ඔබට පමණි. එහෙත් ඒ තීරණය ඉතා අසීරු මෙන්ම භාරදූර බවද මම දනිමි. එබැවින් ඔබ දෙදෙනට ඒ සඳහා අවස්ථාව ලබා දෙන්නෙමි. ඔබ දෙපල එළඹෙන ඕනෑම තීරණයකට මගේද අනුමැතිය හිමිවන බව පමණක් පවසමි. " 

මෙසේ පැවසූ වාසිෂ්ඨයෝ නැඟීසිට ගල්ලෙන මුවදොර අබියස කෙළි දෙලෙන් පසුවෙමින්හුන් කුඩාවුන් දෙදෙනා දෙසට නික්ම ගියෝය. 


වනස්පතිය සෙවණෙහි හිඳගත්වනම විජය බොහෝ වේලා නිසොල්මන්ව සිටියේය. කුවණ්ණා ද තම සිතුවිලි ලොවෙහි තනිව ඔහු අසල හිඳ සිටියාය. අවසන සිතෙහි රැඳි සියලු සෝ දුක් වා තලයට මුදා හරින්නාක් මෙන් දිගු සුසුමක් හෙලූ ඕ ඔහු වෙතට පැමිණ ඔහුගේ උරහිස මතුයෙහි හිස හොවා ගත්තීය. ඇගේ සිරුර වටා තම සුරත යැවූ ඔහු ඇය තරව වැළඳ ගත්තේය.


" කුමරුණි..ඔබ ගන්නා ඕනෑම තීරණයකට මම ද එකහෙලා එකඟවෙමි.  මුත්තණුවන් මේ මොහොතකට පෙර පැවසූ ලෙස ඔබ ගන්නා තීරණය මත මුළු රාජ්‍යයක අනාගතය රැඳී පැවතිය හැක. මගේ හද පුරා පැතිරගිය සෙනෙහස අහිමිවීම කොතරම් මසිත පාරන්නේ වුවද ඒ පරිත්‍යාගය කරනුයේ රාජ්‍යයක අනාගත අභිවෘද්ධිය උදෙසා බැවින් මම බොහෝ අසීරුවෙන් වුව ද සිත සනහා ගන්නට උත්සාහ කරන්නෙමි. " 

දෙනෙත් අග පිරීයන කඳුලු වළකා ගැන්මට කිසිදු උත්සාහයක් නොගත් ඔහු පහත්ව ඇගේ කඳුළු පිරි දෑස් දැඩි සෙනෙහසින් සිප ගත්තේය. 

ඉන් නොබෝ දිනකට පසු ඒ දිනය උදාවිය. සුපුරුදු ලෙස වනස්පතිය සෙවණෙහි හිඳ හුන් විජය ඈත වන පෙත අතරින් ඉද්ද ගැසුවාක් මෙන් දිවෙන ලංකාපුරය දක්වාවූ මාර්ගයෙහි ඉමෙහි මතුවූ දූලි වලාවන් දුටුවේ, ඒ දෙසම නිසලව බලා සිටියේය.හෝරාවකට පමණ පසු වේගයෙන් පැමිණි අසරුවෝ මහා නදිය වෙතට ලඟා වූවෝය. අංගාරක්ෂක පිරිවර භට පිරිස මහා නදිය මෙගොඩ තොටුපොළෙහි නතරකොට උපතිස්ස හුදකලාව කඳු ගැටය නැඟ ගල්ලෙන අබියස සමබිමට පිවිසියේය. 

" උපතිස්ස …" විජය පෙර ගමන් කොට තම අතිජාත මිතුරා වැළඳ ගත්තේය. 

" කුමරුණි….." උපතිස්ස පැවසූයේ බිඳුනු හඬිනි. 

" උපතිස්ස, එන්න මේ තුරු සෙවණට…" විජය පැවසූයේ උපතිස්සගේ සුරත රැගත්වනම වනස්පතිය සෙවණට පා නඟමිනි. 

" කුමරියණි…. මට සමා වුව මැන.." උපතිස්ස හිස නවමින් පැවසූයේ ගල්ලෙන ද්වාරයෙන් නික්ම ඔවුන් දෙසට පා නඟන්නට වූ කුවණ්ණා දෙසට හැරෙමිනි. 

" ඔබට සමාව අයැදීමට කිසිදු කරුණක් නැති හිතවත් ඇමතිතුමනි, මේ කිසිවකට ඔබ වගකිවයුතු හෝ මේ කිසිවක් ඔබ විසින් කළ දේ නොවන බව මම හොඳින්ම දනිමි. ඒ වනාහී දෛවය විසින් නියම කල අයුරුයි. ඒ එසේම ඉටු විය යුතු බව ද මම දනිමි. " කුවණ්ණා පැවසූයේ මඳ සිනහවක් නඟමිනි. 

මලහිරු අවර අහස රත්පැහැයෙන් සරසමින් බැස යන්නට සැරසෙමින් සිටියේය. ඉහල අහසේ හී මූණතක හැඩගත් සේ කාණ්ඩ ගැසී නැගෙනහිර දෙසට පියෑඹූ මුහුදු ලිහිණින් ගේ තියුණු සවන් විනිවිද යන නාදය කඳුගැටය මස්තකයෙහි හැපී නින්නාදව පහත වන ගහනයෙහි තුනීව මැකී ගියේය. 

විජය තම දරුදෙදෙනා වැලඳ කඳුළු පිරි දෙනෙතින් යුතුව ඔවුන් ගේ වත සිප නැඟී සිටියේය. කුවණ්ණා වෙලෙවි ගමනින් ඔහු වෙත පැමිණ ඔහුට තුරුළු වූවාය.කිසිවක් පැවසීමට අවශ්‍ය වූයේ නොවේ. එකිනෙකා වෙත කිවයුතු සියල්ල ඔවුහු ඊට පෙර පවසා අවසාන කොට තිබූ හෙයින් ශේෂව තිබුණේ සමුගැනීම පමණකි. එසේය, එදා වසර දෙදහස් පන්සියයකට පෙර මහානදී තෙර අසබඩ දුම්රක්ගල නෙත ගැටෙන මානයේ පිහිටි කුඩා කඳු ගැටයක් මතදී ඔවුහු සමුගත්තෝය.දේශයක අනාගතය උදෙසා තම සෙනෙහස කැපකොට ඔවුහු සමුගත්තෝය. 

********************************************** 

කොටස් තුදුසකින් යුතු විජය කුවණ්ණා සෙනෙහසේ අන්දරය මෙතෙක් බොහෝ ඉවසිල්ලෙන් කියවූ මගේ දයාබර සහෘද/සහෘදිනියන් වූ ඔබ සැමට මසිත නැඟෙනා අවංක ස්තූතිය පුදකිරීමට මේ අවස්ථාව කර ගනිමි.

සරළ ලිහිල් බස් වහරින් ලියවුනු සටහන් කෙරෙහි බහුතරයකගේ රුචිකත්වය හිමිවන අතර යම් තරමකට හෝ ලිඛිත බස මුල් කොටගනිමින් ලියැවුණු මේ සටහන් පෙළ නොකඩවා කියවූ ඔබට ඒ සමඟම මාගේ ගෞරවාදරයද නිතැනින්ම හිමිවන බවද අවසාන වශයෙන් සටහන් කරමි. 

Wednesday, August 7, 2013

209. ගුරුවරියක සමඟ මගේ ජීවිතය - 6......වෙන වැඩක් නෑ කන්ට, දිව රෝල් කිරීමේ පරීක්ෂණය සහ මුදලාලිගෙ කුඩේ…

 








 


4. ගුරුවරියක සමඟ මගේ ජීවිතය -  කොලපත් බත් ගෙඩි, ඉඹුල් කිරිබත්, ගවනර් ජෙනරල් සහ සූකර මද්දව 

5. ගුරුවරියක සමඟ මගේ ජීවිතය -  සූරයන්ගෙත් සූරයා, බුදු හාමුදුරුවන්ගේ බැටරිය සහ අමා ව්‍යාපෘතිය 

 මේ අසිත කොළුවෙක් හින්ද මම අම්මප බැණුං අහන තරමක්...ඌට ඔපරේසං කරන්ට වෙයි කියල කට්ටියක් කියනව. මල බද්දය හැදිල වල කජ්ජ ගහයි කියල තව කට්ටියක් කියනව. අනේ මල්ලල්ලෑ...කල්ලල්ලෑ..බොල්ලල්ලෑ...කිව්වලු...හරි හරි...එව්ව දෙවනුව...අදවත් මේ කොලුවයෙ කතාව කියල ඉන්ට බලමු. හරි ඔන්න ඉතිං කොලුවට බොග ටයිට් කිව්වනෙ.ඒ එක්කම ඒකා කොමෝඩ් එක පාවිච්චි කරන්ට දන්නෙ නෑ කියලත් කිව්වනෙ...

බොග ගැන කියනකොට
විමලෙ අයිය සම්බන්ද මරු කතාවක් මතක් උනා..ඔන්න අපි ඒ කාලෙ කැලේ මැද ඉන්නකොට ඇලවල්වල නාන්ට යනව හැමදාම ..මෙව්ව ඇවිල්ල ඇලවල්ය කිව්වට ඔය වැස්ස කාලෙට වතුර එකතුවෙලා ඔය වත්ත පිටිය නැත්තං පාරවල් අයිනෙ ගලායන එව්ව එහෙම නෙවෙයි ඔන්න. කැලේ කට්ටි කඩල අළුතෙං කුඹුරු බෙදල දුන්නම එව්වට වතුර දෙන්ට හදාපු ඇලවල්...තනිකරම කොන්ක්‍රීට් කරල තියෙන්නෙ..

මේ එක්කො මෙහෙම කරමු. අද ඔය ඇළ සහ බොග පිළිබඳ කතාව කියන්ට ගියොත් එහෙම මේ අසිතය ගැන කියන්ට වෙන එකක් නෑ. ආයෙ මේ ඇඟිලි දෙක නිකං තියාගෙන ඉන්ට බැරුවට අග්ගිස්සෙ ගල් තැළුං එනකලුත් කොටල කොටල පබිලිස් එහෙම කොරල අහකවෙලා ඔහෙලගෙං බැණුනුත් අහපල්ලකො.... වෙන වැඩක් නෑ ආය කන්ට......කියල අපෙ උන්දෙගෙ ලොකු අම්ම කිව්ව වගෙ.....

එවුන්දැ මැරුනෙ අවුරුදු අනූවක් විතර ඉඳල..අන්තිම කාලෙ ඉතිං කෑම කන්ට එහෙම හරි හොරයි...වදෙං පොරෙං ඕන බත් කටක් කවා ගන්ට...ඉතිං ඒ අක්කල බත් පිඟානකට බෙදාගෙන එනව අරගෙන..

" අනේ හොඳ අම්ම වගෙ මේ බත් කට විතරක් කන්ටකො " කියල යාප්පු වෙනව..

උන්දැ නෙවෙයි පැත්ත හැරිල බලන්නෙ. බිත්තිය පැත්තට හැරිල ඇඳේ වැතිරිල ඉන්න එක හෙමීට ඔලුව හරවල රවල බලනව..

" හුහ්, කන්ට? …..වෙන වැඩක් එහෙම නෑ කන්ට?...මේ ලොකු දුවේ උඹලට ගෙදර වෙන නැද්ද වැඩක් පලක් එහෙම?.... අම්මාපල්ල කොයි වෙලෙත් මට බත් කවන්ට හදන්නෙ?..." ඔහොම කියල අර අක්කලට පළු යන්ට බයිනව

" අනේ මල්ලි…. බලන්ටකො මේ අම්ම අපිට බණින හැටි.." කියල ඒ අක්කලත් බත් පිඟාන අරගෙන ආපහු එනව.

අපෙ උන්දැටයි මටයි මැරෙන්ට හිනා..ලොකු අම්මත් අපිත් එක්ක එකතු වෙලා හිනා වෙනව....

අනික විමලෙගෙ ඒ කතාව කියන්ට හොඳ වාං පතුල් සීරීස් එකේදි..හෙහ්, හෙහ්, හෙටානිද්දම ආයෙම ඒකත් පට්ටාං ගන්ට එපාය....

එනිසාවෙන් විමලෙ අයිය පැත්තක තියල ඔන්න ආපහු එමු අසිත කොලුවට.ඉතිං පොඩි එකා කොමෝඩ් එක පාවිච්චි කොරන්න දන්නෙ නැතෙයි කිව්වම මම කිව්වනෙ හෙහ්,හෙහ්..එහෙනං ඔයාටම තමයි ඒක ඌට කියා දෙන්න වෙන්නෙ කියල..අපෙ උන්දැ මා දිහා රවාගෙන හිටිය ටික වෙලාවක්..

" හෙහ්, හෙහ්, රැව්වට වැඩක් නෑ..මම කිව්වෙප්‍රායෝගිකව කරන්ට පුලුවන් එකම ප්‍රතිකර්මය... "

උන්දැ ආයෙම ටික වෙලාවක් මා දිහාවෙ කන්ට වගෙ බලා ඉඳල කකුස්ස ( ඔය කකුස්ස කියන වචනෙත් දකුණෙ වචනයක් වෙන්න ඕන. කකුස්ස, ලණ්ණ, කුසිය.... අපේ හිටිය එක දකුණෙ යාලුවක්ගෙ වචන ඒ ) ඇතුලට ගිහිල්ල කොමෝඩ් එකේ ( කොමෝඩ් කියන එකට නෑ හරි හමං සිංහල වචනයක්..ස්කොටිං පෑන් එකට උක්කුටික පෝච්චිය කියන එකේ කොමෝඩ් එකට අපිට පුළුවෙනි ඕන නං කියන්ට අර්ධ උක්කුටික පෝච්චිය කියල කියන්න. මොකද අදාල ඉරියව්ව ඇවිල්ල සෘජුව හිටගෙන ඉන්න ඉරියව්වෙ ඉඳල උක්කුටික ඉරියව්වට සපැමිණෙන අතර මැදි ඉරියව්වක් නිසාවෙන් ) ඉඳගෙන එහෙම දැන් ඔන්න පෙන්නනව කොලුවට වැඩේ කරන්නෙ කොහොමද... ඊලඟට බිඩේ ෂවර් එක පාවිච්චි කරල සෝද ගන්නෙ කොහොමද....යනාදී වශයෙන්....

සික් මේ එකකටවත් හරි හැටි සිංහල වචනයක් නැති හැටි අම්මාපල්ල..හරි අපි කියමු මෙහෙම...අශූචි ශෝධක ජල විදිනය...ඒක හරියට ශබ්ද කරන එකත් සෙල්ලං වැඩක් නෙවෙයි. ජිහ්වය සුනම්‍යය නොවේනම් කෙසේවත් ඒ පහසු කාර්යයක් නම් නොවේමය.

ආහ්..ජිහ්ව සුනම්‍ය කිව්වම ඔන්න මතක් උනේ. දිව රෝල් කිරීමේ හැකියාව ගැන අහල තියනවද?ඒ කිව්වෙ දිව හරියට පෑන් කේක් එකක් වගෙ දිග අතට නැවීමේ හැකියාව. සත්ත්ව විද්‍යාවෙදි ජාන මඟින් යම් යම් ලක්ෂණ ඊලඟ පරපුරට උරුම වීමේදී මේ දිව රෝල් කිරීමේ හැකියාව කියන ලක්ෂණය ගැන අපට ඉගැන්නුව. ඒක ඇවිල්ල ප්‍රමුඛ ලක්ෂණයක්. ඒකෙ ප්‍රතිවිරුද්ධ එක තමයි නිලීන ලක්ෂණය.







දවසක් ඔන්න අපෙ උන්දැගෙ ස්ටාෆ් එකේ ගුරුවරියෙකුයි එයයියෙ මහත්තයයි දරුවො දෙන්නයි අපෙ ගෙදර ආව රාත්‍රි බෝජන සංග්‍රහයකට. බෝජනේට කලින් පොඩි කර්තව්‍යයක් එහෙම හීනියට කරමින් ඉන්න අතරෙ ඔන්න කතාව ඇදිල ආපි ඩී.එන්.ඒ. පරීක්ෂණ වලට.ඒ දවස්වල ඔය මොකක් හරි සුප්‍රසිද්ධ මිනීමැරුමක විත්තිකාරයට දඬුවම් කලේ තනිකරම ඩී.එන්.ඒ. සාක්ෂි මත. 

මමත් ඉතිං ඔය කං දෙක රත්වීගෙන එන අවස්ථාවට පත් උනාම දන්න දේයි නොදන්න දේයි ඔක්කොම කියවනවනෙ. කොහොම හරි ඔය දිව රෝල් කේස් එක ගැනත් කිව්ව. ආය මොනවද?..ප්‍රමුඛ ජාන දරුවන්ට යන්නෙ කොහොමද? දෙමව්පියන්ගෙ යම් ප්‍රමුඛ ලක්ෂණයක් තියේනම් ඒක අනිවාර්යයෙන් දරුවන්ට සංක්‍රමණය වෙන්නෙ කොහොමද?...රටේ නැති එව්ව... 

" මේ මචං....ඩී.එන්.ඒ පරීක්ෂණ ඕනම නෑ තමන්ගෙම දරුවෙක්ද කියල හොයාගන්ට...තව ලේසි ක්‍රම තියනව..දැං දන්නවද ඔය දිව රෝල් කිරීමේ හැකියාව?..ආන්න ඒකෙනුත් පුළුවන් නෙව ඔය වැඩේ යස අගේට. " 

මම පොඩි එකක් උගුරට හලාගෙන අසෝක වීදුරුව ආයෙ මේසෙ උඩ තියන ගමන් කිව්වෙ දැඩි අවධාරණයෙන්... 

මටත් ගානට වැදිල. මට වැඩිය අර අපෙ උන්දැගෙ යාලුවගෙ මහත්තයට වැදිල. උන්නැහෙට ඕන උනා මේ දිවරෝල් කේස් එකේ සත්‍ය අසත්‍යතාවය ඒ වෙලාවෙම පරීක්ෂාකරල බලන්ට..පොඩි එවුන් දෙන්නයි එයයිගෙ හාමිනෙයි ගෙන්නල ඒ වෙලාවෙම දිවවල් රෝල් කරවල බලවන්ට.අපෙ අප්පේ .. තව පොඩ්ඩෙං මහ ගිණි විජ්ජුම්බරයක් වෙලයි එදා එතන ඒ දිව රෝල් සෙල්ලම ඉවරයක් වෙන්නෙ.... 

අර මනුස්සය පිස්ස වගෙ එක හෙලාම කියනව ඒ වෙලාවෙම හතරදෙනාගෙම දිව රෝල් කරවල බලන්ටම ඕනය කියල. උන්නැහෙගෙ නෝන මහත්තයට උන්න මලා පේන්නෙ නැති ගාණට මල පැනල. අපෙ උන්දැගෙ මූණට අබ දාන්ට ඕන නෑ..අබ දිහා බැලුවත් තට තට යන අනුකරණයෙන් පුපුරා හැලෙන ගාණට ..... 

මම දැනගත්ත දැන්නං වැඩේ කිරිමෙල් විත්තිය. වදෙං පොරෙං අර මනුස්සයව කෑම මේසෙට එක්කං ගිහිල්ල බත් ටිකක් කවල ආපහු ගෙදරටම ගිහිල්ල දැම්ම..හප්පච්චියේ එදා රෑ එළිවෙනකල් අපෙ උන්දැ මට කනක් ඇහෙන්ට නොදී වග පල කිව්ව… 

" මොනවද ඔය කියවන විකාර?....බලන්ට මගෙ යාලුව මොනව හිතන්ට ඇද්ද මාගැන? මට මූන දෙන්ටත් ලැජ්ජයි… "

අරකද මේකද රටේ නැති එව්ව...ඒ දෙහි කැපිල්ල; දෙහි නෙවෙයි ඇත්තටම එදා නං කැපුවෙ ජම්බෝල: අහගෙන ඉඳල මගෙ ආතල් එකත් බැහැපි කිසි අවුලක් නැතුව බැළුමක් උනත් පුම්බන්ඩ පුළුවං සයිස් එකට. 

ඔය ඔක්කොම අහගෙන ඉඳල අන්තිමට අනික් පැත්තට හැරිල ඔළුවෙ ඉඳල පොරවගෙන ඉන්න විදිහටම මම කිව්වෙ මෙච්චරයි. 

" හරි, හරි...ඒත් මොකද ඔයාගෙ යාලුවට ඔච්චර තද උනෙ හස්බන්ඩ් දිවවල් රෝල් කරල බලමු කිව්වම?...මේ මම එකක් කියන්ටද හූණ කියන්නැහෙ?..ඔතන නං තියනව මොකක් හරි හොරයක්..දන්නවද? ඕක ඇතුලෙ අනිවාර්යයෙන් තියනව ලොකු අභ්‍යන්තරයක්...හෙහ්, හෙහ්, " 

ඔක්කොමත් හරි මගෙ ඔය හෙහ්, හෙහ් ගාල හිනාවෙන එක තමයි අපෙ උන්දැට කාලා ඉන්ටම බැරි...මොනවද ඉතිං?...එයයිගෙ ක්‍රමයෙන් කූල් ඩවුන් වෙමින් තිබ්බ කෝපාග්නිය ආයෙම බුර බුරා ඇවිලෙන්ට ගත්ත. 

" ඔය කිව්වෙ..ඔය කිව්වෙ...අනෙ අම්මප මේ මනුස්සය නං......" 

ඒ බැනුං කන්දරාවත් අහගෙන ඉඳල අන්තිමට මම කිව්ව.. 

" හරි හරි..ඒ ඔක්කොම පැත්තක තිබිච්චාවෙකො..ඔයා මම කියනවට තව දවස් දෙක තුනකිං යාලුවගෙං අහල බලන්ටකො හෙමිහිට..සම් ටයිම්ස් විස්තරේ කියයි ඔයාට.. ඔයාගෙ අතිජාත යාලුවනෙ..හෙහ්, හෙහ්, " 

" මේ කරුණා කරල බුදිය ගන්නවද මගෙ යකා තවත් අවුස්සන්නෙ නැතුව.." 


" මම මේ දැං සෑහෙන වෙලාවක් තිස්සෙ බුදියගන්ට තමයි ට්‍රයි කරන්නෙ..කොහෙද ඔයාමනෙ ඒකට ඉඩ දෙන්නෙ නැත්තෙ?... මමයැ? " 

එතනින් පස්සෙ නම් අපරාදෙ කියන්ට බෑ අපි දෙන්නම නිදා ගත්ත. ඊට පස්සෙත් හැබැයි කාලයක් යනකල් කාලෙකිං දෝස්මුරයක් නැතිඋනාම මම අහනව මේ අර කතාව යාලුවගෙං ඇහුවෙ එහෙම නැද්ද?... කියල..හෙහ්..හෙහ් 

ඉතිං අසිත කොලුවට අර්ධ උක්කුටික පෝච්චිය සහ අසූචි ශෝධක ජල විදිනය පාවිච්චි කරන්නෙ කොහොමද කියල අපෙ උන්දැ කියල දෙනව මම දොර ළඟ එළියෙ ඉඳල බලා ඉන්නව. මට හිනායනකොට ඔන්න උන්දැ මට රවනව..ආයෙම කොලුවට විස්තර කරනව..ආයෙම මාදිහා බලල රවනව.. 

" මේ ඔතනිං යනවද එහාට..මට මේ වැඩේ කරගන්ට දීල…" 

" හා..හා..මම යන්නංකො …" මම ආව එතනිං …ඔන්න උපදෙස් මාලාව ඉවර වෙලා මෙයයිත් ආපි එළියට. 

" මේ ඔයා හරියටම ප්‍රායෝගිකවම වැඩේ කරන විදිහ කියල දුන්නෙ නෑනෙ. බලන්ටකො අර කොහු මිටේ සීන් එකට හපං එකක් උනේ නැත්තං එහෙම....හෙහ්, හෙහ්, " 

" මේ කරුණාකරල කට පියාගෙන ඉන්නවද පිස්සු කියවන්නෙ නැතුව...කොහු මිටේ සීන් එක...හුහ්.." 

එහෙම කියල අහක බලාගත්තට මම දැක්ක උන්දැගෙ බෙල්ලත් එක්ක රතු වෙනව..යටි තොලත් හපාගෙන හිටියෙ ...හෙහ්..හෙහ්.. 

බඳින්ට කලිං අපි ඔය උදේ බස් එකේ වැඩට එනකොට එයයි හිටපු ගමං මෙහෙම කියනව.. 

" මේ හෙට අපේ සාහිත්‍යය සමිතිය. සතියකට සැරයක් මාරුවෙන් මාරුවට ගුරුවරයෙක් මොකක් හරි ආදර්ශමත් කතාවක් කරන්ට ඕන ළමයි ඉස්සරහ. හෙට මගෙ වාරෙ....කියන්ටකො ඔයා දන්න ඒ වගෙ කතාවක්.. "

ඔය කොහු මිටේ කතාව අන්න එහෙම මම එයයිට කියපු එකක්.එහෙම මම ඊට කලින් කියපු එකක් තමයි අර මුදලාලිගෙ කුඩේ කතාව..ඒ නං මම හිතන්නෙ හැමෝම දන්න නිසා ආයෙම කියන එකේ තේරුමක් නෑ.ඒත් ඒකෙ පොඩි පසු කතාවකුත් තියන නිසා පොඩ්ඩක් කියලම ඉන්නං… 

මුදලාලි ඇවිල්ල පරණතාලෙ මනුස්සය. කෝට් බෑයයි සරමයි ඇඳල කළු කුඩේකුත් කිහිලි ගහගෙන තමයි කොහෙ ගියත් යන්නෙ. මුදලාලි දවසක් ටවුමට ගියා කඩේට බඩු ගන්ට. කලින්දා හවස ගිහිල්ල හෝටලේක නැවතුනා කාමරයක් අරගෙන. ඔන්න පහුවදා දවසම එහෙ මෙහෙ දුවල බඩු අරගෙන හවස ආපහු ගමට යන්ට පිටත් වෙන්ට හදනකොට තමයි මතක් උනේ කෙලියා නෙවද? කුඩේ අර නැවතිලා උන්නු හෝටල් කාමරේ අමතක වෙලා කියල.. ඉතිං මොකද කරන්නෙ..මුදලාලි බොහොම ආදරෙයි මේ කුඩේට..පරම්පරාවෙං පැවත එන මහා කුඩ රාජයෙක්..ආයෙ නෑ සෙල්ලං එහෙම. 

දණි පණි ගාල ආපහු ගියා හෝටලේට..එතකොට ඔන්න ඒ කාමරේ මේ එදා කසාද බැඳපු අළුත් ජෝඩුවකට දීල. මැනේජර් එක හෙලාම කිව්ව…. 

" අනේ මුදලාලි එයාලට කරදර කරන එක හරි නැහැනෙ. මම කියන්නද? මුදලාලි ආයෙ එනවනෙ..අපි කුඩේ අරං තියන්නං..ඒකෙ ප්‍රශ්නයක් නෑ.. " 

ඒත් මුදලාලිගෙ හිතට හරි නෑ..කුඩේ නැතුව කොහොමද ගමට යන්නෙ?...මැනේජර් එහාට මෙහාට වෙනකල් ඉඳල හෙමීට ගියා කාමරේ දොර ගාවට..ගිහිල්ල දොරට කණ තිබ්බ ඇතුලෙ මොනවද කතාවෙන්නෙ බලන්ට. 

ඔන්න ඇහෙනව පිරිමි කටහඬක්.." මේ චූටි කට කාගෙද? " 

" ඔයාගෙ…." ඒ ඇවිල්ල සුන්දර ගැහැණු හඬක්.. 

" එතකොට මේ චූටි කණ?.." 

" ඒත් ඔයාගෙ.." 

" මේ කම්මුල්?.." 

" ඔයාගෙනෙ අනේ….." 

" එතකොට මේ……."'…..ඒ මොනව ගැනද කියල අහන්න උනේ නෑ..මුදලාලි කලබල උනා.. 

" අනේ ළමයිනේ…. ඔහොම අතගාගෙන යනකොට ඔය ඇඳ එහාපැත්තෙ තියේවි කළු කුඩයක් .අනේ ඔන්න ඒකනං මගේ.." මුදලාලි දොර ගාව ඉඳගෙන කෑගැහුව. 

අඩේ ඔන්න බලමුකො ඒකෙත් හැටි..මේ කතන්දරේ සාහිත්‍ය සමිතියෙ ගිහිල්ල කිව්වදැයි කියල මට අහල බලන්ට අමතක උනානෙ මෙච්චර කාලෙකට..මේ පාර ගිහාමවත් අහල බලන්ට ඕන.. 

හරි ඉතිං අර මුදලාලිගෙ කතාවෙ අතුරු කතාව නොහොත් පසු කතාව මේකයි...අපි බැඳල ගියානෙව මදුසමයට...අපෙ කාමරේට බෑග් උස්සගෙන ආපු කොලුවට කීයක්දෝ දෙන ගමන් මම ඇහුව.. 

" මේ මල්ලි පොඩි කාරණයක් තියනව දැනගන්ට..මේ..මේ කාමරේ ඊයෙ රෑ හිටියෙ මුදලාලි කෙනෙක් එහෙම නෙවෙයි නේද? " කොල්ල අන්දුං කුන්දුං උනා.. 

" නෑ සර්...එහෙම කෙනෙක් නං නෙවෙයි..ඇයි එහෙම ඇහුවෙ? " 

කොල්ල ඇසුත් ලොකු කරගෙන මගෙ දිහයි අපෙ උන්දැගෙ දිහායි බලනව මාරුවෙන් මාරුවට..මේ යකා මොනවද මේ අහන්නෙ? කියල හිතනව ඇති එකත් එකට…අරුන්දැ ඉන්නව මා දිහා සුපුරුදු පරිදි රවාගෙන..මම ඒක නොදැක්ක වගෙ ආයෙම හැරුන කොල්ල දිහාවට. 

" ෂුවර්නෙ මල්ලි නේද? මුදලාලි කෙනෙක් එහෙම නෙවෙයිනෙ හිටියෙ?..මේ අර කළු කෝට් එකකුයි සුදු සරමකුයි ඇඳල. එතකොට කළු කුඩයක් එහෙම අතේ තිබ්බ ඔන්න…" 

" නෑ..නෑ,,සර්..එහෙම කෙනෙක් හිටියෙ නෑ මේ කාමරේ.." කොල්ල බය වෙච්චි පාර ගියා නෙවෙයි දිව්ව කාමරෙං එලියට. 

" අනේ මං දන්නෙ නෑ ඔයාගෙ මේ විකාර නං..අර කොල්ල ගිහිල්ල හැමෝටම කිව්වෙ නැත්තං බලන්ට අර අහවල් කාමරේ ඉන්න මහත්තයට බාගෙට පිස්සුය කියල…" 

" මහත්තයට බාගෙට පිස්සු..එහෙම මහත්තයෙක් බැඳ ගත්තු නෝනට හොඳටම පිස්සු කියලනම් කියයි තමයි…" 


" ඒකතාව නං ඇත්තමයි කියල මටත් හිතෙනව..හිහ්..හිහ්.." එයා හිනාඋනා.. 

" ඔයා එහෙනං වොෂ් එකක් දාගන්ට..මම පොඩ්ඩක් මේ කාමරේ අහුමුළු පරීක්ෂා කරල බලන්ට ඕන…" 

" ඒ මොකටද?..." උන්දැ ඇහුව මා දිහාට හැරිල.. 

" කියන්ට බෑනෙ .අර කොල්ල කිව්වට..අර මුදලාලිගෙ කලු කුඩේ අමතකවෙලා ඔය කොහෙ හරි මුල්ලක තිබ්බොත් එහෙම…" 

උන්දැ මට මොකක් හරි එකකිං දමල ගැහුව…. මට දැං හරිහැටි මතකයක් නෑ ඒ මොකක්ද කියල? එක්කො කොට්ටෙකිං එහෙම නැත්තං ඒත් කොට්ටෙකිං...ඒ අටළොස් වසක් තිස්සෙ මට දමල ගහපුවගෙ පලවෙනි එක.... 

මතු සම්බන්ධයි...... 

Saturday, August 3, 2013

208. පුදුකුඩිඉරුප්පු සහ වැලිවේරිය.....2009 සහ 2013.


සමාන්තර විශ්වයන් පිළිබඳව ඔබ අසා තිබේද? ආතර් සී. ක්ලාර්ක් සහ ස්ටීවන් බැක්ස්ටර් යන මහතුන් දෙපල එකතුව ලියූ A Time Odyssey තුන් ඈඳුතු විද්‍යා ප්‍රබන්ධ කථා මාලාවෙහි පෘථිවියට පැමිණෙන මිනිස් වර්ගයාට වටහා ගත නොහැකි පමණ තාක්ෂණයෙන් දියුණු ජීවීන් ( ඔවුන් ජීවීන් යන අපගේ නිර්වචනයට ඇතුළත් වන්නේ නම් ) පිරිසක පිළිබඳව සඳහන් වේ. ඔවුහු පෘථිවිය වසර දහස් හෝ ලක්ෂ ගණනක පරතරයෙන් යුතු එක් එක් යුග සමාන්තරව සහ සමගාමීව පවතින ලෙස කලාප වලට බෙදති. මේ සියල්ල සිදුවනුයේ ක්‍රි. ව. 2037 වර්තමානය ලෙස සලකන පෘථිවියේය. 

ඒ අනුව වානර මානවයින් හා සමගාමීව රඩ්යාර්ඩ් කිප්ලිං ( 19 වන සියවස අග භගයෙහි සහ 20 වන සියවස මුල භාගයෙහි ජීවත් වූ බ්‍රිතාන්‍ය සාහිත්‍ය ධරයෙකි ) දිවි ගෙවති. ඒ හා සමඟ ඒ අනුයාත කලාපයක මහා ඇලෙක්සැන්ඩර් සහ ජෙන්ගිස් ඛාන් එකිනෙකා හා යුද වැදීම පිණිස බල මුළු තර කරති.යුදෝපායයන් පිළිබඳව ජෙන්ගිස් ඛාන්ට උපදෙස් දෙනුයේ ක්‍රි.ව. 2037 තම වර්තමානය ලෙස සලකන සෝවියට් අභ්‍යාවකාශගාමියෙකි. 

ආතර් සී. ක්ලාර්ක් සහ ස්ටීවන් බැක්ස්ටර්ගේ මේ අපූර්ව වෘතාන්තය මසිතට පිවිසියේ එවන් එහෙත් ඊට වඩා අපට ඉතාම ආසන්න සිදුවීමක් හෝ සිදුවීම් කිහිපයක් පිළිබඳව සිත මෙහෙයවද්දීය. 

සැණෙකින් මසිතෙහි ආතර් සී. ක්ලාර්ක් සග ස්ටීවන් බැක්ස්ටර්ගේ මනෝරාජික ලෝකයෙහි මෙන් විවිධ කාල වකවානුවල සිදුවූ විවිධ සිද්ධීන් රඟ දෙන්නට වූයේය. ඒ එකිනෙක යම් සම්බන්ධතාවයක් ඇත්දැයි විභාග කිරීම ඔබට භාර කරමි. 

කාලානුක්‍රමික අනුපිළිවෙල අනුව මුලින්ම එහි දිස්වූයේ මාටින් නීමොලර් පියතුමාය. ඒ වනාහී ක්‍රි.ව. 1938 වර්ෂයයි. මුලින් හිට්ලර්වාදියකුව කටයුතු කල ඔහු පසුව හිට්ලර්ගේ බල වියරුව සහ යුදෙව් සංහාරය පිළිබඳ කලකිරී දැඩි නාසි විරෝධියෙකු විය.මේ ඔහුගේ සුප්‍රසිද්ධ ප්‍රකාශනයකි. First they came…….


First they came for the communists,
and I didn't speak out because I wasn't a communist.

Then they came for the socialists,
and I didn't speak out because I wasn't a socialist.

Then they came for the trade unionists,
and I didn't speak out because I wasn't a trade unionist.

Then they came for the Jews,
and I didn't speak out because I wasn't a Jew.

Then they came for the Catholics,
and I didn't speak out because I wasn't a Catholic.

Then they came for me,
and there was no one left to speak for me. 

“ජර්මනියේ නාසි වාදීන් මුලින්ම ඝාතනය කළහු 
කොමියුනිස්ට්වරුය. 
මම ඒ ගැන කිසිවක් නොකීවේ 
මා කොමියුනිස්ට්වාදියකු නොවන බැවිනි. 

ඊළඟට ඔවුහු ඝාතනය කළේ 
වෘත්තිය සමිති නායකයන්ය. 
මම ඒ ගැන බසක්වත් නොකීවේ 
මම වෘත්තීය සමිතියකට බැඳි නොසිටි බැවිනි. 

ඊළඟට ඔවුහු ප්‍රොතෙස්තන්ත්‍රයන් ඝාතනය කළහ. 
මම කිසිවක් නොකීවෙමි 
ඇයි මම කතෝලිකයකු නොවැ

 අවසානයේ ඔවුහු මා වෙත පැමිණියහ. 
එවිට මා වෙනුවෙන් ඉදිරිපත් වීමට 
කිසිවෙක් ඉතිරිවී නොසිටියහ.” 

දෙවන දර්ශනය ; වර්ෂ 1982..කොළඹ මහාධිකරණ ශාලාව..තමනට දඬුවම් නියම කිරීමෙන් පසු අධිකරණ ශාලාව අමතා 1983 ජූලි මස දේශප්‍රේමීන් විසින් වැලිකඩ බන්ධනාගාරය තුලදීම ඝාතනය කරන ලද සෙල්වරාජා යෝගේන්ද්‍රන් හෙවත් කුට්ටිමනී මෙසේ ප්‍රකාශ කලේය. ඒ සත්‍ය වශයෙන්ම අධිකරණ ශාලාව නොව මුළු මහත් දකුණු ශ්‍රී ලංකාවම ඇමතීමක් යයි එකළ අපි කිසිදු ලෙසකින් නොසිතූවෙමු. 

" ඉතිහාසය එකම වටයේ යළි යළිත් කැරකෙයි. තමිල් ජනයාගේ නිදහස සිංහල පීඩිත ජනයා නොතකා හරින්නේ නම් අලිමංකඩ හා කරෙයිනගර් හමුදා වධ කඳවුරු කුරුණෑගලට සහ හම්බන්තොටට ගෙන එන දිනයක් උදාවනු ඇත " 

එසේමය. 1987 සහ 1988 දී ඒ වධ කඳවුරු දකුණට ගෙන එනු ලැබීය. එහෙත් මාටින් නිමෝලර් පියතුමාගේ සුප්‍රසිද්ධ ප්‍රකාශයෙහි සරණ පැතූ අපි නිහඬ වීමු. 

යලි බොහෝ කලක් ගත නොවීය. වධ කඳවුරු යලි උතුර බලා ගියෝය.. අපි ඔවුන් වෙනුවෙන් බෝධි පූජා පැවැත්වූයෙමු.බැනර් දැමීමු. උතුරේ වධ කඳවුරු පිළිබඳව විටින් විට මාධ්‍ය කිහිපයක තොරතුරු පළ වුවද ඔවුන් ද්‍රෝහීන් ලෙස නම් කොට අපි යලිදු නීමොලර් ප්‍රකාශය සරණ ගියෙමු. 

තෙවන දර්ශනය..2009 අප්‍රේල් / මැයි පුදුකුඩිඉරුප්පු....ඔවුහු උද්ඝෝෂණය නොකළෝය. ඔවුන් අයැද සිටියේ ජීවිතය පමණි. " ෂූට් පන්න වේනාම් …." 

එදවස වැලිවේරිය මංසන්ධිය හරහා අති විශාල බැනරයක් විය. රණ විරුවනි, අපි ඔබ සමඟයි.. යෝධ අකුරින් ඒ හරහා ලියවී තිබිණි. ඒ අසල වූ විහාරයෙහි සතියකට අවම වශයෙන් තෙවරක් රණවිරුවනට සෙත් පතා බෝධි පූජා පැවැත්විණි. 

සිව්වන දර්ශනය - 2013 අගෝස්තු 1 - ස්ථානය වැලිවේරිය මංසන්ධිය. 

බීමට පිරිසුදු ජලය ලබාගැනීමෙහි තම මූලික අයිතිය උදෙසා උද්ඝෝෂණයෙහි නිරතවූ නිරායුධ ජනතාව ඉදිරියෙහි වූයේ ෆ්ලැක් ජැකට්ස් නොහොත් සිරුරු ආරක්ෂිත ඇඟලුම් වලින් සැරසී ටී 56 අතදරා සිටි සෙබළුන් පිරිසකි. " වෙඩි තියන්න එපා " ඔවුහු ද එසේ අයැද සිටියහ. 

එහෙත් වෙලඳ කලාප සේවකයින්ගේ සහ ධීවරයින්ගේ මෙන්ම ඔවුන්ගේ ද ආයාචනය ඇසුණු කිසිවෙක් එහි නොවූහ. 

ඒ මියගියේ රණ විරුවණි අපි ඔබ සමඟයි බැනරය පොල් ගසේ ගැටගැසීමට ගසට නැඟි තරුණයකු විය නොහැකිද?.... සුදු වතින් සැරසී රණවිරුවනට සෙත් පතා බෝධි පූජාවකට සහභාගී වූවකු විය නොහැකිද? 

වසර සතරකට ඉහත අපි මහ මඟ කිරිබත් උයා කෑවෙමු.නන්දා මාලිනිය හා එක්ව ඉතින් අපි ගයමු. " දසතින් ගලා ක්ෂීර පායාස ධාරා හෙළ දෙරණ ජන ජයතු ජය මංගලානී. "

ප. ලි - කිසිවක් කිසිවකුට නොමිළයේ නොලැබේ. මේ වනාහී යුද ජයග්‍රහණය වෙනුවෙන් ගෙවිය යුතු මිළයි. තව කොපමණ කලක් මෙසේ මිළ ගෙවිය යුතුද යන්න තීරණය කිරීම කලයුත්තේද අපමය. 

Note -  පුදුකුඩිඉරුප්පු ආසන්නයෙහිදී 2009 අප්‍රේල් සහ මැයි මාස වලදී හමුදා ප්‍රහාර වලින් බොහෝ නිරායුධ දමිළයින් මියගිය බවට චෝදනා එල්ලවිය.එහෙත් රජය දැඩි අවධාරණයෙන් ප්‍රකාශ කලේ හමුදාව කිසිම විටක නිරායුධ මිනිසුන්ට වෙඩි නොතැබූ අතර තමන් යෙදුනේ මානුෂික මෙහෙයුමක බවය. 

Thursday, August 1, 2013

207. ගුරුවරියක සමඟ මගේ ජීවිතය - 5 - සූරයන්ගෙත් සූරයා, බුදු හාමුදුරුවන්ගේ බැටරිය සහ අමා ව්‍යාපෘතිය


දැනට අපෙ උන්නැහෙ එක්ක මම ගත කරපු ජීවිතේ ගැන කොටස් හතරක් ලිව්ව...

1. දණ ගැස්සවීම, පී.ටී. මැඩම්ගෙ ගෙදර ඉන්න එක්කෙනා සහ වෙනත් ආරළු බූරළු...

2. ගුරුවරියක සමඟ මගේ ජීවිතය සහ ටී රෙක්ස්ගෙන් පණ බේරාගෙන...

3. ගුරුවරියක සමඟ මගේ ජීවිතය - මදුරු සංහාර මෙහෙයුම

4. ගුරුවරියක සමඟ මගේ ජීවිතය - කොලපත් බත් ගෙඩි, ඉඹුල් කිරිබත්,.........

අම්මප මේ ගුරුවරී එක්ක මගේ ජීවිතය කතාව ලියාගෙන ඇවිල්ල නැවැත්තුවෙ අර පොඩි එකා මතකයි නේද ...අසිත ඒකගෙ නම.... අන්න ඒ පොඩි එකාට බොගක් සෙට් උන තැනින් නෙවද?....හරි.... ඒ බුට්ට .....බුට්ට කියන වචනෙ අහල තියනවද? නුවර කලාවිය පැත්තෙ එච්චර උස මහත නැති එවුංට කියන්නෙ බුට්ට කියල..දැං ඔන්න අහන්න නං එපා නුවර කලාවිය කියන්නෙ කොහෙද කියල...හරි ..ඒකත් දන්නෙ නැති උදවිය ඇති නෙව..එහෙනං ඔන්න මෙහෙමයි හොඳද?.....

නුවර කලාවිය කියන්නෙ අනුරාදපුරේ නුවර වැව, එතකොට කැකිරාව කිට්ටුව තියෙන කලා වැව සහ වවුනියාවට නැගෙනහිරෙන් තියන පදවිය වැව ...ඔන්න ඔය කියන වැව් තුනෙං දළ වශයෙන් මායිං වන භූමි ප්‍රදේශය. ඒ වැව් තුනේ නම් වලින් කෑලි අරගෙන තමයි ඔය නුවර කලාවිය කියන වචනෙ නිර්මාණය උනයි කියල කියන්නෙ.නුවර වැවෙන් නුවර..කලා වැවෙන් කලා...පදවිය වැවෙං විය..නුවරකලාවිය..අන්න බලන්න මොන තරම් අපූරුද?

ඔහොම එක එක ගම් වලින් එතකොට නගර වලිං කෑලි නැත්තං මුල් අකුරු අරගෙන එක එක ව්‍යාපෘති වලට නම් දාන එක බොහොම ජනප්‍රිය සම්ප්‍රදායක්...අර ඒ දවස්වල...මම මේ කියන්නෙ හැත්තෑව දශකයෙ රේඩියෝ එකේ නිතරම ප්‍රචාරය වෙච්ච වෙලඳ දැන්වීමක් තමයි චිරාගත ජනප්‍රියත්ව සම්ප්‍රදායෙන් චිත්‍රපට ලෝලී ඔබ වෙත වෙනින් කවුරුත් නෙවෙයි ලෙනින් මොරායස්ගේ හතර දෙනාම සූරයෝ....ලෙනින් මොරායස් ගැහුවෙ ඔක්කොම සූරයො ගැන චිත්‍රපට....හතර දෙනාම සූරයෝ..සූරයන්ගෙත් සූරයා..එදත් සූරයා අදත් සූරයා...සූරයා සූරයාමයි..සූර චෞරයා.. චුට්ටේ නොහොත් චණ්ඩියා....

ඔව්වගෙ වැඩි හරියක් හිටියෙ ප්‍රධාන චරිතය ගාමිණී ෆොන්සේකා...ඒ දවස්වල තිබ්බ විශේෂයෙන්ම පෙර යොවුන් වියේ ( Pre-teenage ) හිටපු අපි අතර බොහොම ජනප්‍රිය කොටු කොටු දැල් බැනියමක්..ස්කිනී කියලයි අපි ඕකට කිව්වෙ. ඕකක් අරං දෙන්න කියල කොච්චර නහයෙං ඇඬුවත් අපෙ අම්ම සත පහකට ගණං ගත්තෙ නෑ මයෙ අඬෝ වැඩියාව..

" පිස්සුද ඔයාට?..එව්ව මේ රස්තියාදුකාරයො හැපිචෝල් කාරයො අඳින එව්ව.ඔයා එව්ව අඳින්න ඕන නෑ…" 


 

මගෙ යාලුවො දෙන්නෙක් හිටිය එවුන්ට නෑ එහෙම තහනමක්...පිචර් එක බලන්ට උං එන්නෙ ඔය ස්කිනී එව්ව ඇඳගෙන උඩිං සේට් එක දාගෙන...හෝල් එක ඇතුලදි එවුං සේට් ගලෝනව...මට ඉතිං ඊරිසියාවෙ බෑ...පුපුර පුපුර බලාඉන්නව.ඔය සූරයා නොහොත් චණ්ඩියා ශානරයෙ ෆිල්ම් වල ගාමිණී වලියට එන්ටර් වෙන්නෙ අර මම කිව්ව ස්කිනී එක ඇඳල බෙල්ලෙ පොඩි සුරයක් දාල සරම කැහැපට ගහගෙන එහෙම. ආය මොනවද? ගාමිණී සරම කැහැපොට ගහන කොට අපි දන්නව ඊළඟට එන්නෙ නැව් ගුටි මුරයක් කියල.අපි නේද? අපි විතරක් නෙවෙයි හෝල් එකෙං බාගයක්ම සීට් වලිං නැඟිටිනව හෝල් සේල් එකේ.

ඒ කරල දකුණු අතේ මාපට ඇඟිල්ලයි දබරැඟිල්ලයි කටට දාල දිව නවනව. ඒ කරල දෙනව විසිල් එකක් මොනවද ආය හෝල් එක එකනින්නාද වෙන්ට..හෙහ්, හෙහ්,සමහරු එක දිගට දෙනව විසිල් එක විනාඩි තුනක් හතරක්..එක පාරක් වැඩේ නැඟලම ගිහිල්ල ෆිල්ම් එක නැවැත්තුව කට්ටිය හිතේ හැටියට විසිල් ගහල ඉවරයක් වෙල ආපහු ඉඳගන්නකල්. ඔය වැඩේ දිගින් දිගටම ගිහිල්ල පැය දෙකාමාරෙ ෆිල්ම් එක එදා මම හිතන්නෙ පැය තුනකටත් වැඩිය දිව්ව.

ඔහොම ඔන්න එක දවසක් ඒත් ඔය වගෙ සීන් එකකදි ගාමිණී සරම වලාපොට ගහගන්න කොටම මම නැඟිට්ට දිවත් නමාගෙනම..ඒත් මගෙ යාලුවොවත් වෙන කවුරුවත් නැඟිට්ටෙ නෑ...මම දිවත් ආපහු දිගඇරගෙන බැලුව වටපිට පුදුම වෙලා මේ මොකද බොලේ මේ? කෝ අද සූරයට චියර් එක කියල

" ඉඳගනිං හු** , ඉඳගනිං... ඔතන ගාමිණී කනව වට පෝරියල්..පස්සෙයි නැඟිටල වටේටම නෙලන්නෙ.." මගෙ යාලුව කියාපි

මම පුටුවෙ ඉඳල මකුණෙක් කාල නැඟිට්ට විදිහට…." ෂික්..මෙ පුටුවලට මකුණු බෙහෙතුත් අපිටම ගෙනල්ල ගහ ගන්නයි වෙලා තියෙන්නෙ " ….. වටේ පිටේ අයට ඇහෙන්ටත් එක්කම කියල හිට මම මීය වගෙ සද්ද නැතුව ආපහු ඉඳගත්ත මම නෙවෙයි වගෙ…

" උඹ කොහොමද දන්නෙ සීන් එක? " යාලුවගෙ කණට කරල ඇහුව.

" අපෙ ලොකු අයිය ඊයෙ මේක බැලුව ඌ තමයි කිව්වෙ "

ඔහොම නැවකට ගුටි කාල ආයෙත් මේ උදේ පාන්දර ආතල් හීනයක් එහෙම බලල ඇඳෙං බිමට බහිනව වගෙ කිසි ගණිච්චියක් නැතුව නැඟිටල උරෙස්සෙ වැලි එහෙම පිහදාල හිට කොණ්ඩෙත් පොඩ්ඩක් ක්‍රේල් කරල එහෙම හදාගෙන අර මෙච්චර වෙලා වටකරගෙන නෙලපු උංට විලුඹු තට්ටං වල වැදි වැදි දුවන්ට පෝරියල් එක දෙන සීන් අනන්ත ඔය ෆිල්ම්ස් වල තිබ්බ ඒ දවස්වල.

හැබැයි එහෙම වෙන්ට පොඩි පූර්ව කොන්දේසියක් පරිපූර්ණ වෙන්ට ඕන. ඔන්න ගාමිණී ගුටි කාල වැල්ලෙ නැත්තං කුඹුරක වැටිල ඉන්නව. ඔන්න මිනිහට ඇහෙනව එක්කො එයයිගෙ අම්ම නැත්තං පෙම්වතිය අර මැරයො පැහැරගෙන යනව..මිනිහට හරියට නෑ සිහියක් පතක්...අපි ඉතිං ගල් ගැහිල බලා ඉන්නව පුටුවෙ ඉස්සරහටම වෙලා කටවලුත් ඇරගෙන.

අම්ම නම් ඔන්න ගාමිණී දිහාට හැරිල කෑ ගහනව " මගෙ පුතේ ඒ ඒ ඒ ඒ ඒ " ..කියල. කෙල්ල නම් ( බොහෝ විට මාලිනී තමයි ) කෑගහනව විජේ..හරි සමරේ හරි...ජයේ හරි මොකක් හරි ගාමිණීගෙ පිච්චර් එකේ නම කියල.... අපි හිතමුකො සමරෙ කියල " සමරේ...රේ..රේ..රේ "

ඔන්න මේ කබරය පොලවෙ ගැහුව වගෙ වැටිල ඉන්න මනුස්සයට හීනෙං වගෙ ඒ සද්දෙ ඇහෙනව...ඒකෙ ඉෆෙක්ට් එක වැඩි වෙන්ට පොඩි දෝංකාරෙකුත් දාන්ට ඕන..එව්ව නියමෙට කරනව ඩබිං වලදි..." සමරේ...රේ..රේ..රේ " සමරෙ ඔළුව උස්සල බලනව...මිනිහට පේනව සින් එක...දෙතුන් පාරක් ඔලුව එහාට මෙහාට ගස්සනව...ඒ කරල නැඟිටල සරම වලා පොට.....හෙහ්, හෙහ්....ඊට එහා මොනවද ඉතිං...ඊට කලිං අපි ඔක්කොම නැඟිටිනව...කං බීරි වෙනව විසිල් සද්දෙං...සමරෙ දෙනව අරුං ඔක්කොටම රිඹ යන්ට..... .

මේ විනාඩි දෙහෙකට ඉස්සර උංගෙම්ම ගුටි කාපු මිනිහ...දෙන්නෙ අම්මගෙං බීපු කිරි කටිං එන්ට...හෙහ්, හෙහ්, ඔන්න ඔක්කොම හරි වීරයා ජයග්‍රහණය කලා. තිරය වැසුනා. ආලෝකය නැවතත් දැල්වුනා. අපිත් දිවවල් එහෙම හිරිවැටිච්චා දිගඇරගෙන එනව හෝල් එකෙං එලියට හීනෙං ඇවිදිනව වගෙ. හැබෑටම අද ඩී.වී.ඩී. එකක් ගෙනල්ල දාගෙන ලැප් එකෙන් බලල කවදාවත් ඒ වින්දනය ලබන්ට බෑ.මොනව කරන්ටද? කලින් කල පලින් පල කිව්වලු..හැමදේම වෙනස් වෙනව නෙව ඒක වලක්වන්ට පුළුවනෑ සක්කරයගෙ අර කවුද පුතාටවත්...

ඔය විසිල් ගැහිල්ලෙ සීන් එක මට දැන් බෑ හරියකට. මේ පහුගිය පාර ගෙදර ගිහාම අපෙ උන්නැහැගෙ අක්කගෙ පුතණ්ඩිය.... ඕකට හයක් ඇති වයස ඕනනං…

" බාප්පෙ ඔයාට පුළුවන්ද මෙහෙම විසිල් ගහන්ට? " කියල දිව නමල ගහපු ගැහිල්ලක්... මයෙ කං දෙක කීං ගෑව..

" හුහ්, ඉඳපං උඹට කියල දෙන්ට විසිල්ගහන්ට " කියල මමත් දිව නමල දුන්න ට්‍රයි එකක්..මොන විකාරද?නිකං යන්තමට ෆූස් ගාල සද්දයක් ආව විතරයි..පාණ්ඩුව හැදිච්චි නයෙක් පිඹින්නැහෙ..වස ලැජ්ජාව මට…

ඊට දවස් දෙහෙකට වගෙ පස්සෙ නුවර ගිය වෙලාවක චම්පා එක ඉස්සරහ පේව්මන්ට් එකේ විකුණනව මෙන්න බොලේ බඩු..පොඩි විසිල් දිව යට තියාගෙන පිම්බම අප්පට සිරි කණ කඩල යන්ට එන්නෙ සද්දෙ. මම ගෙනාව ඕකක්...ඊට පස්සෙ කොහෙද පොඩි එකා මා එක්ක විසිල් ගහන්නෙ..හෙහ්, හෙහ්,.... ඌ පුදුම වෙලා බලා හිටිය මා දිහාවෙ කටත් එක්ක ඇරගෙන... ඌට අදහාගන්ටම බැරිවෙන්ට ඇති බාප්ප කොහෙන්ද මෙහෙම විසිල් ගහන්ට ඉගෙන ගත්තෙ කියල.

මම හැබැයි කොල්ලට ඇත්ත සීන් එක කිව්වෙ නෑ. කිව්වනං ඕකටත් ඕක ඕන වෙනව...කටේ දාගෙන ඉන්දැද්දි ඕක ගිලිල උගුරෙ වත් හිර උනොත් මළ කෙලියයි..ඒ නිසා මම ඌට ඒ ගැන මොකවත්ම කිව්වෙ නෑ. 


ඔය පොඩි එකා හෙණ අන්ඩපාලය..ඔන්න ඒක එක්ක ගිහිල්ල මට වෙච්ච තව සීන් එකක්...

අපෙ උන්නැහැලගෙ ගෙවල් පහුකරල කන්ද උඩට ගිහාම තියනව පන්සලක්. ඔය පන්සලට මාසෙකට සැරයක් දෙන සීට්ටු දානෙ වැටිල තිබ්බෙ මම එහෙ ගිහිල්ල හිටපු දවසක. හීල් දානෙ පහුවදා උදේට ගෙනිහිල්ල දෙන්ට ඕන භාජන අරගෙන එන්ට මම හවසක ගියා පන්සලට..

" බාප්පෙ මාත් එනව…" කියල මේකත් වැටිච්චි මා පස්සෙ...පන්සලේ පොඩි හාමුදුරුවංගෙං භාජන ටික අරගෙන එන්ට හැරුනාම ඔන්න ලොකු හාමුදුරුවො දැක්ක මාව..ඔය ලොකු හාමුදුරුවො අපෙ උන්නැහෙගෙ අප්පච්චිගෙ ලඟම නෑදෑයොත් වෙනව.....

" ආ..මහත්තය ..හුඟ කාලෙකින් දැක්කෙ?...ඉතිං කොහොමද වාස දේස? " කියල වං හුං එහෙම අහල…

වං හුං කියන වචනෙ තේරුම දන්නවද? වන් කිව්වම ගිය කියන තේරුම එන්නෙ. හිරු අවර ගිරට වන් කල්හි..අන්න එහෙම..එතකොට හුන් කියන්නෙ හිටපු...බුදුන් වහන්සේ වැඩ හුන්...එතකොට වන් සහ හුන් කියන්නෙ ගියපු සහ හිටපු තැන් කියන එක...වං හුං හොයනවය කියන්නෙ ඒක යමෙක් ගියපු තැන් සහ නැවතිල හිටපු තැන් හොයනවය කියන තේරුම තමයි එන්නෙ...

දකුණෙ පාවිච්චි වෙනව වන්න හුන්න කියලත්..අපෙ ආතම්ම ..අප්පච්චිගෙ අම්ම කියනව මට මතකයි.." අනේ නිකා ඉන්ට කියාපල්ල..උන්දලාට මොකටෙයි අපෙ වන්න හුන්න? "

ඉතිං ලොකු හාමුදුරුවො මගෙ වං හුං එහෙම අහල " මහත්තය එහෙනං යමුකො සෙත් පිරිත් ඩිංගක් වත් කියන්ට " කියල විහාරගෙට එක්කං ගිහිල්ල සෙත් පිරිත් එහෙම කිව්ව.

මම ඒ කරල හාමුදුරුවංට වැඳල කාරිය එන්ට පිටත් වෙලා බැලින්නං පොඩි එකා බොහොම උනන්දුවෙං බලාන ඉන්නව බිත්තියෙ තිබ්බ චිත්‍රයක් දිහාවෙ.බුදු හාමුදුරුවො සපිරිවරින් පිඬු සිඟා වඩිනව...

" මොනවද පුතා ඔය හැටි බලා ඉන්නෙ?....."
මම ඇහුව දාන මාන භාජන ටික අතට ගන්න ගමං..

" නෑ බාප්පෙ මම මේ බැලුවෙ බුදු හාමුදුරුවො බැටරිය කොහෙද ගහගෙන ඉන්නෙ කියල..සිවුර අස්සෙ වෙන්න ඇති නේද?..." පොඩි එකා තවත් උනන්දුවෙං බලනව චිත්‍රෙට බොහොම කිට්ටු වෙලාම...විහාරගෙයිං පිටවෙන්ට ගිය ලොකු හාමුදුරුවොත් මම දැක්ක නැවතිල ආපහු හැරුන…

" බැට්රියක්?....ඒ මොකක්ද බැට්රියක්?....මොකක්ද ඒ බැට්රි කතාව? කවුද එහෙම එකක් ඔයාට කිව්වෙ ? " මම එක දිගටම ඇහුව..මේ මොකක්ද මේකා කියන්නෙ කියල හිතාගන්ට බැරුව.

" නෑ බාප්පෙ..මේ බුදුහාමුදුරුවංගෙ ඔලුව වටේ තියෙන පාට පාට බුදු රැස් මාලාව කරකවන්ට බැට්රියක් එපාය ..ඒක කොහෙද තියෙන්නෙ කියලයි මම මේ බැලුවෙ…" ලොකු හාමුදුරුවන්ටත් මැරෙන්ඩ හිනා උගෙ කතාව අහල.

ඒ වෙනකොට වෙසක් පහුවෙලා මාසයක් දෙකක් වගෙ ගිහිල්ල තිබ්බෙ. මම ගිය දවසෙම පොඩි එකා මට පෙන්නුව බුද්ධ රූපයකට ටෝච් බැටරියකින් කරකැවෙන බුදු රැස් මාලාවක් හයි කරල හදාපු පොඩි තොරං රාජයෙක්..

" බාප්පෙ මේක අප්පච්චියි මායි හැදුවෙ…" ….මිනිහ කිව්වෙ බොහොම ආඩම්බරෙං.

මම මුලින්ම අර ව්‍යාපෘති වලට නම් දැමිල්ල ගැන කියාගෙන ආවෙ පොඩි කතාවක් කියන්ට හිතාගෙන.... ඉන්ටකො ඒකත් කියලම ඉන්නං එහෙනං….

ඔය එක එක ව්‍යාපෘති වලට අමුතු අමුතු නම් දානවනෙ නගර වල ගම් වල නම් වල කොටස් එකතු කරල...මේ සිද්ධිය උනේ අනූ හතරෙ පොදු පෙරමුණ ආණ්ඩුව බලයට පත් වෙච්ච අලුත. ඔන්න ඉඩම් වලට ඔප්පු ප්‍රදානය කිරීමේ වැඩ පිළිවෙලක් පටන් ගත්ත, මට මතක විදිහට එතකොට හිටිය ඉඩම් ඇමති, දැනට අගමැති දි.මු. ජයරත්න මහත්මයගෙ ප්‍රධානත්වයෙන්...

ඕකට නම දාල තිබ්බෙ අමා ව්‍යාපෘතිය කියල...මම සේවය කරපු ආයතනය තමයි අපේ බල ප්‍රදේශය තුල ඉඩම් සම්බන්ධ කටයුතු ඔක්කොම කලේ. ඒ නිසා අපිටත් සම්බන්ධ වෙන්ට උනා ඔය අමා ව්‍යාපෘතියට.

ඔන්න සෙනසුරාද දවසක උදේ තිබ්බ අමා ව්‍යාපෘතිය සම්බන්ධව දැනුවත් කිරීමේ රැස්වීම.අළුතෙන් රජයක් පත්වුනු ගමම්මනෙ. මම හිතන්නෙ කොලඹින්ම ආව ලොකු නිලධාරීන් රොත්තක් පත ටයි එහෙම පැළඳගෙන. ඇවිල්ල බොහොම බරසාර දේසනා එහෙම කලා මේ ව්‍යාපෘතියෙ පරමාර්ත මොනවද?..මේකෙ මුඛ්‍යඵල කාර්ය සාධනය කරන්නෙ කොහොමද?...තීරණාත්මක ප්‍රවේශය බලගන්වන්නෙ කොහොමද? රටේ නැති එව්ව..

සෙනසුරාද අපිට වරුවයි වැඩ..අපි මේ ගෙදර යන්නෙ කොයි වෙලාවෙද කියල ඉන්නෙ, ඔය මම බඳින්ට කලින්..සෙනසුරාද සාමාන්‍යයෙන් දින චරියාව මෙහෙමයි..සෙනසුරාද උදේ අපෙ තියනව රැස්වීමක්.. පහුගිය සතියෙ ප්‍රගතිය සමලෝචනය, ඉදිරි සතියේ කල යුතුදේ තීරණය කිරීම ඔව්ව තමයි ඔය රැස්වීමෙ පරමාර්ථ.. ඊට පස්සෙ අපි කට්ටිය කිට්ටුව පාත තියෙන කාගෙ හරි ගෙදරකට සෙට් වෙලා පොඩි අඩියක් එහෙම ගහල බත් ඩිංගකුත් කාලම තුනට වගෙ නගිනව බස් එකට..මේ ආතල් එක කැඩෙන නිසා මේ අමා මඟුල ගැන අපි ඔක්කොටම මල පැනලයි හිටියෙ.

ඔන්න යන්තං දේසනා ඉවර උනයි කියමු. මම බැලුව ඔරලෝසුව...දොළහට කාලයි..අවුලක් නෑ තව වෙලාව තියනව..

" හරි අමා ව්‍යාපෘතිය පිළිබඳ පැහැදිළි කිරීම අවසානයි. මම හිතනව ඔබ සියල්ලන්ටම මේ වැඩ පිළිවෙල බොහොම අපූරුවට වැටහෙන්ට ඇතිය කියල. ඒත් මොනව හරි ගැටළුවක් තියනව නම් කරුණාකරල අහන්ට . අපි ලෑස්තියි පිළිතුරු දෙන්ට.." කොළඹිං ආපු ප්‍රධාන නිලධාරි මහත්මය බොහොම ප්‍රිය ජනක විදිහට හිනා උනා අපි ඔක්කොගෙම මූණ බලල.

ප්‍රශ්න අහන්ට නෙවෙයි අපි මේ එතනිං පැනගන්නෙ කොහොමද කියල ඉන්නව ඇඟිලි ගැන ගැන..අපි එකෙක්වත් නැඟිට්ටෙ නෑ..කියපු දේවල් ඔක්කොම සක් සුදක් සේ පැහැදිලි උනා වගෙ කරබන උන්න අපි හැමෝම.

උසස් නිලදාරි මහත්තය සිනාමුසු මුහුණින් බලා ඉන්නව..ඔන්න විනාඩියක් විතර ගෙවිල ගියා. අපි හැමෝම බිම බලාගෙන..

" හරි එහෙමනං ප්‍රශ්න මොකවත්....."'....නිලදාරී තුමා එහෙම කියනකොටම ඔන්න පුටුවක් පොළවෙ ඇදෙන සද්දෙ ඇහුන. ඔක්කොමල හැරිල බැලුව. ඒ අපේ ප්‍රජා සංවර්දන නිලදාරී මහත්මය. මිස්ට විජේපාල...වයස එතකොටත් පණස් පහත් පැනල..කොයි වෙලෙත් කටේ අලි හපයක්.ඕක නිදා ගන්නකොටත් කටේ කියලයි අපෙ කොල්ලො කියන්නෙ...මේ ලොක්ක මොනව අහන්ට යනවද මංද?....සද්ද නැතුව ඉන්නෙ නැතුව...විජේපාලට හිතිං බැණ බැණ අපි බලං හිටිය මොනවද මේ ලොක්ක අහන්ට යන්නෙ කියල...

විජේපාල මහත්තය දකුණු හක්කෙ තියන විට වම් හක්කට මාරුකරගත්ත...දෙතුං පාරක් කට එහෙම රවුං කරල හැපුව විටේ...උසස් නිලදාරී මහත්තය දිහා බලාගෙන කතාකලා කටේ දකුණු පැත්තෙං…

" මහත්තයො මට එක ප්‍රශ්නයක තියනව.."

" ඔව්..මහත්මය අහන්න බලන්න ඔබේ ප්‍රශ්නය.."

" ප්‍රශ්නෙ මේකයි. ඔය ව්‍යාපෘතියට  අමා කියල නම ලැබුනෙ කොහොමද?
"

උසස් නිලධාරී මහත්මය බොහොම සුන්දර විදිහට හිනා උනා..

" ඇත්තටම හොඳ ප්‍රශ්නයක්..මට පුදුමයි මේ වෙන කාටවත් ඒ ප්‍රශ්නෙ මතු වුනෙ නැති එක. හරි ඒ නම හැදුනෙ මෙහෙමයි..අපි මුලින්ම මේ කර්තව්‍යය පටන් ගත්තෙ අනුරාධපුර සහ මාතලේ යන නගර මුල්කරගෙන. ඒ නම් දෙකේ මුල් අකුරු වලින් ඒ කියන්නෙ අනුරාධපුරෙන් අයන්නත් මාතලෙන් මා යන්නත් අරගෙන තමයි අමා කියල අපි නම් කලේ.."

විජේපාල මහත්තය ආයෙම විට වම් හක්කෙ ඉඳල දකුණු හක්කට මාරුකලා. කට රවුම්කරල විට හැපුව . මේ පාර කතා කලේ කටේ වම් පැත්තෙං

" හොඳ වෙලාවට ඔය මහත්තැංලට හිතුනෙ නැත්තෙ මේ වියාපුරුතිය හුන්නස්ගිරියෙනුයි කාත්තාන්කුඩියෙනුයි පටන් ගන්ට. "

උසස් නිලදාරි මහත්තයගෙ හිනාව අතුරුදන් උනේ රෙදි කෑල්ලකිං පිහල දැම්ම වාගෙ. ඒත් එක්කම අපි ඔක්කොගෙම හිනාව එක පාරටම පිපුරුණා. ඒත් කිව්වට විස්වාස කොරන්ට. විජේපාල ලොක්ක එක හිනා කඳුලක්වත් නැතුව විටේ හප හපා හිටිය එහෙම්මම හිටගෙන.

පහුවදාම ෆැක්ස් එකක් ආව විජේපාල මහත්තයගෙ වැඩ තහනං කරල රාජ්‍ය සේවය අපකීර්තියට පත් කිරීම චෝදනාව..මාස දෙහෙකට විතර පස්සෙ විනය පරීක්ෂණයකුත් තිබ්බ.ඒත් සාමාන්‍යයෙන් අපෙ ආයතනයෙ ඔය විනය පරීක්ෂණ වලට සිද්දවෙන අනිවාර්ය ඉරණම ඒකටත් අත් උනා. දෙතුන් පාරක් පරීක්ෂණේ කල් යනකොට හැමෝටම ඕක එපා වෙනව. අනිවාර්ය ප්‍රතිඵලය චූදිතය නිදහස් වෙනව. විජේපාල මහත්තයට විරුද්ධ පරීක්ෂණයටත් ඒකම සිද්ද උනා. ඊලඟ අවුරුද්දෙ මිනිහ විශ්‍රාම ගියා.

හෙහ්..මේ වට වංගියෙ විස්තර ඔක්කොම කිව්වෙ අර පොඩි කොලුව අසිත ගැන කියන්ට ඇවිල්ල නේද?...

ඉතිං ඔන්න කොලුවට බොගක් සෙට් උනාය කියල මම කිව්වනෙ....හුහ්, කිව්ව නේන්නං ඈ බොල උඹ ඒක කියල දැං පෝයකුත් පහු උනා නෙවද?..අදවත් කියනවද.. ඒකා බොග දැම්මද නැද්ද කියල...හරි හරි ..තරහ අවසර...තරහ අවසර...

මම ඉතිං අපෙ උන්නැහෙට කිව්ව " මේ…. ඔය කොලුවට ඔයාට වැඩේ කරල තමයි පෙන්නන්ට වෙන්නෙ " කියල

" ඈ???..." උන්දැගෙ කටත් එක්ක ඇරුන.


මතු සම්බන්ධයි......

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...